Monday, December 30, 2013

Good Bye 2013


දෙසැම්බර් 30ත් වෙලා... 2013 ඉවර වෙන්න තව දවසයි... මේ ටිකේ වැඩ ගොඩකට යට වෙලා ඉඳලා අද තමයි දිනේ කවද්ද කියලත් මතක් උනේ... කලින් දවසක පෝස්ට් එකක් ලිව්වා ඉස්කෝලෙ යන කාලේ දෙසැම්බර් කියන්නෙ මොන තරං ජොලි කාලයක්ද කියල... අද ලියන්න හිතුනෙ ඉස්කෝලෙ යන කාලේ දෙසැම්බර් 31 ගැන... 

ඒ කාලේ වීසීඩී / ඩීවීඩි ප්ලෙයර් තිබ්බෙ නෑ නේ හැම ගෙදරකම... ඩෙක් පීස් ප්ලෙයර් එකක් තිබ්බෙත් එහෙමත් ගෙදරක තමයි... අපේ ගෙදරත් ටීවී එක තමයි සැපට දුකට හූනියම් පෙට්ටිය වෙලා හිටියෙ...ඉතිං 25 වෙනිද වෙනකොට පටං ගන්න නත්තල් ෆිල්ම් වල ඉඳලා 31 රෑ තියෙන බහුබූත ටික බලාගන්න සැදී පැහැදී ඉන්නෙ.... හි හි... 

31 රෑ, ඡන්දෙ දවස් එහෙම කොච්චර ඇඩ් දැම්මත් රෑ එළිවෙනකං බෙල්ල කඩං බලන දවස් තමයි... මුලදි නං එක එක ෆිල්ම්ස් දැම්මත් පස්සෙ පස්සෙ මියුසිකල් ෂෝ දාන්න පටං ගත්තනෙ.. මට හොඳට මතක එකක් තමයි වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක ඉස්සරහද කොහෙද මහ පාරෙ කරපු ෂෝ එක... ඒක මහපාරට ගෙනාපු එක තමයි විශේෂත්වයකට තිබ්බෙ මට මතක විදියට... ඒ භාතිය සන්තුෂ්ලා ආපු කාලේ... ඒ ඇරෙන්න මට නං මියුසිකල් ෂෝ අල්ලන්නෙම නෑ.. ඒක හින්ද 31 රෑ නිදා ගන්න පුරුදු උනා ඊට පස්සෙ... 

ඊට පස්සෙනෙ ඔය රිදී රැයක් කතාව පටං ගත්තෙ... මතක විදියට මුලින්ම අනුග්‍රහය මන්චි එකෙන්.. එතකොට ඒක මන්චි රිදී රැයක්... දැන් නං ලංකාවෙ කලාකරුවො සංගම් දෙකක් වෙන වෙනම ෂෝ දෙකක් කරනවා මං දන්න විදියට... ඒක නං එක්තරා විදියක විකාරයක් විදියට මට පෙනුනට මං කලාකාරයෙක් නොවෙන නිසා ඕවයෙ ඇතුලේ කේස් දන්නේ නෑ... 

කොහොම උනත් මං මේ කියන්න ගියේ රිදී රැයක් මුලදි මාර ගති... අපි හින්දි සහ ඉංග්‍රීසි ඔය වගේ ෂෝ බලලා තිබ්බට ලංකාවෙ නළු නිළියෝ, ගායකයෝ හති මුනි දාගෙන ස්ටේජ් එකක් උඩ නටනවා දැකලා තිබ්බෙ නෑ නේ කලින්... හි හි... මට හොදට මතක එකක් තමයි අර ආරිච්චි බෝරිච්චි සින්දුවට නළු‌ෙවා ටිකක් ගෑණු වගේ ඇඳගෙන ආපු එක.. ඒක නං තාමත් මතක් වෙනකොට හිනා යනව... තව ලස්සන අයිටම් තිබ්බ බලන්න ආස හිතෙන විදියෙ.. ඒත් ළගකදි නං රිදී රැයක් එකත් බලන්න කම්මැලි ගතියක් තියෙනව.. මෙදා පාරත් ෂෝ එකක් තියෙන බව දැනගත්තට එච්චර උනන්දුවක් නෑ බලන්න නං... ඒත් ඉතිං ඔය වයෝවෘධ කලාකරුවන්ට උදවු කරන කතාවක් තියෙන නිසා සිනෙ රිදී රැයක් ෂෝ එක කරන එක නරක නෑ.. ( මට දැන් ඔය සංගම් දෙකේ ෂෝ දෙක මොනාද කියල තෝර බේර ගන්න බෑ... එකක් රූපවාහිනියේ යනවා, අනික ස්වාධීනෙ යනවා මං හිතන්නෙ..)  

කොහොම හරි මේ ලිව්වෙ ඉස්සර 31 රෑ ගත කරපු හැටි... දැං නං දෙසැම්බර් 31 කියන්නෙත් අනිත් මාස වල 31 වගේම තමයි.. විශේෂයක් නෑ... මොකද මේ ඩිසයින් වැඩේ එක්ක මට දවස් යනවා මතකයක් හිටින්නෙ නැති හින්ද... කොහොම උනත් සමහර ඩිසයින් වලට මසයක් විතර යනව... ඒ වෙලාවට නං හිතෙනවා අම්මපා ග්‍රැෆික්ම කරගෙන හිටියනං ඉවරයි කියල.. වැඩිම ලොකු වැඩකට උනත් ඕන්නං සතියක් යයි... හි හි... 

ඒ උනාට හිතේ ආසාව තියෙන නිසා කරගෙන යනවා බිස්නස් එකක් විදියට නොවුනත්... බිස්නස් එකක් කියන්නෙ සල්ලි හොයන්න කරන දෙයක්නෙ.. දවසක් අර සහන් කිව්ව වගේ විනෝදාශයක් බිස්නස් එකක් කරගන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි.... එකක් අපේ රටේ ආර්ථිකය.. අනිත් එක මිනිස්සුන්ගේ මානසික මට්ටම... 

කොහොම උනත් විනෝදාංශයක් විදියට කරපු දෙයක් බිස්නස් එකක් උනාම ඒකෙ කොලිටිය බාල වෙනව කියල මට හිතෙනව... අපේ රටේ ශ්‍රමයට සහ නිර්මාණශීලීත්වයට ලැබෙන්නෙ බොහොම අඩු මිලක්... ඒත් ඇත්තටම කොලිටිය තියෙනව නං වෙළඳපොළක් නිර්මාණය කරගන්න අමාරු නෑ කියල මම හිතනව.. ස්ථාවර වෙන්න යම් කාලයක් ගත උනත් ඒ ව‌ෙග් ව්‍යාපාරයක් යම් කාලයකදි සාර්ථක වෙනව... එතකං අල්ලං ඉන්න එකයි තියෙන්නෙ ... හි හි... 

මේ ටිකේම ඇති වෙන්න බැනුම් ඇහනව... උදේ ඉඳන් ටීවී සිරීස් එකක් දාගෙන ඉන්නකෙට අපේ මහත්තයා බයිනවා ඕක දැං වත් ඕෆ් කරනවකෝ කියල... ඒත් මට ඒක ඕනෙ.. මොකද ටීවී සීරීස් එකක තියෙන රිදම් එකත් එක්ක මගේ වැඩෙත් එක දිගටම යන නිසා.. මට අහල පහල සද්ද බද්ද වලින් කන් දෙක නිදහස් කරගැනීමේ උවමනාව තියෙන නිසා... ෆිල්ම්ස්, සින්දු හරි යන්නෙ නෑ මේ වැඩේට... මේ දවස්වල White collar & The Mentalist තමයි මගේ උදව් කාරයෝ වෙලා ඉන්නෙ... අනිත් ඒවයෙ සද්ද බද්ද වැඩියි... 

කොහොම උනත් ආපස්සට හැරිලා  බැලුවාම 2013 මං හිතපු තරං නරක නෑ ... ඒ කියන්නෙ කොච්චර කලු වලාකුලක උනත් රිදී රේඛාවක් හොයාගන්න මට බැරි කමක් නෑ කියල එක කියල මට හිතෙනව.. මගෙ පැත්තෙන් බැලුවම ඒකම ලොකු ජයග්‍රහණයක්... 

බ්ලොග් කටුවෙත් මාසෙකට පෝස්ට් දෙකක් හරි අඩුම ගානෙ වැටෙන විදියට ලියවිලා තියෙනව.. දැනුත් වෙලා තියන්නෙ ලියන්න දේවල් නැතිකමක් නෙවෙයි.. වෙලාව මදි කමක්.... මොකද පෝස්ට් ලිව්ව වගේම කමෙන්ට් කියවන්න සහ රිප්ලයි කරන එකත් මගේ යුතුකමක් විදියට සලකන නිසා ඒකටත් කාලය වෙන් කරන්න ඕනෙ... පහුගිය ටිකේ පෝස්ට් කියවීම බොහෝ දුරට මඟෑරුනා.. ඒත් නොකියවාම හිටියෙ නෑ... ‌කොහොම උනත් බ්ලොග් කියවීම පත්තර, පොත් කියවීම වෙනුවට ආදේශ වෙලා තියෙන නිසා ඒක අතෑරෙන එකක් නං නෑ මට...

දැං ඉතිං 2013ට බායි කියලා 2014ට වෙල්කම් කියන්න කාලෙ හරි.... හි හි.. 


Monday, December 9, 2013

තොප්පි වෙළෙන්දෙක් දවසක්.. තොප්පි ගොඩක් කරේ තියන්...


බ්ලොග්ස් කියවන්න අරන් දැනට අවුරදු 6ක් විතර වෙන අතරෙ ඒ ගැන මට මේ දවස්වල හිතෙන දේවල් ටිකක් ඔහෙ ලියලා දාන්න හිතුන... සමහර විට මටමත් මේවා අමතක වෙයි කියල හිතෙන නිසා පස්සෙ කාලෙක... 

පහුගිය අවුරුද්ද පුරාම අවකාශයෙ සැරිසැරුවෙ නිකම්ම සිංහල බ්ලොග් කියවන්න විතරක් නෙවෙයි... මගේ වැඩ වලට අවශ්‍ය දැනුම හොයාගන්නෙත් වැඩිපුරම බ්ලොග් අවකාශය තුළින්මයි... සමස්ත බ්ලොග් ලෝකයෙම එක එක ජාතියෙ බ්ලොග්ස් තියෙනව... මං හිතන්නෙ මේ සිංහල බ්ලොග් කියෝන වැඩිහරියක් අය නොදන්න පැති මහ ගොඩක් මේ බ්ලොග්ස් වලින් කවර් වෙනව... 

සිංහල බ්ලොග්ස් අතරේ වැඩිහරියක් තියෙන්නෙ සාමාන්‍ය දේවල් ලියවෙන බ්ලොග්ස්, කවි කතා බ්‌ලොග් සහ දේශපාලනික බ්ලොග්ස් කියල මං කිව්වොත් කවුරුවත් තරහා වෙන එකක් නෑ මං හිතන්නෙ.. ඒත් ඉංග්‍රිසියෙන් ලියන සිංහල බ්ලොගර්ලා මීට වඩා දේවල් බ්ලොග් ගත කරනව.. ඒ අතරේ අමතරව තියෙනව ෆොටෝ බ්ලොග්ස්, විඩියෝ බ්ලොග්ස් විදියට එක එක ෆීල්ඩ් ගැන දැනුම බෙදා ගන්න බ්ලොග්ස්...

මේ ටික කියද්දි මට හිතෙන්නෙ අපි මේ ගහ මරාගෙන, අරුන්ට මුන්ට කියලා බෙදාගෙන, උඩදාගෙන කියෝගෙන යන සිංහල බ්ලොග් අවකාශෙටමේ ඇවිල්ල තියෙන දුරට වඩා තව මහා දුරක් යන්න තියෙනව කියන එක... ඉන්න එවුන් ටික දෙනා ගහමරා ගන්නකොට ඒ දුර නං කවදාවත් යන්න වෙන්නෙ නෑ කියල බයකුත් දැනෙනව.. මේකට හේතුව අපි ඔය පට්ට ගගහා බැන බැන ඉන්න, කොච්චර දියුණුයි අරකයි මේකයි කිව්වත් තාම අපේ යටි හිතේ තියෙන දූපත් මානසිකත්වයද කියන එක මට ගොඩක් වෙලාවට හිතෙනව.... 

බ්‌ලොග් කියවන්නෙ දැනුම වර්ධනය කරගන්නවත්, බ්ලොග් ලියන්නෙ තමන් දන්න කියන දෙයක් බෙදාහදාගන්න නෙවෙයි ගොඩක් සිංහලෙන් ලියන බ්ලොග්කාරයො... කම්මැලිකමට... කාලෙ කන්න.. එහෙමත් නැත්තං ‌‌පොඩි පොර මානසිකත්වයක් හදාගන්න.. කවුද අකමැති දෙයක් කියවලා හිනාවෙලා, පිස්සු කෙලලා කාලෙ ගෙවාගන්න... කවුද අකමැති කවුරුහරි මං පොරක් කියලා හිතනවනං... ඒවා වැරදි නෙවෙයි... ඒත් ඊට වඩා දෙයක් මේකෙන් ගන්න පුලුවන් කියන එකත් දැනගන්න එක හොඳයි... 

තව වෙලාවකට ඔය සමහර දේවල් ගැන එක තැනක එකක් කියලා, තව තැනක තව එකක් කියන එක ගැන කතන්දර ගොඩක් තියෙනව... මං පේන හැටියට ඕකෙ පැති දෙකක් මං දකිනව... එකක් තමයි හරියට තේරුම් නොගෙන හිටපු දෙයක්, තේරුම් ගත්තම පැත්ත මාරු වෙන එක... මිනිස්සුන්ගෙ අදහස් කාලෙත් එක්ක වෙනස් වෙනව... ( සාමාන්‍යයෙන් මුල් බැහැගෙන ඉන්න අදහස් නම් වෙනස් වෙන්නෙ කළාතුරකින්.. ) ඔය කැම්පස් යද්දි පට්ට ‌ජේවීජීකාරයෝ ඒකෙන් එළියට ආවම නිකම්ම යූඑන්පීකාරයෝ වෙන්නෙ... (ඕක ඉස්සර අපේ තාත්ත කියපු කතාවක්... ) අනිත් පැත්ත තමයි තාප්පෙ උඩට වෙලා හැරෙන පැත්තට හෝයියා දාන එක.... ඕකෙන් කලින් කියපු එකට මං හරිම කැමතියි.. මොකද ඒකෙන් තේරෙන්නෙ තමන්ට වැරදුනා කියලා පිළිගන්න කොන්දක් තියෙන එකෙක් බව කියල මං හිතන්නෙ.. අනිත් උන් ගැන නං ඉතිං කතා කරලා වැඩක් නෑ මගේ පොතේ හැටියට නං.... 

දෙයක් ඉගෙන ගන්න, යමක් කරන්න උත්සාහ කරන එක මහා ලොකු අමාරු දෙයක් නෙවෙයි... ඇත්ත.. අපි හැමෝම ජීවත් වෙන්න මහා අරගලයක් කරන්නෙ.. ඒකට පොඩි සපෝට් එකක් නැත්තං මේක ඇදගෙන යන්න බෑ.. ආර්ථිකව විතරක් නෙවෙයි, මානසිකවත්... මේක පිස්සු ලෝකයක්... ඒකෙ පිස්සු නොවැටි ජීවත් වෙන එකත් මාර යුද්ධයක්... ඒකට පොඩි වෙනසක් කරගෙන, කුනුහරුපයක් කියාගෙන, විහිළුවක් කරගෙන, බියර් එකක් ගහගෙන, ෂොපිං පාරක් දාලා, අනුන්ගෙ ඕපයක් හොයලා ආතල් එකක් ගන්න එක මගේ පොතේ හැටියට මහා වැරැද්දක් නෙවෙයි.... පරමාදර්ශි චරිත වෙන්න ගියාමත් අපි මහ වාත, බෝරිං,  හපෝ උදේ පාන්දර දැක්කත් දවසම මූසලයි ජාතියෙ චරිත වෙනව... 

හැබැයි ඒකෙත් තමන්ගේ මට්ටම, ඒ කිව්වෙ කතාවට කියනව වගේ ලිමිට් එක දැනගන්න ඕනෙ... 

හැමදාම ගෙදර එනගමන් බාර් එකෙන් බියර් එකක් ගහලා, වාහනේ එලෝගෙන ගෙදර එන එකා එදාට වැදගත් චරිතෙ වෙලා, ඌම ඉඳලා හිටලා පාටියකට ගිහින් කන පැලෙන්න බීලා එන ගමන් වාහනේ කාණුවක දාගෙන, කබරයා ගොඩේ එළිවෙනකං ඉඳලා මාට්ටු වෙන දවසට බේබද්දා වෙන්නෙ තමන්ගෙ ලිමිට් එකක් නැතිකමයි, තමන්ට ලිමිටි එකක් තියෙනව කියලා පිළිගන්න කොන්දක් නැති කම හින්ද මිසක් දකින මිනිස්සුන්ගෙ වැරුද්දක් හින්දවත්, ගෙදර මිනිස්සුන්ගේ වැරැද්දක් හින්දවත් නෙවෙයි.... හැබැයි ඒකම තව පාරක් කරගත්ත එකා හිතක් පපුවක් නැති එකෙක් වෙන්නෙ, ඒ කරන වැඩෙන් දුක් විඳින්නෙ උෟ වටේ ඉන්න, උට ආදරේ කරන, උෟ ආදරේ කරන එවුන් කියන එක තේරුම් ගන්න බැරි හරකෙක් නිසා විතරයි... 

පම්පෝරි ගහන්න කවුද අකමැති.. මං නං කැමතියි... තමන් කරපු දෙයක් කළාය කියල කියන්න බැරි, කොන්දක් නැති එකෙක්ට විතරයි.. ඒ ව‌ෙග්ම තමන් වැරැද්දක් කළා කියල තේරුම් ගන්න මිනිස්සු කියන ජාතියට ක්‍රම දෙකක් තුනක් විතර තියෙනව.. එකක් ඔය කරේ තියන් ඉන්න ආගම කියන එක... අනිත් එක සල්ලි නැත්නං බේරෙන්න බැරි නීතිය... තව එකක් තමයි තමන් වටේ ඉන්න එවුන්... ඔය ක්‍රම ටිකෙන් එකකින් හරි තමන් වැරැද්දක් කළාය කියලා තේරුම් ගත්ත නං, ඒක පිළිගන්න එකා කොන්දක් කියල එකක් තියෙන එකෙක්... 

එතකොට තමන් වැරැද්දක් කළාය කියලා පිළිඅරගන්න ගමන්, ඒ වැරැද්ද ගැන පම්පෝරි ගහන එකා මොකෙද්ද...? 

ගොඩක් අය තමන් කරන හරි දේවල් ගැන හැමෝටම කියන්න ආසයි... හැබැයි තමන් වැරැද්දක් කළාම ඒක සාමාන්‍යයෙන් කාටවත් කියන්නෙ නෑ.. නමුත් කාලාන්තරේකට පස්සෙ මොලේ ටිකක් පෑදෙන කාලෙට ලැජ්ජාව අඩු වෙලා, වෙච්ච දේට තමන්ටම හිනාවෙන්න පුළුවන් කාලෙදි, ඕක කිව්ව කියල නරකක් වෙන්නෙ නෑ ඒක වැරැද්දක් බව තව කාට හරි තේරුම් කරන්න නං... හරියට ඔය තාත්තලා කියන්නෙ  අපි ‌ඔය කාලෙ කරපු දේවල් වල හැටියට.... කියලා කෑල්ලක්.... එහෙමත් නැත්තං  අපිත් ඔය කාලෙදි ඕවා කළා, හැබැයි පුතේ... ” වගේ කෑලි.... 

නමුත් හරකෙක් නොවෙන, මොළයක් කියල දෙයක් තියෙන එකෙක් තමන් යමක් කියන්න කලින් ටිකක් හිතනව තමන් ‌කොරන කියන කෙහෙල්මල් වලින්, තමන් වටේ ඉන්න එවුන්ට මොනා හිතෙයිද කියල... හැට පැනපු නාකින්ට ටොකු ඇනලා කියල දෙන්න ඕනෙ නැ නේ... 

නැට්ටට කිරි උනන්නත් කලින් ඉඳලා හතර වටේ ඇන්ටිලයි අක්කලයි එක්ක වල් කමේ ගිය එක ඒ කාලෙ මහා ලොකු දෙයක් සම හරක්ට... හැබැයි ඒ කාලෙ පහු කරලා, කවුරුහරි පත්තිනි අම්මෙක් හොයාගෙන, පවුල් කාලා, දරු මල්ලො හදාගෙන, ඒ අස්සෙත් අහල පහල අහු වෙන ගෑණුන්ට සලකලා, අවුරුදු හැට හැත්තෑවක් උනාම තේරෙන්න ඕනෙ එදා කළේ වීරකමක් නොවෙන බව... ගොන් කමට කළා උනාට කරුමෙ ටිකක් හොඳ පැත්තට තිබ්බ නිසා ලෙඩක් දුකක් නොහැදි, හතර අතේ දරුවො ජාතක නොකර, තාම යහතින් ඉන්නව කියලා, තමන්ගෙ දරුවන්ට ලැජ්ජාවක් නැතුව කට ඇරලා  තාත්තේ.. සීයෙ කියන්න පුලුවන් කමක් කියෙන බව.... 

ඒත් ඒ කළ ගොංකං ගැන අදත් වීරකං වගේ පම්පෝරි ගහන පිරිමි උන්දැලා ටිකක් හරි කල්පනා කරනවනං  මගේ ගෑණි සබාවක් මැද්දට ගිහින්, මං මේ මිනිහව බඳින්න කලින් අහල පහල ගෙවල් වල උන්නු අන්කල්ලා, අයියලා ඔක්කොම එක්ක කරන්න තියෙන සෙල්ලම් ඔක්කොම දැම්ම, ඕවා නං අපිට එච්චර දේවල් නෙවෙයි, මගේ මිනිහා ඕවා ඔක්කොම දැනගෙනනෙ මාව කසාද බැන්දෙ කියල කිව්වනං මට මොනා හිතෙයිද ... කියලා.... ( ඒක අහන එවුන් අරූ දිහා බලලා  හපෝ මෙහෙමත් පොන්නයෙක්.. කියලා හිතන එක වෙනම කතාවක්....අරුන් මුන් හිතන ඒවා අපිට මොකටද...) 

( ඔය එකක්වත් නොකර, ඒත් තමන් වීරය වෙන්න අතිනුත් ලූණු ඇඹුල් දදා, උදේ හවස පෝන් වීඩියෝස් බලලා දැනගත්ත දේවල්, තමන් කළා වගේ කියන අය නං මේවා ගැන එච්චරම හිතන්න ඕනෙ නෑ.. වැඩිම උනොත් ගෑණීට කියන්න වෙයි... “ පිස්සුද අනේ..  ඔය මං බොරුවට කියෝන ඒවා.. ඔයා දන්නවනේ මං බෝ පැලේ වගේ මනුස්සයා කියල...... )

වක්කඩ කැඩුවා වගේ කියෙව්වට කමක් නෑ තමන් කරන කියන දේවල් වලින් බිංදුවක වත් හානියක් වෙන කෙනෙක් තමන්ගෙ ජීවිතේ පැත්ත පළාතක නැති, තමන්ගේ ජීවිතේ තමන් ඇරෙන්න වෙන විරයෙක් කියල එකෙක් නැති, එහෙමත් නැත්තං තමන් වටේ ඉන්න උන්ට ඕවා ගානක් නෑ කියලා හිතහදාගන්න පුලුවන් විදියෙ, හිතක් පපුවක් කියලා එකක් නැති එකෙක් නං... 

----------------------------------------------------------------------------------------------------









ප/ලි  - ඔන්න ඔ‌හොමයි මේ දවස්වල බ්ලොග් කියවන්නෙ... මේ දවස්වල කියෝනව විතරයි කමෙන්ට් කරන්න වෙන්නෙම නෑ... කෙම්ෆෙක්ස් ගම් එක්කනෙ වැඩ.. කී බෝඩ් එකට නං එච්චර කේස් එකක් නෑ ඉටි කොළයක් තියෙන නිසා.. ඒත් මවුස් එකට නං සොරි වෙලා තියෙන්නෙ.... ( දැං මේ වාක්කෙ විතරක් කට් ඇන්ඩ් පේස්ට් කරපල්ලකෝ කමෙන්ට් වලට....හි හි) 

මං ගැන කියනව නං මං දැං මේ දැනට කරගෙන යන ග්‍රැෆික් වැඩ ඇරෙන්න, අනිත් හෑන්ඩ් ක්‍රාෆ්ට් බිස්නස් එක මං තනිකරම ඉගෙන ගන්නෙ මේ බ්ලොග්ස් වලින්... ඔව්.. මේ හෑන්ඩ් ක්‍රාෆ්ට් වැඩ මම ඉස්කෝලෙ යන කාලෙදි කරලා තියෙනව.. ඒත් මේ වෙනකොට මේවායෙත් තාක්ෂණය දියුණු වෙලා... ඒත් වැදගත් දේ තමන්ගෙ නිර්මාණශීලීත්වය තමයි... මගේ පවුලේ ආර්ථිකේට පුංචි සපොට් එකක් දෙන්න මට මේකෙන් බැරි කමක් නෑ අද වෙනකොට.... 

මේක ලිව්වෙ මගේ සාමාන්‍ය සිස්ටම් එකටමත් නෙවෙයි.. කුණුහරුප කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි... ඒව වලට ඇඹරුනා පහේ පන්තියෙදි විතර.. ඊට පස්සෙ තේරුම් ගත්ත කුණුහරුප කියලා වීරයෝ වෙන්න හදන අය ව‌ගේ අය, ඇන්කර් පෙට්ටියක් ගත්තම තුන් හතර දෙනෙක් කපාගන්න පුලුවන් බව.... කුණුහරුප කියනව නං බජාර් එකේ සිස්ටම් එකටම කියන්න බැරිකමක් නෑ ෆිල්ම්ස් බලන තරමට... ඒත් මොකටද.. ඊට වඩා ලස්සනට කියන්න තියෙන දේ කියන්න පුලුවන්කම තියෙද්දි.... 

වීනස් දෙව්දුවත් ඉන්නේ පොඩි රෙදි කඩක් ඇඳගෙන... ෆිල්ම් එකක් පටන් ගනිද්දි සනී ලියෝනුත් ඉන්නෙ ඊට වඩා හොඳට වැහෙන ඇදුමක් ඇඳගෙන... හැබැයි වීනස් දෙව්දුව කලාකෘතියක්... එත‌ෙකාට අරක කලාකෘතියක් වෙන්නෙ නැද්ද.. කවුද එහෙම කියන්නෙ... වෙනවා වෙනව.. හැබැයි අන්තර්ගතය දෙකක්.. අන්න ඒක තේරුම් ගන්න පුළුවන් එකා විනස් දෙව්දුව දිහා බලාගෙන අතේ ගහන්න යන්නේ නෑ... ( තේරුම් ගන්‌නෝ තේරුම් ගනිත්වා...!) 

Tuesday, December 3, 2013

පොඩි පත්තර කතා දෙකක්.... Short NEWS stories...

අද පොඩි කතා දෙකක් විතරක් දාන්නෙ උදේ පාන්දරම නෙට් කනෙක්ෂන් එක කපලා, මගේ මූඩ් අවුට් ගියා හින්ද.... නැත්තං මේක මීට වඩා ලියන්න හිතං හිටියෙ.... 

මේ ටිකේම උදේට පත්තර කතන්දර අහද්දි හිතෙන්නෙම අපි ඔක්කොම කාටූන් විතරද කියලා... ඔන්න පත්තර වල හෙඩ් ලයින් ටිකයි, විස්තර ටිකයි කියෝනව... ඊට පස්සෙ ඇතුල් පිටු.. ඊළඟට එක එක ඒවා.. ඊළඟට කාටූන්.... 

හැමදාම කාටූන් ටික කියවද්දි මට හිතෙනවා මුළු පත්තරේම තියෙන දේවල් වලින් රටේ මිනිස්සුන්ගෙ හිත් වලට තියෙන දේවල් වලට තියෙන්නේ කාටූන් ටික විතරයි කියල... 


සූවාරිස් හැමදාම කෝටු කිතයියෙක්... අනිත් පැත්තෙ බඩ මහත මොකෙක් හරි... සරදම් එකෙත් එහෙම්මමයි... හිනා වැස්සෙයි පලා මල්ලෙයි නං යන්තං හමට යටින් මස් කළඳක් තියෙනවා වගේ පේනවා... 

ඒ මදිවට අනේ අපේ හිතේ තියෙන ටිකත් ඒ විදියටම ඔය ‌ගොයියො ටික කියනවනෙ... 

එහෙම බැලුවාම අනේ අපේ රට කරනවනවා කියලා කිය කිය, උදේ ඉඳන් හවස් වෙනකම්ම රට “අනුභව කරන”  උන්ට අපි පේන්නෙ කාටූන් චරිත විදියට විතරද.... ?


මේ අනිත් එක... 

මේක දැක්කෙ e-journalist කියලා බ්ලොග් එකක.... 



මෙන්න මේ පින්තූරෙ සහ ඒ අදාල සටහන කියෙව්වම මට හිතුනේ... බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගිහින් කියල විතරමයි... 

පොලිසියෙන් කරන්න ඕනෙ වැඩේට මොකටද හාමුදුරැවෝ....?

මේ ඊයේ පෙරේදා පරණ ෆිල්ම් ගොඩක් අවුස්සද්දි අහු උනා ෆිල්ම් එකක්.. ඒකෙ නම Footloose ... ( ෆිල්ම් දෙකක් තියෙනව.. එකක් 1984, අනික 2011... මම බැලුවෙ 2011 එක... 

පොඩි නගරෙක කාර් ඇක්සිඩන්ට් එකකින් හයිස්කූල් සීනියර්ලා පස් දෙනෙක් මැරෙනව.. සෙට් එක එන්නෙ ඩාන්ස් එකකට ගිහින්... 

එතන ඉන්න එකෙක්ගෙ තාත්තා‌ තමයි පල්ලියෙ ෆාදර්.. ඔය ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ බොහොම හැඟීම්බර දේශනාවක් තියල එදයින් පස්සෙ 18ට අඩු එවුන්ට ‌රොක් මියුසික්, ඩාන්සින් තහනම් කරනවා... අඩුම ගානෙ  Prom එකවත් නෑ... 

අවුරුදු 3කට පස්සෙ බොස්ටන් වලින් එන කොල්ලෙක් ඕක වෙනස් කරන්න හදන කතාවක් තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ.. ඕකෙ මරු දෙබසක් තියෙනව පල්ලියෙන් හැම එකටම අතදාන එක ගැන... මං සිංහලෙන් මතක විදියට මෙතන දාන්නෙ.. හරියටම ට්‍රාන්ස්ලේෂන් නං නෑ... 

කොල්ලා අහනවා එයාගෙ මාමගෙන්... 

“ ඉරිදට ගේම් එකක් තියෙනවා නං ඔයා කොහොමද බියර් ගන්නෙ, එදාට පල්ලියෙන් බාර් වහලනේ ”

එත‌කොට මාම කියනව 

“ ඉරිද කියන්නෙ දෙයියන්ගෙ දවස, එදාට බියර් ගන්න බෑ.. ඔයාට බියර් ඕනෙ නං ඒක බියර් දවසෙදි ගන්න... බියර් දවස කියලා එකක් බයිබලේ තියෙනව.. ඔයාට ඕනෙ නං බලන්න ” කියලා... 

ඔන්න ඔහොම සීන් එකක්.. මට ඔය ෆිල්ම් එක බලනකම්ම මතක් උනේ ඔය උඩ මම දාපු ෆොටෝ එකමයි... 

නීතියයි ආගමයි කියන්නෙ දෙකක් කියලා මේ අපේ මිනිස්සු කවදා තේරුම් ගනියිද කියලා මං මේ කල්පනා කරන්නේ.... 

Monday, November 18, 2013

“අ යන්න අම්මා ”වෙනුවට ” A for Apple ” කියවන්න කාලේ හරි වගේ...


පහුගිය ටිකේ ලියන්න කියලා හිතෙන දේවල් මහ ගොඩක් තිබ්බා.. ඒත් ලියලා මොනා කරන්නද කියල හිතිලා අතෑරලා දාපු ඒවා ගොඩට ඒ ටිකත් නිකම්ම වැටිලා තිබ්බෙ.. ඒ අතර තිබ්බ එකක් අද ඇදලා ගත්ත ටිකක් හිනා වෙන්නත් එක්ක... මේ ටිකේ සිරියස් ගන්න දේවල් වැඩියිනේ... හි හි

පහුගිය දවසක අපේ ඔය බ්ලොග් ලියන්නෙක්ම නිකමට කතා කර කර ඉන්න ගමන් කිව්වා පොඩි එකාට අකුරු කියවන එකක් ගැන... එතකොට තමයි මට මේක මතක් උනේ.. මං ඉතිං එයාගෙන් ඇහුවා දැං පොඩි එකාට කියවන්නෙ සිංහල හෝඩියද, ඉංග්‍රීසි හෝඩියද කියලා.. හි හි... 


ෆොටෝ එක ගූගල් එකෙන් සර්ච් කරලා හොයාගත්තෙ... ඒකත් ‌බොහොම අමාරුවෙන්... 

අපේ නෑනගෙ පොඩි එකා ඉන්නවනෙ.. තාම අ‌වුරුදු 2ක් විතර.. දැං නං ඉතිං වචන කතා කරන කාලේ.. හැබැයි මට නං එයා කියන ඒවයින් කාලක්වත් තේරෙන්නෙ නෑ.. පොඩි උන් හිටපු ගමන් ඒලියන් භාෂා වලින් කතා කරනවනෙ... මෙයා කතා කරන්නෙ මරු විදියට... ඔන්න වචන දෙකක් කිව්වොත් එකක් සිංහල.. එකක් ඉංග්‍රීසි... පොඩි මස්සිනා එයාට පොඩි මාමා.. අපේ මහත්තයා ලොකු මාමනෙ.. එයාට කියන්නෙ බිග් මාමා .... හි හි

ඒත් පොඩි උන්ට එකපාරට භාෂා දෙකක් කියලා දීලා අපි කරන්නෙ වැරැද්දක්ද කියලා මට වෙලාවකට හිතෙනවා... ඉංග්‍රීසි ඉගෙන ගැනීම අත්‍යාවශ්‍යයි... ඒත් සිංහල ??? ඔය එදිනෙදා කතා කරගන්න ගානට පුලුවන් උනාම ඇතිද...???

අපේ පොඩ්ඩෙක් ඉන්නවා දැං ඉන්ටනැෂනල් ස්කුල් එකක ඉගෙනගන්නෙ.. පොඩි කාලෙදි එයාට සිංහල කතා කරන්න එච්චර උනන්දු කළේ නෑ එයාගේ අම්මලා.. ඉතිං ජීවිතේම ලංකාවෙ ඉඳලත්, සිංහල කතා කරන මවුපියන්ගේ දරුවෙක් වෙලත් එයාට සමහර සිංහල සාමාන්‍ය වචන පවා තේරුම් ගන්න බෑ.. තාම අවුරුදු 10ක් විතර නිසා එයා ටක් ගාලා අහනවා Can u say it in English කියලා... ඒක එයා පොෂ් කමට කරන දෙයක් නෙවෙයි... ඇත්තටම එයාට කොච්චර ඒ වචන ඇහුනත් තේරුම් ගන්න බෑ.. විශේෂයෙන් වෙලාව, එහෙම නැත්තං ගානක්, බඩුවක මිල වගේ දේවල් එහෙම කියද්දි ඉංග්‍රිසියෙන්ම කියන්න ඕනෙ එයාට... එයාගේ අම්මලා නං තාමත් හිතන්නෙ ඒක හොඳ දෙයක් කියලා.. සමහර වෙලාවට ඒක එහෙම වෙන්න ඇති.. ඒත් මට එහෙම හිතන්න බෑ... 

පොඩි කාලෙදි තමයි භාෂාවල් කටට හුරු වෙන්නෙ... අපේ එක නංගි කෙනෙක්ව පොඩි කාලේ බලාගත්තෙ දෙමළ ගෑණු කෙනෙක්.. මේ කෙල්ල අවුරදු 10දි දෙමළෙන් පිළිගැනීමේ කතාවක් කළා දෙමළ වචන ගානට උච්ඡාරණය කරලා... මට නං ඇත්තට දෙමළ කොච්චර ඉගෙන ගත්තත් ඒ වචන උච්ඡාරණයෙදි ටිකක් අවුල් යනව... ඉංග්‍රීසි වලටත් ඒ කේස් එක තියෙනව.. සිංහල වගේ ඒ භාෂා කටට හුරු නෑ... 

ඒත් මුලදිම ඉංග්‍රීසිය කටට හුරු උනාම සිංහල උච්ඡාරණයෙදි වෙනසක් වෙනව දැනිලා නැද්ද කාටවත්.... හරියට ජීවිතේම පිටරට හැදිලා ලංකාවට ආපු කෙනෙක් සිංහල කතා කරනවා වගේ... ආ.. ඔව්.. කට්ටිය තමං පොෂ් කියලා පෙන්නන්නත් එහෙම කරනවා තමා... මං කිව්වෙ එහෙම නෙවෙයි... ඇත්තටම සිංහල දෙවනි භාෂාව විදියට ඉගෙන ගත්ත ළමයෙක්ට සිංහල හරියට කතා කරන්න වෙනම මහන්සියක් ගන්න වෙනවා... ඉතිං මවු භාෂාව සිංහල වෙච්ච ළමයෙක් එහෙම අමුතු විදියකට සිංහල කතා කරන එක හරි කියල මට හිතන්න බෑ... 

වෙලාවකට මට හිතෙනවා අපි ඉංග්‍රීසිය ඔලුව උඩ තියන් ඉන්නවා වැඩිද කියල... අපි ළමයින්ට සිංහලට වඩා ඉංග්‍රිසි උගන්නන්න උත්සාහ කරන්නෙ එයාලගෙ අනාගතය වෙනුවෙන්මද කියලා... එහෙම නැත්තං අපිට සමාජයේ එක පැලැන්තියක් අනුකරණය කිරීමේ බලවත් ආසාව හින්දද කියලා... මධ්‍යම පන්තියෙ අයට ඉහල පැලැන්තියට කිට්ටු වීමේ බලවත් ආසව හින්දද කියලා... 

මම ඉංග්‍රීසි ඉගෙන ගත්තෙ දෙවනි භාෂාව විදියට... මට සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව කවදාවත් තිබ්බෙ නෑ... දැං පාවිච්චි වෙන්නෙම නැති නිසා ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව නැත්තටම නැති වෙලා තියෙන්නෙ... හැබැයි ඉංග්‍රිසි බෑ කියලා මං පස්ස ගැහුවෙ නං නෑ කිසි තැනකදි... දන්න විදියට කතා කළා.. එහෙම වෙලාවට මං දිහා නෝණ්ඩියට බලපු අය ඕනෙ තරං හිටියා... තමන් ලොකුයි කියලා හිතං ඉන්න ඕනෙ දෙයක්, නැති කෙනෙක් දිහා පල් එකට බලන එක අපේ ජාතියෙ පුරුද්දනෙ... ඒක නැති කරන්න බෑ... මගේ තියෙන පැහැදිලිම අත්දැකීම තමයි ලංකාවෙ කෙනෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනවට වඩා සුද්දෙක් එක්ක ඉංග්‍රීසි කතා කරන එක ලේසියි කියන එක... සුද්දන්ට ඉංග්‍රිසි කියන්නේ ආභරණයක් නෙවෙයිනේ.. ඒක මෙවලමක් විතරයි... අපිට තමයි ඒක ආභරණයක් වෙලා තියෙන්නෙ... 

දැං මේක කියවන අයට හිතෙයි මට ඉංග්‍රීසි බැරි නිසයි මං මේ වැල්වටාරං, බහුභූත කියවන්නේ කියලා... වෙන්න ඇති.. සමහරු විට මට හොඳට ඉංග්‍රීසි පුළුවන් උනා නං මාත් ඒක ආභරණයක් කරගන්න ඉඩ තිබ්බ.. මොකද මාත් මේ සමාජයෙම ජීවත් වෙච්ච සතෙක් නිසා... ඒත් මට වැරැද්දක් පේනව මේ මං ඉන්න තැන ඉඳන් බලනකොට... ඒ ගැන මට තේරෙන විදියට තමයි මං මේ කිව්වෙ.. 

මට දැං තේරෙන විදියට නං තව ටික කාලයක් යද්දි අකුරු කියවද්දි පොඩි එකාව පැඳුරක් උඩ තියල, වටේට රස කැවිලි, සෙල්ලම්බඩු, පොත් පෑන් තියලා, ‌හෝඩි පොතේ ඉංග්‍රීසි හෝඩිය පෙරළලා අ යන්න අම්මා කියවනවා වෙනුවට A for Apple කියලා අකුරු කියවන ට්‍රෙන්ඩ් එකක් එයි... මේ යන විදියට හැබැයි ඒක තමයි වෙන්න ඕනෙ දේ... මොකද මුල් භාෂාව විදියට ළමයින්ට උගන්නන්නෙ ඉංග්‍රීසි උනාම ‌‌හෝඩිය කියවන්න ඕනෙත් පොතේ හැටියට ඉංග්‍රිසි නේන්නං... හි හි ... 

ප/ලි . මේකට හෝඩි පොතක ෆොටෝ එකක් හොයන්න කියලා සර්ච් එකක් දැම්මම මෙන්න ‌‌දෙයියො ටිකගේ නම් ටික එනවා හෝ ගාලා.. සරස්වතී, ගණ දෙවි, සුමන සමන් දෙවි, කද සුරඳු... ඔක්කොම කට්ටිය ඉන්නවා බොලේ.... දෙයියොන්ගෙ පිහිටෙන් හෝඩි පොත් නං හොඳට මාකට් වෙනවද කොහෙද... හි හි.. මං ෆොටෝ හොයන වැඩේ අතෑරලා දැම්ම... 

Monday, November 11, 2013

රූං පෙත්ත සහ ආගන්තුක සත්කාරය... CHOGM Style


මේ.... 

කට්ටියක් එනව ගෙදට්ට... 

මේ පරණ පුටු වල ඉඳගන්න දෙන්න පුළුවනෑ... 

දම්රෝ එකෙන් අලුත් සෝෆා එකකුයි, ඩයනින් ‌ටේබල් එකකුයි, පුටු ටිකකුයි ගේමු... 

කර්ට්න් ටිකක් මහගන්නත් ඕනෙ.. 

ඒ මිනිස්සු හොඳ තැන් වල මිනිස්සු... 

අපිත් ඒ ගානට ඉන්න එපැයි... 

නැත්තං අපිටනේ ලැජ්ජාව... 

හොඳ තැනකින් කෑම ඕඩර් කරමු.... 

McDonald හරි KFC හරි කෑම ඕඩර් කරමු... 

අපිටත් ඒවා තියෙනවා කියලා පෙන්නන්න එපැයි... 

සල්ලි නෑ තමයි අනේ... 

අපි ලෝන් එකක් ගහමු...  

ගිනි පොළියට හරි කමක් නැ... 

පස්සෙ ගෙවාගන්න බැරියැ... 

මෙහෙම චාන්ස් එකක් ආයිත් එන්නෙ නෑ නේ.... 

Wednesday, November 6, 2013

පොත් කියවිල්ල සහ පිස්සු කතා.... නොස්ටලොජියා සීන්....

වෙනදා වගේම සර්ච් එකක් දාලා පින්තූරෙ හොයාගත්තෙ... ඕනෙ නං කට්ටිය ඉමේජ් සර්ච් දාලා අලගිය තැන් වැල ගිය තැන් හොයාගන්නවා හොඳයි... හි හි... 
මේක ලියන්නම ඕනෙ කියලා හිතුනේ අපේ කකාගේ පරණ කතන්දරයක් කියෙව්වම... පොඩි නෙවෙයි ලොකු නොස්ටලොජියා සීන් එකක්... මම කලින් දවසකත් මගේ පොත් කියවීමේ පිස්සුව ගැන ලිව්වා.. හැබැයි මේ ටික ලියවුනේ නෑ වගෙයි මතක.. කොහොම උනත් අද මාත් කියන්න යන්නේ කකා වගේම කතන්දරයක් වෙන්න ඇති.. හැබැයි ටිකක් දිගයි... හි හි.. 

අපේ අම්මයි තාත්තයි දෙන්නම පොත් කියවන්න පිස්සෝ කියලා තමයි තාත්තා මට කියන්නෙ.. ඒත් මට මතක ඇති කාලෙක අම්මා පොත් බදං කියෝනවා මට මතක නෑ... මං ඉපදෙන්න කලින් ගෙදර තිබ්බ චිත්‍රකතා පත්තර ටික නං ගිනිතිබ්බා කියලා තාත්ත කියනවා... මං ඇහුවම ඒ ඇයි කියලා හැමෝම කිව්වලු ඒවා ළමයින්ට හොඳ නෑ කියලා... අනිත් එක අම්මට මං ඉපදෙන්න ඉන්න කාලේ ඔය වගේ ඒවා කියවන්න දෙන්න එපා කියලා තාත්තගේ නෑයෝ කිව්වලු... මං එදත් කිව්වා ඒක මහ පිස්සු වැඩක් කියලා.. අදත් කියන්නේ ඒකමයි.. මොකද කිව්වොත් අම්මගේ පොත් පත්තර කියවීමෙ ආසාව මට එහෙම පිටින්ම ඇවිත් තියෙන නිසා.... 

සමහර විට ඒකට තාත්තගේ පොත් කියවීමේ ආසාවත් එකතු වෙලා මගේ මේ පිස්සුව හැදෙන්න ඇති.. මොනා උනත් මං මේ කියන්නේ මට හැමදේම අම්මගෙන් එන්න ඇති.. හැබැයි අම්මට වඩා තදට මට ඇවිල්ලා තියෙන්නෙ පොත් කියවිම සහ ලිවීම... ඒ කියන්නේ ඒ දෙන්නටම පොදු එකම ලක්ෂණය ඩබල් වෙලා මට ඇවිල්ල... හි හි... 

පොඩි කාලෙ නෙවෙයි දැන් උනත් මට ඕනෙ දේකට එකපාරටම හිත යන්නේ නෑ.. ඒක ඇඳුමක් උනත්, වෙන දෙයක් උනත් ( කම්පියුටර් කෑලි සම්බන්ධව ඇරුනම) ... හැබැයි තාත්ත කියන විදියට තාත්තට ගොඩක්ම සන්තෝස වෙන විදියට මං හැසිරුනේ මට පොතක් ගෙනත් දුන්නමලු... මට මතකයි අවුරුදු 8දි විතර තාත්ත ඩේවිඩ් කරුණාරත්නගේ රොබින් හුඩ් පොත මට ගෙනත් දුන්න... තාත්ත පොත අතට දුන්නම මං ඒකත් අරං ගිහින් ඉඳගත්ත පුටුවෙන් නැගිට්ටෙ පාන්දර 2 වෙනකම් කියෝලා පොතම ඉවර කරල... 

අම්මගෙන් මට ඇවිත් තියෙන තව දෙයක් තමයි කනකොට පොතක් ඕනෙ වෙන එක... ඕක ගෙදර ඉන්දැද්දි මට තදට තිබ්බා.. පොත කියෝලා ඉවර වෙලා තමයි ඇඳෙන් නැගිටින්නේ... මට විතරක් නෙවෙයි.. අපේ මල්ලිටයි නංගිටයි දෙන්නටත් ඔය පුරුද්ද තියෙනවා... හැබැයි මං කවදාවත් දැකලා නෑ අම්මා එහෙම කරනවා... ඒකයි පුදුම වැඩේ කියන්නේ... අම්මා බඳින්න කලින්ලු ඒ පුරුද්ද තිබ්බෙ.. කොහොමත් අදටත් මං රස කෑමක් හම්බුනොත් කෙලින්ම උස්සගෙන කාමරේට ගිහින් ඇඳට වෙලා පොතක් පෙරළගෙන තමයි කන්නෙ.. පුටුවක ඉඳගෙන කෑවට මට ඒක හරියට රස විඳින්න බෑ... අපේ මහත්තයා කොච්චර බැන්නත් ඒ පුරුද්ද අතෑරගන්න මට බෑ... 

පොත් කියවිල්ල ගැන කකා කියලා තිබ්බ දේ ගැන කල්පනා කරද්දි මං කල්පනා කළා මට එහෙම වෙලා නැත්තේ ඇයි කියලා... මාත් ඔය බර බර පොත් කියෙව්වා පොඩි කාලේ ඉඳලම... අපේ අම්මයි තාත්තයි දෙන්නගෙන් අමාරැ වචන ඇහුවා කියලා මට මතකක් නෑ... මං හිතන්නේ මගේ කියවිල්ල ගොඩක්ම වැඩි නිසා මට අමාරු වචන එන්න නැතුව ඇති... එහෙම නැන්තං මං එහෙම ඒවා ඇහුවම අම්මයි තාත්තයි හිනාවෙලා නිකං ඉන්න ඇති... 

කො‌ෙහාමත් මං පොඩි කාලේ කරපු ගොන් වැඩ වලට කට්ටියම එකතු වෙලා තාමත් මතක් කර කර හිනා වෙන හැටියට මට හිතෙන්නේ ඒවටත් කට්ටියම එකතු වෙලා හිනාවෙන්න ඇති කියලා.. හි හි... 

අපේ තාත්ත අම්මට ගෙනත් දුන්න පොතක් තිබ්බා හෙළු කඳුළු මුහුදට එක් උනාදෝ කියල.. ඕක හංගලා තිබ්බෙ අම්මගේ අල්මාරියෙ.. මං ඕක හොරෙන් කියෙව්වෙ අවුරුදු 13දි විතර.. මට නං ඒකෙ අර තහනම් වැඩක් හොරෙන් කරනකොට තියෙන ආතල් එක වගේ දෙයක් මිසක් වෙන අමුතු දෙයක් තිබ්බේ නෑ.. මොකද තාත්ත මට කියවන්න ගෙනත් දෙන ට්‍රාන්ස්ලේෂන් වල ඒකෙ තිබ්බට වැඩිය ලිංගික චර්යා ගැන විස්තර තිබ්බා...මං ඊට වැඩිය පොත් ඒ වෙනකොට කියෝලා තිබ්බා.. මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා, කොලරා කාලේ ආලේ, ඊවා ලූනා එහෙම මං ඒ කාලෙත් කියවලා තිබ්බෙ කතාවෙ මෙලෝ හසරක් තේරුණේ නැති උනාට... හි හි.. ඒවයේ ඇතුලේ කතාව තේරුම් ගත්තේ ඒලෙවල් පන්තිවලදි ආයිත් කියෝනකොට.. 

මම 9 වසරේ ඉන්න‌ෙකාට මගෙන් එක කෙල්ලෙක් ඇහුවා දූෂණය කරනවා කියන එකේ තේරුම.. මං ඒ වෙනකොට මට ඒක තේරිලා තිබ්බ විදියට කිව්වා මේකයි කියලා.. අවුරුදු කීපයකට පස්සෙ මම දැනගත්තෙ මම ඒක එදා හරියටම කියලා දීලා තියෙනවා කියලා.. එහෙම කියලා දෙන්න මම ඒක තේරුම් ගත්තේ පොත් කියෝල තේරුම් ගත්ත‌ දේවල් වලින්මයි... මොකද ඉස්කෝලවල ඕව කියලා දුන්නයැ...  

කකා‌ෙග කතාවත් එක්කම මට මතක් උනේ මං පොඩි කාලේ අපේ ගෙදර පරිසරය ගැන... සල්ලි තිබ්බෙ නැති මට මතකයි... අපේ ගේ ලෑලි වලින් හදලා තිබ්බා කියලා මට මතකයි... අපේ තාත්තට හරියට කේන්ති යන නිසා මං තාත්තා ගෙදර නැති වෙන දවසට හරි කැමැත්තෙන් හිටියා කියලා මට මතකයි... ඒත් ඒ ඇරුනම අපේ ගේ මට හරිම නිදහස් පරිසරයක් තිබ්බෙ... අම්මා මාත් එක්ක හරියට කතා කරනවා... ගොඩක් වෙලාවට තාත්ත ගෙදර එන්නෙ මං නිදාගත්තම.. උදේට තාත්ත වැඩට යනකොටත් මං නිදි.. ඒත් තාත්ත ගෙදර ඉන්න දවසට තාත්ත හරි ජොලි... කොස්සක් අරන් ගිටාර් ගහනවා... පොඩි රබානක් තිබ්බා, ඒක ගගහා සින්දු කියනවා... ( අපේ තාත්තට සින්දු කියන්න බෑ... හි හි) ආනමාලු ගෙඩියක් කටවල් දෙකට කාලා දානවා... පොල් ගෙඩිය එකපාරින් බිඳිනවා... මාව බයිසිකල් පද්දනවා... මට අවුරදු 7ක් වෙනකම් ඔය සිද්ධිය තමයි... මට මතක විදියට ඒ කාලේ තාත්ත එච්චරම කේන්ති ගත්තේ නෑ.. පස්සෙ තමයි කේන්ති ගැනීම වැඩි උනේ.. 

අවුරුදු 13 විතර වෙද්දි මට ගෙදර නීති තිබ්බා කියලා මතකක් නෑ... කොහොමත් ඉස්කෝලෙ යන කාලේ මගෙන් එච්චර කරදරයක් තිබ්බේ නෑ අම්මලට... ඔය ඉඳලා හිටලා කොල්ලෙක් ගැන කතාවක් ගෙදට්ට ආරංච් උනොත් ඇරෙන්න... ඒත් ඉතිං ඕවට වත් අපේ අම්මා මට බැන්‌ෙන නෑ නේ.... රණ්ඩු නං තිබ්බා.. ඒවා සාමාන්‍යයි නේ.. හැබැයි ඕනෙ එකක් අහන්න පුළුවන් කම තිබ්බ මට... අම්මයි තාත්තයි දන්න විදියට මට කියල දුන්න.. ඒක නරකයි කියලා විතරක් කියන්නේ නැතුව ඇයි ඒක නරකයි කියලා කියන්නේ කියන එකත් මට ‌තේරෙන විදියට කියලා දුන්න... අදටත් ඒ පුරද්ද මට තියෙනවා... අපෙ තාත්තත් එක්ක දේශපාලනේ කතා කරන්න පටන් ගන්නේ මම තමයි හැමදාම... ඊට පස්සේ හැමෝම සෙට් වෙනව ... මං ෂේප් වෙනව.. හි හි

මට හිතෙන්නෙම අපේ ගෙදර ඒ නිදහස මට තිබ්බේ අපේ අම්මයි තාත්තයි තරුණ අය නිසා සහ අපේ ගෙදර වයසක අය හිටියේ නැති නිසා කියලා... ඒ කිවවේ අපේ ගෙදර අපි හතර පස් දෙනා විතරයිනේ... ( පහ කිව්වේ නංගි.. ඒ හොල්මන අපේ ගෙදරට සෙට් උනේ මට 16දි විතර..) 

ආච්චිලා ආපු දවසට හයියෝ කරදරේ.. ( හැබැයි අනිත් ළමයින්ගේ ආච්චිලා එක්ක බලනකොට නං මගේ ආච්චිලා දාහෙන් සම්පනයි.. ඒකත් කියන්න එපැයි..)

මොකද්ද ළමයෝ ඔය ඇඳන් යන්න හදන එක...

ඇයි මක් වෙලද මේකට... මං වෙනදටත් පන්ති අඳින්නෙ මේක තමයි... ( කොට සායක් ඇදන් ක්ලාස් දුවන්න හදනකොට..)

කොහෙද ළමයෝ මෙච්චර වෙලා ගියේ...  

ඇයි ආච්චි.. කෝච්චිය ආපු වෙලාවට තමයි ආවේ... ( ඉස්කෝලෙ ඇරිලා එනකොට..හැබැයි මේක නං කළාතුරකින් වෙන්නෙ..)

මොකද්ද ළමයො ඔය ඉඳගෙන ඉන්න හැටි.. 

ඇයි මක් වෙලාද ඉඳගෙන ඉන්න හැටියට.. ( අපේ සාලේ තිබ්බ දිග පුටුවෙ දිගෑදිලා ටීවී බලනකොට..)

මොකද්ද ළමයෝ ඔය කෑම කන හැටි..”

අයියෝ ආව්චි.. වද නොදී යන්නකෝ කන්න දීලා...” ( පොතක් පෙරළගෙන ඇඳේ බඩ ගාගෙන, තුන් දෙනා තුන් පැත්තට වෙලා බත් කන කොට.. මේක කියන්නේ තුන් දෙනාම එකපාරට..හි හි) 

ළමයෝ ඔය ටීවී එකේ එල්ලිලා හිටියා ඇති.. ගිහින් පොතක් පතක් බලාගන්නෙ නැද්ද...” 

උදේ ඉඳන් පොත් බල බල තමයි හිටියේ ආච්චි.. ( ඉස්කෝලෙ දවස් වලට..)

මොකද්ද ළමයෝ මේ කාමරේ හැටි.. පොත් මේසේ වනසලනේ.. 

කොහොමත් මගේ කාමරේ ඔහෙම තමයි ආච්චි... ( පොත් ටික වනසලා තියෙනකොට විතරයි මට ලේසියෙන් හොයගන්න පුලුවන්.. පිළිවෙලට අස් කරපු දාට මොකක් හරි ඕනෙ දෙයක් හොයන්න මේසෙම පෙරළන්න ඕනෙ.. අල්මාරියටත් ඒ සෙතේමයි...) 

ළමයෝ..  කාමරේ අස්සෙම රිංගලා ඉන්නෙ නැතුව කුස්සියට ගිහින් අම්මට උදවු වෙන්නකෝ.. 

මං පොල් ගාලා දීලා ආවේ ආච්චි...  ( මං ඒ කාලේ අම්මට උදව්වකට කියලා කළේ පොල් ගාලා දීපු එක විතරයි... ) 

දැන් ඔ‌ෙහාම ඉඳලා කසාදයක් බැන්දම අගේට හිටී.. 

හයියෝ .. මං බඳින්නේ නෑ ආච්චි... මොන කරදරයක්ද මන්දා... ( ඇත්තටම කො‌ෙහාමත් අවුරුදු 22ක් විතර වෙනකම් මං බඳින්නෙ නෑ කියලමයි හිටියේ... හි හි) 

මේ ළමයින්ව කොහොම හදනවද මන්දා මුන් දෙන්න..

අම්මෙ ඔය ළමයට කෑ ගහන්න එපා... දැන්නෙ ගෙට ගොඩ උනේ.. ( අම්මලා මුකුත් කරන්නෙ නැති තැන අම්මත් එක්ක එල්ලෙන්න හදන හැටි තමයි..) 

වැඩේ කියන්නේ ඔය ඔක්කොම කියන්නේ මටයි නංගිටයි විතරයි... මල්ලිට මුකුත් නෑ... මට ඒ කාලේ ඉඳලා යකා නඟින එක වැඩක් ඕක තමයි... 

මං එදා ඉඳලම හිතන දෙයක් තමයි අනේ අම්මේ මගේ ළමයින්ට නං ආච්චිලගේ වදේ දෙන්නෙ නෑ කියලා... හි හි... අපේ අම්ම ගැන මට එච්චර ගානක් නෑ.. එයා තාමත් කෙල්ල වගේ... (තාත්ත තමයි ෂුවර් නැත්තෙ..) හැබැයි අපේ නැන්දම්මා නං තාම 70 දශකේ... අනිත් එක පරණ විශ්වාසයන් ගැන ගොඩක් හිතන කෙනෙක්.. අපේ අම්ම මට එදත් කිව්වෙ ඔයාලගේ ළමයි ඔයාලට ඕනෙ විදියට හදාගන්න කියලා.. නැන්දම්මත් එහෙමයි කියලා තමයි කියන්නෙ.. බලන්න වෙන්නෙ හැදුවට පස්සෙම තමා... හි හි


ප/ලි - මේක ලියලා දැන් ටිකක් දවස්... අද පැයක් විතර කකාගේ පෝස්ට් ලිස්ට් එක පෙරළුවා මේක ලියන්න හේතු භූත උන පෝස්ට් එක හොයන්න.. මොන.... ඒකෙ තියෙන පෝස්‌ට් ගොඩ අස්සෙ එක පෝස්ට් එකක් හොයනවා කියන්නෙ පිස්සු හැදෙන වැඩක්... බ්ලොගර් බාප්පත් උදේ ඉඳලා පිස්සු කෙලින හින්දා ඔන්න මෙදා පාර මං ලින්ක් දැම්මෙ නෑ... සොරි කකා.... 

Monday, October 28, 2013

පොඩි උන්ගේ වැඩ... Kids creations.....

ටික දවසක ඉඳන් අද ලියන්නං හෙට ලියන්නං කිය කිය හිත හිත ඉඳලත් නොලියවෙච්චි පොඩි පෝස්ට් එකක් ලියන්න පටං ගත්තෙ... පහුගිය ටිකේ බ්ලොග් පෝස්ට් ලිව්වෙම නෑ... මොකද කම්පියුටරේ පාවිච්චි කළේ ෆිල්ම් බාන්නයි බලන්නයි විතරයි නිසා... හි හි.... ඔව් ඔව්... මෙදා පාර ගිගා බයිට් ඔක්කොම ඉවර වෙලා, ගන්න පුලුවන් උපරිමේටම ඇඩිෂනලුත් අරගෙනද කොහෙද මෙතනින් එහාට ස්ලෝ කනෙක්ෂන්.... 5 වෙනිදා වෙනකං මෙහෙම යං ඉතිං.. වෙන මක්ක කොරන්නද... 

එහෙමයි කියලා අර පහුගිය ටිකේ එටිසෙලාට් එකෙන් බොරු කියලා දුන්න 2GB ගානට 7GB දෙනවා කියල දුන්න සිම් එක පාවිච්චි කරන්න හිතෙන්නෙම නෑ... ඒ වෙලාවෙ පට්ටපල් බොරු ගොඩක් කියලා රු 450යි මාසෙට කිව්ව පැකේජ් එකට මෙන්න දවස් ගානකට පස්සෙ එනවා ඇඩිෂනල් බිල් එකක් රැ.1000ක.... !!! ... ඊට පස්සේ කෝල් කරලා කියනවා ඒක Freedom කියලා පැකේජ් එකක්ලු... දවල් වරුවට 2 GB , රෑට 5GB ලු.. ගන්නකොට නං එහෙම කෙ‌ෙහම්මලක් කිව්වෙ නෑ... ඒ මදිවට ඩිපොසිට් එකක් කියලා ගත්ත රු. 1000 මෙන්න දවස් ගානකට පස්සෙ කනෙක්ෂන් ෆී එකක් වෙලා.... මට එතනින්ම එටිසෙලාට් තිත්ත උනා.... පළවෙනි සහ අවසාන වතාවට එටිසෙලාට් සිම් එකක් හතරට පහට කපලා කුණු ගොඩට දැම්ම ඔන්න හා හා පුරා කියල... හි හි.... කීයක් හරි වැඩිපුර දීල හරි මට නං ඩයලොග්ම හොඳයි... අඩුගානේ උන් මෙච්චර කාලෙකට මට බොරු කියල නෑ... 

හරි හරි.. ඒ කතාව ඉවරයි.. මේ මේ කතාව... 

කලින් පෝස්ට් එකේ මං දැම්මනේ පොඩි වැඩක් පටං ගත්ත කතාවක්... ඉතිං මේ ටිකේ ඕක තමයි කර කර හිටියෙ... ඒ කිව්වෙ මල් හැදිල්ල.. හි හි... පොඩි පොඩි ඩිසයින් කර කර ඉඳලා පහු ගිය ටිකේ තමයි වැඩේ ටිකක් ලොකුවට කරන්න පටං ගත්තෙ.. අපේ මහත්තයා තමයි ෆුල් සපෝට් එක දෙන්නෙ... ඒත් ඒක ගැන නෙවෙයි මේ ලියන්න ගත්තෙ... 

අපේ ගෙදර ඇන්ටිගේ මුණුබුරු මිණිබිරියෝ ටිකට මේ වැඩේ දැක්කම මාර ආස හිතිල... ඇන්ටිත් මට ටීචර්ස් ඩේ ස්විනියර්ස් කීපයක්ම විකුණලා‌ දුන්න.. කොහොම හරි දැං පොඩි උන් ටිකට හරි ප්‍රශ්නයක්ලු මේක කොහොමද හදන්නේ කියන එක... සෙනසුරාදට ඔය දෙන්නෙක් ඉන්නෙ ආච්චි එක්ක.. ඔන්න පහුගිය දවසක අපේ මහත්තයයි මායි කඩේ ගිහින් එනකොට දෙන්නෙක් මඟ බලං ඉන්නවා මේක අහගන්න ... හි හි... 

ඉතිං මාත් දෙන්නවම ළඟින් තියාගෙන මේක හදන හැටි කියලා දීලා, කොල තීරු ටිකකුත් දීලා ඇරියා...  

සති දෙකකට විතර පස්සේ එයාලගෙ තාත්තා මට මෙන්න මේ දෙක ගෙනල්ලා පෙන්නුවා උදේ පාන්දරම... 

මේ තියෙන්නෙ අයියගෙ වැඩේ...



මේ නංගිගේ වැඩේ... 

මේ දෙන්නම තාම අවුරදු 10ට අඩුයි... (මට නම් දෙක නං මතක හිටින්නෙම නැත... )

දෙන්න එක්ක එකතුවෙලා අම්මගේ බර්ත්ඩේ එකට මේ ජාතියෙන් සෙල්ලං දාලා කාඩ් එකකුත් හදල දුන්නලු.. එයාලගේ තාත්ත කියනවා දෙන්න එක්ක ලොකුවට පටං ගත්තට මෙච්චර ලස්සනට හදලා ඉවර කරයි කියල හිතුවෙ නං නෑලු... හි හි... 

ඇත්තටම මටත් මාර හැපි මේක දැකල.. මොකද මේක ඇවිල්ලා අපි පොඩි කාලේ කරපු කොලාජ්, එත‌ෙකාට අර ‌පොල් කුඩු පාට කරගෙන කරපුවා, යෝගට් කෝප්ප කපාගෙන හදපුවා වගේම අත්කම් වැඩක්.. පුංචි කාලේ හිතලා නිර්මාණ කරන්නත්, ඒ වගේ දේවල් වලට අත හුරුවෙන්නත් මේ වගේ වැඩ පොඩි අයට නියමයි... අනිත් එක මේකට එයාලගේ තිබ්බ උනන්දුව... කවුද කියන්නේ දැං ඉන්න පොඩි උන් කම්පියුටරෙයි, ටීවී එකෙයි එල්ලිලා ඉන්නවා කියලා.. ? ඇත්ත කතාව නං මෙයාලා මේවට ආසයි.. හැබැයි ලොකු අයට වෙලාවක් නෑ මේවා කියලා දෙන්න... අපි ලේසියට ටීවී එක දාලා දෙනවා අපේ වැඩ කරගන්න... ඉස්කෝලෙ උගන්නන්නෙ පාඩම් කරන්න විතරයි... මේවා කරන්න කිව්වත් දැං අපි කරන්නෙ ඩෝර් ගාලා කඩෙන් බඩු ටික අරන් දෙන එක විතරයි... අපි පොඩි කාලේ කරපු මේ වගේ වැඩ ටිකක් හරි ළමයින්ට කරලා පෙන්නන්න අම්මලා තාත්තලා වෙලාව හොයාගත්තොත් යන්තං හරි නිර්මාණශීලී පරම්පරාවක් එයි නේ ඉස්සරහට.... 

Wednesday, October 2, 2013

මගේ කෙරුවාව... Teacher's Day Souvenirs....


පහුගිය ටිකේ බ්ලොග් කියවිල්ලට හෙනහුරා ගහලා තිබ්බෙ... යන්තම් අහු උන වෙලාවට පෝස්ට් ටික කියෙව්වට ඉතිං පුසකාපු පෝස්ට් වලට කමෙන්ට් දාන්නත් කම්මැලියි.. ඉතිං කමෙන්ට් දැම්මෙත් ඉඳලා හිටලා... ඒකට ඉතිං අපේ සිරා මලයා එහෙම දකින දකින වෙලාවට බනින්න පටං ගත්ත නිසා මං දන්නවා අනිත් කට්ටියත් දැං බැන බැන ඇති කියල... හි හි... 

ගෙදරට වෙලා සැපට හිටපු මට එක එක ගමන් යන එක මහ එපාම කරපු දෙයක් වෙලා දැං.. ඒත් ඉතිං මොනා කරන්නද... ඒවත් කරන්න එපැයි.. ඒ අස්සට මගේ මේ පොඩියට පටං ගත්ත බිස්නස් එක... වෙඩිං කාඩ්ම කරන්නත් කම්මැලි සහ හැමදාම වෙඩිං කාඩුත් නැති හින්දා පහුගිය ටිකේ වෙන වැඩකට අතගැහුවා...මේ ලියන්න ගත්තේ ඒ ගැන.. (ඒක හින්දා තමයි මේ බ්ලොග් බලන්න වෙලාවත් නැති උනේ... සමහර වෙලාවට ඒ වැඩේ පටං ගත්තම පැය ගානක් ගියත් වෙලාව ගැන මතකයක් එන්නෙ නෑ... අපේ මහත්තයා ගෙදර ඇවිත් ගේට්ටුව ගාවට වෙලා හෝන් ගහනකොට තමයි මට වෙලාව බලන්න මතක් වෙන්නෙ... හි හි...)

මේ සතියෙ ඉතිං අපේ ගුරු දිනේ තියෙනවනේ... ගිය අවුරුද්දෙ ඒ ලෙවල් කරපු අපේ පොඩි එකෙක් මට කතා කරලා කාඩි ටිකක් හදලා දෙන්න කිව්වා විකුණන්න.. ඒත් ඉතිං මට ඔය කඩවල විකුණන්න කාඩි දාන්න හිතක් නෑ.. මොකද ඒවයේ ඩිස්ප්ලේ වලට දැම්මම ටික දවසකින් කාඩි එක චප්ප වෙනවා.. එතකොට කිසි කෙනෙක් ගන්න තියා බලන්නෙවත් නෑ... අපරාදේ මහන්සිය... මං ඒක නිසා කිව්වා කාඩි නෙවෙයි මං වෙන මොනා හරි හදලා දාන්නං කියලා.. ඔන්න ඔහොම තමයි මේ වැඩේ පටං ගත්තෙ.. එතකොටත් මං මේක හදන්න හිත හිත තමයි හිටියෙ.. මේකෙන් උනේ වැඩේ ඉක්මන් වෙච්ච එක... 




මල් ටිකකුත් හැදුවා ඉතිං.... 



ඔන්න ඔහොමයි මං පහුගිය ටිකේ කාලේ ගත කළේ... ඇත්තටම කිව්වොත් කාලේ ගත උනේ... හි හි

අපේ මහත්තයා තමයි රැ එළිවෙනකම් ඇහැරගෙන මේ ඔක්කොටම උදව් කළේ.. එයානේ ඉතිං අපේ ගනංකාරයා... එයාට වගේ නූලටම මේ වගේ වැඩක් කරන්න මට නං කොහෙත්ම බෑ... හි හි... කොහොම උනත් මේ වැඩේ මේ පේන තරම් ලේසිත් නෑ... කොන්දයි බෙල්ලයි නෑ වගේ ඉවර වෙනකොට.. ඒත් ඉතිං හදලා ඉවර උනාම ඒ වගේම සන්තෝසෙකුත් තියෙනවා... අපි ඉස්කෝලෙ යන කාලේ නං ගුරු දිනේට දුන්නේ මේ වගේ අපිම හදපු නිර්මාණ තමයි.. ස්ටොකිනට් මල්, ගිනිකූරු අත්කම්... ඔය වගේ ඒවා.. දැන් ඉතිං අම්මලා ටීචර්ලට ලොකු ලොකු, ගොඩක් ගනං තෑගි අරන් යනවනෙ.. මේක නම් එහෙම ‌ලොකු ගනං  තෑග්ගක් නෙවෙයි... හැබැයි මේක ලස්සනයි.. ඒ වගේම කල් තියාගන්න පුළුවන්... ඒ වගේම ටිකක් කල්පනා කරලා, හිමින් සීරුවෙ කළොත් පොඩි එක්කෙනෙකුට උනත් හරිම ආස හිතෙන වැඩක්.. 

Monday, September 23, 2013

ම‌ගේ අම්මා...

අම්මයි මායි තනියෙන් ගතකරපු දහස් ගනං රැයවල් ගැන මතක් වෙනකොට මට මුලින්ම මතකොට එන්නේ මේ සිද්ධිය...

ගේක සැටලිමකට ගහලා ගලෝපු ලෑලි වලින් වටකරලා, උළු හෙවිල්ලලා බිමට සිමෙන්ති දාපු අපේ ගෙදර සාලෙයි නිදන කාමරෙයි වෙන් කරලා තිබ්බේ අල්මාරියයි කැබිනට් එකයි තියලා.. මට අද වෙනකොට මතක නෑ අපේ ගෙදර සාලේ ඒ කාලේ තිබ්බෙ මොනාද කියලා.. ඒත් නිදන කාමරේ තිබ්බ ඇඳන් දෙකක් එකතු කරලා හදපු ඇඳයි, ටිකක් එහායින් තිබ්බ මේසෙයි, ඊටත් එහා පැත්තෙන් තනි පලේට පොල් අතු හෙවිල්ලලා තිබ්බ කුස්සියයි මට තාමත් මතකයි... 

අපේ අම්ම සැපට හැදිච්ච කෙනෙක්.. මං එහෙම කියන්නෙ සාපේක්ෂව... අම්මලට සල්ලි තිබ්බෙ නැති වෙන්න පුළුවන්.. ඒත් ඉන්න හොඳ ගෙයක් තිබ්බා.. අම්මගේ තාත්තා නැති උනත්, අම්මා පිට රටක හිටියත් අම්මලට ආච්චියි ආතයි හිටියා.. සහෝදර සහෝදරියෝ ගොඩක් හිටියා... ගොඩක් අමාරු කාලෙක උනත් ලස්සනට මඟුලක් කන්න තරම් අම්මලට හැකියාවක් තිබ්බා... 

අම්මා දුක් විඳින්න පටන් ගත්තේ තාත්ත එක්ක ආවට පස්සේ කියලා මට පුංචිම කාලේ ඉඳලා හිතුනා... ඒ අම්මා අඬනවා, කියෝනවා දැකලා නෙවෙයි... අම්මා ජීවිතේට මූණ දෙන්න උත්සාහ කරපු හැටි දැකලා...සමහර විට එදා ඉඳලා අද වෙනතුරුත් මගේ හිතේ තියෙන වෙනස් නොවිච්ච එකම හැඟීම ඒක වෙන්න ඇති... 

අම්මයි මායි තනියෙන් හිටපු දවසක, නිදා ගෙන හිටපු මං ඇහැරිලා බලන‌කාට අ‌පේ ගෙදරට හොරු පැනලා... මං ඇඳ උඩ කෙලින් හිටගත්තාම අනිත් පැත්තේ සාලේ කෑල්ල පේනව.. මට එතනින් පෙන්නේ අම්මා සාලේ ඉන්නවා.. හිටගෙන... මං සාලෙට යන‌ෙකාට දකින්නේ අම්මා හිටගෙන ඉන්නේ හරියට කුරුළු කූඩුවක් වගේ එකක් උඩ.. 

ඕක මං දැකපු හීනයක්... එතකොට මට අවුරුදු 5ක් විතර ඇති... අදටත් මගේ හිතේ තියෙන්නේ අම්මා ඒ හිටපු හැටි... අම්මා ඇඬුවා කියලා මට මතක නෑ.. අම්මා මං දිහා බැලුවෙත් නෑ.. අම්මා බලං හිටියෙ පාර දිහා... 

හැබැයි අම්මා කවදාවත් දුකින් හිටියා කියලා මට මතක නෑ... අපි දෙන්න ඒ කාලේ ඉඳලම එකතු වෙලා පිස්සුම පිස්සු වැඩ කළා... මල්ලි හම්බුවෙනකම්ම අම්මා මාත් එක්ක හිටියේ අම්මා කෙනෙක්ටත් වඩා යාලුවෙක් වගේ... මල්ලි ආවට පස්සේ ටිකක් වෙනස් උනත් අයිත් අපි දෙන්නා මං ඕලෙවල් කරන කාලෙදි ඒ වගේම ළං උනා...

අම්මා ඒ කාලේ...
මං පොඩිම කාලේ හිටපු ගමන් අම්මා උදේට කොණ්ඩෙ කැරලි දෙකකට ගොතලා දෙකට නවලා රිබන් එකකින් ගැටගහනව.. එතකොට අම්මා හරිම ලස්සනයි... කොහොමත් මං ඒ ලෙවල් කරන කාලෙදිත් අම්මා සාරියක් අඳිනකොට වටේට වෙලා කැරකෙන්න හරි ආසයි.. මොකද ඒක මහා මෙහෙයුමක්... ඒ වගේම ඉතිං අම්මා සාරියක් ඇන්දම හරිම ලස්සනයි.. හි හි...

ගෙදර හිටපු කාලෙදිත් අම්මත් එක්ක වලි දාගන්න එක තමයි මගේ වැඩේ.. ඇත්තටම හිතලා බැලුවොත් තාත්ත එක්ක වලි දාගත්තම, අම්මා තාත්තගේ පැත්ත ගත්තම , අම්මත් එක්ක රණ්ඩු වෙන එක තමයි ... නැත්තං අම්මත් එක්ක ලොකු වලියක් ගිහිල්ලම නෑ... ඒත් ඇත්තටම අම්මා ගැන තේරුම් ගන්න පුළුවන් උනේ මං බැඳලා ආවට පස්සෙ...

ඒ කියන්නේ අම්මා මොන තරම් ධෛර්‌යයක් තිබ්බ කෙනෙක්ද කියන එක... ඒ කාලෙදිත් බොහෝදුරට නාගරීකරණය වෙලා තිබ්බ කොට්ටාව වගේ පැත්තක ඉඳලා, පාදුක්ක වගේ හොඳටම කැලෑ පැත්තකට ආපු එකවත්, සහෝදර සහෝදරියෝ ‌‌ගොඩක් මැද්දෙ ඉඳලා, දරුවෙකුත් එක්ක තනියෙන් ලෑලි ගේක හිටපු එකවත්, උසස්පෙළත් පාස් වෙලා හිටපු කෙනෙක් වෙලත් ගෙදරට වෙලා නිකම් ඉන්න සිද්ධ වෙච්ච එකත් කාගෙන හිටපු හින්දවත් නෙවෙයි... තමන්ගේ අත් වලින්ම බ්ලොග් ගල් හදලා ගේ කෑල්ලක් හදා ගන්න පටන් ගත්ත තැන ඉඳන්ම, අපි දෙන්නෙක්ම උස්මහත් කරපු හැටි ගැන මම හොඳට දන්න හින්දවත් නෙවෙයි... අවුරුදු 20ක්ම තමන්‌ෙග් හීනේ හිතේ තද කර ගෙන, තමන්ගේ වගකීම් යුතුකම් ඔක්කොමත් ඉෂ්ඨ කරලා, අවුරුදු 20කට පස්සේ තමන්ගේ හීනේ හැබෑ කරගන්න උත්සාහ කරලා සාර්ථක වෙච්ච නිසා... 

ඒ තමයි කේක් ෂොප් එක... 

තාම එල්ලපු නැති අලුත් බෝඩ් එක
ලෑලි ගෙදරින්, අලුත් ගේ එක කෑල්ලක් විතරක් හදාගෙන පදිංචියට ආවට පස්සේ අම්මා ගෙදර ඉඳන්ම කේක් හැදුවා මට මතකයි... වෙඩින් කේක් හදන්න ගිහින් රට ඉඳි වංගෙඩියේ දාලා කෙටුවා කියලා අම්මා කියන්නෙ... පස්සෙ මස් අඹරණ, අතින් කරකවන මැෂිමක් ගත්තා.. මට ඒක මතක හරියට මේසෙට හයිකරන හිරමණයක් වගේ... බේකරියෙන් තමයි කේක් එක පුච්ච ගන්නෙ... ඒවා පාන් පෝරණු.. කේක් එක සමහර වෙලාවට බාගයක් කරවෙනව... අහල පහළ ළමයන්ගේ බර්ත්ඩේ කේකුත් අම්මා දිගටම හැදුවා.. ඒ සල්ලි හංගලා තියන්නේ කුස්සියේ තිබ්බ පොඩි බේකිං පවුඩර් ටින් එකක... මට මතකයි මං සැරින් සැරේට පැන්සල්, මකන කෑලි ගන්න සල්ලි ඉල්ලනකොට අම්මා සල්ලි ගන්නේ ඒ ටින් එකෙන් කියලා දැකලා තියෙන නිසා... 

මං ඒ ලෙවල් කරල ඉවර වෙන කාලෙ වෙනකොට අම්මා අසනීප වෙන්න ගත්තෙ අපිව වදන්නයි හදන්නයි ගිහින් අම්මා දුර්වල වෙච්ච නිසා කියලමයි අද මට හිතෙන්නෙ... ඒත් තාත්තට ඒ වෙන‌ෙකාට යම් තරමක පඩියක් හම්බුවෙන හොඳ කම්පැණියක රස්සාව තිබ්බ නිසා අම්මගේ අසනීප හොඳ කරගන්න පුළුවන් උනා... 

කේක් හදන්න අම්මා දැනගෙන හිටියත්, කාලෙකට පස්සේ හැමදෙකම අලුත් දේවල් ඉගෙන ගන්න ඕනෙ නිසා අම්මා ආයිත් පන්ති යන්න පටං ගත්තේ මං A/L කරන කාලෙදිද කොහෙද... Clement සර්ගේ ක්ලාස් එකේ ඒ අවුරුද්දෙ හිටපු වැඩිම වයස කෙනා අපේ අම්මා වෙන්නැති... කේක් කලාවේ අලුත් ටෙක්නික්ස් ඉගෙන ගත්තා මිසක් නිර්මාණශීලීත්වය කියන එක අලුතින් ඉගෙන ගන්න ඕනෙ කමක් අම්මට තිබ්බෙ නෑ.. ෂොප් එක පටන් ගනිද්දි අම්මගේ සර්ම තමයි ෂොප් එක ඕපන් කළෙත්...

ෂොප් එක පටන් ගත්ත දවස් ටිකත් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ...අපිට කේක් හදන්න මැෂින් තිබ්බෙ නෑ නේ.. අතින් තමයි බීට් කළේ.. අපි හතර දෙනාට අමතරව ඒකට උදවු වෙන්න අම්මගේ අයියලා මල්ලිලා නංගිලා පවුල් පිටින් අපේ ගෙදර ආවේ.. ඒ හැමෝම ඇවිත් උදවු උනා කඩේ ඕපනින් එකේ ඉඳල මාස ගානක් තිස්සේ කේක් හදන්නත්... මොකද අම්මටයි තාත්තටයි අපි දෙන්නටයි විතරක් කේක් ඔක්කොම අතින් බීට් කරන්න බැරි නිසා... 

තාමත් අවුරුදු දවස්වලට ඒ කට්ටිය ඉන්නේ අපේ ගෙදර තමයි... ඉස්සර නං මං ගෙදර ඉඳන් කේක් හැදුවා අම්මා කඩේ ඉන්නකොට.. දැන් නං කේක් හදන්නෙත් ෂොප් එකේම තමයි... ඒක ඇත්තටම ලේසියි.. අවුරුදු කාලෙට සමහරු කේක් අරන් යන්නේ පාන් වගේ... අවන් එකෙන් බාපු ගමන් රස්නෙ පිටින්... හි හි... 

මං අහුවෙන්නෙ රටඉඳි කපන්න... පොල් ගාන්න... හෑන්ඩ් බීටරෙන් බීට් කරන්න.. 

දැන් ඒ හැමදේකටම මැෂින් තියෙනව.. හැබැයි රට ඉඳී කැපිල්ල නං තාමත් අතින්ම තමයි.... හාපෝ.. මතක් වෙනකොටත් එපා වෙනවා... හි හි...

කේක් ‌ෂොප් එක පටං අරන් දැන් අවුරුදු 10ක් විතර වෙනව... කඩේ දියුණුවත් එක්ක අම්මත් අසනීප වෙනව වැඩියි වගේ... ඒත් අම්මා තාමත් අතෑරලා නෑ වැඩේ.. මේ ටිකේ ක්ලචර්ස් ගන්න හදනවා.. කකුල අමාරුයි කියලා.. අම්මට තියෙන්නේ ඔස්ටි‌යෝ ආතරයිටිස්... තාම ඇවිදින්න බැරි ගතියක් නෑ.. ඒත් කකුල පැත්තට යනවා වගේ තේරෙනවලු... ඒක නිසා පහුගිය ටිකේ මං ගියා උදව්වට.. ඒත් මටත් ඒක දිගටම කරන්න බැරි වෙයි.. කේක් හැදිල්ලට අම්මට තියෙන දක්ෂකම මට තියෙනවා කියලා මම හිතන්නේ නෑ... අම්මගේ ෂොප් එක නිකම්ම තවත් එක කේක් බිස්නස් එකක් වෙනවටත් මගේ කැමැත්තක් නෑ... අම්මට කරන්න පුලුවන් තරම් කල් කරන්න උදවු වෙන එක විතරයි මට කරන්න පුලුවන්...

අම්මයි මායි.... 
අම්මගේ හිත මට හැමදාම තේරුණා... අම්මා විඳපු දුක් මට එදත් තේරුණා.. අද වෙනකොට ඊටත් වඩා හොඳට තේරෙනවා... අම්මත් ඒක දැනගෙන හිටියා.. ගොඩක් වෙලාවට අම්ම මාව තේරුම් ගන්නව අදටත් අනිත් අයට වඩා හොඳට... අම්මට මොන වගේ ධෛර්යයක් තියෙනවද කියල මං දන්නවා... අම්ම වගේ වෙන්නයි මටත් ඕනෙ කළේ හැමදාම... සමහර විට මං තාමත් හීන මවන්නෙ අම්මා වගේ වෙන්න වෙන්නැති කියල මට හිතෙන්නෙ... මගේ ලෝකෙ හැමදාම රෝල් මොඩ්ල් වෙලා ඉන්නේ මගේ අම්මා තමයි...

ප/ලි
පහුගිය ටිකේම හැමදාම ගෙදර ගියා.. අම්මගේ ගෝලයා නැතුව වැඩ කරන්න බැරි හින්දා.. ඒ අස්සෙ මගේ පුංචි පුංචි නිර්මාණ වලටත් වෙලාව ගිය නිසා බ්ලොග් අතෑරලම දාලා වගේ හිටියෙ... ඒක නිසා හෙන ලොට් එකක් තියෙනව දැන් කියවන්න... හි හි... 

ප/ප/ලි 
අපේ අම්මයි තාත්තගෙයි ලවු ස්ටෝරි එක මං කලින් ලිව්වනේ... කියෙව්වෙ නැත්තං ඔන්න පාර...  ආදර කතාවක් කියන්න හිතුනා... 

Wednesday, September 4, 2013

කෝච්චි කතා.... Train memories...


අද මේක ලියන්න හිතුනෙ අපේ කකාගේ අද කතන්දරේ දැකලා... කෝච්චියේ ජෝඩු දමා ආවෙමි කියල දාලා තියෙන එක... කොහොමත් කකාගේ සමහර වෙබ් ලොග් පෝස්ට් කියෙව්වම මටත් ලියන්න දේවල් මතක් වෙනවා.. හැබැයි ගොඩක් ඒවා තාම තියෙන්නෙ ටයිප් කරපු ගමන්මයි... මොකද ලියලා ඉවරඋනාට පස්සෙ හිතෙනවා මෙළෝ රක් නෑ හලෝ කියලා.. හි හි... 

ඒත් අද එක නං ලියනවා, ලියලා බ්ලොග් එකේ දානවාමයි කියලා හිතාගත්තා... 

මේ බ්ලොග් එක බලන ගොඩක් අය දන්නවා මායි අපේ මහත්තයයි කෝච්චි ලවු කාරයෝ කියලා... ඒ ඉතිං ඉස්කෝලෙ යන කාලේ ඉදලමනෙ... මේ ඒ කාලෙ වෙච්ච සිද්ධියක්... 

පාදුක්කෙ කෝච්චි ස්ටේෂම ගැන දන්න අය නං දන්නවා ඒකෙ පිහිටීම... සුද්දන්ගේ කාලේ ස්ටේෂම එක පැත්තකත්, අලුතින් ෆවුසි ලොක්කා හදපු ස්ටේෂම අනිත් පැත්තෙත්, ඒ මැද්දෙ රේල් පාරවල් තුනක් තියෙන ස්ටේෂමක්නේ ඒක... ඕකෙ පරණ ස්ටේෂම තියෙන්නෙ බස් ස්ටෑන්ඩ් එක පැත්තෙ.. ඒ කියන්නේ ටවුම පැත්තෙ.. පාරවල් තියෙන්නෙත් ඒ පැත්තෙමයි... අනිත් ස්ටේෂම තියෙන්නෙ රේල් ක්‍රොසිං එකෙනුත් පැනලා වට රවුමක් ගැහුවම තමයි.. ඒ පැත්තෙන් කෝචිචියට එන කට්ටියත් ටිකක් අඩුයි... ( ස්ටේෂන් දෙක යා කරලා පාලමකුත් තියෙනවා.. ඒත් ඒක නං වැඩිපුර පාවිච්චි වෙන්නෙ නෑ.. ඒක තවත් රවුමක්..) කොහොම හරි ටිකට් ගන්න නං අලුත් ස්ටේෂමට යන්න ඕනෙ... ඔන්න ඕක තමයි කතාවෙ මුල... 



මේ තියෙන්නේ අලුත් ස්ටේෂම පැත්ත... ෆොටෝ එක අරන් තියෙන්නේ රේල් ක්‍රොසිං එක පැත්තෙ ඉඳලා..  පාදුක්කෙ ඉඳලා මීපෙට යන පාර තියෙන්නේ එතන.. අර පාලම දාලා තියෙන පැත්ත කොච්චර දුරද සහ අපහසුද කියලා පේනවනෙ.. ඔන්න අපේ අයගේ ප්ලෑනිං... 
ෆොටෝ එක හොයා ගත්තෙ ගූගල් බාප්පගෙන්.. මෙන්න මෙතන තිබිලා.. 


මේකෙ මේ ආච්චි කෙනෙක් හිටගෙන ඉන්න පැත්තෙ තමයි පරණ ස්ටේෂම හෙවත් පළවෙනි වේදිකාව තියෙන්නෙ.. ෆොටෝ එක ගූගල් එකෙන් තමයි... 

ස්කූල් ට්‍රේන් කියලා ජාතියක් ලංකාවෙ තියෙනවා කියල අහලා තියනවද... කැළණිවැලි එකේ නං දෙකක් තිබ්බා.. පාන්දර 5.40.. ඕක පස්සේ 6.00 වෙලා ඊටත් පස්සේ 5.30 වෙලා, දැන් 5.25 වෙලා තියෙන්නෙ.. හැබැයි දැන් අමතර කෝච්චියක් දුවනවා 6.00ටත් ... අපිට ඉස්කෝලෙ පටන් ගත්තා 7.30ට කාලයක්.. ඊට පස්සේ 7.45 උනාද මන්ද.. කොහොම හරි ඒ කාලෙ අපේ සෙට් එකම ගියෙ පහයි හතලිහේ... ඕක පටන් ගන්නෙ පාදුක්කෙන්.. ඒ කියන්නෙ රෑට නවත්තලා තියෙන්නේ පාදුක්කෙ ස්ටේෂමේ... අවිස්සාවේල්ල පැත්තෙ ඉඳලා එන කෝච්චි, පොතේ හැටියට දෙවනි වේදිකාව හෙවත් අලුත් ස්ටේෂම පැත්තෙ නැවැත්තුවට මෙයා ඉන්නෙ පරණ ස්ටේෂම පැත්තෙ... එක්කො වේදිකාවක් නැති මැද පීල්ලෙ ඉඳලා උදේ පාන්දරට මාරු වෙනවා පළවෙනි වේදිකාව හෙවත් පරණ ස්ටේෂම පැත්තට...  

ඔන්න එක දවසක් මට කෝච්චිය මිස් උනා... මේකා මාව පෙනි පෙනිත් දාලා ගියා... වෙනදට නං බයික් එකෙන් බැහැලා දූවගෙන ඇවිත් කෝචිචියෙ එල්ලුනාට එදා වැඩේ කචල්.. මොකද සීසන් එක ඉවරයි.. සීසන් එක 30 හෝ 31 ඉවර උනාම පළවෙනිදට ගිහින් එන්න පුළුවන්.. දෙවනිදට යන්න පුළුවන්.. එනකොට ටිකට් ගන්න ඕනෙ.. මේ මං කිව්ව දවස තුන්වෙනි දවස... ටිකට් ගන්න අනිත් ස්ටේෂම පැත්තට ගියාට ආයිත් එන්න පරක්කුයි... ඔය වගේ වෙලාවට අපි කරන්නෙ කෝචිචිය පස්සෙන් එළෝගෙන යන එක... හි හි... 

ඒ කිව්වෙ මාව උදේට එක්කන් එන්නෙ තාත්ත හරි අම්ම හරි ස්කූටරේනේ.. ඉතිං එහෙම්මම කෝච්චිය පස්සෙන් පන්නගෙන ගියාම ඊළඟට නවත්තන ස්ටේෂම, ඒ කියන්නේ වටරැක ස්ටේෂමේදි කෝච්චිය අල්ලගන්න පුළුවන්... ඒකත් බැරි උනොත් මීගොඩට හරි ගිහින් කෝචිචිය අල්ලගන්න තරම් උවමනාවක් අපිට තිබ්බා.. මොකද කිව්වොත් යාලුවො ටික නැතුව යන්නත් කම්මැලියි.. ඊළඟ කෝචිචියෙ යන්න හිටියොත් පරක්කු වෙනවා... බස්‌ එකේ යන එක නං මහා කරුමයක්.... ඊටත් වඩා ඉතිං මට මගේ කොල්ලව මිස් වෙනවනේ... හි හි

ඔය කාලේ ටිකට් ගැනත් එක එක වැඩ තිබ්බා... කෝච්චියට පාදුක්කෙන් නැඟලා, වටරැකින් බැහැලා ටිකට් අරන් ආයිත් කෝචිචියට නඟින වෙලාවලුත් තිබ්බා.. බැහැලා, දූවගෙන ගිහින් ටිකට් එක අරන් ළඟම තියෙන පෙට්ටියට නඟිනවා.. ඊට පස්සේ ඊළඟ ස්ටේෂමෙන් බැහැලා යාලුවො ඉන්න පෙට්ටියට දුවනවා... හි හි... ඔය කාලේ වැඩි හරියක් යන්නෙ ඉතිං ෆුට්බෝඩ් එකේ තමයි... 

ඔන්න ඉතිං එදත් ඒ විදියට පස්සෙන් එළෝගෙන ගිහින් මං කෝචිචියට වටරුකින් නැඟගත්තා... හති දාගෙන මං යාලුවො ටික ගාවට යද්දි මෙන්න මුන් ටික මහ කැත විදියට මට හිනාවෙනවා... මං හිතුවා මං දුවගෙන ඇවිත් එල්ලුන විදිය හින්දා වෙන්න ඇති කියලා... නෑ.. මුන් හිනාවෙන්නෙ ෆුට් බෝඩ් එක දිහා බලාගෙන... මාත් හැරිලා බැලුවා... 

මෙන්න අපේ මහත්තයා ඉන්නවා ෆුට්බෝඩ් එකට වෙලා හිනාවේගෙන..... 

මට නේද මාර ජොලි.. ඒ මදිවට පපුවත් නිකං කෝච්චි ඇංජිම වගේ සද්දෙන් ගැහෙනවා... අරයගෙත් කට කනේ... හි හි... 

( හැබැයි ඒ කාලෙ ඉතිං පස්සෙන් එන එක්කෙනෙක් විතරයි...) 


මේකනේ උනේ.. මං කෝචිචියට පාදුක්කෙන් නැග්ගට, මෙයා නඟින්නෙ නුගේගොඩින් හරි උඩහමුල්ලෙන් හරි... එදා මොකක්ද වැඩකට කළුඅග්ගල ගිහින් මහ පාන්දර නැගිටලා ඇවිත් මාව අල්ලගෙන පුදුම කරවන්න අපේ කෝච්චියට නැගලා.. අනේ දෙයියනේ එදා මං පරක්කු වෙලා කෝච්චිය මිස් උනා නං එහෙම මගේ කොල්ලා පවු.... 

ඔය විදියම සර්ප්‍රයිස් එකක් දුන්නා මට මෙයා ආයිත් දවසක්.. ඒක පස්සෙ දවසක වෙන කතාවක් එක්කම ලියන්නං නේද... හි හි

Monday, August 19, 2013

මට හැදිච්ච තවත් නොම්බර එකේ පිස්සුවක්...

සාමාන්‍යයෙන් පිස්සු කියන ඒවා කාලෙන් කාලෙට වෙනස් වෙනවනේ... මටත් ඔය එක එක කාලෙට, එක එක පිස්සු හැදිලා, සල්ලි නැති හින්දා නිකම්ම හොඳවෙනවා.... සමහර ඒවට නං සල්ලි ටිකක් වියදම් වෙලත් දක්ෂතාවයක් නැති හින්දා එපා වෙලා යනවා.... ඒත් ගොඩක් පිස්සු හොඳ වෙන්නෙ කම්මැලිකම ඉහට ගැහුවම තමයි.... ඒ උනත් විනෝදාංශ කියන ඒවා කොච්චර තිබ්බත් නරක නෑ කියන එකයි මගේ පිළිගත්ත අදහස.. ඒක නිසා එක පිස්සුවක්වත් උත්සාහ නොකර අතාරින්නේ නෑ... සමහර වැඩ කරන්න ගිහිල්ලා වටේම ඉන්න අයට අවුරුදු ගනං මාව අල්ලන් නෝණ්ඩි කරන්න මාතෘකා සපයලා දීලා තියනවා... මතකනේ මං අර එක දවසක් කිව්ව සම්බා කිරිබත් සීන් එක.. හි හි... 

මේ පහුගිය දවස්වල ඒ වගෙ පිස්සුවක් ඉහට ගහලා තිබ්බෙ.. කාලයක් තිස්සෙ හැදිලා තිබ්බ පිස්සුවක් උනාට එච්චර තද වෙලා තිබ්බෙ නෑ... අර පුරහඳ කිට්ටුවෙන කොට වැඩි වෙන ජාතියෙ ඒවා වගේම මේකත් වැඩි උනේ අයිලාෂ් අයියගේ පෝස්ට් ටික දැකලා... ඒ මදිවට අර සමනලියටත් මේ පිස්සුව හැදිලා තිබ්බා දැක්කා.. සමනලියගේ ෆොටෝ ටිකත් මාර ගති.. ගිහින් බලන්නකෝ ... 

ඉතිං පහුගිය ටිකේ අපේ මහත්තයා කැඩිච්ච වෑන් එකක් කෑලි කරගෙන ඉන්න අස්සේ මං වත්ත වටේ ඇවිද ඇවිද ෆොටො ටිකක් ගත්ත.. හැබැයි ඒ මගේ ෆොන් කැමරාවෙන්... ටික වෙලාවකින්ම වැඩේ එපා උනා... අතෑරලා දැම්මා.. 


මේක ගත්තෙ ෆොන් කැමරාවෙන් 




අද උදේ එළියට බහිද්දි ඇන්ටිගේ මල් පාත්තියේ මල් ටිකක් දැකලා ආයිත් පිස්සුව උත්සන්න උනා.. හෙට පෝයනේ .. ඒ හින්දා වෙන්නැති.. කොහොම හරි කැමරාවේ බැට්රියත් තිබ්බ එකේ ඔන්න පැයක් විතර දගලලා ෆොටෝ දෙකක් තුනක් ගත්තා.. 

මේ අර මැක්‍රොෆොටෝ පිස්සුව ගැන තමයි මෙච්චර වෙලා කියෙව්වෙ... මොකද කිව්වොත් අයිලාෂ් අයියගෙ පෝස්ට් ටික කියෝනකං මං දැනං හිටියෙ වත් නෑ මැක්‍රො ඔප්ෆන් එකේ තේරුම මොකද්ද කියලවත්.... හි හි..... 



කැන්ඩියන් ඩාන්සර් කියන මලේ නම හරියටම හරි කියලා හිතුනේ 
මේ ෆොටෝ එක අරන් කම්පියුටරේට දාලා බැලුවම තමයි... 



මහ කැත කඩියෙක් අප්පා... හි හි

මේ පිස්සුවෙ ආරම්භය ගැනත් ටිකක් කියන්න එපැයි... කොහොමත් මට ඉස්කෝලෙ යන කාලේ ඉඳලම ‌ෆොටෝ ගැනීමේ ආසාව තිබ්බ.. හැබැයි ඉතිං කැමරාවක් තිබ්බේ නෑ.. ගෙදර තිබ්බ කැමරාවත් අල්ලන්න හම්බුනේ ඒලෙවල් ක්ලාස් එකට ආවට පස්සෙ තමයි... ෆොටොග්‍රැෆි කරන්න ආසාවක් ඒ කාලේ ඉඳලම තිබ්බත් ඉතිං මට තිබ්බ වැඩ කන්දරාවේ හැටියටයි, අතේ මිටේ සල්ලි නැති වීමයි හින්දා ඒක නිකම්ම යට ගිය කතාවක් විතරක් උනා... 

ඒ කාලෙදිම දැනගත්තා අපේ මහත්තයටත් ( ඒ කාලේ නිකම්ම මගේ පස්සෙන් එන එක්කෙනෙක් විතරයි.. හි හි) ෆොටෝග්‍රැෆි වලට උනන්දුවක් තියෙනව කියලා... ඒත් මේ ළඟදි දවසක් මං ඔය ගැන කතා කරද්දි මෙයා කියනවා එයාට ෆොටෝග්‍රැෆි වලට ආසාවක් තිබ්බෙ නෑලු.. දැං බැලුවාම කිසිම විනෝදාංශයක් නැති කෙනෙක් ගැන උදාහරණ ඕනෙ නං අපේ මහත්තයා තමයි හොඳම කෙනා...හි හි... 

ඔන්න එයාට කැඩිච්ච බස් කට්ටක් හරි වෑන් කට්ටක් හරි හම්බුනොත් නං අල්ලගෙන දඟලයි දවසම උනත්... හැබැයි ඒකට විනෝදාංශයක් කියන්න පුළුවන්ද කියල නං මං දන්නේ නෑ... හි හි.... 

කොහොම හරි සල්ලි නැති කමට සහ කරන්න වෙන වැඩ ජාති තිබ්බ නිසා යට ගිහින් තිබ්බ මේ පිස්සුව, ආයිත් හැදෙන්න මුල් උනේ මෙන්න මේ ෆොටෝ බ්ලොග් එක තමයි... පිස්සුව වැඩි කළේ අයිලාෂ් අයියා...  

ඔන්න ඔහොමයි හොඳට හිටපු මටත් කට්ටිය එකතු වෙලා පිස්සු හැදෙව්වෙ....  හැබැයි මට ඒකටත් දක්ෂකමක් නං නෑ වගේ කියලා තමයි දැනට දැනෙන්නෙ...  තව පිස්සු හදාගන්න කැමති අය ඉන්නව නං ගිහින් බලන එකයි ඇත්තෙ... හැබැයි ඊට පස්සේ මට එහෙම බනින්න එපා... ඔන්න කලින්ම වෝනිං දුන්නා.. ගියොත් පිස්සුව හැදෙනවාමයි.... හි හි

Tuesday, August 13, 2013

වෙන දේ, දකින දේ සහ මට හිතෙන දේ...


 

  • පුවත - මයාමි වෙරළ ප්‍රදේශයේ 18 හැව්රිදි තරුණයෙක් නීත්‍යානුකූල පොලිස් ටේසර් ගන් ප්‍රහාරයකින් මියගියේය.
  • පසුබිම - 18 හැවිරිදි ඊස්‍රයල් හර්නැන්ඩිස්-ලාච් නමැති තරුණයා අතහැර දැමූ මැක්ඩොනල්ඩ්ස් ගොඩනැගිල්ලක බිත්තියේ නීතිවිරෝධීව චිත්‍ර අඳිමින් සිට පොලිසියේ අණ නොතකා පලායන විට, මයාමි පොලිසිය විසින් විදුලි කම්පන ආයුධයකින් (ටේසර් ගන්)කම්පනයට පත් කිරීමෙන් අනතුරුව මිය යන ලදී.
  • ජනතා ප්‍රතිචාරය - මියගිය තරුණයා වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ජනතාව වීදි බැසීමත් සමඟම පොලීසිය විසින් මෙම ආයුධය මේ වන විට වැඩි වශයෙන් පාවිච්චි කරන බවටද කතිකාවතක් පැන නැඟී ඇත.එමෙන්ම මෙම ආයුධය පාවිච්චි කිරීමෙන් ඇතිවන අතුරු ප්‍රතිඵල පිළිබඳවද පුළුල් කතිකාවතක් පැන නැඟී ඇත.
  • පොලිසියේ ප්‍රතිචාරය - මේ වන විට අපරාධකරුවනගේ බිහිසුණු බව වැඩි වීම නිසා පොලිස් නිළධාරීන් පවා තුවාල ලබන අවස්ථා ඇති නිසා ටේසර් ගන් ආයුධයේ ඵලදායීත්වය පහත වැටි ඇති බවයි.



  • පුවත - වැලිවේරිය, රතුපස්වල හමුදා වෙඩිතැබීමෙන් 16 හැව්රිදි පාසල් සිසුවෙක් සහ තවත් කිහිප දෙනෙක් මිය ගියහ.
  • පසුබිම - වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ පානීය ජල ප්‍රශ්නයක් හේතුවෙන් දැක්වූ විරෝධතාවයකදී, විරෝධතාකරුවන් පලවා හැරීම සඳහා සිදුකල වෙඩි තැබීමකදී අකිල දිනේෂ් ජයවර්ධන නමැති 16 හැව්රිදි පාසල් සිසුවෙක් හා තවත් කිහිප දෙනෙක් මිය ගියහ. පොලිසිය පවසන්නේ නිසි ක්‍රියාපටිපාටියෙන් බැහැරව හමුදාව විසින් මෙම වෙඩිතැබීම සිදුකරන ලද බවයි. 
  • ජනතා ප්‍රතිචාරය - විවිධ කණ්ඩායම් මඟින් මේ සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වුවද ජනතා සංවිධානාත්මක බවක් දක්නට නොමැත. ෆේස් බුක්, ට්විටර් සහ අනෙකුත් සමාජ ජාල හරහා රජයට චෝදනා කරමින් බැනර්, පෝස්ටර් පළවීමට පටන් ගෙන ඇත. මියගිය තරුණයා වෙනුවෙන් ශෝක ප්‍රකාශ සහ රජයේ හමුදාවල ක්‍රියාකලාපය විවේචනය කරමින් සහ උපහාසයට ලක්කරමින් පළ කරන ප්‍රකාශ මේ අතර වේ.
  • රජයේ ප්‍රතිචාරය - ඊට අමතරව රජය විසින් මියගිය සිසුවාගේ අවමඟුල ඉතා ඉහල අන්දමින් සිදු කිරීමට පියවර ගෙන තිබේ. 


මට හිතෙන දේ.... 

දැන් ඉතිං මට මතක් වෙන්නේ Megamind කියන සුපිරි වීර කතාව .. මෙගාමයින්ඩ් වෙච්ච සුපිරි දුෂ්ටයා, මෙට්‍රො මෑන් කියන සුපිරි වීරයව බොහොම අමාරුවෙන් පරාජය කළාට පස්සේ මෙට්‍රොසිටි කියන නගරය අයිතිකරගන්නවා... ඒත් ටික දවසකින් දුෂ්ටයට තේරෙනවා සුපිරි වීරයෙක් නැතුව සුපිරි දුෂ්ටයෙක්ගෙන් ඇති වැඩක් නෑ කියලා.. ඉතිං එයා නැවත සුපිරි විරයෙක් නිර්මාණය කරනවා... අපේ රටටත් වෙලා තියෙන්නේ ඒ ටිකම තමයි කියලා මට හිතෙන්නේ.... 

අපේ රටේ මිනිස්සුන්ව ටේසර් ගන් වලින් කම්පනය කරන්න දෙයක් නෑ.. අපි ඔක්කොම නිර්වින්දනය වෙලා ඉවරයි දැනටම... පවතින රජයට අභියෝගයක් වෙන්න පුළුවන් විශ්වාසය තැබිය හැකි විපක්ෂයක් නැති කම, දවසින් දවස ඉහල යන ජීවන වියදම, මාධ්‍ය මඟින් ඉදිරිපත් කරන සුරංගනා කතා වලින් හිත සනසගෙන ඉන්න මිනිස්සුන්ට වෙන විකල්පයක් තියෙනවා කියල හිතන්නත් බෑ... ඒ මදිවට සති දෙකෙන් දෙකට එක එක අලුත් නාඩගම් එළිදැක්වෙන මේ රට තනිකරම නාඩගම් මඩුවක් වෙලා ඉවරයි... 

ප/ලි : සිදුවිම් ගැන කතන්දර බොහෝදුරට නිර්මාණාත්මක නිරෑපණයක් පමණයි. වැඩි විස්තර සර්ච් එකක් දාලා හොයාගන්න.. ඒ කියන්නේ තාම දන්නේ නැත්තං විතරක්... 

ප/ප/ලි : ටේසර් ගන් ගැන විස්තරයක් මෙන්න මෙතන තියෙනවා.. 

මයාමි සිද්ධියේ පින්තූරය ගත්තේ මෙතනින්... සිද්ධිය ගැන විස්තරෙත් මෙතන තියෙනවා.. ලංකාවේ සිද්ධියේ පින්තුරයේ නං මුල්ම තැන හොයාගන්න බැරි උනා.. හැබැයි වෝටර්මාක් එකේ හැටියට sinhala.adaderana.lk වෙන්න ඕනේ තැන...  

Tuesday, August 6, 2013

පස්-වල-රතු-ලේ....

විසිකළෙමි
තිස්වසක් පය ගැටුනු,
ඉරීගිය මුවහම

පෙරළමි
කුණු ගඳ ගහන
කුණු කඳු, කුණු බාල්දි

සොයමි
තව කාලයක්,
තඩිබාන්න මුවහමක්


ප/ලි : බ්ලොග් කියෝ කියෝ ඉඳලා හිතිච්ච දෙයක්.... 

Tuesday, July 23, 2013

කෙල්ලොන්ව ඇස් වගේ පරිස්සම් කරන අම්මලට... Drugs and youth




මගේ බ්ලොග් එකටයි, මගේ බ්ලොග් කියවිල්ලටයි පහුගිය ටිකේ පොඩි නිවාඩුවක් දෙන්න උනා... වෙඩිමක් හින්දා... ඒත් වෙලාවක් අහු උන ගමන් කට්ටියගේ පෝස්ට් ටික නම් කියෝගෙන කියෝගෙන ගියා... කමෙන්ට් එකක් දෙකක් නොදා එන්න බැරි තරමට අත කසන ගතියක් දැනුන ඒවට විතරක් අපේ මහත්තයගෙන් බැනුම් අහ අහ කමෙන්ටුත් දැම්මා... කොහොමහරි දැන් නං එහෙ මෙහෙ දිවිල්ල ඉවරයි... දැන් ගෙදර... හි හි... 

ගොඩක් දේවල් ලියන්න කියලා ඒ ඒ වෙලාවට හිතාගත්තට දැන් නම් ඒ මොනාද කියලවත් මතක නැති ගානයි... වෙනදට නං පොඩි නෝට් එකක් ගහගන්නවා ළඟ තියෙන නෝට් බුක් එකේ.. මේ ටිකේ ඒකත් බැරි උනා... 

ඒ අතරෙම පොඩියට පටන් ගත්ත වෙඩින් කාඩ් වැඩෙත් කරගෙන යනව.. මගේ මාකටින් නං අන්තිමයි... මං කාඩ් සාම්පල් ටික දැම්මේ ලොකුම වෙඩින් සීසන් එක පහු උනාට පස්සෙ... ඒක ඉතිං මගේ මෝඩකම.. ඒකට හේතුව උනේ ඉතිං අතේ සල්ලි තිබිච්ච නැති එක... 

ඒ අතරේ ඊයේ ඕපදූප ටයිප් එකේ ආරංචියක් ආවා අපේ ගෙවල් පැත්තේ කොල්ලො කීප දෙනෙක්ම කූඩු ජාවාරමට අහුවෙලා පොලිසියෙන් අරන් ගිහින් කියලා... අපෙ තාත්තා කියන විදියට ඒ පැත්තේ, ඒ කිව්වේ පාදුක්ක, කොස්ගම, අවිස්සාවේල්ල පැත්තේ මීට අවුරුදු 15-20කට කලින් බොහොම ජයට කෙරිච්ච ජාවාරමක් තමයි ඕක.. හැබැයි පහුගිය කාලේ නං ගොඩක්ම අඩු වෙලා තිබ්බේ... මට මතක ඇති කාලෙක කුඩු ගහපු කෙනෙක් හිටියේ නෑ අපේ ගෙවල් පැත්තේ එහෙම... ඒත් මෙදා පාරනං අහුවෙලා තියෙන්නේ අපෙ අම්මලගෙත් හොඳම යාලුවෙක්ගේ පුතෙක්... කුඩු ගහලා නෙවෙයි ළඟතියාගෙන කියලා තමයි අම්මා කිව්වේ.. කොහොම හරි ඔය ජාවාරමේ ලොකු අතු වලට මේ දවස්වල අමතක වීමේ ලෙඩක් තියෙන බවත් ආරංචියි... මේවා ඉතිං ඕප තමයි... හැබැයි ගින්නක් නැතුව දුමක් නඟින්නෙත් නෑ නේ...

මං අද උදේ නිවුස් බලාගෙන හිටියේ මේ ගැන යමක් තියෙයිද කියලා.. කුඩු කතන්දර කීපයක් තිබ්බත් මේ ගැන දෙයක් නම් ඇහුනේ නෑ හැබැයි... ඉතිං මේවා ලියලා මගේ බ්ලොග් එකට දෙයියන්නේ පිහිට වෙයිද දන්නෙත් නෑ.. ඒත් ඉතිං හිතට වැදිච්ච දේ ලියන්නත් එපැයි...

කොහොමහරි මට ඕනේ උනේ මේ කුඩු කතන්දරේ ආයිත් බරපතල විදියට ඔලුව උස්සන බව පේන්න තියන බව කියන්න.. ආශ්චර්ය දීපයේ කුඩුත් නැත්තං මොන මඟුලක්ද කියලා හිතනවද දන්නේ නෑ.. හැබැයි මේවට අහුවෙලා නාස්ති වෙන්නේ ලොකු ලොක්කන්ගේ පුත්තු දුවලා නං නෙවෙයි... අම්මලා තාත්තලා නොකා නොබී ඉස්කෝල වලට යවලා, උගන්නලා තැනකට ගන්න දඟලන දුප්පත් ළමයි... කුඩු ගැහීමට වඩා ලොකු දඬුවම් කුඩු ළඟතබාගැනීමට, විකිණිමට තියෙනවා... ඒක නිසා අපේ ළමයි මල් වගේ, ඕවට යන්නේ නෑ ...  කියලා හිතං ඉන්න අම්මලා තාත්තලා දැනට වඩා ළමයි ගැන හොයලා බැලුවනං හොඳයි කියලා මතක් කරන්නත් ඕනේ... විශේෂයෙන් අවුරුදු 15-22 වගේ වයස්වල ඉන්න ළමයි ගැන... මොකද එයාලා මේවට අහුවෙන්නේ නොදැනුවත්වමයි.... 

මම මේ වෝනිං එක මුලින්ම දුන්නේ අපෙ අම්මට... මොකද අපෙ මල්ලිත් දැන් පුරුදු වෙලා ඉන්නේ මොනා ඇහුවත් ආඳා උත්තරයක් දීලා ලිස්සලා යන්න.. අම්මලත් කොල්ලා කියලා පස්සෙන් පන්නන්‌ෙන් නැති නිසා මෙයාට ලේසියි ... අපේ අම්මලා තාත්තලා කෙල්ලන්ව පරිස්සම් කරනවා වගේ කොල්ලන්ට පරිස්සම් කරන්නේ නැත්තේ මොන කෙහෙල්මලකටද කියලා මට තේරෙන්‌නේ නෑ... කෙල්ලෙක් හවස 6 පහුඋනොත් ගෙදරට එන්න, රට ගිනි තියන්න දඟලනවා... කොල්ලෙක් රෑ 10ට ආවත් ගානක් නෑ... හැබැයි ඌ බීලද, කුඩු ගහලද, රස්තියාදුවෙ ගිහිල්ලද කියලා හොයලා බලන්නෙත් නෑ... පොඩ්ඩක් බැනලා නිකා ඉන්නවා.. අපි කරපුවයෙ හරියට මේවා මොනාද කියලා හිනා වෙනවා... 

මගේ අත්දැකීමට අනුව නම් අවුරුදු 16 විතර ඉඳලා වයස් වල කොල්ලන්ගෙ වැඩ අම්මලට වඩා උන්ගේ යාලුවෝ, ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා දන්නවා... අම්මලා.. අපේ කොල්ලා එහෙම නෑ... කියාගෙන සුද්ධ කරද්දි කෙල්ලන්ට හිනායන එක අහන්න දෙයක් නෙවෙයි... මටත් එහෙම අත්දැකීම් තියෙනවා... ඊයේ දෙවනි පාරටත් මං මේ කියන දේ හරි කියලා මට ඔප්පු උනා... අපේ මල්ලි ආශ්‍රය කරන යාලුවෝ ගැන අපි නොදන්න ගොඩක් දේවල් ඒකගේ ගර්ල් ‌ෆ්‍රෙන්ඩ් දන්නවා.... මට ඒකයි මේ පෝස්ට් එක ලියන්න හිතුනේ... 

අම්මලා තාත්තලා, තමන්ගේ පිරිමි දරුවෝ ආශ්‍රය කරන්නේ මොන වගේ යාලුවොද කියලා හොයලා බලලා විතරක් මදි.. අපේ එකා හොඳයි, ඕවට යන් නෑ ... කියලා හිතං ඉන්න අම්මල තාත්තලට කියන්න තියෙන්නේ දැන් කොල්ලෝ අරක්කු සිගරට් බොන්න පටන් ගන්නේ, කුඩු ගහන්න පටන් ගන්නේ, මසාජ් ක්ලිනික් වලට යන්න පටන් ගන්නේ අවුරුදු 15 ඉඳන්... ඒක නිසා කල්පනාවෙන් ඉන්න.. 

කෙල්ලන්ව ඇස් වගේ පරිස්සම් කරලා වැඩක් නෑ කවදහරි උන්ව බාරගන්න ඉන්නේ නාස්ති වෙච්ච කොල්ලො පරම්පරාවක් නං...