Monday, January 28, 2013

ඊයේ කාපු කට්ට.. ගැලපෙන උපමාවක් තියෙනවා නම් යෝජනා කරන්න...


දැං නං මට යකා උපරිමේටම වැහිලා ඉන්නේ... ඇයි වදේ .. මුන් මේ ගෙට්ටුවක් දාලා දැං ෆොටෝ දානවා හතර වටේටම... දුකේ බෑ මට... ඒ අස්සේ අටමා පෝස්ටුවකුත් දාලා හිරු කෙල්ල තෝ අපායටම පල කියලා... මට ඇඬෙනවා.. ඉහි ඉහි ඉහි...  

යන්න වෙන්නේ නෑ කියලා දැනගෙන හිටියත් ඊයේ කාපු රජ කට්ටේ තරමට මට මෙහෙම දුක හිතෙන එක සාධාරණයි කියලා ඔයාලම කියයි මේ ලියන්න යන ටික කියෙව්වම..... 

මං ඉතිං කලින්ම කියලා තිබ්බනේ කට් කරන්න බැරි විදියේ වෙඩිමක් සෙට් වෙලා, මට ඒකට යන්න වෙනවා කියලා... සාරි පටලවාගෙන දවසක් ඉඳීමේ කරදරයට අමතරව මේකට යන්න උනා නුවරටම.. ඒකත් එක්තරා විදියක දඬුවමක් තමයි... ඕන්න මේකයි කතන්දරේ.. 

නුවර යනවා කියන්නේ අඩුම තරමේ පාන්දර 5ට වත් ගෙදරින් යන්න ඕනේ වැඩක්... පාන්දර 5ට ගෙදරින් යන්න නම් මම නැගිටින්න ඕනේ 3ට වත්.. ඇයි වදේ... සාරියක් පටලෝ ගන්න එපැයි... ඕක ඇවිල්ලා මහ වදකාර කෝස් එකක්... 

කො‌ෙහාම හරි 3ට අමාරුවෙන් නැගිටගෙන ( වෙනදට 6ට නැගිටින්නෙත් පුදුම අමාරුවකින්.. හි හි) අපේ මහත්තයවත් බොහොම අමාරුවෙන් ඇහරවගෙන ( ඇයි සාරියට කටු ගහන්න, මේකප් දාන්න එහෙම හෙල්ප් කරන්න.. හි හි.) ලෑස්ති වෙලා ගියා දෙන්න එක්කම බයිසිමොටෝවේ නැගලා අපේ මහත්තයගේ අම්මලගේ ගෙදරට 4.30 වෙනකොට... එහෙට තමයි වාහනේ එනවා කියලා තිබ්බේ.. 

අපි යනකොට කට්ටිය මූණ හෝදලත් නැ ... අක්කගේ පොඩි එකා තමයි උදෙම්ම නැගිටගෙන තිබ්බේ... එයා නැගිටලා තියෙන්නේ පාන්දර 3ට.. හි හි... එයාව කරගහගෙන අක්කට කිසි දෙයක් තරන්න බෑරි නිසා ඉතිං අපි දෙන්න එයාව තියන් විකාර කර කර හිටියා 5.30 විතර වෙනකම්... ඔන්න එතකොට කෝල් එකක් ආවා අනිත් කට්ටිය දැන් එහෙන් පිටත් වෙනවා කියලා... ඒ කිව්වේ අපේ මහත්තයාගේ නැන්දලා කට්ටියක්.. එයාගෙල් වෑන් එකේ තමයි යන්න ලෑස්ති කරගෙන තිබ්බේ... ඉතිං දැං ඉතුරු වැඩ ටිකත් දඩිබිඩියේ කරගත්තා.. 

මෙන්න 6ට විතර කෝල් එකක් එනවා වෑන් එක ස්ටාට් වෙන්නේ නෑ කියලා... 

කාපන්කෝ ටකරම්.... 

ඒ පාර අපේ මහත්තයා කෝට් බෑය ගලවලා තියලා, බයිසිමොටෝවෙන් ගියා මොරටු... 

ඔව් ඔව්..එහෙ ඉඳන් තමයි අනිත් කට්ටිය එන්න හිටියේ... එතකම් ඉතිං අපිත් ඇඳ පැළඳගෙන බලං හිටියා...ඒ අස්සේ අර උ‌ෙද් පාන්දරම නැගිට්ට එක්කෙනා, ඒ කිව්වේ අක්කගේ පොඩ්ඩි ගේ දෙවනත් කරනවා බඩගිනි වෙලා.. ඒ පාර එයාට කන්න දීලා ෂේප් කරගෙන ඉවර වෙනකොට මෙන්න අපේ මස්සිනා ආයිමත් ඇඳට වැටිලා හොඳටම නිදි... හි හි.... 

කොහොම කොහොම හරි බලං ඉඳලා ඉඳලා ඔන්න වාහනේ ආවා 8.30ට විතර... වාහනේ ළඟට ගිහින් බැලුවම මේ එනවා කිව්ව වාහනේ නෙවෙයි.. ඒ පාර ඔන්න අපේ මහත්තයා කියනවා ඒ වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැතුව දඟළන‌ෙකාට එහා ගෙදර මනුස්සයා එයාගේ වෑන් එක දුන්නලු අරං යන්න කියලා...

ඔන්න ඉතිං පොඩ්ඩගේ බඩු ටික එහෙම පටෝ ගෙන නැග්ගා වෑන් එකට.. යන්තම් 9ට පිටත් උනා කියමුකෝ.. දැං වෙඩිම පටං අරන් ඇති කියලා දැනගෙන, අපි මේ යන්නේ දවල් කෑම වෙලාවට වත් යං කියලා... හි හි... 

අපේ මාමණ්ඩි ටිකක් වේගෙන් යනවා කියලා තේරුනත්, වෙනදට වාහනේ පිටිපස්සේ ඉඳගෙන එළවන කට්ටිය සද්ද වහලා හිටියේ පරක්කු වෙච්ච නිසා තමයි.... හි හි... ඒ අස්සේ අපේ මහත්තයා පිටිපස්සේ සීට් එකට වෙලා නිදි.. 

මෙන්න එකපාරටම වෑන් එක නැවතුනා... ඒ පාර ඔලුව දාලා බැලුවා ඉස්සරහට.... ඔව් ඔව්.. අපි දෙන්නා තාම අලුත බැඳපු ජෝඩුව හින්දා අන්තිම සීටි එකේ තමයි අපි හැමදාම.. හි හි... ( ඒ සීට් එකේ ඉඳගත්තාම ගැස්සෙන නිසා කවුරුවත් එතනට එන්න කැමති නෑ..) 

මෙන්න බොලේ වෑන් එකේ දුම් පිරිලා... ඒ මදිවට කර ගඳයි ටයර් ගොඩක් ගිනි තියලා වගේ... 

බලනකොට එන්ජිම හීටි වෙලාලු.. වාහනේ ගන්න කොට තෙල්, වතුර බලද්දි ප්‍රශ්නයක් තිබ්බෙත් නෑලු...  ( මං දන් නෑ.. අපේ මහත්තයා තමයි කිව්වේ).. මේ ඉතිං උතුවන්කන්ද හරියෙලු... ඔන්න ඉතිං කට්ටියම බැස්සා පාර අයිනෙන්.. ‌වතුර දාලා දාලා, එතන කඩේක හිටපු කෙනෙකුත් ඇවිත් උදවු කරලා යන්තම් නිවා ගත්තා කියමුකෝ... මෙන්න මේකේ වතුර ලීක් වෙනවා... ( මේවා ගැන මං දන්නේ නෑ හරිද.... මං මේ දැකපු, ඇහුන ඒවා තමයි කියන්නේ... ) ඒ පාර එතනින්ම ගැරෙජ් එකක් අහගෙන වතුර බෝතල් තුනක් විතරත් පුරෝගෙන ආවා කියමුකෝ ගැරේජ් එකකට... ඒක මේ මාවනැල්ල හරියේ තමයි තිබ්‌ෙබ්.. 

ඉතිං දැං පිරිමි කට්ටියම, ඒ කිව්වේ අපේ මාමණ්ඩියි, අපේ මහත්තයගේ මාමයි, අපේ මහත්තයයි විතරයි.. අපේ මස්සිනා නම් වාහනෙන් බැස්සෙවත් නෑ...හි හි , බැහැලා ඔන්න බැලුවා වාහනේ... ඒක හදන්න බෑ ලු... අලුතින් දාන්න වෙනවලු...  

පොඩ්ඩක් හිටු... දැං වෙලාව කීයද...1ත් පහුවෙලා... දවල්ට කන වෙලාවත් ඉවරයි.... 

දැං ඉතිං බඩගිනියි හොඳටම.. දැං නං වෙඩිමට ගියත් වැඩක් නෑ කියලා මට හිතෙනවා.. ඒත් ඕවා කියලා ගුටි කන්න පුළුවනෑ.. ඉතිං කට පියං හිටියා... හි හි...  ‌පොඩි එකාට නම් ජොලි.. ඇයි ඉතිං.. එයාව වඩා ගෙන හුරතල් කරන්න ඇති තරම් කට්ටිය ඉන්නවානේ.... 

ඔන්න ඒ පාර ගැරෙජ් එකේ කෙනෙක්ටම කියලා වාහනයක් එතනට ගෙන්න ගෙන අපි කට්ටියක් විතරක් වෙඩිමට පිටත් උනා.. අපේ මහත්තයයි මාමණ්ඩියි දෙන්නම නැවතුනා වාහනේ හදාගන්න.. අනුන්ගේ වාහනයක් එහෙම දාලා යන්න බෑනේ... 

ඔන්න පළවෙනි පාරට බැන්ඳට පස්සේ මං ගියා වෙඩිමකට තනියෙන්.. හි හි... ඒ මදිවට එතන අපේ මහත්තයගේ නැයෝ විතරයි.. මං දන්න කට්ටිය ඉන්නෙත් කීප දෙනයි... මං හිටියේ බයේ.. හි හි.. ඒත් වාසනාව මගේ පැත්තේ තිබ්බේ...

මොකද කිව්වොත් අපි එතනට යනකොට කපල් එක පිටත් වෙන්න ලෑස්ති වෙනවා.. හි හි.... 

මොකක් කිව්වා.... ??? කෑම...??? මොන කෑමද... එත‌ෙකාට කෑමත් ඉවරයි... ඩෙසර්ට් විතරක් කාලා සැනසෙන්න සිද්ධ උනා...

ඔන්න දැං ආයිත් එන්නත් එපැයි ඉතිං.... කාර් කීපෙකම අපි කට්ටිය නැගලා ආයිත් ගැරේජ් එක ළඟට ආවා.... වාහනේ හදාගෙන ඔන්න දෙන්නා බලං ඉන්නවා අපි එනකම්.. කාපු කට්ට කොයි තරම්ද කියනවා නම් මට ඒ වෙනකොට එපාම වෙලා හිටියේ... ( ඇත්තම කිව්වොත් පොඩි එකෙක් එක්ක ගමන් යනවා කියන එක මට ජීවිතේටම එපා උනා...) 

ඒක නිසා අනිත් අය වෙන මොනාවත් කියන්න කලින් ( මම එහෙම කළේ වාහනේ කැඩිලා වෙච්ච පරක්කුවට අමතරව, කට්ටිය ඒ වෙන‌ෙකාට වාද කර කර, සාකච්ඡා කර කර, ඒක ඒක ‌‌යෝජනා ගෙනල්ලා, කියව කියව ඉඳලා, දවසේ පැය 3ක් විතර පරක්කු කරලා හිටිය හින්දා... අනිත් එක පොඩි එකා හොඳටම නිදි.. එයා ඇහැරැනොත් විනාසයි.. ) මං කිව්වා අපි මේ මාමත් එක්කම ගෙදර යන්නම්, ඔයාලා වෑන් එක අරං ගෙදර එන්න කියලා... 

ඔන්න යන්තමි ඒකට කට්ටියම කැමති වෙලා නැන්දම්මයි, අක්කයි, පොඩි එකයි, මස්සිනයි, මායි, ඒ මාමත් එක්ක ආවා... අනිත් කට්ටිය එහෙමම මොරටු ගිහින් වෑන් එකත් බාර දීලා නැන්දලවත් බස්සලා එන්නම් කියලා ගියා.. 

එතනින් කතාව ඉවරද.... නෑ බොලවු.. තව තියෙනවා.... ඉවසලා හිටපල්ලා.... 

කොළඹට එනකම්ම ට්‍රැ‌ෆික්.. ආසන්නම අනුමානය දිග සති අන්තයක් වෙච්ච හින්දා කියලා එකඟත්වයට ඇවිල්ලා අපි හිමින් හිමින් ගෙදරට එන‌ෙකාට රෑ 9යි... ආපු ගමන් අපේ මහත්තයට කෝල් එකක් දීලා කිව්වා මං ගෙදර ආවා කියලා... 

මෙන්න මෙයා කියනවා ආයිත් අර වාහනේ කැඩිලලු.... 

ඉතිං මං මොනවා කරන්නද... අනිත් පැත්තට කෝල් එකක් දීලා නැන්දම්මට කිව්වා අන්න අරගොල්ලෝ ආයිත් මඟ හිටලා කියලා... 


ඉතුරු හරිය අපේ මහත්තයාගේ කතාව තමයි.... 

ඔන්න ගැරේජ් එකෙදි ගලෝලා බැලුවම රේඩියේටරේ කැඩිලලු... ඒකේ ෆො‌ටෝ ටිකක් එයා අරන් තිබ්බේ ඔන්න මේ ‌වැඩේ නම් පෝස්ට් එකක් දාන්න ඕනේ කියලා මං කිව්ව හින්දා... ( මුලම හරියෙදි නම් ෆොටෝ ගත්තේ නෑ.. එච්චර සිහියක් තිබ්බේ නැති නිසා... දුම් දාපු හැටිත් ෆොටෝ එකක් තිබ්බනං හොඳයි කියලා දැං හිතෙනවා..) (ෆොටෝ වලින් කීපයක් දැං අප්ලෝඩ් කරන්න විදියක් නෑ... රේඩියේටරේ මොකද්ද කියලා මට හොයාගන්න බැරි නිසා එයා ආවම අප්ලෝඩ් කරන්නම්.. හි හි) 


ඉතිං ඒ පාර රේඩියේටරයක් අලුතින් අරන් දාගෙන වාහනේ හදාගත්තලු... 

කට්ටියව දාගෙන ආපහු එන‌ෙකාට අලුතින්ම දාපු කෑල්ලක් මඟ හැලිලා.. ඒ පාර කෝටු කෑල්ලක් ගහලා ඒක අටවගෙන ගෙදරට ඇවිල්ලා, ඇණයක් හොයාගෙන ඒක හදාගෙන ආපහු ගිහින් වාහනේ බාර දීලා ඇවිත්... ( බාර දීම ගැනත් කියලා වැඩක් නැති නිසා මම කියන්නේ නෑ.... මට හිතෙන්නේ ඒ අසල්වැසියෝ ආශ්‍රය එච්චර හොඳ දෙයක්  නෙවෙයි කියලා නැන්දලට තේරැනොත් ඇති.. වෑන් එකත් දුන්නට පස්සේ ඇයි මම මෙහෙම කිව්වේ කියලා කාට හරි හිතෙන්න පුලුවන්... ඒත් මං හිතනවා මේ වගේ දේවලට මුහුණ දුන්න අය තව ඇති කියලා... ඒ අයට තේරෙයි මං ඇයි එහෙම කිව්වේ කියලා... ) 

ඒ වෑන් එක ස්කූල් සර්විස් යන එකක්.. ( මං හිතන්නේ එතනින් එහාට මං කිසි දෙයක් කියන්න ඕනේ නැති වෙයි...හි හි.. කට්ටියට හිතාගන්න පුළුවන්..) 

මේ ටික ප/ලියක් කියලා හිතමුකෝ... 

මට හිතට වැදුනම කතාව මේකයි... දැං ඔය වාහනේ හින්දා වියදම් වෙලා තියෙනවා රැ 16000ක්... අර අපි හයර් එකට අරන් ගිය වාහනේ ගානත් එක්ක... ( මාවනැල්ලේ ඉදලා Queens`s එක ගාවට යන්න රු 2200 යි.. කැඩිච්ච වාහනේට පෙට්‍රල් 4000යි..)  

අපි උදේ වාහන හයර් එකට ගන්න තැනකට කතා කරලා ගනන් ඇහුවම මුළු ට්‍රිප් එකටම 9000 යි කියලා තමයි කිව්වේ.... ( මං ඔය වගේ සාකච්ඡා වලදි යෝජනා ඉදිරිපත් කරන එක නවත්තලා තියෙන්නේ.. මොකද කිව්වොත් වාහන ගැන, වාහන වල ගමන් බිමන් යන එක ගැන මට වඩා සිය දහස් ගුණයක් දේවල් එයාලා දන්නවා..  ) 

දැං මට මෙතන කියන්න ඕනේ දේවල් ටික ඔක්කොම කියවිලා තියෙනවා මං හිතන්නේ.. 

මේ‌ වෙච්ච දේවල් ටිකට හරියට ගැලපෙන උපමාවක් මතක් වෙනවා නම් කට්ටිය යෝජනා කරන්න... මට හරි යන එකක් මතක් වෙන්නේ  නෑ... මම නම් හිතන්නේ ‌මේකෙන් උපමා තුනක් වත් හදාගන්න පුළුවන් වෙයි කියලා... හි හි

අනේ මේ ගමන පැත්තක තියලා ගෙට්ටුවට ගියානම් හොඳයි කියලා මට හිතුනේ එකපාරක් නෙවෙයි... ඒත් මේවා යුතුකම් පැත්තට වැටෙන නිසා මගේ කටට ඉබ්බා දාගෙන ඉන්න සිද්ධ උනා... 

අනේ අටමෝ තරහා වෙන්න එපා බං.... 
   

ඔය තියෙන්නේ රේඩියේටරේට වෙලා තිබ්බ හරිය... ඒක පුපුරලා තිබිලා තියෙන්නේ... 


මෙන්න මේ ගැරෙජ් එකෙන් තමයි හැදුවේ... 

Friday, January 18, 2013

කවුද දන්නේ මේක මෙහෙම එකක් කියලා.... පාරමී දම් 7 කොටස

අගක් මුලක් හිතාගන්න බැරි නම් ඔන්න පහුගිය ටික... 



වෙනදා වගේම උදේම නැගිටලා, කම්මැලිකමේ වැනි වැනි ගිහින් බාත් රෑම් එකට රිංග ගත්තට අද මගේ ඇඟට හරි නෑ.. මොකද මන්දා... බඩත් අප්සට්... අම්මට කිව්වොත් ඉතිං ඔය අද ටෙස්ට් එකක් තියෙන හින්දා නේද කියලා අහන නිසා ඕවා අම්මට කියලා වැඩක් නෑ... කොහොමත් අඳෙන් නැගිටගන්න බැරි තරම් ලෙඩක් නැත්තම් අපේ අම්මත් එක්ක ඉස්කෝල කට් කිරිල්ල නම් බොරු..

මං එහෙම්ම ෂවර් එක යට හිට ගත්තේ එත‌ෙකාටවත් ඇඟට පණ එයිනේ කියලා.. සී...තලයි අප්පා....... මං ගැහි ගැහීම සබන් ගාගත්තා.. ඇදුම් ටිකත් එකපාරටම හෝදලා දාන එක ලේසියි.... 

මේ මොනාද..... මාව තවත් සීතල වෙලා ගියා....රැක් එකේ මොනා හරි තිබිලා ඇඳුම් වල ගෑවිලද... 

අම්මේ...... එන්න‌කෝ චුට්ටක්....

මං බාත් රෑම් එකේ ඉඳලම කෑ ගැහුවා.... අම්මා ඇවිත් දොරට තට්ටු කරනකම් මං හිටියේ ගල් වෙලා වගේ... 

මොකද මේ...කෑ ගැහුවේ මොකෝ...

අම්මා මාව දැකලා බයවෙන්න ඇති.. 

මේ මොනාද ගෑවිලා තියෙන්නේ...

මං අම්මට ඇඳුම් ටික දික් කළා.. 

ඇඳුම් ටික දැක්කම අම්මට හිනා ගියා... මේකේ මොනාද හිනාවෙන්න තියෙන්නේ.... මට තාමත් බයයි...

හ්ම්... මොකද මේ... ලොකු ගෑණූ ළමයෙක් මෙහෙමද ඉන්නේ..

එතකොටයි මට මතක් උනේ... හදිසියට මං හිටියේ නියම පොඩි එකා විදියට....අම්මා හිනාවෙවී මගේ ලොකු තුවාය ඇන්දුවා... 

මොකද අම්මේ.... ඒ මොනාද...

මං කියන්න හදපු දේ ඉවර කරන්න දුන්නේ නෑ අම්මා.. 

කෑ නොගහා ඇතුලට වෙලා ඉන්නවා.. මං ඉක්මණට එන්නම්...

අම්මා මගේ නළල සිප ගන්න ගමන් කිව්වා... මේ මොන මල කෝළමක්ද..මට තාම මීටර් නෑ මොනවද මේ වෙන්නේ කියලා... 

ටික වෙලාවකින් අම්මා ආපහු ආවේ ලොකු සුදු රෙද්දක් අරං.. ඒක මගේ ඔලුවේ ඉඳන් දානකොට මට කේන්ති ගියා.. මොන කෙහෙල්මලක්ද මේ... 

මොකද අම්මේ...

කෑ ගහන්නේ නැතුව ඉන්න..මං ඔයාට පස්සේ කියන්නම්....

අම්මා ඉන්නේ පුදුම සතුටකින්... ඒත් මට නං තාම තේරුනේ නෑ මොකද මේ වෙන්නේ කියලා... අම්මා මාව කාමරේට එක්කන් යනකොට අයියා එහා පැත්තේ ඉඳන් හිනාවෙනවා මට ඇහුනා.. මං ඒ පැත්ත බලද්දි අම්මා මගේ ඔලුව පහලට හැරෙව්වා... 

කාමරේට ආවට පස්සේ මං රෙද්ද පැත්තකට විසිකරලා දැම්මා... 

මොකද අම්මේ...

දැන් නං මට හොඳටම කේන්තියි... 

කියන්නං කියන්නං...

අම්මා මාව ඇදේ වාඩි කරවලා මගේ පැත්තකින් ඉඳගත්තා...

ඔයා.. දැං ගොඩක් ලොකු ගෑණු ළමයෙක්... බිග් ගර්ල් කෙනෙක්..

මොකක්.... ඒ වචනේ නම් හොඳට අහලා පුරුදුයි... ක්ලාස් එකෙත් එහෙන් මෙහෙන් හැමතිස්සෙම කතාවෙන එකක්.. දැන් නේ මට තේරෙන්නේ.. ඇයි වදේ.. මෙහෙම එකක් ගැන දන්නවයැ... එතකොට ඒක මෙහෙම එකක්ද... මං ඕවා දැනගෙන හිටියයැ... ඉතිං මේකේ පාටි දාන්න දෙයක් තියෙනවයැ.. ගිය අවුරුද්දෙ සිතාරි අක්කගේ බිග් ගර්ල් පාටියට වත් ගිය වෙලාවේ මට මෙහෙම එකක් තේරුණේ නෑ නේ...

මට නම් මොළේ කොලොප්පම්... මං මේවා දැනං හිටියයැ.... මාර පණ්ඩිතයෙක් තමයි මාත්.. මං මටම හිනා උනා..



මතු සම්බන්ධයි

Wednesday, January 16, 2013

අයියලා ජාතියම එකයි... පාරමී දම් 6 කොටස

පහුගිය කොටස් ටික මෙන්න මෙතනින් බලන්න.. 


උදේ ඉඳන් කාපු කට්ට මදිවට හෝමගම හරියෙදි කෝච්චිය හිට්ටා.... දැං ඉතිං කෝච්චියෙන් බඩගාලා බැහැලා, බස් පාර හොයාගෙන ගිහින්, බස් එකේ නැඟලා ඉස්කෝලෙට යන‌ෙකාට පරක්කු වෙලා තමයි ..

“ අපෝ අංජු අයියේ.... ඔයා ආපු නිසාද කොහෙද අද නම් අන්තිම කටු දවසක් වෙලා....”

සුදු අයියගේ අ‌ෙත් එල්ලිලා කෝච්චියෙන් පනින ගමන්ම මං කිව්වා... අංජු අයියා බයවෙලාද කොහෙද.. භූතයෙක් දැකලා වගේ බලාගෙන ඉන්නවා...

පාරට යනකම් නියරවල් දිගේ ඇවිත් යන්තම් හෝමගම බස් ස්ටෑන්ඩ් එක හොයාගත්තා... බස් හෝල්ට් එකේදි සුදු අයියා ඔලුව කස කස කල්පනා කරන්න පටන් ගත්තේ එයාලගේ ස්කූල් බස් එක තියෙනවා දැකලා කියල මට තේරුනා...

“ ඔයාලා යන්න සුදු අයියේ ස්කූල් බස් එකේ.. මං බස් එකට නඟින්නම් මෙතනින්..”

“ ඔයාව තනියෙන් යවලා මට අම්මගෙන් බැනුම් අහන්න බෑ... අංජු‌වෝ... මෙයාව ඉස්කෝලෙට දාගෙන යනවද.... මං හෙන රවුමක් ගහන්න එපැයි...”

“ අපෝ සුදු අයියේ.. මේ බයගුල්ලව මට ඇරලවන්න පුළුවන්.. ”

මං අංජු අයිය‌ට නෝණ්ඩියක් දැම්මම සුදු අයියා මට රැව්වනේ රැවිල්ලක්...

“ හරි හරි.. උඹලා පලයල්ලා.. මං නංගිව ඉස්කෝලෙට දාන්නම්... ”

පුදුමයි හා කියපු එකත්....

“ සුද්දී.. අතේ සල්ලි තියෙනවද....”

“ තියෙනවා ... 20ක් විතර..... ”

“ ආ.. මේකත් තියාගන්න... හවසටත් කෝච්චි නැතිවුනොත් බස් හෝල්ට් එකේ ඉන්න.. මං එතනට එන්නම්...”

“ ඔයාට අද ක්ලාස් නේද...”

“ මලා...ක්ලාස් නේන්නං.. අනේ අංජු කෝච්චි නැති උනොත් මෙයාව ටිකක් බලපං...මට අද කෙමිස්ට්‍රි ක්ලාස් මචං.. අපි තුන් දෙනාම අද නෑ... සුජියටත් බණ්ඩගේ ක්ලාස්...”

“ හරි හරි.. මං නංගිව ගෙදරටම ඇරලවන්නම්.. දැං පලයන්.. අර බස් එක අද්දන්න හදන්නේ...”

“ සුද්දි.. එහෙනං පරිස්සමින් යනවා හරිද...”

සුදු අයියා අතත් වනාගෙන පාර පැන්නෙ දෙපැත්තවත් බලන්නේ නැතුව...

“ මට පරිස්සමින් යන්න කියන්නේ.. ඉස්සර වෙලා පරිස්සං කරන්න වෙන්නේ එයාව... පාර පැන්න හැටි බලන්නෙවත් නැතුව.. කොයිවෙලාවක හරි මොනා හරි කරගන්නවා..”

මං අංජු අයියට කියාගෙන ගියා... අංජු අයියත් හිනාවෙවීම මාවත් ඇදගෙන පාර පැන්නා...


නවත්තලා තිබ්බ බස් එකකට නැගලා අපි දෙන්නම සීට් එකක් අල්ලගෙන ඉඳගත්තා.. මං අයිනට පැන ගත්තා වෙනදා වගේම... ජනේලේ වහලා... මං අරින්න හැදුවා... ඒක හිරවෙලා.. අයියෝ මේ කබල් බස්...

කෝ .. ඉන්න මං ඇරලා දෙන්න... 

අංජු අයියා ජනේලෙට අත තිබ්බා... 

ඒයි.. ‌මේක ඇරියම කොණ්ඩේ අවුල් වෙනවනේ... 

ආයිත් මගේ දිහා බලලා ජනේලේ අතෑරියා... 

අපෝ... අවුල් වෙන්නම කොණ්ඩෙ මේක... ”

මං පුරුද්දටම අංජු අයියගේ කොණ්ඩේ අවුල් කළා... 

‌“ ඒ මොකද්ද කළේ... මං මේ පැය ගානක් දඟලලා පීරලා හොඳට තියං හිටිය කොණ්ඩේ...

ඒ පාර කොණ්ඩේ හදනවා... අපෝ.. මෙයා සුදු අයියට අන්තයි..... මං හිනා වෙවී බලං හිටියා.... 

මොනාද බලන්නෙ...

බකමුණා වගේ මූණ හදාගෙන අහනවා.... මොනා කියන්නද.. අයියලා ඔක්කොටම පිස්සු කියලා ආයිත් කියන්නයැ... මං ජනේලෙන් එළිය බලා ගත්තා...

ඒ.. නිල්මි නංගි.. බඩ්ඩක් පෙන්නන්නද...

මොකද්ද...

අර අතන ඉන්න ගර්ල්...ලස්සනයි නේද...

මූ මාර කුකුලෙක්... 

අර අපේ ඉස්කෝලේ ගර්ල්ද...

හ්ම්ම්..

මං එයාව දැකලා නම් තියෙනවා මීට කලින්... කෝච්චියේ යන එක්කෙනෙක් නෙවෙයි මං හිතන්නේ..

නම දන් නෑ...

මේ යකාට පිස්සුද මන්දා... මම හැම කෙල්ලගෙම විස්තර දන්නවා කියලා හිතාගෙනද කොහෙද...අපේ අයියට අන්තයි... 

කොණ්ඩේ දිග බලනවකෝ... ලස්සනයි නේ...

මේ පිරිමින්ට නම් ගෑණුන්ගේ කොණ්ඩ ගැන පුදුම මේනියාවක් තියෙන්නේ...

මේ ඔයා වෙන ලෝකෙකද ඉන්නේ...

ඒ පාර මොකාටද එන්න යන්නේ....

ඔව් අනේ.. මං මේ මායබන්ධන ලෝකේ හිටියේ..

මං නෝණ්ඩියට කියලා දාලා හිනා උනා... 

මේකි හරි හොර කෙල්ලෙක්....

සුදු අයියත් හැමතිස්සෙම කියනවා...

මං හයියෙන් හිනාවුනා... අප්පා.ඒකට නම් තරහා ගියාද මන්දා.... 

ඔයා එක්ක කතා කරලා බේරෙන්න බෑ නේ...

එයා සීට් එකට හේත්තු වෙලා ඇස් පියාගත්තා... ඒ පාර නම් මාත් එක්ක තරහා උනාද මන්දා... සුදු අයියව නම් ෂේප් කරගන්න පුළුවන්.. ඒත් මෙයාව.... අනේ... මට මොකෝ.. මට පාඩු වෙයි මෙයා මාත් එක්ක තරහා උනාම.... බස් එකෙන් බහිනකම්ම මාත් එක්ක කතා කළේ නෑ... සුදු අයියා හිටියනං වක්කඩ කැඩුවා වගේ කියවයි... 

අපෝ .. මෙයා හරි සීරියස් නේ.. 

මතු සම්බන්ධයි...

Wednesday, January 9, 2013

ඇයි අප්පා අපේ අයියට මොළයක් කියලා එකක් නැත්තේ... පාරමී දම් 5 කොටස


අගක් මුලක් හිතාගන්න බැරි නම් මෙන්න මෙතනට ගිහින් බලන්න..


ගනං හදන්න කියලා වේලාසනින් නැගිට්ට නිසා ඊළග දවසේ නම් අපි දෙන්නා ටිකක් වේලාසනින් ස්ටේෂන් එකට ගියා... නිදිමතේ මං හදන ගනං... අයියා කියලා දුන්න ටික ලියාගත්තා විතරයි... 

අපි යන‌කොට අනිත් කට්ටිය ස්ටේෂන් එකට ඇවිත්... තරිඳු අයියා බංකුවක ඉඳගෙන සපත්තු පොලිෂ් කරනවා.. අපේ අයියත් ටැප් එකක් හොයාගෙන ගියේ කලුවරේ උඩ බලං එනකොට මඩ වලකට පැනලා මඩ නාගෙන ආපු නිසා... 

Good morning කසුන්... උඹ අද වේලාසනින් ආවේ ඇයි බං.. දැං හවසටත් නාන්න වෙයිද දන් නෑ.....

පල ඩෝ යන්න... පාරේ අලි නාවන වලවල්.... කරුවලේ එන්න ගියාම අතපත ගගා.. පුදුම කරුමයක්... ෂික්..  කලිසමත් ඉවරයි....

අත පත ගගා.. ‌ඒ මොනාද බං අතපත ගාන්නේ.. උඹ කාගෙන් හරි සෙරප්පු පාරක් කෑවද... ඔය මූණෙත් මඩ...

කුණුහරුප අහගන්නෙපා මගෙන් උඹ...

අපේ අයියට අම්මබානක තද වෙලා... බැන බැනම මූණ හෝදන්න පටං ගත්තා... 

මොකද බං උදේ පාන්දර පොර කුකල්ලු වගේ කොටා ගන්නේ... අහකට වෙයන් පොඩ්ඩක්.....”

කොහෙන්දෝ පාත් වෙච්ච තරංග අයියත් එතනට ඇවිත් සුදු අයියව පැත්තකට තල්ලු කළා... තරංග අයියත් එක්කම ආපු අංජන අයියා මගේ ගාව නතර උනා... මුන් ඔක්කොම මඩ නාලා ආවත් මෙයා නං කිරි කොකා වගේ... 

Good Morning අංජන අයියේ.. ඔයා මඩ වලවල් ටෙස්ට් කරන්න ගියේ නැද්ද... 

නෑ... මං බස් එකේ ආවේ අද... 

අප්පා හිනාව...... 

මං හිතුවා ඌරු කොටුවට සෙට් වෙච්ච නිසා ඔයත් මෙයාලා වගේමයි කියලා...

අපොයි මගේ කට... 

ඌරු කොටුව...?

ඔය ඉන්නේ ඌරෝ ටික....”

මං ටැප් එකට පොරකන සෙට් එක පෙන්නුවා ඇහෙන්ම...

ඒක නං පේනවා.. ඒක නෙවෙයි...ඔයා කො‌ෙහාමද මගේ නම දන්නේ..

අංජන අයියා ලේන්සුවක් ඇඳලා අරගෙන මූණ පිහදාන ගමන් ඇහුවා...

ඇයි අර ඉන්නේ .. බී.බී.සී. රිපෝටර් කෙනෙක්...

මං ඔලුවෙන් අපේ අයියව පෙන්නුවා... 

රිපෝටර් කෙනෙක්ද....

එයාට හිනාගියා... මං කියපු එකටද අර කට්ටියගේ රණ්ඩුවටද දන් නෑ...

ඔව්.. හොඳම ජාතියේ..

මං කෝච්චියට නැග්ගා.. අයියලා අදත් එල්ලෙයි කෝච්චිය ඇද්දුවාම...

ඔයා..... නිල්මි නේද..

හ්ම්ම්... ඔව්.. 

මගේ යාලුවෝ කියන්නේ අංජු කියලා... ඔයත් ඒකම කියන්න.. මට පුරුදු ඒක....

අංජු...? ඒක ගෑණූ නමක් නේ...ඔයත් ගෑණු ළමයෙක් වගේද...”

මං සීට් එක පිහදාන්න ගත්තා.. කෝච්චියේ ඉඳගන්නවා නම් සීට් එක පිහිදාලා ඉඳගන්න ඕනේ.. නැත්තම් බහිනකොට සායේ පිටිපස්සේ සීට් එකේ ලී වල පාර හිටලා තියෙනවා දූවිලි වලින්.. අනිත් එක ඊයේ වැස්සට තෙමිලත් එක්ක .... 

මං දන් නෑ..ඔයාටම දැනගන්න වෙයි...  

සීට් එක පිහදාපු කොළ කෑල්ල ජනේලෙන් එළියට විසි කරලා අංජු අයියත් මං ගාවින් වාඩි උනා.. 

මොනාද බං කොල විසි කරන්නේ .. බලපං දැං ... 

තරිඳු අයියගේ කටේ සද්දේ......

මොකද තමුසේ මෙතන කරන්නේ ... කො අද අර චණ්ඩි යාලුවෝ ටික....

අපේ අයියා අංජු අයියට එහා පැත්තෙන් වාඩි වෙලා මට කැ ගැහුවා... ඇත්ත තමයි.. මං අද ඉඳගත්තේ සුදු අයියලා ඉන්න පැත්තේ.. මොනා කරන්නද... අපි යන පැත්ත තෙමිලනේ... 

කවුද ඔයා ළඟට ආවේ.. මං ඉන්නේ අංජු අයියා ගාව...

අංජු... අම්මට හුඩු.. ඒ පාර දැම්මම නික් නේම් එකකුත් දාගෙනද... මෙච්චර ඉක්මණට... මේ අංජු.. මට උඹව මට මස්සිනා කරගන්න වෙන එකක් නෑ නේ...

අපේ අයියට පිස්සු... 

ඊයේ ගෙදර ගිහින් මෙයා අහනවා කවුද අර අලුත් සුදු බෝයි කියලා... මං ඇහුවා කවුද කියලා... ඒ පාර කියනවා ඇයි අර ලස්සන කොණ්ඩයක් තිබ්බ සුදු, උස අයියා කියලා... ඊට පස්සේ කියනවා හරි වැදගත් පාටයිලු.. කොහොමද අංජු උඹේ කාඩ් එක.... 

සුදු අයියගේ කටට කෝච්චියත් පරාදයි... අංජු අයියගේ කාඩ් එක කෙසේ වෙතත් මගේ කාඩ් එක නම් කුඩු.. ඇයි අප්පා අපේ අයියට මොළයක් කියලා දෙයක් නැත්තේ...

එහෙම තමා.. අපි වගේ වැදගත් අයව කොහෙ ගියත් පිළිගන්නවා...

අංජු අයියා කොලර් එක හදන ගමන්ම මට ඇහැක් ගැහුවා..මෙයා ගිය උඩ.... 

අපෝ.. හරි වැදගතා...

මං ගස්සලා අහක බලා ගත්තට මට හිනා ගියා... මුන්ට පිස්සු.....

මතු සම්බන්ධයි...

Tuesday, January 8, 2013

මට ගනං උස්සන්න... හිතුවා මදි.... පාරමි දම් 4 කොටස

අගක් මුලක් නැත්තම් මෙන්න මේ පැත්තට ගිහින් බලන්න.... 




ඉස්කෝලේ ගෙදර වැඩ කරන්න ගියාම තමයි මට තරු විසි උනේ.... අයියෝ..... ගනං...... 

මං හිමීට පොතත් උස්සගෙන සුදු අයියා ළඟට කිට්ටු උනා... 

සුදු අයියේ.. මේ ගනං වගයක් තියෙනවා අනේ... මට හදන්න තේරෙන්‌ෙන් නෑ.... ප්‍රතිශත... කියලා දෙන්නකෝ...

කන ඇහුන් නෑ වගේ ඉන්න හැටි විතරක්.... හයියෝ... මං දාගන්න ලෙඩ... 

අනේ අයියේ... කියලා දෙනවකෝ....

මට බෑ... හදාගන්නවා මට පාට් දාගෙන හිටියා වගේ.... දන්න විදියට හදා ගන්නවා... ඕවට විතරයි තමුසෙට මාව ඕනේ වෙන්නේ...

සුදු අයියා මගේ දිහා බලන්නේ වත් නැතුව කියලා දැම්මා... පුහ් මෙයාගේ ගනං... මටත් තරහා ගියා.... ඕන් නෑ .. මං හදාගන්නං.. මං ආපහු මේසේ ළඟට ඇවිත් ඉඳගත්තා.. 

ඒත් පැයක් විතර දැඟළුවත් මට එක ගාණකට වැඩිය හදා ගන්න බෑ.. මොන කරුමෙකට මේ ගනං උගන්නනවද මන්දා.... 

ෂීක්.. දැන්නං දමලා ගහලා ගිහින් නිදා ගන්න හිතෙනවා.... මාර නිදි මතයි.... සුදු අයියා නං තාම පාඩම් කරනවා... එයාට මොකෝ... එයාට ඉතිං සයන්ස් කිව්වොත් එච්චර තමයි... කොයි වෙලාවෙත් බයෝ, ෆිසික්ස්, කෙමිස්ට්‍රි... සියලු සයන්ස්කාරයෝ අනිත්‍යයි කියලා, කියලා දෙන්න හිතෙනවා... මං මේසෙට ඔලුව තියාගත්තා.... 

සුද්දි .. නැගිටින්න.. දහයාමාරයි....

මාරයිනේ.. මට නින්ද ගිහින්ද කොහෙද... බලමු.. මෙයා මොනාද කරන්නේ කියලා.... මං නිදි වගේම හිටියා...

නැගිටිනවකෝ... මට තමුසෙව උස්සන් යන්න බෑ...

සුදු අයියා උරහිසෙන් අල්ලලා මාව හෙල්ලුවත් මං සද්ද නැතුව හිටියා... ටිකක් වෙලා බලං හිටපු සුදු අයියා හිමීට මාව වඩා ගත්තා... මට හිනායන්න ආවත් මං කට තද කරගෙන හිටියේ හොර අහුවෙන නිසා... එහෙම උනොත් ඩොග් ගාලා බිමට අතාරියි මාව.... 

හිමීට මාව ඇඳෙන් තියලා අයියා හිමීට මගේ නළලට සිප ගත්තා... 

මං කොහොමද ඔයා එක්ක තරහා වෙන්නේ සුදු....

අයියා හිමීට එහෙම කියනවා මට ඇහුනා... අනේ පවු... මගේ සුදු අයියා... 

ලයිට් එකත් ඕෆ් කරලා අයියා මටත් රෙද්දක් පොරවලම ඇඳේ පෙරළුනා... 

Good night සුදු අයියේ... 

ඔයා නිදි නැද්ද මැටිටියේ... 

ම්හු.. නෑ...

මං හිනා වෙවී කිව්වේ...

හරි නරකයි සුද්දි ඔයා...

සුදු අයියා මට කොට්ටෙකින් දමලා ගැහුවා... 

ඒ උනාට ඔයා මාත් එක්ක තරහා වෙන්නේ නෑ නේ...

යනවා යන්න... බොරු කරලා මෙතන....  දැං එනවා හුරතල් වෙන්න..

මේ.. හෙට උදේට අර ගනං ටික කියලා දෙනවද....

කෑ නොගහා නිදා ගන්නවා... හරි හරි.. කියලා දෙන්නම්..

මගේ හොඳ සුදු අයියා...

දැං නිදා ගන්නවකෝ. වද නොදී... නැත්තම් මං යනවා එහා කාමරේට... 

මං කට වහගත්තා... ඔය තර්ජනේට මං හරි බයයි... 

සුදු අයියේ....

ම්ම්ම්...

Good night..

Good night සුදු...



මතු සම්බන්ධයි

Sunday, January 6, 2013

පසුතැවීමට වඩා පරිස්සම හොඳයි... Better be safe than being sorry ..... 2 කොටස



මේ මම ලියන්න ගත්තේ විශේෂම දෙයක් හිතේ තියාගෙන.... ඒ තමයි පොඩි ගෑණු ළමයින්ට, පිරිමි ළමයින්ට වෙන අතවර, බලහත්කාරකම් වලදි යන්තම් හෝ ගැලවෙන්න ඉඩක් තියෙනවනම් ඒක පාවිච්චි කරන විදිය ගැන කියන්න....  පළවෙනි කෑල්ලට මෙතනින් ගිහින් බලන්න.. 

ඊයේ බේත් ගන්න ගියා හවස... අම්මා කෙනෙක් ළමයි දෙන්නෙක් අරං ආවා එතනට... අපි දෙන්නා ඉස්සරහින් ඉඳගත්තා.. එක පොඩි එකෙක් වඩාගෙන යන වයසේ... අනිත් ගෑණු ළමයා අවුරදු 9-10 ක් ඇති... ලස්සන කෙල්ලෙක්.. මේ ගෑණු ළමයා ඇඳලා හිටියේ කොටම කොට, කොට කලිසමක්... ඉණේ ඉඳලා අඟල් 5ක් විතර දිග ඇති..කකුල් දෙක ඔක්කොම එළියේ... ඒ ඇඳුම දැක්කම ඕනේ කොල්ලෙක්ට අප්සට් වෙනවා... මේ ළමයා පොඩි ළමයෙක් කියලා හිතෙන්නේ නෑ... අපේ මහත්තයත් ඇඹරි ඇඹරි හිටියේ... මොකද ඒ පැත්ත බලන්නවත් බැරි නිසා.... මටත් එහෙමයි... මොකද කෙල්ලෙක් හැටියට ඒවගේ දෙයක් දැක්කම මටත් අප්සට්... 

මම හැමතැනම දකින දෙයක් ඕක... ඇයි අම්මලට මේ ගැන හිතන්න බැරි පොඩ්ඩක්... 

අම්මලා හැමතිස්සෙම හිතන්න ඕනේ දරුවන්ට අන්දන්න ඕනේ ඇඳුම් ගැන.. කලිසම් ඇන්ඳුවට කමක් නෑ.. ඒත් ළමයා වයසට වඩා පේන විදියට අන්දන්න එපා... පොඩි පිරිමි ළමයින්ට උනත් ටිකක් දිගට ඇදුම් අන්දන්න... දුවලට ලේසියි කියලා ස්කිනීස්, ෂෝට්ස් අන්දගෙන සුපර්මාකට් එකේ බඩු ගන්න යන්න එපා.. අර ලොකු ළමයි අඳින විදියේ ඩෙනිම් එහෙම අඳින්න දෙන එක අඩු කරනවා නම් හොදයි.. එහෙම කරලා ලොකු අනාම හරියට අඳින්න දන්නේ නෑ කියලා ළමයින්ට බනින්න ලෑස්ති වෙන්නත් එපා.. ඒ වගේම ගවුමක් අන්දනකොට යටට දණහිසට වත් දිග කලිසමක් ඇන්දුවා නම් හොඳයි.. පොඩි අයට ගවුම් හදාගෙන ඉඳගන්න තේරෙන්නේ නෑ නේ... ( අපි හිතුවට පොඩි එවුන්ගේ ඕවා කවුද බලලා කැත විදියට හිතන්නේ කියලා... එහෙම අසහනකාරයෝ ඉන්නවා... )

ඒ ව‌ෙග්ම අපේ පොඩි එවුන් මම දැකලා තියෙනවා ගොඩක් තැන් වලදි හැමතිස්සෙම ඇඳුම් ගලවලා දානවා.. පොඩි කාලේ ඉඳලම ගෙදරදි උනත් පොඩි ළමයින්ට ( අවුරුදු1 පැන්නට පස්සෙ) හැමතිස්සෙම කොට්න් ඇඳුමක් අන්දලා තියන්න... ගෙදරදි ඇඳුම් නැතුව ඉන්න පුරුදු උනාම තමයි ‌වෙන තැනකට ගියාමත් දාඩියයි කියලා ගලවලා දාන්න දඟලන්නේ...  

අපේ පොඩි එවුන් ජාතියක් ඉන්නවා මල් වට්ටි වගේ.. ඕනේ කෙනෙක්ගේ අතට යනවා.. ඒක හුරතල් තමයි.. ඒත් එතකොට ළමයගේ හිතේ අර තියෙන බය නැති වෙලා යනවා.. ඒක නිසා ඒ හුරතලේ ළමයගේ පරිස්සම වෙනුවෙන් අමතක කරලා දාන්න පුළුවන් නම් හොඳයි... 

ඒ වගේම මං මේකට අමුණනවා බිඟුනද බ්ලොග් එකේ දැම්ම පෝස්ට් එකකත් අමුණලා තිබ්බ වීඩියෝ එකක්.. පුංචි දේවල් කීපයක් දරුවන්ට කියලා දෙන්න.. මං ලියන්න හිටපු දේවල් කීපයක්ම මේකේ තියෙනවා...


1. තමන්ව අම්මා තාත්තා සහ ඩොක්ට කෙනෙක් ( අම්මා තාත්තා ළඟ ඉන්නවනම් විතරක්) ඇරෙන්න වෙන කෙනෙක්ට අල්ලන්න දෙන්න එපා.

2. තමන්ට අපහසුවක් දැනෙන විදියට කෙනෙක් තමන්ව අතගානවා නම් ඒකට එපා කියලා කෑගහන්න.. 

3. එහෙම දෙයක් උනොත් ඉක්මණටම අම්මට හරි තාත්තට හරි කියන්න.

මේ වගේ පුංචි දේවල් දරුවන්ට කියලා දෙන්න... අවුරදු 4-5ක් විතර ළමයිට මේක කියලා දෙන්න පුළුවන්... 

ඒ වගේම වැඩිපුර ළඟින් ඉන්න හිතවත් කෙනෙක් ගැන ළමයා ලොකු අකමැත්තක් දක්වනවා නම් ටිකක් සැලකිලිමත් වෙලා බලන්න.. තමන් ගොඩක් විශ්වාස කරන කෙනෙක් උනත් ළමයිනට කරදර කරන්න ඉඩ තියෙනවා කියලා මතක තියාගන්න...නොදන්න අයගේ ඔඩොක්කුවේ ඉඳගන්න දෙන්නත් එපා... බස් වලදි එහෙම ළමයි ඉල්ලා ඉන්ද ගන්න අයගේ අතින් ළමයින්ට නරක වැඩ වෙනවා කියලා මම දැකලා තියෙනවා.. ඒවා මම කියන්න ඕනේ නෑ නේ... හිටගෙන හිටියත් ළමයව වෙන කෙනෙක්ගේ අතට දෙන්න එපා.. 


පොඩි ළමයි ( ගැහැණු හා පිරිමි) අතවරයට ලක් වෙන වැඩිම අවස්ථාවල් වෙලා තියෙන්නේ තමන් විශ්වාස කරන කෙනෙක් එක්ක තනි උනාම කියලා තමයි දැන් පෙන්නේ.. ඒ කියන්නේ යාලුවෙක් හෝ නෑයෙක් හෝ එක්ක විශ්වාසවන්තකමට ආශ්‍රය කරන වෙලාවල් වලදි...  

ගෙවල් වලදි... තමන්ට පුංචි දුවෙක් ඉන්නවා නම් අම්මා තාත්තා සැලකිලිමත් විය යුතු දේවල් ගොඩක් තියෙනවා.. එකක් තමයි ගෙදර ඉන්න අය අතරින් දුව, පුතා වැඩිපුරම ආදරේ කරන්නෙ කාටද කියන එක හොයලා බලන එක.. ඒ අය එක්ක දරුවට හොඳ සම්බන්ධයක් තියගන්න ඉඩ දෙන්න.. ( අම්මා තාත්තා ඇරැනම ගෙදර ඉන්න අනිත් අය අතරින්...) අපිට නෑයෝ හරිම විශ්වාසයි තමයි.. ඒත් මේ ව‌ෙග් කාලෙක ඒ විශ්වාසයට වඩා තමන්ගේ දරුවා වටිනවා කියලා මම හිතන්නේ... මිණිබිරියෝ, මුණුබුරෝ ආච්චිලට සීයලට හරි ආදරෙයි... හරි එකතුයි... ඒත් තමන්ගේ අම්මා තාත්තා නොවෙනවනම් ඒ වැඩිහිටියෝ ගැන, දෙමවුපියෝ පොඩ්ඩක් සැලකිලිමත් විය යුතුමයි.... 

මං දන්න නංගි කෙනෙක්ගේ ඥාතී වෙන සීයා කෙනෙක්, ඒ නංගිගේ තාත්තගේ අම්මගේ මල්ලි, මේ ළමයා තනියෙන් ඉන්න වෙලාවට ඇවිත් පස්ස අතගානවා, මිරිකනවා කියලා නොදන්න කමට මට කිව්වේ ඊයා අක්කේ.. මං පොඩි සීයට කැමතිම නෑ කියලා.. එතකොට මට වයස 14ක් විතර ඇති.. ඒ නංගිට 12ක් විතර.. මට ලොකුවට තේරුනේ නැති උනත්, ඒ නංගි අකමැති දෙයක් සිද්ධ වෙනවා කියලා තේරුන නිසා, මම ඒ නංගිව හැම තිස්සෙම සෙල්ලමට ඇදගෙන ගියා ඒ සීයා විතරක් ගෙදර ඉන්න වෙලාවට.. පස්සේ ඒ නංගිගේ අම්මලට මේක තේරුනා... ඒ සියව ඉක්මණට වෙන තැනකට යැවුවේ ඒක නිසා කියලා මට පස්සේ කාලෙක එයාලා කිව්වා... 

ඉස්සර මගෙත් එක්ක යාලුවෙන්න දඟලන සමහර අය, මං ගනං ගන්නේ නැති උනාම මල්ලිව ෂේප් කරගන්න හදනවා... එහෙම කරපු එක්කෙනෙක් මල්ලිගේ නහය මිරිකන්න ගිහින් ඌ කට්ටකින් ඇනලා ලේ එන්නම... මට ගෙදර එනගමන් කිව්වේ... එතකොට ඒකට අවුරදු 10ක් විතර ඇති.. හි හි

ඒ වගේම තාත්තලා ගෙදර බොන පාටි දානවා නම්... ( නොදානවා නම් වැඩිය හොඳයි) පුළුවන් තරම් පුංචි දුවලා පුතාලා ගේ ඇතුලේම තියන්න.. බයිට් ගේන්න හෝ යාලුවොන්ට දරුවන්ගේ හපන්කම් පෙන්නන්න එතනට ගෙන්න ගන්න එපා... යාලුවෝ හුරතලේට ඔඩොක්කුවේ තියාගත්තත් දරුවාට වැරදි දෙයක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා කියලා මතක තියාගන්න...

ඒ වගේම ගෙදර පිට කෙනෙක් රෑ නවතින වෙලාවකදි දරුවෝ තනියෙන් නිදාගන්නවා නම්, එක්කෝ තමන් ළඟට ගන්න.. නැත්තම් කාමරේ දොර ඇතුලෙන් ලොක් කරන්න උපදෙස් දීලා තියන්න.. පිටිනුත් ලොක් කරන්න පුළුවන් නම් හොඳයි..

ඒ ව‌ගේම ... අනුන්ගේ ළමයි ආදරේට හුරතල් කරන්න, වඩා ගන්න, ඔ‌ෙඩාක්කුවේ තියාගන්න පුරුද්දක් තියෙනවා නම් අතෑරගන්න... විශේෂයෙන් පිරිමි අය...(ගෑණු අය නම් වඩා ගත්තේ එහෙම නැතත් කට්ටිය එක එක ඒවා කියනවනේ... හි හි) ඔය සමහරු ඉන්නේ .... අනේ හරී කියුට්, හරි ෂෝක් බබෙක් කියලා බබාව ( ටිකක් ලොකු ලමයින්ව උනත්) අතගාන අය..... ඒ දරුවගේ දෙමවුපියෝ අකමැති දෙයක් වෙන්න පුලුවන් ඒක... ඔලුව අතගාලා, ගෙනාපු දෙයක් දීලා, ආදරෙන් කතා කරලා ආදරේ පෙන්නුවට කමක් නෑ... ඒත් වැඩිපුර අතපත ගාන්න යන්න එපා... මොකද ඔයා හොඳ කෙනෙක් උනත්, එහෙම කළාම ළමයා වෙන කෙනෙක්ට තියෙන බය නැති වෙන්න පුළුවන් කියලා හිතන්න ඒ වෙලාවට... 

ඒ වගේම ‌ගොඩක් දරුවෝ දැන් අවුරදු 3-4 වෙනකොට ඩේ කෙයාර්ස්, මොන්ටිසෝරි යනවා... ඒක නිසා දරුවන්ට තේරුම් කරලා දෙන්න පුංචි පුංචි දේවල් ටිකක්.. 

එකක් තමයි දන්නේ නැති අය එක්ක කතා කරන්න, එයාලා දෙන දේවල් කන්න එහෙම එපා කියන එක...  නොදන්න අය එක්ක කොහෙවත් යන්න එපා කියන එක... 

ඒ වගේම කොච්චර වැඩ තිබ්බත් මොන්ටිසෝරි‌ෙය් ටීචර්, තව ළමයි කීප දෙනෙකගේ අම්මලා එක්ක හොඳ සම්බන්ධතාවයක් තියාගන්න... බැරිවෙලා හරි තමන් එතනට යන්න පරක්කු වෙනවනම් දරුවව ඒ අය ගාව තියාගන්න ක්‍රමයක් හදාගන්න.. ළමයා මොන්ටිසොරියේ උනත් තනියෙන් තියන්න එපා මොනම වෙලාවකවත්... මොකද මොන්ටිසෝරිය ඇරුනට පස්සේ ළමයින්‌ෙග් ආරක්ෂාව ගැන ඒ තරම් වගකීමකින් කටයුතු කරනවා කියලා පේන්න නෑ අපේ රටේ.... 

ලොකුම දේ තමයි ළමයි එක්ක හැමතිස්සෙම කතා කරන්න.. එයාලට කරදරයක් නොවී, එයාලව කතා කරන්න උනන්දු කරන්න.. එතකොට එයාලා හැම දෙයක්ම කියන්න පෙළඹෙනවා... ගොඩක් ළමයින්ට කරදර වෙන්නේ අම්මලා තාත්තලට ළමයි ගැන බලන්න වෙලාවක් නැති උනාම කියලා පහුගිය ටිකේ වෙච්ච දේවලින් පේනවා... 

හයියෝ.. මේකට තවත් එකතු කරන්න දේවල් තියෙනවා අප්පා... ඒත් දැං ඇති... කමෙන්ට් වලින් තව දේවල් එකතු වෙයි කියලා හිතෙනවා.... මොන දේ උනත් මේ රටේ සිද්ධ වෙන දේවල් වල හැටියට සදාචාරේ සංස්කෘතිය පැත්තක තියලා අපේ ළමයි පරිස්සම් කරගන්න එක නුවණට හුරුයි කියලා මම හිතනවා..

Friday, January 4, 2013

පසුතැවීමට වඩා පරිස්සම හොඳයි... Better be safe than being sorry .....


අද ලියන්න ගත්තේ ටිකක් විවාදාත්මක කතාවක්... නමුත් මාස කීපයක් තිස්සෙම මේක ලිවිය යුතුයි කියලා මං හිතුවා.. මේ ගැන ගොඩක් දේවල් මට හිතුනා වගේම, අතීතයේ මං මුහුණ දීපු පොඩි සිද්ධි කීපයක් මට මතක් උනා... ඒක නිසා මේක මගේ ඔලුවේ විතරක් තියාගෙන ඉඳලා හරි යන්නේ නෑ කියලා හිතුනා..මේක ලිවීමෙන් මාව ස්ත්‍රිවාදියෙක් විදියට හංවඩු ගැහෙන්න ඉඩ තියෙනවා.. නමුත් මේ ලියන්නේ ගෑහැණු ගැන විතරක් නෙවෙයි.. පිරිමි ගැනත් එක්කම...

පහුගිය ටිකේ කාන්තාවන් ගැන ගොඩක් දේවල් කතා කළා... දූෂණ, අතවර, මිනීමැරුම්,බලාපරාධ, බලහත්කාරකම් ගැන කතා වෙනවා හොදටම වැඩියි... මට හිතුනා පොඩියට හරි මං දන්නේ දේවලින් ගැහැණීයකට, පිරිමියෙක්ට, ළමයෙක්ට මේ වගේ අවස්ථාවක දි ගැලවෙන්න ක්‍රම සහ තමන් අතින් නොදැනුවත්ව හරි කෙනෙක්ට වැරැද්දක් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ ගැන කතා කරන්න..  

ඒ ව‌ෙග්ම මුලින්ම කියන්න දෙයක් තියෙනවා... මම නීතිවේදියෙක් නෙවෙයි.. දෙශපාලකයෙක් නෙවෙයි... කැම්පස් ගිය කෙනෙකුත් නෙවෙයි.. මේ රටින් පිටට අඩියක් තියපු කෙනෙකුත් නෙවෙයි.. මම මේ රටේ දුප්පත් පවුලක ඉපදිලා, රජයේ පාසල් වලින් ඉගෙන ගෙන, සාමාන්‍ය තත්වයේ රැකියාවක් කරලා, දැන් කසාද බැඳලා ගෙදර ඉන්න සාමාන්‍ය ගෘහණියක්... ඒක නිසා මං මේ ලියන දේ ගැන මේක කියවන අයට මීට වඩා දැනුමක් තියෙන්න පුළුවන්..  ඒ දන්න අය මේ ගැන සංවාදයක් ඇති කරනවා නම් මං කැමතියි..  

පාරතොටේදි, ව්‍යාපාරික ස්ථාන වලදි, රැකියා ස්ථානයේදි මිනිස්සු වශයෙන් අපි කාගෙත් මානසික මට්ටම අනුව යම් යම් අපහසුතා ඇති වෙනවා... මේක ගැහැණුන්ට විතරක් නෙවෙයි.. පිරිමින්ටත් එහෙමයි... 

ඉංග්‍රිසියේ තියෙනවා ප්‍රසිද්ධ කියමනක්.. Ladies first කියලා... අපිත් ගොඩක් තැන් වල ඕක පාවිච්චි කරනවා... විහිළුවට පාවිච්චි උනත් මේකේ අර්ථයක් තියෙනවා... ඇත්තටම අද කාලේ මේ කතාව ඒ තරම් අදාළත්වයක් නෑ.. හේතුව කාන්තාවක් පිරිමිත් සමඟ කරට කර ඉන්න උත්සාහ කරන නිසා... නමුත් පිරිමියෙක් කාන්තාවකට තමන්ට කලින් අවස්ථාවක් ලබා දෙනවා නම්, ඒ කිව්වේ පෝලිමක, බස් එකකට නඟිද්දි වගේ අවස්ථාවක උනත්, එතන ඉස්මතු වෙන්නේ ඒ පිරිමි කෙනාගේ මහත්මා ගතියක්.... ඒ වගේම ඒ කාන්තාවට උනත් යම් පැහැදීමක් ඇතිවෙනවා ඒ කෙනා ගැන... ඒ ව‌ෙග් වෙලාවක, තමන්ට බස් එකට නඟින්න ඉඩ දීලා පස්සට වෙච්ච පිරිමි කෙනාට බොහොම ස්තූතියිහෝ “ Thank you” කියලා කියන එක කාන්තාවගේ හැදිච්චකම පෙන්නන දෙයක්... දෙකම බැරි නම් හිනාවකින් සංග්‍රහ කරන්න බැරිකමක් නෑනේ...

සාමාන්‍යයෙන් මම දන්න තරමට සාරි අඳින්නේ නැති ඔෆිස් වල ( බොහෝ විට පෞද්ගලික අංශයේ) කාන්තාවන්ගේ ඇඳුම් වල තියෙන්නේ වෙස්ටර්න් මෝස්තර... විශේෂයෙන්ම අපේ රටේ තියෙන පිටරට බැංකු ශාඛාවල එහෙම ... ෂෝට් ටයිට් ස්කර්ට්ස් ( අර පස්සෙන් ඕපන් එක තියපු ඒවා) ජැකට්ස්, වගේ ඇඳුම් යුනිෆොම් විදියට තියෙනවා නම් පුළුවන් තරම් ඒ ඇදුම ඇඳගෙන පොදු ප්‍රවාහන සේවා වල නොයන එක තමයි කාන්තාවකට වැඩියම ගැලපෙන්නේ... එහෙම කරන්න වෙන්නේ කාර්යාලීය ප්‍රවාහන සේවයක් නැත්තම්... එහෙම නැත්තම් ඇඳුම් මාරැ කරගෙන බස් එකේ හරි කෝච්චියේ හරි එන එක තමයි නුවණට හුරු.. ඒ ඇඳුම නිසා තමන්ට අපහසුතාවයක් ඇති වෙන්න ඉඩ තියෙනවා...

ඇඳුම් ගැන නම් මං වැඩිය කතා කරන්නේ නෑ... කලින් දවසකත් කතා කරපු නිසා... 

එතකොට බස් වල යද්දි... 

බස් වලදි තමයි අපේ රටේ ගැහැණු පිරිමි දෙපාර්ශවයම අපහසුතාවයන්ට පත්වෙන්නේ වැඩිපුරම.... පොල් පටවන නිසා.... මමත් ඇති වෙන්න ඔය කට්ට කාලා තියෙනවා... හි හි... ඒ ගොඩක් වෙලාවට නොදැනුවත්කම් හින්දා... අපිට හැම මිනිහම හදන්න බෑ... තමන් පරිස්සම් වෙන එක තමයි නුවණට හුරු කියලා මම පස්සේ හිතුවා... ඒක නිසා බස් වල යද්දි කාන්තාවක් අපහසුතාවයට පත් වෙන්න තියෙන අවස්ථා වලදි කරන්න පුළුවන් දේවල් කීපයක් මම කියන්න හිතුවා... 

එකක් තමයි සීට් එකේ ඉදගන්නකොට පුළුවන් තරම් ජනේලයක් පැත්තට වෙන්න ඉඳගැනීම... එතකොට උරහිසට ජැක් ගහන්න තියෙන අවස්ථාව අඩුයි... එහෙම ඉඳගත්තම පිරිමි කෙනෙක් දුවලා ඇවිත් එතනින් ඉඳගත්තොත් නැගිටලා යන්නයැ... හැම තිස්සෙම ටිකක් ලොකු බෑග් එකක් අතේ තියාගත්තම කකුල් වැහෙන්න තියාගන්න පුළුවන්.. ඒ ව‌ෙග්ම වැස්සත් නැතත් එහෙම අවස්ථාවකදි කුඩේ බෑග් එකෙන් එළියට අරන් තියාගන්න පේන්න... කොණ්ඩෙ.. ගොඩක් අය ගොතන්නේ නෑ නේ දැං.. පෝනි ටේල් එකක් ව‌ෙග් දාලා නම් ඉන්නේ ජනේලේ පැත්තෙන් නැතුව අනිත් පැත්තෙ උරහිස උඩින් අරගෙන ඉස්සරහට දාගන්න.. ඒකෙන් එක විදියකට අනිත් අයට කරදරයක් නොවෙනවා වගේම, හිට ගෙන ඉන්න අයට පිං කැටේ වගේ ගවුම් කර අස්සෙන් පේන එකත් වළකිනවා...

බස් එකේ ඔය පැත්තේ ගෑණු ළමයෙක් ඉඳගත්තම සමහර විකාරකාරයෝ කරන දෙයක් තමයි සීට් එක අස්සෙන් අත දාන එක.. එහෙම ඉඩ තියෙන තැනක් නම් හොඳම දේ අයිනටම වෙන්න එක්කො කුඩේ ‌හෝ ටිකක් මහත පොතක් හේත්තු කරන එක.. එහෙම නැත්තම් බෑග් එකක්... එතකොට අත දාන්න බෑ... ( ඉස්සර මගේ බෑග් එකේ නම් හැමතිස්සෙම මහත පොතක් තිබ්බා...)

බැරි වෙලා හරි ඒ පැත්‌තේ ඉදගන්න බැරි උනොත් පුළුවන් තරම් ගැණු කෙනෙක් ඉන්න සීට් එකක ම ඉඳගන්න බලන්න.. විශේෂයෙන් පොල් පටවන බස් රෑට් වලදි... කොණ්ඩේ නම් ඉස්සරහට දාගැනීම අනිවාර්යයි.. මොකද නැත්තම් හිටගෙන ඉන්න අයට කරදරයි... අනිත් එක ‌බෙල්ල, කර වහගන්නත් ලේසියි.. 

හිටගෙන යන්න උනොත්... ඇන්ටි කෙනෙක් ගාවින්, ගෑණු ළමයෙක් හිටියොත් එයා ගාවින් හිටගන්න... සීට් එකකට හේත්තු වෙන්න එපා... එහෙට මෙහෙට වෙන්නවත් බෑ එතකොට... අනිත් එක ඒ වගේ තැන් වල හිර වෙනවත් වැඩියි... බස් එකේ මැද හරියට වෙන්න හිට ගන්න.. මොකද කොන්දොස්තර ඔය හරියෙන් යනකොට එතනම ලත වෙවී ඉන්න ජැක් කාරයන්ට වැඩි වෙලා එක තැන රැදෙන්න බෑ...ලත වෙන එකෙක් ඉන්නවනම් කුඩේ අතට අරගෙන බලන්න යනවද කියලා... ඒකත් ගනං ගන්නේ නැතුව ජැක් ගහගෙන ඉන්නවනම් කිසි කතාවක් නෑ අත දිගෑරලා දෙකක් දෙන්න ... (ජැක් කාරයෝ හැම තිස්සෙම, මූණ දිහා බැලුවට, රැව්වට දැක්කේ නෑ ව‌ෙග් ඉන්නවා.. බලනකොටම උඩ බිම බලනවා... ඒකෙන් අදුරගන්න පුළුවන්..)  ඊට පස්සේ මොනවා කිව්වත් කට අරින්න එපා... කතාවට යන්න එපා... වෙන කිසිම කෙනෙක් දිහා බලන්නත් එපා... පාඩුවේ අහක බලාගෙන ඉන්න... හැබැයි බස් එක ගොඩක් හිර වෙච්ච එකක් නම් එහෙම කරන්න අමාරැයි... ඒ වෙලාවට ලත වෙවී ඉන්න එපා.. එතනින් අයින් වෙලා වෙන තැනකට යන්න.. එහෙම එක තැන හිටියම හිතන්නේ දීගෙන ඉන්නවා කියලා..

එතකොට බෑග් එක ඉල්ලගන්න අය... එක දවසක් අන්කල් කෙනෙක් මගේ බෑග් එක ඉල්ලගත්ත නිසා මං එතනම නැවතුනා.. මට ටික වෙලාවකින් තේරුනා මේ මනුස්සයා බෑග් එක අල්ලගෙන ඉන්නගමන්,ටික ටික ම‌ෙග් සාය උස්සනවා කියලා... මං පස්සට වෙච්ච ගමන්, ජනේලෙන් එළියේ තියෙන ලයිට් ගනං කරන්න වගේ ඒ පැත්ත බලාගෙන අත ගන්නවා... මං බෑග් ටිකත් අරගෙන වෙන තැනකට ආවා.... ඒක නිසා ඒ වගේ තැන් වලදිත් පරිස්සම් වෙන්න..    

කොල්ලෝ... කොල්ලන්ට වැඩිපුරම වෙන්නේ ඇන්ටිලා, කෙල්ලෝ උරහිසට හේත්තු වෙන එක... සෙනඟ වැඩි බස් එකක නම් සමහර ඇන්ටිලා එහෙම කරන්නේ සීට් එක දෙයි කියන බලාපොරොත්තුවෙන් කියලා මම දැකලා තියෙනවා... නමුත් ඇත්තටම කොල්ලෝ ගොඩක් අපහසුතාවයට පත් වෙනවා ඒ වෙලාවට... ඇන්ටිලාව හදන්න අපිට අමාරුයි.. කෙල්ලො හැටියට කරන්න පුළුවන් එකම දේ එක්කෝ ගෑණු කෙනෙක් ගාවින් හිට ගන්න එක.. ඒ උනාට මං දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් කොල්ලෝ කෙල්ලෙක් තමන් ගාව හිටගෙන ඉන්නවනං සීට් එක දෙනවා කියන එක... එහෙම වෙලාවක බොහොම ස්තූතියි කියන්න මතක තියාගන්න... හැබැයි ඉතිං එතනම හිටගෙන උරහිසට හේත්තු වෙන අනංගයොත් ඉන්නවා කියන එකත් මතක තියාගන්න... 

කොල්ලන්ට වෙන අපහසුතාවයන් අපේ කොල්ලෝ ටික එකතු කරයි කියලා මම හිතනවා..

ඊළඟට... පාරේ යනකොට ඕනේ කමින් ඇවිල්ලා ඇගේ හැප්පෙන එක... කැත වචන කියන එක... ඒක නම් විහිළුවට උනත් කරන්න හොඳ නැති දෙයක් කියලා කොල්ලෝ හිතනවා නම් හොඳයි.. මොකද තමන් ආදරේ කරන කෙනෙක්ට එහෙම වෙන කෙනෙක් කතා කරනවට තමන් කැමති නෑ නේ.. මොන විදියට ඇඳගෙන ගියත්, මොන වැරද්දක් අපිට පෙනුනත්, ඒ යන්නේ කවුරු හරි කෙනෙක් ආදරය කරන කෙනෙක් කියල එක මතක තියාගෙන, මරු කෑල්ල, මරු ගල් දෙක, මරු බඩ්ඩ, පට්ට කෑල්ල වගේ වචන වලින් කෙනෙක්ව හඳුන්වන එක නවත්තනවා නම් හොදයි.. විශේෂයෙන් තමන් දන්න අදුරන කෙනෙක්ට එහෙම කතා කරන්න එපා... තමන් දන්න කෙනෙක්ව අපහසුතාවයට පත් වෙන විදියේ දෙයක් නොකර ඉන්න උත්සාහ කරන්න හැම තිස්සෙම... 

එතකොට එහෙම කතා කරන, නරක අයට පාඩමක් උගන්නන්න කෙල්ලන්ට පුළුවන්... 

එහෙම දෙයක් කිව්වොත්, කියනවා ඇහුනොත් හිනා වෙන්න එපා...බලන්නවත් එපා.. පාඩුවේ යන්න.. ඒක හොඳ නැති විහිලුවන් බවත්, තමන්ගේ හිත රිදුන බවත් ඒ ක්‍රියාවෙන් පෙන්නන්න.. තමන් දන්න කෙනෙක් නම් එහෙම කියන්නේ කෙලින්ම අහන්න... “ ඔයාගේ අම්මටත්, නංගිටත් ඔයා කතා කරන්නේ ඔහොමද කියලා... 

අපොයි.. මට මේක කොටස් දෙකකට දාන්න වෙයි වගේ... දැනටමත් දිග වැඩියි... පොඩි ළමයි ගැන ලියපු ටික වෙන කොටසකට දාන්න වෙනවා.... 

Thursday, January 3, 2013

පෙරේතයා.... පාරමී දම් 3 කොටස





“ සුදු අයියේ... කවුද අර අද ඇවිත් හිටිය අලුත් අයියා.... 

මං ඇහුවේ කෑම කන ගමන්... කොහොමත් අපි ගෙදර ඇවිත් දවල්ට නෙවෙයිනේ කන්නේ... දවල්ටත් නැති රෑටත් නැති කෑම වේලක්... 

කවුද...

අර සුදු, උස අයියා කෙනෙක් නැග්ගේ මඟදි...

මතක නෑ ඕයි...

ඇයි හලෝ අර ලස්සන කොණ්ඩයක් තිබ්බ කොල්ලෙක් නැග්ගේ.. ඔයා කතා කර කර ගියේ... 

කවුද .. අංජු ද.. 

නම දන්නවනං ඔයාගෙන් අහනවද අනේ... 

ඌ තමයි... මං වැඩිය දන්නේ නෑ... අපේ ඉස්කෝලෙ එකෙක් නෙවෙයි...

ඇත්තද...ඒක තමයි... 

මං කිව්වේ නෝණ්ඩි හිනාවක් දාලා... 

මොකද ඒක තමයි කිව්වේ... 

නෑ ඉතිං.. වැදගත් විදියට හිටියනේ.. මං හිතුවා ඔයාලගේ ඉස්කෝලේ නෙවෙයි වෙන්න ඇති කියලා...

... එතකොට අපේ ඉස්කෝලෙ ඉන්නේ වැදගත් නැති එවුන් ..... ඕවට එන්න එපා හරිද සුද්දි.. අපේ කොල්ලන්ට අනම් මනං කියන්න... ” 

හරි හරි... හොඳ වැදගත් එවුන් ටිකක් නේ ඉන්නේ... කාඩිබෝඩ් වීරයෝ....

මං අන්තිම ටික කිව්වේ ටිකක් ඇදලා.. හිමීට.. 

මං තමුසෙට කියන් නෑ..

ඔයා ඉතිං කවදාවත් කියන් නෑ නේ .... 

මං සුදු අයියව විහිළුවට ගත්තා.. එයාට කේන්ති ගියාම බලන්න ලස්සනයි... කන් දෙකේ ඉඳලා රතු වෙනවා.... 

ඕනෙවට වැඩියි සුද්දි තමුසේ...

සුදු අයියා බත් එකත් පැත්තකට දාලා අත හෝදගෙන කාමරේට ගියේ හොඳටම කේන්ති ගිහින් කියලා මට තේරුනා... බය වෙලාද කොහෙද මං අම්මට කියයි කියලා... කාලා ඉවර වෙලා මං අම්මා හදලා තිබ්බ වටලප්පන් එකක් අරගෙන කාමරේට ගියේ මෙයාව ෂේප් කරගන්න ඕනේ නිසා... 

ආ....

අපෝ.... මෙයාට හොඳටම තද වෙලා... රැව්වා රැවිල්ලක් මට.... 


යනවා යන්න.. මට එපා... 

සුදු අයියා පොතත් මේසේ උඩට දාලා ඇඳේ පෙරලුනා...

මේ.. තරහා පැත්තකින් තියලා මේක ගන්නවද... නැත්තං මං කාලා දානවා හරිද....

මං කප් එක අයියගේ පිට උඩින් තියන ගමන් එයාට හිනා උනා.....  

ඉතිං කනවා... මට ඕන් නෑ...

පෙනේද තියෙන සෝබනේ... වෙනදට වටලප්පන් කිව්වම උඩ පැන ගෙන එන්නේ... ඉන්නවකෝ ඔහොම... 

අම්මේ.. මෙයාට වටලප්පන් එපාලු...  

මං කුස්සියටම ඇහෙන්න කෑ ගැහුවට අම්මා නෙවෙයි පැත්ත පලාතේ එන්නේ.. ඒක මම දන්නවනේ... අපි දෙන්නගේ වලි බේරන්න ගියාම අම්මට ඔලුව කැක්කුම හැදෙනවලු.... 

දෙනවා මෙහෙට.... 

සුදු අයියා නැගිටලා කප් එක මගෙ අතින් අරගෙන, කකුල් දෙකත් ඇඳ උඩින් තියාගෙන කන්න පටං ගත්තේ මට රවන ගමන්මයි... 

බලාගෙන... ඔහොම රවන්න එපා වැඩිය... ලබන ආත්මේ බකමූණෙක් වෙයි...

මං එහෙම කිව්වේ අයියට එහා පැත්තෙන් වාඩි වෙන ගමන්... 

ඉතිං තමුසෙට මොකෝ....

අප්‌ෙප්.. මෙයාට තරහා ගිහින් තියෙන තරම... හැබැයි මූණ නම් රතු වෙලා නෑ....

සුදු අයියා මට රව රවම නැගිටලා කාමරෙන් එළියට ගියා... මං එයාව ගනන් ගන්නේ නැතුව හිටියේ තව ටිකක් අවුස්සන්න... 

අනේ මට මොකෝ ඔයා තරහා උනාට.... 



මතු සම්බන්ධයි

අගක් මුලක් හිතාගන්න බැරි නම් මෙන්න මේ පැත්තට චුට්ටක් ගිහින් බලන්නකෝ....