Wednesday, August 29, 2012

මේ ඇගේ පාපොච්චාරණයයි.....

නයෙකු තුරුළු කරගෙන නිදා සිටි සමාජ ශාලා නළඟන පොලිසියෙන් රෝහලට...
පුවතක්...


මේ ඇගේ පාපොච්චාරණයයි......

නිශාචර ජීවිතයකට ‌කොටු වුනු
ගෙවී ගිය යෞවනය
කියා දුන් පාඩමයි මේ.....

ම‌ෙග් මැණික හොදට ඉගෙනගනින්...
අප්පච්චි කිව්වා....
දුවේ උඹ අපේ අනාගතේ....
අම්මා හැමදාම කිව්වා....

ගෙන්දගම් පොළවේ
අමුත්තක් දැනුනේ නෑ....
නෙත පිනන සොදුරු දසුන්
මෙහේ මිස ගමේ නෑ...

ඇස් දෙකේ සතුට
දෝරේ ගලන කොට
ප්‍රේමයේ මල් ඵළ
කුසේ පීදී එන කොට

තනිකම දෝත මත
පුංචි දෝණි ඇස් පියන්
ඇට පෑදුණු බඩගෙඩියක් එක්ක
දත් නැති කටෙන් හිනා වෙච්චි...

නිශාචර සමාජයේ පිහිටෙන්
බත් කටක් ඒ බඩට
ඇදිවතක් ඒ ගතට
නොනවතින්නට ඒ හිනාව...

දුවේ උඹ මගේ ලෝකයයි......

සමාජය විසකුරුයි
මේ නයා ඒ තරම් විස නෑ....
මම නයා තුරුළු කර ගත්තේ ඒකයි.....


අද ලංකාදීපයේ මුල පිටුවේ තිබ්බ පුවතක් අහද්දි මගේ හිතට ආපු අදහසක් විතරයි......

Photo from

Monday, August 27, 2012

අතිශයින්ම පිරිමින්ට පමණයි. 3 කොටස


මේ දෙවනි කෑල්ල....

පෙම්වතියක් පෙම්වතෙකුට ආදරේ කරනවාට වඩා, බිරිදක්, සැමියාට ආදරය කරන බව ඔබ තේරුම් ගත්තොත් ඔබට මේක තේරෙයි... ඇය නිදහස් කිරිල්ලියක් සේ ඉන්න කා‌ෙල් මොන විදියට හිතුවත් ඔබගේ බිරිද වූ පසු ඇයට ඇයගේ මුළු ලෝකයම ඔබයි...

ඇය දවසම ගෙදරට වී බලා ඉන්නේ ඔබ හවසට ගෙදර එනතුරුයි... ඔබගේ දවස කො‌හොමද ගෙවුනේ කියලා දැන ගන්න ඇය ආසාවෙන් ඉදියි... ඔබ දවසම කාර්යාලයේ මිතුරන්, සතුරන් අතරේ ගත කරන අතරේ ඇය ගෙදරට වී ඉන්නේ ඔබේ මතකයන් එක්කයි... ඇනිවසරි එකක් ඔබට අමතක උනොත් ඇයට දුක හිතෙන්නේ ඇයට එය මතක තියෙන නිසයි... ඇයට ඒවා අමතක වෙන්නේ නෑ... ඇයගේ ලස්සනම මතක සටහන් ඒවායි... ඒක නිසා ෆොන් කැලැන්ඩර් එකේ රිමයින්ඩර් එකක් දාගෙන හරි ඇනිවසරි සහ උපන්දින මතක තියා ගන්න ඔබට බැරි කමක් නෑ නේ....

වැඩක් දා ගන්න කලින් ටිකක් බිරිදගෙන් විමසන්න... ඒක මදිකමක් නෙවෙයි.... යාලුවෝ, දෙමවුපියෝ කියයි “ මේකා ඔක්කොටම ගෑණිගෙන් අවසර ගන්න ඕනේ නේ “ කියලා.... නමුත් මතක් කරගන්න ඇය හැම දෙයක්ම කරන්න කලින් ඔබෙන් අහන්න ඕනේ කියලා ඔබ හිතන බව.... මතක තියාගන්න ඇය හැමදෙයකටම ඔබගේ සහය බලපොරොත්තු වෙන බව... හෙට උයන්නෙ මොනාද කියලා ඇහුවොත්, කර්ට්න් වලට පාට තෝරන්න ඔබෙන් උදවු ඉල්ලුවොත් ඔයාට කැමති දෙයක් කරන්න කියලා මඟෑරලා යන්න එපා.... ඇය ඒ වගේ දේවල් වලට ඔබේ අදහස අහන්නේ ඔබවත් හවුල් කරගන්න ඕනෙ නිසා... “මං කිව්වට ඔයා කරනවයෑ“ කියලා මඟෑරියොත් ඇය හිතින් දුක් වෙයි... ෆොන් එකෙන් වැඩක් දා ගන්න කලින් පොඩ්ඩක් ඉන්න කියලා බිරිදගෙන් ඔබ ඇහුවොත් “ ඔයාට මෙදාට මුකුත් වැඩක් තියෙනවද...“ කියලා ඇය ගොඩක් සතුටුවෙයි... මතක තියාගන්න ඔබ දැන් තනිකඩයක් නෙවෙයි.... බිරිද වෙනුවෙන් යම් කාලයක් තියා ගන්න... ඇයට ආදරය කරන්න, කතා කරන්න, හිනා වෙන්න, පොඩි පහේ සෙල්ලමක් කරන්න, චුට්ටක් ඉස්සර ආදරේ කරන කාලේ ගියා වගේ පන්සලකට, පල්ලියකට යන්න වෙලාව වෙන් කර ගන්න.... එතකොට ඔබේ ආදරේ වෙනුවෙන් රණ්ඩු කරන්න බිරිදට සිද්ධ වෙන එකක් නැති වේවි...

ඇයට පොඩි හරි අසනීපයක් දැනෙනවා නම් සැලකිලිමත් වෙන්න... එළවලු කපන්න ගිහින් ඇයගේ ඇඟිල්ල කැපුනා කියලා හිතන්න... ඇය රෙදි පටියක් බැදගෙන හරි ඉතරු ටිකත් කපලා උයන්න යන කොට ඔබ ඉස්සර වගේ සැලකිලිමත් වෙලා නිකමට හරි උදව්වක් කරන්න ආවොත්, එහෙම නැත්තම් “ දැන් උයන්න එපා සුදු.. අමාරැයි නේ... මං අද කඩෙන් කන්නං...“ කියලා කිව්වොත් හරි ඇය අමාරුවෙන් හරි ඔබට උයලා දේවි.... ඒ ඔබ ගැන වැඩිපුරත් ආදරෙන්... මොකද එතකොට ඇය දන්නවා කොච්චර වයස ගියත් ඔබට ඇය තාමත් පුංචි සියුමැලි කෙල්ලෙක් කියලා....

බිරිදක් හැමතිස්සෙම තමන්ගේ අවශ්‍යතාවයන්ට වඩා තමන්ගේ සැමියගේ සහ දරුවන්ගේ අවශ්‍යතාවන් සපුරන්න උත්සාහ කරනවා කියන එකත් හිතේ තියාගන්න... ගෙදර හැමෝම කාලා ඉවර වෙනකම් අම්මා කන්නේ නැතුව ඉන්නේ ඒකයි.. කොච්චර කන්න කිව්වත් කන්නේ නැත්‌ෙත් උයලා තියෙන ටික මදි වෙයි කියලා හිතලා... බැන්දට පස්‌සේ ඉස්සර වගේ ලස්සනට ඉන්නේ නෑ කියලා ඔබ හිතුවත් ඇය එහෙම කරන්නේ ඇයගේ ඕනෙකමටම නෙවෙයි.... ඒ වගේ දේකට වියදම් කරනවට වඩා දරුවන්ට යමක් කරන්න, ගෙදර දොර අඩුපාඩුවක් හදා ගන්න ඇය උත්සාහ කරනවා වෙන්න ඇති... ඔබට වඩා ඔබේ බිරිද පවුලේ අනාගතය ගැන හිතනවා වැඩියි...ඇයව ලස්සනට ඉන්න උනන්දු කරවන එක ඔබේ යුතුකමක්.. ඇයට ඉදලා හිටලා හරි ලස්සන ඇදුමක් ගෙනල්ලා දීලා, පොඩි පහේ සැලොන් එකක ඇපොයින්මන්ට් එකක් දාලා දීලා, එහෙම නැත්තම් ව්‍යායාම මධ්‍යස්ථානයක සාමාජිකත්වය අරන් දීලා ඇයව පුදුමයට පත් ක‌ෙලාත් ඇය මුලින්ම අහයි... අනේ ඇයි මේවට සල්ලි වියදම් කළේ කියලා... ඒ වගේ ඇහුවොත් තරහා වෙන්න එපා.... ඒ වගේ දේකට ඇය සතුටු වෙන බව ඔබේ හිතේ තියාගන්න.. “සල්ලි තියෙන්නේ දීලා... යන්න ඕනෙ නම් යන්න බැරියැ... එයාට ඕනෙ කමක් නෑ ....“ කියලා හිතලා ඔබත් ඇයව පැත්තකට දාලා හිටියොත් ඇය දුකට පත්වෙලා තමන් ගැන සැලකිල්ලක් දක්වන එක නැතිම වෙලා යාවි... අසනීපයකටවත් ප්‍රතිකාර නොගන්න තත්වයකට ඇය පත්වේවි...( එහෙම වෙලා ලෙඩ වෙන ගෑනු අය ලංකාවේ වැඩියි... මොකද ඩොක්ට කෙනෙක් ගාවට යන්න ටිකක් මැලි වෙන නිසා සහ සල්ලි ප්‍රශ්න නිසා ලෙඩ හංගගෙන ඉන්න පුරුද්දක් ලංකාවේ ගෑණුන්ට තියෙනවානේ... එතකොට පරක්කු වැඩි වෙලා වෙන්න පුළුවන්..)

ඇයගේ සියුම් අවශ්‍යතාවයන් ගැන සංවේදී වෙන්න... මතක තියාගන්න ගෑණුන්ට ප්‍රශ්න වැඩියි... ගෑණු අය ප්‍රශ්න මවා ගන්නවා කියලා හිතන්න එපා... ඔබට ටිකක්වත් වත් බලපාන්නේ නැති ප්‍රශ්නයක් ඔබේ බිරිදට හිතට වද දෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්... විවාහයෙන් පස්සේ ඔබේ ජීවිතයට වඩා ඇගේ ජීවිතය වෙනස් උනා වෙන්න පුළුවන්... ඇයට අභියෝග වැඩියි...ඇයට කරන්න වන කැපකිරීම් වැඩියි... ඇගෙන් බලාපොරොත්තු වෙන දේවලුත් වැඩියි.. එතකොට ඇයට ඇතිවෙන ප්‍රශ්නත් වැඩි වෙන්න පුළුවන්... හැම තිස්සේම කෙදිරි ගානව කියලා හිතන්න එපා... ඇයට තියෙන ප්‍රශ්න කියන්න ඉන්න එකම කෙනා ඔබයි... ඇය පිළිතුරක්, විසදුමක් බලාපොරොත්තු වෙන්නේ ඔබෙන්..... අනිත් අයව සතුටු කරන්න කලින් ඇයව සතුටු කරන්න උත්සාහ කරන්න.... ඇය ඇගේ ජීවිතය ඔබේ අතේ තියලා තියෙන්නේ.....

ඒ වගේම ඔබේ ප්‍රශ්න ගැනත් ඇය එක්ක කතා කරන්න... ඇයත් සමඟ විවෘත වෙන්න....ඔබට නොපෙනුනු පිළිතුරක් ඇයට පේන්න බැරි කමක් නෑ.... ඔබේ රුකියාවේ විස්තර ඇය ආසාවෙන් අහන් ඉදියි.... ඔබගේ ප්‍රශ්න විසදා ගැනීමට මිතුරන් වෙත නොව ඔබේ බිරිද වෙත විශ්වාසය තබන්න... එතකොට ඔබට මිතුරන්ගේ බෝතල් සාද වල වටිනාකම අඩුවෙන් දැනේවි..... ඔබට විවෘතව, බොක්කෙන්ම කතා කරන්න පුළුවන් කෙනෙක් ගෙදරම ඉන්න නිසා.....

ඇයගේ සතුට ගැනත් හිතන්න.... wam bam, thank u ma'am ජාතියේ වෙන්න එපා... ඒක නම් තේරෙනවානේ..... නේද...? ( දැං තේරැන් නෑ කියලා පැහැදිලි කිරීම් බලාපොරොත්තු වෙන්න එපා...)

ඒක අනිත් දේවල් වලටත් අදාලයි ඉතින්.... ඕනෑම තීරණයක් ගැනීමේදී අනිත් අය ගැන හිතන්න කලින් තමන්ගේ බිරිද ගැන හිතන්න.....

දැං මේ කියපු දේවල් හැම කෙනාටම 100% ක්ම ඒ විදියටම අදාල නොවෙන්න පුළුවන්..... ඒත් සාමාන්‍ය ‌දේ මේකයි.... බිරිදක් සැමියෙක් ගෙන් ,

ඇයට ආදරය දැක්වීම
ඇය කෙරෙහි ‌කරුණාවෙන් සැලකීම
ඇයට ගෞරව කිරීම
ඇයට අවංක වීම
ඇය කෙරෙහි විශ්වාසය තැබීම
ඇයට රැකවරණය ලබා දීම

කියන දේවල් ටික බලපොරොත්තු වෙනවා....... ඉතිං ඔය ටික ලබා දීමේ ක්‍රම සහ විධි ගොඩක් තිබුනත් බේසික් ඔය ටික තමා.... ඔය ටික හොදින් ලැබෙනවා නම් බිරිදක් බොහෝ විට සතුටින් ඉන්න උත්සාහ කරනවා...

දැං මං මේ අහන්න හැදුවේ....... ඉතිං ඔතන මහ ගොඩක් ජාති තියෙනවාද......?

Thursday, August 23, 2012

අතිශයින්ම පිරිමින්ට පමණයි. 2 කොටස



මේක කොටස් දෙකකට කඩන්න උනා මුල කතාව දිග වැඩි උන හින්දා....

මෙන්න කියෙව්වෙ නැත්තම් මුල කොටස.....

ඉතිං මං මේකෙන් කියන්න යන්නේ බිරිදක් තමන්ගේ සැමියගෙන් බලාපොරොත්තු වෙන දේවල් මොනවද කියල මට හිතෙන දේ ගැනයි....

1. තමන්ගේ බිරිද පෙම්වතිය වෙලා හිටිය කාලයේදී වගේ ඇයට ආදරය පෙන්වීම....
( ඕකෙ කියන්න දෙයක් තියෙනවායෑ... ආදරේ නැත්තම් බදිනවායැ කියලා හිතන්න එපා...ඇය ආදරය බලාපොරොත්තු වෙන්නේ ඔබෙන්.... ඉස්සර වගේම ඇය ගැන සැලකිලිමත් කියලා දැනෙනකොට ඇයගේ ඔබට තියෙන ආදරේ තවත් දැඩි වේවි...)

2. බිරිදගේ අවශ්‍යතාවයන් ගැන ඇය කියනකම් බලා නොසිට සොයා බලා අවශ්‍ය දේ කිරීම..
( ඇයි මට කිව්වේ නැත්තේ කියලා අහන්න ලෑස්ති වෙන්න එපා... ඇයගේ මුහුණ අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්න ඕනේ ඔබට... පෙම් කරන කාලෙදි යන්තම් මූණ නරක් උන ගමන් “මොකක් හරි අවුලක්ද සුදු“ කියලා ඔබ ඇහුවනේ.. නේද...)

3. ඇයට අවශ්‍ය හැමවිටම තමන්ගේ රුකවරණය ඇයට ඇති බව ඇයට පෙන්වීම...
( ඇයගේ අවශ්‍යතාවයන් ඉටු කරදීම සදහා වෙන අයට පවරන්න එපා... ඔබේ මවට, නැගෙනියට හෝ ඇයගේ මවට උනත් ඔබේ බිරිදගේ හැඟීම්,අවශ්‍යතා තේරුම් ගන්න අපහසුවිය හැකි බව අමතක කරන්න එපා... ඇයට ඇගේ අපහසුතා කියන්න පුළුවන් ඔබට විතරක් විය හැකියි...)

4. ඔබ ඇයව හැම අතින්ම විශ්වාස කරන බව ඇයට සහතික කිරීම....
( ඔබේ බිරිදට මේ ලෝකයෙන්ම ඉන්න විශ්වාසවන්තම කෙනා ඔබයි... ඔබ ඇයව විශ්වාස කරන බව ඇය දැනගැනීමෙන් ඇයගේ ඔබ ගැන තියෙන ගෞරවය තවත් වැඩි වෙයි..අරක මේක කරන්න එපා කියා තහංචි දැමීමට වැඩියෙන් මේ විශ්වාසය තුළින් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්....)

5. ඇයව දිරිමත් කිරීම....
( ඇයට හැම දෙයක්ම හරියට කරන්න බැරි වෙන්න පුළුවන්... එත් ඔබ ඇය කරන දේ අගය කරනවානම් ඇයට එය ඉතාම වටීවි... හිතන්න ඇය ඉදලා හිටලා ෆේෂල් එකකට යන්න ඕනෙ කියලා කියනවා කියලා.... බැන්දට පස්සේ ගෙදරට වෙලා ඉන්න මට මොන ෆේෂල්ද කියලා හිතන කෙල්ලෙක්ට වැඩිය, ඔබ වෙනුවෙන් ලස්සනට ඉන්න ඇය කරන උත්සාහයක් හැටියට ඒ දේ අගය කරන්න ඔබ මොනවා හරි කලොත් ඇය ගොඩක් සතුටු වේවි.... )

6. අන් අය ඉදිරියේ ඇයව පහත් කර කතා කරන්න එපා.....
( විහිළු තහළු කරන අවස්ථා වල පොඩ්ඩක් ඇයව අවුස්සන්න මොනවා හරි කිව්වත් ඒක විහිළුවක් බව ඇයට පැහැදිලි වනසේ කරන්න... ඇය නොදැනුවත්ව ඇයව පහත් කොට කතා කරන්න එපා....මේ වගේ දේවල් වලින් ඇය කළකිරීමට පත් වේවි...)

7. ඇය කියන දේට සැලකිල්ලෙන් ඇහුම්කන් දීම....
( මේක තමයි වටිනාම දෙය.... බිරිදකට තමන්ගේ සැමියාට කියන්න දේවල් ගොඩක් තියෙන්න පුළුවන්...ඔබට කරදරයක් කියලා හිතෙන්න පුළුවන්... එකම දේ ටේප් කරලා වගේ හැමදාම කියනවා කියලා හිතෙන්නත් පුළුවන්...ඒත් ඔබ ඇයට ඇහුම්කන් දුන්නොත්, ඇයත් එක්ක එදිනෙදා තීරණ වලට හවුල් උනොත් ඇය ඔබට තවත් ගෞරව කරාවි... ඔබ ගැන තියෙන විශ්වාසය තවත් වැඩි කර ගනීවි...)

හිතුවාට වඩා දිග උන නිසාත්, ලිව්ව ටික කපලා සංශෝධනය කරන්න හිත දෙන්නෙ නැති නිසාත් මේක තවත් කොටසකට දික් කරන්න සිද්ද උනා..

Wednesday, August 22, 2012

අතිශයින්ම පිරිමින්ට පමණයි.... 1 කොටස



මේ ලියන්නේ වෙන මොකවත් නෙවෙයි.... ඔයාලා කියන විදිහට ගෑනු අයගේ WISH LIST එක ගැනයි.....

මම මේ ටිකේ ගොඩක් බ්ලොග් වල පරණ කතා කියවා කියව යද්දි කීප තැනකම හම්බුවුනා මේ ගෑණු අයගේ Wish list එක, නැත්තම් පෙම්වතියක්, බිරිදක් තමන්ගේ පෙම්වතාගෙන්, සැමියාගෙන් බලාපොරොත්තු වෙන දේවල් ගැන...

ගොඩක් තැන් වල මේ ලිස්ට් එක 45 ක් 50 ක් සහ ඊටත් වැඩි වෙලා තිබුණා.... හැබැයි පිරිමි ගෑණුන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් නම් බොහොම ටිකයි තිබුනේ...ගොඩක් වෙලාවට 1ක්, 5ක් වගේ තමා....

අපේ පිරිමි හරිම හොදයි නේ... ඉතිං මෙන්න මේ වගේ හොද පිරිමින්ට යමක් ලියන්න ඕනෙ කියලා මට හිතුනා..... හරිම ආදරේ හිතෙන මාතෘකාවක් නේද.....?

අපේ ගොඩක් පෙම්වත්තු හරී කැමතියි තමන්ගේ පෙම්වතියව අනිත් අයට පෙන්නන්න... සමහරු “මේ මගේ කෑල්ල“ කියලා.... නැත්තම් “මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්“ කියලා... නේද...? පාරේ යනකොට පෙම්වතියගේ අත අතාරින්නේ නෑ නේ.... අම්මෝ බලන්න ඕනේ බැරි වෙලා හරි වෙන කොල්ලෙක් තමන්ගේ කෙල්ල දිහා දෙපාරක් විතර බැලුවොත්... ටක් ගාලා රබර් ඇහැ දාලා බලනවා කෙල්ලත් බැලුවද කියලා... ළඟට ඇදලා අරන් ඉණ වටේට, කර වටේට අතත් දාගන්නවා පුළුවන් නම්... නේ ද ........?

අනේ ඒ පෙම්වතිය තමන්‌ගේ බිරිද උනාම..... කී දවසද දෙයියනේ ඒ ගෑණිගේ අතින් අල්ලන් යන්නේ....? ඕන්නම් මාසයක්..... හරි අපි අවුරුද්දක් කියමුකෝ... ඊට පස්‌සේ ඔයා ඉස්සරහින් යනවා බිරිද පස්සෙන් එනවා බඩු මල්ලක් හරි අලි බඩක් හරි උස්සගෙන....

හරි හරි... මම කියන්න ගියේ වෙන එකක්...අපේ හොද පිරිමි අය ගැනනේ කියන්න ගියේ...

මේක පොඩි කතාවක්... චුට්ටක් හිතන්න වෙන කතාවක්...

ඔබ රෑට වැඩ ඇරිලා ගෙදර එනවා.... සමහරවිට රෑ 8 -9 වෙලා... හොදටම මහන්සියෙන්... පාරේ ට්‍රැෆික්... බස් කාරයත් එක්ක පුදුම තරහකින්... එහෙම නැත්තම් 7- 7.30ට විතර....ඔෆිස් එකේ වැඩ ටික යන්තම් ටිකක් වේලාසන ඉවර කර ගෙන..... ඔබේ බිරිද ඔබ එනකොට රෑ කෑම හදනවා...

ඔබ ඇදුම් මාරු කරගෙන එනකොට ඔබේ බිරිද තේ එකක් හදලා ඔබේ අතට ගෙනත් දෙනවා... ඔබ තේ එක බීලා ‌වොෂ් එකක් දාගන්න යනවා... ඊට පස්සේ ඔබ කොම්පියුටරය ළඟින් වාඩි වෙනවා....FB යාලුවෝ මොනවද කියලා තියෙන්නේ, BLOG එකේ අලුත් පෝස්ට් එකේ කොමෙන්ට් වලට උත්තර දෙන්න ඕනේ... ඔබට වැඩ ගොඩක් තියෙනවා....

ඉතින් ඔබේ වැඩ ඉවර වෙලා ඔබ බිරිද බෙදලා දුන්න බත් එක කනවා... කාලා ඇදට යනවා ඔබ අද එන ගමන් ගත්ත අලුත්ම පොත අරගෙන... ඔබට ‌පොතක් කියවන්න හම්බුවෙන එකම වෙලාව ඒකනේ....

ඔබේ බිරිද කාපු බීපුවා අස්පස් කරලා , වළං පිඟන් හෝදලා තියලා, හෙට ඔබට අදින්න ඇදුම් ලෑස්ති කරලා,වොෂ් එකක් දාගෙන, ලස්සන නයිට් ඩ්‍රෙස් එකක් ඇදගෙන, තුවායෙන් ඔලුව පිහදදා කාමරේට එනවා.... එතකොට ඔබ... පොත බඩ උඩ තියාගෙන, සරම ලිහාගෙන, පොරවන රෙද්ද කකුල් දෙකේ ඔතාගෙන ගොරව ගොරව නිදි.....

ඉතිං ඔබේ බිරිද පොත පැත්තකින් තියලා, රෙද්දෙන් ඔබව පොරවලා ඔබගේ නළලතට පුංච් හාදුවක් දීලා ඔබ ළඟින් වැතිරෙනවා... ඔබගේ නින්දට බාධා උන නිසා ඔබ පොඩි කෙදිරිල්ලක් නඟලා අනිත් පැත්තට හැරිලා නිදා ගන්නවා....

රෑ මැදියමට විතර ඔබට ඇහැරෙනවා... ස්වාභාවික අවශ්‍යතාවයන් තියෙනවානේ... ඇයගේ උණුසුම ඔබට දැනෙනවා... ඉතිං ඔබ ඇයව ඇහැරවා තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගන්නට හදනවා... තද නින්දේ ඉන්න ඇයට මේක කරදරයක් උනත් ඇය ඔබට ඉඩ දෙනවා...ඔබ ඔබේ අවශ්‍යතාවය ඉටු කරගන්නවා...

උදේට ඇය තේ එකක් හදලා ඔබව ඇහැරවනවා... ඔබ තේ එක බීලා මූණ කට හෝදගෙන, ඇදුම් ඇදගෙන, ඇය බැදලා දුන්න බත් එකත් බෑග් එකේ දාගෙන, පිටත් වෙනකොටම ඔබේ මිතුරෙක්ගෙන් කෝල් එකක්.... “මචං... හෙට නිවාඩු දවසේ අ‌ෙප් ගෙදර පොඩි පාටියක් තියෙනවා... ටිකක් උදෙන්ම වරෙං මචෝ අපේ සෙට් එකම එනවා කිව්වා...“ ඔබේ ආත්මීය මිතුරෙක්ගෙන් ආරධනාවක්... බැහැයි කියන්නේ කොහොමද... “ හරි මචං.. මං එන්නං... සෙට් වෙන්නත් පුළුවන්නේ.. නේද.. හරි හරි....කොහොම හරි එනවා... නෑ නෑ... අවුලක් නෑ... මං එන්නම් කෝ..“ ඔබ බිරිදට “මං ගිහින් එන්නම් “ කියලා වැඩට යන්න පිටත් වෙනවා......

යන ගමන් ඔබ කල්පනා කරනවා.... “ දැං ඉතිං අද ඉදලා ඉවරයි... කෝල් එක ආපු වෙලාවේ මූණේ හැටි... යාලුවෙක් හම්බුවෙන්න වත් නෑ කරදරයක් නැතුව...“ ඇත්තනේ... ඔබගේ යාලුවෝ හම්බුවෙන්නේ කොච්චර කාලෙකට පස්‌සෙද...ඉතිං උන් හම්බුනදාට පොඩි ෂොට් එකක් දැම්මට මොකද වෙන්නේ.. අනික ඔබ පුරුද්දක් විදියට බොන කෙනෙක් නෙවෙයි නේ... ඕකට මොකටද මූණ කචල් කරගන්නේ....පුදුම ගෑණු තමයි නේද....?

ඊළග දවසේ ඔබ යාලුවගේ ගෙදර යන්න සැරසෙනවා... බිරිද හිතේ අමාරුවෙන් ඉන්නවා දැනුනත් ඔබ ඒ තරම් ඒ ගැන තකන්නේ නෑ... “ ඔය මූණ ඇද කරන් ඉන්‌නේ මං යන එකට තමයි... ෂික්... යාලුවෙක් බලන්නවත් යන්න විදියක් නෑ සන්තෝසෙන්...“ ඔබට හිතෙනවා..... යන්න ලෑස්ති වෙලා ඔබ බිරිදට කතා කරනවා... “ මං යාලුවෙක් ගේ ගෙදර යනවා... රෑ වෙන්නේ නෑ... “ ඔබ ඇයට බොරුවක් කියනවා..... “ ඔයා ඉක්මණට එනවා නේද....“ ඇය අහනවා... “ඔව් ඔව්.. එනවා.....“ ඔබ පිළිතුරු දෙන්නේ නොරිස්සුමෙන්.. “ඇයි ඔයාට මොනවාහරි තියෙනවද කරන්න....“ ඔබ එළියට බහින ගමන් අහනවා... “පෙරේදා ඉදලා මගේ අඟට හරි නෑ...උණත් තිබුණා.... ඊයේ ඉදලා බඩත් අප්සට්... මං අද ඔයා එක්ක ඩොක්ට ගාවට යන්න හිතං හිටියේ...“ ඇය කියනවා... ඔබට කේන්ති යනවා... “ කලින් කියන්න එපැයි.... මං අරෑට එනවා කියලා කිව්වනේ...ඔයා අම්මත් එක්ක යන්න...“ කාලෙකට පස්සේ යාලුවෝ ටික හම්බුවෙන දවසටම මෙයාට බඩේ අමාරු.... ඔබ හිතනවා.... “කමක් නෑ... ඔයා එන්නකෝ.. ඔයා ආවම යමු..... මට ඉන්න පුළුවන්“ ඇය කියනවා.... “මං එන්න පරක්කු වෙයි...ඔයා අම්මත් එක්ක යන්න...“ ඔබ එහෙම කියලා ඉක්මණට යන්න යනවා....

කතාව ඉවරයි...

පිරිමින්ට කොච්චර පොඩි අවශ්‍යතාවයක් කීපයක්ද තියෙන්නේ....?

මං ඒක ගැනත් නෙවෙයි කියන්න ගි‌යේ..... දිග වැඩි උනා... දෙවනි කොටසකින් ඉතුරු ටික දාන්නම්.....

Monday, August 20, 2012

ආදර කතාවක් කියන්න හිතුනා....

ආදර කතාවක් කියන්න හිතුනා...... අද විශේෂයක් හින්දා නොවෙයි.... විශේෂ දවස පහු වුනා....ඒක තිබ්බේ අගෝස්තු 13 වෙනිදා...... ඒ තමයි අපේ අම්මගෙයි තාත්තගෙයි වෙඩින් ඇනිවසරි එක.......

කසාද බැදලා අවුරුදු 29ක් වෙච්ච දෙන්නෙක්ගේ ආදර කතාවක් හරි සුන්දරයි කියලා හිතෙනවා ඇති... අපේ අම්මගෙයි තාත්තගෙයි ආදර කතාව නම් සුන්දර වුනත් ජීවිත කතාව නම් කරදර කම්කටොලු මැද්දෙන් ගත උන එකක් කියලා මට ඉස්සර ඉදලම තේරුනා.....

මතකද කාලයක් වතුර ප්‍රශ්න හින්දා රෑට කරන්ට් කැපුවා අවුරුදු ගාණකට කලින්.... ඒ කාලෙදි තාත්ත ගෙදර ඉන්න දවස් වලට තාත්තා ඉස්සර කතා කිව්වා.... තාත්තා කරපු දඟ වැඩ... අම්මව හම්බුවුන හැටි... මං පොඩි කාලේ කරපු වීරකම්..... වෙනදා වගේ පොත් බදා ගෙන ඉන්න මටවත්, මොකක් හරි කුණු ගොඩක් ගලවගෙන කාමරේට වෙලා ඉන්න මල්ලිටවත් වෙන කරන්න දෙයක් නැති නිසා තාත්තාගේ ඒ කතන්දර සුරංගනා කතා වගේ හරි ආසාවෙන් අහන් හිටියා.... ඇත්තටම ඒ කරන්ට් කැපිල්ල නං අපිට ගොඩක් ලස්සන කාලයක් උදා කළා.... ( දැං වගේ නෙවෙයි...)

ඒ කාලේ තමා මේ දෙන්නගේ ආදර කතාව සවිස්තරාත්මකව අහන්න මටත් පුළුවන් උනේ....

අපේ තාත්තගේ ගම රාජගිරිය කියලා තමයි ඇහුවොත් කියන්නේ.. හැබැයි මං එහේ ගිහිල්ලා නෑ... තාත්තට අම්මව හම්බුවෙන කාලේ තාත්තලා ඉදලා තියෙන්නේ හෝකන්දර....

තාත්තා එක එක රස්සා කරලා.... ( මං දන්න විදියට බස් කොන්දොස්තර කෙනෙක්, බස් ඩ්‍රයිවර් කෙනෙක්, මුදලාලි කෙනෙක් සහ කම්පැනි කීපයක පෞද්ගලික රියදුරෙක් විදියට වැඩ කරලා තියෙනවා මුල කාලෙදි...)පොහොර නිෂ්පාදනය කරපු ආයතනයක වැඩ කරන කාලෙක, පොඩි පොඩි අනතුරු සිද්ධ උනාම ඒ අයව අරන් එන ෆාමසිය තිබිලා තියෙන්නේ කොට්ටාවේ අපේ අම්මලගේ ගේ ඉස්සරහා.... ලෙඩ්ඩු ගෙනල්ලා ඒ වැඩ ඉවර වෙනකම් වතුර බොන්න වගේ එක එක කාරණ වලට තාත්තලා එන්‌නේ මෙහෙටලු....

තාත්තගෙම වචන වලින් කියනවා නම් ඔය ගෙදර හිටපු “වසන්ති චතුරානිට කන්න නැතුව“ වගේ කෙල්ලට තාත්තගේ හිත ගියාලු... අපේ අම්මා ඉස්කෝලෙ යන කෙල්ලෙක් නෙවැ එතකොට.... අනිත් එක සහෝදර ස‌හෝදරියෝ 5 ක් සහ ආච්චියි ආතයි එක්ක හිටපු අම්මට පවුලේ වැඩිමල් ගෑණු ළමයා හැටියට කරන්න ගොඩක් වැඩත් තිබ්බලු... අම්මගේ අම්මා එතකොට පිටරට ගිහිල්ලා... අම්මගේ තාත්තා නැතිවෙලා තියෙන්නේ අම්මලා පොඩි කාලේ...තවත් නෑදෑයෝ ගොඩක් ළගපාත හිටියත් තනිකමත් එක්ක හිටපු අම්මට මේ ආදරේ එපා කියන්න හිතුනේ නෑ කියලා අම්මා කියනවා.... ඇත්තටම මේ ආදරේට අපේ අම්මගේ අම්මා කැමති වෙලා නෑ.... තාත්තගේ පවුල දුප්පත් නිසා..... තාත්තටත් සහෝදර සහෝදරියො 6 යි...

කොහොම උනත් අන්තිමට මේ දෙන්නා හැමෝගෙම ආශිර්වාදයත් ඇතුව 1983 ජූලි කලබල අස්සේ කසාද බැන්දලු.... අම්මා කියනවා ඒ කාලේ අම්මට දාන්න සපත්තු දෙකක් හොයන්න යනකොට කඩ ඔක්කොම ගිනි තියලා තිබුනලු....

ඊළඟ අවුරුද්දේ මේ දෙන්නා අතරට මං එන කාලෙදි තාත්තට තේරුනාලු, අම්මට තාත්තගේ අම්මලා නංගිලා එක්ක ඉන්න බෑ කියලා.... ඇත්තටම අම්මා දැන් ඒ කාලේ ගැන කතා කළේ නැති උනත් තාත්තා කියනවා සාම්ප්‍රදායික වෙනස්කම් අතරෙම මුදල් අඟහිඟකම් සහ නිදහසක් නැතිකම නිසා අම්මා මානසික ලෙඩෙක් වේගෙන එනවා කියලා තාත්තට තේරුණාලු...( දැං තමයි ඔහොම කියන්නේ... ඒ කාලේ හිතුනලු මාවත් මරලා අම්මත් මැරෙයි කියලා...මං ඇහුවා අම්මගෙන් එහෙම හිතුනද කියලා.... අම්මා කියනවා මැරෙන්න හිතුනලු... ඒත් මං හින්දා හිටියලු....එතකොට අම්මට වයස අවුරුදු 21යි...)

පස්සේ ගොඩක් අමාරුවෙන් කුලියට ගේකට ගිහිල්ලා, ඊට පස්සේ අම්මගේ අම්මා දුන්න ඉඩම් කෑල්ලේ ලෑලි වලින් ගෙයක් හදාගෙන අපි එහෙ එනකොට මට අවුරුදු 4යි ලු..... තාත්තා ආච්චි මැරෙනකම් ආච්චි මොන දේ කිව්වත් ඉවසගෙන හිටියා ආච්චි එදා ඒ ඉඩම දුන් නැත්තම් අපි කවදාවත් ගොඩ එන්නේ නෑ කියලා.....

මේ ටික මං ලියලා තිබ්බා තාත්තා කියපු විදියටම.... ඉස්කෝලෙ යන කාලේ.... ඒ කාලේ මගේ කොල්ලා මගේ පවුලේ විස්තර අහුවම පුල්ස්කැප් පිටු 6ක් පුරෝලා ලියලා තිබ්බ මේ විස්තරේ මම එයාට දුන්නා කියවන්න කියලා....එයා තමයි මේ ටික පරිස්සම් කරලා තියා ගෙන තිබ්බේ......

“ අපි ගේ හැදුවේ ගෙයක් ගලෝපු තැනකිත් ලෑලි අරගෙන... ජයේ මාමා ලෑලි ටික ගහලා ගේ හදලා දුන්නේ... කාමරයයි නිදාගන්න කෑල්ලයි වෙන් කලේ අල්මාරියයි කැබිනට් එකයි තියලා... කුස්සියක් පොල් අතු වලින් හැදුවා... ටොයිලට් එකක් හදන්න බැරි උනා... රෑ වෙන කොට වලක් කපලා ඒකට ගිහිල්ලා වල වහලා දානවා... මතකද ඔයාට.. ..... අම්මා දවසම ඉන්නවා මං එනකම් ටොයිලට් යන්න....

අම්මා ඔයාට මතකද බන්දුල රු 50 නෝට්ටු වලින් රු 1000ක් දුන්නා ගෙට ආපු වෙලාවේ.... මං ඒ සල්ලි ටික ජයසේනට දුන්නම ඒ මනුස්සයා ආපහු රු 100ක් දුන්නා තෑග්ගක් කියලා.... අපි නැකත් බැලුවේ නෑ... උදෙන්ම ලොරියට බඩු දාගෙන ආවා... ලොරියත් මගේ යාලුවෙකුගේ.... පාන්දර 6ට යන්තම් එලිය වැටෙන කොට ඔයාගේ අතට බුදු පිළිමයක් දීලා ඉස්සෙල්ලම ගෙට යැව්වා... මං හට්ටි මුට්ටි දාපු පෙට්ටියයි රේඩියෝ එකයි අරගත්තා... අම්මා එළවලු හාල් පොල් දාපු බෑග් එකත් අරං අනිත් අතින් මගේ අතින් අල්ලන් ගේ ඇතුලට ආවා... ඔහොමයි අපි පදිංචි වුනේ.....ඉස්සර මං උදේට වැඩට යන්නෙ රු 10ක් අරං... බස් එකේ ගිහිල්ලා එන ගමන් රෑට කන්න පාන් ගෙඩියකුත් අරගෙන තව රු 3ක් ඉතුරු කරගෙනත් එනවා....ඔයා හම්බුවෙන්න ඉන්න කාලේ අම්ම ගොඩක් කෙට්ටුයි.. ඉතිං මං හවසට එනකොට කිරි හට්ටියකුයි කෙහෙල් ඇවරියකුයි අරං එනවා... අම්මා රෑ එළි වෙනකොට ඒ ඔක්කොම කනවා.... අන්තිමට ඔයා හම්බුවෙන්න හරිම අමාරු උනා... ඔයා රාත්තල් 8 කට වැඩියි... බබා ලොකු වැඩියි කියලා ඔයාව බේබි රෑම් එකේ තිබ්බා දවස් 10 ක්... බදින කොට කෙට්ටුම කෙට්ටුයි... මං තමයි එක්කගෙන ඇවිත් කන්න දීලා මහත් කර ගත්තේ... “

(බන්දුල කිව්වේ අපෙ අම්මගේ ලොකු අයියා.. ජයේ මාමා කිව්වේ අපේ ගෙවල් පැත්තේ හිටපු කුලි වැඩ කරපු මනුස්සයෙක්...මේ කතාව කියන කොට අම්මයි තාත්තයි එයාලගේ කාමරේ ඇදේ... මායි මල්ලියි කාමර වල...මේ වෙනකොටත් අපේ ගේ හදලා ඉවර කරලා තිබුනේ නෑ.... )

ඒ ඔක්කොම මෙතන ලියන්න බෑ..... කියවනකොටත් මට ඇඩෙනවා.....

අවුරුදු 7කට පස්සේ මල්ලි ආවා... එයා ගැන කලින් ලිව්වනේ... එයා ලෙඩ වෙන කොට අම්මා ගොඩක් දුක් වින්දා කියලා මට තේරුනේ දවසක් මං මල්ලිට පොට්ටයා කියලා බැන්නම අම්මා අඩපු ඇඩිල්ලට..... මොකද ඩොක්ටර්ස්ලා කිව්වලු මල්ලිට අවුරුදු 18 වෙනකොට ඇස් පෙනීම නැති වෙයි කියලා... එතකොට මට තේරෙන කාලේ... ඊට පස්සේ නම් මං කවදාවත් එහෙම කිව්වේ නෑ....දෙයියන්ගේ පිහිටෙන් ඌ තාම උගේ කෙල්ලට වද දිදී හොදින් ඉන්නවා...

ඉස්සර අපේ තාත්තට හරියට කේන්ති යනවා.... බත් පිඟාන පොළවේ ගහපු වාර අනන්තයි... ඒ මාත් එක්ක කේන්ති ගිහිල්ලා... දවසක් ටීවී එකත් උස්සලා පොලවේ ගැහුවා.... හැබැයි අම්මා ඒ වෙලාවට මුකුත් කියන්නේ නෑ.... බත් ටික එකතු කරලා පිඟානේ කෑලි ටිකත් එකතු කරලා අතුගාලා දාලා කාමරේට වෙලා අඩනවා..... ටීවී එක පොලවේ ගහපු පාර නං මං තාත්තත් එක්ක සතියක් කතා නොකර හිටියා... පස්සේ අම්මා මට රු 3000 දීලා කිව්වා ගිහින් සිංගර් එකෙන් ටීවී එකක් අරං එන්න කියලා...පස්සේ ගෙවන්න... එතකොට මං ජොබ් එකක් කරනවා...ඊට පස්සෙයි තාත්තත් එක්ක යාලු උනේ....ඔය විදියට ඕනෙ තරම් තාත්තත් එක්ක රණ්ඩු වෙලා කතා නොකර ඉදලා තියෙනවා මං.... හැබැයි වැඩිම කාලයක් හිටියේ ඔය පාර තමයි....

අම්මටත් හිටපු ගමන් හොදටම කේන්ති යනවා... දවසක් මෝල් ගහ උස්සන් ආවා මට ගහන්න... අපේ බලු රාල බිංගෝ මැද්දට පැන්නම පොලු පාර වැදුනේ ඌට.... තාත්තා ඒ වගේ වෙලාවට මුකුත් ම කියන්නෙත් නෑ.... අම්මව අල්ලගෙන හිටියා මිසක්.... ඊට පස්සේ අම්මට ප්‍රෙෂර් වැඩිවුනා ... එදා තමයි තාත්තා මට කිව්වේ අම්ම ඔය වගේ හැසිරැනා කියලා මුල කාලේ....

ඔහොම තමයි ගෙදර හිටපු කාලේ.... රණ්ඩු වෙනවා ඉවරයක් නෑ....එක්කෝ මායි මල්ලියි.. අම්මයි මල්ලියි... තාත්තයි අම්මයිත් හිටපු ගමන් රණ්ඩු වෙනවා... එතකොට සාමදාන විනිශ්චයවරු අපි දෙන්නා... එකපාරක් හොදටම තරහා උනා දෙන්නාම... මං ජොබ් කරනවා.... මල්ලි ඕලෙවල්ද කොහෙද... වලියට හේතුව නෑ‌යෝ... ( මට නං පේන්න බෑ පොඩි කාලේ ඉදන්.. වැඩිපුර තාත්තගේ නෑයෝ තමයි.. ආවොත් ලෙඩක්...) අපි දෙන්නම කිසිම කතාවක් නැතුව අම්මගේ පැත්ත ගත්තා.. තාත්තගේ වැරුද්ද.... තාත්තගේ නෑයෙක් කියපු කට කැඩිච්ච කතාවකට අපේ අම්මගෙ අම්මා බැනලා... ඒකට තාත්තා අම්මට බැනලා... ඊට පස්සේ තාත්ත සතියක් තිස්සේ හැමදාම යාලුවොත් එක්ක බොනවා... දැං අම්මා අඩ අඩ ඉන්නවා....අම්මට මේක එපාලු. මෙච්චර කල් කියන කියන විදියට හිටියලු.. දැන්නං ඇති වෙලාලු...

ඔහොම කිව්වට අපිනේ දන්නේ දෙන්නට දෙන්නා නැතුව ඉන්න බෑ කියලා... අම්මයි මායි මල්ලියි දවස් තුනක ට්‍රිප් එකක් ගියා මගේ ඒලෙවල් ක්ලාස් එකකින්. හැමදාම හවසට අම්මා පස්සෙන් යන්න ඕනේ මං පේ ෆොන් එකක් හොයාගෙන, තාත්තට කතා කරන්න ඕනෙ කියලා... එහා ගෙදර අන්කල් අපි ආවම කියනවා..... තාත්ත හැමදාම ඉන්නවලු ගේ ඉස්සරහ කෑල්ලේ පුටුවක් තියාගෙන... “අනේ මේ ගෑනි නැතුව එක දවසක් වත් ඉන්න බැරි එකේ මං මේ දෙයියන්ට කියන්නේ මේ ගෑනිට කලින් මං මැරෙන්න කියලා... මලොත් මාත් ඒකටම පැනලා මැරෙනවා“ කිය කිය.... ( අපෙ තාත්තට තේ එකක්වත් හදන්න තෙරෙන්නේ නෑ ඒ කාලේ...)

අපි දෙන්නා ප්ලෑනක් ගහලා දවස් දෙක තුනක් තිස්සේ දෙන්නගේ කොට්ට යට එක එක කාඩ් ජාති තියලා, පරණ ෆොටෝ අල්බම් පෙරලගෙන හැමදාම පරණ කතා කියවන්න පටන් ගත්තා... රු 2000ක් විතර වියදම් කරලා තාත්තට බර්ත්ඩේ ප්‍රසන්ට් එකකුයි කාඩ් එකකුයි ගෙනල්ලා අම්මට කියලා ලියවලා තාත්තා වැඩ ඇරිලා ආවම පේන්න අද උඩින් තියලා තිබ්බා... මෙන්න ටික වෙලාවකින් දෙන්නම කාමරේට වෙලා අඩනවා.... අම්මා කියෝගෙන කියෝගෙන යනවා... තාත්තා අම්මව බදාගෙන සද්ද නැතුව අඩනවා.... ( අපි හොරෙන් බැලුවා... හි හි...) අපේ ප්ලෑන වැඩ කලා නියමෙට..... ඒකෙන් පස්සේ තාත්තා ගොඩක් වෙනස් උනා..... අම්මගේ කේක් ෂොප් එක දැම්මෙත් ඊට පස්සේ තමා....

ඔය ටික ලිව්වේ මේ ටික හින්දා..... ම‌ෙග් ජීවිතේ අම්මටයි තාත්තටයි වද දිදී, බැන බැන, රණ්ඩු වේවී, ගුටි කකා, අවුරුදු 26ක් විතරම හිටියා.. ඒත් අවුරුදු 2ක් තිස්සේ අම්මයි තාත්තයි මං ‌ආපහු ගෙදර එනකම් කාමරේ රෝස පාටින් පේන්ට් කරගෙන තියාගෙන බලාගෙන ඉන්නවා... මට තාමත් යන්න බැරි උනා....

මේ පාර අම්මලගේ ඇනිවසරි එකට මං නෑ... ඒත් මල්ලි මං වෙනුවෙන් මං නැති උනත් හැම දෙයක්ම කරලා තිබුනා...

මට වෙන කියන්න දෙයක් නෑ..... චූටි බබා අම්මටයි තාත්තටයි හැමදාම ගොඩක් ආදරෙයි...


මේක ගලෝ ගත්තේ තාත්තගේ කොන්දොස්තර ලයිසන් එකෙන්

මේ තාත්ත‌ෙග් ඩයරි එකක තිබිලා හම්බුන ෆොටෝ එකක්


මේ ඒකේ පිටිපස්සේ අම්මා ලියපු එකක් කියලා තමා කිව්වේ....

මේකත් එහෙම එකක්

මේක තාත්තගේ පර්ස් එකේ තිබුණ එක... අම්ම තරහා උනා වෙලාවක අම්මම ඕක අරගෙන ඉරුවලු... ඊට පස්සේ තාත්තා ඒක ආපහු ඇලෙව්වලු...

උඩ ෆොටෝ එකේ පිටිපස්සේ තාත්තා ලියලා තියන දේ...


මේ මගේ වෙඩින් එක දවසේ

Thursday, August 16, 2012

ඇත්තමයි... ලැජ්ජයි මට.........



මේක ලියන්න හිතුනේ අපේ නැන්දම්මට ආපු කෝල් එකක් හින්දා මට මං ගැන හිතුන දෙයක් හින්දයි....

මං ඉස්සර වැඩ කලේ පෞද්ගලික ආයතනයකනේ... ඉතිං ගොඩක් පෞද්ගලික ආයතන වල වගේ මේකෙත් පියන්ලා හිටියේ නෑ....

හැබැයි හිටියා බොහොම වයසක කොම්පැනිය පටන් ගත්ත කාලේ ඉදලම ඉන්න හොදට ඉංග්‍රීසි පුළුවන් සීයා කෙනෙක්... බොහොම හොද මනුස්සයෙක්...එයා ගැන පස්සේ කතා කරමුකෝ...

තව තරුණ ළමයෙක් හිටියා.. ඉහලට ඉගෙන ගෙන නැති නිසා බොස්ගේ ගමේ ( අපේ බොස් යූ.න්.පී බල කණුවක නෑයෙක් හොදේ...) හිතවත්කමට රස්සාවට ආපු කෙනෙක්... නම රනිල්...

රනිල් පියන් කෙනෙක් විදියට තමයි හිටියේ... ඒත් ගොඩක් වෙලාවට කිසි කෙනෙක් රනිලව පියන් කෙනෙක් විදියට සැලකුවෙ නෑ.. ( මං දන්න තරමට...) මොකද අනිත් කොල්ලොත් එක්කම තමයි මූ හැම තිස්සෙම... අවුරුද්දක් විතර මම ඔතන වැඩ කරලා ඩිවිෂන් එක මාරු කලාම තමයි මට මේ රනිල් කියන මනුස්සයව ළඟින් ආශ්‍රය කරන්න ලැබුනේ....

අවුරුද්දක විතර වැඩ ගොඩක් ගොඩ ගැහිලා තියෙන නිසා ඒක ඉවර කරන්න මට රනිල්වත් උදවු කර ගන්න කියපු නිසා මම මෙයාව මගේ ළඟින්ම මේසයක් දාලා එතන තියා ගත්තා.. දැං මෙයාට පොඩි උසස්වීමක් වගේනේ...

ලොකුවට ඉගෙන ගත්තේ නැති උනත් මූ ලස්සන කොල්ලෙක්.. හරිම පිලිවෙලට ඇන්දා.. කතාවත් හරි සංවරයි... (කෙල්ලොත් එක්ක...) ලොකුම වි‌ෙශ්ෂත්වය තමයි මෙයාගේ වැඩ හරිම පිළිවෙලයි... කරන්න කිව්වොත් ඕන දෙයක් කරනවා... මේක බැක් ඔෆිස් වැඩක් නිසා වැඩිපුර ස්ටෝ රූම් වල වැඩ තිබුනා.. රනිල් බොහොම පිළිවෙලට මට කියලා කම්පියුටර් ප්‍රින්ට් අවුට් අරන් බොක්ස් ෆයිල්ස් නීට් එකට හදනකොට මැනේජ්මන්ට් එකත් හරිම ප්‍රශංසා කලා අපිට... රනිල්ගේ උදව්වෙන් බැක්ලොග් එකත් මාස 6කින් විතර ඉවර උනා...

ඔය අතරේ රනිල්ගේ එක වැඩක් තිබුනා... අපි හිටපු තැන ෆොන් එකක් තිබුනෙ මගේ මේසේ උඩ.... ඕක පැය 8ම වද දෙනවා.. වැඩ අඩු දවසට ඕකට කෝල් එකක් එනවා.... ඒක එන්නේ එහා පැත්තේ එකවුන්ට් සෙක්ෂන් එකේ කෙල්ලෙක් ගෙන්... මුන් දෙන්නගෙ සල්ලි ගනුදෙනුවක් තිබුනා කියලා දැනගෙන හිටියත් ඊට එහා මුකුත් මේ ම‌ෙග් මීටරේට නං වැටුන් නෑ....

ඕක ඉතිං පැය දෙකක් විතර ඇදෙන මලක්... කොහොමත් දීර්ඝ මල් වලට වඩා ප්‍රසිද්ධ වෙලා හිටියේ මං හින්දා (එන කෝල්ස් හොදේ...රනිල්ගෙ වැඩේ මගේ වටේට ඩස්ට්බින් තියන එක.. මල් එකතු කරන්න....) මටත් ගානක් තිබුන් නෑ.. ටික වෙලාවකට මං නිදහස් නේ...

ඔහොම ඉදලා මාස 8 කට විතර පස්සේ මාව තව ඩිපාර්ට්මන්ට් එකකට දැම්මා... ඕවර්රෝල් ජොබ් ට්‍රේනින් සිස්ටම් එකට එහෙම ඩිපාට්මන්ට් මාරු කළේ.. ඉතිං මං ගියත් අලුත් අයත් එක්ක රනිල් දිගටම වැඩ කර ගෙන ගියා...

මාස දෙකක් විතර ගියාට පස්සේ දවසක් මං ගෙදර ඉන්නකොට අපේ පිස්සු මීටරයක් වුන දිල් ( ගොන් වැඩක් කරලා අපේ කම්පැනියෙන් එකෙන් අස් කරපු එකෙක් ...)මට මැසේජ් එකක් එවනවා “රනිල් ඇක්සිඩන්ට් වෙලා“ කියලා..... ඒකා කොහොමත් වැඩිපුර කියන්නේ‌ෙ බොරු නිසා ඕක ගනන් ගන්නේ නැතුව මම ඊළඟ දවසේ ඔෆිස් යනකොට මෙන්න ඔෆිස් එක ඉස්සරහා සුදු කොඩියක් දාලා....

රනිලුයි අපේ ඩ්‍රයිවර් කෙනෙක් උන ලලිතුයි දානෙ ගේක යන්න ගිහිල්ලා බයික් එක ඇක්සිඩන්ට් වෙලා එතනම මැරිලා කියලා එතකොටත් ඔෆිස් ඇවිත් හිටපු අපේ මැනේජර් මට කිව්වා...

ඔෆිස් එකේ අනිත් කට්ටිය මලගෙදර යන්න ලෑස්ති උනා... අර හැමදාම කෝල් කරන කෙල්ල අඩනවා දැක්කත් මගෙ බට ලයිට් මොලේ ඒක අල්ලගත්තේ නෑ...

දැං මොකද කරන්නේ.. රනිල්ගේ ගම පො‌ලොන්නරුව... මට එහෙ යන්න පුළුවන් කමක් නෑ.. ගෙදරින් ඇදිරි නීතියනේ... ඉතිං මං ලලිත් ගේ මලගෙදර විතරක් ගියා..ඊට එහා දෙයක් මට රනිල් වෙනුවෙන් කරන්න තිබුනේ නෑ... ඒත් ඒ වෙනකොටත් රනිල්ට ක්ලාක් පෝස්ට් එකක් දෙන්න මැනේජර්ලා කතා වෙලා හිටියා කියලා මම දැනගෙන හිටියා... රනිල් මැරෙනකොට එයාට අවුරුදු 27යි....

ඊළඟ දවසේ මගේ පරණ පාට්නර්, අවුරුදු 65ක් විතර උන ෂර්ලි ඇන්ටි මාත් එක්ක කියනවා “ පවු අප්පා අර කෙල්ල. ....මඟ දිගටම අඩ අඩ ගියේ.. කොච්චර ආදරෙන්ද උන් දෙන්නා හිටියේ ....“ කියලා..

මගේ අර පත්තු නොවී තිබ්බ බට ලයිට් එක එතකොට තමා “ටික් ටික් ටික්“ ගාලා පත්තු උනේ.... මගේ ඔලුව වටේට ප්‍රශ්නාර්ථ පාවෙනවා දැකලද කොහෙද ෂර්ලි ඇන්ටි අහපි “ඇයි ඔයා දන් නැද්ද.. හැමෝම දන්නවනේ මේ දෙන්නා යාලුයි කියලා....“

ඔන්න ඔහොමයි... බලනකොට මුලු ඔෆිස් එකෙන්ම මං විතරයි දැනගෙන ඉදලා නැත්තේ......

පස්සේ දවසක මට අර ගෑණු ළමයා කිව්වා “ අපි හිතුවෙ ඔයා දන්නවා ඇති කියලා හැමතිස්සේම කෝල් කරන නිසා... දවස් දෙක තුනක් ඔයාලව අපිට මූණටම හම්බුනානේ...“ කියලා...

එහෙම තිබුණ බට ලයිට් එක මේ වෙනකොට කොච්චර ටියුන් වෙලාද කිව්වොත් නැන්දම්මට ආපු කෝල් එක ( මං හොරෙන් අහන් හිටියේ නෑ... මං ගාවම ඉදන් ආන්සර් කළේ...එතකොට මට ඇහෙනවනේ...) ආවේ කාගෙන්ද.. හේතුව මොකද්ද... ඔක්කොම ටික මට ඇහුන වචන දෙක තුනෙන් හිතාගන්න පුළුවන් උනා නැන්දම්මා ෆොන් එක තියනකොට......

ඉස්සර අහල පහල වෙන දේවල් ගැන හොයන්න කිසිම ඕනෙකමක් තිබුනේ නැති මට දැං අනුන්ගේ කුණු කන්දල් හොදට පේනවා.... බැන්දම එන ලෙඩක්ද මන්දා... අනේ මට කාගෙවත් දේවල් ඕනේ නෑ..... මං මෙහෙම වෙලා කියලා හිතෙනකොට මට මං ගැන ලැජ්ජ හිතෙනවා....

Wednesday, August 15, 2012

ඔය ළමයා නම් කවදාවත් විභාගේ පාස් වෙන්නේ නෑ....




ශිෂ්‍යත්වෙ පාස් වෙලා හිරුට යන්න උනානේ කොළඹ ඉස්කෝලෙකට.... එතකොට 6 වසරෙන් බාගයක් විතර ඉවරයි... මුල කාලේ කොහොමත් ඉස්කෝල වල වැඩක් කෙරෙන්‌නේ නෑනේ... අනිත් එක මං අලුතින් ගිය ඉස්‌කෝලෙ පටන් ගන්නේ 6 වසරේ ඉදලයි... පොඩි පන්ති නෑ... ඉතිං ඔක්කොම වගේ ශිෂ්‍යත්වෙ පාස් අය.... තව කීප දෙනෙක් හිටියා එහා වැටේ තිබුන පොඩි ඉස්කෝලෙන් ආපු... කොහොම හරි ඔක්කෝම අලුත්....

ඉතිං දැං පාසල් ගීයේ ඉදලම ඔක්කොම අලුතින් පාඩම් කරන්න එපැයි..මාර කරුමයක්....චිත්‍ර සෞන්දර්‌ය විශය විදියට තෝරගත්ත නිසා ඒකට වෙනම පන්ති කාමරයකට යන්න ඕනේ... ඒක තමයි මං ආසම විශය... හැබැයි ඉතිං මහ ලොකුවට චිත්‍ර අදින්න නම් බෑ....

අනිත් ආසම විශය ගැන තමයි ලියන්න ගත්තේ .... ඒ තමයි සිංහල...

පොඩි කාලේ ඉදලම පොත් කියවන්න ආස කරපු නිසා මගේ සිංහල දැනීම අපේ පන්තියෙ අනිත් ළමයින්ට වඩා ටිකක් හොදයි... ඒ කිව්වේ ඉස්පිලි පාපිලි යෙදීම, ව්‍යාකරණ හරියට යෙදීම, මහප්‍රාණ සංඥක අකුරු හරියට යෙදීම වගේ දේවල්... හැබැයි එක හෙනහුරෙක් හිටියා...

මගේ අකුරු අන්තිම කැතයි... දැං ඉතිං ගෑණු ළමයෙක්ගේ අකුරු කැතයි කිව්වම කට්ටිය ටිකක් නුහුරට බලනවනේ.... මේකයි හේතුව.... මගේ අකුරු පිළිවෙලක් නෑ... එකම අකුර තැන් දෙකක ලියනකොට දෙවිදියකට තමයි ලියවෙන්‌ෙන්.... ගෑණු ළමයි අකුරු ලියනකොට ඉතිං හැඩ කරලා, චූටි කරලා එක්කෝ රූල මැද ලියලා, ල උ ඉ යන්න ලොකු කරලා, ඔය එක එක ඒවා කරලා අකුරු හැඩ කරනවනේ... මට එහෙම බෑ...

එකක් මං ලියන වේගේ වැඩී.... පොඩි කාලෙත් ටීචර් බෝඩ් එකේ ලියන එක මම තමයි මුලින්ම කොපි කරගෙන ඉවර වෙන්නේ... ( අනිත් උන් ලියන කම් පැන්සල කටේ ගහන් බලන් ඉන්නවා ඊට පස්‌සේ..) අනිත් එක පෑනට හුරු නැති එක... ඔය කාලේ මට හරිගිය එකම පෑන් ජාතිය Lexi ද කොහෙද කියලා ආපු 0.5 පෑන...

කොහොම හරි අපේ පන්තියට සිංහල උගන්නන්න හිටියේ ශ්‍රීමතී කියලා මිස් කෙනෙක්.. මෙයා හරි සැරයි කියලා අක්කලා අපිට අනතුරු ඇඟෙව්වා... ඇත්ත තමයි... හරිම නපුරුයි.... කොණ්ඩෙ කොටට කපලා හිටපු මහත ටීචර් කෙනෙක්...

ඔන්න සුපුරුදු විදියට මගේ අත් අකුරු ප්‍රශ්නය මේ ටීචර් ලොකුවට හිතට ගත්තා... අරගෙන හැමදාම බලා ලීවීමක් කරන්න නියම කළා පිටු බාගයක්... දැං ඉතිං ඔය පිටු බාගේ මං හැමදාම පැය බාගයක් විතර අරගෙන ලියනවා.... සමහර දාට ගෙදරදි.. සමහර දාට උදේට ඉස්කෝලෙට ඇවිල්ලා... කොහොම කළත් මගේ සාමාන්‍ය අකුරු නම් හොද උනේ නෑ....

ටික දවසකදි ටීචර්ටම මේ වැ‌ෙඩ් එපා උනා... මගේ පොත විසි කරලා දාලා මට හොදටම බැන්නා... අනාවැකියකුත් කිව්වා මම කවදාවත් විභාගේ නම් පාස් වෙන්නේ නෑ කියලා.... එදා රිදුන හිත හැදුනේ මම ඕලෙවල් පාස් වෙලා සිංහල වලට ඩී එකකුත් අරගත්තට පස්‌සේ....

සිංහල වලටයි තවත් විශයන් 4කටයි ඩී ගත්තට පස්සේ මම ශ්‍රීමතී ටිචර් හම්බුවෙන්න ගියා... ඒ මම ඉස්කෝලෙන් අස් වෙන වෙලාවේ... ටීචර් බො‌හොම ආදරෙන් මට සුබ පැතුවට පස්සේ මගේ තරහා නිවුනා....

ඒ ලෙවල් වලටත් සිංහල තෝරගත්තාම මගේ ජීවිතේ ‌ගොඩක් වෙනස්කම් ඇති කරපු පන්තියකට සම්බන්ධ වෙන්න ලැබුනා... ඒ සන්නස්ගල සර්ගේ අපේ සිංහල පන්තිය...

දවසක් ඩෙස් අස්සෙන් අමාරුවෙන් රිංගගෙන යන වෙලාවක මගේ අකුරු දැක්ක සර් ...(ඒ වෙනකොටත් මම ලස්සන ශෛලියකට අකුරු ලියන්න නොවිදිනා දුක් විදිමින් හිටියේ..) “ කෙල්ල, රූළ උඩ අකුරු ලොකුවට ලියපන්... හැඩ කරන්න ඕනෙ නෑ... ඔය කූඹි අකුරු කියවන්න පේපර් මාකින් එන අයට බෑ... “ කියලා දවස් දෙක තුනක් මගේ අකුරු දිහා ඇහැ ගහගෙන හිටියා...

ඒ ක්‍රමය ලේසියි.... අකුරු ‌ලොකුවට ලියනකොට ඉස්පිලි පාපිලි හැලෙන්නේ නෑ... කියවන්නත් ‌ලේසියි...ඉක්මණට පිටුවත් පිරෙනවා.... ඔක්කොටම වැඩිය මට ඉක්මණට ලියාගෙන යන්න පුළුවන්.....

ඔන්න මම ඒලෙවල් වලටත් ඒ එකක් ගත්තා සිංහල වලට......

අදටත් මට ලස්සනට නම් අකුරු ලියන්න බෑ.... කොම්පීතරේ නිසා ගොඩක් වෙලාවට ඇඟබේර ගන්නවා.....

Tuesday, August 14, 2012

කටුගෙයි හොරකම ගැන හිනා යන සිතුවිල්ලක්.....

අද උදේ පත්තර විස්තර අහගෙන ඉන්නකොට ඔන්න කියපි “ කටුගෙයි හොරකමේ සැකකරු නිදහස් කරයි. ළඟ තිබූ රන් කෑලි කෞතුකාගාරයෙන් හොරකම් කළ ඒවා නොවෙයි“ කියලා.....

හි හි..... ඕක ඇහුන ගමන් මට මතක් උනේ මොකද්ද දන්නවද.....

අපේ තාත්ත කියපු කතාවක්.....

අපේ රටේ බොහොම වැදගත් නායකයෙක් මලාට පස්සේ පත්තරේ ගියා ලු මේ නායකයට රජ වෙන්න ආසාවක් තිබුනා කියලා.... නිදා ගත්ත ඇදත් රන් ආලේපිත එකක් ලු.....

දැං කවුද කියලා දන්නවනේ....

කෞතුකාගාරෙන් හොරකම් කරලා තියෙන්නේ රාජසිංහ රජ්ජුරුවන්ගේ කඩුවයි,තව කඩු වගේකුයි,රන් කාසි වගේකුයි ලු... කැමරා ටිකත් දවස් ගානක ඉදලා වැඩ කරලා නෑ ලු...




ඔය කෞතුකාගාරේ මං දන්න විදියට බොහොම වටිනා රනින් නිම කළ සහ රන් ආලේපිත ප්‍රතිමා වගයක් සහ රන් කාසි වගයක් තියෙනවා බොහොම රහසිගත විදියට...අවලෝකිතේෂ්වර පිළිමය එහෙම.... ඔතනට හැමෝටම යන්න දෙන්නෙත් නෑ... ( මමත් ගියේ චිත්‍ර පන්තියේ සර් එක්කන් ගිය පාරක...)

රත්තරන් හොරකම් කරන්න ගියා නං ඇයි ඔය ටික හොරකම් කළේ නැත්‌තේ....? කැමරා වැඩ කරන්නේ නැති බව දැන ගන්න පුළුවන් කෙනෙකුට ඔය ටික ගැන දැන ගන්න බැරි කමක් නෑ කියලයි ඕන් මට හිතෙන්නේ.....

( ඊට පස්සේ අර කෝට්ටේ පන්සලේ හාමුදුරුවෝ දෙනම මරා දාපු එකේ සිද්ධිය ගැන තාමත් පරීක්ෂණ පැවැත්වෙනවා ලු නේ....)

දැං මට හිතුන දේ මේකයි....

මේක රත්තරන් හොරකමක් නම් වෙන්න බෑ.... මේක ආයිත් රජ වෙන්න හිතන කෙනෙකුගේ වැඩක්ම වෙන්න ඕනේ...

ඒ කියන්නේ නිල නොලත් මහ රජුගේ හරි, පිය රජතුමා අභාවයෙන් නැති වුන රජකමට එන්න දඟලන පුත් කුමාරයගේ වැඩක්ම හරි වෙන්ඩෝනේ......

හි හි.... අනේ මන් දන් නෑ..... මගේ මෝඩ මොලේට නම් හිතුනේ එහෙම තමා....

තව දෙයක්.... අනේ අපිට රජවරු නම් ඕනේ නැතෝ.........

( මේව ගැන ගොඩක් හොදට දන්න අය ඇති... මට ඔය ටීවි එකේ ඇහිච්ච දේවල් තමා.... )
පින්තූර දෙක හොයා ගත්තේ ගූගල් සර්ච් එකේ පිහිටෙන් තමා...

Friday, August 10, 2012

උසස්පෙළ, බාල තෙල් සහ බඩු මිල ගැන මට හිතෙන ‌දේ....

උදේට උයන ගමන් පත්තර විස්තරත් අහන එක මගෙ පුරුද්දක්.. ඒත් පහුගිය ට්කේම ඕක බැරි උනා අපේ මහත්තයගේ වැඩට යන වෙලාව ටිකක් වෙනස් උන හින්දා... අද උදේ අහගෙන ඉන්නකොට ඇහුන දේවල් වල දි මගේ හිතට ආපු දේවල් ටික ලියන්න ඕනෙ කියලා හිතුනා...

මෙන්න ඇහුන දේවල්...

Z ස්කෝර් ප්‍රශ්නය නිසා උසස්පෙල ප්‍රතිඵල අහෝසි කරන්න කියලා දෙවනි සහ තුන්වෙනි වරට විභාගයට පෙනී හිටපු ළමයි 195 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය නිසා මේ ප්‍රශ්නය උසාවියෙදිම විසද ගන්න ඕනෙ කියලා ඇමති කෙනෙක් කිව්වලු.... ( කෙහෙලිය රඹුක්වැල්ල වගේ ඇහුනේ...)

මේ පාර උසස්පෙළ සංයුක්ත ගණිතය පළමු ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයක වැරැද්දක් නිසා ළමයි අපහසුතාවයට පත් වීම හින්දා මේ ප්‍රශ්නයට හැමෝටම සම්පූර්ණ ළකුණු දෙන්න තීරණය කළා ලූ... ප්‍රශ්නයේ වැරැද්ද සිද්ධ වෙලා තියෙන්නේ අත්පිටපතේ දි ලූ.... අනිත් ප්‍රශ්න පත්‍රත් අධීක්ෂණයකට ලක් කරන්න තීරණය කළා ලු.... ඒ අතරෙ කොහෙද ඉස්කෝලෙක විභාගෙට ලියන ළමයි ශාලා පරීක්ෂකවරයාගේ උහුලගන්න බැරි සෙන්ට් ගද ගැන පැමිණිලි කරල ලු...

දොලහේ ඉදලා පැය දෙකක් ද දෙකාහමාරක්ද කරන්ට් කපනවලු ලංකාවටම අද ඉදලා...

විදුලි බල මණ්ඩලයේ සේවකයන් අද ඉදලා වර්ජනයක් ලු.. නොවැම්බර්වල වැටුප් වැඩි වීමක් දෙන්න තියෙන අතරේ මේ වගේ වර්ජනයකට ගිය එක අසාධරණ නිසා ඊයේ ඉදලා සියලුම සේවකයන්ගේ නිවාඩු අහෝසි කරලලු... ( ඒක ඇමති කෙනෙක් තමයි කියලා තියෙන්නේ..)

ලක්විජය බලාගාරයේ දෝෂ ඇති වෙලා තියෙන්නේ බාල බඩු භාවිතය හින්දා ලුණු බැදීම නිසා මලකඩ කෑමෙන් ලු... ඉදිකිරීම් කළ චීන සමාගම සියලුම කොටස් නැවත නොමිලේ හදලා දෙන්න පොරෙන්දු උනා ලු....

බාල තෙල් නිසා කෑගල්ල රෝහලේ ගිලන් රථ 2කුත් හිරවෙලා ලු... ( පහුගිය ටිකේ ඇහුනා බස් 1000 කුයි කෝච්චි එන්ජින් 15 කුයිත් නැවතිලා කියලා... )සුපර් ඩීසල් ගණන් අඩුවට වරායටත් තවත් ආයතනවලටත් දෙන්න පියවර අරන් ලු.... බාල තෙල් ගෙනා තවත් නැවක් කොළඹ වරායට ඇවිල්ල ලු... ඒ අතරේ ඛනිජතෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය මාරු කරලා වෙනත් සභාපති කෙනෙක් පත් කරලලු... ( මට නම මතක නෑ... )

අත්‍යවශ්‍ය ආහාර වර්ග කීපයක මිල අද ඉදලා අඩු කරල ලු... ( නාඩු හාල් සහ පරිප්පු විතරයි මට මතක... තව තිබ්බා.. )



මට මුලින්ම හිතුනේ දැං මෙතන මෝඩයා කවුද කියලා..... ඇයි එහෙම හිතුනේ කියලා කියන්නම්...

2003 උසස්පෙල කරන කොට Econ පළවෙනි පේපර් එකේදි ඇවිල්ලා තිබුනා ( අර කණා ගහන පේපර් එක තමා...)“නිවැරදි පිළිතුරු සියල්ලම ලකුණු කළ යුතුයි” කියලා.... එතකොට කණා ගහන්නේ කොහොමද... කලින් ආපු පේපර් වල එක උත්තරයයි තිබුනේ... ඒකට කණා හරි ගහලා හරි යන්න තිබුණ චාන්ස් එක වැඩියි... ඒත් මේක... එකක් අඩු උනොත් ලකුණු නෑ... මම විභාග ශාලාවෙන් එළියට ආවේ පේපර් එක ගුලි කරලා කුණු එකට දාලා..... මට මතක විදියට ඒක තමයි මුලින්ම තිබුණ පේපර් එක.... ඊළඟ පේපර් එකට තව එක දවසක් තිබුණ නිසා හිත හදාගෙන විභාගෙට ගියා...ඊළඟ පාර ඒ ක්‍රමේ අයින් කරලා පරණ ක්‍රමේම දාලා තිබුන ලු...

සදුදා අපේ වෙඩින් එකක් තිබුනා නුවර... අපි පාන්දර 4ට විතර ලෑස්ති වෙලා 9ට ද කොහෙද හෝල් එකට ගියත් කපල් එක 11.00 වෙනකම් ආවේ නෑ.. බීම එකක් වත් නැතුව ඉදලා එපා වෙලා ඉන්නකොට මෙන්න මුන් දෙන්නා එනවා.... අහලා බලනකොට වෙඩින් කාර් එක මග හිටලා... ඩීසල් අවුල හින්දා... නුවරම සුපර් ඩීසල් තියෙන ෂෙඩ් දෙකලු තියෙන්නේ... වෙන කාර් එකක් ගෙන්නගෙන ඇවිල්ලා....

මේ මිනිස්සු අපි මොක්කු කියලද හිතාගෙන ඉන්‌නේ..... මුං මිනිස්සු ද හරක් ද......?

ඔය ලොකු පුටුවල ඉන්න බඩ මහත විතරක් තියෙන මොලේ කලදක්වත් නැති හරක් ටික මේ අහිංසක ළමයින්ගේ, අම්මලා තාත්තලාගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ මොනවා හිතාගෙනද....?

ඇයි දෙයියනේ මේ ළමයින්ගේ ඉදිරි ජීවිත ගැන, මේ අම්මලා තාත්තලගේ ජීවිත කාලයක බලාපොරොත්තු ගැන මුන්ට මීට වඩා වගකීමක් ඇතුව වැඩ කරන්න බැරිද.....?

විභාගේ පටන් ගත්ත ගමන් මේ වගේ ගොන් වැරදි කළාම මේ ළමයි මානසිකව වැටෙනවා කියලා මුන්ට තේරෙන්නේ නැද්ද...? ඔය පේපර් එක හදපු මනුස්සයා ඕක හැදුවට පස්සේ වෙන කිසි කෙනෙක් ඕක කියවලා වත් බලන්නේ නැද්ද...? බූරුවො ටික වගේ ඕක ටයිප් කරලා ප්‍රින්ට් කරන එක විතරද කරන්නේ.... ? ඕවයේ ටයිපින් මිස්ටේක් වත් හදන්නේ නැද්ද....? ඔය එක මොළකාරයෙක්ට වත් ඔය වැරැද්ද අහු නොවුනේ මුන්ගේ ඔලුවල තියෙන්නේ මැටි ද....?

ළමයෙක් ජීවිතේ අවුරුදු 13ක් ( මොන්ටිසෝරි අතෑරියාම... ඒකත් එකතු කලොත් 15ක් විතර වෙනවා.7) උදේ පාන්දර 4.30 විතර ඉදන් ඇහැරගෙන බස් වල වෑන් වල දුක් විදලා රෑ 7.00 8.00 වෙනකම් ඉගෙන ගෙන, ජීවිතේ විදින්න පුළුවන් වද වේදනා ඔක්කොම විදගෙන නේද මේ විභාගේ ලියන්නේ... මුන්ට යන්තම් හරි කැක්කුමක් නැද්ද....? තමන්ගේ ළමයි පිට රටවල්වල ඉන්න හින්දා උන්ට මේවා නොදැනුනාට මේකේ ඉන්න එවුන්ට තියෙන්නේ මෙච්චරයි නේ..... මේ මාසෙක දෙකක වැඩේ මුන්ට හරියට කරන්න තරම් වත් ඕනේ කමක් නැද්ද... ?

මුන් මොනවද අපි ගැන හිතන් ඉන්‌නේ.....?

මේ කරන්ට් කැපිල්ල අඩු ගානේ විබාගේ ඉවර වෙනකම් වත් නවත්තන්න මුන්ට මොළයක් නැද්ද...? මේ ළමයින්ට තියෙන අඩුම පහසුකම ෆෑන් එකක් වත් දාගෙන හිතේ නිස්කාන්සුවේ විභාගේ ලියන්න.. මේ හිටපු ගමන් කඩන් වැටෙන වැස්සක් අස්‌ෙස් හදිස්සියට ඇදුමක් අයන් කර ගන්න ...( හැමෝටම ෆෑන් නෑ.. ඒක මන් දන්නවා... තියෙන එවුන්ට වත්..)

දැන් තෙල් සංස්ථාවේ හිටපු එවුන් අයින් කලාට උන් ගැන මොනාද කරන්න යන්නේ... නැවතිච්ච කෝච්චි එංජින් හදන්නේ උන්ගේ දේපල විකුණලද....? ( එක කෝච්චියක් උදේටයි හවසටයි නැති උනාම වැඩට යන මිනිස්සු විදින කරදර දන්නේ මාත් ජීවිතේ වැඩි හරියක් කෝච්චියෙම ගිය හින්ද....) නැවතිච්ච බස් වලට අඩුවට දෙන සුපර් ඩීසල් වල පාඩුව ගෙවන්නේ ඇමතිගෙයි වටේ ඉන්න එවුන් ටිකගෙයි පඩියෙන් ද....? ඔය බ්ලැක්ලිස්ට් කරපු කොම්පැනියෙන් බඩු ගෙන්නපු සභාපති ඔය කොම්පැනියේ අයිතිකාරයගෙන් හොද ගානක් මඩි ගහගෙන ඇති කියලා ඕන බූරුවෙකුට තේරුනවා.... ඒ යකාව සභාපති කමෙන් අයින් කළා කියලා ඌට පාඩුවක් වෙන්නේ නෑ.... දැං ගෙනාපු නැව ආයිත් හරවලා යවනවද....? එතකොට ඒ ෂිප්මන්ට් එකට ගෙවන්‌නේ සිංගප්පූරු අණ්ඩුවෙන්ද....? නැත්තම් අර ජෙට් එංජින් ඔයිල් වල කේස් එකේදී වගේ අඩු ගානට බූමිතෙල් වෙනුවට විකුණනවද.....?

මේ රටේ වැඩිපුර ඉන්නේ කකුල් දෙකේ හරක් කියලද හිතාගෙන ඉන්‌නේ... මේ වගේ හරක් වැඩම කරන්න.....?

ඒ අස්සේ හාලුයි,පරිප්පුයි ගණන් අඩු කළේ තණකොළ කවන්න බැරි හින්දා වෙන්නැති... නාඩු හාල් කන එක තණකොළ කනවට වඩා ටිකනේ හොද.....

අනේ මගේ කට මොකටද..... තව ලැජ්ජ නැතුව නිදහසට කරණු කියන්නත් එනවා.....

තව ඡන්දෙකුත් එනවලු..... මේ ඉන්න හරක් ටිකෙනුයි, එන්න ඉන්න බූරුවො ටිකෙනුයි කව්ද වැඩියෙන් හොද කියලා හිතන්න වෙනවා.... දැං මට හිතෙන විදියට කවුද හොද කියලා හිතනවට වඩා කවුද වැඩිපුර නරක, මූ කෑවට වඩා අඩුවෙන් මූ රට කයි කියලා බලාපොරොත්තුවෙන් ඡන්දෙ දෙන්න තමයි වෙන්නේ... මුං එකෙක් වත් රටට හොද කරන එවුන් නෙමෙයි....

ඔන්න මට අද උදේ හිතුන දේවල්...

මං දන්න දේශපාලනයක් නෑ.. ඒක නිසා මේක දේශපාලන ලිපියක් නෙවෙයි... මේක මේ රස්සාවක් කරන්නේ නැති ගෙදරට වෙලා ඉන්න ගෘහණියකගේ මොලෙන් විතරක් හිතන දෙයක්... මම කැම්පස් ගිය කෙනෙකුත් නෙවෙයි.....

( මං දන්න එකම දේශපාලනේ තාත්තා කියපු නොම්මර ටිකට මතක තිබුණ විදියට කතිරෙ ගහලා ඇවිල්ලා මේකට ගැහුවද කියලා ඇහුවම හැම එකටම ඔව් කියලා කියපු එකයි, මරදානේ ස්ටේෂන් එකේ බෝම්බෙන් අම්මයි මායි යන්තම් බේරිලා, අපේ ඉස්කෝලෙ අක්කලා දෙන්නෙක් මැරිලා තව දෙන්නක්ගේ ඇස් පෙනීමත් කන් ඇසීමත් නැති වෙච්ච අත්දෑකීම සහ වරායේ වැඩ කරපු තාත්තා ගැන බෝම්බයක් පුපුරන පුපුරන ගානේ හිතේ ඇති වෙච්ච බය ගැන හිතේ තිබුන නිසා යුද්ධෙ ඉවර කරයි කියලා තාත්තා උඩින්ම බලාපොරොත්තු තියාගෙන හිටිය මහින්ද රාජපක්ෂට ඡන්දයක් දුන්න එකයි විතරයි.. ඒකත් කළේ ඡන්දේ නොදී ඉන්න එක ලොකු මෝඩකමක් කියලා තාත්තා තේරුම් කරලා දුන්න නිසා විතරයි. මේක කිව්වේ දේශපාලනේ නොදන්න අය මොනවද මේවා ගැන කියන්නේ, කට පියාගෙන ඉන්නේ නැතුව කියලා කවුරුහරි ඇහුවොත් ඒකට උත්තරයක් විදියට විතරයි. )

Thursday, August 9, 2012

හිරුගේ ෆිල්ම් පිස්සුව..

පරණ STAR WARS ෆිල්ම් එකක ඇඩ් එකක් යනවා ..... මගේ අම්මෝ... .මගේ පළවෙනි ඉංග්‍රීසි ෆිල්ම් එක CD එකකින් බලපු...


මට මතකයි මයිකල් ජැක්සන්ගේ Danger music CD එක හොයන්න අපේ මාමගේ CD ගොඩ අදිනකොට අහුවුන Return of the Jedi, Special Edition vcd එක තමා මුලින්ම මං බලපු ඉංග්‍රීසි ෆිල්ම් CD එක...

එතකොටත් මට බරපතල විදියට ඉංග්‍රීසි ෆිල්ම් ටෙලිඩ්‍රාමා පිස්සුව හැදිලා තිබුනා.... මට මතකයි රෑ 10.30 ට X-Files යන දවසට කොච්චර අමරුවෙන් හරි ඇහැරගෙන හිටිය හැටි.... අම්මට ඇහැරවන්න කියලා නිදා ගත්ත දවසුත් තිබුනා... ඇහැරෙව්වේ නැත්තම් උදේට අඩනවා කියලා දන්න නිසා අම්මා ඇහැරවනවා... ඕලෙවල් කාලෙත් ඒක නම් අතෑරියේ නෑ... උදේට කෝච්චියට නැග්ගම බ්‍රහස්පතින්දට ලොකුම කතාව ඕක තමයි... එතකොට Super man අර පරණ එක....තව හෙන සෙට් එකක් තිබ්බා....

හප්පා... ඔය ලෙඩේ තවත් වැඩි උනා ජොබ් පටන් ගත්තම.... DVD සල්ලි දීලා ගන්න පටන් ගත්තම... මුලින්ම ගෙදර බඩුවකට කියලා ගත්තේ JVC DVD Player එකක්... ඊට පස්සේ රු. 200.00 ගානේ කොච්චර DVD ගත්තද කිව්වොත් අන්තිමට අම්මා කියන්න ගත්තා දැන් ඉතිං දෑවැද්දට ගෙනියන්න වෙන්නේ ඔය ටික තමයි කියලා..... ( අපේ මහත්තයා දෑවද්ද එපා කියලා තිබුන නිසා ඒක එච්චර ගාන ක් උන් නෑ..හි හි)

X-Files Season එකක් රු. 2500.00 ද කොහෙද ඒ කාලේ... ඒත් මං ගත්තා.. ( මගේ පඩිය ඔය වගේ දෙගුණයයි. හි හි)

වැඩිපුර බලන්න ආස Cartoon වලට නිසා පරණ චිත්‍ර කතා වලින් හදපු Disney Snowwhite, Beauty and the Beast, Bambi, Little Marmaid, 101 Dalmatians,Tin Tin, The Rescuers වගේ පරණ Cartoon වගේම Jumanji, Mouse hunt, Free Wille, Narnia වගේ ළමා කතා වලට මම තාමත් ආසයි.... Animation cartoon වලටත් මාර ආසයි.... ළගදි ගහපු The Smurfs එකේ Animation නම් මරු.. හැබැයි කතාව නම් හරි නෑ... පරණ කාටූන් එක ඊට වඩා ලස්සනයි.. මල්ලිට ඉංග්‍රීසි පුරුදු කරන්න හොදම ක්‍රමය උනෙත් මේක...පොඩි ළමයින්ට ඉංග්‍රීසි උච්ඡාරණය අල්ලගන්න නම් Bambi එක හරි හොදයි.. ඒකේ ඉංග්‍රීසි හරි පැහැදිලියි... පොඩි සත්තුනේ වැඩිපුර ඉන්නේ... අනිත් එක අතින් ඇදපු චිත්‍ර තියෙන්නේ... හරිම ලස්සනයි...

ඊට පස්සේ ඉතිං Alien, Detective, Love ඒවට කොහොමත් ආසයි නේ... CSI Miami , X-Files තමා අදටත් මගේ ආසම TV Series දෙක.....

හැබැයි මං දෙමළ සහ හින්දි ෆිල්ම්සුත් බලනවා...ඒත් වැඩි ආසාවක් නෑ... සිංහල නම් බලන්නේ නෑ... ජාතිය පහත් කරනවා නෙවෙයි... ඒත් මං ආස විදියේ ෆිල්ම්ස් නැති නිසා... මුලින්ම බලපු සිංහල ෆිල්ම් එක සදකඩ පහන... ඒක බලද්දි මං අඩන්න පටන් ගත්තලු හූ තියලා. හැබැයි ඉවර වෙනකම් බැලුවලු... අම්මා තමා කිව්වේ... අන්තිමට බලපු සිංහල ෆිල්ම් ටික සිකුරැ හතේ.... මෝඩම මෝඩ ෆිල්ම් එකක් උනත් බඩ පැලෙන්න හිනා උනා... අලිමංකඩ... Elephant pass පොත කියවලා තිබුන නිසා ආසාවෙන් බලන්න ගියා... ඒකත් නරක නෑ... තව පොඩි එකෙක්ගෙ ෆිල්ම් එකක් බැලුවා... නම මතක නෑ... එකම කතා ජාති ටික සහ අපිට සුපුරැදු සහ නුපුරැදු ලංකාව ගැන කතා නිසාද මං දන් නෑ.. මට ඕවා එකක් වත් අල්ලන්නේ නෑ....

මේක තමා මගේ ෆිල්ම් පිස්සුව...DVDs ගොඩක් දැන් නැති වෙලා.... යාලුවෝ උස්සන් ගියාම ආපහු හම්බුවෙනවා අඩුයි නේ... මගේ පොත් වලටත් ඒකම තමා උනේ... මොනා කරන්නද... ඕවා ඔහොම තමා...

Wednesday, August 8, 2012

පිස්සුම පිස්සු කාලයක් ගැන මතක ටිකක්......




ලියන්න ජාති ලොට් එකක් තිබුනත් ටිකක් කම්මැලිකම සහ වැඩ වැඩිකම හින්දා පරණ කතා කියව කියව විතරක් ඉන්නකොට මගේ අතිජාත මිතුරියක් කෝල් එකක් දුන්නා... ඒකටත් වැඩ නැති වෙලාවක් හම්බුවෙන්නේ කලාතුරකින් හින්දා දෙන්නගෙම සල්ලි ඉවර වෙනකම් පරණ පුරාජේරු සහ ගොං වැඩ ගැන කි‌ෙයව්වා... ඉතිං යාලුවෝ කියලා ගොඩක් අය නොහිටියත් මුන් ටික ගැන සහ අපි කරපු වැඩ ගැන ටිකක් ලියන්න ඕනේ කියලා හිතුනා...

ඉස්කෝලේ ඉවර වුනාට පස්සේ ගෙදර ඔක්කොම ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න කියලා බො‌හොම ප්‍රසිද්ධ ආයතනයකට දැම්මා. ‌මේක මේ බ්‍රීටිෂ් ඉංග්ලිෂ් උගන්නන ක්‍රිස්තියානි පල්ලියට සම්බන්ධ ආයතනයක්...
ටික දවසක් යනකොට අපිට තේරුණ දෙයක් තමයි අපිට ඉංග්‍රීසි පුළුවන්, කතා කරන්න තමයි බැරි කියලා..

ඇයි ඉතිං ඉස්කෝලෙදි ඉංග්‍රීසියෙන් කතා කරන්න යනකොට වැරදුනොත් මුළු පන්තියම හිනා වෙනවානේ... ඉතිං ලැජ්ජාවට කතා නොකර ඉදලා දැං කියන්න ඕනෙ දේ හරියටම දිව අග තිබුනත් කියාගන්න බය නිසා කතා කරන්න බයයි... හැබැයි මේ ආයතනය ඇතුලේ එහෙම දෙයක් තිබුනේ නෑ... කතා කරද්දි වැරදුනාට කවුරුවත් හිනා වුනේ නෑ..

ඉතිං දවස් දෙකක් විතර යනකොට මායි මං ළග හිටපු ලස්සන සුදු උස ගෑණු ළමයයි හොද යාලුවෝ උනා... ඒකත් ඝන්ඨාර වොයිස් එකක් තියෙන, ඕන මොන්ගල් වැඩකට ඉස්සරහට පනින ජාතියේ තමයි.... කොහොමත් හරිහමන් යාලුවෙක් නොහිටි මේ මට මුලින්ම හම්බුන යාලුවා තමයි ඒ... ඒ තමයි ශානි....

ඔන්න දැං පාඩම් යනවා කියමුකෝ... මේ ආයතනයේ තියෙන විශේෂත්වය තමයි උගන්නන්න ඉන්න ගුරුවරු වැඩි දෙනෙක් අවරුදු 70 පැනපු කළු සුද්දෝ ජාතියේ අය වීම... ඒ කියන්නේ සුද්දගේ කාලේ ‌ලොකු ඉස්කෝල වල සහ ක‌තෝලික පල්ලියේ අනුග්‍රහයෙන් ඉගෙන ගෙන රජයේ ලොකු රස්සාවල් කරපු කතෝලික අය වීම... ඉතිං පාඩමුත් සුද්දගේ කාලෙ වගේ තමයි.... අපිට ග්‍රැමර් කරන්න හිටපු සර් පන්තියට Good morning, Good afternoon කියන්න විතරයි පන්තිය දිහා බලන්නේ... අනිත් ටික බෝඩ් එකේ ලියන එක තමයි.. උඩ ඉදන් පල්ලෙහාට ලියනවා, බෝඩ් එකේ ඉඩ ඉවර උනාම උඩ ඉදලා මකාගෙන ලියාගෙන යනවා... ;

අපි දෙන්නට පිටිපස්සේ පේලියේ ලස්සන සුදු කොල්ලෙක් ඉන්නවා... නෝ කතා, නෝ සිනා... මොනා හරි ඇහුවොත් බය වෙලා වගේ බලනවා... ඔන්න දෙවනි දවසේ දවල් වෙනකොට අපි දෙන්නා හොයා ගත්තා මෙයා දෙමළ කොල්ලෙක් කියලා... එයාට සිංහල වචනයක්වත් තේරෙන්නේ නෑ... ඉංග්‍රීසිත් හොදට බෑ... ඒත් මොනා හරි කිව්වාම තේරෙනවා... මොනවා කරන්නද .. අපිටත් ඉංගිරීසි බෑනේ... ඉතිං කොහොම හරි අපි අතිං පයින් සෙල්ලම් දාලා මෙයා එක්ක කතා කලා... මෙයා තමයි රෝයි....

ඔන්න සර් මෙයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා... සිංහලෙන්.. දැං මෙයා බයවෙලා... දෙතුන් පාරක් සර් ඒකම අහලා කේන්ති ගිහින් බැනගෙන බැනගෙන ගියා සිංහලෙන්ම.... මු තවත් බයවෙලා... මොනවා උනත් මේ වගේ වෙලාවක කට පියාගෙන ඉන්න බැරි අපි දෙන්නා පැනලා කිව්වා සර් එයාට සිංහල තේරෙන්නේ නෑ, එයා දෙමල කියලා... මෙන්න සර් කාරයා තවත් අර කොල්ලට බනිනවා... බැනිල්ලෙ සාරාංශය දෙමළ එවුන් මොනාට මේවට එනවද වගේ කතාවක්... අනේ අර අහිංසකයා තවත් බය වෙලා.... අපි දෙන්නටත් දුක හිතුනා...

ඉතිං අපි දෙන්නා ඉන්ටවල් එකේදි මේ කොල්ලව අල්ලන් කැන්ටින් එකට ඇදගෙන ගියා ට්‍රීට් එකක් ඕනේ කියලා.... අපි හරි හොදයි... ලොකු දඩ දැම්මේ නෑ.. මින්ටෝස් ටිකක් විතරයි ගත්තේ... ඊට පස්සේ අපි ගහක් යට වාඩි වෙලා දන්න ඔක්කොම භාෂා ඥානය යොදවලා සාකච්ඡාවක් කලා... මෙයා ඉතිං බය වෙලානේ.... මං චණ්ඩියා, පණ්ඩිතයා වගේ කිව්වා... Don't be afraid. We won't bite you කියලා... දැං ඕකේ තේරුම මොක උනත් මං කියන්න අදහස් කලේ අපි ඔයාව බයිට් එකට ගන්නේ නෑ කියන එකනේ.... මට පේනවා එහා පැත්තේ ඉදගෙන හිටපු වයසක සර්ට චූටි හිනාවක් ගිහින් හොරෙන්ම මගේ දිහා බලනවා... මං මොකක් හරි ගොන් කතාවක් කිව්වා කියලා තේරුන හින්දා කන් දෙකේ ඉදලම රතු වෙලා ඒ සර් දිහා බැලුවාම මෙන්න ඒ සර් කියනවා... Don't worry duwa. Go ahead. You are doing fine. කියලා... එදා ඉදලා මගේ ඉංග්‍රීසි කතා කරන්න තිබුණ බය නැත්තටම නැති වෙලා ගියා.....

කොහොම හරි අපි කතා උනා රෝයිට අපි සිංහල උගන්නන්නත් එයා අපිට දෙමළ උගන්නන්නත්... අන්තිම වෙනකොට රෝයි නියමෙට සිංහල ඉගෙන ගත්තා... අපිට නම් දෙමළ වචනයක්වත් ඉගෙන ගන්න බැරි උනා.....

තව සෙට් එකක් ඉන්නවා... හිමිං සීරුවේ ලියන්නම්... සෙට් එකේ එක එකාට එක එක ලෙඩ තියෙනවා... ඔක්කෝම ලිව්වොත් පෝස්ට් එක එපා වෙන තරම් දිග වෙනවා...

ඊළගට ඉන්නේ ලකී..... ලස්සන චණ්ඩියා......