Wednesday, November 28, 2012

ඔය කියන එක කරනවනම්, කරන්න ඕනේ කොහොමද කියලා මට හිතෙන හැටි...

මේ දවස් ටිකේම මේ ගැන කතා කළා... දැන් නං ඇතිත් කියලා හිතෙනවා... ඒත් මේ කලින් ලියපු පෝස්ට් කීපයම ලිව්වේ පිරිමි අය නිසා මට හිතුනා ස්ත්‍රී පාර්ෂවය මේ ගැන දකින අයුරුත් මම දකින කෝණයෙන් හරි ලියන්න ඕනේ කියලා.. මේක මේ තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්චා ගැනීමක් කියලා වරදවා වටහා ගන්න එපා.. මේ බ්ලොග් එකේ ලියවෙන්නේ බොහොම සරළ, සාමාන්‍ය මාතෘකා ගැන... මේකත් ඒ වගේ දෙයක් තමයි.... 

පළවෙනියට කියන්න ඕනේ මේක ලියවෙන්නෙ ලංකාවට අදාළව...  ‌

ලංකාව කියන්නෙ ඉතාමත් පැරණි, අනාදිමත් කාළයක ඉඳලා පැවතගෙන එන ප්‍රෞඩ සංස්කෘතියකට උරුමකම් කියන රටක්.. මේ රටේ කාන්තාවන්ට දක්වපු සැලකිල්ල ඉතා ඉහල මට්ටමක තිබුණා..... මැණිකක් අතින් ගත් රෑමත් කාන්තාවකට රටේ මේ කොණේ ඉඳලා ඒ කොණට අතුරු ආන්තරාවක් නැතුව යන්න පුළුවන් සමාජයක්............... බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්.............. 

නෑ ඒක නෙවෙයි.... 

අපි මේකට අදාළව ලංකාව ගැන යථාර්ථය කතා කරමු.... 

ලංකාව කියන්නේ නීතියක් තිබුනත් නීතියට පිටින් කරන දේවල් වැඩි රටක්.... ලංකාව තුළ තියෙන්නේ අනාදිමත් කාලයක මේ රටට බලෙන් පටවපු නීති පද්ධතියක්... ලංකාවේ තියෙන්නේ පිටින් ආපු සංස්කෘතියක්... කො‌ටින්ම කිව්වොත් රටේ වැවෙන හාල් වලින් හදා ගන්න බත් වේල එක වේලකටත්, රටින් ගේන තිරිඟු පිටි වලින් හදන පාන් වලින් සහ ෂෝට් ඊට්ස් වලින් වේල් දෙකකුත් කන ජාතියක්...

එතකොට ලංකාවේ මිනිස්සු.... 

ලංකාවේ මිනිස්සු ආගන්තුක සත්කාරයට බොහොම ලැදියි... රටින් එන අයව විතරක් නෙවෙයි රටින් ගේන හැමදෙයක්මත් සාදරයෙන් පිළිගන්නවා... එන අය බොහොම ආදරෙන් ගෙනාපු දේවල් දීලා ගියාම, නොමිලේ දෙනවා නම් ඕනේ කුණු ‌ගොඩක් බාර ගන්න මේ මිනිස්සු, ඒවත් සාදරයෙන් තමන්ගේ ගෙට අරන් පරිස්සම් ඇති තැනක තියනවා... 

ඒ වගේම ලංකාවේ මිනිස්සු දැක්කත් නොදැක්කා වගේ ඉන්න දක්ෂ ජාතියක්... ඒ වගේම හැම දේකම වැරදි හොයන්න පුදුමාකාර දක්ෂතාවයක් තියෙන ජාතියක්.... තමන්ට නැතුව අනිත් අයට හොඳ දෙයක් වෙනවනම් ඉවසගෙන ඉන්න ආමාරු නිසා මොනවා හරි අතීත කුණු ගොඩක් ඇඳලා ඒ මනුස්සයව වට්ටන්න උත්සාහ කරනවා වගේම, තව කෙනෙක්ට වැරැද්දක් උනාම ඒ කෙනාගේ හත්මුතු පරම්පාරවෙම දොස් ටික ඉස්සරහට ගෙනල්ලා අර මනුස්සයාව තවත් අසරණ කරලා දාන්නත් මේ මිනිස්සු හරි දක්ෂයි... ( පිටින් පේන්නෙ නම් අනුකම්පාවෙන් උදවු කරන්න යනවා වගේ..) 

ඔය මං කිව්වේ මේ කාරණාවට අදාළ දේවල් සම්බන්ධයෙන් විතරයි... 

දැං තවත් යථාර්ථයක් ගැන කතා කරමු... 

  • ලංකාවේ කාන්තා ගණිකාවන් 50000 කට වැඩිය ඉන්නවා.. එතකොට එච්චර ප්‍රමාණයක් පිරිමි ගණිකාවන් ඇසුරු කරන්නත් එපැයි... ( මං මේ දවසකට එක්කෙනෙක්ට එක ගානේ ගනං හැදුවට ඉතිං ඇත්ත තත්වය දන්නවනේ.. මොකද නිකම් නොදන්නවා වගේ ඉන්නේ.. හි හි) 
  • මෑතකදි ඒඩ්ස් ව්‍යෘප්තිය වැඩි රටවල් වලින් එකක් ලංකාව... 
  • ලංකාවේ ස්ත්‍රී දුෂණ, ළමා අපචාර සහ මිනි මැරැම් ප්‍රතිශතය ඉතාමත් වැඩි ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙන්නෙ... 
හරි... අපි මේ ගැන දිගින් දිගටම කතා කරන්න අවශ්‍ය නෑ... තැන් දෙක තුනකම මේවා කතා කළානේ.. 

මේ සිද්ධ වෙන දේවල් වැරදියි කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ... අපි බලමු මේවා හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා... 

‌මෙතන ඉදන් උපකල්පනය කරමු ලංකාවේ නීති හරියට ක්‍රියාත්මක වෙනවා කියලා.. 

අධ්‍යාපනය පැත්තෙන්....

  • බාලිකා පාසල් සහ බාලක පාසල් වශයෙන් වෙන් කරන්නේ නැතුව හැම පාසලක්ම මිශ්‍ර පාසල් කරන්න ඕනේ... 

ඒක ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑනේ... මෙහෙම වෙන් කරලා තියෙන ඉස්කෝල වල උන්ට අනිත් උන්ට වඩා විසේ වැඩියි.. හි හි...
  • පාසල් වල ලිංගික අධ්‍යාපනය 6 වසරේ ඉඳලා විශය නිර්‌ෙද්ශයට ඇතුලත් කරන්න ඕනේ... 
මෙහෙම කියන්න එක හේතුවක් තමයි මීට ටික කාලෙකට කලින් ගැහැණු ළමයින්ගේ වැඩිවියට පත් වීමේ වයස අවුරුදු 12-13-14 වගේ කාලෙදි කියලා සැලකුවත්, ඒක මේ වෙන‌ෙකාට අවුරුදු 10-11-12 වගේ කාලයෙදි සිද්ධ වීම් වැඩි වීම.. දෙවනි හේතුව දිගින් දිගටම සීමාවක් නැතුව රට තුළට එන දියුණු තාක්ෂණය... අම්මලා තාත්තලා පාවිච්චි කරන්න දන්නෙ නැති බඩු පාවිච්චි කරන්න පොඩි එවුන් දන්නවා.. ඉතිං උං මොනවා කරනවද කියලා කිසි කෙනෙක් දන්නේ නෑ... එත‌ෙකාට ඒ කාලේ පින්තුරු පත්තරේකින් දැනුම හොයා ගත්ත කට්ටිය අද කරන්නේ ඉන්ටටෙට් එකෙන් ඒ දැනුම ගන්න එක.. ලබා ගන්නා දැනුමේ ලොකු වෙනසක් තියෙනවා කියලා පේනවනේ...  නමුත් නිසි විදියකින් දැනුම ලබා දුන්නට පස්සේ කුතුහලය යම් තරමකින් අවම වෙන නිසා සහ දැනුවත් බව නිසා අපචාර වලට හසුවීමේ ඉඩකඩ අවම වෙන නිසා මේකෙන් හොදක් සිද්ධ වේවි... ( ඒ වගේම එක්ස්පෙරිමන්ට් කරන්න පටන් ගන්න වයසත් අවුරුදු කීපයකින් වෙනස් වෙනස් වේවි.. දැන් අවුරුදු 17 විතර වෙනකොට කරන ඒවා 15-16 දි කරන්න පෙළඹේවි..)
  • හැම පාසලකට Health nurse කෙනෙක් සහ වෛද්‍යවරයෙක් අනුයුක්ත කරන්න ඕනේ.. ( නාකි අය නෙවෙයි ළමයින්ට කතා කරන්න පුළුවන් තරමේ කෙනෙක්)... 
ගුරුවරුන්ට කොච්චර ලිංගික අධ්‍යාපනය තිබ්බත් ඩොක්ට කෙනෙක් මේවා ගැන කතා කරන‌‌ෙකාට ළමයින්ගෙ අවධානය විශය පැත්තට හැරෙනවා වැඩියි... ( ගුරුවරුන්ගේ ලැජ්ජාව නැති කරන්නත් අමාරු වෙයි නේ... )
  • හැම පාසලකටම මනෝ වෛද්‍යවරයෙක් අනුයුක්ත කරන්න ඕනේ... උපදේශකවරයෙක් විදියට...
ළමයින්ට ඇති වෙන මානසික ගැටළු අම්මලාට කලින් අහුවෙන්නේ ටීචර්ලට... වැඩි පුරම ඉන්නෙ ඉස්කෝලෙනේ... ඉස්කෝලෙන්ම මේ වගේ දේකට යොමු කරන්න අවස්ථාවක් තියෙනවා නම් ලොකු අමාරුවක් වෙන්න කලින් ප්‍රතිකාර වලට යොමු කරන්න පුළුවන්... ඒ වගේම ළමයින්ගේ ප්‍රශ්න ගැන ගුරුවරුන්ටත් උපදෙස් ගන්න පුළුවන් ඉක්මණටම... ( ලංකාවේ මිනිස්සු තාමත් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා කියලා හිතන්නෙ පිස්සුවට බේත් ගන්නවා කියලා.. එහෙම එකක් සමාජය දැන ගත්තොත් අර ළමයට අනාගතේදි කසාදයක් වත් කර ගන්න බෑ.... ඉතිං මනෝ වෛද්‍යවරයෙක් ගාවට යන්නත් බයයි...)

  • අවුරුදු 15 සිට සියලුම ළමයින්ව ලිංගික රෝග සහ සමාජ රෝග පිළිබඳ දැනුවත් කරන්න ඕනේ.... 
දැං ඔය 3-4 දේවල් වලට අමතරව ගුරුවරුන්ටත් ළමා මානසික විද්‍යාව ගැන උගන්නන්න වෙනවා ගුරු පුහුණු වලදි.. ඒක අපි අමතරව තියාගමුකො.... 

හරි.. ඒ අධ්‍යාපනය පැත්තෙන් කරන්න පුළුවන් දේවල්.... මේ ටික වෙද්දි එක පරම්පරාවක් යනකොට දැනුවත් වීම් වෙලා ඉවරයි... ගතානුගතික සමාජය ඉස්සරහට ගන්න පුළුවන් ක්‍රමවත් ක්‍රියාමාර්ගයකින් විතරයි... නැත්තම් වඳුරට දැලි පිහිය දුන්න වගේ තියෙයි... 

සෞඛ්‍ය පැත්තෙන්...
  • සෞඛ්‍ය සේවය නොමිලේ දෙන එක නවත්තන්න ඕනේ... ( මේකෙදි විශේෂ අවස්ථාවලදි, ඒ කිව්වෙ ආබාධිත, විශ්‍රාමික අයවලුන් සම්බන්ධයෙන් විශේෂයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ.. )   
උපදේශනය වගේ දේවල් නොමිලේ කළත් ප්‍රතිකාර වලට අය කරන්න ඕනේ.. හේතුව ප්‍රතිකාර වලට යන්නෙ වැඩිපුරම උපදේශනයේදි ඒවා ගැන දැනුවත් වෙලත්, ඒවා ගනං ගන්නෙ නැති අය නිසා වීම..
  • Addictions සම්බන්ධයෙන් උපදේශන සේවා වැඩි වැඩියෙන් ඇති කරන්න ඕනේ.. ඒවා රෝහල් වලට විතරක් සීමා කරන්න හොඳ නෑ... 

ඇල්කො‌ෙහාල්, සිගරට්, සූදුව, විකෘති ලිංගික ක්‍රියාවල් වලට ඇබ්බැහි වීම් විතරක් නෙවෙයි, කාම චිත්‍රපට වගේ දේවල් වලට ඇබ්බැහි උන අයටත් උපදේශනය අවශ්‍යයි..
  • ගබ්සාව නීත්‍යානුකූල කරන්න ඕනේ... 

ලිංගික අධ්‍යාපනයේ දි මේක අතුරු ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්... ඇරත් මේ වෙනකොටත් මේක රටේ අවශ්‍යතාවයක්..
පසුව එකතු කිරීමකි / 
මේ කතාවෙදි මම මුලින් හිතුවට වඩා වැඩි පිරිසක් ගබ්සාව පිළිබඳව අදහස් පල කරලා තිබුණා.. මම හිතුවා මේ තැන මගේ අදහස පහු වෙලා හරි පෝස්ට් එකට එකතු කරන එක හොඳයි කියලා... ඇත්තටම මම මේ අදහස පැහැදිලි කළා මදි කියලා හිතෙන නිසා...
මේ තියෙන්නේ මම DDTට දුන්නු උත්තරේ.. මම හිතනවා මේකෙන් මම අදහස් කරපු දේ පැහැදිලි වෙයි කියලා...
ඉතාමත් යොවුන් වියේ ගැබි ගැනීම්, යොවුන් මව්වරු වගේම ගබ්සාව වැඩි වීම කියන්නේ ලිංගික අධ්‍යාපනයේ අතුරුපලයක්... නීතිවිරෝධි විදියට ගබ්සා සිදු කිරීමෙන් නැති වන ජීවිත ප්‍රමාණය බේරා ගන්න ගන්න යම් පිළිවෙලක් තිබිය යුතුයි.... ඒක තමයි මේ ක්‍රමය... මේක හරි විදියට කළොත් මම හිතනවා ගබ්සා අඩු වෙයි කියලා මේකෙන් ඇත්තටම .. මොකද නිසි වෛද්‍යවරයෙක් ගාවදි ලැබෙන උපදෙස් වලින් වැඩිපුරම කියන්නෙ “ දරුවා නැති කරන්නේ නැතුව කාටහරි හදාගන්න දෙමු ”කියල.. ඒ ගැන හිතන්න මවට කාලයක් ලැබෙනවා .. ගොඩක් වෙලාවට එතනදි ගබ්සා කිරීමේ තීරණය වෙනස් වෙනවා.. හැබැයි මේක වෙන්නෙ නිසි පරිදි දැනුවත් කිරීම් කෙරෙනවා නම් විතරයි.. නැත්තම් ඒක වෙන්නේ නෑ...
අනිත් එක ඒ වගේ දරුවන් රැකබලාගන්න හරි ක්‍රමවේදයක් තියෙනවා නම් ගොඩක් අය ගබ්සා කරන්නේ නෑ... කිසිම මවක් තමන්ගේ කැමැත්තෙන් කුසේ ඉන්න දරුවෙක් නැති කරන්නේ නෑ... ( 99.99% විතර) .. සමාජීය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න මත තමයි මේ වගේ තීරණයක් ගැනෙන්නේ... ඉතිං මේ වගේ දරුවෙක් රජය මඟින් යමිකිසි ක්‍රමයකින් හොඳ තැනකට දීලා, හොඳ තත්වයක් ලබා දෙනවා කියලා සහතිකයක් තියෙනවා නම් ඒක කරන්න ඕනේ වෙන්නෙ නෑ නේ... මේකෙදි ඇත්ත තත්වය ඒකයි....
නීතිමය පැත්තෙන්... 
  • ලෝකයේ තියෙන දියුණුම තාක්ෂණය යොදා ගන්න පුළුවන් වෙන විදියට නීති පද්ධතිය අලුත් කරන්න ඕනේ... 

නඩු විභාග වලදි සහ අපරාධ පරීක්ෂනයේදි ලෝකයේ තියෙන දියුණු තාක්ෂණික ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් වෙන අලුත් නීති වගේම ඒ ක්‍රම යොදා ගන්න පහසුකම් නීති ආයතන වලට ලබා දෙන්න ඕනේ... දැනට ලංකාවේ DNA පරීක්ෂණයක්වත් කරන්න පහසුකම් නෑ මම දන්න විදියට... තිබුණත් ඒක කරලා රිපෝර්ට් එක ගන්න මාස 6ක් වත් යනවා... අපරාධ නඩු තීන්දු ලබා දීම සඳහා යන කාලය අවම කරන්නත් මේ මඟින් පුළුවන් වෙයි...
  • ළමා හා කාන්නා ආරක්ෂාව පිළිබඳ නව නීති හදන්න ඕනේ.. 
ඒ කිව්වේ කැපකරු මාපිය ක්‍රමය වගේ දේවල්... අපචාරයට පත් ළමයි, කාන්තාවන් සඳහා උපරිම නීතිමය රැකවරණය දෙන්න අවශ්‍යයි.. ඒ වගේම මේ වගේ නඩු විභාග වලදී උපරිම රහස්‍යතාවය තිබිය යුතුයි... සමහර විට කාන්තාවක් නම් අලුත් අනන්‍යතාවයක් ගන්න.. දරුවෙක් නම් වෙනත් සුදුසු යුවලකට හදාගන්න දෙන්න වගේ දේවල්... මේකෙදි පුළුවන් ඩිවෝස් එකකදි දෙන්නගෙන් එක්කෙනෙකුටවත් ළමයි බාර දෙන්න සුදුසු නැත්තම් ළමයි රජයට පවර ගන්න, අපචාරයකට පත් ළමයෙක්ට ගබ්සාවක් කරන්න බැරි නම්, උපදින දරුවා නිවාසයකට යොමු කරන්න.. දුප්පත්කම නිසා හෝ වෙනත් ප්‍රහ්න නිසා දෙමාපිය දෙන්නම දරුවන් රැකබලා ගන්න සුදුසු නැත්නම් දරුවන් ඒ අයගෙන් අයින් කරන්න නීති මඟින් පුළුවන් විය යුතුයි... ඒ වගේ මවුපියන් උපදේශනයට යොමු කිරීමත් නිති මඟින්ම කළ හැකියි...
  • ගබ්සාව නීතිගත කරන්න ඕනේ.. 
නීත්‍යානුකූල නොවෙන විදියට කරන්න ගිහින් ජීවිත අනතුරු කරගන්න එක නවත්තගන්න වගේම, ගබ්සාවක් කරපු මවකගේ මානසික තත්වය නඟා සිටවන්න උපදේශනයට යොමු කරන්න මේ මඟින් පුළුවන්... 
  • දැං අපේ මතෘකාව ... ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනේ... 
මෙතනදි නීතිමය රාමුව ඉතාමත් වැදගත්... 

මේ වෘත්තියේ යෙදෙන අය ලියාපදිංචි කළ යුතුයි...

ලියාපදිංචි කිරීමෙන් මේ අය සම්බන්ධයෙන් සොයා බැලීමේ හැකියාව ලැබෙනවා වගේම, ලියාපදිංචියෙන් තොරව කරගෙන යාමේ හැකියාව අඩු වෙනවා...ඒ වගේම ඒ අයට නීතිමය රැකවරණය ලබා ගනීමටත් හැකියාව වැඩියි...

තැරැව්කරුවන් නැති කළ යුතුයි..

උපරිම ප්‍රතිලාභ සේවය සපයන්නා වෙත ලැබීමේ අවස්ථාව වැඩියි..

තමන්ගේ කැමැත්ත නොමැතිව මේ සඳහා යොදා ගැනීමට අවස්ථාව නැති විය යුතුයි..

කෙනෙක්ව බලෙන් ( තර්ජනය බය ගැන්වීමෙන්,  බ්ල්ක්මේල් කිරීමෙන්,  රැවටිමෙන්)  මේ සඳහා යොදා ගන්න අවස්ථාවක් නැති වෙන්න ඕනේ.. ඒ වගේ අවස්ථාවල වැරදිකාරයාට සියලුම වැරදි වලට අදාළව ( අපචාරයට ලක් කිරීම යටතේ වැරදි කීපයක්ම තියෙනවනේ..) දඬුවම් දෙන්න ඕනේ... 

මේ අය‌ෙග් සෞඛ්‍ය වාර්තා නිසි පරිදි අලුත් කළ යුතුයි.. 

සමාජ රෝග පිළිබඳ වාර්තා, ගර්භනී වීම්, ගබ්සා කිරීම්, ගන්නා ලද ඔෟෂධ වර්ග, ආසාත්මිකතාවයන්, වෙනත් රෝගී තත්වයන් පිළිබද තොරතුරු අවශ්‍ය විටෙක ලබා ගැනීම සඳහා රජය සතුව තිබිය යුතයි... ( මේ මගින් මිනි මැරුම් විසඳා ගැනීම, හදිසි අවස්ථා ව‌ෙග්ම හදිසි අනතුරු වලක්වා ගැනීම වගේ දෙවල් කරන්න පුළුවන්.. හදිසි අවස්ථාවකදි ගනුදෙනුකරුවාටම උනත් නිර්නාමික 119 කෝල් එකකින් හරි දැනුම් දෙන්න පුළුවන් නේ.. නීතිමය අතින් ප්‍රශ්නයක් නෑ නේ...) 

ගණිකාවන්ගේ ගනුදෙනුකරුවන් පිළිබඳ යම් වාර්තාවක් තබා ගත යුතුයි...   

මේකත් රජයේ සහ සමාජයේ අවශ්‍යතාවය සඳහා කරන්න ඕනේ දෙයක්... විශේෂයෙන්ම ගණිකාවක් යම් බෝවෙන රෝගයකින් පෙලෙනවා කියලා හදුනා ගත්තට පස්සේ, එයාගෙන් තවත් කෙනෙකුට මේ රෝගය පැතිරීමේ අවධානම අඩු කරන්න සහ ඒ අයගෙන් තවත් කෙනෙකුට බෝ වෙන එක වලක්වන්න මේ මඟින් පුළුවන්... ( මම හිතන්නෙ කරන්න අමාරුම දේ මේක තමයි.. නමුත් සමාජයේ යහපත පැත්තෙන් මේක කළ යුතුමයි..)  

මීට අමතරව සාමාජයීය වශයෙන් එකතු කළ යුතු තවත් එක නීතියක් තියෙනවා.. 

ඒ තමයි දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙන අවස්ථාවලදි සහ විවාහයකදී දෙන්නාගෙම සෞඛ්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම... 

දැනට ලංකාවේ සිදුවන හැම විවාහයක්ම සිදුවෙන්නේ විශ්වාසය මත... නමුත් මේ නීති වලින් පස්සෙ මේ සමාජයේ Living together වගේ, teen pregnancy වගේ තත්ව වැඩි වෙන්න පුළුවන්... ඉතිං ඒ වගේ තත්ව යටතේ විශ්වාසය කියන එක වැදගත් සාධකයක් වෙන්නෙ නෑ... මේකෙන් සමාජ රෝග පැතිරීම වලක්වන්න සහ විශේෂයෙන් දැනට වෙනත් රටවල ඇති වෙලා තියෙන නවතත්ගන්න බැරි බරපතල ලෙඩ රෝග දරුවන්ට ඇති වීම, ළමයින් අසරණ වීම, කාන්තාවන් අසරණ වීම වගේ දේවල් යම් තරමකින් හරි වලක්වන්න පුළුවන්...ඒඩ්ස් හැදුන කෙනෙකුට උනත් එයා‌ෙගන් දරුවන්ට ඒක නොහැදී ඉන්න පුළුවන් බෙහෙත් තියෙනවා.. ලෙඩක් තියෙනවා කියලා දැනගෙන ළමයි හදන‌ෙකාට අඩු ගානේ ළමයින්ට හරි ලෙ‌ෙඩ් නොහැදී බේරගන්න පුළුවන්... 

ලොකු ලිස්ට් එකක් නේද... නමුත් කරනවා නම් මෙන්න මෙහෙම කරන්න ඕනේ... වැරැද්ද උනාට පස්සේ නහයෙන් අඬනවාට වඩා වැරද්ද වෙන්න කලින් පරිස්සම් වෙන එක සුදුසුයි... 

මට කියන්න ඕනෙ උනේ මේකයි ප්‍රධානවම.... සමාජය දැනුවත් කිරීමන් පස්සේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් වෙන යහපත වැඩියි... නමුත් අනිත් කිසි දෙයක් ‌නොකර මුලින්ම මේක නීතිගත කළොත් සිද්ධ වෙන්නේ වැරැද්දක් විතරයි... 

කාන්තාවක් හැටියට මම මේ ගැන දකින්නේ මෙන්න මේ විදියට... ඒ හැමදෙයක්ම එක්ක අපි මේ කතාකරන්නේ ලංකාව ගැන කියලත් අමතක කරන්න හොඳ නෑ.... 

ඔව්.. මේ ඔක්කොම කරන්න ගියොත් ඉතිං තව කාලාන්තරයක් යයි තමයි... එතකොට පෙරහැර ගිහින් තියෙයිද... නැත්තම් අපි මුලින් කරන්න ඕනේ දේවල් කරන්න පටන් ගන්න දැං කාලේ හරිද..... ??

මම මුලින්ම කිව්වා මේ බ්ලොග් එකේ ලියවෙන්නේ බොහොම සරළ, සාමාන්‍ය මාතෘකා ගැන... මේකත් ඒ වගේ දෙයක් තමයි කියලා.... නමුත් මෙච්චර කාලෙකට මේ තරම් විවාදාත්මක මතෘකාවක් ගැන මම මේ බ්ලොග් එකේ ලියලා නෑ... අනිත් බ්ලොග් වල වලි දාගත්තට... සංයමයෙන් කමෙන්ට් කරයි කියලා බලපොරොත්තු වෙනවා...

මේ තියෙන්නේ මේ පෝස්ට් එක දාන්න හේතු භුත වෙච්ච පිරිමි පාර්ෂවය විසින් ලිව්ව පෝස්ට් දෙක.. මේ කියවන්නේ මොන මඟුලක්ද කියලා හිතාගන්න බැරි නම් ඔන්න ගිහින් පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි වෙලාව අරගෙන කියවන්න පුළුවන්... 

සිරා ලියපු ගණිකාව සහ සිරි ලංකාව (වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි)

මාතලන් ලියපු 

ගණිකා වෘත්තිය, නීතීගත කිරීම (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි.) - Legal Prostitution (Strictly for Adults)

Saturday, November 24, 2012

එහෙටත් නැති මෙහෙටත් නැති අපේ අධ්‍යාපන ක්‍රමය...




ඔන්න අදත් කරන්න තේරෙන්නෙම නැති විකාරයක් උස්සන් ආවා.. 

මේ කතාව මං දැක්කේ යූ ටියුබ් එකේ....සාමාන්‍යයෙන් මං ඔය පැත්තේ කරක් ගහනවා අඩුයි .. මොකද ඒකෙන් වැඩිපුර වෙන්නෙ මගේ අසරණ බයිට් ටිකට කෙල වෙන එක හින්දා...ඒත් ඊයේ රෑ අහම්බෙන් වගේ ඒ පැත්තේ ගියහම දැක්ක මේ වීඩියෝ එක බයිට් වලට තියෙන ආදරේ පැත්තකින් තියලා බැලුවේ මේක හරිම සංවේදී වගේම ලොකු ප්‍රබෝධයකට හේතුවක් වෙන ජාතියේ කතාවක් නිසා... ( මධුර එකේ Inspirational කියන වචනේ බැලුවම තිබ්බේ ඕක..)

දේශකයා කියනවා ඔය ඉන්ස්පිරේෂන් කියන එකට නියම වචනේ මං හිතන්නේ ප්‍රමුද්දීපනය කියන එකයි.. කියලා ... මටත් හිතෙනවා ඒක වැඩිපුර ගැලපෙනවා කියලා.. ඔන්න ඒකත් ඇමිණුවා මෙතනටම...

හරි... කට්ටියට ලින්ක් එක දුන්නා...  ගිහින් බලන්න.. වීඩියෝ එක මෙතනට ඇඩ් කරන්න විදියක් නෑ මගේ බයිට් ටික ඉවර වෙලා තියෙන නිසා...  ( මම මේවා ඩවුන්ලෝඩ් කරන්න දන්නේ නැති එක වෙනම කතාවක්... හි හි)

පින්සිද්ධ වෙච්චාවේ අපේ මාරයියටයි චන්දනටයි... ඔන්න විඩියෝ එකත් ඇමිණුවා... 

මේ කතාව කැල්වින් ඩෝ කියන සියරා ලියෝන් වල ඉන්න අවුරුදු 15ක කොල්ලෙක් ගැන.... මෙයා ඇවිල්ලා නව නිපැයුම්කරැවෙක්.. Inventors කියලා කියන්නේ.. මෙයාගේ විශේෂත්වය තමයි මෙයාගේ නව නිපැයුම්වලට අමුදූව්‍ය හොයාගන්නෙ කුණු බක්කි අවුස්සලා වීම... මෙයාගේ නිපැයුම් අපි මේ මලක් කඩලා, පොත් ඇතුලේ දාලා වේලලා, සුභ පැතුම්පත් හදනවා වගේ වැඩක් නෙවෙයි.. මෙයා ඉලෙක්ට්‍රොනික් වැඩ වලට දක්ෂයෙක්... කැල්වින් කුණුබක්කි අවුස්සලා හැමදාම කරන්ට් නැති තමන්ගේ ගමේ ගෙවල් වලට ලයිට් දෙන්න බැටරියක් හදලා.. ගමේ තරැණ ප්‍රශ්න ගැන කතා කරන්න FM Radio Station එකක් හදලා... DJ Focus කියලා වැඩසටහන් ඉදිරිපත් කරන්නේ කැල්වින්ම තමයි... ඒ වගේම කැල්වින් මේ හැමදෙයක් කරන්න ඉගෙනගෙන තියෙන්නේ තනියෙන්මයි.... 

හරි... මං මේ කියන්න ආවේ කැල්වින්ගේ කතාව ගැන නෙවෙයි... කැල්වින්ව හොයාගෙන ඇමරිකාවට එක්කන් ඇවිල්ලා, කවදාවත් ලැබිලා නැති අත්දැකීමක් ලබා දුන්නු David Sengeh මේ විඩියෝ එකේ කියන කතාවක් ගැන... 

ඩේවිඩ් කියනවා 

For quite many years, Sierra Leone and many African countries " received aid. But it does not necessarily get us anywhere.We're not looking into the future.We're not designing our own future. Unless we have a host of young people who can think,at any given point, that here's a challenge, here's a problem, and it's an opportunity to solve it, there won't be a steep growth in national development   

අපේ රටට හැමදාම ණය ආධාර ලැබුනා... නමුත් ඒකෙන් වැඩි වැඩක් වෙන්නේ නෑ... ඒත් කරන්න ඕනේ එක නෙවෙයි.. අපි අපේ අනාගතය නිර්මාණය කරන්න ඕනේ.. අපේ රටවල්වල ඉන්න දක්ෂතා තියෙන තරැණ පරපුර ඉදිරියට ගන්න ඕනේ... එහෙම නැතුව ජාතික සංවර්ධනයක්  කරන්න බෑ  

කියලා... 

( ඔය වගේ අදහසක් කියමුකෝ අපි... මට ඩූඩ් අයියා වගේ පරිවර්තනය කරන්න තේරෙන්‌ෙන් නෑ..) 

මේ මුළු විඩියෝ එකෙන්ම මට වැදගත් කියලා හිතුනේ ඔන්න ඔය කෑල්ල.... 

අපේ රටෙත් ඉන්නවා මේ වගේ දක්ෂතා තියෙන තරුණ ළමයි... එක එක කන්ටෙස්ට් වලින් එයාලව තෝරලා, සහතික දෙනවා.. ඒත් එතනින් එහාට දෙයක් කෙරෙනවද....? ඒ සහතිකයේ වටිනාකමක් තියෙන්නේ කොහෙහරි ජොබ් එකකට යද්දි Extra Curricular Activities යටතේ දාන්න විතරයි... 

මේ මං කියන්‌ෙන් ඇත්තටම මගේ අත්දැකීමක්.... මගේ මාමා ඉස්කෝලේ යන කාලේ හැදුවා පතල් වල විශ වායු හඳුනාගන්න පුළුවන් රොබෝ කෙනෙක්.. ( අපේ අම්මා ගාව ඒ ගැන විදුසර පත්තරේ ගිය ආටිකල් එක ඇති.. මම පස්සේ ඇඩි කරන්නම්..) එයාට ඒ වගේ දේවල් ගැන හොඳ දැනීමක් තිබ්බා.. නමුත් ඉස්කෝලෙන් අස් උනාට පස්සේ එයාට ජොබ් එකක් හම්බුනේ නෑ... ඒ පාර ගෙදරට වෙලා තේ කොළ පැකට් කළා... පස්සේ එයාට ජොබ් එකක් හම්බුනා... නමුත් එයාගේ ගුරුවරයා වෙච්ච ඩොක්ට රේ විජයවර්ධනගේ උනන්දු කිරීම යටතේ එයා දැන් තමන්ගේම බිස්නස් එකක් කරලා හොඳ තත්වෙක ඉන්නවා... හැබැයි එයාට ඒ දවස්වලම  නව නිශ්පාදන ගැන අතහිත දීමක් සිද්ධ උනානම් ලංකාවට තවත් රේ විජයවර්ධන කෙනෙක් හම්බුවෙන්න ඉඩක් තිබ්බා... 

මං ගොඩක් තැන්වල දැකලා තියෙනවා නිර්මාණශීලී තරුණ තරුණියෝ කොච්චර හිටියත්, අපේ මේ තියෙන කම්මැලි, ගොළුබෙලි ගමනින් යන අධ්‍යාපන ක්‍රමයත් එක්ක එයාලත් අන්තිමට නිකම්ම නිකම් උපාධිධාරීන් හරි සමහර විට ඕලෙවල් ෆේල් වෙච්ච රස්තියාදුකාරයෝ තත්වෙට වැටෙනවා... 

දැං මේ කැල්වින් කියන කොල්ලව එක්කගෙන ගිහින් ඉස්‌කෝලෙකට දාලා, මුල ඉඳන් ඉලෙක්ට්‍රොනික් උගන්නනවට වඩා එයාට ඕනේ කරන අමුද්‍රව්‍ය සපයා ගන්න ක්‍රමයක් සලස්සලා දුන්නොත් එයා ලොකු වැඩක් කරයි කියලා මට නම් හිතෙනවා... එයාගේ ඊළඟ ඉලක්කය ගමට ලයිට් ගන්න ක්‍රමයක් හදන එකලු.... 

අපේ ළමයින්ටත් මේ වගේ දේවල් වලින් ඉස්සරහට යන්න ඉඩ දෙනවා නම්... අපේ මේ කරුමක්කාර ගිරවු වගේ කටපාඩම් කරලා විභාග ලියන අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙලා, ප්‍රායෝගිකව මේ වගේ දේවල් ගැන ඉගෙන ගන්න ළමයින්ට අවස්ථාවක් දෙනවා නම්... අඩු ගානේ උපාධියටම යනකම් ඉගෙන ගත්ත නැති ළමයෙක්ටත් තමන්ගේ දක්ෂතාවලින් ඉස්සරහට යන්න චාන්ස් එකක් දෙනවා නම්.... ඒ වගේ ළමයෙක්ව ත්‍රීවීල් එකක් එළවන්න යන තත්වෙට පත් කරන්නේ නැත්නම්.... 

ඇත්තටම අපිට මේ ගැන කරන්න පුළුවන් දෙයක් තියෙනවද... ? මං අහන්නේ අදහසක්වත්....

ප/ලි

කට්ටියට මතකයි නේ අපේ කොස් කතාව... මෙන්න තවත් ලස්සන කොස් කතාවක් තියෙනවා සමීගේ පුංචි ලෝකයේ... ගිහින් බලන්නකෝ...... 

Thursday, November 22, 2012

ඔබ ගැන මතක....

මහ මෙරක්ම වූ, 
දිය පොදක්ම වූ,
පිනි සිසිලසක්ම වූ,
ආදරණීය ඔබේ උරතලය...

සිතේ සිතුවමක්ම වී,
අතීතයේ සිහිනයක්ම වී,
මතකයේ හැම අස්සකම,
ආදරණිය මතකයක්ම වී අද.....

ඇසට පෙනෙන දුරක සිටින්නම්,
හදට දැනෙන තැනක රැඳෙන්නම්,
තනිව වෙසෙන නිහඬ රැයක,
කනට ඇසෙන දුරක ගයන්නම්...

කවදා කොතැනකදි නමුදු,
යලි අප හමුවන බව දැන,
මා යන තැන මඟ සලකුණු,
සුළං රළක ලියා තියන්නම්..... 

නිමක් නොමැති මේ දිවි මඟ,
හසර නොදැන සරණ අතර,
නැවත නැවත අප හමුවන තුරු,
ඔබ යන එන මඟක රැඳෙන්නම්...... 


Wednesday, November 21, 2012

හයි වේ එකෙන් මට වෙච්ච හොඳ....


අපේ මහත්තයා අද උදේ පාන්දරම ගියානේ කොග්ගල යන්න කියලා.... පාන්දර නැගිට්ටම නින්ද යන්නේත් නෑ.. ඒ මදිවට එයා ළඟ නැතිකොට කරන්න දේකුත් නෑ.... ඉතිං මං මේ කල්පනා කළේ පෝස්ට් එකක් ලියන්න දෙයක් තියෙනවද කියලා...

ඉස්සර අපේ තාත්තා කළේ දවස් ගනන් ගෙදර එන්න හම්බුවෙන්නැති රස්සාවක්... මට මතක ඇති කාලේ ඉඳල අම්මයි මායි තනියෙන් හිටිය දවස් තියෙනවා... ඒ කාලේ අපේ පැත්තේ දැං වගේ ගෙවල් තිබ්බෙත් නෑ නේ... කැලේ තමයි වැඩිපුර... අපි හිටියෙත් ලෑලි ගේක නේ... ඉතිං මට දැං තේරෙනවා අම්මා ඒ කාලේ කොච්චර බයෙක්ද ඉන්න ඇත්තේ කියලා රෑට.... මමත් ඒ වගේ තමයි... තාමත් මතකයි ඒ කාලේ රෑට කැලේ නරි හූ කියන සද්දෙට බය වෙලා ඇහැරැනාම, අම්මා මාව තුරුල් කරන් ඉන්නවා එළිවනෙකම්ම...

කොහොමත් තාත්තා ගෙදර නැති දවසට පොඩි කාලේ මං හරිම බයයි... ලොකු උනාම එයා ගෙදර ඉන්න දවසට ඊට වඩා බයයි.. හි හි.. මොකද තාත්තට හරියට තරහා යනවා....

එකම දේ තාත්තා ලංකාවේ හිටිය එක... මං හිතන්නේ අම්මා උනත් හිතේ හයියෙන් ඉන්න ඇත්තේ ඒක නිසා වෙන්න ඕනේ.. අපේ තාත්තා ගාව අප්ඩේට් කර කර ආපු පාස්පෝට් තුනක් විතර තියෙනවා... හැබැයි එකක්වත් පාවිච්චි කරලා නෑ.. හි හි...

දැං අපේ මහත්තයා ගෙදර නැති දවසට මට පුදුමාකාර කම්මැලිකමක් තියෙන්නේ... බැඳපු අලුතම වගේ එයා දවස් 10කට දැයට කිරැළ එකකට ගියා.. ඒ දවස් 10 මං විඳපු දුකක්... හාපෝ.. මතක් කරන‌ෙකාට එපා වෙනවා... මොකද ඒ දවස්වල එයාලගේ අම්මලත් එක්ක තිබ්බ ප්‍රශ්න හින්දා, මං ෆුල් වලියෙන් හිටියේ... කරන්න දෙයක් නැතිම තැන මං අකමැත්තෙන් හරි එයාලගේ ගෙදරට ගියාට, පුළුවන් තරම් හොඳින් ඉන්නවා කියලා හිතාගෙන ගියේ.. ඒත් සති දෙකක් ඉන්නකොට මට තේරුනා කවදාවත් ඒ ගෙදර අය මට මගේ අය නම් වෙන්නේ නෑ කියලා... ඉතිං මං එයාට යන්න කලින් කිව්වා මාව ඒ දවස් ටිකේ අපේ ගෙදර ඇරලවන්න කියලා... මෙයා බෑම කිව්වා.. අන්තිමට මං දවස් 10ම කාමරෙන් එළියට වත් ආවේ නෑ... ඒ තරමට එපා වෙලා හිටියේ... කසාද විතරක් නෙවෙයි ජීවිතෙත් එක්ක එපා වෙලා.... කෑවෙත් නෑ... මට මොන යකා වැහිලා හිටියද මන්දා... හි හි.. ගෙදර ඉන්නකොට වැඩිම උනොත් දවස් 2ක් කන්නේ නැතුව ඉඳියි.. ඊට වඩා නම් කොහොමවත් බෑ... දවස් 10ක් බිස්කට් විතරක් කකා හිටියා... කොහොමහරි එයා ආවට පස්සේ ඒ මාසෙම වෙන ගේකට ආව හින්දා පිස්සු නොහැදි බේරුනා....

අර කවිකාරි නැන්දා එයාගේ පරණ කතා කියනකොට මට හැමතිස්සෙම හිතෙන්‌ෙන් අනේ අම්මේ මට එහෙම ඒ වගේ උනා නං මෙලහකට මං පිස්සන් කොටුවෙ කියලා.... ඒ වෙලාවට මං මගේ කටට පිං දෙනවා.... කට ඇරලා කතා කරන්න පුළුවන් වෙච්ච එක ගැන... එහෙම කතා කරන්න කොන්ද පණ තිබ්බ එක ගැන.. නොදන්න මිනිස්සු ගොඩක් මැද තනි උනාම මොනවා හිතෙනවද කියලා හිතාගත්තා ඒ ටික කාලෙන්... ඊට වැඩිය තනියෙන් ඉන්න එක සිය දහස් ගුණයක් හොදයි...

ඒ වෙලාවට මං හිතන්නේ හස්බන්ඩ් රට ඉන්න කොට ගෙවල් වල ඉන්න ගැණු, ළමයි එක්ක මොන තරම් දුකක් විඳිනවා ඇතිද කියලා... අම්මෝ.. ඒ ගැන නම් මගේ හිතේ තියෙන්නේ මාරාන්තික බයක්.... අපේ මහත්තයට රට යන්න චාන්ස් එකක් ආපු ගමන් ම‌ෙග් පපුව අසූහාරදාහට ගැහෙන්න ගන්නවා... ඒ වෙලාවට මං කල්පනා කරන්නේ එයා රට ගියොත්, එනකොට මොනවා වෙලා තියෙයිද කියලා... අනේ එයාගේ යාලුවෝ කවුරුවත් මෙයාට පිටරට ජොබි ගැන කියන්නේ නැතුව ඉන්නවනම් කියලා හිතනවා... තාමත් එයා කලින් වැඩ කරපු තැන යාලුවෝ වේකන්සි එකක් තියෙනකොට මෙයාට කෝල් කරලා කියනවා... මෙයා ඉතිං මං කැමති නැති බව දන්න හින්දම මොනා හරි කියලා ෂේප් වෙනවා...

කො‌ෙහාම හරි ඊට පස්සේ එයාට දවසක් පිට ඉන්න උන වෙලාවට, එයා හිතේ කරදරෙන් ඉන්නකොට මං එයාගේ හිත හැදුවේ “ අපේ අම්මට තනියෙන් පොඩි ළමයෙක් එක්ක අර කැලෑවේ ඉන්න පුළුවන් උනා නං, මේ ෆොන් එක, පාර, ළඟපාත තියෙද්දි මට ඉන්න බැරිද ” කියලා...

ඒ උනාට ඉතිං නින්ද යන්නේ නැති එක නම් අනිවාර්‌යයි එදාට... රෑ එළිවෙනකම්ම ඇහැරිලා ඉන්නවා සමහර වෙලාවට... මොකද ඒ කාලේ කම්පියුටරේ තිබ්බෙත් නෑ නේ.. ෆිල්ම් එකක් දාගෙන ඉන්නවා... මේස රෙදි, ටී ෂර්ට් පේන්ට් කරනවා.. එක එක විකාර කෑම ජාති හදනවා... කතා ලියනවා... ඔහේ ඉන්නවා...

මොනවා උනත් හයිවේ එක හින්දා මට හොඳක් උනා.. ඒ තමයි අපේ මහත්තයට දැං ජොබ්ස් වලට ගිහින් එහෙ නවතින්න වෙන්නෙ නැති එක... උදේ පාන්දරම ගියාම රෑ වෙලා හරි ගෙදර එනවා... ඊළග දවසේ නිවාඩු නිසා අවුලකුත් නෑ... නැත්තම් වෙනදට ගාල්ලට යන්නම පැය දෙකක් තුනක් යනවනේ... දැං පාන්දර ගිහින් 8 වෙනකොට වැඩේ පටන් අරගන්න නිසා ඉක්මණට ඉවර කරලා එන්න පුළුවන්... අනිත් හයිවේ හැදුනම ඒ පැති වලටත් ඔය ප්‍රශ්නේ හරි... ඒ අතින් නම් පාරවල් හැදෙන එක ලොකු දෙයක්.. කම්පැනි එකත් මේකට කැමති එයාලට වියදම් බාගෙට බාගයක් අඩු නිසා.. වැඩත් ඉක්මණට කෙරෙනවා... අලුත් වැඩත් හම්බුවෙනවා වැඩියි..

දැං මං මේ කල්පනා කරන්නේ හස්බන්ඩ් රට ගිහින්, අවුරදු ගනං තනියෙන් ඉන්න ගෑණු අයට මල් තියලා වඳින්න ඕනේ කියලා... ඒ අය පුදුමාකාර දුකක් විඳිනවා ඇති.. වි‌ෙශ්ෂයෙන් ළමයි එක්ක, තනියෙන් ඉන්න අය... අම්මලා තාත්තලා එක්ක ඉන්න අයට නම් පොඩි හරි සහනයක් තියෙනවා.. ඒත් පුළුවන් තරම් හස්බන්ඩ්ගේ අම්මලා එක්ක නැතුව වයිෆ්ගේ අම්මලා එක්කම තියලා යනවා නම් හොඳයි කියලා මට නම් හිතෙනවා... මොකද සමහර වෙලාවට වෙන පොඩි පොඩි දේවල් කියන්න කෙනෙක් නැති උනාම ගෑණු හරියට අසරණ වෙනවා.. තමන්ට කියලා ඉන්න එකම කෙනා ළඟ නැති උනාම දැනෙන අසරණකම වචන වලින් කියන්න බෑ... තමන්ගේ අම්මලා එක්ක නම් ඉතිං රණ්ඩු වෙවී හරි ඉන්න පුළුවන්.. ඒත් පිට අය එක්ක එහෙම බෑනේ.. කොහොමත් ලේලි කෙනෙක් තමන්ගේ දරුවෙක් කරගන්‌ෙන් 1% විතර කට්ටියක් විතරයි.. තමන්ගේ අම්මලා කොච්චර හොඳ අය උනත් වයිෆ්ට හිත් රිදීමක් උනාම කියන්න ඉන්නේ තමන්ගේ හස්බන්ඩ් විතරනේ... රට ඉන්න මිනිහට ඕවා කියලා හිත අවුල් කරන්නේ කො‌හොමද කියලා නිකම් ඉන්නකොට වෙන්නේ ප්‍රශ්නේ වැඩි වෙන එක.. බැරි වෙලා හරි කිව්වොත් කට්ටිය කන්න යනවා “ ඇයි ඒ මනුස්සයගේ හිත අවුල් කරන්නේ ” කියලා... අනිත් එක ඉතිං රට ඉන්න මනුස්සයා මොනවා කරන්නද...

ගොඩක් වෙලාවට පිරිමි ඒ පැත්තෙන් කල්පනා කරනවා අඩුයි... එයාලා හිතන්නේ තමන්ගේ අම්මලා හොඳ අය.. ඒක නිසා මෙයාට කරදරයක් වෙන එකක් නෑ කියලා.. ගොඩක් පිරිමි ළමයින්ට නම් ගෙදරත් එකයි බෝඩිමත් එකයි... එයාලට පිට තැන් වල ඉඳලා පුරුදුයි... නමුත් ගොඩක් වෙලාවට ගෑණු ළමයෙක්ට පිට තැනක, තමන්ගේ තැනක වගේ ඉන්න බෑ.. ඉතිං එහෙම උනාම එයා තනිවෙනවා... විශේෂයෙන් බැඳල ආවට පස්සේ හැමදේම ටිකක් අමුතු වගේ දැනෙන නිසා.... දුක, සතුට කලවම් වෙච්ච අමතු නුහුරු හැගීමක්නේ තියෙන්නේ.. ඒ වගේ වෙලාවට හරි ලේසියෙන් හැම තැනදිම, පොඩි පොඩි හිත් රිදීම් වෙනවා.. ඔන්න හස්බන්ඩ් ළඟ ඉන්නවා නම් එයා එක්ක ඕවා කියලා හිත හදා ගන්න පුළුවන්.. ඒත් එයාත් ළඟ නැති උනාම........

හම්ම්.. අදත් හෑල්ලක් වගේ එකක් ලියවුනා නේ... මේවා කල්පනා කරනකොට නිකම්ම ලියවෙන දේවල්... මේ වගේ දේවල් හිතෙන් මොන විදියකට හරි එළියට එන එක, හිතට හොදයි කියලා මට හිතෙනවා.. සමහර වෙලවාට ලියාගෙන යද්දි අදහස් clear වෙනවා... එතකොට පැටලිලා, ලෙහා ගන්න බැරුව තියෙන දේවල් නිකම්ම හරි යනවා... ඒකත් ලොකු දෙයක්නේ.. නේද...

දැං මං මේ කල්පනා කරන්නේ මේකට මතෘකාවක් දාන්‌ෙන් කොහොමද කියලා.. හි හි...

Monday, November 19, 2012

අපේ කොස් කෑම....

සතියක් විතරම බ්ලොග් එක මකුළු දැල් බැදෙන්න ඇරලා තිබ්බ එක ගැන මටම තරහයි... ඒත් ඉතිං ලියන්න කියලා මෙලෝ සංසාරයක් හිතට එන්නෙත් නැති කොට.... ඒ මදිවට පෙරේතකමට කාලා බඩේ අමාරුවක් හදාගෙන බඩ බදාගෙන හිටිය එකෙන් ඒක කරන්නම සිද්ධ උනා... හැබැයි එහෙමයි කියලා පාළු ගෙවල්වල වලං බිඳිනවා වගේ අනුන්ගේ බ්ලොග් වල කමෙන්ට් තීරුවේ පෝස්ට් ලිය ලිය හිටියේ නැත්තෙත් නෑ... හි හි.. ( අපේ සරා අයියා එහෙම මාත් එක්ක තරහා වෙන්නේ නැති බව දන්න හින්දම හොඳා... හි හි)

මේ ලියන්න කියලා ගත්තත් තාමත් අදහසක් වත් නෑ මොනවා ලියන්නද කියලා.... (පොඩ්ඩක් ඉන්නකො බලන්න.. නයියෙක් වත් ඉන්නවද කියලා ෆොටෝ එකක් අරං පෝස්ට් එකක් දාන්න.. හි හි)

ඒ එළියට බැස්ස පාර මම ගෙට ආවේ මේ ගේ දොරකොඩම තියෙන කොස් ගහේ ෆොටෝ එකක් අරං...


කවුද අප්පා කොස් කන්න අකමැති... නේද.. අලියා වගේ මහත් වෙන නිසා මාත් ටිකක් පස්ස ගහනවා නම් තමයි කොස් කන්න.. ඒත් එහෙමයි කියලා පෙරේතකම නම් අඩුවක් වෙලා නෑ.. හි හි.. අනිත් එක මේ එළෝලුත් ගිනි ගනන් කාළේ..එළෝලු ගන්න ගියාම ලේ ටිකත් පිච්චෙනවා.. ඒ තරම් ගනන්.. මස් මාළු ගැන නම් ඉතිං කවර කතාද... මට දැං උයන විදිය වත් මතක නෑ.. හි හි..

කොස් ගහක් තියෙනවා නම් ඉතිං කොස් තම්බලා, මලවලා, පොළොස් ඇඹුලක් හදලා,අච්චාරුවක් එහෙම දාලා,කොස් ඇට කලුපොල් මාළුවක් එහෙම හදලා ... ඕකෙන් කොච්චර වැඩ ගන්න නම් පුළුවන්ද... වේල් දෙක තුනක් ගෙවා ගන්න පුළුවන් කොස් වලින්ම...

අච්චාරු ඇරුනම අනිත් ජාති ටික ඔක්කොටම මගේ මනාපය තියෙනවා.. හි හි..

ඉතිං පෙරේදා අපේ මහත්තයා ගෙදර හින්දා මම එයාට කියලා පොලොස් ගැටයක් කඩා ගත්තට මොකද ඕක හදා ගන්න තරම් නම් පණක් තිබ්බේ නෑ.. බේත් බිබී නොවැ හිටියේ.. ඉතිං මං කළේ ඕක එහෙම පිටින්ම අපේ නැන්දම්මට යවපු එක තමයි.. ( කො‌ෙහාමද මගේ කට්ටකම්.. හි හි) .. ඒත් ඒක ඇත්තටම මං පොලොස් හදන්න නොදන්නකමට කරපු දෙයක් නම් නෙවෙයි... ගෙදර ඉන්නකොට අපේ ගෙදර හැමතිස්සෙම වගේ කොස් හදනවා... එක එක විදියට.. අපේ අම්මා ආස නිසා...

මං පුංචිම කාලේ අපේ ගේ දොරකොඩත් තිබ්බා ලොකු කොස් ගහක්... අපෙ අම්මා සතියකට සැරයක් කොස් තම්බනවමයි ඉතිං..එක එක විදියට කොස් හදනවා මට මතකයි.. ඒ කාලේ සල්ලි මොනතරම් අඟහිඟකම් තිබ්බත් කෑම නම් ප්‍රශ්නයක් උ‌ෙන් නෑ..ඒත් පාරවල් හදද්දි කාණුවකට අහුවෙලා ඒ ගහ කපලා දැම්මට පස්සේ අපේ වත්තේම කියලා කොස් ගහක් නොතිබුනාට එහා ගෙදර ඒමිස් ආතා ඒ වත්තේ ගස් වල කොස් ගෙඩියක් හැදුන ගමන් ඒක කඩලා අපේ ගෙදරට එවන්නේ එයාලගේ ගෙදර කවුරුවත් කොස් කන්නේ නැති නිසා.. ඉතිං අ‌ෙප් අම්මා ආතාගේ පංගුව උයලා එහෙට යවනවා..

මේ කියාගෙන යනකොට මතක් උනේ.. කවුරුහරි කාලා තියෙනවද කොස් ඇට අග්ගලා...

මට මතකයි අපේ ආච්චි අම්මා හැදුවා දවසක්... මට හරියටම ක්‍රමේ නම් මතක නෑ.. මුලින්ම කොස් ඇට තම්බලා,අර ‌පොත්ත අයින් කරලා පිටි ව‌ෙග් වෙනකම් වංගෙඩියේ දාලා කෙටුවා.. ඊට පස්සේ ඒකට ලුණූ, ගම්මිරිස්,ටිකක් එහෙම දාලා තව ටිකක් කොටලා තෙත ගතිය මදි නම් වතුර ටිකක් දාලා ගුලි හැදුවා... ම්ම්ම්. මට මතක එහෙමයි... අහන්නයි කියලා ආච්චි අම්මා ඉන්න එකක්යැයි... හදලා බලලා දවසක දාන්නම්කෝ ඒකත් හරියටම... හි හි.. හරි රසයි.. කොස් ඇට වල තියෙන පැණි රස ගතිය නිසා සීනි දාන්න ඕනේත් නෑ.. චුට්ටක් දැම්මත් අවුලකුත් නෑ... ( කබලේ බැද්දද කියලා තමා මට ෂුවර් නැත්තේ..)

පොලොස් තම්බන්න ගියාම හෙන වෙලාවක් යනවා නොවැ.. අපේ අම්මා නම් කරන්නේ ප්‍රෙෂර් කුකර් එකේ පොලොස් ටික බාගෙට තම්බලා ඊට පස්සේ ඇතිලියට දාලා, අනිත් අඩුම කුඩුම ටිකත් දාලා ලිපේ තියන එකයි... ඒ කොහොම හැදුවත් මොන එක්ක හින්දද මන්දා මට නම් අම්මගේ පොලොස් ඇඹුලට වඩා අපේ ලොකු නැන්දගේ පොලොස් අඹුල රහයි.. සමහරවිට එයා පොලොස් ඇඹුල හදන්නෙ දර ලිපේ හින්දද දන්නේ නෑ... ලොකු නැන්දා නම් මොනවා හැදුවත් රහයි.... ඒ තරම් අත්ගුණයක් තියෙන්නේ... යන්නෝනෙ වෙලාවක මොනා හරි කාලා එන්න.. හි හි...

කිරිකොස් මාළුව ගැන නම් මාරයියා ලියලා තිබ්බානේ මාර සරණියේ... ( අම්මපා මං මේ මාර සරණියට දෙන පබ්ලිසිටි එකට මාරයියගෙන් ගානක් ඉල්ලගන්න ඕනේ.. හි හි)... මටත් ඉතිං සුදු බත් හැලියකුයි කිරිකොස් මාළුවකුයි, කරෝල බැදුමකුයි තියනවා නම් ඉතිං ආයේ කිසි කතාවක් නෑ උස්මුරුත්තාව හැදුනට පස්සෙ තමා කන එක නවත්තනේ.. ( ඒ පෙරේතකම් නොවැ මේ පල දීලා තියෙන්නේ.. හි හි)

කොහොම හරි කමක් නෑ.. කොස් ගැන මෙච්චර කියපු එකේ කොස් මාමව මතක් නොකර යන එක අන්තිම නරක වැඩක්... හැමෝම දන්නවා නොවැ කොස් මාමා ගැන... කොස් ගහට ඉස්සර මිනිස්සු කිව්‌ෙව් බත් ගහ කියලලුනේ... මාරයියා ආර්ථික කළමණාකරණය ගැන කිව්වමත් මට මතක් උනේ කොස් තමයි...හි හි...ඒ වගේම මාරයියා කිව්වා වගේම ධාන්‍ය ජාති ටිකක් වැඩිපුර කනවා මේ දවස් වල.. පාන් නම් කෑම ගොඩක්ම අඩුයි කොහොමත් ඉතිං... ඒත් මම බිස්කට් චොක්ලට් වලට නම් ආසයි.. හි හි.. ( චොක්ලට් කිව්වොත් ඉතිං මට වෙන මුකුත් වැඩක් නෑ.. හි හි)

කො‌ෙහාම හරි ඇඟට පණ ටිකක් ආවම පොලොස් ඇඹුලක් හදන්න ඕනේ කියලා හිතා හිතයි මේ පෝස්ට් එක ලිව්වේ.. නැතුව කෑම ගැන ලියන්න නම් මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ... ඒක නිසා හැදුවම ෆොටෝ එකක් දාන්නම්කෝ..

මේ ඉතිං මකුළු දැල් කඩන්න ලියපු පෝස්ට් එකක් නේ... ඒක නිසා කවුරුවත් හිත් අමනාපකම් එහෙම ඇති කරගන්නවා එහෙම නෙවෙයි... අලුත් ඩිසයින් දෙක තුනක වැඩත් තියන නිසා, ඒවත් හිමීට ඉවර කරගෙන, තව ටික දවසකින් ආයිමත් පරණ ට්‍රැක් එකටම වැටෙන්නම්කෝ හි හි..

ඒත් එක්කම ඉතිං කොස් ගැන රස කතා සහ රස වෑහෙන කතා ගැන අත්දෑකීම් බෙදා ගන්නත් කමෙන්ට් තීරුවේ ඕනේ තරම් ඉඩ තියෙනවා හොඳේ...

ප/ලි
මෙන්න නංගි බබාගෙන් හම්බුවුන කොස් ඇට අග්ගලා රෙසිපි එක...


ඉස්සෙල්ලම කොස් ඇට පොත්ත පිටින් කබලේ දාලා බදිනවා.. ඊට පස්සෙ තමයි පොත්ත අරින්නේ.. එතකොට අතින් තද කරනකොටම පොත්ත ගැලවෙනවා... ඊටත් පස්සේ ගම්මිරිස් ඇට ටිකක් දාලා හොඳට කොටනවා.. කෑලි නැතිවෙන්න කෙටුනම අරගෙන, පොලුයි සීනි ටිකකුයි දාලා, බෝල කරලා ගන්නවා.. ( අන්න මට මතක නැතිවෙච්ච එක්කෙනා.. පොල්.. හි හි) තම්බන්නේ නෑ හොඳේ.. ඒක මට හීනෙං වගේ පෙනිච්ච එකක්ද කොහෙද.. හි හි..


නංගි බබාට පිං සිද්ධවෙච්චාවේ...

ප/ප/ලි

මේක මුලින්ම මතක් කළේ සංජය...

ප්‍රවීණ සූපවේදී මාරයියගෙන් හම්බුවෙච්ච කොස්/දෙල්/බතල බැදලා, සීනී දාලා, රසම රස කෑමක් හදා ගන්න විදිය..


කොස් විතරක් නෙවෙයි දෙල්..බතල වගේ දේවලුත් ඔහොම හැදුවැකි... 


අමුවෙන් බදින්න ගියොත්නං තෙල් ගැලුමක් යයි.. ඒ හින්දා කොස් දෙල් බතල වගේ දේවල් හීනියට කපලා වේලගන්න ඕන... තද අවුවෙමත් හොද නැහැ..මද පවනේ වේලලා සැරෙන් සැරේ අවුවට දාලා කර කරලා ගන්න ඕන..නැත්තං අවු රහ හිටිනවා... එහෙම වේලගත්ත කොස්/දෙල්/බතල ඕන එකක් ගැඹුරු තෙලේ බදිනවා.. ඒ බදිනකොටත් දෙපාරට බදිනවනං තමා හරියටම පදම අහු වෙන්නේ... 

එයින් පස්සේ සීනි වලින් පැණි උනු කරගන්න ඕන.. හැබැයි උකුවට නෙවෙයි... තරමක් වතුර හිටින්න... නැත්තං වැඩේ අල වෙනවා...සුළු වශයෙන් ලුණු ටිකකුත් එකතු කරනවා.. කැමැතිනම් කුරුඳු කුඩු පොඩ්ඩක් දැම්මත් හොඳ රසයි... නැතත් අවුලක් නැහැ... 

එහෙම දියාරුවට උණු කරගත්ත සීනි පැණි බැදගත්ත කොස්/දෙල්/බතල වලට දාලා කලවං කරලා ටිකක් තුනී කරලා නිවෙන්න අරිනවා... 

උණු වතුරෙන් තම්බා ගත්ත කට ලොකු බෝතලයක් ඇතුල් පැත්ත හොදට තෙත හින්දවලා අරං... උණු වතුර බේසමකම බස්සලා..එහෙම තියෙද්දිම අර ටික දාලා පියන වහ ගත්තනං ඕන තරං කාලයක් තියා ගන්නත් පුළුවන්... 

බිස්නස් එකක් හැටියටත් කරන්න පුළුවන්...


( මාරයියට ප්‍රවීණ සූපවේදී කියලා කිව්වේ විහිළු කරන්න හිතාගෙන නෙවෙයි.. මම මාර සරණිය මගේ නැන්දලා දෙන්නෙකුට දුන්නමත් කිව්වා මෙයා නම් ටීවී එකේ තෙල් වැඩි, විකාර කෑම හදන අයට වඩා, හොද කෑම හදන හැටි නියමෙටම කියලා දීලා තියෙනවා කියලා.. ඒ දෙන්නම ඔන්න මාර සරණිය බලාගෙන වට්ටක්කා/කිරි කොස්, හාල්මැස්සෝ බැදුම, මැල්ලුම් සහ මිරිස් බැදලා රස කෑම වේලක් හැදුවලු .. ඒකයි හොඳේ...)

සැලකිය යුතුයි...

කමෙන්ට් ටික අන්තිමට වෙනකම් කියෙව්වොත් කොස් කන්න පුළුවන් විදි මහ ගොඩක් දැන ගන්න පුළුවන් වෙයි තවත්...

Monday, November 12, 2012

අද නම් ෆොටෝ විතරයි....



ඔන්න.. කට්ටිය මේ පැත්තේ යනවනම් පරිස්සමින් යන්න.. පේනවනේ.... කට්ටියව ෂුවර් නැති තරම...

කොහෙද කියලා හිතා ගන්න බැරි නම් මෙන්න උදව්වක්...

කොහොමද පැකිං.....

අපිට මොකටද ලොරි..

ගිය බ්‍රහස්පතින්දා හම්බන්තොට ගිහින් එන ගමන් මේක දැකලා තියෙන්නේ...



හයිවේ එකේ කියලා නෑ... ට්‍රැෆික් පොලිස් සිග්නල් එක නම් වදිනවා..හි හි...


ඔන්න හයිවේ එකේ ධරානිපාත වැස්සේ, රෑක තාම ගියේ නැත්තම් කියන්න තියෙන්නේ ඒ වෙලාවට නම් 60ට වඩා හයියෙන් යන එක ඇඟට ගුණ නෑ කියලා තමා...








ස්පි‌ඩෝ මීටරේ කට්ට තියෙන තැන මට පෙන්නේ නෑ.. බලන්නකෝ ඔයාලට වත් පේනවද කියලා..


අදහස් සහ ෆොටෝ සැපයීම අපේ මහත්තයාගේ අද නම්... ( එතකොට පෝස්ට් එකත් එයාගේ වෙන්න ඕනේ.. මම කළේ අප්ලෝඩ් කරන එක විතරයි...) ෆොටෝ ටිකට අනුග්‍රහය අපේ මහත්තයාගේ ගමන් සගයා කපිල ගෙන්..

බ්ලොග් එක මතක් වෙලා තමයි අරන් ඇවිල්ලා තිබ්බේ.. හි හි...

Thursday, November 8, 2012

පොඩි කාලෙන් මතක ටිකක්....

ජොනතන් හාකර් ( Jonathan Haker)
මීනා මරේ - හාකර් (Mina Murray - Haker)
ලුසී වෙස්ටෙන්රා ( Lucy Westenra)
ප්‍රොෆෙසර් වෑන් හෙල්සිං ( Professor Van Helsing)

හරි....

කවුරුහරි කියමු බලන්න ඇයි අපිට මේ නම් ටික කටපාඩම් කියලා....

මේ නම් ටික කටපාඩම් නැති එකෙක් ඉන්නවා නම් දණගස්සලා තියනවා පන්තියෙන් එළියේ...

( අද ඉතිහාසය පාඩම... හි හි)

අද ගූගල් ලෝගෝ එක දැකලා තවත් පරණ මතකයක් ඇවිස්සුනා....

ඒ තමයි ඩ්‍රැකියුලා......( Count Dracula)
මේ ගැන චූටි හරි පෝස්ට් එකක් දාන්නම හිතුනේ ගිය ටිකේම පරණ මතක ඇවිස්සුව එකේ මේක අතෑරුනොත් ලොකුම අඩුවක් වගේ කියලා දැනුන නිසා...

ඉතිං අද ඒ වැඩේට හොඳම දවසක්.. අද තමයි බ්‍රෑම් ස්ටොකර් ( Bram Stoker) ... ඒ කියන්නේ කවුන්ට් ඩ්‍රැකියුලා ලියපු ප්‍රසිද්ධ නවකතාකරුගේ 165 වෙන උපන් දිනය යෙදිලා තියෙන්නේ.. ( මට ඒක මතක් කළේ ගූගල් එක... හි හි)
ඩ්‍රැකියුලා කියන්නේ අපි ඒ කාලේ පිස්සුවෙන් වගේ කියෝපු පොතක්.. ඕකේ පොත් ගොඩක් තිබ්බා... ඔක්කොම ඉතිං ඩ්‍රැකියුලා තමයි... මට මතක විදියට ගොඩක් පොත් පරිවර්තනය කළේ ඩීමන් ආනන්ද කියන නවකතාකරුවා... හැබැයි ඒවා ඒ තරම් පරිවර්තන විදියට නම් තිබුනේ නෑ.. මට මතක විදියට මම වැඩිපුර ඩීමන් ආනන්ද ගේ පොත් කියවන්න ආස උනේ නෑ... හේතුව හුඟක් ඒවා පොඩි පොත් වීම... හි හි....

ම‌ට මතකයි එක පාරක් මට අහුඋනා “ ඩ්‍රැකියුලාගේ මනාලියෝ” කියලා පොතක්.... අප්පා.. ඒක නිකම් 18+ වගේ.... රස කර කර කියෙව්වා.. හි හි..

ඩීමන් ආනන්ද , “ මාරක කතා චක්‍රවර්ති ” කියලා හැඳින්වුවත් ඔහු ඒකට ඒ තරම් ප්‍රිය උනේ නෑලු... ඒත් ඉතිං ඒ කාලේ විචාරකයන්ට ඒ තරම් හොඳ වෙන නමක් හිතා ගන්න බැරි වෙන්න ඇති... හි හි... ඉතිං මාරක කතා කිව්වොත්, ඩීමන් ආනන්ද මතක් වෙන එක වලක්වන්නත් බෑ... හි හි...

මීට අමතරව චන්ද්‍ර අනගිරත්න මහත්තයත් ඩ්‍රැකියුලා පොත් පරිවර්තනය කරලා තියෙනවා...

ඒ වගේම මට මතකයි ඩ්‍රැකියුලා චිත්‍ර කතාවක් විදියටත් පරිවර්තනය උනා...

( ඩ්‍රැකියුලා පරිවර්තන ගැන පොඩි සර්ච් එකක් දාන්න ගියාම කතන්දර ගොඩාක් හම්බුන නිසා ඒ ඔක්කොම පැත්තකින් තියලා මගේ මතකයෙන්ම මේ ටික ලියනවා කියලා හිතා ගත්තා...)

ඩ්‍රැකියුලා ෆිල්ම්ස් නොබලපු අය නැතුව ඇතිනේ... හි හි.. ( මං කිව්වේ මේ ඇස් දෙක අත් දෙකින් වහගෙන, ඇඟිලි ටික ඈත් කරලා හොරෙන් බලපු අය එහෙම.... හි හි)

මීට අවුරැදු 6-7කට කලින් ආපු LXG - League of Extraordinary Gentlemen කියන ෆිල්ම් එකේ අපි ආස කරපු ඇලන් ක්වාටර්මේන්, ටොම් සොයර්, මීනා හාකර්, ඩොක්ටර් ජැකිල්, කැප්ටන් නිමෝ වගේ චරිත ගොඩක් එකතු කරලා අලුත් කතාවක් හදලා තිබ්බා.....හි හි... මට නම් ඒක මරු.. ඇයි ඉතිං.. පරණ කතාව මතක් කර කර බලන්න පුළුවන් නේ...

දැං ඉතිං ඒ ගැන කිව්ව නිසා අපි අපේ තවත් පිස්සුවක් මතක් කර ගමු... හි හි

ෂර්ලොක් හෝම්ස්.....

අමතක කරන්න පුළුවන්ද.....නේද....????

මට මතකයි මුලින්ම මම කියෝපු ෂර්ලොක් හෝම්ස් පොත “ බැස්කර්විල්හි රැදුරු බලුව” කියලා එකක්.. ඒක පරිවර්තනය කරලා තිබ්බේ මට මතක විදියට දැදිගම වී. රොද්‍රිගූ කියලා කෙනෙක්... රැසියානු සාහිත්‍ය පරිවර්තනයේ ඉහලම හිටිය කෙනෙක් උනත් මේ ෂර්ලොක් හෝම්ස් පොත ගැන නම් ඒ තරම් සාර්ථක උනේ නෑ... මට තේරුන හේතුව නම් අමාරු රැසියන් නම් ගම් සිංහලට පරිවර්තනය කරන්න රොද්‍රිගු මහත්තයට තිබ්බ කුසලතාව ( ඒවා මට කොහොමවත් මතක හිටින්නේ නෑ...) මේ ඉංග්‍රීසි පරිවර්තනයෙදි අවුල් වෙලා තිබ්බ නිසාය කියන එක.... නිකමට ඒ පොතේ නමේ පරිවර්තනය ගැන හිතුවොත් හිනා යනවා... හි හි...

හැබයි ඉතිං ඒ කාලේ පොත් වල තිබ්බ භාෂාව ගැන සලකලා බැලුවොත් රොද්‍රිගූ මහත්තයට වැරැද්දක් කියන්න බෑ... මොකද මේ ෂර්ලොක් හෝම්ස් කියන පොත ලෝකේ වැඩිම අලෙවියක් තිබ්බ පොතක්... එහෙම එකක් පරිවර්තනය කරද්දි මේ නිකම් රස්තියාදු භාෂාවක් පාවිච්චි කරන්න බෑ කියලා හිතෙන්න ඇති... ඒත් ඇත්තටම ෂර්ලොක් හෝම්ස් පොතට හරියන්නේ ඒ රස්තියාදු භාෂාව තමයි... ඒක හරියට අල්ලගත්තේ චන්දන මෙන්ඩිස් මහත්තයා උනාට, ඊට කලින් චන්ද්‍ර අනගිරත්න, කේ. ජී. කරැණාතිලක වගේ පරිවර්තකයනුත් මේ පොත් පරිවර්තනය කළා....

“ බැස්කර්විල්හි රැදුරැ බලුව” “ බැස්කවිල් දඩ බල්ලා” උන ගමන් කියවන්න පුදුම ආසාවක් එනවා.. හි හි....

චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරපු මුල් කතා ටික මල් හතයි උනාට , පස්සේ පස්සේ ආපු කතා නම් වැඩකට නෑ කියලා පොඩි උන්ටත් ‌තේරෙනවා... ඒවා ඩොයිල්ට පස්සේ අනිත් ලේඛකයෝ ලියපු කතා නිසා එහෙම වෙන්න ඇති කියලා මට හිතෙන්නේ නම්... මෙන්ඩිස් මහත්තයත් ඉතිං වොට්සන් වෙන්න ගියා නොවැ... ඒකත් හේතු වෙන්න ඇති... හැබැයි ඉතිං මෙන්ඩිස් මහත්තයා බොහොම ප්‍රියමනාප මනුස්සයෙක්... මං ඉතිං පාඨක ජාලෙත් හිටියා නොවැ... හි හි...

ෂර්ලොක් හෝම්ස් ගැන මට තියෙන පිස්සුව නිසා මේ පොස්ට් එක මොන වගේ අතකට හැරෙයිද කියලා මටම ෂුවර් නෑ.. ඒක නිසා මං මෙතනින් ෂර්ලොක් ‌හෝම්ස් ගැන නවත්තනවා... මොකද ඒ පිස්සුව තාම තියෙන නිසා.... හි හි

කො‌ෙහාමත් මට පොත් කියවීමේ පිස්සුව තාමත් තියෙනවා කියලා හිතෙන්නේ මේ වගේ දෙයක් ලියන්න ගියාම.... අදටත් ඒ පොත් අකුරක් නෑර මතකයි... ඒ වගේම කම්මැලි හිතුනම නිකම්ම හිත යන්නේ පොත් ගොඩට...

එහෙම පොත් කියෝපු අපියි, අද ඉන්න ළමයිනුයි අතර වෙනසක් පේනවද.... ?
පොඩි වෙනසක් තියෙනවා නේ.... දැං කට්ටියට බලන්න ෆිල්ම්ස් තියෙනවා... ගේම්ස් තියෙනවා....

ඒත් ඒ කාලේ අපි පොතක් කියෝලා ඒ පොත හිතේ මවා ගත්තා... තනිකරම අපේ නිර්මාණාත්මක හැකියාවන් (Imagination) හැදුනේ මේ පොත් වලින්...

අපි පොත කියෝලා මවා ගන්නවා ෂර්‌ෙලාක් හෝම්ස් මේ වගේ... වොටිසන් මේ වගේ...කියලා...

හෝම්ස්ට හෝඩුවාවක් හම්බුනාම බිම දිගේ බඩගගා කාමරේ පුරාම යන හැටි මගේ හිතේ මැවිලා තියෙන්නේ මේ විදියට...හි හි.. ( චික්... කොම්පියුටරේට අරං බැලුවම ඒක හෙන චාටර්... කට්ටියට හිනා වෙන්නත් එක්කම දැම්මා ඔන්න...)

තව ආසා කරපු පොතක්.. ගොඩක් අය නම් මේකේ කාටූන් එක තමයි බලලා තියෙන්නේ... දොස්තර හොඳ හිත... හි හි..

අපි දැකලා තියෙන දොස්තර හොඳ හිත, උස, කෙට්ටු, උස තොප්පියෙන් තවත් උසට පේන මනුස්සයෙක්නේ... ඒත් හියු ලොෆිට්ං ගේ හිත හොඳ දොස්තර පොතේ හැටියට හිත හොඳ දොස්තර කොට, මහත, බොලයක් වගේ මෑන් කෙනෙක්.. හි හි... උස තොප්පියෙන් තමයි ටිකක් උසට පෙන්නේ.. හි හි... පරිවර්තය නම් සමරසිංහ ගුණසේකර මහත්තයගේ... ( ඊයේ පෙරේදා මාරයියා ලිව්ව අපේ ගම මාතර කියන පොත ලිව්වෙත් මෙතුමා තමයි...)

තව ගොඩක් තිබ්බා... ඔක්කොම මතක නෑ... මතක ටික දාන්නම්.. ඉතුරු ටික ඔයාලා මතක් කරන්න... හි හි


ටොම් සොයර්

ළමා සොල්දාදුවෝ
සොලමන් රජුගේ දියමන්ති කතාව (ගොඩක් පරිවර්තන තියෙන නිසා එක නමක් කියලා මතක නෑ... )

ජැකිල් අන්ඩ් හයිඩ් ( එකත් එහෙමයි)
පරිවර්තන පැත්තට දාන්න බැරි උනත් ඇමතක කරන්න බෑ මඩොල් දූව.. උලමගේ රාත්‍රිය... කඩවර අඩවිය...

හරි ඉතිං.. මේකත් ඊයේ පෝස්ට් එක වගේම තමයි.... මේ මගේ මතකයේ තියෙන අපේ ළමා කාලය.... මම හරි ආසයි මේ වගේ දේවල් ගැන මතක් කරන්න.. සමහර විට දැන් අම්මලා තාත්තලා වෙලා ඉන්න අපේ කාලේ අයට මේවා අමතක වෙලා ඇති... ඒ අයටත් අපේ සුන්දර පුංචි කලේ, අපේ දරුවන්ටත් ලබා දෙන්න උදව්වක් විදියට මේ පොස්ට් එක ලියවුනේ... හි හි.. පොතක් අරං දෙන‌කොට අපි ආස කරපු පොත් අපේ දරුවන්ටත් දෙන්න අම්මලා තාත්තලා ආසයි නේ....

ඊයෙත් ගොඩක් කට්ටියට ළමා කාලය මතක් වෙලා තිබ්බනේ.... හි හි... ඉතිං මේ ගැනත් මතක, ආයිමත් කතා බහ කරන්න ඔන්න ඕන තරම් ඉඩ තියෙනවා මේකේ කමෙන්ට් තීරුවේ....

පින්තූර ටික නම් ගත්තේ විකිපීඩියාවෙන් තමා... හි හි
ඩීමන් ආනන්ද මහත්තයා ගැන හොඳ විස්තරයක් අහුවුනා... ආස නම් කියවලා බලන්නකො...

Wednesday, November 7, 2012

අපි ඒ කාලේ ටීවී බලපු හැටි......

රෑපවාහිනියේ “රොබින්සන් අන්දරය” ආයිමත් යනවා.....

අප්පා... ඒ කාලේ අර්න්ස්ට් කිව්වම... අපේ කෙල්ලො රණ්ඩු වෙනවා උෟව බෙදා ගන්න බැරැව..... අර නාකි රොබින්සන්ටත් මැරෙන්න හදපු උන් හිටියා.... හපොයි එහෙමත් කාලයක්....

ඒ කලේ තව තිබ්බ කතා ටික මම මතක් කලේ....



ඕෂන් ගර්ල්,රොබින් හුඩ්, විලියම් ටෙල්, මායා බන්ධන, ටිං ටිං, අරවුන්ඩ් ද ට්වුස්ට්, ස්කයි..... මොකද්ද මන්දා.... ( පෝල් ම හිටපු එක).. එතකොට අර එක එක ග්‍රහලෝක වලින් ආපු ළමයි කට්ටියක් හිටිය යානෙක කතාව... අර රාදු,බෝවා... වෙල්මා කියලා රොබෝ කෙනෙක් එහෙම හිටියේ.... ම්ම්ම්... තව මොකක් හරි ඒ වගේම එකක් තිබ්බා... රිදී හිරු සොයා කියලා.. ඒක නං මේ ළඟදි ගියා... තව කීයක් නං තිබ්බද....

ඒ කාලේ ඕවා තමයි ඉස්කෝලෙ ගියාම වැඩිපුරම කෙල්ලො කියවන්නේ.. හි හි...උදේම පටං ගන්නේ බලන්න බැරි වෙච්ච උන්ට කතාව කියලා දීමෙන්.. ඊට පස්සේ විචාරය කරනවා... මං නං ඉතිං සදා කල් එක්ස් ෆයිල්ස් නේ.. ඇයි එතකොට සුපර් මෑන්... සඳුදටයි බ්‍රහස්පතින්දාටයි විතරයි මාව ඕවට අහුවෙන්නේ.. මොකද උදේ පාන්දරම ඉස්කෝලට ගිය ගමන් ගෙදර වැඩ ටික කාගෙන් හරි කොපි කර ගන්න එපැයි... හි හි... පිස්සු උපරිම...

ඕෂන් ගර්ල් එකේ අර පිස්සු තල්මහ... මට තාම ෆ්‍රී විලී ෆිල්ම් එක බලද්දි ඕෂන් ගර්ල් මතක් වෙනවා... හි හි... ඒයි මට අර කොල්ලෝ දෙන්නගේ නම් දෙක මතක නෑ නේ... කාට හරි මතකද....?
එතකොට රොබින් හුඩ්.... රොබින්ලා දෙන්නා බෙදා ගන්න බැරැව අපේ උන් කොච්චර රණ්ඩු උනාද...

ෆොටෝ හොයන්න යද්දි තවත් කතාවක් ගෝල්ඩ් ෆිෂ්ගේ බ්ලොග් ටැංකියේ තිබිලා අහුඋනා... මං ඉතිං ෆොටෝ එක හොරකම් කළා.. මතකද බලමු කට්ටියට...



අප්පා.. අමතක උනා..... ඇයි අර බැක්ස්ට්‍රීට් බොයිස්ලගේ නික්... වෙස්ට්ලයිෆ් ලගේ නම් කීප දෙනෙක් හිටියද කොහෙද... බොයිසෝන්ස්ලගෙත් මොකෙද්ද එකෙක් හිටියා වගේ මතකයි... ඒ ලෙඩේ නං දෙයියනේ කියලා මට තිබුණෙ නෑ ඒ කාලෙ.... හි හි...

හරි.... මට අමතක ඒවා ටික කට්ටිය එක්ක මතක් කරමුකෝ....

මම මේ කියන්න ගියේ ඒ කාලේ ඕවයේ තේමා ගීත ගැන....

දැං මේ රොබින්සන් අන්දරය යනවා නියලා සින්දුව යද්දි මාව නිකම්ම ටීවී එක පැත්තට හැ‌රවුනා... ඔෂීන් ඉවරනේ.. ඒකටත් ඒ වගේම තමා... ඇයි ටිං ටිං... තාමත් නැටවෙනවා ඒ මියුසික් එකට.. හි හි..

ඒ කාලේ ඉතිං ගනං කරන්න බැරි තරම් ටීවී චැනල් තිබ්බේ නෑ නේ... ඔය ඔලුව එහෙම පටන් ගත්තේ වර්ල්ඩ් කප් එක ගත්තට පස්සේ... මොණරා ආවේ ඊටත් පස්සේ... හි හි... මම ඉතිං ඔය ඔක්කොගෙම වගේ ගිය කතා බැලුවානේ... ඒකෙන් තමයි මං හිතන්නේ මගේ ඉංග්‍රීසි ෆිල්ම්ස් පිස්සුව ආරම්භ උනේ.. හි හි..

දැං ආයිත් මේ කතා යනවා.. මං ආයිත් බලනවා... ඕෂන් ගර්ල්, ටිං ටිං එහෙම ආයිත් ගියොත්, මං ආයිත් පිස්සු අලුත් කරගෙන බලනවා...

ඒවා බලන බලන ගානේ මට ඒ කලේ අපි නටපු පිස්සු මතක් වෙනවා.. හි හි... ඒවා තමයි මේ පෝස්ට් වෙලා ඔයාලට කියවන්න, මගේ අතින් ලියවෙන්නේ...

ඒක නිසා.... ඔන්න මට මිස් වෙච්ච ඒවා මතක කට්ටිය කමෙන්ට් එකක් දාලා මතක් කරන්නකෝ....

ටිං ටිං මේකෙන්...
මෙන්න මේ සයිට් එකෙන් තමා අනිත්ෆොටෝ ටික බාගත්තේ..

Monday, November 5, 2012

මගේ පිස්සු බයික් කතා...

ඩූඩ් අයියගේ බට්ටගේ බයිසිකලේ කතාව කියවද්දි මතක් උනේ මටත් බයිසිකල් කතාවක්.. හි හි...

ඔන්න එහෙනං.... මේකත් පරණ රස කතාවක්ම තමයි...

මොන්ටිසෝරි යන කාලේ මාමා කෙනෙක් එක්ක බයිසිකලේ යන කොට, රස කර කර මොකද්ද කියන්න ගිහිල්ලා, හිටපු තැන අමතක වෙලා, කකුල ස්පෝක් අස්සේ ගිහින් විළුඹ කැඩිච්ච එක තමයි මගේ පළවෙනි බයිසිකල් අත්දැකීම... හා හා පුරා කියලා මාස දෙකක් විතර ගෙදර හිටියා කකුල බැඳගෙන ඒපාර.. හි හි..

දැං මං මේ කල්පනා කළේ තාත්තා මට බයිකලේ ගෙනත් දුන්නේ කොයි කාලෙද කියලා.. වටපිටාව ගැන මගේ හිතේ තියෙන සීන් ටික ගැන කල්පනා කරලා බලනකොට මට හිතෙන්නේ මේ මං 4 වසරේ විතර ඉන්න කාලේ වෙන්න ඇති...

ඔන්න ඉතිං අපේ තාත්තා ජීවිතේට මොනා හරි ගෙනත් දෙනවා කියලා පොරොන්දු වෙන මනුස්සයෙක් නොවෙන නිසා මං දැනං හිටියේ නෑ තාත්තා බයිසිකලේ ගෙදරට ගේනකම්ම.. ඒත් ඒක දැක්ක ගමන්ම මගේ හිතේ බයිසිකලයක් ගැන තිබ්බ කප්පරක් බලාපොරොත්තු, අර කෑලි ගලෝලා හදන ප්‍රෙහේලිකාවක වගේ කෑලි කෑලි කැඩිලා, සී සී කඩ විසි වෙලා ගියා....

ඇයි ඒ කියලද ඇහුවේ... ඇයි දෙයියනේ... බයිසිකල් කිව්වම මං හිතේ මවාගෙන හිටියේ අර හැන්ඩ්ල් එකේ රුලි එල්ලෙන, පාට පාට රෝද තියෙන, ලස්සන සීට් එකක් තියෙන, සද්දේ දාන බෙල් එක්ක තියෙන එකක් නේ...

තාත්තා උස්සන් ඇවිත් තියෙන්නේ නිල් පාට, ලුමාලා, බාගේ බයික් එකක්... ( දැං බාගේ බයික් කිව්වම දන්නෙ නෑත්තම් අර ලොකු බයික් එකේම, ඊට වඩා ටිකක් පොඩි එකක් හොදේ...)

කො‌ෙහාමත් ඕක දැක්කම හිතෙන්නේ මේ ලොකු අයගේ බයික් එකක් කියලනේ... අනිත් එක මේක මාර උසයි... මට නැග ගන්න තියා හැන්ඩ්ල් එක අල්ලගන්න විතරයි යන්නම් පුළුවන්...

ඉතිං මට දැක්ක ගමන් කිව්වා.... අනේ මේක නං මට එපා.. මේක ලොකු අයගේ බයික් එකක් නේ.. මට ඕනේ පොඩි අයගේ බයික් එකක් ... කියලා...

කොහොමහරි තාත්තා මාව ෂේප් කරලා, ඔය බයික් එක උඩට උස්සලා තියලා, ගේ ඇතුලේ රවුමක් දෙකක් යන කොට නම් ඔන්න මට හිනාවක් ගියා... ඒක ‌ජොලි වැඩේ.... ( මොකද ඔය බයික් එක ගෙදර ගෙනාවෙ මහ රෑ.. තාත්තා වැඩ ඇරිලා එනකොට...

කොහොමින් කොහොම හරි මම මාස දෙකක් යනකොට බයික් එකට කොච්චර පුරුදු උනාද කිව්වොත් , අම්මා මාව කඩේට යවන්නෙත් බයික් එකේ.. හි හි...

හැබෑට දැං කල්පනා කරලා බැලුවම අපේ ගමෙන්ම මුලින්ම බයික් එකක් පැද්දේ මම වෙන්න ඇති ගෑණු ළමයෙක්ට.. හි හි...

ඔය කාලේ මට යාලුවෙක් හිටියා... අපේ තාත්තගේ හොඳම යාලුවෙක්ගේ පුතෙක්... ඒ කාලේ මගේ හොඳම යාලුවා ඉන්දික අයියා තමා... අපි දෙන්නා ඉස්කෝලෙ ඇරිලා ආපු වෙලාවේ ඉඳලා කරන්නේ ගම වටේට බයිසිකලේ රවුම් ගහන එක...

බයිසිකලේ කඩේට යනකොට අම්ම හැමදාම කියන්නේ පාරේ අයිනෙන් යන්න කියලා... පයින් යනවා වගේ බයිසිකලේ යන්න පුළුවනෑ... මම යන්නේ පාරේ මැද්දෙන්.. ඒ කාලේ ඉතිං වාහනත් අඩුයි නේ....

ඔන්න දවසක් මම කඩේ ඉදලා එනවා... ඉස්කෝලෙ පිට්ටනිය හරිය තියෙන්නේ හෙන පල්ලමක්... මම ඔය පල්ලමේ එන්නේ බ්රේක් වලට අත තියන්නෙවත් නැතුව... ඒ තරම් චණ්ඩියා....හි හි...

කුරුල්ලා වගේ තනි අතින් හැන්ඩල් එක අල්ලගෙන පල්ලමේ ආපු මට, ඉස්සරහින් ආපු කාර් එක පේන්න ටිකක් විතර පරක්කු උනා...


කලබලේට කොහෙට කැපුවද කියලා මතක නම් නෑ.... හැබැයි මට ඊළඟට මතක, කාණුවේ, කකුල් දෙක ඔලුව උඩ කියාගෙන ඉන්න ‌කොට කාරෙකේ ආපු මනුස්සයා මාව උස්සලා ගොඩට ගන්නවා තමයි... හි හි...

මදෑ කොලා.. බලනකොට ඒ අපේ මාමා.... ඉතුරු හරිය නොකිව්වට කමක් නෑ... හි හි..

ඒ එක සීන් එකක්...

අනිත් එකත් පල්ලමක් හා සම්බන්ධයි...

ඒ පාරත් වැඩ දාන්න ගිහින් නැවතුනේ කාණුවක වැටිලා, තාප්පෙක වැදිලා, තාප්පේ කැඩිලා, වත්තකට විසි වෙලා, පොල් ගහක වැදිලා... ඒ පාර නම් නිවාඩු මාසෙන් බාගයක් විතර ඇදේම ඉන්න උනා...

කොහොම හරි අවුරුදු ගාණක් ඔය බයිසිකලේ මාත් එක්කම හිටියා.. පස්සේ තාත්තා මල්ලිට අර මං ආස කරපු විදියේ චොපර් බයික් එකක් ගෙනත් දුන්නම මට හරි ඊරිසියයි.. මොකද එතකොට මට ඒක පදින්න බැරි තරම් මං උස ගිහින්... හි හි..

පස්සේ කාලෙක තමයි මම ඔය බයිසිකලේ ඇත්ත කතාව දැන ගත්තේ...

ඒ කාලේ තාත්තට බයිසිකලයක් ගන්න වත්කමක් තිබිලා නෑ... ඒ දවස්වල තාත්තලගේ කම්පැණි එකෙන් පොඩි උදවුවක් කරලා තියෙනවා.. දුර ඉඳන් එන අයට ගෙවීමේ ක්‍රමයට බයික් ගන්න කම්පැණිය ඇප වෙලා... ඒ පාර තාත්තා එයාට බයික් එකක් ගන්න එක පැත්තකින් තියලා මට බයික් එකක් ගෙනල්ලා...

ඕක කියපු වෙලාවේ මං ඇහුවා ගෑනු ළමයි බයික් පැද්දේ නැති කාලෙක, මට බයික් එකක් අරං දෙන්න ඔච්චර ඕනේ උනේ ඇයි කියලා... තාත්තා හිනා වෙනවා විතරයි ඕක ඇහුවම... අනේ මන්දා...

ඒත් අර මං බයික් එක දැක්කම ඒක එපා කියපු එක නම් තාත්තට හොඳටම හිතට වැදුනලු... ඒත් දැං නං කියන්නේ, ඒ කාලේ තාත්තා හිතුවේ ගොඩක් කල් පදින්න පුළුවන් බයික් එකක් අරං දෙන එක ගැන විතරයි, ඒත් දැං තේරෙනවා ඇයි මං ඒක එපා කිව්වේ කියලා... හම්ම්.. ඔ‌ෙහාම තමයි ඉතිං තාත්තලා.. හි හි...

මම උදේ ඉඳලා මං ගාව තියෙන පරණ ෆොටෝ අල්බම් ටික ඇදගෙන හෙව්වා ඔය බයිසිකලේ පින්තූරයක් මේකේ දාන්න.. ම්හු... ගෙදර ගිය වෙලාවක අරන් ඇවිත් පස්සෙ ඇඩ් කරන්න තමයි වෙන්නේ..
ඔන්න බයිසිකලෙයි මගෙයි ෆොටෝ එකක් දැම්මා.. මේක හොයන්න ගිය වෙලාවේ තාත්තා ඔය ඔක්කොම විස්තර ටික ආයිමත් අපේ මහත්තයට රිපීට් කරලා මගේ නම්බුව කෑවා... හොඳ වෙලාවට මම කලින් කියලා තිබ්බේ.. නැත්තම් විනාසයි.. හි හි

පස්සේ කාලෙක මේ බයික් දෙකම වෙන කෙනෙකුට දීලා තිබුණා තාත්තා.. ඒ ළමයිනුත් ගොඩක් කල් පාවිච්චි කලාට පස්සේ මල්ලි ගේ බයික් එක නම් කැඩුනා... ඊට පස්සේ තවත් කෙනෙක්ට දීලා තිබ්බා... දැං මං ගෙදර යන දවසට තාමත් එක පොඩි එකෙක් මගේ බයික් එක පදිනවා මම දකිනවා...

එතකොට මට හරි ආඩම්බරයක් දැනෙනවා...

Thursday, November 1, 2012

මහ වැස්සේ වීර චාරිකා...

අද දාන්න යන්නේ පිස්සු පෝස්ට් එකක්... හි හි... වැස්සට හිරිකිඩ වැදිලා ‌මගේ මොළේ කචල් වෙලා නෙවෙයි.. අර ඊයේ පෝස්ට් එකට නිනුයි මීයායි දාලා තිබ්බ කමෙන්ට් වලින් මේ පරණ කතාව මතක් වෙච්ච නිසා.. හි හි....

ඒ කියන දවස්වල, මට මතක හැටියට එතකොට මම 7 වසරේ විතර... ,මගේ ගමනාගමනය සිද්ධ උනේ ස්කූල් වෑන් එකේ... වෑන් එකේ කතාවල් ටිකක් ඩ්‍රාෆ්ට් එකේ තියෙන නිසා ඉදිරියට දාන්නම්කෝ...

එදා උදේ මේ වගේම පුදුම වැස්සක් තමයි තිබුණේ.. අපි 6ට විතර පාදුක්කෙන් ආවට ඉස්කෝලෙට එනකොට 7.30ත් පහුවෙලා.. නොදන්න කට්ටියට දැනගන්න ඉස්කෝලෙ පිහිටීම ගැන පොඩ්ඩක් කියන්නම්කෝ...

ඉස්කෝලෙ කිව්වේ ගෝතමී බාලිකාව... ඉස්කෝලෙට ඇතුල් වෙන්න ගේට්ටු දෙකක් තියෙනවා.. එකක් මරදාන පැත්තෙන් ඇවාම අහුවෙන ඉස්සරහා ගේට්ටුව.. අනිත් එක පුංචි බොරුල්ල පැත්තෙන් ආවම අහුවෙන පල්ලෙහා ගේට්ටුව.. ( ඇත්තටම ඉස්කෝලෙ ඇතුලෙන් ඔය විදියට කොටස් දෙකකට තමයි තියෙන්නේ... ) ඔන්න මම වරද්දලා නං නිනූ හරි ගස්සන්න හොදේ....

ඕකේ ඉස්සරහා පැත්තෙන් ගියොත් ආනන්දේ තාප්පෙත් එක්කමයි පාර... අනිත් පැත්තෙන් ආවොත් අහුවෙන්නේ නාලන්දේ.... මේ ටික කිව්‌ෙව් කතාවට අදාළ නිසා හොඳේ...

ඔන්න ඉතිං අපි සුපුරුදු විදියටම අනිත් ළමයි ටික දාගෙන පල්ලෙහා ගේට්ටුව පැත්තෙන් ආවා..... හෝ ගාලා වහිනවා.. ඒ අස්සේ රේඩියෝ එකෙන් කියනවා හිම වැටෙන කතාවකුත්... අපිට ඕවයැ ගානක් තියෙනවයැ.. අපි පිස්සු නට නට ආවා... නාලන්දේ කොල්ලන්ව කවදාවත් නැතුව ඉස්කෝලෙ ඇතුලටම ගිහින් දාපු අපේ පුෂ් අයියා, ඊළඟට අපි කීප දෙනාවත් අරගෙන අපේ ඉස්කෝලෙ පැත්තට ආවා..

මොන.... ඒ පැත්ත සම්පූර්ණයෙන්ම යට වෙලා....... කිට්ටු කරන්නවත් බෑ...

ඒ පැත්තේ ඉඳලා එන පිරිමි ළමයි ඉණ ගාවට වතුරේ බැහැගෙන එනවා... මට මතක හැටියට එදා විභාග දවසක්... සිංහල පේපර් එකද කොහෙද තිබු‌ෙන්.. ඉස්කෝලේ යන්නම ඕනේ.. ඒ අස්සේ කොල්ලෙක්ගේ ෆයිල් එකක් වතුරේ පාවෙනවා... ( ඒ කාළේ ඉස්කෝලේ පටං ගත්තේ 7.45ට..) දැං හොඳටම පරක්කුයිත් එක්ක..

ඒ පාර පුෂ් අයියා ආයිමත් වෑන් එක හරවගෙන ඉස්සරහා ගේට්ටුව පැත්තෙන් ආවා..

මොන.. ඒ පැත්තෙනුත් පාර බ්ලොක්... ආනන්දේ තාප්පෙ කැඩිලා පාරට වැටිලා...

ආයිමත් හරෝ‌ෙගන පල්ලෙහාට ආවා.. වෑන් එකේ රෝද වලිනුත් උඩට වතුර එනකම් ඉස්සරහට ගියා... පුෂ් අයියා වීරයා වගේ... ( අපේ වෑන් එකේ අයිතිකාරයා නාලන්දේ උගන්නපු හාමුදුරු කෙනෙක් හොදේ...) තව ඉස්සරහට යන්න හැදුවා විතරයි. මේක හිට්ටා.....

මොකද්ද එකකට වතුර ගිහින්ලු... අපිට ඒවා තේරෙනවයැ...

ඔය කාළේ සෙල් ෆොන් තිබුණේ නෑ ළමයි.... නැත්තම් කාටහරි කෝල් කරලා බලන්න තිබ්බා... හි හි...

ඒ පාර පුෂ් අයියා ඇහුවා මොකද කරන්නේ කියලා.. අපේ කට්ටිය එක පයින්ම ඉස්කෝලෙට යං කිව්වේ විභාගේ හින්දා.... ඒ පාර අයියා කියපි එහෙනං අපි බැහැලා යං කියලා...

අපි‌ට මොකෝ.. ඒක නේ ජොලිම වැඩේ...... හි හි.. ඔන්න කට්ටියම බැස්සා.... මට මතක හැටියට කෙල්ලො තුන් දෙනෙක් විතර හිටියා... බැහැලා බලන කොට මගේ ඉණ හරියට වතුර...

හොඳටම වහිනවා.... ඒ අස්සේ හෙණත් ගහනවා... ගොරවනවා... අලි මදිවට හරක් කියලා සීතලම සීතලයි......ගවුම් සායවල් පාවෙනවා....

සපත්තු බෑග් එකට දාලා, බෑග් කරේ තියන් අපි හිමින් හිමින් ඉස්සරහට ආවා.. පුෂ් අයියා අපිට ඉස්සහින් යනවා... පාර ෂුවර් නෑනේ.. වළවල් කොහෙද, කාණු කොහෙද කියලා පේන්නේ නෑ...

අපිට ඉස්සරහින් කොල්ලොත් නාගෙන එනවා..ඒ පරක්කු කෝච්චි.... උන්ගේ ෆයිල් වලින් වතුරු බේරෙනවා...අපි වගේ කුඩ අරං යන උන්යෑ.... හි හි....

ඒ දවසවල හැම ඉස්කෝලටම වාර විභාග පේපර් එක එකටමයි දෙන්නේ.. දැං නං වෙනස් ද දන් නෑ... ඉතිං පේපර් එකක් මිස් කර ගත්තොත් විනාසයි....

ඔහොම ඔ‌ෙහාම අපි ගේට්ටුව හරියට ආවා.. කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු.. ‌ගේට්ටුව ඉස්සරහට මහින්දාරාමේ පැත්තේ තිබ්බ ගහක් කඩං වැටිලා...

එහා පැත්තේ ප්‍රීෆෙක්ට් අක්කලා ඉන්නවා... ඒ ගොල්ලො හොඳටම බය වෙලා.. ගහ කඩන් වැටිලා තියෙන්නේ අපි එතනට යන්න විනාඩි ගානකට කලින්..

පොඩි ගහක් උනාට ඒක උඩ්න් පනින්න මට බෑ... මම තමා පොඩිම එකා.... ඒ පාර පුෂ් අයියා මාව උස්සලා අනිත් පැත්තෙන් තිබ්බේ ප්‍රීෆෙක්ට්ස්ලාට මාව අල්ලගන්න පුළුවන් විදියට.. අනිත් අක්කලා දෙන්න නං අමාරුවෙන් ගහේ අතු පැත්තෙන් පැනලා, ඇඟවල් හූරගෙන කොහොම හරි ආවා..

කතාව ඉවරද.....නෑ පිංවතුනී.. නව ටිකක් තියෙනවා.... හි හි.... ( මාරයියා මට ගහයිද දන් නෑ... හි හි)

මම ක්ලාස් එකට යනකොට අපේ උන් ඔක්කෝම සපත්තු මේස් ගලෝගෙන, සමහරැ ගවුමුත් ගලෝගෙන.. හි හි ... එක පිස්සුවක්... ඇත්තටම මාත් හොදටම තෙතබරි වෙලා...

ටික වෙලාවකින් එනවුන්ස්මන්ට් එකක් ඇහෙනවා ..... ” අධික වර්ෂාව නිසා අද දින වාර විභාගය පවත්වන්නේ නෑත... සියලුම ශිෂ්‍යාවන් පන්ති කාමර තුළම රෑදී සිටින්න... ” කියලා....

කොහොමද සැප.......

ඔන්න ඔ‌ෙහාමයි අපේ වීර චාරිකාව ඉවර උනේ....

ප.ලි. හැබැයි පුෂ් අයියා යන්න කලින් අපිට කිව්වා හවසට වෑන් එක එන්න පරක්කු උනත් කොහෙවත් යන්නේ නැතුව ඉස්කෝලෙම ඉන්න කියලා.... මොකද ඒ වෙනකොට වෑන් එක කැඩිලා නං හදාගන්න වෙන නිසා... කො‌ෙහාම හරි හවස වෑන් එක වෙලාවට ආවා...

මම ඒ කෑල්ල විශේෂයෙන්ම ලිව්වේ පුෂ් අයියා කොයි තරම් වගකීමකින් අපි ගැන බැලුවද කියන එක කියන්න.... දැං නං ඒ වගේ මිනිස්සු හොයන්න අමාරු වගේම, විශ්වාස කරන එකත් ඒ තරම් හොඳ නෑ මගේ දැනීමේ හැටියට....