Wednesday, October 31, 2012

අපොයි මේ වැස්ස.....


වහිනවා වහිනවා ඉවරයක් නෑ..... දැං දවස් දෙක තුනකම ඉඳලා වැස්සට බැන බැන හිටිය මට අද උදේ තමා රෙදි ටික වේලගන්න පුළුවන් උනේ... යන්තම් කහ පාටට ඉර පොළවට එළිය වැටිලා තියෙනවා දැක්ක ගමන්, හෝදලා ගේ ඇතුලේ වැල් වල දාලා තිබ්බ රෙදි ටික උසස්ගෙන ගිහින් එළියේ වැලේ වැනුවේ යන්තම් හරි වේලගන්න පුළුවන් වෙයි කියලා... මොන..... පැය බාගෙකින් විතර ආයිත් පටං ගත්තේ නැද්ද වක්කොරන්න.....

වැස්ස කියන්නේ අපි වගේ අසරණ බයික් කාරයන්ට නම් කරුමයක්... මේ දවස් ටිකේම අපේ මහත්තයා ගෙදර එන්නේ තෙමිච්ච කුකුළා වගේ... කොච්චර ජැකට් දැම්මත් මේ වැස්සෙන් නම් තෙමෙන්නේ නැතුව එන්න බෑ...

ඉතිං දැං ඔය තෙතබරි වෙලා තියෙන ඇඳුම් හෝදලා වේලපන්කෝ...... මොකෝ ඉර එළිය වැටෙනවාය කියලා මහා ලොකු වත්තක් ඇතැයි... තියෙන පොඩ්ඩේ ඇදලා තියන වැල් දෙකක දාලා නොවැ මේවා වේලන්නත් ඕනේ....

අම්මපා මම ගෙදර හිටියනං.... එහෙනං මේ කිසි කරදරයක් නෑ නොවැ.... රෙදි ටික හේදුවා... අම්මගේ අර ලොකු අවන් දෙක උඩින් වැනුවා... ක්ෂණික නූඩ්ල්ස් වගේ විනාඩි 5යි රෙදි ටික වේලිලා... පොඩ්ඩක් කේක් සුවඳ නං ඉතිං එනවා.. ඒකට මොකෝ නේ...... හි හි....

ඒක කිව්වම මතක් උනේ පොඩි කාළේ කරපු පොඩි පොඩි අපත වැඩ කීපයක් ගැන... බලමු මගේ ජාතියේ කීයක් ඉන්නවද කියලා...

කෑම පෙට්ටිය හේදීම...... හපෝ.. මට එපාම කරපු වැඩක් තමයි.... ලන්ච් ෂීට් දාන්න දෙන්නේ නැති නිසා හැමදාම ඕක හෝදන්න ඕනේ.. ඒත් හැමදාම ඕක මට මතක් වෙන්නේ උදේට ඉස්කෝලෙ යන්න ගියාම තමයි... ඇයි එතකොට සෙනසුරාදා ඉරිදා ගෙදර ඉඳලා සඳුදා උදේට ඕක හොදනකොට.... මං කොච්චර හොඳද කියනවනං සමහර නිවාඩු මාස වලදිත් කෑම පෙට්ටිය හෝදන්න අමතක වෙන එකනේ.... අප්පා ඒ සුවඳ.. මතක් වෙනකොට දුවන්න හිතෙනවා... හි හි....

එතකොට සුදු ගවුම් හේදීම.... ඕකට මම අහවුනේ අඩුවෙන්.. අම්මා නොවැ හෝදන්නේ.. හි හි.... හැබැයි ඉතිං ෆෑන් දා‌ගෙන, අයන් කර කර වේලන්න නම් අහුඋනා... හි හි..

සපත්තු හෝදන්න... හපෝයි.. මතක් කරන්න එපා... පෙන්නන්නම බැරි වැඩේ ඕක තමා... අවුරුද 13ක්ම දැම්මේ සුදු සපත්තු... පොල් මුඩු දාගෙන අතුල්ලලා, ඊට පස්සේ ඔය සුදු කරන ජාති ගාලා... මං නං සාමාන්‍යයෙන් කැන්වස් සපත්තු හෝදන්නෙම නෑ.... සුදු පාට ටිකක් ගාගෙන යනවා.. හි හි... ටික කාලයක් යනකොට අර අනිත් ස්පෝර්ට්ස් සපත්තු දාන්න පටන් ගත්තා.. හැමදාම ගෙදර එන‌කොට ඒවා දුඹුරු පාටයි... ඒවා නං හේදුවේ නැත්තම් විනාසයි.... හැම වීක් එන්ඩ් එකේම හෝදන්න ඕනේ...

ඔය සපත්තු ගැන හොදම මතකය ඉතිං තියෙන්නේ වැස්ස කාලෙට තමා...... හි හි... ඒ ගැන කතා නොකර ඉමු නේ...

මොකද මට තිබුණ තව ලෙඩක් තමයි කුඩ ඉහලන්න ඇති බලවත් නොකැමැත්ත... ඒක නිසා කොච්චර වැස්සක් උනත් කෝච්චියෙන් බැහැලා ගෙදරටම දුවන එක තමයි කරන්නේ.... එතකොට ඉතිං සපත්තු විතරක් නෙවෙයි, පොත් බෑග් එකේ ඉඳන්ම තෙතබරි වෙලා ගෙදරට එන‌කොට..

හ‌යියෝ... තාමත් මේ වැස්ස ඉවර නෑ...

වැස්ස නැති කොටත් බනිනවා.. වහිනකොටත් බනිනවා.. නේදෑ.......

Monday, October 29, 2012

ඉස්කෝලේ යන කාලේ ලවු... ( 2) පොඩි කතාබහකට ඉඩක්..

සාමාන්‍යයෙන් පුරස්නයක් අහලා දවසකට වඩා සද්ද නැතුව හිටියොත් අපෙ කට්ටිය මාව කන්න හදන නිසා මම හිතුවා පොඩි පෝස්ට් කෑල්ලකින්ම උත්තරේ දෙන්න... පුරස්නේ මිස් වෙච්ච අය ගිහින් බලන්නකෝ.....

එක එක කමෙන්ට් එකටත් මම උත්තර බැන්දා...

හරි.. දැං මං මේ කියන්නේ යන්නේ ඇත්ත කතාව... හි හි..

මේක අවුරුදු ගාණකට කලින් වෙච්ච ඇත්ත කතාවක්... හරියටම කිව්‌වොත් 2001 දි විතර... ඔය කියන ලවු එක ඉවර උනේ කසාදෙකින්... හි හි..
ඔව්.. ඔව්... අපේ මහත්තයගෙයි මගෙයි ලවු එක තමා...

ඔය කතාවෙ මුල මැද අග ගැලපුවා නං හොඳයි කියලාම ඔන්න වැ‌ෙඩ් පටන් ගත්තා....

ඕක උනේ ඒ ලෙවල් කරන කාලේ කියලා කිව්වනේ... ඒ කලේ ඉතිං සිරා ලවු කියන්නේ කළුනික වගේ ජාතියක් මම නං හිතන්නේ.. ඒක නිසා ඔන්න ඔය වගේ නිදහසක් දීලා තමයි අපි දෙන්නම ආශ්‍රය කළේ... ඒක හින්දම වෙන්න ඇති මට ඔය සිද්ධිය එයාට කියන්න පුළුවන් වෙන්න ඇත්තෙත්... බෝයි ෆ්‍රෙන්ඩ් යකා වගේ උනාමත් ඔය වගේ ඒවා කියන්න බෑ නේ... හි හි..

සෙල් ෆොන් කියන ජාතිය ඇවිල්ලා තිබුණට ඉස්කෝලෙ යන ළමයි අතේ ඒවා තිබුණේ නෑ..අර කියපු පයිලට්ට නම් එකක් තිබ්බා....

ගෙදර ෆොන් එකට කෝල් එකක් ආවාම අම්මා එතන ඉන්දැද්දි “ අනේ අයියේ මට බෝයි කෙනෙක් ඉන්නවා” කියන්න පුළුවන් තරම් වාතාවරණයක් මට ඒ කාලේ තිබුණේ නෑ නේ... මේවා ඉතිං එතකොටත් රහසේ තිබුණ දේවල් නේ.. ඒකයි අර අක්කටවත් නොකිය ඉන්න උනේ... හි හි.....

ඉතිං ඕක ඉවර උනේ මම ඒ අයියව හම්බුවෙලා, කතා කරලා,මට බෝයි කෙනෙක් ඉන්නවාය කියන එක පැහැදිලි කරලා දුන්නයින් පස්සේ....

අපෙ ගෙදරටත් අර අක්කා කතා කරලා ඔය ගැන කියලා තිබ්බ නිසා,(ඔය කිව්ව කොල්ලා එයාගේ හබීගේ හොඳම යාලුවෙක්...) වැඩේ පොඩ්ඩක් අමාරු උනත් ( අපේ අම්මලා ඒකට උඩින්ම කැමති වුනා... හි හි) මට පුළුවන් උනා අපේ අම්මලට පැහැදිලි කරලා දෙන්න එයා ඒතරම් මට ගැලපෙන කෙනෙක් කියලා මම හිතන්නේ නෑ කියලා..

හරි... මගේ කොල්ලා සිරාවටම මට ආදරෙයි කියලා මම දැන ගත්තේ කොහොමද දන්නවද...?

මම ඔය පයිලට් අයියව හම්බුවෙන්න ගිය දවසේ, අපේ එක්කෙනා නිවාඩු දාලා, ඒ හැම වෙලාවෙම මාව පේන මානෙන් හිටපු නිසා... හි හි... කලින් කතා වෙලා අපි එහෙම කළේ මගේ ආරක්ෂාවට... එහෙම කෙල්ලෙක්ව රකින්නේ ආදරේ නැති කොල්ලෙක් නෙවෙයිනේ.. නේද...?

------------------------------------------------------------
දැං ඉතිං මේක ලියන්න හේතුවත් කියන්න එපැයි... නැත්තම් කට්ටිය බලයි මේ මොකද මේ හිටි හැටියේ පරණ ලවු ස්ටෝරිස් ලියන්න ගත්තේ කියලා...

මේ ඊයේ පෙරේදා මට ඇහුන කතාවක් තමයි මේ මතකය ඇවිස්සුවේ... මගේ නංගි කෙනෙක් එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් ගැන කියපු දෙයක්...

“ අක්කේ මට නං දැං එයාව එපා වෙලා තියෙන්නේ... හැම තිස්සේම සැක කරනවා.. මොනවා කළත් හැම එකම එයාට කියන්න ඕනේ.. ඒත් එයාගේ මොනා හරි මම ඇහුවොත් කියන්නේ නෑ... හිටපු ගමන් දවස් ගනන් එක එක ගමන් යනවා.. අඩු ගානේ මට කෝල් එකක්වත් දීලා යන්නේ නෑ... ආවහම මං කරපු දේවල් ඔක්කෝම එයාට කියන්න ඕනේ.. ඒත් එයා ගියේ කොහෙද කියලවත් මට කියන්නේ නෑ... මට පේන්නේ එයාට දැං මේක එපා වෙලාද කොහෙද... එයාට ඕනේ මං ලව්වම එයාව අතෑරගන්න...එයා මෙහෙම කරන්නේ ඇයි කියල මට හිතාගන්න බෑ... මට එයාව එහෙම අතාරින්න ඕනේ නෑ.. මං එයාට කොච්චර ආදරේද කියලා අක්කා දන්නවානේ.. එත් එයා මෙහෙම කරන්නේ එතකොට එයාට හොඳ එක්කෙනා වෙන්න පුළුවන් නේ මගේ පිටේ වැරැද්ද දාලා.... මටත් මොකටද එහෙම එකෙක්.. ඒත් මං එයාව අතෑරියොත් එයා මාව වැරදිකාරයා කරයි... මොනවා කරන්නද කියලා මට හිතාගන්න බෑ අක්කේ...”

මේකට මොකද කියන්නේ කියලා මට හිතාගන්න බැරි උනා... මොකද මේක මේ ඉස්කෝලෙ යන කාලේ ඉඳලා කැම්පස් යනකම් තිබ්බ ලවු එකක්... කොල්ලගේ පැත්තෙන් මේකට මොකද හේතුව කියලා අහන්න මම උත්සාහ කළත් බැරි උනා..

ඔන්න... ඔය හින්දා තමයි මම මේ පෝස්ට් දෙකම ලිව්වේ... මේ ගැන සංවාදයක් ඕනේ කියලා මට හිතුනා...මොකද ඉස්කෝලෙ යන කාලේ ලවු කියන්නේ අසාමන්‍ය‌ දේවල් නෙවෙයි.. නමුත් ගොඩක් ජීවිත මේ වගේ සම්බන්ධකම් වලදි වරද්දගන්න හේතුව මේ වගේ දේවල් ගැන විවෘතව කතා කරන්නේ නෑති එක කියලයි මට හිතෙන්නේ.. ඉතිං මේ නිකං දීලා තියෙන කමෙන්ට් තීරුවේ පුංචි කතාබහකට ඉඩ සලස්සන්න මට හිතුනා...

ඕනෙම කෙනෙක්ට අදහස්, මතක,අත්දැකිම්, බෙදා හදාගන්න සහ ඕනෙම වයසක කෙනෙක්ට අදහස් දක්වන්න ඉඩ තියෙනවා...

හැබැයි ඉතිං ඔය “ මිස්ටර් ඇනෝනිමස්” වගේ හරි නමක් හදාගන්න වෙනවා ඕකට... “මේ වෙලාවේ ඇනෝට උත්තරේ” කියලා උත්තර බඳින එක ලස්සන නෑ කියලා හිතෙන නිසා.... හි හි

Sunday, October 28, 2012

ඉස්කෝලෙ කාලේ ලවු.....


හරි.. අද මට පොඩි පුරස්නයක් අහන්න හිතුනා...

නෑ නෑ.. මෙදා පාර බල්ලෝ ගැන නෙවෙයි.... කොල්ලෝ කෙල්ලෝ ගැන.. හි හි...

මේක ඒ ලෙවල් පන්ති යන කෙල්ලෙකුයි, පොඩි ජොබ් එකක් කරන කොල්ලෙකුයි අතර ඇතිවෙච්ච දෙබසක්....

-----------------------------------------------------

“‌ ගොඩක් වෙලාද ඇවිල්ලා....”

“ නෑ.... දැං ආවේ...”

“ අද ගෙදරද හිටියේ.... ”

“ ඔව්... උදේ පොඩි වැඩ වගයක් කරන්න ගියා... ටිකකට කලින් තමයි ආවේ...”

“ ඔයාට හෙට වැඩ නේද....”

“ ඔව්.. උදේට නම් එන්න වෙන එකක් නෑ.... ”

“ මට පොඩි බඩ්ඩක් කියන්න තියෙනවා.... ඔයාට මතකද මම අර වෙඩින් එකේදි හම්බුණ පයිලට් කෙනෙක් ගැන කිව්වා....”

“ ඔව්... ඉතිං.....”

“ එයා ඊයේ මට කෝල් කළා... අක්කගෙන් ගෙදර නම්බර් එක ඉල්ලගෙන... කට්ටිය අපි දෙන්නව දාගෙන විහිළු කරනවලු....”

“ ඉතිං....”

“ මාව හම්බුවෙන්න ඕනේ කිව්වා...”

“ ඉතිං.. ඔයා මොකද කිව්වේ....”

“ මුකුත් නෑ.. අම්මා හිටියා එතන...”

“ ඉතිං.. ඔයාට හම්බුවෙන්න ඕනේ නම් කමක් නෑ.... මගෙන් අවුලක් නෑ... ඔයාට කිව්වනේ... ඔයාට හොඳයි කියලා හිතෙන කෙනෙක් එකක් යාලු වෙන්න ඔයාට නිදහස තියෙනවා කියලා... මට වඩා හොඳ කෙනෙක් හම්බුනොත් ඔයා යාලුවෙන්න.. අවුලක් නෑ....”

-----------------------------------------------------

ඔන්න කතාව.... ( සෙල් ෆොන් නැති කාලේ කියලා හිතන්නකෝ....)

ඔන්න... ඔය වගේ ඩයලොග් එකක් ඇහුනොත් ඔයාලට මොනවා හිතෙයිද.... ?

Saturday, October 27, 2012

සුදු රෝස වැල...


මිදුලේ තියෙන ලොකු සුදු රෝස මල් වැල මට සිහිවටනයක්...

රෝස වැල එතිලා තියෙන පතොක් ගහ අමිහිරිම මතකයක්...

අපි දෙන්නම එකතු වෙලා ඉන්දපු රෝස පැලේ...රෝස වැල වැඩුණේ මගේ ලේ වලින්....

ඒත් ඒ කටු පදුරක්.....

ඇයි... රෝස වැලෙත් කටු පිරිලා.... පතොක් ගහට විතරක් නොක්කාඩු ....

ඔව්... ඒත් රෝස වැල මට රිද්දන්නේ නෑ...

ඒත් අර පතොක් ගහ මට හැමදාම කටු වලින් ඇන්නා... මම හිතුවේ ඒ ආදරේට කියලා....

ඒත් දවසක්...

ඒ ආදරණිය රිදුම මහ වේදනාවක් උනා... අන්න එදා මට පතොක් ගහේ කටු වල සැර දැනුනා... ඒත් ඒ වෙනකොටත් මගේ පුංචි රෝස පැලේට ඒ කටු උරුම වෙලා ඉවරයි...

මම මගේ රෝස පැලේට එදා වගේම ආදරෙයි... මට එයා එදා වගේම ලස්සනයි... සුදු රෝස මල් එයාගේ ලස්සන හැමදාම මං ඉස්සරහා මවනවා...

මට පතොක් ගහ උගුල්ලා දාන්න බෑ... මගේ පුංචි රෝස පැලේට නැගිටින්න වාරු දුන්නේ එයා හින්දා...

අද...

රෝස වැල පතොක් ගහ පුරාම පැතිරිලා... පතොක් ගහක් පෙන්නත් නෑ... ඒත් මම දන්නවා එයා ඉන්නවා කියලා... ඉස්සර වගේ සරුසාරෙට නෙවෙයි... වැඩීම බාල වෙලා.. පුංචි වෙලා.. ගුලි වෙලා... මගේ රෝස වැල අස්සේ හැංගිලා...

ඔයා දන්නවද....?

දැං මට ඒ ගැන හිතෙනකොට හිනා යනවා...
---------------------------------------------

ප.ලි. කමෙන්ට් ටික දැක්කම තේරුනා කාටවත්ම කතාව තේරිලා නෑ කියලා...

තමන්ගේ ජීවිතයම පීඩාකාරී සැමියාගේ අණසකට යටත් වෙලා ජීවත් උනත්, දුවණිය එසේ නොවී, ධෛර්‌යයෙන් යුතුව ජීවිතය ජය ගන්න ඉදිරියට යනවා දකින කොට අම්මා කෙනෙකුට ඇතිවෙන හාස්‍යය මුසු සතුට ගැන හිතලා ලියවුණ ලියවිල්ලක් විතරයි...

මේක පටන්ගත්තේ දයානන්ද අයියගේ අස්වැන්න කියවගෙන යනකොට හිතට ආපු සිතුවිල්ලකින්... ඒත් අන්තිමට ලියවුණේ හාත්පසින් වෙනස් කතාවක්....

Thursday, October 25, 2012

මේ මිනිස්සුන්ට පිස්සුද මන්දා.......

ඔන්න උදේ උය උය ඉන්න අස්‌ෙස් මොකද්දෝ එකක ඇහුනා මරු නිවුස් එකක්..... හැබැයි එක්තරා විදියකින් අහන්න බලාපොරොත්තුව හිටිය එකක් තමා... ඊළඟට ඕක තමා ෂුවර් කියලා මම අපේ මහත්තයට කියලා තිබුණේ....

වෛද්‍යවරු 300% ක වැටුප් වැඩිකිරීමක් ඉල්ලනවාය කියලා....

හරි ඕකත් එක්ක මට එකපාරටම හිතේ මැවුනේ මොකද්ද දන්නවාද.....

ලංකාදීප පත්තරේ මංගල යෝජනා කෑල්ල.... හි හි...

පස්සේ මම කල්පනා කළේ ඇයි එහෙම උනේ කියලා... ඉතිං බත් ඔතන්න තියන් ඉන්න පත්තර කෑල්ලක් අරන් බැලුවා ....

හරි නේන්නං.... මේකේ වැඩිහරියක් මඟුල් වලට හොයන්නේ ටීචර්ලා, දොස්තරලා, කථිකාචාර්‌යලා, ආචාර්‌යලා, නර්ස්ලා.... එහෙම නැත්තම් පිටරට ඉන්න අය...

එතකොට මඟුල් හොයන්නෙත් ඒ වගේ කට්ටිය....

අඩි 5,සුදු, රෑමත්, කථිකාචාර්‌ය නැගෙණියට, විවාහයෙන් පසු පිටරට පදිංචියට යන 50ට අඩු වෛද්‍යවරයෙක් සොහොයුරා සොයයි.අවුරුදු 45යි ( වයස නොපෙනේ).

හි හි...

මං මේ හිනාවෙන්න දාපු එකක්... ඒත් ඉතිං මේවගේ ඒවනේ අප්පා වැඩිපුර තියෙන්නේ... ( මම පත්තරේ ඔය කෑල්ල බලන්නේ හිනාවෙන්න... මාර ආතල් හි හි)

මං ඉතිං කල්පනා කළේ... ඇයි අප්පා මෙච්චර අමාරුවෙන් ජීවත් වෙන මේ දොස්තරලට, ආචාර්‌යවර්න්ට මෙච්චර මේතරම් ඉල්ලුමක් තියෙන්‌ෙන් කියලා...

ඇයි වදේ... දොස්තරලයි ආචාර්‌යවරුනුයි මේ සොච්චම් පඩියකින් ජීවිතේ බොහොම අමාරුවෙන් ගැට ගහගෙන ජීවත් වෙන්නේ... අනේ අප්පා වඩු බාස් කෙනෙක්, මේසන් බාස් කෙනෙක්, ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්, එහෙම හොඳ නැත්ද මං අහන්නේ... මාසෙකට කරදරයක් නැතුව රැ 50000 ක් 65000 ක් විතර හොයනවා එහෙම කෙනෙක්...

දෙයියනේ කියලා උදේට ඩිමෝ බට්ටගේ බඩු ටික පටෝගෙන (සමහරැ ටොයොටා ඩබල් කැබ් එකේ..) ඇවිත් ජම්ප් සූට් එක දාගෙන, සේෆ්ටි කැප් එක, බූට් දෙක දාගෙන වැඩ කරලා, හවස 5 වෙනකොට වැඩ ටික ඉවර කරලා ආයිමත් අර වාහනේ ගෙදර යන එකනේ.. කොච්චර සැප පහසුද... අනිත් එක ගෑණුන්ටත් කරදරයක් නෑ... මිනිහා වෙලාවට ගෙදර එනවා.. කන්න බොන්න, අදින්න පළදින්න, යන වාහන, මොනවයින් අඩුවක්ද...... ළමයි යන්නේ ඉන්ටනැෂනල් ස්කූල්....

දැං බලන්න.. දොස්තරලට 300% වැඩි පඩියක් ඉල්ලන්නේ ඒ මිනිස්සු කොච්චර අමාරුවෙන් ජීවත් වෙනවා ඇද්ද... හපොයි.. හරියට කන්න අඳින්න වත් නැතුව ඇති... බස් එකේම රස්තියාදු වෙලා, මැරිලා මැරිලා ගෙදර එන්නේ.... ළමයින්ට අවුරුද්දට ඇඳුමක් වත් අරන් දෙන්න බැරුව ඇති... ඉස්කෝලෙ පහසුකම් ගාස්තු ටික ගෙවා ගන්න බැරුව කොච්චර දුක් විඳිනවද.... එහෙවු එකේ මේ එයාලම හොයන්නේ මොකෝ මන්දා....

පවු කියලා වෙන්නැති මයේ හිතේ....

Pic from www. clipartguide.com

Tuesday, October 23, 2012

බයිසිමොටේ සහ අපි දෙන්නගේ මොළේ....


අපේ මහත්තයගේ වහනේ ඉතිං බයිසිමොටෝව නොවැ.... මට පේන්න බැරි වාහනයක් තමයි.... ඒත් ඉතිං අතේ ඇති මුදලට අපිට දරන්න පුළුවන් එකම වාහනේ ඕක නිසා මොනවා කොරන්නද... පණ අතේ තියාගෙන ඕකේ පිටිපස්සේ යනවා....

ඕකෙන් අපි දෙන්නා යන වැඩිම දුර තමයි මහරගම ඉඳලා පාදුක්කට.... අපේ අම්මලගේ ගෙදර.. ඒකත් මම යන්නේ නොයා බැරි කමට... මොකද ටික දුරක් යනකොට මගේ කොන්ද මට මතක් කරලා දෙනවා.. යකෝ උඹට දැං වයස 28යි... කියලා... හි හි...

ඉතිං අපේ ගෙදර යනවානං දවල් වරුවේ ගිහින් වැඩක් නෑ...මොකද කට්ටියම කඩේනේ පදිංචිය..... ඒක නිසා අපි දෙන්නා යන්නේ හවස්වෙලා... රෑට කාලා එන්න බලාගෙන... මගේ වලව්වේ හාමු මාව දැක්කම ඔලුවටම පැනලා කෙල නාවනවා මදිවට, එයාගේ සුදු පාට මවිල් ගස් ම‌ෙග් ඇඟ පුරාම.. එහෙට ඇදපු ඇදුමක් ආයිත් පාරක් වෙන කොහෙවත් නං අඳින්න බෑ... හි හි.. ඒක නිසා අපි ගෙදර යන්නේ වෙන කොහෙ හරි යන්න තියෙනවනං ඒ වැඩ ඔක්කොම ඉවර කරගෙන...

ඔන්න ඔහොම අපි දවසක් මඟුල් ගේක ගියා.. බැන්දේ මගේ අයියා කෙනෙක්... ඉතිං ඕකට නොගිහිනුත් බෑ වගේම අනිත් ඒවට වගේ කන වෙලාව අල්ලලා ගිහින්, මූණ පෙන්නලා එන්න පුළුවන් කමක් තිබුණෙත් නෑ.. ඒක නිසා ඔන්න උදේ පාන්දරම ගිහින් අම්මටම කියලා අන්ඳවගෙන, කේක් හදාගෙන, ඔතාගෙන, ඕවත් උස්සන් ගිහින්, කාලා බීලා මහ රෑම ආපහු එන්න තමයි අපි දෙන්නගේ ප්ලෑන් එක උනේ.. මොකෝ අපේ මහත්තයට ඊළඟ දවසේ වැඩ....

කොහොමින් කොහොම හරි ඔක්කොම වැඩ ඉවරවෙලා අම්මලගේ ගෙදරට එනකොට 12ටත් කිට්ටුයි... දැන් ඉතිං ආපහු යන්න එපැයි... ඔන්න සීතලේ ගැහි ගැහී අපි දෙන්නා පිටත් උනා...

අර හයිවේ එක හින්දා මංචි එක හරියේ පාර පුරාම එක එක සයිස් ගල් ගොඩවල්... පාර මල් හතයි... අපි දෙන්නා ඉතිං ෂොක්ස් වලට බැන බැන තමා ඔය හරියෙන් ආවේ...

කොට්ටාව හරියට එනකොට ගියෙ නැද්ද පස්සෙ රෝදේ හුළං....

මොකද කරන්නේ කියලා කල්පනා කර කර බයිසිකලේ තල්ලු කරන් යන ගමන් තමයි අපේ රටේ මිනිස්සුන්ගේ හොඳ පැත්තක් දැක්කේ ඒ මහ රෑ උනත්... ඒකත් කියන්න එපැයි... බයිසිකල් වල ගිය කීප දෙනෙක්ම නවත්තලා ඇහුවේ .... මල්ලි පෙට්‍රල් කේස් එකක්ද... ගෙනල්ලා දෙන්නද...කියලා... ඒත් මහ රෑ කොහෙන්ද පැච් දාන්න ගරාජ් ඇරලා තියෙන්නේ.. අපේ මහත්තයා ඔහොම තල්ලු කරගෙන යනවා... ඔන්න තව බයිසිකල් එකක් අපිව පාස් කරගෙන ගිහින් ආයිත් හරවං ඇවිත් කිව්වා ... මල්ලි මහරගම ඔඩෙල් එක ගාව ගැරාජ් එකේ කට්ටිය ඉන්නවා... ගිහින් කතා කරලා බලන්න කියලා... ඔන්න ඉතිං අපි ඒකත් හිතේ තියාගෙන මහරගමටම ආවා.... අර ගැරාජ් එකත් වසා ඇත... දැං නං හොඳම ගනන්.... උදේ ඉඳන් වෙච්ච මහන්සිය මදිවට.... ඒකත් එක්ක මඟුලට ඇදපු ඇදුම්... අපේ මහත්තයගේ සුට් එක...ඔක්කොම කරගහගෙන.... දැං මං නං එන්නේ බයිසිකලේට හිතෙන් බැන බැන...

ටිකක් ඉස්සරහට එනකොට පොඩි රෑ කෑම කඩයක් ඇරලා තියෙනවා දැක්කා..ඔය වෙනකොට අපි මහරගම ජනාධිපතිය හරියටම ඇවිත්...පාන්දර 2ට විතර ඇති දැං...

ඔන්න එතන කකා හිටපු මනුස්සයෙක් කිව්වා.... මල්ලි ඉස්සරහා ලාෆ් එක ඇරලා ඇති.. හුළං ටිකක් ගහලා බලන්න.. සමහර විට ඔයාලට ටික දුරක් යන්න පුළුවන් වෙයි... කියලා....

... හරි අයියේ... කරලා බලන්නං... කියලා ආපහු ආව අපේ මහත්තයා, සද්ද නැතුව ආයිමත් බයිසිකලේ තල්ලු කරන්න පටං ගත්තා... ඔය වගේ වෙලාවට මම නං සාමාන්‍යයන් කරන්නේ කට පියාගෙනම යන එක තමයි... මොකද ඔය වාහන සබ්ජෙක්ට් එකේ මෙලෝ හසරක් මට තේරෙන්නේ නැති නිසා... ඒක නිසා ඔය කියපු දේ ගැන උනත් මම එච්චර හිතුවේ නෑ...

ටික දුරක් ගිහින් අර කඩේ නොපෙනෙන මානේ බයිසිකලේ නවත්තලා අපෙ මහත්තයා හිනා වෙන්න පටං ගත්තෙ නැද්ද...

... අපි දෙන්නා නං ගොං ගස් දෙකක්... අපි පෙට්‍රල් ෂෙඩ් කීයක් පහුකරන් ආවද.... එක තැනකවත් මතක් උනේ නෑ නේ හුළං ටිකක් ගහලා බලන්න... එක ෂෙඩ් එකකින් හුළං ගහගෙන අනිත් එකට එන්න පුළුවන් උනා නං මෙළහට අපි ගෙදර....

ඔන්න එතකොට තමයි මට තේරැණේ මොකද්ද මේ කියන්නේ කියලා... හි හි..

ඔන්න ඉතිං ලාෆ් එකෙන් හොඳට හුළං ගහගෙන ටෙස්ට් කරලා බැලුවම නං අවුලක් නෑ වගේ... ඒත් ඉතිං පොඩි අලි පැටියෙක් තරං මම බර නිසා ඕක කොච්චර ඔරොත්තු දෙයිද කියලා ෂුවර් නැති එකේ,හිමිං හිමිං ඇවිත් ගෙට දාලා නවත්තනකොටත් හුළං බිංදුවක් වත් බැහැපු නැති ගානට ටයර් එක තිබුණා....

හයියෝ... අපි දෙන්නගේ මොළේ තරම තමයි ඔය ඉතිං.... ගෙට ඇවිත් විනාඩි දෙක තුනක් යනකම් අපි දෙන්නා හිනා උනේ ඔක්කොම අමාරුකම් පැත්තක තියලා....

ඔය උඩිං තියෙන්නේ අපේ මලයා මේ පෙරේදා චන්ඩියා වගේ ගිහින් අරගෙන තියෙන එක තමයි... කට්ටිය ඕකත් එක්ක පෙට්ටියකුත් ඕඩර් කරන්න කිව්වට මට නං ‌තේරැනේ මේක අනිත් බයික් වලට වඩා පරිස්සම් වගේම බොහොම සැප පහසුයි කියලා... ( ස්පිඩ් යන්න පුළුවන් උනාට ඒ වගේ ස්පීඩ් යන්න පුළුවන් පාරවල් ලංකාවේ නෑ නේ.. ඒක නිසා ඒ ගැන බය වෙන්න දෙයක් නෑ...හි හි)

Monday, October 22, 2012

තව 2යි....



Happy birthday to you
Happy birthday to you
Happy birthday to me
Happy birthday to you.......

Friday, October 19, 2012

අපේ ලේසියට මරලම දාමුද....


ලියන්න ජාති කීපයක් හිතේ තිබුනත් නොලියා හිටියා කම්මැලි කම නිසා.... ඒත් මේක හිතුනම ඔන්නොහෙ ලියනවා කියලා හිතාගෙන ඔන්න ලියන්න ගත්තා.....

අපේ සිංහල පංතිය ගැන ඉතිං මං කලින් දවසකත් කියලා තියෙනවානේ.... ඔය දවස් වල මට හැදුන ලෙඩක් තමයි පාරේ යනකොට බෝඩ් කියෝ කියෝ යන එක... හේතුව තමයි ගොඩක් බෝඩ්වල සිංහල අක්ෂර වින්‍යාසය,ව්‍යාකරණ වැරදි විදියට යොදලා තියෙන තැන් මට ටක් ගලා අහුවෙන එක... හි හි...

ඉස්සර ටයිප් සෙටින් කරනකොටත් ලියුම්වල වැරදි අහුවුනාම මම ඔන්නොහෙ හදලා ටයිප් කරනවා.... හැබැයි ඉතිං ගොඩක් අය අහන්නෙවත් නෑ ඇයි ඒක වෙනස් කලේ කියලවත්.. ඒ වෙලාවට මට හිතෙන්නේ එයාලා හරි මොකද්ද, වැරදි මොකද්ද කියලා දන්නේ නැති නිසා වෙන්නැති කියලා...... මට මතකයි එක සැරයක් ටයිප් කරන්න ගෙනාපු පොතක නමක් දාන්න ගිහින් හරියටම දන්නේ නැතුව සර්ට කෝල් කරලා ඇහුවා හරි මොකද්ද කියලා.. හි හි...

දැං ඉතිං මේ කියන්න යන්නේ කම්පියුටරෙන් ටයිප් කරනකොට වෙන වැරදි නෙවෙයි.... අකුරු මාරු වෙන එක වගේ.. ඉස්පිලි පාපිලි හැලෙන එක වගේ.. හි හි.. ඉස්සර ඉස්කොලෙදි නම් ඉස්පිලි පාපිලි හැලුනාම කෙලින්ම අත මැද්දට මීටර් කෝදු පාරක් තමයි අපේ අරුණසිරි සර්ගෙන්... හි හි....

මට මුලින්ම හොඳට මතක තියෙන අක්ෂර වින්‍යාස වැරැද්ද සිද්ධ උනේ මම 5 වසරේ ඉන්න කාලේ... ඒක උනේ අපේ සෙක්ෂන් භාර ප්‍රේමදාස සර්ට..... මට හොඳට මතකයි වචනේ මොකද්ද කියලා....

පරණ ශිෂ්‍යත්ව පේපර් එකකට ඇවිත් තිබුනා....

සුදුසු අක්ෂරය සොයා හිස්තැන පුරවන්න.

මර්‌___නය ( ද, ධ)



ඔන්න ‌ඔහොම......

ඒ දවස්වල මොනාදෝ කැම්පේන් එක්ක හැම තැනම බෝඩ් ගහලා තිබ්බ නිසා ගොඩක් ළමයි ලිව්වා “ධ” යන්න....

පන්තිභාර ට්චර් ඒ දවස්වල නිවාඩු නිසා ප්‍රේමදාස සර් තමා ප්‍රශ්න පත්තර බැලුවේ.... ඉතිං ඔන්න එයා ඒ ළමයින්ට හරි දැම්මා...එහා පන්තියේ ටීචර් ළකුණු දීලා තියෙන්නේ “ද” යන්නට.. ඔන්න ගුරු මණ්ඩලේ කට්ටිය අපේ පන්තියේ සාකච්ඡාවක්.. හි හි.. අපිත් කන් දික් කරන් අහන් හිටියා...
අන්තිමට පහේ පන්තිභාර ටීචර්ලගේ පොතක් අරං ඇවිත් බැලුවාම ඒකේ තියෙන්නේ “ද” යන්න තමයි හරි කියලා...

ඔන්න එදා ඉඳන් මට කවදාවත් වරදින්නේ නැති වචනයක් තමයි මර්දනය....

ඔය වගේම තමයි “ සියලු” කියන වචනේ.... ගොඩක් අය ඕක ලියන්නේ “ සියළු” කියලා... ඒ වෙලාවට මට ඇඟිල්ලෙන් ඇනලා අහන්න හිතෙනවා “ සියල්ල ” ලියද්දි ලියවෙන අකුරට පාපිල්ල එකතු උනාම ඒක නිකම්ම මුර්ධජ වෙනවද කියලා... හි හි...

ඇත්තටම සිංහල වල තියෙන අක්ෂර වින්‍යාස වෙනස්කම් ටිකක් අමාරු බව ඇත්ත... සමහරු අහනවා “ ළමයා” ලියන්න මුර්ධජ ඕනැයෑ...ඕක “ලමයා” කියලා ලිව්වම වැරැද්දක් නෑ ‌නේ කියලා... හි හි...

හැබැයි “ කල ” සහ “ කළ ” කියන්නේ තේරුම් දෙකක්... “ලය” සහ “ළය” කියන්නේ තේරුම් දෙකක්...“ විදිනවා” සහ “විඳිනවා” කියන්නේ තේරුම් දෙකක්...“ කරන” සහ “ කරණ ” කියන්නෙත් තේරුම් දෙකක්..... හි හි... “තන“ සහ “තණ“ කියන්නේ වචන දෙකක්......

( දැං මං මේ ලියන, කියන භාෂාව මීට අවුරුදු 50කට විතර කලින් ලිව්වනං මේ වෙනකොට මාව හිරේ දාලා.. හි හි...)

ඇත්ත කියනවා නම් අපිට මේ වෙනකොට භාෂාවේ පුංචිම ව්‍යාකරණ නීති රීති ටිකත් අමතක වෙලා...

“ මම ” කියලා පටන් ගත්තොත් ඉවර වෙන්නේ “මි” යන්නෙන් කියන එක...
“ අපි ” කියන එක ඉවර කරන්නේ “මු” එකෙන් කියන එක...
“ ඇය ” කිව්වොත් “ කිව්වාය”
“ ඔහු ” කිව්වොත් “ කිව්වේය ”...... ඔය වගේ ඒවා ටිකත්....

ඕනෑම භාෂාවක ඒ භාෂාවට ආවේණික නීති රීති තියෙනවා... ජපන් භාෂාවේ අකුරුම 30000 ගානක් තියෙනවලු.... අනේ අපේ මේ තියෙන ටික අල්ල ගන්න අපිට මෙච්චර අමාරුද.... නෑ... මට නම් හිතෙන්නේ අපේ ලේසියට අපි අමතක කරලාම දාලා.......

සිංහල භාෂාව පරිණමය වෙලා තියෙන්නේ සංස්කෘත භාෂාවේ සහ පාලි භාෂාවේ අභාෂයත් අරගෙන... ඒත් පසුකලීනව ආපු ඉංග්‍රීසි සහ පෘතුගිසි වගේ භාෂාවල කොටසුත් මේකට එකතු උන නිසා තවදුරටත් පරිණාමය වෙවී ඉදිරියට යනවා...මෑතකදි එකතු උන “ෆ” යන්න උදාහරණයක්...
එතකොට හෝඩියෙන් හැලිච්ච අකුරු... “ඞ” යන්න... “අඃ” යන්න.... දැනට යන්තම් එල්ලිලා තියෙන “සෘ” යන්න වගේ අකුරු...සිදත් සඟරා හෝඩියේ ඉඳලා ‌හෝඩිය වෙනස් වෙච්ච හැටි දන්නවා නම් මේක අමුත්තක් නෙවෙයි...

‌මේවා සාමාන්‍ය දේවල්... ඒත් එහෙමයි කියලා අපිට භාෂාවේ ඔක්කොම නීති රීති කඩාගෙන යන්න අයිතියක් නෑ කියලයි මට හිතෙන්නේ...අපි ලේසියට මේ ලියන, කියන භාෂාව වගේම හරි සිංහල භාෂාවත් පැවතිය යුතුයි...එහෙම නැත්තම් තව ටික කාලෙකින් අපි හැමොම සිංග්ලිස් වලට මාරු වෙලා සිංහල භාෂාවත් තවත් මළ භාෂාවක් බවට පත් වේවි...

කී බෝඩ් වල තියෙන ප්‍රශ්න නිසා හරිම සිංහල අකුරු ටයිප් කරන එක හරි අමාරුයි... ඔය “ අඃ ” යන්න හොයන්න මම කී බෝඩ් එකේ අකුරු කීයක් නම් ටෙස්ට් කළාද... හි හි... ඇත්තටම මේක ලියන්න හිතුනේ මෙදා පාර එක්සිබිෂන් එකෙන් ගෙනාපු පොත් කීපයක් කියවද්දි.... ඒක නිසා මේ බ්ලොග් ලියන අය ගැන හිතලා, එයාලගේ වැරදි ගැන කිව්වාම නෙවෙයි.... ඒත් පුළුවන් තරම් අපි හරි සිංහල පාවිච්චි කරන්න උත්සහ කළොත් හොඳයි කියලයි මට හිතෙන්නෙ.... ව්‍යාකරණ බැරි නම් අඩුගානේ අක්ෂර වින්‍යාසය වත්...... හම්ම්.....

Tuesday, October 16, 2012

උදේම ඇහුන නිවුස් එකක් නිසා මට හිතිච්ච හෑල්ලක්...

අදත් නිවුස් කතාවක් ලියන්න හිතුවා.. ඇත්තටම ලියන්න හිටියේ වෙන දෙයක් ගැන.. ඒත් උදේ මේ නිවුස් එක ඇහුනාම එකපාරටම මතක් වෙච්ච එක ලියන එක හොඳයි කියලා හිතුනා...


ඔන්න හැම පත්තරේකම ඕක කියවෙනවා ඇහුනත් මුල පිටුවටම මේ කතාව ආපු දිනමිණ පත්තරේට ගිහින් බලන්න ඔන්න ලින්ක් එක...

මට ඔය කතාව ඇහෙද්දිම මතක් උනේ මීට අවරුදු කීපයකට කලින් සිද්ධ වෙච්ච තුන් නිවුන් දරු උපතක් වෙලාවේ සිද්ධ වෙච්ච සිද්ධියක්.... ඒක නිසා මම දුවලා ඇවිත් බැලුවා දරුවන්ගේ තාත්තගේ රස්සාව මොකද්ද කියලා.... දෙයියන්ට මේ පාර නම් සිහිකල්පනාව තිබිලා වගේ... තාත්තා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්.. ඊට අමතරව පෞද්ගලික ආයතනයක විධායක නිළධාරියෙක් ලු....

හේතුව මේකයි... මම කලින් කියපු තුන් නිවුන් දරු උපතේදි තාත්තා කුලී වැඩ කරන බව තමා පත්තරවල තිබුනේ... කුලී වැඩ කරලා එදා වේල හම්බුකරගන්න මනුස්සයෙක්ට දරුවෝ තුන් දෙනෙක් කියන්නේ ලොකු බරක්.... කටින් එහෙම නොකිව්වට හිතේ ගින්දරක් ඇවිලෙනවා නොවැ අම්මලා තාත්තලගේ හිත්වල... ඒ පවුලට මුල කාලෙදි ගොඩක් දෙනා උදවු කළා... කිරිපිටි , ආහාර ජාති, දරුවන්ට අවශ්‍ය දේවල් දීලා... ගේකුත් හදා දුන්නද කොහෙද.. ඒක නම් මතක නෑ...

දැං මට ලියන්න හිතුනේ මේකයි....

අද කාලේ දරුවෙක් හදන එක ලේසි පාසු වැඩක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙම.... ඇයි ඉතිං... ළමයා බඩට එන්න කලින්ම කාගේ හරි ගෙයක් තමන්ගෙ නමට හරෝ ගන්න ඕනේ... නැත්තම් අවුරුද 6දි ඉස්කෝලේ දාන්නේ කොහොමද...... එහෙම නැත්තම් ලක්ෂ 10ක් විතර බැංකු පොතක දා ගන්න ඕනේ ඉන්ටනැෂනල් ස්කූල් එකකට දාගන්න.. මොකද ඒවට ඇතුලු වෙන්න ඔයිට අඩු උනත් මාසෙකට ලක්සයක් දෙකක් වියදම් කරන්න වෙනවානේ....ඕවා හිතෙනකෙට මට නම් ළමයි හදන්න භෑ කියලමයි හිතෙන්නේ...

ඔව් ඉතිං... ඕවා හිත හිත ළමයි නොහදා ඉන්නත් බෑ තමා... එන හැටියකට මූණ දෙමු කියලා හිත හදාගන්නත් බෑ... දරුවන්ටවත් අපිටවත් විඳවන්නේ නැති ජීවිතයක් නේ ඕනෑම කෙනෙක්ගේ හිතේ තියෙන්නේ....

ඇත්තටම මාසෙකට 30000 - 40000 අතර වත්කමක් තියෙන පවුලකට දරුවො දෙන්නෙක් හදාගෙන ජීවත් වෙන්න කොයි තරම් සටනක් කරන්න වෙයිද....

ඉඩමක් ගන්න, ගෙයක් හදා ගන්න, දරුවන්ට හොඳට උගන්නන්න ..... හීන ලොට් එකක්.....

මට මතකයි අපේ අම්මයි තාත්තයි වැඩ කරපු විදිය.. අපේ තාත්තට මහා ලොකු පඩියක් ලැබුන්නෑ.... ඒ කාලේ හැටියට යන්තමි ජීවත් වෙන්න පුළුවන් උනා අපි හතර දෙනාට....

මට මතකයි දවස් ගානක් අපි බත් එකට ලූණු ගෙඩියක් සුද්ධ කරගෙන, අමුමිරිස් කරලක් එක්ක ලුණු ටිකක් ඉහගෙන කෑවා.... බත් එක අනලා කවනකොට අම්මගේ කදුළු බිංදුත් බත් එකට වැටුනා... ඒ මල්ලි පොඩි කාලේ... එයාට බේත් කරන්න වියදම් කලාට පස්සේ අපිට කන්න ගන්න සල්ලි තිබිලා නෑ...

අපේ ගේ හදන්න බිලොක් ගල් හැදුවේ අපේ අම්මා.... අදටත් තාත්තා ඒ බිත්තිය කඩන්නේ නැතුව තියාගෙන ඉන්නේ ඒ නිසා... පොඩි පොඩි ලෝන් අරගෙන ගේ හදන්න පටන් ගත්තේ.... මෑතක් වෙනතුරම ගෙට ගත්ත ණය ගෙව්වා.... මට මතක නෑ අම්මයි තාත්තයි කොහෙවත් ගිය දවසක් පහුගිය අවුරුදු 23ක් වගේ කාලයකදි.... මට මතක නෑ අම්මයි තාත්තයි කඩෙන් කෑමක් ගෙනල්ලා කනවා ඒ කාලෙදි... මට මතක නෑ අපේ අම්මා තනියෙන් ආනමාලු ගෙඩියක් කනවා ඒ කාලෙදි.... බැන්ද අවුරුද්දේ තාත්තා අරන් දුන්න සාරියට පස්සේ ආයිත් තාත්තා අම්මට සාරියක් අරන් දුන්‌ෙන් අවුරුදු 23කට පස්සේ....

හැමදාම පැන්සල් නැති කරගන්න මට අපේ අම්මා පැන්සල තුනට කපලා තමා දෙන්නේ... සුදු ගවුම අයන් කරන්න අයන් එකක් නැති නිසා කොට්ටෙ යට තියෙගෙන නිදා ගත්තේ.. තාත්තා නයිට් ඩියුටි දවසට අම්මා මාවත් තුරුළු කරන නිදා ගන්නේ බයෙන්... මොකද අපේ ගේ හදලා තිබුනේ ලෑලි වලින් නිසා... මට තාම මතකයි මම දැක්ක බය හිතෙන හීනයක් ඒකලේ.... අම්මයි මායි තනියෙන් ඉන්න දවසක අපෙ ගෙට හොරු පැනලා...

ඒත් මට කිසිම අඩුපාඩුවක් උනා කියලා මතක නෑ.... මට අඩුපාඩුවක් නොදැනෙන්න ඒ දෙන්නා තමන්ගේ ජීවිතේම කැප කලා කියලා තේරුනේ ඉස්කෝලෙන් අවුට් උනාටත් පස්සේ... කේක් ෂොප් එක හින්දා තමයි අද ඒ දෙන්නා සතුටක් විඳින්නේ... අම්මගේ අයියලා මල්ලිලා ටිකයි එයාලගේ ළමයි ටිකයි ඕනේ වෙලාවක අපේ ගෙදර.... මායි මල්ලියි හැම තිස්සේම ඒ දෙන්නව ට්‍රිප් යන්න උනන්දු කරනවා... ෆිල්ම් බලන්න යවනවා... හොඳ සංගීත ප්‍රසංග වලට ටිකට් අරං දෙනවා...එහෙම කරන්නේ ඒ දෙන්නගේ තරුණ කාලය අපි දෙන්නා වෙනුවෙන්ම කැප කරලා හිටපු එකට වන්දි ගෙවන්න.... අදටත් මට අපේ අම්මයි තාත්තයි තරුණයි....( 55යි කියන්නේ නාකියි යෑ නේද... හි හි)

ඒත් ඒ දෙන්නා අපි දෙන්නා ගැන හිතලා දුක් වෙනවා... මල්ලිට අසනීප උනොත් කියලා ඒකට සල්ලි ඉතුරු කරනවා... මටත් අරවා මේවා අරං එවනවා... හිටපු ගමන් කරෝල බැඳලා මාලු කෑල්ලක් උයලා මැල්ලුමක් එක්ක පරිප්පුවක් හදලා මං ආස විදියට කෙහෙල් කොලේ ඔතලා මල්ලි අතේ එවනවා.... අපේ මහත්තය වැඩ දවසක මට ගමනක් යන්න ඕනේ නම් ඇවිල්ලා එක්කං යනවා..... (ගෙයක් හදලා දෙන්නද, ඉඩමක් අරං දෙන්නද කියලා අහලා අපේ මහත්තයා ඒකට කැමති නැති නිසා දෙන්නම අපේ මහත්තයා එක්ක තරහා වෙලා ඉන්නේ... හි හි.. මගේ නමට තිබ්බ ඉඩමත් ආපහු අම්මගේ නමටම ලියන්න කිව්වා...)

මම පුංචි කාලේ ඉඳලම ඔය දුක දැක්ක නිසා ලොකු තීරණයක් අරං හිටියා මම නම් බඳින්නේ නෑ නෑමයි කියලා... මට ජීවිතේ විඳවන්න බෑ මයි කියලා මම හිතුවා... යාලුවුනත් බඳින්න හිතහදාගන්න ලොකු කාලයක් ගියා.... එහෙම කලෙත් අපේ මහත්තයාගේ මට තිබුණ ආදරේ හොඳටම තේරුම් ගත්ත නිසායි.... ඒත් තාමත් හිතෙනවා විඳවන්න නම් බෑ කියලා...... අපේ අම්මලා වින්දා වගේ මමත් දුක් වින්දොත් ඒ දෙන්නා ඒ දුකටම මැරිලා යයි.... එදා ඉඳලා දුකක් නොදී හදාගත්ත කෙල්ල මං... අදටත් මාමලා කියන්නේ මං ගැන කතා කලොත් දුකෙන් කතා කරන්නේ කියලා.... කොච්චර හොඳින් ඉන්නවා කියලා පෙන්නුවත් එයාලා හිතන්නේ මම දුක් විඳිනවා කියලා.... අනේ මන්දා......

මෙච්චර හෑල්ලක් ලියවුනානේ ඉතිං... හයියෝ..... කපන්න දුකයි.. ඔන්නොහෙ දැම්මා.....

///ඇත්තටම මාසෙකට 30000 - 40000 අතර වත්කමක් තියෙන පවුලකට දරුවො දෙන්නෙක් හදාගෙන ජීවත් වෙනන කොයි තරම් සටනක් කරන්න වෙයිද....///

උත්තරේ..... ලංකාවේ ඉඳලා නම් බෑ......

අපේ මහත්තයට යාලුවෝ කීප දෙනෙක්ම ආයිත් රට යන්න කතා කරනවා මේ ටිකේම.... ඒත් මම ඒකට කැමති නැත්තේ පවුලක් උනාම එකට ඉන්න ඕනේ කියන හැඟීම නිසා.... කොච්චර අමාරුකම් තිබුණත් රට යන අදහස අත්රින්න තියලා මම කිව්වේ ඒක නිසා... ඇත්ත...... අමාරුයි.... දුක් විඳින්න වෙනවා.... ඒත් සල්ලි වලින් මනුස්සයා නැති අඩුව පුරවන්න පුළුවන්ද.... අනිත් එක එයාම කියන විදය එකපාරක් රට ගියොත් ආයිත් යන්නම හිතෙනව... සල්ලි අඩුපාඩු දැනෙන්න පටන් ගන්නකොට.... ඒක නිසා මම කිව්වා රට යනවා නම් බදින්න කලින් ගිහින් කරගන්න පුළුවන් දෙයක් කරගමු කියලා....ගිහින් ආවානේ... ආයිත් නම් යන්න දෙන් නෑ.... දරුවන්ට තාත්තා කෙනෙක් ‌ෆොටෝ එකකින් පෙන්නලා වැඩක් නෑ කියලයි මට හිතෙන්නෙම.... අනේ මන්දා.... මං වැරදිද මන්දා....

හරි ... අඬ අඬ ටයිප් කලේ... ඒක නිසා හිතට හරි නෑ... ඔන්න මේ ළඟදි හදපු කේක් එකක ෆොටෝ එකක් හම්බුනා... ඒකත් එක්කම අපේ අම්මලගේ තනියට මේ දවස්වල ගෙයි රජ කරගෙන ගෙන ඉන්න මගේ වලව්වේ හාමුගේ ෆොටෝ ටිකකුත් මල්ලිගේ ෆේස්බුක් පේජ් එකේ තිබිලා හම්බුනා... ඔන්න යටින් දැම්මා.....

මේ ඉන්නේ වලව්වේ හාමු..... පේනවනේ රජ කරගෙන ඉන්න හැටි....




මේ කේක් එක නම් ගිය මාසේ වගේ හැදුවේ..... ඔය පබළු එහෙම ගන්න මාත් මල්ලිත් එක්ක ෂොපිං ගිය නිසා මමත් පොඩ්ඩක් විතර සම්මාදම් උනා... හි හි


Monday, October 15, 2012

අද Google search LOGO එක දැක්කද....... ?

අහම්බෙන් වගේ Google search එක පැත්තේ ගිය ගමන් දැක්ක දෙයින් කම්මැලිකමත් නැතුව ගියා අද....

ඔන්න ජොලියට වගේ මම ෆොටෝ එකකුත් ගත්තා.... ( ඒ වැඩේ අද තමයි ඉගෙන ගත්තේ.... මාරයියගේ පෝස්ට් එකකට පිං සිද්ධ වෙන්න... හි හි)

ගිහින් බලන්නකො තාම ගියෙ නැත්තම්...

අද උදේ බ්ලොගර් එකත් පිස්සු නැටුවේ මේ හින්දද දන්නේ නෑ....

107th anniversary of Winsor McCay's Little Nemo in Slumberland

වැඩි විස්තරයක් නම් මම දන්නේ නෑ.... ඇනිමේෂන් එකේ අගට යනකම්ම ගිහින් විකිපීඩියා පේජ් එකට ගියාම විස්තර බලතෑකි....

මට නම් ආස හිතුනේ ඇනිමේෂන් එකට.. හි හි





Thursday, October 11, 2012

අපේ අම්මගේ තියරි සහ මගේ සොයා ගැනීම්......

මේක ලියන්න හිතුනේ කලින් දාපු පෝස්ට් එකට ලැබුණු ප්‍රතිචාර කීපයක් නිසා.... අලුතින් අත ගහපු වැඩකුත් තියෙන නිසා ලිය ලිය ඉන්නවට වඩා වැඩ තියෙනවා නේද කියලා මගේ ඔලුව සැරින් සැරේ මට මතක් කරලා දෙන නිසා, ලියනවද කියලා කල්පනා කර කර ඉඳලා ඔන්න ඔහේ ඕනෙ කෙහෙල්මලක් කියලා ලියන්න ගත්තා....

අපේ අම්මා කේක් ෂෝප් එකක් පවත්වගෙන යනවා කියලා මම කලින් කියලා තියෙනවානේ... ඕකේ වැඩ කිරිල්ල හරි ආමාරුයි...මොකද කිව්වොත් සිල්ලර කඩයක් කරනකොට ව‌ෙග් ලොරියෙන් බඩු ටික අරගෙන කඩේ රාක්ක වල අහුරලා විකුණන එක නෙවෙයි නේ කෙරෙන්නේ... ඔක්කොම දේවල් අපිම හදන්න ඕනේ.. කේක්, අයිසින්, මල්, ඒ අස්සට පෙට්ටි..... එතකොට වෙඩින් කේක් ස්ට්‍රක්චර් වල වැඩ... පොල් කේක්...ජෙලටින් වැඩ... හපොයි...හිටපු ගමන් මහන්නත් වෙනවා... ඒ අස්සට ඕඩර් ගන්න, එදිනෙදා කේක් විකුණන්න, බැංකුවලට වෙලාවට ණය ගෙවන්න, ස්ටොක් තියා ගන්න.. එතකොට වෙඩ්න් කේක් ස්ට්‍රක්චර් හෝටෙල් වලට ගෙනිහින් සෙට් කරන එක... ඔය හැම දෙයක්ම කලේ අපේ ගෙදර හතර දෙනා තමයි.... මම ඔය වැඩේ එපා වෙනකම් ඇද්දට පස්සේ තමයි අම්මගේ කේක් ව්‍යාපාරය මල්ලිටම කරගෙන යනවනං කරපං කියලා පැත්තකට උනේ.. හි හි... මට මතකයි එක පාරක් එතකොට ට්‍රාන්ස් ඒෂියා හොටෙල් එකේ (දැං නම වෙනස්) තිබ්බ වෙඩින් එකකට අම්මයි මායි තාත්තයි තුන් දෙනා කේක් එක අරං... ..ගිහින් සෙට් කරනකම් නම ගිය මල් සැරසුම් ආයතනයකින් ඇවිත් හිටිය කීප දෙනා වැඩ ඉවර කරලා පැත්තකට වෙලා බලං හිටියා... පස්සේ මනමාලිගේ අක්කා අපිට ගොඩක් ස්තූති කලා.. ඒ වගේම කිව්ව දෙයක් තමයි... “ ඔයාලා තුන් දෙනා වැඩ කරන කොට අපි ඔක්කොම පැත්තකට වෙලා බලං හිටියේ අම්මයි තාත්තයි දුවයි මේ වගේ වැඩක් කරනකොට තියන ලස්සන බලාගෙන..“ කියලා...

හරි හරි.. ඒ කතාව නෙවෙයි කියන්න ගියේ....චූටි පහේ නයෙකුත් රිංගුවද කොහෙද අස්සෙන්..හි හි

ඉතිං මම කාලයක් උදෙන්ම ගිහින් කඩේ අරින්න සෙට් උනා... අපේ ෂොප් එකේ තියෙන්නේ අපිම හදන කෑම ජාති විතරයි... කේක්, මාෂ්මෙලොස්, රැලං,කිරිටොපි වගේ ඒවා සහ හිටපු ගමන් පොඩි පොඩි විශේෂ දේවලුත් දානවා... අල ටොපි, අර ටොපි මේ ටොපි එක්ක එක එක ජාතියේ කේක් ජාතිත් දානවා.. හැබැයි දිනපතා හදන ජාති තමයි බටර් කේක්, චොක්ලට් ‌කේක්, කොෆි ‌කේක් සහ පොල් කේක්.... අම්මා ඔය ඔක්කොම ජාති හදන්නේ ගෙදර ඉඳන් නිසා මම ඇවිල්ලා පැය දෙක තුනක් ගියාම තමයි අම්මා එන්නේ.. සමහර දවසට මම දවසම තනියෙන්.. හි හි...

ඔන්න අපේ අම්මා හිටපු ගමන් මෙහෙම කතාවක් කියනවා ඒ කාලේ....

“ අර ........ ගෑණු කෙනා උදෙන්ම ආපු දවසට එයාට අලුත් කේක් එකක් කපලා දෙනවා නම් පොඩි පෙත්තක් කපලා මුලින්ම අයින් කරන්න .....“

“ ඒ මොකෝ අම්මේ... පෙත්තක් කැපුවොත් අඩු වෙනවානේ.....“

දැං ඔය මම කියපු එක ඔයාලට තේරෙන්නත් නැතුව ඇතිනේ... මෙහෙමයි... අපේ අවන් වලට දාන තැටියකට බටර් කේක් කිලෝ 4ක් අල්ලනවා... නමුත් කඩේට එන අය අරන් යන්නේ 500, කිලෝ 1 වගේ තමයි... එතකොට අපි කේක් එක කපලා කිරලා තමයි දෙන්නේ.. ඕක ඉතිං තිතට, නූලට කැපෙනවා හරි අඩුයි.. ඒක බඩු ගන්න අයත් දන්නවා... ඒක එච්චර ගානක් නෑ.. මොකද බරටනේ ගාන හැදෙන්නේ... ටිකක් අඩු වැඩි උනාට පුරස්නයක් නෑ...

දැං මං අම්මට එහෙම කිව්වේ පෙත්තක් කැපුවොත් කිලෝ 2කින්ම ග්‍රෑම් ගානක් අඩු වෙන නිසා... ඒක ඉතිං හොඳ නෑ නේ....

අම්මා දුන්න උත්තරේ තමයි මේක.....

“ ඔය මනුස්සයා මුලින්ම ක‌ෙඩ්ට ආපු දවසට අලුත්ම කේක් එකක් කපලා දුන්නොත් ඒ කේක් එක විකිණෙන්නේ නෑ....“

ඈ.... ඒ මොන කුණුහරැපයක් ද..... මං හොල්මන් උනා...

“ පිස්සු කතා කියන්න එපා අම්මේ.... එහෙම වෙන්නේ කොහොමද... “

“ ඔයා බලන්නකෝ... ආවාම ඔක්‌කෝම කේක් ටික අතගාලා ගනං අහලා තව මොන හරි බයිලාවකුත් ගහලා අන්තිමට බටර් කේක් 250ක් හරි කප් කේක් 2ක් හරි අරං යන්නේ..... ඒක නම් කමක් නෑ.... ඒ උනාට මෙයා‌ෙග් කටවහ තියෙනවා.... “

අපේ අම්මට නම් පිස්සු තමා.... මං ඔ‌ෙහාම හිතලා කඩේට ගියා ...... ඔය ඇස්වහ කටවහ කතා මම නම් සත පහකට ගනන් ගන්නේ නෑ....

ඉතිං දවසක් වැඩ ඉවර වෙලා මම ගනන් බලනකොට වෙනදට වඩා කලෙක්ෂන් එක අඩුයි... එදා ටිකක් බිස්නස් තියෙන දවසක්... ම්ම්ම්... පොල දවසට එහෙම කට්ටිය එනවා වැඩියි... එහෙම තමා අපි අල්ලන් ඉන්නේ මේ වෙනකොට... සෙනඟ අඩුම දවසට තමයි කඩේ වහන්නෙත්... ( ඉස්සර නම් හැමදාම ඇරලා... ඕඩර් තියෙනවා නම් අරින්නම එපැයි.... අපේ අම්මත් එක්ක බෑ අප්පා ඒ දවස්වල...)

ඉතිං දැං අම්මා ඇවිත් කේක් ටික බලලා ......

ආ ඒ කතාවත් කියන්න එපැයි.... අපි හදන කේක් වලට කල් තියා ගන්න දාන ජාති මොකුත් දාන්නේ නැති නිසා ගොඩක් කල් තියා ගන්න බෑ... වැඩිම උනොත් සතියක් තියා ගත්තෑකි... ඒත් කඩේ තියෙන්නේ දවසක් නැත්තම් දෙකක් විතරයි...අද හදපු කේක් හෙට වෙනකොට විකිණිලා ඉවරයි.... දවස් දෙකකට වැඩිය තියාගන්න ඕනේ වෙන්නෙම නැති තරම්.. ඒත් එහෙම බැරි වෙලා හරි ඉතුරු උනොත් ඒවා අයින් කරන්න වෙනවා... මොනවා උනත් පරණ කේක් නම් දෙන්‌ෙන් නෑ අම්මා... අපේ කඩේ වටේට ඉන්න බලු රාළලා ටික අපේ අම්මට හරි ආදරෙයි ඉතිං.. මොකද අපිට උනත් එච්චර කේක් කෑමේ ආසාවක් තිබුනේ නෑ. උදේ ඉදලම කේක් ගොඩේ ඉඳලා... ඉතුරු වෙච්ච කේක් නැත්තම් අලුත් කේක් කෑල්ලක් හරි දෙනවා ඉතිං අම්මා හැමදාම කට්ටියට.... හි හි... අපේ ගෙදර ඉන්න වලව්වේ හාමුත් කේක් වලට පෙරේතයි....

ආයිත් පැන්නා.....

ඉතිං අම්මා ඇවිත් කේක් ටික බලලා මගෙන් ඇහුවෙ නැතැයි “ අද උදෙන්ම කඩේට ආවේ කවුද...‘ කියලා...

දැං ඉතිං කෙලියනේ තාප්පෙට.... මට තියෙන එක ලෙඩක් තමයි හැමෝගෙම මූණ මතක තිබුනට කාගේ කවුද, නම් ගම් වගේ දේවල් අමතක වෙන එක.... මම ගොඩක් වෙලාවට කරන්නේ අඳුරගත්තා වගේ ඇක්ට් කරලා පස්සේ අම්මාගෙන් අහන එක ... “ කවුද අම්මේ ඒ....? කියලා... එතකොට ඉතිං අම්මා බැන බැන විස්තර කරනවා.. ඊළඟ දවසේ මට ආයිත් අමතකයි...... හි හි

දැං ඉතිං උ‌ෙද්ම කඩේට ආපු කෙනා මතක උනත් කාගේ කවුද කියලා මම කියන්නේ කො‌ෙහාමද....?

ඉතිං මං විස්තර කරනවා..... “ අර අම්මේ මහත ඇන්ට් කෙනෙක් ඉන්නේ අර බතික් වගේ බාච්චු ගවුමක් ඇඳගෙන එන.... අර හැමදාම මොනාවා හරි විකාරයක් කියාගෙන එන්නේ... මහ ඇණයක් වෙන්නේ වෙලාවකට.... අර අනේ මේ ඉස්සරහා පාරේ ඉන්නේ.....මට මතක නෑ අප්පා කවුද කියලා.... අර හැමතිස්සෙම එන්නේ “

ඔ‌ෙහාම ඔහොම මම විස්තර කරනවා..... ඔන්න අම්මට මීටර් වෙන්නේ ටික වෙලාවකට පස්‌ෙස් තමා....

“ අර ...... ගෑණු එක්කෙනාද....“

“ ආන්න හරි... මට නම මතක නැතුව හිටියේ.....“

“ මම කිව්වා නේද එයා ආවොත් කේක් එක කපනවා නම් ටිකක් අයින් කරන්න කියලා .... කලාද...“

මලා....... මට මතක නැති උනානේ.. අනිත් එක මනුස්සයා මතක නැති එකේ මම කවුද කියලා දන්නේ නැනේ ආවත්.......

එදා අම්මගෙන් කන පැලෙන්න අහ ගත්තා... අම්මා කිව්වා වගේම ඒ කේක් කිලෝ4 න් 2යි විකිණුනේ... බල්ලන්ට රජ මඟුල්.....

එදයින් පස්සේ මම නිකම් ටෙස්ට් කරන්න වගේ ඕක මතක තියාගෙන බැලුවා .... හැබෑට මේ මනුස්සයා ආපු දවසට බිස්නස් අඩුයි...

ටික දවසකට පස්සෙ තමයි මට ‌තේරුනේ ඇයි අම්ම මේ වගේ කිව්වේ කියලා...

මේ මනුස්සයා කතා කරනකොට කතා කරන්නේ පණ දෙන්න වගේ...

“ අනේ රංජනී.... ඔයා දන් නෑ අනේ.... ඔයාගේ කේක් කන්න අපේ පුතයි මහත්තයයි හරිම කැමතියි අප්පා.. අපිට පුළුවනෑ මේවා හදන්න වියදම් කරන්න... අරං යන එක ලාබයි....“

ඔ‌ෙහාම කියලා පැය බාගයක් විතර කියෝ කියෝ ඉඳලා කේක් 250ක් අරං යනවා... අර ටික කියන්නේ හිතේ හොඳක් තියාගෙන නෙවෙයි... මූනිඡ්චාවට කතා කරනවා කියන්නේ.. අන්න එහෙම... හිත යටින් තියෙන්නේ තරහක්....

අපිට කේක් හදන්න බෑ‌ෙන්... අපි හැදුවම කවුරුවත් මෙහෙම වර්ණනා කරන්නේ නෑ නේ... අපිට කොහෙන්ද මේවා හදන්න සල්ලි...

ඔය වගේ ‌දේවල් හිතේ හංගගෙන උඩින් බොරැවට කතා කරනවා.... එහෙම කියන කෙනෙක් අපිට හොදක් හිතනවා කියලා හිතන්න බැරි නිසා අම්මට එහෙම හිතනෙවා ඇති කියලා මට හිතුනා...

ඒකට හේතුව තමන් ගැන තියෙන හීන මානය... ඕක ඕනෙ කෙනෙකුට ඇති වෙන්න පුළුවන් අමාරු කාලවලදි වගේ.... ඒත් සමහරු ඉන්නවා ජීවිත කාලෙම අනුන් ගැන ඉහලින් හිතලා තමන් පහත් කරගෙන හිතා ගෙන ඉන්න.... ඒ ව‌ෙග්ම අනුන්ට ඊරිසියා කරන.... ඒ වගේ කෙනෙක් ගේ වචන වල තියෙන නෙගටිවිටි එක ( Negativity) අපිට බලපානවා ඇති... හරියට පිරිත් වල තියෙන පොසිටිවිටි ( Positivity) එක අපිට බලපානවා වගේ.... ඔන්න ඔ‌ෙහාමයි මම ඒ කතාව තේරුම් ගත්තේ..

ඒ වගේම ඉතිං අම්මා කියපු විදියටම වැඩෙත් ඇත්ත උනා‌ෙන්.... හි හි....

කට්ටියම කියමුකෝ බලන්න මගේ අදහස ගැන ඔයාලගේ අදහසුත්....

ඔන්න... මේ තියෙන්නේ අර කිව්ව ට්‍රාන්ස් ඒෂියා එකේ වෙඩ්න් එකට හදපු කේක් එක.... මට මතක විදියට මේ කාලෙදි අපිට ලොකුවට වැඩ කරන මැෂින් එහෙම තිබුනේ නෑ.. මට මේ කේක් එක වෙනුවෙන් වෙච්ච මහන්සිය තාමත් මතක මේකට අයිසින් රෝස මල් 5000කට කිට්ටු ප්‍රමාණයක් සහ අයිසින් කොළ, ගෙඩි සහ පුංචි මල් (ෆොගෙට් මී නොට් වගේ) ලක්ෂයකට කිට්ටු ප්‍රමාණයක් හදපු නිසා.... ඒ ඔක්කොම හැදුවේ අපි කට්ටිය.. අපේ අම්මා , ආච්චි, මල්ලි, නංගි සහ මම.....

Tuesday, October 9, 2012

මැච් එක පැරදු‌නේ ඇස්වහ හින්දද....?‌

දවස් දෙක තුනක් ෆේස්බුක් එකේ තිබ්බ එකකට මේ ගැන ලියන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නකාට සෑම් ලියපු මෙන්න මේ පෝස්ට් එක කියවන්න හම්බුනා... කමෙන්ට් එකක් කොටාගෙන යද්දි හිතුනා මේක පෝස්ට් එකකටම ලිව්වනම් ඉවරයි කියලා.. මොකද ඒ තරම් දිගට ලියවුනු හින්දා...

මේ තියෙන්නේ සෑම්ගෙ පෝස්ට් එක.. ලින්ක් එකක් දැම්මට සැමා තරහා වෙන එකක් නෑ කියලා හිතනවා...

‌ගොඩක් අය මේ දවස්වල කියන දෙයක් තමයි “ලොක්කා ආවේ නැත්තම් මැච් එක දිනන්න තිබ්බා...“ කියන එක...

මට හිතුනේ විහිළුවට වගේ ඕක කියලා හිනා උනත් ඒ කතාව නම් අසාධරණයි කියලා..... මොකද ලොක්කා ආවත් නාවත් මැච් එක ගහන්නේ ටීම් එක හින්දා...

මේ ලියන්නේ ලොක්කට කඩේ යන්නවත්, සෑම් එක්ක තරහකටවත් නෙවෙයි ඕං... මේ ලියන්‌නේ අපේ මිනිස්සු ජය පරාජයෙදි හැසිරෙන විදිය ගැනයි, අපේ මිනිස්සුන්ගේ මිත්‍යා මත ගැනයි විතරයි....


ලංකාවේ ටීම් එක ෆයිනල් ගහනකොට ජනාධිපති ආවා කියලා අපේ උන්‌ගේ මොරාල් ඩවුන් වෙන්න හේතුවක් නෑ කියලා මම හිතන්නේ... ඒක මොරාල් අප් වන්න හේතුවක්.. තමන්ගේ රටේ ජනාධිපති තමන්ගේ කණ්ඩායමට වියර් කරන්න එනවා කියන එක කොයි තරම් තරහාකාරයෙක් උනත් දකින්නේ තමන්ට කරන ගෞරවයක් විදියට... අන්තගාමියෝ නම් හිතයි මොන මඟුලකට ආවද කියලා.... ඒකත් හරියට රනිල් ආවොත් රැස්වීම කුඩු වගේ... ( මතකනේ අර චේන් බ්‍රේස්ලට් කතා ඒ කාලේ...) කතාවක්.....

ඕක දිනුවනම් ඔහොම කියන එකක් නෑ කවුරුවත්.... ජනාධිපති හැටියට ඒ මනුස්සයා ඒ මනුස්සයාගේ යුතුකමක් ඉෂ්ට කලේ.. එන්නේ නැතුව හිටියනම් ඔය වගේම කට්ටියක් කියයි ... අපේ මේ මිනිහට ලංකාව, ලංකා‌වේ ‌‌සෙල්ලම් කරන ෆයිනල් මැච් එකක් වෙලත් බලන්න එන්න බැරි තරම් ඔලුව උදුම්මවගෙන කියලා......

ඔලිම්පික් වලට රැජින ආවා කියලා මුළු එංගලන්තෙම මිනිස්සු මොරාල් ඩවුන් කරගත්තේ නෑ නේ... එංගලන්තේ මිනිස්සු ගොඩක් දෙනා අකමැතියි රජ පවුල නඩත්තු කරන්නේ මහජන මුදලින් කියලා.. මතකනේ විලියම්ගේ වෙඩින් එකට කරපු වියදමට මිනිස්සු කෑ ගහපු හැටි... ඒත් ඒ ඒ රටේ ක්‍රීඩකයන්ට ඒ වෙලාවේ පුදුම හයියක් උනා රැජින ආපු එක...

ෆේස් බුක් එකේ .. අනේ ෆයිනල් එක බලන්න නම් එන්න එපා කියපු අයටත් මේකමයි මට කියන්න හිතෙන්නේ.. ජය පරාජය බාර ගන්න බැරි කමට හේතුව හැඟීම් වලට වහල් වීම.. අර දෙන්නෙක් එල්ලිලා මැරිලා තියෙන්නේ... ( එතන වෙන ප්‍රශ්නයක් නැතුව ඇති කියලා මම හිතනවා.. ඔට්ටු ඇල්ලීමක් වගේ...)

ඇත්තටම අපේ රටේ සහ ඉන්දියාව, පකිස්ථානය වගේ රටවල් වල ඕනෑම දේකදි මූලික වෙන්නේ හැඟීම් කියලයි මට හිතෙන්නේ...

ඡන්දෙකදි උනත් සාරි ටිකක් බෙදලා, පරිප්පු ටිකක් බෙදලා, කවදාවත් ඉටු වෙන්නේ නැති පොරොන්දු ටිකක් දීලා ඡන්දේ දා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ හින්දයි... ජනාධිපති ඇවිත් පොඩි එකෙක් වඩා ගත්තම අම්මලා ටික අනිත් ළමයි ටිකත් අරන් වටේට පොර කන්නේ ඒ හින්දයි.... අඩුම ගානේ මොලෙන් ඡන්දේ දෙන්න හිතන එකාගේ හිතට තට්ටුවක් දාලා ඒ ඡන්දේ කඩා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ හින්දයි...

ක්‍රීඩාවකදි දිනුම පැරදුම කියන්නේ සම්භාවිතාවය අනුව 50% 50% චාන්ස් එකක්... ඔය සම්භාවිතාවය වෙනස් කරගන්න පුළුවන් ක්‍රීඩකයන්ගේ ශක්තිය අවශ්‍ය තැනදි අවශ්‍ය විදියට තෝරා බේරා ගැනීමෙන්... එහෙම නොවුනොත් මෙදා පාර ෆයිනල් එකේ සිද්ධ වෙච්ච දේ වෙන්න ඉඩකඩ වැඩියි... මෙතනදි මොරාල් අප් කරන්න එන අය, චියර් කරන්න එන අය අතෙත් ලොකු වගකීමක් තියෙනවා...

පිට්ටනිය අපේ අයගෙන් පිරිලා තියෙන කොට ලොකු හැගීමක් දැනෙනවා හිතට ... මේ සෙල්ලම් කරන්නේ අපේ රට වෙනුවෙන්.. මේ තරම් මිනිස්සු කන්දරාවක් අපි දිහා බලං ඉන්නවා කියන හැගීම..... ඒ හැඟීම ඕනෙම පුංචි ක්‍රීඩකයෙක්ට උනත් එනවා.... ඒ වගේම ලොකු ප්‍රෙශර් එකකුත් එනවා... ඔය දෙකම දරා ගන්න ක්‍රීඩකයෙකුට පුළුවන් කම තියෙන්න ඕනේ.. ඇත්තටම අපේ ක්‍රිකට් ටීම් එක කියන්නේ අත්දැකීම් බහුල ටීම් එකක්.. එයාලට මේ වගේ දෙයක් දරා ගැනීමේ හැකියාව තියෙනවා..

හැබැයි අපේ රටේ සහ ඉන්දියාව, පකිස්ථානය වගේ රටවල ප්‍රේක්ෂකයන්ට මේ පුහුණුව තාමත් නෑ... මිනිස්සු තාමත් මැච් එකක් බලන්නේ දිනුවොත් ටීම් එකට මල් පූජ කරන්න, පැරදුනොත් උන්ගේ අම්මලගේ ගෙවල් ගිනි තියන්න තරම් ආවේගශීලීව..... අපේ රටේ ඒ තරම් මේ තත්වය නෑ.. ඒක සන්තෝසයට කරුණක්..

හැබැයි අර සාම්ප්‍රදායික මිත්‍යා මත ටික නම් ඩෝං ගාලා එනවා ඔය වෙලාවට.... ඒකත් හරියට ඇස්වහ කටවහ ගැන තියෙන විශ්වාසය වගේ තමා... හරි ගියොත් මල් හතයි.. වැරදුනොත් හත්මුතු පරම්පරාවම විනාසයි.... හි හි...

කො‌ෙහාම උනත් මේ ආසියාතික රටවල් ටික ඔක්කොම වගේ ආගමික හා සංස්කෘතික බැඳීම් වැඩි රටවල්.. ක්‍රීඩකයන්‌ෙග් හැසිරීම් වලිනුත් ඒක පේනවා.. ඔය චේන් එකේ තියෙන කුරුසේ ඉඹින එක, කඹ වගේ පිරිත් නුල් ගැට ගහන් ඉන්න එක, පිට්ටනියේ පස් නලලේ ගා ගන්න එක වගේ දේවල්....

කො‌ෙහාම උනත් ‌මේ වතාවේ අපි අනු ශූරයෝ උනා.. ඒකත් ලොකු දෙයක් මට නම්..... මොකද මට මතක කාලයක අපේ ටීම් එක හොඳ තරඟයක් දීලා පැරදුන මැච් එකක් මට මතක නැති නිසා... මෙදා පාරත් මම දැක්ක විදියට බෝලින් ඉවර වෙලා යනකොට කට්ටිය ටිකක් වැටිලා හිටියා කියලා මූණු වලින් පෙනුනා... වෙනදට මැච් එක අපිට කලින් අතාරින්නේ ටීම් එකනේ... හි හි... ඇත්තටම ක්‍රීඩාවක ලොකුම දෙයක් තමයි පැරදුනත් කමක් නෑ හොඳ තරඟයක් දීලා කියන එක..... මම හිතනවා මෙදා පාර අපේ ටීම් එක මැච් එක අතෑරියේ නෑ කියලා... අ‌පේ ක්‍රිකට් ගැන දන්න අය මීට වඩා ‌වෙනස් ‌දෙයක් හිතනවා ඇති සමහර විට...

මොක උනත් අපේ ටීම් එකේ කළමණාකාරීත්වය සහ ම්ම්ම්.... අනේ මන්දා... මම ක්‍රිකට් ගැන මහා ලොකු දේවල් නම් දන්නේ නෑ.. හැබැයි ලොක්කා ආපු නිසා මැච් එක පැරදුනා කියනවට වඩා ටීම් එකේ තිබ්බ පොඩි පොඩි අවුල් නිසා මේ මැච් එක පැරදුනා කියලා හිත හදා ගෙන ඊළඟ මැච් එකේදි මේ වගේ දෙයක් නොවෙන්න වග බලා ගත්තොත් අපිට ආයිමත් ශුරයින් වෙන්න පුළුවන්...

ඔන්න ඔහොමයි මට හිතෙන්නේ.......

Sunday, October 7, 2012

20 / 20

West Indies beat Sri Lanka by 36 runs.....

පකඩ පැකට් එකත් ඉවරයි......

ගෙනාපු රතිඤඤා ටික අවුරුද්දට වත් පත්තු කරල්ලා...

යමල්ලා.. ගිහින් නිදා ගනිල්ලා....

විස්සයි විස්ස ඉවරයි...

හෙට වැඩට යන්න ති‌යෙනවා.......



Well done West Indies....

Well done Sri Lanka......

Wednesday, October 3, 2012

ම‌ං කිරිබත් හදපු හැටි......

අද පටං ගත්තා මරු වැඩක්...

මාරයියගේ මාර සරණිය කියවන්න.... අර කවියා තමා ලෙඩේ ‌බෝ කලේ.... එයා‌ගේ සත්තලන් මේ දවසවල මාර සරණිය බලාගෙන උයනවලුනේ.. අනේ අපේ එක්කෙනාටත් ඔය ටික පෙන්නන්න පුළුවන්නම්.. කොහෙද .. මේ එක ‌කමෙන්ට් එකක් කියවගන්න කම්මැලි මිනිහා ඕක කියවයියෑ... ඒවා ඉතිං නොකෙරෙන වැඩ....

මාර සරණිය කියවන්න පටන් ගත්තම මට මුලින්ම හිතුනේ මොකද්ද දන්නවද...?

පොළව පලාගෙන, ලොකූ වලක් හාරගෙන, ඒකට බැහලා, උඩිං කොන්ක්‍රීට් තට්ටුවක් දාගෙන වැලෙලෙන්න... අනේ අම්මපා ඇත්තමයි මේ කියන්නේ...

ගෙදර ඉන්න කාලේ ඉඳලම ඉවිල්ල කියන්නේ මට ඉතිං නොකෙරෙනම වැඩක්... මොකද මම කන්නත් කම්මැලි එකේ උයන්න කොහොමත් කම්මැලියා නිසා...

අනිත් එක ඉතිං සතියේ දවස් 6ක්ම උදේ පාන්දර 5ට ගෙදරින් ගිහින් රෑ 9ට ගෙදර එන එකා වෙච්චිකොට අපේ අම්මට මට කියලා උයව ගන්න එච්චර කැමැත්තක් තිබුනේ නෑ... කොටින්ම කිව්වොත් රස්සාවට යනකම්ම රෙදි ටික හෝදලා දුන්නෙත් අම්මා තමා...

පස්සේ කාලෙක අම්මගේ කේක් ෂොප් එක දැම්මට පස්සේ නම් මට ගෙදර දොරේ වැඩ ටිකක් කරන්න සිද්ධ උනා...

කේක් කතාවත් එක්ක අම්මගේ අනිත් කෑම ගැනත් කියන්නම ඕනේ.. අපේ අම්මට නියමෙට කෑම හදන්න පුළුවන්.. විශේෂයෙන්ම බේක් කරලා හදන අනම් මනම් ජාති... ම්ම්ම්.... පේස්ට්‍රි, බිස්කට් ජාති එහෙම.. අනිත් ජාතිත් ඉතිං නරකක් කියන්න දෙයක් නෑ... හැබැයි මොකද මන්දා මගේ කෑම කැවිල්ල නම් ටිකක් අඩුයි.. ඔන්න සුදු බත් ටිකක් උයලා, මාළු ටිකක් මිරිසට හදලා, පොල් ටිකක් ගාලා ගත්තොත් නම් එදාට බෙදන බත් ටික ඉවර වෙන්න කනවා..... නැත්තම් ඉතිං පිඟාන වටේට එළවලු ටික ඉතුරුයි.... දවස් ගණන් නොකා ඉන්න පුළුවන් ඉතිං ඉස්සර... ජම්බෝ පීනට් එකක් හරි රටකජු රැපියල් 50ක විතර අරගෙන ආවම... හි හි...

කොහොම උනත් අන්තිමට මට උදේ පාන්දර 3ට කුස්සියට යන්න උනා... මම කට්ටයා නොවැ... අම්මගේ අනිත් වැඩ සියල්ලටම, ඒ කිව්වේ කේක් වැඩ, වටලප්පන්, චොක්ලට් මූස්, බිස්කට් පුඩිං වගේ අරවද මේවද හැදිල්ලට අමතරව මම ඉවිල්ල සම්බන්ධයෙන් කරන්නේ සියලුම අඩුම කුඩුම ටික කපලා අම්මට කිට්ටු කරන එක තමයි.... තුනපහ සහ දාන අනිත් ජාති ටික දාලා ලිපේ තිවිල්ල අම්මට බාරයි....

මොක උනත් මට ඔය අරුමෝසම් ජාති නම් හදාගන්න පුළුවන් උනේ ඕක හින්දා වෙන්නැති.... හි හි... ඒත් ඉතිං තාමත් ඔය ඕනෙ කරන බඩු බාහිරාදිය සම්පූර්ණ නැති නිසා ගොඩක් ශිල්ප දක්වන්න බැරි වෙලා තමා ඉන්නේ.... ( අපේ ගෙදරදි හදන ඕනේ මඟුලක් මහා පරිමාණෙන් තමා... ඉතිං පොඩ්ඩ පොඩ්ඩ හදන එකත් අමාරුයි...)

අපේ නැන්දම්මයි මාමාණ්ඩියි අපේ ගෙදර ආපු වෙලාවේ අපේ අම්මයි තාත්තයි දෙන්නම දිගෑරියා නේද මගේ ජාතකේම....

“ මෙයාට යන්තම් තේකක් හදාගන්න නම් පුළුවන්.. පොල් සම්‌බෝලයක් කොටාගන්නත් පුළුවන් අඩුම කුඩුම ටික වංගෙඩියට දාලා දුන්නම..ඒ ඇරෙන්න නම් ඉතිං උයන්න පිහන්න නම් බෑ....“

පුදුමයි අපේ මිනිහා මාව බැන්දා.....

ඔන්න එක පාරක් අම්මා පුරුදු වෙන්න කියලා මාළු පාන් හැදුවා.. එතකොට මං ඒලෙවල් ක්ලාස් එකේ... බණ්ඩාගේ ක්ලාස් එක 11ට ඉවර වෙලා ඊළඟට රොටරි එකේ සිංහල පන්තිය තියෙන්නේ හවස 3ට... ගෙදර ගිහින් එන්න වෙලාවක් නැති හින්දා අපේ සෙට් එක කරන්නේ ඔය කොහෙ හරි රවුන් ගගහා ඉන්න එක තමා... අපි දෙන්නටත් ඉතිං ඔය කොහෙ හරි යන්න කියලා හම්බුනෙත් ඔය දවස විතරයි.... ඒ දවස්වල හැමතුනම බෝම්බ කේස් නිසා වැඩි දුර යන්නත් බෑ... ඉතිං අපි දෙන්නා එදා ගියේ සත්තුවත්තට.. තුනට එන්නත් පුළුවන් නේ... අපේ මහත්තයා මට එක දවසක්වත් ක්ලාස් කට් කරන්න නම් දුන්නේ නැ...

ඔන්න අපි දෙන්නා සත්තු වත්තේ රවුම් දෙකක් තුනක් ගහලා මාළු පාන් ටික කන්න ඉද ගත්තා... මං කන්න කලින්ම අපේ එක්කෙනා ...

“ බලමු අපේ නැන්දම්මගේ මාළු පාන්... “ කියලා කන්න පටන් ගත්තා... ටික වෙලාවක් යනකොට මං දැක්කා මෙයා මගේ දිහා බලං ඉන්නවා කැත විදියට...

“ ඇ හලෝ... ඔයාලෑ අම්මා මගේ දත් ටික කඩන්න හිතලද දන් නෑ නේ මේ ටික එවුවේ....“

ඇත්තට එදා මාළු පාන් ටික ගල් වගේ හයියයි...

දැන් නම් ඉතිං කිසි ගාණක් නැතුව හදාගන්න පුළුවන්.. හි හි... ඔන්න ගෙදර ඉදිද්දි මගේ ඉවිල්ල...

ඔන්න එකපාරක් ජනවාරි පළවෙනිදාවක අපේ ගෙදර කවුරුවත් නැති දවසක් ආවා.. ඒ කිව්වේ ඔක්කොම සෙට් එක ෂොප් එකේ... මං විතරයි ගෙදර.. 31 රෑ එළිවෙනකම් කේක් එකක් හදන්න අම්මලා ෂොප් එකේ නැවතිලා... ඒ පාර අම්මා මට ෆොන් කරලා කිව්වා පුළුවන් නම් කිරිබත් ටිකක් හදන්න කියලා....

දැං ඉතිං මේ හෙට අනිද්දා කසාද බදින්න ඉන්න කෙල්ලෙක්ට කිරිබතක් හදාගන්න බෑ කියන්නේ කොහොමද... මාත් පඬියාවගේ හා කිව්වා....

ඔන්න ඉතිං අම්මා ෆොන් එකෙන්ම උපදෙස් ටිකත් දීලා හාල් කොච්චර ගන්න ඕනෙද හෙම කියලා දැං මං වැඩ පටක් ගත්තා.. දැං ඉතිං හාල් හෝදලා , ගරලා කරලා, පොල් කිරි ටික හරිගස්සගෙන ලුනු චුට්ටකුත් දාලා ලිපේ තිබ්බා.... දැන් ඉතිං හිදීගෙන එනවා... මිටිකිරි ටිකත් දැම්මා..වැඩේ හරි යන්න එපැයි... දැං ඉතිං මං මල් මල් හිනාවක් එහෙම දාගෙන බලං ඉන්නවා කිරිබත වඩන්න කෙසෙල් කොලයක් එහෙම තවාගෙන මේක බාගන්න....

මේක හිදෙන්නෙම නෑනේ... කැට එකතුවෙන පාටක් ඇත්තෙම නෑ.. තාමත් ඇට ටික වෙන් වෙන් වෙලා තියෙන්නේ.. හරි යන් නෑ වැඩේ.. දුන්නා අම්මට කෝල් එකක්..

“ අම්මේ මේක හරි යන් නෑ නේ....“

“ ඇයි මොකද උනේ....“

“ බත් ඇට ටික තාමත් වෙන් වෙලානේ තියෙන්නේ... කිරිත් ඉවරයි...“

“ මොන හාල් ද ගත්තේ...“

“ මුට්ටියේ තිබ්බ ඒවා...“

“ මුට්ටියේ තිබ්බ මොන හාල් ද ගත්තේ..“

“ සුදු හාල්...“

“ සුදු හාල් තිබුන් නෑ නේ ගෙදර... සම්බායි රතු කැකුළුයි විතරනේ තිබ්බේ.......“

මලා.... මම කිරිබත් හදලා තියෙන්නේ සම්බා වලින්.... කෙලියනේ ඉතිං...

තාමත් අපේ කට්ටිය... ඒ කිව්වේ අපේ නෑදෑ පරම්පරාව සහ අපේ මහත්තයගේ නෑදෑ පරම්පරාවේ සියලු දෙනාම අවුරුදු දවසට කෝල් කරලා අහන්නේ...

“ හා ළමයා සුභ අලුත් අවුරුද්දක් වේවා!!! මේ ඔයා මේ පාර සම්බා වලින් කිරිබත් හැදුවේ නැද්ද......“

හපොයි මට වෙන මඟුල්.. අපේ අම්මට සුදු කැකුළු හාල් ටිකක් ගෙනත් තියන්න බැරි වෙච්ච හින්දනේ මේ ඔක්කොම......

ඔය අන්තිමට තියෙන්නේ මම ගෙදර හිටපු කාලේ හදපු කේක් එකක් තමයි....




Monday, October 1, 2012

කඳුළු බිංදුවකට කරන්න පුළුවන් හරියක්.....

දෑස නිලුපුල් තෙමා
කඳුළු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬනු මල්මාලියේ.....

නිහඬ හදවත් පොතේ ලියවුනූ
සොඳුරු ගී වැලේ ඇතේ මාතැනූ
ඔබේ කඳුලැලි මා සිතේ
නිබඳ පදවැල් ඇඳේ....

පබළු මිණිමුතු නැතේ මා සතූ
කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ
තුෂර පිණි ලෙස මල් මතේ
කඳුළු කොපුලේ රැඳේ...

මට නින්ද නොයන ලෙඩක් හැදිලද කොහෙද මේ දවස්වල.... අපේ මහත්තයටත් අඟහරැ මාරැව තදට බලපාලද කොහෙද කරදර වැඩියි.. මම ඔතනට වෙලා දඟලන්න ගත්තම එයාට නිදා ගන්නත් බැරි වෙන නිසා මම සහනයක් සොයා ආවා මගේ කොම්පීතර අයියා ගාවට.... කොහෙද මෙයත් දුක හිතෙන සින්දු කියන්න පටන් අරන්නේ... දාපු ගමන් කපුගේ....

ඇයි කඳුළු මෙච්චර රසවත්..... ?

ඔන්න මට හිතිච්ච දේ.....

මොන කෙහෙල්මලක්ද... කඳුළේ මොන රසයක්ද..... ම්ම්ම් ... ලුණු රහ තමා ඉතිං.... නේද.... අනේ මන්දා .. මටත් හිතෙන පිස්සු.....

මට ඔහොම හිතුනේ මෙන්න මේ පද ටික හින්දා.....

“ඔබේ කඳුලැලි මා සිතේ
නිබඳ පදවැල් ඇඳේ....“

කෙල්ලන්ගේ හොඳම ආයුධේ ඔය කඳුලු නොවැ.. මටත් එහෙම තමා ඉතිං.....

කෙල්ලෙක්ගේ කඳුළු කොල්ලෙක්ගේ හිතේ මොනතරම් හැඟීමක් ඇති කරනවාද....?

අනුකම්පාවක්..... ආදරයක්....... සතුටක් ....... දුකක්........ආඩම්බරයක්..... ලොකු කමක්.... ආසාවක්... වින්දනයක්....ශක්තියක්..... කළකිරීමක්.....

මේ තරම් දෙයක් ඔය චූටි කඳුළු බිංදුවකට කරන්න පුළුවන්ද....?

ආදරේ කරන කොල්ලෙක්ට කෙල්ලගේ ඇස් වලින් පිටාර ගලන පුංචි කදුළු බිංදුව මහමෙරක් වගේ... ඒ කඳුළු බිංදුවේ පිරිලා තියෙන්නේ ඔය මං කියපු හැඟීම් ටික නෙවෙයිද.....?

කඳුළකට මවන්න පුළුවන් කතා සාගරයක්.... කවි පොතක්....

ආදරයක් විඳිද්දිත් කඳුළ අපි එක්ක ඉන්නවා...
ආදරය විදවද්දිත් කඳුළු අපිට තනි රකිනවා....

“නිහඬ හදවත් පොතේ ලියවුනූ
සොඳුරු ගී වැලේ ඇතේ මාතැනූ....“

සංවේදී හිතක් ඇති නිහඬ පෙම්වතෙක්, පෙම්වතියගේ කොපුල් තල දිගේ රැරා වැටෙන කඳුළු බිංදුවක් දැකලා හදවතේ ලියාගත්තු ගී වැල් කොහොම කවදා එළි කරන්නද.....

“තුෂර පිණි ලෙස මල් මතේ
කඳුළු කොපුලේ රැඳේ..“

මලක පෙති මත රැඳුනු පිනි පොදක් වගේ ආදරේ කරන කෙල්ලගේ කම්මුල් වල රැදිලා තියෙන කඳුළු බිඳක් පේන්න තරම් පෙම්වතාගේ හිතේ මොන තරම් ආදරයක් තියෙන්න ඕනේ වෙයිද......

මේ පද ටික අහද්දි මට අපේ මහත්තයා මතක් උනේ නිරායාසයෙන්.... එයා කතා කරන කෙනෙක් නෙවෙයි... ආදරෙයි කියන්න ඇරුනම ආදරේ අකුරු කරන්න එයා උත්සාහ කරන්‌ෙන් නෑ... ලියුමක් ලිව්වොත් බාගෙකට වැඩිය මට අරක කරන්න එපා මේක කරන්න එපා කියලා බැනපුවා තමා ඉතිං ඉස්සර......

මේත් ඒ වගේ පෙම්වතෙක් කියලා මට හිතුනා.... කියන්න බැරි තරම් ආදරයක් හිත ඇතුලේ පුරෝගෙන ඉන්න පෙම්වතෙක්....

මේ ටික ලියන ගමන් මට මතක් උනේ මාරයියාගේ පෝස්ට් එකකට මං දාපු කමෙන්ට් එකකට ඩූඩ් අයියයි මාරයියයි දාලා තිබුණ රිප්ලයි එකක්....

“හිරූ උඹ ඕක පිළිගන්න අකමැති වුනාට හස්බන්ඩා චික් මැග්නට් එකක්නෙ, DIY Dude නෙ. හයියෝ සල්ලි! අන්න මම ආසම බුවෙක්.“

“ඔහොම මිනිහෙක් ලබන්ට පිං කොරලා තියෙන්ට ඕන...“

මම ඒක අද එයාට පෙන්නුවාම කියවලා බලලා හිමීට මට කිස් එකක් දීලා හිනා වෙවී යන්න ගියා...

මාරයියා කියපු කතාව හරි... එයා වගේ කෙනෙක් ලබන්න පිං කරලා තියෙන්න ඕනේ තමා...

මේ පෝස්ට් එක ලිව්වේ නිකම් හිතට ආපු නිසා...


ඔය ඉන්නේ මගේ ලොකු මහත්තයා තමයි.....හි හි
( හැබැයි මේ පෝස්ට් එක නම් මම එයාට පෙන්නන් නෑ... හි හි... )

සින්දුව ලියපු කෙනා ගැන නම් මට හොයාගන්න බැරි උනා... කියන්නේ ගුණදාස කපුගේ කියලා කට්ටිය දන්නවා නේ...