Tuesday, October 23, 2012

බයිසිමොටේ සහ අපි දෙන්නගේ මොළේ....


අපේ මහත්තයගේ වහනේ ඉතිං බයිසිමොටෝව නොවැ.... මට පේන්න බැරි වාහනයක් තමයි.... ඒත් ඉතිං අතේ ඇති මුදලට අපිට දරන්න පුළුවන් එකම වාහනේ ඕක නිසා මොනවා කොරන්නද... පණ අතේ තියාගෙන ඕකේ පිටිපස්සේ යනවා....

ඕකෙන් අපි දෙන්නා යන වැඩිම දුර තමයි මහරගම ඉඳලා පාදුක්කට.... අපේ අම්මලගේ ගෙදර.. ඒකත් මම යන්නේ නොයා බැරි කමට... මොකද ටික දුරක් යනකොට මගේ කොන්ද මට මතක් කරලා දෙනවා.. යකෝ උඹට දැං වයස 28යි... කියලා... හි හි...

ඉතිං අපේ ගෙදර යනවානං දවල් වරුවේ ගිහින් වැඩක් නෑ...මොකද කට්ටියම කඩේනේ පදිංචිය..... ඒක නිසා අපි දෙන්නා යන්නේ හවස්වෙලා... රෑට කාලා එන්න බලාගෙන... මගේ වලව්වේ හාමු මාව දැක්කම ඔලුවටම පැනලා කෙල නාවනවා මදිවට, එයාගේ සුදු පාට මවිල් ගස් ම‌ෙග් ඇඟ පුරාම.. එහෙට ඇදපු ඇදුමක් ආයිත් පාරක් වෙන කොහෙවත් නං අඳින්න බෑ... හි හි.. ඒක නිසා අපි ගෙදර යන්නේ වෙන කොහෙ හරි යන්න තියෙනවනං ඒ වැඩ ඔක්කොම ඉවර කරගෙන...

ඔන්න ඔහොම අපි දවසක් මඟුල් ගේක ගියා.. බැන්දේ මගේ අයියා කෙනෙක්... ඉතිං ඕකට නොගිහිනුත් බෑ වගේම අනිත් ඒවට වගේ කන වෙලාව අල්ලලා ගිහින්, මූණ පෙන්නලා එන්න පුළුවන් කමක් තිබුණෙත් නෑ.. ඒක නිසා ඔන්න උදේ පාන්දරම ගිහින් අම්මටම කියලා අන්ඳවගෙන, කේක් හදාගෙන, ඔතාගෙන, ඕවත් උස්සන් ගිහින්, කාලා බීලා මහ රෑම ආපහු එන්න තමයි අපි දෙන්නගේ ප්ලෑන් එක උනේ.. මොකෝ අපේ මහත්තයට ඊළඟ දවසේ වැඩ....

කොහොමින් කොහොම හරි ඔක්කොම වැඩ ඉවරවෙලා අම්මලගේ ගෙදරට එනකොට 12ටත් කිට්ටුයි... දැන් ඉතිං ආපහු යන්න එපැයි... ඔන්න සීතලේ ගැහි ගැහී අපි දෙන්නා පිටත් උනා...

අර හයිවේ එක හින්දා මංචි එක හරියේ පාර පුරාම එක එක සයිස් ගල් ගොඩවල්... පාර මල් හතයි... අපි දෙන්නා ඉතිං ෂොක්ස් වලට බැන බැන තමා ඔය හරියෙන් ආවේ...

කොට්ටාව හරියට එනකොට ගියෙ නැද්ද පස්සෙ රෝදේ හුළං....

මොකද කරන්නේ කියලා කල්පනා කර කර බයිසිකලේ තල්ලු කරන් යන ගමන් තමයි අපේ රටේ මිනිස්සුන්ගේ හොඳ පැත්තක් දැක්කේ ඒ මහ රෑ උනත්... ඒකත් කියන්න එපැයි... බයිසිකල් වල ගිය කීප දෙනෙක්ම නවත්තලා ඇහුවේ .... මල්ලි පෙට්‍රල් කේස් එකක්ද... ගෙනල්ලා දෙන්නද...කියලා... ඒත් මහ රෑ කොහෙන්ද පැච් දාන්න ගරාජ් ඇරලා තියෙන්නේ.. අපේ මහත්තයා ඔහොම තල්ලු කරගෙන යනවා... ඔන්න තව බයිසිකල් එකක් අපිව පාස් කරගෙන ගිහින් ආයිත් හරවං ඇවිත් කිව්වා ... මල්ලි මහරගම ඔඩෙල් එක ගාව ගැරාජ් එකේ කට්ටිය ඉන්නවා... ගිහින් කතා කරලා බලන්න කියලා... ඔන්න ඉතිං අපි ඒකත් හිතේ තියාගෙන මහරගමටම ආවා.... අර ගැරාජ් එකත් වසා ඇත... දැං නං හොඳම ගනන්.... උදේ ඉඳන් වෙච්ච මහන්සිය මදිවට.... ඒකත් එක්ක මඟුලට ඇදපු ඇදුම්... අපේ මහත්තයගේ සුට් එක...ඔක්කොම කරගහගෙන.... දැං මං නං එන්නේ බයිසිකලේට හිතෙන් බැන බැන...

ටිකක් ඉස්සරහට එනකොට පොඩි රෑ කෑම කඩයක් ඇරලා තියෙනවා දැක්කා..ඔය වෙනකොට අපි මහරගම ජනාධිපතිය හරියටම ඇවිත්...පාන්දර 2ට විතර ඇති දැං...

ඔන්න එතන කකා හිටපු මනුස්සයෙක් කිව්වා.... මල්ලි ඉස්සරහා ලාෆ් එක ඇරලා ඇති.. හුළං ටිකක් ගහලා බලන්න.. සමහර විට ඔයාලට ටික දුරක් යන්න පුළුවන් වෙයි... කියලා....

... හරි අයියේ... කරලා බලන්නං... කියලා ආපහු ආව අපේ මහත්තයා, සද්ද නැතුව ආයිමත් බයිසිකලේ තල්ලු කරන්න පටං ගත්තා... ඔය වගේ වෙලාවට මම නං සාමාන්‍යයන් කරන්නේ කට පියාගෙනම යන එක තමයි... මොකද ඔය වාහන සබ්ජෙක්ට් එකේ මෙලෝ හසරක් මට තේරෙන්නේ නැති නිසා... ඒක නිසා ඔය කියපු දේ ගැන උනත් මම එච්චර හිතුවේ නෑ...

ටික දුරක් ගිහින් අර කඩේ නොපෙනෙන මානේ බයිසිකලේ නවත්තලා අපෙ මහත්තයා හිනා වෙන්න පටං ගත්තෙ නැද්ද...

... අපි දෙන්නා නං ගොං ගස් දෙකක්... අපි පෙට්‍රල් ෂෙඩ් කීයක් පහුකරන් ආවද.... එක තැනකවත් මතක් උනේ නෑ නේ හුළං ටිකක් ගහලා බලන්න... එක ෂෙඩ් එකකින් හුළං ගහගෙන අනිත් එකට එන්න පුළුවන් උනා නං මෙළහට අපි ගෙදර....

ඔන්න එතකොට තමයි මට තේරැණේ මොකද්ද මේ කියන්නේ කියලා... හි හි..

ඔන්න ඉතිං ලාෆ් එකෙන් හොඳට හුළං ගහගෙන ටෙස්ට් කරලා බැලුවම නං අවුලක් නෑ වගේ... ඒත් ඉතිං පොඩි අලි පැටියෙක් තරං මම බර නිසා ඕක කොච්චර ඔරොත්තු දෙයිද කියලා ෂුවර් නැති එකේ,හිමිං හිමිං ඇවිත් ගෙට දාලා නවත්තනකොටත් හුළං බිංදුවක් වත් බැහැපු නැති ගානට ටයර් එක තිබුණා....

හයියෝ... අපි දෙන්නගේ මොළේ තරම තමයි ඔය ඉතිං.... ගෙට ඇවිත් විනාඩි දෙක තුනක් යනකම් අපි දෙන්නා හිනා උනේ ඔක්කොම අමාරුකම් පැත්තක තියලා....

ඔය උඩිං තියෙන්නේ අපේ මලයා මේ පෙරේදා චන්ඩියා වගේ ගිහින් අරගෙන තියෙන එක තමයි... කට්ටිය ඕකත් එක්ක පෙට්ටියකුත් ඕඩර් කරන්න කිව්වට මට නං ‌තේරැනේ මේක අනිත් බයික් වලට වඩා පරිස්සම් වගේම බොහොම සැප පහසුයි කියලා... ( ස්පිඩ් යන්න පුළුවන් උනාට ඒ වගේ ස්පීඩ් යන්න පුළුවන් පාරවල් ලංකාවේ නෑ නේ.. ඒක නිසා ඒ ගැන බය වෙන්න දෙයක් නෑ...හි හි)

62 comments:

  1. කොට්ටාවෙ ඉදන් මහරගමට පයින් ... බයිසිකලේකුත් තල්ලු කරගෙන.. උබල දෙන්නට පිස්සුද මන්දා....

    මමනම් බයිසිකලෙ ලොක් කරල කොහෙ හරි දාලා.. ත්‍රීවීල් එකක නැගල ගෙදර යනවා.. පහුවදාට තමයි ඉතින් බයිසිකලේ ගැන හොයන්නේ...

    දවසක් නුවර යද්දිත් රෑක ඔහොම වෙලා... යන ගමන පැත්තකින් තියලා රූම් එකක් අරගෙන නිදාගත්ත.... පස්යාලෙදි

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද ඉතිං... මඟ දාලා එන්නත් බෑ ඊළඟට ආපහු ඇවිත් ගන්න විදියක් නැති නිසා... උදේට වැඩට ගියාම රෑ 10 වෙලානේ එන්නේ.... ඒක නිසා තල්ලු කරගෙනම ආවා...

      පිස්සු තද වෙලා එදා... ඒ මදිවට උදේ ඉඳන්ම මැරිලා මැරිලා.. මට වැඩිය අපේ මහත්තයා... එයාට එදා වෙඩින් දෙකක්... ඔක්කොමටම මූණ පෙන්නගෙන ආවේ උදේ ඉඳලම... මල් හතයි අප්පා..... හි හි...

      මතක් වෙනකොටත් එපා වෙනවා...

      Delete
  2. අක්කගෙ මලයගෙ වන්ඩිය නම් එළ ඈ. පෙට්ට්‍රල් ෂෙඩ් එකකුත් දාගන්න වෙයි මගේ හිතේ.

    එදා තල්ලු කලෙත් මේ වගේ එකක්ද?. එහෙනම් අපේ මහත්තය යෝධ පැටියෙක්ද කොහෙද.

    ReplyDelete
    Replies
    1. පෙට්‍රලුත් කාරෙකේ තරම් වැඩ කරනවලුනේ... අනේ මන්දා... එයාමනේ ගහන්නේ.. මට මොකෝ.. හි හි...

      අපෝ නෑ.... අපේ මහත්තයගේ අස්සයා CT100 එකක්... ඔය වගේ එකක් තිබ්බනං ඔහොම කටු අඩුයි නේ... හි හි..

      Delete
  3. -අපි දෙන්නගෙ මොළේ -
    පුදුම වෙන්න දෙයක් නෑ ,උඹලා දෙන්නට එක මොළයයිනෙ තිබිලා තියෙන්නේ .

    ReplyDelete
    Replies
    1. ඔය වගේ වෙලාවට රතූ, එක මොළයයි වැඩක් තියෙන්නේ.. මට ඕවා ගැන අත්දැකීම් වත් දැනුමක් වත් නෑනේ... ඉතිං මගේ මොළෙං නං ඕවගේ වැඩවලට සතපහක වැඩක් නෑ... හි හි...

      Delete
  4. හෝයි දෙවියනේ වෙච්චි දෙයක්..
    ඔය රෝද දෙකේ එවුවා තමයි මටත් පෙන්නන්නම බැරි... ඉස්කෝලේ යන කාලේ අවුරුදු කීයක්ද යනකං හැමදාම වගේ ඔය පරිප්පුව කෑවා.. එක්කෝ හුලන් ගිහිං, එක්කෝ පැච් එකක්, එක්කෝ පැට්‍රොල් නෑ, ඒ මොනවත් නැතත් ප්ලුග් එකේ ලෙඩක් හරි වෙලා රස්තියාදුවක් තීනවාමයි...
    වැස්සක් වැස්සොත් ඉතිං කියන්න ඕනේ නෑ නෙ.. හපෝ... :/

    ජය වේවා!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ පණු කියලා... හි හි...

      මට ඔය කටු කන්න වෙලාම නෑ.. මොකෝ අපේ ගෙදර තිබුණේ සුකූටරයක්‌නේ... පෙට්‍රල් ප්‍රශ්න එනවත් අඩුයි. හුළං ගියොත් ස්පෙයා වීල් එක තියෙනවා... ‌මේවා නං ඉතිං ලෙඩ ගොඩවල්.... එතම හොඳේ ඕනෙම කෑල්ලක් ගන්න තියෙන එකයි, ඒවා ලාබ එකයි විතරයි.... හි හි...

      හපෝ.. වැස්ස ගැන නම් කියලාම වැඩක් නෑ..... මට නං රෝද දෙක පේන්න බැරි වෙන්නේ වහින කොට තමා...

      Delete
  5. අර මොළේ නම් තිබිලා තියෙන්නෙ ඇලේද කොහෙද...ඒ උනාට මහ පාන්දර මිනිස් පුළුටක් නැති පාරක මහත්තයා බයිසිකලය තල්ලු කරගෙන යද්දී පස්සෙන් ගාට ගාට යන එකත් සැපක් තමා..කාටද ආඩම්බර.... හි හී

    ඇත්තටම හිරූ ඔය වෙලාවට සද්ද වහගෙන එනවට වඩා..." ඒයි අපි අරම කරලා බමමුද...ඒයි අපි මෙහෙම කරලා බලමුද " කියලා අහන එකත් හොඳයි වගේ. මොකද සමහර වෙලාවට පිරිමි ඇත්තන්ට ඔය පොඩි පොඩි දේවල් උනත් හරියට අමතක වෙනවනේ... :D

    ReplyDelete
    Replies
    1. අප්පා...ඒ ගැන කුමන කතාද....? හි හි...

      ඔය වගේ වෙලාවට කට පියාගෙන සිටීමේ න්‍යාය ඇඟට ගුණයි.. හැබැයි මං වචනයක් දෙකක් දාන්නේ බොහොම සීරැවෙන්... ගොනා සේ අහනවා .... මෙහෙම කරන්න බැරිද.... කියලා.. එච්චර තමා...

      මට එදා දුක හිතුනේ අපේ මහත්තයා ගැන... එයා උදේ ඉඳලම පුදුම විදියට මහන්සි වෙලා හිටියේ... කොල්ලට පණ නෑ උදේ වෙනකොට... මොනවා කරන්නද ඉතිං.. එයාම දාගන්න ලෙඩ නොවැ....

      කොට්ටාවේ අපේ අම්මලගේ මහගෙවල්... නෑයෝ සෙට් එකක්ම ඉන්නවා... එතන ඉඳලා මීටර් 200ක් ඇති... එහෙ ගිහින් දාලා යමුද කියලා ඇහුවා... එයාලට කරදර කරන්න බෑනේ මේ මහ රෑ කියලා ඒ අයිඩියා එක ලත් තැන ලොප් කළා.. ... ඒකත් ඉතිං හැබැව තමා... මොකෝ බැන්දයින් පස්සේ ඒ ගෙදරට එක පාරක්වත් ගිහින් නැතුව මේ මහ රෑ යන්න පුළුවනෑ... හි හි...

      Delete
  6. මෙන්න මම බයික් තල්ලු කග හැටි. වෙඩිමට ඇඳපු ඇඳුම් ඇඳගෙන බයික් එකත් තල්ලු කරගෙන රෑ 12ට විතර එද්දි කවුරුවත් බයඋනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. කියෙව්වා කියෙව්වා... හි හි.... ඒක නම් මාර (අ)වාසනාවක් තමා...

      අපි දෙන්නා හොඳ වෙලාවට අපේ ගෙදර ගිහින් ඇඳුම් මාරු කරගෙන ආවේ.. නැත්තම් ඉතිං විනාසයි තමා... හි හි...

      Delete
  7. ඒක නිසා අපි දෙන්නා යන්නේ හවස්වෙලා... රෑට කාලා එන්න බලාගෙන...

    මහ කපටි එකියක් මේ හිරු... කන්න බලාගෙන තමයි ගෙදර යන්නෙ... හනිච්චේ...

    පැච් ගියාම පන යනකම් තල්ලු කරන ගැටළු අපිට නෑ... අමතර රෝදයක් තියෙන එකම බයිසිමොටෝ වර්ගය භාවිතා කරන සිරා වගේ ඇත්තො ඔය වගේ වහ චාටර් සීන් වලින් ඈත් වෙලයි තියෙන්නෙ...මල්ලි උස්සගෙන ඇවිල්ලා තියෙන්නෙ බඹරෙක්නෙ (Honnet) මල්ලිට කියන්න අධික වේගෙන් යන්න එපා කියලා... ඔවැනි බයිසිකල් වල අධික වේගය නිසාම බොහෝ අය අතපය කඩාගෙන ඉන්න අන්දම මරදන්කඩවල කැඩුම් බිදුම් වෙද මහත්තයා හමු වෙන්න ගිය වෙලාවක මම දැක්කා...උන් විදින වේදනාව දැක්ක නම් 60 ට වැඩි වේගයකින් බයික් පදින්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ඉතිං බං අම්මා හදපු කෑම කන්න පුළුවන් එදාට විතරනේ... සමහර දවසට අපේ අම්මා මල්ලි අතේ බත් එකක් බැදලා එවන වෙලාවලුත් තියෙනවා... හි හි.. ඉතිං කන්න බලාගෙන තමා යන්නේ... ආයිත් මොන කතාද... හි හි..

      ස්කූටරේ අගේ ඉතිං මාත් දන්නවානේ.. අපේ ගෙදරත් තියෙන්නේ ඔය බජාජ් ස්කූටරයක්.. මම ඔයාට කිව්‌වේ...

      ‌මල්ලිගේ බයිසිකලේ සම්බන්ධයෙන් මම නම් මුකුත් කියන්නේ නෑ... ඒක තාත්තගේ වැඩක්... මොකද තාත්ත එපායෑ හරියට යන්න දන්නැති එකාට වාහන අරං නොදී ඉන්න දැනගන්න ඕනේ.... ඒක නිසා... හැබැයි දැං නං අපේ මෑන් එච්චර හයියෙන් යනවා අඩුයි.. කොහොමත් මේ පැති වල ඉතිං හයියෙන් යන්න පුළුවන් පාරවලුත් නෑනේ...

      මට නම් පෙනුනේ අපේ බයික් එකට වඩා මල්ලිගේ එක සේෆ් කියලා... අපේ බයික් පෙරලෙන, හැප්පෙන චාන්ස් වැඩියි වගේම ඩැමේජුත් වැඩියි... අරකේ එකම වැරැද්ද හයියෙන් යන්න පුළුවන්කම විතරයි....

      Delete
  8. ඔහොම වෙලාවට මංනං කරන්නේ හරි සරල දෙයක්.. ටියුබ් එකක් වැඩිම උනොත් 800ක් වෙයි යනවා රිම් එකෙන්... හැබැයි පිටිපස්සේ තව කෙනෙක් දාං යද්දීනං ඒක කරන්න අමාරුයි... තනියම ගමන් යද්දී ඔය ප්‍රශ්නේ ගැන මං ඒ හැටි හිතන්නේ නැහැ.. ඒත් ඩබලක් දාලා යද්දිනං දෙයියන්ට කියනවා ඇර වෙන මොකක් කොරන්නද..? හිතලා බලන්නකෝ ඔහොම දෙයක් අර මන්නාරං යද්දී පුත්තලම පැන්නට පස්සේ උනානං.. වැඩිය ඕන නැහැ විල්පත්තුව මැදින් විතරක් තනි කැලේ එක දිගට කිලෝ මීටර් හතළිහක් තියෙනවා.. අනිත් හරියේ කියලත් වෙනසක් නැහැ..නෝ ෂෙඩ්.. නෝ ගරාජ්.. මොනවා හරි උනානං භවතු සබ්බ මංගලං...

    බයික්වල ගමන ආතල් වගේම සෝචනීය පැත්ත තමා ඔය.. ඒත් ඉතිං අපි සැලෙයිද ඔව්වට...

    හැබැයි තව එකක්... ඔය වගේ වෙලාවට හොඳම දේ තමා හිරුවා කරලා තියෙන්නේ.. සද්ද නොකර පස්සෙන් එන එක... කිසිම විදියකින්වත් ඔය වගේ වෙලාවට අරක කරමුද මේක කරමුද කියලා උපදෙස් දෙන්න යන්න එපා.. කොහොමත් මල පැනලා ඉන්න වෙලේ එක වචනෙත් ඇති යක්ෂයා ආරූඬ වෙන්න...

    ReplyDelete
    Replies
    1. අන්තිම ටික නම් සහතික ඇත්ත මාරයා අයියේ

      Delete
    2. හි හි.. මාවත් දාගෙන රිම් එකෙන් ගියෙත් බයිසිකලේ ඉවරයි මාරයියේ... අපේ මහත්තයා විතරක් නම් කිසි අවුලක් නෑ...

      මට නං බයික් පේන්න බැරි ජාතියක් තමයි... ඒත් ඉතිං මොනවා කරන්නද.. බස් වල රස්තියාදුව ගැන හිතන කොට මේකත් සැපක්...

      කොහොමත් මම ඔය වගේ ඒවට කට පියාගෙන තමයි ඉන්නේ.. හැබැයි මාරයියේ අපේ මහත්තයට මං කියන ඒවාට කේන්ති යනවා හරි අඩුයි... මොකද මම ඕනෙ එකක් අහන්නේ එයා ලොක්කා මම මෝඩයා ගානටනේ.. ඉතිං එයා තරහා ගන්නේ නෑ... හි හි...

      ඔය වෙලාවෙ උනත් ලේසි ඔප්ෂන් එකක් තිබ්බා... අපේ අම්මලගේ කොට්ටාවේ මහගෙදරට බයික් එක දාලා අපිට එහේ බයික් එක අරං එන්න තිබ්බා.. ඒ නැතත් වාහන දෙක තුනක් එහෙ තියෙනවා.. ඒත් මම ඒක කිව්වම, අපේ මහත්තයා කැමති උනෙ නෑ එයාලට කරදර කරන්න බෑ කියලා... ඊළඟ දවසේ ඔය කතාව කිව්වට පස්සේ ඔක්කෝම බනින්න පටං ගත්තා අපි දෙන්නට.. ඇයි කෝල් එකක් වත් දුන්නේ නැත්තේ.. කට්ටියම ඇහැරගෙන නේ ඒ වෙලාවෙත් කියලා... හි හි...

      ඔව් රතූ.... ඒ වගේ වෙලාවට කට පියාගන ඉන්න එක තමා මම කරන්නේ... අනිත් එක ඉතිං මහන්සිත් වැඩියි නේ.. මොළේ වැඩ කරන්නෙත් නෑ... හි හි...

      Delete
  9. පෝස්ට් එක නම් කියෙව්වෙ නෑ... බයික් එක නම් පට්ට... :)

    ReplyDelete
    Replies
    1. සාතන් නම් පුදුමාකාර කම්මැලියෙක් වෙලා.... ඒ තරම් කම්මැලිද පෝස්ට් එක.. හි හි...

      Delete
  10. අමරණීය වැඩක් නොවැ වෙලා තියෙන්නෙ..හි..හි..!
    මොටෝ සයිකල් වල දුරගමන් හෝ විශේෂ ගමන් යනවානම්...නිතරම ටයර් හොඳතත්වයේ තබාගතයුතුමය..! අවුරුදු ගානකට මටනම් ඔවැනි දෙයක් මහමගදී වී නැත. හැබැයි ගෙදරදී උදේ බලනකොට..හුලං නැත්තටම නැතිවී තිබුනි කීපවිටක්.

    ReplyDelete
    Replies
    1. අමරණියම ආතල් වැඩක් තමයි වී.... හි හි...

      වැඩේ කියන්නේ මේ බයික් එකට ඔහොම ඒවා වෙන්නේ කරකියාගන්න දෙයක් නැති වෙලාවටමයි... එක දවසක් පැච් එකක් ගියා පෝය දවසක හොරණ ඉඳලා එද්දි... හයියෝ... හොයපන්කෝ ඉතිං ගැරුජ්.... එදත් ගොඩ දාගත්තා කොහොම හරි හැබැයි.... හි හි

      Delete
  11. අපොයි හිරු මතක් කොරන්න එපා අපිත් කොච්චර කටු කාලා ඇද්ද ඕකේ.. මට බයික් එපා උනෙත් ඔය වගේ දෙයක් වෙලා... හැබයි පුතේ මම නම් තල්ලු කරන්නේ නෑ. ඔය ගෙදරකා දාලා ටුක් ටුක් එකේ ගෙදර එනවා..

    මරු කතාව හැබයි.. රහයි...

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවේ ටුක් ටුක් ඇත්තෙත් නෑ නේ මාතලන් ... බස් එකක් වත් නෑ... ඕක මග දාලා ඇවිත් ඊළඟ දවසේ ගිහින් අරං එන්නත් බෑ... ඒක නිසා තල්ලු කරගෙනම ආවා.... පවු අප්පා අපේ මහත්තයා.. මට නං දුකේ බෑ මතක් වෙනකොටත්...

      Delete
  12. අඩේ අරක හෝනට් එකක් නේ? මල්ලිගෙ තේරීම නම් මරු. සුභ පැතුම්!

    අරක නම් මාර සීන් එක!හයියෝ අපිත් ඔහොම ක‍ටු කාලා තියෙනවා අනන්ත.

    හැබැයි හිරුවො හැම තිස්සෙම ඔහොම හුලං ගහලා ටික දුරක් යන්න පුලුවන් පංචර්ස් හැදෙන්නෙ නෑ. හුඟක් වෙලාවට හුලං ගහලා පොම්පෙ ගලවපු ගමන්ම චූස් ගාලා බහින ඒවා තමයි තියෙන්නෙ.

    අරවගෙ උදව් කරන මිනිස්සු ඉන්න එක කොච්චර දෙයක්ද නේ? අනික අච්චර කට්ටක් කාලත් ගෙදර ඇවිල්ලා හිනා වෙන්න පණ තිබ්බ එක?

    වෙලාවකට උඹ 28 ගැන කතා කරන්නෙ 82 වගෙ!

    ස්තුතියි ඩූඩ්ව මතක් කලාට!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හරි හරි.. මම මල්ලිට කියන්නම්කෝ.. මිනිහා මේ දවස් ටිකේ ඕක වටේමයි පදිංචිය... දඩිබිඩියේ ආවේ ඕක මට පෙන්නන්න, ගත්ත ගමන්... අනිත් ඔක්කෝම වාහන එළියේ තියෙද්දී ඕක ගේ ඇතුලට දානවලු.... හි හි.. ඒක නම් අපේ මහත්තයා දීපු උපදෙසක්...

      ඔව් ව්... අපෙ වෙලාවට තමා එදා එහෙම හරි ගොඩ ගියේ... අනිත් එක චූටි ඇනයක් ඇනිලා තියෙන්නේ උදේ බලනකොට.. ඇණේටම සීල් වෙලා වගේ තිබිලා...

      හිනා වෙන්න කියන්නේ ඩූඩ් අයියෙ පණ කොහොම ආවද මන්දා ඒ වෙලාවේ.... හි හි... ඇත්තට මාත් දැක්කේ එදා තමයි ඒ වගේ මිනිස්සු..

      ඔහොම නෙවෙයි... එක පාරක් අපි වෙසක් බලන්න කියලා ගිහින් එනකොට කපල් එකක් පොඩි එකෙකුත් වඩාගෙන එනවා ස්කූටි පෙප් එකක් තල්ලු කරගෙන.. ඒ පාර අපේ මහත්තයා නවත්තලා ඇහුවා මොකද කියලා.. පැච් එකක්.. පිළියන්දලට යන්න ඕනෙලු... ඒ පාර අපේ මහත්තයා ඉස්සරහා තිබ්බ දන්න ගැරාජ් එකකට ගිහින්, ඒකෙ ඇතුලේ හිටපු කට්ටියව ඇහැරවලා, කතන්දරේ කිව්වම ඒ ගොල්ලෝ බයික් එක අරං එන්න කිව්වා... හදාගෙන යනකමුත් අපේ මහත්තයා එතනට වෙලාම හිටියා... එන ගමන් මාත් එක්ක කියනවා.. ඒ වැඩේ හරි ගියේ තැන්තම් එයා හිතං හිටියේ ඒ බයික් එක අපේ ගෙදර දාලා අපේ බයික් එක ඇරං යන්න කියලා කියන්නලු හිටියේ... එහෙම උදවු කරනවලු ගොඩක් බයික් කාරයො.. මොකෝ හැම එකාම එක පාරක් හරි ඔය කට්ට කාලා තියෙන නිසා...

      බැන්දට පස්සෙ වයසට යනවා ඉක්මණ්වෙලා කියලා හිතෙනවා ඩූඩ් අයියේ.. ඒකයි.. හි හි.. ඉතිං ඔයාගේ අර පෙරේත බලු පැටියනේ මේ කතාව ලියන්න මතක් කළේ... මතක් නොකර කොහොමද.... හි හි...

      Delete
  13. හික් හික් හික්... එලකිරි.. එදාට පස්සේ වත් හිතුනේ නැති එකනෙව පුදුමේ තමුන් ලඟ තියෙන එහෙත් වැඩට නොගන්න සම්පත් ප්‍රමාණය අති විශාල බව.

    ReplyDelete
    Replies
    1. හි හි... මටත් පුදුමේ අපේ මහත්තයට ඒක මතක් නොවුන එක ගැන තමා සරා අයියේ...

      Delete
  14. සමාවන්න.ඔයාලා දෙන්නගේ කමිට් දෙක දැක්කම මට පුදුම හිතුනා.ඒත් මම ඒ ගීතය විචාරය කළෙ පාසල් ළමයෙකුට ඒ වගේ හැඟිමක් එන එක ගැන අපි සතුටු වන්න ඕන කිනන තැනෙ සිට.එත් ?

    ReplyDelete
    Replies
    1. ගයානි කලබල වෙන්න එපා... ගොසිප් සයිට් එක උනත් ඒ තරමටම විශ්වාසනීය නෑ.. ඒත් ඉදිරිපත් කරලා තියෙන ෆොටෝ එක නම් ඇත්ත වෙන්නත් පුළුවන්... ඇනේ මන්දා... බලන්න.. කී දෙනෙක් ඔය ගැන ආසාවෙන් කතා කරලා තියෙනවද කියලා.... මේ ළමයින්ට අවංක වෙන්න උගන්නන්න ක්‍රමයක් නැද්ද ඉස්කෝලවල....

      අද අවිදින් නුඹ යන විට .. තුටු කදුලක් තබා යන්න....


      ආදරය කලාට දඬුවම!

      Delete
    2. මම එක වෙනස් කරලා දානවා

      Delete
  15. අපොයි මුදල්! මාර කස්ටක් නේ කාල තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. පවසා වැඩක් නැත... හි හි...

      Delete
  16. අක්කේ ඔය හොනට් එකක් නේද?
    කීයක් වුනාද දන්නේ නැහැ නේද?

    හොඳ වෙලාවට තමා කට වහන් ආවේ.මොනා හරි කියලා අයියට මල පැන්නා නම් එහෙම එවෙලේ.මට නම් ඔය වගේ වෙලාවට පාරේ යන උන් එක්කත් මල පනියි.

    ReplyDelete
    Replies
    1. ඒකක් තමා... සෙකන්ඩ් හෑන්ඩ් එකක්ලුනේ.. 4ක් ද කොහෙද උනා කියලා තමා කිව්වේ... සල්ලි හදිස්සියක් වෙලා විකුණලා තියෙන්නේ....

      හි හි.. මගේ මොළේ වඩ කලෙ නෑ ඒ වෙලාවේ.. ඒකයි කට පියාගෙන ආවේ.. අනිත් එක දුකේ බෑ අපේ මහත්තයා ගැන...

      Delete
  17. හච්චෝ පිස්සුම තමා අප්පා..කොහොමත් මම දන්නවනේ ඔයාට සුට්ටක් බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් :) :)

    ReplyDelete
    Replies
    1. එදා නං අපි දෙන්නටම... හි හි

      Delete
  18. හෆ්ෆේ.. අර කඩේ මනුස්සයගේ ටිකිරි මොලේ නොතිබෙන්න මේ ජෝඩුව බයික් එක ගෙදට්ටම තල්ලු කරනවා..

    ඒ අපේ ගෙවල් හරියේ තාම ගල් ගොඩවල්ද අනේ.. එතකොට හිරූ අක්ක ඉන්නේ අපේ ඒරියා එකෙමනේ.. මම මංච් එක ලගනේ.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා..ඕක කලින් මතක් උනා නං කිසි අවුලක් නෑ.. මඟ දිගට ‌ෂෙඩ් කීපයක්ම තියෙනවනේ...

      හෝමගම පැත්තට වෙන්න ඒ දවස්වල කම්ප්ලීට් කරනවා... තැන් තැන වල පොඩි ගල් ගොඩවල් තිබ්බා.. අනිත් එක තාම කටුනායකින් එක පැත්ත හදනවනේ.. දැං නං වාහන යන්නේ උඩින් ඒ හරියේ... යට පාර හදනවා...

      අපේ අම්මගේ මහ ගෙවල් කොට්ටාවේ මල්ලි... ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එක ගාවම.. හි හි.. මම අහන්න හිටියේ.. ඔයා වැරදිලාවත් කොට්ටාවේ ධර්මපාලෙට ගියේ නෑ නේද...

      Delete
  19. හැබෑට පුදුමයි මිනිස්සු නතර වෙලා කතා කලා.:D

    කරදරයකදි මිනිස්සුන්ට කරන්ට අමතක වෙන්නේ පුංචිම දේ තමයි. ඒ කීවේ ඔය හුලං ගහනවා වගේ දේවල්...:)

    ReplyDelete
    Replies
    1. ඒක තමයි පොඩ්ඩි.. මටත් පුදුම හිතුනා.. ඒත් අපේ මහත්තයා කිව්‌වේ ගොඩක් බයික්කාරයෝ එහෙම වෙලාවට උදවු කරනවා කියලා...

      ඔව් අප්පා... ඔච්චර ෂෙඩ් පහු කරන් ආවා ..ඕක මතක් උන් නෑ නේ...

      Delete
  20. අම්මප ඔය වගේ වේලාවට මොලේ බයිසිකලේටම යට වෙනවා තමයි. එකක් කියන්න ඕන ඔය වගේ නහර වෙලාවක හිරු කටයුතු කරන ආකාරය ඇත්තෙන්ම ප්‍රසංසනීයයි. අර පින්තූරේ තියෙන්නේ ප්‍රදර්ශනේකට තියල තියෙන එකක්ද බොල.. පාරක් තොටක් පේන්නවත් නැ..

    ReplyDelete
    Replies
    1. හි හි.. කොහොමත් ඒ වෙලාවේ මොනාවත් කියන්න පණක් තිබ්බෙත් නෑ ඉතිං ඕනේ උනත්... උදේ ඉදං අර සාරියක් පටලෝගෙන ඉඳලා මට එපා වෙලා තිබ්බේ...

      ඔය රෑට ගේ ඇතුළට දාලා ගත්ත ෆොටෝ එකක් නේ... මට එදා ආපු වෙලාවේ ෆොටෝ එකක් ගන්න බැරි උනා.. ඌ ආවේ මහ වැස්සේ... හි හි..

      Delete
  21. උඩ තියෙන්නේ මාර භාන්ඩයක්නේ මේකෙ පිටිපස්සේ ඔයා යනකොට අපේ මහත්තටම මාර සැප ඇති හලෝ...

    ReplyDelete
    Replies
    1. ඕක අපේ මල්ලිගේ නලීන් අයි‌යේ... මෙයා පෝස්ට් එක කියෝලා නෑ වගේ... හි හි...

      අපේ මහත්තයගේ අස්සයා CT100 එකක් නේ...

      Delete
  22. කතාව නම් මරු!ඒත් ඉතින් කාට උනත් ඒ වගෙ ඇබැද්දියක් උනාම සතුටු වෙන්න හොද නෑනේ!
    :(

    ReplyDelete
    Replies
    1. සතුටු තමා.. අපි දෙන්නගේ හොඳ පණ ගිහින් ගෙදරට එන‌කොට.. හි හි....

      Delete
  23. Replies
    1. ඉහි ඉහි ඉහි.. ඇඬෙනවා අප්පා මතක් වෙනකොටත්...

      Delete
  24. දෙනා නම් කොහොඹ ගහට කරවිල වල ගියාවාගේ .. සොරි සොරි.. ඒක කපන්න.. ජාඩියට මුඩිය වගේ කැපෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අප්පා බැන්දේ.. හි හි.....

      Delete
  25. අක්කේ මතකද බයික් නිසා මට උන සන්හදිය. අනේ මම අපේ මනියට නොවඳින වැඳුම් වඳිනවා මට බයික් එකක් ගන්න පර්මිෂන් දෙන්න කියලා කොහෙද මේ පොඩි එකී දෙන්නෙම නැහැනේ. කොඉ වාහනේ තිබුනත් මට බයික් එක තරම් කික් එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. උඹට තියෙන විසේට නං බයික් ඕනෙම නෑ... අනිත් එක වහනේ හෑන්ඩ් ‌බ්රේක් දන්නෙ නැති එකා බයික් එකේ කොහෙම යයිද.... හි හි...

      Delete
  26. ඒකෙනුත් ඉ‍ගෙනගත්තා අලුත් පාඩමක්.....

    ReplyDelete
    Replies
    1. හි හි .. ඒ මොකද්ද සුමිත් අයියේ....

      Delete
  27. අපරාදේ කියන්න බෑ නියම මොල දෙකක් තාමත් බ්‍රෑන්ඩ් නිව්. කිසිම දේකට පාවිච්චි නොකරන නිසා පරිස්සමින් තියාගන්න.

    ඔය ඒරියා එකේ මමත් අවුරුදු 10 ක් විතර හිටියා..ඒ හින්දා එය ගහක් ගලක් ගානෙම දන්නවා. අනික බයවෙන්න දෙයක් නෑ හයිලෙවල් පාර රෑටත් දවල් වගේ. නිතරම වාහන යන එන පාරනේ.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ.. ඔය වෙලාවට වැදගත් වෙන්නේ එයාගේ මොළේ විතරයි.. මගේ මොළෙන් නම් සත පහක වැඩක් නෑ... හි හි...

      ඉරිදා රෑ නිසාද කොහෙද වාහන නං තිබුනෙම නැති ගනන් එදා... ඒත් බයක් නං තිබුණෙ නෑ....

      Delete
  28. අනේ පව්.....කොහොම උනත් මාර මොල දෙකක් නේ.....මට මැවිලා පෙනුනා.
    මම අද තමා මේ පැත්තේ අවේ.මම අළුත් කෙනෙක් බ්ලොග් ලෝකයට...

    ReplyDelete
    Replies
    1. ඔන්න මාත් ඔයාව බලලා ආවා.. හි හි..

      අපි දෙන්නගෙ මොළ ගැන නං ඉතිං කියලා වැඩක් නෑ.... හි හි

      Delete
  29. රෝද දෙකට මාත් බයයි... අයියා කෙනෙක් එක්ක ඕකෙ පිටිපස්සේ ගිහින්, හරක් රංචුවක් අතරින් එයා වැඩ දාල ගන්නකොට, හරකෙක්ගේ හොම්බ මගේ කකුලේ වැදිලා මම බිම... අයියා, මම වැටුන බව දන්නෙම නැතුව ඇරලා ගියා... තව පොඩ්ඩෙන් කතාවක් හැදෙන්න තිබ්බා බයික් එකෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ කියලා, හැබැයි හරක් ටික මොලේ පාවිච්චි කරලා උන් ගැන තව කතාවක් හැදෙන්න දුන්නේ නෑ. අපේ අක්ක නම් පස්සෙ කිව්වා තව හරකෙකුට අනින එක හරි නෑ කියලා උංට හිතෙන්න ඇතිලු, විශේෂයෙන් වැටිච්ච එකෙකුට... මං ඇහුව හරකගෙ අක්කට මොකද්ද කියන්නෙ කියලා, ඔන්න එතකොට එයා සද්දෙ වහගත්තා.

    කොහොමත් ඔය වගේ දේවල් උනාම පොඩි පොඩි වයර් මාරුවීම් වෙනවා... අහලා ඇතිනේ අර කාර් එකක එක රෝදෙක නට් හතරම බෝක්කුවක් ඇතුලට වැටිච්ච කතාව...

    ඔය වගේ පොඩි මෝඩකමක්වත් කලේ නැත්තම් ජීවිතේ හරිම බෝරිං... තමන්ගේ මෝඩකම් වලට හිනාවෙන්න පුළුවං එකත් ලොකු දෙයක්....

    ReplyDelete
    Replies
    1. හරි ඉතිං.. බොරුවක් යෑ අහලා තියෙන්‌නේ.... අක්කට කට උත්තර නැති උන එක පුදුමයක් නෙවෙයි....

      ඔය වෙලාවේ නං වයර් මාරු වෙලා නෙවෙයි තිසර ස්විච් ඕෆ් වෙලා තිබුණේ..... ඒ තරම් මහන්සියි..

      ඔව් අප්පා.. නැත්තම් මොනවා මතක් කරලා හිනා වෙන්නද වයසට ගිය කාලෙක.. නේද... හි හි..

      Delete
  30. ඔය වෙලාවට ගෑනු උදවිය කට පියාන එනවනම් තමා වැඩියෙන්ම හොඳ. :)

    ReplyDelete
    Replies
    1. හා හා.... එහෙනං ඉතිං මධුත් හොයා ගන්නකෝ ඒ වගේ එක්කෙනෙක්... හි හි...

      Delete