Monday, June 28, 2010

පොඩි ෂොට් එකක් දැම්මා.... නැත්තම් මගුලකට ගිහින් වැඩක් නෑ නේ.......

මේ දවස් වල අපේ ගෙදර උදේට තේ එක බොන ගමන් පටන් ගන්න කතන්දර කීම සමහර වෙලාවට ඉවර වෙන්නෙ අලි වලියක් දාගෙන.... හේතුව කතාවෙ මාතෘකාව මත්පැන් පානය වීම...

අපේ තාත්තත් අමද්‍යප මූණ දාගෙන හිටියට හිටපු ගමන් දෙතුන් දෙනා සෙට් වෙලා පාටි දාන වෙලාවට හොදට බොනවා.... ගෙදර පාර්ලිමේන්තුවේ කතානායකයි, අණ්ඩුපක්ෂ නායකයි, සුළු පක්ෂ ඔක්කොමයි ( ඒ කිව්වේ අම්මයි මායි අපේ මල්ලියි....) ඕකට විරුද්ධයි....

අද උදේ මාතෘකාව මගුල් ගෙවල් වල මත්පැන් බොන්න දෙන එන නවත්තන්න ඕනෙ කියන එක... ( ඕක ඇවිල්ලා ගෙයි උළු උඩ යන විදියෙ මාතෘකාවක්... ඒක නිසා ටිකක් පරිස්සමින් ඇදලා ගන්න ඕනේ... හේතුව අපෙත් මගුලක් ළග එන නිසා ).... ආණ්ඩු පක්ෂේ... ( ඒ කිව්වෙ අපි තුන් දෙනා...) සම්පූර්ණයෙන් විරුද්ධයි බොන්න දෙන එකට... හැබැයි හැමදාම හණ මිටිය කරේ තියාගෙන ඉන්න විපක්ෂෙ ( ඒ කිව්වේ අපේ තාත්තා..) තනියම... (මල්ලිත් අපේ පැත්තෙ නේ... ) විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා බොන්න දෙන් නැත්තම් ඒයා එන්නේ නෑ කියලා මගුලට....

මේක මාර වැඩක් තමයි....

අන්තිමට මං තාත්තගෙන් ඇහුවා... " ඇයි තාත්තේ ඇත්තටම පිරිමි ඔය තරම් අමාරුවෙන් සල්ලි වියදම් කරගෙන මූණ ඇඹුල් කරගෙන, ඕවා බිව්වම ලෙඩ වෙනවා කියලා දැනගෙනම, තිත්ත කසායකට වඩා තිත්ත, අරක්කු බොන්නේ..." කියලා...

ඔය පිරිමි ළමයි කාටවත් තියෙනව ද දන්නෑ නේද මේකට උත්තරයක්... මොකද අපේ තාත්තා නම් දුන්නේ හරි පරණ මෝඩ උත්තරයක්... " මගේ යාලුවො ඔක්කොම බොන එවුන්... ඉතිං මං විතරක් කොහොම ද නොබී ඉන්නේ..." ( පිරිමි මහ මෝඩ ජාතියක්... )

තාත්‍තගෙ උත්තරේ පැත්තකින් තියමුකෝ... ඒ වෙලාවෙ මට මෙහෙම හිතුනා...

" පිරිමි අරක්කු ‍බොන්නේ ඕපදූප කියවන්න හිතට ධෛර්යය ගන්න... මොකද පිරිමි කියන්නේ හරිම හිත දුර්වල ජාතියක්...."

දැං මං මෙහෙම කිව්වම කට්ටියම කඩු පොලු හොයන්න යන්න කලින් මම එහෙම කියන්න හේතුව අහගන්නකෝ...

ඉස්සර සමාජයේ කතාවක් තිබුනා... ගෑණු ළිද ගාවට ගියාම තමා ඕපදුප සංගමේ පටන් ගන්නේ කියලා... තවත් කතාවක් තියෙනවා ගෑණු තමා ඕපදූප හොයන්න පුරුදු වෙලා තියෙන්නේ කියලා...

ඒත් මං හිතන විදියට අපේ සමාජයේ වැඩිපුරම ඕපදූප හොයන්නේ පිරිමි තමයි... ඒ වගේම නරකම විදියේ ඕපදූප හොයා ගන්නෙත් පිරිමි තමයි...

ගෑණු ඕපදූප කියන්නේ සහ අහන්නේ බොහෝ දුරට හොද සිහියෙන්... හැබැයි පිරිමි ඕපදූප අහන්නේ සහ කියන්නේ අවසිහියෙන්... ඕක තමා මම දකින ලොකුම වැරැද්ද...

ඔය ගොඩක් වෙලාවට බොන අය කියනවා නේද " උගේ පපුව ඇතුලේ තිබුණ කුණු ඔක්කොම එළියට ආවේ ෂොට් දෙකක් තුනක් වැදුනට පස්සේ තමයි.. " කියලා...

හැබැයි ෂොට් දෙක තුනක් වැදුනට පස්සේ ගෙදර ගෑණිගේ දරුවන්ගේ අතර තියෙන ප්‍රශ්න ඔක්කොම තැන නොතැන නොබලා කියලා දාන ඒකේ වැරැද්ද තේරෙන්නේ හොද සිහිය ආවට පස්සේ... හැබැයි එතකොට අස්සයා පැනලා ගිහින් ඉවරයි... මොකද ඊළගට ඒ කතාව යන්නේ අහගෙන හිටපු අයගේ ගෙදර උන්දැලගේ කනට නොවැ.... හික් හික්...

දැං කියන්නකෝ.. "පිස්සුද මම බොන්නේ මගේ ප්‍රාණ සම මිත්‍රයෝ ටිකත් එක්ක විතරයි කියලා... හැබැයි ප්‍රාණ සම මිත්‍රයෝ අතර දේවදත්තලත් ඉන්න බව තේරෙන්නේ මොනවා හරි වැරදුනාට පස්සේ ගෙදර උන්දැගෙන් කන් අඩි පැලෙන්න අහගන්නකොට තමා... (අපේ තාත්තටත් මේ ළග දි දවසක් ඔය වගේ වැඩක් උනා... එයා අහගන්නේ අම්මගෙන් විතරක් නෙවෙයි .. අපි දෙන්නත් හැංගිලා ඉදගෙන අම්ම‍ට සපෝට් එක දෙනවා... )

ඒක නිසයි මම කියන්නේ පිරිමි කියන්නේ හරිම හිත දුර්වල ජාතියක් කියලා... ගෑණු හිතට දරා ගන්න බැරි දෙයක් උනාම අඩන්න හිත හදා ගන්නවා... ඒත් පිරිමි හිත තද කරගන්න උත්සාහ කරනවා.. ඒත් ඒක දරා ගන්න බැරි උනාම අඩන්න තියෙන ලැජ්ජාවට මත්පැන් බොනවා.. ඊට පස්සේ අඩන්න පුළුවන්...කියවන්න පුළුවන්... ඇයි වෙරි මතින් නේ අඩන්නේ.. කියවන්නේ... එතකොට ලැජ්ජාවක් නැ නේ....

හ්ම්ම්.. මේක මට හිතුන දෙයක් විතරයි... ‍ඕගොල්ලන්ටත් කියන්න දෙයක් තියෙනව නම් කියන්න මේකේ ඕනෙ තරම් ඉඩ තියෙනවා.... හි හි හි.............

දැං නං නිදා ගන්න වෙලාව පහුවෙලා පැය දෙකක් විතර ගිහිල්ලා... හෙට උදේ පාන්දර නැගිටින්නත් ඕනේ... එහෙනම් හැමෝටම සුභ රාත්‍රියක්.....

හිරු..............

Saturday, June 26, 2010

මගේ පළවෙනි පෝස්ට් එක....

හිරැ නැති හෝරාවේ පළවෙනි කතන්දරේ පළ කරන්න මෙච්චර කල් ගත වෙයි කියලා මම හිතුවෙම නැ නොවැ... මොනවා කරන්නද..... වැඩක් තරන්න ගත්තම හරියට බාල්දි පෙරලෙනවනේ... මේ දවස් ටිකේ බාල්දි විතරයි ජීවිතේ... ඒ කතාව පැත්තකින් තියලා අපි හා හා පුරා කියලා කතාවට බහිමුකෝ...

මුලින් ම මා ගැන යමක් කියලම පටන් ගත්තොත් හොදයි කියලා හිතුන නිසා මම මෙහෙම පටන් ගන්නම්..

හිරු කියන්නේ බිලොග් ජීවිතේට මොහොම ආධුනිකයෙක්.... අවුරුද්දක් විතර තිස්සේ ඉදන් මම සිංහල ‍බ්ලොග් කියවන්න පුරුදු උනා.... බොහොම සීමිත පුමාණයක්... ඒකට හේතුව තමා මේ කවදත් හරහට හිටින වෙලාව නැති කම....

නොහොම නමුත් මොන දේ හරි පටන් ගැනීමක් තියෙන්න එපැයි... ඒක නිසා ඔන්න මම මොහොම අමාරුවෙන් වෙලාව හොයාගෙන ( ඒ කිව්වේ නිදා ගන්න වෙලාවෙන් ටිකක් කැප කරලා ) ... වැඩක් පටන් ගත්තා..

මේ බ්ලොග් එකට අරමුණක් නැ... හරියටම මට වගේම... ඉදිරියට මේකේ මොනවා ලියවෙයිද කියලා නම් කියන්න බෑ මට... ඒක නිසා බොහොම හරබර කවි පද , සී පද , කතන්දර , විවේචන මේකේ ලියවෙයි කියලා පොරොන්දු වෙන්න බෑ .. ඒ වගේම ඔය කියාපුවා නොලියවෙයි ද කියලත් මට සහතික වෙන්න බෑ... ඒක නිසා ඔන්න මම හා හා පුරා කියලා හිරු ගේ හිරු නැති ‍හෝරාව ආරම්භ කළා....