Friday, March 29, 2013

කෞතුකාගාරේ.........



කෞතුකාගාරේ පඩිපෙළක් කඩං වැටිලා ඉස්කෝලේ ළමයි 30කට ආසන්න ගණනක් තුවාල වෙලාලු... මාස ගාණකට කලින් කෞතුකාගාරේ තිබ්බ පැරණි බඩු වගයක් අතුරුදහන් උනා කට්ටියට මතකයි නේ... මේ නිවුස් එක ඊයේ රෑ දැක්ක ගමන් මට පොඩි සර්ච් එකක් දාන්න හිතුනා... 

නෑ නෑ නෙට් එකේ ඒ කතාව හොයන්න බෑ... ඔයාලා තමයි කියන්න ඕනේ.... 

මොකද්ද දන්නවද... 

ඔය කෞතුකාගාරේ පාලනය තියෙන්නේ කවුරු අතේද...? කෞතුකාගාරේ තියෙන ඉඩම කොච්චර වටිනවද... ? ඕක ඔතනින් අයින් කරලා ඔය ඉඩකඩ මොන වගේ දේකට යෙදෙව්වොත් ප්‍රයෝජනවත් වෙයිද....?

මොකද මට නම් දැන් හිතෙන්නේ කෞතුකාගාරේ ඔතන තිබ්බ වාසනාවන්ත කාලේ ඉවර වේගෙන එනවා කියලා.... 

සමහර විට ඒකත් ඈත පලාතකට යන්න ලෑස්ති වෙනවා ඇති... ඒ කිව්වේ වටිනා කියන බඩු ටික එක එක දේශපාලකයන්ගේ සහ හෙන්චංයියන්ගේ සාලේ වීදුරු අල්මාරි වල ප්‍රදර්ශනය වෙද්දී, වටිනා කියන චිත්‍ර ටික බිත්ති වල එල්ලෙද්දී, මුදල්මය වටිනාකම් තියෙන ඒවා බැංකු සුරැකුම් පෙට්ටිවල රැඳෙද්දී, අපේ දේශපාලකයන්ට වැඩකට නැති අම්බලන්ගොඩ රෑකඩ ටිකයි, අර නිල් තල්මහගේ ඇටසැකිල්ලයි, එළියේ තියෙන ඔරුවයි, ( ඒක බේරන්නෙත් නැති වෙයි....  කාගේ හරි ගාඩ්න් ඩෙකරේෂන් එකක් විදියට යයි) පොත් පත් ටිකයි විතරක් කොහේ හරි කැලෑවක ඇටෙවයි....

අවුරදු 140කට කිට්ටු කාලයක් පැරණි පඩිපෙලක් කියන්නේ වටින වස්තුවක්... පැරණිකම සහ ඒ හා සම්බන්ධ කතා නිසා... කොහොමත් කෞතුකාගාරය කියන්නේ ජාතික වස්තුවක් තමයි.... ඒකට තියෙන සැලකිල්ල මෙහෙම නම් අපේ රටේ ආනාගත පරම්පරාවට ඉතුරු වෙන දේවල් ගැන යහපත් බලාපොරොත්තු ටික බල්ලට දාන එක හොඳයි කියලා මම හිතනවා.... 

මේක ලිව්වේ හිතේ තියෙන ආවේගෙත් එක්ක... අපි මොන තරම් දැනුමක් ඔය කෞතුකාගාරෙන් ගත්තද.... ? ඉස්කෝලෙන් එක්කන් ගියේ එකපාරක් උනත් චිත්‍ර කරන කාලේ හිටියේ ඕකේ පදිංචි වෙලා.. අර පඩිපෙල නඟිනකොට බිත්තියේ ගහලා තියෙන වෙස් මූණු ටිකේ ඉඳලා, හැමෝටම යන්න දෙන්නේ නැති තැනක තියෙන අවලෝකිතේෂ්වර පිළිමේ පවා චිත්‍රයට නැඟුවා... 

දැන් අම්මලා යවයිද ළමයි මේ වෙච්ච දේට පස්සේ කෞතුකාගාරෙට....? 

කොච්චර දුර පළාත් වලින්, යාපනෙන්, ත්‍රිකුණාමලෙන් ළමයි එනවද මේ කොළඹ තියෙන කෞතුකාගාරේ, කලා භවන, විහාමහාදේවී පාක් එක, සත්තු වත්ත බලන්න... ඒ කාලේ අපිට ට්‍රිප් එකක් යන්න හම්බුනේ නෑ යුද්ධෙ නිසා.. දැන් ඉන්න උන්ටවත් ඒ වාසනාව තියෙනවනේ කියලා හිතලා සතුටු උනත් මට නම් දැන් විශ්වාසයක් නෑ තව අවුරදු කීපයක් යනකොට ළමයින්ට ගිහින් බලන්න තැනක් ඉතුරු වෙලා තියෙයි කියලා... 

Wednesday, March 27, 2013

සෙල්ලම් බඩුයි, මායි.....


කාලෙකින් මුකුත්ම ලියන්නේ නැතුව බ්ලොග් කියවන්නෙත් නැතුව හිටියා කම්මැලිකමට... ඒ මදිවට අපි දෙන්නම හෙම්බිරිස්සා උණ හැදිලා හිටියා නේ... ලෙඩේ ගෙනාවේ අපේ මහත්තයා.. දැන් මට තෑගි දීලා... මං දැන් දුකසේ ඉන්නවා කැහැ කැහැ, වැල්මිලික්ස් බිබී..... හි හි.... 

ඊයේ පෙරේදා යන්තම් උඩින් පල්ලෙන් බ්ලොග් දිහා බලාගෙන යද්දී අහුවෙච්ච දෙයක් හින්දා ඔන්නොහෙ අමාරුවෙන් හරි මේක ලියලා දානව කියලා හිතා ගත්තා... මොකද නැත්තම් මට මේක අමතක වෙනවා.... ( අද උදේ මතක තියාගෙන හිටියා තව දෙයක් ලියනවා කියලා.. දැන් මට ඒ මොකද්ද මතක නෑ... හි හි) 

ඒ තමයි සෙල්ලම් බඩු පොළොවේ ගහන පොඩි එකා ඇත්තටම මොන වගේ වෙයිද...? කියලා සංවේදී බ්ලොග් එකේ ලියවුන සටහන... ඒ සටහනේදි මට යම් දෙයක් මතක් උන නිසා මේ ලියන්න හදන්නේ ඒ ගැන.... මේක ටිකක් නයි ඇරීමක් වගේත් කියලා හිතුනොත් ඔන්නොහෙ ගනං ගන්න එපා... හි හි... 

අපි දෙන්නා බැන්ඳ අලුත අපේ මාමලගේ ගෙදර බර්ත්ඩේ පාටියක් තිබ්බා... තාත්තගෙයි, පුතාගෙයි, ආච්චිගෙයි තුන් දෙනාගෙම උපන් දින එකට... කොහොමත් අපේ අම්මලගේ නෑයන්ගේ ගෙවල් වල පාටි කියන්නේ අපි කන්න හදාගෙන යන්න ඕනේ පාටි තමයි...හි හි...  ඔය පාටි වලට මූලික හේතුව තමයි කට්ටිය එක තැනකට එකතු වෙලා පොඩ්ඩක් පිස්සු නටන එක... තාත්තලා කවුරුවත් බොන අය නැති නිසා, ඒ කිව්වේ අපේ තාත්තා ඇර... එයත් එහෙම තැනකදි නම් බොන්නේ නෑ..., ඒ වගේ පාටි හරි ජොලි.... අමතක උනා නේ.. අපේ අම්මගේ පැත්තෙන් දැනට ඉන්න තුන්වෙනි වැඩිමල් එකා මං... අනිත් අක්කයි අයියයි දෙන්නා ඉන්නේ අනුරාධපුරේ නිසා එයාලා මේ වගේ ඒවට සෙට් වෙනවා අඩුයි... ( එයාලා ගැන මං කලින් දවසක පෝස්ට් එකක් ලිව්වා...) ඉතිං දැනට ඉන්න වැඩිමල්ම එකා, සමාවෙන්න දෙන්නා... ( ඇයි අපේ මහත්තයා.. හි හි) මම තමයි...  

ඔන්න ඉතිං එදා පාටිය ගැන කිව්වම මං දැනගත්තා නඩේ ඔක්කොම සෙට් වෙනවා කියලා... මගේ මාමලා නැන්දලා ඔක්කොගෙම ළමයි තාම පොඩියි... සමහරු මොන්ටිසෝරි වයසේ.. සමහරැ පහේ හයේ... කට්ටියක් ඕලෙවල්... ඔහොම බැලුවාම ඉන්නවා 14ක විතර පොඩි උන් නඩයක්.... ( අපි දෙන්නත් එක්ක... හා ඇයි...අපිත් පොඩි උන් තමයි... හරිද.. හි හි)

ඉතිං දැන් තෑගි ගනිල්ලකෝ... සාමාන්‍යයෙන් මම තෑගි තෝරන්නේ දෙන එකාගේ වයස අනුව.... දැන් මෙතන තුන් දෙනෙක් ඉන්නවා.. පොඩ්ඩට අවුරුදු 1යි... මාමට... ම්ම්ම්.. මතක නෑ... 40- 45ක් විතර ඇති.. ආච්චිට...ම්ම්ම්.. කොහෙත්ම මතක නෑ.. ඒත් ඉතිං ආච්චිනේ... හි හි... 

ඇත්තටම පොඩිම එකාට ගන්න තෑග්ගක් මට හිතාගන්න බැරි උනා.. අනිත් එක ඒ වයසේ ළමයින්ට කියලා දාලා තියෙන සෙල්ලම් බඩු පුදුම ගනං... එච්චර සල්ලියක් මගේ අතේ තිබ්බෙත් නෑ... කොහොමත් අනිත් අය එයාට තෑගි ගේන නිසා මම ගත්තා ලොකු ටෙඩියෙකුයි සූප්පු දෙකකුයි... තාත්තටයි ආච්චිටයි... හි හි.. 

එතකොට ඕලෙවල්, 8-9 හිටපු කට්ටියට ගත්තා පොඩි සොෆ්ට් ටෝයිස් ටිකක්... පොඩි සත්තු... 6-7 වසරේ කොල්ලෝ තුන් දෙනාට ගත්තා අර පොඩි මොඩ්ල් කාර් ජාතියක්... බෙන්ස්ද මොනාද මන්දා...තුන් දෙනාට ජාති තුනකින්... දොරවල් අරින්න එහෙම පුළුවන් ජාතියක්... මොකද උන් තුන් දෙනාම කාර් පිස්සෝ... 


 I copied this photo from Keen 4 Green community bloggers. There are some instructions about a really nice way to do something fun and useful with your kids destroyed and left over old toys, games and small things that you've been collecting over the years coz' u don't want to throw those away ... and a way to give your kids a really nice time.... and also a way to spend a quality time with them.. 

අනිත් පොඩිම අයට ගන්න දෙයක් හොය හොය යනකොට මට අමුතු සෙල්ලම් බඩුවක් හම්බුනා... ඒක ඇවිල්ලා පොඩි puzzle එකක්.. ( දන්නැති අයට... ප්‍රෙහේලිකාවක් ඈ....හි හි..)හයිය කාඩ්බෝඩ් වලින් හදලා තිබ්බේ... අර කෑලි සෙට් කරන ජාති දන්නවානේ... අන්න ඒකක්... මේක ලංකාවෙම හදපු එකක්... එකක් රැපියල් 30.00යි.. එක එක විදියේ රෑප, ගනං හදන්න, විද්‍යාත්මක දේවල් අරවා මේවා තමා තිබ්බේ... අපි දෙන්නා ජොලියට වගේ මේකෙන් එක එක ජාති වලින් 10ක් ගත්තා... තව ඉතිං උන් ටිකට චොක්ලට් ටිකකුත් ගත්තා.. පවුනේ.. හි හි... 

ඔය ටික ඔක්කොම අරගෙන අපි දෙන්නා එහෙ යනකොට කටිටිය පාටිය පටන් අරන්... කේක් හැමදාම වගේ අපේ අම්මගෙන්... එතකොට ඩෙසර්ට් වටලප්පමත් අම්මගෙන්.. පුංචි හදං ඇවිත් තිබ්බා කජු එකක් මාර රහයි... ( අපේ පුංචිට ඉස්සර උයන්න බෑලු... අනේ මන්දා.. මට නම් එයාගේ කෑම රහයි.. හි හි) 

මං තෑගි අරං ගිය හැටි දැකලා කට්ටියට පණ යනකම් හිනා.. කොහොමත් මම ඉස්සරත් ඔය වගේ වැඩ කරනවා... තෑගි දෙන්නේ මොනා හරි විකාරයක් කරලා... අර ලොකු වේවැල් බාස්කට් තියෙනවානේ.. මං තෑගි ටික ඔක්කොම ඕකකට දාලා, ඒක ලොකු රැපින් පේපර් දෙකකින්ම ඔතලා උස්සගෙන ගියේ.. ( හොඳ වෙලාවලට ඒ දවස්වල මාමණ්ඩිගේ කාරෙක තිබ්බා... හි හි) 

ඉතිං පොඩි උන් ටිකට මාර ‌ජොලි.. හැමෝටම තෑගි තියෙනවානේ.. මේක මං වෙච්ච පොරොන්දුවක් ඉෂ්ඨ කරන්නත් එක්ක තමයි මම කළේ... මං උන් ටිකට කිව්වා මගේ වෙඩින් එක දවසේ වීඩියෝ කරන්නේ නෑ.. ඔයාලා තමයි ඔක්කොම විඩියෝ කරන්න ඕනේ කියලා... හොඳට කරලා තිබ්බොත් තෑග්ගක් දෙනවා කියලා... අනේ මුන් ටික කරපු වීඩියෝවක් නෑ.... ඔක්කොටම එදා නැටිල්ල විතරයි සිහියේ තිබ්බේ.... ෆොටෝ එකට ඉන්නත් හොයන්න යන්න උනා...හි හි...  ( ඕවට කියන්නේ මානසික අල්ලස් කියලා... පොඩි උන්ට ලොකු වැඩක් බාර දුන්නම හරි වැදගත් ගතියක් දැනිලා දැගලිල්ල ටිකක් අඩු වෙනවා... ඕක දන්න නිසා තමයි මම එහෙම කළේ... හි හි)  

එදා ඒ පොඩි ගානක් වියදම් කරලා කරපු වැඩේ නිසා කට්ටිය පුදුම සතුටක් ලැබුවා... මට සෙල්ලම් බඩු ඔක්කොටම ගියේ 3500ක් විතර...බාස්කට් එක විතරක් ටිකක් ගනං.. ඒක ගත්තේ නැන්දට... 

ඒත් එදා වෙච්ච වටිනාම දේ සිද්ධ උනේ අර රැ. 30.00 ප්‍රෙහේලිකා ටික නිසයි... කෑම කාලා ඉවර වෙලා ඩෙසර්ට් අරන් අපි කට්ටියම එක තැනක වාඩි උනාම පොඩි උන් කට්ටියම බිම වාඩි වෙලා ඔය ටික ඔක්කොම කලවම් කරගත්තා.. ඊට පස්සේ හදන්න පටන් ගත්තා.. ඕකට අම්මලා තාත්තලත් සෙට් උනා... අන්තිමට පාන්දර 1 වෙනකම්ම කට්ටියම ළමයි එක්ක සෙල්ලම් කළා මිසක් වෙනදා වගේ තාත්තලා කට්ටිය පැත්තකට වෙලා ලොකු කතා කරන්නයි, අම්මලා කුස්සියට සෙට් වෙන්නයි, ළමයි ටික ටීවි එකේ ෆිල්ම් එකක් දාගන්නයි යන්නේ නැතුව, කට්ටියම පොඩි කාලේ කතා කිය කිය, ( වැඩිපුරම ඒවා කිව්වේ අපේ මහත්තයට.. එයානේ පවුලේ අලුත් සාමාජිකයා....), මාව වර්ණනා කර කර (ඒ කිව්වේ මං පොඩි කා‌ෙල් ඉඳලා කරපු ඔක්කොම මෝඩ වැඩ, බූරැ වැඩ, හොර වැඩ, මී හරක් වැඩ ටික එහෙම) ළමයි එක්කම හිටියා... 

එදයින් පස්සේ අද වෙනකොටත් අපේ කට්ටියගේ මේ සෙල්ලම් බඩු සම්ප්‍රදාය තියෙනවා... මාමලයි, නැන්දලයි කියන්නේ එදා තමයිලු හරියටම තේරුම් ගත්තේ සෙල්ලම් බඩුවක් තෑගි දෙන්න ලොකු පොඩි බේදයක් නෑ කියලා... කොච්චර ‌ලොකු කෙනෙක්ට උනත් හොඳ තෑග්ගක් එක්ක, පොඩි ගානක සෙල්ලම් බඩුවක් දෙන එක අපේ මාමලා කීපදෙනෙක්ම තාමත් කරනවා.. ඒ හැම වෙලාවකම කියනවා මේක පටන් ගත්තේ මෙන්න මේකි තමයි කියලා... හි හි.... 

ඇත්තටම සෙල්ලම් බඩු කියන්නෙ කවදාවත්, කාටවත් එපා වෙන දේවල් නෙවෙයි.. ඒත් වයසින් ලොකු වෙනකොට අපි සෙල්ලම් බඩු වලින් ඈත් වෙනවා... ඒ හිතින් අපි දැන් ලොකුයි කියලා හිතාගන්න නිසා... එදා මගේ නංගිලා මල්ලිලා ටික ඒ පොඩි සෙල්ලම් බඩු වලින් එච්චර සතුටු උනේ ඒ වෙනකොට එයාලට උපන් දිනවලට එහෙම වැඩි පුර තෑගි ලැබුනේ පොත් පත්, අධ්‍යාපනයට ඕනේ කරන දේවල් නිසා... සෙල්ලම් බඩු තිබුනත් ගොඩක් ඒවා ටිකක් මිල වැඩි ඒවා නිසත්, ඉස්කෝලේ යන අස්සේ සෙල්ලමට වෙලාවක් නැති තරම් නිසත්, එයාලා සෙල්ලමින් ඈත් වෙලා හිටියේ... නමුත් මේ වගේ සිම්පල් සෙල්ලම් හිතට හරි නිදහසක් ගේනවා.. අම්මලා තාත්තලා එක්ක ළමයි ගොඩක් ළං වෙනවා.. සහෝදර සහෝදරියෝ එකිනෙකා එක්ක ළං වෙනවා... 

මං පොඩි කාලේ ගොඩක් සෙල්ලම් බඩු තිබ්බේ නෑ.. අම්මලට සල්ලි තිබ්බෙත් නෑ මට සෙල්ලම් බඩු අරන් දෙන්න.. හැබැයි අපේ ආච්චි රට ඉඳලා එන‌ෙකාට ගේනවා මට අවුරුද්දටම ඇති වෙන්න වටිනා කියන සෙල්ලම් බඩුවක්.... ඒ තමයි සුදු පාට, පාට පාට රට හුණු පෙට්ටි කීපයක්.... අම්මයි මායි හැමදාම දවල්ට ගෙයි බිම දිගේම චිත්‍ර අඳිනවා... ඊට පස්සේ ගේ රෙදි කෑල්ලක් තෙමලා පිහ දානවා... ඒක මම 5 වසරට යනකම්ම කරපු දෙයක්... සෙල්ලම් බඩු වලට වඩා මට ඒ රට හුණු කූර ලොකු වටිනාකමක් තිබ්බා...  මොකද අම්මයි මායි දෙන්නම ඒ වෙලාවට එකම වයසේ මිතුරියෝ දෙන්නෙක් වගේ පිස්සු නැටුවේ, ඒ රට හුණු කූර හින්දා නිසා... ඒ කාලයේ මතක මට ගොඩක් වටින නිසා...

ප / ලි :

සෙල්ලම් බඩු වල වටිනාකම දරුවන්ට තියෙන්නේ අම්මයි තාත්තයි ඒකට කොච්චර වියදම් කළාද කියන එකේ නෙවෙයි.... ඒ සෙල්ලම් බඩුවෙ මිල ගැන එයාට හැඟීමක් නෑ.... එයාට ඒක වැදගත් වෙන්නේ ඒ සෙල්ලම් බඩුවේ එයාට තේරුම් ගන්න පුළුවන් දේවල් කොච්චර තියෙනවද කියන එකයි... වැඩිහිටියෝ ලස්සන දකින විදියට නෙවෙයි දරුවො ලස්සන දකින්නේ.... ඒකයි සෙල්ලම් බඩුවක් අරන් දෙනකොට මිලෙන් වටිනාකම ඉහළම එකක් තෝරනවා වෙනුවට, ළමයාගේ වයසට ගැලපෙන සෙල්ලම් බඩුවක් තේරීම ගොඩක් සුදුසුයි කියලා මම හිතන්නේ...


අපේ අම්මා කියනවා මේ වගේ ප්‍රෙහේලිකා, චෙස්, දාම්, කැරම්, ස්ක්‍රැබල් විතරක් නෙවෙයි ඉස්සර ගෙවල් වල සහෝදර සහෝදරියෝ ගොඩක් හිටිය නිසා කට්ටිය ඕමිත් ගැහුවලු.. ඒ කිව්වේ කාඩ් සෙල්ලම් කළාලු... ඒත් දැන් හැම පවුලකම වැඩිම උනොත් ඉන්නේ ළමයි දෙන්නයි, තුන් දෙනයි... ඒක නිසා අම්මලා තත්තලත් ළමයි එක්ක එකතු වෙලා කරන මේ වගේ සෙල්ලම් වලින් පවුල එක තැනකට එකතු වෙනවා වගේම, අම්මලා තාත්තලට ළමයි ගැන දැනගන්න වෙලාවකුත් ලාබෙනවා... එහෙම පවුලක අම්මලා තාත්තලට දරුවෙක්ගේ පුංචි වෙනසක් උනත් ඉක්මණට තේරුම් ගන්න පුළුවන්.... 

මේ වගේ කාලෙක ළමයි ගැන අවධානයෙන් ඉන්න එක වැඩියෙන්ම අවශ්‍ය නිසා, සමහර විට මම මේ අද ලියපු දේ කෙනෙක්ගේ ඉරණම වෙනස් කරන්න පුලූවන් කියලා මං හිතෙනවා... දිග හෑල්ලක් නිසා ගොඩක් අය කියවන එකක් නෑ කියලා හිතුනත්, මං මේක මේ විදියටම පෝස්ට් කරනවා...

Thursday, March 14, 2013

හිරු ලෝගෝ එකේ කතාව....


මේ ග්‍රැෆික් ඩිසයිනිං හීනෙ මගේ පටං ගත්තේ අවුරුදු ගානකට කලින් ඉඳලා නිසා ඒ කාලේ ඉඳලා ආසාවෙන් හිටියේ Hiru Designs කියන නමට.... හැබැයි ඉතිං කසාද බැන්දට පස්සේ දෙන්නම එක්ක එකතු වෙලා කරන දෙයක් හින්දා, අපේ මහත්තයා ඒ නමට කැමති වෙයිද කියලා හිතේ පොඩි අවුලකුත් තිබ්බා... 

කොහොම උනත් හිතුවට වැඩිය කාලයක් මේ වෙනුවෙන් බලා ඉන්න සිද්ධ උන නිසා ඇත්තටම මගේ ඩිසයිනිනං ස්කිල්ස් ගැන මටම විශ්වාසයක් නැතුව ඉන්න වෙලාවක, නොහිතපු විදියට මට කම්පියුටරයක් හම්බු උනා... ඒ මගේ පොඩි මස්සිනා තරිඳුගෙන්... ඩිසයිනිං වලට හීන මව මව ඉන්නවා කියලා දැනගෙනද මන්දා, එයා තියෙන හොඳම කම්පියුටරයක් හොයන්න ගිහින්, අරං ඇවිල්ලා තිබ්බේ iMac එකක්.. ඇපල් කම්පියුටරයක් අතපත ගාලාවත් නැති මට මේක නිධානයක් පහල උනා වගේ තමයි... මොකද මෙච්චරකල් පාවිච්චි කරපු හැම කමිපියුටරේකම තිබ්බ, ඩිසයිනර්ස්ලට හැමතිස්සෙම ලෙඩ වැටන, කලර් කැලිබ්රේෂන් ( Color Calibration ) එක්කම තියෙන මේ මැෂින් එක ඩිසයිනිං වලටම කියාපු එකක්... 

කොහොම හරි හා හා පුරා කියලා ඕනේ කරන සොෆ්ට්වෙයාර් ටික ඩවුන්ලෝඩ් කරගෙන මුලින්ම කළේ පුරුදු වෙන්නත් එක්ක Hiru Designs LOGO එක හදපු එක.... 

ඔය පළවෙනියටම තියෙන එක තමයි මම මුලින්ම හදපු ලෝගෝ එක.. ඒක හදන්න මට විනාඩි 10ක් විතර ගියා මම හිතන්නේ... මගේ හිතේ තිබ්බ පාට වලින්, ඒ කිව්වේ Black & Orange ( Two color), පාවිච්චි කරලා මේක හැදුවේ.... 



මුල්ම ඩිසයින් එක... 


අපේ මහත්තයාගේ අදහසක් තිබ්බා හිරු කියන නම නිසා මේක‌ට අපි ඉරක් ( SUN) එකතු කරමු කියලා... ඒක නිසා මම මේ දෙවනි ලෝගෝ එක හැදුවා සාම්ප්‍රදායික, සරල ඉරක් එක්ක... මේක ඇත්තටම සරල ඩිසයින් එකක්... ඒකත් Two color logo එකක්.. 





තව ටිකක් එහෙට මෙහෙට කරකවන අතරේ අපේ මහත්තයත් ඇවිත් පොඩ්ඩක් මගේ ගාවින් වාඩි උනා...   එයාගේ අදහස උනේ මේක Three colors වලින් කරමු කියලා... ඉතිං ඒ අනුව තමයි තුන් වෙනි එක පාට තුනකට ගියේ... අර මම කලින් දාපු ඉරටත් වඩා සරල ඉරක් දාන්න කියලා එයා අදහසක් දුන්නා, ඇත්තටම අපේ වැඩේ පුංචිම අඩියේ ඉඳලා පටං ගන්න යන නිසා... හරිම සරල, නිදහස්, නිර්මාණශීලී කියන අදහස් කීපයම එකතු කරලා මේ ඉර එකතු කරන අතරේ, හීන මවන නිර්මාණ කියන තේමාව යටතේ මේ ලෝගෝ එකට Designs from your dreams කියන එක එකතු කළා...  







ඔන්න ඔහොමයි හිරු ඩිසයින්ස් ලෝගෝ එක අපි දෙන්නා හැදුවේ... අපි දෙන්නම එකතු වෙලා කරන වැඩේට කිසි අවුලක් නැතුව මගේ නම විතරක් දාන්න කිව්ව අපේ මහත්තයගේ ඒ අදහස් වල‌ට ගෞරවයක් විදියට මම තුන්වෙනියට හදපු ලෝගෝ එක පාවිච්චි කරන්න තීරණය කළා... ඒකේ අදහස සම්පූර්ණයෙන්ම වගේ අපේ මහත්තයගේ... මම කළේ සොෆ්ට්වෙයාර් එකෙන් මේක හදන එක විතරයි... 

Tuesday, March 12, 2013

ඒක අමුතුම හැඟීමක්.... පාරමී දම් 9 කොටස






ෂුහ්.... පාන්දර හතරාමාරට නානවා කියන්නේ ලේසි කෙලියක්ද... 

අම්මා මුලින්ම මාව සීතලම සීතල, වතුසුද්ද මල් පුරෝපු වතුර කලේකින් නාවලා, ඊට පස්සේ උණු වතුරින් නෑව්වා... 

කිරි බලන්න කියලා කොස් ගහට කොටලා ඇහැව්වා දැක්කද කියලා... මේ කලුවරේ මොන කිරිද... සීතලේ වෙවුල වෙවුල මං ඔලුව වැනුවා... පොල් ගෙඩියට නම් පළවෙනි පාරම දෙකට බිඳෙන්න කැත්තෙන් ගැහුවා... 

පහන් දැල්ල අතින් නිවන්න ගිහින් තමයි මරු වැඩේ... අත් දෙක පහන ළගට කිට්ටු කරනකොට මට බයයි අත පිච්චෙයි කියලා.. කොහොමින් කොහොම හරි ඒකත් කරගත්තා.... 

මට අඳින්න කියලා තිබ්බේ සුදු පාට... අම්මා ලස්සන සුදු ළමා සාරියක් මහලා තිබ්බා... ඒකත් ඇඳගෙන ඉස්සරහට එනකොට මාට මාර ලැජ්ජයි.... අපේ ගෙදර කට්ටයයි, ලොකු නැන්දයි මාමයි ඔක්කොම එතන... ඒක අමුතුම හැඟීමක්...

අම්මා මුලින්ම මල් වටිට්යක් දුන්නා බුදු හාමුදුරුවන්ට පූජා කරන්න කියලා... 

ඊට පස්සේ අම්මටයි තාත්තටයි ලොකු අය ඔක්කොටම වැන්දට පස්සේ අම්මා කිව්වා අයියටත් වඳින්න කියලා... 

මෙයාටත් වඳින්න ඕනෙද...මං සුදු අයියගේ මූණ දිහා බැලුවා... චික්.. හිනාව විතරක්... මං හිතිං බැන බැනම සුදු අයියට වැන්ඳා... 

ඒත් මට සුදු අයියගේ කකුල් දෙක අල්ලලා වඳින්න හම්බුනේ නෑ... එයා මගේ උරහිසෙන් අල්ලලා මාව ඇඟට තුරුළු කරගත්තා... මං සුදු අයියගේ මූණ දිහා බැලුවා... ඒ ඇස් දෙකේ කඳුළු... 

මොනාද සුද්දිට මගෙන් ඕනේ...

සුදු අයියා ගේ මූණ එයා දිහාට හරෝගෙන ඇහුවා... 

මුකුත් එපා...

මං බිම බලා ගත්තා... සුදු අයියා අප්පච්චි වගේම මගේ නළල ඉඹින ගමන් මගේ අතේ පුංචි පෙට්ටියක් තිබ්බා... 

ආ...

මොනාද...

ඇරලා බලන්නකෝ...

... තැල්ලක්... තනි ඉර අගට පුංචි මුතු ඇටයක් අල්ලපු හාට් එකක්...මේ වගේ ඒවා ඉස්කෝලේ ඩාන්සින් කරන කෙල්ලෝ නම් දානවා මං දැකලා තියෙනවා.. මේකක් මොකටද මට... 

ලස්සනයි සුදු අයියේ... ඒත් මේකක් මොකටද මට...

ඔයා මනමාලියෙක් වෙන දවසට දාන්න...

මට එකපාරටම සුදු අයියගේ මූණ දිහා බැලුනා.. ඒ මූණේ තිබ්බ හිනාව.... මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.... 

ඒ එක්කම මට හිතුනා මට කවදහරි සුදු අයියවයි, අම්මවයි අප්පච්චිවයි දාලා, ගෙදරින් යන්න වෙනවා නේද කියලා... මට ඇඬෙන්න ආපු නිසා මා අම්මගේ ඇඟට තුරැළු වෙලා මූණ හංඟගත්තා...


මතු සම්බන්ධයි...

ප/ලි - වැඩ ගොඩකට හිර වෙලා ඉන්න නිසා කලින් පෝස්ට් එකේ කමෙන්ට් වලට රිප්ලයි කළේ නෑ.. අද හවස් වෙනකොට රිප්ලයි කරන්න පුළුවන් වෙයි... ඒත් දවස් ගානකින් පෝස්ට් එකක් දාපු නැති නිසා ඩ්‍රාෆ්ට් කරලා තිබ්බ එකක් දානවා අද... බනින්න එපා කට්ටියම සෙට් වෙලා.. හි හි.... 

Friday, March 8, 2013

මාතෘකා නැති කතා...



අද උදේ කාන්තා දිනේ කිය කිය වැඩසටහන් යනකොට, ඊයේ පෙරේදා නලීන් අයියා දාපු පෝස්ට් වලට ආපු කමෙන්ට් බලනකොට මට හිතුන දෙයක් තමයි මේ දින වෙන්කිරීම ගැන ගොඩක් අය දක්වන අප්‍රසාදය... මම මේකේ හොඳක් දකිනවා කිව්වොත් කට්ටිය මාත් එකක් තරහා වෙයිද..? 

අපි මෙහෙම හිතමුකෝ.... ඒඩ්ස් කියන්නේ හැමෝම දන්න දෙයක් මේ වෙනකොට... ඒත් ඒඩ්ස් මර්දන සතියක් ප්‍රකාශයක් පත්කරලා තියෙනවානේ... ඒ සතියෙදි හැමතැමනම ඒඩ්ස් ගැනමයි ඇහෙන්නේ.. මොන මළකරදරයක්ද කියලා හිතෙනවා නේද...අපිට අදාලත් නෑ.. ඒත් බලෙන් කනට වක්කරනවා.... 

ඔය සතියෙදි යන ප්‍රෝග්‍රැම් වලදි නිතරම කරන දැනුවත් කිරීමක් තමයි ඒඩ්ස් බෝවීමේ ක්‍රම ගැන.. ලිංගික සම්බන්ධතා වලින්,සිරින්ජර්ස්, බ්ලේඩ්ස් වගේ දේවල් වලින්,රැධිර පාරවිලයනයෙන් සහ මවුකිරි වලින් කියන ඒවනේ ප්‍රධානම.. මේ වගේ හේතු ගණනාවක් තියෙද්දිත් අදටත් අපේ ලංකාවේ ඒඩ්ස් හැදුන කෙනෙක් ගැන දක්වන ආකල්පය වෙනස් වෙලා තියෙන්නේ කොච්චර ප්‍රමාණයකින්ද...? ඒඩ්ස් කියන්නෙ ලාදුරු වගේ බෝවෙන රෝගයක් නෙවෙයි... 

ඒත් නිකමට අපි කෙනෙක් පෙන්නලා මෙයාට ඒඩ්ස් තියෙනවා කිව්වොත් කී දෙනෙක් අඩි කීපයක් පස්සට යයිද..? 

මේ වගේ දින, සති , මාස, අවුරුදු ප්‍රකාශ කිරීමේ ප්‍රධානම හේතුව සමාජය තුළ ආකල්පයමය වෙනසක් ඇති කිරීම කියලා මම හිතන්නේ... ඇත්තටම අද වෙනකොට අපේ රටට ආකල්පමය වෙනස්කම් රාශියක් ඕනේ කියලා ඕනේ කෙනෙක් පිළිගනී... ඉතිං මේ ජ්‍යාත්‍යන්තර දින ප්‍රකාශ කිරීමෙන් අපිටත් වැඩක් ගන්න බැරි වෙයිද කියලා මම කල්පනා කරනවා... 

ගොඩක් අය කියන දෙයක් තමයි මවුවරුන්ගේ දින, පියවරුන්ගේ දින, කාන්තා දින, ළමා දින වලින් වැඩක් තියෙන්නේ බටහිර රටවලටනේ.. අපිට ඕවයින් වැඩක් නෑ කියලා... ඒත් ඒක ඇත්තටම එහෙමද... ? 

මට නම් මේ දින කියන්නේ යමක් මතක් කරලා දෙන දෙයක්.... උපන් දිනයක් වගේ... මෙන්න මෙහෙම දෙයක් මට අමතක උනා නේද කියලා... හැමදාම අපි ළඟ ඉන්න අයට විශේෂ සැලකීමක් කරන්න හිතෙන වැදගත් දිනයක් විදියට මම සලකනවා... අම්මා හැමදාම මං ළඟ ඉන්නවා.. හැමදාම මගේ වැඩපල ටික කරලා දෙනවා.. අම්මා අමුත්තෙක් නෙවෙයි මට... ඒත් අම්මගෙ උපන් දිනේට, මවුවරුන්ගේ දිනේට මම උදේ පාන්දරම අම්මව බදාගෙන කිස් එකක් දෙනවා... අම්මට හරි සතුටුයි ඒ විශේෂ සැලකිල්ල ලැබුනට.. එයාව සතුටු කරන්න මට කරන්න පුළුවන් පුංචිම දේ මම කළා කියලා මටත් සතුටුයි... 

දැන් අද මම ලියන්න හිතපු තව දෙයක් ගැන ලියන්න සුදුසු තැනට ආවා කියලා හිතෙනවා.. ඒ තමයි මං අර කලින් කිව්ව සමාජමය ආකල්ප වෙනස් කරන එක ගැන... කාන්තා දිනේ ගමුකෝ.. ( ඒක අද හින්දා.. හි හි) 

ඩූඩ් අයියා එක කමෙන්ට් එකක කියලා තිබ්බා අපි මේ පාර ඉඳන්වත් ගෑණුන්ට කෑල්ල බඩුව කියලා කියන එක නවත්තමුද කියලා... මං ඒ වෙලාවේ කල්පනා කළා ඇත්තටම මේ චවන පාවිච්චි වෙන්නේ ඇයි කියලා... 

අද තියෙන ලොකු ප්‍රශ්නයක්නේ කෙල්ලෙක්ට තියා කසාඳ බැදපු ගෑණියෙක්ට වත් නිදහසේ පාරක තොටක බැහැලා යන්න බෑ.. කුණුහරුප කියනවා.. විසිල් ගහනවා, මාරු බඩ්ඩ, මරු කෑල්ල, මරු ගල් දෙක කියලා කෑ ගහනවා... ත්‍රීවීල් ඇඟට කපනවා... ලොකු වාහන ඕනෙකමින්ම මඩ වලවල්වලට වට්ටනවා.. බස් වලදි ජැක් ගහනවා... රැකියා වලදි ලිංගික අල්ලස් ඉල්ලනවා... ඔය වගේ දේවල්... මෙතනදි ලොකුම හේතුව වෙලා තියෙන්නේ කාන්තාවන්ට තියෙන ගෞරවය නැති වීම නේ... මේකට වගකියන්න ඕනේ ඇත්තටම කවුද...? 

කාන්තාවට ගෞරව කරන්න ඕනේ කියන එක ළමයෙක්ගේ හිතට මුලින්ම ඇතුල්වෙන්නේ කොතනින්ද...? මං එහෙම ඇහුවොත් ... 

යම්කිසි අවස්ථාවක සමාජය තුළට ආපු මේ වචන දිගින් දිගටම භාවිතයේ රැඳිලා තියෙන්නේ අනුකරණය නිසා කියලා මට හිතෙනවා.. පොඩි අය ලොකු අය අනුකරණය කරන්න ආසයි... ලොකු අයියා මේ වචනේ පාවිච්චි කරනවා නම් පොඩි මල්ලිත් ඒක පාවිච්චි කරනවා.. එයත් ලොක්කෙක් වෙන්නනේ ආසා.. 

ඒත් කොහොමද තාත්තත් මේ වචනේ පාවිච්චි කරනවා නම් ඇතිවෙන තත්වේ....???

මට ඉන්නවා නානාප්‍රකාර නෑදෑයෝ... අම්මගේ පැත්තෙ නෑයෝ.. තාත්තගේ පැත්තේ නෑයෝ.. මහත්තයාගේ අම්මගේ නෑයෝ.. තාත්තගේ නෑයෝ.. ඔන්න ඔ‌ෙහාම... 300කට කිට්ටු වෙන්න ඉන්නවා ( ගාන හැදුවේ වෙඩින් එකේදි)  මේ ඒ අයගෙන් ගත්ත උදාහරණ... 

මට ඉන්නවා මල්ලිලා දෙන්නෙක්... පොඩි කාලේ ඉඳලා හිටියේ ඩේ කෙයාර් එකේ, මොන්ටිසෝරියේ, ඉස්කෝලේ... අම්මයි තාත්තයි දෙන්නම ජොබ් කරනවා.. තාත්තා එක්ක මෙලෝ යකෙකුට කතා කරලා බේරෙන්න බෑ... එයාගේ තනි මතේ විතරයි.. අම්මා ඒක නිසා තාත්තා එක්ක වැඩිය කතාවට යන්නේ නෑ.. තාත්තට රස්සාව තමයි තියෙන ලොකුම වගකීම.. ( ඇත්තටම එයාගේ රස්සාවත් ලොකු වගකීම් සහිත එකක්)  තමන්ගේ පාඩුවේ ළමයින්ගේ වැඩපලත්, රස්සාවත් කරගෙන ඉන්නවා.. කොල්ලෝ දෙන්නම කට ඇරියොත් කුණුහරුප විමානයයි....අම්මයි තාත්තයි දෙන්නා ගෙදරදි වැඩිය කතාබහ කරනවා අඩු නිසා ළමයි ගැන කතාබහ කෙරෙනවත් අඩුයි.. ඉතිං මේ කුණුහරුප කියවිල්ල නවත්තන්න ක්‍රමයක් නෑ.. 

මට ඉන්නවා මාමා කෙනෙක්.. මට වඩා එච්චර වැඩිමල් නෑ..දෙන්නගේ අදහස් නොගැලපීමක් නිසා පවුල ඇතුලේ ලොකු ගැටුමක් ඇති උනා.. එයාගේ මොන්ටිසෝරි යන වයසේ දුව පුදුමාකාර විදියට මුරණ්ඩුයි.. කියන දෙයක් අහන්නේ නෑ.. හිතුවක්කාරයි.. ඉල්ලුවොත් දෙයක් නොදී නම් බේරෙන්න බෑ... අම්මයි තාත්තයි දෙන්නා කතා කළොත් රණ්ඩුවක්... මේ දේ දැක්කේ පැත්තකට වෙලා බලං හිටපු අය... පැහැදිලි කරලා දුන්නම දෙන්නම තේරුම් ගත්තා.. ප්‍රශ්න විසඳගත්තා විතරක් නෙවෙයි අද අර දරුවා හරිම කීකරු, හුරතල් කෙල්ලෙක්....පවුල හරිම එකමුතුයි... 

තව පවුලක්... තාත්තා අම්මට ආදරේට තමුසේ කියනවා... නමුත් තමුසේ කියන්නේ නරක වචනයක් කියලා ඉස්කෝලේ උගන්නනවා.. දරුවා කල්පනා කරනවා තාත්තා කියනව නම් මේක නරක වචනයක් නෙවෙයි මම පාවිච්චි කළාට කියලා... ඉතිං දරුවත් කසාද බැන්ද දවසක තමුසේ කියලා බිරිඳට කතා කරයි... එයාගේ දරුවොත් ඒ විදියටම ගියොත්... කොතනකදි හරි ලොකු ගැටුමක් ඇතිවෙන එකක් නැද්ද ඔය වචනේ තදින් අප්‍රිය කරන බිරිඳක් ලැබුනොත්...

හරි ..ඔය ඇති නේ... 

මං කියන්න යන දේ තෙරුම් ගන්න පුළුවන් ඇති මේ වෙනකොට... හෑල්ල ලිව්වේ අද වැඩිහිටියෝ වෙලා ඉන්න පරම්පරා දෙකක් නැත්තම් තුනක් අපි කොහෙහරි වරද්දගෙන තියෙනවා කියලා මට හිතෙනවා කියන්නයි.... 

කොහෙද මේ වරද්දගත්ත තැන.... 

දෙමවුපියෝ දරුවෝ ඈත් වෙච්ච එකයි ඒ තැන කියලා මට හිතෙනවා.. දෙමවුපියෝ දරුවන්ගේ විභාග ගැන තියෙන අවධානය දරුවන්ගේ චරිත සංවර්ධනය ගැන දැක්වුවේ නැති නිසා කියලා හිතෙනවා... 

ඉස්සර තමුසේ කියලා මම වැරදිලා හරි කියපු වෙලාවක රිදෙන්න පාරක් දීලා අම්මා කිව්වා.. කරත්තකාරයෝ කතා කරන විදියටද කතා කරන්නේ කියලා... 

අද වෙනකොට අම්මා කියපු දේ ගැන මම හිතනවා කාටවත් කාරයා කියලා කතා කරන්න හොඳ නෑ.. ඒකත් රස්සාවක් විතරයි කියලා.... ඒත් කාරයෝ හැමතැනම ඉන්නවා... ත්‍රීවීල්කාරයෝ, බස්කාරයෝ, පොලිස්කාරයෝ, මාළුකාරයෝ......... මේවා මටත් කියවෙන වචන... ඇයි.. මේවා ඇහිලා ඇහිලම ජීර්ණය වෙලා... ඒත් දැන්.... මම දරුවෙක් ඉන්න තැන කතාකරනකොට‌ පරිස්සම් වෙනවා... එතනදි මම කල්පනාවෙන් කතා කරනවා... පොලිස් මාමා.... පාන් වෑන් එකේ මාමා.. මාළු ගේන අන්කල්... ඔය වගේ වචන පාවිච්චි කරනවා.. 

හැබැයි අර තමුසේ කිව්වම වැදුන පාර අදටත් මට මතකයි... මම තමුසේ කියන වචනේ කියන හැම පාරකම මට එනවා මං වැරදි චවනයක් කිව්වාකියලා හැඟිමක්.... ඒක නිසා මම වචනේ පාවිච්චි නොකර ඉන්න දඟලනවා... 

මේවා පුංචි දේවල්... සමාජයේ තියෙන දේවල්... එකපාරටම බැරි උනත් තව ටික කාලයක් යනකොට නැති කරන්න පුළුවන් දේවල්... හැබැයි මේවට මුල් වෙන්න ඕනේ දෙමවුපියෝ... අම්මට පරුෂ වචනයෙන් බනින තාත්තා කෙනෙක් ඉන්න පවුලක දරුවෝ තාත්තව ප්‍රිය නොකරන්න පුළුවන්.. මොකද අධ්‍යාපනය, සමාජය මඟින් පෙන්නනවා ඒක වැරදි දෙයක් කියලා.... අම්මා තාත්තව නොසලකාහරිනවා නම්, ගනං ගන්නේ නැත්තම් නම් දරුවෝ අම්මට අකමැති වෙයි.. ආදරය නොකර ඉඳියි...  

තාත්තයි අම්මයි එකිනෙකාට සලකන විදිය බලං ඉන්න පිරිමි දරුවා, ලොකු වෙලා කසාදයක් බැන්ඳම බිරිඳට සලකන්නේ අර තමන් දැක්ක දේ අනුව... තාත්තයි අම්මයි එකිනෙකාට සලකන විදිය දකින ගෑණු දරුවා තමන්ගේ අනාගත සහකරුව මවාගන්නේ ඒ අනුව... අම්මගෙයි තාත්ත‌ෙගයි තමන්ගේ හැසිරීම් දරුවන්ගේ ඇහැට ප්‍රිය නම්, ආදරණීය නම් ඒ දරුවෝ සතුටින් ඉන්න ප්‍රීතිමත් දරුවෝ වෙයි.. ඔවුන් ගේ ජීවිත ප්‍රිතිමත්ව ගත කරන්න කැපවෙයි...

ඒ ව‌ෙග්ම ගැහැණු හෝ පිරිමි දරුවෙක්ගේ ඇහැට අම්මයි තාත්තයි එක හා සමානයි.... ඒ වගේම අම්මටයි තාත්තටයි ගෑණු දරුවෝ පිරිමි දරුවෝ එක හා සමාන විය යුතුයි... අර ආදි කාලේ ඉඳලා පොඩි එකා තමයි කවදහරි මං ගාව ඉන්නේ , ‌කෙල්ලෝ කසාද බැඳලා යනවනේ කියන කතාව, ලෝකේ වටේ ගියත් කොල්ලෝ කිරෙන් නාවලා ගන්න පුළුවන්. කෙල්ලෝ එහෙම බෑ කියන කතාව, කොල්ලන්ට වගේ කෙල්ලන්ට ඉහලට ඉගෙන ගෙන වැඩක් නෑ කියන කතාව වගේ සාම්ප්‍රදායික  මෝඩ කතා අපේ සමාජෙන් අයින් කරන්න කාලේ හරි කියලා මම හිතනවා.... 

අඩු ගානේ එත‌ෙකාට ඒ දරුවෝ ලොකු උනාම ඒ දේවල් තේරුම් ගනීවි.... අම්මලා තාත්තලා දුක් මහන්සි වෙලා ඉහලට ඉගැන්නුව ගෑණු ළමයෙක්ව කසාදෙන් පස්සේ ගෙදර නවත්තගන්න එක කොච්චර දුකක්ද කියලා පිරිමි ළමයි‌ තේරුම් ගනියි... අම්මා වගේම තාත්තා කියන චරිතයත් දරුවෙක්ට මොන තරම්ද පරමාදර්ශි විය යුතුද කියන එක, ඒ ළමයි තේරුම් ගනියි... එතනම ආදරණීය බැඳීමක් ඇති වෙනවා මුලින්ම... 

දරුවන්ගේ පරමාදර්ශය දෙමවුපියෝ... හොඳට හෝ නරකට.... කැරැල්ල පටන් ගන්නේ ගෙදරින්.... ඒ විප්ලවය හරි පැත්තට හැරවීම දෙමවුපියන්‌ෙග් යුතුකම, වගකීම.. මෙතන දෙමවුපියෝ කියන්නේ අම්මා නෙවෙයි... අම්මයි තාත්තයි දෙන්නම.... මේ වගකීම් තියෙන්නේ අම්මට විතරක් නෙවෙයි.. තාත්තටත් එක්ක... සල්ලි හම්බකිරීම වගකීමක් නෙවෙයි.. යුතුකමක්... ඒත් දරුවෝ හැදීම වගකීමක්... මේ යුතුකම සහ වගකීම අම්මටයි තාත්තටයි දෙන්නටම එක හා සමානව තියෙනවා... 

අම්මයි තාත්තයි දෙන්නා දරුවො ඉස්සරහා එක හා සමාන ආදරයකින් සලකනවා නම්, වගකීමකින් හැසිරෙනවා නම්, ඒ පවුල ප්‍රීතිමත්, ආදරණිය, සාර්ථක පවුලක් වෙයි.... 

අපි කොයි වෙලාවේ, කොයි විදියට, මොන දේ ගැන කතා කළත්, ඒ හැම වෙලාවකම අපේ ප්‍රධනම බලාපොරොත්තුව, ලොකුම ආසාව,  ලොකුම සතුට, ලොකුම වගකීම අපේ පවුල .. අපේ දරුවෝ.. නේද... ?

ඔන්න ඕක ගැන මට හිතෙන විදිය... 

Thursday, March 7, 2013

රුවන් වැකි... නිතර පේන තැන්වල....



ඔබයි රම්‍ය සඳ කිරණ ගණ අන්ධකාරේ...


ජීවිතය විඳින්නට මිස විඳවන්න නොවේ


සිරියාවයි කම්මුල්පෙති ඒකයි බැලුවේ දුප්පත් මට සමච්චලේටද හිනා වුනේ


පෙව් කිරිවලට අම්මේ ණය ගැති සේම සුවඳයි පියාණනි ඔබේ ගුණ හැමදාම


මිනිසත්කමේ පොහොසත්කම මනුස්ස කමයි


මගේ ලෝකය මගේ විශ්වය ගෙදර බුදුන් අම්මා


අම්මා පෙවු කිරි කඳුලින් 
මේ ලොව මෙතරම් හැඩවුනේ


ඔබට තියෙන ණය ගෙවන්න සසරම මදි අම්මේ


කිරි බිදුවක ණය ගෙවන්න සංසාරෙම වදිමි අම්මා යන වදන කියා ලෝකය හැඩකරමි


නොමිලේ දියහැකි වස්තුව සිනහව පමණයි


කෝ පුතේ යාලුවෝ නමට විතරයි අම්මේ

Cheguevara  
Freedom of Creative mind

ඇතිදා වවුලෝ එල්ලිලා      නැතිදා වවුලෝ ඉගිල්ලිලා යති


එපා ආශා පොදි බඳින්නට මැරෙනවා අපි මැරෙනවා


මට මුළු ලෝකයම මාගේ දෙමවුපියන්....


මිදි කොහෙද තිත්ත     නරි කියයිද ඇත්ත


උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ


No love no life
Life is a question mark with out a question
To be heard it is something


ඔන්න අදත් අපේ මහත්තය‌ෙග වීරකමක් තමයි... ෆොටෝ ටික සහ අදහස සියල්ලම එයාගේ... 

ඔය මං දාපු රුවන් වැකි වලට අමතරවත් මේවයේ තව එක එක ඒවා තියෙනවා.. හොයාගන්න පුළුවන් නම් ඉතිං කියමුකො බලන්න.... හි හි... 

හැම එකකම අම්මා තාත්තා ගැන ගහලා තියෙන්නේ මෙයාලව දකින මිනිස්සු වැඩි දෙනෙක් අම්මලා තාත්තලා මතක් කරන හින්දද දන් නෑ කියලා අපේ මහත්තයා කියනවා... ඒකත් හැබෑව නේ.. හි හි

ප/ලි , මේවා දැකලා මට හිතෙන දේවල් වලට වඩා ඔයාලට හිතෙන දේ දැනගන්න මං කැමතියි... ඒ වගේම ඔයාලා දැකලා තියෙන ඒවත් ලිව්වට කමක් නෑ.... 

( තව ෆොටෝ ටිකක් තියෙනවලු.. ඒ ටික දෙවනි කොටසකට වත් දාමු නේ.. හි හි) 



ප/ලි  මේකේ ලින්ක් එක දුන්නේ අපේ නවදැලිහේනේ අයිතිකාර මහත්තයා... හි හි.... 
මාත් දැක්ක ගමන් අපේ මහත්තයටත් පෙන්නලා ඔන්න ඇඩි කළා... 
ඔන්න බලන්නකෝ කට්ටිය... හි හි

Tuesday, March 5, 2013

අධ්‍යාපනයයි, අපේ සුවච කීකරු දරුවයි ගැන මට හිතෙන හැටි...


ලෙවල් වලට මම තෝර ගත්ත චිත්‍ර විශය, මං හිටපු ගෝතමියේ නැති උන නිසා අනුලාවට යන්න සිද්ධ උන කතාව මං කලින් කියලා තියෙනවා මං හිතන්නේ.. 

මං පළවෙනියෙන් ඉස්කෝලෙට ගියේ සිකුරාදා දවසක අන්තිම පීරියඩ් එකේ දි... උදේ ඉඳන් ලියලියවිලි වැඩ වගයක් තිබ්බ නිසා.. ඒක නිසා මම මුලින්ම ඉස්‌කෝලෙට යනවා කියලා ගියේ සඳුදා දවසක... එදා මුලින්ම තිබ්බේ ඉකෝන්... ආට් ක්ලාසස් වලදි හැමතිස්සෙම වගේ සිද්ධ වෙන දෙයක් තමයි ක්ලාසස් දෙකක් එකට දාලා උගන්නන එක.. ඒ තරම් විශය ප්‍රමාණයකට ළමයි බෙදිලා හිටියේ... ඉතිං ඔන්න එදත් පන්තියේ පරණ ළමයි ටික අලුත් ළමයි ටිකට පොඩි රැග් එකක් දෙන්න කියලා හිනා වෙලා අලුතින් ආපු අපි පස්‌දෙනාව පන්තියේ මුල්ම පේලියේ වාඩි කෙරෙව්වා.. අපිත් හිනා වෙවීම ඒ රැග් එක බාර ගත්තේ කට්ටිය ඒක ටික කියන්න දඟලපු දැඟලිල්ල නිසා.. ඕක ලොකු දෙයක් නෙවෙයි නේ.. 

ඉතිං ඔන්න පන්තියට ටීචර් කෙනෙක් ආවා.. තරැණ ගුරුතුමියක්... ඇවිත් බොහොම කාරුණිකව අපිවත් පිළි අරගෙන, පොත පෙරලන්න කියලා මුලින්ම ලියා ගන්න කිව්වා සිඟාලෝවාද සූත්‍රයේ ළමයින්ගෙන් ගුරුවරුන්ට විය යුතු යුතුකම් සහ ගුරුවරුන්ගෙන් ළමයින්ට විය යුතු යුකුතම් කියලා තියෙන කොටස... 

මං ටිකක් හොල්මන් උනා.. මේ ඉකෝන් යැ... කො‌ෙහාමත් මට පෙන්නන්නම බැරි පිරීයඩ් එකක් තමයි බුද්ධාගම පීරීයඩ් එක... ඒකට කළේම නිදා ගත්ත එක තමයි... ඕලෙවල් වලින් බුද්ධාගම ඉගෙනගැනිල්ල ඉවර වෙච්ච එක ගැන මං හරිම සන්තෝසෙන් හිටියේ.. සතියට සැරයක් ළමා සාරිය ඇඳලා, දහම් පාසල් ගිහින්, පන්සල අතුගාලා, බෝ මළුව පිරිසිදු කරලා, මල් පෙරහරේ ගිහින් මල් පූජ කරලා, පන්තිවලට වෙලා මෙනා හරි ගාධාවක් දෙක්ක පාඩම් කරගන්න එක වගේ දෙයක් ඉගෙනගැනීමෙයි, ඉස්කෝලේ බුද්ධාගම ඉගෙනගැනීමෙයි මට නම් මහා වෙනසක් තිබ්බා..

කොහොම හරි ඔය කිව්ව වැඩේ ඉවර කළාට පස්සේ මේ ගුරුතුමිය දිග දේශනාවක් දුන්නා... ( ඒ වෙනකොටත් මට ඒ ටීචර්ට බාගෙට එපා වෙලා තිබ්බේ) පාසල ගැනත්, පාසලේ ළමයි ගැනත්, පාසලේ හොඳ දේවල් ගැනත් වගේ දේවල්... කො‌ෙහාම හරි මට ඒ වෙලාවේ තේරුනේ මේ ගුරුතුමිය මේ පාසලේම පෙර පාසලේ ඉඳන්ම ඉගෙන ගෙන, දැන් ගුරුපත්වීමත් මෙහෙටම ලැබුණ කෙනෙක් බවත්, ඒ ගැන ලොකු ආඩම්බරයකින් ඉන්න කෙනෙක් බවත්... 

කතාව ඉවර වෙලා එතුමිය කිව්වා මේ කතාව කිව්වේ අලුතින් ආපු ළමයින්ට තේරුම් ගන්න මේ ඉස්කෝලේ ඔයාලා කලින් හිටපු ඉස්කෝල වලට වඩා ගොඩක් වැදගත් බව... කියලා..... 

අන්න එතකොට මගේ රතුකට්ට පැන්නා... මම කලින් හිටපු ඉස්කෝලෙන් අයින් උනේ ඒකේ ඉගැන්වීම් අඩුපාඩුවක් නිසාවත්, වෙන මොකක් හරි අවුලක් නිසාවත් නෙවෙයි.. විශයයක් නොතිබුණු නිසා.. ඒ ඉස්කෝලේ මගේ චිත්‍ර ටීචර් කිව්වා මායි මගේ යාලුවයි වෙනුවෙන්ම එයා තවත් පන්තියක් කරන්නම්... කියලා..ප්‍රින්සිපල් මැඩම් උනත් ගොඩක් අකමැත්තෙන් තමයි අස්වීමේ සහතිකය ලියලා දුන්නේ.. ඒත් ළමයි දෙන්නෙක් විතරක් ඉඳලා විභාගයට සූදානම් වෙන එකට අභියෝගයක් නැතුව පාස් වෙන්න බැරි බව දන්න නිසයි අපි දෙන්නම අස් උනේ... ඒ දුකෙන් හිටපු මට, අර වගේ මගේ ඉස්කෝලේ පහතට දාලා කතා කරනවා දරා ගන්න ටිකක් ආමාරයි .. ඒ කාලේ ඉතිං ඉස්කෝලෙට ලොකු ආදරයක් තිබ්බානේ.... 

කො‌ෙහාම හරි ඔය අතරේ තමයි අර ගුරුතුමිය අපේ දැනුම පරික්ෂා කරන්න පටන් ගත්තේ.. පටන් ගත්තේ සිංහල භාෂාවෙන්... වෙන ඉස්කෝලවල සිංහල වත් හරියට උගන්නනේ නෑ කියලා වාක්‍යයක් දාලා තමයි ඔය වැඩෙත් පටන් ගත්තේ... ( ඒ කියන්නේ එයා කියන විදියට සිංහලයි, බුද්ධාගමයි හරියට උගන්නන්නේ අනුලා එකේ විතරයි..) මට සිංහල ගැන කිසිම ප්‍රශ්නයක් නෑ... මම ඒලෙවල් වලට තෝරගෙන හිටියෙත් සිංහල... 

ඉතිං කාට හරි ඇවිත් "ක්ෂිතිජය" කියන වචනේ හරියට බෝඩ් එකේ ලියන්න කිව්වම මං නැගිට්ටා.. ගිහින් ලිව්වා වචනේ... ලියලා පන්තිය පැත්තට හැරිලා කිව්වා.. 

මම කලින් හිටපු ගෝතමී එකේ මේ හැමදෙයක්ම හොඳට ඉගැන්නුවා... ඒක ගොඩක් හොද ඉස්කෝලයක්...  මම ඒකෙන් අස් උනේ මම තෝරගත්ත එක විශයයක් කරන්න පහසුකම් නැති උන නිසා විතරයි... " කියලා ... ඊට පස්සේ මම ඉඳගත්තා.. 

ඒ ටීචර් මම ගැන මොනවා හිතුවද කියලා මම දන්නේ නෑ... ඒත් මට නම් ටීචර්ව විතරක් නෙවෙයි ඉස්කෝලෙත් එතනින්ම එපා උනා.. ඇත්තම කිව්වොත් ඒ විශයත් එපා උනා...අදටත් කවුරුහරි ඉකෝන් ගැන ඇහුවොත් මම කෙලින්ම කියනවා මට ඉකෝන් පෙන්නන්න බෑ කියලා... ඒ ව‌ෙග්ම අදටත්ම මම අනුලා එකට වඩා ගෝතමියට ගොඩක් ආසයි... ඒත් මාත් එක්ක හිටපු ළමයි අර ටීචර්ගේ තත්වෙට වඩා උසස් තත්වෙක හිටියා කියලා මම දැනගත්තේ ඒ පීරියඩ් එකෙන් පස්සේ අපිත් එක්ක කතා කරද්දි, වෙච්ච දේ ගැන ... ඕවා ගනං ගන්න එපා.. එයා කො‌ෙහාමත් පොඩ්ඩක් උඩින් තමයි යන්නේ .. කියලා අපේ රිදුනු හිත් හදන්න උත්සාහ කරපු නිසා.... ( අපේ මහත්තයගේ පවුලේ ඔක්‌ෙකාම ගෑණු අය අනුලියන්ස්ලා නිසා ඕක කිව්වම මාව මරන්න වගේ බැලුවත් මං ඇත්ත කියන්න බය වෙන්නේ මොකටද...හි හි)  

( ඉස්කෝලවල නම් ගම් දාලාම ලිව්ව එකට කිසි කෙනෙක් තරහා වෙන්න ඕනේ නෑ... හි හි ) 

මේ කතාව මට ලියන්න හිතුනේ පහුගිය ටිකේ රයිගමයි, ඩූඩ් අයියයි දෙන්නම ලියලා තිබ්බ සමරසිංහ ගුණසේකර මහත්තයාගේ ඉන්ටවිවු එකේ දක්වලා තිබ්බ අදහස් ගැන තිබ්බ පෝස්ට් ටික කියවලා, අද බයිට් ටික හම්බුන ගමන් ගිහින් ඒ ඉන්ටවීවු එක කියවගෙන යද්දී අහු උන මෙන්න මේ කෑල්ල නිසා... 

//මොනරාගල ප්‍රදේශයේ ඉන්න ගුරුවරයට තියෙන්නෙ උච්ඡ මානය. මේ ඉන්නෙ මට වැඩිය තත්ත්වයෙන් පහත් ගඳගහන ළමයි. ගුරුවරයා ළමයි ළඟට ගන්නෙ නෑ දුරින් තියාගෙන කතාකරන්නෙ. නමුත් රොයල් එකට ගියාම කොහොමදළමය එන්නෙ බීඑම්ඩබ්ලිව් කාර් එකෙන් ගුරුවරය එන්නෙ මෝටර් සයිකලෙන්. එතකොට එතනදි මොකද වෙන්නෙ හීන මානයක් ඇතිවෙනව. එතනදි මොකද වෙන්නෙඋච්ඡ මානය සහ හීනමානය යන දෙකේදිම වෙන්නෙ දරුව ගුරුවරයගෙන් ගුටිකන එක. තමන්ගෙ ඇරියස් පිට කරන්නෙ දරුවගෙන්.//

///ඔව් ඉස්සර අපිට හොඳ ළමයෙක් හිටිය. දැන් ළමය නෑ. ඇයි මේපාසල අසාර්ථක වීමලෝකයේ දියුණු රටවල්වල කොහේවත් පාසල්වල ආගම උගන්වන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ ආගම විහිළුවට ලක්කිරිමක්. ආගම නින්දාවට පත්කිරීමක්. පාසල්වල ආගම උගන්වන ගුරුවරය කියන්නෙ කවටයෙක්. ළමයි අකමැතිම විෂය රිලිජන්. ආගම උගන්වල ශික්ෂණයක් ගේන්න පුළුවන් කියල හිතනවනම් ඒක හීනයක්. ආගම කියන්නෙ පර්සනල් දෙයක්. නිසා ළමයා අසාර්ථක වීම සාධාරණයි. ///

ඇත්තටම ඉස්කෝල වල ආගමි ඉගැන්වීම විකාරයක් කියලා හිතන තැනක මාත් හිටියා... නමුත් වැට උඩ... මොකද ඇත්තටම යහපත් ළමයෙක් කියලා අපේ හිතේ ඇදිච්ච රෑපයක් තියෙනවනේ.. අම්මට තාත්තට වැඳලා ගෙදරින් එළියට බහින, ගුරුවරුන්ට කීකරු, රස්තියාදුවේ යන්නේ නැති, රණ්ඩු වලට පැටලෙන්නේ නැති, හොඳට ඉගෙන ගෙන විභාග වලට හොඳ ළකුණු ගන්න, කුඩු ගහන්නේ සිගරට් බොන්නේ නැති... බාහිර ක්‍රියාකාරකම් වලට සහභාගී වෙන.... ඔන්න ඔහොම ලිස්ට් එකක් තියෙනවානේ... 

නමුත් ඇත්තටම යහපත් ළමයෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද.... ? 

දැන් ඉතිං මට මතක් වෙන්නේ ෆිල්ම් වල ඉන්න ගුණ යහපත් චණ්ඩියෝ... එයාලා හැමතිස්සෙම ෆයිට් කරන්නේ සාධාරණය වෙනුවෙන්... ඒක නිසා එයාලා චණ්ඩි... හැබැයි කතාවේ වීරයා විදියට එයාගේ තියෙනවා යහපත් ගතිගුණ... වැඩිහිටියන්ට සලකනවා.. ගෑණුන්ට සලකනවා... අසාධාරණයට විරුද්දව කතා කරනවා.. සටන් කරනවා.. අපි නරඹන්නෝ විදියට හැමතිස්සෙම බලාපොරොත්තු වෙනවා චණ්ඩියා දිනයි.. දිනලා කාව හරි කසාද බැඳලා යහපත් ජීවිතයක් ගත කරයි කියලා... ගොඩක් ෆිල්ම් ඉවර වෙන්නෙත් එහෙමනේ... 

ඕකම ළමයින්ට ආදේශ කරන්න බැරිද කියලා මං මේ උදේ කල්පනා කළා... ළමයි කියන්නේ ෆයිට් කරන්න හැමතිස්සෙම සූදානම් පිට ඉන්න ජාතියක්... ඒත් අපි දෙමවුපියෝ විදියට බලාපොරොත්තු වෙන්නේ එයාලා ෆයිට් නොකර කීකරුව ගෙදරදි, පාසලේදි, ස්පෝර්ට්ස් ප්‍රැක්ටිස් වලදි ඉන්නවා දකින්න....කියන දේ අහලා, කියන විදියට පාඩම් කරලා විභාග පාස් වෙනවා දකින්න... එයාලට හිතෙන දෙයක් කියන්න අපි අවස්ථාව දෙනවා අඩුයි නේද... එයාලා හිතන දෙයක් කරන්න අපි අවස්ථාව දෙනවා අඩුයි නේද...  

මං අහලා තියෙනවා ගොඩක් අය කියනවා ලංකාවේ ඒ ලෙවල් වලට වඩා ලන්ඩන් ඒ ලෙවල් මාර ලේසියි කියනවා... මං දැන් හිතෙනවා... ( මේක මම ෆැක්ට්ස් හැටියට දන්නේ නෑ .. මට හිතෙන දෙයක් විතරයි.. වැරදි නම් හැදුවට කමක් නෑ..)මේ ලන්ඩන් ඒ ‌ලෙවල් වලට දෙනවා ඇත්තේ විශය කරුණු ගැන බේසික් දැනුමක් විතරයි වෙන්න ඇති කියලා... 

අපේ වගේ විභාගෙට එන්න පුළුවන් ගනං ටික ඔක්කොම උදාහරණ දීලා, හදවලා හදවලා, කටපාඩම් කරවලා යවන්නේ නැතුව ළමයින්ට තියරිය ගැන බේසික් දැනුම හොඳින් දීලා, ඉතුරු ටික හදා ගන්න එයාලටම ඉඩ දීලා ඇති කියලා... එත‌ෙකාට ළමයින්ගේ විභාගෙදි බලාපොරොත්තු වෙන්නේ එයාලා තියරියේ බේසික් ටික හරියට ග්‍රහණය කරගෙනද කියලා පරික්ෂා කරලා බලන එක මිසක්, ගානේ උත්තරේ හරියටම ඇවිල්ලා කියලා බලන්න නෙවෙයි කියලා.... මං හරිද දන් නෑ ඉතිං... ඒත් එහෙම නේද හරි නම් වෙන්න ඕනේ.... ඔන්න මට හිතෙන විදිය... 

කීප දෙනෙක්ම මේ කතාවට ලින්ක් දීලා තිබ්බා.. අතෑරිච්ච අය ඉන්නවනං ගිහින් කියවලා බලලා අදහසක් ඇත්නම් කියමුකෝ බලන්න...

Friday, March 1, 2013

පාරවල් වල ඉරි අඳින හැටි දැනගත්ත හැටි....


ගිය ටිකේ ලියන්න ඉස්පාසුවක් තිබුනේ නැති හින්දා............. හි හි... බොරු බොරු... පටන් ගත්තෙම පත බොරුවකින්..... 

දිග නිවාඩුවක් හම්බුන එකේ ගියා පොඩි රවුමක් දාලා එන්න කියලා.... කවුද ඉතිං....  අපි දෙන්නා තමයි..... ගිය තැන් විස්තර නම් එච්චර නෑ ඉතිං.. නුවරට ගියා, දළඳා මාලිගාවට ගියා... ඊළඟ දවසේ අනුරාධපුරේ යන ගමන් යාපහු යනවා කියලා හිතාගෙන ගියාට, තඹුත්තේගම හරියට ගියාම තමයි දැනගත්තේ යාපහුව පහු වෙලා කියලා.. ඒ පාර ආයිත් කිලෝ මීටර් 30ක් ආපස්සට යන්න බෑ කියලා වේලාසනින්ම අනුරාධපුරේට ගිහින්, වටේම ඇවිදලා, පෝය දවසේ පාන්දර 6ට උඩමළුවයි, රුවන්මැලිසෑයටයි ගිහින් ආපු පාරෙන්ම ආවා යාපහුව හොයාගෙන..... 

මොකක් කිව්වා.... හිරුවා නැග්ගද යාපහු ඇහුවා..... ???? 

ඔව් ඔව්.. නැග්ගා.... නැග්ගා... මටත් පුදුමයි අප්පා.... හි හි... 

ඊට පස්සේ රවුමක් ගහලා පඬුවස් නුවර හොයාගෙන ගියා... ඒක තමයි ගමනෙන්ම අන්තිම නරක හරිය.... පාර නම් අන්තිමයි.... නිකවැරටිය පාරෙන්නේ ගියේ.... කො‌ෙහාම හරි ඒකත් කරගෙන මීගමු පාරෙන් කොළඹ ආවා සඳුදා හවස.... 

හරි.. ඔය ගමන යන ගමන් මට කාලාන්තරයක් තිස්සේ තිබිච්ච පුරස්නයක් විසඳගන්න ලැබුන සතුටට තමයි මේ ලියන්න ගත්තේ... මොකද්ද දන්නවද පුරස්නේ.... 

පාරවල් වල ඔය මැද ඉරි, අයිනේ ඉරි අඳින්නේ කො‌ෙහාමද කියන එක.... 

හි හි... 

ඇයි අප්පා... ඕක මට හරි මැජික් එකක් වෙලා තිබ්බේ... හරි කෙලින් මේවා අඳිනවානේ.... 

ඉතිං ඔන්න යන ගමන් මම අපේ මහත්තයාගෙන් ඇහුවා ඇත්තටම මේ ඉරි අඳින්‌නේ කො‌ෙහාමද කියලා... මොකද ඒ හරියේ අලුතින්ම ඉරි ඇඳලා, පාරවල් කිරි කිරි පාටින්, බබල බබල තිබ්බේ... 

ඕවා අඳින්නෙ අඩි රෑල තියලා, ඉරි ගහලා, බිම දිගේ බඩ ගාගෙන, පින්සල් වලින් හලෝ... ඒකවත් දන්නෙ නැද්ද.....

ඔන්න අපේ මහත්තයගේ උත්තරේ..... 

ඇහුව මෝඩකම කියලා හිත හිත, ඒත් වැඩේ දැනගන්න ඕනේ නිසා බල කරලා ඇහුවම ඔන්න කිව්වා... 

ඕකට පොඩි මැෂින් එකක් තියෙනවා... ඒකේ තීන්න දාලා, ඒකෙ තියෙන පොඩි රෝදයක් වගේ එකකින් තමයි ඉර ඇඳෙන්නේ තල්ලු කරගෙන යනකොට... ඕක තීන්න ජාතියක්මත් නෙවෙයි... ලොකු ලොරියක තියෙන බැරල් එකක, හැමතිස්සෙම රත්වෙවී තියාගෙන ඉන්නේ තාර වගේ... ඔය ඉරි පොඩ්ඩක් පාරෙන් ඉස්සිලා වගේ පේන්නේ ඒක නිසා... අනිත් එක වැස්ස වෙලාවට එහෙම ඔය ඉරි උඩ ලිස්සනවා....මාක් කරන්නේ ටේප් වලින් තමයි.. ටේප් එකෙන් මාක් කරලා, ලණුවක් දාලා අඳිනවා.... ”

ඔන්න අපේ මහත්තයා විස්තර කරපු හැටි.... 

මාත්හා හා.. ‌ෙත්රුනා.. කියලා ඔලුව වනලා ටික දුරක් යනකොට.. මෙන්න බොලේ කට්ටියක් පාරේ ඉරි අඳිනවා.... 

අපේ මහත්තයට බ්ලොග් එක මතක් වෙලා ෆොටෝ එකක් ගමු කියලා, හරවගෙන එන චුට්ටට, අර තල්ලු කරන් ගිය ඉරි අඳින මැෂිම නම් ආපහු ලෝඩ් කරන්න අර ලොකු බැරල් එකක් තියං ඉන්න ලොරිය ළඟට ඇවිල්ලා... දුක තමයි කියලා ඒ ලොරියෙ ෆොටෝ එකක් අරන් ආවා ඉතිං.. ඔන්න ඒ ෆොටෝ ටික ඔයාලටත් මං වගේ දන්නෙ නැති අය ඉන්නවා නම් අයිඩියා එකක් ගන්නත් එක්ක මම මේකේ දානවා... 

ආ... අමතක උනා කියන්න.... ගිය ගමනෙදි මට බ්ලොග් එක ගැන මෙලෝ මතකයක් තිබුනේ නැති උනත්, අපේ මහත්තයට නම් බ්ලොග් එක මතක් උනා.. ඒක නිසා ‌ෆොටෝ වල සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනේ එයාට හොඳේ.... 



ඔය ලොරියේ ලොකුවට තියෙන බැරල් එකේ තමයි තීන්න උණු වෙමින් තියෙනවා කිව්වේ... 
පොඩියට තියෙන බැරල් එක තමයි අර මං කිව්ව තල්ලු කරන් යන මැෂින් එක.... 


අන්තිමට තියෙන්නේ ඔය ලණු සීන් එක තමයි... හි හි


මේ ෆොටෝ ටික ගන්න වෙලාවේ ඔය රාජකාරියේ යෙදිලා හිටිය හැමෝම හොඳ සහයෝගයක් දුන්නා කියලත් කියන්න ඕනේ... අපි වැඩි වෙලා හිටියේ නැති නිසා මිසක් නැත්තම් ඒ අය ඉරි අඳින හැටි ෆොටෝ ගන්නත් පුළුවන් කියලා කිව්වා.. ඒත් රාජකාරියේ යෙදිලා ඉන්න අයට කරදර කරන එක හොඳ නැති නිසා අපි ඉක්මණට ආවා...