Tuesday, January 27, 2015

ඔයාලෑ ගෙදරත් රැපියල් 5 - 10 කාසි එකතු කරන කැට තියෙනවද...?

මට මෙහෙම අහන්න සිද්ධ උනේ මේ දවස්වල තියෙන මාරු කාසි හිඟය හින්ද.... කාලෙකින් රැපියල් 10 නෝට්ටු මුද්‍රණය කරල නැති හින්ද සංසරණයෙ තියෙන 10 නෝට්ටු බොහොම අබලන් තත්වෙයයි තියෙන්නෙ... ඒ අතරෙ නිකුත් වෙලා තියෙන කාසි වලිනුත් වැඩි ප්‍රමාණයක් කැට වල හිරවෙලා කියෙල තමයි හිතන්න පුලුවන්... ‌මොකද දැනට බැංකුවකින්වත් 10 කාසි 5 කාසි ගන්න හරිම අමාරුයි... 

අපි දන්න කියන කීපදෙනෙක්ම පුරුදු වෙලා ඉන්නෙ කැට වල තියෙන සල්ලි අපෙන් මාරු කර ගන්න.. ඒත් ගොඩක් වෙලාවට ඒවා පුංචි ළමයින්ගෙ කැට.. පුංචි ළමයි ඉතිං කාසි වල වටිනාකම හොයන්නෙ නෑ නෙ.. එයාලට අහුවෙන හැම කාසියම කැටේට දාගන්නයි ඕනෙ... 5 -10 කාසි එකතු කරන්නෙ වැඩිහිටියො තමයි... වැඩේ කියන්නෙ වැඩිහිටියන්ගෙ කැට ඉක්මණට පිරෙන්නෙ නැති හින්දද මන්ද එයලා ඒවා කාලෙකින් මාරු කරන්නෙ නෑ... ඉතිං අර කාසි ටිකට වෙන්නෙ නිදන් වස්තු කරන්න තමයි කවද හරි.... 

අනිත් කතන්දරේ පන්සල්වලයි දේවාල වලයි අවුරුද්ද පුරාම පිරෙන කැට... හයියෝ... ඒවා නං අවුරුද්දකට සැරයක් හරි සුද්ධ වෙනව කියමුකෝ... ඒත් මේ ආච්චි අම්මලා ශ්‍රද්ධාවෙන් ඔලුව උඩ තියන ගිහින් ඉන්දියාවෙ පන්සල් වලට දාන කාසි...?දැං අන්න ඉන්දියාවෙ තියෙනවලු ලංකාවෙ කාසි වටිනාකම කෝට් ගානක් වෙන.. ගෝනි ගනං පුරෝලා... 

මේ දවස්වල බස් වල එහෙම යන කට්ටිය දන්නව ඇති මේ මාරු කාසි කතන්දරේ බරපතල කම... දැනට සිල්ලර කඩ වලින් රැපියල් පහේ වටිනාකමට දෙන්නෙ ගිනි පෙට්ටි... බස් වල රැපියල් පහත් තියාගන්න කියන්න වෙලා තියෙන්නෙ... 

ඒ මදිවට මේ අපේ පැත්තෙ අයියල පහේ කාසි උණු කරල මාල, දම්වැල් හදනවලු... මුන්ට මොංගල්ද මන්ද.... 

( කොහොමත් හොරණ, පාදුක්ක, ඉංගිරිය පැත්තෙ දැං ඔය ජාතියෙ අයියල වැඩියි.. දෙසැම්බර් අන්තිම අම්මලගෙ ගෙවල් ළඟ මං අර එක පෝස්ට් එකක ලියපු අපේ චිත්‍ර මිස්ගෙ පුතාව, ගෙදරටම පැනල, පිහියකින් කපල මරල දැම්ම... (පත්තරේ ගිය කතාවලින් වැඩිහරියක් එහෙන් මෙහෙන් හොයාගත්ත ඕපදූප විතරයි..)  සති දෙකකට ඉස්සෙල්ල අපේ ගෙදට්ටත් හොරු පැන්න... ඒ එක රෑකට ගෙවල් හතකට පැනපු පාර.. ගිය මාසෙටම විතරක් අතුරුගිරිය පොලිසියෙ හොරු පැනපු පැමිණිලි 30කට වඩා තියෙනව.. ඒ අස්සෙ පාදුක්කෙ පොලිසියෙ එකෙක් හොරු අල්ලන්න ගිහින් මැරුම් කාල... ඒ මදිවට කුඩු... පොලී කාරයො.. අවුරද්දෙන් දෙකෙන් ලක්ෂපතියො කෝටිපතියො වෙන ‘‘ව්‍යාපාරිකයො’’ වැහි වැහැල...) 

ඒක නිසයි මේ පෝස්ට් එක ලිව්වෙ... 

අනේ ඔයාලෑ ගෙදරත් මාරු කාසි එකතු කරපු කැට තියෙනව නං පුළුවන් තරං ඉක්මණට ඒවා මාරු කර ගන්න එක රටටම කරන ලොකු උපකාරයක්.... 


ගිය ටිකේ හදපු පිස්සු කේක් සෙට් එකෙන් එකක්.. මේක නං හෙන ආසාවෙන් හැදුවෙ.. මොකද මේ බර්ත්ඩේ ගර්ල් මං වගේම කමිපියුටර් පිස්සියක්... හි හි

Saturday, January 10, 2015

2015... ඡන්ද නෝක්කඩු එක්ක සුබ නව වසරක් වේවා කට්ටියටම....


පහුගිය මාසෙ අන්තිම හරිය ලියන්න දේවල් මහගොඩක් තිබ්බ උනත්, ලියන්න පුදුමාකාර කම්මැලිකමක් ඉහට ගහල තිබ්බ හින්ද ඔන්නොහෙ බ්ලොගේ පැත්තකට දාලා නිකා හිටියෙ... අඩුමගානේ කට්ටියට සුබ නව වසරක් වේවා කියන්නවත් පෝස්ට් එකක් දැම්මෙ නෑනේ.... හි හි

2015ත් ලැබුවා... මං හිතන්නෙ නව අවුරුදු අසිරිය ඡන්ද උණුසුමින් ටිකක් වැහිලා ගියා කියල.... 

අපෙ තාත්ත නං කඩේට එන හැමෝටම සුබ අනාගතයක් කිව්වා... යහපත් පාලනයක් පතන අය එක්ක වාදත් ඇතිකරගත්ත... හි හි... 

අන්තිම සතියෙ කඩේ පැත්තෙ ගියෙ නැත්තෙ එක අතකට කන් දෙක බේරගන්න ඕනෙ කමකුත් තියෙන අතරෙ ඩිසයින් කීපයක් කරන්නත් ඕනෙකම තිබ්බ නිසා.... 

ඡන්දෙ ගැන නං මට මුල ඉඳලම තිබ්බෙ උනන්දුවක් නෙවෙයි... හරි කාළකණ්ණි හැඟීමක්.... ඒකට හේතුව දේශපාලුවො නෙවෙයි... ‌‌මේ රටේ දේශපාලකයො පත් කරගන්න ඡන්දෙ දෙන ඡන්දදායකයො, ඡන්දෙ පාවිච්චි කරන විදිය ගැන ඇතිවෙච්ච කාලකණ්ණි හැඟීමක්... 

කැපුවත් කොල, කැපුවත් නිල් දේශපාලනය එක්ක, පාලකයෙක් සතු ගුණාංග තියෙන කෙනෙක් පත් කරගන්න උවමනාවක් තියෙන කෙනෙක් ඇත්තෙම නැති තරං... ඊටත් අමතරව කළගුණ සැලකීම, දිය කොරහෙ කිඹුල්ලු දැකීම වගේ හරි සිල්ලර කාරණා එක්කම, කාලයක් පැවතිච්ච හොරා කෑමේ දේශපාලනයක් මත පදනම් වෙච්ච ඡන්ද රටාවකදි, අද වෙනකොට අපිට සිද්ධවෙලා තියෙන්නෙ දන්න මහසෝනා නොදන්න කලුකුමාරයට වඩා හොඳයි කියල හිතල ඡන්දෙ පාවිච්චි කරන්න... අපි හැමෝම දන්නව දෙන්නම යක්කු කියල.... වඩා‌ හොඳයි කියන යකාව තෝරගන්න වෙලා... 

ඇයි යකෙක් නෙවෙන කෙනෙක්ට දේශපාලනය කරන්න බැරි තැනට මේ රට පත් උනේ කියන එක ගැන කවුරුවත් හිතන්නෙ නැද්ද කියන කණගාටුව තමයි මට ගොඩක් දුරට තිබ්බෙ.. 

පහුගිය කාලේ දේශපාලනය මට දිගින් දිගටම මතක් කරල දුන්නෙ කොලිවුඩ් වාණිජ සිනමාපටයක්.... 

චණ්ඩියෙක් තමන්ගෙ මැර බලය යොදවල රටක්, නගරයක්, පලාතක්, ගමක් පාලනය කරගෙන ඉන්නව.... ගෑණු උස්සන් යනව.. කුඩු ජාවාරම් කරනව.. මිනීමරනව... ඔන්න මිනිස්සුන්ට ජීවිතේ එපා වෙලා ඉන්නකොට කොහෙන් හරි හිත හොඳ චණ්ඩියෙක් මතු වෙනව... මිනිස්සු ගෙවල් වල හංගගෙන, හොරෙන් ඔත්තු දීලා, ගෙදර තියෙන මන්න පිහියත් දීලා, හිත හොඳ චණ්ඩියට සපෝට් එක දෙනව... චණ්ඩිය මැරයගෙ සිය දෙනෙකුට විතර තනියෙන් ගහල මැරයවත් මරල දානව... මිනිස්සු චණ්ඩියව උස්සගෙන කරවල් උඩ තියාගෙන ගිහින් මැරයගෙ පුටුවෙන් ඉන්දවනව... 

ප්‍රශ්නෙ තියෙන්නෙ අන්න එතන... ෆිල්ම් එක එතනින් ඉවර වෙන හින්ද අපිට හිතන්න දෙයක් නෑ මේ චණ්ඩියෙක් කොහොමද රටක්, නගරයක්, පලාතක්, ගමක් පාලනය කරන්නෙ කියන එක... 

යුද්ධෙදි අපිට චණ්ඩියෙක් ඕනෙ උනා....කඩුවට කොස්සක් ගන්නෙ නැතුව, කඩුවක් ගන්න මිනිහෙක් ඕනෙ උනා... කිසි කෙනෙක්ට නැවෙන්නෙ නැති, නීතිය තමන් අතට ගන්න සූදානම් මිනිහෙක් ඕන උනා.... 

මහින්ද රාජපක්ෂ ජනාධිපති උනේ අන්න ඒ කාරණාව උඩ... 

යුද්‌ෙධ ඉවර උනා... අපිට එක දෙයක් අමතක උනා... 

අපි මේ ගෙනාවෙ චණ්ඩියෙක් මිස පාලකයෙක් නොවෙන බව... 

චණ්ඩින්ට රටක පාලනයෙ තියෙන සියුම් තැන් තෝරගන්න බැරි බව... 

ලොකුම දේ තමයි පලවෙනි මැරය ඒ තත්වෙට ආවෙත් මිනිස්සුන්ගෙ කරපිටින්ම තමයි කියන එක.... 

දැං ඊයේ තත්වෙ... 

මහින්ද රාජපක්ෂ කියන, තුන්වෙනිවරට ජනාධිපති අපේක්ෂක උන පුද්ගලයව පරාජයට පත්කරන්න මූලික හේතුව උනේ, මේ අපේ රජතුමා කිය කිය කර උඩ තියාගෙන ගිය මිනිස්සුමයි කියල මට හිතෙන්නෙ....

ප්‍රජාතන්ත්‍රවාදී රටකට මොකටද ඒකාධිපතියො....?

අන්න ඒකයි පළවෙනියෙන්ම මට මහින්දව එපා වෙන්න හේතුව උනේ.... 

දෙවනි එක තමයි තුන්වෙනිපාරට ඡන්දෙට ඉදිරිපත් වීම.... 

කිසිම පුද්ගලයෙක්ට එක දිගට අවුරදු 10 හෝ 12 කට වඩා විධායක ජනාධිපති වගේ අධික බලතල ඇති ධූරයක් දරන්න ඉඩ දෙන්න හොඳ නෑ කියන එක මගේ පෞද්ගලික අදහස... මහින්ද හොඳ පාලකයෙක් උනා නං තමන්ගෙ දෙවනි ධුර කාලය ඉවර වෙනකොට තමන්ගෙ පක්ෂයෙන් හොඳ අපේක්ෂකයෙන් හදල ඉදිරිපත් කරන්න පුළුවන් කමක් තිබ්බා .. එහෙම උනානං මේ කරගෙන ආපු සංවර්ධන වැඩ වලින් මොකක් හරි හොඳ ප්‍රතිඵලයක් රටට ලැබෙන්න තිබ්බ... ඒත් බලයට ඇති කෑදරකම හින්ද පක්ෂයෙනුත් කොටසක් කඩල බිඳිලයි ගෙදර යන්න සිද්ධ උනේ.... 

තුන්වෙනි එක මේ රටේ හරිහමන් විපක්ෂයක් නැත්තටම නැති කිරීම... 

ඒකට නං ඉතිං මහින්දම නෙවෙයි වගකියන්න ඕනෙ.. අර පැත්තෙන් මේ පැත්තටයි, මේ පැත්තෙන් අර පැත්තටයි ගෙම්බො වගේ පයින උන්ට තවත් ඡන්දෙ දෙන අපේ මිනිස්සුමයි....

මහින්ද අනා ගත්ත තව තැනක්... යුද්ධෙ වැලිඩිටි එක සිග්‍රයෙන් ඉවර වෙන බව තේරුම් නොගත්ත එක.... 

කොහොම හරි මහින්ද ගෙදර ගියානේ... මෛත්‍රි ගැන හිතුවොත්... 

මට නං ඔය මනුස්සයා ගැන සත පහක දැනීමක් නැති හින්ද කතා කරන්න වෙන්නෙ වටේට වෙලා එල්ලිලා ඉන්න කූඩැල්ලො ටික ගැන තමයි... 

ඒ එල්ලිලා ඉන්න කට්ටිය ගැන නං මට මෙලෝ විදිහකින් විශ්වාසයක් තියන්න බැරි බව තමයි කියන්න තියෙන්නෙ... විශේෂයෙන් චන්ද්‍රිකා සහ මුස්ලිම් සෙට් එක.... එක පාරක්ද කොහෙද ඡන්දෙත් දුන්න චන්ද්‍රිකාට, මට මතක විදියට... ඒ නං දේශපාලනයක් දැනගෙන නෙවෙයි... ඒ කාලේ පිටසක්වලකින් ඇවිල්ල හරි යුද්ධෙ ඉවර කරනව කියන එකාට ඡන්ද වැටෙන තත්වයක්නෙ තිබ්බෙ... ඒ කාලෙ ඔය හාල් මිල පොල් මිල ගැන මිනිස්සුන්ට ගානක් තිබ්බෙ නෑ... 

කොහොම උනත් මහින්ද ගිහින් මෛත්‍රි ආවට වටේට ඉන්නෙ අර හිටපු හොරු රැලම නිසා වෙනසක් ඇති වෙයි කියල මට නං එච්චර විශ්වාසයක් නෑ... හැබැයි මේ දවස් දෙකට ඇස් පනාපිටම පෙනෙන විදියට ‌සිංහල මිනිස්සු මහින්ද එපා වෙලා මෛත්‍රිට ඡන්දෙ දුන්න සහ මුස්ලිම් සහ දෙමල මිනිස්සු තම තමන්ට ලබාගන්න බැරුව හිටපු යම් යම් දේවල් ටිකක් ලබාගන්න මෛත්‍රිට ඡන්දෙ දුන්න බවක් මට පේනව...

අනේ ඉතිං දැං කියන්න එපා ජාතිවාදය, ආගම්වාදය වපුරනව කියල.... මේවා ඉතිං මට පේන දේවල්.... මාත් හරි ආසයි මේ රටේ සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු ඔක්කොම ශ්‍රී ලාංකිකයො කියල හිතන්න.... ඒත් ඉතිං කෑල්ල කෑල්ල, ‘‘ මේක අපිට...  මේක අපිට’’ කියල ඉල්ලනව නං එතන කොයිද ශ්‍රී ලංකාවක්..... ? ( ඔව් ඔව්... කඩේට එන මුස්ලිම් කීපදෙනෙක් තමයි කිව්වෙ නැගෙනහිර මුස්ලිම් අයට දෙනව කියල ගිවිසුම් ගහල නිසා මෛත්‍රීට ඡන්දෙ දෙන්න කියල පල්ලියෙන් කිව්ව කියල... දෙමල වගේ නෙවෙයි අපි... අපි කිව්වොත් කිව්වා.. කළේ නැත්තං ජ්‍යාත්‍යන්තරයෙන් ගෙන්නනවා කියලත් වැඩිදුරට කිව්වෙ..... සිංහල අය ගොඩක් කිව්වෙ අපිත් දෙපාරක්ම දුන්නෙ මහින්දට තමයි.. ඒත් මේ දැං කරන දේවල් වල හැටියට මේ යකා තවත් තියාගෙන ඉන්නෙ කොහොමද කියල....  මේවා ඉතිං එක එක පුද්ගලයො කියන දේවල්... ගිවිසුම් කතන්දර වල ඇත්ත නැත්ත කොහොම උණත් මේ අයගෙ හිත් වල තියෙන දේවල් තමයි මේ එළියට එන්නෙ....)  

ප/ලි... හැමෝම ඡන්දෙ දෙන්නෙ තම තමන්ට තේරෙන දේශපාලනය එක්ක... කඩේට ගිහින් කුස්සියට බඩු ටික ගන්න කුස්සි අම්මටත් දේශපාලනයක් තියෙනව.... ඒ දේශපාලනයයි, දේශපාලනය ඉගෙන ගෙන උපාධි ගත්ත මනුස්සයගෙ දේශපාලනයයි දෙකක් උනත්, ඒ ඡන්ද දෙකට තියෙන්නෙ එකම වටිනාකම.... 

දේශපාලනය ගැන මහා දැනීමක් මට නැති හින්ද මේ හිතෙන දේවල් වලට සිංහලෙන්ම කිව්වොත් පැහැදිලිවම මේවා "gut feelings" ... මට පේන, තේරෙන දේ එක්ක , මට හිතෙන දේ... දැං ඉතිං අරෑ ඇවිල්ල මෙහෙම කළා, මූ ඇවිල්ල මෙහෙම කළා, අර අවුරුද්දෙ මෙහෙමයි, මේ මාසෙ මෙහෙමයි කියල තර්ක කරන්න එපා කියල කාරුණිකව ඉල්ලනව... මට කවදාවත් ඉතිහාසය විභාගෙට අර රජා රජ උනේ මොන අවුරුද්දෙද, මොන අවුරද්දෙ මළාද වගේ ආපු ප්‍රශ්න වලට උත්තර දෙන්න මතක තිබ්බෙ නෑ... ඒ නිසා මට සමාජ අධ්‍යනය ඉතිහාසය සබ්ජෙක්ට් එකට තියෙන්නෙ සී පාස් එකක්....