Thursday, October 9, 2014

පහුගිය ටිකේ......


පහුගිය ටිකේ මැරිලා වගේ හිටියට මැරෙන්න වත් වෙලාවක් නැති තරං කරදර ගොඩක පැටලිල හිටපු හින්ද බ්ලොග් එකටත් අබ සරණම වෙලා ගියා.. අදත් මේ ටයිප් කරන්න ගත්තට කොහෙන් පටං ගන්නද කියල හිතා ගන්න බැරි කේස් එකක් තියෙන්නෙ.... 

දැනට මාස දෙක තුනකට කලින් අපෙ අම්මගෙ කකුල ඔපරේෂන් කරපු කතාව මං බ්ලොග් එකේ ලිව්වෙ එහෙට මෙහෙට දුවන අතරෙ.. මෙදා පාරත් ඒ වගේම තමයි... 

කකුලෙ ඔපරේෂන් එකෙන් පස්සෙ යන්තං අම්මා කෙලින් හිටගත්තට පස්සෙ තමයි අපි තුන් දෙනාගෙම හුස්ම හරියට වැටෙන්න ගත්තෙ.. ඒත් ඒ ගමන්ම අම්මට තවත් ඔපරේෂන් එකක් කරන්න සිද්ද උනා.. ඒක ඇවිල්ලා ගුද මාර්ගයේ පොලිප්ස් කියන රෝගය... 

ජපුර ඉස්පිරිතාලේ අම්මගෙ කකුල ඔපරේෂන් එක කරපු දොස්තරටම මේ අමාරුව ගැන කිව්වම ඕක ඔච්චර ලොකු අවුලක් නෙවෙයි ... හෙටම ඇඩ්මිට් වෙන්න ... පොඩි ඔපරේෂන් එකක් තියෙන්නෙ ...“ කිව්ව හින්ද ඔපරේෂන් එකත් කරගෙන අම්ම ගෙදර ආවා... 

දොස්තරලා කියන විදියට දවසම ‌ටොයිලට් යන්නෙ නැතුව හිර කරගෙන හිටියම මේ අවදානම එනවලු... ගුද මාර්ගයේ කඩල අටයක් තරමෙ පුංචි ගෙඩියක් හෝ ගෙඩි කීපයක් ඇති වෙලා, ඉඳලා හිටලා ලේ පොඩ්ඩක් යනව මිසක් මේකෙ වෙන අවුලක් නෑ.. ගොඩක් අය වරදවා හිතනවලු අර්ෂස් කියල... 

කල්පනා කරලා බැලුවම මමත් ඉස්කෝලෙ යන කාලෙ නං නොවැලැක්විය හැකි හේතුවක් නිසා මිසක් ලේසියෙන් ඉස්කෝලෙ ටොයිලට් වලට ගියෙ නෑ... මං හිතන්නෙ මුළු ඉස්කෝලෙ ජීවිතේටම දහ පාරක් ගිහින් ඇති... කොහොම හරි ඉවසන් ඉන්නව ගෙදරට එනකං... මං විතරක් නෙවෙයි මං හිතන්නෙ ගොඩක් අපේ එවුන් එහෙමයි.... 

කොහොමින් කොහොම හරි මාසයක් විතර ගියයි කියමුකො... අයින් කරපු පොලිප් එකේ බයොප්සි රිපෝට් ආවම ආයිමත් අපි කට්ටියගෙම ඉහමොල රත් උනා... 

ඒ ඒකෙ පිලිකා සෛල තියෙනවා කියල කියපු හින්ද.... 

එදා ඉඳන් අපි හතර දෙනා ජීවත් උනේ හීනෙන් ඇවිදිනවා වගේ... එක පැත්තකින් කඩේ වැඩ... අනිත් පැත්තෙන් ඔක්කොටම කලින් කඩාගෙන වැටෙන අපෙ තාත්තා... ඒ මදිවට මාත් නුගේගොඩ හිරවෙලා.... 

කොහොමින් කොහොම හරි ඒ රිපෝට් එක ඇවිත් සතියක් යන්න කලින් මහරගම පිලිකා රෝහලේ අම්මගෙ ට්‍රීට්මන්ට් ටික පටන් ගන්න පුළුවන් උනේ ඇත්තටම හොඳ මිනිස්සු කීපදෙනෙක් හින්ද... ඒ එක්කෙනෙක් අපේ කෝකටත් තෛලෙ වගේ ඉන්න ඩොක්ට සිරිල් ... අනිත් කෙනා පිලිකා රෝහලේ වැඩ කරන ගාමිණී අන්කල්... ගාමිණි අන්කල්ගෙ උදව්වෙන් අම්මගෙ ට්‍රීට්මන්ට් ටික ඉක්මණට පටන් ගන්න විතරක් නෙවෙයි ඉස්පිරිතාලෙ නැවතිලා ඉන්නෙ නැතුව ට්‍රීට්මන්ට් කරගෙන ගෙදර එන්න පුළුවන් උනා.. 

අම්ම කියන විදියට නං ඔය ඉස්පිරිතාලෙ ඉන්න ගොඩක් අය හිතිං මැරිලා වගේලු ඉන්නෙ... ඒ තරමට කරදර... වේදනා... අවිනිශ්චිත බවක්... දුප්පත් අය.. පෝසත් අය හැමෝටම එකම විදියෙ වේදනා... 

ඉස්පිරිතාලෙන් එලියෙ වාහනයක් පාක් කරල තියන්න දවසට 500ක් ලු... එතකොට දවස් 30ක් ට්‍රීට්මන්ට් කරල ඉවර වෙන‌ෙකාට....? 

එතකොට වාහනේක එන්න බැරි තරං දුප්පත් අයට... ඒ මදිවට උදේ පාන්දර ඇවිත් හවස් වෙනකං ට්‍රීට්මන්ට් වලට ඉන්න වෙන අයට... ? 

ඒ අස්සෙ කතන්දර ඉතිං ගොඩක් තියෙනව.. ඒවා පස්සට හිමිං ලියමුකො... 

අම්මගෙ ට්‍රීට්මන්ට් පටං අරං සති දෙකකින් විතර .... අපේ කඩේ වැඩ කරපු අපේ පිස්සි ගැන මං කලින් දවසක් ලිව්වනෙ... අන්න ඒ හොල්මනත් වැඩට එන්නෙ නැතුව නැවතුනා... ඒකත් ඉතිං වෙනම පෝස්ට් එකක් ලියන්න වෙන තරං දිග කතාවක්... එක පැත්තකින් කඩේ වහලත් බෑ... බාර ගත්ත ඕඩර්ස්... ඒ මදිවට මේ වෙඩින් මාස... ඒ ඔක්කොමට හපන් කඩේ වැහුවොත් වෙන්නෙ අම්මා මානසිකව වැටෙන එක... එයා මහන්සි වෙලා ගොඩනගපු දේනෙ... මට කරන්න පුළුවන් එකම දේ කඩේ වහන්නෙ නැතුව ඇඳගෙන යන එක... ඉතිං මං දිගටම කඩේට ආවා... අම්මයි තාත්තයි හැමදාම උදේට ඉස්පිරිතාලෙ ගිහින් ට්‍රීට්මන්ට් කරගෙන දවල්ට ගෙදර එනව... 

ට්‍රීට්මන්ට් වලින් අම්මගෙ කොණ්ඩෙ ගියෙ නැති උනත් රේඩියෝ තෙරපි කරන්නෙ ඇඟේ සියුම්ම හම තියෙන තැන් වලට හින්ද ගොඩක්ම අමාරු උනා.. ඒ මාසයක්ම ට්‍රීට්මන්ට් කරල ඉවරත් උනාට පස්සෙ... ඒ සති දෙක තුනක කාලයෙ අම්ම පුදුම දුකක් වින්ද... තාත්තයි මායි කඩේ වැඩ කළේ අම්මවත් ළඟින් තියාගෙන... ඒකට එක හේතුවක් කඩේ ඒසී කරල තියෙන එක... අනිත් එක කඩේ ඉන්නකොට අම්මගෙ අවධානය තියෙන්නෙ අපි කරන දේවලට මිසක් ඔලුව අවුල් කරගෙන ලෙඩේ ගැන හිතන්න වෙලාවක් නැති එක... තව එකක් තමයි ඉතිං තාත්තයි මායි දෙන්නම කඩේ ඉන්නකොට අම්ම ළඟ ඉන්න කෙනෙක් නැති එක.. අනිත් එක ඉතිං අපිට අම්ම පෙරළිල හරි ළඟ පාත ඉන්නව නං වැඩ කරගන්න මාර හයියක්... 

කොහොමත් අම්ම අසනීප උන ගමන්ම අපේ මුළු පවුලම ලෙඩ වෙන එක ඒ කාලෙ ඉඳලම තිබ්බ කේස් එකක්... 

හපෝ ඒ ටිකේ තාත්තයි මායි වින්ද දුකක්... අපේ අම්මට ඉතිං අපි මොන වැඩේ කළත් අඩුපාඩුමනෙ පේන්නෙ... හි හි... දැං තාත්ත තමයි කේක් හදන වැඩේ කරන්නෙ.. මම ඩෙකරේෂන් කරන්නෙ... අම්ම මෙට්‍රස් එකක් දාගෙන පෙරලිලා අපිට උපදෙස් දෙනව... හම්මො.... ඇති වෙලා හිටියෙ.... හි හි... 

කොහොම හරි අම්ම අසනීප වෙච්ච මාස කීපයට කොච්චර හොඳ මිනිස්සු අපි වටේ ඉන්නවද කියල අපි දැනගත්ත... ඒ මාස කීපයම අපිට කන්න දුන්නෙ අහල පහල අය... අම්මට විශේෂයෙන් හදපු කෑම බීම ජාති තුනක් හතරක් විතර එක දවසකට හම්බුවෙනව... රේඩි‌යෝ තෙරපි කළාට පස්සෙ අම්මගෙ ඇඟේ හම යන්න ගත්ත.. හරියට පිච්චිලා වගේ.... ඒකට ගාන බෙහෙත් ටියුබ් එකක් එක පාරයි පාවිච්චි කරන්න පුළුවන් ... ඒ බෙහෙත් පෙට්ටි ගනං ගෙනත් දුන්න අය හිටිය.. අම්මගෙ හාට් රේට් එක අඩු වෙලා කිව්වම පිට රට ඉන්න අම්මගෙන් කේක් අරන් යන අයත් ඒවට බෙහෙත් ජාති එවල තිබ්බ... 

හොඳ මිනිස්සුන්ට ජාති, ආගම් බේද නැති බවත් අපි හරියටම තේරුම් ගත්ත.. ගමේ අයයි, අම්මලගෙ වෙළඳ සංගමේ අයයි මාසයක් එක දිගට බෝධි පූජා තිබ්බ... පන්සලේ ලොකු හාමුදුරුවො ගෙදරට වැඩල අම්මට පිරිත් නූල් බැන්ද... නෑයො බාර හාර වෙලා තිබ්බ... අපෙ තාත්තගෙ වැඩපලේ හොඳම යාලුවො පල්ලියෙ විශේෂ දේව මෙහෙයක් තිබ්බ... අම්ම ඉස්සර ඉඳලම බඩු ගත්ත පිටකොටුවෙ කඩේ අය මේ ගැන දැනගත්තම, එයාලා මක්කම ගිහින් එනකොට ගෙනාපු විශේෂ වතුර බෝතල් අම්මට දීලා තිබුන හැමදාම බොන්න කියල... 

මේවා ඇත්තටම අපේ හිතට ලොකු හයියක් උනා.... අපේ පවුලෙ අපි හතර දෙනාට කරන්න බැරි හැමදෙයක්ම අපි වටේ හිටපු අය කරල දුන්නෙ... දවසට දෙතුන් දෙනෙක් එනවා අම්මව බලන්න කඩේට.. ඒ දේවල් හින්දම අම්මටත් වේදනාව දරාගන්න පුලුවන් වෙන්න ඇති.. කොහොමින් කොහොම හරි අපි ඒ ටික කාලෙත් පහු කර ගත්ත... 

අගෝස්තු 12 අම්මට පළවෙනි ක්ලිනික් එක තිබ්බෙ.. එදා උදේ තාත්තයි මල්ලියි එක්ක ඉස්පිරිතාලෙට ගියාම අම්ම දුර්වල හින්ද ඉස්පිරිතාලෙ නවත්තගෙන.. මගේ ඔලුව කැරකෙන්න ගත්තෙ ඊළඟ දවසේ වෙඩින් කේක් කෑලි 200 ක ඕඩරයක් දෙන්න තිබ්බ හින්ද.. කො‌ෙහාම හරි කරනවා කියල හිතාගෙන පළවෙනි වතාවට තනියෙම්ම කේක් එකක් හදන්න පටං අරං ටික වෙලාවකින් තාත්ත කෝල් කරනව... 

කාරෙක ඇක්සිඩන්ට් වෙලා... කියල.... 





මට එකපාරටම මතක් උනේ අපේ මල වදකාර මලය කාරෙක එලෝන හැටි...

බලනකොට උගේ අපලෙ වාහනේ පිටින් ගිහින්... කාරෙක ගන්න දෙයක් නෑ... ලයිට් කණුවක වැදිල තව මීටර් සීයක් විතර ඇදිල ගිහින්.. හොද වෙලාවට ලයිට් කණුවටත් මුකුත් නෑ.. පාරෙ වෙන වාහන තිබිලත් නෑ.... මිනිස්සු ඉඳලත් නෑ... 

ඒ පාර වාහනේක පටෝගෙන ගිහින් ගැරේජ් එකේදි බානකොට කේබල් එක ලිස්සලා ඇවිත් ඩිකියත් ගන්න දෙයක් නැති තැනටම වැඩ සිද්ධ වෙලා... 


ඒක ගැරෙජ් දාලා මාසයක් ගියපි... ආ දැං හරි කියනව.. නෑ තව කෑල්ලක් කැඩිලා කියනව....ඉවරයක් නෑ... 

සැප්තැම්බර් 11.... අපේ තාත්තගෙ අම්මට ඉතිං 80ක් විතර වෙනව... සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් විතර දොස්තරලව බලන්න යන්න ඕනෙනේ ඔය වයසෙ කට්ටියට...එහෙම සීන් එකක් කියල සුපුරුදු විදියට පාදුක්කෙ ඉස්පිරිතාලෙට එක්කං ආවම ඔන්න ආමාරුයි කියල ජපුර හොස්පිට්ල් එකට යවන්න කිව්ව... දවස් කීපයක් ඉතිං ආච්චිට අමාරුයි කිය කිය ඉඳලා මැෂීන් වලට දාන්න ඕනෙ කිව්වලු.. එහෙ හිටපු දන්න නර්ස් කෙනෙක් කිව්වලු මෙහෙ මැෂීන් දාන්නෙ ගොඩ ගන්න බෑ කියල තේරුනාම කියල... කළුබෝවිලට එක්කං යන්න කියල... ඔන්න ඉතිං ඒ පාර ආච්චිව කළුබෝවිල ඇඩ්මිට් කළා.. 

අම්ම මේ වෙනකොට පොඩ්ඩක් කෙලින් කටින් හිටිය නිසා තාත්තා හැමදාම ආච්චව බලන්න යනව... දවසක් ඇවිත් කිව්ව.. දැංනං අම්මව ෂුවර් කරන්න බෑ... පිරිත් ටිකක්වත් කියාගන්න විදියක් තිබ්බනං කියල... ඒ පාර අම්ම කිව්ව ලොකු හාමුදුරුවන්ට කියලා බලන්නම් කියල.. සැප්තැම්බර් 17 වෙනිද... ඒ වැඩ ටික ලෑස්ති කරගන්න හවසට පන්සලට යමු කියල කතා වෙලා ඉද්දි ආච්චි බලන්න දවාලෙ ගියපු අපෙ තාත්ත කෝල් කරල කිව්ව... දැං නං අම්මට හොඳටම අමාරුයි කියල.... ඒ වෙලාවෙ අම්මයි මායි දෙන්න වෙඩින් කේක් ඕඩරයක් ලෑස්ති කරනව... ඒ පාර වෙන කරන්න දෙයක් නැති තැන අපි පන්සලේ ප්‍රධාන දායක තැනට කෝල් කරල ඇහුව පිරිත් ටිකක් කියන්න ඉස්පිරිතාලෙට වඩින්න පොඩි හාමුදුරුනමක් හරි ඉන්නවද කියල... 

ටික වෙලාවකින් ලොකු හාමුදුරුවො පිරිවෙන් ගිහින් එනගමන්ම වඩින්නම් කිව්ව කියල පණිවිඩේ හම්බුනා.. අම්මටයි මටයි දෙන්නටම කඩෙන් යන්න බැරි හින්ද ( අම්මට නං කොහොමත් ඉස්පිරිතාල වලට යන්න එපා කියල තිබ්බෙ.. ) නැන්දට කෝල් කරල අටපිරිකරකුත් ඉස්පිරිතාලෙට ඇරිය... 

ලොකු හාමුදුරුවොයි පොඩි නමකුයි හවස හතරට ඉස්පිරිතාලෙට වැඩල, පිරිත් කියල, පිරිත් නූලකුත් ගැටගහල ඉවර වෙලා විනාඩි 10ක් යන්නත් කලින් ආච්චි නැති උනාලු... 

තාත්තා කෝල් කරල කිව්වම අම්මට නං ඇඬුන.. ඒත් මට දුකක් දැනුනෙ නෑ අඬන්න තරං... ඒ මොකද ආච්චි මැරෙන වෙලාවෙ මට හිතෙන විදියට නං ඇහෙන්න ඇත්තෙ වෙන කිසිම දෙයක් නෙවෙයි... අර පිරිත් ටික... ඊට වඩා දෙයක් දරුවො හැටියට අපිට කරන්න තියෙනවද....

කොහොමින් කොහොම හරි ඒ වැඩ ටිකත් ඉවර උනා... ඒ වෙන‌ෙකාටත් අපි දෙන්න කතා වෙලා හිටියෙ නුගේගොඩ ඉඳන් පාදුක්කට එන කරදරේ කරන්න අමාරු නිසා කිට්ටුවට යමු කියල.. ඉතිං කසාද ජීවිතේ පස්වෙනි පාරටත් ඔන්න බඩු මුට්ටු ටිකත් අකුලං තව ගේකට ආවා... 

පහුගිය ටිකේ කරපු යුද්ධෙ තරමට මේ තරමට ඉතුරු වෙලා ඉන්න එකත් මදෑ නේ.... හි හි....