පහුගිය ටිකේ මැරිලා වගේ හිටියට මැරෙන්න වත් වෙලාවක් නැති තරං කරදර ගොඩක පැටලිල හිටපු හින්ද බ්ලොග් එකටත් අබ සරණම වෙලා ගියා.. අදත් මේ ටයිප් කරන්න ගත්තට කොහෙන් පටං ගන්නද කියල හිතා ගන්න බැරි කේස් එකක් තියෙන්නෙ....
දැනට මාස දෙක තුනකට කලින් අපෙ අම්මගෙ කකුල ඔපරේෂන් කරපු කතාව මං බ්ලොග් එකේ ලිව්වෙ එහෙට මෙහෙට දුවන අතරෙ.. මෙදා පාරත් ඒ වගේම තමයි...
කකුලෙ ඔපරේෂන් එකෙන් පස්සෙ යන්තං අම්මා කෙලින් හිටගත්තට පස්සෙ තමයි අපි තුන් දෙනාගෙම හුස්ම හරියට වැටෙන්න ගත්තෙ.. ඒත් ඒ ගමන්ම අම්මට තවත් ඔපරේෂන් එකක් කරන්න සිද්ද උනා.. ඒක ඇවිල්ලා ගුද මාර්ගයේ “පොලිප්ස්“ කියන රෝගය...
ජපුර ඉස්පිරිතාලේ අම්මගෙ කකුල ඔපරේෂන් එක කරපු දොස්තරටම මේ අමාරුව ගැන කිව්වම “ ඕක ඔච්චර ලොකු අවුලක් නෙවෙයි ... හෙටම ඇඩ්මිට් වෙන්න ... පොඩි ඔපරේෂන් එකක් තියෙන්නෙ ...“ කිව්ව හින්ද ඒ ඔපරේෂන් එකත් කරගෙන අම්ම ගෙදර ආවා...
දොස්තරලා කියන විදියට දවසම ටොයිලට් යන්නෙ නැතුව හිර කරගෙන හිටියම මේ අවදානම එනවලු... ගුද මාර්ගයේ කඩල අටයක් තරමෙ පුංචි ගෙඩියක් හෝ ගෙඩි කීපයක් ඇති වෙලා, ඉඳලා හිටලා ලේ පොඩ්ඩක් යනව මිසක් මේකෙ වෙන අවුලක් නෑ.. ගොඩක් අය වරදවා හිතනවලු අර්ෂස් කියල...
කල්පනා කරලා බැලුවම මමත් ඉස්කෝලෙ යන කාලෙ නං නොවැලැක්විය හැකි හේතුවක් නිසා මිසක් ලේසියෙන් ඉස්කෝලෙ ටොයිලට් වලට ගියෙ නෑ... මං හිතන්නෙ මුළු ඉස්කෝලෙ ජීවිතේටම දහ පාරක් ගිහින් ඇති... කොහොම හරි ඉවසන් ඉන්නව ගෙදරට එනකං... මං විතරක් නෙවෙයි මං හිතන්නෙ ගොඩක් අපේ එවුන් එහෙමයි....
කොහොමින් කොහොම හරි මාසයක් විතර ගියයි කියමුකො... අයින් කරපු පොලිප් එකේ බයොප්සි රිපෝට් ආවම ආයිමත් අපි කට්ටියගෙම ඉහමොල රත් උනා...
ඒ ඒකෙ පිලිකා සෛල තියෙනවා කියල කියපු හින්ද....
එදා ඉඳන් අපි හතර දෙනා ජීවත් උනේ හීනෙන් ඇවිදිනවා වගේ... එක පැත්තකින් කඩේ වැඩ... අනිත් පැත්තෙන් ඔක්කොටම කලින් කඩාගෙන වැටෙන අපෙ තාත්තා... ඒ මදිවට මාත් නුගේගොඩ හිරවෙලා....
කොහොමින් කොහොම හරි ඒ රිපෝට් එක ඇවිත් සතියක් යන්න කලින් මහරගම පිලිකා රෝහලේ අම්මගෙ ට්‍රීට්මන්ට් ටික පටන් ගන්න පුළුවන් උනේ ඇත්තටම හොඳ මිනිස්සු කීපදෙනෙක් හින්ද... ඒ එක්කෙනෙක් අපේ කෝකටත් තෛලෙ වගේ ඉන්න ඩොක්ට සිරිල් ... අනිත් කෙනා පිලිකා රෝහලේ වැඩ කරන ගාමිණී අන්කල්... ගාමිණි අන්කල්ගෙ උදව්වෙන් අම්මගෙ ට්‍රීට්මන්ට් ටික ඉක්මණට පටන් ගන්න විතරක් නෙවෙයි ඉස්පිරිතාලෙ නැවතිලා ඉන්නෙ නැතුව ට්‍රීට්මන්ට් කරගෙන ගෙදර එන්න පුළුවන් උනා..
අම්ම කියන විදියට නං ඔය ඉස්පිරිතාලෙ ඉන්න ගොඩක් අය හිතිං මැරිලා වගේලු ඉන්නෙ... ඒ තරමට කරදර... වේදනා... අවිනිශ්චිත බවක්... දුප්පත් අය.. පෝසත් අය හැමෝටම එකම විදියෙ වේදනා...
ඉස්පිරිතාලෙන් එලියෙ වාහනයක් පාක් කරල තියන්න දවසට 500ක් ලු... එතකොට දවස් 30ක් ට්‍රීට්මන්ට් කරල ඉවර වෙනෙකාට....?
එතකොට වාහනේක එන්න බැරි තරං දුප්පත් අයට... ඒ මදිවට උදේ පාන්දර ඇවිත් හවස් වෙනකං ට්‍රීට්මන්ට් වලට ඉන්න වෙන අයට... ?
ඒ අස්සෙ කතන්දර ඉතිං ගොඩක් තියෙනව.. ඒවා පස්සට හිමිං ලියමුකො...
අම්මගෙ ට්‍රීට්මන්ට් පටං අරං සති දෙකකින් විතර .... අපේ කඩේ වැඩ කරපු අපේ පිස්සි ගැන මං කලින් දවසක් ලිව්වනෙ... අන්න ඒ හොල්මනත් වැඩට එන්නෙ නැතුව නැවතුනා... ඒකත් ඉතිං වෙනම පෝස්ට් එකක් ලියන්න වෙන තරං දිග කතාවක්... එක පැත්තකින් කඩේ වහලත් බෑ... බාර ගත්ත ඕඩර්ස්... ඒ මදිවට මේ වෙඩින් මාස... ඒ ඔක්කොමට හපන් කඩේ වැහුවොත් වෙන්නෙ අම්මා මානසිකව වැටෙන එක... එයා මහන්සි වෙලා ගොඩනගපු දේනෙ... මට කරන්න පුළුවන් එකම දේ කඩේ වහන්නෙ නැතුව ඇඳගෙන යන එක... ඉතිං මං දිගටම කඩේට ආවා... අම්මයි තාත්තයි හැමදාම උදේට ඉස්පිරිතාලෙ ගිහින් ට්‍රීට්මන්ට් කරගෙන දවල්ට ගෙදර එනව...
ට්‍රීට්මන්ට් වලින් අම්මගෙ කොණ්ඩෙ ගියෙ නැති උනත් රේඩියෝ තෙරපි කරන්නෙ ඇඟේ සියුම්ම හම තියෙන තැන් වලට හින්ද ගොඩක්ම අමාරු උනා.. ඒ මාසයක්ම ට්‍රීට්මන්ට් කරල ඉවරත් උනාට පස්සෙ... ඒ සති දෙක තුනක කාලයෙ අම්ම පුදුම දුකක් වින්ද... තාත්තයි මායි කඩේ වැඩ කළේ අම්මවත් ළඟින් තියාගෙන... ඒකට එක හේතුවක් කඩේ ඒසී කරල තියෙන එක... අනිත් එක කඩේ ඉන්නකොට අම්මගෙ අවධානය තියෙන්නෙ අපි කරන දේවලට මිසක් ඔලුව අවුල් කරගෙන ලෙඩේ ගැන හිතන්න වෙලාවක් නැති එක... තව එකක් තමයි ඉතිං තාත්තයි මායි දෙන්නම කඩේ ඉන්නකොට අම්ම ළඟ ඉන්න කෙනෙක් නැති එක.. අනිත් එක ඉතිං අපිට අම්ම පෙරළිල හරි ළඟ පාත ඉන්නව නං වැඩ කරගන්න මාර හයියක්...
කොහොමත් අම්ම අසනීප උන ගමන්ම අපේ මුළු පවුලම ලෙඩ වෙන එක ඒ කාලෙ ඉඳලම තිබ්බ කේස් එකක්...
හපෝ ඒ ටිකේ තාත්තයි මායි වින්ද දුකක්... අපේ අම්මට ඉතිං අපි මොන වැඩේ කළත් අඩුපාඩුමනෙ පේන්නෙ... හි හි... දැං තාත්ත තමයි කේක් හදන වැඩේ කරන්නෙ.. මම ඩෙකරේෂන් කරන්නෙ... අම්ම මෙට්‍රස් එකක් දාගෙන පෙරලිලා අපිට උපදෙස් දෙනව... හම්මො.... ඇති වෙලා හිටියෙ.... හි හි...
කොහොම හරි අම්ම අසනීප වෙච්ච මාස කීපයට කොච්චර හොඳ මිනිස්සු අපි වටේ ඉන්නවද කියල අපි දැනගත්ත... ඒ මාස කීපයම අපිට කන්න දුන්නෙ අහල පහල අය... අම්මට විශේෂයෙන් හදපු කෑම බීම ජාති තුනක් හතරක් විතර එක දවසකට හම්බුවෙනව... රේඩියෝ තෙරපි කළාට පස්සෙ අම්මගෙ ඇඟේ හම යන්න ගත්ත.. හරියට පිච්චිලා වගේ.... ඒකට ගාන බෙහෙත් ටියුබ් එකක් එක පාරයි පාවිච්චි කරන්න පුළුවන් ... ඒ බෙහෙත් පෙට්ටි ගනං ගෙනත් දුන්න අය හිටිය.. අම්මගෙ හාට් රේට් එක අඩු වෙලා කිව්වම පිට රට ඉන්න අම්මගෙන් කේක් අරන් යන අයත් ඒවට බෙහෙත් ජාති එවල තිබ්බ...
හොඳ මිනිස්සුන්ට ජාති, ආගම් බේද නැති බවත් අපි හරියටම තේරුම් ගත්ත.. ගමේ අයයි, අම්මලගෙ වෙළඳ සංගමේ අයයි මාසයක් එක දිගට බෝධි පූජා තිබ්බ... පන්සලේ ලොකු හාමුදුරුවො ගෙදරට වැඩල අම්මට පිරිත් නූල් බැන්ද... නෑයො බාර හාර වෙලා තිබ්බ... අපෙ තාත්තගෙ වැඩපලේ හොඳම යාලුවො පල්ලියෙ විශේෂ දේව මෙහෙයක් තිබ්බ... අම්ම ඉස්සර ඉඳලම බඩු ගත්ත පිටකොටුවෙ කඩේ අය මේ ගැන දැනගත්තම, එයාලා මක්කම ගිහින් එනකොට ගෙනාපු විශේෂ වතුර බෝතල් අම්මට දීලා තිබුන හැමදාම බොන්න කියල...
මේවා ඇත්තටම අපේ හිතට ලොකු හයියක් උනා.... අපේ පවුලෙ අපි හතර දෙනාට කරන්න බැරි හැමදෙයක්ම අපි වටේ හිටපු අය කරල දුන්නෙ... දවසට දෙතුන් දෙනෙක් එනවා අම්මව බලන්න කඩේට.. ඒ දේවල් හින්දම අම්මටත් වේදනාව දරාගන්න පුලුවන් වෙන්න ඇති.. කොහොමින් කොහොම හරි අපි ඒ ටික කාලෙත් පහු කර ගත්ත...
අගෝස්තු 12 අම්මට පළවෙනි ක්ලිනික් එක තිබ්බෙ.. එදා උදේ තාත්තයි මල්ලියි එක්ක ඉස්පිරිතාලෙට ගියාම අම්ම දුර්වල හින්ද ඉස්පිරිතාලෙ නවත්තගෙන.. මගේ ඔලුව කැරකෙන්න ගත්තෙ ඊළඟ දවසේ වෙඩින් කේක් කෑලි 200 ක ඕඩරයක් දෙන්න තිබ්බ හින්ද.. කොෙහාම හරි කරනවා කියල හිතාගෙන පළවෙනි වතාවට තනියෙම්ම කේක් එකක් හදන්න පටං අරං ටික වෙලාවකින් තාත්ත කෝල් කරනව...
“ කාරෙක ඇක්සිඩන්ට් වෙලා... “ කියල....
මට එකපාරටම මතක් උනේ අපේ මල වදකාර මලය කාරෙක එලෝන හැටි...
බලනකොට උගේ අපලෙ වාහනේ පිටින් ගිහින්... කාරෙක ගන්න දෙයක් නෑ... ලයිට් කණුවක වැදිල තව මීටර් සීයක් විතර ඇදිල ගිහින්.. හොද වෙලාවට ලයිට් කණුවටත් මුකුත් නෑ.. පාරෙ වෙන වාහන තිබිලත් නෑ.... මිනිස්සු ඉඳලත් නෑ...
ඒ පාර වාහනේක පටෝගෙන ගිහින් ගැරේජ් එකේදි බානකොට කේබල් එක ලිස්සලා ඇවිත් ඩිකියත් ගන්න දෙයක් නැති තැනටම වැඩ සිද්ධ වෙලා...
ඒක ගැරෙජ් දාලා මාසයක් ගියපි... ආ දැං හරි කියනව.. නෑ තව කෑල්ලක් කැඩිලා කියනව....ඉවරයක් නෑ...
සැප්තැම්බර් 11.... අපේ තාත්තගෙ අම්මට ඉතිං 80ක් විතර වෙනව... සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් විතර දොස්තරලව බලන්න යන්න ඕනෙනේ ඔය වයසෙ කට්ටියට...එහෙම සීන් එකක් කියල සුපුරුදු විදියට පාදුක්කෙ ඉස්පිරිතාලෙට එක්කං ආවම ඔන්න ආමාරුයි කියල ජපුර හොස්පිට්ල් එකට යවන්න කිව්ව... දවස් කීපයක් ඉතිං ආච්චිට අමාරුයි කිය කිය ඉඳලා මැෂීන් වලට දාන්න ඕනෙ කිව්වලු.. එහෙ හිටපු දන්න නර්ස් කෙනෙක් කිව්වලු මෙහෙ මැෂීන් දාන්නෙ ගොඩ ගන්න බෑ කියල තේරුනාම කියල... කළුබෝවිලට එක්කං යන්න කියල... ඔන්න ඉතිං ඒ පාර ආච්චිව කළුබෝවිල ඇඩ්මිට් කළා..
අම්ම මේ වෙනකොට පොඩ්ඩක් කෙලින් කටින් හිටිය නිසා තාත්තා හැමදාම ආච්චව බලන්න යනව... දවසක් ඇවිත් කිව්ව.. දැංනං අම්මව ෂුවර් කරන්න බෑ... පිරිත් ටිකක්වත් කියාගන්න විදියක් තිබ්බනං කියල... ඒ පාර අම්ම කිව්ව ලොකු හාමුදුරුවන්ට කියලා බලන්නම් කියල.. සැප්තැම්බර් 17 වෙනිද... ඒ වැඩ ටික ලෑස්ති කරගන්න හවසට පන්සලට යමු කියල කතා වෙලා ඉද්දි ආච්චි බලන්න දවාලෙ ගියපු අපෙ තාත්ත කෝල් කරල කිව්ව... දැං නං අම්මට හොඳටම අමාරුයි කියල.... ඒ වෙලාවෙ අම්මයි මායි දෙන්න වෙඩින් කේක් ඕඩරයක් ලෑස්ති කරනව... ඒ පාර වෙන කරන්න දෙයක් නැති තැන අපි පන්සලේ ප්‍රධාන දායක තැනට කෝල් කරල ඇහුව පිරිත් ටිකක් කියන්න ඉස්පිරිතාලෙට වඩින්න පොඩි හාමුදුරුනමක් හරි ඉන්නවද කියල...
ටික වෙලාවකින් ලොකු හාමුදුරුවො පිරිවෙන් ගිහින් එනගමන්ම වඩින්නම් කිව්ව කියල පණිවිඩේ හම්බුනා.. අම්මටයි මටයි දෙන්නටම කඩෙන් යන්න බැරි හින්ද ( අම්මට නං කොහොමත් ඉස්පිරිතාල වලට යන්න එපා කියල තිබ්බෙ.. ) නැන්දට කෝල් කරල අටපිරිකරකුත් ඉස්පිරිතාලෙට ඇරිය...
ලොකු හාමුදුරුවොයි පොඩි නමකුයි හවස හතරට ඉස්පිරිතාලෙට වැඩල, පිරිත් කියල, පිරිත් නූලකුත් ගැටගහල ඉවර වෙලා විනාඩි 10ක් යන්නත් කලින් ආච්චි නැති උනාලු...
තාත්තා කෝල් කරල කිව්වම අම්මට නං ඇඬුන.. ඒත් මට දුකක් දැනුනෙ නෑ අඬන්න තරං... ඒ මොකද ආච්චි මැරෙන වෙලාවෙ මට හිතෙන විදියට නං ඇහෙන්න ඇත්තෙ වෙන කිසිම දෙයක් නෙවෙයි... අර පිරිත් ටික... ඊට වඩා දෙයක් දරුවො හැටියට අපිට කරන්න තියෙනවද....
කොහොමින් කොහොම හරි ඒ වැඩ ටිකත් ඉවර උනා... ඒ වෙනෙකාටත් අපි දෙන්න කතා වෙලා හිටියෙ නුගේගොඩ ඉඳන් පාදුක්කට එන කරදරේ කරන්න අමාරු නිසා ඒ කිට්ටුවට යමු කියල.. ඉතිං කසාද ජීවිතේ පස්වෙනි පාරටත් ඔන්න බඩු මුට්ටු ටිකත් අකුලං තව ගේකට ආවා...
පහුගිය ටිකේ කරපු යුද්ධෙ තරමට මේ තරමට ඉතුරු වෙලා ඉන්න එකත් මදෑ නේ.... හි හි....
ආච්චිට දෙව්මිනිස් සැප කෙලවර උතුම් නිවනම ලැබේවා..!!
ReplyDeleteකාරෙක හැපිල තියෙන විදියෙන් කී හැකි රියැදුරා මාර වැඩ්ඩ කියල. කාගෙ කාගෙත් වෙලාවට ඌ රෝදෙන් ගොඩ ගිහින්. මම හිතන්නෙ මිනිහට හරියන්නෙ යුද්ධ ටැන්කියක් වගෙ වාහනය, පාරෙ අයිනෙ තීන ලයිට් කනු එහෙම ගනන් නොතිය එලවන්න ඇහැකි.
උඹෙ හිත හය්ය කරගන්න බ්ලොග් එකෙන් මොනතරන් උදව්වක් වේවිද කියල හෙට දිහාට විතර කමෙන්ට් කියෙව්වම තේරුන් යයි.
හිරු අක්කේ.. කරදර එන්නේ එක පිට.. හැබැයි ඒවාට බය වෙන්නේ නැතිව ඉස්සරහට ජිවන රෝදේ තල්ලු කරන එක තමයි කරන්න තියෙන හොඳම දේ! ජය!
ReplyDeleteහප්පේ බං මේම කරදර එනව කියන්නේ...
ReplyDeleteඅම්මගේ මානසික තත්වය හොදින් තියන්න කටයුතු කරපු බවක් කතාවෙන් පේනවා. ලෙඩෙක්ට කරන්න පුලුවන් හොදම සත්කාරය ඒක..
දැන් ඉතිං ප්‍රස්න අමතක කරල සුපුරුදු ජීවිතේට යන්ට තියෙන්නේ..
ජය !!
Life is life!!
ReplyDeleteහපොයි මේ තරං කරදර එනවය කියන්නෙ ඉතිං පුදුම අමාරුවක තමයි වැටෙන්නෙ. ඒ වෙලාවට සිහිබුද්ධියෙන් වැඩකරන එක තමයි හොඳම දේ. ඒක ඒ විදියටම වෙලා තියෙන වග පේනව. ඒ වගේම ඔහොම සලකන හොඳ අසල්වැසියන් ලැබීමත් වාසනාවක්.
ReplyDeleteඉදිරියට එන කාලෙ දුක් කරදර නැති වාසනාවන්ත කාලයක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
ආච්චිට නිවන් සුව පතමි.
කරදර එනකොට එන්නෙ එකපිට! මොනවා කරන්නද ජීවිතේ හැටිනෙ හිරු අක්කේ! අම්මාට නිරෝගී සුව පතනවා!
ReplyDeleteකරදර පොදි බැඳ ගැළ පිට පටවා...
ReplyDeleteකරුමයෙ කළු ගොනු පෙරටුවෙ බැඳගෙන...
මේ ජීවන මග අප යනවා...
ඒ ගමනේ දුක් දාහෙ නිවාළන
සීපද මුවගින් පිට වෙනවා...
සීපද මුවගින් පිට වෙනවා...
අප යන මේ මඟ කළුගල් මතුවී
පය රත්වීලා බුබුළු නැගෙනවිට
දෑසින් කඳුළැලි මතුවෙනවා...
ඒ ගමනේ දුක් දාහෙ නිවාළන
සීපද මුවගින් පිට වෙනවා...
හිරිගල් පොත්තේ කන්ද නගිනවිට
ගම සිටිනා ඔබ හදෙහි ඇදෙනවා...
ඒකෙන් ගමනට හිත දෙනවා...
ඒ ගමනේ දුක් දාහෙ නිවාළන
සීපද මුවගින් පිට වෙනවා...
පද රචනය - උදයසිරි පතිරණ.
මුල් ගායනය සහ සංගීතය - පණ්ඩිත් අමරදේව.
දවසේ කරදර කර උඩ
Deleteගෙට ඇවිදින් ගෙයි පිල උඩ
මූදේ කර වටක් ගිලී ඉර හිනැහෙන්නේ
සසර දුකට මේ හැටි ඇයි
අපි ලතැවෙන්නේ..
හෙන්දිරික්කා මල් පිපේවි
පන්සල් ගණ්ඨා වැදේවි
රෑන ගිරවු හිනාවෙවී ගෙදර ගියාවේ
ඉගිලෙන්නට බැරි අපටත් තටු මැවුනාවේ..
දවසේ කරදර කර උඩ
ගෙට ඇවිදින් ගෙයි පිල උඩ
මූදේ කර වටක් ගිලී ඉර හිනැහෙන්නේ
සසර දුකට මේ හැටි ඇයි
අපි ලතැවෙන්නේ..
බණ්ඩි පැටව් මඟට ඒවි
උන් අම්මා පිලට ඒවි
හිස් අත් දෙක කියන කතා
රස දැනුනාවේ
අග හිඟකම් මුතු වැස්සේ අප තෙමුණාවේ..
දවසේ කරදර කර උඩ
ගෙට ඇවිදින් ගෙයි පිල උඩ
මූදේ කර වටක් ගිලී ඉර හිනැහෙන්නේ
සසර දුකට මේ හැටි ඇයි
අපි ලතැවෙන්නේ..
ගායනය : ගුණදාස කපුගේ
සංගීතය : ගුණදාස කපුගේ
පද රචනය : ලූෂන් බුලත්සිංහල
කරදර එනකොට එකපිට එනවා කියන කතාව කොච්චර ඇත්තක්ද කියල තේරෙන්නෙ මේ වෙලාවට.ජීවිතේ ස්වභාවය එයයි.මේ හැමදේටම මුහුණ දීල එළඹී සිහියෙන් ඉඳීම ප්‍රධානම දෙයයි.හිත නරක්කර ගන්න එපා කරදර ආව වගේම යන්නත් යනවා.හිරු මොන තරම් කලබල මානසිකත්වයක හිටියද කියල මේ කතාව කියවපුවම තේරෙනවා.
ReplyDeleteහිරුගේ ආදරණීය අම්මට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා.
හිරු ගේ අම්මා ට ඉක්මන් සුවය පතමි !
ReplyDeleteඅර කිව්වත් වගෙ ඔහොම වෙලාවට හිතුවෙ වත් නැති අය ඇවිත් වචනෙකින් වුනත් දෙන සහයෝගය නම් මහමෙරක් තරම්. මිනිස්සු තවම හිඟ නැත !!!
මිනිස්සුන්ට නරක කාලවල් ලැබුනම කරදර එන්නෙ වැල පිට වැල නොකැඩී එක දිගට. මේ වගේ වෙලාවක පත්වෙන අපහසුතාවය, අසරණ කම ගැන ආයෙ ඉතින් කතාකරල වැඩක් නෑ. මටනම් උණක් හෙම්බිරිස්සාවක් හැදිල මගේ කෙනෙක් ඉස්පිරිතාලෙක හිටියත් ඒක මහා කම්පනයක්. කොහොම උනත් මේ හැමදේදිම අධිෂ්ඨානයෙන් නොසැලී මුහුණ දෙන එක තමයි අපේ වටිනාකම.
ReplyDeleteඉතින් ඔඅබට ඒ ශක්තිය තියෙන බව අපි දන්නවා හිරු. ඉතින් දැන් අම්මට කොහොමද? අපි හැමෝම ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනාකරනවා.
ReplyDeleteහිරු......ජීවිතය කියන්නේ ඔහොම තමයි. ඔබ ඒ ගැන මැන්වින් දන්නවා. අපිට කියන්න දෙයක් නැහැ. හිරුලාට යමක් කමක් කරගන්න ආර්ථික, සමාජ සම්බන්ධතා යම් පමණකින් හෝ ඇති උදවිය විය යුතුයි. එහෙම නැති කෙනෙකුට මේ වගේ කරදර ටිකක් වුනොත් කොහොම පීඩනයකට පත් වෙයිද? මම ගොඩාක් වෙලාවට ප්‍රශ්න ගැන හිතන්නේ ඒ පැත්තෙන්. කෙසේ වෙතත් ආදරනීය අම්මාට ඉක්මන් සුවය ලැබී, සුපුරුදු ලෙසින් වැඩ කටයුතු කරගෙන යෑමට ධෛර්ය ශක්තිය ලැබේවා!! හිරූ ෆිට් එක ඉන්න, ජීවිතේ ඔහොම තමයි.
//////කොහොමත් අම්ම අසනීප උන ගමන්ම අපේ මුළු පවුලම ලෙඩ වෙන එක ඒ කාලෙ ඉඳලම තිබ්බ කේස් එකක්... ///////////
මේක තමයි ගොඩාක් වෙලාවට අපේ ගෙදරත් වෙන්නේ. ඒක හැම ගෙදරකටම පොදුයි වගේ.
හිරු, සමීප අත්දැකීමක්. ඔයින් ගියා ඇති. මවට දිර්ඝායුෂ පතමි.!
ReplyDeleteඅම්මෝ පන යනවනේව දෙයියන්ගේ පිහිටෙන් දැන් ශේප් නේද...!!!
ReplyDeleteමුලින්ම අම්මාට නිදුක් නිරෝගී සුව පතමි.
ReplyDeleteහිරු වැනි දෛර්‍යවන්ත දුවක් ලැබීම පිලිබඳව ඈ ආඩම්බර වනවා ඇති නිතැතින්ම...
අපිට තියෙන ප්‍රශ්ණ මොනවද කියල හිතෙන්නෙ මේව දැක්කම බං.
යහපත් අසල්වැසියන්ගෙ වටිනාකම,යහ්ලුවන්ගෙ වටිනාකම දැනෙන්නෙ මේ වගේ වෙලාවට තමා.
(මගෙ ලැපට කෙලවෙලා තිබ්බත් පෝස්‍ටුව දැක්කම කට්ටක් කාල කොටන්න හිතුනා.)
ආච්චිට නිවන් සැප ලැබේව.
ReplyDeleteවාහන ගරාජ් වලට දානවා කියන්නේ , ඉඩම් නඩු පරාදයි.
අම්මට නම් ඉක්මන් සුවය ලැබේවි. ඔන්න ඕකට තමයි හිරු ජීවිතය කියන්නේ , ෆිට් එකේ ඉන්න එක ලොකු දෙයක්
රිපෝට්ස් ආවාට පස්සේ මුළු ලෝකෙම කඩන් වැටෙන මේ අත්දැකීම මමත් දන්නවා... ඒත් ගෙදර අය ටීම් එකක් විදියට එකතු වුනොත් සටනක් දෙන්න බැරි යුද්ධයක් නෙමෙයි... මගේ අත්දැකීම් අනුවනම් ඒ ශක්තියම ඇති අම්මාට ලෙඩෙත් එක්ක සටන් කරන්න... හිරුගේ අම්මාට නිරෝගී සුව පතමි...
ReplyDeleteහප්පේ...මේ කරදර වලින් ගොඩ එන්න මුළු පවුලටම ශක්තිය ලැබේවා කියලා පතනවා. අපිටත් මේ දවස් ටිකේම කරදර තමා. හිතට කිසිම නිදහසක් නෑ. සේරමත් හරි ලෙඩ උනාම තමා ඔක්කොම කඩා වැටෙන්නේ.
ReplyDeleteකරදර පේළියක්ම එක දිගට දරාගෙන අන්තිමට සුපුරුදු හි හි එකකින් ඉවර කරලා තියෙන පෝස්ට් එකෙන් පේන්නේ ඔයාගේ හිතේ හයිය හිරු. ඒක අපි කාටත් ආදර්ශයක් . මේක තමයි අපි හැමෝම සමෝ සමේ විඳින ජීවිතය. හැමදේම වගේ දුක් කරදරත් තාවකාලිකයි. ඉක්මනින් සැනසිලි සහගත කාලයක් ලැබේවි.
ReplyDeleteආච්චිට නිවන් සුව පතනවා....
ReplyDeleteඒ වගේම අම්මටත් ඉක්මන්ටම සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
ජීවිතේ හැටි ඔහොම තමයි..එක වෙලාවකට කරදර එන්නෙ නොහිතන විදිහට.. ඔක්කොම හොඳ අතට හැරිල කරදර නිමා වෙන්නෙත් නොහිතන වෙලාවට..
ඔය ඔක්කොම අලකලන්චි මැද්දෙන් අන්තිමට සුපුරුදු විදිහට හි හි කියන්න පුළුවන් වුනා කියන්නෙ උඹ දිනුම්..
ReplyDeleteපිළිකා කියන ඒවා මුලින්ම අල්ලගත්තොත් කිසි දේකට බය වෙන්න දෙයක් නෑ කියලයි මම අහලා තියෙන්නෙ. මගෙ යාලුවෙක්ගෙ අම්මා කෙනෙක් එහෙම ගොඩ ගියා. දැන් කිසි අවුලක් නෑ.. බය වෙන්න දෙයක් නෑ අම්මට සම්පූර්ණ සුවය ලැබෙනවා !
<< කොහොම හරි අම්ම අසනීප වෙච්ච මාස කීපයට කොච්චර හොඳ මිනිස්සු අපි වටේ ඉන්නවද කියල අපි දැනගත්ත... ඒ මාස කීපයම අපිට කන්න දුන්නෙ අහල පහල අය... >>
ඕවා තමා ඊනියා ගෝත්‍රික ශ්‍රී ලාංකිකයන්ගේ රත්තරන් ගති ගුණ. අපේ මලයා අත කඩාගෙන ස්පිරිතාලෙ හිටපු වෙලේ මිනිහගෙ අල්ලපු ඇඳේ හිටියා පොරක් අතකුයි කකුලකුයි කැඩුනු.. මුලු පවුලම ත්‍රී වීල් එකේ යනකොට කාරෙකක හැප්පිලා. ඔක්කොවන්ටම තුවාලයි.. මාස ගානක් ඉඳන් ගමේ උන්ලු කට්ටියට කන්න බොන්න දෙන්නෙ.
ජය !
ආච්චිට නිවන්සුව පතමි.. අම්මාටත් ඉක්මන් සුවය පතමි.
ReplyDeleteහැකිනම් තායිලන්තයේ වැඩ විසූ අජාන් චා ස්වාමීන්වහන්සේ ගේ පොත් පෙළ අම්මාට කියවන්න දෙන්න. හිතට ලොකු සහනයක් වේවී. සරසවියේ ඇති. නැදිමාලේ බෞද්ධ පොත් සාප්පුවෙත් තියෙනවා. http://www.ajahnchah.org/singhala/index.php මේ ලින්ක් එකට ගිහන් කියවලා බලන්න. හොඳ නම් අරගෙන දෙන්න.
කරදර ගොඩක් නේද?
ReplyDeleteඅපෙත් තාත්තට කැන්සර් එකක් කියපුවෙලෙ අපිට ඇතිවුන හැගිම හොදට මතකයි
ඉක්මනින් යහපත් අතට හැරෙවා කියල පතනව
කාරෙකෙනම් ලොකු අවුලක් නැ වගෙ
////කාරෙකෙනම් ලොකු අවුලක් නැ වගෙ/////
ReplyDeleteදමියෝ......ටයර්වල තත්වය කොහොමද :D
ටයර් නම් දමිත්.....දමිත් නම් ටයර් කියලා කිව්වලු.
අම්මෝ හෙන කාලෙකින් ගොඩ උනේ මේ පැත්තේ හෙමිට සේරම ටික කියෝලා ඉන්නම්කො මුලින්ම
ReplyDeleteදිගටම කළුවර වෙලා තියෙන්නෙ නෑ හිරු. රෑ ගෙවිල ගිහින් ඉර පායනව. :)
ReplyDeleteකොච්චර කරදර ගොඩක් විඳලා තියනවද? ඇහුවාම දුකයි හිරු. ලඟ පාතක හිටියානම් ඔයත් එක්ක ඇවිත් කේක් කඩේ ඉන්නවා. :(
ReplyDeleteඇහැට කඳුලක් ආවේ ජාති, ආගම් භේද නැතුව කට්ටිය උදව්කල හැටි ඇහුවාම.
කරදර ඔය විදියට ආවට ඊලඟට එන්නේ හිත සතුටු වෙන ඒවා. ඒවත් එන්නේ එක පොදියට. :)
ඔය ඔක්කොම කරදර විඳගෙන මෙහෙ ඇවිත් ලියන්න ඔයාට හිතට හයිය තිබ්බනෙ හිරු.. අන්න ඒකට මං ගරු කරනවා. අම්මට සම්පූර්ණ සුවය ලැබේවා කියා මං පතනවා.
ReplyDeleteහිරූ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා.. එකෙන්ම.. මොකද මම සහ අපේ පවුලෙ උදවිය දන්නව ඔය ලෙඩේ උනහම ලෙඩා විතරක් නෙමෙයි ලෙඩවෙන්නෙ මුළු පවුලම .. අත්දැකීමෙන් කියන්නෙ හිරූ...
ReplyDeleteඒකට තමා කියන්නෙ ජීවිතය අමු අමුවෙ පිච්චෙනව කියල...
ඒ කතා වලින් වැඩක් නෑ... ඉක්මන් සුවය සහ උබ මනස වට්ට ගන්න එපා.. ෆිට් එකේ හිටපන්... ඉන්න බෑ කියල දන්නව.. බට් ඉදපන්.. එතකොට තමා හැමෝම ජීවත් වෙන්නෙ... අත්දැකීමෙන් කියන්න... පිළිගනින්...
හැම දෙනාගේම හිත් වලට මානසික සුවය ඉක්මනින් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteකැමති පොත් දහය නම් කරන්න කියලා චැලේන්ජ් කරලා දැම්මම සද්ද නැත්තේ මොකද කියලා බැලුවා. අපේ මහත්තයා ගැනත් ඔය අස්සෙන් පොඩ්ඩක් හොයා බලන්න.
සෑම දෙයක්ම යහපත් අයුරෙන් සිද්ධ වෙන්න කියලත් මම පතනවා. විවේක තියෙන වෙලාවක මේ වගේ අපිව දැනුවත් කරන්න.
කරදර එනකොට එන්නෙ එක පිට. මොන කරදරයක් ආවත් ලෙඩ වෙන එක තරම් එපා වෙන දෙයක් තවත් නෑ. වාහන හදා ගන්න පුලුවන්, ඒත් පවුල් කෙනෙක් ලෙඩ ඇඳට වැටෙනව කියන්නෙ ජීවිතේම එපා වෙන වැඩක්.
ReplyDeleteඅම්මාට ඒ ප්‍රතිකාර වලින් සම්පූර්ණ සුව වෙන්න ප්‍රාර්තනා කරනව.
කොච්චර කරදර ආවත් ඒවාට නොභියව නොසැලී මුහුණ දෙන්න හයිය උඹට තියෙනවා කියලා මම දන්නවා හිරු...හැමදේම සුභ වෙන්න කියා පතනවා...ආච්චිගෙ අභාවය ගැන කියවද්දි මගේ හිත කිරි අම්මා ලග නතර උනා....නෙත් කෙවෙනි කදුලින් බර උනා...මේ ඇති අදට...
ReplyDeleteතරහවෙන්න එපා. මං කාලෙකින් ආවෙ.ඔයාට වුන කරදර කියෙව්වම හරි දුකයි. මගෙත් ලඟම ඥාති දුවෙක් පිලිකා රෝගයෙන් පීඩා වින්ද. දැන් හොඳයි. ඒ දවස්වල මම මහරගම ගිහින් එන්නෙ අඬ අඬ.
ReplyDeleteගෙදර කරදර තියෙද්දි ජීවිතේම එපා වෙනව. ඒත් හරි සතුටුයි ඔයට ඒවට මූන දෙන්න ශක්තිය තිබීම ගැන. ඇත්තටම දුකෙන් පසු එන්නෙ සැප. ඔන්න දැන් සැප වාරෙ!
කරදර ගොඩක් එක දිගටම ආවත් ඔයා බ්ලොග් එක ලියන එකම ලොකු දෙයක්....
ReplyDeleteඅලුත් තැනදී සියලු දේ හරියන්න කියල පතනවා
මමත් කාලෙකින් මේ බ්ලොග් එකට ආවේ, මගේ කෙළි පැටික්කි නිසාත්, මේ දවස් වල ලංකාවේ ඉන්න නිසා අන්තර්ජාල පහසුකම් වල අඩුපාඩු නිසාත්.අනික ඩොන්ගල් එකකින් නෙට් යන්නේ. එපා........ වෙනවා. ඩේටා ඉවරයි.ඒකයි කේස් එක.
ReplyDeleteඉතින් ඔයා හිතේ හයියෙන් ඉන්න එකම ඇති.අම්මට ඉක්මන් සුවය ලැබේවි බය වෙන්න එපා. හැමෝගෙම ආශිර්වාදයන් එක් වුණාම ලෙඩ දුක් වුණත් ,බයේ පැනලා යනවා.
ආච්චිට නිවන් සුව ලැබේවා.........
මං බැළුවේ හැමදාම උදෙන්ම පෝස්ට් එකක් දැම්මාම දුවගෙන එන හිරූ නැත්තේ මොකද කියලා. මහා කරදර ගොඩක පැටලිලා නේ. ඔයාට මේ හැම කරදරයක්ම නිමා වෙලා සතුටුදායක දේවල් ගොඩක පැටලෙන්න ලැබේවා..... කියලා පතනවා.
බ්ලොග් ලියන්න වටිනා කියන කෙල්ලෙක් ඉන්න එක ගැනවත් සතුටු වෙන්න පුළුවන්..කරදර කම්කටොලු මැද්දේ මේ තරම් ලියන්න තරම්...පිස්සු හැදෙනවා මටනම්...
ReplyDeleteකමෙන්ට් කරපු කට්ටියටම බොහොම ස්තූතියි... වෙනම වෙනම රිප්ලයි කරන්න මේ වෙලාවෙ වෙලාවක් නෑ... ඒකට සමාවක් දෙන්න ... හි හි...
ReplyDelete