Thursday, January 16, 2014

අපේ චිත්‍ර පන්තිය සහ ඕලෙවල්....


මම ඕලෙවල් කළේ 2000 දි... මම සෞන්දර්ය විශයට තෝරගෙන හිටියෙ චිත්‍ර... නැටුං අතෑරියෙ කෙල්ලො ගොඩක් නටන නිසා... මියුසික් නං බෑම තමයි කියලා පොඩි කාලෙ ඉඳලම දැනං හිටිය... ඒක තමයි අද වෙනතුරු මං ගැන හිතං හිටිය දේවල් වලින් ඇත්ත වෙලා ඉතුරු වෙලා තියෙන එකම එක.. හි හි... 

චිත්‍ර කෙරුවාව ගැන කියනවනං ඉතිං හෑල්ලක් තියෙනව.. ඒත් මේ කියවන්න පටං ගත්තෙ එකම සිද්ධියක් මට මතක් වෙච්ච හින්ද... මේක උනේ ඕලෙවල් කරනකොට... ඊට කලින් පසුබිම් විස්තරයක් තියෙනව ඉතිං හැමදාම වගේ... 

ඔය තෝරගැනිල්ල තියෙන්නෙ 6දිනේ... ඇත්ත කතන්දරේ නං මට චිත්‍ර ඇඳිල්ලත් බැහ් තමයි... හි හි... ඒ උනාට අපේ ගෙවල් පැත්තෙ චිත්තර පන්තියක් තිබ්බ.. ටීචරුත් හොඳයි... ගෙදර ඉඳන් මට හූවයි බල්ටියයි... සෙනසුරාදා තමයි පොඩි පන්ති වලදි ක්ලාස් තිබ්බෙ.. ඉතිං ඕකත් එක හේතුවක් මං චිත්‍ර තෝරගන්න...සෙනසුරාදට ඉතිං 10ට විතර චිත්‍ර පොතයි, පාට පෙට්ටියයි, පැන්සල්, පින්සල් ටිකයි කිහිල්ලෙ ගහගෙන, ගෙදර ඉඳන් පන්තියටම දුවන එකම එකා මං... ගෙදර වැඩ කවදාවත් කරන්නෙ නෑ... චිත්‍ර ටීචර්ට මාව පෙන්නන්න බෑ... පාට නෙවෙයි මං ගොමලු ගාන්නෙ... හි හි... ( ඒ උනාට මට හෙන ආදරෙයි... ඒක ඉතිං වෙනම කතාවක්... ) 

ඕලෙවල් වෙද්දි ඕක වෙනස් උනා... පන්තිය අඟහරුවාදට මාරු උනා... අලුත් සෙට් එකක්... ( ඒ කිව්වෙ අලුත් කොල්ලො සෙට් එකක්... හි හි).. මං ඉතිං ඉස්කෝලෙ ඇරිලා, ‌කෝච්චියෙ පිස්සු නටාගෙන ගෙදර ඇවිත්, පොත් බෑග් එක ගෙදරින් අතෑරලා, ඒ පිම්මෙම දුවනවා පන්තියට... ඒ වෙනකොට පන්තිය පටං අරන් පැයක් විතර ගිහින්... හි හි.. 

ඔය චිත්තරේ කරපු අය දන්නවා ඇති ඕකෙ ප්‍රශ්න පත්තරේ කොටස් තුනක් තියෙනව.. එකක් මොකක් හරි මාතෘකාවක් දීලා චිත්‍රයක් අඳින්න කියන එක.. අනිත් එක බලා ඇඳීමක්... අනිත් එක ලියන්න තියෙන පේපර් එක... ඔය තුනේම ලකුණු එකතු කරලා 3න් බෙදලා තමයි අපේ ලකුණු දෙන්නෙ... 

විභාගෙ ලකුණු දෙන ක්‍රමය ගැන නං ඉතිං කියන්න දෙයක් නෑ.. අපේ අනිත් විශයමාලා වලට වෙලා තියෙන සන්තෑසියම තමයි ඒකටත් වෙලා තියෙන්නෙ... 8දිද කොහෙද අපේ පන්තියෙ හිටපු, අපේ විභාග ක්‍රමය අනුව අනිවාර්යයෙන් ෆේල් වෙන ජාතියෙ ළමයෙක් තමයි, පන්තියම චිත්‍ර ඇඳපු, ලෝක ප්‍රසිද්ධ ජපානේ කනගාවා චිත්‍ර තරඟෙන් දෙවනි ස්ථානයක්ද කොහෙද දිනා ගත්තෙ.... 

ඔය මාතෘකාවට චිත්‍ර ඇඳිල්ල කියන්නෙ ඉතිං අපි කටපාඩං වෙනකං ඇඳපු චිත්තරයක් ආපහු අඳින එක තමයි... මොකද විභාගෙට එන මාතෘකා ටික සාමාන්‍යයෙන් එකම ටික තමයි.... ඉතිං අපි ඕක අවුරුදු තුනක් තිස්සෙ ඇඳලා ඇඳලා පුරුදු වෙලා තියෙන නිසා ගානක් නෑ... 

එත‌ෙකාට බලා ඇඳීම කියන්නෙ මේසයක් උඩ තිබ්බ බඩු ගොඩක් අඳින එක... ඕකත් ඉතිං අපි කටපාඩං කරලා තමයි විභාගෙට යන්නෙ.. බෝතල් හාරපන්සීයක් අඳලා, පොල් ගෙඩිත් ඒ තරම්ම ගානක් ඇඳල, පොත් ඊටත් වඩා ගානක් ඇඳල, එක එක විදියෙ රෙදි ජාතිත් ඒ තරම්ම ඇඳලා...අහල පහල තියෙන ඇන්තූරියම්, ක්‍රෝට්න් ගස් වල කොළ ගනං කරල... හි හි.... 
මේක නං හොයාගත්තෙ ගූගල් සර්ච් එකක් දාලා... මේ වගේ වැඩක් උනාට මෙහෙම බඩු නෙවෙයි අපිට අඳින්න දුන්නෙ.. මගේ පරණ චිත්‍ර ටිකක් ඇති ගෙදර.. පස්සෙ වෙලාවක හොයලා දන්න ඕනෙ... 
ඔන්න ඔය ප්‍රැක්ටිකල් එකේ තමයි මේ කේස් එක උනේ... ඔක්කොටම කලින් මතක් කරන්න ඕනෙ ඉතිං මේක වෙලා දැං අවුරුදු 14ක් වෙනව කියල... හි හි

දැං ඔය මේසෙ උඩ තියෙන බඩු ලිස්ට් එක විභාග දෙපාර්තමේන්තුවෙන් එවනවනෙ... බෝතලයක්, පොත් මෙච්චරක්, ඇන්තූරියම් පෝච්චියක්, සිල්ක් රෙද්දක්... ඔහොම කියලා බඩු ටික තියන්න ඕනෙ විදියත් ඇඳලා එවනව... ඊට පස්සෙ විභාගෙ ඉවර උනාම ළමයි ටික වාඩි වෙලා හිටපු පිළිවෙලත් එතන ඉන්න විභාග පරීක්ෂක ඇඳලා, අපේ පේපර් එක්කම අමුණලා යවනවා... එහෙම තමයි view එක බලලා, විභාගෙට හොර කළේ නෑ කියල පිළිගන්නෙ... 

ඔය බඩු ලිස්ට් එක තමයි විභාගෙට කලින් දවසෙ ඔපන් කරල බලන විබාගෙට අඳාල එකම ලියවිල්ල.. හේතුව තමයි මේ බඩු ටික කලින් හොයලා තියාගන්න ඕනෙනෙ ඉතිං... ඔන්න ඔය ලිස්ට් එක ලීක් වීමේ අවදානමක් තියෙනව ඉතිං... 

ඔය ලීක් වීම හින්ද අපේ ටීචර්ට විභාගෙට කලින් දවසෙ දැනගන් ලැබෙනව මෙන්න මේ බඩු ටිකයි විභාගෙට එන්නෙ කියල... ඕක එච්චරම ප්‍රශ්නයක් නෙවෙයි.. මොකද එන බඩු ටික ඔක්කොම කලින් අපි ඇඳලා පුරුදු වෙච්ච දේවල්... හැබැයි අපේ අවුරුද්දෙ මේක වෙනස් උනා.. 

හේතුව තමයි අපේ විභාගෙට ලෙලි ගහපු පොල් ගෙඩියක් අඳින්න ආපු එක... එච්චර කල්ම ඕලෙවල් වලට ආවෙ ලෙලි පිටින් පොල් ගෙඩිය අඳින්න විතරයි... ලෙලි ගහපු පොල් ගෙඩිය ඇඩ්වාන්ස් වැඩියි...ඒක එන්නෙ ඒලෙවල් වලට... ඉතිං ඇත්තටම අපි ඔය පොල් ගෙඩිය අඳින්න පුරුදු වෙලා හිටියෙ නෑ ... අපේ ටීචර් ‌කළේ එදා රෑ පන්තියක් තියල අපිට ඔය පොල් ගෙඩිය අඳින්න පුරුදු කරපු එක.. හැබැයි බඩු ටික තියන පිළිවෙලත් දැනගත්තට, ඒක අපිට පුරුදු කළේවත්, අඩුම ගානෙ අපිට කිව්වෙවත් නෑ එදා... 

ඉතිං මාත් ඕක හොඳට පුරුදු වෙලා ගියාට දැං එදා උදේ මගේ හිතට හරි නෑ... එකක් මගේ යාලුවො නොදන්න රහසක් මම දන්නව.. මම ඒක දැනගත්ත එකෙන් එයාලට පාඩුවක් වෙන බවත් මම දන්නව.. හැබැයි මට මේක කියන්නත් බෑ.. මොකද මේක හොර වැඩක් බවත් මම දන්නව.. අවුරදු 16දි මේක ලොකුම ප්‍රශ්නයක්...

උදේ 10ට තමයි විභාගෙ පටං ගන්න තිබ්බෙ... මං උදේ පන්තියට ගියේ දෙයක් තීරණය කරගෙන... කලින් දවසේ පුරුදු වෙච්ච චිත්‍ර ටිකත් බෑග් එකේ දාගෙන ගිහින්, අපේ පන්තියෙ හිටපු 15 දෙනාටම ( ආර්ට් තිබ්බෙ එක පන්තියයි...) උදේම විභාගෙට ආපු පරීක්ෂකවරු ගැවසෙන්නෙ නැති පන්තියකට වෙලා අර පොල් ගෙඩිය අඳින්න මම පුරුදු කළා... පැය දෙකක් ඇතුලත උන්ට ඒක අඳින්න පුරුදු උනාට පස්සෙ අර ඇඳපුවා ටික මගේ බෑග් එකට දාලා, අපි ගිහින් විභාගෙට ඇන්දා.... තාමත් මං ගාව පුරුදු වෙන්න ඇඳපු චිත්‍ර ටික තියෙනව... හි හි... 

අපේ 15ම චිත්‍ර පාස් උනා... එහෙම උනේ පොල් ගෙඩිය හින්දමද කියල මම දන්නෙ නෑ... කොහොමත් ඊට පස්සෙ ඒලෙවල් වලට චිත්‍ර තෝරගත්තෙ ඒ 15න් දෙන්නෙක් විතරයි... එකෙක් මං.. අනිකා අන්තිම දක්ෂයෙක්.. පොල් ගෙඩිය නැතත් උෟ‌ට ඩී එකක් ෂුවර්... ඒත් අදටත් ඔය සිද්ධිය මතක් වෙනකොට මට හරි සතුටක් දැනෙනවා... කාවවත් අමාරුවෙ දාන්නෙ නැතුව, හරි දේ කරන්න මං ක්‍රමයක් හොයාගත්ත නිසා.... අනිත් එක එදා මම ආත්මාර්ථකාමී නොවුන නිසා... තනියෙන් බුදු වෙනවට වඩා කට්ටියක් එක්ක බුදු වෙන එක ජොලි... හි හි... 

මාත් පස්සෙ ඒලෙවල් වලට චිත්‍ර තෝරගෙන, එකක් ගත්තට, ඇත්ත කතාව නං මං චිත්‍ර ඇන්දට වඩා හොඳට කළේ චිත්‍ර ලිව්ව එක කියල... ඒ ගැන ඉතිං දන්නෝ දනිති... හි හි... 

ඔය තියෙන්නෙ අපේ පන්තිය තමයි.. මේ ඕලෙවල් දවස්වල... ඔය මං ඉන්නෙ ඉණේ අත් දෙකත් ගහගෙන ආච්චි අම්මා වගේ චිත්‍ර ටීචර්ගෙ පිටිපස්සට වෙලා... ඕක තමයි මං වැඩිපුරම කළේ.... පිස්සු නටපු එක.. අනිත් උන්ටත් වැඩක් කරගන්න ඉඩ නොදී... හි හි
අපේ පන්තියෙ ටීචර් ඒ ලෙවල් පන්ති නොකෙරුවත්, මට ඒ ලෙවල් වලටත් උදවු කළා... මොකද මං එච්චරකල් ඇඳ ඇඳ හිටපු විදිය ඒලෙවල් වලට මදි කියල කියපු නිසා.. ටෙක්නික් එකක් මාරු කරන එකේ අමාරුව දන්නෙ ඒක කරපු එකෙක්ම තමයි... කොහොම හරි ඒලෙවල් කරලා ඉවර වෙනකොට මට චිත්‍ර එපා වෙලා තිබ්බ... අපේ චිත්‍ර ටීචර් නං දැං වයසයි.... ඒ උනාට ඔය ෂොප් එකේ තියලා තියෙන මගේ දැං කරන නිර්මාණ එහෙම දකිද්දි ටීචර් කියන මරු කතාවක් තියෙනව... 

මට තාම මතකයි මෙයා ඉස්සර ගොම ගාපු හැටි.... කියන එක... හි හි...  

අද වෙනතුරු මං අදහන දෙයක් තියෙනව... දෙයක් ඉගෙන ගත්තම ඒකෙ ලස්සනම දේ තමයි තව කෙනෙක්ට කියල දෙන එක... ඒ වගේම ඉගෙන ගත්ත දේ තව දියුණු කරගන්න එක... ඒ වගේම ඉගෙන ගත්ත තැනට දියයුතු ගෞරවය දෙන එක.... ඉගෙන ගත්තෙ මෙතනින් කියන එක කිව්ව කියල අපේ දැනුමෙ අඩුපාඩුවක් වෙන්නෙ නෑ කියල මම හිතන්නෙ... මම ඉගෙන ගත්ත පන්තිවලට රිසල්ට්ස් කියන්නවත් ගියෙ නෑ..  කලින්ම කියලා ආවා ‌‌‌ෆේල් උනොත් විතරයි පන්තිය පැත්ත පලාතෙ එන්නෙ කියල... හි හි ....  ඒ ගුරුවරු ගැන හිතේ තියෙන ගෞරවය තවමත් නැති වෙලා නෑ... ඒ හා සමානම ගෞරවයක් මේ බ්ලොග් වලින්, වෙබ් සයිට් වලින් දැනුම බෙදාගන්න අය ගැනත් අද වෙනකොට මගේ හිතේ තියෙනව... 


ප/ලි :

2014 ජනවාරි බ්ලොග් එක පාලුවට යන තත්වයක් තමයි තිබ්බෙ.. මාසෙන් බාගයක් හරි ගිහින් මේක ලියාගන්න ලැබුන එක ගැනත් මාර සතුටක් තියෙන්නෙ... පහුගිය ටිකේ බ්ලොග් වල වෙච්ච දේවල් බලාගෙන ඉඳිද්දි තමයි මට මේ සිද්ධිය ආයිත් මතක් උනේ... ඒ පාර ලියලා දැම්මෙ දැං මේක කිව්ව කියලා කාටවත් පාඩුවක් නොවෙන නිසා.... 

ඒ වගේම තව දෙයක් මං බලාගෙන හිටියත් මුකුත් නොකියා හිටපු තැනකදි, කතා කරපු අපේ තිසර, රවී, අටම්, කෙන්ජි, පත්තර මල්ලි සහ ඉන්දික කියන කට්ටියටම ස්තුතියක් කරන්නත් ඕනෙ...බොහොම වෙලාවට ගැහැණියකට අපහාස කරන්න පුලුවන් කියල ඒ කෙනා හිතපු දෙයක් යොදා ගෙන තමන්ගෙ නොදියුණු මානසිකත්වය ලෝකෙට පෙන්වා දීලා තමන්ටම අපහාස කරගත්ත කෙනෙක් හින්දා, ඒ අසරණයා සහ ඒ කතාවෙන් හිතට සතුටක් දැනුන කෙනෙක් ඉන්නවනං, එයාලට  තියෙන්නෙ ලෙඩක් නං දොස්තර කෙනෙක් ගාවට යන්න කියන අවවාදය දෙන්න බැරි, ඕක ලෙඩක් නෙවෙයි මොලේ වර්ධනය අඩු වීමක් කියල හිතෙන හින්ද එහෙම අවවාදයක් දෙන්නත් බැරි හින්දයි මම ඇත්තටම ඒ සිද්ධිය අමතක කරලා දැම්මෙ...