Wednesday, August 8, 2012

පිස්සුම පිස්සු කාලයක් ගැන මතක ටිකක්......




ලියන්න ජාති ලොට් එකක් තිබුනත් ටිකක් කම්මැලිකම සහ වැඩ වැඩිකම හින්දා පරණ කතා කියව කියව විතරක් ඉන්නකොට මගේ අතිජාත මිතුරියක් කෝල් එකක් දුන්නා... ඒකටත් වැඩ නැති වෙලාවක් හම්බුවෙන්නේ කලාතුරකින් හින්දා දෙන්නගෙම සල්ලි ඉවර වෙනකම් පරණ පුරාජේරු සහ ගොං වැඩ ගැන කි‌ෙයව්වා... ඉතිං යාලුවෝ කියලා ගොඩක් අය නොහිටියත් මුන් ටික ගැන සහ අපි කරපු වැඩ ගැන ටිකක් ලියන්න ඕනේ කියලා හිතුනා...

ඉස්කෝලේ ඉවර වුනාට පස්සේ ගෙදර ඔක්කොම ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න කියලා බො‌හොම ප්‍රසිද්ධ ආයතනයකට දැම්මා. ‌මේක මේ බ්‍රීටිෂ් ඉංග්ලිෂ් උගන්නන ක්‍රිස්තියානි පල්ලියට සම්බන්ධ ආයතනයක්...
ටික දවසක් යනකොට අපිට තේරුණ දෙයක් තමයි අපිට ඉංග්‍රීසි පුළුවන්, කතා කරන්න තමයි බැරි කියලා..

ඇයි ඉතිං ඉස්කෝලෙදි ඉංග්‍රීසියෙන් කතා කරන්න යනකොට වැරදුනොත් මුළු පන්තියම හිනා වෙනවානේ... ඉතිං ලැජ්ජාවට කතා නොකර ඉදලා දැං කියන්න ඕනෙ දේ හරියටම දිව අග තිබුනත් කියාගන්න බය නිසා කතා කරන්න බයයි... හැබැයි මේ ආයතනය ඇතුලේ එහෙම දෙයක් තිබුනේ නෑ... කතා කරද්දි වැරදුනාට කවුරුවත් හිනා වුනේ නෑ..

ඉතිං දවස් දෙකක් විතර යනකොට මායි මං ළග හිටපු ලස්සන සුදු උස ගෑණු ළමයයි හොද යාලුවෝ උනා... ඒකත් ඝන්ඨාර වොයිස් එකක් තියෙන, ඕන මොන්ගල් වැඩකට ඉස්සරහට පනින ජාතියේ තමයි.... කොහොමත් හරිහමන් යාලුවෙක් නොහිටි මේ මට මුලින්ම හම්බුන යාලුවා තමයි ඒ... ඒ තමයි ශානි....

ඔන්න දැං පාඩම් යනවා කියමුකෝ... මේ ආයතනයේ තියෙන විශේෂත්වය තමයි උගන්නන්න ඉන්න ගුරුවරු වැඩි දෙනෙක් අවරුදු 70 පැනපු කළු සුද්දෝ ජාතියේ අය වීම... ඒ කියන්නේ සුද්දගේ කාලේ ‌ලොකු ඉස්කෝල වල සහ ක‌තෝලික පල්ලියේ අනුග්‍රහයෙන් ඉගෙන ගෙන රජයේ ලොකු රස්සාවල් කරපු කතෝලික අය වීම... ඉතිං පාඩමුත් සුද්දගේ කාලෙ වගේ තමයි.... අපිට ග්‍රැමර් කරන්න හිටපු සර් පන්තියට Good morning, Good afternoon කියන්න විතරයි පන්තිය දිහා බලන්නේ... අනිත් ටික බෝඩ් එකේ ලියන එක තමයි.. උඩ ඉදන් පල්ලෙහාට ලියනවා, බෝඩ් එකේ ඉඩ ඉවර උනාම උඩ ඉදලා මකාගෙන ලියාගෙන යනවා... ;

අපි දෙන්නට පිටිපස්සේ පේලියේ ලස්සන සුදු කොල්ලෙක් ඉන්නවා... නෝ කතා, නෝ සිනා... මොනා හරි ඇහුවොත් බය වෙලා වගේ බලනවා... ඔන්න දෙවනි දවසේ දවල් වෙනකොට අපි දෙන්නා හොයා ගත්තා මෙයා දෙමළ කොල්ලෙක් කියලා... එයාට සිංහල වචනයක්වත් තේරෙන්නේ නෑ... ඉංග්‍රීසිත් හොදට බෑ... ඒත් මොනා හරි කිව්වාම තේරෙනවා... මොනවා කරන්නද .. අපිටත් ඉංගිරීසි බෑනේ... ඉතිං කොහොම හරි අපි අතිං පයින් සෙල්ලම් දාලා මෙයා එක්ක කතා කලා... මෙයා තමයි රෝයි....

ඔන්න සර් මෙයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා... සිංහලෙන්.. දැං මෙයා බයවෙලා... දෙතුන් පාරක් සර් ඒකම අහලා කේන්ති ගිහින් බැනගෙන බැනගෙන ගියා සිංහලෙන්ම.... මු තවත් බයවෙලා... මොනවා උනත් මේ වගේ වෙලාවක කට පියාගෙන ඉන්න බැරි අපි දෙන්නා පැනලා කිව්වා සර් එයාට සිංහල තේරෙන්නේ නෑ, එයා දෙමල කියලා... මෙන්න සර් කාරයා තවත් අර කොල්ලට බනිනවා... බැනිල්ලෙ සාරාංශය දෙමළ එවුන් මොනාට මේවට එනවද වගේ කතාවක්... අනේ අර අහිංසකයා තවත් බය වෙලා.... අපි දෙන්නටත් දුක හිතුනා...

ඉතිං අපි දෙන්නා ඉන්ටවල් එකේදි මේ කොල්ලව අල්ලන් කැන්ටින් එකට ඇදගෙන ගියා ට්‍රීට් එකක් ඕනේ කියලා.... අපි හරි හොදයි... ලොකු දඩ දැම්මේ නෑ.. මින්ටෝස් ටිකක් විතරයි ගත්තේ... ඊට පස්සේ අපි ගහක් යට වාඩි වෙලා දන්න ඔක්කොම භාෂා ඥානය යොදවලා සාකච්ඡාවක් කලා... මෙයා ඉතිං බය වෙලානේ.... මං චණ්ඩියා, පණ්ඩිතයා වගේ කිව්වා... Don't be afraid. We won't bite you කියලා... දැං ඕකේ තේරුම මොක උනත් මං කියන්න අදහස් කලේ අපි ඔයාව බයිට් එකට ගන්නේ නෑ කියන එකනේ.... මට පේනවා එහා පැත්තේ ඉදගෙන හිටපු වයසක සර්ට චූටි හිනාවක් ගිහින් හොරෙන්ම මගේ දිහා බලනවා... මං මොකක් හරි ගොන් කතාවක් කිව්වා කියලා තේරුන හින්දා කන් දෙකේ ඉදලම රතු වෙලා ඒ සර් දිහා බැලුවාම මෙන්න ඒ සර් කියනවා... Don't worry duwa. Go ahead. You are doing fine. කියලා... එදා ඉදලා මගේ ඉංග්‍රීසි කතා කරන්න තිබුණ බය නැත්තටම නැති වෙලා ගියා.....

කොහොම හරි අපි කතා උනා රෝයිට අපි සිංහල උගන්නන්නත් එයා අපිට දෙමළ උගන්නන්නත්... අන්තිම වෙනකොට රෝයි නියමෙට සිංහල ඉගෙන ගත්තා... අපිට නම් දෙමළ වචනයක්වත් ඉගෙන ගන්න බැරි උනා.....

තව සෙට් එකක් ඉන්නවා... හිමිං සීරුවේ ලියන්නම්... සෙට් එකේ එක එකාට එක එක ලෙඩ තියෙනවා... ඔක්කෝම ලිව්වොත් පෝස්ට් එක එපා වෙන තරම් දිග වෙනවා...

ඊළගට ඉන්නේ ලකී..... ලස්සන චණ්ඩියා......

12 comments:

  1. මටත් ඉන්නව දෙමළ යාලුවො උන් ඔක්කොටම සිංහල පුලුවන් හැබැ අපිට දෙමල බැ.. ඇයි කතා කලොත් කඩ්ඩෙන් හරි සිංහලෙන් හරිනේ ඉතිං කොහේද දෙමල ඉගෙන ගන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාව.මෙහෙ අපේ සයිට් එකෙත් ඉන්නවා දෙමළ අය.ඔක්කොටම සිංහල හොදට පුලුවන් අපිට දෙමළ බෑ. :(((

      Delete
    2. 5 වසරට විතරක් දෙමළ ඉගැන්නිල්ලේ විපාක තමයි..... මට දෙමළ පේපර් එකට 98ක් තිබුනා මතකයි ශිෂ්‍යත්වෙදි.....

      Delete
  2. මමත් තාම බයයිනෙ ඉංග්‍රීසි කතා කරන්න.කැම්පස් එකේ මොනවා කලත් තාම බයයි.

    ReplyDelete
  3. මාත් දෙමළ යාළුවෙක් හොයනව මේ දවස්වල. දෙමළ විභාගෙ පාස් වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ නොදැන හිටියට ඇත්ත කතාව මේකයි... රෝයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ආවේ එංගලන්තේ යන්න.. දැන් මිනිහා එහේ.. එයා‌ෙග් නෑයෝ ඉන්නෙත් එහේ... තාමත් මට නම් හොදම යාලුවෙක් තමයි... චූටි පහේ crush එකකුත් තිබුනා... හි හි...
      ඒත් අපි එදා එයා දෙමළ කියලා වෙනසක් නොකලා උනාට සිංහල දෙමළ පරතරය අපි අතර තිබුණා කියලා මට දැන් හිතෙනවා....

      Delete
  4. නියමා.................යි අක්කෝ :)

    ReplyDelete
  5. දෙමළ කෙනෙක්ට සිංහල ඉගෙන්නුවට, සිංහල කෙනෙක්ට දෙමළ උගන්නනවානම් බොරු අක්කේ.....

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. ඇයිද මන්දා... පොඩි කාලේ මට ටිකක් පුළුවන්කම තිබුනා... ඒත් දැන් නම් චුට්ටක් වත් බෑ... දෙමල ෆිල්ම්ස් බලලා ටිකක් කියන ඒවා තේරෙනවා.. එච්චර තමා...

      Delete
  6. මටනම් දෙමල යාලුවො ඉඳලම නෑ. 5 වසරෙදි දෙමල ආසාවෙන් ඉඟන ගත්ත. 6 වසරෙදි දෙමල උඟන්නන්න ආව මිස් නිසා දෙමල එපා වුනා.

    ජය වේව..

    ReplyDelete
  7. නියමම යාලුවෝ තමා :)

    ReplyDelete