Sunday, September 30, 2012

නින්ද නැති රැයේ....


නින්ද නැති රැයේ....
සඳ කඳුළු මීදුමේ...
හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ......

මොන මඟුලක්ද.... පැයක් විතර පෙරලි පෙරලි ඉදලා නින්ද යන් නැති තැන ඇවිල්ලා කොම්පූටරේ දාගත්තා පරණ ‌පෝස්ට් ටිකක් වත් කියෝනවා කියලා.. බලන බලන හැම තැනම 6% කතා...ශිෂ්‍යත්ව කතා.... ලේ රත් වෙන කතා කියවන්න බෑ කියලා හිතුනා මොකද, මේ වෙලාවේ ඕවා ලියන්න ගත්තොත් අද නිදා ගන්නම වෙන් නෑ මට...

ප්‍රථම ප්‍රේම කතා නම් ඉතිං අනේ මන්දා.... ඒවා මතකත් නෑ දැන්.... පොතේ හැටියට බැලුවොත් මගේ ප්‍රථම ප්‍රේමය තිබ්බේ 5 වසරේ ඉන්නකොටද කොහෙද.... හා හා පුරා කියලා කොල්ලෙක්ගේ ෂර්ට් එකක් හේදුවේ එයාගේනේ.. හි හි...

නෑ නෑ.. කැත විදියට හිතන්න ඕනේ නෑ.. අත්වැඩ පීරියඩ් එකේ ෂර්ට් එකේ කුකුල් සායම් හලා ගත්තම පන්ති නායිකාව විදියට මට ඒක කරන්න උනා... හි හි...

විභාගෙට ලියනකොට කොල්ලයි කෙල්ලයි එක ඩෙස් එකක... ටීචර්ලා හිතන්නේ අපි කොපි කරන එකක් නෑ කියලා.... හි හි.. අපි කරපුවා ඉතිං අපිම තමයි දන්නේ... හි හි.... මොනවා නැතත් කොල්ලා ජොලි පොරක්.. හි හි

මං ඉතිං ශිෂ්‍යත්වෙන් ඒ ඉස්කෝලෙන් ආවනේ... එයත් වෙන ඉස්කෝලෙකට ගියාලු...

හිනා යන වැඩේ මේකනේ.. අදටත් මට එයාගේ සම්පූර්ණ නමයි තාත්තගේ රස්සාවයි හොඳට මතක එකනේ... හා හා.. ඒක කියන්නේ නෑ... හි හි...

ඔන්න මගේ ප්‍රථම ප්‍රේමය... මල විකාර.. නැද්ද මං අහන්‌ෙන්... හි හි...

හද ගී පොතේ...
පිටුවක් ඉරා...
ලියා එවමි ආදරේ...

සඳ ඉර හා...
තරු එලියේ....
බලමි ලියමි ආදරේ...

ලවු ලෙටර්....

තවත් මල විකාර කතාවක්....

ඔය ලවු ලෙටර් කෙරුවාවට මං අහුවුනේ 10 වසරේදි... මුතු ඇට වගේ අත් අකුරින්, ලස්සන කාව්‍යමය අදහස් එක්ක ලියපු එක්සයිස් පිටු එකහමාරක ලියුමක්...

“ දහසක් පැතුම් පැතුවත් බලා සිටියෙමි ඔබ දෙස කියාගන්නට නොහැකිව....“ ඔන්න ඔහොම තමා පටන් අරං තිබ්බේ....

ඕක බැලුවේ බාත්රෑම් එකට රිංගලා... අම්මට මාට්ටු උනා නම් මං එදාම නිවාස අඩස්සියේ.. හි හි....

අපේ ඉස්කෝලේ කෙල්ලෝ ටික නම් කිව්වේ කොල්ලගේ අකුරු නම් ලස්සනයි කියලා... පස්සේ තමයි දැනගත්තේ යාලුවෙක්ට කියලා ලියවගෙන තියෙන්නේ කියලා.... හි හි.. මට අදටත් ෂුවර් නෑ අදහස් ටිකත් එයාගෙමද කියලා... හි හි... කියන්නේ නම් එහෙම තමා....

ඔව් ඔව්.. ඒ අපේ මහත්තයා තමා.....

එදා රෑ...
ගුවන් තොටුපලේදි මා...
වෙන් වී ගියේ...
සිතකින් නොවේ.....

අපේ මහත්තයා වෙන්ඩ මහත්තයා කාලේ රට ගියා නොවැ අවුරුදු ගාණකට... ඉතිං මාත් ගියා ඇරලවන්න... පුදුමේ කියන්නේ ඒ වෙලාවේ මට කිසිම දුකක් දැනුන් නැති එක... ඒක හරි සාමාන්‍ය දෙයක් වගේ දැනුනේ... නැන්දම්මට විහිළු කර කර මගෙ නෙවෙයි වගේ මම හිටියා...

ඒත් අවුරුදු ගාණක් උදේටයි හවසටයි බස් එකේ දෙන්නත් එක්ක ගිහින් පුරුද්දට පහුවෙනිදා ඉදන් සාංකාව වගේ.. බස් එකේ තනියෙන් යන්න බෑ වගේ.. හිත හදාගත්තේ බැන්දට පස්සේ නම් රට යන්නේ නෑ කියලා පොරොන්දු වෙලා හිටිය නිසා....

දෙවනි පාර යනකොට නම් මම ගියේ නෑ.... ඊළඟට ආවෙ වෙඩින් එකට තමයි.... කිව්වා වගේ ආපහු ආවේ අස් වෙලාම තමා... හි හි..

එනවා කිව්ව දවසට වඩා දවස් දෙකක් කලින් ඇවිත් එකපාරටම මං ඉස්සරහට පැනලා තව පොඩ්ඩෙන් මට හාට් ඇටෑක් හදෝනවා... හි හි.... .

සමහර සින්දු අහද්දි ජීවිතේ පොඩි පොඩි සිද්දි එකපාරටම ආයිත් මතක් වෙනවා... මේ රෑට ඒවා වැඩිපුරත් එක්ක මතක් වෙනවා....

අනේ මන්දා..............පිස්සු නේ....

Tuesday, September 25, 2012

පොතකින් කතාවක්...


අතීත ආදරය අනාගතයටත්....

- තරහටත්, අකමැත්තටත් වඩා ආදරේ ශක්තිමත් හා බලවත් කරගන්න.

- එකඟතාවයකට එන්න තරම් බුද්ධිමත්. මන්ද, දැඩි වී කැඩී වෙන්වෙනවාට වඩා මෘදු වී නැමී සිටීම විවාහයේදී වඩාත් යෝග්‍ය වන නිසා.

- නරක ගැන නොහිතා හොද ගැන හිතන්න.

- මතක තියාගන්න හොඳ විවාහයක මූලික පදනම හොඳ මිත්‍රත්වයයි. ඔබේ සහකරුවා හො සහකාරිය ඔබේ හොඳම මිතුරා කරගන්න.

- මේ පාඩම ඔබේ දරු මුණුපුරන්ට කියා දෙන්න. කොච්චර දේවල් වෙනස් වුණත් සමහර දේවල් ඒ විදිහමයි. හරියට විවාහයෙත් ආදරේත් දැනීම වගේ.

-ජේන් වෙල්ස් (1886)

මේ උපුටා ගැනීම විදර්ශන ප්‍රකාශකයන්ගේ “අසිරි සිරිනි“ ජීවිතය - ආදරය ගැන පුංචි කතා කියන පරිවර්තන කෘතියේ 123 වෙනි පිටුවෙන්....

මේ පොත් පෙලින් පළමුවැන්න වන මෙය මා වෙත තිබී කෙසේ හෝ අතුරුදන් වී ඇති නිසා මා යලිත් මිලට ගත්තේ ඊයේ... ඇත්තටම පොත යලිත් මිලට ගන්න තරම් මගේ හිතේ රැදිලා තිබුන කතාව මෙය නොවුනත්, රාත්‍රියෙදි මෙය කියවන විට එක්තරා විදිහකට මගේ හිතේ කම්පනයක් ඇති කිරීමට සමත් උන වචන කීපයක්...

මෙහි සඳහන් කරැණු පහෙන් තුනක් සම්බන්ධයෙන් මා ඉතා සැළකිලිමත්ව කටයුතු කලත්, එක් කරැණක් සම්බන්ධයෙන් මා කැළඹීමට පත් උනා... ( අනෙත් කරුණ තවමත් මට අදාල නැත..)

ඒ මෙහි සඳහන් දෙවැනි කරැණ...

මා ස්වාභාවයෙන් දැඩි තීරණ ගන්නා කෙනෙක්.. එහෙත් බොහෝ අවස්ථාවල තවත් කෙනෙකුගේ මතයට හිස නැමීම සිදු වී තිබෙන්නේ මගේ එකඟත්වයත් ඇතිව... නමුත් යම්කිසි තීරණයක් සම්බන්ධයෙන් මට එකඟවන්නට අපහසු අවස්ථාවල මා මාගේ මතයේ දැඩිව රැදී සිටිනවා... එසේ නොකලොත් මා පසුව යමිකිසි අවස්ථාවක ඒ ගැන පසුතැවිලි වෙයි කියන බිය නිසා...

නමුත් මේ වචන වල තියෙන සත්‍යතාවය මට වැටහෙනවා.... හේතුව විවාහය යනු තවදුරටත් ප්‍රේම කරන කාලයේ තිබු හීන සැබෑ කරන ගැනීම නොව, එකිනෙකට වෙනස් වූ හිත් දෙකක් සහ ශරීර දෙකක් එකට එක්තැන්ව ජීවිතය ඉදිරියට ගෙන යාම පිළිබඳ අලුත් ගැටළු රාශියක් මතු කරන්නක් බව දැනී තිබෙන නිසා...

කෙසේ වුවත් මේ වචන කිහිපය මගේ හිතේ තදින් සටහන් වූවක් වී අවසානයි..

මේ පොත් පෙලෙහි පොත් 6ක් ඇති අතර, පරිවර්තනය සිදු කර ඇත්තේ හේමන්ති සමරජීව විසින්... Chicken Soup for the Women`s Soul යන පොත් පෙත් පෙලෙහි පරිවර්තනයක්...

මෙහි පසුපස පිටුවේ සඳහන් කරැණු ටික උපුටා දක්වන්න හිතුවේ මෙහි අන්තර්ගතය පිලිබඳ අදහසක් ලැබේවි යස අදහසින්...

“ ගැහැණුන්ගේ ජීවිත ඇතුළෙ හැංගිලා තියෙන අසීමිත වූ සුන්දරත්වය ගැහැණුකමට විතරක් සීමාවුණු අපූරැ දෙයකි.
දුකක් දරාගන්න තියෙන හැකියාව, ප්‍රශ්නයකට මුහණ දෙන්න තියෙන ශක්තිය විතරක් නෙමෙයි, අසීමාන්තිකව ආදරය කරන්නත්.
“අසිරි සිරිනි : ජීවිතය - ආදරය ගැන පුංචි කතා“ නම් මෙම කෘතිය ගැහැණියගේ ඒ අපූර්වත්වය විදහා පාන මනරම් කැටපතක් වැන්න.
Chicken Soup for the Women`s Soul නම් මෙම කෘතිය ලොව පුරා මිලියන ගණනින් අලෙවි වන, අතිශයින් ජනප්‍රිය කෘතියකි.
මෙහි ඇතුලත් සත්‍ය කතා පෙළ කියවන ඕනෑම අයෙකුට ලෝකේ හැම ගැහැණීයක් ඇතුළෙම සංවේදී ආදරණීය චරිතයක් ජීවත්වෙනවාය කියන හැඟීම දැනෙනවා නොඅනුමානය.“

මෙහි සඳහන් සෑම පොඩි සත්‍ය කතාවකම පාහේ මගේ ඇසට කඳුලක් නැගෙන්නා වූ සංවේදී අවසානයන්ගෙන් සමන්විතයි. ඒ ඇතැම් විට දුකට හෝ ඇතැම් විට සතුටට විය යුතුයි...

Sunday, September 23, 2012

බුක් එක්සිබිෂන් සංස්කෘතිය...

BMICH එකේ පැවැත්වෙන වාර්ෂික පොත් ප්‍රදර්ශනේ ඔන්න දැන් මේ දවස්වල පැවැත්වෙනවා.. මට හිතුනා ටිකක් ඒ ගැන කතා කරන්න... ( යන යන බ්ලොග් එකේ ඕකට ගිය අය ගැන කියවලා මාත් දැන් නලිය නලිය ඉන්නේ යනකමි...)

පොත් ප්‍රදර්ශනේ පටන් ගත්තේ සැප්තැම්බර් සාහිත්‍ය මාසය මූලික කරගෙන, අ‌ෙප් තරුණ පරපුරේ කියවීමේ රුචිය වැඩිකිරීම, පොත් ප්‍රකාශකයන්ට තමන්ගේ පොත් වලට ප්‍රසිද්ධියක් ලබා ගෑනීමට සහ පොත් විකිණීමේ අවස්ථාව ලබාදීමට වගේම අලුත් පොත් සාහිත්‍යයට එකතු කිරීමේ වැඩපිලිවෙලක් විදියට....

දැන් ඔය කවුරු කවුරු ක්‍රෙඩිට් එක ගත්තත් මේක නම් මම දකින්නේ ඇත්තටම හොද දෙයක් විදියට....

ඔය ප්‍රදර්ශනේ මට හිතෙන විදියට මේ වෙනකොට 10 වතාවකට කිට්ටු වෙන්න පැවැත්විලා තියෙන්න ඕනේ.... පටන් ගත්ත පළවෙනි පාරම ලංකාවේ මිනිස්සු කියවන්න කැමති නෑ, කියවීමෙන් ඈත් වෙලා ඉන්නේ කියන එක බොරු කරන්න වගේ මහා සෙනඟක් ඕකට ඇදිලා ආවා....

හැමෝම හිතුවේ ඊළඟ අවුරුද්ද වෙනකොට ඕකේ ආසාව නැති වෙලා යයි කියලා... ඒත් ඊළඟ අවුරුද්ද වෙනකොට අගෝස්තු වල ඉදලම ළමයි, අම්මලා තාත්තලා ලෑස්ති වුණේ පොත් ප්‍රදර්ශනේට යන්න... අවුරුදු 3 ක් විතර යනකොට සැප්තැම්බර් පොත් සංස්කෘතියක් හැදුනා ‌පොත් ප්‍රදර්ශනේ බලන්න යන....

අපි මාස තුන හතරක ඉදලම පොත් ගන්න සල්ලි එකතු කලා.... තාත්තට කරදර කලා නිවාඩුවක් දාලා හරි එක්කන් යන්න කියලා...

පොත් ප්‍රදර්ශනේ දවසට BMICH එකේ ලංකාවේ වෙන කොතැනක වත් නොදකින විදියේ දසුන් දකින්න ලැබුනා....

තැන තැන හිටගෙන සහ පඩි උඩ වාඩි වෙලා පොත් කියවන අය,අලුත් පොත් එකින් එක ආසාවෙන් අරන් පෙරලලා බලන අය, ෂොපින් බෑග් පුරෝලා පොත් අරන් තවත් පොත් හොයන අය, ලිස්ට් එකක් ලියාගෙන අඩුම මිලට ගන්න පුළුවන් තැන් හොයාගෙන යන අය, එක දවසක් ඇවිල්ලා බලාගෙන ගිහින් තවත් දවසක ඇවිල්ලා පොත් අරන් යන අය,අතේ මිටේ සල්ලි බාගේ ගැවසෙන ලොකු සල්ලිකාර නෝනලා මහත්තුරු සහ එදා වේල හම්බකරන් කන, ඒත් පොත් ගන්න කීයක් හරි ඉතුරු කරගෙන ඔතනට එන දුප්පත් මිනිස්සු එකම කඩේ, එකම පොතේ පිටපත් පෙරලගෙන, එතනම හිටගෙන කියවන හැටි.....ලොකු පොඩි බේදයක් නැති තැනක් වෙලා.....

කොටින්ම කියනවනම් අර ‌ලොකු BMICH main hall එක තනිකරම ප්‍රීන්ටින් තීන්ත සුවදයි ඒ දවස්වලට...

කවදාවත් ලංකාවේ නැති උන පිබිදීමක් මේ දවස් කීපය තුල ඇතිවෙන එක අරුමයක් නෙවෙයි.. මේ දවස්වල කවුරු කාත් එක්ක, මොනවා කතා කලත්, අනිවාර්යයෙන්ම ඇහෙන එක වාක්‍යයක් තියෙනවා..

“ Book fair ගියාද....?“

බොරුල්ලේ ඉදලා ව‌ෙග්ම තුම්මුල්ලේ හංදියේ ඉදලා ධාවනය වෙන පොත් ප්‍රදර්ශනයටම යොදවපු අමුතු අමුතු බස් ජාති තිබුනා ඉස්සර... මට මතකයි ලොරියක් වගේ පරණ තාලේ බස් එකකුත් දාලා තිබුනා... ඔය බස් එක් යන එකත් ඉස්සර හරි ජොලි... (හැබැයි ඉතිං ගැටකපන්නන් සහ ජැක්සන්ලා නම් ඒවායේ වැහි වැහැලා හිටියා....ලංකාව නොවැ... හි හි )

මල්ලියි මායි නංගියි ඕකට යන්නේ උදේ 6ට විතර ගෙදරින්.. අපිට රෑ 10ට ගෙදර ආවත් බැනුම් අහන්න වෙන් නැති එකම දවසත් ඕක විතරයි.. තාත්තා නැත්තම් වගකීම මගේ අතේ... මුන් දෙන්නවත් පරිස්සම් කරගෙන පොතුත් අරගෙන, ඒවත් පරිස්සම් කරගෙන ගෙදර ගියා හැම පාරම... අතේ තියෙන සල්ලි ඔක්කොම වියදම් කරලා... ඒත් තාත්තා කවදාවත් බැනලා නෑ ...

එක පාරක් අතේ තිබ්බ සල්ලි මදි වෙලා ( මගේ මාස දෙකක පඩි රැ 20000 යි , මල්ලිගේ 5000 යි, නංගිගේ 3000 යි, නයෙක් නෙමෙයි මේ ඇත්තමයි... ) තාත්තගේ ක්‍රෙඩිට් කාඩ් එකෙනුත් රු 10000 ක් වියදම් කරලා ගෙදර ආවම අම්මා බනින්න කට ඇරියත් තාත්තා කිව්වේ ...

“ පොත් ගන්නනේ..ක්‍රෙඩිට් කාඩ් එක ලිමිට් ඉවර වෙනකම් ගත්තත් මට කමක් නෑ...“ කියලා...

( අපි කට්ටකමට එක්කන් යන්නේ තාත්තව තමයි... අම්මත් එක්ක හිතේ හැටියට වියදම් කරන්න බෑ.. හි හි)

ඉතිං ඕකේ තව එක සංස්කෘතික අංගයක් තියෙනවා.. ඒක ඉතිං එහෙමම කියන්න බැරි උනාට මං මේ කිව්වේ අර ඉස්සර රැ 50 දීපු, මේ පාර රැ 75 ක් වෙලා කියලා ආරංචියක් ආව මැගී නූඩ්ල්ස් කප් එක ගැන.....

පොත් වලින් වට්ටම් ලැබුනට, කෑම වලින් නම් නට්ටම් වෙන ගානට ප්‍රදර්ශන භූමියේ ඇතුලේ තියෙන කෑම කඩවල ගාන වැඩියි.... අනිත් එක ඕවට වියදම් කරනවට වඩා ඒ සල්ලි වලින් පොතක් ගන්න පුළුවන්.. ඉතිං අපේ ප්‍රියතම ආහාරය ඔය මැගී එක තමා...

බුක් එක්සිබිෂන් ගිහිල්ලා මැගී එකක් කෑවේ නැත්තම් හරි නෑ වගේ.. කොහොම උනත් මම මේ පාර අපේ මහත්තයට කිව්වේ පොත් ගන්න බැරි උනත් ඔය මැගී එක කාලා එන්න වත් ඔය පැත්තේ යන්න ඕනේ කියලා.... හි හි....

කොහොම උනත් මේක එක්තරා විදියක ට්‍රෙන්ඩ් එකක් කියලා කවුරැහරි කිව්වොත් මම කියන්නේ ඒක හොද විදියේ ට්‍රෙන්ඩ් එකක් කියලා.... පොතක් ගන්න පොත් සාප්පුවකට නොයා හිටපු අපේ මිනිස්සු මේකට තාමත් බැන බැන හරි ( පොත් ගනන් වැඩියි, ප්‍රදර්ශන භූමියේ හොරු වැහි වැහැලා කියල කිය හරි) එන එක හොද ප්‍රවණතාවයක්... ලංකාවේ මිනිස්සු පොත් කියවන්න මෙච්චර ආසද කියලා පටන් ගත්ත දවසේ පුදුම උනා වගේම අදත් පුදුම වෙන විදියේ සෙනඟක් මේකට එන බව දැක්කාම මට නම් ලොකු සතුටක්....


ඔය තියෙන්නේ අපේ කට්ටිය එකපාරක් ගිහිල්ලා මැගී කකා නෙස්කැ‌ෆේ බීපු හැටි....

Saturday, September 22, 2012

අනේ මට ගිය කල......


අද උදේ පාන්දර කොම්පීතර් රාජයාට දුං අල්ලලා එහෙම වැඩකට බැස්සනේ...

විනාඩි 5ක් යන්න කලින් මට “ අනේ අපොයි ...“ කියවුනා....

දෙයියනේ කියලා මාස ගානක් පරක්කු වෙවී ඉදලා ඊයේ හා හා පුරා කියලා Adobe photoshop Cs3 එක බාගත්තා නොවැ... චණ්ඩිකමට වඩා පණ්ඩිතකමට ඔහොම දෙයක් කොලාමයි ඔය.... ඔව් ඔව් ඉස්සරත් ඕවා පාවිච්චි කලා තමයි... ඒත් ඉතිං වටේ පිටේ උදවුවට කොච්චර නම් කට්ට්ය හිටියද... මේ ලෝකෙ සොෆ්ට්වෙයා එකක් බාගන්න උනේ නෑ..

“ අනේ බං මේ කෙහෙල්මල් සොෆ්ට්වෙයා එක නෑ නේ...“ කියලා කෝල් එකක් දුන්නම “ හිටපන් මං ගාව ඇති.. ගෙනත් දෙනකම් නහයෙන් අඩන් නැතුව හිටු...“ කියලා සත්තමක් එහෙම දාලා අනේ ඉතිං ඕක DVD කෑල්ලක ගහලා ගෙනත් දෙන එක නොවැ... දැන් ඉතිං මොනා කරන්නද.. ගිය‌ දේ ගියාවෙකො කියලා මංම කරගත්තා...

තමන් හිසට තම අතමය සෙවනැල්ල කිව්වලුනේ....

වැඩේ හරිගියාම ඉහේ මලක් පිපුන ගානයි..... ඇයි දෙයියනේ මේක නැතුව මම අවුරදු 2ක් තිස්සේ මොන දුකක් වින්දද...? කැවේ බිව්වේ කොහොමද කියලවත් මතක නෑ......

ඕන්න ඉතිං මම හරිබරි ගැහිලා අලුත් ඇප්ලිකේෂන් එක ඕපන් කරලා බැලුවාම තමයි මට අරහෙම කියවුනේ.... මොකෑ දන්නවද....

....... හපොයි මට එක ටූල් එකක් වත් මතක නෑ......

මේකෙන් වැඩක් කරගන්න තව මාසයක්වත් මට මේක අල්ලන් නටන්න වෙයි.......

ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්‌ෙන්..............

...... කමක් නෑ.... දෙන්නම් බැටේ .... කියලා හිතාගෙන ඕන්න මං වැඩට බැස්සා....

.....හික් හික්.......


....... අනේ අම්මපා මට ගිය කල......

Wednesday, September 19, 2012

එකේ පන්තියේ උසම එකී...

ඉස්සෙල්ලම ඉස්කෝලේ‌ යනකොට ඉතිං එක එක ජාතියෙ ඒවා වෙනවානේ කට්ටියට.. හැබැයි ඕනේ ඔට්ටුවක් මට වෙච්ච වැඩේ නම් වෙන කිසිම කෙල්ලෙක්ට වෙලා නැතුව ඇති....

ඔන්න ඉතිං මාව දැම්මා එකේ පන්තියට.. මට මතක විදියට 1 වසර නෙලුම් සහ මානෙල් හරි තමයි... ෂුවර් නෑ... ඔය මොක හරි අපේ පන්තියේ හිටියේ කෙට්ටුම කෙට්ටු නපුරු මන්තරකාරියක් වගේ ටීචර් කෙනෙක්.... .

පන්තියේ උසම එකා මං... 5 වසරට යනකම් පෝලිමේ අන්තිමයා හැමදාම....

මං කො‌හොමත් දඟයා.... මොන්ටිසෝරියෙත් දඟමල්ලක්.... කොහෙ උනත් යාලුවෝ සෙට් එකක් හදා ගන්නවා... ඔන්න එක වසරට ගිය දවසෙම මට යාලුවෝ සෙට් එකක් හම්බුනා.. මොන්ටිසෝරියෙත් මාත් එක්ක හිටපු හසිතයා... ඉතිං ඉස්කෝලෙ කාලේ පටන් ගත්ත තැනම ඉදිරි අනාගතය ගැන අනාවැකි කියන්න පුළුවන් විදියට ඔන්න මම හසිතයා එක්ක අන්තිම පේලියට සෙට් උනා.... අනිත් කොල්ලෝ ටිකත් සෙට් කරන්...

අපොයි .. අනිත් කෙල්ලෝ අඩනවා.. අම්මලාගේ ඇඟේ එල්ලිලා... අම්මලා ඊට හපන්... අපේ අම්මා නම් මාව පන්තියට දැම්මා.. ටීචර් එක්ක ටිකක් කතා කලා... ගියා....

ටීචර්ටත් ඉතිං අම්මලා එක්ක කතා කරලා එහෙම වැඩ පටන් ගන්න ඕනෙ නිසා අපි දෙයියනේ කියලා සාජ්ජෙකට සෙට් උනා... ඔව් ඔව්.. මේ ඉස්කෝලේ එක වසරේ පළවෙනි දවසේ තමා.... හි හි...

ඉතිං පොඩියට සින්දුවක් කියාගෙන, මේසෙට තට්ටුවක් දාගෙන ඉන්න අතරේ අම්මලා යන්න ගියා... අපි ඉතිං අපේ ලෝකේනේ... ලෝකේ පෙරලුනත් අපි ජොලියේ.... ( මට මතක හැටියට ඇපි කිව්වේ මොන්ටිසෝරියෙ උගන්නපු සින්දුවක්...)

මෙන්න එකපාරටම මේ ගෑණි මාව කනෙන් ඇදන් ගිහින් පන්තියේ ඉස්සරහා දණගැස්සුවේ නැතෑ....... !!!

දැන් මට මල කොච්චරද කියනව නම් ගහන්න තරම් තරහයි... හැබැයි හසිතයා සහ අනිත් එවුන් ටික බිරන්තට්ටු වලා බලං ඉන්න හැටියට මට මොකවත් කරන්න බෑ.. කදුළුත් එනවා.... තරහට... මොන්ටිසෝරියෙදි අපි ඕනෙ තරම් සින්දු කියනවා.. මෙයා මොකටද මාව දණගැස්සුවේ... මොන්ටිසෝරියේ මම කවදාවත් දඩුවමක් විදපු කෙල්ලෙක් නෙවෙයි.. ෆාදර්ලා මට හරිම ආදරෙයි... මොකද මං දඟ උනාට කියන දේ අහන නිසා.... දැන් මං තොල හප හප කදුළු හිර කරගන්න හදනවා... කමක් නෑ...යමංකෝ ගෙදර.. ආයිත් නං එන් නෑ මේ ඉස්කෝලෙට.... ඔන්න මගේ තීරණේ...

11.30 ට ඇරුනම අම්මා ආවා මාව එක්කන් යන්න.. කොට්ටාවේ මහගෙදරට පයින් යන දුර... ගිය ගමන් කට්ටියම වට වෙලා කොහොමද ඉස්කෝලේ කියලා අහපි.... අපේ මාමායි, පුංචියි දෙන්නා තමයි මගේ වෛරක්කාරයෝ දෙන්නා.. ඒ දෙන්නගේ වැඩේ මාව අල්ලන් බයිට් කරන එක.... මේක කියලා තවත් බයිට් වෙන්නයැ... මං කිව්වා හොදයි කියලා...

ඊට පස්සේ තමයි අපි ගෙදර ගියේ.. ගිය ගමන් ඇද උඩ වාඩි වෙච්ච මං, සපත්තු දෙක ගලෝලා විසි කරලා දාලා අම්මට කිව්වා මං ආයිත් ඉස්කෝලේ යන් නෑ කියලා....

අපේ අම්මා කට ඇරන් ඉන්නවා මේ හොදයි කියපු ඉස්කෝලේ යන්න බෑ කියන්නේ මොකද කියලා... මං සද්ද නැතුව රෑ වෙනකම් හිටියම අම්මත් මගෙන් මුකුත් අහන්නෙ නැතුව තාත්තා එනකම් ඉදලා වාර්තාව දුන්නනේ ඉතිං.. “මෙන්න මෙයා ඉස්කෝලේ යන්න බෑ කියනවා...“ කියලා....

තාත්ත දන්නවා ලේසියෙන් මං බයට නම් පස්ස ගහන් නෑ කියලා... ඒ පාර ළඟට අරන් ටිකක් හුරතල් කරන කොට තමයි මං කට ඇරියේ...

“ ඒ ටීචර් හරි නපුරුයි... මාව පන්තිය ඉස්සරහා දණගැස්සුවා.....“ තාත්තා හොල්මන් උනාලු... මට පස්සේ කිව්වේ... මම කවදාවත් ඒ වගේ දඩුවමක් දෙන්න තරම් දඟ වැඩක් කරන කෙල්ලෙක් නෙවෙයි කියලලු හිතං හිටියේ...

“ ඔයා මොනා හරි නරක වැඩක් කලාද දන් නෑ නේ...මොනාද ඔයා කලේ කියන්නකෝ.. “

“ මුකුත් කලේ නෑ.. හසිතලා එක්ක සින්දුවක් කිය කිය හිටියේ.. ටීචර් පන්තියේ හිටියේ නෑ නේ.... මට නම් බෑ ආයිත් යන්න.. මාව වෙන ඉස්කෝලෙකට දාන්න... “ මං එහෙම කිව්වලු....

මං නිදා ගත්තට පස්සේ තාත්තා අම්මත් එක්ක කතාකරලා.... ඊළඟ දවසේ උදෙන්ම අම්මා මාවත් එක්කන් ප්‍රින්සිපල්ව හම්බුවෙන්න ගියා... මං ගියේ මඟ දිගට යන්න බෑ කිය කිය අඩ අඩ... ඊට පස්සේ වෙච්ච ඒවා මට දැන් මතක නෑ... අම්මා කියපු ටික තමා මට මතක.. මොකද මං එතන හිටියේ නෑ...

ටීචර්ව ගෙනල්ලා හොදටම බැන්නලු ප්‍රින්සිපල්.. “ මුල දවසෙම එහෙම කලාම ළමයෙක්ට ඉස්කෝල එපා වෙනවා නේද.. අනිත් එක අනිත් ළමයි අඩනකොට මේ වගේ සබකෝලයක් නැතුව අනිත් ළමයි එක්ක සෙල්ලමින් ඉන්න ළමයෙක්ට එහෙම දඩුවම් කරන්න ඕනේද.. කොච්චර නරක දඩුවමක්ද දීලා කියෙන්නේ ...“ කියලා හොදට දෙහි කැපුවලු....

පස්සේ ටීචර් ඇවිල්ලා මාත් එක්ක බො‌ෙහාම ආදරෙන් කතා කලාට මං පන්තියට ගියේ නෑලු.... අම්මා බලෙන්ම මාව පන්තියට දාලා ගියාම ආයිත් ටීචර් මාව හසිතයා ළඟින්ම වාඩි කෙරෙව්වා... හසිත එතකොට මගේ හොදම යාලුවා... මගේ තරහා ටික ටික නිවුනා... මම දිගටම ඒ පන්තියේ හිටියා... ටීචරුත් එක්ක රණ්ඩු දාගත්තෙත් නෑ...

හැබැයි අදටත් මට ටීචර්ලා ගැන තියෙන්නේ හොද හැඟීමක් නෙවෙයි...

ඒ වගේම මගේ තිබුන ඒ ඉදිරිපත් වීමේ පුරුද්ද එතනින් නැවතුනා කියලා මම තේරුම් ගත්තේ ඒලෙවල් කාලෙදි....මොන්ටිසෝරියේ ආරධිත අමුත්තන් පිළිගැනීමේ කතාව ඉංග්‍රීසියෙන් කරපු මම, ඉස්කෝලෙන් අවුට් වෙනකම්ම කිසිම දේකට ඉදිරිපත් නොවිච්ච ළමයෙක් උනා... ඒක ඒ ටීචර්ගේ වැරැද්දද කියලා කියන්න මම දන්නේ නෑ... නමුත් එදා ඒ වෙලාවේ ඇති උන තරහා සහ ලැජ්ජාව නිසා මම කිසි දේකට ඉදිරිපත් නොවෙන ළමයෙක් උනා කියලා කියන්න පුළුවන්.... මම මාව තෝර ගත්තානම් ඒකට ගියා, යන්න කිව්වනම් ගියා, යන්න උනා නම් ඒකට ගියා... ඒ ඇරෙන්න හැම දේටම පැනලා ඉදිරිපත් උනේ නෑ... හැමෝම ඉවරවෙනකම් පැත්තකට වෙලා බලං හිටියා... පොතක් පෙන්නන්න වත් තරඟෙකට ගියේ නෑ... 4 වසරට යනකම්ම....පිස්සු නැටුවා... දැඟලුවා.. ඒත් මම වෙනස් කෙල්ලෙක් උනා...

හතර වසරෙදි මාව අපේ ආදරණිය අරුණසිරි සර්ගේ පන්තියට වැටුනා... හසිතත් ආයිත් මාත් එක්ක එකම පන්තියට වැටුනා....

සර්ගේ හොදම මතකේ තමයි මීටර් කෝදුව.... PT පීරියඩ් එක ඉවර වෙලා දෙවනි බෙල් එක ගහන්න කලින් පන්තියට නාවොත් පන්තියට ගන්නේ මීටර් කෝදුවෙන් අතේ ඇට ටිකට පාරක් දීලා.... හිතාගන්නකෝ කොහොමද කියා... මායි හසිතයයි සර්ගේ කකුල් දෙක අස්සෙන් රිංගලා හරි කෝදු පාර නොකා බේරෙනවා.... කො‌ෙහාමද කියන්න තාමත් තේරුමක් නැති උනත් සර් මගේ රිදිලා තිබුණ හිත ටිකක් හැදුවා.. ඒකයි මම ශිෂ්‍යත්වේ පාස් උනෙත්..

සර් පස්‌ෙස් කාලෙක අපේ මල්ලිටත් ඉගැන්නුවා.... මම මල්ලිගේ බැජස් දෙන දවසේ ඉස්කෝලෙට ගියාම සර්ව හම්බුනා... එතකොට මං ජොබ් එකක් කරනවා.. සර් එතකොටත් එහෙමම තමයි... ටිකක් තට්ටේ පෑදිලා... මල්ලි මාව සර්ගේ ක්ලාස් එකට ඇදගෙන ගිහින් “ සර් මේ අපේ අක්කා...“ කියලා මාව පෙන්නුවා... සර්ගෙත් මගෙත් දෙන්නගෙම ඇස් වලට කලුළු පිරුනේ එකපාරටම... ශිෂ්‍යත්වේ පාස්වෙලා ඉස්කෝලෙන් ගියාට පස්‌ෙස් මම සර්ව දැක්කේ ඒදාමයි... ඒත් සර් මං ගැන විස්තර මල්ලිගෙන් අහලා...

“ මේ කෙල්ලව දැක්ක කල්.... දැන් ලොකු කෙල්ලෙක් නේ..... “ කියලා සර් එකපාරටම කිව්වා... මට නම් මුකුත් කියන්න දෙයක් හිතා ගන්න බැරි උනා.... මං හිනා උනා විතරයි... අපි මොනාද කතා කලේ කියලා මට මතක නෑ... කොහොම හරි මම සර්ට වැන්දාම සර් මාව අල්ලලා නැගිට්ටෙව්වා.... ඊට පස්‌ෙස් මගේ අත් දෙක තද කරලා අල්ලගත්තා...

“ මල්ලි මට විස්තර කිවිවා... හරිම සන්තෝසයි ඔයාව දැක්කම...මං හිතුව විදියටම ගොඩක් ලස්සන කෙල්ලෙක් වෙලා නේද..“

“ මල්ලිත් හරිම දක්ෂයි ඔයා වගේම... ඔයත් ප්‍රිෆෙක්ට් කෙනෙක් උනාද....“

“ නෑ සර්.. මම ඒලෙවල් වලට වෙන ඉස්කෝලෙකට ගියානේ....“

“ අපරාදේ... ඔයා හොද දක්ෂ ළමයෙක්.. ඔයාට හොද ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න තිබුනා ...“

අපි කතා කරපු දේවල් වලින් මට මතක එච්චරයි... ඊට පස්සෙ දවසක මල්ලි කිව්වා සර් පැන්ෂන් ගියා කියලා...

මට හතර වසරේ උගන්නපු අරුණසිරි සර් මං ගැන ඒ තරම් තේරුම් අරන් තිබුනා කියලා මට තේරුනේ එදා....සමහරවිට මං ඒ ඉස්කෝලෙ දිගටම හිටියා නම් මම ගොඩක් ඉදිරියට ගිය කෙල්ලෙක් වෙන්න තිබුනා... නමුන් මම ශිෂ්‍යත්වෙන් වෙන පාසලකටත්, ඕලෙවල් වලින් වෙන පාසලකටත් මාරු උන නිසා මට ඒ වගේ අවස්ථා අහිමි උනා... මොකද මාව ඒ තරම් තේරුම් ගන්න පුළුවන් ගුරුවරුයෙක් ලැබුනේ නැති නිසා... ශිෂ්‍යත්වේ ෆේල් උනත්, ඕලෙවල් යන්තම් ගොඩදාගෙන, ඒලෙවල් එක විශයක් අනාගත්තත් මල්ලි අදටත් ඒ ඉස්කොලෙ ගුරුවරු ඔක්කොගෙම ආදරණීය ගෝලයෙක්... අමතර දේවල් ගොඩකට එයා ඉදිරිපත් උනා..ස්වීමින් කැප්ටන් උනා.... දුවන්න බැරි උනත් පනාගොඩ ඉදලා තිබ්බ මැරතන් එකටත් බාගයක් දුර දිව්වා... කෙල්ලෝ ගොඩක් වට කරගෙන ලයින් දැම්මා....ප්‍රිෆෙක්ට් කෙනෙක් උනා... ඌගේ සර්ටිෆිකේට් ෆයිල් එක දැක්කම මට ඊරිසියයි... තාමත් එයා ටීචර්ලාට ‌ෆොන් කරනවා... බලන්න යනවා... .

ඔය මගේ ජීවිතයේ මට උගන්නපු, මට වටිනාම ගුරුවරු දෙන්නගෙන් එක්කෙනෙක්.. අනිත් කෙනා ගැන මම කලින් දවසක ලිව්වා....මේ දෙන්නම මගේ ජීවිතේ හරි මාර්ගවලට හරවපු ගුරුවරු දෙන්නෙක්...

මං කලින් දවසක ලිව්වා මගේ අකුරු කැතයි කියපු ටීචර් කෙනෙක් ගැන.. මට හම්බුන ටීචර්ලා ගොඩක් ඒ ව‌ෙග් උනත් මේ කියපු අරුණසිරි සර්ටයි, සන්නස්ගල සර්ටයි මම තාමත් ගරු කරනවා....

ඔන්න පුළුවන් නම් මාව හොයාගන්නකෝ....


Tuesday, September 18, 2012

ඇස් දෙක....


“... මා ඔබත් එක්ක සුහද කතාවක්....
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්....“

ඊයේ රෑ ෆොන් එක කනේ ගහගෙන නින්ද යනකන් රේඩියෝ එක අහගෙන ඉන්නකොට මේ ගීතය ඇහුනාම මට මතක් උනේ අපේ මහත්තයා මං ගැන කියන කතාවක්....

“කොහෙද... මං මෙයාව තේරුව දවසේ මගේ කණ්ණාඩි දෙක ගෙදර දාලා ඇවිත් නේ.... කණ්ණාඩි දාලා බැලුවමයි හොදට පෙනුනේ.. එතකොට ඉතිං පරක්කු වැඩියි...“

මාත් ඉතිං ඕකම එයාටත් කියනවානේ.... ඒක අපි දෙන්නගේ විහිළුවක්...

ඇත්තටම ආදරයට ඇස් කොතරම් වැදගත්ද....?

මේ ඒකාලේ මගේ ආසම ගීතයක්...

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල්වියේ
නොදැනීම අපගේම සිත් යාවුණා
දසුනින් හසුනක් මවා

ඉස්කෝලෙ යන කාලේ යුනිෆොම් එකට තිබුන බාධක, තහංචි මැද ආදරය කරන කොට ඇස් දෙක තරම් වැදගත් දෙයක් තවත් නෑ.. පෙරුම් පුරාගෙන බලං ඉන්නේ ඇස්‌ දෙකට දැක ගන්නකම්.... නැත්තම් විනාසයි.. එදාට දවසම මූඩ් ගහලා....

ගොඩක් වෙලාවට කතාකරන්න හම්බුවෙන්නේ නැති උනාම කතාවට උදවු වෙන්නේ ඇස් දෙක...

ඇස්පිය හෙලන වාරයක් පාසා කතාවක් කියවුන කාලයක් ඒ... කෝච්චි පෙට්ටියේ එහා කොනේ එයා ඉන්නකොට මං මෙහා කොනේ ඉදන් එයා එක්ක කතා කලා.... ඇස් දෙකින්....

සමහර දවසට එයා උදේට කෝච්චිය ස්ටේෂන් එකට එන වෙලාවට ඇවිල්ලා මගේ ඇස් දෙක දිහා බලාගෙන කෝච්චිය යනකම් ඉදලා ආපහු ගෙදර යනවා... ඒ ඇති දවසටම ඉතිං... හි හි..

අතින් අල්ලන්නවත් බය ඒ කාලේ බය නැතුව බලං හිටියේ ආදරේ උතුරපු ඒ ඇස් දිහා...

හොද නරක, සතුට, දුක, ආදරය,වේදනාව හැම එකම ඇස් දෙකෙන් බෙදා ගත්ත කාලයක් ඒ...

කදුළු බිංදුවක්, ඇස් කොනේ දිලිසෙන හිනාවක් ලොකු කතාවක් කියපු කාලයක්....

අදත් ඒ ඇස් ඒ වගේම තමයි...

Monday, September 17, 2012

ගවුම් මෝස්තර...



උදේට උයන ගමන් ඔය මොකක් හරි චැනල් එකක (ගොඩක් වෙලාවට රූපවාහිනියේ)යන පත්තර විස්තර ටික අහන එක මගේ පුරුද්දක්... කියන්නේ ඉතිං එකම ටිකනේ.. අනිත් එක කුනුහරප කියවන් නෑ නේ රේඩියෝ චැනල් වල වගේ.. හි හි.. හැබැයි ඉතිං ඕවයේ ගොඩක් වෙලාවට නිවුස් එක පොඩියට කියනවා මිසක් ඔක්කොම කියන් නෑ නේ... ඉතිං ගිය සිකුරාදා ඕක අහන් ඉන්න ගමන් මට ඇහුනා දිණමිණේ මේ කාටූන් එක ගැන කියනවා... දැන් පත්තර බලන අය දන්නවා ඇති මේක හැමදාම යන කාටූන් එකක් කියලා... මොකක් හරි වැදගත් යමක් කියලා දෙන්න හදන එකනේ මේකෙන් කරන්නේ.. ඒක නිසා ඉතිං මේක හොදයි....

මේ කතාව ඇහුනට පස්සේ මං කල්පනා කලේ ඇත්තට මේ කොටට අදින එකයි, දිගට අදින එකයි මෙච්චර කතා කරන මතෘකාවක් වෙලා තියෙන්නේ ඇයි කියලා....

ජොලියටත් එක්ක මට වෙච්ච වැඩක් කියන්නම්කෝ...

ඔය ඉස්සර .... ඒ කිව්වේ අපේ අම්මලා ඉස්කෝලෙ යන කාලේ ඉස්කෝලෙ ගවුම කොටට නොවැ ඇන්දේ.. ඒත් මට නම් කවදාවත් ගවුම කොටට අදින්න නම් හම්බුනේ නෑ.. ඒකට මම එච්චර දැඟලුවෙත් නෑ... මේ කොල්ලා වගේ දඟලන එකාට මොන මොස්තරද.. හි හි..

ඒත් ඉතිං වැඩට යන්න පටන් ගත්තට පස්සේ මම තාත්තට කරදර කරන්න පටන් ගත්තා කොටට අදින්න දෙන්න කියලා... “ඇයි තාත්තේ අම්මට හොද නම් මම ඇන්දට මොකද වෙන්නේ.. මේ ෆොටෝ වල අම්මගේ සායවල් ඔක්කොම කොටම කොටයි..“. ඒක තමා මගේ සටන් පාඨේ... ඉතිං අන්තිමට තාත්තාම මාව එක්කරන් ගිහිල්ලා දණිස්සට අඟල් 4ක් විතර කොට කිට් එකක් අරන් දුන්නා බර්ත් ඩේ එකට.. මට මතක විදියට 21 ටද කොහෙද... එච්චරකල්ම මම ඔෆිස් ඇන්දේ දිග සායවල්... එළිෆන්ට් පෑන්ට් කියන කලිසම් ජාතිය.. ( ඔය කකුලට තද කලිසම් මට අදින්න බෑ... කෙට්ටුම කෙට්ටු නිසා තාත්තා නෝණ්ඩිය දානවා පොඩි සයිස් ෆියට් එකක් යන්න ඉඩ තියෙනවා, හරිම කැතයි කියලා...ඒක ඉතිං මටත් තේරිලා තිබුනේ..හි හි)

ඔ‌ෆිස් යන්න කලින් තාත්තලගේ ඔෆිස් එකේ ඇනුවල් ගෙට්ටුගෙදර් එකට යන්න උනා.. ඉතිං මාත් චණ්ඩියා වගේ ඕක ඇදගෙන ගියා.... අපේ අම්මා ගියේ සාරියක් ඇදලා... එදා මට තේරුනා මේ ඇදුම ඇදගෙන කොල්ලො ගොඩක් ඉන්න තැනකට ආපු එක මහ ගොන් වැඩක් කියලා... වෙනදට පොඩි එකෙක් විදියට මං දිහා බලන අයියලා සෙට් එකට එදාද කොහෙද මාව පෙනිලා තිබුනේ... ( මගේ වයසේ වෙන ගෑණු ළමයි අඩුයි එතන.. ඔක්කොම වගේ පොඩි ළමයි නේ ඉන්නේ ඉතිං..)

එදයින් පස්සේ ෆොන් කෝල් ඉවරයක් නෑ අපේ ඔෆිස් එකට.. හි හි..... ඒව නම් ඉතිං ජොලි... ඒත් එදා බලපු විදිය මට ඇල්ලුවේ නෑ....

ඕකෙදි ලස්සනම , ස්මාර්ට්ම, හොදම පර්සනැලිටි එක තියෙන වයිෆ්ව තෝරන තරඟයක් තිබුනා... ඒක ඔය නටන කරන දේවල් නෙවෙයි.. ළගට ඇවිල්ලා කතාබහ කරලා තමයි තෝරන්නේ.. ඉතිං අපේ අම්මා තමයි ඒ අවුරුද්දේ තේරැනේ.. තව ගොඩක් තරුණ අය හිටියා.. ( අපේ තාත්තා තමයි එයාලගේ ගෲප් එකේ වයසින් වැඩිම...) මම ටිකක් කල්පනා කරනකොට තේරුනා අම්මට ඒ තැන හම්බුනේ අම්මා ඒ තැනට වැදගත් ඇදුමක්, වැදගත් විදියට ඇදගෙන ගිය නිසා කියලා.... අනිත් එක එයා සාරියට හිරිම ලස්සනයි... හි හි...

මම පස්සෙත් ඒ ඇදුම ඇන්දා.... හැබැයි වෑන් එකේ යන එනකොට විතරයි... කෝච්චියේ යනකොට ඉතිං ඔය වගේ ඇදුමක් කොහෙත්ම අදින්න බෑ නේ.... මං ඉතිං තාමත් ආසයි කොටට අදින්න.. හැබැයි අපේම වාහනේක යනවා නම් විතරයි.... අපේ මහත්තයක් මට ගොඩක් කොට ඇදුම්, ආසයි කියන කොට අරන් දුන්නට ඉතිං ඒවා වැඩි හරියක් අල්මාරියක මුල්ලේ පුස් කනවා.. ඇත්තටම අපි වගේ මධ්‍යම පන්තියේ දුප්පත් මිනිස්සුන්ට ඕවා ඇදගෙන යන්න තැන් සෙට් වෙනවා අඩුයි නේ....

මම කියන්න ගියේ ඒක නෙවෙයි... කොහෙද වටේම යැවෙනවා මෙහෙම එකක් කියන්න යනකොට...

ඇත්තටම ගෑණු ළමයින්ට ඇදුම් වලට බනින අය කොච්චර ඉන්නවද...? බැන්නම හිතෙනවා මේ මොන මඟුලක් ද අප්පා.. නිදහසේ ආස කරන ඇදුමක් ඇදගෙන යන්නවත් නෑ... කරුමේ තමා ... හැම කෙහෙල්මලටම සාරියක් පටලෝගෙන යන්නද කියන්නේ කියලා... හි හි.. ඒක ඇත්ත... මටත් එහෙම හිතිලා තියෙනවානේ..

හැබැයි මම ඒ කාලේම තේරුම් ගත්තා වැරැද්ද තියෙන්නේ අදින ඇදුම් වල නෙවෙයි කියලා..... ඈ යකෝ... එහෙනං මොන මඟුලෙද වැරැද්ද... .....

වැරැද්ද තමයි තැනට ගැලපෙන විදියට අදින්න අපේ ගෑණු ළමයින්ට තේරැමක් නැති එක.....

බස් එකේ, කෝච්චියේ යන කොට ගොඩක් කොටට තියෙන සායවල්, ඇඟට ගොඩක් හිර කලිසම්, කොට කලිසම්, පැත්තකින් ගොඩක් උඩට ඕපන් එකක් තියෙන සායක්,කර ගැඹුරට කපපු බ්ලවුස්,අත් නැති බ්ලවුස් ( ඒ කිව්වේ ස්කිනීස් වගේ ඒවා...) එතකොට බඩ ‌ගොඩක් පේන විදියට කොට බ්ලවුස් වගේ දේවල් ඇන්දම ගොඩක් අයගේ අවධානයට ඉක්මණට ලක් වෙනවා තමයි.... ගෑණූ ළමයි උනාම හැමෝගෙම අවධානය ගන්න හදන එක ඉතිං සාමාන්‍යයිනේ... එතකොට පොඩි ego boost එකක් වගේ එනවානේ... ඉස්සර වගේ ඇහෙන්න කතා කරන්න හොද නෑ, පේන්න ඉන්න හොද නෑ, කට ඇරලා හිනා වෙන්න හොද නෑ කියලා කෙල්ලන්ව හිර කරන්න බෑනේ දැන්.. ඒක සාධාරණත් නෑ....

හැබැයි මේ ලැබෙන අවධානය ගෑණු ළමයෙකු විදියට ලබන්න වටින අවධානයක් ද කියන එක ප්‍රශ්නයක්... මොකද ඔය ගොඩක් එය බලන්නේ “ මරු කෑල්ලක්.... මරු *ල් දෙක.. නේද මචන්...මාරැ බඩ්ඩක් සෙට් කර ගත්තනම් .. “ කියලා වගේ අදහසකින්....

අපේ රටේ කොල්ලන්ගේ ඔලුවල තාමත් යම්කිසි ප්‍රමාණයකින් ලාංකික සංස්කෘතිය ඉතුරු වෙලා තියෙනවා කියලා මම දකිනවා.. ඒකයි කොච්චර මේ වගේ කෙල්ලෝ ‌ගොඩක් මැද ඉන්න කොල්ලෙක් උනත් සාරියක් ඇදපු කෙල්ලෙක් දැක්කම දෙපාරක් හැරිලා බලන්නේ... තමන්ගේ වයිෆ් විදියට තෝර ගන්න කෙල්ල සාරියක් ඇදලා දකින්න කැමති....

1% - 2% විතර one night stand වලට පෙළඹෙන කෙල්ලෝ කට්ටියක් කොළඹ අලුත් සංස්කෘතියත් එක්ක බිහිවෙලා ඉන්නවා කියලා දැනුනට වැඩි හරියක් අපේ කෙල්ලෝ හොයන්නේ සෙක්ස් වලට වඩා තමන්ට ආදරේ කරන, තමන්ට ගෞරව කරන කොල්ලෙක් ගාව ජීවිතේ නතර කර ගන්න..... මට හිතන්නේ කොල්ලොත් ඒ වගේ හිතනවා කියලා....

ඉස්සරට වඩා ඕපන් එකේ කොල්ලෝ කෙල්ලෝ අශ්‍රය කළත් අදටත් අපේ කොල්ලෙක් ගේ හද ගැස්ම පොඩ්ඩක් වෙනස් වෙනවා සාරියක්, ඔසරියක් ඇදපු කෙල්ලෙක් ගාව.. ඒක මම අදහන දෙයක්.... මොකද මම ජීවිතේ වැඩි හරියක් කොල්ලෝ ගොඩක් ළඟින්ම ආශ්‍රය කරපු කෙල්ලෙක්.... ඒ වගේම හැමදාම කලිසම් අදින කෙල්ලෙක් උනත් සාරියක් ඇදපු දවසට ගමන බිමන, කතාව පොඩ්ඩක් වෙනස් වෙනවා එයාටත් නොදැනීම..... ඒ ඉතිං මට තේරුන හැටි...

ඉතිං අපේ කෙල්ලෝ ඇදුම් අදින කොට මේ වගේ හිතලා බලලා, තමන් යන තැන, තමන් යන වාහනේ මොකද්ද කියලා හිතලා බලලා ගැලපෙන, තමන්ගේ ඇඟේ වැසිය යුතු කොටස් ටික හරියට වැහෙන විදියේ ඇදුමක් ඇදගෙන ගියොත් කොල්ලෝ චීප් විදියට බලන එක අඩු වෙයි... නැති වෙයිම කියලා කියන්න බැ... මොකද කොච්චර හොදට ඇදගෙන ගියත් ජැක්සන්ලාගෙන් හරියට වද විදපු කෙනෙක් මාත්.... නමුත් ගොඩක් ඒ වගේ අය නාකි පප්පලා.. කොල්ලො ඇත්තටම කෙල්ලන්ගේ ආරක්ෂාවට එනවා... හැබැයි ඉතිං SPBR ලා නම් වදේ... හි හි...

කෙල්ලෙක්ට කෙල්ලෙක් විදියට ගෞරවයක් ලැබෙන්න අදින ඇදුමත් ඉතාම වැදගත්... කොල්ලෝ ගොඩක් එක්ක පිස්සු නට නට ඉන්න කෙල්ලෙක් උනත් සාරියක් හරි ලස්සන දිග ගවුමක් හරි ඇන්ද දවසට අර කොල්ලන්ගේ ප්‍රතිචාරය ටිකක් වෙනස් වෙන බව මම අත්දැකීමෙන් දන්නවා...

හා.... මට වේචච තව මරු වැඩක් මතක් උනා... ඒකත් කියමුකෝ.....

කාලයක් මං ක්ලාස් එකකට ගියා ප්‍රින්ට්න් සහ ග්‍රැෆින් ඩිසයින් සම්බන්ධ... සතියට දවසක් විතරක් තිබුණ ඔය ක්ලාස් එකට අවුරුද්දතට කිට්ටු වෙන්න මම ඇන්දේ රැප් කලිසමකුයි, ( අර සාක්කු ගොඩක් තියෙන එක...) ටී ෂර්ට්සුයි.. හේතුව ඔය වගේ වැඩකට බැස්සාම මට ඇදුම් ගැන කල්පනාවක් නැති වෙන එක... සායවල් හද හද ඉන්න මම හරිම කම්මැලියි... අනිත් එක ඔය පන්තියට අරන් යන්න තිබුනෙත් එක පොතකුයි පෑනකුයි, ම‌ගේ ආදරණීය පෙන් එකයි විතරයි... ඕකට මොන බෑග්ද... මම ඔය ටික සාක්කුවක දාගෙන තමයි යන්නේ... ( ඔව්... මම කොහොමත් කොල්ලෙක් වගේ තමයි... හි හි...)

අන්තිමට සර්ටිෆිකේට් දුන්‌ෙන් ලොකු උත්සවයක් පවත්වලා.. එදාට සාරියක් ඇදන් එන්න කියපු නිසා මාත් එහෙම ගියා... නම් පිළිවෙලට ස්ටේජ් එකට යනකොට කට්ටිය ඔක්කොම හිතාගෙන ඉදලා තියෙන්නේ මම ඇවිල්ලා නෑ කියලා... කාටවත් මාව අදුර ගන්න බැරි වෙලා.... හි හි....

මේ කිව්වේ හැම තිස්සේම සාරි අදින්න කියලා නම් නෙවෙයි... මගෙත් ප්‍රියතම ඇදුම කලිසමයි ටී ෂර්ට් එකයි තමයි... නමුත් තැන බලලා ඇන්දාම වැඩක් කර ගන්න උනත් ලේසියි... ගෑණු මායම් කියන්නේ ඕවත් එක්ක තමයි.... හි හි...

තව කතාවක් කියන්නකෝ .... මේක මේ මම දැකපු දෙයක්..

අපේ රටේ බො‌ෙහාම ප්‍රසිද්ධ මාධ්‍ය ජාලයක ඉංග්‍රීසි චැනල් එකක ඉන්ටවීව් එකකට ආවා අලුත්ම රූ රැජිණක්.. මේ ගෑනු ළමයා බොහොම ලස්සන, ඒ වගේම හොද උගත් කෙනෙක් කියලා තමයි කිව්වේ... හැබැයි එදා මේ ළමයා අමාරුවේ වැටුනා... බොහොම ලස්සන Little short black dress එකක් ඇදලා Tiara එක දාලා ආපු මේ ළමයට වාඩි වෙන්න තිබුනේ Spring loaded sofa එකක්... කට්ටිය දන්නවා ඇතිනේ ඕවායේ වාඩි උනාම පස්ස පැත්ත හොදට බැහැලා, සැප පහසු උනාට, කකුල් ඉස්සරහින් ඉස්සෙනවා කියලා.. දැන් වැඩසටහන මෙහෙයවන තරුණ නිවේදකයා ඉන්නේ මේ ගෑණු ළමයා ඉස්සරහා...

අනේ ඉතිං ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන කම් කළේ අර කොල්ලා ඇඹරෙන එකයි, අර කෙල්ල කකුල් දෙක එකට තද කරගෙන පුළුවන් තරම් සාය ඉස්සරහට ඇද ඇද හිටපු එක තමයි... හැබැයි ඉතිං කැමරාකරු නම් අර කෙල්ලගේ ලස්සන කකුල් දෙක හොදට කැමරා කාචයට හසු කර ගත්තා...... හි හි...

දැන් ඉතිං අන්තිම ටික... මේ ටික දෙමවුපියන්ට....

දැන් ඉතිං ඔය ගෑණු ළමයි, පිරිමි ළමයි ටික ටික උස් මහත් වෙනකොට අම්මලට තාත්තලට නොවැ වැඩිම කරදරේ... අරක ඉල්ලනවා, මේක ඉල්ලනවා, අරක හොද නෑ මේක හොද නෑ... “මට බැ මේවා අදින්න... ආච්චි කෙනෙක් වගේ ඉදියි...“, “ මොකද්ද තාත්තේ.. මෙහෙම ඇදන් ගියෙත් කොල්ලො සෙට් එක මට නෝන්ඩි දායි...“ .. ඕවගේ ඒවා ගොඩයි....

පොඩිඩික් අතීතෙට ගිහිල්ලා “ අපිත් මෙහෙම තමයිනේ“ කියලා හිතලා පොඩි බුරුලක් දෙන්න ගොඩක් දෙමව්පියෝ උත්සාහ කරනවා.. තමන්ගේ ළමයින්ගේ ඇදුම් පැලදුම් ගැන විතරක් නෙවෙයි, යන එන තැන්, ආශ්‍රය කරන යාලුවෝ ගැන එහෙම පොඩ්ඩක් හොයලා බලන එකත් කෙරෙනවා නම් මේ වගේ අවස්ථාවලදි දෙපාර්ශවයේම හිත් රිදවෙන එක අඩු කරගන්න පුළුවන් කියන එකයි මගේ අදහස.....

අද නම් යාං හෑල්ලක් වගේ.. ඒක නිසා ජොලියට වගේ එක එක කාලවල මං ඇදපු හැටි හිනාවෙන්නත් එක්ක දාන්න හිතුවා.... හැබැයි ඉතිං මේ ඔක්කොම අදටත් මං ආස ඇදුම්....

මේ අර අඩලා අඩලා ගත්ත කිට් එක
මේ කට්ටියට මාව අදුරගන්න බැරි වෙච්ච දවසේ...
කොල්ලා වගේ ඇදපු කාලේ...
මේත් ඒ කාලෙම තමා....

Friday, September 14, 2012

රියැලිටි ෂෝ ගැන මට හිතුන දෙයක්...



අද දිණමින පත්තරේ පෙරලගෙන හෙව්වේ වෙන දෙයක්.. ඒත් ඊට කලින් මේ නිවුස් එක දැක්කම මොකද්ද කියන්නේ කියලා හිතාගන්න බැරි උනා.... ලියන්න හිතුව එක පස්සට දාලා මේ ගැන යමක් ලියන්න හිතුවා...


පහුගිය ටිකේ ඇති වෙන්න රියලිටි ෂෝස් දැක්කනේ... ඉතිං අන්තිමට එලිමිනේෂන් රවුන්ඩ් එකේදි දුකට අඩන එක, කලන්තෙ දාලා වැටෙන එක වගේම සතුටට බිම ඉදගෙන අඩන එක වගේ දේවල් බලා ඉන්නකොට මාත් ඕනෙ තරම් අඩලා තියෙනවා නොවැ... ඒත් පහු කාලෙකදි මම රියලිටි ෂෝස් බලන එක නැවැත්තුවේ සින්දු කියන එකයි නටන එකයි විකාරයක් වගේ වේගෙන එනවා කියලා මට හිතුන නිසායි... ඇත්තටම මේ වෙනකොට මම බලන එකම රියැලිටි ‌ෂෝ එක ලංකාවේ එකක්වත් නෙවෙයි..

CSN චැනල් එකේ ‌මේ ෂෝ එක පටන් ගනිද්දි මට හිතුන දේ තමයි ඔන්න ඒපාර රණවිරුවොන්ව විකුණගෙන කාලා දැන් ආබාධිතයන්ව විකුණගෙන කන්න යනවා කියලා.... කලින් ෂෝස් වලත් ඒ වගේ දේවල් උන බව හැමෝටම වගේ දැනුනනේ.... ඔය පොඩි අයගේ ඒවයේ එහෙම....

මගේ ප්‍රියතම චැනල් එකක් නොවෙන නිසා මේ ෂෝ එක බලන්න නම් හම්බුනේ නෑ....නමුත් කෝසල, මේඛලා වගේ තවත් දක්ෂයෙක්ට එළියට එන්න පුලුවන් වෙයි කියලා පොඩි බලාපොරොත්තුවක් තිබුනා....

ඒත් මේ සිද්ධිය වගේ දෙයක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා කියලා මට පොඩි බයක් ඇති උනා කියලා කිව්වොත් නයෙක් ඇරියා වෙන එකක් නෑ... ඇයි මට එහෙම හිතුනේ...?

මේ ෂෝස් වල මම දැකපු ලොකුම අඩුපාඩුවක් තමයි මේ තරගකරුවන්ව ජය පරාජය දරාගන්න සූදානම් නොකරන එක.... American idol, Britain got talent, So you think you can dance, Project Runway වගේ ෂෝස් වල අපි හැමවිටම දකින බැක්ස්ටේජ් සපෝර්ට් එක අපේ ෂෝස් වල තිබුනේ තරගකරුවන්ව තවත් පීඩනයට පත් කරන විදියකට.... අපිත් හුස්ම හිරකරන් බලන් හිටියානේ කමල්ගේ විකාර ඉවර වෙලා කවුද දිනුම් කියන කම් ඒ කාලේ.... හි හි...

ඇත්තටම සමහර ෂෝ වල අවසානයේදී ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවලදි තරගකරුවන් ඉන්නේ පුදුමාකාර තිගැස්සමකින්.. ඒක සාමාන්‍ය කෙනෙකුට අමාරුවෙන් හරි දරා ගන්න පුළුවන් දෙයක් උනත් මේ වගේ ආබාධිත කෙනෙකුට දරා ගන්න අපහසු වෙන්න පුළුවන්.... මට දැනෙන්නේ මේ සිද්ධියත් ඒ වගේ කියලා....

ආබාධිත දරුවෙක් එක්ක වැඩ කරපු කෙනෙක්ට මේක ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්... මානසික ආබාධයක් නොතිබුනත් දෑස් නොපෙනෙන කෙනෙක් එක්ක වැඩ කිරීමේදි ඉතාමත් ඉවසීමෙන් වැඩ කරන්න කියලා කියනවානේ... දැන් මේ දරුවෙක් නෙවෙයි, මානසික ආබාධිතයෙක් නෙවෙයි කියලා කෙනෙක් කියන්න පුළුවන් .... නමුත් මේ ඉන්නෙත් මුල ඉදලම අමාරුවෙන් ජීවිතේ එක්ක සටන් කරලා දිනපු කෙනෙක්... මේ වගේ අය මානසිකව ඉතාමත් සංවේදියි.... ඉතිං මේ වගේ අවස්ථාවක් ඉතාමත් සංවේදි වෙන්න පුළුවන් කියන එක තේරුම් අරගෙන තරගය සංවිධානය කලා නම් මේ සිද්ධිය වලක්වා ගන්න ඉඩක් තියෙන්න තිබුනා කියලයි මට හිතුනේ....

දැං ඉතිං මං මේ ෂෝ එක බැලුවෙ නැති නිසා මට මේ ගැන වෙන මුකුත් කියන්න බෑ... නමුත් මේ සිද්ධිය නිසා මේ ඇතිවෙලා තියෙන අනවශ්‍ය රියැලිටි ෂෝ රැල්ල ඉවර වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා...

Wednesday, September 12, 2012

කාලය ගෙවිලා ගියා විතරයි.....



“ මදී.. ක්ලයන්ට් කෙනෙක් ඇව්ල්ලා.... පොෂ් කේස් එකක් වගේ.... ඔයා ආවොත් හොදයි....“

“ මං එන්නම්... ඔයා චුට්ටක් කතා කරන්න...“

මේසය මත තිබූ පොඩි කණ්ණාඩිය අතට ගෙන, යන්තම් දියවී ගිය තොල් ආලේපනය නැවුම් කරගන්නා අතරම, ස්ට්‍රේට් කර තඔ පැහැ ගැන්වූ කෙටි කෙස් වැටිය අතින් සකස් කර ගත් මදී,අමුත්තන් පිළිගැනිමේ කාමරයට ඇතුලු වූවාය.
සැප පහසු සෝපාවේ වාඩි වී අවු කණ්ණාඩි යුවල තාලයට සොලවමින් ගීතයක තාලයක් මුමුණමින් සිටින තරණ පිරිමි රුව දෙස බැලූ ඈ එක්වරම ගල් ගැසී නතර වූවාය.

–––––––––––––––––––––––––––––––––––––––––––––––

“ ඔයා මට ‌ගොඩක් වටිනවා මදී මැණික....“
ලාවට සිත තුළ දෝංකාර දුන් හඩ, ඇයව ඈත අතීතයට කැන්දන් යන්නට සමත් විය.

“ඔයා කියන්නේ බොරුනේ ඉතිං... තච ගෑනු කී දෙනෙකුට ඔයා ඔහොම කිව්වද කවුද දන්නේ...“
ඔහුගේ පපුතුරේ මුහුණ හොවා හුරතල් උන හැටි ඇයට සිහි වේ.

“ ඔව්..‌ගොඩකට කිව්වා... ඒත ඔයා තරම් ඒ කවුරුවත් වටින්නේ නෑ.... “
ඔහුගේ දෙනෙත් තුළ දිලිසෙන කාන්තිය ඇයව සිනහා ගැස්වීමට සමත්ය.

“ඔයා බොරු කියන්න හරිම හපනෙක් නේ...“
ඇය සිනාසුනාය.

“ ඉතිං දැං ඔයාමනේ කිව්වේ මට ගෑනු ගොඩක් ඉන්න ඇති කියලා...“

“ ඔයාට මාව ඔය තරම් වටිනවනම්, ඔය වැඩ අතෑරලා හොද රස්සවකට යන්නකෝ...“

“ කවුද මැණික මට රස්සාවල් දෙන්නේ.. පොලිසියෙන් මාව හොයනවා.. අරුන්ට අහුවුනොත් උන් මාව මරනවා....“

“ ඔයා මැරුනොත් මට මොනවද වෙන්නේ.... අනේ මං කියන දේ අහලා පොලිසියට බාර වෙන්නකෝ... එතකොට අඩුගානේ ඔයාගේ පණවත් බේරෙයි...“

“ මම දන්නවා මැණික.. ඒත් උන්ට මාව මරන්න ලේසියි ඇතුලේ හිටියොත්.. මේ වෙලාවේ මට පොලිසියට බාර වෙන්න බෑ...“

“ ඔයා මං ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැ නේද... ඔහොම කියනවට වැඩිය හොද නැද්ද මටත් වෙඩි තියලා මරලා දාන එක...ඔයා නැතුව මම කොහොමද ජීවත් වෙන්නේ...“

“ මම ඔයා ගැන බලාගන්නම් මැණික...මං පොරොන්දු වෙනවා... මං ඔයා ගැන බලාගන්නම්...“

–––––––––––––––––––––––––––––––––––––––––––––––

“ දන්නවද.. මං ඔයාට ජොබ් එකක් බැලුවා.. ඔයා නිකම්ම ඉන්න කම්මැලියි කිව්ව නිසා... එතන ඔයාටත් හොදයි.. ඔයා ආස වෙයි....“
ඔහු එය ඇයට කිවු හැටි ඇයට තාමත් මතකය....ඒ ගෙදරට ගොඩ වුන ගමන්ය....

“ මට ජොබ් එකක්.... මොකද්ද අප්පේ ජොබ් එක...“

“ හෙට ලැස්ති වෙන්නකෝ.. මම එක්කන් යන්නම්... ඔයා ආස නම් අපි ඒක දිගටම කරමු.. අපි දෙන්නම එකතු වෙලා....“

“ හානේ... ඔය ඇත්තමද....“

“ හා හා. ඇති ඇති හුරතල් උනා.. .හෙට ගිහින් බලන්නකෝ ඔයා ආසද කියලා...“

“ ඔයා මං ළඟ ඉන්නවනම් ඕනෙ එකක් මට කමක් නෑ...“

ටිකක් දඟලා ඔහුගේ උරහිසට හිස තියාගෙන ඇස් පියා ගත් විට, නළල් තලය මත තැබූ ඔහුගේ අවසාන හාදුවේ උණුසුම ඇයට තවමත් දැනේ.

–––––––––––––––––––––––––––––––––––––––––––––––

“ Good morning sir. Can I help you....? “

සීරුවෙන් මුවට නංවාගත් සිනාවත් සමඟ ඈ විමසුවාය.

“ Mrs. Madumathi....?“

ඒ සිනහව දුටුවිට, ඉහලට ගත් හුස්ම පහලට දැමීමට ඇයට අමතක විය....

–––––––––––––––––––––––––––––––––––––––––––––––

“ ඔය හිනාවෙන් තමයි කෙල්ලෝ අල්ලගන්නෙ නේද.....?

හුරතල් ලෙස ඔහුගේ උරහිසට බරවී ඇසුවා ඇයට මතකය.

“ ඒකනේ මගේ හොදම ආයුදේ....“

–––––––––––––––––––––––––––––––––––––––––––––––

“ Yes...That“s me.....“

“ This is for you... You should read this.....“

තරැණයා ඇය අත තැබුවේ Air mail ලියුම් කවරයකි.

හිතේ ප්‍රශ්නාර්ථයක් සමඟ ඈ කවරය දිග හැරියාය.

“ මදී... මගේ මැණික.. මෙච්චරකල් බලා ඉන්න උනාට මට සමාවෙන්න...“

–––––––––––––––––––––––––––––––––––––––––––––––

“මේ සැලොන් එක අද ඉදලා ඔයාගෙ මගේ මැණික....“

උදේ පාන්දර තමාව කැන්දාගෙන අවුත් මේ සාප්පුව බාර කල හැටි ඇයට මතක් විය.

“ඔයාට මං නැති උනත් මේක කරගෙන යන්න පුළුවන් දැන්...“

එසේ කියා ඇය හා විහිලු කළ ඔහු, එදිනම සවස මැර ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කළ අයුරු ඇයට සිහිනයෙන් මෙන් මතකය.

–––––––––––––––––––––––––––––––––––––––––––––––

“ ඔවු මැණික ..... මම තාම ජීවත් වෙනවා... මේ ලියුම එවන්නේ මගේ පුතා අතේ.....“

ඇය හිස ඔසවා බැලුවා ය.

“ඔයා බිනර ද.....?“

ඔහු හිස සලා සිනා සෙයි.

ඒ හිනාව මයි.. ඇයට සිතින..

අර වචන පටලවමින් හුරතල් කතා කියූ, වැටි වැටි දුවපු පොඩි එකාද මේ....

“ පුතා එක්ක ඔයා එනකම් මං බලන් ඉන්නවා මගේ මැණික...“

ඇයට නිතැතින්ම බිනරගේ දෑස දෙස බැලින...

“ මාමා ගොඩක් දුක් වින්දා පහුගිය කාලේ.... නැන්දට කරදරයක් වෙයි කියලයි මාමා ජීවත් වෙලා ඉන්න බව නොකිව්වේ... නැන්දා මාත් එක්ක එනවා නේද.....“

කවදා හෝ ඔහු ආපසු එයි කියා බලා සිටි ඇගේ දෙනෙත් කදුලින් පිරෙනු බිනර දුටුවේය.

ඔහු සිනාසුනි... ඇය තවමත් ඔහුගේ ආදරණීය නැන්දාමය.... මාමා හැමවිටම කියන්නා වූ, සතුට වැඩි උනාම ඇස් වලට කදුලු පුරවා ගන්නා, දුක වැඩි උනාම නිහඩවෙන්නා වූ ඔහුගේ ආදරණීය නැන්දාමය.....




Tuesday, September 11, 2012

හප්පා.. අවුරුදු 2ක් ඉවරයි....


හප්පා.... බැදලා අවුරුදු 2ක් උනා ඊයෙට.....දැන් ඉතිං කාලෙ ගියා දැනුනෙවත් නෑ කියලා කියන්නද...? අපෝ නෑ... ගෙදරටම වෙලා හිටපු නිසා කාලේ යනවා දැනුනේ හරිම හිමින්.....හරියට අවුරුදු 15ක් ගියා වගේ...

අපේ මහත්තයට ‌පොඩි සර්ප්‍රයිස් පාටියක් දෙන්න හිතාගෙන හිටියට මේ පත්තු බැදපු අතත් එක්ක උයන්න බැරි නිසා සර්ප්‍රයිස් ඩිනර් එක හදාගන්න බැරි උනා...ඒත් ගෙනාපු තෑග්ග නම් රැප් කරගත්තා කොහොම හරි....

මේ අවුරුදු දෙකේ ප්‍රගතිය.... මම දතක් කඩා ගත්තා... කොන්ද කඩා ගත්තා.. අතක් කඩා ගත්තා.. දණිස්ස කඩා ගත්තා..... නරක නෑ නේ කල්පනා කරලා බැලුවාම..... හි හි...ඒ ඉතිං සාමාන්‍යයෙන් කැඩෙන ඒව ටිකට අමතරව.. හි හි...

ඒත් වැඩියෙන්ම දුක් වින්දේ හිත කැඩුන එකෙන් කියලා තමයි හිතෙන්නේ....එක ඉතිං තාමත් විදෝනවා නේ.... හරි හරි.... ඒ කතාව පැත්තකින් තියමුකෝ....

කොහොම උනත් ඉතිං අපි දෙන්නා තීරණය කළා මීට පස්සේ වෙඩ්න් ඇනිවසරි එකට කාටවත් පාටි දෙන් නෑ කියලා... දෙන්නා එක්ක හොදට කාලා බීලා, ඩාන්ස් එකක් දාලා, ෆන් එකක් අරන් සමරනවා කියලා.... එකපාරක් දුන්නනේ.. ඒකෙන්ම ඇති උනා....

ඉතිං මෙදා පාර අපි දෙන්නා විතරයි....මගේ අත නිසා ටිකක් වැඩේ අවුල් උනත් අපේ මහත්තයට හොද සර්ප්‍රයිස් එකක් දෙන්න මට පුළුවන් උනා....

දැං අද මගේ ප්‍රධාන රාජකාරිය.... ඊයේ අපේ මහත්තයගෙන් හම්බුන චොක්ලට් මල්ල තනියෙන් කාලා ඉවර කරන එක....

ඔය ෆොටෝ එකේ තියෙන්නේ මං තෑග්ගට දුන්න පරණ කාර් පොඩ්ඩ තමයි... හි හි... අපේ මහත්තයට ඉතිං පරණ කාර් කට්ටක් කිව්වොත් වෙන මුකුත් ඕනෙ නෑ නේ....

දත කඩා ගත්ත හැටි ලියන්න ඕනෙ කියලා හිතුනා...

ඔන්න ඉතිං බැදලා මාසයක් විතර ගිය තැන පොඩි සෙල්ලමක් දාන්න ගිහිල්ලා ඉස්සරහම දතක් කැඩුනා.... වෙන කොහෙවත් වැදිලා නෙවෙයි.. ඇද රෙද්දේ වැදිලා....

ඒ පාර දත් දොස්තර කෙනෙක් ගාවට ගියාම මේ මනුස්සයා අහනවා.... 

“ ඇයි ළමයෝ.. මේක කිරි දතක් නේ... මෙච්චර කල් තියාගෙන හිටියේ මොකද ගලවලා දන්නේ නැතුව .. දැන් ඉතිං ඇතුලේ තියෙන හොද දත එළියට ගන්න ඔපරේෂන් එකක් කරන්න වෙනවා...“ කියලා....

ගෙදර ගිහින් ඔය කතාව අම්මලට කිව්වම කට්ටිය බඩවල් අල්ලන් හිනා වෙන්න ගත්තා...

“ ඇයි බං උඹ මෙච්චරකල් ලවු කරලා බැදගත්තේ කටේ කිරිදත් ටික වත් හැලිලා ඉවර නැති කෙල්ලෙක්වද...“ 

කියලා මස්සිනා පොඩ්ඩ අපේ මහත්තයට නෝණ්ඩිය දාන්න ගත්තා... මේ දත සම්බන්ධ කතාව එලියට ආවොත් හැමදාම ඔය නෝන්ඩිය වරදින් නෑ තාමත්...

මේ දවස් ටිකේ ගොඩක් කොටන්න අමාරු නිසා මේක කෙටුවේ නිකම් ජොලියට වගේ....

Sunday, September 9, 2012

බලු වැඩේට උත්තරේ...

අද උදේ ජොලියට වගේ අහපු පුරස්නෙට උත්තර දෙන්න ගිහිල්ලා කට්ටියකට ප්‍රශ්නෙ පෙනුන් නෑ නේ.. වෙන මොනාද නම් පෙනිලා පුරස්නයක් කොර ගෙන තිබ්බා.... හි හි... කමක් නෑ කමක් නෑ.... අපේ උන්දැල පුරස්න වලට උත්තර බදින්ඩ කැමතියි කියලා මං දන්නවා නේ...

මුලින්ම ඩූඩ් අයියා වැඩේ අල්ලගෙන හීනියට කොමෙන්ට් එකක් දැම්මා.. වැඩේ කියන්නේ කට්ටියට ඒක අහුවුනේ අන්තිමට තමා.... ( කොහෙද කල්පනාව තිබුනේ මීයෙක් ගැනනේ...)

පොඩ්ඩි, හිරු පොඩ්ඩටයි මඩයා මල්ලිටයි වඩා විනාඩි 3ක් ඉස්සර වෙලා අනිත් උත්තරේ දුන්නා.... රජා ඇවිල්ලා උත්තරේ දීලානේ කියලා කට උල් කරගෙන ආපහු ගිහින්....මධූට නම් ඔලුවෙන් කොම්බු පැන්නලු... ආයිත් ඇතුලට දාගන්න පුළුවන් උනාද දන් නෑ....හි හි

අනිත් සෙට් එකට බල්ලො පෙනිලා තිබුනේ නෑ.. මීයෙක් නෙවැ පෙනිලා තිබුනේ... කමක් නෑ...හි හි..

මගේ අත ඉක්මණට හොද වෙන්න කියලා පතපු මඩයා මල්ලිටත් ස්තූතියි....පොඩ්ඩි නම් මට දෝස් මුරයක් දැම්මා පොඩියට.. හි හි..

මෙන්න මේකයි කතන්දරේ...


ඔරිජිනල් ඩැෂන්ඩ් ලා ලංකාවේ ටිකක් අඩුයි.. ඒ වෙනුවට ඉන්නවා බීගල් කියලා ජාතියක්..මෙයාලා වගේම කොටයි...(මෙයාලගෙත් ලංකාවේ ඉන්න කට්ටිය ටිකක් උසයි...) පාට පාට ඉන්නවා... මෙයාලා හොද ඉව අල්ලන වැඩ වලට තමයි...මොකද තියුණු ඉවක් තියෙනවා කියලා තමා කියන්‌නේ... ඒවගේම ස්වාමියාට හරිම ආදරෙයි...ඒවගේම ටිකක් මෝඩයි....හැබැයි මෙයාලට දුවන්න බෑ...

හරියට ඔලුව එක පැත්තකින් එනකොට පස්ස තව පැත්තකින් එනවා වගේ තමයි පේන්‌නේ.. ඇඟ ගොඩක් දිග නිසා ඇදට තමයි ඇවිදින්නේ.. ඇත්තටම ඇවිදිනකොට මුන් හරිම කැතයි....හරියට සොසේජ් එකක් රෝල් වෙනවා වගේ...අපේ පැත්තේ එකක් හිටියා.. උෟව එලියෙ ඇවිදින්න යනකොට බඩ වටේට රෙදි පටියකින් ඔතලා තමයි අරං යන්නේ... බඩ බිම ගෑවිලා තුවාල වෙන තරම් කොටයි....අපෙ ගෙදරත් උන්දැ කෙනෙක් හිටියා.. හැබැයි උන්දැගේ අම්මා බලු හාමිනේ ගෙදරක හොදට උන්නු එක්කෙනෙක් උනත්, හාද වෙලා තිබුනේ අවලම් පොමනේරියන් බලුරාළ කෙනෙක් එක්ක.. ඉතින් අපේ එකා අම්මට වඩා ටිකක් උසයි....ඔය කට්ටිය පෝලිමට ඇවිදින්න යන කාලයක් තියෙනවානේ... අපේ එකා තමා පෝලිමේ අන්තිමට ඉන්‌ෙන්... ගියාම එන්නේ එක්කෝ කනක් කඩා ගෙන, නහය හූරගෙන... ඒක පාරක් එනකොට බෙල්ල දෙපැත්තේ දත් පාරවල් දෙකක්... මූ වගේ දෙකක් විතර උස බල්ලෙක් බෙල්ලෙන් අල්ලලා හොලෝලා බිමින් තියලා....බේත් කරලා නාවලා කරලා තමා ගෙට ගන්න ඕනේ....

යනගමන් ඔය වගේ බලු රාළ කෙනෙක් දැක්ක හින්දා තමයි ඕක ඔලුවට ආවේ....

බල්ලෝ වර්ණාන්ධයි ( කලර් බ්ලයින්ඩ්) කියලා ගොඩක් අය දන්නවා ද කොහෙද.. දන් නෑත්තම් Cats & Dogs පළවෙනි ෆිල්ම් එක බැලුවා නම් ගොඩ.... උන්ට පේන්නේ Black & White view එකක්....

හිරු පොඩ්ඩා උත්තරේ හරියට දීපු හින්දා තෑග්ගක් ඉල්ලනවා... අනේ මන්දා....පොඩ්ඩක් හිනාවෙන්නකෝ.. ඇඟටත් හොදයි නේ....

අපේ මහත්තයාට නම් මම උත්තරෙ කිව්වම හිනා ගියා... ඉතිං මේ කතාව මම හදපු එකක් කියලා තේරෙන්න ඇතිනේ... කාටවත් අපහාසයක් කරන්න හිතං ගොතපු එකක් එහෙම නෙවෙයි ඕං....

උත්තර බැන්ද කට්ටියටයි, ප්‍රශ්න අහලා උත්තර දීපු කට්ටියටයි තැන්ක් යු කිව්ව ඕං.....

බලු වැඩක් අප්පා......

අද මට ලොකු පුරස්නයක්... අතේ පත්තුවෙලා.. නැ නෑ.. අතේ පත්තුවක් බැදලා.... දකුණු අතේම.. ලියන්න බැරි උනාට කොටන්න පුළුවන් නේ..

බැඩ්මින්ට්න් ප්‍රෑක්ටිස් කරද්දි පස්සෙන් පස්සට දුවන්න ගිහිල්ලා වම් අත කඩා ගත්තු පාර බැන බැන හිටියා ඒ වම් අත වෙච්ච එක ගැන...විභාගේ ලියන්න උනානේ...... මෙදා පාර නම් ඉතිං උයන එකෙන් බේරුනා විතරයි....

අතේ අමාරුව කාලයක් තිස්සේ තිබුණ නමුත් මේ ඊයේ පෙරේදා මවුස් එක අල්ලනකොටත් රිදෙන්න ගත්ත නිසා වෙද මහත්තයෙක් ළඟට ගියා..බැනුම් දෙකක් තුනක් අහගෙන බේතුත් අහගෙන ආවා... දැං ඉතිං සතියක් පත්තු බදින්න ඕනේ.. අපේ මහත්තයා කටටත් පත්තුවක් ඉල්ලගත්තනම් හොදයි කියලා ඔන්න අත බැදලා දීලා ගියා...

දැං ඉතිං හෙට අපේ මහත්තයට දෙන්න ගත්තු තෑග්ග රැප් කරන්නේ කොහොමද අත බැදගෙන... මට තියෙන ලොකුම ප්‍රශ්නේ මේක තමයි...

ඒ උනාට ඊයේ බයිසිමොටෝ එකේ යනකොට...( ඒ වචනේ හොරකම් කරගත්තේ සිරාගෙන්..) කතාවක් මතක් උනා.... ඔන්න අහගන්නකෝ...

පශූ වෛද්‍යවරු ( ඒ කිව්වේ බලු දොස්තරලා නෙවෙයි හොදේ.. මේ අය ඕනෙම සතෙකුට ප්‍රතිකාර කරන්න පුළුවන් අය..) කට්ටියකට සම්මන්ත්‍රණයක් තිබුණලු... ඉතිං මේකට ආවලු පොලිස් බල්ලෝ ට්‍රේන් කරන බො‌හොම පළපුරුදු නිළධාරියෙන්... මෙතුමා බොහොම අත්දකීම් බහුල කෙනෙක්ලු.. ඉතිං දැන් එතුමාගෙ කතාව කරගෙන යන අතරේ එතුමා මෙහෙම කියනවලු...

“ බල්ලෝ ට්‍රේන් කරන එක ලේසි වැඩක් නෙවෙයි.. මම එකපාරක් ට්‍රේන් කළා රෙක්ස් කියලා බොහොම හොද පැටිකිරියේ Dachshund ( ඩැෂන්ඩ්) කෙනෙක්ව බෝම්බ නිශ්ක්‍රීය අංශෙට... (පොලිසියට ගන්නේ හොදම ජාතියේ බල්ලෝ කියලා කට්ටිය දන්නවා ඇතිනේ...)එක දවසක් බිල්ඩින් එකක තිබුන බෝම්බයක් නිශ්ක්‍රීය කරන්න ලෑස්ති වෙනකොට අපිට තේරුනා මේක තියෙන තැනට මිනිහෙක්ට යන්න බෑ කියලා.. ඒ වෙලාවේ රෙක්ස් අපි එක්ක හිටියා... එයා තමයි බොම්බෙ තිබුන තැන හොයා ගත්තේ... ඉතිං අපි තීරණය කලා මෙයාව එතනට යවන්න... මේ වෙනකොට බෝම්බෙ පුපුරන්න විනාඩි 3ක් වත් ඉතුරු වෙලා තිබුනේ නෑ... බල්ලාට අණ දුන්නම ඌ විදුලි වේගයෙන් බෝම්බේ තිබුණ තැනට දිව්වා... “

ඔන්න සත්ව දොස්තරවරු ටික හිමින් හිමින් එකිනෙකා එක්ක කතා කරකර හිනා වෙන්න ගත්තා... අරතුමා තමන්ගෙ කතාව කියාගෙන ගියා...

“ ඉතිං ‌බෝම්බෙ නවත්තන්න එක ක්‍රමයයි තිබුනේ.. වයර් කපන එක... ඉතිං මම අණ කලා රතු වයර් එක කපන්න... (සාමාන්‍යයෙන් රතු වයර් එක කැපුවම වැඩේ හරි යනවා කියලා ෆිල්ම් බලන අය දන්නවා ඇති නේ...) ඉතිං බල්ලා ටක් ගාලා රතු පාට වයර් එක හපලා කඩලා දැම්මා.. මේ වගේ වෙලාවක කරන්ට් වදින්නේ නැතුව වයර් එකක් හපන විදිය මේ බල්ලට පුරුදු කරලයි තිබුනේ.. මේ වගේ දක්ෂකම් කරන්න බල්ලො පුරුදු කරන්න හරිම අමාරැයි... “

මේ ටික කියනකොට කට්ටිය හෝ ගාලා හිනා වෙන්න පටන් ගත්තා.... අරතුමා දිගටම කතාව කරගෙන ගියාලු..

දැං මට තියෙන පුරස්නේ කට්ටිය හිනා උනේ ඇයි කියන එක... පුළුවන් නම් උදව්වක් කරන්නකෝ....

ඔන්න ඩැෂන්ඩ් ලා කවුද කියලා දන් නැති අයට මම හොද පැටිකිරියේ එක්කෙනෙක්ගේ ෆොටෝ එකක් ගූගල් දෙයියගෙන ණයට අරගෙන මෙතන දානවා.....( හැබැයි කටිටිය ගූගල් දෙයියාගෙන් සාත්තර බලලා උත්තර කිව්වොත් මට අල්ලගන්න පුළුවන් හොදේ....)


Tuesday, September 4, 2012

අපේ සිංහල පන්තිය... (සුදු හුණු ගෑමක් නොවේ....)



මුලින්ම කියන්න ඕනේ නිදහසට කරුණක්....

මේ ටික ලියන්න හිතුවේ කලින් ලියපු කෝච්චි පොස්ට් එකේ දි කීප දෙනෙකුටම අනිවා ලියනවා කියලා පොරොන්දු උන නිසාවෙන්....

ටික දවසක් තිස්සේ මේ බ්ලොග් එකේ දාපු පොස්ට් වල කාටවත් මඩ ගහන විදියටවත්, කාටවත් සුදු හුණු ගෑමක් විදියටවත් පොස්ට් එකක්වත් දැම්මේ නෑ කියලා ඉතිං පරණ පෝස්ට් කියවපු කට්ටිය දන්නවානේ... සාමාන්‍යයෙන් මම කෙනෙකුගේ නමක් යොදා ගන්නේ ගොඩක් දුරට හිතලා.... බ්ලොග් ලියන කෙනෙකුගේ නමක් වත් සාමාන්‍යයෙන් මේකේ දාන්නේ නෑ මම ලින්ක් එකක් නොදා... ලියන්න ගත්තේ ළඟදි නිසා කට්ටියගේ මතවාද, අදහස්, කැමති අකමැති දේවල් ගැන මට ඒ තරම් දැනුමක් තාමත් නෑ...

සන්නස්ගල කියන චරිතය ගැන අවුරුදු 11කට කිට්ටු කාලයක් තිස්සේ එක එක මතවාද ගැන වෙච්ච සාකච්ඡා වලදි මම තේරුම් ගත්ත දෙයක් තමයි මේ නම මොනම දේකදි වත් යොදා ගැනීමේදී පුදුමාකාර විදියට පරිස්සමි විය යුතු බව.... සහ ගල් මුල් ප්‍රහාර, උණුසුම් සාකච්ඡා බලාපොරොත්තු විය යුතු බව.... ඒත් මම මේ ලියන්න හදන්නේ උපුල් ශාන්ත සන්නස්ගල නැමති චරිතය ගැන නෙවෙයි....ඒ කිව්වේ චිත්‍රපටි පිටපත් රචකයා හෝ කවියා හෝ නවකතා රචකයා හෝ ගීත රචකයා හෝ ඒ.ජා.පෙන් ඡන්දේ ඉල්ලන්න ගිහිල්ලා නූලෙන් ඒක අතෑරපු, අද වෙනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කඩේ යන කෙනෙක් විදියට පේන පුද්ගලයා හෝ ගැන නෙවෙයි... 2003 ඒලෙවල් අපේ සිංහල පන්තියේ හිටපු ළමයෙක් හැටියට සන්නස්ගල නැමති ගුරුවරයා ගැන එදා මෙදා තුර මගේ හිතේ රැදුනු, ඇදුනු මගේ මතක සහ මගේ අදහස් ටික විතරයි.....

හරි.. නිදහසට කරුණු ඉවරයි.... දැං අතීත කතාවට.....

ගොඩක් කට්ටිය වැස්සකට හරි නුගේගොඩ රොටරි එක පැත්තේ ගිහිල්ලා ඇතිනේ... නැති අයට කියන්න තියෙන්නේ 2001දි අපේ සිංහල පන්තියේ ඔක්කෝම ළමයි ටික දාන්න පුළුවන් තරම් ලොකු හෝල් එකක් තිබුනේ නැති බව....(මේ කියන්නේ තියරි එක.. රිවිෂන් එකත් සෙට් උනාම කිට්ටු කරන්න බෑ...) ඉතිං පන්ති වල මුල දවස් වල බොහොම අමාරුවෙන් තමයි අපි වාඩි වෙලා හිටියේ... දැං ඔය කාලේ මං පන්ති ගියේ කලර්ඩ්... මොකද ඒ වෙනකොටත් මට ඉස්කෝලයක් හම්බුවෙලා තිබුනේ නෑ.... ඉස්සරහම පේලි වල හිටපු කෙල්ලෝ සෙට් එකේ සමාජිකයෙක් තමයි මාත්... හාපෝ.. එහෙම දුකක්... මතක් වෙනකොටත් ඇඩෙනවා....දවස් දෙක තුනක් යන කොට සුදු ගවුම් ගොඩේ කලර්ඩ් ගහලා හිටපු මාව සර්ට නෝට් උනා.. ඒ පළවෙනි පාරට.... තාමත් අහපු ටික මතකයි....

“ මොකද කෙල්ල පාට ඇදලා..... “
“ඉස්කෝලයක් හම්බුන් නෑ සර් තාම....“
“ ඇයි කලින් ගිය එක...“
“ එකෙන් අස් උනා සර්....“
“ ඇයි ඒක හොද මදිද....“
“ නෑ සර්... මං කරන සබ්ජෙක්ට් එකක් ඒකේ නෑ. ඒකයි....“
“ හම්මි... “

මාස දෙක තුනක් ගියා... දැං මට ඉස්කෝලයක් තියෙනවා... ළඟම එකක්... ටර්ම් නිවාඩු දෙන දවසේ සර් 1 ඉදලා ක්ලාස් දැම්මා.... අපේ ඉස්කෝලේ කට්ටියම එදාට ඉස්කෝලේ යන්න ඕනේ කියලා වැඩේට විරෝධය පෑවා..... මෙන්න මෙයා හෙන සද්දයක් දැම්මා එදාට ඉස්කෝලේ ගියත් වැඩක් කරන්නෙ නෑ නේ. පන්ති එන්න කියලා.... අපි ඒත් බෑ කිව්වා...හේතුව එදාට ප්‍රො‌ෙජක්ට් ප්‍රපෝසල් බාර දෙන්න තිබ්බ එක.... ඒ පාර සද්දේ වහලා හා එහෙනම් කමක් නෑ. පරක්කු වෙලා එන්න. හැබැයි යුනිෆොම් ආවේ නැත්තම් ඇතුලට ගන් නෑ කිව්වා... ඔන්න පළවෙනි පාර සර් එක්ක වලි දාගත්තා....

ටික දවසකට පස්‌ෙසේ තමා අපිට අලුතින් හදපු ලොකු ශාලාවට යන්න හම්බුනේ... හෝල් එක පිරෙන්න ළමයි හිටියේ අපේ පන්තියේ විතරක් නිසා අපි ඒකට කිව්වේ සන්නස්ගල ශාලාව කියලා... දැන් නම් වෙන නමක් ඇති.... ඔන්න අපි දැන් අත පය දිගෑරලා ඉදගන්නවා. මෙන්න එක දවසක් එකපාරටම පන්තියට කඩන් පාත් වෙච්ච සර් කොල්ලන්ට බෝම්බයක් අතෑරියා... මොකද්ද ඒ.... පිටිපස්සේ සීට් අල්ලගෙන හොදට සැපසේ පිස්සු නට නට හිටපු කොල්ලො ටික ඉස්සරහාම ඩෙස් 12 ට හිර කරපු එක...... දැන් ඔය හෝල් එකේ සටේජ් එක ඉස්සරහා ඩෙස් පේලි 5ක් තියෙනවා... එතකොට කොල්ලන්ට ඩෙස් 60ක් නිකම්ම වෙන් වුනා... ඇයි හාමුදුරු කොල්ලො ටික.. ඒ කට්ටියත් ඉස්සරහා තමා... සිවුර පොරෝ ගත්තට ජාන වෙනස් වෙලා නෑ නේ..... ( මෙහෙම කිව්වට තරහා වෙන්න එපා... එතන වැඩිපුර හිටියේ හාමුදුරු කොල්ලො තමයි..අපි ඊට පිටිපස්සෙන් හිටපු නිසා අපි දන්නවා කට්ටියගේ වැඩ...)දැං කෙල්ලෝ පිටිපස්සේ...

ඔය කාලේ සන්නස්ගල‌ගේ ක්ලාස් යනවා කිව්වම ඩෝං ගාලා ලැබිච්ච ප්‍රතිචාර තුනක් තිබුනා..... කටින් දෙකයි, හිතින් එකයි... කටින් මෙන්න මේ දෙක... “අපෝ... සන්නස්ගල සර් හරියට කුණුහරුප කියනවා නේ......“ “ සන්නස්ගලයගේ ක්ලාස් එකේ ගාන වැඩියි නේ.... පොත් සෙට් එකම මාර ගනන් ... මිනිහා ඒකෙන් හොදට ගරා ගන්නවා නේද.....“ එතකොට හිතින්.... “ සන්නස්ගලයා මොනවා කළත් හැබැයි විබාගේ නම් ගොඩ දානවා ෂුවර්....“

දැං ඉතිං මට හැමදාම එන පුරස්නේ එනවා...... පෝස්ට් එක දිග වැඩි වේගෙන එන්නේ..... මොකද කොරන්නේ...රස කතා ටික පැත්තකින් තියලා මාතෘකාවට බහිනවද......?

ඔන්නොහෙ ලියනවා... අතින් යන එකක් යෑ...

දැං ලියන්න යන්නේ මං හිතන විදියට මේකෙ වැදගත්ම දේ... ඒ තමයි ඒ දවස්වල අපේ සයිකලොජි එක....බර වචන වලින් කියනවා නම් ඒ දවස්වල ඒ ලෙවල් ක්ලාස් වල හිටිය එවුන්ගේ හිත් වල හැටි..... ( දැං එවුන් නම් මෙහෙමද දන් නෑ.... අපේ මල්ලි කියන විදියට නම් 2009 දි විතරත් ඒ තත්වෙම තමා තිබිලා තියෙන්නේ....)

මේ ක්ලාස් වලට නානාප්‍රකාර ඉස්කෝල වල ළමයි ආවානේ.... කාන්තා පාසල්, පිරිමි පාසල් සහ මිශ්‍ර පාසල් වගේම ‌ලොකු ඉස්කෝල, පොඩි පහේ ඉස්කෝල සහ ඈත ඉස්කෝල... තව හොද ඉස්කෝල සහ චාටර් ඉස්කෝලත් හිටියා.... නම් කියන්න ඕනේ නෑ නේ.... ඊට පස්සේ හිටියා දෙවනි පාර විභාගේ කරන අය.... ( තුන්වෙනි පාර කරන අයත් හිටියා.. හැබැයි ටිකයි....)

දැං ආයිත් මතක් කරන්න ඕනේ දෙයක් තියෙනවා.... මේ හැම දෙයක්ම දිහා මං බැලුවේ ම‌ෙග් මට්ටමින් කියලා.....බහුතරයා මගේ මට්ටමේ තමා ඉතිං.... හි හි...

ඉතිං ඔතන වැඩිපුර හිටියේ අද ඊයේ සමාජෙට පය තිබ්බ නවකයෝ ටිකක් තමයි.... ඔව් ඔව්... ඒ කාලේ අපි ලොකු අය කියලා හිතාගෙන හිටියට දැන්නේ තේරෙන්නේ මොන මැට්ටෝ ටිකක්ද කියලා......ඒ කියන්නේ ඕලෙවල් වෙනකම් ක්ලාස් නොගියපු, එහෙම නැත්තම් ගෲප් ක්ලාස් වලට ගිය , ස්කූල් වෑන් එකෙන් පිට බස් එකක වත් නොගිය එහෙමත් නැත්තම් එදා වෙනකම්ම අම්මලත් එක්ක ඉස්කෝලෙ ගිය, ඉස්කෝල වල ප්‍රිෆෙක්ට් ලා වැනි හොද ළමයි සහ ඉස්කෝල වල නටන්න පුළුවන් නාඩගම් ඔක්කොම නටලා යන්තම් ඕලෙවල් ගොඩ දාගෙන ගනං වලට S එකක් අරං දෙන්නං කියලා ණයට ඒලෙවල් කරන්න ආපු අපත සෙට් එකකුත් හිටියා......( Art subjects විතරනේ එයාලට කරන්න දෙන්නේ.....)

හරි... දැං ඔය සෙට් එකටම සන්නස්ගල කියන්නේ වීරයෙක්.... (ම්ම්ම්.... දැන් නේ කතාවට එන්ටර් ද ඩ්‍රැගන් වෙන්නේ නේද....? කට්ටිය දන්නවානේ මම වටේ යන්න දස්සයා කියලා...)

ඇයි එහෙම වෙන්නේ....? ඔන්න මෙහෙමයි....

ඔය කාලෙදි කොල්ලන්ට කෙල්ලන්ට රෝල් මොඩ්ල් කියලා ජාතියක් ඕනේ වෙනවා කියලා සයිකොලොජි පොත් වල තියෙනවා.. ගොඩක් වෙලාව ඔය ගණයට වැටෙන්නේ ගුරුවරු,(ඉස්කෝල ගුරුවරියන් රෝල් මොඩ්ල් චරිත වෙනවා මම දැකලම නෑ... ඉන්න පුළුවන් ඒ උනාට...) ක්‍රීඩක ක්‍රීඩිකා, ගායක ගායිකා , නළු නිළි වගේ චරිත... (දේශපාලන චරිත රෝල් මොඩ්ල් වෙන්නේ කැම්පස් ගියාමනේ.. මේ කාලෙදි එහෙම අය ඉන්නේ ටික දෙනයි.. මොකද ගෙවල් වල තදබල දේශපාලනික පරිසරයක් තියෙන අයට විතරනේ මේ සබ්ජෙක්ට් එක අහුවෙන්නේ..)

ඉතිං ගුරුවරු අතරින් එක්තරා විදියක රෝල් මොඩ්ල් චරිතයක් තමයි සන්නස්ගල කියන්නේ... ඇයි කියනවා නම් ගොඩක් ළමයින්ට මේ වගේ කතා කරන, මේ වගේ අදහස් තියෙන, මේ වගේ ...ම්ම්ම්.... අපි කියමු කුප්‍රකට කියලා.... චරිතයක් ගුරුවරයෙක් විදියට ලැබෙන්නේ ගොඩක් වෙලාවට පළවෙනි වතාවට..... හරියටම කියනවා නම් ළමයින්ට අව්‍යාජ වැඩිහිටියෙක් ව්දියට සහ පොරක් වගේ ගුරුවරයෙක් විදියට ඕනෙ දෙයක් අහන්න පුළුවන් කෙනෙක්.... ( මේ කාලෙදි තනි තටුවෙන් පියාඹන්න ඇවිල්ලා නෑ... අර වස්සාන සිහිනය චිත්තරපටිය ඇවිල්ලත් නෑ හොදේ....)

මුල දවස්වල කියන මෙන්න මේ දේ බලන්න...

“ මේ ඉන්න එකෙක්වත් මගේ ගෝලයෝ නෙවෙයි.... මම ගෝලයෝ හදන්නේ නෑ.. මම ගුරුවරුයෙක්... මට ඉන්නේ ශිෂ්‍යයෝ විතරයි.... එකෙක්වත් කියන් නෑ මම සන්නස්ගලගේ ගෝලයෙක් කියලා හරි ද....?

මෙන්න තව කතාවක් ළමයින්ගේ හිත් දිනා ගන්න.... මේක ටිකක් දිගයි...

එක කොල්ලෙක්ව අල්ලගන්නවා.. (අපි එකෙක් වත් සර් ඇඟිල්ල දික් කරලා පෙන්නුවට නැගිට්න්නේ නම් නෑ..ඒක මට නම් මුලදි ගොඩක් අමාරු උනා.. පුරුද්දට නැගිට්ටවෙනවා... )

“ කොල්ලෝ.... නිවාඩු දවසට උදේට නැගිට්ට ගමන් මොනාද කරන්නේ..... “
“ දත් මැදලා මූණ හෝදනවා....“ අන්දුන් කුන්දුන් වෙච්ච කොල්ලා ලේසියෙන් ගැලවෙනවා... එහෙමද... නෑ..... තව තියෙනවා...
“ හැබෑට.... කී දෙනෙක් එහෙම කරනවාද.....“
ඔන්න දැං කෙල්ලන්ට ලකුණු දා ගන්න කොල්ලෝ එක එකා සහ කොල්ලන්ට ලකුනු දා ගන්න කෙල්ලොත් ඔලු වනනවා.... හිමිං මං මං ගානවා...
“ ඇත්තට.... කී දෙනෙක් නැගිට්ට ගමන් කුස්සියට රිංගලා කන්න තියෙන්නේ මොනාද කියලා භාජන ඇර ඇර බලනව ද.... රොටියක් එහෙම තියෙනවනං කඩා ගෙන කන්නැද්ද.....“ හා... දැං දීපංකෝ උත්තර.. ඔක්කොම හොරට හිනා වෙනවා... ඇත්තට ඉතිං මාත් ඒ ජාතියේ තමා......හි හි... ( දැං ඔය අස්සට සර් එයාගේ පරණ දුක හිතෙන කතාවකුත් කියනවා... ඒකට ළමයි තවත් අහු වෙනවා... ඒ කාලේ විශ්වාස කලාට දැන් නම් ඒ තරම් විශ්වාසයක් ඕවා ගැන නැති හින්දා මම මෙතන කියන්නේ නෑ...)

අම්මට හුඩු... සර්කාරයා මේ වගේ ඒවා කියනකොට කොල්ලන්ට මාර ජොලි... ඇයි ඉතිං උන්ගේ ජාතියෙම නේ..... කෙල්ලන්ටත් ලැජ්ජාවෙන් උනත් පිළිගන්න වෙනවා අපිත් ඒ ජාතියේ තමා කියලා....

ආ ඇයි සරමේ කතාව... ඒකත් කියන්නම්කෝ... මේ කතාව එන්නේ මට මතක විදියට නූතන පද්‍ය එකේ එකක් කරන කොට...
( මේවා සර් කියන්නේ ඇක්ට් කර කර... මම පුළුවන් විදියට ඇක්ටින් පාරත් ලියන්නම් හොදේ... නැත්තම් ගතියක් නෑ... )

කොල්ලෝ නිදා ගන්න ගියාම සරම තද කරගෙන, රෙද්දත් පොරව ගෙන නිදා ගත්තට, නැගිටිනකොට රෙද්ද ඇද පල්ලේ... සරම යන්තම් කකුල් දෙකේ පැටලිලා තියෙනවා... ඉතිං නැගිටලා, මූණ හෝදගෙන සරමට යටින් කලිසම ඇදගෙන සරම රෝල් කරලා බිමට දාලා ඒක උඩින් පැනලා අනිත් ඇදුම් ටික ඇදගෙන යනවා ඉස්කෝලේ... හවසට ඇවිල්ලා අර වලල්ලට උඩින් පැනලා සරම කටින් අල්ලන් කලිසම ගලෝලා දාලා සරම ඇද ගන්නවා....
( දැං ඉතිං ඔය ටික ඇක්ට් කරනකොට කොහොමද අර කොට, අලි බඩගෙඩියකුත් එක්ක මනුස්සයෙක්, අඩි 4ක් විතර උස ස්ටේජ් එකක ඉදන්....)
හරි ඉතිං බොරුද.... අපි බඩවල් අල්ලන් හිනා වෙනවා... (අපේ මහත්තයා ඔය ටික ඔය විදියටම කරනකොට මට තාමත් ඔය කතාව මතක් වෙලා හිනා යනවා.....)
කෙල්ලන්ටත් ඔය වගේම කතාවත් කියනවා.. හැබැයි ඒක මේ තරම් හිනා යන් නෑ...

මට තාම මතක ගොඩක් ඔය වගේ කතා තියෙනවා.... ( මම කැම්පස් ගිය කෙනෙක් නෙවෙයි නේ....ඉතිං මේවා මට තාමත් රසවත්..)

කො‌ෙහාම හරි මේ සන්නස්ගල කියන ගුරුවරයා ඕලෙවල් වලට එක කවියක් වත් පාඩම් කරපු නැති මට, කවි 108ක් තියෙන සැලළිහිණි සංදේශේ පාඩම් කෙරෙව්වේ දැනෙන්නේ වත් නැතුව.... සිංහල පීරියඩ් දෙකක් තියෙන දවස් වලට ( අපිට ඉස්කෝලේ සිංහලයි බුද්ධාගමයි දෙකම ඉගැන්නුවේ එකම ටීචර් කෙනෙක්.... ඒ ටීචර් අපි 11දි බබෙක් හමුබුවෙන්න හිටි නිසා ඉක්මණට පාඩම් ටික ඉවර කරන්න ඕනේ කියලා පීරියඩ් 3ක් සිංහල කලා කියලා මට මතකයි...) පන්තියේ මුල්ලක් අල්ලන් චිත්‍රයක් ඇද ඇද හරි, ඉස්සරහම පේලියට වෙලා ඩෙස් එකේ ඔලුව තියාගෙන නිදා ගත්ත එක හරි විතරක් කරපු මට, උදේ 7ට පටන් ගන්න පන්තිය හවස 5ට ඉවර කරනකම් නිදිමත නැතුව පාඩම් කලේ අදටත් ඒ දේවල් මතක තියෙන විදියට.... ව්‍යාකරණ කොච්චර කෙරෙව්වද කියනවනම් අදටත් කොහෙ හරි වැරැද්දක් තිබුනොත් අහුවෙනවා... කියවද්දි අකුරු වැරදි අල්ලන එක මගේ විනෝදාංශයක්..... ( අකුරු වැරදි තියෙන බෝඩ්, දැන්වීම් දැක්කම මාව නලියනවා සමහර වෙලාවට.) සිංහල භාෂාවට අද වෙනතුරු පවතින ගෞරවයක් මගේ හිතේ ඇති කෙරෙව්වා... ඒ වෙනතුරු එහෙම ගුරුවරයෙක් දැකලා නොතිබ්ච්ච මං වගේ තව ගොඩක් ළමයින්ට වීරයෙක් වෙන එක අහන්න දෙයක් යැ....

හැබැයි අපි පන්තියේ මරා ගත්තා... එලියෙදි සර්ට විරුද්ධව වචනයක්වත් කතා නොකරන අපි සර් වෙනුවෙන් හැමතිස්සේම නැඟී හිටියා.. හැබැයි පන්තිය ඇතුලේ..... කියන්න තියෙන දේ කෙලින්ම සර්ට කිව්වා... අර ඡන්දේ ඉල්ලන්න ගිය කතාව කට්ටිය දන්නවා ඇති නේ... අර විකාර විත්‍රපටිය හින්දා අපි බැනුම් අහනවා කියලා සර්ට එලිපිට චෝදනා කළාට පස්සේ හදගම සහ අනෝමා පන්තියට ඇවිත් මොනවාද මඟුලක් කතා කරලා ගියාම ළමයි ඒකටත් සර්ට බැන්නා.... ඒත් ඒ දවස්වල සර්ගෙ වැඩ ගැන එළියේ හිටපු අය කියපු ගොඩක් දේවල් බොරු කියලා පන්තියෙ ළමයි දැන ගෙන හිටියා.... බොරු රිසල්ට් ෂීට් හදපු එක... ? අර හිටපු ගමන් ඇර ගන්න දිනේෂ් සර් කරන විකාර වැඩ...?( අපි කට්ටියක් එකතු වෙලා දිනේෂ් සර්ට මරු වැඩක් කළා දවසක්... පස්සේ දවසක ඒකත් ලියන්න ඕනේ...) අර විකාර වස්සාන සිහිනේ.... ඒකට නලු නිළියෝ තෝරන්න ක්ලාස් කාඩ් එකෙන් ළමයින්ට වැලන්ටයින් දවසේ හිරු එකෙන් කරපු මොකද්ද එකට යන්න දෙනවා කියලා බොරු පැතිරෙව්ව එක....? අන්තිමටම කරපු බොරුව... පේපර් එක කලින් දුන්නා කියලා බොරු පතුරවලා අමාරුවෙන් අරගත්ත අපේ ඒ එක බාල්දු කරපු හැටි....?

තව ගොඩක් දේවල් තියෙනවා... මේ වගේ පොස්ට් එකකින් කියන්න බැරි තරමි හේතු... සන්නස්ගල ළමයෙක්ට උඹ කියලා කතා කළත්, පන්තිය ඉස්සරහා නෝණ්ඩි කළත් ළමයි ඒවා ගනන් ගත්තේ නැති වෙන්න හේතු.... වෙන කෙනෙක් එහෙම කතා කලා නම් කේන්ති යන එකේ වෙනසක් නෑ.... ළමයෙක් එළියෙදි වැරැද්දක් කළත් ඌව එළියෙදි සුද්ධ කරලා පන්තිය ඇතුලට අරන් කන පැලෙන්න බනින එක සර්ගේ සිරිතක්... එක සැරයක් ඩී.ඇස් එකේ සෙට් එකක් එක්ක වලියට ගිය ජෝන්ස් එකේ කොල්ලෝ සෙට් එකක් අල්ලන්න පොලිසියෙන් ආවම, ෂර්ට් ඉරිලා ලේ පෙරාගෙන හිටපු ජෝන්ස් සෙට් එකෙන් බාගයක් අජිත් සර්ගේ ක්ලාස් එකට දාලා, අනිත් බාගේ අපේ ක්ලාස් එකේ පිටිපස්සට දාලා පොලිසියෙන් බේරාගෙන, ඊට පස්‌ෙස් කන් රතු වෙනකම් බැනලා, අම්මලා ගෙන්නලා බාර දුන්න සිද්ධියක් උනා.නමුත් ළමයින්ට මේ “අපේ සර් නේ“ “ අපේ අප්පච්චි නේ“.. . ඔන්න සන්නස්ගලගේ සාර්ථකත්වයට හේතුව.... ( මං නං කවදාවත් අපේ සර් කිව්වා මිසක් අනිත් එක නම් කිව්වේ නෑ... මම ගුරුවරයෙක් හැටියට සර් දිහා බැලුවා විතරයි...)

හප්පේ... මේක දිග වැඩියි..... කියවන එකක්වත් නැද්ද දන් නෑ කවුරුවත්.... හා කමක් නෑ.. ඕන්න මං දුන්නු පොරොන්දුව ඉටු කලා....ස්ටේජ් එකට අරං චාටර් කළාට ඒ කොල්ලට ගානක් උනේ නෑ කියලා කිව්වේ මේන්න මේ හේතුව හින්දා....

ආයිත් කියනවා... මේක සුදු හුණු ගැමක් නෙවෙයි.... මේ ගුරුවරයා ගැන මගේ හිතේ තියෙන අවංක අදහස කිව්වේ... හැබැයි මේ පුද්ගලයාගේ අනිත් චරිත ගැන මට තියෙන්නේ වෙනස් අදහසක්... ඒක මෙතනට වැදගත් නැති නිසා මම ලියන්නේ නෑ...( මම සන්නස්ගලගේ චිත්තරපටි බලලත් නෑ... එක නවකතාවක් බුක් ෆෙයාර් එකෙන් ගත්ත නිසා කියෙව්වත් ඒක මහ විකාරයක් කියලා හිතුන නිසා වෙන කිසිම පොතක් සල්ලි දීලා අරගෙනත් නෑ...)

(ඔය පින්තූරෙ “අ“ යන්නක් ඇදපු ටී ෂර්ට් එකක් ඇදපු කෙල්ලෙක් ඉන්නවා නේද....? නෑ නෑ.. ඒ මම නෙවෙයි.... ඒ ටී ෂර්ට් වල “අ“ යන්න ඇන්දේ මම... ක්ලාස් පාටි එකේදි ක්ලාස් එකෙන්ම එකතු කරලා හදපු ගෲප් එකට දුන්න ටී ෂර්ට් එක ඒක තමයි... ඒකෙන් තමයි මම මුලින්ම මගේ බය, ලැජ්ජාව සහ කම්මැලිකම පැත්තකින් තියලා ජීවිතේ ඉස්සරහට යන්න පටන් ගත්තේ....)

Sunday, September 2, 2012

ඉස්කෝලෙ ගිය කාලේ කෝච්චි කතාවක්.....




අද නම් ඉතිං ලියන්න හිතුවේ හිනා වෙන්න පුළුවන් දෙයක්.... ගිය ටිකේ පොඩි පොඩි හිතේ අවුල් ටිකක් තිබුන නිසා ලියන්න දෙයක් හිතට ආවේ නෑ එච්චර..... හැමදාම හිත අවුල් කියලා හරියනවයැ කියලා මගේ හිත හදාගන්නත් එක්ක ඉස්සර කාලේ කතාවක් කියන්න හිතුනා.... ඔන්න දැං මේක 18+ ව‌ෙග් කියලා හිතෙනවා නම් දැම්මම කියවන එක නතර කරන්න වෙයි.. හැබැයි මේ ටික අපි නම් කලේ මට මතක විදියට අවරුදු 18 දි විතර වගේ තමයි.....

6 වසරේ ඉදලා වෑන් එකේ ගිය මං කෙල්ලෝ උනාම බස් එකේ කෝච්චියේ යන්න ඉගෙන ගන්න ඕනේ කියලා අපේ තාත්තා 8 වසරේ ඉදලා මාව කෝච්චියේ ඉස්කෝලේ යවන්න පටන් ගත්තනේ.... ඒ කාලේ කෝච්චියේ මරදානට සීසන් එක රු.36යි මට මතක විදියට... ඕක ඉතිං මාසේ 1 වෙනිදා තමයි ගන්න ඕනේ... ඊට පස්සෙන්දා ඉදලා අපි එකෙක්වත් ස්ටේෂන් එකෙන් බහින්නේ නෑ... උදේට කෝච්චිය හෝන් ගගහා බලං ඉන්නවා අපි එනකම්.. ඔන්න අපේ කෝච්චිය... හරි හරි.. ඒක නෙමෙයි නේ කියන්න ගියේ....

දැං ඉතිං ඔය කැලණිවැලි මාර්ගයේ යන කෝච්චි ගැන දන්න අය දන්නවා ඇති අර ලී පෙට්ටි හතරක් විතරක් තියෙන වැස්ස දවසට නාන්න වෙන අපේ බාසාවෙන් කියන “අවජාතක“ කෝච්චිය...... දන්නෙ නැති අයට නම් හිතා ගන්නකෝ දැං ඔය පවර් සෙට් එක වගේ ඉඩකඩ නැති හිර වෙච්චි කෝච්චි පෙට්ටියක්ය කියලා....ඔය පෙට්ටි වල මැද අල්ල ගන්න තියෙන්නේ උඩ ඉදන් පහලට දාපු ලී පොලු තුනක මැද්දෙන් සෙට් කරපු හරහට දාපු පොල්ලක්....හිටගෙන යන කට්ටිය යන්නේ ඔය පොලු වල දෙපැත්තට හේත්තු වෙලා.....(හිතාගත්තෑකිනේ කට්ටිය යන හැටි...) අනිත් කතාව තමා දොරවල් වලින් වෙන් කරලා තියෙන සෙක්ෂන් තියෙනවානේ.... ඕවා ගොඩක් වෙලාවට වැහිලා තියෙන්නේ දොරවල් ඇරියම...අල්මාරියක දොරක් අරිනවා වගේ දෙපැත්තට තමා මේකේ දොරවල් ඇරෙන්නේ... මුල්ලෙ ඉන්න උන්ව පේන්නේ උන්ට ඉස්සරහා ඉන්න එවුන්ට විතරයි... (කොල්ලන්ට කෙල්ලන්ට ලවු කරන්න කියාපු පෙට්ටිය මේක තමා...)සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන ළමයි ඉන්න කෝච්චි වලත්, වැඩට යන අය වැඩිපුර යන කෝච්චිවලත් කට්ටිය තැන් තැන් අල්ලගෙන නේ ඉන්නේ... ඉතිං අල්ලගන්න අමාරුම හරිය මේ ටික තමා..... අල්ලගත්තොත් රජ මඟුල් තමා....

හා කෝච්චි වර්ණනාව ඉවරයි... ඒත් මේ කියන්න යන්නේ ඔය මැද පොල්ලට සම්බන්ධ කතාවක්.... හි හි...

සාමාන්‍යයෙන් කොල්ලො ටික බොහොම ආදරෙන් කෙල්ලො ටිකට වාඩි වෙන්න ඉඩ අල්ලලා දීලා ඔය පොල්ලට පිට හේත්තු කරගෙන කෙල්ලෝ ඉස්සරහින්ම හිට ගන්නවා.... යාලු වෙච්ච එවුන් එහෙම ඉන්නව නම් එක්කෝ දෙන්නටම සීට් හම්බුවෙනවා... නැත්තම් දෙන්නම හිටගෙන.....ට්‍රයි කරන එවුන් ඉන්නවා නම් කෙල්ල නඟින කොට කොල්ලා නැගිටිනවා... නැත්තම් යාලුවෝ සප් එක දීලා කෙල්ලටත් කොල්ලා ගාවින්ම සීට් එකක් දෙනවා...කෙල්ලෙක් කොල්ලෙක්ට ට්‍රයි නම් ටාර් ගාලා බෑග් එක ඉල්ලලා අරගෙන උකුළ උඩින් තියාගන්නවා.... සාමාන්‍යයෙන් ඉස්කෝලෙ යන කාලේ ලවු එකක් නම් ගොඩක් වෙලාවට දෙන්නම හිටගෙන යන එක තමයි කරන්නේ.. ඒක ඇඟට ගුණයි.... දන්න කෙනෙක් දැක්කොත් ඉක්මණට ෂේප් වෙන්න පුළුවන්නේ..

ආයිත් පිට පැන්නා...... මොනා කරන්නද... මේවා තමයි ඉතිං බෝරිං ඉස්කෝලේ කාලේ රසවත් කළ සිදුවීම්.... හි හි....

ඉතිං දැන් ඔය විදියට හිට ගත්තාම ඔලුව උස්සලා බලන්නේ නැතුව කෙලින්ම ඉස්සරහා බැලුවම කෙල්ලන්ට පුදුම රසවත් තොරතුරු හොයා ගන්න පුළුවන්...... ඇයි කියලත් කියන්න ඕනේද.... ආ... මතක් කරලා දෙන්න ඕනේ මේවා මේ ඉස්කෝලේ අන්තිම කාලේ සහ අවුට් උන අලුත වගේ උන දේවල් කියලා...... ඒ කාලේ ඔය ලොකු ලොකු දේවල් දන්නේ නෑ.. හරිද....

ඔය කාලෙදි ඉතිං කෙල්ලො කොල්ලෝ හොදද කියලා එක එක විදි වලින් බලනවානේ.... මෙන්න එක ක්‍රමයක්... සුදු කලිසමේ සාක්කු මඩ පාට නම් හැමතිස්සේම සාක්කු අස්සේ අත දාන සහ සක්කුවට අත දාලා අත පිහිදගන්න පුරුදු උන එකෙක්...සිප් එක මඩ පාට නං...... කියන්න ඕනේ නෑ නේ... මූට අනිවා දියවැඩියාව..... එතකොට පස්සේ සාක්කුවෙ ලොකුවට පිම්බිලා තියෙන පර්ස් එකක් තියෙනවා නම්.... සාක්කුව වටේට කුණු නම් ටිකක් සල්ලි තියෙන එකෙක්.... ලොකු පර්ස් එක්ක පේන සාක්කුව බො‌හොම පිරිසිදුවට තියෙන එකෙක් නම් එක්කෝ කුණු ලෝබයෙක්, නැත්තම් බොහෝවිට පර්ස් එකේ ලස්සනට නවපු කොල තුන හතරක් ඇරෙන්න වෙන මුකුත් නැති වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි...... (දවසක් අපි ඔය වගේ කොල්ලෙක්ගේ ලොකූ පර්ස් එකක් උස්සලා බලනකොට ඇතුලේ තිබුනේ ඇගයීම් කරපු පේපර් දෙකකුයි පරණ ක්ලාස් කාඩි ටිකකුයි විතරයි....)

ඉතිං මේ කෝච්චි වල යන්නේ මහ ලොකු සල්ලිකාරයොන්ගේ පුත්තු දුවලා නොවෙන හින්දා මේ කාලේ වෙනකොට කොල්ලන්ගේ කලිසම් ටිකක් පරණ පාට වෙලානේ...එතකොට ඊයේ ඇදපු කලිසම අදත් ඇදලා කියලාත් කෙල්ලො ටක් ගාලා හොයා ගන්නවා....ඔය කාලේ තමයි අර හිරට අදින කලිසම් ජාතිය අවේ... ඉතිං දැන් කට්ටිය අම්මලගේ සහ ටීචර්ලගේ ඇස් වහලා බොහොම අමාරුවෙන් ඔය විදියේ කලිසමක් මහගෙන දුක් විදගෙන එන්නේ අපිට බලන්නමයි කියලා අපි දන්නවානේ.. ඉතිං මල් වගේ හිත් තලන්නේ කොහොමද....? අපිත් බලනවා..... පවුනේ නැත්තම්....

ඔය අස්සේ දවසක් මට අහුවුනා අපේ ඉස්කෝලේ පුස්තකාලේ පොතක තිබිලා කොල්ලෙක්ගේ මූණ දිහා බලලා ම්ම්ම් ...අනිත් ඒවා ගැන කියන්න පුලුවන් මිනුම් වගයක්..... ඒකේ තව ගොඩ ගොඩාක් ජාති තිබ්බා.. මට දැං මතක නෑ.... ඉතිං මං ඕක අපේ සෙට් එකට කිව්වාම... (දැනුම බෙදා හදා ගන්න කියලනේ කියන්නේ .. නරකද මං ඉතිං..... )අපේ එවුන්ගේ ලොකුම වැඩෙත් ඕක තමා... මූණ බලන එක අමාරු උනාට ඇස් ඉස්සරහින් තියෙන ඉනෙන් පල්ලෙහා ටික දිහා බලන්න කාගෙන් තහනමක් ද....?

ඉතිං තව එකක් තිබ්බා... ඕක ඉස්කෝලේ යන එවුන්ට කරන්න ටිකක් අමාරුයි... කලිසම බස්සලා අදින එක.... ඔය හිප් එකට අදිනවා කියන්නේ... කතාව නම් කවුද මියුසිෂන් කෙනෙක්ට, මයිකල් ජැක්සන්ට හරි ද කොහෙද පස්ස පැත්තේ ගෙඩියක් ඇවිල්ලා ඔය විදියට කලිසම බස්සලා ඇන්දා කියලා තමා.... අපේ අයටත් එහෙම ද දන් නෑ ඉතිං..... සුදු කලිසම බැස්සුවට ෂර්ට් එක නිසා ඒක එච්චර පේන් නෑ.. ඉතිං හිප් එකට අදින්න අපේ කොල්ලන්ට එක්කෝ ක්ලාස් යන්න ඕනේ.. නැත්තම් හාවා හද දකින්නා වගේ එන ඉස්කෝලෙට කලර්ඩ් අදින්න සෙට් වෙන දවසක් එන්න ඕනෑ....

ඉතිං දැන් ඔය වගේ හිප් එකට ඇදලා... ( හිප් කිව්වට ඉතිං ඊටත් පල්ලෙහා තමා තියෙන්නේ... අපේ එවුන් කිව්වේ අරෑගේ නම් සෙට් එක හින්දද කොහෙද කලිසම තාමත් ඉණේ තියෙන්නේ කියලා....) පාට පාට underware ඇදලා ආවම අපේ උන් අමාරුවෙ වැටෙනවා...

ආසාවනේ.... බලන්නත් ඕනේ.. ඒත් ප්‍රශ්නේ තමයි අපිත් එක්ක ඉන්න ඇන්ටි කෙනෙක් හරි අන්කල් කෙනෙක් හරිත් ඕක දකින එක.. එතකොට අපි බලන්න ගියාම ලෙඩේ වැටෙන්නේ අපිට.... අපි කරන්නේ ඇන්ටිට හරි අන්කල්ට හරි ඕක පෙන්නනවා... බලන්න ඇන්ටි අර කොල්ලගේ ඔක්කෝම එලියේ කියලා... ඇන්ටිත් ඉතිං ඕක බලනකම් අපේ එවුන් එක එකාට පෙන්න පෙන්න හිනා වෙනවා..... බහින්න කිට්ටු වෙලා ඉතිං අර කොල්ලා ගාවින් යන ගමන් අනේ අද ඔයා රතු පාට එකක් නේද ඇදලා ඉන්‌ෙන කියල කියපු වෙලාවලුත් තියෙනවා.... ඒ ඉතිං වැඩට යන කාලේ තමයි.... යුනිෆොම් ඔය වගේ වැඩ කරන්න බයයි නේ.... අනිත් එක කොල්ලො ඔක්කොම අපේ යාලුවෝ නේ....

තව තියෙනවා.. ඒත් ඔක්කොම ලියන්න බෑ.. හොද නෑ නේ... අන්තිමටම ඉතිං පුංචි කතාවක් කියන්නම්... මේක උනේ සන්නස්ගල සර්ගේ පන්තියෙදි...

ඔය පන්තියේ ඉස්සරහින්ම ඉන්දවගන්නේ කොල්ලෝ ටික කියලා සමහරැ දන්නවා ඇති... කොල්ලන්ට පිස්සු කෙලින්න බෑනේ එතකොට.... ඉතිං ඔය පන්තියේ හිටියා කරන්ට් වැදුනා වගේ කොණ්ඩේ හදාගෙන කලිසම බස්සන්න පුළුවන් අන්තිම තැනටම බස්සගෙන එන කොල්ලෝ ටිකක්... එක දවසක් එකෙක් පරක්කු වෙලා පන්තියට ආවම සර් ඌව අල්ලගත්තා.... මෙයා ටිකක් ජනප්‍රිය චරිතයක් ක්ලාස් එකේ....ඔන්න මෙහෙමයි කතාව...

මෙහෙවර කොල්ලා උඩට.... (කිව්වේ ඕකමද මන්දා.... ඔය වගේ එකක්... දැං සර් ස්ටේජ්එක උඩ.. අරූ හිමින් හිමින් ස්ටේජ් එකට නගිනවා.... පරාණ බයෙන්....)

ඔය ඔලුව උඩ මොනාද තියෙන්නේ... ( අරූ ඔලුව අතගානවා.... මූණ හද වගේ.....)

උඹට උදේ පාන්දර කරන්ට් එක වැදුනද........

(අරූ හිමීට....) නෑ සර්........

උ‌ෙඹ් කලිසමට මොකද වෙලා තියෙන්නේ...... ( අරූ කලිසම දිහා බලනවා....)

මුකුත් නෑ සර්.....

ඕක පල්ලෙහාට බැහැලා තියෙන්නේ ඇතුලේ තියෙන ඒවා ඒච්චර දිගයිද.....? ( දැං අරූ රතු වෙනවා....මූ ලස්සන සුදු කොල්ලෙක්...)

උඹට තව ටික දවසකින් ඉස්සරහින් විල්බැරෝ එකක් තල්ලු කරන් යන්න වෙන්නේ ඔහොම ගියොත්... එහෙම නම් ඕක ලෙඩක්... ඉක්මණට දොස්තර කෙනෙක්ට පෙන්නපන්.... එහෙම නැත්තම් කලිසම උස්සගනින්.....

( අරූ උස්සගත්තා කලිසම බඩට වෙනකම්ම... ෂේප් එකේ ස්ටේජ් එකෙන් පල්ලෙහාට පල්ලම් බැස්සා....)