Tuesday, July 23, 2013

කෙල්ලොන්ව ඇස් වගේ පරිස්සම් කරන අම්මලට... Drugs and youth




මගේ බ්ලොග් එකටයි, මගේ බ්ලොග් කියවිල්ලටයි පහුගිය ටිකේ පොඩි නිවාඩුවක් දෙන්න උනා... වෙඩිමක් හින්දා... ඒත් වෙලාවක් අහු උන ගමන් කට්ටියගේ පෝස්ට් ටික නම් කියෝගෙන කියෝගෙන ගියා... කමෙන්ට් එකක් දෙකක් නොදා එන්න බැරි තරමට අත කසන ගතියක් දැනුන ඒවට විතරක් අපේ මහත්තයගෙන් බැනුම් අහ අහ කමෙන්ටුත් දැම්මා... කොහොමහරි දැන් නං එහෙ මෙහෙ දිවිල්ල ඉවරයි... දැන් ගෙදර... හි හි... 

ගොඩක් දේවල් ලියන්න කියලා ඒ ඒ වෙලාවට හිතාගත්තට දැන් නම් ඒ මොනාද කියලවත් මතක නැති ගානයි... වෙනදට නං පොඩි නෝට් එකක් ගහගන්නවා ළඟ තියෙන නෝට් බුක් එකේ.. මේ ටිකේ ඒකත් බැරි උනා... 

ඒ අතරෙම පොඩියට පටන් ගත්ත වෙඩින් කාඩ් වැඩෙත් කරගෙන යනව.. මගේ මාකටින් නං අන්තිමයි... මං කාඩ් සාම්පල් ටික දැම්මේ ලොකුම වෙඩින් සීසන් එක පහු උනාට පස්සෙ... ඒක ඉතිං මගේ මෝඩකම.. ඒකට හේතුව උනේ ඉතිං අතේ සල්ලි තිබිච්ච නැති එක... 

ඒ අතරේ ඊයේ ඕපදූප ටයිප් එකේ ආරංචියක් ආවා අපේ ගෙවල් පැත්තේ කොල්ලො කීප දෙනෙක්ම කූඩු ජාවාරමට අහුවෙලා පොලිසියෙන් අරන් ගිහින් කියලා... අපෙ තාත්තා කියන විදියට ඒ පැත්තේ, ඒ කිව්වේ පාදුක්ක, කොස්ගම, අවිස්සාවේල්ල පැත්තේ මීට අවුරුදු 15-20කට කලින් බොහොම ජයට කෙරිච්ච ජාවාරමක් තමයි ඕක.. හැබැයි පහුගිය කාලේ නං ගොඩක්ම අඩු වෙලා තිබ්බේ... මට මතක ඇති කාලෙක කුඩු ගහපු කෙනෙක් හිටියේ නෑ අපේ ගෙවල් පැත්තේ එහෙම... ඒත් මෙදා පාරනං අහුවෙලා තියෙන්නේ අපෙ අම්මලගෙත් හොඳම යාලුවෙක්ගේ පුතෙක්... කුඩු ගහලා නෙවෙයි ළඟතියාගෙන කියලා තමයි අම්මා කිව්වේ.. කොහොම හරි ඔය ජාවාරමේ ලොකු අතු වලට මේ දවස්වල අමතක වීමේ ලෙඩක් තියෙන බවත් ආරංචියි... මේවා ඉතිං ඕප තමයි... හැබැයි ගින්නක් නැතුව දුමක් නඟින්නෙත් නෑ නේ...

මං අද උදේ නිවුස් බලාගෙන හිටියේ මේ ගැන යමක් තියෙයිද කියලා.. කුඩු කතන්දර කීපයක් තිබ්බත් මේ ගැන දෙයක් නම් ඇහුනේ නෑ හැබැයි... ඉතිං මේවා ලියලා මගේ බ්ලොග් එකට දෙයියන්නේ පිහිට වෙයිද දන්නෙත් නෑ.. ඒත් ඉතිං හිතට වැදිච්ච දේ ලියන්නත් එපැයි...

කොහොමහරි මට ඕනේ උනේ මේ කුඩු කතන්දරේ ආයිත් බරපතල විදියට ඔලුව උස්සන බව පේන්න තියන බව කියන්න.. ආශ්චර්ය දීපයේ කුඩුත් නැත්තං මොන මඟුලක්ද කියලා හිතනවද දන්නේ නෑ.. හැබැයි මේවට අහුවෙලා නාස්ති වෙන්නේ ලොකු ලොක්කන්ගේ පුත්තු දුවලා නං නෙවෙයි... අම්මලා තාත්තලා නොකා නොබී ඉස්කෝල වලට යවලා, උගන්නලා තැනකට ගන්න දඟලන දුප්පත් ළමයි... කුඩු ගැහීමට වඩා ලොකු දඬුවම් කුඩු ළඟතබාගැනීමට, විකිණිමට තියෙනවා... ඒක නිසා අපේ ළමයි මල් වගේ, ඕවට යන්නේ නෑ ...  කියලා හිතං ඉන්න අම්මලා තාත්තලා දැනට වඩා ළමයි ගැන හොයලා බැලුවනං හොඳයි කියලා මතක් කරන්නත් ඕනේ... විශේෂයෙන් අවුරුදු 15-22 වගේ වයස්වල ඉන්න ළමයි ගැන... මොකද එයාලා මේවට අහුවෙන්නේ නොදැනුවත්වමයි.... 

මම මේ වෝනිං එක මුලින්ම දුන්නේ අපෙ අම්මට... මොකද අපෙ මල්ලිත් දැන් පුරුදු වෙලා ඉන්නේ මොනා ඇහුවත් ආඳා උත්තරයක් දීලා ලිස්සලා යන්න.. අම්මලත් කොල්ලා කියලා පස්සෙන් පන්නන්‌ෙන් නැති නිසා මෙයාට ලේසියි ... අපේ අම්මලා තාත්තලා කෙල්ලන්ව පරිස්සම් කරනවා වගේ කොල්ලන්ට පරිස්සම් කරන්නේ නැත්තේ මොන කෙහෙල්මලකටද කියලා මට තේරෙන්‌නේ නෑ... කෙල්ලෙක් හවස 6 පහුඋනොත් ගෙදරට එන්න, රට ගිනි තියන්න දඟලනවා... කොල්ලෙක් රෑ 10ට ආවත් ගානක් නෑ... හැබැයි ඌ බීලද, කුඩු ගහලද, රස්තියාදුවෙ ගිහිල්ලද කියලා හොයලා බලන්නෙත් නෑ... පොඩ්ඩක් බැනලා නිකා ඉන්නවා.. අපි කරපුවයෙ හරියට මේවා මොනාද කියලා හිනා වෙනවා... 

මගේ අත්දැකීමට අනුව නම් අවුරුදු 16 විතර ඉඳලා වයස් වල කොල්ලන්ගෙ වැඩ අම්මලට වඩා උන්ගේ යාලුවෝ, ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා දන්නවා... අම්මලා.. අපේ කොල්ලා එහෙම නෑ... කියාගෙන සුද්ධ කරද්දි කෙල්ලන්ට හිනායන එක අහන්න දෙයක් නෙවෙයි... මටත් එහෙම අත්දැකීම් තියෙනවා... ඊයේ දෙවනි පාරටත් මං මේ කියන දේ හරි කියලා මට ඔප්පු උනා... අපේ මල්ලි ආශ්‍රය කරන යාලුවෝ ගැන අපි නොදන්න ගොඩක් දේවල් ඒකගේ ගර්ල් ‌ෆ්‍රෙන්ඩ් දන්නවා.... මට ඒකයි මේ පෝස්ට් එක ලියන්න හිතුනේ... 

අම්මලා තාත්තලා, තමන්ගේ පිරිමි දරුවෝ ආශ්‍රය කරන්නේ මොන වගේ යාලුවොද කියලා හොයලා බලලා විතරක් මදි.. අපේ එකා හොඳයි, ඕවට යන් නෑ ... කියලා හිතං ඉන්න අම්මල තාත්තලට කියන්න තියෙන්නේ දැන් කොල්ලෝ අරක්කු සිගරට් බොන්න පටන් ගන්නේ, කුඩු ගහන්න පටන් ගන්නේ, මසාජ් ක්ලිනික් වලට යන්න පටන් ගන්නේ අවුරුදු 15 ඉඳන්... ඒක නිසා කල්පනාවෙන් ඉන්න.. 

කෙල්ලන්ව ඇස් වගේ පරිස්සම් කරලා වැඩක් නෑ කවදහරි උන්ව බාරගන්න ඉන්නේ නාස්ති වෙච්ච කොල්ලො පරම්පරාවක් නං... 

Thursday, July 11, 2013

ඔන්න බ්ලොග් එකක් ගැන විස්තරේකුත් එක්කම ෂිපිං ගැනත් පොඩි විස්තරයක්...

පහුගිය ටිකේ බ්ලොග් කියෙව්වෙත්, ලිව්වෙත් අඩුවෙන් නිසා අලුත් බ්ලොග් හොය හොයා ගියෙත් නෑ... ඒක හින්දා මට මිස් වෙලා වගේ තිබිච්ච බ්ලොග් එකක් අද උදේ පාන්දර 4 ට විතර නැගිටලා.. ( රෑට පාන් කෑමේ ආනිසංස... )  ... කියෙව්වා... ඒකේ පරණ පෝස්ට් ටික කියවගෙන යනකොට තමයි තේරුනේ මේකේ ගොඩක් වැදගත් මාතෘකා කීපයක් ගැන ලියවිලා තිබ්බත් තාම කියවලා තියෙන්නේ කට්ටිය අඩුවෙන් කියලා.. ඒකත් එක හේතුවක් මේ පෝස්ට් එක දාන්න.. 

ගිහින් නැත්තං ඔන්න ගිහින් බලන්න මේ බ්ලොග් එක.. 

බ්ලොග් එකේ නම - කළු සහ සුදු
ලියන්නේ - එයාමයි... 

මේ තියෙන්නේ පෝස්ට් කීපයක අන්තර්ගතය.... 


දවල්ට කන්න ගියාමයි ඊළඟ දේ වුනේ..බත් ටික සේරම දිග හැර ගන්න කිව්වා අපිට...මස් මාළු තියෙන්නේ ඇහුවා..මස් ..මාළු...බිත්තර,,,ඔය හැම දේම කාගේ හරි ළඟ තිබුනා නේ..
එක්කෙනෙක් ආව බග් එකක් අරන්
හැම බත් එකක් ලඟින්ම තියා ගෙන තියාගෙන ගියා..අද ඉඳන් කන්න වෙන්නේ මේවා තමයි කියලා...
..............මොනවද මේ..?
මිනිස් ඇට කැබලි....අපේ සමහරු දුවල ගිහින් වමනෙත් දැම්ම...
මම නම් බයටම ගල් ගිල්ල වගේ හිටියේ....
අනේ ඉතින් එහෙම උන්න අපි..පස්සේ කලෙක anatomy වලට ගිහින් gloves වත් නැතුව මිනී අල්ලලා..ඇවිත් සබන් දාල අත හෝදන් බත් කෑවේ...යස අගේට..
එදා අපිට දුන්නෙත්...එහෙම මුලික පුහුණුවක්..

ඉතුරු ටික ගිහින් කියවන්න...



වෘත්තීය චිකිත්සාවෙන් කෙරෙන්නේ...දීර්ඝ කාලීනව හෝ කෙටි කාලීනව ආබාධ වලට ලක් වන පුද්ගලයන්ට..නැවත ක්රියාකාරී දිවියක් ලබා දීමට සහය  වීමයි...මෙහිදී රෝගියා ගේ නොහැකියාව වගේම ඉතුරු වී ඇති හැකියාවන්ද ඉතා අවධානයෙන් සලකනු ලබනවා..මොකද සමහර රෝගීන් ගත්තම... අය බොහෝ විට සිහි කල්පනාව පමණක් යන්තමට ඉතුරු වුන අය... ටික පවා මනුස්සයෙකුට කොයි තරම් වටිනවද කියලා දැනෙන්න නම්...එහෙම කෙනෙක් දකින්නම ඕන...

ඉතුරු ටික ගිහින් කියවන්න...



දවසක් නන්නානේ එනවා..ගිනි පෙට්ටියක මල් ටිකක් දාගෙන....මම පුටුවක වාඩි වෙලා ඉන්නවා...ආවා ළඟටම...දුන්න මල් ටික..මම දැන් බය බිරාන්ත වෙලා බලන් ඉන්නවා ගන්නේ නැතුව... ගමන මට සැරයක් දැම්ම.."ගන්නයි කිව්වේ මේක"කියලා..මොනවා කරන්නද ..ගත්තා කියන්නකෝ..මෙන්න ගමන මට දන ගහල වැඳගෙන...ජීවිතේට අහල නැති ගාතා වගයක් කියනවා..මොනවා කරන්නද අහගෙන හිටිය...
ඊට පස්සේ නැගිටලා කියනවා..මම ඉතින් අදහන්නේ මේ වගේ අය විතරයි කියලා..මල් ටික ආපහු උදුරාගෙන වගේ අරගෙන නන්නානේ කිය කියා යන්න ගියා....

ඉතුරු ටික ගිහින් කියවන්න...



යම් කෙනෙකුට රෝද පුටුවක් තාවකාලික හෝ සදාකාලිකව භාවිතා කරන්නට සිදු වෙන්න පුළුවන්.
තාවකාලිකව ඇති වන අස්ථි බිඳීමකදී...එහෙමත් නැත්නම් යම් යම් රෝගාබාධ වලදී...තාවකාලිකව රෝදපුටුවක් භාවිතා කරන්නට කෙනෙකුට සිදු වෙන්න පුළුවනි.
වගේම තමයි...සුෂුම්නා ආබාධ වගේ දීර්ඝ කාලීන..සදාකාලික ආබාධ වලදී ...අදාළ කෙනාට එතනින් එහා ජීවිතයම රෝදපුටුව සමග ගත කරන්නට සිදු වෙනවා...
මේ කොයි අවධියේදී වුනත්...අපිට නිවැරදි තේරීමක් නැති වුවොත් ...ඉන් ඇති වෙන අනිසි ප්රතිඵල එමටයි...

ඉතුරු ටික ගිහින් කියවන්න...

තව ඔය වගේ වැඩිපුර කතාබහ කෙරෙන මාතෘකා ගැන අපි නොහිතන පැත්තක් සහ රැකියාවට අදාලව ලියවුනු, අපි කතා නොකරනම මාතෘකා කීපයක් ගැන ලියවිලා තියෙනවා... 

මට මේකේ ටිකක් හිතට වැදුනම පෝස්ට් එක තමයි ඔය රැකියාව ගැන ලියලා තියෙන පෝස්ට් එකේ මෙන්න මේ කෑල්ල... 

//එතකොට මට ආව වෘත්තීය තමයි..මේ වෘත්තීය චිකිත්සක කියන තනතුර...මේ ගැන මම කිසිම දෙයක් දන්නේ නැහැ..
අපේ අම්මා අඳුනන නර්ස් කෙනෙක් ගෙන් ඇහුවම කිව්වලු...අපෝ..ඒක හරියන එකක් නෙවෙයි...ඔය අංගොඩ වගේ හොස්පිටල් වල ලෙඩ්ඩුන්ට එක එක ඒවා උගන්නන එකයි ඕක කරලා කරන්න වෙන්නේ කියලා...//

මට හිතුන දේ තමයි අපේ සමාජයේ රැකියා සම්බන්ධයෙන් තෝරා ගැනීම් කරද්දි අපි කොච්චර අසරණ වෙනවද කියන එක... 

සම්ප්‍රදායික රැකියා කිහිපය සහ ( දොස්තර, ලෝයර්, ඉංජිනේරු, ටීචිං, නර්සිං, හමුදාව, ආණ්ඩුවේ ක්ලාක් කම, කම්පියුටර් සම්බන්ධ ඒවා, මැදපෙරදිග ගෘහ ‌සේවිකා, ගාමන්ට් ) තමන්ගේ සමීපතමයෙක් කරන රැකියාවක් නිසා වෙනත් රැකියාවක් ගැන දැනගන්න එකත් ඇරුනම අපේ රුකියා අවස්ථා පිළිබඳ දැනුම අන්තිම පහත මට්ටමක තියෙන්නේ...ඒ මදිවට ඔය රැකියා වලට තියෙනවනේ එක එක මට්ටම්... උසස් හරි පහත් හරි කියලා... ඕලෙවල් ෆේල් නං මෙහෙමයි, ඒ ලෙවල් ෆේල් නං මේක තමයි කොරන්න වෙන්නෙ, කම්පියුටර් ඉංග්‍රීසි නැතුව මොකක් වත් කොරන්න බෑ... අරකද මේකද කියලා කී දාහක් දේවල්ද... 

දැන් හරි හරියට වෘත්තීය අධ්‍යාපනය කියන මාතෘකාවත් කතා කෙරෙනවානේ... ඒත් ඇත්තටම මට නම් තේරෙන විදියට ඉස්කෝලෙ විශය මාලා තෝරගන්න කාලේ වෙන කොට අදටත් අපේ ළමයින්ගේ, දෙමව්පියන්ගේ මානසික මට්ටම් තියෙන්නේ යටත් විජිත කාලේ ඉඳලා ආපුවා... ඒ මදිවට මේ ඔක්කොම කැම්පස් යන්න කරන දැගලිල්ල.... ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ.. 

මං මේ කියන්න දැඟළුවේ මේකයි... 

විශය මාලාවක් තෝරගනිද්දි තේරුමක් තියෙනවා නං “ මං දක්ෂ මේ පැත්තට.. මට මේ පැත්තෙන් යන්න පුළුවන් ” කියලා, එතනින්ම දරුවා පරිණත පුද්ගලයෙක් වීම පටන් ගන්නවා.... එයා යන්නේ මොන පැත්තෙන්ද කියලා අවුරුදු 15 වෙද්දි එයාට තේරුම් ගන්න පුලුවන් නම් අනවශ්‍ය කාලය නාස්ති කිරීම් වලින් ගොඩක් වැලකෙන්න පුළුවන්.. 

මට තේරෙන විදියට මේකට තියෙන ලොකුම බාධකේ තමයි රැකියා වෙළඳපොල ගැන නිසි අවබෝධයක් නැති කම... මට හිතුනා මේකට පුංචි උදව්වක් කරන්න... ඒ තමයි මං රැකියා කරපු ක්ෂේත්‍ර කීපයෙම තියෙන වැඩි ප්‍රසිද්ධියක් නැති රැකියා අවස්ථා කීපයක් ගැන කියන්න... මොකද මට හිතෙන විදියට මේ බ්ලොග් කියවලා අදහස් දක්වන බොහෝ දෙනෙක් ඉන්නවා යම් විදියකින් සම්ප්‍රදායික දෙමවුපියන්ට වඩා වෙනස් අය... තමන්ට කර ගන්න බැරි උන දේ දරුවො ලව්වා කරවන්න දඟලන්නේ නැති අය... දරුවන්ගේ නිදහසට ගරු කරන අය... ඒ වගේ අයට පුළුවන් මෙතනම හෝ තමන්ගේ බ්ලොග් එකේ හෝ තමන් රැකියාව කරන ක්ශේත්‍රයට අදාළ විස්තර ටිකක්, සහ අවශ්‍ය සුදුසුකම් ටිකක් ලියලා තියන්න... එතකොට ඒ විශය ගැන නොදන්න කෙනෙක්ට උනත් දැනුවත් වෙන්න පුළුවන්... 

( උදාහරණයක් විදියට දැන් ගාමන්ට් එකක් රැකියාවක් කියන්නේ ජුකී මැෂින් ක්‍රියාකරවීම විතරයි කියලා හිතං ඉන්න අය මහ ගොඩක් මේ ලංකාවේ ඉන්නවනේ... ඒත් ඇත්තටම ගාමන්ට් එකක් ඇතුලේ කොච්චර රැකියාවල් තියෙනවද කියන එක ඒ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්ට කියලා දෙන්න පුලුවන් තව කෙනෙක්ට... ඒ ගැන නොදන්න කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි ... අපෝ.. ඒවා ගෑණු ළමයින්ට හොඳ රස්සා නෙවෙයි.. කියලා...හි හි) 

ඉතිං මං වැඩ කරපු එක ෆීල්ඩ් එකක් තමයි ෂිපිං ( Shipping/Maritime/ Marine)... මං වැඩ කළේ පෞද්ගලික ආයතනයක.. ලංකාවේ රජයේ ආයතනය විදියට වරාය අධිකාරිය යටතේ තියෙන අතරේ පෞද්ගලික ආයතනයක් විදියට SAGT ( South Asia Gateway Terminals) කියන ආයතනය වරායේ කොටසක් බදු අරන් තියෙනවා... මම ඔය ෆීල්ඩ් එකට සම්බන්ධ උනේ මගේ තාත්තා ඔය ආයතනයේ වැඩ කරපු නිසා... 

මේ තියෙන්නේ කොළඹ වරායේ SAGT ආයතනය අරන් තියෙන කොටස... ලේසියෙන් අඳුනගන්න පුළුවන් රතුයි සුදුයි ගාපු ක්‍රේන් වලින්... කහ පාටින් තියෙන්නේ JCT - Jaya Container Terminal එක... 

ෂිපිං වල ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා.. ( මේ මං දළ වශයෙන් මගේ අත්දැකීම් වලින් ලියන්නේ.. වැරදීම් වෙන්න පුලුවන්...) එකක් කෙලින්ම වරායට සම්බන්ධ ආයතන.. තව එකක් තමයි ප්‍රධාන කන්ටේනර් සහ මගී ප්‍රවාහන ( Container lines and Passenger lines)විශාල සමාගම් වල නිල ඒජන්තකරුවෝ... ( Eg : Hapag lloyd, Hyundai- Aitken Spence / CMA CGM - CMA CGM Lanka/ Maersk line - Maersk Lanka) තව කට්ටියක් තමයි Freight Forwarding and cargo services කට්ටිය...  Cargo Clearing කට්ටියත් services වලටම සම්බන්ධ උනාට ක්ලියරින් විතරක්ම කරන ආයතනත් තියෙනවා....  


දැන් මෙතන .... ෂිපිං කියන්නේ නැව් වල වැඩ කරන එකනේ... අපොයි ඔය නැව් වල නම් යන්න බෑ... කියලා හිතං හිටිය කට්ටිය ඉන්නවනං දැනගන්නත් එක්ක මේ කියන්නේ මං මේ කියන ඔක්කොම ගොඩබිම ඉඳලා කරන රැකියා... ඒ වගේම මේ හැම ආයතනයකම ගෑණු ළමයිනුත් වැඩ කරනවා... 

ඒ ගෑණු ළමයි වැඩ කරන අංශ ප්‍රධානවම තියෙන්නේ ලියකියවිලි ( Documentation) අංශ වල... මේවගේ තියෙනවා නීතිමය අංශ, එකවුන්ට් ( ඒක නම් දන්නවනේ) අංශ... ඒ වගේම ඉහල තනතුරුවලත් කාන්තා පර්ශවය ඉන්නවා ඕනේ තරම්... 

ක්ලාක්ස්ලා, එක්සෙකටිවු ලා, මැනේජර්ලා, එකවුන්ටන්ලා ඕනෙ තරම් ඉන්නවා... 

කොල්ලන්ටත් ඕනේ තරම් ජොබ් තියෙනවා... ඒ වගේම කාසා/ CASA - Ceylon Association of Ships' Agents) එකේ සහ CINEC - Colombo International Nautical & Engineering College  / තේරෙන බාසාවෙන් CINEC Maritime campus එකේ තියෙනවා පාඨමාලා, පුංචිම රැකියාවෙ ඉඳන් ඉහලට යනකම්ම... 

මේකට ඉංග්‍රීසි දැනුම, කම්පියුටර් දැනුම යම්තරමකට ඕනේ... හැබැයි ඔය දෙකේම පරතෙරෙට යන්න උවමනාවක් නෑ... ඉස්කෝලේ ඉංග්‍රීසි ඉගෙන ගත්තනං, කම්පියුටරේක වර්ඩ්, එක්සෙල් වගේ සොෆ්ට්වෙයාර්වල වැඩ කරන්න දන්නවානං, තව දුරටත් ඉගෙන ගන්න ආසාවක් තියෙනවා නං, ඉතුරු ටික සිම්පල්... 

මේ ජොබ්ස් වල තියෙන අමාරුම සහ වටිනාම දේ මං දැන් කියන්නම්... ඒ තමයි මේ ජොබ් වල ටයි දාලා, සාරි , ස්කර්ට්ස් ඇන්ඩ් බ්ලවුස් ඇඳලා ගියාට මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා... ඒසී රූම් වල, කැරකෙන පුටුවේ වාඩි වෙලා අලි බඩට උඩින් ටයි එක දාගෙන ඉන්න තැනට එන්න, ඇති වෙන්න මහන්සි වෙන්න වෙනවා... හැබැයි ඕලෙවල් ෆේල් වෙලා ක්ලාක් කෙනෙක් විදියට ආපු කෙනාටත් මේ තැනට එන්න පුළුවන්... එකම දේ ඉගෙන ගන්න ඕනේ.. උත්සාහ කරන්න ඕනේ... මහන්සි වෙන්න ඕනේ... රස්සාව ආදායම් මාර්ගයක් විතරක් කරගන්නේ නැතුව ඒකට ආසාවෙන් කරනවා නම් ගොඩ යන්න පුළුවන්... එහෙම නැත්තං පටං ගත්ත තැනම කාල් ගගා ඉන්නත් පුළුවන්.. තමන්ගේ කැමැත්ත.... 

මේ අනතුරකට ලක් වෙච්ච කන්ටේනර් නැවක්... පේනවනේ ඇලවෙලා, ‌හොම්බෙන් ගිහින් තියෙන හැටි.... 


මේ මම කිව්වේ වරායට කෙලින්ම සම්බන්ධ රැකියා ගැන නෙවෙයි.. වරායෙන් පිට වැඩ කරන Freight forwarding and cargo services, Main line agents ලා වගේ ආයතන ගැන විතරයි... වරායට කෙලින්ම සම්බන්ධ රකියා ගැන වෙනම ලියන්න වෙනවා.. ඒ තරම් ගොඩක් තියෙනවා.. ඒ වගේම ඒවට පාඨමාලා දැන් NAITA - National Apprentice and Industrial Training Authority එකේ තියෙනවා.... හැබැයි NAITA එකේ මේ වගේ පාඨමාලා වලට ඇප්ලයි කරන්න වයස 18ට කලින් වෙන්න ඕනේ... ( ඒ කියන්නේ ඒ ලෙවල් කරලා රිසල්ට්ස් එනකම් බලං හිටියොත් වැඩේ හබක්) .. ඒක නිසා මේ ක්ෂේත්‍රයට යන්න අදහසක් තියෙනවා නං ටිකක් හොයලා බලන්න... මේ තියෙන්නේ ෂිපිං සම්බන්ධව මගේ ආසම වෙඩ් අඩවිය... මං මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා... ඒ වගේම මේක ජ්‍යාත්‍යන්තර ප්‍රමිති වලට අනුව යන විස්තර තියෙන සයිට් එකක්... http://www.hapag-lloyd.com  මගේ අත්දැකීම නං ඕනෙම කෂේත්‍රයක් ගැන ඉගෙන ගන්නකොට ඒ ගැන ආසාව ඇති වෙනවා... ආසාවක් තියෙනවා නම් ඉගෙන ගන්න හිතෙනවා...  ඉගෙන ගන්නකොට ඉහලට යන්න බැරිකමක් නෑ.... හි හි... 


(මේක ඇතුලේ Sea freight and Air freight කියලා කොටස් දෙකක් තියෙනවා... මේ දෙකම මේ සමහර ආයතන වල කෙරෙනවා... මං ලිව්වේ  Sea freight ගැන විතරයි.. ) 

( මේක තමයි ප්‍රධාන දේ... ප්‍රවාහනය... ගොඩබිමින්, අහසින්, මුහුදෙන්.. ඕක ඇතුලේ තමයි මේ ජොබ්ස් ඔක්කොම තියෙන්‌නේ...)  




මෙයා නං ළඟදි දවසක ලංකාවට ආයුබෝවන් කියලා ආපහු ගියා... මට නං මේකේ රවුමක් යන්නත් අවස්ථාව හම්බුනා.. ඒ ඇරෙන්න ෂිපිං ෆීල්ඩ් එකේ ඉන්නවා ජීවිතේට වරායට අඩිය තියලා නැති කට්ටියත්... හි හි

අනිත් ක්ෂේත්‍රය, ඒ කිව්වේ ප්‍රින්ටිං ගැන වෙන දවසක කියන්නම්... දැනට ඇති වගේ.... මේකත් හොඳටම දිග වැඩියි... 

ප/ලි : මේක කියවලා මේ විදියට ලියලා තියන එක හොඳයි කියලා හිතෙන කෙනෙක් ඉන්නවා නං, කැමති නම් කමෙන්ට් එකක් දාලා තමන්ගේ රැකියා ක්ෂේත්‍රය ගැන පොඩි විස්තරයක් දැම්මට කමක් නෑ... එක්කෙනෙක්ට හරි ප්‍රයෝජනයක් උනානං එච්චරයි මට ඕනේ.. හි හි

Tuesday, July 9, 2013

කෝච්චි නෑලු.... No trains today.....




කෝච්චි නෑලු... ස්ට්‍රයික් එකක් ලු... 

ඊයේ ගෙදර යන්න ලෑස්ති උනාම අපේ මහත්තයා කිව්වා ඉක්මණට එන්න කියලා බස් වල එන්න අමාරු වෙයි කියලා... ඒත් පාදුක්කේ ඉදන් එන එක එච්චර අමාරු උනේ නෑ...

මට මතක් උනේ ඉස්සර කෝචිචි නැති උනාම අපි මොන තරම් දුකක් විඳිනවද කියලා... ඉස්කෝලෙට යන්න, වැඩට යන්න.... 

කෝච්චි වල යන අයට සාමාන්‍යයෙන් තියෙන ලෙඩක් තමයි බස් වල යන්න අකමැත්ත.... මට නං ඒක තදට තිබ්බා... කෝච්චි නැති දවසට ගෙදර ඉන්න එක තමයි මං කරන්නෙ.. බස්‌ එ‌කේ යන්‌නේ වැඩට යන්නම ඕ‌ෙන් නම් විතරයි.... 

ඒ ඉතිං අපිනේ.. අපිට මොන බරක්ද ඒ කාලේ...  

ඒත් අද මේ කෝච්චි වල වහලේ ඉඳන් නැඟගෙන වැඩට යන, දරු මල්ලෝ නඩත්තු කරන පවුල් කාරයෝ... ?

අද උදේ පත්තර කතන්දර අහද්දි පම්පෝරි දෙකක් ඇහුනා... 

වර්ජකයෝ කියනවා වර්ජනය සාර්ථකයි.. කෝච්චි 4යි ඊයේ දවසටම වැඩ කළේ.. කියලා.. 

ඇමතියාද කොහෙද කියලා තිබ්බා කෝච්චි 12ක් වැඩ කළා කියලා.. 

දැන් කවුද මෙතන දිනලා තියෙන්නේ...???? 

මොන මඟුල කරන්නත් ක්‍රමයක් තියෙන්න ඕනේ... මං දන්නෑ මොන මොන ඉල්ලීම් වලට මේ වර්ජනය කරනවද කියලා... හැබැයි මේක දොස්තරලා ලෙඩ්ඩු ඇපේට තියාගෙන කරන වැඩ වර්ජන වලට වඩා ලොකු වෙනසක් නෑ... අපේ රටේ පෞද්ගලික ආයතන වලට වැඩ කරන මිනිස්සුන්ගේ මාසික පඩිය කියන්නේ ආණ්ඩුවේ අයගේ මාසික පඩිය වගේ එකක් නෙවෙයි... ගොඩක් අයට තියෙන්නේ පොඩි ගානක් බේසික් එක විදියට... තව තව හම්බුවෙන ඒවා ටික හම්බුවෙන්නේ එක එක දීමනා විදියට... ඕකෙන් එකක් තමයි ඉන්සෙන්ටිව් එක, පැමිණිමේ දීමනාව වගේ නම් වලින් හැඳින්වෙන දීමනාව.. එක දවසක් නිවාඩු දැම්මොත් රැ 1000ක් විතර කැපෙනවා... 

ඔය ලොකු ලොකු තැන් වල ඉන්න මිනිස්සුන්ට රැ 1000ක් කියන්නේ පොකට් මනී උනාට ඕකෙන් දවස් ගානක් යන්තම් ලෙව කාලා හරි ජීවත් වෙන පවුල් ඉන්නවා මේ රටේ.. ඒ අය තමයි ඔය බස් වල කෝච්චි වල සීසන් අරන් යන්නේ.... ඒ අයට මේ වගේ දීමනාවක් නැති වෙනවා කියන්නේ ‌ලොකු අමාරුවක් මාසේ ජීවත් වෙන්නේ ගියාම.... 

දැන් ඉතිං අපි සාර්ථකයිකිය කිය උඩ පැනපල්ලා දෙගොල්ලොම.... මොකද දෙපැත්තට බොලේ පාස් කරගන්න එකනේ මේ රටේ ජනප්‍රියම සෙල්ලම....