Monday, June 17, 2013

මිනිස්සු හරි පුදුමාකාරයි කියලා මට ආයිත් හිතුනා...



කලින් කතාවේ කමෙන්ට් වලට උත්තර නොදීම මේ පොස්ට් එක දාන්න හිතුවේ හේතුවක් ඇතිව... මොකද ඒක ලියපු දවසේ ඉඳලා අද වෙනකොට වෙච්ච දේවල් වල සාරංශයක් විදියට මේ ටික ලියන්න හිතුව නිසා.. 

ඊයේ අපේ මහත්තයයි මායි පුරදු විදියට එළියේ පඩිපෙලේ වාඩි වෙලා කයියක් දාගෙන උදේ තේක බීබී ඉන්නකොට මුණියන්ඩි අපිත් එක්ක කතාවට වැටුනා... සාමාන්‍යයෙන් නම් මේ වෙලාවට මුණියන්ඩිව අල්ලගන්න බෑ... ඒත් දැන් තුවාලේ නිසා ගෙදරට වෙලානේ ඉන්නේ... ඉතිං අපේ මහත්තයත් තුවාලේ කතන්දර එහෙම අහලා කතා කර කර ඉන්නකොට මුණියන්ඩි කියනවා ඇන්ටි බැන්නලු ගෙදරින් කවුරුවත් ආපු නැති එකට... 

මුණීයන්ඩිගේ පවුලේ කතාව සාමාන්‍ය වතු කම්කරුවෙක්ගේ පවුලේ කතාවම තමයි ඉතිං.. පැය 24ක් වැඩ කළාම රැපියල් 640 ගානක් හම්බුවෙනවලු... අම්මයි, දුවයි දලු කඩන්න යන අතරෙ පුතා ෆැක්ටරි ඔෆිස් එකේ කර්යාල කාර්ය සහායක විදියට වැඩ කරන්නේ.. බෑනා පල්ලියේ වැඩ කරන කෙනෙක් කිව්වා.. හැබැයි මුණීයන්ඩිලා හින්දු... මං ඇහුවා ආගම ප්‍රශ්නයක් උනේ නැද්ද කියලා... මොකද දැන් පුතාගේ මඟුල ගැන හොයන විදියට එහෙම දෙයක් ගැන මට හිතන්න බැරි නිසා.. කීප දවසක් ගෙවල් වල අය හම්බුවෙලා කතා කරලා, කේන්දර බලවලා, නැකත් හදවලා ( ඒවා කරන්න පවුල් දෙකේම අය යන්න ඕනෙලු.. එක කටිටියක් විතරක් ගිහින් බැලුවට අනිත් අය පිළිගන්නේ නෑලු.. මේ දවස්වලම ඒ ටික කරන්න හදන්නේ මේ මාස වල විතරලු එයාලට මඟුල් කරන්න හොඳ මාස.. පරක්කු කලොත් මේ අවුරද්දේ කරන්න බෑලු... ) තමයි ඒ වැඩේ කෙරෙන්නේ... ඒත් දුවව එයාට බන්ඳලා දුන්නේ එයා නොබොන කෙනෙක් නිසා කියලා මුණියන්ඩි කියන්නේ... වත්තේ වැඩ කරන හැම කෙනාම පුදුමාකාර විදියට බොනවලු... ඉස්සර නම් මුණියන්ඩිත් බිව්වලු... ඒත් මෙහෙ ආවට පස්සේ බොන එක නවත්තලා.. දැන් කියන්නේ ඒ කාලේ ඉඳලා නොබී හිටියනං අද ටිකක් හරි ගොඩ ගිහිල්ලා කියලා... දැන් මුණීයන්ඩිට ඕනේ පුතාවත් ඉක්මණට බන්දලා දෙන්න විතරලු... ඊට පස්සේ මළත් කමක් නෑලු... 

මේක මහ අමුතු කතාවක් නෙවෙයි කාටවත්.. මං හිතන්නේ මේක ෆිල්ම් වල දැකලා, කතා වල කියවලා ඇති පදම් පට්ට ගහපු කතාවක්.. ඒත් අපි දන්න කෙනෙක් මෙහෙම එයාගේ පවුලේ විස්තර කියද්දි මේක කතාවක්ම විතරක් නෙවෙයි කියලා දැනෙනවා... මම මිනිස්සු ගැන හිතං ඉන්න දේවල් හරි ඉක්මණට වෙනස් වෙන්න මේවගේ එක එක හේතු බලපානවා... සමහර විට ඉදිරියට මගේ අතින් මුණියන්ඩිගේ කතාව ලියවෙන්න ඉඩත් තියෙනවා... 

ඉස්සර උඩහමුල්ල හරියේ කෝච්චිය මුඩුක්කු ගෙවල් මැද්දෙන් යනකොට මං අහන්ත වාරයක් හිතලා තියෙනවා ඇයි මිනිස්සු මෙහෙම ජීවත් වෙන්නේ කියලා.. එහෙම විශේෂයෙන්ම හිතුනේ එක දවසක් එතනදි අනතුරක් වෙච්ච වෙලාවක... එක අම්මා කෙනෙක් ඇගේ හරිහමන් වස්තරයක්වත් නැතුව කෑ ගහගෙන, ඔලුවේ අත් ගහගෙන, අඬාගෙන දුවනකොට අපි හිතුවා ඒ ගෙවල් වල ළමයෙක් හැප්පිලා කියලා කෝච්චියට... බලද්දි හැප්පිලා තිබ්බේ කාරෙකක්.. හොඳ වෙලාවට කාටවත් ලොකු අනතුරක් නෑ එදා... ටික වෙලාවකින් අර අම්මා එනවා අවුරුදු 2කට විතර ගෑණු ළමයෙක් වඩාගෙන... ඔය වෙලාව වෙන‌කොට අපි දැනගෙන හිටියේ ඒ අම්මට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා කියලා... ඒ එකම ගෙදර පවුල් 4ක් ජීවත් වෙනවා කියලා... 

එදා මගේ ඔලුවට ආපු ලොකුම ප්‍රශ්නේ තමයි ඇයි මේ මිනිස්සු මෙච්චර දේවල් වෙද්දිත් මෙතනම ජීවත් වෙන්නේ.. ඇයි මෙයාලා කීයක් හරි ඉතුරු කරගෙන ළමයින්ව පරිස්සම් කරගන්න පුලුවන් තැනකට යන්නේ නැත්තේ කියලා... 

ඉස්සර කෝචිචියේ යද්දි අපි හැමතිස්සෙම දකිනවා පුංචි ළමයි ඔය රේල් පාරවල් වල සෙල්ලම් කරනවා... එයාලා කෝච්චියට පුරුදු නිසා බය නැද්ද, නැත්තම් ඒක අම්මලගේ නොසැලකිල්ලද කියලා කියන්න මම දන්නේ නෑ ... ඇත්තටම එහෙම තැන්වල කෝච්චිය යන්නෙත් හරිම හෙමින්... 

නමුත් මම මේ ළඟදි දැනගත්ත විදියට ( ඒකත් මුණීයන්ඩි එක්ක කතා කරද්දි... මුණීයන්ඩිගේ නංගි කෙනෙක් පදිංචි වෙලා ඉන්නවා කිරුලපනේ ඔය මං කිව්ව හරියේ...) ඒ අයගෙන් ගොඩක් අය රැකියාව විදියට කරන්නේ ගෙවල් වල වැඩ කරන එක, නගර සභාවේ හෝ වෙනත් කුළි වැඩ... හැබැයි ඒ අතර ඉන්නවා මුදලාලිලත්.. කඩ අයිති අය, පොඩි කමියුනිකේෂන් කරන අය එහෙමත්... ඒ අලුත් පරම්පරාවල් ඉගෙන ගන්න නිසා... ඒත් එයාලා අර ගෙවල් වල වැඩ කරන එක, කුණු ටැක්ටරේ යන එක නවත්තන්න කැමතිත් නෑ... තාත්තා බලන්නෙ පුතාවත් කුණු ටැක්ටරේ වැඩට දාන්නමයි... ඉහලට ඉගෙන ගැනීමක් ගැන එයාලා හිතන්නේ නෑ.. එයාලා දන්නේ ඒ රස්සාව නිසා එකම කරන්න උත්සාහ කරනවා... ඒ හේතුව නිසාම අර ඉන්න තැනින් වෙන තැනකට යන්න කැමතිත් නෑ... ඒ ගෙවල් වල ඉන්න ගොඩක් පිරිමි ළමයින්ට මෝටර් බයික් තියෙනවා... ඒ ගෙවල් වල ටීවී , කම්පියුටර්, ෆ්‍රිජ් එහෙමත් තියෙනවා.... ඒත් අර ඉන්න මුඩුක්කුවෙන් එළියට එන්න හිතන්නේ නෑ... 

ඩෙංගු වගේ බෝවෙන ලෙඩක් හැදිලා, වාහන අනතුරක් වෙලා ළමයෙක් මැරෙන එක එයාලට අමුතු දෙයක් නෙවෙයි.. ඒ වෙලාවට අඬලා එක එතනින් ඉවර වෙනවා... එයාලගේ ජීවිත සරලයි කියන්න පුළුවන්ද කියලා මම දන්නේ නෑ... ඒත් එයාලට අනුව ඒක තමයි එයාලාගේ ජීවිතේ... 

අපි කොහොමද නොනා, මහත්තුරු වගේ ජීවත් වෙන්නේ කියලා අහනවා... එයාලට අනුව බයික් එකේ වැඩට යන අපේ මහත්තයා, මහත්තයෙක් ... 

අපේ මහත්තයා කිව්වේ එකම දෙයයි... ඔය කිව්ව ගානටත් වඩා අඩු ගානක් අපි දෙන්නටත් මාසෙට හම්බුවෙන්නේ.. ඒක හොයන්නත් මං කොච්චර මහන්සි වෙනවද කියලා මුණීයන්ඩිට පේනවනේ.. මං රෑට ගෙදර එන වෙලාවත් මුණීයන්ඩි දන්නවනේ.. කියලා... 

ඇන්ටි ඊයේ කියනවා මුණීයන්ඩිලෑ ගෙදර කවද්ද කරදර නැති උනේ ... ඇහුවොත් ගෙදර කරදර කියලා තමයි කියන්නේ... තමන්ගේ තාත්තා අසනීප වෙලා ඉන්න වෙලාවේ මොන මඟුල්ද අපිට නං කියලා... මං ඇන්ටිට කිව්වා දැන් තුවාලේ හොඳයිනේ, මුකුත් කියන්න එපා කියලා... නැත්තං මුණියන්ඩි හිත නරක් කරගන්නවා... 

මට ඊයෙ ආයිත් පාරක් හිතුනා මිනිස්සු හරි පුදුමාකාරයි කියලා.. 

ප/ලි : ඊයේ බේත් දාන්න යනකොට නම් මුණියන්ඩිගේ තුවාලේ ගොඩක් දුරට හොඳයි... ටිකක් ඉදිමුන ගතිය තිබුනත් දැන් නම් බයවෙන්න දෙයක් නෑ කියලා ඩොක්ටර්ස්ලා කියනවා... ගෙදරට ත්‍රීවීල් එකෙන් පරිස්සමෙන් එක්කන් ආවත්, ත්‍රීවීල් එක නවත්තන්නත් කලින් ඒකෙන් පැනලා ඇන්ටිගෙනුයි මගෙනුයි හොඳටම බැනුම් ඇහුවා ඊයේ නම්....

60 comments:

  1. බ්ලොග් අතරේ සැරි සරද්දී අහම්බෙන් ඇස ගැටුණා. මුල් කොටස නොකියවා වුවත් යමක් හිතන්න පුළුවන් පෝස්ට් එකක්. අපේ සමාජේ දුක්විඳින මිනිස්සු තව කොතරම් ඉන්නවද? ඒ මිනිස්සුන්ගේ ජීවිත පිටුපස්සේ තිබෙන්නේ අපිට කතා පිට කතා ගෙතිය හැකි ශෝකාලාප.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මුල්ම පැමිණීමද... සාදරයෙන් පිළිගන්නවා...

      මේක මම කලින් හිතුවත් තේරුම් ගන්න බැරිවෙච්ච පැත්තක් වගේ... ඒකයි ලියවුනේ...

      Delete
  2. මුනියන්ඩිට දැන් සනීප වෙලා හින්ද ප්‍රශ්නයක් නැනේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. දැන් ඔයා එන්න ඕනේ නෑ.. හි හි

      Delete
  3. “මුණියන්ඩි“ කියල ටැබ් එකක් දාන්න වෙයිද???

    ReplyDelete
  4. Replies
    1. හැමදාම ඇවිත් ෂේප් කමේනට් එකක් දාලා යනවා නේද.... හි හි

      Delete
    2. සංජිවට සිංහල කොටන්න ලර්නර්ස් යවන්න ඕන.. එතකොට හරි යාවි

      Delete
    3. yako...mawama kana hadney ai?..singlish ekak kotagena shape eky ina dipalloko..
      Jayawewa.

      Delete
  5. සමහර වෙලාවට අපිට තේරුම් ගන්න බැහැ එයාලගේ ජිවිත.
    අපෙත් ගෙදර වැඩට හිටිය ගැනුලමයෙක්... එයත් ලැයිමක කෙනෙක් උනාට අදින පළදින විදියට නම් කීයටවත් හිතන්න බැහැ එයා එහෙම කෙනෙක් කියල. නරකට නෙවෙයි..... සමහර වෙලාවට මමවත් එතරම් දවසට ඇදුම් මාරු කරන්නේ නැහැ! හී .. හී ...
    ඒ මිනිස්සු පුදුම විදියට disorganized ! සල්ලි හම්බ කරනවා සමහර වෙලාවට රජයේ රැකියාවකටත් වඩා හොදට... ඒ උනාට වියදම් කරන්නේ reload වලට, ගෝල්ඩ් ජෝජෝබා වලට... එක්කෝ සැලෝන් වලට! හිතා ගන්න බැහැ ! මේ ගෑනුලමය නම් අපිගාව ඉන්නකල් ඉතුරු කරගත්ත. ඒත් වැඩක් නැහැ..... ඒ මිනිස්සු දුරදිග හිතන්නෙම නැහැ. උන්ට ඕනේ කොල්ලෙක් අල්ලාගෙන කසාද බදින්න විතරමයි.... පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ කාලා ඇදල ඉන්නේ කොහොමද කියල......
    තවත් දෙයක් මම දැකල තියෙනවා... මේ මිනිස්සු විස්වාස කරන්න හරිම අමාරුයි.... හොරකම් කලේ නැතත් කියන දේ නෙවෙයි කරන්නේ... එනවා කිව්වොත් එන්නේ නැහැ..... කන්න නැතුව ගෙදර ඔහේ ඉන්නවා... ඒත් වැඩට යන්නේ නැහැ... කොතරම් හොදට සැලකුවත් ස්වාමියාට loyal නැහැ...
    මට නම් හිතෙන්නේ එහෙම වෙලා ඇත්තේ ඒ මිනිස්සු වැඩ කරන්නේ නිකම්ම නිකම් හිතට එන දේවල් වලට ඉඩ දීල හින්ද කියල. මෙහෙම කලොත් අපිට මෙහෙම දෙකට මුණ දෙන්න තියෙනවා කියල හිතන්නේ නැහැ... ඔහේ කරනවා.... යන්නම් වාලේ රට යනවා (හොරට passport හදාගෙන, සල්ලිත් වියදම් කරගෙන.... පවුල් පිටින් ඇත ඇරලා උනත්....) එන්නේ ගොඩක් වෙලාවට හිස් අතින්.. එක්කෝ ඒ එවන දෙයක් උඩ පැනගෙන වියදම් කරන්න බලාගෙන අනිත් පව්ලේ මිනිස්සු පෙළ ගැහෙනවා.....

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා කියන කතාව ඇත්ත කියලා මටත් ‌මේ ඇන්ටි කියන දේවල් වලින් තේරෙනවා... කලින් මේ වගේම පවුලක ගෑණු ළමයෙක් ඉඳලා ඒ ළමයව බියුටි කල්චර් ක්ලාස් එකකට ඇරලා උගන්නන්න එහෙම හදනකොට කොල්ලෙක් එක්ක යාලුවෙලා.. ඒ වගකීම් ගන්න බැරි නිසා ආපහු ගෙදර ඇරලා... ඒ කතාවත් ඔය ඔයා කියපු කතාව වගේම තමයි...

      අනිත් එක ලෝයලිටි කතාව... ගොඩක් දුරට ඇත්ත... ඒක තමයි මෙයාලගේ තියෙන ලොකුම අඩුපාඩුව මං හිතන්නෙ...

      Delete
  6. ඇන්ටි ගෙ මට්ටමින් බලල එහෙම කිව්වට ඒ පැතිවල කරක් ගහල බැලුවම තමයි ඒ මිනිස්සු ජිවත් වෙන්නෙ කොහොමද කියල තේරුම් යන්නෙ.හැබැයි ඉතින් හම්බ කරන එකෙන් 99%ක් පිරිමි සහ සමහර ගැහැනුත් බොනව.බීම තමයි ගොඩක් දුරට හෙනේ.
    දැන් තොන්ඩ ගෙ සීයා තොන්ඩ ඉදල වතු කම්කරු සංගමයට කියල හම්බකරන පඩියෙන් ගානකටත් කෙලිනව.ඒ සල්ලි වලින් විස්කි බිබී තමිල්නාඩු ගිහින් සුර සැප විදිනව.වතු කම්කරුවන්ට කරන මගුලක් නැහැ.
    සීයා තොන්ඩ ඒ දවස් වල බිව්වෙත් දාහ පාලොස් දාහෙ විස්කි.
    මුනියන්ඩිගෙනුත් පොඩ්ඩක් අහල බලන්නකො.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි දන්නවද මුණුපුරා තොන්ඩා බොන විස්කි කීයයිද කියල...සීයට වඩා ගොඩක් දියුණුයි

      Delete
    2. සීය අන්තිම කාලෙ බීපු විස්කි විසි පන්දාහක් කියල ඇහැව්වට මුනුඹුරා ගැන දන්නෙ නැහැ හැලප.
      ලකාවට යන්නෙ නිවාඩුවකට ද?

      Delete
    3. මුණියන්ඩි කියන විදියට මේ දවස්වල ගොඩක් පැති වල නාය යෑම් නිසා කරදරලු... වෙන්න පුළුවන්.. පහුගිය ටිකේ දැඟළුවා ගෙදරට අලුතින් කුස්සියක් හදන්න.. හැබැයි ඒකට මුණීයන්ඩිට තියෙන උවමනාව එයාගේ ගෙදර අනිත් අයට නෑ... ඒ අය කරන්‌නේ යවන සල්ලි ටින වියදම් කරලා ආයිත් සල්ලි ඉල්ලලා එවන එක... ඒ වැඩ වලට මෙයාම යන්න ඕනේ.. මං පේන විදියට කොළඹ කාලයක් ඉඳලා මුණීයන්ඩිට තේරෙනවා ගොඩ එන්න ඕනේ කියන එක.. හැබැයි අර කට්ටියට තේරෙන්නේ නෑ...

      Delete
    4. ගෙදර ගිහින් එන්න යනව කෙන්ජි පොඩි නිවාඩුවකට

      Delete
  7. හිරු දන්නවද බොම්බායෙ මේ විදිහට ජීවත්වෙන මිනිස්සු සංබ්‍යාව මුලු ජනගහනයෙන් සීයට හැත්තෑවක්. ජනගහණය මිලියන 21/22ක් වෙනවා.. ඉතින් අපෙ රටේ ඉන්නෙ ඒකෙන් ලක්ශෙන් පංගුවක්නෙ.. මේ මිනිස්සුන්ගෙ ජීවන රටාව වෙනස් කරන්න අමාරුයි ගෙවල ආණ්ඩුවෙන් හදලා ඒවායෙ පදිංචි කරවුවාම එවුවා කුලියට දීල ආයිත් මුඩුක්කුවලට රිංහනවාලු. ඒ මොකද කුඩු වෙලඳාම ගණිකාවෘත්තිය වගෙ ජීවන මාර්ග තියෙන්නෙ මුඩුක්කු ආශ්‍රිතව හින්දා.

    ReplyDelete
    Replies
    1. කුඩු වෙළඳාම, ගණිකා වෘත්තිය තියෙන්නේ මුඩුක්කුවල විතරක් නෙමෙයි කොළඹ කුරුඳුවත්තෙත් තියෙනවා. ෆයිව් ස්ටාර් හෝලට්වලත් තියෙනවා. එහෙම බිස්නස් කලා නම් මෙතන ඉන්න ඕන නෑනේ. අනිත් තැන් වල වගේම ඒවා මෙතනත් තියෙනවා...

      Delete
    2. සරත් අයියා කියන එකේ ඇත්තක් නැතුව නෙවෙයි මාතලන්.. මතකද අර අවුරදු 6ක ළමයෙක් මරලා ඇලක දාලා තිබ්බා ළඟදි.. අන්න ඒ කේස් එක වෙලාවේ මුණීයන්ඩිත් මාත් එක්ක කිව්වේ ජයට ඔය රස්සා දෙකම කෙරෙනවා කියලා ඔය පැති වල.. හැමෝම නෙවෙයි... හැබැයි ඔය ලොකු ලොකු දේශපාලක සහ මුදලාලිලත් ඔය වගේ හොර වැඩ කරගන්නේ මේ පැති හරහා කියන එක... මුඩුක්කු කවර් එකක් කරගෙන එයාලගේ වැඩ කරගන්නවා කියන එක ඒ මිනිස්සුත් දන්නවා....

      Delete
    3. කුඩු ගහන උන් විකුණන උන් දෙගොල්ලම, රෝයල් පාක්, ට්‍රිලියම් ලක්ෂරිවලත් ඉන්නවා. ඒ වගේම ගණිකාවොත් ඉන්නවා. දැන් වාස ගුණවරධන උන්නේ මුඩුක්කුවකද?

      Delete
  8. මේක මහා බරපතල කතාවක් හිරු .ජීවන මට්ටම් සහ ආකල්පමය ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ...උදාහරනෙකට අපි හැම වෙලේම උත්සාහ කරන්නේ ජීවන මට්ටම සහ වටපිටාව ඉහළ දාගන්න..විභාග පිට විභාග , අලුත් අලුත් දේවල් වලට අත ගහනවා , මුදල් එන දේවල් ගැන සැළසුම් හදවනවා , අලුත්ම අලුත් වාහන ගන්නවා , ලස්සන ගෑණු පස්සේ යනවා , ඉහළම තැන් වලින් කෑම කනවා ( ඒත් තියෙන්නේ බෝංචි ඇට දෙකයි සලාද කොලයයි ) , බොරුවට හායි බායි කියනවා ...අපේ ජීවිත ගෙවෙන්නේ ඔහොම ...

    ඇත්තටම ඕවා ඕනෙද මිනිහෙක්ට ...? උත්තරේ විදිහට " නැහැ " කියලා කිව්වත් ඕවා නොකර අපිට ජීවත් වෙන්න පුලුවන්ද ..? අපි ජීවත් වෙන වටපිටවේදී මේ සියල්ල අවශ්‍යයි..කව්රු හරි "ඕවා මුකුත් අවශ්‍ය නැහැයි " කියනවනම් ඒක බොරුවක්...

    දැන දැනත් අපි මේ බොරුවේ ජීවත් වෙනවා...

    _______________________________________________

    මුනියන්ඩිලා වගේ අයත් අපි වගේම රාමුවක ජීවත් වෙන්නේ..ඒ අයගේ රාමුව තුලදී , ඒ අය හරි...ප්‍රශ්නේ තියෙන්නේ මේ රාමු දෙක අහසට පොළොව වගේ..

    වෙලාවකට අපිට හිතෙනවා " අනේ අර මිනිස්සු හරි පව් , ජීවිත සරළයි " කියලා..

    ඒ මිනිස්සු අපි ගැන හිතවා " අනේ අර මහත්තුරු දිව්‍ය කුමාරවරු වගේ , සුර සැප විඳිනවා " කියලා...


    අනේ මන්දා අපි දෙගොල්ල කොහේ ඉන්නවද කියලා..කෙසේ නමුත් මම නම් , මම ගෙවන ජීවන රාමුව වෙනස් කරන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. හා.. ඔය කියලා තියෙන්නේ.... මං මුකුත් කියන්න ඕනේ නෑ... හි හි

      Delete
  9. හිරු.. ඔයාලා තාම මේ ළෝකේ ගැන තියා. තමන් ජීවත් වන අවට පරිසරයවත් නොදන්න පොඩි ළමයි. මේ මිනිස්සු මේ විදියට ඉන්න ගොඩාක් හේතු තියෙනවා. නමුත් අපේ මිනිස්සු ඒ කිසි දෙයක් දන්නෙ නෑ.

    දවසක් අපේ ඔෆීස් එකේ කෑල්ලක් ඇහුවා.. අනේ බටර් ටිකක් නැතුව පාන් කන්නේ කොහොමද කියලා.. මම විහිළුවට කිව්වා ඇයි මාගරින් තියෙන්නේ කියලා.. ඒකී කියාපි.. ඊයා ඒවා තියෙන්නේ උයන්න නේ.. පාන් වල ගානවද බටර් කියලා.. ඒ කෙල්ල බොරු නෙමෙයි කිව්වේ.. සහතික ඇත්ත.. ඔයාලා පොඩ්ඩක් ඊට දියුණුයි...

    ReplyDelete
    Replies
    1. මොනවා උනත් හොඳ මාතෘකාවක් ගැන ලිවීම පිළිබඳව නම් හිරුට ස්තූති කරන්න ඕන. ඇත්තටම මේ දේවල් මිනිස්සු සාඛච්චා කරන්න ඕන දේවල්...

      Delete
    2. පාන් වල ගානවද බටර් කියලා>>>පාන් වල ගානවද මාගරින් කියලා

      මුද්‍රණ දෝෂයක් , ඔන්න හැදුවා..
      __________________________________________________

      මෙතන ප්‍රශ්නේ මාතලන් හැමදාම මුඩුක්කුවක් ලඟින් යන මනුස්සයට ගාණක් නැහැ ඔය ජීවිත ගැන..දැන් අපිට හිඟන්නෙක් දැක්කා කියලා ගාණක් තියෙනවද රුපියලක් දාල මාරු වෙනවා මිසක්..

      ජීවිතේ පළමු වතාවට හිඟන්නෙක් දැක්ක මනුස්සයෙක්ට කොහොම වේවිද දැනෙන ප්‍රෙෂර් එක පහත ලිස්ට් එක එක්ක..

      01.කන්න කෑමක් නැහැ
      02.ඉන්න හිටින්න තැනක් නැහැ
      03.බලාගන්න කෙනෙක් නැහැ
      04.ලෙඩකට වත් බෙහෙතක් දෙන්න කෙනෙක් නැහැ
      05.අද කෑවොත් හෙට ෂුවර් නැහැ
      06.හැමෝගෙන්ම නිග්‍රහ , ගෙරවුම්


      ( දැන් ඉන්න මොඩ් හිඟන්නෝ ගැන නෙවේ කියන්නේ )


      දැකලා දැකලම අපිට ගාණක් නැහැනේ හිඟන්නෙක්ගෙ ජීවිතේ ගැන...ඉතින් අපි අතින් ලිය වෙන්නෙත් නැහැ ඒ මිනිස්සු ගැන...ඔහේ සාමන්‍යකරණීය වෙලා ලිස්ට් එකම...

      කොහොම හරි අන්තිමට හිඟන්නෝ පාරෙමයි..අපි රුපියලක් දාල මාරු වෙනවා..අපි දෙගොල්ලොම හිටපු තැනමයි..හිඟන්නෙක් වෙනුවෙන් යමක් වෙනවා නම් වෙන්නේ අපේ අතින් නෙවේ , ඒ අද්දැකීමට අලුත් කෙනෙක්ගේ අතිනුයි..

      මුඩුක්කු ජීවිත , පැල් පත් ජීවිත , ලයින් ජීවිත , බජාර් ජීවිත , බසාර් ජීවිත සියල්ල සඳහා මේක පොදුයි...ඔය ජීවිත වලට පුරුදු අපි අතින් වචනෙක දෙයක් වෙන්නේ නැහැ ඒ මිනිස්සුන්ගේ දුක වෙනුවෙන්..යමක් උනොත් වෙන්නේ නවකයෙක්ගේ අතින් විතරයි...එහෙම බලද්දී මේක ගැන හිරු විතරයි ලිව්වේ..! අපෙත් කටවල් ඇරුණේ එතකොටනේ සබ්ජෙක්ට් එක දැනන් උන්නත්..

      Delete
    3. බටර් කතාව ගමුකෝ.. මං හිතන්නේ නෑ ඒකෙන් මනුස්සයෙක්ගේ ජීවන තත්වේ හරියට මනින්න පුළුවන් කියලා.. ඒක ආහාර පුරුද්දක් විතරයි.. ඔන්න අපේ මහත්තය‌ට ජෑම් ගාලා පාන් කන්නනම් ඒකට බටර් ටිකකුත් ගාන්න ඕනේ... මට ජෑම් සහ බටර් කියන්නේ කොහෙත්ම එකට කන්න පුලුවන් ජාති දෙකක් නෙවෙයි... එයාට ජෑම් ටිකයි බටර් ටිකයි පිඟානට දාලා පාන් පෙත්ත අතට දුන්නම ඇති.. මට කවදාවත් එහෙම කන්න හිතෙන්නේ නෑ... එකපාරක් හෝම් සයන්ස් වලට ඔම්ලට් එකකට බඩු ගේන්න කිව්වම මං තක්කාලි අරන් ගියේ නෑ.. අපේ ටීචර් ඇහුවා තක්කාලි ටිකක්වත් දාන්නේ නැතුව කොහොමද කියලා... මං ඇහුවා ඊයා තක්කාලි දාලා ඔම්ලට් කන්නේ කොහොමද කියලා.... මට තක්කාලි පේන්න බෑ ඉස්සර... ඔයා කියන විදියට මේ කෙනා කියන්නේ එයාගේ පුරුද්දක් ගැන විතරයි කියලා මට හිතෙන්‌නේ නම්...

      //මේ මිනිස්සු මේ විදියට ඉන්න ගොඩාක් හේතු තියෙනවා. //

      මම දන්නවා... ඒත් ඉස්සර හිතං හිටිය විදියට ඒකට එකම හේතුව දුප්පත්කම කියන එක නම් මට මේ වෙනකොට පිළිගන්න බෑ...

      Delete
  10. කලින් පෝස්ට් එකේ කමෙන්ට් වලට උත්තර නැතිකොට මාත්කේන්තියෙන් තමා හිටියෙ.

    ඔය මුනියන්ඩි කියන්නෙ පිරිමි කෙනෙක්ද..? මම හිතුවෙ ගෑණු කෙනෙක් කියල.

    ඔය සංවේදීකාරනා කොතෙකුත් තියෙනවද...! ජීවිතය කියන්නෙ ඔහොම තමා..විවිධයි..අසමයි...!

    අපි දුර ගමකට ගියාම පාරවල් දුශ්කර උනාම..බඩුමුට්‍ටුවක් ගන්න කඩයක් නැති උනාම.......අපෝ..මහ දුශ්කර පලාත කියනව...ඔවුන් මෙහේ ආවම...අපෝ කනක් ඇහිල ඉන්න බෑ..ඝොෂාව..හරි කලබල ජීවිත...පය ගහන්න නිස්කලංක පොලොවක් නෑ...ඔවුන් කියනව..
    මට හිතෙන්නෙ මේ දේට වැඩිය දෙයක් ඕතැන නෑ..! තමන්ගෙ වපසරිය..තුල තමන් රාජිකයි.
    ඕව වැඩිය හිතෙනවනම් බණ දහම් පොතක් කියවන්න..!

    ReplyDelete
    Replies
    1. පිරිමි කෙනෙක් වීයෝ...

      මම කලින් හිටියේ පාදුක්කෙනේ වී.. ඉතිං බඩුවක් මුට්ටුවක් ගන්න ටවුමට යන්න ඕනේ.. ඒත් අපි එහෙම ගියේ නෑ... ඔන්න පුංචිම කාලේ නං අම්මා සල්ලි අතට දීලා ඕනේ කරන බඩු ටිකත් කොලේක ලියලා අතට දෙනවා බයිසිකලේ ගිහින් අරන් එන්න කියලා... ඒත් පහු වෙනකොට සතියට ඇතිවෙන්න බඩු එකපාර ගේනවා ගෙදට්ට.. දැන් මට ඒක පුරුදු වෙලා.. මෙහෙදි ගේ ඉස්සරහා කඩයක් තිබ්බත් මං ඒකට යන්නේ නෑ හැමතිස්සෙම...

      මට හැමතිස්සෙම මේ දෙක සංසන්දනය වෙනවා... පාදුක්කයි මහරගමයි කිව්වම මහා ලොකු දුරක් නොවුනට ඔය කියන දියුණුව අතින් ගත්තම පාදුක්ක තාමත් ගොඩක් ග්‍රාමීයයි.. දැනුයි ප්‍රධාන බැංකු ශාඛා පවා ඒ පැත්තට යන්නේ.. සුපර් මාකට් නම් තාමත් නෑ... පාදුක්කට එහා ඉංගිරිය පැත්තට වෙන්න ඊටත් වඩා ග්‍රාමීයයි... එයාට හැමදේමට එන්න තියෙන්නේ පාදුක්ක තමයි..

      මට නම් ඔය තුනේම දුර ඇරුනාම මහා ලොකු වෙනසක් දැනෙන්නේ නෑ.. හැබැයි අපේ මහත්තයට නම් ලොකු වෙනසක් දැනෙනවලු ඒ පැත්ත... එයා පදිංචියට පවා හොයන්නේ නුගේගොඩ, මහරගමට කිට්ටුවෙන් තැනක්...

      ඕකෙන් තේරෙන්නේ මෙතන තියෙන්නේ ඉන්න තැනට අනුව හැඩගැහීමේ හැකියාව ගැන ප්‍රශ්නයක්ද මන්දා වීයෝ... හි හි...

      Delete
  11. මේ වගේ මිනිසුන් ගැන දයාන්විතව, සංවේදීව ලස්සනට ලිව්වෙ ගෝර්කි කියල මට හිතෙනවා. ගෝර්කිට එහෙම ලියන්න පුළුවන් උණේ එයා ඒ මිනිස්සු එක්කම ජිවත් උණ නිසා... ඒ අයගෙම කෙනෙක් විදියට ජීවිත විනිවිද දැකපු නිසා...

    ReplyDelete
    Replies
    1. අපෙත් ලිව්වා... සයිමන් නවගත්තේගම...

      Delete
    2. නවගත්තේගම ටච් කලේ-ආවරණය කලේ එක පැත්තක්. (උඹට ඒ පැත්ත තමයි මතක් වෙන්නෙ:)

      Delete
    3. තරෑ කියන කතන්දරේ ඇත්ත.. ඒ අයගෙන් කෙනෙක් උනොත් කෙනෙක්ට දැනෙන දේ, පැත්තකට ඉදලා බලන කෙනෙක්ට දැනෙන්නේ නෑ... මොකද එතකොට අනිවාර්යයෙන්ම සංසන්දනයක් වෙන නිසා මං හිතන්නේ... හැබැයි ඒ අයගේ ප්‍රශ්න තේරුම් ගන්න නම් එතනින් පිට ඉඳලා බලන්නම ඕනේ.. නැත්තම් පේන්නේ එක පැත්තක් විතරයි...

      Delete
  12. අපිට හිතා ගන්නවත් බැරි විදිහට මිනිස්සු ජීවත් වෙනවා.. එතකොට අපි කන කටු නතින් කියලා හිතෙනවා. වලෙන් ගොඩ එන්න සමහරුනට උවමනාවක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි පැතුම්.. සමහර විට එයාලා ඉන්නේ වලක කියලා තේරෙන්නෙත් නැතුව ඇති කියලා මට හිතනෙවා...

      Delete
  13. mewani lipiyak livima gana esthuthi.me minissu mehema enne eyalage kamaththen.salli hamba karata winodeta palamu thana.kawa biwwa ewarai.enna thana gana hithanne na.ethin noyek minissunge ona epa kam etu kara ganna me minissu lawwa kara gannawa.

    ReplyDelete
    Replies
    1. මේ ගැන මට හිතෙන දේවල් වලින් එකක් විතරයි ගයනි ඔය...

      Delete
  14. මම දන්න විදියට හිරූ ඔය රේල් පාර දෙපැත්තෙ ඉන්න ජනතාවට ගෙවල් දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් තියෙනව.. " සමහරුන්ට විතරයි... ඒ කියන්නෙ බහුතරයකට.."

    මම මේක දැන ගත්තෙ මාත් ඔය ට්‍රේන් එකේ උදේ හවා අවුරුදු 15 ක් විතර බඩගෑව.. මගෙත් එක්ක යනව කැලණිවැලි දුමරිය සmaaගමේ සභාපති... ඔහු තමා මට කිවුවෙ මේ ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට ගෙවල් 02 ක් විතර තියෙනව කියල...

    ඔහු කියන විදියට රේල් පාර පලල් කරන කොට ඒ අවට කැඩෙන ගෙවල් වලට වෙන කොහේ හරි ගෙවල් දෙනවලු...එහෙම නැත්තම් ෆ්ලැට් දෙනවලු... ඒක කුලියට දීල නැත්තම් විකුණල ආපහු කොහේ හරි රේල් පාරක් අල්ල ගන්නවලු...

    ඔයා හොදට බලන්න හිරූ ඔය කැලණි පාර ලොකු කරන්න යනව.. දැන් ගෙවල් වලට අංක ගහගෙන ගිහිල්ල තියෙනව... ඔය කට්ටිය තමා දෙමටගොඩ ගහන ෆැලැට් වලට දාන්නෙ... ඔය පාර හදල ඉවර උනාම ආපහු උන් එනව එතනට..

    ඔයා බලන්න මේ ලගද ඒ කියන්නෙ මාස 04 කට පෙර කෝට්ටෙ ස්ටේශන් එක ලගට ආව සෙට් එකක්... ගෙයක් හදාගන්න.... බලන්න උන් තාම ඉන්නවා... ගෙවල් හදා ගන්න....


    මම දන්නෙ නෑ ඔවුන්ගෙ ජීවන තත්වය...

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාව ඇත්ත කියලා මුණීයන්ඩි මාත් එක්ක කියපු කතාවලින්ම මට තේරිලා තියෙන්නේ මලයෝ... ඔය සමහරුන් හොඳ කඩ අයිතිකාරයෝ.. මුදලාලිලා.. හැබැයි පවුලේ අනිත් අය ගෙවල් වල වැඩකාරකම් කරනවා.. ඒක කරන්නේ සල්ලි නැතිකමට නෙවෙයි... පුරුදු රැකියාව නිසා... ( හැබැයි පරම්පාරා ගනං ඒ පවුල්වල අය වැඩකාරකම් කරපු වලව්කාර කස්ටියටත් මේ අය මේ තැන් වලින් ගොඩ එනවට අකමැත්තක් තියෙනවා... ඒකත් මට මේ වෙද්දි තේරිලා තියෙන්නේ..)

      Delete
  15. ඇයි ඔය මිනිස්සු ඔහොම ඉන්නේ කියන එක මමත් කල්පනා කරනවා. හැබැයි කිව්වත් වගේ ඒ මිනිස්සු ගෙවල් ලැබුනත් ඒව කුලියට දීලා ආපහු එතනටම යන මානසිකත්වයකින්තමයි ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක එක පැත්තක් විතරයි ඩූඩ් අයියේ...

      Delete
  16. හිරු කියනවා වගේ, ඊටත් වඩා අඩු ආදායම් ලබන මිනිස්සු, ඊට වඩා පිළිවෙලකට ජිවත් වෙද්දි, මේ මිනිස්සුන්ට ඉන්න විදිහෙන් වෙනස් වෙන්න වුවමනාවක් පෙනෙන්නෙ නැහැ. කට ඇරියොත් දුක් කරදර අඩුපාඩුම කිව්වත්, එහෙමයි කියල කසාද බඳින එක, ළමයි මහ ගොඩක් හදන එක එහෙම මග අරින්නෙත් නෑනෙ. ගෙවල් දුන්නට ඒවට යන්න කැමතිත් නෑ. එක්කො තමන්ගෙ රටාව වෙනස් කරන්න අකමැතියි. වෙනස් වීම කියන දේ හුඟක් අයට භයානක අදහසක්නෙ. දැන් ඔයිට වඩා ටිකක් පිළිවෙලට ජිවත් වෙන අය වුණත්, ළමයෙක් පිටරට හැදෙනවට අකමැතියි, "නරක් වෙනවා" කියලා. ඒ වගේ මේගොල්ලොත් ඔය උප සංස්කෘතියට හුරු වෙලා, එයින් වෙනස් වෙන්න අකමැතියි කියලා මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක තමයි මට තේරුම් ගන්නම බැරි වෙලා තිබ්බේ.. මෙයාලත් අපිත් එක්කම ඉගෙන ගත්ත අය.. ඉතිං ඇයි මෙයාලට මේ තත්වෙන ගොඩ එන්න අපිට තියෙන උවමනාව නැත්තේ කියන එක.. දැන් තේරෙන්නේ හීනමානය එක්ක එකතුවෙච්ච මේ උප සංස්කෘතියෙන් ගැලවෙන්න එයාලට මානසිකත්වයක් නෑ කියන එක තමයි මට තේරෙන්නේ...

      Delete
  17. කතාව කියවලා දාන්න හිටපු ටික කොමෙන්ට් කියෙව්වට පස්සේ අමතක උනා. ලොකු සංවාදයක් ගිහින්නේ මෙතන

    ReplyDelete
    Replies
    1. ඒක හින්දම තමයි කලින් එකට රිප්ලයි නොදා මේ පොස්ට් එකම දැම්මෙ මාත්.. හි හි

      Delete
  18. ලිපියයි කමෙන්ට් ටිකයි කියෙව්වට පස්සේ මොනවද කියන්නේ කියලා කල්පනා කරන්නේ . මිනිස්සුන්ට මොනවා හරි හේතුවක් ඇති එහෙම ඉන්න . මුලිකවම දුප්පත්කම සහ නුගත්කම . කාලෙකදී අපි හිතුවා සමාජවාදය තමයි මේකට විසඳුම .එහෙම වුනාම හැමෝම සමාන වෙලා සුරලොවක් වෙයි කියලා . මන් මෙහෙ එනකම්ම හිතන් හිටියේ එහෙම රටවල අධ්‍යාපනය සහ සෞඛ්‍ය වත් නිකන් ඇති කියලා ..ම්හු ..ඒ අතින් අපේ රටේ අඩුගානේ ප්‍රාථමික අධ්‍යාපනයවත් ළමයෙක්ට ඉබේම වගේ ලැබෙනවා .

    කුලසේන ෆොන්සේකාගේ පොත් වල , පාලම යට වගේ නිර්මාණ වල මේ ජිවිත ගැන යම් කතාබහක් කෙරෙනවා . තව එකක් උවමනාව තිබ්බත් ඔය පරිසරයෙන් ගැලවෙන්න හුඟක් අමාරුයි .

    අපේ ඉස්කෝලෙට ඔය කොයි විදිහේ පළාත් වලිනුත් ළමයි ආවා . හැව්ලොක් ටවුම පැත්තේ ඉසිපතනේ කිට්ටුව තිබුණ ටිකක් ඔහොම හරියක් . ඒ පැත්තේ ඉඳන් ළමයෙක් ආවා අපේ පන්තියට . එයාගේ තාත්තා නැති වෙලා අපි මළගෙදර ගියා ..අය්යලා මහා ගොඩක් හිටියා . ළමයින්ට උගන්නන්න ටිකක් හරි උනන්දුව තියෙන්න ඇතිනේ එහෙම ඉස්කෝලේ එව්වේ . එවැනි තැනකින් ගැලවෙන්න ලොකු වාසනාවක් තියෙන්න ඕන .

    ගෙවල් දුන්නත් යන්නේ නැහැ කියන කතාව මාත් අහල තියෙනව . නමුත් ආයේ එහෙම එන එක නවත්තන්නත් එච්චර ලොකු උවමනාවක් නැතුව ඇති. මොකද '' මට මතක නැහැ '' වගේ දේශපාලකයින්ට තමන්ගේ අවශ්‍යතාවලට ඔහොම පරිසරයක් ඕන . එකක් ඒගොල්ලන්ගේ පැවැත්මට ..චන්දේ කාලෙට වඩා ගෙන පින්තුර ගන්න හොටු බේරෙන ළමයි ...අමාරුවෙන් දෙකට නැමිලා රිංගලා පනාව දාල පින්තුර ගන්න පැල්පත් ...හාල් තුනපහ මල්ලක් අතට දීලා වන්දවාගන්න කෙට්ටු මිනිස්සු ..ඒ මිනිස්සු අතර තමයි අර බොඩි ෆිට් ෂර්ට් එක ඇඳලා ගන්න පින්තුරේ වඩා කැපිලා පේන්නේ ..නැද්ද .

    එහෙම නැතුව නියම නගර සංවර්ධනයක් ඕන නම් කරුණු කාරනා වෙනස් වෙයි .

    ඉස්කෝලත් එහෙම තමයි .කොළඹ මැද්දේ තියෙනවා හිතාගන්න බැරි තරමේ ඉස්කෝල . කීපවතාවක් බ්ලුමැන්ඩල් පාසලට ගියා යම් කාර්යයක් සඳහා ..අන්න දුෂ්කර ඉස්කෝල .

    ReplyDelete
    Replies
    1. බින්දිටත් මේවා දැකලම තේරිලා කියලා මට හිතෙන්නේ... මෙතන යටින් දේශපාලනික ගිනි අඟුරු තියෙනවා කියන එක මේ මිනිස්සුත් දන්නවා බින්දි.. ඒත් ඒකෙන් ගැලවෙන්නේ කොහොමද, ඒ අයත් ආයිමත් ඒ වලටම වැටිලා ඒ මනසිකත්වයේමනේ ජීවත් වෙන්නේ...

      Delete
  19. වතු කම්කරුවො ඉන්නවා මුලු පවුලම වත්තෙ වැඩකරලා මාසෙකට රුපියල් ලක්සෙකට වඩා සල්ලි හම්බ කරන . සමහරු මුදල් පරිපාලනය නිසියාකාරව කරලා ත්‍රීවීල් එකක් හෙම ගෙවන්න අර ගත්තු අය , තව සමහරු ඉන්නවා නොකා නොබී ඉතුරු කරන අය හැබැයි ඒ සල්ලි මේ ලෝකෙ වැඩකට පාවිච්චියට ගන්නෙ නෑ.

    ReplyDelete
  20. අනේ මන්දා හිරු අක්කා ...මේ පැතිවල කෝච්චි නැති නිසා ඔහොම අය නම් දකින්න නැහැ ..නමුත් ලැයින් කාමර වල ඉන්න වතු ජනතාව නම් ඉන්නවා ...ඒ මිනිස්සුත් ඔය වගේම තමයි .සත්තු ඇති කරනවා ,කුලී වැඩ කරනවා ...වාහනත් තියනවා .. හැබැයි ලැයින් කාමරවලින් මිදෙන්නේ නෑ ..ඒ මිනිස්සුන්ගේ ජීවන රටාව ඒ මිනිස්සුන්ගේ ජීවිතවලට කා වැදිලා ඉවරයි . එතනින් එහා ලෝකෙට පය තියන්න ඒ අයගේ ඔලු සුද්ද කරන්න කවුරුත් නෑ .දෙමව්පියෝ වුනත් කන්න අඳින්න තියනවනම් ඒක තමයි ජීවිතේ කියල හිතන්නේ .එතනින් එහාට මුකුත් නෑ ..ඒවා කාට කවදා කොහොම වෙනස් කරන්න පුළුවන් වේවිද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්ත රෙහානි.. මෙයාලගේ මානසිකත්වය හීනමානයකුත් එක්ක මිශ්‍ර වෙලා තියෙන්නේ අපිට හිතාගන්නවත් බැරි විදියට...

      Delete
  21. දැන් නම් අපේ හිරුවා බ්ලොග් චක්‍රවර්තී තත්වයට ඇවිල්ලා කියලා මට හිතෙනවා. හෝව් හෝව්. ලියන ඒවා හන්දම නෙවෙයි. අපේ කමෙන්ට් වලට රිප්ලයි නොකරන නිසා මෑතකදි ඉඳලා.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ... කලින් එකට රිප්ලයි නොකර හිටියේ හේතුවක් ඇතුව... මේ පොස්ට් එක ලිව්වේ ඒකයි... නැත්තම් උත්තර බඳින්න ගියාම පෝස්ට් එක නොලිය ඉන්න එක හොඳයි කියලා හිතෙන නිසා...

      අනිත් ඒවට නං මං ගානට උත්තර බැඳලා තියෙනවා හරිද.. එන්න එපා අභූත චෝදනා කරන්න.... හි හි...

      Delete
    2. තොලි මට නං එහෙම කින්න්නෑ මොකද මං සට සට ගාලා උත්තර දෙන එකා නේ.. හැක් හැක්

      Delete
  22. මේක සිතීමේ ක්‍රමයේ අවුලක්.... එවගේම අධ්‍යාපන ක්‍රමයත් මේකට කොහෙන් හරි ලොකුවට බල පානවා. ලැයිං කාමර වගේම මුඩුක්කු, සහ නවීකරණය වෙන මුඩුක්කු...හැමදාම මාසෙට සැරයක්වත් අනිත් කොණේ ඉඳන් මේ කොණට කෝච්චියෙ එද්දි යද්දි... මේ ගෙවල් පේළි පසු කරද්දි (කැළණි ගඟෙන් එපිට සහ මෙපිට...) මටත් ඔය දේම හිතුනා, සහස්‍ර පුරයෙන් ගෙවල් දුන්නත් එයාලා ආයෙත් ඒවා කුළියට දිලා මෙහෙ එන බවක් කියැවුනේ. සමහර මුඩුක්කු ගෙවල් වල ලෑලි පේළි , දැන් කොන්ක්‍රීට් සිමෙන්ති ගෙවල් බවට පරිවර්ථනය වෙලා.... ඉතින් ඒවායෙන් නම් කොහොමත් මේ අයව පිටමං කරන්න බැරි වෙන හැඩයි. බොහොම වෙලාවට එයාලගේ ආදායම් මාර්ගයත් ඒ ජීවත් වන පරිසරය හා බැඳී තියෙනකොට , (මත් කුඩු, මත් පැන්, ගණිකා ) ඒ අයට ඒ පරිසරය කොච්චර අප්‍රසන්න වුනත් අත් අරින්න බෑ. ඒවගේම ඒකට පොඩි කාලෙ ඉඳන් මානසිකත්වයක් හැදෙන්නෙත් නෑ. කොච්චර වුනත් පුරුද්ද වෙනස් කරන්න බැරි අය ඉන්නවා. හිරු, ඔයාගේ කතාව කියවලා මට හිතුනෙත් ඕකමයි.

    ReplyDelete
  23. ඕවා තේරෙන්නෑ මේ පොඩි උන්ට! :/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

  24. මේක උග්‍ර සමාජ ගැටලුවක්.ඇයි මේ පැල්පත් වාසින් ඉන්න තැන වෙනස් කරන්න අකමැති කියක එක. මූලිකම කාරනය තමයි කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශ විම, ඉන්න තියෙන රජයේ අනවසර බිමක ඉදිවූ පැග්ලත හැරෙන්න වෙනත් ස්තීර දේපලක් කොමැති නිම.
    අනෙක මේ සමාජ සංස්කෘතිය තුළ අතිරේක රැකියාවන් ඇතිවිම. විශේෂයෙන්ම නීති විරෝධී ඒවා.
    තුන්වන කාරණය මේසඳහා නිල නොවන මට්ටමින් දේශපාලන රැකවරණය හිමිවිම. ජන්ද පදනමට හානි වේ යැයි බියෙන් ඔවුන් සිටින තැන්වලින් ඉවත් නොකිරිම.
    මෙන්න මේවා තමයි මූලික ගැටලු.

    ReplyDelete
  25. මිනිස්සුන්ගේ හැටි ඔහොමයිනේ අක්කේ.. සමහරු කාලයක් තිස්සේ හිටිය තැන් දාලා යන්න අකමැති හන්දා මෙහෙමම ඉන්නවා.. ඒකනේ කාලයක් තිස්සේ මේ පැල්පත් අයින් කරන්න හැදුවත් බැරි වෙලා තියෙන්නේ..

    ReplyDelete
  26. මේවගේ ජීවත් වෙන මිනිස්සු අපිට වඩා හම්බ කරනවා කියන එකනම් ඇත්ත.. ඒත් අර පුරුදු මානසිකත්වයෙන්, පරිසරයෙන් මිදෙන්න කැමති නෑ.එහෙමට කියල ඉතුරු කරන අයත් නෙමෙයි.. මොනවා කරනවද මන්ද..

    ReplyDelete
  27. ප්‍රමාදයි වගේහිතුනත් කමෙන්ට් එකක් දාන්න හිතුව. SilentSahan කියල තියන දේ එක්ක 100% එකඟයි. තමන් ඉන්න රාමුවෙන් එලියට යන්න හිතෙන අය හරි අඩුයි. හැබැයි ඉතින් එක රාමුවකින් එලියට යනව කියන්නේ තවත් රාමුවක් ඇතුලට යනව කියන එකම තමයි. මොන රාමුවක් අස්සෙ උනත් සන්තෝසෙන් සැනසීමෙන් ඉන්න පුළුවන් වීම තමා වඩා වැදගත් නමුත් කරන්න අමාරුත්. සමහර රාමු වල නම් මේක කොහෙත්ම කරන්න බෑ. මුණීයන්ඩිගෙ පවුලෙ අයට වගේම මුණීයන්ඩිටත් මේක සාමාන්‍ය දෙයක් වෙන්න ඕනි තවත් කෙනෙකුට මේක අමුතුයි වගේ පෙනුනට. මුණීයන්ඩි එයාගෙ පවුලෙ අයගෙන් තමන්ව බලන්න එයි කියල බලාපොරොත්තු නොවෙනවා වගේම එයාල එන්න ඕනි කියල ඒ මිනිස්සුන්ටත් හිතෙන්නෙ වත් නෑ වෙන්න පුළුවන්. අනික මුණීයන්ඩි කොහොමත් මේක බරක් දීල ගෙදරට කියන්නත් නැතුව ඇතිනෙ.

    කඳුකරේ නෙවෙයි කොළඹ මේ වගේ වත්තක ජීවිතේ ගැන ලියල තියන තවත් නවකතාවක් තමා අනුරසිරි හෙට්ටිගේ මහත්මයාගේ 'කළුවරයි පුරහඳ'. එයාලගෙ රැකියාවන්, දේශපාලන අතකොලු බවට පත්වීම වගේම ඒ හැම දෙයක්ම යටින් කියවෙන මනුස්සකම් ගැනත් මේකෙ තියෙනව. කියවන්න වටින පොතක්.

    අනික් කාරණේ තමයි ඉතින් නරකයි කියල පේන්න යමක් තිබුනොත්නෙ හොඳයි කියල දේකුත් තියෙන්නෙ. විවිධත්වය... කමෙන්ට් වලත් කියල තිබුනෙ.

    හොඳ ලිපියක් හිරු.

    ReplyDelete