සාමාන්‍යයෙන් ඉස්කෝලෙ යන කාලේ මං වැරදි කරලා දඬුවම් ලබපු ජාතියේ එකෙක් නෙවෙයි... එක්කෝ වැරදි කරන්නේ නෑ .. නැත්තම් කරන වැරදි අහුවෙන්නේ නෑ.. ඔය එක් එක ජාතියේ වැරදි තියෙනවානේ... ගෙදර වැඩ නොකරන එක.. පරක්කු වෙලා ඉස්කෝලෙ එන එක... ඉස්කෝලෙ කට් කරන එක... ගවුම කොට වෙන එක.. කොණ්ඩේ රිබන් නැතුව එන එක.. බෙල්ට් එකට කටු ගහන එක... හවුස් බැජ් එක නැතුව එන එක... පොත් ගෙදර දාලා එන එක... පීරියඩ් කට් කරන එක... හ්ම්ම්.. ඔච්චරයි වගේ මතක... තව තියෙනව මං හිතන්නේ... හි හි..
මං සාමාන්‍යයෙන් නොකරන වැරද්දක් කමයි ඉස්කෝලෙට පරක්කු වෙලා එන එක... කෝච්චිය පරක්කු උනාම ඒක අපේ වැරැද්දක් නෙවෙයි කියලා ටීචර්ලා අපිට කවදාවත් දඩුවම් දුන්නේ නෑ... අනිත් එක ඉතිං පරක්කු වෙනවා නං සෙට් එකක්ම පරක්කුයිනේ.. ගේට්ටුව ගාව ඔය කිව්ව වැරදි චෙක් කරන්න ඉන්න ශිෂ්‍ය නායිකාවොත් දන්නවා අපි සෙට් එක කෝච්චියේ එන්නේ කියලා.. ඉතිං බුදුන් වැඳලා ඉවරවෙනකම් ගේට්ටුව ගාව තියාගෙන ඉඳලා දඬුවම් නැතුවම අපිව පන්තියට යනවා...
ගේට්ටුව ගාවදි බලන්නේ ශිෂ්‍ය වාර්තා පොත තියෙනවද කියලා, හවුස් බැජ් එක තියෙනවද කියලා සහ ඔය කටු ගැහිලි අරවා මේවා යන්තම් උඩින් පල්ලෙන්.. අක්කලට ඕවා ඔක්කොම බලන්න බෑනේ.. ඔන්න ශිෂ්‍ය නායක වෙච්ච අලුත නම් පොඩ්ඩක් උවමනාවෙන් බලනවා.. ශිෂ්‍ය වාර්තා පොත බැලුවේ නම් මොන මඟුලකටද කියලා මං දන්නේ නෑ... එක එක කාලෙකට ඔය ගේට්ටුව ගාවදි බලන ඒවා වෙනස් වෙනවා... කාලයක් කෑම පෙට්ටිත් බැලුවා බත් කොලවල ඔතං එනවද කියලා... අපේ බෙල්ට් බකල් එකනේ බැජ් එක... යුනිෆොම් එකේ නීතිය බෙල්ට් එක ඉණට උඩින් තියෙන්න ඕනේ කියන එක.. අපේ උන් කට්ටක් ගහගෙන ඇවිත් ඉස්කෝලෙන් එලියෙදි ඕක පල්ලෙහාට වැටෙන්න හදාගන්නවා.. ඒ කාලේ විලාසිතාව ඉණ පල්ලෙහාට දාලා අඳින එක... ඒක හින්දා නීතියක් දාලා තිබ්බා බෙල්ට් එකට බොත්තමක් අල්ලන්න ඕනේ කියලා.. අපි ඊට වැඩිය කට්ටයි.. අපි කරන්නෙ බෙල්ට් එක බකල් එකේ රඳවනවා... ආයිත් ඕකට බොත්තම් ඕනැයැ.. හි හි... හවුස් බැජ් නීතිය නම් ආවේ මොන මංගල්ලෙටද කියලා මට මතක නෑ... හැබැයි ඒ නීතිය දැම්මට පස්සේ අපේ බැජ් වල ලොකුවට ගහලා තිබ්බ හවුස් වල නම් ටික නං අයින් කළා.. අහල පහල උන් ඕවට එක එක නම් දාගෙන හිටියේ... ඒක හින්දා වෙන්න ඇති... හි හි...
හැබැයි වැලන්ටයින් කාලෙට හොඳට චෙක් කරනවා.. පන්තිවලටත් පැන පැන... අපේ උන් අක්කලට වඩා කට්ටයි... අපේ අක්කලා කරන්නේ උන්ගේ තෑගියි ලියුමුයි අරවයි මේවයි ඔක්කොම 6 - 7 උන්ගේ බෑග් වලට දානවා... උන්ගේ බෑග් බලන්නේ නෑනේ... අපේ මැඩම් කවදාවත් 12-13 අක්කලගේ බෑග් චෙක් කරවන්නේ නෑ... ලොකු උන්ට කොහොමත් කොල්ලෝ ඉන්නවා කියලා මැඩම් දන්නවා වෙන්න ඇති.. වැඩිපුර බලන්නේ 8-11 තමයි...පොඩි උන් ගැන වැඩි සැලකිල්ලක් තිබ්බා.. උන්ව පරිස්සම් කරන්න එපැයි....
කියන්න ගියේ වෙන එකක්...
9 විතර ඉන්න කාලේ මං ගියේ වෑන් එකක... අපේ ඉස්කෝලෙ ළමයෙක්ගෙම තාත්ත කෙනෙක්ගේ.. ඒ පවුලෙ කට්ටියම අපි එක්ක යනවා.. රස්සාවල් වලට එහෙම.. ඉතිං හැමදාම මේ වෑන් එක පරක්කු වෙනවා... එක දවසක් ඉස්කෝලෙට යනකොට 9.30යි.. හැමදාම පරක්කු වෙලා දඬුවම් විඳලා අපිට ඇති වෙලා තිබ්බේ.. කෝච්චියෙ යනවා වගේ නිදහසට කරුණක් තිබ්බේ නෑ.. ඉතිං හැමදාම රැස්වීම් වලට ඉන්නයි, අතුගාන්නයි, ඊට පස්සේ පන්තියට ගිහින් ටීචර්ලගෙන් බැනුම් අහන්නයි... ඒක නිසා අපි කීප දෙනෙක් කිව්වා අද ඉස්කෝලෙ යන්න බෑ ආපහු ගෙදර යං කියලා... ( එතන ඉස්කෝල දෙක තුනක ළමයි හිටියා..) කතන්දරේ ගොඩක් දිග උනත් කියන්න තියෙන්නේ අපි ගෙදර ගියේ වෙනදා ගෙදර යන වෙලාවටම තමයි, ඉස්කෝලෙ ගියෙත් නෑ.. වෑන් එකේම හිටියා.. ඇත්තටම එදා උනේ බය වෙච්ච එක... 7.30ට පටන් ගන්න ඉස්කෝලෙට 9.30ට යන්න බය නැති ළමයා කවුද...
මං ඉතිං ගෙදර ගිහින් වෙනදා වගේම අම්මට හැමදේම කිව්වා.. අම්මා මට බැන්නෙ නෑ.. ඒක නිසා මං බය උනෙත් නෑ...
ඊළඟ දවසේ ඉස්කෝලෙට ගියාම ඉන්ටවල් එකට කලින් පීරියඩ් එකේදි මට ඔෆිස් එකෙන් පණිවිඩයක් ආවා.. ජීවිතේ පළවෙනි වතාවට එහෙම එකක් උනේ.. සාමාන්‍යයෙන් ශිෂ්‍ය නායකයෙක්, පන්ති නායකයෙක් නොවිච්ච එකෙක්ට ඔෆිස් එක කියන්නෙ හෙන භයානක තැනක්... මාත් එහෙම එකෙක්.. එතනට යද්දි අපේ තුන්දෙනාම එතන... ප්‍රින්සිපල් මැඩම් ( අපි කිව්වෙ එළිසබෙත් රැජින කියලා ආදරේට..තල්දෙන මැඩම්ව දැකලා තියෙන කෙනෙක් නම් දන්නවා ඇයි ඒ කියලා... හි හි) මාව අල්ලගෙන කලින් දවසේ විස්තර ඔක්කොම ඇහුවා... මං බය වෙලා හිටියට කරපු වැරැද්දෙ බරපතලකම දැනං හිටියේ නෑ... අඩුම ගානේ කරපු වැරද්ද මොකද්ද කියලාවත් මට හරියට තේරුමක් තිබ්බේ නෑ... මං වගේම තමයි අනිත් එකත්.. ( ඒ දෙන්නගෙන් එක්කෙනෙක් අර අන්කල්ගේ දුව... ) මං ඉතිං විස්තරේ කිව්වා... ඊට පස්සේ මැඩම් අපිට කිව්වේ “ මීට පස්සේ එහෙම බය වෙන්න එපා.. කීයට ඉස්කෝලෙට ආවත් අපි බාරගන්නවා... බය නැතුව මගේ ගාවට ඇවිත් මට හේතුව කියන්න... මීට පස්සේ මෙහෙම වැඩ කරන්නත් එපා... ” කියලා... අපිත් ඉතිං ඔලුව වනලා ආපහු පන්තියට ගියා... එතකොට තේරිච්ච හැටියට අපි කරපු වැරද්ද ඉස්කෝලෙට එන්නේ නැතුව හිටපු එක කියලා මං හිතං හිටියේ...
ගෙදර ගියාම අම්මා තමයි මට විස්තරේ කිව්වේ.. උෙද්ම මැඩම් අපේ ගෙදරට කතා කරලා... කලින් දවසේ අපි යුනිෆොම් එකෙන් ඉන්නවා දැකපු කෙනෙක් ඉස්කෝලෙට කතා කරලා කියලා... මැඩම් වෑන් එකේ නම්බර් එක අරගෙන, අපේ පන්ති හොයාගෙන, අපේ ගෙවල් වල නොම්බර් අරන් ගෙවල් වලට කතා කරලා,අම්මලට ඉස්කෝලෙට එන්න කියලා, වෑන් එකේ කට්ටියටත් එන්න කියලා ලොකු මෙහෙයුමක් ඒ වෙනකොටත් ඉස්කෝලෙන් කරලා... එදා මගේ බෙල්ල බේරුනේ මං ගෙදර ගිහින් අම්මට විස්තරේ කියලා තිබ්බ නිසා... කොහොමහරි කරපු වැරුද්දට අපිට නම් කිසිම දඬුවමක් දුන්නේ නැති උනාට ජීවිතේට ඇතිවෙන්න බය උනා එදා...
ටික කාලෙකට පස්සෙ තමයි එදා අපි කරපු වැරැද්දේ තිබ්බ බරපතලකම හොඳටම තේරුම් ගියේ... ඕක උනේ 1997 විතර.. අද මේක ලියනකොටත් මගේ ඇඟ සීතල වෙන තරම් ...
මම කවදාවත් යුනිෆොම් එකට මෝස්තර කරලා ඇඳලා නෑ...කොල්ලා වගේ දගල දඟල හිටපු එකානේ මං... ඕවයේ ගානක් තිබ්බේ නෑ.. පන්තියේ දෙවනියට විතර උසම එකා උනාට මගේ ගවුම දණිස්සෙන් පහලට අඟල් දෙකක්වත් අඩුම ගානේ තිබ්බා...ඒකට හේතුව ගවුම් මැහුවේ අපේ අම්මා හින්දා... අම්මත් එක්ක ඉඳල හිටලා වලි දාගත්තට ගවුම දිග වැඩියි කියලා මට ඕක එච්චර ගානක් තිබ්බේ නෑ.. මොන දේට හරි නීතියක් තියෙනවානං ඒ නීතිය අනුව වැඩ කරන එක මගේ පුරුද්ද.. වැඩකට නැති නීති, නීති වාත වෙච්ච වෙලාවට නං අල්ලලා දානවා ඉතිං... හි හි..
ඒත් එකපාරක් වැස්ස කාලෙක,සිකුරාදා දවසක අනිත් ගවුම් වේලිලා නැතුව පරණ ගවුමක් ඇඳන් යන්න උනා... එදා රැස්වීමෙදි අක්කලට අහු උනා මගේ ගවුම කොටයි කියලා... ඒ කාලේ ගවුම කොටද කියලා බැලුවේ දණ ගස්සලා කෙලින් උනාම, ගවුම බිම ගෑවෙන්න තියෙන්න ඕනේ කියලා... එදා මගේ ගවුම යන්තම් අඟල් කාලක් විතර කොටයි... අක්කලා ඉතිං මාව අල්ලලා වාටියෙන් බාගයක් ලෙහලා යන්න ඇරියා.. මට ඕක එච්චර ගාණක් උනේ නෑ තව ඇතුලටත් වාටියක් නවලා මැදලා තිබ්බ නිසා... නූල් එල්ලෙන්නේ නෑ නේ.. වාටිය ලෙහලා කියලා පේන්නෙත් නෑ... ඒත් හෝම් සයන්ස් වලට ගිය වෙලාවේ අපේ ටීචර් නූල් පාරවල් දෙක තුනකින් වාටිය ෂේප් කරලා දුන්නේ එදා වාටි ගැලෙව්ව අපේ කීප දෙනෙක්ම හිටිය නිසා වෙන්න ඇති.. ඒ ටීචර්ගේ හැටි ඉතිං.. ළමයින්ට හරි ආදරෙයි... අනිත් එක හැමෝම එදා පරණ ගවුම් ඇඳන් ඇවිත් තිබ්බේ.. අක්කලා නීතියට අනුව වැඩ කළාට ටීචර්ට තේරෙන්නේ ඇති මේ අහුවෙලා ඉන්නේ විච්චූර්ණකාරියෝ නෙවෙයි කියලා... හි හි...
මායි මගේ යාලු තවත් පිස්සියෝ තුන්දෙනෙකුයි... හි හි..
මුන් තුන්දෙනා දැන් කොහෙ කොහෙ ඉන්නවද කියල මං දන් නෑ...
ප/ ලි : මට මේ කතාව කියන්න හිතුනේ ගවුම් වාටි කතන්දර කියවෙන නිසා...
අපි ඉස්සර දැන දැන වැරදි කළා.... මං කවදාවත් ගෙදර වැඩ ගෙදරදි කරපු එකෙක් නෙවෙයි... හැබැයි අහුවෙලා දඬුවම් විඳලත් නෑ...ස්පෝර්ට් මීට් කාලේ අව්වේ කරවෙන්න කම්මැලිකමට පන්තියෙන් කට්ටි පැන්නා.. ඒ ජොලියට... සිල් ගන්න අස්සේ නවල් කියෙව්වා... කම්මැලි හින්දා...
ජොලියට කරපු වැරදි සහ නොදැනුවත්කමින් කරපු වැරදි අඳුනගෙන ඒ අනුව වැඩ කරන්න පුළුවන් ගුරුවරු අපිට හිටියා... ඒක නිසා අපි ඉගෙන ගත්තා බරපතල වැරදි කියලා ජාති තියෙනවා කියලා... ඒ වගේම නීතියක් තියෙන්නේ හේතුවක් ඇතුව කියන එකත් අපි ඉගෙන ගත්තා.. අපිත් ටීචර්ලා එක්ක එක එක දේවලට වලි දාගත්තා... කේන්ති ගත්තා.. රණ්ඩු උනා.. නියෝගවලට අකීකරු උනා...ඒවා අස්සෙම විහිළුත් කළා.. හිනා උනා.. පිස්සු නැටුවා... එක එක ප්‍රොජෙක්ට්ස් වලට සම්බන්ධ උනා... ඒත් ඒ ඔක්කොමත් එක්ක ගෞරව සම්ප්‍රයුක්ත බයක් ගුරුවරු ගැන තිබ්බා... ගුරුවරුයෙක් එක්ක යකා වැහුනත්, ඒ වෙලාවේ කට වහගෙන ඉන්න, ගෙදර ගිහින් අම්මලට කියන්න අපිට සංයමයක් තිබ්බා...
මටත් වැරදි කරපු ගුරුවරු හිටියා... හැබැයි ඒ අයගෙන් පලිගන්න අදහසක් මට නම් ආවේ නෑ... සමහර විට ඒ අය වැරදියි කියලා ඔප්පු කරපු එක මගේ පලිගැනීම වෙන්න ඇති... ඒකෙන් මට නරකක් උනේ නෑ... ඒ ටීචර්ලට නරකක් උනා කියලා මං හිතන්නෙත් නෑ... මොකද එයාලා හැමෝම මං ඉස්කෝලෙන් අවුට් වෙනකෙට ගිහින් යනවා කියලා වැන්දම, ඔලුව අතගාලා තව හොඳින් ඉගෙන ගන්න කියලා කිව්ව නිසා...
අද ඇහෙන දේවල් එක්ක මට තේරෙන්නේ එක්කෝ අපිට හිටපු ජාතියේ ටීචර්ලා දැන් නැතුව ඇති.. නැත්තම් අපිට හම්බුවෙලා තියෙන්නේ හිටපු හොදම ගුරුවරු ටික වෙන්නැති කියලා... අපි ඉගෙන ගත්ත කාලේ හිටපු ළමයෙක්ට ගෙදර ගිහින් තාත්තට කියලා ගුරුවරුයගෙන් පළිගන්න අදහසක් එන්නෙත් නෑ... අපි එක්ක ඉගෙන ගත්ත කිසිම කෙනෙක්ට තමන්ගේ ළමයට දඬුවම් කළා කියලා ගුරුවරුයව දණගස්සන්න අදහසක් එන්නෙත් නැ..
ඊයේ ඇහුනා ප්‍රොජෙක්ට් එකක් බාරගත්තේ නෑ කියලා දොස්තර කෙනෙක් වෙලා හිටපු කෙනෙක් තමන්ගේ දැන් ගුරුවරියව මන්නෙන් කපලා කියලා.. තමන්ගේ ව්‍යාපෘති වාර්තාව දෙපාරක්ම අසාධාරණ විදියට පෞද්ගලික ප්‍රශ්නයක් නිසා ප්‍රතික්ෂේප කරපු කෙනෙක්ගෙන් පලිගන්න හිතන්නේ නැතුව තව පාරක් ඒ ව්‍යාපෘතිය හදලා දුන්න වෛද්‍යවරයෙක්ව මට මතක් වෙන්නෙ මේ වෙලාවේ...
වැරද්ද තියෙන්නේ අධ්‍යාපනයෙද... අධ්‍යාපනයෙන් හදන මිනිස්සු සමාජයට ගියාමද... කියලා මං තාමත් කල්පනා කරනවා...