Tuesday, December 28, 2010

ගොඩ කාලෙකින් ඔන්න මම ආයිත් ආවා....

ඉතිං කොහොමද හැමෝටම.............

මම ඔන්න ගොඩ කාලෙකට පස්සේ මේ පැත්තට ආවා... එන්න බැරි උන හේතුවත් කියන්න එපැයි නේ ද?....



ඉතිං දැං නං මගේ බ්ලොග් ගියන ශෛලියත් ටිකක් වෙනස් වෙලා ඇති කියලා මම හිතනවා... මේ වගේ ලොකු කරදරේක වැටුනට පස්සේ ඔක්කොම ටිකක් අවුල් වෙනවනේ....

කොහොම උනත් මම ඉස්සරහටත් පුළුවන් තරම් ලියන්න බලාපොරොත්තු වෙනවා... ඒත් ඉස්සර තරම් නිදහසේ ලියන්න නම් ඉඩක් ලැබෙන එකක් නෑ... ඉස්සර තිබ්බ නිදහසෙන් ගොඩක් මේ වෙනකොට නැති වෙලා ගිහිල්ලා කියලා දැනෙනවා... ඒක හරි ලොකු බරක් හිතට... හිතට බර වැඩි වෙනකොට ලියන්න තියෙන ආසාව තව තවත් වැඩි උනත් ලියන්න තියා කියන්න වත් දෙයක් ඔලුවට එන්නෙ නෑ ව‍ගේ.....

කොහොම උනත් දැන් මට ඉතුරැ වෙලා ඉන්න හොදම අසන්නා මම ලියන දේවල් විතරයි... කාටවත් කරදරයක් නොවෙව්ව ඉතින් මම ලියන්න උත්සහ කරනවා...

මේ වෙනකොට මම විවාහ වෙලා මාස 4 කට කිට්ටුයි... මාස 4 කට කලින් මගේ හිතේ තිබුන ගොඩක් දේවල් මේ වෙනකොට සැබෑ වෙලා...

හැබැයි හොද නරක සියල්ලම කියලා කිව්වොත් තමා වැඩිය හරි...

ඔන්න හිරැ දැන් කාටත් ඇහෙන්න අදෝනා කියන්න පටන් අරගෙන .... මේ වැඩේ හරි යන්නේ නෑ....

හිරැගේ අදෝනා අහන්න කාටවත් ඕන නැති හින්ද‍ා ඔන්න හිරැ අදට විතරක් කට පියා ගත්තා...

ආයිත් එන්නම් පුළුවන් උන වෙලාවක... අදෝනා නැතුව කතා කරන්න පුළුවන් උන වෙලාවක.....

සුභ දවසක් හැමෝටම.....

Wednesday, July 7, 2010

හිරු ගැන ටිකක්...

හිටපු ගමන් බ්ලොග් එකක් පටන් අරගෙන, එක එක කතා කියන්න පටන් ගත්ත, මේ ‍හොල්මන කොහෙන් පාත් උනාද කියලා කට්ටියට හිතෙනවා ඇති කියලා හිතුන නිසා හිරු ට හිතුනා හිරු ගැන ටිකක් කියන්න..

හිරු ගැන නම් එච්චර කියන්න දෙයක් නෑ කියලාත් හිතෙනවා.. හි හි.. කොහොම උනත් ඔන්න පටන් ගත්තා..

බොහොම ආසාවෙන් computer ගැන ඉගෙන ගන්න පටන් ගන්නකොට හිරුට වයස අවුරුදු 15 - 16 ක් විතර ඇති... ඒකත් ඉතිං අපේ මාමා computer එක on කරලා, CoralDraw ඒතකොට තිබුන 10 version එක දාලා, 7 version එකේ guide book එකත් දීලා යන්න ගිය එක තමා... හිරු ඉතිං තනියම වැඩ දාලා කිඩ දාලා සිංහල ඉංග්‍රීසි ටයිප් කරන්න ඉදලම coralDraw එකේ පොඩි පොඩි වැඩ කරන්න පුරුදු උනා... ඊට පස්සේ ඉතිං A/L කරන කාලේ ඉදලම මාමගේ පොඩි printing shop එකේ වැඩ කරන්න පටන් ගත්තා.. ( ස්වේච්ඡා සේවය..)

‍කොහොමත් හිරු පොඩි කාලේ ඉදලම වැඩිය අනිත් අය නොකරන දේවල් කරන්න උනන්දු උන කෙනෙක්... ඉතිං හිරුට ඕනෙ උනේ Graphic Designer කෙනෙක් වෙන්න... ඒ උනාට කරුමෙට වගේ හිරු ට හමබුනේ කවදාවත් නොහිතපු විදියේ රස්සාවක්... Shipping Company එකක... කොහොමත් හිරු ඒ රස්සාවත් කලා අවුරුදු 2 ක් විතර... හැබැයි ඊට පස්සේ ඒ කොම්පැණිය බංකොලොත් උනා... ( ඒක හිරුගේ වැරැද්දෙන් නොවෙයි හොදද... ) හදිස්සියෙ සිද්ධ උන ඒ සිද්ධිය නිසා හිරු ට නියමිත වැඩක් නැතුව මාස 6 ක් විතර ඒ ‍කොම්පැණියේ Accounts close කරන්න උදවු කරන්න උනා... ඒ කාලේ හිරු වැඩිපුරම කාලේ ගත කළේ අලුතින්ම හොයා ගත්ත යාලුවෙක් එක්ක... ඒ තමයි Internet එක... තනියම ම IP address එකක් දාගෙන දවසම අන්තර්ජාලයේ සැරි සරන අතරේ හිරුට ගොඩක් යාලුවොත් හම්බුනා... ගොඩක් හොද යාලුවෝ... හැබැයි ඉතිං ඒ සෙල්ලම් ඔක්කොම ඉවර උනා හිරු රස්සාවෙන් අස්වෙලා ගෙදර අවට පස්සේ.. ආයිත් හිරුට අන්තර්ජාලය ඇසුරු කරන්න ලැබුනේ අවුරුද්දකට විතර පස්සේ.. ඒ රස්සාවත් shipping ම තමා.. මෙදා පාර නම් හිරුට එච්චර අන්තර්ජාලේ අස්සේ දගලන්න හම්බුනේ නෑ.. අලුත් රස්සාවෙ වැඩ වැඩියි..

කොහොමින් කොහොම හරි හිරු දැන් ආයිත් ගෙදර.. තාත්තට බොරු ගොඩක් කියලා.. ( ADSL connection එකේ ගාන නියම ගානෙන් බාගෙකට අඩු කරලා කියලා....) හිරු ගෙදරට අන්තර්ජාල පහසුකම් හදා ගත්තා... දැං ඉතිං ගත්ත එකෙන් වැඩක් ගන්නත් එපැයි... හැබයි හිරුට දැං තියෙන ලොකුම ප්‍රශ‍්නේ වෙලාව තමා... මොකද හිරු දවල්ට ගෙදර නෑ.. රස්සාවක් නොකලත් අම්මගේ ව්‍යාපාරයට උදවු කරන්න අකමැත්තෙන් හරි සිද්ධ වෙලා තියෙන නිසා හිරු දවල්ට ඉන්නේ අම්මගේ Shop එකේ... ඉතිං හිරුට computer ගාව ඉන්න තියෙන්නේ හරිම ටික වෙලාවක්... මොකද කලිනුත් කියලා තියෙන විදියට හිරු කියන්නේ කම්මැලිම කම්මැලි, නිදිකුම්බර චරිතයක්.... හි හි...

ඉතිං ඔන්න හිරු ගැන ගොඩක් දේවල් කිව්වා... හිරු ගැන තවත් දේවල් මේ බ්‍‍ලොග් එකේ ඉස්සරහට ලියවේවි... ඒත් හිරුට බ්ලොග් ලියන්න විතරක් නෙවෙයි අනිත් හැමදේටම දිරිමත් කරපු හිරුගේ හොදම මිතුරා අද හිරු ළග නෑ... ඒත් ඒ මතකයෙන් බිංදුවක් වත් හිරුට අමතක නෑ... මේ බ්ලොග් එකේ හැම පියවරක්ම ඒ පිවිතුරු මතකයට සහ ඒ ආදරණීය ලෙංගතුකමට ගරු කිරීමක් ලෙස ලියවෙන බව හිරු ආදරයෙන් මතක් කරනවා...

හැමෝටම සුබ රාත්‍රියක්......

Monday, July 5, 2010

මේ ඉන්නේ අපේ බුලට්............



අපේ ගෙදර අලුත්ම සාමාජිකයා තමා මේ ඉන්නේ.... අපේ අම්මගේ පොඩි පුතා.. මොකද කිව්වොත් මෙයාගේ ඔක්කොම වැඩ කෙරෙන්නේ අපේ අම්මගේ අතින් තමයි...

මෙයාව ගෙදරට ගේන්න ප්‍රධාන හේතුව උනේ අපේ ගෙදරට කේක් කුඩු කන්න එන්න පුරුදු වෙච්ච කැලෑ පූසියෙක් තමයි... ඒත් ඒ කතාව මම පස්සේ කියන්නම්කෝ....

බුලට්... එහෙම නැත්තම් මම කියන විදියට බංකු බංකු... තාම අවුරුද්දක් වත් නැති බලු පැටියෙක් උනාට මෙයා කන්න නම් පොඩ්ඩක්වත් පුංචි නෑ... පොඩි කාලේ කනකොට ගත්ත පින්තූරයක් තමා ඔය තියෙන්නේ... කන කොට කකුල් දෙකටත් යනකං කන එක තමා මෙයාගේ පුරුද්ද..




අපේ ගෙදර කට්ටිය ඔ‍ක්කොම ගෙදර එනකොට පිලිගන්න මෙයාට ක්‍රම සහ විදි තියෙනවා.. අපේ තාත්තා ගෙදර එනකොට හැමදා ම එන්නේ කුස්සියෙ ‍දොරෙන්.. මොකද මෙයා තාත්තා එන වෙලාවට දොර ළග රැකගෙන ඉන්නේ තාත්තගේ කරට පනින්න.. (අපේ තාත්තා අඩි 5 යි අගල් 4 යි උස... බුලට් නවතින්නේ තාත්තගේ ඔලුවට අත තියලා... ) අම්මා ගෙදර එනකොට මෙයා ඉන්නේ පුටුවක් යට ඔලුව හංගගෙන.. මොකද අම්මට තමයි මෙයා දවස තිස්සෙම කරලා තියෙන වැරදි වැඩ අහුවෙන්නේ.. එතකොට ගුටි පූජාව ෂුවර් නිසා මෙයා කොහොම හරි හැංගිලා ඉන්නවා මං එනකම්.. අපේ මල්ලි එනකොට මෙයා පැත්ත පලාතේ යන්නේ නැ... මොකද එයා හරකා වගේ ගහගෙන ගහගෙන යන නිසා... අනේ ඉතිං මෙයාගේ අතේ පයේ හිරි ඇර ගන්න බලං ඉන්නේ මං එනකං තමයි... මං ආවම මෙයාගේ වැඩේ මගෙ පස්සෙන් ඇවිදින එක තමයි...




අපේ ගෙදර TV, TELEPHONE, COMPUTER තියෙන්නේ කෑම කාමරේ... හරියටම කිව්වොත් කුස්සියේ තමා.. අපි වැඩිපුර ඉන්නේ එතන... ඉතින් අපි ඇවිත් පුටු වල ඉදගෙන අපේ වැඩ වලට බැස්සම ( තාත්තා ඉන්න දවසට TV එකේ. අම්මා හාන්සි පුටුවේ.. මම නැත්තම් මල්ලි COM එකේ... ) මෙයාගේ වැඩේ අපි කට්ටිය මැද්දෙන් ඉදගෙන එයාගේ කතන්දර කියන එක තමා.. ඇත්තමට මෙයා අපේ පවුලට එකතු උනායින් පස්සේ අපි කට්ටිය එකට ඉන්න එක වැඩි උනා කියලයි මට දැනෙන්නේ... එයාගේ වැඩ බල බල තමා අපි වැඩ කරන්නේ....

මෙයාට ලොකුම ලොකු ප්‍රශ්නෙ තියෙන්නේ පොල් සම්බන්ධව තමයි... පොල් ගෙඩියක්, පොල් ලෙල්‍ලක් විතරක් නෙවෙයි කොස්සක් උනත් මෙයාට පේන්න බෑ... අපේ ගෙදර අතුගාන්න ගියාම තමයි මෙයා වැඩිපුරම ගුටි කන්නේ... මොකද කොස්ස තියන තියන තැනට පැනලා ඒකෙ එල්ලෙන එක නවත්තන්න කොසු මිටෙන්ම දෙක තුනක් පත බාන්න ඕනේ... ඒක් ඉතිං සත්ත කරුණාව තියෙන මං වගේ අයට ඒ වැඩේ කරන්න හිත දෙන්නෙ නැති නිසා මට අපේ ගේ අතුගාන්න බෑ.. (ඒකට බැනුම් අහන්නේ බුලට් නෙවෙයි.. මම...) 

අහල පහල ඇන්ටි කෙනෙක් බොහොම ආදරෙන් ඇන්තූරියම් වලට ආපු පොල් ලෙලි, ඇන්තූරියම් ගස් පිටින්ම උස්සගෙන එන එක තමයි මෙයාගෙ තියෙන් අනිත් නරක පුරුද්ද... ඒවා ගෙනල්ලා ගේ පුරාම විසි කරනවා විතරක් නෙවෙයි... මෙයා ගිය ටිකේම ඇන්තූරියම් හෙරෙක් ගැන බොරු බයකුත් ඇති කලා අපේ ඇන්තූරියම් Lovers ලා අතර... පස්සේ හොරා කව්ද කියලා හොයා ගත්තම මෙයා බේරුනේ ඇන්ටිලා හැමෝම මෙයාට ගොඩක් ආදරේ හින්දම තමයි...

මේ දැනුත් රෙදි පටියක් උඩ දදා ගේ වටේම යනවා... හි හි... ( ආ.. දැං අපේ ගෙදර ඔක්කොම නිදි... )

මෙයාව නිදා ගන්න දාලා මාත් නිදා ගන්න ඕනේ... මෙයාට රෑට හරිම සීතලයි..මදුරුවො කනවා... ඒක නිසා රෙද්දෙන් පොරවන්න ඕනේ... නැත්තම් මට නිදා ගන්න වෙන් නැ...

GOOD NIGHT ළමයි... ඕගොල්ලොත් නිදා ගන්න... නිදා ගන්නකොට නෙට් එකක් දා ගන්න.. මේ දවස්වල හරියට මදුරුවෝ...

Monday, June 28, 2010

පොඩි ෂොට් එකක් දැම්මා.... නැත්තම් මගුලකට ගිහින් වැඩක් නෑ නේ.......

මේ දවස් වල අපේ ගෙදර උදේට තේ එක බොන ගමන් පටන් ගන්න කතන්දර කීම සමහර වෙලාවට ඉවර වෙන්නෙ අලි වලියක් දාගෙන.... හේතුව කතාවෙ මාතෘකාව මත්පැන් පානය වීම...

අපේ තාත්තත් අමද්‍යප මූණ දාගෙන හිටියට හිටපු ගමන් දෙතුන් දෙනා සෙට් වෙලා පාටි දාන වෙලාවට හොදට බොනවා.... ගෙදර පාර්ලිමේන්තුවේ කතානායකයි, අණ්ඩුපක්ෂ නායකයි, සුළු පක්ෂ ඔක්කොමයි ( ඒ කිව්වේ අම්මයි මායි අපේ මල්ලියි....) ඕකට විරුද්ධයි....

අද උදේ මාතෘකාව මගුල් ගෙවල් වල මත්පැන් බොන්න දෙන එන නවත්තන්න ඕනෙ කියන එක... ( ඕක ඇවිල්ලා ගෙයි උළු උඩ යන විදියෙ මාතෘකාවක්... ඒක නිසා ටිකක් පරිස්සමින් ඇදලා ගන්න ඕනේ... හේතුව අපෙත් මගුලක් ළග එන නිසා ).... ආණ්ඩු පක්ෂේ... ( ඒ කිව්වෙ අපි තුන් දෙනා...) සම්පූර්ණයෙන් විරුද්ධයි බොන්න දෙන එකට... හැබැයි හැමදාම හණ මිටිය කරේ තියාගෙන ඉන්න විපක්ෂෙ ( ඒ කිව්වේ අපේ තාත්තා..) තනියම... (මල්ලිත් අපේ පැත්තෙ නේ... ) විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා බොන්න දෙන් නැත්තම් ඒයා එන්නේ නෑ කියලා මගුලට....

මේක මාර වැඩක් තමයි....

අන්තිමට මං තාත්තගෙන් ඇහුවා... " ඇයි තාත්තේ ඇත්තටම පිරිමි ඔය තරම් අමාරුවෙන් සල්ලි වියදම් කරගෙන මූණ ඇඹුල් කරගෙන, ඕවා බිව්වම ලෙඩ වෙනවා කියලා දැනගෙනම, තිත්ත කසායකට වඩා තිත්ත, අරක්කු බොන්නේ..." කියලා...

ඔය පිරිමි ළමයි කාටවත් තියෙනව ද දන්නෑ නේද මේකට උත්තරයක්... මොකද අපේ තාත්තා නම් දුන්නේ හරි පරණ මෝඩ උත්තරයක්... " මගේ යාලුවො ඔක්කොම බොන එවුන්... ඉතිං මං විතරක් කොහොම ද නොබී ඉන්නේ..." ( පිරිමි මහ මෝඩ ජාතියක්... )

තාත්‍තගෙ උත්තරේ පැත්තකින් තියමුකෝ... ඒ වෙලාවෙ මට මෙහෙම හිතුනා...

" පිරිමි අරක්කු ‍බොන්නේ ඕපදූප කියවන්න හිතට ධෛර්යය ගන්න... මොකද පිරිමි කියන්නේ හරිම හිත දුර්වල ජාතියක්...."

දැං මං මෙහෙම කිව්වම කට්ටියම කඩු පොලු හොයන්න යන්න කලින් මම එහෙම කියන්න හේතුව අහගන්නකෝ...

ඉස්සර සමාජයේ කතාවක් තිබුනා... ගෑණු ළිද ගාවට ගියාම තමා ඕපදුප සංගමේ පටන් ගන්නේ කියලා... තවත් කතාවක් තියෙනවා ගෑණු තමා ඕපදූප හොයන්න පුරුදු වෙලා තියෙන්නේ කියලා...

ඒත් මං හිතන විදියට අපේ සමාජයේ වැඩිපුරම ඕපදූප හොයන්නේ පිරිමි තමයි... ඒ වගේම නරකම විදියේ ඕපදූප හොයා ගන්නෙත් පිරිමි තමයි...

ගෑණු ඕපදූප කියන්නේ සහ අහන්නේ බොහෝ දුරට හොද සිහියෙන්... හැබැයි පිරිමි ඕපදූප අහන්නේ සහ කියන්නේ අවසිහියෙන්... ඕක තමා මම දකින ලොකුම වැරැද්ද...

ඔය ගොඩක් වෙලාවට බොන අය කියනවා නේද " උගේ පපුව ඇතුලේ තිබුණ කුණු ඔක්කොම එළියට ආවේ ෂොට් දෙකක් තුනක් වැදුනට පස්සේ තමයි.. " කියලා...

හැබැයි ෂොට් දෙක තුනක් වැදුනට පස්සේ ගෙදර ගෑණිගේ දරුවන්ගේ අතර තියෙන ප්‍රශ්න ඔක්කොම තැන නොතැන නොබලා කියලා දාන ඒකේ වැරැද්ද තේරෙන්නේ හොද සිහිය ආවට පස්සේ... හැබැයි එතකොට අස්සයා පැනලා ගිහින් ඉවරයි... මොකද ඊළගට ඒ කතාව යන්නේ අහගෙන හිටපු අයගේ ගෙදර උන්දැලගේ කනට නොවැ.... හික් හික්...

දැං කියන්නකෝ.. "පිස්සුද මම බොන්නේ මගේ ප්‍රාණ සම මිත්‍රයෝ ටිකත් එක්ක විතරයි කියලා... හැබැයි ප්‍රාණ සම මිත්‍රයෝ අතර දේවදත්තලත් ඉන්න බව තේරෙන්නේ මොනවා හරි වැරදුනාට පස්සේ ගෙදර උන්දැගෙන් කන් අඩි පැලෙන්න අහගන්නකොට තමා... (අපේ තාත්තටත් මේ ළග දි දවසක් ඔය වගේ වැඩක් උනා... එයා අහගන්නේ අම්මගෙන් විතරක් නෙවෙයි .. අපි දෙන්නත් හැංගිලා ඉදගෙන අම්ම‍ට සපෝට් එක දෙනවා... )

ඒක නිසයි මම කියන්නේ පිරිමි කියන්නේ හරිම හිත දුර්වල ජාතියක් කියලා... ගෑණු හිතට දරා ගන්න බැරි දෙයක් උනාම අඩන්න හිත හදා ගන්නවා... ඒත් පිරිමි හිත තද කරගන්න උත්සාහ කරනවා.. ඒත් ඒක දරා ගන්න බැරි උනාම අඩන්න තියෙන ලැජ්ජාවට මත්පැන් බොනවා.. ඊට පස්සේ අඩන්න පුළුවන්...කියවන්න පුළුවන්... ඇයි වෙරි මතින් නේ අඩන්නේ.. කියවන්නේ... එතකොට ලැජ්ජාවක් නැ නේ....

හ්ම්ම්.. මේක මට හිතුන දෙයක් විතරයි... ‍ඕගොල්ලන්ටත් කියන්න දෙයක් තියෙනව නම් කියන්න මේකේ ඕනෙ තරම් ඉඩ තියෙනවා.... හි හි හි.............

දැං නං නිදා ගන්න වෙලාව පහුවෙලා පැය දෙකක් විතර ගිහිල්ලා... හෙට උදේ පාන්දර නැගිටින්නත් ඕනේ... එහෙනම් හැමෝටම සුභ රාත්‍රියක්.....

හිරු..............

Saturday, June 26, 2010

මගේ පළවෙනි පෝස්ට් එක....

හිරැ නැති හෝරාවේ පළවෙනි කතන්දරේ පළ කරන්න මෙච්චර කල් ගත වෙයි කියලා මම හිතුවෙම නැ නොවැ... මොනවා කරන්නද..... වැඩක් තරන්න ගත්තම හරියට බාල්දි පෙරලෙනවනේ... මේ දවස් ටිකේ බාල්දි විතරයි ජීවිතේ... ඒ කතාව පැත්තකින් තියලා අපි හා හා පුරා කියලා කතාවට බහිමුකෝ...

මුලින් ම මා ගැන යමක් කියලම පටන් ගත්තොත් හොදයි කියලා හිතුන නිසා මම මෙහෙම පටන් ගන්නම්..

හිරු කියන්නේ බිලොග් ජීවිතේට මොහොම ආධුනිකයෙක්.... අවුරුද්දක් විතර තිස්සේ ඉදන් මම සිංහල ‍බ්ලොග් කියවන්න පුරුදු උනා.... බොහොම සීමිත පුමාණයක්... ඒකට හේතුව තමා මේ කවදත් හරහට හිටින වෙලාව නැති කම....

නොහොම නමුත් මොන දේ හරි පටන් ගැනීමක් තියෙන්න එපැයි... ඒක නිසා ඔන්න මම මොහොම අමාරුවෙන් වෙලාව හොයාගෙන ( ඒ කිව්වේ නිදා ගන්න වෙලාවෙන් ටිකක් කැප කරලා ) ... වැඩක් පටන් ගත්තා..

මේ බ්ලොග් එකට අරමුණක් නැ... හරියටම මට වගේම... ඉදිරියට මේකේ මොනවා ලියවෙයිද කියලා නම් කියන්න බෑ මට... ඒක නිසා බොහොම හරබර කවි පද , සී පද , කතන්දර , විවේචන මේකේ ලියවෙයි කියලා පොරොන්දු වෙන්න බෑ .. ඒ වගේම ඔය කියාපුවා නොලියවෙයි ද කියලත් මට සහතික වෙන්න බෑ... ඒක නිසා ඔන්න මම හා හා පුරා කියලා හිරු ගේ හිරු නැති ‍හෝරාව ආරම්භ කළා....