ටික දවසක ඉඳන් අද ලියන්නං හෙට ලියන්නං කිය කිය හිත හිත ඉඳලත් නොලියවෙච්චි පොඩි පෝස්ට් එකක් ලියන්න පටං ගත්තෙ... පහුගිය ටිකේ බ්ලොග් පෝස්ට් ලිව්වෙම නෑ... මොකද කම්පියුටරේ පාවිච්චි කළේ ෆිල්ම් බාන්නයි බලන්නයි විතරයි නිසා... හි හි.... ඔව් ඔව්... මෙදා පාර ගිගා බයිට් ඔක්කොම ඉවර වෙලා, ගන්න පුලුවන් උපරිමේටම ඇඩිෂනලුත් අරගෙනද කොහෙද මෙතනින් එහාට ස්ලෝ කනෙක්ෂන්.... 5 වෙනිදා වෙනකං මෙහෙම යං ඉතිං.. වෙන මක්ක කොරන්නද...
එහෙමයි කියලා අර පහුගිය ටිකේ එටිසෙලාට් එකෙන් බොරු කියලා දුන්න 2GB ගානට 7GB දෙනවා කියල දුන්න සිම් එක පාවිච්චි කරන්න හිතෙන්නෙම නෑ... ඒ වෙලාවෙ පට්ටපල් බොරු ගොඩක් කියලා රු 450යි මාසෙට කිව්ව පැකේජ් එකට මෙන්න දවස් ගානකට පස්සෙ එනවා ඇඩිෂනල් බිල් එකක් රැ.1000ක.... !!! ... ඊට පස්සේ කෝල් කරලා කියනවා ඒක Freedom කියලා පැකේජ් එකක්ලු... දවල් වරුවට 2 GB , රෑට 5GB ලු.. ගන්නකොට නං එහෙම කෙෙහම්මලක් කිව්වෙ නෑ... ඒ මදිවට ඩිපොසිට් එකක් කියලා ගත්ත රු. 1000 මෙන්න දවස් ගානකට පස්සෙ කනෙක්ෂන් ෆී එකක් වෙලා.... මට එතනින්ම එටිසෙලාට් තිත්ත උනා.... පළවෙනි සහ අවසාන වතාවට එටිසෙලාට් සිම් එකක් හතරට පහට කපලා කුණු ගොඩට දැම්ම ඔන්න හා හා පුරා කියල... හි හි.... කීයක් හරි වැඩිපුර දීල හරි මට නං ඩයලොග්ම හොඳයි... අඩුගානේ උන් මෙච්චර කාලෙකට මට බොරු කියල නෑ...
හරි හරි.. ඒ කතාව ඉවරයි.. මේ මේ කතාව...
කලින් පෝස්ට් එකේ මං දැම්මනේ පොඩි වැඩක් පටං ගත්ත කතාවක්... ඉතිං මේ ටිකේ ඕක තමයි කර කර හිටියෙ... ඒ කිව්වෙ මල් හැදිල්ල.. හි හි... පොඩි පොඩි ඩිසයින් කර කර ඉඳලා පහු ගිය ටිකේ තමයි වැඩේ ටිකක් ලොකුවට කරන්න පටං ගත්තෙ.. අපේ මහත්තයා තමයි ෆුල් සපෝට් එක දෙන්නෙ... ඒත් ඒක ගැන නෙවෙයි මේ ලියන්න ගත්තෙ...
අපේ ගෙදර ඇන්ටිගේ මුණුබුරු මිණිබිරියෝ ටිකට මේ වැඩේ දැක්කම මාර ආස හිතිල... ඇන්ටිත් මට ටීචර්ස් ඩේ ස්විනියර්ස් කීපයක්ම විකුණලා දුන්න.. කොහොම හරි දැං පොඩි උන් ටිකට හරි ප්‍රශ්නයක්ලු මේක කොහොමද හදන්නේ කියන එක... සෙනසුරාදට ඔය දෙන්නෙක් ඉන්නෙ ආච්චි එක්ක.. ඔන්න පහුගිය දවසක අපේ මහත්තයයි මායි කඩේ ගිහින් එනකොට දෙන්නෙක් මඟ බලං ඉන්නවා මේක අහගන්න ... හි හි...
ඉතිං මාත් දෙන්නවම ළඟින් තියාගෙන මේක හදන හැටි කියලා දීලා, කොල තීරු ටිකකුත් දීලා ඇරියා...
සති දෙකකට විතර පස්සේ එයාලගෙ තාත්තා මට මෙන්න මේ දෙක ගෙනල්ලා පෙන්නුවා උදේ පාන්දරම...
මේ තියෙන්නෙ අයියගෙ වැඩේ... |
මේ නංගිගේ වැඩේ... |
මේ දෙන්නම තාම අවුරදු 10ට අඩුයි... (මට නම් දෙක නං මතක හිටින්නෙම නැත... )
දෙන්න එක්ක එකතුවෙලා අම්මගේ බර්ත්ඩේ එකට මේ ජාතියෙන් සෙල්ලං දාලා කාඩ් එකකුත් හදල දුන්නලු.. එයාලගේ තාත්ත කියනවා දෙන්න එක්ක ලොකුවට පටං ගත්තට මෙච්චර ලස්සනට හදලා ඉවර කරයි කියල හිතුවෙ නං නෑලු... හි හි...
ඇත්තටම මටත් මාර හැපි මේක දැකල.. මොකද මේක ඇවිල්ලා අපි පොඩි කාලේ කරපු කොලාජ්, එතෙකාට අර පොල් කුඩු පාට කරගෙන කරපුවා, යෝගට් කෝප්ප කපාගෙන හදපුවා වගේම අත්කම් වැඩක්.. පුංචි කාලේ හිතලා නිර්මාණ කරන්නත්, ඒ වගේ දේවල් වලට අත හුරුවෙන්නත් මේ වගේ වැඩ පොඩි අයට නියමයි... අනිත් එක මේකට එයාලගේ තිබ්බ උනන්දුව... කවුද කියන්නේ දැං ඉන්න පොඩි උන් කම්පියුටරෙයි, ටීවී එකෙයි එල්ලිලා ඉන්නවා කියලා.. ? ඇත්ත කතාව නං මෙයාලා මේවට ආසයි.. හැබැයි ලොකු අයට වෙලාවක් නෑ මේවා කියලා දෙන්න... අපි ලේසියට ටීවී එක දාලා දෙනවා අපේ වැඩ කරගන්න... ඉස්කෝලෙ උගන්නන්නෙ පාඩම් කරන්න විතරයි... මේවා කරන්න කිව්වත් දැං අපි කරන්නෙ ඩෝර් ගාලා කඩෙන් බඩු ටික අරන් දෙන එක විතරයි... අපි පොඩි කාලේ කරපු මේ වගේ වැඩ ටිකක් හරි ළමයින්ට කරලා පෙන්නන්න අම්මලා තාත්තලා වෙලාව හොයාගත්තොත් යන්තං හරි නිර්මාණශීලී පරම්පරාවක් එයි නේ ඉස්සරහට....