Tuesday, July 28, 2015

සමාවෙන්න. මම ඔයාගෙ බුද්ධාගමේ නෙවෙයි....


සමාවෙන්න. මම ඔයාගෙ බුද්ධාගමේ නෙවෙයි.... 

මේ ටිකේ ගෙවෙන්නෙ මෙන්න මේ වාක්‍යයක් කියන්න වෙලා තියෙන කාලයක්..... ඇත්තටම කිව්වොත් බුද්ධාගමේ අන්තිම කාලෙ ගැන බුදු හාමුදුරුවොන්ටත් වැරදිලාද කොහෙද කියල හිතෙන කාලයක්... අවුරදු 5000ක්ද කොහෙද පවතිනව කිව්වලුනෙ... අනේ මන්ද... තාම 2500යි... 

කාලයක් තිස්සෙ හිත හිත හිටිය දෙයක් මේක.. අර පන්සල්. මේ ආරාම, සසුන්, මාළිගා, අසපු, උයන්, අරවා මේවා අටෝගෙන ඉන්න, බර්ත්ඩේ හාමුදුරුවොයි, සිල් මෑණියොයි, බුදුහාමුදුරුවො ඉපදුනෙ ලංකාවෙ කියාගෙන ඉන්න හාමුදුරුවොයි, බුදු අම්මේ බුදු තාත්තේ ගගා බෙරිහන් දෙන හාමුදුරුවොයි, සිංහලෙන් ගාථා කියල හාමුදුරු‌වොයි, චණ්ඩි හාමුදුරුවොයි... තව මං දන්නැති කට්ටියත් ඇති.... කොහොම හරි මෙයාලා දැං බුද්දාගමට ලේබල් ගහගෙන.... දැං මේගොල්ලො අදහන්නෙ බුදුහාමුදුරුවන්ගෙ බුද්ධාගම නෙවෙයි... ඔය කිව්ව එක එක හාමුදුරුවන්ගෙ ආගම්...

මං මෙහෙම කියන්නෙ ඊයෙ පෙරේදා දවසක හෙන උගත්ය කියාගත්ත, වයසක මනුස්සයො දෙන්නෙක් මාත් එක්ක කියපු කතාවක් හින්ද.... එක්කෙනෙක් බුදුහාමුදුරුවො ඉපදුනේ ලංකාවෙ කියාගෙන ඉන්න හාමුදුරුවන්ගෙ පොරක්.... අනිත් එක්කෙනා ඔය රත්තනපිටිය පැත්තෙ තියෙන සසුන කියන එකේ එක්කෙනෙක්... මෙයාලා දැං අනිත් පන්සල් වලට යන්නෙ නෑලු.. යන්නෙ අර පන්සල් වලට විතරයි ලු... ( ලු කිව්වට ඉතිං කෙලින්ම මට කිව්ව එයාලා යන්නෙ නෑ කියල...) මං ඇහුවා එතකොට දැං අදහන්නෙ බුදුහාමුදුරුවන්ගෙ බුද්ධාගම නෙවෙයිද කියල... නෑ ඉතිං කොහොමත් බුද්ධාගම තමයිනෙ කියල ලෙස්සලා ගියා.... 

ඔය නාකිත් එක්ක ඕවා කියනවට වඩා හොදයි කට පියාගෙන ඉන්න එක කියල හිතලා මං ඊට පස්සෙ සද්ද නැතුව හිටිය.... 

මෙයාලාගෙ පන්සල් වල එක එක ජාතියෙ චාරිත්‍ර තියෙනව.... මම දෙකකට ගිහින් තියෙනව.. මළමවිකාරයි... එකකට නං එකපාරයි ගි‌යෙ.. අනිත් එකට දෙතුන් පාරක් යන්න සිද්ධ උනා... දැං නං කෙලින්ම කියල තියෙන්නෙ... මට ඔය ගමේ තියෙන පන්සල හොඳටෝම ඇති මලක් පහනක් පූජ කරල එන්න .... මොකද ඒකටත් යන්නෙ අවුරද්දකට එක දවසනෙ... නැතුව ඕව බදාගෙන ඉන්න තරං පිස්සුවක් මට තාම හැදිල නෑ කියල ... 

වැඩේ කියන්නෙ මේවා බදාගෙන ඉන්නෙ හෙන සල්ලිකාර පොරවල් වීම තමයි... ඒ මදිවට ඉගෙනගෙන උපාධිත් අරගත්ත මහා ලොකු උගත් කියන කට්ටිය.... අම්මෝ... කට ඇරියොත් එයාලට වඩා බණ දහම් දන්න මිනිස්සු නෑ.... 

ඒ හෙන සල්ලිකාර පොරවල් වලින් බාගයක් ඕවලට හේත්තු වෙලා ඉන්නෙ උන්ට වාසි ගන්න.... විශේෂයෙන් බිස්නස්කාරයො.. එත‌කොට අනිත් මෝඩයො.... උන්ට වෙලා තියෙන්නෙ අමාරුවෙන් හම්බකරගෙන තියෙන සල්ලි ටිකත් දනට පිනට දීලා උඩ බලාගෙන ඉන්න.. මොකද ඔය පන්සල් බදාගෙන ඉන්න පොරවල් ටික කාලෙකින් ‌මොකක් හරි ප්‍රශ්නයක් හදාගෙන එතනින් අයින් වෙනව.. එතකොට දීපුවත් නෑ.. හොඳ හිතත් නෑ.... 

ගොඩක් අය මේ පන්සල් පස්සෙ යන්නෙ ලොකු කම් පෙන්නන්නත් එක්ක තමයි... ඇහුවාම කියන්නෙ ... අපේ මේ පන්සලටනෙ යන්නෙ .. ගිය මාසේ මෙච්චර විසාල දන්සැලක් දුන්න... අර බිස්නස්කාරය මෙච්චර ගානක් වටින කාරකෙක් අරන් දුන්න... මෙච්චර වටින බිල්ඩිමක් ගහල දුන්න... මෙච්චර පින්කං කළා.... අදත් හවසට පින්කමක් තියෙනව... ඔන්න ඔහොම ලොකුකම් කියෝ කියෝ තවත් මහන්තත්තකම වැඩිකරගන්න එක තමයි.... එළියෙ ඉඳන් බලන මට නං හිතෙන්නෙම මේ මිනිස්සුන්ට පිස්සුද කියල... බැරි වෙලා හරි වචනයක් කිව්වොත්... අපි පවුකාරයො වෙනව.... 

මට නං දැං බුද්ධාගම මතක් වෙනකොටත් තරහයි.... ඉඳල හිටල හරි හොඳක් හිතෙන්නෙ ඔය ෆේස්බුක් එකේ එකෙක් දෙන්නෙක් ක්වෝට්ස් ෂෙයාර් කරනව දැක්කම තමයි.... වැඩේ කියන්නෙ මේ හෙන උගත්, අති පණ්ඩිත, අත්දැකීම් තියෙන නාකි මිනිස්සු ( සම්ප්‍රදායික උපාසකම්මල ගැන නෙවෙයි මං මේ කියන්නෙ...පිරිමි අය ගැන...) මේ විකර වලට සම්බන්ධ වෙන එකනේ.... පිස්සුද මන්ද.... 

ප/ලි : මේ එකතැනකට අහුවෙලා ඉන්නෙ අපෙ ඉංජිනේරුවෙක් වෙන්න තරං උගත්, සල්ලි තියෙන, ඒත් හැමකෙනෙක්ටම රැවටෙන මාම කෙනෙක්... මට උන්දැ ගැන පුදුම තරං දුකයි... ඒත් මේවා කියල තේරුම් කරවන්න පුළුවන් මානසික තත්වෙක එයා නෑ.... බ්‍රේන්වොෂ් කරල තියෙන්නෙ .... අවුරදු ගානක් හම්බුකරපු ටික ඔය කාට හරි පූජකරල දීලා, අන්තිමට සහෝදරයොත් නැති කරගෙන උන්දැටයි දරු‌වො ටිකටයි පාරට බහින්න වෙයිද කියල මට ඇත්තටම දුකයි.... දැනටත් සහෝදරයො ටිකට වැඩිය ලොකු කරගෙන ඉන්න ඔය වගේ කාක්කො කට්ටියක් වට කරගෙන ඉන්නෙ.. එකම හොඳකට තියෙන්නෙ සහෝදරයො ටික මෙයාගෙ මානසික තත්වෙ තේරුම් අරගෙන ඉන්න එක... 

මේ රජගලතැන්නෙදි දැක්ක හාමුදුරුවරු වැඩ වාසය කළ තැනක්...
දැං කාලේ ඒව වගේම තමා... ෆුල් ඒසී... ගිහිල්ලම බලන්න ඕනෙ ඉතිං.. හි හි

Thursday, July 16, 2015

වෙඩිං කතා....


මේ දවස්වල තදබල රයිටර්ස් බ්ලොග් එකක් ඇවිල්ල... රජගල ගියපු කතාවෙ ඉතුරු හරිය දාන්නවත් බ්ලොග් එක පැත්ත පළාතේ එන්න හිතෙන්නෙ නැති තරං....කමෙන්ට් වලට රිප්ලයි කරන්න ඊටත් වඩා කම්මැලියි... කම්පියුටරේම එපා වෙලා ඉන්නෙ ජීවිතේ පළවෙනි වතාවට... කොහොමත් මේ ටිකේ පරණ ටීවී සීරීස් ඩවුන්ලෝඩ් කරන අබිං කෑමක‌ට සෙට් වෙලා හින්ද 10 වෙනිද වෙනකොට බයිට් ටික ඉවරයි.... අන්ලිමිටඩ් කිව්වට ඉතිං මේව ස්ලෝ උනාම ස්ලෝ වෙන්නෙ ආයිත් ඉතිං වැඩක් කරගන්න බැරි වෙන්නමනෙ.... හි හි.. 

කොහොම උතන් ලියන්න දේවල් නැතුව බ්ලොග් අතෑරලා ඉන්නව එහෙම නෙවෙයි... ලියන්න දේවල් තියෙනව.. ඒත් ලියන්න කම්මැලියි.... පහුගිය ටිකේ කඩේටම වෙලා හිටපු හින්ද හැමදාම ඉතිං මොන මොනව හරි විකාරයක් සිද්ද වෙනව.... වැඩියම ඉතිං මේ වෙඩිං කේක් හදන කාලෙනෙ... මගෙ වෙඩිමට මම කාපු කට්ට මට විතරක් අදාල දෙයක් නෙවෙයි කියල හිතෙන්නෙ ඒක හින්ද.... ගොඩක් එවුන්ට කොල්ලෙක්\ කෙල්ලෙක් හොයාගෙන බඳින්න ලෑස්ති වෙනකොට වැඩිහිටියොන්ගෙ අත ගැහිලි හින්ද අන්තිමට වෙඩිම වෙනකොට කසාදෙ එපා වෙලා... 

පහුගිය ටිකේ එහෙම වෙඩිමක් කැන්සල් වෙලා තිබ්බෙ වෙඩිමට කලින් ද‌වසෙ.... අවුරදු 6ක් යාලු වෙලා ඉඳලා, වෙඩිම ගන්න ගිහින් කොල්ලෙගෙ අම්මගෙ තාත්තගෙ ඇඟිලි ගැහීම් හින්ද, කෙල්ලට කසාදෙ එපා වෙලා... එක අතකින් ඒක කොච්චර හොඳද කියල මට නං හිතුනෙ... මොකද දැං බැන්දෙ නැත්තං මිනිස්සුන්ට මූණ දෙන්නෙ කොහොමද කියල අම්මල පොළවෙ පස් කද්දිත්, අම්මල මිනිස්සුන්ට මූණ දුන්නත්, මං එපායෑ ඔය මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න ඕනෙ කියල කියන්න තරං හයියක් ඒ කෙල්ලට තිබ්බ හින්ද.... කොල්ලට කතා කරල වෙඩිම කැන්සල් කරල, අපිට කතා කරලා ඇහුවෙ වෙඩිං කේක් එක ඕනෙ නෑ, ඒ වෙනුවට එයාගෙ නංගිට බර්ත්ඩේ කේක් එකක් හදලා දෙන්න පුළුවන්ද කියල... අපි සාමාන්‍යයෙන් එහෙම ඕඩර් කැන්සල් කරන්නෙ නෑ.. අපිට පාඩු නිසා... ඒත් ඕඩර් එක දෙන්න ආපු වෙලාවෙ, අපිටත් තේරුන මේක නං හරි යන මඟුලක් නෙවෙයි කියල... වෙඩිං කේක් එක ගන්න අපි එන්න කියන්නෙ සාමාන්‍යයෙන් මනමාලිට... මනමාලයන්ට ඕව තේරෙන්නෙ නැතිව නෙවෙයි.. ඒ උනාට උන් ඕවයෙ වගකීම් ගන්න බයයි.. හ‌පොයි මං තෝරලා ඕක හරි ගියෙ නැත්තං එහෙම කියල.... හි හි... මෙතන දහ දෙනෙක් විතර ආව ඕඩරේ දෙන්න.. මං හිතුවෙ වෙඩිමට වියදම් කරන්නෙ අම්මල තාත්තල වෙන්න ඇති කියල.... එහෙමත් නැති පාටයි.. අපිටත් ලොකු පාඩුවක් තමයි... ඒත් වෙලා තිබ්බ දේ හැටියට සහ කරලා දෙන්න කියල ඉල්ලපු දේ සාධාරණ හින්ද ඉතිං කොහොම හරි අපි ඒ ඕඩරේ කැන්සල් කරල දුන්න...  

කොහොම හරි දැං ඔය යාලුවෙලා, බඳින්න හිත හිත ඉන්න, මේක කියවන එවුන්ට මට කියන්න තියෙන්නෙ යාලුවෙලා ඉන්න එකාගෙ\ එකීගෙ ගෙදර මිනිස්සු තමන්ට දිරවන්නෙ නැත්තං වහාම එක්කො ඕක නවත්තල දාන්න.. එහෙම නැත්තං කසාදෙ කරගත්ත ගමන් බස් එකකින් පැය බාගෙකට එහා යන්න වෙන තැනක පදිංචි වෙන්න, පුළුවන් නං දෙන්නටම මේ රටෙන්ම යන්න ලෑස්ති කරගන්න කියල.. මොකද අපි කොච්චර හිතුවත් අපි බඳින්නෙ එයාගෙ පවුලෙ අය නෙවෙයිනෙ... මං බඳින කෙනා මට කැමතියිනෙ කියල... ඒක හරියන සිතුවිල්ලක් නෙවෙයි.. අපේ රටේ හැටියට කසාදෙදි අපිට එකෙක්ව නෙවෙයි කසාද බඳින්න තියෙන්නෙ... මුළු පරම්පරාවක්ම.... 

අනිත් එක කොල්ලොත් කල්පනා කරල බලන්න ඕනෙ තමන්ට කොන්දක් තියෙනවද කියල.. තමන්ට අම්මල තාත්තල කියන කියන විදියටම කරන්න වෙනවනං, එහෙම නැත්තං ඊට ඉහලින් යන්න බෑ බෑ වගේ නං,තමන් කසාද බඳින්න සුදුසු තත්වෙක නෑ කියල තේරුම් ගන්න ඕනෙ...  කෙල්ලන්ට නං තේරෙනව කොල්ලන්ට කොන්දක් නැති උනාම... ඒත් ඉතිං ආදරේ නිසා, වෙන කරන්න දෙයක් නැති නිසා ඉවසනව.... 

මේ මං කිව්වෙ අම්මල තාත්තල නොසලකා ඉන්න ඕනෙ, එයාලා කියන දේවල් සතපහකට ගනං ගන්න එපා කියල එහෙම නෙවෙයි... වැරදියට වටහා ගන්න එපා.... තමන්ගෙ ජීවිතේ ගත කරන විදිය තමන්ට තීරණය කරන්න පුළුවන්ද කියල හිතල බලන්න... ඒ ගත්ත තීරණය ක්‍රියාත්මක කරන්න තමන්ට ශක්තිය තියෙනවද කියල හිතල බලන්න.. බැරි නං තවත් කෙනෙක්ව අමාරුවෙ දාන්න එපා... එත‌ෙකාට ඔයාගෙ ජීවිතේ ගැන ඔයා සතුටුත් නෑ.. ඔයා නිසා තවත් කෙනෙක්, දෙතුන් දෙනෙක් දුකට පත්වෙනව.... 

මෙහෙම හිතල අම්මල තාත්තල පැත්තකට දාලා කසාද කරගන්න තීරණය කරනව නං, ඊට කලින් හිතන්න ඕනෙ ඔයාට ඒ ශක්තිය තියෙනවද කියල.. ආර්ථික වශයෙන් සහ මානසික වශයෙන්... මොකද බඳිද්දි සම්බෝලයි බතුයි කාලා හරි ඉමු කිව්වට, පොල් ගෙඩිය බිඳගන්න පිහියක් ඕනෙ.. ගා ගන්න හිරමණේ ඕනෙ... කොටාගන්න වංගෙඩිය ඕනෙ.... බෙදාගෙන කන්න පිඟානක් ඕනෙ... නැත්තං, වෙඩිමෙදි අම්මලගෙන් යැපෙන්න හිතාගෙන ඉන්නවනං ඒකත් ඉතිං ජීවිත කාලෙම ගෙවන්න ණයක් ගත්ත හා සමානයි.... 

මේක කියෝන කෙනෙක්ට හිතෙන්න පුළුවන් මං මේ ලියන දේවල් අපේ සමාජෙට ගැලපෙන්නෙ නෑ කියල... ජීවිත කාලෙම අම්මල තාත්තල බලාගෙන ඉන්න එක යුතුකමක් කියල උගන්නන සමාජයක මේක තේරුම් ගන්න අය ගොඩක් අඩුයි.. විශේෂයෙන් අපේ අය වැඩිපුරම අල්ලගන්නෙ වලිගෙ පැත්තෙන් හින්ද.... ඒ උනාට ඉතිං ගොඩක් විවාහ ජීවිත වල මේ ගැටලු ටික තියෙනව.. මේක ගෑනුන්ට ගෑනු එක්ක ඉන්න බෑනේ කියල ස්ටීරියෝටයිප් කරල අතෑරලා දාන්න පුළුවන් සිද්ධියකුත් නෙවෙයි.... මොකද හැම තැනකම ඒකට හේතුවක් තියෙනව... මම දැකල තියෙන ගොඩක් තැන් වලදි නං නැන්දම්ම ලේලි කේස් වලට ප්‍රධාන හේතුව පුතාට හරියට තීරණයක් ගන්න තරං ශක්තියක් නැති වීම තමයි... මුල ඉඳලම කොන්ද කෙලින් තියාගෙන තීරණ අරගෙන, ඒවා ක්‍රියාත්මක කරන්න ශක්තිය නැති කරල දාන එක අපේ මොන්ටිසෝරියෙ ඉඳල කැම්පස් එකට වෙනකං අධ්‍යාපන ක්‍රමයෙන් කරනව... සමාජය ඉතුරු ටික කරල දෙනව... තව ජෙනරේෂන් හතරක් පහක් යනකංවත් මේ තත්වය නැතිවෙයි කියල හිතන්න බෑ... එතකොට ඔන්න කෑගහන්න ගනියි, අවුරදු කොච්චරක්ද බර ගානක් තිබ්බ සංස්කෘතිය ඉවරයි කියල... 

සිම්පල් වෙඩිං කේක්... 

ප/ලි : ඉක්මණට කොටා ගෙන ගිය හින්ද සමහර තැන් හරියටම ලියවිලා නෑ වගේ පේනව.. ඒත් මට මේක හදන්න බෑ.. මේ ලියපු ටෝන් එක තමයි මට හිතෙන විදියට මේක ලියන්න පුළුවන් එකම ටෝන් එක... ඒක හින්ද කියවන කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක වැල්වටාරමක් විතරයි කියල... එහෙම හිතුනොත් ඔන්නොහෙ අතෑරලා දාන්න... හි හි

ප/ප/ලි : රජගල කතාවෙ ඉතුරු ටික ගෙදර ගිහින් ෆොටෝ ටික හදා ගත්ත ගමන් දාන බවට පොරොන්දු වෙමි... හි හි