Wednesday, April 2, 2014

ඔන්න එහෙනං වේලාසනම සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වා....


මේ දවස් ටිකේ කඩේ ඉන්න එකේ මට ඉවසගන්න බැරිම දේ තමයි අර අපේ පිස්සි කරකෝගෙන ඉන්න හිරු එෆ් එම් එක අහගෙන ඉන්න එක... 

රිමෝට් කන්ට්‍රොල් නැති හින්ද උඩම රාක්කෙකට වඩම්මලා තියෙන රේඩියෝ රාජයා එහෙට මෙහෙට කරකවන්නෙ ලීයක අධාරයෙන්... ඔය නැටිලි කරන්න බැරි හින්ද සදාකාලික හිරු එකට සෙට් කරල තියෙන්නෙ අපේ පිස්සු කේස් එක හින්ද.. වෙන එකක් නෙවෙයි... අර  අනුත්තරා කියන මල හෝන්තු කතාව අහන්න... 

ඕක ඉවසගෙන ඉන්න බැරිම තැන මට ඒකට ටීවී සීරීස් ලෙඩේ බෝ කළා.. ලැප් එකේ ෆිල්ම් එකක් දාලා දීලා අර මළ ජරාව අමතක කරවන එක මට පාඩු නෑ එහෙම බැලුවාම... හි හි... 

අනුත්තරා විතරක් නං ඉවසන්න බැරියැ.. අර චට පට ගගා කියෝන මොකාද අරා එක්ක, මෙලෝ තේරුමක් නැතුව හිකි හිකි ගගා බෙරිහන් දෙන කෙල්ලෙක් කරන, උදේ පාන්දරම ඇඟේ ලේ ටික රත් කරවන මොකද්ද වැඩසටහන ... හාපෝ...... 

ඕක යන්තමින් හරි ලේ ටික බේරගෙන අහන්න පුලුවන් බදාදට විතරයි.. එදාට පරණ සින්දු යන හින්ද.. ඒත් ඉතිං අර ටකරං හිනාව නං ඉවසගන්න වෙනව... 

-------------------------------------------------------

ඡන්දෙ දවසේ අපේ කඩෙත් ඡන්ද පොළක් වගේ... කඩේ පහුකරගෙන ඉස්කෝලෙට ඡන්දෙ දාන්න යන හැමෝම අපේ තාත්තගෙන් තමයි මනාප අංක අහන්නෙ.. අපේ තාත්ත මං හිතන්නෙ ගම්මංපිලටයි හිරුණිකාටයි ඡන්ද 100ක් විතර අරන් දෙන්න ඇති ඔතන්ට වෙලා කියෝල... හි හි... 

මං නං කිව්ව හිරුණිකාට නං මං ඡන්දෙ දෙන්නෙ නෑ කියල... පහුගිය ටිකේ අපේ තාත්තා මාත් එක්ක හැමදාම පොලිටික් ගෝරි... කොච්චර ගෝරි දැම්මත් ඉතිං මට ඡන්දෙ නැති හින්ද, (පාදුක්කෙ ඉඳං නුගේගොඩට මාරු වෙච්ච වෙලාවෙ අපෙ ගෙදරින් මගේ ඡන්දෙ අපේ මහත්තයා අයින් කරවගත්ත හින්ද ) ඒකටත් බලු බැනුං අහ අහ ඉඳලා මෙන්න එදා උදේ අපේ මහත්තයා කෝල් කරනවා මගේ ඡන්ද කාඩ් එකත් ගෙදට්ට ඇවිල්ල කියල... 

තාම තාත්තගෙයි මගෙයි පොලිටික් වලි ඉවර නෑ... අපේ අම්මා බයිනවා තාත්ත එක්ක පොලිටික් කතා නොකර ඉන්න කියල... එහෙම කොහොමද ... මගේ පොලිටික් වල මුල් අඩිතාලම අපේ තාත්ත තමයි... හි හි... 


-------------------------------------------------------

අපේ කඩේ ගාවම තව පේස්ට්‍රි ෂොප් එකක් දාලා.. එයාලත් දැං කේක් හදනව... අපි හදන කේක් එකට දාන දේවල් එහෙම අහගෙන යන්න අහල පහල අයව එවනව.. අපි මෝඩයොනෙ.. හි හි... අපේ අම්මට පොඩ්ඩක් නෙවෙයි තදට කේන්ති ගිහින්... එයා පේස්ට්‍රි පැත්තට යන්නෙ නැතුව ඉන්නෙ ඔය දෙකම පටලෝගත්තම එයාට මහන්සි වැඩි වෙනවා කියලා අපි තුන් හතර දෙනාම ඒකට කැමති නැති හින්ද... ( ඒකටත් ඉතිං අපි තමයි පලි... ) 

මං නං කිව්ව කමක් නෑ කියලා... එයාලට පුළුවන් නං හදපු දෙං... තරඟයක් තියෙනකොට අපිටත් වාසි නැතුව නෙවෙයිනේ... 

අද ආවේ කඩේ බෝඩ් එක හදන්න දෙන්න.. දැනට තියෙන බෝඩ් එකේ ලොරියක උඩ තට්ටුවක් හැප්පිලා කැඩිල තියෙන්නෙ.. දඩිබිඩියෙ ලයිට් බෝඩ් හදන්න බැරි හින්ද නෝමල් බෝඩ් එකක් හදමු කියලා මාමා කිව්වා... මගේ කම්පියුටරේ තියෙන ඒවා තියෙන තැන් හොයන්න ඉතිං මම එන්න එපැයි.... 

මෙන්න තව ආතල් කේක් ටිකක්... 

මේ දවස් වල හැම පොඩි එකාම ඉල්ලන... Ben 10

මෙයා නං කාර් එක අරගෙනම ආවා....  
මැක්වීන්... 

මෙයත් කාටූන් එකක් ලු... මං පොඩි එකාට තාම මේක අහුවෙලා නෑ ද කොහෙද...  හි හි

අවුරුද්දට මෙහායින් මට අයිත් පෝස්ට් දාන්න චාන්ස් එකක් හම්බුනොවෙන පාටක් තියෙන නිසා ඔන්න දැම්මම කිව්වා... 

කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!

Tuesday, March 25, 2014

මේ දවස්වල කේක් කතා...


බොහොම අමාරුවෙන් අම්මගෙන් නිවාඩුවක් ඉල්ලගෙන ගෙදර ආපු එකේ මේකෙත් මොනවා හරි ලියන්නම එපැයි නේ... ඒක නිසා දාන පෝස්ට් එකක් හින්ද ඔන්න බ්ලොගර් ඩෑෂ් බෝඩ් එකේ මේ ටික දැකලා බීසී පිට මෙහෙ දුවගෙන එන්න ඉන්න අය කරදර වෙන්න එපා ඔන්න... පස්සෙ නිවාඩු පාඩුවෙ බැලුවම ඇති... හි හි... 

අවුරුදු ළඟ ළඟ එනවනෙ අප්ප.. මේ දවස් ටිකේ ඉතිං ඒවට ලෑස්ති වෙනව... දැම්ම තියා කේක් හදන්න නෙවෙයි... සාමාන්‍යයෙන් අපි දිනපතා පාවිච්චි කරන්නෙ අවන් තුනෙං එකක් නැත්තං දෙකක්... ඉතිං අවුරුද්දට ඔය තුනම ඕනෙ වෙන නිසා මේ ටිකේ ඒවා සර්විස් කරනව... එතකොට බීටර්ස් වලටත් සර්විස් එකක් දෙන්න වෙනව මොකද තුන්සිය හැටපස් දවසෙම ඔහේ දුවල අවුරුදු දවසෙම හනේ මට බෑ අප්ප කියල නැවතුනොත් එහෙම අපි අනාථයි නිසා.... ඒසී ලොක්ක නං පෙරේදා දුන්න සම්බුවක් ආයෙ නැති වෙන්නම... දවස් දෙකක් තුනක් ඒසී නැතුව හුලං විතරක් වැදි වැදි ඉඳලා බැරිම තැන කෝල් එකක් දීලා සර්විස් එකට එන්න කිව්ව.. ඇවිත් බලද්දි තව ටිකක් ඔහොම ගියානං කම්ප්‍රෙෂර් එකටත් සොරි තමයි කිව්ව... එහා පැත්තෙ ටේලර් ෂොප් එකේ රෙදි වල දූවිලි ගතිය සහ නූල් කෑලි ටික ඔක්කොම එයා ඇදල අරගෙන... ඔන්න දැං එයාව නං හරි ගස්ස ගත්ත... 

ඒ අස්සෙ වෙඩිං... මං කාලෙකට කලින් හදල කඩේ කියල තිබ්බ වෙඩිං කාඩ් ටික අපේ නැන්ද උස්සං ගිහින්... ඉතිං එහෙට එන අයට පෙන්නන්න මට සාම්පල් කාඩ් නෑ.. අද මේක ලියල ඉවර වෙලා කාඩ් ටිකක් හදන්න වෙනව... ( ඒකට කියල තමයි පැනල ආවෙ.. ඒ උනාට තාම මේ කම්පියුටරේ ගාවින් නැගිට්ටෙ නෑ... හි හි) 

හදල ඉවර කරල තිබ්බ වෝල් හැඟින්ස් ටිකත් ඉවර වෙන්න ළඟයි... මගේ මාසෙකට ඩිසයින් 10ක් හදන ටාගට් එකට යන්න තව මාස තුනක්වත් බලං ඉන්න වෙනව... හි හි

ඒ අස්සෙ අපේ අම්මගෙ මැහුම් දාපු තුවාලෙ යන්තං පැහැවගෙන ඇවිත්... සතියකට වේලෙන්න බේත් දීලා හරි ගියෙ නැත්තං ඇඩ්මිට් වෙන්න කියල තියෙනව... ඔය තුවාලෙ පැහැවනවා කියන්නෙ ටිකක් භයානක දෙයක්.. මොකද විශබීජයක් ගියොත් ඒක ඇතුලටම යන්න තියෙන චාන්ස් එක වැඩි හින්ද... 

ඔය කේස් හින්ද අපේ බලුස්ව දැං ගෙයින් එළියටම තල්ලු කරලා තියෙන්නෙ... ඒ තරහටද මන්ද එයාටත් දැං කේන්ති යනවා වැඩියි... අපේ තාත්තගෙ ලෙඩේ බෝවෙලා... හි හි...

ඡන්දෙ හින්ද වෙන කරදර නං තියෙනව ඉතිං.. දවසට දෙතුන් පාරක් කට කණ ගාවට අලෝ ගත්ත කීප දෙනෙක් ඇවිත් කොල බෙදල යනව.. ගෙදරට එන අයගෙ කරදරෙන් බේරෙන්න මං කිව්ව " අපි ඡන්දෙ දෙන්නෙ නෑ " කියල බෝඩ් එකක් ගහමු කියල... තාත්ත එක්ක දවසකට සැරයක් වත් ඡන්ද කතන්දර කතා කරලා වලි දාගන්නෙ නැතුව කෑවෙ නෑ වගේ.. හි හි... අම්ම බයිනව මට... මල්ලියි මායි සත්තු වත්ත ගෙදට්ට ගෙනාවම තාත්තට කේන්ති ගිහින් කියනව මුන් දෙන්න පරාණ වෛරක්කාරයො දෙන්නෙක් ද කොහෙද, කවදාවත් මරාගන්නෙ නැතුව ඉන්න බෑ නේ කියල... ඒ උනාට අපි දෙන්නා මරාගන්නෙ පුරුද්දට ඉතිං... ඌට මං නැතුව බෑ.. මට ඌ නැතුව බෑ.. තාත්තට ඕක තේරෙන්නෙ නෑ... හි හි... 

පහුගිය ටිකේ කියවපු පෝස්ට් එක්ක ලියන්න දේවල් ගොඩක් හිතේ තියෙනව... ඒත් දැං මේ දඩිබිඩියෙ ඕවා ලියන්න බෑ... ඒවා පස්සෙ බැරියෑ... 

මෙන්න ඊයේ පෙරේදා හදපු කේක් එකක්.... හැමෝම ලේසියට හොයන් එන රිජිෆොම් තට්ටු කේක් නැතුව මෙහෙම එකක් හදද්දි අපිටත් ආසයි අප්පා... 

Cup cake structure

70 Cup cakes made of Orange cake and simple Orange flavored butter icing, decorated with edible items .



Top tier is Orange cake and edible fondant... 



මේකට වැඩියෙන්ම ඉල්ලුම තිබ්බෙ වෙඩින් එකට ආපු පොඩි උන් ටිකෙන්ලු... හි හි

Monday, March 10, 2014

අතිසාර්ථක ලෙස කඩේට හිර වීමි.....


හිරුවා මැරිලද අහන කට්ටිය දැං වැඩි හින්ද පොඩි දඩිබිඩි පෝස්‌ට් එකක් දාන්න හිතුව... නැත්තම මුං මාව මරලා, වලත් දාලා, ඊට පස්සෙ දානෙත් උයාගෙන කන ජාතියෙ එවුන් ටිකක් බව මම දන්නවනෙ... හි හි.. 

උන්හිටි ගමන් හිරුවට මොකද උනේ කියලා හොයලා බලපු උන් ටිකට බොහොම ස්තූතියි ඔන්න මුලින්ම... ( කටකතා පතුරවපු උන් දෙතුන් දෙනා හිටපියව් මං අල්ලගන්න... හි හි..) 

ඇත්තටම මට උනේ එච්චරම අභාග්‍ය සම්පන්න දෙයක් නෙවෙයි ඔන්න... කාලෙකට කලින් මම කිව්වනෙ බ්ලොගේම අපේ අම්මගේ ඔස්ටියෝ ආතරයිටිස් තත්වය ගැන.. ඉතිං ඔන්න ඕකෙ ඔපරේෂන් එක කළා පහුගිය ජනවාරියෙ අන්තිම... අපේ ගෙදරට මගේ අඩුව එච්චර ගානක් නොවුනට ,ෂොප් එකට නං දැනෙන බව මම දන්න නිසා කලින්ම ගිහින් වැඩ බාර ගත්ත ඉතිං.. මොකද නැත්තං අපේ අම්ම ඔපරේෂන් එකට ගිහිල්ලත් කඩේ ගැනම හිත හිත ඉඳියි... හි හි.... 

කොහොමත් අවුරුදු කීපයක්ම දණිස් කුක්කුම් තිබිලා, අන්තිමට රටේ නැති බෙහෙත් ජාති කරලා ඔපරේෂන් එක කරන්න, කකුල කැපුවට පස්සෙ තමයි දොස්තරලා ටික ලෙඩේ හරියටම හොයා ගත්තෙ... 

දැං කියන හැටියට නං අපේ අම්මට ඔස්ටියෝ ආතරයිටිස් කියන ලෙඩේ තිබිලා නෑ... එහෙම බැලුවම ඔය එක එක බේත් කරලා ලෙඩේ හොඳ නොවුන එක ගැන පුදුමයක් තියෙනවයැ නේද... 

අම්ම පුංචි කාලේ කකුල් දෙක පිහිටලා තියෙන්නෙ අසාමාන්‍ය විදියකට.. ඉතිං ඒ කාලෙ ඔය සම්බන්ධයෙන් කරපු ප්‍රතිකර්මයක් තමයි චූටි කාලෙදිම විශේෂ සපත්තු දෙකක් දාලා කකුල හදන එක.... අපේ අම්මගේ ඔන්න ඔය ප්‍රතිකර්මය නිසා වෙලා තියෙන්නෙ කකුල වළලුකර හරියෙන් හරි ගියාට දණිස් දෙක හරියෙන් ළං වෙච්ච එක... ඊට පස්සෙ ඇඟ මහත් වෙලා, බර වැඩි වෙනකොට තමයි ඔස්ටියෝ ආතරයිටිස් රෝග ලක්ෂණ ඇවිත් තියෙන්නෙ... 

දැං ඔපරේෂන් එක කරපු කකුල හරි... අවුලකට තියෙන්නෙ ඒ කකුල තිබ්බට වඩා අඟල් බාගයක් දිග වීම තමයි... අනිත් කකුලත් තව මාස ගානකින් ඔපරේෂන් කළාට පස්සෙ තමයි ඒ ලෙඩේ හරි යන්නෙ...දැනට විශේෂයෙන් හදපු සෙරෙප්පු දෙකක් දානව.. නැත්තං ඒක බලපාන්නෙ උකුල් අටේට... 

ඔය ඔපරේෂන් එක ගැන තියෙන් පොඩි පොඩි මත කීපයක් තියෙනවා අපේ අම්මා බොරු කියලම ඔප්පු කරපු... එකක් තමයි ඔපරේෂන් එකෙන් පස්සෙ කකුල නවන්න පුළුවන් සීමා සහිත ප්‍රමාණයකට විතරක් බව... ඒත් අපේ අම්මට කකුල සාමාන්‍ය විදියටම නවන්න පුළුවන්... ඇවිදින්න හොඳ නෑ නෙවෙයි, ඔපරේෂන් එකෙන් පස්සෙ දවසෙම ඇඳෙන් බහින්න වෙනව දොස්තර එනකොට... හි හි... බයේ පුටුවට වෙලා හිටියොත් සොරි තමයි.... 

ඉතිං කොහොමින් කොහොම හරි අන්තිමට මාව කඩේට හිර උනා අතිසාර්ථක විදියට... ලැප්ටොප් එකක් හදාගෙන බ්ලොග් කියෙව්වට කමෙන්ට් කරන්න විදියක් නෑ ඒකෙ කී බෝඩ් එක ලෙඩ ගොඩක්.. ඔන්ස්ක්‍රින් කීබෝඩ් එකකින් තමයි ඔය පොඩියට කොටපු කමෙන්ට් එක දෙක දැම්මෙත්.. චැට් වලින් හායි හූයි ගාපු අයටත් ඔය ටිකම තමයි... මොකද මට එක වචනයක් ටයිප් කරන්න හෙන වෙලාවක් යනව... ඒක මහ කම්මැලි වැඩක්... හි හි

මං දැක්ක අපේ කකා තුමා රිසර්ච් එකක් කරලා තියෙනව බ්ලොග් බැලිල්ලෙන් ඈත් වෙලා ඉන්න පුළුවන්ද කියල... මට නං පුළුවන් උනා... හි හි... ඒ වගේම ඉස්සර ගෙදර හිටපු කාලෙදි වගේම ආයිත් පොත් වලට ඇබ්බැහි උනා.. පරණ පොත් ඔක්කොම වගේ කියෙව්ව... හිත හොඳ දොස්තරගෙ ඉඳලා බොඳ මීදුම් වෙනකනුයි, අමුතු ඉලංදාරියගේ ඉඳන් ප්‍රංශ පෙම්වතා වෙනකනුයි.. මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා ඉඳලා ටාර්සන් වෙනකනුයි... පොත් ගොඩක් අතුරුදහන් වෙලා බව නං තේරුනා... ඕවා ඔහොම තමයි කියල හිත හදා ගත්ත... හි හි

අවුරුදු තුනකට පස්සෙනෙ ඉතිං ඔය ගෙදර ගියේ... මුල දවස් ටිකේ ටිකක් කරකවලා අතෑරපු ගතියක් තිබ්බා... අපේ තාත්ත ඉතිං ඒ අවුරුදු තුනටත් ගේ තුන් හතර වතාවක් වෙනස් කළානෙ... හි හි... හැබැයි දවස් දෙකක් යනකොට ආයිත් ඉස්සර වගේම තමයි... තාත්තයි මායි පොලිටිකල් වලි දාගෙන රණ්ඩු වෙනකොට සහ මල්ලි ගෙදර ඉන්න දවස් වලට ගොනා, හරකා, බූරුවා වගේ වචන දවසට දහ පාරක් වගේ ඇහෙන කොට ඇත්තමයි ආයිත් ගෙදර නවතින්න හිතෙනවා... කසාදත් බැඳලා, ළමයිනුත් හදාගෙන, කොච්චරකල් ජීවිතේ ගෙවුනත් අම්ම තාත්ත සහෝදරයෝ එක්ක ඉන්න නිදහසේ වටිනාකම තේරෙන්නෙ දැං තමයි... වගකීම් නැති, ඕන රණ්ඩුවක් විනාඩි දෙකෙන් තුනෙං සමනය වෙන, කවුරු මොනා කිව්වත් ගනං නොගෙන පාඩුවෙ ඉන්න, අනේ අපේ ඇඟේ වදිනවයැ කියලා හිනා වෙන්න... සිරාවට ඒක මාර සහනදායී ජීවිතයක්.... අවුරුදු 30ටත් කිට්ටු වෙලා මං ආයිත් මගේ ළමා කාලයට ගියා.... 

හැබැයි ඉතිං ගෙදර අපි හතර දෙනයි, බල්ලෝ පූසෝ ටිකයි විතරක් ඉන්නවනං තමයි ඔය නිදහස... නැත්තං නීති රීති තහංචි දාන්න අයිතිකාරයෝ වැඩි උනාම ඒ නිදහසේ කෑලිවත් හොයන්න හම්බුවෙන්නෙ නෑ.... 
මේ ඉන්නෙ එන්ටටේනර්ස්ලා දෙන්න.. මරාගනිද්දි එහෙමයි,  තුරුල් වෙලා නිදා ගනිද්දි මෙහෙමයි... 


කොහොම හරි ඉතිං අනිද්ද දිහාවට මං ආයිත් ගෙදර යනව.. ඊට පස්සෙ නං කමෙන්ට් වලට වත් රිප්ලයි නැති වෙයි ආපහු ගෙදර එනකං... හි හි... 
අපිට කේක් එකකට නිර්මාණශීලී නිදහස හම්බුනොත් අපි පිස්සු කෙලිනවා... මල්ලිගේ බර්ත්ඩේ එකට හැදුවා පිස්සුම පිස්සු කේක් එකක්..  චොක්ලට් කේක්, බටර් කේක්, කොෆි කේක් තුනම දාලා හදපු ඒ කේක් එක කාපු කෙනෙක් දුන්න ඕඩරේකට හැදුව මේ කේක් එකේ චොක්ලට් කේක් සහ බටර් කේක් දෙකම දාලා, ඩිසයින් එකටත් පිස්සුම කෙලියා... හි හි

Thursday, January 16, 2014

අපේ චිත්‍ර පන්තිය සහ ඕලෙවල්....


මම ඕලෙවල් කළේ 2000 දි... මම සෞන්දර්ය විශයට තෝරගෙන හිටියෙ චිත්‍ර... නැටුං අතෑරියෙ කෙල්ලො ගොඩක් නටන නිසා... මියුසික් නං බෑම තමයි කියලා පොඩි කාලෙ ඉඳලම දැනං හිටිය... ඒක තමයි අද වෙනතුරු මං ගැන හිතං හිටිය දේවල් වලින් ඇත්ත වෙලා ඉතුරු වෙලා තියෙන එකම එක.. හි හි... 

චිත්‍ර කෙරුවාව ගැන කියනවනං ඉතිං හෑල්ලක් තියෙනව.. ඒත් මේ කියවන්න පටං ගත්තෙ එකම සිද්ධියක් මට මතක් වෙච්ච හින්ද... මේක උනේ ඕලෙවල් කරනකොට... ඊට කලින් පසුබිම් විස්තරයක් තියෙනව ඉතිං හැමදාම වගේ... 

ඔය තෝරගැනිල්ල තියෙන්නෙ 6දිනේ... ඇත්ත කතන්දරේ නං මට චිත්‍ර ඇඳිල්ලත් බැහ් තමයි... හි හි... ඒ උනාට අපේ ගෙවල් පැත්තෙ චිත්තර පන්තියක් තිබ්බ.. ටීචරුත් හොඳයි... ගෙදර ඉඳන් මට හූවයි බල්ටියයි... සෙනසුරාදා තමයි පොඩි පන්ති වලදි ක්ලාස් තිබ්බෙ.. ඉතිං ඕකත් එක හේතුවක් මං චිත්‍ර තෝරගන්න...සෙනසුරාදට ඉතිං 10ට විතර චිත්‍ර පොතයි, පාට පෙට්ටියයි, පැන්සල්, පින්සල් ටිකයි කිහිල්ලෙ ගහගෙන, ගෙදර ඉඳන් පන්තියටම දුවන එකම එකා මං... ගෙදර වැඩ කවදාවත් කරන්නෙ නෑ... චිත්‍ර ටීචර්ට මාව පෙන්නන්න බෑ... පාට නෙවෙයි මං ගොමලු ගාන්නෙ... හි හි... ( ඒ උනාට මට හෙන ආදරෙයි... ඒක ඉතිං වෙනම කතාවක්... ) 

ඕලෙවල් වෙද්දි ඕක වෙනස් උනා... පන්තිය අඟහරුවාදට මාරු උනා... අලුත් සෙට් එකක්... ( ඒ කිව්වෙ අලුත් කොල්ලො සෙට් එකක්... හි හි).. මං ඉතිං ඉස්කෝලෙ ඇරිලා, ‌කෝච්චියෙ පිස්සු නටාගෙන ගෙදර ඇවිත්, පොත් බෑග් එක ගෙදරින් අතෑරලා, ඒ පිම්මෙම දුවනවා පන්තියට... ඒ වෙනකොට පන්තිය පටං අරන් පැයක් විතර ගිහින්... හි හි.. 

ඔය චිත්තරේ කරපු අය දන්නවා ඇති ඕකෙ ප්‍රශ්න පත්තරේ කොටස් තුනක් තියෙනව.. එකක් මොකක් හරි මාතෘකාවක් දීලා චිත්‍රයක් අඳින්න කියන එක.. අනිත් එක බලා ඇඳීමක්... අනිත් එක ලියන්න තියෙන පේපර් එක... ඔය තුනේම ලකුණු එකතු කරලා 3න් බෙදලා තමයි අපේ ලකුණු දෙන්නෙ... 

විභාගෙ ලකුණු දෙන ක්‍රමය ගැන නං ඉතිං කියන්න දෙයක් නෑ.. අපේ අනිත් විශයමාලා වලට වෙලා තියෙන සන්තෑසියම තමයි ඒකටත් වෙලා තියෙන්නෙ... 8දිද කොහෙද අපේ පන්තියෙ හිටපු, අපේ විභාග ක්‍රමය අනුව අනිවාර්යයෙන් ෆේල් වෙන ජාතියෙ ළමයෙක් තමයි, පන්තියම චිත්‍ර ඇඳපු, ලෝක ප්‍රසිද්ධ ජපානේ කනගාවා චිත්‍ර තරඟෙන් දෙවනි ස්ථානයක්ද කොහෙද දිනා ගත්තෙ.... 

ඔය මාතෘකාවට චිත්‍ර ඇඳිල්ල කියන්නෙ ඉතිං අපි කටපාඩං වෙනකං ඇඳපු චිත්තරයක් ආපහු අඳින එක තමයි... මොකද විභාගෙට එන මාතෘකා ටික සාමාන්‍යයෙන් එකම ටික තමයි.... ඉතිං අපි ඕක අවුරුදු තුනක් තිස්සෙ ඇඳලා ඇඳලා පුරුදු වෙලා තියෙන නිසා ගානක් නෑ... 

එත‌ෙකාට බලා ඇඳීම කියන්නෙ මේසයක් උඩ තිබ්බ බඩු ගොඩක් අඳින එක... ඕකත් ඉතිං අපි කටපාඩං කරලා තමයි විභාගෙට යන්නෙ.. බෝතල් හාරපන්සීයක් අඳලා, පොල් ගෙඩිත් ඒ තරම්ම ගානක් ඇඳල, පොත් ඊටත් වඩා ගානක් ඇඳල, එක එක විදියෙ රෙදි ජාතිත් ඒ තරම්ම ඇඳලා...අහල පහල තියෙන ඇන්තූරියම්, ක්‍රෝට්න් ගස් වල කොළ ගනං කරල... හි හි.... 
මේක නං හොයාගත්තෙ ගූගල් සර්ච් එකක් දාලා... මේ වගේ වැඩක් උනාට මෙහෙම බඩු නෙවෙයි අපිට අඳින්න දුන්නෙ.. මගේ පරණ චිත්‍ර ටිකක් ඇති ගෙදර.. පස්සෙ වෙලාවක හොයලා දන්න ඕනෙ... 
ඔන්න ඔය ප්‍රැක්ටිකල් එකේ තමයි මේ කේස් එක උනේ... ඔක්කොටම කලින් මතක් කරන්න ඕනෙ ඉතිං මේක වෙලා දැං අවුරුදු 14ක් වෙනව කියල... හි හි

දැං ඔය මේසෙ උඩ තියෙන බඩු ලිස්ට් එක විභාග දෙපාර්තමේන්තුවෙන් එවනවනෙ... බෝතලයක්, පොත් මෙච්චරක්, ඇන්තූරියම් පෝච්චියක්, සිල්ක් රෙද්දක්... ඔහොම කියලා බඩු ටික තියන්න ඕනෙ විදියත් ඇඳලා එවනව... ඊට පස්සෙ විභාගෙ ඉවර උනාම ළමයි ටික වාඩි වෙලා හිටපු පිළිවෙලත් එතන ඉන්න විභාග පරීක්ෂක ඇඳලා, අපේ පේපර් එක්කම අමුණලා යවනවා... එහෙම තමයි view එක බලලා, විභාගෙට හොර කළේ නෑ කියල පිළිගන්නෙ... 

ඔය බඩු ලිස්ට් එක තමයි විභාගෙට කලින් දවසෙ ඔපන් කරල බලන විබාගෙට අඳාල එකම ලියවිල්ල.. හේතුව තමයි මේ බඩු ටික කලින් හොයලා තියාගන්න ඕනෙනෙ ඉතිං... ඔන්න ඔය ලිස්ට් එක ලීක් වීමේ අවදානමක් තියෙනව ඉතිං... 

ඔය ලීක් වීම හින්ද අපේ ටීචර්ට විභාගෙට කලින් දවසෙ දැනගන් ලැබෙනව මෙන්න මේ බඩු ටිකයි විභාගෙට එන්නෙ කියල... ඕක එච්චරම ප්‍රශ්නයක් නෙවෙයි.. මොකද එන බඩු ටික ඔක්කොම කලින් අපි ඇඳලා පුරුදු වෙච්ච දේවල්... හැබැයි අපේ අවුරුද්දෙ මේක වෙනස් උනා.. 

හේතුව තමයි අපේ විභාගෙට ලෙලි ගහපු පොල් ගෙඩියක් අඳින්න ආපු එක... එච්චර කල්ම ඕලෙවල් වලට ආවෙ ලෙලි පිටින් පොල් ගෙඩිය අඳින්න විතරයි... ලෙලි ගහපු පොල් ගෙඩිය ඇඩ්වාන්ස් වැඩියි...ඒක එන්නෙ ඒලෙවල් වලට... ඉතිං ඇත්තටම අපි ඔය පොල් ගෙඩිය අඳින්න පුරුදු වෙලා හිටියෙ නෑ ... අපේ ටීචර් ‌කළේ එදා රෑ පන්තියක් තියල අපිට ඔය පොල් ගෙඩිය අඳින්න පුරුදු කරපු එක.. හැබැයි බඩු ටික තියන පිළිවෙලත් දැනගත්තට, ඒක අපිට පුරුදු කළේවත්, අඩුම ගානෙ අපිට කිව්වෙවත් නෑ එදා... 

ඉතිං මාත් ඕක හොඳට පුරුදු වෙලා ගියාට දැං එදා උදේ මගේ හිතට හරි නෑ... එකක් මගේ යාලුවො නොදන්න රහසක් මම දන්නව.. මම ඒක දැනගත්ත එකෙන් එයාලට පාඩුවක් වෙන බවත් මම දන්නව.. හැබැයි මට මේක කියන්නත් බෑ.. මොකද මේක හොර වැඩක් බවත් මම දන්නව.. අවුරදු 16දි මේක ලොකුම ප්‍රශ්නයක්...

උදේ 10ට තමයි විභාගෙ පටං ගන්න තිබ්බෙ... මං උදේ පන්තියට ගියේ දෙයක් තීරණය කරගෙන... කලින් දවසේ පුරුදු වෙච්ච චිත්‍ර ටිකත් බෑග් එකේ දාගෙන ගිහින්, අපේ පන්තියෙ හිටපු 15 දෙනාටම ( ආර්ට් තිබ්බෙ එක පන්තියයි...) උදේම විභාගෙට ආපු පරීක්ෂකවරු ගැවසෙන්නෙ නැති පන්තියකට වෙලා අර පොල් ගෙඩිය අඳින්න මම පුරුදු කළා... පැය දෙකක් ඇතුලත උන්ට ඒක අඳින්න පුරුදු උනාට පස්සෙ අර ඇඳපුවා ටික මගේ බෑග් එකට දාලා, අපි ගිහින් විභාගෙට ඇන්දා.... තාමත් මං ගාව පුරුදු වෙන්න ඇඳපු චිත්‍ර ටික තියෙනව... හි හි... 

අපේ 15ම චිත්‍ර පාස් උනා... එහෙම උනේ පොල් ගෙඩිය හින්දමද කියල මම දන්නෙ නෑ... කොහොමත් ඊට පස්සෙ ඒලෙවල් වලට චිත්‍ර තෝරගත්තෙ ඒ 15න් දෙන්නෙක් විතරයි... එකෙක් මං.. අනිකා අන්තිම දක්ෂයෙක්.. පොල් ගෙඩිය නැතත් උෟ‌ට ඩී එකක් ෂුවර්... ඒත් අදටත් ඔය සිද්ධිය මතක් වෙනකොට මට හරි සතුටක් දැනෙනවා... කාවවත් අමාරුවෙ දාන්නෙ නැතුව, හරි දේ කරන්න මං ක්‍රමයක් හොයාගත්ත නිසා.... අනිත් එක එදා මම ආත්මාර්ථකාමී නොවුන නිසා... තනියෙන් බුදු වෙනවට වඩා කට්ටියක් එක්ක බුදු වෙන එක ජොලි... හි හි... 

මාත් පස්සෙ ඒලෙවල් වලට චිත්‍ර තෝරගෙන, එකක් ගත්තට, ඇත්ත කතාව නං මං චිත්‍ර ඇන්දට වඩා හොඳට කළේ චිත්‍ර ලිව්ව එක කියල... ඒ ගැන ඉතිං දන්නෝ දනිති... හි හි... 

ඔය තියෙන්නෙ අපේ පන්තිය තමයි.. මේ ඕලෙවල් දවස්වල... ඔය මං ඉන්නෙ ඉණේ අත් දෙකත් ගහගෙන ආච්චි අම්මා වගේ චිත්‍ර ටීචර්ගෙ පිටිපස්සට වෙලා... ඕක තමයි මං වැඩිපුරම කළේ.... පිස්සු නටපු එක.. අනිත් උන්ටත් වැඩක් කරගන්න ඉඩ නොදී... හි හි
අපේ පන්තියෙ ටීචර් ඒ ලෙවල් පන්ති නොකෙරුවත්, මට ඒ ලෙවල් වලටත් උදවු කළා... මොකද මං එච්චරකල් ඇඳ ඇඳ හිටපු විදිය ඒලෙවල් වලට මදි කියල කියපු නිසා.. ටෙක්නික් එකක් මාරු කරන එකේ අමාරුව දන්නෙ ඒක කරපු එකෙක්ම තමයි... කොහොම හරි ඒලෙවල් කරලා ඉවර වෙනකොට මට චිත්‍ර එපා වෙලා තිබ්බ... අපේ චිත්‍ර ටීචර් නං දැං වයසයි.... ඒ උනාට ඔය ෂොප් එකේ තියලා තියෙන මගේ දැං කරන නිර්මාණ එහෙම දකිද්දි ටීචර් කියන මරු කතාවක් තියෙනව... 

මට තාම මතකයි මෙයා ඉස්සර ගොම ගාපු හැටි.... කියන එක... හි හි...  

අද වෙනතුරු මං අදහන දෙයක් තියෙනව... දෙයක් ඉගෙන ගත්තම ඒකෙ ලස්සනම දේ තමයි තව කෙනෙක්ට කියල දෙන එක... ඒ වගේම ඉගෙන ගත්ත දේ තව දියුණු කරගන්න එක... ඒ වගේම ඉගෙන ගත්ත තැනට දියයුතු ගෞරවය දෙන එක.... ඉගෙන ගත්තෙ මෙතනින් කියන එක කිව්ව කියල අපේ දැනුමෙ අඩුපාඩුවක් වෙන්නෙ නෑ කියල මම හිතන්නෙ... මම ඉගෙන ගත්ත පන්තිවලට රිසල්ට්ස් කියන්නවත් ගියෙ නෑ..  කලින්ම කියලා ආවා ‌‌‌ෆේල් උනොත් විතරයි පන්තිය පැත්ත පලාතෙ එන්නෙ කියල... හි හි ....  ඒ ගුරුවරු ගැන හිතේ තියෙන ගෞරවය තවමත් නැති වෙලා නෑ... ඒ හා සමානම ගෞරවයක් මේ බ්ලොග් වලින්, වෙබ් සයිට් වලින් දැනුම බෙදාගන්න අය ගැනත් අද වෙනකොට මගේ හිතේ තියෙනව... 


ප/ලි :

2014 ජනවාරි බ්ලොග් එක පාලුවට යන තත්වයක් තමයි තිබ්බෙ.. මාසෙන් බාගයක් හරි ගිහින් මේක ලියාගන්න ලැබුන එක ගැනත් මාර සතුටක් තියෙන්නෙ... පහුගිය ටිකේ බ්ලොග් වල වෙච්ච දේවල් බලාගෙන ඉඳිද්දි තමයි මට මේ සිද්ධිය ආයිත් මතක් උනේ... ඒ පාර ලියලා දැම්මෙ දැං මේක කිව්ව කියලා කාටවත් පාඩුවක් නොවෙන නිසා.... 

ඒ වගේම තව දෙයක් මං බලාගෙන හිටියත් මුකුත් නොකියා හිටපු තැනකදි, කතා කරපු අපේ තිසර, රවී, අටම්, කෙන්ජි, පත්තර මල්ලි සහ ඉන්දික කියන කට්ටියටම ස්තුතියක් කරන්නත් ඕනෙ...බොහොම වෙලාවට ගැහැණියකට අපහාස කරන්න පුලුවන් කියල ඒ කෙනා හිතපු දෙයක් යොදා ගෙන තමන්ගෙ නොදියුණු මානසිකත්වය ලෝකෙට පෙන්වා දීලා තමන්ටම අපහාස කරගත්ත කෙනෙක් හින්දා, ඒ අසරණයා සහ ඒ කතාවෙන් හිතට සතුටක් දැනුන කෙනෙක් ඉන්නවනං, එයාලට  තියෙන්නෙ ලෙඩක් නං දොස්තර කෙනෙක් ගාවට යන්න කියන අවවාදය දෙන්න බැරි, ඕක ලෙඩක් නෙවෙයි මොලේ වර්ධනය අඩු වීමක් කියල හිතෙන හින්ද එහෙම අවවාදයක් දෙන්නත් බැරි හින්දයි මම ඇත්තටම ඒ සිද්ධිය අමතක කරලා දැම්මෙ... 

Monday, December 30, 2013

Good Bye 2013


දෙසැම්බර් 30ත් වෙලා... 2013 ඉවර වෙන්න තව දවසයි... මේ ටිකේ වැඩ ගොඩකට යට වෙලා ඉඳලා අද තමයි දිනේ කවද්ද කියලත් මතක් උනේ... කලින් දවසක පෝස්ට් එකක් ලිව්වා ඉස්කෝලෙ යන කාලේ දෙසැම්බර් කියන්නෙ මොන තරං ජොලි කාලයක්ද කියල... අද ලියන්න හිතුනෙ ඉස්කෝලෙ යන කාලේ දෙසැම්බර් 31 ගැන... 

ඒ කාලේ වීසීඩී / ඩීවීඩි ප්ලෙයර් තිබ්බෙ නෑ නේ හැම ගෙදරකම... ඩෙක් පීස් ප්ලෙයර් එකක් තිබ්බෙත් එහෙමත් ගෙදරක තමයි... අපේ ගෙදරත් ටීවී එක තමයි සැපට දුකට හූනියම් පෙට්ටිය වෙලා හිටියෙ...ඉතිං 25 වෙනිද වෙනකොට පටං ගන්න නත්තල් ෆිල්ම් වල ඉඳලා 31 රෑ තියෙන බහුබූත ටික බලාගන්න සැදී පැහැදී ඉන්නෙ.... හි හි... 

31 රෑ, ඡන්දෙ දවස් එහෙම කොච්චර ඇඩ් දැම්මත් රෑ එළිවෙනකං බෙල්ල කඩං බලන දවස් තමයි... මුලදි නං එක එක ෆිල්ම්ස් දැම්මත් පස්සෙ පස්සෙ මියුසිකල් ෂෝ දාන්න පටං ගත්තනෙ.. මට හොඳට මතක එකක් තමයි වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක ඉස්සරහද කොහෙද මහ පාරෙ කරපු ෂෝ එක... ඒක මහපාරට ගෙනාපු එක තමයි විශේෂත්වයකට තිබ්බෙ මට මතක විදියට... ඒ භාතිය සන්තුෂ්ලා ආපු කාලේ... ඒ ඇරෙන්න මට නං මියුසිකල් ෂෝ අල්ලන්නෙම නෑ.. ඒක හින්ද 31 රෑ නිදා ගන්න පුරුදු උනා ඊට පස්සෙ... 

ඊට පස්සෙනෙ ඔය රිදී රැයක් කතාව පටං ගත්තෙ... මතක විදියට මුලින්ම අනුග්‍රහය මන්චි එකෙන්.. එතකොට ඒක මන්චි රිදී රැයක්... දැන් නං ලංකාවෙ කලාකරුවො සංගම් දෙකක් වෙන වෙනම ෂෝ දෙකක් කරනවා මං දන්න විදියට... ඒක නං එක්තරා විදියක විකාරයක් විදියට මට පෙනුනට මං කලාකාරයෙක් නොවෙන නිසා ඕවයෙ ඇතුලේ කේස් දන්නේ නෑ... 

කොහොම උනත් මං මේ කියන්න ගියේ රිදී රැයක් මුලදි මාර ගති... අපි හින්දි සහ ඉංග්‍රීසි ඔය වගේ ෂෝ බලලා තිබ්බට ලංකාවෙ නළු නිළියෝ, ගායකයෝ හති මුනි දාගෙන ස්ටේජ් එකක් උඩ නටනවා දැකලා තිබ්බෙ නෑ නේ කලින්... හි හි... මට හොදට මතක එකක් තමයි අර ආරිච්චි බෝරිච්චි සින්දුවට නළු‌ෙවා ටිකක් ගෑණු වගේ ඇඳගෙන ආපු එක.. ඒක නං තාමත් මතක් වෙනකොට හිනා යනව... තව ලස්සන අයිටම් තිබ්බ බලන්න ආස හිතෙන විදියෙ.. ඒත් ළගකදි නං රිදී රැයක් එකත් බලන්න කම්මැලි ගතියක් තියෙනව.. මෙදා පාරත් ෂෝ එකක් තියෙන බව දැනගත්තට එච්චර උනන්දුවක් නෑ බලන්න නං... ඒත් ඉතිං ඔය වයෝවෘධ කලාකරුවන්ට උදවු කරන කතාවක් තියෙන නිසා සිනෙ රිදී රැයක් ෂෝ එක කරන එක නරක නෑ.. ( මට දැන් ඔය සංගම් දෙකේ ෂෝ දෙක මොනාද කියල තෝර බේර ගන්න බෑ... එකක් රූපවාහිනියේ යනවා, අනික ස්වාධීනෙ යනවා මං හිතන්නෙ..)  

කොහොම හරි මේ ලිව්වෙ ඉස්සර 31 රෑ ගත කරපු හැටි... දැං නං දෙසැම්බර් 31 කියන්නෙත් අනිත් මාස වල 31 වගේම තමයි.. විශේෂයක් නෑ... මොකද මේ ඩිසයින් වැඩේ එක්ක මට දවස් යනවා මතකයක් හිටින්නෙ නැති හින්ද... කොහොම උනත් සමහර ඩිසයින් වලට මසයක් විතර යනව... ඒ වෙලාවට නං හිතෙනවා අම්මපා ග්‍රැෆික්ම කරගෙන හිටියනං ඉවරයි කියල.. වැඩිම ලොකු වැඩකට උනත් ඕන්නං සතියක් යයි... හි හි... 

ඒ උනාට හිතේ ආසාව තියෙන නිසා කරගෙන යනවා බිස්නස් එකක් විදියට නොවුනත්... බිස්නස් එකක් කියන්නෙ සල්ලි හොයන්න කරන දෙයක්නෙ.. දවසක් අර සහන් කිව්ව වගේ විනෝදාශයක් බිස්නස් එකක් කරගන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි.... එකක් අපේ රටේ ආර්ථිකය.. අනිත් එක මිනිස්සුන්ගේ මානසික මට්ටම... 

කොහොම උනත් විනෝදාංශයක් විදියට කරපු දෙයක් බිස්නස් එකක් උනාම ඒකෙ කොලිටිය බාල වෙනව කියල මට හිතෙනව... අපේ රටේ ශ්‍රමයට සහ නිර්මාණශීලීත්වයට ලැබෙන්නෙ බොහොම අඩු මිලක්... ඒත් ඇත්තටම කොලිටිය තියෙනව නං වෙළඳපොළක් නිර්මාණය කරගන්න අමාරු නෑ කියල මම හිතනව.. ස්ථාවර වෙන්න යම් කාලයක් ගත උනත් ඒ ව‌ෙග් ව්‍යාපාරයක් යම් කාලයකදි සාර්ථක වෙනව... එතකං අල්ලං ඉන්න එකයි තියෙන්නෙ ... හි හි... 

මේ ටිකේම ඇති වෙන්න බැනුම් ඇහනව... උදේ ඉඳන් ටීවී සිරීස් එකක් දාගෙන ඉන්නකෙට අපේ මහත්තයා බයිනවා ඕක දැං වත් ඕෆ් කරනවකෝ කියල... ඒත් මට ඒක ඕනෙ.. මොකද ටීවී සීරීස් එකක තියෙන රිදම් එකත් එක්ක මගේ වැඩෙත් එක දිගටම යන නිසා.. මට අහල පහල සද්ද බද්ද වලින් කන් දෙක නිදහස් කරගැනීමේ උවමනාව තියෙන නිසා... ෆිල්ම්ස්, සින්දු හරි යන්නෙ නෑ මේ වැඩේට... මේ දවස්වල White collar & The Mentalist තමයි මගේ උදව් කාරයෝ වෙලා ඉන්නෙ... අනිත් ඒවයෙ සද්ද බද්ද වැඩියි... 

කොහොම උනත් ආපස්සට හැරිලා  බැලුවාම 2013 මං හිතපු තරං නරක නෑ ... ඒ කියන්නෙ කොච්චර කලු වලාකුලක උනත් රිදී රේඛාවක් හොයාගන්න මට බැරි කමක් නෑ කියල එක කියල මට හිතෙනව.. මගෙ පැත්තෙන් බැලුවම ඒකම ලොකු ජයග්‍රහණයක්... 

බ්ලොග් කටුවෙත් මාසෙකට පෝස්ට් දෙකක් හරි අඩුම ගානෙ වැටෙන විදියට ලියවිලා තියෙනව.. දැනුත් වෙලා තියන්නෙ ලියන්න දේවල් නැතිකමක් නෙවෙයි.. වෙලාව මදි කමක්.... මොකද පෝස්ට් ලිව්ව වගේම කමෙන්ට් කියවන්න සහ රිප්ලයි කරන එකත් මගේ යුතුකමක් විදියට සලකන නිසා ඒකටත් කාලය වෙන් කරන්න ඕනෙ... පහුගිය ටිකේ පෝස්ට් කියවීම බොහෝ දුරට මඟෑරුනා.. ඒත් නොකියවාම හිටියෙ නෑ... ‌කොහොම උනත් බ්ලොග් කියවීම පත්තර, පොත් කියවීම වෙනුවට ආදේශ වෙලා තියෙන නිසා ඒක අතෑරෙන එකක් නං නෑ මට...

දැං ඉතිං 2013ට බායි කියලා 2014ට වෙල්කම් කියන්න කාලෙ හරි.... හි හි.. 


Monday, December 9, 2013

තොප්පි වෙළෙන්දෙක් දවසක්.. තොප්පි ගොඩක් කරේ තියන්...


බ්ලොග්ස් කියවන්න අරන් දැනට අවුරදු 6ක් විතර වෙන අතරෙ ඒ ගැන මට මේ දවස්වල හිතෙන දේවල් ටිකක් ඔහෙ ලියලා දාන්න හිතුන... සමහර විට මටමත් මේවා අමතක වෙයි කියල හිතෙන නිසා පස්සෙ කාලෙක... 

පහුගිය අවුරුද්ද පුරාම අවකාශයෙ සැරිසැරුවෙ නිකම්ම සිංහල බ්ලොග් කියවන්න විතරක් නෙවෙයි... මගේ වැඩ වලට අවශ්‍ය දැනුම හොයාගන්නෙත් වැඩිපුරම බ්ලොග් අවකාශය තුළින්මයි... සමස්ත බ්ලොග් ලෝකයෙම එක එක ජාතියෙ බ්ලොග්ස් තියෙනව... මං හිතන්නෙ මේ සිංහල බ්ලොග් කියෝන වැඩිහරියක් අය නොදන්න පැති මහ ගොඩක් මේ බ්ලොග්ස් වලින් කවර් වෙනව... 

සිංහල බ්ලොග්ස් අතරේ වැඩිහරියක් තියෙන්නෙ සාමාන්‍ය දේවල් ලියවෙන බ්ලොග්ස්, කවි කතා බ්‌ලොග් සහ දේශපාලනික බ්ලොග්ස් කියල මං කිව්වොත් කවුරුවත් තරහා වෙන එකක් නෑ මං හිතන්නෙ.. ඒත් ඉංග්‍රිසියෙන් ලියන සිංහල බ්ලොගර්ලා මීට වඩා දේවල් බ්ලොග් ගත කරනව.. ඒ අතරේ අමතරව තියෙනව ෆොටෝ බ්ලොග්ස්, විඩියෝ බ්ලොග්ස් විදියට එක එක ෆීල්ඩ් ගැන දැනුම බෙදා ගන්න බ්ලොග්ස්...

මේ ටික කියද්දි මට හිතෙන්නෙ අපි මේ ගහ මරාගෙන, අරුන්ට මුන්ට කියලා බෙදාගෙන, උඩදාගෙන කියෝගෙන යන සිංහල බ්ලොග් අවකාශෙටමේ ඇවිල්ල තියෙන දුරට වඩා තව මහා දුරක් යන්න තියෙනව කියන එක... ඉන්න එවුන් ටික දෙනා ගහමරා ගන්නකොට ඒ දුර නං කවදාවත් යන්න වෙන්නෙ නෑ කියල බයකුත් දැනෙනව.. මේකට හේතුව අපි ඔය පට්ට ගගහා බැන බැන ඉන්න, කොච්චර දියුණුයි අරකයි මේකයි කිව්වත් තාම අපේ යටි හිතේ තියෙන දූපත් මානසිකත්වයද කියන එක මට ගොඩක් වෙලාවට හිතෙනව.... 

බ්‌ලොග් කියවන්නෙ දැනුම වර්ධනය කරගන්නවත්, බ්ලොග් ලියන්නෙ තමන් දන්න කියන දෙයක් බෙදාහදාගන්න නෙවෙයි ගොඩක් සිංහලෙන් ලියන බ්ලොග්කාරයො... කම්මැලිකමට... කාලෙ කන්න.. එහෙමත් නැත්තං ‌‌පොඩි පොර මානසිකත්වයක් හදාගන්න.. කවුද අකමැති දෙයක් කියවලා හිනාවෙලා, පිස්සු කෙලලා කාලෙ ගෙවාගන්න... කවුද අකමැති කවුරුහරි මං පොරක් කියලා හිතනවනං... ඒවා වැරදි නෙවෙයි... ඒත් ඊට වඩා දෙයක් මේකෙන් ගන්න පුලුවන් කියන එකත් දැනගන්න එක හොඳයි... 

තව වෙලාවකට ඔය සමහර දේවල් ගැන එක තැනක එකක් කියලා, තව තැනක තව එකක් කියන එක ගැන කතන්දර ගොඩක් තියෙනව... මං පේන හැටියට ඕකෙ පැති දෙකක් මං දකිනව... එකක් තමයි හරියට තේරුම් නොගෙන හිටපු දෙයක්, තේරුම් ගත්තම පැත්ත මාරු වෙන එක... මිනිස්සුන්ගෙ අදහස් කාලෙත් එක්ක වෙනස් වෙනව... ( සාමාන්‍යයෙන් මුල් බැහැගෙන ඉන්න අදහස් නම් වෙනස් වෙන්නෙ කළාතුරකින්.. ) ඔය කැම්පස් යද්දි පට්ට ‌ජේවීජීකාරයෝ ඒකෙන් එළියට ආවම නිකම්ම යූඑන්පීකාරයෝ වෙන්නෙ... (ඕක ඉස්සර අපේ තාත්ත කියපු කතාවක්... ) අනිත් පැත්ත තමයි තාප්පෙ උඩට වෙලා හැරෙන පැත්තට හෝයියා දාන එක.... ඕකෙන් කලින් කියපු එකට මං හරිම කැමතියි.. මොකද ඒකෙන් තේරෙන්නෙ තමන්ට වැරදුනා කියලා පිළිගන්න කොන්දක් තියෙන එකෙක් බව කියල මං හිතන්නෙ.. අනිත් උන් ගැන නං ඉතිං කතා කරලා වැඩක් නෑ මගේ පොතේ හැටියට නං.... 

දෙයක් ඉගෙන ගන්න, යමක් කරන්න උත්සාහ කරන එක මහා ලොකු අමාරු දෙයක් නෙවෙයි... ඇත්ත.. අපි හැමෝම ජීවත් වෙන්න මහා අරගලයක් කරන්නෙ.. ඒකට පොඩි සපෝට් එකක් නැත්තං මේක ඇදගෙන යන්න බෑ.. ආර්ථිකව විතරක් නෙවෙයි, මානසිකවත්... මේක පිස්සු ලෝකයක්... ඒකෙ පිස්සු නොවැටි ජීවත් වෙන එකත් මාර යුද්ධයක්... ඒකට පොඩි වෙනසක් කරගෙන, කුනුහරුපයක් කියාගෙන, විහිළුවක් කරගෙන, බියර් එකක් ගහගෙන, ෂොපිං පාරක් දාලා, අනුන්ගෙ ඕපයක් හොයලා ආතල් එකක් ගන්න එක මගේ පොතේ හැටියට මහා වැරැද්දක් නෙවෙයි.... පරමාදර්ශි චරිත වෙන්න ගියාමත් අපි මහ වාත, බෝරිං,  හපෝ උදේ පාන්දර දැක්කත් දවසම මූසලයි ජාතියෙ චරිත වෙනව... 

හැබැයි ඒකෙත් තමන්ගේ මට්ටම, ඒ කිව්වෙ කතාවට කියනව වගේ ලිමිට් එක දැනගන්න ඕනෙ... 

හැමදාම ගෙදර එනගමන් බාර් එකෙන් බියර් එකක් ගහලා, වාහනේ එලෝගෙන ගෙදර එන එකා එදාට වැදගත් චරිතෙ වෙලා, ඌම ඉඳලා හිටලා පාටියකට ගිහින් කන පැලෙන්න බීලා එන ගමන් වාහනේ කාණුවක දාගෙන, කබරයා ගොඩේ එළිවෙනකං ඉඳලා මාට්ටු වෙන දවසට බේබද්දා වෙන්නෙ තමන්ගෙ ලිමිට් එකක් නැතිකමයි, තමන්ට ලිමිටි එකක් තියෙනව කියලා පිළිගන්න කොන්දක් නැති කම හින්ද මිසක් දකින මිනිස්සුන්ගෙ වැරුද්දක් හින්දවත්, ගෙදර මිනිස්සුන්ගේ වැරැද්දක් හින්දවත් නෙවෙයි.... හැබැයි ඒකම තව පාරක් කරගත්ත එකා හිතක් පපුවක් නැති එකෙක් වෙන්නෙ, ඒ කරන වැඩෙන් දුක් විඳින්නෙ උෟ වටේ ඉන්න, උට ආදරේ කරන, උෟ ආදරේ කරන එවුන් කියන එක තේරුම් ගන්න බැරි හරකෙක් නිසා විතරයි... 

පම්පෝරි ගහන්න කවුද අකමැති.. මං නං කැමතියි... තමන් කරපු දෙයක් කළාය කියල කියන්න බැරි, කොන්දක් නැති එකෙක්ට විතරයි.. ඒ ව‌ෙග්ම තමන් වැරැද්දක් කළා කියල තේරුම් ගන්න මිනිස්සු කියන ජාතියට ක්‍රම දෙකක් තුනක් විතර තියෙනව.. එකක් ඔය කරේ තියන් ඉන්න ආගම කියන එක... අනිත් එක සල්ලි නැත්නං බේරෙන්න බැරි නීතිය... තව එකක් තමයි තමන් වටේ ඉන්න එවුන්... ඔය ක්‍රම ටිකෙන් එකකින් හරි තමන් වැරැද්දක් කළාය කියලා තේරුම් ගත්ත නං, ඒක පිළිගන්න එකා කොන්දක් කියල එකක් තියෙන එකෙක්... 

එතකොට තමන් වැරැද්දක් කළාය කියලා පිළිඅරගන්න ගමන්, ඒ වැරැද්ද ගැන පම්පෝරි ගහන එකා මොකෙද්ද...? 

ගොඩක් අය තමන් කරන හරි දේවල් ගැන හැමෝටම කියන්න ආසයි... හැබැයි තමන් වැරැද්දක් කළාම ඒක සාමාන්‍යයෙන් කාටවත් කියන්නෙ නෑ.. නමුත් කාලාන්තරේකට පස්සෙ මොලේ ටිකක් පෑදෙන කාලෙට ලැජ්ජාව අඩු වෙලා, වෙච්ච දේට තමන්ටම හිනාවෙන්න පුළුවන් කාලෙදි, ඕක කිව්ව කියල නරකක් වෙන්නෙ නෑ ඒක වැරැද්දක් බව තව කාට හරි තේරුම් කරන්න නං... හරියට ඔය තාත්තලා කියන්නෙ  අපි ‌ඔය කාලෙ කරපු දේවල් වල හැටියට.... කියලා කෑල්ලක්.... එහෙමත් නැත්තං  අපිත් ඔය කාලෙදි ඕවා කළා, හැබැයි පුතේ... ” වගේ කෑලි.... 

නමුත් හරකෙක් නොවෙන, මොළයක් කියල දෙයක් තියෙන එකෙක් තමන් යමක් කියන්න කලින් ටිකක් හිතනව තමන් ‌කොරන කියන කෙහෙල්මල් වලින්, තමන් වටේ ඉන්න එවුන්ට මොනා හිතෙයිද කියල... හැට පැනපු නාකින්ට ටොකු ඇනලා කියල දෙන්න ඕනෙ නැ නේ... 

නැට්ටට කිරි උනන්නත් කලින් ඉඳලා හතර වටේ ඇන්ටිලයි අක්කලයි එක්ක වල් කමේ ගිය එක ඒ කාලෙ මහා ලොකු දෙයක් සම හරක්ට... හැබැයි ඒ කාලෙ පහු කරලා, කවුරුහරි පත්තිනි අම්මෙක් හොයාගෙන, පවුල් කාලා, දරු මල්ලො හදාගෙන, ඒ අස්සෙත් අහල පහල අහු වෙන ගෑණුන්ට සලකලා, අවුරුදු හැට හැත්තෑවක් උනාම තේරෙන්න ඕනෙ එදා කළේ වීරකමක් නොවෙන බව... ගොන් කමට කළා උනාට කරුමෙ ටිකක් හොඳ පැත්තට තිබ්බ නිසා ලෙඩක් දුකක් නොහැදි, හතර අතේ දරුවො ජාතක නොකර, තාම යහතින් ඉන්නව කියලා, තමන්ගෙ දරුවන්ට ලැජ්ජාවක් නැතුව කට ඇරලා  තාත්තේ.. සීයෙ කියන්න පුලුවන් කමක් කියෙන බව.... 

ඒත් ඒ කළ ගොංකං ගැන අදත් වීරකං වගේ පම්පෝරි ගහන පිරිමි උන්දැලා ටිකක් හරි කල්පනා කරනවනං  මගේ ගෑණි සබාවක් මැද්දට ගිහින්, මං මේ මිනිහව බඳින්න කලින් අහල පහල ගෙවල් වල උන්නු අන්කල්ලා, අයියලා ඔක්කොම එක්ක කරන්න තියෙන සෙල්ලම් ඔක්කොම දැම්ම, ඕවා නං අපිට එච්චර දේවල් නෙවෙයි, මගේ මිනිහා ඕවා ඔක්කොම දැනගෙනනෙ මාව කසාද බැන්දෙ කියල කිව්වනං මට මොනා හිතෙයිද ... කියලා.... ( ඒක අහන එවුන් අරූ දිහා බලලා  හපෝ මෙහෙමත් පොන්නයෙක්.. කියලා හිතන එක වෙනම කතාවක්....අරුන් මුන් හිතන ඒවා අපිට මොකටද...) 

( ඔය එකක්වත් නොකර, ඒත් තමන් වීරය වෙන්න අතිනුත් ලූණු ඇඹුල් දදා, උදේ හවස පෝන් වීඩියෝස් බලලා දැනගත්ත දේවල්, තමන් කළා වගේ කියන අය නං මේවා ගැන එච්චරම හිතන්න ඕනෙ නෑ.. වැඩිම උනොත් ගෑණීට කියන්න වෙයි... “ පිස්සුද අනේ..  ඔය මං බොරුවට කියෝන ඒවා.. ඔයා දන්නවනේ මං බෝ පැලේ වගේ මනුස්සයා කියල...... )

වක්කඩ කැඩුවා වගේ කියෙව්වට කමක් නෑ තමන් කරන කියන දේවල් වලින් බිංදුවක වත් හානියක් වෙන කෙනෙක් තමන්ගෙ ජීවිතේ පැත්ත පළාතක නැති, තමන්ගේ ජීවිතේ තමන් ඇරෙන්න වෙන විරයෙක් කියල එකෙක් නැති, එහෙමත් නැත්තං තමන් වටේ ඉන්න උන්ට ඕවා ගානක් නෑ කියලා හිතහදාගන්න පුලුවන් විදියෙ, හිතක් පපුවක් කියලා එකක් නැති එකෙක් නං... 

----------------------------------------------------------------------------------------------------









ප/ලි  - ඔන්න ඔ‌හොමයි මේ දවස්වල බ්ලොග් කියවන්නෙ... මේ දවස්වල කියෝනව විතරයි කමෙන්ට් කරන්න වෙන්නෙම නෑ... කෙම්ෆෙක්ස් ගම් එක්කනෙ වැඩ.. කී බෝඩ් එකට නං එච්චර කේස් එකක් නෑ ඉටි කොළයක් තියෙන නිසා.. ඒත් මවුස් එකට නං සොරි වෙලා තියෙන්නෙ.... ( දැං මේ වාක්කෙ විතරක් කට් ඇන්ඩ් පේස්ට් කරපල්ලකෝ කමෙන්ට් වලට....හි හි) 

මං ගැන කියනව නං මං දැං මේ දැනට කරගෙන යන ග්‍රැෆික් වැඩ ඇරෙන්න, අනිත් හෑන්ඩ් ක්‍රාෆ්ට් බිස්නස් එක මං තනිකරම ඉගෙන ගන්නෙ මේ බ්ලොග්ස් වලින්... ඔව්.. මේ හෑන්ඩ් ක්‍රාෆ්ට් වැඩ මම ඉස්කෝලෙ යන කාලෙදි කරලා තියෙනව.. ඒත් මේ වෙනකොට මේවායෙත් තාක්ෂණය දියුණු වෙලා... ඒත් වැදගත් දේ තමන්ගෙ නිර්මාණශීලීත්වය තමයි... මගේ පවුලේ ආර්ථිකේට පුංචි සපොට් එකක් දෙන්න මට මේකෙන් බැරි කමක් නෑ අද වෙනකොට.... 

මේක ලිව්වෙ මගේ සාමාන්‍ය සිස්ටම් එකටමත් නෙවෙයි.. කුණුහරුප කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි... ඒව වලට ඇඹරුනා පහේ පන්තියෙදි විතර.. ඊට පස්සෙ තේරුම් ගත්ත කුණුහරුප කියලා වීරයෝ වෙන්න හදන අය ව‌ගේ අය, ඇන්කර් පෙට්ටියක් ගත්තම තුන් හතර දෙනෙක් කපාගන්න පුලුවන් බව.... කුණුහරුප කියනව නං බජාර් එකේ සිස්ටම් එකටම කියන්න බැරිකමක් නෑ ෆිල්ම්ස් බලන තරමට... ඒත් මොකටද.. ඊට වඩා ලස්සනට කියන්න තියෙන දේ කියන්න පුලුවන්කම තියෙද්දි.... 

වීනස් දෙව්දුවත් ඉන්නේ පොඩි රෙදි කඩක් ඇඳගෙන... ෆිල්ම් එකක් පටන් ගනිද්දි සනී ලියෝනුත් ඉන්නෙ ඊට වඩා හොඳට වැහෙන ඇදුමක් ඇඳගෙන... හැබැයි වීනස් දෙව්දුව කලාකෘතියක්... එත‌ෙකාට අරක කලාකෘතියක් වෙන්නෙ නැද්ද.. කවුද එහෙම කියන්නෙ... වෙනවා වෙනව.. හැබැයි අන්තර්ගතය දෙකක්.. අන්න ඒක තේරුම් ගන්න පුළුවන් එකා විනස් දෙව්දුව දිහා බලාගෙන අතේ ගහන්න යන්නේ නෑ... ( තේරුම් ගන්‌නෝ තේරුම් ගනිත්වා...!) 

Tuesday, December 3, 2013

පොඩි පත්තර කතා දෙකක්.... Short NEWS stories...

අද පොඩි කතා දෙකක් විතරක් දාන්නෙ උදේ පාන්දරම නෙට් කනෙක්ෂන් එක කපලා, මගේ මූඩ් අවුට් ගියා හින්ද.... නැත්තං මේක මීට වඩා ලියන්න හිතං හිටියෙ.... 

මේ ටිකේම උදේට පත්තර කතන්දර අහද්දි හිතෙන්නෙම අපි ඔක්කොම කාටූන් විතරද කියලා... ඔන්න පත්තර වල හෙඩ් ලයින් ටිකයි, විස්තර ටිකයි කියෝනව... ඊට පස්සෙ ඇතුල් පිටු.. ඊළඟට එක එක ඒවා.. ඊළඟට කාටූන්.... 

හැමදාම කාටූන් ටික කියවද්දි මට හිතෙනවා මුළු පත්තරේම තියෙන දේවල් වලින් රටේ මිනිස්සුන්ගෙ හිත් වලට තියෙන දේවල් වලට තියෙන්නේ කාටූන් ටික විතරයි කියල... 


සූවාරිස් හැමදාම කෝටු කිතයියෙක්... අනිත් පැත්තෙ බඩ මහත මොකෙක් හරි... සරදම් එකෙත් එහෙම්මමයි... හිනා වැස්සෙයි පලා මල්ලෙයි නං යන්තං හමට යටින් මස් කළඳක් තියෙනවා වගේ පේනවා... 

ඒ මදිවට අනේ අපේ හිතේ තියෙන ටිකත් ඒ විදියටම ඔය ‌ගොයියො ටික කියනවනෙ... 

එහෙම බැලුවාම අනේ අපේ රට කරනවනවා කියලා කිය කිය, උදේ ඉඳන් හවස් වෙනකම්ම රට “අනුභව කරන”  උන්ට අපි පේන්නෙ කාටූන් චරිත විදියට විතරද.... ?


මේ අනිත් එක... 

මේක දැක්කෙ e-journalist කියලා බ්ලොග් එකක.... 



මෙන්න මේ පින්තූරෙ සහ ඒ අදාල සටහන කියෙව්වම මට හිතුනේ... බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගිහින් කියල විතරමයි... 

පොලිසියෙන් කරන්න ඕනෙ වැඩේට මොකටද හාමුදුරැවෝ....?

මේ ඊයේ පෙරේදා පරණ ෆිල්ම් ගොඩක් අවුස්සද්දි අහු උනා ෆිල්ම් එකක්.. ඒකෙ නම Footloose ... ( ෆිල්ම් දෙකක් තියෙනව.. එකක් 1984, අනික 2011... මම බැලුවෙ 2011 එක... 

පොඩි නගරෙක කාර් ඇක්සිඩන්ට් එකකින් හයිස්කූල් සීනියර්ලා පස් දෙනෙක් මැරෙනව.. සෙට් එක එන්නෙ ඩාන්ස් එකකට ගිහින්... 

එතන ඉන්න එකෙක්ගෙ තාත්තා‌ තමයි පල්ලියෙ ෆාදර්.. ඔය ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ බොහොම හැඟීම්බර දේශනාවක් තියල එදයින් පස්සෙ 18ට අඩු එවුන්ට ‌රොක් මියුසික්, ඩාන්සින් තහනම් කරනවා... අඩුම ගානෙ  Prom එකවත් නෑ... 

අවුරුදු 3කට පස්සෙ බොස්ටන් වලින් එන කොල්ලෙක් ඕක වෙනස් කරන්න හදන කතාවක් තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ.. ඕකෙ මරු දෙබසක් තියෙනව පල්ලියෙන් හැම එකටම අතදාන එක ගැන... මං සිංහලෙන් මතක විදියට මෙතන දාන්නෙ.. හරියටම ට්‍රාන්ස්ලේෂන් නං නෑ... 

කොල්ලා අහනවා එයාගෙ මාමගෙන්... 

“ ඉරිදට ගේම් එකක් තියෙනවා නං ඔයා කොහොමද බියර් ගන්නෙ, එදාට පල්ලියෙන් බාර් වහලනේ ”

එත‌කොට මාම කියනව 

“ ඉරිද කියන්නෙ දෙයියන්ගෙ දවස, එදාට බියර් ගන්න බෑ.. ඔයාට බියර් ඕනෙ නං ඒක බියර් දවසෙදි ගන්න... බියර් දවස කියලා එකක් බයිබලේ තියෙනව.. ඔයාට ඕනෙ නං බලන්න ” කියලා... 

ඔන්න ඔහොම සීන් එකක්.. මට ඔය ෆිල්ම් එක බලනකම්ම මතක් උනේ ඔය උඩ මම දාපු ෆොටෝ එකමයි... 

නීතියයි ආගමයි කියන්නෙ දෙකක් කියලා මේ අපේ මිනිස්සු කවදා තේරුම් ගනියිද කියලා මං මේ කල්පනා කරන්නේ.... 

Monday, November 18, 2013

“අ යන්න අම්මා ”වෙනුවට ” A for Apple ” කියවන්න කාලේ හරි වගේ...


පහුගිය ටිකේ ලියන්න කියලා හිතෙන දේවල් මහ ගොඩක් තිබ්බා.. ඒත් ලියලා මොනා කරන්නද කියල හිතිලා අතෑරලා දාපු ඒවා ගොඩට ඒ ටිකත් නිකම්ම වැටිලා තිබ්බෙ.. ඒ අතර තිබ්බ එකක් අද ඇදලා ගත්ත ටිකක් හිනා වෙන්නත් එක්ක... මේ ටිකේ සිරියස් ගන්න දේවල් වැඩියිනේ... හි හි

පහුගිය දවසක අපේ ඔය බ්ලොග් ලියන්නෙක්ම නිකමට කතා කර කර ඉන්න ගමන් කිව්වා පොඩි එකාට අකුරු කියවන එකක් ගැන... එතකොට තමයි මට මේක මතක් උනේ.. මං ඉතිං එයාගෙන් ඇහුවා දැං පොඩි එකාට කියවන්නෙ සිංහල හෝඩියද, ඉංග්‍රීසි හෝඩියද කියලා.. හි හි... 


ෆොටෝ එක ගූගල් එකෙන් සර්ච් කරලා හොයාගත්තෙ... ඒකත් ‌බොහොම අමාරුවෙන්... 

අපේ නෑනගෙ පොඩි එකා ඉන්නවනෙ.. තාම අ‌වුරුදු 2ක් විතර.. දැං නං ඉතිං වචන කතා කරන කාලේ.. හැබැයි මට නං එයා කියන ඒවයින් කාලක්වත් තේරෙන්නෙ නෑ.. පොඩි උන් හිටපු ගමන් ඒලියන් භාෂා වලින් කතා කරනවනෙ... මෙයා කතා කරන්නෙ මරු විදියට... ඔන්න වචන දෙකක් කිව්වොත් එකක් සිංහල.. එකක් ඉංග්‍රීසි... පොඩි මස්සිනා එයාට පොඩි මාමා.. අපේ මහත්තයා ලොකු මාමනෙ.. එයාට කියන්නෙ බිග් මාමා .... හි හි

ඒත් පොඩි උන්ට එකපාරට භාෂා දෙකක් කියලා දීලා අපි කරන්නෙ වැරැද්දක්ද කියලා මට වෙලාවකට හිතෙනවා... ඉංග්‍රීසි ඉගෙන ගැනීම අත්‍යාවශ්‍යයි... ඒත් සිංහල ??? ඔය එදිනෙදා කතා කරගන්න ගානට පුලුවන් උනාම ඇතිද...???

අපේ පොඩ්ඩෙක් ඉන්නවා දැං ඉන්ටනැෂනල් ස්කුල් එකක ඉගෙනගන්නෙ.. පොඩි කාලෙදි එයාට සිංහල කතා කරන්න එච්චර උනන්දු කළේ නෑ එයාගේ අම්මලා.. ඉතිං ජීවිතේම ලංකාවෙ ඉඳලත්, සිංහල කතා කරන මවුපියන්ගේ දරුවෙක් වෙලත් එයාට සමහර සිංහල සාමාන්‍ය වචන පවා තේරුම් ගන්න බෑ.. තාම අවුරුදු 10ක් විතර නිසා එයා ටක් ගාලා අහනවා Can u say it in English කියලා... ඒක එයා පොෂ් කමට කරන දෙයක් නෙවෙයි... ඇත්තටම එයාට කොච්චර ඒ වචන ඇහුනත් තේරුම් ගන්න බෑ.. විශේෂයෙන් වෙලාව, එහෙම නැත්තං ගානක්, බඩුවක මිල වගේ දේවල් එහෙම කියද්දි ඉංග්‍රිසියෙන්ම කියන්න ඕනෙ එයාට... එයාගේ අම්මලා නං තාමත් හිතන්නෙ ඒක හොඳ දෙයක් කියලා.. සමහර වෙලාවට ඒක එහෙම වෙන්න ඇති.. ඒත් මට එහෙම හිතන්න බෑ... 

පොඩි කාලෙදි තමයි භාෂාවල් කටට හුරු වෙන්නෙ... අපේ එක නංගි කෙනෙක්ව පොඩි කාලේ බලාගත්තෙ දෙමළ ගෑණු කෙනෙක්.. මේ කෙල්ල අවුරදු 10දි දෙමළෙන් පිළිගැනීමේ කතාවක් කළා දෙමළ වචන ගානට උච්ඡාරණය කරලා... මට නං ඇත්තට දෙමළ කොච්චර ඉගෙන ගත්තත් ඒ වචන උච්ඡාරණයෙදි ටිකක් අවුල් යනව... ඉංග්‍රීසි වලටත් ඒ කේස් එක තියෙනව.. සිංහල වගේ ඒ භාෂා කටට හුරු නෑ... 

ඒත් මුලදිම ඉංග්‍රීසිය කටට හුරු උනාම සිංහල උච්ඡාරණයෙදි වෙනසක් වෙනව දැනිලා නැද්ද කාටවත්.... හරියට ජීවිතේම පිටරට හැදිලා ලංකාවට ආපු කෙනෙක් සිංහල කතා කරනවා වගේ... ආ.. ඔව්.. කට්ටිය තමං පොෂ් කියලා පෙන්නන්නත් එහෙම කරනවා තමා... මං කිව්වෙ එහෙම නෙවෙයි... ඇත්තටම සිංහල දෙවනි භාෂාව විදියට ඉගෙන ගත්ත ළමයෙක්ට සිංහල හරියට කතා කරන්න වෙනම මහන්සියක් ගන්න වෙනවා... ඉතිං මවු භාෂාව සිංහල වෙච්ච ළමයෙක් එහෙම අමුතු විදියකට සිංහල කතා කරන එක හරි කියල මට හිතන්න බෑ... 

වෙලාවකට මට හිතෙනවා අපි ඉංග්‍රීසිය ඔලුව උඩ තියන් ඉන්නවා වැඩිද කියල... අපි ළමයින්ට සිංහලට වඩා ඉංග්‍රිසි උගන්නන්න උත්සාහ කරන්නෙ එයාලගෙ අනාගතය වෙනුවෙන්මද කියලා... එහෙම නැත්තං අපිට සමාජයේ එක පැලැන්තියක් අනුකරණය කිරීමේ බලවත් ආසාව හින්දද කියලා... මධ්‍යම පන්තියෙ අයට ඉහල පැලැන්තියට කිට්ටු වීමේ බලවත් ආසව හින්දද කියලා... 

මම ඉංග්‍රීසි ඉගෙන ගත්තෙ දෙවනි භාෂාව විදියට... මට සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව කවදාවත් තිබ්බෙ නෑ... දැං පාවිච්චි වෙන්නෙම නැති නිසා ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව නැත්තටම නැති වෙලා තියෙන්නෙ... හැබැයි ඉංග්‍රිසි බෑ කියලා මං පස්ස ගැහුවෙ නං නෑ කිසි තැනකදි... දන්න විදියට කතා කළා.. එහෙම වෙලාවට මං දිහා නෝණ්ඩියට බලපු අය ඕනෙ තරං හිටියා... තමන් ලොකුයි කියලා හිතං ඉන්න ඕනෙ දෙයක්, නැති කෙනෙක් දිහා පල් එකට බලන එක අපේ ජාතියෙ පුරුද්දනෙ... ඒක නැති කරන්න බෑ... මගේ තියෙන පැහැදිලිම අත්දැකීම තමයි ලංකාවෙ කෙනෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනවට වඩා සුද්දෙක් එක්ක ඉංග්‍රීසි කතා කරන එක ලේසියි කියන එක... සුද්දන්ට ඉංග්‍රිසි කියන්නේ ආභරණයක් නෙවෙයිනේ.. ඒක මෙවලමක් විතරයි... අපිට තමයි ඒක ආභරණයක් වෙලා තියෙන්නෙ... 

දැං මේක කියවන අයට හිතෙයි මට ඉංග්‍රීසි බැරි නිසයි මං මේ වැල්වටාරං, බහුභූත කියවන්නේ කියලා... වෙන්න ඇති.. සමහරු විට මට හොඳට ඉංග්‍රීසි පුළුවන් උනා නං මාත් ඒක ආභරණයක් කරගන්න ඉඩ තිබ්බ.. මොකද මාත් මේ සමාජයෙම ජීවත් වෙච්ච සතෙක් නිසා... ඒත් මට වැරැද්දක් පේනව මේ මං ඉන්න තැන ඉඳන් බලනකොට... ඒ ගැන මට තේරෙන විදියට තමයි මං මේ කිව්වෙ.. 

මට දැං තේරෙන විදියට නං තව ටික කාලයක් යද්දි අකුරු කියවද්දි පොඩි එකාව පැඳුරක් උඩ තියල, වටේට රස කැවිලි, සෙල්ලම්බඩු, පොත් පෑන් තියලා, ‌හෝඩි පොතේ ඉංග්‍රීසි හෝඩිය පෙරළලා අ යන්න අම්මා කියවනවා වෙනුවට A for Apple කියලා අකුරු කියවන ට්‍රෙන්ඩ් එකක් එයි... මේ යන විදියට හැබැයි ඒක තමයි වෙන්න ඕනෙ දේ... මොකද මුල් භාෂාව විදියට ළමයින්ට උගන්නන්නෙ ඉංග්‍රීසි උනාම ‌‌හෝඩිය කියවන්න ඕනෙත් පොතේ හැටියට ඉංග්‍රිසි නේන්නං... හි හි ... 

ප/ලි . මේකට හෝඩි පොතක ෆොටෝ එකක් හොයන්න කියලා සර්ච් එකක් දැම්මම මෙන්න ‌‌දෙයියො ටිකගේ නම් ටික එනවා හෝ ගාලා.. සරස්වතී, ගණ දෙවි, සුමන සමන් දෙවි, කද සුරඳු... ඔක්කොම කට්ටිය ඉන්නවා බොලේ.... දෙයියොන්ගෙ පිහිටෙන් හෝඩි පොත් නං හොඳට මාකට් වෙනවද කොහෙද... හි හි.. මං ෆොටෝ හොයන වැඩේ අතෑරලා දැම්ම... 

Monday, November 11, 2013

රූං පෙත්ත සහ ආගන්තුක සත්කාරය... CHOGM Style


මේ.... 

කට්ටියක් එනව ගෙදට්ට... 

මේ පරණ පුටු වල ඉඳගන්න දෙන්න පුළුවනෑ... 

දම්රෝ එකෙන් අලුත් සෝෆා එකකුයි, ඩයනින් ‌ටේබල් එකකුයි, පුටු ටිකකුයි ගේමු... 

කර්ට්න් ටිකක් මහගන්නත් ඕනෙ.. 

ඒ මිනිස්සු හොඳ තැන් වල මිනිස්සු... 

අපිත් ඒ ගානට ඉන්න එපැයි... 

නැත්තං අපිටනේ ලැජ්ජාව... 

හොඳ තැනකින් කෑම ඕඩර් කරමු.... 

McDonald හරි KFC හරි කෑම ඕඩර් කරමු... 

අපිටත් ඒවා තියෙනවා කියලා පෙන්නන්න එපැයි... 

සල්ලි නෑ තමයි අනේ... 

අපි ලෝන් එකක් ගහමු...  

ගිනි පොළියට හරි කමක් නැ... 

පස්සෙ ගෙවාගන්න බැරියැ... 

මෙහෙම චාන්ස් එකක් ආයිත් එන්නෙ නෑ නේ.... 

Wednesday, November 6, 2013

පොත් කියවිල්ල සහ පිස්සු කතා.... නොස්ටලොජියා සීන්....

වෙනදා වගේම සර්ච් එකක් දාලා පින්තූරෙ හොයාගත්තෙ... ඕනෙ නං කට්ටිය ඉමේජ් සර්ච් දාලා අලගිය තැන් වැල ගිය තැන් හොයාගන්නවා හොඳයි... හි හි... 
මේක ලියන්නම ඕනෙ කියලා හිතුනේ අපේ කකාගේ පරණ කතන්දරයක් කියෙව්වම... පොඩි නෙවෙයි ලොකු නොස්ටලොජියා සීන් එකක්... මම කලින් දවසකත් මගේ පොත් කියවීමේ පිස්සුව ගැන ලිව්වා.. හැබැයි මේ ටික ලියවුනේ නෑ වගෙයි මතක.. කොහොම උනත් අද මාත් කියන්න යන්නේ කකා වගේම කතන්දරයක් වෙන්න ඇති.. හැබැයි ටිකක් දිගයි... හි හි.. 

අපේ අම්මයි තාත්තයි දෙන්නම පොත් කියවන්න පිස්සෝ කියලා තමයි තාත්තා මට කියන්නෙ.. ඒත් මට මතක ඇති කාලෙක අම්මා පොත් බදං කියෝනවා මට මතක නෑ... මං ඉපදෙන්න කලින් ගෙදර තිබ්බ චිත්‍රකතා පත්තර ටික නං ගිනිතිබ්බා කියලා තාත්ත කියනවා... මං ඇහුවම ඒ ඇයි කියලා හැමෝම කිව්වලු ඒවා ළමයින්ට හොඳ නෑ කියලා... අනිත් එක අම්මට මං ඉපදෙන්න ඉන්න කාලේ ඔය වගේ ඒවා කියවන්න දෙන්න එපා කියලා තාත්තගේ නෑයෝ කිව්වලු... මං එදත් කිව්වා ඒක මහ පිස්සු වැඩක් කියලා.. අදත් කියන්නේ ඒකමයි.. මොකද කිව්වොත් අම්මගේ පොත් පත්තර කියවීමෙ ආසාව මට එහෙම පිටින්ම ඇවිත් තියෙන නිසා.... 

සමහර විට ඒකට තාත්තගේ පොත් කියවීමේ ආසාවත් එකතු වෙලා මගේ මේ පිස්සුව හැදෙන්න ඇති.. මොනා උනත් මං මේ කියන්නේ මට හැමදේම අම්මගෙන් එන්න ඇති.. හැබැයි අම්මට වඩා තදට මට ඇවිල්ලා තියෙන්නෙ පොත් කියවිම සහ ලිවීම... ඒ කියන්නේ ඒ දෙන්නටම පොදු එකම ලක්ෂණය ඩබල් වෙලා මට ඇවිල්ල... හි හි... 

පොඩි කාලෙ නෙවෙයි දැන් උනත් මට ඕනෙ දේකට එකපාරටම හිත යන්නේ නෑ.. ඒක ඇඳුමක් උනත්, වෙන දෙයක් උනත් ( කම්පියුටර් කෑලි සම්බන්ධව ඇරුනම) ... හැබැයි තාත්ත කියන විදියට තාත්තට ගොඩක්ම සන්තෝස වෙන විදියට මං හැසිරුනේ මට පොතක් ගෙනත් දුන්නමලු... මට මතකයි අවුරුදු 8දි විතර තාත්ත ඩේවිඩ් කරුණාරත්නගේ රොබින් හුඩ් පොත මට ගෙනත් දුන්න... තාත්ත පොත අතට දුන්නම මං ඒකත් අරං ගිහින් ඉඳගත්ත පුටුවෙන් නැගිට්ටෙ පාන්දර 2 වෙනකම් කියෝලා පොතම ඉවර කරල... 

අම්මගෙන් මට ඇවිත් තියෙන තව දෙයක් තමයි කනකොට පොතක් ඕනෙ වෙන එක... ඕක ගෙදර ඉන්දැද්දි මට තදට තිබ්බා.. පොත කියෝලා ඉවර වෙලා තමයි ඇඳෙන් නැගිටින්නේ... මට විතරක් නෙවෙයි.. අපේ මල්ලිටයි නංගිටයි දෙන්නටත් ඔය පුරුද්ද තියෙනවා... හැබැයි මං කවදාවත් දැකලා නෑ අම්මා එහෙම කරනවා... ඒකයි පුදුම වැඩේ කියන්නේ... අම්මා බඳින්න කලින්ලු ඒ පුරුද්ද තිබ්බෙ.. කොහොමත් අදටත් මං රස කෑමක් හම්බුනොත් කෙලින්ම උස්සගෙන කාමරේට ගිහින් ඇඳට වෙලා පොතක් පෙරළගෙන තමයි කන්නෙ.. පුටුවක ඉඳගෙන කෑවට මට ඒක හරියට රස විඳින්න බෑ... අපේ මහත්තයා කොච්චර බැන්නත් ඒ පුරුද්ද අතෑරගන්න මට බෑ... 

පොත් කියවිල්ල ගැන කකා කියලා තිබ්බ දේ ගැන කල්පනා කරද්දි මං කල්පනා කළා මට එහෙම වෙලා නැත්තේ ඇයි කියලා... මාත් ඔය බර බර පොත් කියෙව්වා පොඩි කාලේ ඉඳලම... අපේ අම්මයි තාත්තයි දෙන්නගෙන් අමාරැ වචන ඇහුවා කියලා මට මතකක් නෑ... මං හිතන්නේ මගේ කියවිල්ල ගොඩක්ම වැඩි නිසා මට අමාරු වචන එන්න නැතුව ඇති... එහෙම නැන්තං මං එහෙම ඒවා ඇහුවම අම්මයි තාත්තයි හිනාවෙලා නිකං ඉන්න ඇති... 

කො‌ෙහාමත් මං පොඩි කාලේ කරපු ගොන් වැඩ වලට කට්ටියම එකතු වෙලා තාමත් මතක් කර කර හිනා වෙන හැටියට මට හිතෙන්නේ ඒවටත් කට්ටියම එකතු වෙලා හිනාවෙන්න ඇති කියලා.. හි හි... 

අපේ තාත්ත අම්මට ගෙනත් දුන්න පොතක් තිබ්බා හෙළු කඳුළු මුහුදට එක් උනාදෝ කියල.. ඕක හංගලා තිබ්බෙ අම්මගේ අල්මාරියෙ.. මං ඕක හොරෙන් කියෙව්වෙ අවුරුදු 13දි විතර.. මට නං ඒකෙ අර තහනම් වැඩක් හොරෙන් කරනකොට තියෙන ආතල් එක වගේ දෙයක් මිසක් වෙන අමුතු දෙයක් තිබ්බේ නෑ.. මොකද තාත්ත මට කියවන්න ගෙනත් දෙන ට්‍රාන්ස්ලේෂන් වල ඒකෙ තිබ්බට වැඩිය ලිංගික චර්යා ගැන විස්තර තිබ්බා...මං ඊට වැඩිය පොත් ඒ වෙනකොට කියෝලා තිබ්බා.. මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා, කොලරා කාලේ ආලේ, ඊවා ලූනා එහෙම මං ඒ කාලෙත් කියවලා තිබ්බෙ කතාවෙ මෙලෝ හසරක් තේරුණේ නැති උනාට... හි හි.. ඒවයේ ඇතුලේ කතාව තේරුම් ගත්තේ ඒලෙවල් පන්තිවලදි ආයිත් කියෝනකොට.. 

මම 9 වසරේ ඉන්න‌ෙකාට මගෙන් එක කෙල්ලෙක් ඇහුවා දූෂණය කරනවා කියන එකේ තේරුම.. මං ඒ වෙනකොට මට ඒක තේරිලා තිබ්බ විදියට කිව්වා මේකයි කියලා.. අවුරුදු කීපයකට පස්සෙ මම දැනගත්තෙ මම ඒක එදා හරියටම කියලා දීලා තියෙනවා කියලා.. එහෙම කියලා දෙන්න මම ඒක තේරුම් ගත්තේ පොත් කියෝල තේරුම් ගත්ත‌ දේවල් වලින්මයි... මොකද ඉස්කෝලවල ඕව කියලා දුන්නයැ...  

කකා‌ෙග කතාවත් එක්කම මට මතක් උනේ මං පොඩි කාලේ අපේ ගෙදර පරිසරය ගැන... සල්ලි තිබ්බෙ නැති මට මතකයි... අපේ ගේ ලෑලි වලින් හදලා තිබ්බා කියලා මට මතකයි... අපේ තාත්තට හරියට කේන්ති යන නිසා මං තාත්තා ගෙදර නැති වෙන දවසට හරි කැමැත්තෙන් හිටියා කියලා මට මතකයි... ඒත් ඒ ඇරුනම අපේ ගේ මට හරිම නිදහස් පරිසරයක් තිබ්බෙ... අම්මා මාත් එක්ක හරියට කතා කරනවා... ගොඩක් වෙලාවට තාත්ත ගෙදර එන්නෙ මං නිදාගත්තම.. උදේට තාත්ත වැඩට යනකොටත් මං නිදි.. ඒත් තාත්ත ගෙදර ඉන්න දවසට තාත්ත හරි ජොලි... කොස්සක් අරන් ගිටාර් ගහනවා... පොඩි රබානක් තිබ්බා, ඒක ගගහා සින්දු කියනවා... ( අපේ තාත්තට සින්දු කියන්න බෑ... හි හි) ආනමාලු ගෙඩියක් කටවල් දෙකට කාලා දානවා... පොල් ගෙඩිය එකපාරින් බිඳිනවා... මාව බයිසිකල් පද්දනවා... මට අවුරදු 7ක් වෙනකම් ඔය සිද්ධිය තමයි... මට මතක විදියට ඒ කාලේ තාත්ත එච්චරම කේන්ති ගත්තේ නෑ.. පස්සෙ තමයි කේන්ති ගැනීම වැඩි උනේ.. 

අවුරුදු 13 විතර වෙද්දි මට ගෙදර නීති තිබ්බා කියලා මතකක් නෑ... කොහොමත් ඉස්කෝලෙ යන කාලේ මගෙන් එච්චර කරදරයක් තිබ්බේ නෑ අම්මලට... ඔය ඉඳලා හිටලා කොල්ලෙක් ගැන කතාවක් ගෙදට්ට ආරංච් උනොත් ඇරෙන්න... ඒත් ඉතිං ඕවට වත් අපේ අම්මා මට බැන්‌ෙන නෑ නේ.... රණ්ඩු නං තිබ්බා.. ඒවා සාමාන්‍යයි නේ.. හැබැයි ඕනෙ එකක් අහන්න පුළුවන් කම තිබ්බ මට... අම්මයි තාත්තයි දන්න විදියට මට කියල දුන්න.. ඒක නරකයි කියලා විතරක් කියන්නේ නැතුව ඇයි ඒක නරකයි කියලා කියන්නේ කියන එකත් මට ‌තේරෙන විදියට කියලා දුන්න... අදටත් ඒ පුරද්ද මට තියෙනවා... අපෙ තාත්තත් එක්ක දේශපාලනේ කතා කරන්න පටන් ගන්නේ මම තමයි හැමදාම... ඊට පස්සේ හැමෝම සෙට් වෙනව ... මං ෂේප් වෙනව.. හි හි

මට හිතෙන්නෙම අපේ ගෙදර ඒ නිදහස මට තිබ්බේ අපේ අම්මයි තාත්තයි තරුණ අය නිසා සහ අපේ ගෙදර වයසක අය හිටියේ නැති නිසා කියලා... ඒ කිවවේ අපේ ගෙදර අපි හතර පස් දෙනා විතරයිනේ... ( පහ කිව්වේ නංගි.. ඒ හොල්මන අපේ ගෙදරට සෙට් උනේ මට 16දි විතර..) 

ආච්චිලා ආපු දවසට හයියෝ කරදරේ.. ( හැබැයි අනිත් ළමයින්ගේ ආච්චිලා එක්ක බලනකොට නං මගේ ආච්චිලා දාහෙන් සම්පනයි.. ඒකත් කියන්න එපැයි..)

මොකද්ද ළමයෝ ඔය ඇඳන් යන්න හදන එක...

ඇයි මක් වෙලද මේකට... මං වෙනදටත් පන්ති අඳින්නෙ මේක තමයි... ( කොට සායක් ඇදන් ක්ලාස් දුවන්න හදනකොට..)

කොහෙද ළමයෝ මෙච්චර වෙලා ගියේ...  

ඇයි ආච්චි.. කෝච්චිය ආපු වෙලාවට තමයි ආවේ... ( ඉස්කෝලෙ ඇරිලා එනකොට..හැබැයි මේක නං කළාතුරකින් වෙන්නෙ..)

මොකද්ද ළමයො ඔය ඉඳගෙන ඉන්න හැටි.. 

ඇයි මක් වෙලාද ඉඳගෙන ඉන්න හැටියට.. ( අපේ සාලේ තිබ්බ දිග පුටුවෙ දිගෑදිලා ටීවී බලනකොට..)

මොකද්ද ළමයෝ ඔය කෑම කන හැටි..”

අයියෝ ආව්චි.. වද නොදී යන්නකෝ කන්න දීලා...” ( පොතක් පෙරළගෙන ඇඳේ බඩ ගාගෙන, තුන් දෙනා තුන් පැත්තට වෙලා බත් කන කොට.. මේක කියන්නේ තුන් දෙනාම එකපාරට..හි හි) 

ළමයෝ ඔය ටීවී එකේ එල්ලිලා හිටියා ඇති.. ගිහින් පොතක් පතක් බලාගන්නෙ නැද්ද...” 

උදේ ඉඳන් පොත් බල බල තමයි හිටියේ ආච්චි.. ( ඉස්කෝලෙ දවස් වලට..)

මොකද්ද ළමයෝ මේ කාමරේ හැටි.. පොත් මේසේ වනසලනේ.. 

කොහොමත් මගේ කාමරේ ඔහෙම තමයි ආච්චි... ( පොත් ටික වනසලා තියෙනකොට විතරයි මට ලේසියෙන් හොයගන්න පුලුවන්.. පිළිවෙලට අස් කරපු දාට මොකක් හරි ඕනෙ දෙයක් හොයන්න මේසෙම පෙරළන්න ඕනෙ.. අල්මාරියටත් ඒ සෙතේමයි...) 

ළමයෝ..  කාමරේ අස්සෙම රිංගලා ඉන්නෙ නැතුව කුස්සියට ගිහින් අම්මට උදවු වෙන්නකෝ.. 

මං පොල් ගාලා දීලා ආවේ ආච්චි...  ( මං ඒ කාලේ අම්මට උදව්වකට කියලා කළේ පොල් ගාලා දීපු එක විතරයි... ) 

දැන් ඔ‌ෙහාම ඉඳලා කසාදයක් බැන්දම අගේට හිටී.. 

හයියෝ .. මං බඳින්නේ නෑ ආච්චි... මොන කරදරයක්ද මන්දා... ( ඇත්තටම කො‌ෙහාමත් අවුරුදු 22ක් විතර වෙනකම් මං බඳින්නෙ නෑ කියලමයි හිටියේ... හි හි) 

මේ ළමයින්ව කොහොම හදනවද මන්දා මුන් දෙන්න..

අම්මෙ ඔය ළමයට කෑ ගහන්න එපා... දැන්නෙ ගෙට ගොඩ උනේ.. ( අම්මලා මුකුත් කරන්නෙ නැති තැන අම්මත් එක්ක එල්ලෙන්න හදන හැටි තමයි..) 

වැඩේ කියන්නේ ඔය ඔක්කොම කියන්නේ මටයි නංගිටයි විතරයි... මල්ලිට මුකුත් නෑ... මට ඒ කාලේ ඉඳලා යකා නඟින එක වැඩක් ඕක තමයි... 

මං එදා ඉඳලම හිතන දෙයක් තමයි අනේ අම්මේ මගේ ළමයින්ට නං ආච්චිලගේ වදේ දෙන්නෙ නෑ කියලා... හි හි... අපේ අම්ම ගැන මට එච්චර ගානක් නෑ.. එයා තාමත් කෙල්ල වගේ... (තාත්ත තමයි ෂුවර් නැත්තෙ..) හැබැයි අපේ නැන්දම්මා නං තාම 70 දශකේ... අනිත් එක පරණ විශ්වාසයන් ගැන ගොඩක් හිතන කෙනෙක්.. අපේ අම්ම මට එදත් කිව්වෙ ඔයාලගේ ළමයි ඔයාලට ඕනෙ විදියට හදාගන්න කියලා.. නැන්දම්මත් එහෙමයි කියලා තමයි කියන්නෙ.. බලන්න වෙන්නෙ හැදුවට පස්සෙම තමා... හි හි


ප/ලි - මේක ලියලා දැන් ටිකක් දවස්... අද පැයක් විතර කකාගේ පෝස්ට් ලිස්ට් එක පෙරළුවා මේක ලියන්න හේතු භූත උන පෝස්ට් එක හොයන්න.. මොන.... ඒකෙ තියෙන පෝස්‌ට් ගොඩ අස්සෙ එක පෝස්ට් එකක් හොයනවා කියන්නෙ පිස්සු හැදෙන වැඩක්... බ්ලොගර් බාප්පත් උදේ ඉඳලා පිස්සු කෙලින හින්දා ඔන්න මෙදා පාර මං ලින්ක් දැම්මෙ නෑ... සොරි කකා....