“ මදී.. ක්ලයන්ට් කෙනෙක් ඇව්ල්ලා.... පොෂ් කේස් එකක් වගේ.... ඔයා ආවොත් හොදයි....“
“ මං එන්නම්... ඔයා චුට්ටක් කතා කරන්න...“
මේසය මත තිබූ පොඩි කණ්ණාඩිය අතට ගෙන, යන්තම් දියවී ගිය තොල් ආලේපනය නැවුම් කරගන්නා අතරම, ස්ට්‍රේට් කර තඔ පැහැ ගැන්වූ කෙටි කෙස් වැටිය අතින් සකස් කර ගත් මදී,අමුත්තන් පිළිගැනිමේ කාමරයට ඇතුලු වූවාය.
සැප පහසු සෝපාවේ වාඩි වී අවු කණ්ණාඩි යුවල තාලයට සොලවමින් ගීතයක තාලයක් මුමුණමින් සිටින තරණ පිරිමි රුව දෙස බැලූ ඈ එක්වරම ගල් ගැසී නතර වූවාය.
–––––––––––––––––––––––––––––––––––––––––––––––
“ ඔයා මට ගොඩක් වටිනවා මදී මැණික....“
ලාවට සිත තුළ දෝංකාර දුන් හඩ, ඇයව ඈත අතීතයට කැන්දන් යන්නට සමත් විය.
“ඔයා කියන්නේ බොරුනේ ඉතිං... තච ගෑනු කී දෙනෙකුට ඔයා ඔහොම කිව්වද කවුද දන්නේ...“
ඔහුගේ පපුතුරේ මුහුණ හොවා හුරතල් උන හැටි ඇයට සිහි වේ.
“ ඔව්..ගොඩකට කිව්වා... ඒත ඔයා තරම් ඒ කවුරුවත් වටින්නේ නෑ.... “
ඔහුගේ දෙනෙත් තුළ දිලිසෙන කාන්තිය ඇයව සිනහා ගැස්වීමට සමත්ය.
“ඔයා බොරු කියන්න හරිම හපනෙක් නේ...“
ඇය සිනාසුනාය.
“ ඉතිං දැං ඔයාමනේ කිව්වේ මට ගෑනු ගොඩක් ඉන්න ඇති කියලා...“
“ ඔයාට මාව ඔය තරම් වටිනවනම්, ඔය වැඩ අතෑරලා හොද රස්සවකට යන්නකෝ...“
“ කවුද මැණික මට රස්සාවල් දෙන්නේ.. පොලිසියෙන් මාව හොයනවා.. අරුන්ට අහුවුනොත් උන් මාව මරනවා....“
“ ඔයා මැරුනොත් මට මොනවද වෙන්නේ.... අනේ මං කියන දේ අහලා පොලිසියට බාර වෙන්නකෝ... එතකොට අඩුගානේ ඔයාගේ පණවත් බේරෙයි...“
“ මම දන්නවා මැණික.. ඒත් උන්ට මාව මරන්න ලේසියි ඇතුලේ හිටියොත්.. මේ වෙලාවේ මට පොලිසියට බාර වෙන්න බෑ...“
“ ඔයා මං ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැ නේද... ඔහොම කියනවට වැඩිය හොද නැද්ද මටත් වෙඩි තියලා මරලා දාන එක...ඔයා නැතුව මම කොහොමද ජීවත් වෙන්නේ...“
“ මම ඔයා ගැන බලාගන්නම් මැණික...මං පොරොන්දු වෙනවා... මං ඔයා ගැන බලාගන්නම්...“
–––––––––––––––––––––––––––––––––––––––––––––––
“ දන්නවද.. මං ඔයාට ජොබ් එකක් බැලුවා.. ඔයා නිකම්ම ඉන්න කම්මැලියි කිව්ව නිසා... එතන ඔයාටත් හොදයි.. ඔයා ආස වෙයි....“
ඔහු එය ඇයට කිවු හැටි ඇයට තාමත් මතකය....ඒ ගෙදරට ගොඩ වුන ගමන්ය....
“ මට ජොබ් එකක්.... මොකද්ද අප්පේ ජොබ් එක...“
“ හෙට ලැස්ති වෙන්නකෝ.. මම එක්කන් යන්නම්... ඔයා ආස නම් අපි ඒක දිගටම කරමු.. අපි දෙන්නම එකතු වෙලා....“
“ හානේ... ඔය ඇත්තමද....“
“ හා හා. ඇති ඇති හුරතල් උනා.. .හෙට ගිහින් බලන්නකෝ ඔයා ආසද කියලා...“
“ ඔයා මං ළඟ ඉන්නවනම් ඕනෙ එකක් මට කමක් නෑ...“
ටිකක් දඟලා ඔහුගේ උරහිසට හිස තියාගෙන ඇස් පියා ගත් විට, නළල් තලය මත තැබූ ඔහුගේ අවසාන හාදුවේ උණුසුම ඇයට තවමත් දැනේ.
–––––––––––––––––––––––––––––––––––––––––––––––
“ Good morning sir. Can I help you....? “
සීරුවෙන් මුවට නංවාගත් සිනාවත් සමඟ ඈ විමසුවාය.
“ Mrs. Madumathi....?“
ඒ සිනහව දුටුවිට, ඉහලට ගත් හුස්ම පහලට දැමීමට ඇයට අමතක විය....
–––––––––––––––––––––––––––––––––––––––––––––––
“ ඔය හිනාවෙන් තමයි කෙල්ලෝ අල්ලගන්නෙ නේද.....?
හුරතල් ලෙස ඔහුගේ උරහිසට බරවී ඇසුවා ඇයට මතකය.
“ ඒකනේ මගේ හොදම ආයුදේ....“
–––––––––––––––––––––––––––––––––––––––––––––––
“ Yes...That“s me.....“
“ This is for you... You should read this.....“
තරැණයා ඇය අත තැබුවේ Air mail ලියුම් කවරයකි.
හිතේ ප්‍රශ්නාර්ථයක් සමඟ ඈ කවරය දිග හැරියාය.
“ මදී... මගේ මැණික.. මෙච්චරකල් බලා ඉන්න උනාට මට සමාවෙන්න...“
–––––––––––––––––––––––––––––––––––––––––––––––
“මේ සැලොන් එක අද ඉදලා ඔයාගෙ මගේ මැණික....“
උදේ පාන්දර තමාව කැන්දාගෙන අවුත් මේ සාප්පුව බාර කල හැටි ඇයට මතක් විය.
“ඔයාට මං නැති උනත් මේක කරගෙන යන්න පුළුවන් දැන්...“
එසේ කියා ඇය හා විහිලු කළ ඔහු, එදිනම සවස මැර ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කළ අයුරු ඇයට සිහිනයෙන් මෙන් මතකය.
–––––––––––––––––––––––––––––––––––––––––––––––
“ ඔවු මැණික ..... මම තාම ජීවත් වෙනවා... මේ ලියුම එවන්නේ මගේ පුතා අතේ.....“
ඇය හිස ඔසවා බැලුවා ය.
“ඔයා බිනර ද.....?“
ඔහු හිස සලා සිනා සෙයි.
ඒ හිනාව මයි.. ඇයට සිතින..
අර වචන පටලවමින් හුරතල් කතා කියූ, වැටි වැටි දුවපු පොඩි එකාද මේ....
“ පුතා එක්ක ඔයා එනකම් මං බලන් ඉන්නවා මගේ මැණික...“
ඇයට නිතැතින්ම බිනරගේ දෑස දෙස බැලින...
“ මාමා ගොඩක් දුක් වින්දා පහුගිය කාලේ.... නැන්දට කරදරයක් වෙයි කියලයි මාමා ජීවත් වෙලා ඉන්න බව නොකිව්වේ... නැන්දා මාත් එක්ක එනවා නේද.....“
කවදා හෝ ඔහු ආපසු එයි කියා බලා සිටි ඇගේ දෙනෙත් කදුලින් පිරෙනු බිනර දුටුවේය.
ඔහු සිනාසුනි... ඇය තවමත් ඔහුගේ ආදරණීය නැන්දාමය.... මාමා හැමවිටම කියන්නා වූ, සතුට වැඩි උනාම ඇස් වලට කදුලු පුරවා ගන්නා, දුක වැඩි උනාම නිහඩවෙන්නා වූ ඔහුගේ ආදරණීය නැන්දාමය.....