Showing posts with label කේක් කතා. Show all posts
Showing posts with label කේක් කතා. Show all posts

Friday, February 26, 2016

හප්පා... මකුළු දැල් ගොඩ....

මකුළු දැල් බඳිනව කියල මෙහෙමත් කරන සිරිතක් තියෙනවද මං අහන්නෙ....

දැං ඉතිං මේක සුද්ධ කරන්නත් මාසයක් විතර යයි වගේ...... 

The X files revival එකත් එක්ක මේ මාසෙ ආයිත් ලියන්න පටං ගන්න හිතං හිටපු බ්‌ලොගේ වැඩේ තව කාලෙකට පස්සට දාන්න උනා.... කොහොමත් මට ඒ කාලෙ ඉඳල තදට තියෙන පිස්සුවක් තමයි X Files...   ඒ කාලෙ රෑ 10.30 - 11.00 වෙනකං පුදුම දුකක් විඳල ඇහැරගෙන ඉන්නව ඕක බලන්න... 

අපෙ මෙලෝ වැඩකට නැති මලයා, ( ආ.. ඌව ගිය මාසෙ බන්දල, ගෙයිනුත් එලෝල දම්ම....දැං යන්තං කනක් ඇහිල ඉන්නව...)  මං රස්සාවට යන කාලෙ පඩියෙන් බාගෙකට වඩා වියදම් කර කර ගොඩ ගහගෙන හිටපු DVD ටික හිතක් පපුවක් නැතුව යාලුවන්ට බෙදල දුන්නට පස්සෙ කාලයක් තිස්සෙ හිත හිත හිටියෙ මේ ටික ආයිත් ඩවුන්ලොඩ් කරන්න ඕනෙ කියල... සීසන් 10 එකත් එක්ක ආයිත් සීඩ්ස් තිබ්බ හින්ද ඉක්මණට බාගත්ත එපිසෝඩ් ටික බලලා ඉවර කරන්න මාසෙකට වඩා යයි වගේ...... ( අනිත් එක ඕක එක පාරක් දෙපාරක් බලන එකක් යැ... කටපාඩං කරනවනෙ... හි හි... )

පෙබරවාරි කියන්නෙ අඩු මාසයක් කියල කියන හින්ද මේ මාසෙ වෙඩිං අඩුයි.. යන්තං දවස් දෙකක් තුනක් නිවාඩු දාගන්න පුළුවන් අපෙ අම්මට කියල.... කොහොමත් පහුගිය මාස දෙකේ ඇති වෙන්න කට්ටක් කෑව... නත්තල්, ජනවාරි එක්කම මලයගෙ වෙඩිමත් සෙට් වෙච්ච හින්ද... කොහොම හරි ඒ ටික ඉවර වෙනකොට අපි දෙතුන් දෙනාගෙම හොඳ පණ හොඳටම ගිහිල්ල.... හි හි...




අපේ මලයගෙ වෙඩිං කේක් එක.... අනිත් අයට කේක් හදනකොට වගේ අන්තිම මොහොත වෙනකං කේක් එක අල්ලගෙන නටන්න බැරි හින්ද රිජි‌ෆොම් ස්ට්‍රක්චර් එකක් හදන්න සිද්ධ උනා.. ඒක ඉතිං පොඩියට හදන්නත් බැරි හින්ද ඔන්නොහෙ උසට උසේ හැදුව... 




හෝම් කමිං එකට හදපු එක... 
හොඳ වෙලාවට අම්මයි මායි කල්පනා කරල මේකට කප් කේක් ස්ට්‍රක්චර් එකකුත් හැදුවෙ... කපල් එක පැය ගානක් පරක්කු වෙලා හෝල් එකට එනකොට මේ ස්ට්‍රක්චර් එකෙන් බාගයක් විතර පොඩි උන් ටික ඉවර කරල තිබුන.... හි හි

Wednesday, November 12, 2014

මේ රටේ මිනිස්සු... තනිකර කෙලින්නෙ පිස්සූ.....


ගොඩ දවසකින් ලියන්න බැරි උනා.. හේතුව ඉතිං කොයි වෙලාවෙත් ගෙදර නැති එක තමයි.. අනිත් එක මෙහෙ හැමතිස්සෙම කරන්ට් යනව... UPS එකකුත් නැති හින්ද මල වදේ... 

කොහෙමත් හැමදාම ගෙදර එනකොට රෑ 7 විතර වෙනවා.. ඊට පස්සෙ ඉතිං කන්න දෙයක් හදල කම්පියුටරේ ඉස්සරහා වාඩි උනාම කොට කොට ඉන්න හිතෙන්නෙ නෑ... ඔය ටීවී සීරීස් එකක් දාගෙන පැයක් ව්තර බලල, ගිහින් නිදා ගන්නව මිසක්... 

ඒ කොහොම උනත් ලියන්න දේවල් නං නෑ කියල කියන්න බෑ.. අපේ කඩේ ඉන්නකොට නානාප්‍රකාර චරිත හම්බුවෙනව.. ඒවා ඉතිං ලියන්න ඕනෙ කියල හිතාගත්තට ගෙදර එනකොට අමතක වෙලා... හි හි... 

ඒ උනත් මේ අද උදේ කට්ටියගෙ පුස් කාපු පෝස්ට් බලනකොට සිරා ලියපු පෝස්ට් එකකට කට්ටිය දාලා තියෙන කමෙන්ට් දැකල, කාලයක් තිස්සෙ ලියන්න ඕනෙ කියල හිතපු දෙයක් ලියල දාන්න හිතුන... වෙනදා වගේ ආරලු බුරලු දාන්න වෙලාවකුත් නැ...ඒක නිසා ඔන්නොහෙ කෙලින්ම කතාවට බහිමුකො... 

ඒ තමයි මේ අපේ රටේ වගේ රටවල් වල මිනිස්සු බොහොම කලාතුරකින්වත් කෝටිපතියො බිලියනපතියො වෙන්නෙ නැත්තෙ කකුලෙන් අඳින උන් වැඩි හින්ද කියන එක... 

ගිය ඉරිද ලංකාදීපෙ ඊයෙ උඩින් පල්ලෙන් බලනකොට ඒකෙ තිබ්බ පෝර වලට ගත යුතු මට්ටමේ කසල තේ දැං පිටරටටත් යවනව කියල.. මට ඇත්තටම ‘‘ ඇති යන්තං ‘‘ කියල කියවුනා. ඒ මොකද කිව්වොත් දැංවත් මේ යක්කු මේ වැඩේ නවත්තන්න මොනා හරි කරයි කියල හිතිච්ච නිසා... 

ඇයි ඉතිං කාලයක් තිස්සෙ අපේ රටේ තේ ඉහල ප්‍රමිතියෙන් කියල පිටරටවලට ගියාට අපි බිව්වෙ කසල තේ කුඩුනෙ... මං ඔය වෙනස දන්නෙ අපේ ගෙදරට එහා පැත්තෙ කට්ටිය වත්තෙ තේ දැම්මම, දළු කඩන වෙලාවට අපේ අම්මට දළු මිටක් දීලා තිබ්බ... අම්ම ඕක අවන් එකේ දාලා වේලල අරං, පොඩ්ඩක් කුඩු කරල අරං තේ හැදුව... ඒක පුදුම රසක්... මේ මං කිව්වෙ පාදුක්ක පැත්තෙ තේ ගැන... එතකොට කොහොමත් හොඳයි කියන උඩරට තේ කොච්චර රස ඇතිද... ඒත් අපි කඩෙන් ගේන තේ කොල පැකට් වල ඔය රස නෑ නේ.. ප්ලෙන්ටියක් බොන්න ගියාම සීනි හොන්ඩරයක් විතර දාන්න ඕනෙ... 

මට අර විදියට කියවුන එක ගැන කාටහරි වැරදියට හිතෙන්න පුළුවන්.. රටට නරක නාමයක් එනවට හොඳයි කියන්නෙ ඇයි කියල... ඒත් නිකමට කල්පනා කරලා බලන්න... 

අපි කන පළතුරු ගැන.. 
අපි කන එළවළු ගැන..
අපි කන හාල් ගැන... 
අපි බොන කිරිපිටි ගැන.. 


තව ගොඩක් ජාති තියෙනව... 

අම්ම අසනීප උනාම මේ දේවල් මාර විදියට දැනෙන්න ගත්ත... 

කඩෙන් කෙහෙල් ඇවරියක් ගෙනාවම ඒක නැට්ටෙ ඉඳලම කහ පාටයි... කෙහෙල් නැට්ටට වෙනකම්ම කහ පාට උනාම ගෙඩිය ඉදිල වැඩිවෙලා කඩං වැටෙනව.. ඒ උනාට මේවා හොඳ හයියයි... අනේ.. බලනකොට අපේ මේ කඩවල මිනිස්සු කෙහෙල් කැනට රසායනික බෙහෙත් ( කෑමට සුදුසු නැති) ස්ප්‍රේ කරල දවසක් තියල විකුණනව... 

මඤ්ඤොක්ක අපි ගෙදර වත්තෙ ගහක් උදුරපුවම අල හතරක් පහක්ම කැඩෙනව.. මෙන්න පොලේ තියෙනව සීරුමක් වත් නැති ලස්සන ලොකු මඤ්‌‌ෙඤාක්ක අල... අනේ.. බලනකොට මේ මඤ්‌ඤොක්ක උගුල්ලන්න කලින් පසට බෙහෙතක් ගහනව... පස බුරුල් වෙන්න ... ඒක ගහල සතියක් යනකං මඤ්ඤොක්ක උගුල්ලන්න හොඳ නෑ.. ඒත් මේ මිනිස්සු ඊළඟ දවසෙම උගුල්ලලා පොලට එන වෙළදුන්ට විකුණනවා.. අර බෙහෙතෙ සැර යන්නත් කලින් මඤ්ඤොක්ක ටික අපේ බඩේ... 

මම සාමාන්‍යයෙන් ගෙදරට ගේන්නෙ රෝස කැකුළු කියන හාල් ජාතිය... පොලෙන් දවසක් ගෙනාපු හාල් ටික හෝදන්න හෝදන්න වතුර ටික රෝසම රොස පාටයි.. අනේ.. බැලින්නම් මේවට ඩයි දාලා... 

හැම එකාටම මිරිස් ගෙනල්ල වේලලා කොටාගන්න වෙලාවක් නෑ නේ.. අපි හැමෝම වගේ පාවිච්චි කරන්නෙ පැකට් කරලා සුපර් මාර්කට් වල තියෙන මිරිස් කුඩු... මාත් එහෙම ගෙනාපු මිරිස් වගයක් බොහොම පොඩ්ඩක් දැම්මම ඇති, හොද්ද රතුම රතු පාටයි... ඒත් මෙලෝ සැරක් නෑ... අනේ බැලින්නං මේවට ඩයි දාලා පාට කරල...

මේ ඩයි කියන්නෙ කෑමට සුදුසු කලරින් කියන ජාති එහෙම නෙවෙයි... ගොඩක් වෙලාවට කෑමට නොගත යුතු වර්ණක... 

මේ බොහොම පොඩි කතා ටිකක්... 

මට තියෙන ප්‍රශ්නෙ ඇයි මේ රටේ මිනිස්සු කවුරුහරි කන කෑමකට මේ වගේ දේවල් කරන්නෙ කියන එක... 

මම අපේ අම්මට හැමතිස්සෙම කියන දෙයක් තමයි ‘‘ ගනං වැඩි උනාට කමක් නෑ.. හැබැයි හරියට දෙන දේ දෙන්න කියන එක... 

ඒත් අපේ ගොඩක් මිනිස්සු හොයන්නෙ රස ගුණ නෙවෙයි... 

සෝබ‌නේ.... වටේ මිනිස්සුන්ට පෙන්නන්න කරන වැඩ... 

එක උදාහරණයක් මේ... 

ඔය මගුල් ගෙවල් වල දෙන කේක් කෑල්ල තියෙනවනෙ... වෙඩිං කේක් කෑල්ල කියන එක... ඕක ඉස්සර නං ටොපිය වගේ ඔතල දුන්න.. දැං පෙට්ටියක දානව.. 

සාමාන්‍යයෙන් ඔය පෙට්ටි තියෙනව රැ 25.00 විතර ඉඳන් බොහොම ලොකු ගනං වලට වෙනකං.. එක එක අමුදූව්‍ය වලින්, එක එක විදියට හදල...

ඉතිං ගිහින් හොයලා හොයල ගන්නවා රැ 50.00 විතර ලස්සනට හදල, නම ගම ප්‍රින්ට් කරපු පෙට්ටි.. තව රු 50 විතර වියදම් කරනවා වෙඩිං ඉන්විටේෂන් එක.. අනිත් ඒවා පැත්තක තියමුකො ඊට පස්සෙ.. 

අනේ අර පෙට්ටියට දාන්න කේක් කෑල්ල හොයං එනව රු 25- 30 කට විතර... 

ඒ වෙලාවට මම අහනව ඔයාලට කේක් පෙට්ටියට 50ක් වියදම් කරන්න පුළුවන් නං කේක් කෑල්ලට ඒ ගාන වියදම් කරන්න බැරිද කියල... එතකොට දෙන උත්තරේ තමයිනෑ ඉතිං .. කේක් පෙට්ටිය හැමෝම තියාගන්නවනෙකියන එක... 

අනේ මං දන්නෙ නෑ... බොහොම වෙලාවට මේ මං වගේ ඔය කේක් පෙට්ටි අරවා මේවා හදන අය මිසක් වෙන‌ කවුරුවත් ඔය කේක් පෙට්ටි දවසකට දෙකකට වගේ පරිස්සම් කරන්නෙ නෑ... 

අනිත් එක වෙඩිං කේක් ස්ට්‍රක්චර් එක.... ඒ ගැන නං වෙනම පෝස්ට් එකක්ම ලියන්න වෙනව...

ඇයි හත්දෙයියනේ මේ රටේ වත් නොවිච්ච සම්ප්‍රදායක් කරන්න මේ තරං නහින්නෙ.... දෙනවලකො තේ එකක් එක්ක හොඳ චොක්ලට් කේක් කෑල්ලක්.. ඔය මල මඟුල් නැතුවට...

( සමහර දුප්පත් මිනිස්සු ණය වෙලා අමාරුවෙන් වෙඩිං කේක් කෑලි ගන්න හොයන් එනකොට මං පැහැදිලි කරල කියල දෙනව ඕක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි.. චොක්ලට් කේක් කිලෝ තුනක් ගෙනිහිල්ල කෑලි කපලා හවස තේ එකත් එක්ක කට්ටියට දෙන්න කියල... ඒ මිනිස්සු තේරුම් ගන්නවා... ) 

කොතනද අවුල තියෙන්නෙ කියන එක මට තාම හිතාගන්න බෑ... 

මේ තියෙන්නෙ බොහොම සිම්පල් වෙඩින් කේක් එකක්... රිජිෆොම් ඩමි නැත... බටර් කේක් කිලෝ 4යි... අඩි එකහමාරක් විතර උසයි... වැඩි විස්තර විකාර නෑ... රැ 8500 යි..  කෑලි 50කට ලේසියෙන්ම කපන්න පුළුවන්... 

Thursday, October 9, 2014

පහුගිය ටිකේ......


පහුගිය ටිකේ මැරිලා වගේ හිටියට මැරෙන්න වත් වෙලාවක් නැති තරං කරදර ගොඩක පැටලිල හිටපු හින්ද බ්ලොග් එකටත් අබ සරණම වෙලා ගියා.. අදත් මේ ටයිප් කරන්න ගත්තට කොහෙන් පටං ගන්නද කියල හිතා ගන්න බැරි කේස් එකක් තියෙන්නෙ.... 

දැනට මාස දෙක තුනකට කලින් අපෙ අම්මගෙ කකුල ඔපරේෂන් කරපු කතාව මං බ්ලොග් එකේ ලිව්වෙ එහෙට මෙහෙට දුවන අතරෙ.. මෙදා පාරත් ඒ වගේම තමයි... 

කකුලෙ ඔපරේෂන් එකෙන් පස්සෙ යන්තං අම්මා කෙලින් හිටගත්තට පස්සෙ තමයි අපි තුන් දෙනාගෙම හුස්ම හරියට වැටෙන්න ගත්තෙ.. ඒත් ඒ ගමන්ම අම්මට තවත් ඔපරේෂන් එකක් කරන්න සිද්ද උනා.. ඒක ඇවිල්ලා ගුද මාර්ගයේ පොලිප්ස් කියන රෝගය... 

ජපුර ඉස්පිරිතාලේ අම්මගෙ කකුල ඔපරේෂන් එක කරපු දොස්තරටම මේ අමාරුව ගැන කිව්වම ඕක ඔච්චර ලොකු අවුලක් නෙවෙයි ... හෙටම ඇඩ්මිට් වෙන්න ... පොඩි ඔපරේෂන් එකක් තියෙන්නෙ ...“ කිව්ව හින්ද ඔපරේෂන් එකත් කරගෙන අම්ම ගෙදර ආවා... 

දොස්තරලා කියන විදියට දවසම ‌ටොයිලට් යන්නෙ නැතුව හිර කරගෙන හිටියම මේ අවදානම එනවලු... ගුද මාර්ගයේ කඩල අටයක් තරමෙ පුංචි ගෙඩියක් හෝ ගෙඩි කීපයක් ඇති වෙලා, ඉඳලා හිටලා ලේ පොඩ්ඩක් යනව මිසක් මේකෙ වෙන අවුලක් නෑ.. ගොඩක් අය වරදවා හිතනවලු අර්ෂස් කියල... 

කල්පනා කරලා බැලුවම මමත් ඉස්කෝලෙ යන කාලෙ නං නොවැලැක්විය හැකි හේතුවක් නිසා මිසක් ලේසියෙන් ඉස්කෝලෙ ටොයිලට් වලට ගියෙ නෑ... මං හිතන්නෙ මුළු ඉස්කෝලෙ ජීවිතේටම දහ පාරක් ගිහින් ඇති... කොහොම හරි ඉවසන් ඉන්නව ගෙදරට එනකං... මං විතරක් නෙවෙයි මං හිතන්නෙ ගොඩක් අපේ එවුන් එහෙමයි.... 

කොහොමින් කොහොම හරි මාසයක් විතර ගියයි කියමුකො... අයින් කරපු පොලිප් එකේ බයොප්සි රිපෝට් ආවම ආයිමත් අපි කට්ටියගෙම ඉහමොල රත් උනා... 

ඒ ඒකෙ පිලිකා සෛල තියෙනවා කියල කියපු හින්ද.... 

එදා ඉඳන් අපි හතර දෙනා ජීවත් උනේ හීනෙන් ඇවිදිනවා වගේ... එක පැත්තකින් කඩේ වැඩ... අනිත් පැත්තෙන් ඔක්කොටම කලින් කඩාගෙන වැටෙන අපෙ තාත්තා... ඒ මදිවට මාත් නුගේගොඩ හිරවෙලා.... 

කොහොමින් කොහොම හරි ඒ රිපෝට් එක ඇවිත් සතියක් යන්න කලින් මහරගම පිලිකා රෝහලේ අම්මගෙ ට්‍රීට්මන්ට් ටික පටන් ගන්න පුළුවන් උනේ ඇත්තටම හොඳ මිනිස්සු කීපදෙනෙක් හින්ද... ඒ එක්කෙනෙක් අපේ කෝකටත් තෛලෙ වගේ ඉන්න ඩොක්ට සිරිල් ... අනිත් කෙනා පිලිකා රෝහලේ වැඩ කරන ගාමිණී අන්කල්... ගාමිණි අන්කල්ගෙ උදව්වෙන් අම්මගෙ ට්‍රීට්මන්ට් ටික ඉක්මණට පටන් ගන්න විතරක් නෙවෙයි ඉස්පිරිතාලෙ නැවතිලා ඉන්නෙ නැතුව ට්‍රීට්මන්ට් කරගෙන ගෙදර එන්න පුළුවන් උනා.. 

අම්ම කියන විදියට නං ඔය ඉස්පිරිතාලෙ ඉන්න ගොඩක් අය හිතිං මැරිලා වගේලු ඉන්නෙ... ඒ තරමට කරදර... වේදනා... අවිනිශ්චිත බවක්... දුප්පත් අය.. පෝසත් අය හැමෝටම එකම විදියෙ වේදනා... 

ඉස්පිරිතාලෙන් එලියෙ වාහනයක් පාක් කරල තියන්න දවසට 500ක් ලු... එතකොට දවස් 30ක් ට්‍රීට්මන්ට් කරල ඉවර වෙන‌ෙකාට....? 

එතකොට වාහනේක එන්න බැරි තරං දුප්පත් අයට... ඒ මදිවට උදේ පාන්දර ඇවිත් හවස් වෙනකං ට්‍රීට්මන්ට් වලට ඉන්න වෙන අයට... ? 

ඒ අස්සෙ කතන්දර ඉතිං ගොඩක් තියෙනව.. ඒවා පස්සට හිමිං ලියමුකො... 

අම්මගෙ ට්‍රීට්මන්ට් පටං අරං සති දෙකකින් විතර .... අපේ කඩේ වැඩ කරපු අපේ පිස්සි ගැන මං කලින් දවසක් ලිව්වනෙ... අන්න ඒ හොල්මනත් වැඩට එන්නෙ නැතුව නැවතුනා... ඒකත් ඉතිං වෙනම පෝස්ට් එකක් ලියන්න වෙන තරං දිග කතාවක්... එක පැත්තකින් කඩේ වහලත් බෑ... බාර ගත්ත ඕඩර්ස්... ඒ මදිවට මේ වෙඩින් මාස... ඒ ඔක්කොමට හපන් කඩේ වැහුවොත් වෙන්නෙ අම්මා මානසිකව වැටෙන එක... එයා මහන්සි වෙලා ගොඩනගපු දේනෙ... මට කරන්න පුළුවන් එකම දේ කඩේ වහන්නෙ නැතුව ඇඳගෙන යන එක... ඉතිං මං දිගටම කඩේට ආවා... අම්මයි තාත්තයි හැමදාම උදේට ඉස්පිරිතාලෙ ගිහින් ට්‍රීට්මන්ට් කරගෙන දවල්ට ගෙදර එනව... 

ට්‍රීට්මන්ට් වලින් අම්මගෙ කොණ්ඩෙ ගියෙ නැති උනත් රේඩියෝ තෙරපි කරන්නෙ ඇඟේ සියුම්ම හම තියෙන තැන් වලට හින්ද ගොඩක්ම අමාරු උනා.. ඒ මාසයක්ම ට්‍රීට්මන්ට් කරල ඉවරත් උනාට පස්සෙ... ඒ සති දෙක තුනක කාලයෙ අම්ම පුදුම දුකක් වින්ද... තාත්තයි මායි කඩේ වැඩ කළේ අම්මවත් ළඟින් තියාගෙන... ඒකට එක හේතුවක් කඩේ ඒසී කරල තියෙන එක... අනිත් එක කඩේ ඉන්නකොට අම්මගෙ අවධානය තියෙන්නෙ අපි කරන දේවලට මිසක් ඔලුව අවුල් කරගෙන ලෙඩේ ගැන හිතන්න වෙලාවක් නැති එක... තව එකක් තමයි ඉතිං තාත්තයි මායි දෙන්නම කඩේ ඉන්නකොට අම්ම ළඟ ඉන්න කෙනෙක් නැති එක.. අනිත් එක ඉතිං අපිට අම්ම පෙරළිල හරි ළඟ පාත ඉන්නව නං වැඩ කරගන්න මාර හයියක්... 

කොහොමත් අම්ම අසනීප උන ගමන්ම අපේ මුළු පවුලම ලෙඩ වෙන එක ඒ කාලෙ ඉඳලම තිබ්බ කේස් එකක්... 

හපෝ ඒ ටිකේ තාත්තයි මායි වින්ද දුකක්... අපේ අම්මට ඉතිං අපි මොන වැඩේ කළත් අඩුපාඩුමනෙ පේන්නෙ... හි හි... දැං තාත්ත තමයි කේක් හදන වැඩේ කරන්නෙ.. මම ඩෙකරේෂන් කරන්නෙ... අම්ම මෙට්‍රස් එකක් දාගෙන පෙරලිලා අපිට උපදෙස් දෙනව... හම්මො.... ඇති වෙලා හිටියෙ.... හි හි... 

කොහොම හරි අම්ම අසනීප වෙච්ච මාස කීපයට කොච්චර හොඳ මිනිස්සු අපි වටේ ඉන්නවද කියල අපි දැනගත්ත... ඒ මාස කීපයම අපිට කන්න දුන්නෙ අහල පහල අය... අම්මට විශේෂයෙන් හදපු කෑම බීම ජාති තුනක් හතරක් විතර එක දවසකට හම්බුවෙනව... රේඩි‌යෝ තෙරපි කළාට පස්සෙ අම්මගෙ ඇඟේ හම යන්න ගත්ත.. හරියට පිච්චිලා වගේ.... ඒකට ගාන බෙහෙත් ටියුබ් එකක් එක පාරයි පාවිච්චි කරන්න පුළුවන් ... ඒ බෙහෙත් පෙට්ටි ගනං ගෙනත් දුන්න අය හිටිය.. අම්මගෙ හාට් රේට් එක අඩු වෙලා කිව්වම පිට රට ඉන්න අම්මගෙන් කේක් අරන් යන අයත් ඒවට බෙහෙත් ජාති එවල තිබ්බ... 

හොඳ මිනිස්සුන්ට ජාති, ආගම් බේද නැති බවත් අපි හරියටම තේරුම් ගත්ත.. ගමේ අයයි, අම්මලගෙ වෙළඳ සංගමේ අයයි මාසයක් එක දිගට බෝධි පූජා තිබ්බ... පන්සලේ ලොකු හාමුදුරුවො ගෙදරට වැඩල අම්මට පිරිත් නූල් බැන්ද... නෑයො බාර හාර වෙලා තිබ්බ... අපෙ තාත්තගෙ වැඩපලේ හොඳම යාලුවො පල්ලියෙ විශේෂ දේව මෙහෙයක් තිබ්බ... අම්ම ඉස්සර ඉඳලම බඩු ගත්ත පිටකොටුවෙ කඩේ අය මේ ගැන දැනගත්තම, එයාලා මක්කම ගිහින් එනකොට ගෙනාපු විශේෂ වතුර බෝතල් අම්මට දීලා තිබුන හැමදාම බොන්න කියල... 

මේවා ඇත්තටම අපේ හිතට ලොකු හයියක් උනා.... අපේ පවුලෙ අපි හතර දෙනාට කරන්න බැරි හැමදෙයක්ම අපි වටේ හිටපු අය කරල දුන්නෙ... දවසට දෙතුන් දෙනෙක් එනවා අම්මව බලන්න කඩේට.. ඒ දේවල් හින්දම අම්මටත් වේදනාව දරාගන්න පුලුවන් වෙන්න ඇති.. කොහොමින් කොහොම හරි අපි ඒ ටික කාලෙත් පහු කර ගත්ත... 

අගෝස්තු 12 අම්මට පළවෙනි ක්ලිනික් එක තිබ්බෙ.. එදා උදේ තාත්තයි මල්ලියි එක්ක ඉස්පිරිතාලෙට ගියාම අම්ම දුර්වල හින්ද ඉස්පිරිතාලෙ නවත්තගෙන.. මගේ ඔලුව කැරකෙන්න ගත්තෙ ඊළඟ දවසේ වෙඩින් කේක් කෑලි 200 ක ඕඩරයක් දෙන්න තිබ්බ හින්ද.. කො‌ෙහාම හරි කරනවා කියල හිතාගෙන පළවෙනි වතාවට තනියෙම්ම කේක් එකක් හදන්න පටං අරං ටික වෙලාවකින් තාත්ත කෝල් කරනව... 

කාරෙක ඇක්සිඩන්ට් වෙලා... කියල.... 





මට එකපාරටම මතක් උනේ අපේ මල වදකාර මලය කාරෙක එලෝන හැටි...

බලනකොට උගේ අපලෙ වාහනේ පිටින් ගිහින්... කාරෙක ගන්න දෙයක් නෑ... ලයිට් කණුවක වැදිල තව මීටර් සීයක් විතර ඇදිල ගිහින්.. හොද වෙලාවට ලයිට් කණුවටත් මුකුත් නෑ.. පාරෙ වෙන වාහන තිබිලත් නෑ.... මිනිස්සු ඉඳලත් නෑ... 

ඒ පාර වාහනේක පටෝගෙන ගිහින් ගැරේජ් එකේදි බානකොට කේබල් එක ලිස්සලා ඇවිත් ඩිකියත් ගන්න දෙයක් නැති තැනටම වැඩ සිද්ධ වෙලා... 


ඒක ගැරෙජ් දාලා මාසයක් ගියපි... ආ දැං හරි කියනව.. නෑ තව කෑල්ලක් කැඩිලා කියනව....ඉවරයක් නෑ... 

සැප්තැම්බර් 11.... අපේ තාත්තගෙ අම්මට ඉතිං 80ක් විතර වෙනව... සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් විතර දොස්තරලව බලන්න යන්න ඕනෙනේ ඔය වයසෙ කට්ටියට...එහෙම සීන් එකක් කියල සුපුරුදු විදියට පාදුක්කෙ ඉස්පිරිතාලෙට එක්කං ආවම ඔන්න ආමාරුයි කියල ජපුර හොස්පිට්ල් එකට යවන්න කිව්ව... දවස් කීපයක් ඉතිං ආච්චිට අමාරුයි කිය කිය ඉඳලා මැෂීන් වලට දාන්න ඕනෙ කිව්වලු.. එහෙ හිටපු දන්න නර්ස් කෙනෙක් කිව්වලු මෙහෙ මැෂීන් දාන්නෙ ගොඩ ගන්න බෑ කියල තේරුනාම කියල... කළුබෝවිලට එක්කං යන්න කියල... ඔන්න ඉතිං ඒ පාර ආච්චිව කළුබෝවිල ඇඩ්මිට් කළා.. 

අම්ම මේ වෙනකොට පොඩ්ඩක් කෙලින් කටින් හිටිය නිසා තාත්තා හැමදාම ආච්චව බලන්න යනව... දවසක් ඇවිත් කිව්ව.. දැංනං අම්මව ෂුවර් කරන්න බෑ... පිරිත් ටිකක්වත් කියාගන්න විදියක් තිබ්බනං කියල... ඒ පාර අම්ම කිව්ව ලොකු හාමුදුරුවන්ට කියලා බලන්නම් කියල.. සැප්තැම්බර් 17 වෙනිද... ඒ වැඩ ටික ලෑස්ති කරගන්න හවසට පන්සලට යමු කියල කතා වෙලා ඉද්දි ආච්චි බලන්න දවාලෙ ගියපු අපෙ තාත්ත කෝල් කරල කිව්ව... දැං නං අම්මට හොඳටම අමාරුයි කියල.... ඒ වෙලාවෙ අම්මයි මායි දෙන්න වෙඩින් කේක් ඕඩරයක් ලෑස්ති කරනව... ඒ පාර වෙන කරන්න දෙයක් නැති තැන අපි පන්සලේ ප්‍රධාන දායක තැනට කෝල් කරල ඇහුව පිරිත් ටිකක් කියන්න ඉස්පිරිතාලෙට වඩින්න පොඩි හාමුදුරුනමක් හරි ඉන්නවද කියල... 

ටික වෙලාවකින් ලොකු හාමුදුරුවො පිරිවෙන් ගිහින් එනගමන්ම වඩින්නම් කිව්ව කියල පණිවිඩේ හම්බුනා.. අම්මටයි මටයි දෙන්නටම කඩෙන් යන්න බැරි හින්ද ( අම්මට නං කොහොමත් ඉස්පිරිතාල වලට යන්න එපා කියල තිබ්බෙ.. ) නැන්දට කෝල් කරල අටපිරිකරකුත් ඉස්පිරිතාලෙට ඇරිය... 

ලොකු හාමුදුරුවොයි පොඩි නමකුයි හවස හතරට ඉස්පිරිතාලෙට වැඩල, පිරිත් කියල, පිරිත් නූලකුත් ගැටගහල ඉවර වෙලා විනාඩි 10ක් යන්නත් කලින් ආච්චි නැති උනාලු... 

තාත්තා කෝල් කරල කිව්වම අම්මට නං ඇඬුන.. ඒත් මට දුකක් දැනුනෙ නෑ අඬන්න තරං... ඒ මොකද ආච්චි මැරෙන වෙලාවෙ මට හිතෙන විදියට නං ඇහෙන්න ඇත්තෙ වෙන කිසිම දෙයක් නෙවෙයි... අර පිරිත් ටික... ඊට වඩා දෙයක් දරුවො හැටියට අපිට කරන්න තියෙනවද....

කොහොමින් කොහොම හරි ඒ වැඩ ටිකත් ඉවර උනා... ඒ වෙන‌ෙකාටත් අපි දෙන්න කතා වෙලා හිටියෙ නුගේගොඩ ඉඳන් පාදුක්කට එන කරදරේ කරන්න අමාරු නිසා කිට්ටුවට යමු කියල.. ඉතිං කසාද ජීවිතේ පස්වෙනි පාරටත් ඔන්න බඩු මුට්ටු ටිකත් අකුලං තව ගේකට ආවා... 

පහුගිය ටිකේ කරපු යුද්ධෙ තරමට මේ තරමට ඉතුරු වෙලා ඉන්න එකත් මදෑ නේ.... හි හි.... 

Wednesday, April 2, 2014

ඔන්න එහෙනං වේලාසනම සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වා....


මේ දවස් ටිකේ කඩේ ඉන්න එකේ මට ඉවසගන්න බැරිම දේ තමයි අර අපේ පිස්සි කරකෝගෙන ඉන්න හිරු එෆ් එම් එක අහගෙන ඉන්න එක... 

රිමෝට් කන්ට්‍රොල් නැති හින්ද උඩම රාක්කෙකට වඩම්මලා තියෙන රේඩියෝ රාජයා එහෙට මෙහෙට කරකවන්නෙ ලීයක අධාරයෙන්... ඔය නැටිලි කරන්න බැරි හින්ද සදාකාලික හිරු එකට සෙට් කරල තියෙන්නෙ අපේ පිස්සු කේස් එක හින්ද.. වෙන එකක් නෙවෙයි... අර  අනුත්තරා කියන මල හෝන්තු කතාව අහන්න... 

ඕක ඉවසගෙන ඉන්න බැරිම තැන මට ඒකට ටීවී සීරීස් ලෙඩේ බෝ කළා.. ලැප් එකේ ෆිල්ම් එකක් දාලා දීලා අර මළ ජරාව අමතක කරවන එක මට පාඩු නෑ එහෙම බැලුවාම... හි හි... 

අනුත්තරා විතරක් නං ඉවසන්න බැරියැ.. අර චට පට ගගා කියෝන මොකාද අරා එක්ක, මෙලෝ තේරුමක් නැතුව හිකි හිකි ගගා බෙරිහන් දෙන කෙල්ලෙක් කරන, උදේ පාන්දරම ඇඟේ ලේ ටික රත් කරවන මොකද්ද වැඩසටහන ... හාපෝ...... 

ඕක යන්තමින් හරි ලේ ටික බේරගෙන අහන්න පුලුවන් බදාදට විතරයි.. එදාට පරණ සින්දු යන හින්ද.. ඒත් ඉතිං අර ටකරං හිනාව නං ඉවසගන්න වෙනව... 

-------------------------------------------------------

ඡන්දෙ දවසේ අපේ කඩෙත් ඡන්ද පොළක් වගේ... කඩේ පහුකරගෙන ඉස්කෝලෙට ඡන්දෙ දාන්න යන හැමෝම අපේ තාත්තගෙන් තමයි මනාප අංක අහන්නෙ.. අපේ තාත්ත මං හිතන්නෙ ගම්මංපිලටයි හිරුණිකාටයි ඡන්ද 100ක් විතර අරන් දෙන්න ඇති ඔතන්ට වෙලා කියෝල... හි හි... 

මං නං කිව්ව හිරුණිකාට නං මං ඡන්දෙ දෙන්නෙ නෑ කියල... පහුගිය ටිකේ අපේ තාත්තා මාත් එක්ක හැමදාම පොලිටික් ගෝරි... කොච්චර ගෝරි දැම්මත් ඉතිං මට ඡන්දෙ නැති හින්ද, (පාදුක්කෙ ඉඳං නුගේගොඩට මාරු වෙච්ච වෙලාවෙ අපෙ ගෙදරින් මගේ ඡන්දෙ අපේ මහත්තයා අයින් කරවගත්ත හින්ද ) ඒකටත් බලු බැනුං අහ අහ ඉඳලා මෙන්න එදා උදේ අපේ මහත්තයා කෝල් කරනවා මගේ ඡන්ද කාඩ් එකත් ගෙදට්ට ඇවිල්ල කියල... 

තාම තාත්තගෙයි මගෙයි පොලිටික් වලි ඉවර නෑ... අපේ අම්මා බයිනවා තාත්ත එක්ක පොලිටික් කතා නොකර ඉන්න කියල... එහෙම කොහොමද ... මගේ පොලිටික් වල මුල් අඩිතාලම අපේ තාත්ත තමයි... හි හි... 


-------------------------------------------------------

අපේ කඩේ ගාවම තව පේස්ට්‍රි ෂොප් එකක් දාලා.. එයාලත් දැං කේක් හදනව... අපි හදන කේක් එකට දාන දේවල් එහෙම අහගෙන යන්න අහල පහල අයව එවනව.. අපි මෝඩයොනෙ.. හි හි... අපේ අම්මට පොඩ්ඩක් නෙවෙයි තදට කේන්ති ගිහින්... එයා පේස්ට්‍රි පැත්තට යන්නෙ නැතුව ඉන්නෙ ඔය දෙකම පටලෝගත්තම එයාට මහන්සි වැඩි වෙනවා කියලා අපි තුන් හතර දෙනාම ඒකට කැමති නැති හින්ද... ( ඒකටත් ඉතිං අපි තමයි පලි... ) 

මං නං කිව්ව කමක් නෑ කියලා... එයාලට පුළුවන් නං හදපු දෙං... තරඟයක් තියෙනකොට අපිටත් වාසි නැතුව නෙවෙයිනේ... 

අද ආවේ කඩේ බෝඩ් එක හදන්න දෙන්න.. දැනට තියෙන බෝඩ් එකේ ලොරියක උඩ තට්ටුවක් හැප්පිලා කැඩිල තියෙන්නෙ.. දඩිබිඩියෙ ලයිට් බෝඩ් හදන්න බැරි හින්ද නෝමල් බෝඩ් එකක් හදමු කියලා මාමා කිව්වා... මගේ කම්පියුටරේ තියෙන ඒවා තියෙන තැන් හොයන්න ඉතිං මම එන්න එපැයි.... 

මෙන්න තව ආතල් කේක් ටිකක්... 

මේ දවස් වල හැම පොඩි එකාම ඉල්ලන... Ben 10

මෙයා නං කාර් එක අරගෙනම ආවා....  
මැක්වීන්... 

මෙයත් කාටූන් එකක් ලු... මං පොඩි එකාට තාම මේක අහුවෙලා නෑ ද කොහෙද...  හි හි

අවුරුද්දට මෙහායින් මට අයිත් පෝස්ට් දාන්න චාන්ස් එකක් හම්බුනොවෙන පාටක් තියෙන නිසා ඔන්න දැම්මම කිව්වා... 

කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!

Tuesday, March 25, 2014

මේ දවස්වල කේක් කතා...


බොහොම අමාරුවෙන් අම්මගෙන් නිවාඩුවක් ඉල්ලගෙන ගෙදර ආපු එකේ මේකෙත් මොනවා හරි ලියන්නම එපැයි නේ... ඒක නිසා දාන පෝස්ට් එකක් හින්ද ඔන්න බ්ලොගර් ඩෑෂ් බෝඩ් එකේ මේ ටික දැකලා බීසී පිට මෙහෙ දුවගෙන එන්න ඉන්න අය කරදර වෙන්න එපා ඔන්න... පස්සෙ නිවාඩු පාඩුවෙ බැලුවම ඇති... හි හි... 

අවුරුදු ළඟ ළඟ එනවනෙ අප්ප.. මේ දවස් ටිකේ ඉතිං ඒවට ලෑස්ති වෙනව... දැම්ම තියා කේක් හදන්න නෙවෙයි... සාමාන්‍යයෙන් අපි දිනපතා පාවිච්චි කරන්නෙ අවන් තුනෙං එකක් නැත්තං දෙකක්... ඉතිං අවුරුද්දට ඔය තුනම ඕනෙ වෙන නිසා මේ ටිකේ ඒවා සර්විස් කරනව... එතකොට බීටර්ස් වලටත් සර්විස් එකක් දෙන්න වෙනව මොකද තුන්සිය හැටපස් දවසෙම ඔහේ දුවල අවුරුදු දවසෙම හනේ මට බෑ අප්ප කියල නැවතුනොත් එහෙම අපි අනාථයි නිසා.... ඒසී ලොක්ක නං පෙරේදා දුන්න සම්බුවක් ආයෙ නැති වෙන්නම... දවස් දෙකක් තුනක් ඒසී නැතුව හුලං විතරක් වැදි වැදි ඉඳලා බැරිම තැන කෝල් එකක් දීලා සර්විස් එකට එන්න කිව්ව.. ඇවිත් බලද්දි තව ටිකක් ඔහොම ගියානං කම්ප්‍රෙෂර් එකටත් සොරි තමයි කිව්ව... එහා පැත්තෙ ටේලර් ෂොප් එකේ රෙදි වල දූවිලි ගතිය සහ නූල් කෑලි ටික ඔක්කොම එයා ඇදල අරගෙන... ඔන්න දැං එයාව නං හරි ගස්ස ගත්ත... 

ඒ අස්සෙ වෙඩිං... මං කාලෙකට කලින් හදල කඩේ කියල තිබ්බ වෙඩිං කාඩ් ටික අපේ නැන්ද උස්සං ගිහින්... ඉතිං එහෙට එන අයට පෙන්නන්න මට සාම්පල් කාඩ් නෑ.. අද මේක ලියල ඉවර වෙලා කාඩ් ටිකක් හදන්න වෙනව... ( ඒකට කියල තමයි පැනල ආවෙ.. ඒ උනාට තාම මේ කම්පියුටරේ ගාවින් නැගිට්ටෙ නෑ... හි හි) 

හදල ඉවර කරල තිබ්බ වෝල් හැඟින්ස් ටිකත් ඉවර වෙන්න ළඟයි... මගේ මාසෙකට ඩිසයින් 10ක් හදන ටාගට් එකට යන්න තව මාස තුනක්වත් බලං ඉන්න වෙනව... හි හි

ඒ අස්සෙ අපේ අම්මගෙ මැහුම් දාපු තුවාලෙ යන්තං පැහැවගෙන ඇවිත්... සතියකට වේලෙන්න බේත් දීලා හරි ගියෙ නැත්තං ඇඩ්මිට් වෙන්න කියල තියෙනව... ඔය තුවාලෙ පැහැවනවා කියන්නෙ ටිකක් භයානක දෙයක්.. මොකද විශබීජයක් ගියොත් ඒක ඇතුලටම යන්න තියෙන චාන්ස් එක වැඩි හින්ද... 

ඔය කේස් හින්ද අපේ බලුස්ව දැං ගෙයින් එළියටම තල්ලු කරලා තියෙන්නෙ... ඒ තරහටද මන්ද එයාටත් දැං කේන්ති යනවා වැඩියි... අපේ තාත්තගෙ ලෙඩේ බෝවෙලා... හි හි...

ඡන්දෙ හින්ද වෙන කරදර නං තියෙනව ඉතිං.. දවසට දෙතුන් පාරක් කට කණ ගාවට අලෝ ගත්ත කීප දෙනෙක් ඇවිත් කොල බෙදල යනව.. ගෙදරට එන අයගෙ කරදරෙන් බේරෙන්න මං කිව්ව " අපි ඡන්දෙ දෙන්නෙ නෑ " කියල බෝඩ් එකක් ගහමු කියල... තාත්ත එක්ක දවසකට සැරයක් වත් ඡන්ද කතන්දර කතා කරලා වලි දාගන්නෙ නැතුව කෑවෙ නෑ වගේ.. හි හි... අම්ම බයිනව මට... මල්ලියි මායි සත්තු වත්ත ගෙදට්ට ගෙනාවම තාත්තට කේන්ති ගිහින් කියනව මුන් දෙන්න පරාණ වෛරක්කාරයො දෙන්නෙක් ද කොහෙද, කවදාවත් මරාගන්නෙ නැතුව ඉන්න බෑ නේ කියල... ඒ උනාට අපි දෙන්නා මරාගන්නෙ පුරුද්දට ඉතිං... ඌට මං නැතුව බෑ.. මට ඌ නැතුව බෑ.. තාත්තට ඕක තේරෙන්නෙ නෑ... හි හි... 

පහුගිය ටිකේ කියවපු පෝස්ට් එක්ක ලියන්න දේවල් ගොඩක් හිතේ තියෙනව... ඒත් දැං මේ දඩිබිඩියෙ ඕවා ලියන්න බෑ... ඒවා පස්සෙ බැරියෑ... 

මෙන්න ඊයේ පෙරේදා හදපු කේක් එකක්.... හැමෝම ලේසියට හොයන් එන රිජිෆොම් තට්ටු කේක් නැතුව මෙහෙම එකක් හදද්දි අපිටත් ආසයි අප්පා... 

Cup cake structure

70 Cup cakes made of Orange cake and simple Orange flavored butter icing, decorated with edible items .



Top tier is Orange cake and edible fondant... 



මේකට වැඩියෙන්ම ඉල්ලුම තිබ්බෙ වෙඩින් එකට ආපු පොඩි උන් ටිකෙන්ලු... හි හි

Monday, March 10, 2014

අතිසාර්ථක ලෙස කඩේට හිර වීමි.....


හිරුවා මැරිලද අහන කට්ටිය දැං වැඩි හින්ද පොඩි දඩිබිඩි පෝස්‌ට් එකක් දාන්න හිතුව... නැත්තම මුං මාව මරලා, වලත් දාලා, ඊට පස්සෙ දානෙත් උයාගෙන කන ජාතියෙ එවුන් ටිකක් බව මම දන්නවනෙ... හි හි.. 

උන්හිටි ගමන් හිරුවට මොකද උනේ කියලා හොයලා බලපු උන් ටිකට බොහොම ස්තූතියි ඔන්න මුලින්ම... ( කටකතා පතුරවපු උන් දෙතුන් දෙනා හිටපියව් මං අල්ලගන්න... හි හි..) 

ඇත්තටම මට උනේ එච්චරම අභාග්‍ය සම්පන්න දෙයක් නෙවෙයි ඔන්න... කාලෙකට කලින් මම කිව්වනෙ බ්ලොගේම අපේ අම්මගේ ඔස්ටියෝ ආතරයිටිස් තත්වය ගැන.. ඉතිං ඔන්න ඕකෙ ඔපරේෂන් එක කළා පහුගිය ජනවාරියෙ අන්තිම... අපේ ගෙදරට මගේ අඩුව එච්චර ගානක් නොවුනට ,ෂොප් එකට නං දැනෙන බව මම දන්න නිසා කලින්ම ගිහින් වැඩ බාර ගත්ත ඉතිං.. මොකද නැත්තං අපේ අම්ම ඔපරේෂන් එකට ගිහිල්ලත් කඩේ ගැනම හිත හිත ඉඳියි... හි හි.... 

කොහොමත් අවුරුදු කීපයක්ම දණිස් කුක්කුම් තිබිලා, අන්තිමට රටේ නැති බෙහෙත් ජාති කරලා ඔපරේෂන් එක කරන්න, කකුල කැපුවට පස්සෙ තමයි දොස්තරලා ටික ලෙඩේ හරියටම හොයා ගත්තෙ... 

දැං කියන හැටියට නං අපේ අම්මට ඔස්ටියෝ ආතරයිටිස් කියන ලෙඩේ තිබිලා නෑ... එහෙම බැලුවම ඔය එක එක බේත් කරලා ලෙඩේ හොඳ නොවුන එක ගැන පුදුමයක් තියෙනවයැ නේද... 

අම්ම පුංචි කාලේ කකුල් දෙක පිහිටලා තියෙන්නෙ අසාමාන්‍ය විදියකට.. ඉතිං ඒ කාලෙ ඔය සම්බන්ධයෙන් කරපු ප්‍රතිකර්මයක් තමයි චූටි කාලෙදිම විශේෂ සපත්තු දෙකක් දාලා කකුල හදන එක.... අපේ අම්මගේ ඔන්න ඔය ප්‍රතිකර්මය නිසා වෙලා තියෙන්නෙ කකුල වළලුකර හරියෙන් හරි ගියාට දණිස් දෙක හරියෙන් ළං වෙච්ච එක... ඊට පස්සෙ ඇඟ මහත් වෙලා, බර වැඩි වෙනකොට තමයි ඔස්ටියෝ ආතරයිටිස් රෝග ලක්ෂණ ඇවිත් තියෙන්නෙ... 

දැං ඔපරේෂන් එක කරපු කකුල හරි... අවුලකට තියෙන්නෙ ඒ කකුල තිබ්බට වඩා අඟල් බාගයක් දිග වීම තමයි... අනිත් කකුලත් තව මාස ගානකින් ඔපරේෂන් කළාට පස්සෙ තමයි ඒ ලෙඩේ හරි යන්නෙ...දැනට විශේෂයෙන් හදපු සෙරෙප්පු දෙකක් දානව.. නැත්තං ඒක බලපාන්නෙ උකුල් අටේට... 

ඔය ඔපරේෂන් එක ගැන තියෙන් පොඩි පොඩි මත කීපයක් තියෙනවා අපේ අම්මා බොරු කියලම ඔප්පු කරපු... එකක් තමයි ඔපරේෂන් එකෙන් පස්සෙ කකුල නවන්න පුළුවන් සීමා සහිත ප්‍රමාණයකට විතරක් බව... ඒත් අපේ අම්මට කකුල සාමාන්‍ය විදියටම නවන්න පුළුවන්... ඇවිදින්න හොඳ නෑ නෙවෙයි, ඔපරේෂන් එකෙන් පස්සෙ දවසෙම ඇඳෙන් බහින්න වෙනව දොස්තර එනකොට... හි හි... බයේ පුටුවට වෙලා හිටියොත් සොරි තමයි.... 

ඉතිං කොහොමින් කොහොම හරි අන්තිමට මාව කඩේට හිර උනා අතිසාර්ථක විදියට... ලැප්ටොප් එකක් හදාගෙන බ්ලොග් කියෙව්වට කමෙන්ට් කරන්න විදියක් නෑ ඒකෙ කී බෝඩ් එක ලෙඩ ගොඩක්.. ඔන්ස්ක්‍රින් කීබෝඩ් එකකින් තමයි ඔය පොඩියට කොටපු කමෙන්ට් එක දෙක දැම්මෙත්.. චැට් වලින් හායි හූයි ගාපු අයටත් ඔය ටිකම තමයි... මොකද මට එක වචනයක් ටයිප් කරන්න හෙන වෙලාවක් යනව... ඒක මහ කම්මැලි වැඩක්... හි හි

මං දැක්ක අපේ කකා තුමා රිසර්ච් එකක් කරලා තියෙනව බ්ලොග් බැලිල්ලෙන් ඈත් වෙලා ඉන්න පුළුවන්ද කියල... මට නං පුළුවන් උනා... හි හි... ඒ වගේම ඉස්සර ගෙදර හිටපු කාලෙදි වගේම ආයිත් පොත් වලට ඇබ්බැහි උනා.. පරණ පොත් ඔක්කොම වගේ කියෙව්ව... හිත හොඳ දොස්තරගෙ ඉඳලා බොඳ මීදුම් වෙනකනුයි, අමුතු ඉලංදාරියගේ ඉඳන් ප්‍රංශ පෙම්වතා වෙනකනුයි.. මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා ඉඳලා ටාර්සන් වෙනකනුයි... පොත් ගොඩක් අතුරුදහන් වෙලා බව නං තේරුනා... ඕවා ඔහොම තමයි කියල හිත හදා ගත්ත... හි හි

අවුරුදු තුනකට පස්සෙනෙ ඉතිං ඔය ගෙදර ගියේ... මුල දවස් ටිකේ ටිකක් කරකවලා අතෑරපු ගතියක් තිබ්බා... අපේ තාත්ත ඉතිං ඒ අවුරුදු තුනටත් ගේ තුන් හතර වතාවක් වෙනස් කළානෙ... හි හි... හැබැයි දවස් දෙකක් යනකොට ආයිත් ඉස්සර වගේම තමයි... තාත්තයි මායි පොලිටිකල් වලි දාගෙන රණ්ඩු වෙනකොට සහ මල්ලි ගෙදර ඉන්න දවස් වලට ගොනා, හරකා, බූරුවා වගේ වචන දවසට දහ පාරක් වගේ ඇහෙන කොට ඇත්තමයි ආයිත් ගෙදර නවතින්න හිතෙනවා... කසාදත් බැඳලා, ළමයිනුත් හදාගෙන, කොච්චරකල් ජීවිතේ ගෙවුනත් අම්ම තාත්ත සහෝදරයෝ එක්ක ඉන්න නිදහසේ වටිනාකම තේරෙන්නෙ දැං තමයි... වගකීම් නැති, ඕන රණ්ඩුවක් විනාඩි දෙකෙන් තුනෙං සමනය වෙන, කවුරු මොනා කිව්වත් ගනං නොගෙන පාඩුවෙ ඉන්න, අනේ අපේ ඇඟේ වදිනවයැ කියලා හිනා වෙන්න... සිරාවට ඒක මාර සහනදායී ජීවිතයක්.... අවුරුදු 30ටත් කිට්ටු වෙලා මං ආයිත් මගේ ළමා කාලයට ගියා.... 

හැබැයි ඉතිං ගෙදර අපි හතර දෙනයි, බල්ලෝ පූසෝ ටිකයි විතරක් ඉන්නවනං තමයි ඔය නිදහස... නැත්තං නීති රීති තහංචි දාන්න අයිතිකාරයෝ වැඩි උනාම ඒ නිදහසේ කෑලිවත් හොයන්න හම්බුවෙන්නෙ නෑ.... 
මේ ඉන්නෙ එන්ටටේනර්ස්ලා දෙන්න.. මරාගනිද්දි එහෙමයි,  තුරුල් වෙලා නිදා ගනිද්දි මෙහෙමයි... 


කොහොම හරි ඉතිං අනිද්ද දිහාවට මං ආයිත් ගෙදර යනව.. ඊට පස්සෙ නං කමෙන්ට් වලට වත් රිප්ලයි නැති වෙයි ආපහු ගෙදර එනකං... හි හි... 
අපිට කේක් එකකට නිර්මාණශීලී නිදහස හම්බුනොත් අපි පිස්සු කෙලිනවා... මල්ලිගේ බර්ත්ඩේ එකට හැදුවා පිස්සුම පිස්සු කේක් එකක්..  චොක්ලට් කේක්, බටර් කේක්, කොෆි කේක් තුනම දාලා හදපු ඒ කේක් එක කාපු කෙනෙක් දුන්න ඕඩරේකට හැදුව මේ කේක් එකේ චොක්ලට් කේක් සහ බටර් කේක් දෙකම දාලා, ඩිසයින් එකටත් පිස්සුම කෙලියා... හි හි

Thursday, April 11, 2013

අවන් එකක් නැති උනත් පීසා හදන්න පුළුවන්...


අද ලියන්න ගත්තේ ජීවිතේට මේ බ්ලොග් එකේ ලියන්නේ නෑ කියලා හිතං හිටපු ජාතියේ පෝස්ට් එකක්... එහෙම හිතාගත්තේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි... මට කෑම හැදිල්ල ගැන ඒ තරම් තේරුමක් නැති නිසා... මං දන්න ජාති වල කෑම හදන්න මට තාම පහසුකමුත් නෑ... ඒක නිසයි... 

ඒත් මේ ඊයේ පෙරේදා මාරයියා දාපු පීසා හදන හැටි පෝස්ට් එකට වැටුන කමෙන්ට් වල අවන් එකක් නැති නිසා මේක හදන්න බෑ කියලා කීප දෙනෙක් කියලා තිබ්බ නිසා මේක හදලා දාන්න කියලා හිතුවේ... මටත් අවන් එකක් නෑ... ඒක නිසා තමයි මම කිව්වේ හදන්න දන්න ජාති හදන්න පහසුකම් නෑ කියලා... 

ඒත් පීසා, මම මේ කිව්වේ කඩේන් ගන්න තරම් කොලිටියට නෙවෙයි, ඒත් අපිට කන්න පුළුවන් වෙන තරමට, කටට රසට, අවන් එකක් නැතුව හදාගන්න හැටි පොඩියට පෝස්ට් එකක් දාන්න හිතුවා ඒ අයට අත්හදා බලන්න පුළුවන් වෙන්නත් එක්ක... 

මෙන්න මෙතනින් ගිහින් මාරයියගේ පෝස්ට් එක බලලා ආවා නං හොඳයි ඒක බැලුවේ නැත්තම්... මොකද මේ පෝස්ට් එකේ මම ඒකේ මාරයියා කියලා තිබ්බ දේවල් ටිකක් වෙනස් විදියට කරපු එක විතරයි වෙනසකට තියෙන්නේ... 

හරි... මාරයියා කියපු දේවල් වලට අමතරව මේකට ඕනේ වෙන්නේ නොන්ස්ටික් පෑන් එකක් විතරයි.... ඔය අපි බිත්තර බඳින්න එහෙම ගන්නේ.. අන්න ඒ ජාතියේ එකක්... 

හරි.. එහෙනං.. ගිහින් බලලා ආවා නං දැන් තියෙන්නේ මෙච්චරයි... මාරයියා කියලා තිබ්බ විදියට ‌මෝලිය ( Pizza dough එක ) හදාගෙන පිපෙන්න තියන කොටසට වෙනකම් ඒ විදියටම කරන්න... පිපෙන්න තියන කොට කරන්න තියෙන්නේ මෝලිය තූනී කරන එකයි මෙන්න මේ ෆොටෝ එකේ තියෙනවා වගේ පෑන් එකටම... 


මගේ පෑන් එක ටිකක් ලොකු නිසා ( මීඩියම් සයිස් පීසා එකක් විතර...) මට අර මාරයියා කළා වගේ වීදුරුවකිනුත් තුනී කරගන්න පුලුවන් උනා.. බැරි නම් අවුලක් නෑ... ඇඟිලි වලින් තුනී කරගන්න... ඊට පස්සේ ඕක පියනක් තියෙනවා නං ඒකෙන් හරි නැත්තම් පිරිසිදු රෙදි කෑල්ලකින් හරි වහලා පැයක් විතර පිපෙන්න තියන්න... 

ඊට පස්සේ කරන්න තියෙන්නේ එළවලු මිශ්‍රණය හදා ගන්න එක... අවන් එකක් නැති නිසා මේකදි මිශ්‍රණයට දාන ජාති ඔක්කොම දාලා හොඳට හදා ගන්න... තම්බන ඒවා තම්බලා, තෙල් දාන ඒවා තෙල් දාගෙන, ඕනේ කරන ලුණු, ගම්මිරිස්, මිරිස්, ළුණු ඔක්කොම දාගෙන එහෙම හදා ගන්න...  මම නම් ගෙදර තිබ්බ කැරට්, බෝංචි, මල් ගෝවා ඔක්කොම ජාති ටිකත් එක්ක සෝසේජස් ටිකකුත් පොඩියට කපලා දැම්මා... සෝස් ටිකකුත් ඉතිං ජොලියට වගේ දැම්මා... මේකේදි හොඳම වැඩේ තියෙන්නේ ගෙදර එළවලු එහෙම ඉවර වෙච්ච දවසට ඔය ඉතුරු සුන්බුන් ටික ඔක්කොම දාලා මේක හදාන්න පුළුවන්.. නම පීසා නේ... ඔහේ ඕනේ කෙනෙක් රසකර කර කනවා... හි හි.. 

හරි.. මිශ්‍රණයත් හරි ගස්ස ගත්තට පස්සේ පෑන් එකේ රොටිය පිපිලා හරි ගිහින් නම් ගෑරොප්පුවකින් පොඩ්ඩක් ඇන ගන්න.. ඊට පස්සේ ලිපේ තියන්න... ඔන්න දැන් තමයි මං අමාරුවේ වැටිච්ච තැන... මට තියෙන්නේ ළුණු සිවිය වගේ වැඩකට නැති පෑන් එකක්... නමට විතරක් නොන්ස්ටික්... ඝණකම නැති නිසා හරි ඉක්මණට කරවෙනවා... ඒත් එච්චරනේ තියෙන්නේ.. වැඩේ කරගන්නත් එපැයි.... එකපාරටම රොටිය තද ගින්දරේ තිබ්බොත් බිස්කට් වෙලා තමයි නවතින්නේ... ඒක නිසා මං කරපු වැඩේ රොටි, තෝසේ හදන තැටිය ලිපේ තියලා, ඒක උඩින් මේ පෑන් එක තිබ්බ එක... ගෑස් ලිප් වල හැම තිස්සෙම වගේ ගින්දර සෙට් වෙන්නේ එකම තැනට නිසා හරි ඉක්මණට එකම තැන කරවෙනවා.. ඒ අවුලත් අඩු වෙනවා මෙහෙම කළාම.... 

හරි විනාඩි 5ක් විතර යන‌ෙකාට එක පැත්තක් හරි යනවා... ඊට පස්‌සේ රොටිය අනිත් පැත්ත හරවන්න...  ඊට පස්සේ ඉක්මණට එළවලු මිශ්‍රණය සහ චීස් මේකට දාගන්න... ඒ ටික කරගන්න වෙලාව යනවා නම් ලිප ඕෆ් කරලා කරගන්න.. අවුලක් නෑ.. මෙහෙම කරන්නේ රොටිය දෙපැත්තම කරවෙන්නේ නැතුව ගානට හදා ගන්නයි, චීස් ටික දියවෙන්නයි ඕනෙ නිසා... රොටිය බිස්කට් වෙන්න ( කර වෙන්න)  කලින් බාගන්න.. ඔච්චරයි වැඩේ.... 

දැන් තියෙන්නේ උපදෙස් ටිකක් දෙන්න.. මේ ටික ඔක්කොම ඕනේ මයික්‍රොවේවි හරි මොකක් හරි අවන් එකක් නැති අයට තමයි හරි... රොටිය ලිපේ තියන්න ඕනේ කන්න ගන්න ලෑස්ති වෙලා.. ඒ කියන්නේ 8.30ට කනවා නම් 8.15ට විතර මේක ලිපේ තිබ්බම හරි... ඒ ව‌ගේම එළවලු මිශ්‍රණය රොටියට දානකොට රස්නෙන් තියාගන්න... ඇයි එහෙම කිව්වේ දන්නවද...? අපේ පෑන් එකේදි රත්වෙන්නේ යට පැත්තෙන් විතරක් නිසා එළවලු මිශ්‍රණය නිවිලා තිබ්බොත් උඩින් දාන චීස් ටික දියවෙන්නේ නෑ... චීස් දියවෙනකම් හිටියොත් රොටිය බිස්කට් වෙනවා... 

මට ඒ සන්තෑසිය උනා... හි හි.... මම උනන්දුව වැඩි හින්දා වෙලාසනින් මේ ටික හැදුව නිසා කන්න ගන්න වෙලාව වෙනකොට එළවලු මිශ්‍රණය නිවිලා.. ඒක නිසා චීස් හොඳට දියවූනේ නෑ... මාත් මේක හදපු පළවෙනි වතාවනේ.. ඒක නිසා මං ඉගෙන ගත්තා වැඩේ වැරදුන තැන් ටික.... 

හැබැයි මේ මට වෙච්ච අවුල් වලින් මේක කන්න බැරි තරම් අවුලක් නම් උනේ නෑ... ඒක නිසා පාවිච්චි කරපු දේවල් අපතේ ගියෙත් නෑ... ‌පේනවනේ... පිරිමින්ට වගේ ගෑණුන්ට චෙෆ්ලා වෙන්න අමාරු ඇයි කියන එකට උදාහරණයක් මෙතෙනම තියෙනවා.... විසිකරන්න ලෝබයි... මම හදපු එළවලු මිශ්‍රණය ඔක්කොම මේකට දාපු නිසා පීසා එක ලස්සනට ආවේ නෑ... ඒත් ඉතිං අපි දෙන්නා විතරක් නිසා අවුලක් නෑ... ඊළඟ පාර හදද්දි ගානට මිශ්‍රණය හදාගන්න මට දැන් පුළුවන්... 


ෆොටෝ ටික නම් මාරයියා තරමට ලස්සනට, හැඩ කරලා ගන්න මට බැරි උනා... ෆොටෝග්‍රැෆර් ආවේ පරක්කු වෙලානේ..  ඔන්න තිබ්බ හැටියට ගත්තා මං... හි හි

ප/ලි :

විශේෂ ස්තූතිය... අපේ මහත්තයට... 

ඔයා මොනවා හරි හදනවා නං මං ආසයි.... කන්න බැරි වෙලා විසිකරත් මට කමක් නෑ... ඔයා කිසි දෙයක් හදන්නේ නැතුව ඉන්නකොටයි මට දුක හිතෙන්නේ .. කියලා බොහොම ආසාවෙන් හදපු එක කාලා, ඇඟිලිත් ලෙව කාලා, ඊට පස්සේ “ බඩ උස්සගන්න බෑ, කෑවා වැඩියි... ” කිය කිය හිටපු නිසා.... හි හි.... ඇත්තටම මීට කලින් මේක හදන්න හිතං හිටියත් හැමදාම බඩු ගන්න ගියාම චීස් වලට රු 400.00 ක් විතර වියදම් කරන්න ලෝබ හිතෙන නිසා මම මේක මෙච්චර දවස් හැදුවේ නැත්තේ... ඒත් මෙහෙම හරි හැදුවම නම් මාර සන්තෝසයි.... හි හි... 

Monday, December 10, 2012

මේ ඔක්කොම පිස්සු අමාරුවෙ වැටෙන්න ආස අය හින්දා...

ගොඩ දවසකට පස්සේ පොඩි විකාර කතාවක් ලියන්න හිතුනා... ගිය ටිකේ කට්ටියම පරණ පෙම් කතාවලට පැටලිලා, කවි, කතා, පරණ ස්ටෝරි ලිය ලිය, කවි තෙල් බි බී හිටියනේ... ( අම්මපා මාරයියව දැක්කෙත් නෑ ඊට පස්සේ.. හි හි) 

මේකත් ඉතිං මඟුල් කතාවක් තමයි..... 

අපේ අම්මගේ කේක් කතන්දරේ කට්ටිය දන්නවනේ... කොහොම හරි ඕක ඇවිල්ලා ලොකුවම ඇඩ් දාගෙන කරන එකක් නෙවෙයි... බො‌ෙහාම පොඩියට, ලස්සනට, හිමීට කරගෙන යන වැඩක්.. ගොඩක් වෙලාවට හැම කෙනාම අම්මව හොයා ගෙන තමයි එන්නේ.. කඩේ වැඩ කරන ගර්ල්ස්ලා හිටියත් හැමෝටම අම්මා එක්ක කතා කරන්න ඕනේ ඕඩර්ස් දෙන්න... විශේෂයෙන් උපන් දින, මඟුල් වලට හදන කේක් වලට... ඩිසයින් තෝරන්න අම්මම ඕනේ.. මං හිටපු කාලේ නං මට ඒ තැන තිබ්බා.. ඒත් දැං නං අම්මම කරන්න ඕනේ ඔක්කොම.. 

ඔය එන කට්ටිය වෙලාවකට හෙන වාතත් වෙනවා..ඒත් ඉතිං එහෙමයි කියලා කස්ටමර්ලව අයින් කරන්න බෑනේ.. ඒක නිසා හරිම පරිස්සමෙන් ගනුදෙනු කරන්න ඕනේ.. 

ඔය ඕඩර්ස් බාර දෙන්න ආවාම අපිට මරු මරු වැඩ වෙනවා... 

ඔන්න දවසක් කොල්ලෙක් ඇවිත් බර්ත්ඩේ කේක් එකක් හදවගන්න... 

අපි ඉතිං විස්තර අහනවා... 

ගෑණු ළමයෙක්ටද ...  ඔව්

වයස කීයක එක්කෙනෙක්ද.... 15යි... 

ඉතිං සාමාන්‍යයෙන් ඒ වයසේ අයට හදන්නේ ‌ඩිසයින් වලට වඩා කන්න පුළුවන් කේක් නේ... හැබැයි මෙයාට ඕනේ කියන්නේ හාවෙක්.. අපිට සාමාන්‍යයෙන් ඉවර වගේ තේරෙනවා මෙතන මොකද වෙන්නේ කියලා... 

නිදිමතේ වැනි වැනි ඉන්න අපිට වෙන ජොලියක් කොහෙද.. ඉතිං අපිත් අර කොල්ලව හොඳට අසරණ කරනවා... හි හි

ඉතිං දැං අපි හාර හාර විස්තර අහනවා.... 

නෑයෙක්ද...     නෑ

යාලුවෙක් ද..... ( ඇඹරිලා.... ) ඔව්... 

හරි අපේ සැකේ කන්ෆ්ර්ම්.... හි හි

දැං මෙයාට ඕනේ මේ හාවව හදලා බොක්ස් එකක දාලා ගිහින් දෙන්න.. ඒ අලි තඩියව බොක්ස් වල දාන්න බෑ... ඒකා වීදුරුවක හදන්න ඕනේ... 

ඉතිං දැං මේකා ඇඹරි ඇඹරි විස්තරේ කියනවා... කේක් එක එයාගේ කෙල්ලටලු... ආදරේට කියන්නේ බනී කියලලු.. ඒක නිසාලු හාවෙක් ඕනේ.. ගෙදරට හොරෙන් ගෙනියන්න ඕනේලු... ඒක නිසාලු බොක්ස් එකක දාලා ඕනේ... 

අපිට හිනා මැරෙන්න.. කොහොම හරි ඉතිං අපි අවශ්‍යතාවය අනුව පොඩි පොඩි වෙනස් කම් කරලා කේක් එක හදලා දුන්නා.. ඒ වගේ ඒවට සපොට් කරන්න එපැයි.. නැද්ද මං අහන්නේ.... හි හි

ඔය වගේ හිනා යන තව කේක් ඕඩර් ජාතියක් තියෙනවා... 

ඒ තමයි මනමාලියෝ බලන්න යනකොට අරන් යන කේක්... 

ඔව් ඔව්.. ඒ වගේ කේක් ටිකක් විශේෂ විදියට තමයි හදන්නේ... හැබැයි ඒවා ඩිස්ප්ලේ එකේ නෑ... ඕඩර්ස් වලට විතරයි හදන්නේ.. ඉතිං ඕවට එන අය පටන් ගන්‌ෙන් මෙන්න මෙහෙම... 

චොක්ලට් කේක් කිලෝ එකක් කීයද...

රු.. මෙච්චරයි.. ( මට ඇත්තටම ගාන මතක නෑ දැං) 

බොක්ස් එකක දාලාද දෙන්නේ... 

ඔව්... 

වටේට අයිසින් කරලා එහෙම නේද... 

එහෙම නම් හදන්නේ ඕඩර්ස් වලට විතරයි.. ටික වෙලාවක් ඉන්න පුළුවන් නම් හදලා දෙන්න පුළුවන්.. හැබැයි ගාන ටිකක් වැඩියි.... 

අපිට මේ ගෙදරකට අරන් යන්න... ටිකක් හොඳට අරන් යන්න ඕනේ.... 

අපේ කට්ටියට මේ වෙනකොට සීන් එක තේරිලා ඉවරයි... ඉතිං අපි කෙලින්ම මාතෘකාවට බහිනවා... 

මනමාලියක් බලන්න යන්නද....? 

(අම්මා නම් හිනා වෙලා, කොල්ලා නම් ඇඹරිලා ) ඔව්....

ආ ඒකට අපේ ස්පෙෂල් කේක් එකක් තියෙනවා.. චොක්ලට්, කජු එහෙම දාලා... 

ඉතිං අපි ගේමට එන්ටර් වෙනවා... හි හි

ඉතිං ඔය අස්සේ අපි කට්ටිය කොල්ල තනියෙන් නම් ආවේ කතාවට අල්ලගන්නවා.. ගොඩක් වෙලාවට කොල්ලා එන්නේ යාලු වෙච්ච කෙල්ලගේ ගෙදර යනවනම්.. අම්මලා එන්නේ කතා කරපු මඟුලකට යනවනම්... ඕක කිව්වේ එක්ස්පීරීයන්ස් එකෙන්... 

ඉතිං දැං ඔය කතා කරන මඟුල් එකෙන් දෙකෙන් හරි යන්නේ නෑ නේ.. කීපෙකටම යන්න වෙනවනේ... අන්න එත‌ෙකාට තමයි වැඩේ.... හි හි

අපිට ටක් ගාලා නෝට් වෙනවා ඒ වගේ අයව.. ගොඩක් අය අපි කොහෙන් හරි ඇඳුනුම් කමක් තියෙන අය.. අනිත් එක එන පළවෙනි වතාවෙම අපි කතාවටත් අල්ලගෙන ෆිට් කර ගන්නවානේ... 

ඉතිං එයාලම අපිට විස්තරත් කියනවා.. එතකොට තමයි ඉතිං යාලු වෙලා හිටපු ඒවයේ ඉඳලම විස්තර එළියට එන්නේ... ඉතිං අපි ඒ වගේ ඒවත් අහගෙන තව කේක් එකක් හදනවා... කොල්ලව අල්ලගෙන නෝන්ඩිත් දානවා....අන්තිමට කොල්ලට විෂ් කරලා එහෙම තමයි අපි කේක් එක දෙන්නේ... ( ඇයි දෙයියනේ තව වෙඩින් එකකුත් එනවනේ ඉතිං.. හි හි) 

යාලු වෙච්ච එවුන්ට නම් අපි අනන්ත හොරෙන් කේක් අරං යන්න උදවු කරලා තියෙනවා.. මොනවා උනත් ලවු එකකට උදවු කරන එක පිනක් නොවැ.. හි හි... 

ඔන්න ඔහොමයි කතා කරන විදියෙන් අපි කට්ටියව අඳුර ගන්නේ.. ඒ වගේ ඉවක් නැතුව බිස්නස් එකක් කරගෙන යන්න අමාරුයි.... 

අද මේ ලිව්වේ පිස්සු කතාවක්.. මේක වෙනදා ලියවෙන ඒවා වගේ රසවත් නැති වෙයිද මන්දා.. මොක උනත් කමක් නෑ.. ඔන්න මං දානවා.. නැත්තම් කට්ටිය කයි තෙල් බී බී, අතීත ප්‍රේම පුරණ මතක් කර කර ඉඳලම ලොකු අමාරුවක වැටෙනවා.... හි හි

අද දාන්න කේක් එකක් ඇත්තෙම නෑ වගේ.. ඒක නිසා ඔන්න පළවෙනි පාරට ම‌ෙග් වෙඩින් කේක් එක බ්ලොග් එකේ දානවා... 

Tuesday, October 16, 2012

උදේම ඇහුන නිවුස් එකක් නිසා මට හිතිච්ච හෑල්ලක්...

අදත් නිවුස් කතාවක් ලියන්න හිතුවා.. ඇත්තටම ලියන්න හිටියේ වෙන දෙයක් ගැන.. ඒත් උදේ මේ නිවුස් එක ඇහුනාම එකපාරටම මතක් වෙච්ච එක ලියන එක හොඳයි කියලා හිතුනා...


ඔන්න හැම පත්තරේකම ඕක කියවෙනවා ඇහුනත් මුල පිටුවටම මේ කතාව ආපු දිනමිණ පත්තරේට ගිහින් බලන්න ඔන්න ලින්ක් එක...

මට ඔය කතාව ඇහෙද්දිම මතක් උනේ මීට අවරුදු කීපයකට කලින් සිද්ධ වෙච්ච තුන් නිවුන් දරු උපතක් වෙලාවේ සිද්ධ වෙච්ච සිද්ධියක්.... ඒක නිසා මම දුවලා ඇවිත් බැලුවා දරුවන්ගේ තාත්තගේ රස්සාව මොකද්ද කියලා.... දෙයියන්ට මේ පාර නම් සිහිකල්පනාව තිබිලා වගේ... තාත්තා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්.. ඊට අමතරව පෞද්ගලික ආයතනයක විධායක නිළධාරියෙක් ලු....

හේතුව මේකයි... මම කලින් කියපු තුන් නිවුන් දරු උපතේදි තාත්තා කුලී වැඩ කරන බව තමා පත්තරවල තිබුනේ... කුලී වැඩ කරලා එදා වේල හම්බුකරගන්න මනුස්සයෙක්ට දරුවෝ තුන් දෙනෙක් කියන්නේ ලොකු බරක්.... කටින් එහෙම නොකිව්වට හිතේ ගින්දරක් ඇවිලෙනවා නොවැ අම්මලා තාත්තලගේ හිත්වල... ඒ පවුලට මුල කාලෙදි ගොඩක් දෙනා උදවු කළා... කිරිපිටි , ආහාර ජාති, දරුවන්ට අවශ්‍ය දේවල් දීලා... ගේකුත් හදා දුන්නද කොහෙද.. ඒක නම් මතක නෑ...

දැං මට ලියන්න හිතුනේ මේකයි....

අද කාලේ දරුවෙක් හදන එක ලේසි පාසු වැඩක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙම.... ඇයි ඉතිං... ළමයා බඩට එන්න කලින්ම කාගේ හරි ගෙයක් තමන්ගෙ නමට හරෝ ගන්න ඕනේ... නැත්තම් අවුරුද 6දි ඉස්කෝලේ දාන්නේ කොහොමද...... එහෙම නැත්තම් ලක්ෂ 10ක් විතර බැංකු පොතක දා ගන්න ඕනේ ඉන්ටනැෂනල් ස්කූල් එකකට දාගන්න.. මොකද ඒවට ඇතුලු වෙන්න ඔයිට අඩු උනත් මාසෙකට ලක්සයක් දෙකක් වියදම් කරන්න වෙනවානේ....ඕවා හිතෙනකෙට මට නම් ළමයි හදන්න භෑ කියලමයි හිතෙන්නේ...

ඔව් ඉතිං... ඕවා හිත හිත ළමයි නොහදා ඉන්නත් බෑ තමා... එන හැටියකට මූණ දෙමු කියලා හිත හදාගන්නත් බෑ... දරුවන්ටවත් අපිටවත් විඳවන්නේ නැති ජීවිතයක් නේ ඕනෑම කෙනෙක්ගේ හිතේ තියෙන්නේ....

ඇත්තටම මාසෙකට 30000 - 40000 අතර වත්කමක් තියෙන පවුලකට දරුවො දෙන්නෙක් හදාගෙන ජීවත් වෙන්න කොයි තරම් සටනක් කරන්න වෙයිද....

ඉඩමක් ගන්න, ගෙයක් හදා ගන්න, දරුවන්ට හොඳට උගන්නන්න ..... හීන ලොට් එකක්.....

මට මතකයි අපේ අම්මයි තාත්තයි වැඩ කරපු විදිය.. අපේ තාත්තට මහා ලොකු පඩියක් ලැබුන්නෑ.... ඒ කාලේ හැටියට යන්තමි ජීවත් වෙන්න පුළුවන් උනා අපි හතර දෙනාට....

මට මතකයි දවස් ගානක් අපි බත් එකට ලූණු ගෙඩියක් සුද්ධ කරගෙන, අමුමිරිස් කරලක් එක්ක ලුණු ටිකක් ඉහගෙන කෑවා.... බත් එක අනලා කවනකොට අම්මගේ කදුළු බිංදුත් බත් එකට වැටුනා... ඒ මල්ලි පොඩි කාලේ... එයාට බේත් කරන්න වියදම් කලාට පස්සේ අපිට කන්න ගන්න සල්ලි තිබිලා නෑ...

අපේ ගේ හදන්න බිලොක් ගල් හැදුවේ අපේ අම්මා.... අදටත් තාත්තා ඒ බිත්තිය කඩන්නේ නැතුව තියාගෙන ඉන්නේ ඒ නිසා... පොඩි පොඩි ලෝන් අරගෙන ගේ හදන්න පටන් ගත්තේ.... මෑතක් වෙනතුරම ගෙට ගත්ත ණය ගෙව්වා.... මට මතක නෑ අම්මයි තාත්තයි කොහෙවත් ගිය දවසක් පහුගිය අවුරුදු 23ක් වගේ කාලයකදි.... මට මතක නෑ අම්මයි තාත්තයි කඩෙන් කෑමක් ගෙනල්ලා කනවා ඒ කාලෙදි... මට මතක නෑ අපේ අම්මා තනියෙන් ආනමාලු ගෙඩියක් කනවා ඒ කාලෙදි.... බැන්ද අවුරුද්දේ තාත්තා අරන් දුන්න සාරියට පස්සේ ආයිත් තාත්තා අම්මට සාරියක් අරන් දුන්‌ෙන් අවුරුදු 23කට පස්සේ....

හැමදාම පැන්සල් නැති කරගන්න මට අපේ අම්මා පැන්සල තුනට කපලා තමා දෙන්නේ... සුදු ගවුම අයන් කරන්න අයන් එකක් නැති නිසා කොට්ටෙ යට තියෙගෙන නිදා ගත්තේ.. තාත්තා නයිට් ඩියුටි දවසට අම්මා මාවත් තුරුළු කරන නිදා ගන්නේ බයෙන්... මොකද අපේ ගේ හදලා තිබුනේ ලෑලි වලින් නිසා... මට තාම මතකයි මම දැක්ක බය හිතෙන හීනයක් ඒකලේ.... අම්මයි මායි තනියෙන් ඉන්න දවසක අපෙ ගෙට හොරු පැනලා...

ඒත් මට කිසිම අඩුපාඩුවක් උනා කියලා මතක නෑ.... මට අඩුපාඩුවක් නොදැනෙන්න ඒ දෙන්නා තමන්ගේ ජීවිතේම කැප කලා කියලා තේරුනේ ඉස්කෝලෙන් අවුට් උනාටත් පස්සේ... කේක් ෂොප් එක හින්දා තමයි අද ඒ දෙන්නා සතුටක් විඳින්නේ... අම්මගේ අයියලා මල්ලිලා ටිකයි එයාලගේ ළමයි ටිකයි ඕනේ වෙලාවක අපේ ගෙදර.... මායි මල්ලියි හැම තිස්සේම ඒ දෙන්නව ට්‍රිප් යන්න උනන්දු කරනවා... ෆිල්ම් බලන්න යවනවා... හොඳ සංගීත ප්‍රසංග වලට ටිකට් අරං දෙනවා...එහෙම කරන්නේ ඒ දෙන්නගේ තරුණ කාලය අපි දෙන්නා වෙනුවෙන්ම කැප කරලා හිටපු එකට වන්දි ගෙවන්න.... අදටත් මට අපේ අම්මයි තාත්තයි තරුණයි....( 55යි කියන්නේ නාකියි යෑ නේද... හි හි)

ඒත් ඒ දෙන්නා අපි දෙන්නා ගැන හිතලා දුක් වෙනවා... මල්ලිට අසනීප උනොත් කියලා ඒකට සල්ලි ඉතුරු කරනවා... මටත් අරවා මේවා අරං එවනවා... හිටපු ගමන් කරෝල බැඳලා මාලු කෑල්ලක් උයලා මැල්ලුමක් එක්ක පරිප්පුවක් හදලා මං ආස විදියට කෙහෙල් කොලේ ඔතලා මල්ලි අතේ එවනවා.... අපේ මහත්තය වැඩ දවසක මට ගමනක් යන්න ඕනේ නම් ඇවිල්ලා එක්කං යනවා..... (ගෙයක් හදලා දෙන්නද, ඉඩමක් අරං දෙන්නද කියලා අහලා අපේ මහත්තයා ඒකට කැමති නැති නිසා දෙන්නම අපේ මහත්තයා එක්ක තරහා වෙලා ඉන්නේ... හි හි.. මගේ නමට තිබ්බ ඉඩමත් ආපහු අම්මගේ නමටම ලියන්න කිව්වා...)

මම පුංචි කාලේ ඉඳලම ඔය දුක දැක්ක නිසා ලොකු තීරණයක් අරං හිටියා මම නම් බඳින්නේ නෑ නෑමයි කියලා... මට ජීවිතේ විඳවන්න බෑ මයි කියලා මම හිතුවා... යාලුවුනත් බඳින්න හිතහදාගන්න ලොකු කාලයක් ගියා.... එහෙම කලෙත් අපේ මහත්තයාගේ මට තිබුණ ආදරේ හොඳටම තේරුම් ගත්ත නිසායි.... ඒත් තාමත් හිතෙනවා විඳවන්න නම් බෑ කියලා...... අපේ අම්මලා වින්දා වගේ මමත් දුක් වින්දොත් ඒ දෙන්නා ඒ දුකටම මැරිලා යයි.... එදා ඉඳලා දුකක් නොදී හදාගත්ත කෙල්ල මං... අදටත් මාමලා කියන්නේ මං ගැන කතා කලොත් දුකෙන් කතා කරන්නේ කියලා.... කොච්චර හොඳින් ඉන්නවා කියලා පෙන්නුවත් එයාලා හිතන්නේ මම දුක් විඳිනවා කියලා.... අනේ මන්දා......

මෙච්චර හෑල්ලක් ලියවුනානේ ඉතිං... හයියෝ..... කපන්න දුකයි.. ඔන්නොහෙ දැම්මා.....

///ඇත්තටම මාසෙකට 30000 - 40000 අතර වත්කමක් තියෙන පවුලකට දරුවො දෙන්නෙක් හදාගෙන ජීවත් වෙනන කොයි තරම් සටනක් කරන්න වෙයිද....///

උත්තරේ..... ලංකාවේ ඉඳලා නම් බෑ......

අපේ මහත්තයට යාලුවෝ කීප දෙනෙක්ම ආයිත් රට යන්න කතා කරනවා මේ ටිකේම.... ඒත් මම ඒකට කැමති නැත්තේ පවුලක් උනාම එකට ඉන්න ඕනේ කියන හැඟීම නිසා.... කොච්චර අමාරුකම් තිබුණත් රට යන අදහස අත්රින්න තියලා මම කිව්වේ ඒක නිසා... ඇත්ත...... අමාරුයි.... දුක් විඳින්න වෙනවා.... ඒත් සල්ලි වලින් මනුස්සයා නැති අඩුව පුරවන්න පුළුවන්ද.... අනිත් එක එයාම කියන විදය එකපාරක් රට ගියොත් ආයිත් යන්නම හිතෙනව... සල්ලි අඩුපාඩු දැනෙන්න පටන් ගන්නකොට.... ඒක නිසා මම කිව්වා රට යනවා නම් බදින්න කලින් ගිහින් කරගන්න පුළුවන් දෙයක් කරගමු කියලා....ගිහින් ආවානේ... ආයිත් නම් යන්න දෙන් නෑ.... දරුවන්ට තාත්තා කෙනෙක් ‌ෆොටෝ එකකින් පෙන්නලා වැඩක් නෑ කියලයි මට හිතෙන්නෙම.... අනේ මන්දා.... මං වැරදිද මන්දා....

හරි ... අඬ අඬ ටයිප් කලේ... ඒක නිසා හිතට හරි නෑ... ඔන්න මේ ළඟදි හදපු කේක් එකක ෆොටෝ එකක් හම්බුනා... ඒකත් එක්කම අපේ අම්මලගේ තනියට මේ දවස්වල ගෙයි රජ කරගෙන ගෙන ඉන්න මගේ වලව්වේ හාමුගේ ෆොටෝ ටිකකුත් මල්ලිගේ ෆේස්බුක් පේජ් එකේ තිබිලා හම්බුනා... ඔන්න යටින් දැම්මා.....

මේ ඉන්නේ වලව්වේ හාමු..... පේනවනේ රජ කරගෙන ඉන්න හැටි....




මේ කේක් එක නම් ගිය මාසේ වගේ හැදුවේ..... ඔය පබළු එහෙම ගන්න මාත් මල්ලිත් එක්ක ෂොපිං ගිය නිසා මමත් පොඩ්ඩක් විතර සම්මාදම් උනා... හි හි


Thursday, October 11, 2012

අපේ අම්මගේ තියරි සහ මගේ සොයා ගැනීම්......

මේක ලියන්න හිතුනේ කලින් දාපු පෝස්ට් එකට ලැබුණු ප්‍රතිචාර කීපයක් නිසා.... අලුතින් අත ගහපු වැඩකුත් තියෙන නිසා ලිය ලිය ඉන්නවට වඩා වැඩ තියෙනවා නේද කියලා මගේ ඔලුව සැරින් සැරේ මට මතක් කරලා දෙන නිසා, ලියනවද කියලා කල්පනා කර කර ඉඳලා ඔන්න ඔහේ ඕනෙ කෙහෙල්මලක් කියලා ලියන්න ගත්තා....

අපේ අම්මා කේක් ෂෝප් එකක් පවත්වගෙන යනවා කියලා මම කලින් කියලා තියෙනවානේ... ඕකේ වැඩ කිරිල්ල හරි ආමාරුයි...මොකද කිව්වොත් සිල්ලර කඩයක් කරනකොට ව‌ෙග් ලොරියෙන් බඩු ටික අරගෙන කඩේ රාක්ක වල අහුරලා විකුණන එක නෙවෙයි නේ කෙරෙන්නේ... ඔක්කොම දේවල් අපිම හදන්න ඕනේ.. කේක්, අයිසින්, මල්, ඒ අස්සට පෙට්ටි..... එතකොට වෙඩින් කේක් ස්ට්‍රක්චර් වල වැඩ... පොල් කේක්...ජෙලටින් වැඩ... හපොයි...හිටපු ගමන් මහන්නත් වෙනවා... ඒ අස්සට ඕඩර් ගන්න, එදිනෙදා කේක් විකුණන්න, බැංකුවලට වෙලාවට ණය ගෙවන්න, ස්ටොක් තියා ගන්න.. එතකොට වෙඩ්න් කේක් ස්ට්‍රක්චර් හෝටෙල් වලට ගෙනිහින් සෙට් කරන එක... ඔය හැම දෙයක්ම කලේ අපේ ගෙදර හතර දෙනා තමයි.... මම ඔය වැඩේ එපා වෙනකම් ඇද්දට පස්සේ තමයි අම්මගේ කේක් ව්‍යාපාරය මල්ලිටම කරගෙන යනවනං කරපං කියලා පැත්තකට උනේ.. හි හි... මට මතකයි එක පාරක් එතකොට ට්‍රාන්ස් ඒෂියා හොටෙල් එකේ (දැං නම වෙනස්) තිබ්බ වෙඩින් එකකට අම්මයි මායි තාත්තයි තුන් දෙනා කේක් එක අරං... ..ගිහින් සෙට් කරනකම් නම ගිය මල් සැරසුම් ආයතනයකින් ඇවිත් හිටිය කීප දෙනා වැඩ ඉවර කරලා පැත්තකට වෙලා බලං හිටියා... පස්සේ මනමාලිගේ අක්කා අපිට ගොඩක් ස්තූති කලා.. ඒ වගේම කිව්ව දෙයක් තමයි... “ ඔයාලා තුන් දෙනා වැඩ කරන කොට අපි ඔක්කොම පැත්තකට වෙලා බලං හිටියේ අම්මයි තාත්තයි දුවයි මේ වගේ වැඩක් කරනකොට තියන ලස්සන බලාගෙන..“ කියලා...

හරි හරි.. ඒ කතාව නෙවෙයි කියන්න ගියේ....චූටි පහේ නයෙකුත් රිංගුවද කොහෙද අස්සෙන්..හි හි

ඉතිං මම කාලයක් උදෙන්ම ගිහින් කඩේ අරින්න සෙට් උනා... අපේ ෂොප් එකේ තියෙන්නේ අපිම හදන කෑම ජාති විතරයි... කේක්, මාෂ්මෙලොස්, රැලං,කිරිටොපි වගේ ඒවා සහ හිටපු ගමන් පොඩි පොඩි විශේෂ දේවලුත් දානවා... අල ටොපි, අර ටොපි මේ ටොපි එක්ක එක එක ජාතියේ කේක් ජාතිත් දානවා.. හැබැයි දිනපතා හදන ජාති තමයි බටර් කේක්, චොක්ලට් ‌කේක්, කොෆි ‌කේක් සහ පොල් කේක්.... අම්මා ඔය ඔක්කොම ජාති හදන්නේ ගෙදර ඉඳන් නිසා මම ඇවිල්ලා පැය දෙක තුනක් ගියාම තමයි අම්මා එන්නේ.. සමහර දවසට මම දවසම තනියෙන්.. හි හි...

ඔන්න අපේ අම්මා හිටපු ගමන් මෙහෙම කතාවක් කියනවා ඒ කාලේ....

“ අර ........ ගෑණු කෙනා උදෙන්ම ආපු දවසට එයාට අලුත් කේක් එකක් කපලා දෙනවා නම් පොඩි පෙත්තක් කපලා මුලින්ම අයින් කරන්න .....“

“ ඒ මොකෝ අම්මේ... පෙත්තක් කැපුවොත් අඩු වෙනවානේ.....“

දැං ඔය මම කියපු එක ඔයාලට තේරෙන්නත් නැතුව ඇතිනේ... මෙහෙමයි... අපේ අවන් වලට දාන තැටියකට බටර් කේක් කිලෝ 4ක් අල්ලනවා... නමුත් කඩේට එන අය අරන් යන්නේ 500, කිලෝ 1 වගේ තමයි... එතකොට අපි කේක් එක කපලා කිරලා තමයි දෙන්නේ.. ඕක ඉතිං තිතට, නූලට කැපෙනවා හරි අඩුයි.. ඒක බඩු ගන්න අයත් දන්නවා... ඒක එච්චර ගානක් නෑ.. මොකද බරටනේ ගාන හැදෙන්නේ... ටිකක් අඩු වැඩි උනාට පුරස්නයක් නෑ...

දැං මං අම්මට එහෙම කිව්වේ පෙත්තක් කැපුවොත් කිලෝ 2කින්ම ග්‍රෑම් ගානක් අඩු වෙන නිසා... ඒක ඉතිං හොඳ නෑ නේ....

අම්මා දුන්න උත්තරේ තමයි මේක.....

“ ඔය මනුස්සයා මුලින්ම ක‌ෙඩ්ට ආපු දවසට අලුත්ම කේක් එකක් කපලා දුන්නොත් ඒ කේක් එක විකිණෙන්නේ නෑ....“

ඈ.... ඒ මොන කුණුහරැපයක් ද..... මං හොල්මන් උනා...

“ පිස්සු කතා කියන්න එපා අම්මේ.... එහෙම වෙන්නේ කොහොමද... “

“ ඔයා බලන්නකෝ... ආවාම ඔක්‌කෝම කේක් ටික අතගාලා ගනං අහලා තව මොන හරි බයිලාවකුත් ගහලා අන්තිමට බටර් කේක් 250ක් හරි කප් කේක් 2ක් හරි අරං යන්නේ..... ඒක නම් කමක් නෑ.... ඒ උනාට මෙයා‌ෙග් කටවහ තියෙනවා.... “

අපේ අම්මට නම් පිස්සු තමා.... මං ඔ‌ෙහාම හිතලා කඩේට ගියා ...... ඔය ඇස්වහ කටවහ කතා මම නම් සත පහකට ගනන් ගන්නේ නෑ....

ඉතිං දවසක් වැඩ ඉවර වෙලා මම ගනන් බලනකොට වෙනදට වඩා කලෙක්ෂන් එක අඩුයි... එදා ටිකක් බිස්නස් තියෙන දවසක්... ම්ම්ම්... පොල දවසට එහෙම කට්ටිය එනවා වැඩියි... එහෙම තමා අපි අල්ලන් ඉන්නේ මේ වෙනකොට... සෙනඟ අඩුම දවසට තමයි කඩේ වහන්නෙත්... ( ඉස්සර නම් හැමදාම ඇරලා... ඕඩර් තියෙනවා නම් අරින්නම එපැයි.... අපේ අම්මත් එක්ක බෑ අප්පා ඒ දවස්වල...)

ඉතිං දැං අම්මා ඇවිත් කේක් ටික බලලා ......

ආ ඒ කතාවත් කියන්න එපැයි.... අපි හදන කේක් වලට කල් තියා ගන්න දාන ජාති මොකුත් දාන්නේ නැති නිසා ගොඩක් කල් තියා ගන්න බෑ... වැඩිම උනොත් සතියක් තියා ගත්තෑකි... ඒත් කඩේ තියෙන්නේ දවසක් නැත්තම් දෙකක් විතරයි...අද හදපු කේක් හෙට වෙනකොට විකිණිලා ඉවරයි.... දවස් දෙකකට වැඩිය තියාගන්න ඕනේ වෙන්නෙම නැති තරම්.. ඒත් එහෙම බැරි වෙලා හරි ඉතුරු උනොත් ඒවා අයින් කරන්න වෙනවා... මොනවා උනත් පරණ කේක් නම් දෙන්‌ෙන් නෑ අම්මා... අපේ කඩේ වටේට ඉන්න බලු රාළලා ටික අපේ අම්මට හරි ආදරෙයි ඉතිං.. මොකද අපිට උනත් එච්චර කේක් කෑමේ ආසාවක් තිබුනේ නෑ. උදේ ඉදලම කේක් ගොඩේ ඉඳලා... ඉතුරු වෙච්ච කේක් නැත්තම් අලුත් කේක් කෑල්ලක් හරි දෙනවා ඉතිං අම්මා හැමදාම කට්ටියට.... හි හි... අපේ ගෙදර ඉන්න වලව්වේ හාමුත් කේක් වලට පෙරේතයි....

ආයිත් පැන්නා.....

ඉතිං අම්මා ඇවිත් කේක් ටික බලලා මගෙන් ඇහුවෙ නැතැයි “ අද උදෙන්ම කඩේට ආවේ කවුද...‘ කියලා...

දැං ඉතිං කෙලියනේ තාප්පෙට.... මට තියෙන එක ලෙඩක් තමයි හැමෝගෙම මූණ මතක තිබුනට කාගේ කවුද, නම් ගම් වගේ දේවල් අමතක වෙන එක.... මම ගොඩක් වෙලාවට කරන්නේ අඳුරගත්තා වගේ ඇක්ට් කරලා පස්සේ අම්මාගෙන් අහන එක ... “ කවුද අම්මේ ඒ....? කියලා... එතකොට ඉතිං අම්මා බැන බැන විස්තර කරනවා.. ඊළඟ දවසේ මට ආයිත් අමතකයි...... හි හි

දැං ඉතිං උ‌ෙද්ම කඩේට ආපු කෙනා මතක උනත් කාගේ කවුද කියලා මම කියන්නේ කො‌ෙහාමද....?

ඉතිං මං විස්තර කරනවා..... “ අර අම්මේ මහත ඇන්ට් කෙනෙක් ඉන්නේ අර බතික් වගේ බාච්චු ගවුමක් ඇඳගෙන එන.... අර හැමදාම මොනාවා හරි විකාරයක් කියාගෙන එන්නේ... මහ ඇණයක් වෙන්නේ වෙලාවකට.... අර අනේ මේ ඉස්සරහා පාරේ ඉන්නේ.....මට මතක නෑ අප්පා කවුද කියලා.... අර හැමතිස්සෙම එන්නේ “

ඔ‌ෙහාම ඔහොම මම විස්තර කරනවා..... ඔන්න අම්මට මීටර් වෙන්නේ ටික වෙලාවකට පස්‌ෙස් තමා....

“ අර ...... ගෑණු එක්කෙනාද....“

“ ආන්න හරි... මට නම මතක නැතුව හිටියේ.....“

“ මම කිව්වා නේද එයා ආවොත් කේක් එක කපනවා නම් ටිකක් අයින් කරන්න කියලා .... කලාද...“

මලා....... මට මතක නැති උනානේ.. අනිත් එක මනුස්සයා මතක නැති එකේ මම කවුද කියලා දන්නේ නැනේ ආවත්.......

එදා අම්මගෙන් කන පැලෙන්න අහ ගත්තා... අම්මා කිව්වා වගේම ඒ කේක් කිලෝ4 න් 2යි විකිණුනේ... බල්ලන්ට රජ මඟුල්.....

එදයින් පස්සේ මම නිකම් ටෙස්ට් කරන්න වගේ ඕක මතක තියාගෙන බැලුවා .... හැබෑට මේ මනුස්සයා ආපු දවසට බිස්නස් අඩුයි...

ටික දවසකට පස්සෙ තමයි මට ‌තේරුනේ ඇයි අම්ම මේ වගේ කිව්වේ කියලා...

මේ මනුස්සයා කතා කරනකොට කතා කරන්නේ පණ දෙන්න වගේ...

“ අනේ රංජනී.... ඔයා දන් නෑ අනේ.... ඔයාගේ කේක් කන්න අපේ පුතයි මහත්තයයි හරිම කැමතියි අප්පා.. අපිට පුළුවනෑ මේවා හදන්න වියදම් කරන්න... අරං යන එක ලාබයි....“

ඔ‌ෙහාම කියලා පැය බාගයක් විතර කියෝ කියෝ ඉඳලා කේක් 250ක් අරං යනවා... අර ටික කියන්නේ හිතේ හොඳක් තියාගෙන නෙවෙයි... මූනිඡ්චාවට කතා කරනවා කියන්නේ.. අන්න එහෙම... හිත යටින් තියෙන්නේ තරහක්....

අපිට කේක් හදන්න බෑ‌ෙන්... අපි හැදුවම කවුරුවත් මෙහෙම වර්ණනා කරන්නේ නෑ නේ... අපිට කොහෙන්ද මේවා හදන්න සල්ලි...

ඔය වගේ ‌දේවල් හිතේ හංගගෙන උඩින් බොරැවට කතා කරනවා.... එහෙම කියන කෙනෙක් අපිට හොදක් හිතනවා කියලා හිතන්න බැරි නිසා අම්මට එහෙම හිතනෙවා ඇති කියලා මට හිතුනා...

ඒකට හේතුව තමන් ගැන තියෙන හීන මානය... ඕක ඕනෙ කෙනෙකුට ඇති වෙන්න පුළුවන් අමාරු කාලවලදි වගේ.... ඒත් සමහරු ඉන්නවා ජීවිත කාලෙම අනුන් ගැන ඉහලින් හිතලා තමන් පහත් කරගෙන හිතා ගෙන ඉන්න.... ඒ ව‌ෙග්ම අනුන්ට ඊරිසියා කරන.... ඒ වගේ කෙනෙක් ගේ වචන වල තියෙන නෙගටිවිටි එක ( Negativity) අපිට බලපානවා ඇති... හරියට පිරිත් වල තියෙන පොසිටිවිටි ( Positivity) එක අපිට බලපානවා වගේ.... ඔන්න ඔ‌ෙහාමයි මම ඒ කතාව තේරුම් ගත්තේ..

ඒ වගේම ඉතිං අම්මා කියපු විදියටම වැඩෙත් ඇත්ත උනා‌ෙන්.... හි හි....

කට්ටියම කියමුකෝ බලන්න මගේ අදහස ගැන ඔයාලගේ අදහසුත්....

ඔන්න... මේ තියෙන්නේ අර කිව්ව ට්‍රාන්ස් ඒෂියා එකේ වෙඩ්න් එකට හදපු කේක් එක.... මට මතක විදියට මේ කාලෙදි අපිට ලොකුවට වැඩ කරන මැෂින් එහෙම තිබුනේ නෑ.. මට මේ කේක් එක වෙනුවෙන් වෙච්ච මහන්සිය තාමත් මතක මේකට අයිසින් රෝස මල් 5000කට කිට්ටු ප්‍රමාණයක් සහ අයිසින් කොළ, ගෙඩි සහ පුංචි මල් (ෆොගෙට් මී නොට් වගේ) ලක්ෂයකට කිට්ටු ප්‍රමාණයක් හදපු නිසා.... ඒ ඔක්කොම හැදුවේ අපි කට්ටිය.. අපේ අම්මා , ආච්චි, මල්ලි, නංගි සහ මම.....