Showing posts with label පිස්සු නටපු ඉස්කෝලේ කාලේ... Show all posts
Showing posts with label පිස්සු නටපු ඉස්කෝලේ කාලේ... Show all posts

Friday, June 6, 2014

මකුළු දැල් කැඩීම්....


අපේ ඉස්කෝලෙ ඉස්සර ලොකු කොස් ගස් දෙකක් තිබ්බ.... හරියටම තුනේ පන්ති පේලිය ඉස්සරහා.. එතකොට පහේ පන්ති පේලිය පැත්තකින්... අනිත් පැත්තෙන් බුදු මැදුර... කොස් ගස් දෙකට ඉස්සරහින් තිබ්බෙ වතුර මලක් එක්ක පොඩි පොකුණක්...

කොස් ගස් දෙක කොච්චර ලොකුද කියල කියන්න මට මතකයක් නැත්තෙ මං කවදාවත් ඒ ගස් වල මුදුන දැකලා නැති හින්ද... හැබැයි පොළවෙන් උඩට ඇවිල්ල තිබ්බ ඒ කොස් ගස් වල සමහර මුල් මගේ ඉණ ගාවට විතර තිබ්බ... මගේ ඔලුවෙ ගෑවෙන හරියෙ විතර කොස් ගෙඩි තිබ්බ...

පහේ පන්තියෙදි මං හැමදාම පන්ති පෝළිමේ අන්තිමයට කලින් එකා... මට පස්සෙන් පබයිය... එයාට පබයිය කිව්වෙ පබා කියන එයාගේ නම අපේ කටට එච්චර හරිගියෙ නති හින්ද.. අනිත් එක පන්තියෙ උසම එකා හින්ද... රැස්වීමට පිට්ටනියට යන එක මට මහ එපා කරපු වැඩක් වෙල තිබ්බෙ.. හැමදාම අව්වම හරියෙ ඉන්න වෙන්නෙ මට... කලන්තෙ දාන පුරුද්දක් තිබ්බෙ නැති හින්ද හැමදාම අව්ව දරාගෙන පැයක් විතර ඔය පෝළිමේ අන්තිමට හිටගෙන ඉන්න උනා මට...  

පහේ පන්තියෙදිත් අපේ සෙල්ලම් කිරිල්ලෙ මුල් තැන ගත්තෙ ඔය කොස් මුල් අස්සෙ කරන හැංගිමුත්තං සෙල්ලම තමයි... අපි තුන් හතර දෙනෙක්ට ඔය ගහේ එක පැත්තක හැංගිලා ඉන්න පුළුවන්කම තිබ්බ... 

පස්සෙ කාලෙක සුදු වැද්ද පොත කියවන කොට හෑන්ස් ගස් දෙකක අතු අල්ල අල්ල ව්‍යායාම කරනව බලං ඉන්න ගැස්පයි එඩ්මන්ටුයි මං හිතේ මවා ගත්තෙ ඔය ගස් දෙකත් එක්ක... 

ප/ලි : 

දැං මාසෙකට කලින් පහුගිය අවුරුදු තුනට පස්වෙනි පාරටත් ගෙවල් මාරු කරන්න සිද්ධ උන නිසා බ්ලොග් එක පැත්තකින් තියන්න උනා... කියවන්නවත් හම්බුනේ නෑ හරියකට.. ඩයලොග් ලෙඩේ හින්ද එක පැත්තකින් බ්ලොග් බැලිල්ල එපා උනා... අන්තිමට බිල් ගෙවන්නෙ නැතුව ඉඳලා නෙට් කනෙක්ෂන් එකත් කපලා දැම්ම ඩයලොග් ගොයිය... 

ඇත්තටම කිව්වොත් කියවන්න හිතෙන තරං හිතට අල්ලන බ්ලොග් පෝස්ට් දෙක තුනක් විතරයි තිබ්බෙ.. හැමෝටම රයිටර්ස් බ්ලොක් ඇවිල්ලද මන්ද... ආයිත් පටං ගන්නෝනෙ බ්ලොග් හන්ටින් යන්න... හි හි.. 

අලුත් ගෙදර මං වැඩ කරන තැන ඉඳල බැලුවම ජනේලෙන් එළියෙ තියෙන්නෙ පොඩි කොස් ගහක්... අපේ ඉස්කෝලෙ කොස් ගස් මතක් උනේ ඒ හින්ද... මං මේ කල්පනා කරන්නෙ මට කොස් වලින් අඩුපාඩුවක් නැත්තෙ මං මහ කම්මැලියෙක් හින්දමද කියල... හි හි... 

ප/ප/ලි :

කොස් ගස් දෙක ගැන කලින් ලිව්ව වගේ මතකයක් තිබ්බ හින්ද පොඩ්ඩක් බැලුවම අපේ කොස් කෑම පෝස්ට් එකේ ඒ කෑල්ල ලියවිලා නෑ.. ඒත් ඒ පෝස්ට් එකේ කමෙන්ට් ටික දැක්කම දැං ගිහින් කොස් ගෙඩියක් හොයන් ඇවිත් කෑමක් හදන්න හිතෙනව... ( මගෙ කම්මැලිකම තමයි කේස් එක... හි හි) 

Thursday, January 16, 2014

අපේ චිත්‍ර පන්තිය සහ ඕලෙවල්....


මම ඕලෙවල් කළේ 2000 දි... මම සෞන්දර්ය විශයට තෝරගෙන හිටියෙ චිත්‍ර... නැටුං අතෑරියෙ කෙල්ලො ගොඩක් නටන නිසා... මියුසික් නං බෑම තමයි කියලා පොඩි කාලෙ ඉඳලම දැනං හිටිය... ඒක තමයි අද වෙනතුරු මං ගැන හිතං හිටිය දේවල් වලින් ඇත්ත වෙලා ඉතුරු වෙලා තියෙන එකම එක.. හි හි... 

චිත්‍ර කෙරුවාව ගැන කියනවනං ඉතිං හෑල්ලක් තියෙනව.. ඒත් මේ කියවන්න පටං ගත්තෙ එකම සිද්ධියක් මට මතක් වෙච්ච හින්ද... මේක උනේ ඕලෙවල් කරනකොට... ඊට කලින් පසුබිම් විස්තරයක් තියෙනව ඉතිං හැමදාම වගේ... 

ඔය තෝරගැනිල්ල තියෙන්නෙ 6දිනේ... ඇත්ත කතන්දරේ නං මට චිත්‍ර ඇඳිල්ලත් බැහ් තමයි... හි හි... ඒ උනාට අපේ ගෙවල් පැත්තෙ චිත්තර පන්තියක් තිබ්බ.. ටීචරුත් හොඳයි... ගෙදර ඉඳන් මට හූවයි බල්ටියයි... සෙනසුරාදා තමයි පොඩි පන්ති වලදි ක්ලාස් තිබ්බෙ.. ඉතිං ඕකත් එක හේතුවක් මං චිත්‍ර තෝරගන්න...සෙනසුරාදට ඉතිං 10ට විතර චිත්‍ර පොතයි, පාට පෙට්ටියයි, පැන්සල්, පින්සල් ටිකයි කිහිල්ලෙ ගහගෙන, ගෙදර ඉඳන් පන්තියටම දුවන එකම එකා මං... ගෙදර වැඩ කවදාවත් කරන්නෙ නෑ... චිත්‍ර ටීචර්ට මාව පෙන්නන්න බෑ... පාට නෙවෙයි මං ගොමලු ගාන්නෙ... හි හි... ( ඒ උනාට මට හෙන ආදරෙයි... ඒක ඉතිං වෙනම කතාවක්... ) 

ඕලෙවල් වෙද්දි ඕක වෙනස් උනා... පන්තිය අඟහරුවාදට මාරු උනා... අලුත් සෙට් එකක්... ( ඒ කිව්වෙ අලුත් කොල්ලො සෙට් එකක්... හි හි).. මං ඉතිං ඉස්කෝලෙ ඇරිලා, ‌කෝච්චියෙ පිස්සු නටාගෙන ගෙදර ඇවිත්, පොත් බෑග් එක ගෙදරින් අතෑරලා, ඒ පිම්මෙම දුවනවා පන්තියට... ඒ වෙනකොට පන්තිය පටං අරන් පැයක් විතර ගිහින්... හි හි.. 

ඔය චිත්තරේ කරපු අය දන්නවා ඇති ඕකෙ ප්‍රශ්න පත්තරේ කොටස් තුනක් තියෙනව.. එකක් මොකක් හරි මාතෘකාවක් දීලා චිත්‍රයක් අඳින්න කියන එක.. අනිත් එක බලා ඇඳීමක්... අනිත් එක ලියන්න තියෙන පේපර් එක... ඔය තුනේම ලකුණු එකතු කරලා 3න් බෙදලා තමයි අපේ ලකුණු දෙන්නෙ... 

විභාගෙ ලකුණු දෙන ක්‍රමය ගැන නං ඉතිං කියන්න දෙයක් නෑ.. අපේ අනිත් විශයමාලා වලට වෙලා තියෙන සන්තෑසියම තමයි ඒකටත් වෙලා තියෙන්නෙ... 8දිද කොහෙද අපේ පන්තියෙ හිටපු, අපේ විභාග ක්‍රමය අනුව අනිවාර්යයෙන් ෆේල් වෙන ජාතියෙ ළමයෙක් තමයි, පන්තියම චිත්‍ර ඇඳපු, ලෝක ප්‍රසිද්ධ ජපානේ කනගාවා චිත්‍ර තරඟෙන් දෙවනි ස්ථානයක්ද කොහෙද දිනා ගත්තෙ.... 

ඔය මාතෘකාවට චිත්‍ර ඇඳිල්ල කියන්නෙ ඉතිං අපි කටපාඩං වෙනකං ඇඳපු චිත්තරයක් ආපහු අඳින එක තමයි... මොකද විභාගෙට එන මාතෘකා ටික සාමාන්‍යයෙන් එකම ටික තමයි.... ඉතිං අපි ඕක අවුරුදු තුනක් තිස්සෙ ඇඳලා ඇඳලා පුරුදු වෙලා තියෙන නිසා ගානක් නෑ... 

එත‌ෙකාට බලා ඇඳීම කියන්නෙ මේසයක් උඩ තිබ්බ බඩු ගොඩක් අඳින එක... ඕකත් ඉතිං අපි කටපාඩං කරලා තමයි විභාගෙට යන්නෙ.. බෝතල් හාරපන්සීයක් අඳලා, පොල් ගෙඩිත් ඒ තරම්ම ගානක් ඇඳල, පොත් ඊටත් වඩා ගානක් ඇඳල, එක එක විදියෙ රෙදි ජාතිත් ඒ තරම්ම ඇඳලා...අහල පහල තියෙන ඇන්තූරියම්, ක්‍රෝට්න් ගස් වල කොළ ගනං කරල... හි හි.... 
මේක නං හොයාගත්තෙ ගූගල් සර්ච් එකක් දාලා... මේ වගේ වැඩක් උනාට මෙහෙම බඩු නෙවෙයි අපිට අඳින්න දුන්නෙ.. මගේ පරණ චිත්‍ර ටිකක් ඇති ගෙදර.. පස්සෙ වෙලාවක හොයලා දන්න ඕනෙ... 
ඔන්න ඔය ප්‍රැක්ටිකල් එකේ තමයි මේ කේස් එක උනේ... ඔක්කොටම කලින් මතක් කරන්න ඕනෙ ඉතිං මේක වෙලා දැං අවුරුදු 14ක් වෙනව කියල... හි හි

දැං ඔය මේසෙ උඩ තියෙන බඩු ලිස්ට් එක විභාග දෙපාර්තමේන්තුවෙන් එවනවනෙ... බෝතලයක්, පොත් මෙච්චරක්, ඇන්තූරියම් පෝච්චියක්, සිල්ක් රෙද්දක්... ඔහොම කියලා බඩු ටික තියන්න ඕනෙ විදියත් ඇඳලා එවනව... ඊට පස්සෙ විභාගෙ ඉවර උනාම ළමයි ටික වාඩි වෙලා හිටපු පිළිවෙලත් එතන ඉන්න විභාග පරීක්ෂක ඇඳලා, අපේ පේපර් එක්කම අමුණලා යවනවා... එහෙම තමයි view එක බලලා, විභාගෙට හොර කළේ නෑ කියල පිළිගන්නෙ... 

ඔය බඩු ලිස්ට් එක තමයි විභාගෙට කලින් දවසෙ ඔපන් කරල බලන විබාගෙට අඳාල එකම ලියවිල්ල.. හේතුව තමයි මේ බඩු ටික කලින් හොයලා තියාගන්න ඕනෙනෙ ඉතිං... ඔන්න ඔය ලිස්ට් එක ලීක් වීමේ අවදානමක් තියෙනව ඉතිං... 

ඔය ලීක් වීම හින්ද අපේ ටීචර්ට විභාගෙට කලින් දවසෙ දැනගන් ලැබෙනව මෙන්න මේ බඩු ටිකයි විභාගෙට එන්නෙ කියල... ඕක එච්චරම ප්‍රශ්නයක් නෙවෙයි.. මොකද එන බඩු ටික ඔක්කොම කලින් අපි ඇඳලා පුරුදු වෙච්ච දේවල්... හැබැයි අපේ අවුරුද්දෙ මේක වෙනස් උනා.. 

හේතුව තමයි අපේ විභාගෙට “ ලෙලි ගහපු පොල් ගෙඩියක්” අඳින්න ආපු එක... එච්චර කල්ම ඕලෙවල් වලට ආවෙ ලෙලි පිටින් පොල් ගෙඩිය අඳින්න විතරයි... ලෙලි ගහපු පොල් ගෙඩිය ඇඩ්වාන්ස් වැඩියි...ඒක එන්නෙ ඒලෙවල් වලට... ඉතිං ඇත්තටම අපි ඔය පොල් ගෙඩිය අඳින්න පුරුදු වෙලා හිටියෙ නෑ ... අපේ ටීචර් ‌කළේ එදා රෑ පන්තියක් තියල අපිට ඔය පොල් ගෙඩිය අඳින්න පුරුදු කරපු එක.. හැබැයි බඩු ටික තියන පිළිවෙලත් දැනගත්තට, ඒක අපිට පුරුදු කළේවත්, අඩුම ගානෙ අපිට කිව්වෙවත් නෑ එදා... 

ඉතිං මාත් ඕක හොඳට පුරුදු වෙලා ගියාට දැං එදා උදේ මගේ හිතට හරි නෑ... එකක් මගේ යාලුවො නොදන්න රහසක් මම දන්නව.. මම ඒක දැනගත්ත එකෙන් එයාලට පාඩුවක් වෙන බවත් මම දන්නව.. හැබැයි මට මේක කියන්නත් බෑ.. මොකද මේක හොර වැඩක් බවත් මම දන්නව.. අවුරදු 16දි මේක ලොකුම ප්‍රශ්නයක්...

උදේ 10ට තමයි විභාගෙ පටං ගන්න තිබ්බෙ... මං උදේ පන්තියට ගියේ දෙයක් තීරණය කරගෙන... කලින් දවසේ පුරුදු වෙච්ච චිත්‍ර ටිකත් බෑග් එකේ දාගෙන ගිහින්, අපේ පන්තියෙ හිටපු 15 දෙනාටම ( ආර්ට් තිබ්බෙ එක පන්තියයි...) උදේම විභාගෙට ආපු පරීක්ෂකවරු ගැවසෙන්නෙ නැති පන්තියකට වෙලා අර පොල් ගෙඩිය අඳින්න මම පුරුදු කළා... පැය දෙකක් ඇතුලත උන්ට ඒක අඳින්න පුරුදු උනාට පස්සෙ අර ඇඳපුවා ටික මගේ බෑග් එකට දාලා, අපි ගිහින් විභාගෙට ඇන්දා.... තාමත් මං ගාව පුරුදු වෙන්න ඇඳපු චිත්‍ර ටික තියෙනව... හි හි... 

අපේ 15ම චිත්‍ර පාස් උනා... එහෙම උනේ පොල් ගෙඩිය හින්දමද කියල මම දන්නෙ නෑ... කොහොමත් ඊට පස්සෙ ඒලෙවල් වලට චිත්‍ර තෝරගත්තෙ ඒ 15න් දෙන්නෙක් විතරයි... එකෙක් මං.. අනිකා අන්තිම දක්ෂයෙක්.. පොල් ගෙඩිය නැතත් උෟ‌ට ඩී එකක් ෂුවර්... ඒත් අදටත් ඔය සිද්ධිය මතක් වෙනකොට මට හරි සතුටක් දැනෙනවා... කාවවත් අමාරුවෙ දාන්නෙ නැතුව, හරි දේ කරන්න මං ක්‍රමයක් හොයාගත්ත නිසා.... අනිත් එක එදා මම ආත්මාර්ථකාමී නොවුන නිසා... තනියෙන් බුදු වෙනවට වඩා කට්ටියක් එක්ක බුදු වෙන එක ජොලි... හි හි... 

මාත් පස්සෙ ඒලෙවල් වලට චිත්‍ර තෝරගෙන, ඒ එකක් ගත්තට, ඇත්ත කතාව නං මං චිත්‍ර ඇන්දට වඩා හොඳට කළේ චිත්‍ර ලිව්ව එක කියල... ඒ ගැන ඉතිං දන්නෝ දනිති... හි හි... 

ඔය තියෙන්නෙ අපේ පන්තිය තමයි.. මේ ඕලෙවල් දවස්වල... ඔය මං ඉන්නෙ ඉණේ අත් දෙකත් ගහගෙන ආච්චි අම්මා වගේ චිත්‍ර ටීචර්ගෙ පිටිපස්සට වෙලා... ඕක තමයි මං වැඩිපුරම කළේ.... පිස්සු නටපු එක.. අනිත් උන්ටත් වැඩක් කරගන්න ඉඩ නොදී... හි හි
අපේ පන්තියෙ ටීචර් ඒ ලෙවල් පන්ති නොකෙරුවත්, මට ඒ ලෙවල් වලටත් උදවු කළා... මොකද මං එච්චරකල් ඇඳ ඇඳ හිටපු විදිය ඒලෙවල් වලට මදි කියල කියපු නිසා.. ටෙක්නික් එකක් මාරු කරන එකේ අමාරුව දන්නෙ ඒක කරපු එකෙක්ම තමයි... කොහොම හරි ඒලෙවල් කරලා ඉවර වෙනකොට මට චිත්‍ර එපා වෙලා තිබ්බ... අපේ චිත්‍ර ටීචර් නං දැං වයසයි.... ඒ උනාට ඔය ෂොප් එකේ තියලා තියෙන මගේ දැං කරන නිර්මාණ එහෙම දකිද්දි ටීචර් කියන මරු කතාවක් තියෙනව... 

“ මට තාම මතකයි මෙයා ඉස්සර ගොම ගාපු හැටි....” කියන එක... හි හි...  

අද වෙනතුරු මං අදහන දෙයක් තියෙනව... දෙයක් ඉගෙන ගත්තම ඒකෙ ලස්සනම දේ තමයි තව කෙනෙක්ට කියල දෙන එක... ඒ වගේම ඉගෙන ගත්ත දේ තව දියුණු කරගන්න එක... ඒ වගේම ඉගෙන ගත්ත තැනට දියයුතු ගෞරවය දෙන එක.... ඉගෙන ගත්තෙ මෙතනින් කියන එක කිව්ව කියල අපේ දැනුමෙ අඩුපාඩුවක් වෙන්නෙ නෑ කියල මම හිතන්නෙ... මම ඉගෙන ගත්ත පන්තිවලට රිසල්ට්ස් කියන්නවත් ගියෙ නෑ..  කලින්ම කියලා ආවා ‌‌‌ෆේල් උනොත් විතරයි පන්තිය පැත්ත පලාතෙ එන්නෙ කියල... හි හි ....  ඒ ගුරුවරු ගැන හිතේ තියෙන ගෞරවය තවමත් නැති වෙලා නෑ... ඒ හා සමානම ගෞරවයක් මේ බ්ලොග් වලින්, වෙබ් සයිට් වලින් දැනුම බෙදාගන්න අය ගැනත් අද වෙනකොට මගේ හිතේ තියෙනව... 


ප/ලි :

2014 ජනවාරි බ්ලොග් එක පාලුවට යන තත්වයක් තමයි තිබ්බෙ.. මාසෙන් බාගයක් හරි ගිහින් මේක ලියාගන්න ලැබුන එක ගැනත් මාර සතුටක් තියෙන්නෙ... පහුගිය ටිකේ බ්ලොග් වල වෙච්ච දේවල් බලාගෙන ඉඳිද්දි තමයි මට මේ සිද්ධිය ආයිත් මතක් උනේ... ඒ පාර ලියලා දැම්මෙ දැං මේක කිව්ව කියලා කාටවත් පාඩුවක් නොවෙන නිසා.... 

ඒ වගේම තව දෙයක් මං බලාගෙන හිටියත් මුකුත් නොකියා හිටපු තැනකදි, කතා කරපු අපේ තිසර, රවී, අටම්, කෙන්ජි, පත්තර මල්ලි සහ ඉන්දික කියන කට්ටියටම ස්තුතියක් කරන්නත් ඕනෙ...බොහොම වෙලාවට ගැහැණියකට අපහාස කරන්න පුලුවන් කියල ඒ කෙනා හිතපු දෙයක් යොදා ගෙන තමන්ගෙ නොදියුණු මානසිකත්වය ලෝකෙට පෙන්වා දීලා තමන්ටම අපහාස කරගත්ත කෙනෙක් හින්දා, ඒ අසරණයා සහ ඒ කතාවෙන් හිතට සතුටක් දැනුන කෙනෙක් ඉන්නවනං, එයාලට  තියෙන්නෙ ලෙඩක් නං දොස්තර කෙනෙක් ගාවට යන්න කියන අවවාදය දෙන්න බැරි, ඕක ලෙඩක් නෙවෙයි මොලේ වර්ධනය අඩු වීමක් කියල හිතෙන හින්ද එහෙම අවවාදයක් දෙන්නත් බැරි හින්දයි මම ඇත්තටම ඒ සිද්ධිය අමතක කරලා දැම්මෙ... 

Monday, December 30, 2013

Good Bye 2013


දෙසැම්බර් 30ත් වෙලා... 2013 ඉවර වෙන්න තව දවසයි... මේ ටිකේ වැඩ ගොඩකට යට වෙලා ඉඳලා අද තමයි දිනේ කවද්ද කියලත් මතක් උනේ... කලින් දවසක පෝස්ට් එකක් ලිව්වා ඉස්කෝලෙ යන කාලේ දෙසැම්බර් කියන්නෙ මොන තරං ජොලි කාලයක්ද කියල... අද ලියන්න හිතුනෙ ඉස්කෝලෙ යන කාලේ දෙසැම්බර් 31 ගැන... 

ඒ කාලේ වීසීඩී / ඩීවීඩි ප්ලෙයර් තිබ්බෙ නෑ නේ හැම ගෙදරකම... ඩෙක් පීස් ප්ලෙයර් එකක් තිබ්බෙත් එහෙමත් ගෙදරක තමයි... අපේ ගෙදරත් ටීවී එක තමයි සැපට දුකට හූනියම් පෙට්ටිය වෙලා හිටියෙ...ඉතිං 25 වෙනිද වෙනකොට පටං ගන්න නත්තල් ෆිල්ම් වල ඉඳලා 31 රෑ තියෙන බහුබූත ටික බලාගන්න සැදී පැහැදී ඉන්නෙ.... හි හි... 

31 රෑ, ඡන්දෙ දවස් එහෙම කොච්චර ඇඩ් දැම්මත් රෑ එළිවෙනකං බෙල්ල කඩං බලන දවස් තමයි... මුලදි නං එක එක ෆිල්ම්ස් දැම්මත් පස්සෙ පස්සෙ මියුසිකල් ෂෝ දාන්න පටං ගත්තනෙ.. මට හොඳට මතක එකක් තමයි වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක ඉස්සරහද කොහෙද මහ පාරෙ කරපු ෂෝ එක... ඒක මහපාරට ගෙනාපු එක තමයි විශේෂත්වයකට තිබ්බෙ මට මතක විදියට... ඒ භාතිය සන්තුෂ්ලා ආපු කාලේ... ඒ ඇරෙන්න මට නං මියුසිකල් ෂෝ අල්ලන්නෙම නෑ.. ඒක හින්ද 31 රෑ නිදා ගන්න පුරුදු උනා ඊට පස්සෙ... 

ඊට පස්සෙනෙ ඔය රිදී රැයක් කතාව පටං ගත්තෙ... මතක විදියට මුලින්ම අනුග්‍රහය මන්චි එකෙන්.. එතකොට ඒක මන්චි රිදී රැයක්... දැන් නං ලංකාවෙ කලාකරුවො සංගම් දෙකක් වෙන වෙනම ෂෝ දෙකක් කරනවා මං දන්න විදියට... ඒක නං එක්තරා විදියක විකාරයක් විදියට මට පෙනුනට මං කලාකාරයෙක් නොවෙන නිසා ඕවයෙ ඇතුලේ කේස් දන්නේ නෑ... 

කොහොම උනත් මං මේ කියන්න ගියේ රිදී රැයක් මුලදි මාර ගති... අපි හින්දි සහ ඉංග්‍රීසි ඔය වගේ ෂෝ බලලා තිබ්බට ලංකාවෙ නළු නිළියෝ, ගායකයෝ හති මුනි දාගෙන ස්ටේජ් එකක් උඩ නටනවා දැකලා තිබ්බෙ නෑ නේ කලින්... හි හි... මට හොදට මතක එකක් තමයි අර ආරිච්චි බෝරිච්චි සින්දුවට නළු‌ෙවා ටිකක් ගෑණු වගේ ඇඳගෙන ආපු එක.. ඒක නං තාමත් මතක් වෙනකොට හිනා යනව... තව ලස්සන අයිටම් තිබ්බ බලන්න ආස හිතෙන විදියෙ.. ඒත් ළගකදි නං රිදී රැයක් එකත් බලන්න කම්මැලි ගතියක් තියෙනව.. මෙදා පාරත් ෂෝ එකක් තියෙන බව දැනගත්තට එච්චර උනන්දුවක් නෑ බලන්න නං... ඒත් ඉතිං ඔය වයෝවෘධ කලාකරුවන්ට උදවු කරන කතාවක් තියෙන නිසා සිනෙ රිදී රැයක් ෂෝ එක කරන එක නරක නෑ.. ( මට දැන් ඔය සංගම් දෙකේ ෂෝ දෙක මොනාද කියල තෝර බේර ගන්න බෑ... එකක් රූපවාහිනියේ යනවා, අනික ස්වාධීනෙ යනවා මං හිතන්නෙ..)  

කොහොම හරි මේ ලිව්වෙ ඉස්සර 31 රෑ ගත කරපු හැටි... දැං නං දෙසැම්බර් 31 කියන්නෙත් අනිත් මාස වල 31 වගේම තමයි.. විශේෂයක් නෑ... මොකද මේ ඩිසයින් වැඩේ එක්ක මට දවස් යනවා මතකයක් හිටින්නෙ නැති හින්ද... කොහොම උනත් සමහර ඩිසයින් වලට මසයක් විතර යනව... ඒ වෙලාවට නං හිතෙනවා අම්මපා ග්‍රැෆික්ම කරගෙන හිටියනං ඉවරයි කියල.. වැඩිම ලොකු වැඩකට උනත් ඕන්නං සතියක් යයි... හි හි... 

ඒ උනාට හිතේ ආසාව තියෙන නිසා කරගෙන යනවා බිස්නස් එකක් විදියට නොවුනත්... බිස්නස් එකක් කියන්නෙ සල්ලි හොයන්න කරන දෙයක්නෙ.. දවසක් අර සහන් කිව්ව වගේ විනෝදාශයක් බිස්නස් එකක් කරගන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි.... එකක් අපේ රටේ ආර්ථිකය.. අනිත් එක මිනිස්සුන්ගේ මානසික මට්ටම... 

කොහොම උනත් විනෝදාංශයක් විදියට කරපු දෙයක් බිස්නස් එකක් උනාම ඒකෙ කොලිටිය බාල වෙනව කියල මට හිතෙනව... අපේ රටේ ශ්‍රමයට සහ නිර්මාණශීලීත්වයට ලැබෙන්නෙ බොහොම අඩු මිලක්... ඒත් ඇත්තටම කොලිටිය තියෙනව නං වෙළඳපොළක් නිර්මාණය කරගන්න අමාරු නෑ කියල මම හිතනව.. ස්ථාවර වෙන්න යම් කාලයක් ගත උනත් ඒ ව‌ෙග් ව්‍යාපාරයක් යම් කාලයකදි සාර්ථක වෙනව... එතකං අල්ලං ඉන්න එකයි තියෙන්නෙ ... හි හි... 

මේ ටිකේම ඇති වෙන්න බැනුම් ඇහනව... උදේ ඉඳන් ටීවී සිරීස් එකක් දාගෙන ඉන්නකෙට අපේ මහත්තයා බයිනවා ඕක දැං වත් ඕෆ් කරනවකෝ කියල... ඒත් මට ඒක ඕනෙ.. මොකද ටීවී සීරීස් එකක තියෙන රිදම් එකත් එක්ක මගේ වැඩෙත් එක දිගටම යන නිසා.. මට අහල පහල සද්ද බද්ද වලින් කන් දෙක නිදහස් කරගැනීමේ උවමනාව තියෙන නිසා... ෆිල්ම්ස්, සින්දු හරි යන්නෙ නෑ මේ වැඩේට... මේ දවස්වල White collar & The Mentalist තමයි මගේ උදව් කාරයෝ වෙලා ඉන්නෙ... අනිත් ඒවයෙ සද්ද බද්ද වැඩියි... 

කොහොම උනත් ආපස්සට හැරිලා  බැලුවාම 2013 මං හිතපු තරං නරක නෑ ... ඒ කියන්නෙ කොච්චර කලු වලාකුලක උනත් රිදී රේඛාවක් හොයාගන්න මට බැරි කමක් නෑ කියල එක කියල මට හිතෙනව.. මගෙ පැත්තෙන් බැලුවම ඒකම ලොකු ජයග්‍රහණයක්... 

බ්ලොග් කටුවෙත් මාසෙකට පෝස්ට් දෙකක් හරි අඩුම ගානෙ වැටෙන විදියට ලියවිලා තියෙනව.. දැනුත් වෙලා තියන්නෙ ලියන්න දේවල් නැතිකමක් නෙවෙයි.. වෙලාව මදි කමක්.... මොකද පෝස්ට් ලිව්ව වගේම කමෙන්ට් කියවන්න සහ රිප්ලයි කරන එකත් මගේ යුතුකමක් විදියට සලකන නිසා ඒකටත් කාලය වෙන් කරන්න ඕනෙ... පහුගිය ටිකේ පෝස්ට් කියවීම බොහෝ දුරට මඟෑරුනා.. ඒත් නොකියවාම හිටියෙ නෑ... ‌කොහොම උනත් බ්ලොග් කියවීම පත්තර, පොත් කියවීම වෙනුවට ආදේශ වෙලා තියෙන නිසා ඒක අතෑරෙන එකක් නං නෑ මට...

දැං ඉතිං 2013ට බායි කියලා 2014ට වෙල්කම් කියන්න කාලෙ හරි.... හි හි.. 


Wednesday, November 6, 2013

පොත් කියවිල්ල සහ පිස්සු කතා.... නොස්ටලොජියා සීන්....

වෙනදා වගේම සර්ච් එකක් දාලා පින්තූරෙ හොයාගත්තෙ... ඕනෙ නං කට්ටිය ඉමේජ් සර්ච් දාලා අලගිය තැන් වැල ගිය තැන් හොයාගන්නවා හොඳයි... හි හි... 
මේක ලියන්නම ඕනෙ කියලා හිතුනේ අපේ කකාගේ පරණ කතන්දරයක් කියෙව්වම... පොඩි නෙවෙයි ලොකු නොස්ටලොජියා සීන් එකක්... මම කලින් දවසකත් මගේ පොත් කියවීමේ පිස්සුව ගැන ලිව්වා.. හැබැයි මේ ටික ලියවුනේ නෑ වගෙයි මතක.. කොහොම උනත් අද මාත් කියන්න යන්නේ කකා වගේම කතන්දරයක් වෙන්න ඇති.. හැබැයි ටිකක් දිගයි... හි හි.. 

අපේ අම්මයි තාත්තයි දෙන්නම පොත් කියවන්න පිස්සෝ කියලා තමයි තාත්තා මට කියන්නෙ.. ඒත් මට මතක ඇති කාලෙක අම්මා පොත් බදං කියෝනවා මට මතක නෑ... මං ඉපදෙන්න කලින් ගෙදර තිබ්බ චිත්‍රකතා පත්තර ටික නං ගිනිතිබ්බා කියලා තාත්ත කියනවා... මං ඇහුවම ඒ ඇයි කියලා හැමෝම කිව්වලු ඒවා ළමයින්ට හොඳ නෑ කියලා... අනිත් එක අම්මට මං ඉපදෙන්න ඉන්න කාලේ ඔය වගේ ඒවා කියවන්න දෙන්න එපා කියලා තාත්තගේ නෑයෝ කිව්වලු... මං එදත් කිව්වා ඒක මහ පිස්සු වැඩක් කියලා.. අදත් කියන්නේ ඒකමයි.. මොකද කිව්වොත් අම්මගේ පොත් පත්තර කියවීමෙ ආසාව මට එහෙම පිටින්ම ඇවිත් තියෙන නිසා.... 

සමහර විට ඒකට තාත්තගේ පොත් කියවීමේ ආසාවත් එකතු වෙලා මගේ මේ පිස්සුව හැදෙන්න ඇති.. මොනා උනත් මං මේ කියන්නේ මට හැමදේම අම්මගෙන් එන්න ඇති.. හැබැයි අම්මට වඩා තදට මට ඇවිල්ලා තියෙන්නෙ පොත් කියවිම සහ ලිවීම... ඒ කියන්නේ ඒ දෙන්නටම පොදු එකම ලක්ෂණය ඩබල් වෙලා මට ඇවිල්ල... හි හි... 

පොඩි කාලෙ නෙවෙයි දැන් උනත් මට ඕනෙ දේකට එකපාරටම හිත යන්නේ නෑ.. ඒක ඇඳුමක් උනත්, වෙන දෙයක් උනත් ( කම්පියුටර් කෑලි සම්බන්ධව ඇරුනම) ... හැබැයි තාත්ත කියන විදියට තාත්තට ගොඩක්ම සන්තෝස වෙන විදියට මං හැසිරුනේ මට පොතක් ගෙනත් දුන්නමලු... මට මතකයි අවුරුදු 8දි විතර තාත්ත ඩේවිඩ් කරුණාරත්නගේ රොබින් හුඩ් පොත මට ගෙනත් දුන්න... තාත්ත පොත අතට දුන්නම මං ඒකත් අරං ගිහින් ඉඳගත්ත පුටුවෙන් නැගිට්ටෙ පාන්දර 2 වෙනකම් කියෝලා පොතම ඉවර කරල... 

අම්මගෙන් මට ඇවිත් තියෙන තව දෙයක් තමයි කනකොට පොතක් ඕනෙ වෙන එක... ඕක ගෙදර ඉන්දැද්දි මට තදට තිබ්බා.. පොත කියෝලා ඉවර වෙලා තමයි ඇඳෙන් නැගිටින්නේ... මට විතරක් නෙවෙයි.. අපේ මල්ලිටයි නංගිටයි දෙන්නටත් ඔය පුරුද්ද තියෙනවා... හැබැයි මං කවදාවත් දැකලා නෑ අම්මා එහෙම කරනවා... ඒකයි පුදුම වැඩේ කියන්නේ... අම්මා බඳින්න කලින්ලු ඒ පුරුද්ද තිබ්බෙ.. කොහොමත් අදටත් මං රස කෑමක් හම්බුනොත් කෙලින්ම උස්සගෙන කාමරේට ගිහින් ඇඳට වෙලා පොතක් පෙරළගෙන තමයි කන්නෙ.. පුටුවක ඉඳගෙන කෑවට මට ඒක හරියට රස විඳින්න බෑ... අපේ මහත්තයා කොච්චර බැන්නත් ඒ පුරුද්ද අතෑරගන්න මට බෑ... 

පොත් කියවිල්ල ගැන කකා කියලා තිබ්බ දේ ගැන කල්පනා කරද්දි මං කල්පනා කළා මට එහෙම වෙලා නැත්තේ ඇයි කියලා... මාත් ඔය බර බර පොත් කියෙව්වා පොඩි කාලේ ඉඳලම... අපේ අම්මයි තාත්තයි දෙන්නගෙන් අමාරැ වචන ඇහුවා කියලා මට මතකක් නෑ... මං හිතන්නේ මගේ කියවිල්ල ගොඩක්ම වැඩි නිසා මට අමාරු වචන එන්න නැතුව ඇති... එහෙම නැන්තං මං එහෙම ඒවා ඇහුවම අම්මයි තාත්තයි හිනාවෙලා නිකං ඉන්න ඇති... 

කො‌ෙහාමත් මං පොඩි කාලේ කරපු ගොන් වැඩ වලට කට්ටියම එකතු වෙලා තාමත් මතක් කර කර හිනා වෙන හැටියට මට හිතෙන්නේ ඒවටත් කට්ටියම එකතු වෙලා හිනාවෙන්න ඇති කියලා.. හි හි... 

අපේ තාත්ත අම්මට ගෙනත් දුන්න පොතක් තිබ්බා “ හෙළු කඳුළු මුහුදට එක් උනාදෝ ” කියල.. ඕක හංගලා තිබ්බෙ අම්මගේ අල්මාරියෙ.. මං ඕක හොරෙන් කියෙව්වෙ අවුරුදු 13දි විතර.. මට නං ඒකෙ අර තහනම් වැඩක් හොරෙන් කරනකොට තියෙන ආතල් එක වගේ දෙයක් මිසක් වෙන අමුතු දෙයක් තිබ්බේ නෑ.. මොකද තාත්ත මට කියවන්න ගෙනත් දෙන ට්‍රාන්ස්ලේෂන් වල ඒකෙ තිබ්බට වැඩිය ලිංගික චර්යා ගැන විස්තර තිබ්බා...මං ඊට වැඩිය පොත් ඒ වෙනකොට කියෝලා තිබ්බා.. මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා, කොලරා කාලේ ආලේ, ඊවා ලූනා එහෙම මං ඒ කාලෙත් කියවලා තිබ්බෙ කතාවෙ මෙලෝ හසරක් තේරුණේ නැති උනාට... හි හි.. ඒවයේ ඇතුලේ කතාව තේරුම් ගත්තේ ඒලෙවල් පන්තිවලදි ආයිත් කියෝනකොට.. 

මම 9 වසරේ ඉන්න‌ෙකාට මගෙන් එක කෙල්ලෙක් ඇහුවා දූෂණය කරනවා කියන එකේ තේරුම.. මං ඒ වෙනකොට මට ඒක තේරිලා තිබ්බ විදියට කිව්වා මේකයි කියලා.. අවුරුදු කීපයකට පස්සෙ මම දැනගත්තෙ මම ඒක එදා හරියටම කියලා දීලා තියෙනවා කියලා.. එහෙම කියලා දෙන්න මම ඒක තේරුම් ගත්තේ පොත් කියෝල තේරුම් ගත්ත‌ දේවල් වලින්මයි... මොකද ඉස්කෝලවල ඕව කියලා දුන්නයැ...  

කකා‌ෙග කතාවත් එක්කම මට මතක් උනේ මං පොඩි කාලේ අපේ ගෙදර පරිසරය ගැන... සල්ලි තිබ්බෙ නැති මට මතකයි... අපේ ගේ ලෑලි වලින් හදලා තිබ්බා කියලා මට මතකයි... අපේ තාත්තට හරියට කේන්ති යන නිසා මං තාත්තා ගෙදර නැති වෙන දවසට හරි කැමැත්තෙන් හිටියා කියලා මට මතකයි... ඒත් ඒ ඇරුනම අපේ ගේ මට හරිම නිදහස් පරිසරයක් තිබ්බෙ... අම්මා මාත් එක්ක හරියට කතා කරනවා... ගොඩක් වෙලාවට තාත්ත ගෙදර එන්නෙ මං නිදාගත්තම.. උදේට තාත්ත වැඩට යනකොටත් මං නිදි.. ඒත් තාත්ත ගෙදර ඉන්න දවසට තාත්ත හරි ජොලි... කොස්සක් අරන් ගිටාර් ගහනවා... පොඩි රබානක් තිබ්බා, ඒක ගගහා සින්දු කියනවා... ( අපේ තාත්තට සින්දු කියන්න බෑ... හි හි) ආනමාලු ගෙඩියක් කටවල් දෙකට කාලා දානවා... පොල් ගෙඩිය එකපාරින් බිඳිනවා... මාව බයිසිකල් පද්දනවා... මට අවුරදු 7ක් වෙනකම් ඔය සිද්ධිය තමයි... මට මතක විදියට ඒ කාලේ තාත්ත එච්චරම කේන්ති ගත්තේ නෑ.. පස්සෙ තමයි කේන්ති ගැනීම වැඩි උනේ.. 

අවුරුදු 13 විතර වෙද්දි මට ගෙදර නීති තිබ්බා කියලා මතකක් නෑ... කොහොමත් ඉස්කෝලෙ යන කාලේ මගෙන් එච්චර කරදරයක් තිබ්බේ නෑ අම්මලට... ඔය ඉඳලා හිටලා කොල්ලෙක් ගැන කතාවක් ගෙදට්ට ආරංච් උනොත් ඇරෙන්න... ඒත් ඉතිං ඕවට වත් අපේ අම්මා මට බැන්‌ෙන නෑ නේ.... රණ්ඩු නං තිබ්බා.. ඒවා සාමාන්‍යයි නේ.. හැබැයි ඕනෙ එකක් අහන්න පුළුවන් කම තිබ්බ මට... අම්මයි තාත්තයි දන්න විදියට මට කියල දුන්න.. ඒක නරකයි කියලා විතරක් කියන්නේ නැතුව ඇයි ඒක නරකයි කියලා කියන්නේ කියන එකත් මට ‌තේරෙන විදියට කියලා දුන්න... අදටත් ඒ පුරද්ද මට තියෙනවා... අපෙ තාත්තත් එක්ක දේශපාලනේ කතා කරන්න පටන් ගන්නේ මම තමයි හැමදාම... ඊට පස්සේ හැමෝම සෙට් වෙනව ... මං ෂේප් වෙනව.. හි හි

මට හිතෙන්නෙම අපේ ගෙදර ඒ නිදහස මට තිබ්බේ අපේ අම්මයි තාත්තයි තරුණ අය නිසා සහ අපේ ගෙදර වයසක අය හිටියේ නැති නිසා කියලා... ඒ කිවවේ අපේ ගෙදර අපි හතර පස් දෙනා විතරයිනේ... ( පහ කිව්වේ නංගි.. ඒ හොල්මන අපේ ගෙදරට සෙට් උනේ මට 16දි විතර..) 

ආච්චිලා ආපු දවසට හයියෝ කරදරේ.. ( හැබැයි අනිත් ළමයින්ගේ ආච්චිලා එක්ක බලනකොට නං මගේ ආච්චිලා දාහෙන් සම්පනයි.. ඒකත් කියන්න එපැයි..)

“ මොකද්ද ළමයෝ ඔය ඇඳන් යන්න හදන එක...”

“ ඇයි මක් වෙලද මේකට... මං වෙනදටත් පන්ති අඳින්නෙ මේක තමයි...” ( කොට සායක් ඇදන් ක්ලාස් දුවන්න හදනකොට..)

“ කොහෙද ළමයෝ මෙච්චර වෙලා ගියේ...”  

“ ඇයි ආච්චි.. කෝච්චිය ආපු වෙලාවට තමයි ආවේ...” ( ඉස්කෝලෙ ඇරිලා එනකොට..හැබැයි මේක නං කළාතුරකින් වෙන්නෙ..)

“ මොකද්ද ළමයො ඔය ඉඳගෙන ඉන්න හැටි..” 

“ ඇයි මක් වෙලාද ඉඳගෙන ඉන්න හැටියට..” ( අපේ සාලේ තිබ්බ දිග පුටුවෙ දිගෑදිලා ටීවී බලනකොට..)

“ මොකද්ද ළමයෝ ඔය කෑම කන හැටි..”

“ අයියෝ ආව්චි.. වද නොදී යන්නකෝ කන්න දීලා...” ( පොතක් පෙරළගෙන ඇඳේ බඩ ගාගෙන, තුන් දෙනා තුන් පැත්තට වෙලා බත් කන කොට.. මේක කියන්නේ තුන් දෙනාම එකපාරට..හි හි) 

“ ළමයෝ ඔය ටීවී එකේ එල්ලිලා හිටියා ඇති.. ගිහින් පොතක් පතක් බලාගන්නෙ නැද්ද...” 

“ උදේ ඉඳන් පොත් බල බල තමයි හිටියේ ආච්චි..” ( ඉස්කෝලෙ දවස් වලට..)

“ මොකද්ද ළමයෝ මේ කාමරේ හැටි.. පොත් මේසේ වනසලනේ..” 

“ කොහොමත් මගේ කාමරේ ඔහෙම තමයි ආච්චි... ” ( පොත් ටික වනසලා තියෙනකොට විතරයි මට ලේසියෙන් හොයගන්න පුලුවන්.. පිළිවෙලට අස් කරපු දාට මොකක් හරි ඕනෙ දෙයක් හොයන්න මේසෙම පෙරළන්න ඕනෙ.. අල්මාරියටත් ඒ සෙතේමයි...) 

” ළමයෝ..  කාමරේ අස්සෙම රිංගලා ඉන්නෙ නැතුව කුස්සියට ගිහින් අම්මට උදවු වෙන්නකෝ..” 

“ මං පොල් ගාලා දීලා ආවේ ආච්චි...”  ( මං ඒ කාලේ අම්මට උදව්වකට කියලා කළේ පොල් ගාලා දීපු එක විතරයි... ) 

“ දැන් ඔ‌ෙහාම ඉඳලා කසාදයක් බැන්දම අගේට හිටී..” 

“ හයියෝ .. මං බඳින්නේ නෑ ආච්චි... මොන කරදරයක්ද මන්දා...” ( ඇත්තටම කො‌ෙහාමත් අවුරුදු 22ක් විතර වෙනකම් මං බඳින්නෙ නෑ කියලමයි හිටියේ... හි හි) 

“ මේ ළමයින්ව කොහොම හදනවද මන්දා මුන් දෙන්න..”

“ අම්මෙ ඔය ළමයට කෑ ගහන්න එපා... දැන්නෙ ගෙට ගොඩ උනේ..” ( අම්මලා මුකුත් කරන්නෙ නැති තැන අම්මත් එක්ක එල්ලෙන්න හදන හැටි තමයි..) 

වැඩේ කියන්නේ ඔය ඔක්කොම කියන්නේ මටයි නංගිටයි විතරයි... මල්ලිට මුකුත් නෑ... මට ඒ කාලේ ඉඳලා යකා නඟින එක වැඩක් ඕක තමයි... 

මං එදා ඉඳලම හිතන දෙයක් තමයි අනේ අම්මේ මගේ ළමයින්ට නං ආච්චිලගේ වදේ දෙන්නෙ නෑ කියලා... හි හි... අපේ අම්ම ගැන මට එච්චර ගානක් නෑ.. එයා තාමත් කෙල්ල වගේ... (තාත්ත තමයි ෂුවර් නැත්තෙ..) හැබැයි අපේ නැන්දම්මා නං තාම 70 දශකේ... අනිත් එක පරණ විශ්වාසයන් ගැන ගොඩක් හිතන කෙනෙක්.. අපේ අම්ම මට එදත් කිව්වෙ ඔයාලගේ ළමයි ඔයාලට ඕනෙ විදියට හදාගන්න කියලා.. නැන්දම්මත් එහෙමයි කියලා තමයි කියන්නෙ.. බලන්න වෙන්නෙ හැදුවට පස්සෙම තමා... හි හි


ප/ලි - මේක ලියලා දැන් ටිකක් දවස්... අද පැයක් විතර කකාගේ පෝස්ට් ලිස්ට් එක පෙරළුවා මේක ලියන්න හේතු භූත උන පෝස්ට් එක හොයන්න.. මොන.... ඒකෙ තියෙන පෝස්‌ට් ගොඩ අස්සෙ එක පෝස්ට් එකක් හොයනවා කියන්නෙ පිස්සු හැදෙන වැඩක්... බ්ලොගර් බාප්පත් උදේ ඉඳලා පිස්සු කෙලින හින්දා ඔන්න මෙදා පාර මං ලින්ක් දැම්මෙ නෑ... සොරි කකා.... 

Wednesday, September 4, 2013

කෝච්චි කතා.... Train memories...


අද මේක ලියන්න හිතුනෙ අපේ කකාගේ අද කතන්දරේ දැකලා... කෝච්චියේ ජෝඩු දමා ආවෙමි කියල දාලා තියෙන එක... කොහොමත් කකාගේ සමහර වෙබ් ලොග් පෝස්ට් කියෙව්වම මටත් ලියන්න දේවල් මතක් වෙනවා.. හැබැයි ගොඩක් ඒවා තාම තියෙන්නෙ ටයිප් කරපු ගමන්මයි... මොකද ලියලා ඉවරඋනාට පස්සෙ හිතෙනවා මෙළෝ රක් නෑ හලෝ කියලා.. හි හි... 

ඒත් අද එක නං ලියනවා, ලියලා බ්ලොග් එකේ දානවාමයි කියලා හිතාගත්තා... 

මේ බ්ලොග් එක බලන ගොඩක් අය දන්නවා මායි අපේ මහත්තයයි කෝච්චි ලවු කාරයෝ කියලා... ඒ ඉතිං ඉස්කෝලෙ යන කාලේ ඉදලමනෙ... මේ ඒ කාලෙ වෙච්ච සිද්ධියක්... 

පාදුක්කෙ කෝච්චි ස්ටේෂම ගැන දන්න අය නං දන්නවා ඒකෙ පිහිටීම... සුද්දන්ගේ කාලේ ස්ටේෂම එක පැත්තකත්, අලුතින් ෆවුසි ලොක්කා හදපු ස්ටේෂම අනිත් පැත්තෙත්, ඒ මැද්දෙ රේල් පාරවල් තුනක් තියෙන ස්ටේෂමක්නේ ඒක... ඕකෙ පරණ ස්ටේෂම තියෙන්නෙ බස් ස්ටෑන්ඩ් එක පැත්තෙ.. ඒ කියන්නේ ටවුම පැත්තෙ.. පාරවල් තියෙන්නෙත් ඒ පැත්තෙමයි... අනිත් ස්ටේෂම තියෙන්නෙ රේල් ක්‍රොසිං එකෙනුත් පැනලා වට රවුමක් ගැහුවම තමයි.. ඒ පැත්තෙන් කෝචිචියට එන කට්ටියත් ටිකක් අඩුයි... ( ස්ටේෂන් දෙක යා කරලා පාලමකුත් තියෙනවා.. ඒත් ඒක නං වැඩිපුර පාවිච්චි වෙන්නෙ නෑ.. ඒක තවත් රවුමක්..) කොහොම හරි ටිකට් ගන්න නං අලුත් ස්ටේෂමට යන්න ඕනෙ... ඔන්න ඕක තමයි කතාවෙ මුල... 



මේ තියෙන්නේ අලුත් ස්ටේෂම පැත්ත... ෆොටෝ එක අරන් තියෙන්නේ රේල් ක්‍රොසිං එක පැත්තෙ ඉඳලා..  පාදුක්කෙ ඉඳලා මීපෙට යන පාර තියෙන්නේ එතන.. අර පාලම දාලා තියෙන පැත්ත කොච්චර දුරද සහ අපහසුද කියලා පේනවනෙ.. ඔන්න අපේ අයගේ ප්ලෑනිං... 
ෆොටෝ එක හොයා ගත්තෙ ගූගල් බාප්පගෙන්.. මෙන්න මෙතන තිබිලා.. 


මේකෙ මේ ආච්චි කෙනෙක් හිටගෙන ඉන්න පැත්තෙ තමයි පරණ ස්ටේෂම හෙවත් පළවෙනි වේදිකාව තියෙන්නෙ.. ෆොටෝ එක ගූගල් එකෙන් තමයි... 

ස්කූල් ට්‍රේන් කියලා ජාතියක් ලංකාවෙ තියෙනවා කියල අහලා තියනවද... කැළණිවැලි එකේ නං දෙකක් තිබ්බා.. පාන්දර 5.40.. ඕක පස්සේ 6.00 වෙලා ඊටත් පස්සේ 5.30 වෙලා, දැන් 5.25 වෙලා තියෙන්නෙ.. හැබැයි දැන් අමතර කෝච්චියක් දුවනවා 6.00ටත් ... අපිට ඉස්කෝලෙ පටන් ගත්තා 7.30ට කාලයක්.. ඊට පස්සේ 7.45 උනාද මන්ද.. කොහොම හරි ඒ කාලෙ අපේ සෙට් එකම ගියෙ පහයි හතලිහේ... ඕක පටන් ගන්නෙ පාදුක්කෙන්.. ඒ කියන්නෙ රෑට නවත්තලා තියෙන්නේ පාදුක්කෙ ස්ටේෂමේ... අවිස්සාවේල්ල පැත්තෙ ඉඳලා එන කෝච්චි, පොතේ හැටියට දෙවනි වේදිකාව හෙවත් අලුත් ස්ටේෂම පැත්තෙ නැවැත්තුවට මෙයා ඉන්නෙ පරණ ස්ටේෂම පැත්තෙ... එක්කො වේදිකාවක් නැති මැද පීල්ලෙ ඉඳලා උදේ පාන්දරට මාරු වෙනවා පළවෙනි වේදිකාව හෙවත් පරණ ස්ටේෂම පැත්තට...  

ඔන්න එක දවසක් මට කෝච්චිය මිස් උනා... මේකා මාව පෙනි පෙනිත් දාලා ගියා... වෙනදට නං බයික් එකෙන් බැහැලා දූවගෙන ඇවිත් කෝචිචියෙ එල්ලුනාට එදා වැඩේ කචල්.. මොකද සීසන් එක ඉවරයි.. සීසන් එක 30 හෝ 31 ඉවර උනාම පළවෙනිදට ගිහින් එන්න පුළුවන්.. දෙවනිදට යන්න පුළුවන්.. එනකොට ටිකට් ගන්න ඕනෙ.. මේ මං කිව්ව දවස තුන්වෙනි දවස... ටිකට් ගන්න අනිත් ස්ටේෂම පැත්තට ගියාට ආයිත් එන්න පරක්කුයි... ඔය වගේ වෙලාවට අපි කරන්නෙ කෝචිචිය පස්සෙන් එළෝගෙන යන එක... හි හි... 

ඒ කිව්වෙ මාව උදේට එක්කන් එන්නෙ තාත්ත හරි අම්ම හරි ස්කූටරේනේ.. ඉතිං එහෙම්මම කෝච්චිය පස්සෙන් පන්නගෙන ගියාම ඊළඟට නවත්තන ස්ටේෂම, ඒ කියන්නේ වටරැක ස්ටේෂමේදි කෝච්චිය අල්ලගන්න පුළුවන්... ඒකත් බැරි උනොත් මීගොඩට හරි ගිහින් කෝචිචිය අල්ලගන්න තරම් උවමනාවක් අපිට තිබ්බා.. මොකද කිව්වොත් යාලුවො ටික නැතුව යන්නත් කම්මැලියි.. ඊළඟ කෝචිචියෙ යන්න හිටියොත් පරක්කු වෙනවා... බස්‌ එකේ යන එක නං මහා කරුමයක්.... ඊටත් වඩා ඉතිං මට මගේ කොල්ලව මිස් වෙනවනේ... හි හි

ඔය කාලේ ටිකට් ගැනත් එක එක වැඩ තිබ්බා... කෝච්චියට පාදුක්කෙන් නැඟලා, වටරැකින් බැහැලා ටිකට් අරන් ආයිත් කෝචිචියට නඟින වෙලාවලුත් තිබ්බා.. බැහැලා, දූවගෙන ගිහින් ටිකට් එක අරන් ළඟම තියෙන පෙට්ටියට නඟිනවා.. ඊට පස්සේ ඊළඟ ස්ටේෂමෙන් බැහැලා යාලුවො ඉන්න පෙට්ටියට දුවනවා... හි හි... ඔය කාලේ වැඩි හරියක් යන්නෙ ඉතිං ෆුට්බෝඩ් එකේ තමයි... 

ඔන්න ඉතිං එදත් ඒ විදියට පස්සෙන් එළෝගෙන ගිහින් මං කෝචිචියට වටරුකින් නැඟගත්තා... හති දාගෙන මං යාලුවො ටික ගාවට යද්දි මෙන්න මුන් ටික මහ කැත විදියට මට හිනාවෙනවා... මං හිතුවා මං දුවගෙන ඇවිත් එල්ලුන විදිය හින්දා වෙන්න ඇති කියලා... නෑ.. මුන් හිනාවෙන්නෙ ෆුට් බෝඩ් එක දිහා බලාගෙන... මාත් හැරිලා බැලුවා... 

මෙන්න අපේ මහත්තයා ඉන්නවා ෆුට්බෝඩ් එකට වෙලා හිනාවේගෙන..... 

මට නේද මාර ජොලි.. ඒ මදිවට පපුවත් නිකං කෝච්චි ඇංජිම වගේ සද්දෙන් ගැහෙනවා... අරයගෙත් කට කනේ... හි හි... 

( හැබැයි ඒ කාලෙ ඉතිං පස්සෙන් එන එක්කෙනෙක් විතරයි...) 


මේකනේ උනේ.. මං කෝචිචියට පාදුක්කෙන් නැග්ගට, මෙයා නඟින්නෙ නුගේගොඩින් හරි උඩහමුල්ලෙන් හරි... එදා මොකක්ද වැඩකට කළුඅග්ගල ගිහින් මහ පාන්දර නැගිටලා ඇවිත් මාව අල්ලගෙන පුදුම කරවන්න අපේ කෝච්චියට නැගලා.. අනේ දෙයියනේ එදා මං පරක්කු වෙලා කෝච්චිය මිස් උනා නං එහෙම මගේ කොල්ලා පවු.... 

ඔය විදියම සර්ප්‍රයිස් එකක් දුන්නා මට මෙයා ආයිත් දවසක්.. ඒක පස්සෙ දවසක වෙන කතාවක් එක්කම ලියන්නං නේද... හි හි

Monday, August 19, 2013

මට හැදිච්ච තවත් නොම්බර එකේ පිස්සුවක්...

සාමාන්‍යයෙන් පිස්සු කියන ඒවා කාලෙන් කාලෙට වෙනස් වෙනවනේ... මටත් ඔය එක එක කාලෙට, එක එක පිස්සු හැදිලා, සල්ලි නැති හින්දා නිකම්ම හොඳවෙනවා.... සමහර ඒවට නං සල්ලි ටිකක් වියදම් වෙලත් දක්ෂතාවයක් නැති හින්දා එපා වෙලා යනවා.... ඒත් ගොඩක් පිස්සු හොඳ වෙන්නෙ කම්මැලිකම ඉහට ගැහුවම තමයි.... ඒ උනත් විනෝදාංශ කියන ඒවා කොච්චර තිබ්බත් නරක නෑ කියන එකයි මගේ පිළිගත්ත අදහස.. ඒක නිසා එක පිස්සුවක්වත් උත්සාහ නොකර අතාරින්නේ නෑ... සමහර වැඩ කරන්න ගිහිල්ලා වටේම ඉන්න අයට අවුරුදු ගනං මාව අල්ලන් නෝණ්ඩි කරන්න මාතෘකා සපයලා දීලා තියනවා... මතකනේ මං අර එක දවසක් කිව්ව සම්බා කිරිබත් සීන් එක.. හි හි... 

මේ පහුගිය දවස්වල ඒ වගෙ පිස්සුවක් ඉහට ගහලා තිබ්බෙ.. කාලයක් තිස්සෙ හැදිලා තිබ්බ පිස්සුවක් උනාට එච්චර තද වෙලා තිබ්බෙ නෑ... අර පුරහඳ කිට්ටුවෙන කොට වැඩි වෙන ජාතියෙ ඒවා වගේම මේකත් වැඩි උනේ අයිලාෂ් අයියගේ පෝස්ට් ටික දැකලා... ඒ මදිවට අර සමනලියටත් මේ පිස්සුව හැදිලා තිබ්බා දැක්කා.. සමනලියගේ ෆොටෝ ටිකත් මාර ගති.. ගිහින් බලන්නකෝ ... 

ඉතිං පහුගිය ටිකේ අපේ මහත්තයා කැඩිච්ච වෑන් එකක් කෑලි කරගෙන ඉන්න අස්සේ මං වත්ත වටේ ඇවිද ඇවිද ෆොටො ටිකක් ගත්ත.. හැබැයි ඒ මගේ ෆොන් කැමරාවෙන්... ටික වෙලාවකින්ම වැඩේ එපා උනා... අතෑරලා දැම්මා.. 


මේක ගත්තෙ ෆොන් කැමරාවෙන් 




අද උදේ එළියට බහිද්දි ඇන්ටිගේ මල් පාත්තියේ මල් ටිකක් දැකලා ආයිත් පිස්සුව උත්සන්න උනා.. හෙට පෝයනේ .. ඒ හින්දා වෙන්නැති.. කොහොම හරි කැමරාවේ බැට්රියත් තිබ්බ එකේ ඔන්න පැයක් විතර දගලලා ෆොටෝ දෙකක් තුනක් ගත්තා.. 

මේ අර මැක්‍රොෆොටෝ පිස්සුව ගැන තමයි මෙච්චර වෙලා කියෙව්වෙ... මොකද කිව්වොත් අයිලාෂ් අයියගෙ පෝස්ට් ටික කියෝනකං මං දැනං හිටියෙ වත් නෑ මැක්‍රො ඔප්ෆන් එකේ තේරුම මොකද්ද කියලවත්.... හි හි..... 



කැන්ඩියන් ඩාන්සර් කියන මලේ නම හරියටම හරි කියලා හිතුනේ 
මේ ෆොටෝ එක අරන් කම්පියුටරේට දාලා බැලුවම තමයි... 



මහ කැත කඩියෙක් අප්පා... හි හි

මේ පිස්සුවෙ ආරම්භය ගැනත් ටිකක් කියන්න එපැයි... කොහොමත් මට ඉස්කෝලෙ යන කාලේ ඉඳලම ‌ෆොටෝ ගැනීමේ ආසාව තිබ්බ.. හැබැයි ඉතිං කැමරාවක් තිබ්බේ නෑ.. ගෙදර තිබ්බ කැමරාවත් අල්ලන්න හම්බුනේ ඒලෙවල් ක්ලාස් එකට ආවට පස්සෙ තමයි... ෆොටොග්‍රැෆි කරන්න ආසාවක් ඒ කාලේ ඉඳලම තිබ්බත් ඉතිං මට තිබ්බ වැඩ කන්දරාවේ හැටියටයි, අතේ මිටේ සල්ලි නැති වීමයි හින්දා ඒක නිකම්ම යට ගිය කතාවක් විතරක් උනා... 

ඒ කාලෙදිම දැනගත්තා අපේ මහත්තයටත් ( ඒ කාලේ නිකම්ම මගේ පස්සෙන් එන එක්කෙනෙක් විතරයි.. හි හි) ෆොටෝග්‍රැෆි වලට උනන්දුවක් තියෙනව කියලා... ඒත් මේ ළඟදි දවසක් මං ඔය ගැන කතා කරද්දි මෙයා කියනවා එයාට ෆොටෝග්‍රැෆි වලට ආසාවක් තිබ්බෙ නෑලු.. දැං බැලුවාම කිසිම විනෝදාංශයක් නැති කෙනෙක් ගැන උදාහරණ ඕනෙ නං අපේ මහත්තයා තමයි හොඳම කෙනා...හි හි... 

ඔන්න එයාට කැඩිච්ච බස් කට්ටක් හරි වෑන් කට්ටක් හරි හම්බුනොත් නං අල්ලගෙන දඟලයි දවසම උනත්... හැබැයි ඒකට විනෝදාංශයක් කියන්න පුළුවන්ද කියල නං මං දන්නේ නෑ... හි හි.... 

කොහොම හරි සල්ලි නැති කමට සහ කරන්න වෙන වැඩ ජාති තිබ්බ නිසා යට ගිහින් තිබ්බ මේ පිස්සුව, ආයිත් හැදෙන්න මුල් උනේ මෙන්න මේ ෆොටෝ බ්ලොග් එක තමයි... පිස්සුව වැඩි කළේ අයිලාෂ් අයියා...  

ඔන්න ඔහොමයි හොඳට හිටපු මටත් කට්ටිය එකතු වෙලා පිස්සු හැදෙව්වෙ....  හැබැයි මට ඒකටත් දක්ෂකමක් නං නෑ වගේ කියලා තමයි දැනට දැනෙන්නෙ...  තව පිස්සු හදාගන්න කැමති අය ඉන්නව නං ගිහින් බලන එකයි ඇත්තෙ... හැබැයි ඊට පස්සේ මට එහෙම බනින්න එපා... ඔන්න කලින්ම වෝනිං දුන්නා.. ගියොත් පිස්සුව හැදෙනවාමයි.... හි හි

Thursday, June 20, 2013

දැන දැන කරපු පොඩි වැරදි සහ නොදැන කරපු ලොකු වැරදි... ඉස්කෝල මතක...

සාමාන්‍යයෙන් ඉස්කෝලෙ යන කාලේ මං වැරදි කරලා දඬුවම් ලබපු ජාතියේ එකෙක් නෙවෙයි... එක්කෝ වැරදි කරන්නේ නෑ .. නැත්තම් කරන වැරදි අහුවෙන්නේ නෑ.. ඔය එක් එක ජාතියේ වැරදි තියෙනවානේ... ගෙදර වැඩ නොකරන එක.. පරක්කු වෙලා ඉස්කෝලෙ එන එක... ඉස්කෝලෙ කට් කරන එක... ගවුම කොට වෙන එක.. කොණ්ඩේ රිබන් නැතුව එන එක.. බෙල්ට් එකට කටු ගහන එක... හවුස් බැජ් එක නැතුව එන එක... පොත් ගෙදර දාලා එන එක... පීරියඩ් කට් කරන එක... හ්ම්ම්.. ඔච්චරයි වගේ මතක... තව තියෙනව මං හිතන්නේ... හි හි.. 

මං සාමාන්‍යයෙන් නොකරන වැරද්දක් කමයි ඉස්කෝලෙට පරක්කු වෙලා එන එක... කෝච්චිය පරක්කු උනාම ඒක අපේ වැරැද්දක් නෙවෙයි කියලා ටීචර්ලා අපිට කවදාවත් දඩුවම් දුන්නේ නෑ... අනිත් එක ඉතිං පරක්කු වෙනවා නං සෙට් එකක්ම පරක්කුයිනේ.. ගේට්ටුව ගාව ඔය කිව්ව වැරදි  චෙක් කරන්න ඉන්න ශිෂ්‍ය නායිකාවොත් දන්නවා අපි සෙට් එක කෝච්චියේ එන්නේ කියලා.. ඉතිං බුදුන් වැඳලා ඉවරවෙනකම් ගේට්ටුව ගාව තියාගෙන ඉඳලා දඬුවම් නැතුවම අපිව පන්තියට යනවා... 

ගේට්ටුව ගාවදි බලන්නේ ශිෂ්‍ය වාර්තා‌ පොත තියෙනවද කියලා, හවුස් බැජ් එක තියෙනවද කියලා සහ ඔය කටු ගැහිලි අරවා මේවා යන්තම් උඩින් පල්ලෙන්.. අක්කලට ඕවා ඔක්කොම බලන්න බෑනේ.. ඔන්න ශිෂ්‍ය නායක වෙච්ච අලුත නම් පොඩ්ඩක් උවමනාවෙන් බලනවා.. ශිෂ්‍ය වාර්තා පොත බැලුවේ නම් මොන මඟුලකටද කියලා මං දන්නේ නෑ... එක එක කාලෙකට ඔය ගේට්ටුව ගාවදි බලන ඒවා වෙනස් වෙනවා... කාලයක් කෑම පෙට්ටිත් බැලුවා බත් කොලවල ඔතං එනවද කියලා... අපේ බෙල්ට් බකල් එකනේ බැජ් එක... යුනිෆොම් එකේ නීතිය බෙල්ට් එක ඉණට උඩින් තියෙන්න ඕනේ කියන එක.. අපේ උන් කට්ටක් ගහගෙන ඇවිත් ඉස්කෝලෙන් එලියෙදි ඕක පල්ලෙහාට වැටෙන්න හදාගන්නවා.. ඒ කාලේ විලාසිතාව ඉණ පල්ලෙහාට දාලා අඳින එක... ඒක හින්දා නීතියක් දාලා තිබ්බා බෙල්ට් එකට‌ බොත්තමක් අල්ලන්න ඕනේ කියලා.. අපි ඊට වැඩිය කට්ටයි.. අපි කරන්නෙ බෙල්ට් එක බකල් එකේ රඳවනවා... ආයිත් ඕකට බොත්තම් ඕනැයැ.. හි හි... හවුස් බැජ් නීතිය නම් ආවේ මොන මංගල්ලෙටද කියලා මට මතක නෑ... හැබැයි ඒ නීතිය දැම්මට පස්සේ අපේ බැජ් වල ලොකුවට ගහලා තිබ්බ හවුස් වල නම් ටික නං අයින් කළා.. අහල පහල උන් ඕවට එක එක නම් දාගෙන හිටියේ... ඒක හින්දා වෙන්න ඇති... හි හි... 

හැබැයි වැලන්ටයින් කාලෙට හොඳට චෙක් කරනවා.. පන්තිවලටත් පැන පැන... අපේ උන් අක්කලට වඩා කට්ටයි... අපේ අක්කලා කරන්නේ උන්ගේ තෑගියි ලියුමුයි අරවයි මේවයි ඔක්කොම 6 - 7 උන්ගේ බෑග් වලට දානවා... උන්ගේ බෑග් බලන්නේ නෑනේ... අපේ මැඩම් කවදාවත් 12-13 අක්කලගේ බෑග් චෙක් කරවන්නේ නෑ... ලොකු උන්ට කොහොමත් කොල්ලෝ ඉන්නවා කියලා මැඩම් දන්නවා වෙන්න ඇති.. වැඩිපුර බලන්නේ 8-11 තමයි...පොඩි උන් ගැන වැඩි සැලකිල්ලක් තිබ්බා.. උන්ව පරිස්සම් කරන්න එපැයි.... 

කියන්න ගියේ වෙන එකක්... 

9 විතර ඉන්න කාලේ මං ගියේ වෑන් එකක... අපේ ඉස්කෝලෙ ළමයෙක්ගෙම තාත්ත කෙනෙක්ගේ.. ඒ පවුලෙ කට්ටියම අපි එක්ක යනවා.. රස්සාවල් වලට එහෙම.. ඉතිං හැමදාම මේ වෑන් එක පරක්කු වෙනවා... එක දවසක් ඉස්කෝලෙට යනකොට 9.30යි.. හැමදාම පරක්කු වෙලා දඬුවම් විඳලා අපි‌ට ඇති වෙලා තිබ්බේ.. කෝච්චියෙ යනවා වගේ නිදහසට කරුණක් තිබ්බේ නෑ.. ඉතිං හැමදාම රැස්වීම් වලට ඉන්නයි, අතුගාන්නයි, ඊට පස්සේ පන්තියට ගිහින් ටීචර්ලගෙන් බැනුම් අහන්නයි... ඒක නිසා අපි කීප දෙනෙක් කිව්වා අද ඉස්කෝලෙ යන්න බෑ ආපහු ගෙදර යං කියලා... ( එතන ඉස්කෝල දෙක තුනක ළමයි හිටියා..) කතන්දරේ ගොඩක් දිග උනත් කියන්න තියෙන්නේ අපි ගෙදර ගියේ වෙනදා ගෙදර යන වෙලාවටම තමයි, ඉස්කෝලෙ ගියෙත් නෑ.. වෑන් එකේම හිටියා.. ඇත්තටම එදා උනේ බය වෙච්ච එක... 7.30ට පටන් ගන්න ඉස්කෝලෙට 9.30ට යන්න බය නැති ළමයා කවුද... 

මං ඉතිං ගෙදර ගිහින් වෙනදා වගේම අම්මට හැමදේම කිව්වා.. අම්මා මට බැන්නෙ නෑ.. ඒක නිසා මං බය උනෙත් නෑ... 

ඊළඟ දවසේ ඉස්කෝලෙට ගියාම ඉන්ටවල් එකට කලින් පීරියඩ් එකේදි මට ඔෆිස් එකෙන් පණිවිඩයක් ආවා.. ජීවිතේ පළවෙනි වතාවට එහෙම එකක් උනේ.. සාමාන්‍යයෙන් ශිෂ්‍ය නායකයෙක්, පන්ති නායකයෙක් නොවිච්ච එකෙක්ට ඔෆිස් එක කියන්නෙ හෙන භයානක තැනක්... මාත් එහෙම එකෙක්.. එතනට යද්දි අපේ තුන්දෙනාම එතන... ප්‍රින්සිපල් මැඩම් ( අපි කිව්වෙ එළිසබෙත් රැජින කියලා ආදරේට..තල්දෙන මැඩම්ව දැකලා තියෙන කෙනෙක් නම් දන්නවා ඇයි ඒ කියලා... හි හි) මාව අල්ලගෙන කලින් දවසේ විස්තර ඔක්කොම ඇහුවා... මං බය වෙලා හිටියට කරපු වැරැද්දෙ බරපතලකම දැනං හිටියේ නෑ... අඩුම ගානේ කරපු වැරද්ද මොකද්ද කියලාවත් මට හරියට තේරුමක් තිබ්බේ නෑ... මං වගේම තමයි අනිත් එකත්.. ( ඒ දෙන්නගෙන් එක්කෙනෙක් අර අන්කල්ගේ දුව... ) මං ඉතිං විස්තරේ කිව්වා... ඊට පස්සේ මැඩම් අපිට කිව්වේ “ මීට පස්සේ එහෙම බය වෙන්න එපා.. කීයට ඉස්කෝලෙට ආවත් අපි බාරගන්නවා... බය නැතුව මගේ ගාවට ඇවිත් මට ‌හේතුව කියන්න... මීට පස්සේ මෙහෙම වැඩ කරන්නත් එපා... ” කියලා...  අපිත් ඉතිං ඔලුව වනලා ආපහු පන්තියට ගියා...  එතකොට තේරිච්ච හැටියට අපි කරපු වැරද්ද ඉස්කෝලෙට එන්නේ නැතුව හිටපු එක කියලා මං හිතං හිටියේ... 

ගෙදර ගියාම අම්මා තමයි මට විස්තරේ කිව්වේ.. උ‌ෙද්ම මැඩම් අපේ ගෙදරට කතා කරලා... කලින් දවසේ අපි යුනි‌ෆොම් එකෙන් ඉන්නවා දැකපු කෙනෙක් ඉස්කෝලෙට කතා කරලා කියලා... මැඩම් වෑන් එකේ නම්බර් එක අරගෙන, අපේ පන්ති හොයාගෙන, අපේ ගෙවල් වල නොම්බර් අරන් ගෙවල් වලට කතා කරලා,අම්මලට ඉස්කෝලෙට එන්න කියලා, වෑන් එකේ කට්ටියටත් එන්න කියලා ලොකු මෙහෙයුමක් ඒ වෙනකොටත් ඉස්කෝලෙන් කරලා... එදා මගේ බෙල්ල බේරුනේ මං ගෙදර ගිහින් අම්මට විස්තරේ කියලා තිබ්බ නිසා... කොහොමහරි කරපු වැරුද්දට අපිට නම් කිසිම දඬුවමක් දුන්නේ නැති උනාට ජීවිතේට ඇතිවෙන්න බය උනා එදා... 

ටික කාලෙකට පස්සෙ තමයි එදා අපි කරපු වැරැද්දේ තිබ්බ බරපතලකම හොඳටම ‌තේරුම් ගියේ... ඕක උනේ 1997 විතර.. අද මේක ලියනකොටත් මගේ ඇඟ සීතල වෙන තරම් ... 

මම කවදාවත් යුනි‌ෆොම් එකට මෝස්තර කරලා ඇඳලා නෑ...කොල්ලා වගේ දගල දඟල හිටපු එකානේ මං... ඕවයේ ගානක් තිබ්බේ නෑ.. පන්තියේ දෙවනියට විතර උසම එකා උනාට මගේ ගවුම දණිස්සෙන් පහලට අඟල් දෙකක්වත් අඩුම ගානේ තිබ්බා...ඒකට හේතුව ගවුම් මැහුවේ අපේ අම්මා හින්දා... අම්මත් එක්ක ඉඳල හිටලා වලි දාගත්තට ගවුම දිග වැඩියි කියලා මට ඕක එච්චර ගානක් තිබ්බේ නෑ.. මොන දේට හරි නීතියක් තියෙනවානං ඒ නීතිය අනුව වැඩ කරන එක මගේ පුරුද්ද.. වැඩකට නැති නීති, නීති වාත වෙච්ච වෙලාවට නං අල්ලලා දානවා ඉතිං... හි හි.. 

ඒත් එකපාරක් වැස්ස කාලෙක,සිකුරාදා දවසක අනිත් ගවුම් වේලිලා නැතුව පරණ ගවුමක් ඇඳන් යන්න උනා... එදා රැස්වීමෙදි අක්කලට අහු උනා මගේ ගවුම කොටයි කියලා... ඒ කාලේ ගවුම කොටද කියලා බැලුවේ දණ ගස්සලා කෙලින් උනාම, ගවුම බිම ගෑවෙන්න තියෙන්න ඕනේ කියලා... එදා මගේ ගවුම යන්තම් අඟල් කාලක් විතර කොටයි... අක්කලා ඉතිං මාව අල්ලලා වාටියෙන් බාගයක් ලෙහලා යන්න ඇරියා.. මට ඕක එච්චර ගාණක් උනේ නෑ තව ඇතුලටත් වාටියක් නවලා මැදලා තිබ්බ නිසා... නූල් එල්ලෙන්නේ නෑ නේ.. වාටිය ලෙහලා කියලා පේන්නෙත් නෑ... ඒත් හෝම් සයන්ස් වලට ගිය වෙලාවේ අපේ ටීචර් නූල් පාරවල් දෙක තුනකින් වාටිය ෂේප් කරලා දුන්නේ එදා වාටි ගැලෙව්ව අපේ කීප දෙනෙක්ම හිටිය නිසා වෙන්න ඇති.. ඒ ටීචර්ගේ හැටි ඉතිං.. ළමයින්ට හරි ආදරෙයි...  අනිත් එක හැමෝම එදා පරණ ගවුම් ඇඳන් ඇවිත් තිබ්බේ.. අක්කලා නීතියට අනුව වැඩ කළාට ටීචර්ට තේරෙන්නේ ඇති මේ අහුවෙලා ඉන්නේ විච්චූර්ණකාරියෝ නෙවෙයි කියලා... හි හි... 

මායි මගේ යාලු තවත් පිස්සියෝ තුන්දෙනෙකුයි... හි හි.. 
මුන් තුන්දෙනා දැන් කොහෙ කොහෙ ඉන්නවද කියල මං දන් නෑ... 


ප/ ලි : මට මේ කතාව කියන්න හිතුනේ ගවුම් වාටි කතන්දර කියවෙන නිසා... 

අපි ඉස්සර දැන දැන වැරදි කළා.... මං කවදාවත් ගෙදර වැඩ ගෙදරදි කරපු එකෙක් නෙවෙයි... හැබැයි අහුවෙලා දඬුවම් විඳලත් නෑ...ස්පෝර්ට් මීට් කාලේ අව්වේ කරවෙන්න කම්මැලිකමට පන්තියෙන් කට්ටි පැන්නා.. ඒ ජොලියට... සිල් ගන්න අස්සේ නවල් කියෙව්වා... කම්මැලි හින්දා... 

‌ජොලියට කරපු වැරදි සහ නොදැනුවත්කමින් කරපු වැරදි අඳුනගෙන ඒ අනුව වැඩ කරන්න පුළුවන් ගුරුවරු අපිට හිටියා... ඒක නිසා අපි ඉගෙන ගත්තා බරපතල වැරදි කියලා ජාති තියෙනවා කියලා... ඒ වගේම නීතියක් තියෙන්නේ හේතුවක් ඇතුව කියන එකත් අපි ඉගෙන ගත්තා.. අපිත් ටීචර්ලා එක්ක එක එක දේවලට වලි දාගත්තා... කේන්ති ගත්තා.. රණ්ඩු උනා.. නියෝගවලට අකීකරු උනා...ඒවා අස්සෙම විහිළුත් කළා.. හිනා උනා.. පිස්සු නැටුවා... එක එක ප්‍රොජෙක්ට්ස් වලට සම්බන්ධ උනා...  ඒත් ඒ ඔක්කොමත් එක්ක ගෞරව සම්ප්‍රයුක්ත බයක් ගුරුවරු ගැන තිබ්බා... ගුරුවරුයෙක් එක්ක යකා වැහුනත්, ඒ වෙලාවේ කට වහගෙන ඉන්න, ගෙදර ගිහින් අම්මලට කියන්න අපිට සංයමයක් තිබ්බා... 

මටත් වැරදි කරපු ගුරුවරු හිටියා... හැබැයි ඒ අයගෙන් පලිගන්න අදහසක් මට නම් ආවේ නෑ... සමහර විට ඒ අය වැරදියි කියලා ඔප්පු කරපු එක මගේ පලිගැනීම වෙන්න ඇති... ඒකෙන් මට නරකක් උනේ නෑ... ඒ ටීචර්ල‌ට නරකක් උනා කියලා මං හිතන්නෙත් නෑ... මොකද එයාලා හැමෝම මං ඉස්කෝලෙන් අවුට් වෙනකෙට ගිහින් යනවා කියලා වැන්දම, ඔලුව අතගාලා තව හොඳින් ඉගෙන ගන්න කියලා කිව්ව නිසා... 

අද ඇහෙන දේවල් එක්ක මට තේරෙන්නේ එක්කෝ අපිට හිටපු ජාතියේ ටීචර්ලා දැන් නැතුව ඇති.. නැත්තම් අපිට හම්බුවෙලා තියෙන්නේ හිටපු හොදම ගුරුවරු ටික වෙන්නැති කියලා... අපි ඉගෙන ගත්ත කාලේ හිටපු ළමයෙක්ට ගෙදර ගිහින් තාත්තට කියලා ගුරුවරුයගෙන් පළිගන්න අදහසක් එන්නෙත් නෑ... අපි එක්ක ඉගෙන ගත්ත කිසිම කෙනෙක්ට තමන්ගේ ළමයට දඬුවම් කළා කියලා ගුරුවරුයව දණගස්සන්න අදහසක්‌ එන්නෙත් නැ..

ඊයේ ඇහුනා ප්‍රොජෙක්ට් එකක් බාරගත්තේ නෑ කියලා දොස්තර කෙනෙක් වෙලා හිටපු කෙනෙක් තමන්ගේ දැන් ගුරුවරියව මන්නෙන් කපලා කියලා.. තමන්ගේ ව්‍යාපෘති වාර්තාව දෙපාරක්ම අසාධාරණ විදියට පෞද්ගලික ප්‍රශ්නයක් නිසා ප්‍රතික්ෂේප කරපු කෙනෙක්ගෙන් පලිගන්න හිතන්නේ නැතුව තව පාරක් ඒ ව්‍යාපෘතිය හදලා දුන්න වෛද්‍යවරයෙක්ව මට මතක් වෙන්නෙ මේ වෙලාවේ... 

වැරද්ද තියෙන්නේ අධ්‍යාපනයෙද... අධ්‍යාපනයෙන් හදන මිනිස්සු සමාජයට ගියාමද... කියලා මං තාමත් කල්පනා කරනවා... 

Wednesday, March 27, 2013

සෙල්ලම් බඩුයි, මායි.....


කාලෙකින් මුකුත්ම ලියන්නේ නැතුව බ්ලොග් කියවන්නෙත් නැතුව හිටියා කම්මැලිකමට... ඒ මදිවට අපි දෙන්නම හෙම්බිරිස්සා උණ හැදිලා හිටියා නේ... ලෙඩේ ගෙනාවේ අපේ මහත්තයා.. දැන් මට තෑගි දීලා... මං දැන් දුකසේ ඉන්නවා කැහැ කැහැ, වැල්මිලික්ස් බිබී..... හි හි.... 

ඊයේ පෙරේදා යන්තම් උඩින් පල්ලෙන් බ්ලොග් දිහා බලාගෙන යද්දී අහුවෙච්ච දෙයක් හින්දා ඔන්නොහෙ අමාරුවෙන් හරි මේක ලියලා දානව කියලා හිතා ගත්තා... මොකද නැත්තම් මට මේක අමතක වෙනවා.... ( අද උදේ මතක තියාගෙන හිටියා තව දෙයක් ලියනවා කියලා.. දැන් මට ඒ මොකද්ද මතක නෑ... හි හි) 

ඒ තමයි සෙල්ලම් බඩු පොළොවේ ගහන පොඩි එකා ඇත්තටම මොන වගේ වෙයිද...? කියලා සංවේදී බ්ලොග් එකේ ලියවුන සටහන... ඒ සටහනේදි මට යම් දෙයක් මතක් උන නිසා මේ ලියන්න හදන්නේ ඒ ගැන.... මේක ටිකක් නයි ඇරීමක් වගේත් කියලා හිතුනොත් ඔන්නොහෙ ගනං ගන්න එපා... හි හි... 

අපි දෙන්නා බැන්ඳ අලුත අපේ මාමලගේ ගෙදර බර්ත්ඩේ පාටියක් තිබ්බා... තාත්තගෙයි, පුතාගෙයි, ආච්චිගෙයි තුන් දෙනාගෙම උපන් දින එකට... කොහොමත් අපේ අම්මලගේ නෑයන්ගේ ගෙවල් වල පාටි කියන්නේ අපි කන්න හදාගෙන යන්න ඕනේ පාටි තමයි...හි හි...  ඔය පාටි වලට මූලික හේතුව තමයි කට්ටිය එක තැනකට එකතු වෙලා පොඩ්ඩක් පිස්සු නටන එක... තාත්තලා කවුරුවත් බොන අය නැති නිසා, ඒ කිව්වේ අපේ තාත්තා ඇර... එයත් එහෙම තැනකදි නම් බොන්නේ නෑ..., ඒ වගේ පාටි හරි ජොලි.... අමතක උනා නේ.. අපේ අම්මගේ පැත්තෙන් දැනට ඉන්න තුන්වෙනි වැඩිමල් එකා මං... අනිත් අක්කයි අයියයි දෙන්නා ඉන්නේ අනුරාධපුරේ නිසා එයාලා මේ වගේ ඒවට සෙට් වෙනවා අඩුයි... ( එයාලා ගැන මං කලින් දවසක පෝස්ට් එකක් ලිව්වා...) ඉතිං දැනට ඉන්න වැඩිමල්ම එකා, සමාවෙන්න දෙන්නා... ( ඇයි අපේ මහත්තයා.. හි හි) මම තමයි...  

ඔන්න ඉතිං එදා පාටිය ගැන කිව්වම මං දැනගත්තා නඩේ ඔක්කොම සෙට් වෙනවා කියලා... මගේ මාමලා නැන්දලා ඔක්කොගෙම ළමයි තාම පොඩියි... සමහරු මොන්ටිසෝරි වයසේ.. සමහරැ පහේ හයේ... කට්ටියක් ඕලෙවල්... ඔහොම බැලුවාම ඉන්නවා 14ක විතර පොඩි උන් නඩයක්.... ( අපි දෙන්නත් එක්ක... හා ඇයි...අපිත් පොඩි උන් තමයි... හරිද.. හි හි)

ඉතිං දැන් තෑගි ගනිල්ලකෝ... සාමාන්‍යයෙන් මම තෑගි තෝරන්නේ දෙන එකාගේ වයස අනුව.... දැන් මෙතන තුන් දෙනෙක් ඉන්නවා.. පොඩ්ඩට අවුරුදු 1යි... මාමට... ම්ම්ම්.. මතක නෑ... 40- 45ක් විතර ඇති.. ආච්චිට...ම්ම්ම්.. කොහෙත්ම මතක නෑ.. ඒත් ඉතිං ආච්චිනේ... හි හි... 

ඇත්තටම පොඩිම එකාට ගන්න තෑග්ගක් මට හිතාගන්න බැරි උනා.. අනිත් එක ඒ වයසේ ළමයින්ට කියලා දාලා තියෙන සෙල්ලම් බඩු පුදුම ගනං... එච්චර සල්ලියක් මගේ අතේ තිබ්බෙත් නෑ... කොහොමත් අනිත් අය එයාට තෑගි ගේන නිසා මම ගත්තා ලොකු ටෙඩියෙකුයි සූප්පු දෙකකුයි... තාත්තටයි ආච්චිටයි... හි හි.. 

එතකොට ඕලෙවල්, 8-9 හිටපු කට්ටියට ගත්තා පොඩි සොෆ්ට් ටෝයිස් ටිකක්... පොඩි සත්තු... 6-7 වසරේ කොල්ලෝ තුන් දෙනාට ගත්තා අර පොඩි මොඩ්ල් කාර් ජාතියක්... බෙන්ස්ද මොනාද මන්දා...තුන් දෙනාට ජාති තුනකින්... දොරවල් අරින්න එහෙම පුළුවන් ජාතියක්... මොකද උන් තුන් දෙනාම කාර් පිස්සෝ... 


 I copied this photo from Keen 4 Green community bloggers. There are some instructions about a really nice way to do something fun and useful with your kids destroyed and left over old toys, games and small things that you've been collecting over the years coz' u don't want to throw those away ... and a way to give your kids a really nice time.... and also a way to spend a quality time with them.. 

අනිත් පොඩිම අයට ගන්න දෙයක් හොය හොය යනකොට මට අමුතු සෙල්ලම් බඩුවක් හම්බුනා... ඒක ඇවිල්ලා පොඩි puzzle එකක්.. ( දන්නැති අයට... ප්‍රෙහේලිකාවක් ඈ....හි හි..)හයිය කාඩ්බෝඩ් වලින් හදලා තිබ්බේ... අර කෑලි සෙට් කරන ජාති දන්නවානේ... අන්න ඒකක්... මේක ලංකාවෙම හදපු එකක්... එකක් රැපියල් 30.00යි.. එක එක විදියේ රෑප, ගනං හදන්න, විද්‍යාත්මක දේවල් අරවා මේවා තමා තිබ්බේ... අපි දෙන්නා ජොලියට වගේ මේකෙන් එක එක ජාති වලින් 10ක් ගත්තා... තව ඉතිං උන් ටිකට චොක්ලට් ටිකකුත් ගත්තා.. පවුනේ.. හි හි... 

ඔය ටික ඔක්කොම අරගෙන අපි දෙන්නා එහෙ යනකොට කටිටිය පාටිය පටන් අරන්... කේක් හැමදාම වගේ අපේ අම්මගෙන්... එතකොට ඩෙසර්ට් වටලප්පමත් අම්මගෙන්.. පුංචි හදං ඇවිත් තිබ්බා කජු එකක් මාර රහයි... ( අපේ පුංචිට ඉස්සර උයන්න බෑලු... අනේ මන්දා.. මට නම් එයාගේ කෑම රහයි.. හි හි) 

මං තෑගි අරං ගිය හැටි දැකලා කට්ටියට පණ යනකම් හිනා.. කොහොමත් මම ඉස්සරත් ඔය වගේ වැඩ කරනවා... තෑගි දෙන්නේ මොනා හරි විකාරයක් කරලා... අර ලොකු වේවැල් බාස්කට් තියෙනවානේ.. මං තෑගි ටික ඔක්කොම ඕකකට දාලා, ඒක ලොකු රැපින් පේපර් දෙකකින්ම ඔතලා උස්සගෙන ගියේ.. ( හොඳ වෙලාවලට ඒ දවස්වල මාමණ්ඩිගේ කාරෙක තිබ්බා... හි හි) 

ඉතිං පොඩි උන් ටිකට මාර ‌ජොලි.. හැමෝටම තෑගි තියෙනවානේ.. මේක මං වෙච්ච පොරොන්දුවක් ඉෂ්ඨ කරන්නත් එක්ක තමයි මම කළේ... මං උන් ටිකට කිව්වා මගේ වෙඩින් එක දවසේ වීඩියෝ කරන්නේ නෑ.. ඔයාලා තමයි ඔක්කොම විඩියෝ කරන්න ඕනේ කියලා... හොඳට කරලා තිබ්බොත් තෑග්ගක් දෙනවා කියලා... අනේ මුන් ටික කරපු වීඩියෝවක් නෑ.... ඔක්කොටම එදා නැටිල්ල විතරයි සිහියේ තිබ්බේ.... ෆොටෝ එකට ඉන්නත් හොයන්න යන්න උනා...හි හි...  ( ඕවට කියන්නේ මානසික අල්ලස් කියලා... පොඩි උන්ට ලොකු වැඩක් බාර දුන්නම හරි වැදගත් ගතියක් දැනිලා දැගලිල්ල ටිකක් අඩු වෙනවා... ඕක දන්න නිසා තමයි මම එහෙම කළේ... හි හි)  

එදා ඒ පොඩි ගානක් වියදම් කරලා කරපු වැඩේ නිසා කට්ටිය පුදුම සතුටක් ලැබුවා... මට සෙල්ලම් බඩු ඔක්කොටම ගියේ 3500ක් විතර...බාස්කට් එක විතරක් ටිකක් ගනං.. ඒක ගත්තේ නැන්දට... 

ඒත් එදා වෙච්ච වටිනාම දේ සිද්ධ උනේ අර රැ. 30.00 ප්‍රෙහේලිකා ටික නිසයි... කෑම කාලා ඉවර වෙලා ඩෙසර්ට් අරන් අපි කට්ටියම එක තැනක වාඩි උනාම පොඩි උන් කට්ටියම බිම වාඩි වෙලා ඔය ටික ඔක්කොම කලවම් කරගත්තා.. ඊට පස්සේ හදන්න පටන් ගත්තා.. ඕකට අම්මලා තාත්තලත් සෙට් උනා... අන්තිමට පාන්දර 1 වෙනකම්ම කට්ටියම ළමයි එක්ක සෙල්ලම් කළා මිසක් වෙනදා වගේ තාත්තලා කට්ටිය පැත්තකට වෙලා ලොකු කතා කරන්නයි, අම්මලා කුස්සියට සෙට් වෙන්නයි, ළමයි ටික ටීවි එකේ ෆිල්ම් එකක් දාගන්නයි යන්නේ නැතුව, කට්ටියම පොඩි කාලේ කතා කිය කිය, ( වැඩිපුරම ඒවා කිව්වේ අපේ මහත්තයට.. එයානේ පවුලේ අලුත් සාමාජිකයා....), මාව වර්ණනා කර කර (ඒ කිව්වේ මං පොඩි කා‌ෙල් ඉඳලා කරපු ඔක්කොම මෝඩ වැඩ, බූරැ වැඩ, හොර වැඩ, මී හරක් වැඩ ටික එහෙම) ළමයි එක්කම හිටියා... 

එදයින් පස්සේ අද වෙනකොටත් අපේ කට්ටියගේ මේ සෙල්ලම් බඩු සම්ප්‍රදාය තියෙනවා... මාමලයි, නැන්දලයි කියන්නේ එදා තමයිලු හරියටම තේරුම් ගත්තේ සෙල්ලම් බඩුවක් තෑගි දෙන්න ලොකු පොඩි බේදයක් නෑ කියලා... කොච්චර ‌ලොකු කෙනෙක්ට උනත් හොඳ තෑග්ගක් එක්ක, පොඩි ගානක සෙල්ලම් බඩුවක් දෙන එක අපේ මාමලා කීපදෙනෙක්ම තාමත් කරනවා.. ඒ හැම වෙලාවකම කියනවා මේක පටන් ගත්තේ මෙන්න මේකි තමයි කියලා... හි හි.... 

ඇත්තටම සෙල්ලම් බඩු කියන්නෙ කවදාවත්, කාටවත් එපා වෙන දේවල් නෙවෙයි.. ඒත් වයසින් ලොකු වෙනකොට අපි සෙල්ලම් බඩු වලින් ඈත් වෙනවා... ඒ හිතින් අපි දැන් ලොකුයි කියලා හිතාගන්න නිසා... එදා මගේ නංගිලා මල්ලිලා ටික ඒ පොඩි සෙල්ලම් බඩු වලින් එච්චර සතුටු උනේ ඒ වෙනකොට එයාලට උපන් දිනවලට එහෙම වැඩි පුර තෑගි ලැබුනේ පොත් පත්, අධ්‍යාපනයට ඕනේ කරන දේවල් නිසා... සෙල්ලම් බඩු තිබුනත් ගොඩක් ඒවා ටිකක් මිල වැඩි ඒවා නිසත්, ඉස්කෝලේ යන අස්සේ සෙල්ලමට වෙලාවක් නැති තරම් නිසත්, එයාලා සෙල්ලමින් ඈත් වෙලා හිටියේ... නමුත් මේ වගේ සිම්පල් සෙල්ලම් හිතට හරි නිදහසක් ගේනවා.. අම්මලා තාත්තලා එක්ක ළමයි ගොඩක් ළං වෙනවා.. සහෝදර සහෝදරියෝ එකිනෙකා එක්ක ළං වෙනවා... 

මං පොඩි කාලේ ගොඩක් සෙල්ලම් බඩු තිබ්බේ නෑ.. අම්මලට සල්ලි තිබ්බෙත් නෑ මට සෙල්ලම් බඩු අරන් දෙන්න.. හැබැයි අපේ ආච්චි රට ඉඳලා එන‌ෙකාට ගේනවා මට අවුරුද්දටම ඇති වෙන්න වටිනා කියන සෙල්ලම් බඩුවක්.... ඒ තමයි සුදු පාට, පාට පාට රට හුණු පෙට්ටි කීපයක්.... අම්මයි මායි හැමදාම දවල්ට ගෙයි බිම දිගේම චිත්‍ර අඳිනවා... ඊට පස්සේ ගේ රෙදි කෑල්ලක් තෙමලා පිහ දානවා... ඒක මම 5 වසරට යනකම්ම කරපු දෙයක්... සෙල්ලම් බඩු වලට වඩා මට ඒ රට හුණු කූර ලොකු වටිනාකමක් තිබ්බා...  මොකද අම්මයි මායි දෙන්නම ඒ වෙලාවට එකම වයසේ මිතුරියෝ දෙන්නෙක් වගේ පිස්සු නැටුවේ, ඒ රට හුණු කූර හින්දා නිසා... ඒ කාලයේ මතක මට ගොඩක් වටින නිසා...

ප / ලි :

සෙල්ලම් බඩු වල වටිනාකම දරුවන්ට තියෙන්නේ අම්මයි තාත්තයි ඒකට කොච්චර වියදම් කළාද කියන එකේ නෙවෙයි.... ඒ සෙල්ලම් බඩුවෙ මිල ගැන එයාට හැඟීමක් නෑ.... එයාට ඒක වැදගත් වෙන්නේ ඒ සෙල්ලම් බඩුවේ එයාට තේරුම් ගන්න පුළුවන් දේවල් කොච්චර තියෙනවද කියන එකයි... වැඩිහිටියෝ ලස්සන දකින විදියට නෙවෙයි දරුවො ලස්සන දකින්නේ.... ඒකයි සෙල්ලම් බඩුවක් අරන් දෙනකොට මිලෙන් වටිනාකම ඉහළම එකක් තෝරනවා වෙනුවට, ළමයාගේ වයසට ගැලපෙන සෙල්ලම් බඩුවක් තේරීම ගොඩක් සුදුසුයි කියලා මම හිතන්නේ...


අපේ අම්මා කියනවා මේ වගේ ප්‍රෙහේලිකා, චෙස්, දාම්, කැරම්, ස්ක්‍රැබල් විතරක් නෙවෙයි ඉස්සර ගෙවල් වල සහෝදර සහෝදරියෝ ගොඩක් හිටිය නිසා කට්ටිය ඕමිත් ගැහුවලු.. ඒ කිව්වේ කාඩ් සෙල්ලම් කළාලු... ඒත් දැන් හැම පවුලකම වැඩිම උනොත් ඉන්නේ ළමයි දෙන්නයි, තුන් දෙනයි... ඒක නිසා අම්මලා තත්තලත් ළමයි එක්ක එකතු වෙලා කරන මේ වගේ සෙල්ලම් වලින් පවුල එක තැනකට එකතු වෙනවා වගේම, අම්මලා තාත්තලට ළමයි ගැන දැනගන්න වෙලාවකුත් ලාබෙනවා... එහෙම පවුලක අම්මලා තාත්තලට දරුවෙක්ගේ පුංචි වෙනසක් උනත් ඉක්මණට තේරුම් ගන්න පුළුවන්.... 

මේ වගේ කාලෙක ළමයි ගැන අවධානයෙන් ඉන්න එක වැඩියෙන්ම අවශ්‍ය නිසා, සමහර විට මම මේ අද ලියපු දේ කෙනෙක්ගේ ඉරණම වෙනස් කරන්න පුලූවන් කියලා මං හිතෙනවා... දිග හෑල්ලක් නිසා ගොඩක් අය කියවන එකක් නෑ කියලා හිතුනත්, මං මේක මේ විදියටම පෝස්ට් කරනවා...

Tuesday, March 5, 2013

අධ්‍යාපනයයි, අපේ සුවච කීකරු දරුවයි ගැන මට හිතෙන හැටි...


ඒ ලෙවල් වලට මම තෝර ගත්ත චිත්‍ර විශය, මං හිටපු ගෝතමියේ නැති උන නිසා අනුලාවට යන්න සිද්ධ උන කතාව මං කලින් කියලා තියෙනවා මං හිතන්නේ.. 

මං පළවෙනියෙන් ඉස්කෝලෙට ගියේ සිකුරාදා දවසක අන්තිම පීරියඩ් එකේ දි... උදේ ඉඳන් ලියලියවිලි වැඩ වගයක් තිබ්බ නිසා.. ඒක නිසා මම මුලින්ම ඉස්‌කෝලෙට යනවා කියලා ගියේ සඳුදා දවසක... එදා මුලින්ම තිබ්බේ ඉකෝන්... ආට් ක්ලාසස් වලදි හැමතිස්සෙම වගේ සිද්ධ වෙන දෙයක් තමයි ක්ලාසස් දෙකක් එකට දාලා උගන්නන එක.. ඒ තරම් විශය ප්‍රමාණයකට ළමයි බෙදිලා හිටියේ... ඉතිං ඔන්න එදත් පන්තියේ පරණ ළමයි ටික අලුත් ළමයි ටිකට පොඩි රැග් එකක් දෙන්න කියලා හිනා වෙලා අලුතින් ආපු අපි පස්‌දෙනාව පන්තියේ මුල්ම පේලියේ වාඩි කෙරෙව්වා.. අපිත් හිනා වෙවීම ඒ රැග් එක බාර ගත්තේ කට්ටිය ඒක ටික කියන්න දඟලපු දැඟලිල්ල නිසා.. ඕක ලොකු දෙයක් නෙවෙයි නේ.. 

ඉතිං ඔන්න පන්තියට ටීචර් කෙනෙක් ආවා.. තරැණ ගුරුතුමියක්... ඇවිත් බොහොම කාරුණිකව අපිවත් පිළි අරගෙන, පොත පෙරලන්න කියලා මුලින්ම ලියා ගන්න කිව්වා සිඟාලෝවාද සූත්‍රයේ ළමයින්ගෙන් ගුරුවරුන්ට විය යුතු යුතුකම් සහ ගුරුවරුන්ගෙන් ළමයින්ට විය යුතු යුකුතම් කියලා තියෙන කොටස... 

මං ටිකක් හොල්මන් උනා.. මේ ඉකෝන් යැ... කො‌ෙහාමත් මට පෙන්නන්නම බැරි පිරීයඩ් එකක් තමයි බුද්ධාගම පීරීයඩ් එක... ඒකට කළේම නිදා ගත්ත එක තමයි... ඕලෙවල් වලින් බුද්ධාගම ඉගෙනගැනිල්ල ඉවර වෙච්ච එක ගැන මං හරිම සන්තෝසෙන් හිටියේ.. සතියට සැරයක් ළමා සාරිය ඇඳලා, දහම් පාසල් ගිහින්, පන්සල අතුගාලා, බෝ මළුව පිරිසිදු කරලා, මල් පෙරහරේ ගිහින් මල් පූජ කරලා, පන්තිවලට වෙලා මෙනා හරි ගාධාවක් දෙක්ක පාඩම් කරගන්න එක වගේ දෙයක් ඉගෙනගැනීමෙයි, ඉස්කෝලේ බුද්ධාගම ඉගෙනගැනීමෙයි මට නම් මහා වෙනසක් තිබ්බා..

කොහොම හරි ඔය කිව්ව වැඩේ ඉවර කළාට පස්සේ මේ ගුරුතුමිය දිග දේශනාවක් දුන්නා... ( ඒ වෙනකොටත් මට ඒ ටීචර්ට බාගෙට එපා වෙලා තිබ්බේ) පාසල ගැනත්, පාසලේ ළමයි ගැනත්, පාසලේ හොඳ දේවල් ගැනත් වගේ දේවල්... කො‌ෙහාම හරි මට ඒ වෙලාවේ තේරුනේ මේ ගුරුතුමිය මේ පාසලේම පෙර පාසලේ ඉඳන්ම ඉගෙන ගෙන, දැන් ගුරුපත්වීමත් මෙහෙටම ලැබුණ කෙනෙක් බවත්, ඒ ගැන ලොකු ආඩම්බරයකින් ඉන්න කෙනෙක් බවත්... 

කතාව ඉවර වෙලා එතුමිය කිව්වා මේ කතාව කිව්වේ අලුතින් ආපු ළමයින්ට තේරුම් ගන්න මේ ඉස්කෝලේ ඔයාලා කලින් හිටපු ඉස්කෝල වලට වඩා ගොඩක් වැදගත් බව... කියලා..... 

අන්න එතකොට මගේ රතුකට්ට පැන්නා... මම කලින් හිටපු ඉස්කෝලෙන් අයින් උනේ ඒකේ ඉගැන්වීම් අඩුපාඩුවක් නිසාවත්, වෙන මොකක් හරි අවුලක් නිසාවත් නෙවෙයි.. විශයයක් නොතිබුණු නිසා.. ඒ ඉස්කෝලේ මගේ චිත්‍ර ටීචර් කිව්වා මායි මගේ යාලුවයි වෙනුවෙන්ම එයා තවත් පන්තියක් කරන්නම්... කියලා..ප්‍රින්සිපල් මැඩම් උනත් ගොඩක් අකමැත්තෙන් තමයි අස්වීමේ සහතිකය ලියලා දුන්නේ.. ඒත් ළමයි දෙන්නෙක් විතරක් ඉඳලා විභාගයට සූදානම් වෙන එකට අභියෝගයක් නැතුව පාස් වෙන්න බැරි බව දන්න නිසයි අපි දෙන්නම අස් උනේ... ඒ දුකෙන් හිටපු මට, අර වගේ මගේ ඉස්කෝලේ පහතට දාලා කතා කරනවා දරා ගන්න ටිකක් ආමාරයි .. ඒ කාලේ ඉතිං ඉස්කෝලෙට ලොකු ආදරයක් තිබ්බානේ.... 

කො‌ෙහාම හරි ඔය අතරේ තමයි අර ගුරුතුමිය අපේ දැනුම පරික්ෂා කරන්න පටන් ගත්තේ.. පටන් ගත්තේ සිංහල භාෂාවෙන්... වෙන ඉස්කෝලවල සිංහල වත් හරියට උගන්නනේ නෑ කියලා වාක්‍යයක් දාලා තමයි ඔය වැඩෙත් පටන් ගත්තේ... ( ඒ කියන්නේ එයා කියන විදියට සිංහලයි, බුද්ධාගමයි හරියට උගන්නන්නේ අනුලා එකේ විතරයි..) මට සිංහල ගැන කිසිම ප්‍රශ්නයක් නෑ... මම ඒලෙවල් වලට තෝරගෙන හිටියෙත් සිංහල... 

ඉතිං කාට හරි ඇවිත් "ක්ෂිතිජය" කියන වචනේ හරියට බෝඩ් එකේ ලියන්න කිව්වම මං නැගිට්ටා.. ගිහින් ලිව්වා වචනේ... ලියලා පන්තිය පැත්තට හැරිලා කිව්වා.. 

“ මම කලින් හිටපු ගෝතමී එකේ මේ හැමදෙයක්ම හොඳට ඉගැන්නුවා... ඒක ගොඩක් හොද ඉස්කෝලයක්...  මම ඒකෙන් අස් උනේ මම තෝරගත්ත එක විශයයක් කරන්න පහසුකම් නැති උන නිසා විතරයි... " කියලා ... ඊට පස්සේ මම ඉඳගත්තා.. 

ඒ ටීචර් මම ගැන මොනවා හිතුවද කියලා මම දන්නේ නෑ... ඒත් මට නම් ටීචර්ව විතරක් නෙවෙයි ඉස්කෝලෙත් එතනින්ම එපා උනා.. ඇත්තම කිව්වොත් ඒ විශයත් එපා උනා...අදටත් කවුරුහරි ඉකෝන් ගැන ඇහුවොත් මම කෙලින්ම කියනවා මට ඉකෝන් පෙන්නන්න බෑ කියලා... ඒ ව‌ෙග්ම අදටත්ම මම අනුලා එකට වඩා ගෝතමියට ගොඩක් ආසයි... ඒත් මාත් එක්ක හිටපු ළමයි අර ටීචර්ගේ තත්වෙට වඩා උසස් තත්වෙක හිටියා කියලා මම දැනගත්තේ ඒ පීරියඩ් එකෙන් පස්සේ අපිත් එක්ක කතා කරද්දි, වෙච්ච දේ ගැන ... ඕවා ගනං ගන්න එපා.. එයා කො‌ෙහාමත් පොඩ්ඩක් උඩින් තමයි යන්නේ .. කියලා අපේ රිදුනු හිත් හදන්න උත්සාහ කරපු නිසා.... ( අපේ මහත්තයගේ පවුලේ ඔක්‌ෙකාම ගෑණු අය අනුලියන්ස්ලා නිසා ඕක කිව්වම මාව මරන්න වගේ බැලුවත් මං ඇත්ත කියන්න බය වෙන්නේ මොකටද...හි හි)  

( ඉස්කෝලවල නම් ගම් දාලාම ලිව්ව එකට කිසි කෙනෙක් තරහා වෙන්න ඕනේ නෑ... හි හි ) 

මේ කතාව මට ලියන්න හිතුනේ පහුගිය ටිකේ රයිගමයි, ඩූඩ් අයියයි දෙන්නම ලියලා තිබ්බ සමරසිංහ ගුණසේකර මහත්තයාගේ ඉන්ටවිවු එකේ දක්වලා තිබ්බ අදහස් ගැන තිබ්බ පෝස්ට් ටික කියවලා, අද බයිට් ටික හම්බුන ගමන් ගිහින් ඒ ඉන්ටවීවු එක කියවගෙන යද්දී අහු උන මෙන්න මේ කෑල්ල නිසා... 

//මොනරාගල ප්‍රදේශයේ ඉන්න ගුරුවරයට තියෙන්නෙ උච්ඡ මානය. මේ ඉන්නෙ මට වැඩිය තත්ත්වයෙන් පහත් ගඳගහන ළමයි. ගුරුවරයා ඒ ළමයි ළඟට ගන්නෙ නෑ දුරින් තියාගෙන කතාකරන්නෙ. නමුත් රොයල් එකට ගියාම කොහොමද? ළමය එන්නෙ බීඑම්ඩබ්ලිව් කාර් එකෙන් ගුරුවරය එන්නෙ මෝටර් සයිකලෙන්. එතකොට එතනදි මොකද වෙන්නෙ හීන මානයක් ඇතිවෙනව. එතනදි මොකද වෙන්නෙ? උච්ඡ මානය සහ හීනමානය යන දෙකේදිම වෙන්නෙ දරුව ගුරුවරයගෙන් ගුටිකන එක. තමන්ගෙ ඇරියස් පිට කරන්නෙ දරුවගෙන්.//

///ඔව් ඉස්සර අපිට හොඳ ළමයෙක් හිටිය. දැන් ඒ ළමය නෑ. ඇයි මේ? පාසල අසාර්ථක වීම. ලෝකයේ දියුණු රටවල්වල කොහේවත් පාසල්වල ආගම උගන්වන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ ආගම විහිළුවට ලක්කිරිමක්. ආගම නින්දාවට පත්කිරීමක්. පාසල්වල ආගම උගන්වන ගුරුවරය කියන්නෙ කවටයෙක්. ළමයි අකමැතිම විෂය රිලිජන්. ආගම උගන්වල ශික්‍ෂණයක් ගේන්න පුළුවන් කියල හිතනවනම් ඒක හීනයක්. ආගම කියන්නෙ පර්සනල් දෙයක්. ඒ නිසා ළමයා අසාර්ථක වීම සාධාරණයි. ///

ඇත්තටම ඉස්කෝල වල ආගමි ඉගැන්වීම විකාරයක් කියලා හිතන තැනක මාත් හිටියා... නමුත් වැට උඩ... මොකද ඇත්තටම යහපත් ළමයෙක් කියලා අපේ හිතේ ඇදිච්ච රෑපයක් තියෙනවනේ.. අම්මට තාත්තට වැඳලා ගෙදරින් එළියට බහින, ගුරුවරුන්ට කීකරු, රස්තියාදුවේ යන්නේ නැති, රණ්ඩු වලට පැටලෙන්නේ නැති, හොඳට ඉගෙන ගෙන විභාග වලට හොඳ ළකුණු ගන්න, කුඩු ගහන්නේ සිගරට් බොන්නේ නැති... බාහිර ක්‍රියාකාරකම් වලට සහභාගී වෙන.... ඔන්න ඔහොම ලිස්ට් එකක් තියෙනවානේ... 

නමුත් ඇත්තටම යහපත් ළමයෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද.... ? 

දැන් ඉතිං මට මතක් වෙන්නේ ෆිල්ම් වල ඉන්න ගුණ යහපත් චණ්ඩියෝ... එයාලා හැමතිස්සෙම ෆයිට් කරන්නේ සාධාරණය වෙනුවෙන්... ඒක නිසා එයාලා චණ්ඩි... හැබැයි කතාවේ වීරයා විදියට එයාගේ තියෙනවා යහපත් ගතිගුණ... වැඩිහිටියන්ට සලකනවා.. ගෑණුන්ට සලකනවා... අසාධාරණයට විරුද්දව කතා කරනවා.. සටන් කරනවා.. අපි නරඹන්නෝ විදියට හැමතිස්සෙම බලාපොරොත්තු වෙනවා චණ්ඩියා දිනයි.. දිනලා කාව හරි කසාද බැඳලා යහපත් ජීවිතයක් ගත කරයි කියලා... ගොඩක් ෆිල්ම් ඉවර වෙන්නෙත් එහෙමනේ... 

ඕකම ළමයින්ට ආදේශ කරන්න බැරිද කියලා මං මේ උදේ කල්පනා කළා... ළමයි කියන්නේ ෆයිට් කරන්න හැමතිස්සෙම සූදානම් පිට ඉන්න ජාතියක්... ඒත් අපි දෙමවුපියෝ විදියට බලාපොරොත්තු වෙන්නේ එයාලා ෆයිට් නොකර කීකරුව ගෙදරදි, පාසලේදි, ස්පෝර්ට්ස් ප්‍රැක්ටිස් වලදි ඉන්නවා දකින්න....කියන දේ අහලා, කියන විදියට පාඩම් කරලා විභාග පාස් වෙනවා දකින්න... එයාලට හිතෙන දෙයක් කියන්න අපි අවස්ථාව දෙනවා අඩුයි නේද... එයාලා හිතන දෙයක් කරන්න අපි අවස්ථාව දෙනවා අඩුයි නේද...  

මං අහලා තියෙනවා ගොඩක් අය කියනවා ලංකාවේ ඒ ලෙවල් වලට වඩා ලන්ඩන් ඒ ලෙවල් මාර ලේසියි කියනවා... මං දැන් හිතෙනවා... ( මේක මම ෆැක්ට්ස් හැටියට දන්නේ නෑ .. මට හිතෙන දෙයක් විතරයි.. වැරදි නම් හැදුවට කමක් නෑ..)මේ ලන්ඩන් ඒ ‌ලෙවල් වලට දෙනවා ඇත්තේ විශය කරුණු ගැන බේසික් දැනුමක් විතරයි වෙන්න ඇති කියලා... 

අපේ වගේ විභාගෙට එන්න පුළුවන් ගනං ටික ඔක්කොම උදාහරණ දීලා, හදවලා හදවලා, කටපාඩම් කරවලා යවන්නේ නැතුව ළමයින්ට තියරිය ගැන බේසික් දැනුම හොඳින් දීලා, ඉතුරු ටික හදා ගන්න එයාලටම ඉඩ දීලා ඇති කියලා... එත‌ෙකාට ළමයින්ගේ විභාගෙදි බලාපොරොත්තු වෙන්නේ එයාලා තියරියේ බේසික් ටික හරියට ග්‍රහණය කරගෙනද කියලා පරික්ෂා කරලා බලන එක මිසක්, ගානේ උත්තරේ හරියටම ඇවිල්ලා කියලා බලන්න නෙවෙයි කියලා.... මං හරිද දන් නෑ ඉතිං... ඒත් එහෙම නේද හරි නම් වෙන්න ඕනේ.... ඔන්න මට හිතෙන විදිය... 

කීප දෙනෙක්ම මේ කතාවට ලින්ක් දීලා තිබ්බා.. අතෑරිච්ච අය ඉන්නවනං ගිහින් කියවලා බලලා අදහසක් ඇත්නම් කියමුකෝ බලන්න...

Friday, March 1, 2013

පාරවල් වල ඉරි අඳින හැටි දැනගත්ත හැටි....


ගිය ටිකේ ලියන්න ඉස්පාසුවක් තිබුනේ නැති හින්දා............. හි හි... බොරු බොරු... පටන් ගත්තෙම පත බොරුවකින්..... 

දිග නිවාඩුවක් හම්බුන එකේ ගියා පොඩි රවුමක් දාලා එන්න කියලා.... කවුද ඉතිං....  අපි දෙන්නා තමයි..... ගිය තැන් විස්තර නම් එච්චර නෑ ඉතිං.. නුවරට ගියා, දළඳා මාලිගාවට ගියා... ඊළඟ දවසේ අනුරාධපුරේ යන ගමන් යාපහු යනවා කියලා හිතාගෙන ගියාට, තඹුත්තේගම හරියට ගියාම තමයි දැනගත්තේ යාපහුව පහු වෙලා කියලා.. ඒ පාර ආයිත් කිලෝ මීටර් 30ක් ආපස්සට යන්න බෑ කියලා වේලාසනින්ම අනුරාධපුරේට ගිහින්, වටේම ඇවිදලා, පෝය දවසේ පාන්දර 6ට උඩමළුවයි, රුවන්මැලිසෑයටයි ගිහින් ආපු පාරෙන්ම ආවා යාපහුව හොයාගෙන..... 

මොකක් කිව්වා.... හිරුවා නැග්ගද යාපහු ඇහුවා..... ???? 

ඔව් ඔව්.. නැග්ගා.... නැග්ගා... මටත් පුදුමයි අප්පා.... හි හි... 

ඊට පස්සේ රවුමක් ගහලා පඬුවස් නුවර හොයාගෙන ගියා... ඒක තමයි ගමනෙන්ම අන්තිම නරක හරිය.... පාර නම් අන්තිමයි.... නිකවැරටිය පාරෙන්නේ ගියේ.... කො‌ෙහාම හරි ඒකත් කරගෙන මීගමු පාරෙන් කොළඹ ආවා සඳුදා හවස.... 

හරි.. ඔය ගමන යන ගමන් මට කාලාන්තරයක් තිස්සේ තිබිච්ච පුරස්නයක් විසඳගන්න ලැබුන සතුටට තමයි මේ ලියන්න ගත්තේ... මොකද්ද දන්නවද පුරස්නේ.... 

පාරවල් වල ඔය මැද ඉරි, අයිනේ ඉරි අඳින්නේ කො‌ෙහාමද කියන එක.... 

හි හි... 

ඇයි අප්පා... ඕක මට හරි මැජික් එකක් වෙලා තිබ්බේ... හරි කෙලින් මේවා අඳිනවානේ.... 

ඉතිං ඔන්න යන ගමන් මම අපේ මහත්තයාගෙන් ඇහුවා ඇත්තටම මේ ඉරි අඳින්‌නේ කො‌ෙහාමද කියලා... මොකද ඒ හරියේ අලුතින්ම ඉරි ඇඳලා, පාරවල් කිරි කිරි පාටින්, බබල බබල තිබ්බේ... 

“ ඕවා අඳින්නෙ අඩි රෑල තියලා, ඉරි ගහලා, බිම දිගේ බඩ ගාගෙන, පින්සල් වලින් හලෝ... ඒකවත් දන්නෙ නැද්ද.....”

ඔන්න අපේ මහත්තයගේ උත්තරේ..... 

ඇහුව මෝඩකම කියලා හිත හිත, ඒත් වැඩේ දැනගන්න ඕනේ නිසා බල කරලා ඇහුවම ඔන්න කිව්වා... 

“ ඕකට පොඩි මැෂින් එකක් තියෙනවා... ඒකේ තීන්න දාලා, ඒකෙ තියෙන පොඩි රෝදයක් වගේ එකකින් තමයි ඉර ඇඳෙන්නේ තල්ලු කරගෙන යනකොට... ඕක තීන්න ජාතියක්මත් නෙවෙයි... ලොකු ලොරියක තියෙන බැරල් එකක, හැමතිස්සෙම රත්වෙවී තියාගෙන ඉන්නේ තාර වගේ... ඔය ඉරි පොඩ්ඩක් පාරෙන් ඉස්සිලා වගේ පේන්නේ ඒක නිසා... අනිත් එක වැස්ස වෙලාවට එහෙම ඔය ඉරි උඩ ලිස්සනවා....මාක් කරන්නේ ටේප් වලින් තමයි.. ටේප් එකෙන් මාක් කරලා, ලණුවක් දාලා අඳිනවා.... ”

ඔන්න අපේ මහත්තයා විස්තර කරපු හැටි.... 

මාත් “ හා හා.. ‌ෙත්රුනා..” කියලා ඔලුව වනලා ටික දුරක් යනකොට.. මෙන්න බොලේ කට්ටියක් පාරේ ඉරි අඳිනවා.... 

අපේ මහත්තයට බ්ලොග් එක මතක් වෙලා ෆොටෝ එකක් ගමු කියලා, හරවගෙන එන චුට්ටට, අර තල්ලු කරන් ගිය ඉරි අඳින මැෂිම නම් ආපහු ලෝඩ් කරන්න අර ලොකු බැරල් එකක් තියං ඉන්න ලොරිය ළඟට ඇවිල්ලා... දුක තමයි කියලා ඒ ලොරියෙ ෆොටෝ එකක් අරන් ආවා ඉතිං.. ඔන්න ඒ ෆොටෝ ටික ඔයාලටත් මං වගේ දන්නෙ නැති අය ඉන්නවා නම් අයිඩියා එකක් ගන්නත් එක්ක මම මේකේ දානවා... 

ආ... අමතක උනා කියන්න.... ගිය ගමනෙදි මට බ්ලොග් එක ගැන මෙලෝ මතකයක් තිබුනේ නැති උනත්, අපේ මහත්තයට නම් බ්ලොග් එක මතක් උනා.. ඒක නිසා ‌ෆොටෝ වල සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනේ එයාට හොඳේ.... 



ඔය ලොරියේ ලොකුවට තියෙන බැරල් එකේ තමයි තීන්න උණු වෙමින් තියෙනවා කිව්වේ... 
පොඩියට තියෙන බැරල් එක තමයි අර මං කිව්ව තල්ලු කරන් යන මැෂින් එක.... 


අන්තිමට තියෙන්නේ ඔය ලණු සීන් එක තමයි... හි හි


මේ ෆොටෝ ටික ගන්න වෙලාවේ ඔය රාජකාරියේ යෙදිලා හිටිය හැමෝම හොඳ සහයෝගයක් දුන්නා කියලත් කියන්න ඕනේ... අපි වැඩි වෙලා හිටියේ නැති නිසා මිසක් නැත්තම් ඒ අය ඉරි අඳින හැටි ෆොටෝ ගන්නත් පුළුවන් කියලා කිව්වා.. ඒත් රාජකාරියේ යෙදිලා ඉන්න අයට කරදර කරන එක හොඳ නැති නිසා අපි ඉක්මණට ආවා...