කතන්දරේ මතක නැති අය මෙන්න මේ පැත්තට ටිකක් ඔලුව දාලා ආවා නං හරි....
මං සඳුදා උදේ ඉස්කෝලේ ගියේ බොහොම ලැජ්ජාවෙන්... ඇයි ඉතිං... අයියගේ යාලුවන්ගේ කටවල් වල හැටි මම දන්නවනේ... එදත් අපි යනකොට ඇවිත් හිටියේ තරිදු අයියයි, අංජු අයියයි විතරයි...
“ ආ... කෙල්ල බරටම උස්සගෙන එන්නේ... මොනාද ආ.. කැවුම් ද....”
... මට ගහන්න හිතුනා තරිඳු අයියට...
“ මොකද නංගි.... අද බර්ත්ඩේ එකද....”
මුකුත් නොදන්නවා වගේ අහන හැටි... මං අංජු අයියට රැව්වා....
“ ඒ.... කසුන්... උඹ නංගිට දැම්ම කිව්වද කොල්ලන්ට රවන්න කියලා... මෙයා මෙන්න මට රවනවා...”
අංජු අයියා, සුදු අයියට කෑ ගැහුවා....
ටික වෙලාවකින් මගේ යාලුවෝ ටික ආවාම මං උන් ළඟට ගියා... උන්ගෙන් වැඩි දෙනෙක් ඇත්ත සිද්ධිය දන්නේ නෑ... මෙගන් අහනවා ඇයි ආවේ නැත්තේ කියලා... මං ඉතිං සනීප නැති උනා කියනකොට අයියලා ටික එහා පැත්තේ ඉඳන් හිනාවෙනවා.... මාර වාතයක් තමා මේක නම්.....
--------------------------------------------------------------------------------
නාවින්නෙදි කෝච්චියක් පීලි පැනලා නිසා කෝච්චි නෑ.... සුදු අයියටත් ක්ලාස්.... අංජු අයියටයි අනික් හැමෝටමයිත් එක එක වැඩ වලට After school ඉන්න වෙලා... මං සුදු අයියගේ ඉස්කෝලෙට කෝල් එකක් දැම්මා... ඒ පාර එයා පන්ති යන්නේ නැතුව එන්න හදනවා... මං කිව්වා මං ඉස්කෝලෙ ඉන්නම්... පන්ති ඉවර වෙලා එන්න කියලා... මට බස් එකේ යන්න දෙනවනං මේ කිසි කරදරයක් නෑ.. කොහෙද... අම්මලගේ වැඩි පරිස්සමනේ... ඒ පාර මට ටිකක් ඉන්න කියලා ආයිත් කෝල් එකක් අරන් කියනවා අංජු අයියට තුනට ක්ලාස් ඉවර වෙන නිසා එයා එක්ක යන්නලු..
සුදු අයියට පිස්සුද මන්දා... අපේ සිකුරිටි අන්කල්ට පිස්සු හැදෙයි කොල්ලෙක් ආවොත් ළමයෙක්ව එක්කන් යන්න... සුදු අයිය නං හැමතිස්සෙම එන නිසා සිකුරිටි අන්කල් දන්නවානේ.. ඒත් අංජු අයියව දන්නවයැ... අනිත් එක එයා නෑයෙක් යෑ....
“ පිස්සුද සුදු අයියේ... අපේ සිකුරුටි අන්කල් එහෙම යන්න දෙන්නේ නෑ...”
“ හ්ම්ම්.... මම අම්මට කතා කරලා කියන්නම් ඉස්කෝලෙට කතා කරන්න කියලා.... ”
“ ඕනේ එකක්.. මගේ කාඩ් කුඩු කරන්නෙ නැතුව... ”
මට තනියෙන් යන්න පුළුවන් උනත් මෙයාලා යන්න දෙනවයැ... අම්මට ඇවිත් මාව එක්කන් යන්නත් බෑ... ආපෝ.. මෙහෙම වෙලාවට තමයි අයියලා නැති උනානං හොඳයි කියලා හිතෙන්නේ... එහෙනං මං අගේට තනියෙන් යනවානේ.....
මං බැන බැන ඉන්නකොට අම්මා ඉස්කෝලෙට කෝල් කරලා ප්‍රින්සිපල් මැඩම්ට කතා කරලා කියලා විස්තරේ... අදට විතරක් යන්න දෙනවා කියලා, මට කිව්වා ඔෆිස් එකට වෙලා ඉන්න කියලා.... මොන කරුමයක්ද මන්දා.. වෙන කිසි කෙල්ලෙක්ට නෑ මෙහෙම වදයක්.... කෝච්චි නැත්තං බස් එකේ නැග්ගා, ගෙදර ගියා... මට තමයි මේ ඔක්කොම...
යන්තම් අංජු අයියා 3ට ආවම ප්‍රින්සිපල් මැඩම් මට යන්න දුන්නා.. හපෝ.. මැඩම් අංජු අයියා දිහා බලපු හැටි.... හරියට ඉස්කෝලෙට හොරෙන් පැනලා අහුවෙච්ච කොල්ලෙක් දිහා බලනවා වගේ... මටත් ලැජ්ජයි...
අපි දෙන්නා බස් හෝල්ට් එකට එනකොට හොඳ වැස්සක් එන්න ලෑස්ති වෙනවා හතරවටෙන්ම කලු කරගෙන... බස් එකක් එනකොට නම් හොඳටම වහිනවා.... ඉස්සෙල්ලම ආපු සීටීබී එකට නැග ගත්තාම යන්තම් ඉඳගන්න සීට් නම් තිබුන එක හොඳට ගියා... ඒත් අපි දෙන්නම ටිකක් තෙමුනා... මං කවද්ද කුඩ අරන් ගියේ....
තෙමුනේ යන්තම් උනත් ඒ ටික ඇති මට හෙම්බිරිස්සාව හැදෙන්න... බස් එකට නඟිනකොටත් මගේ නහය හිරවෙලා... ඔලුව කැක්කුමයි පුපුරන්න... කොහොමත් ප්‍රින්සිපල් මැඩම්ගේ ඔෆිස් එකේ හිටියොත් ඔලුව කැක්කුම හැදිලා තමයි නවතින්නේ... ඒ තරමට ඒසී එක...
මං බෑග් එකේ ඔලුව ගහගත්තත් එහෙම ඉන්න බෑ වැඩි වෙලාවක්... නහය හිරවෙනවා....
“ නංගි ... මොකද ඔයාට....”
අංජු අයියට තේරෙන්න ඇති මං මං නහය ඇඳ ඇඳ දඟලනකොට...
“ හෙම්බිරිස්සාව අයියේ.... හුස්ම ගන්නත් බෑ....”
මං ලෙඩා දුකා වගේම කිව්වා.... සුදු අයියාවත් හිටියනං.... හේත්තුවක් දාගෙන යන්න තිබ්බා... මං සීට් එකට ඔලුව තියාගත්තා...









