Showing posts with label පාරමී දම්. Show all posts
Showing posts with label පාරමී දම්. Show all posts

Wednesday, April 10, 2013

අයියලා ඉන්න එකත් මහ වදයක්..... පාරමී දම් 11 කොටස


කතන්දරේ මතක නැති අය මෙන්න මේ පැත්තට ටිකක් ඔලුව දාලා ආවා නං හරි.... 





මං සඳුදා උදේ ඉස්කෝලේ ගියේ බොහොම ලැජ්ජාවෙන්... ඇයි ඉතිං... අයියගේ යාලුවන්ගේ කටවල් වල හැටි මම දන්නවනේ... එදත් අපි යනකොට ඇවිත් හිටියේ තරිදු අයියයි, අංජු අයියයි විතරයි... 

ආ... කෙල්ල බරටම උස්සගෙන එන්නේ... මොනාද ආ.. කැවුම් ද....

... මට ගහන්න හිතුනා තරිඳු අයියට... 

මොකද නංගි.... අද බර්ත්ඩේ එකද....”

මුකුත් නොදන්නවා වගේ අහන හැටි... මං අංජු අයියට රැව්වා.... 

.... කසුන්... උඹ නංගිට දැම්ම කිව්වද කොල්ලන්ට රවන්න කියලා... මෙයා මෙන්න මට රවනවා...”

අංජු අයියා, සුදු අයියට කෑ ගැහුවා.... 

ටික වෙලාවකින් මගේ යාලුවෝ ටික ආවාම මං උන් ළඟට ගියා... උන්ගෙන් වැඩි දෙනෙක් ඇත්ත සිද්ධිය දන්නේ නෑ... ම‌ෙගන් අහනවා ඇයි ආවේ නැත්තේ කියලා... මං ඉතිං සනීප නැති උනා කියනකොට අයියලා ටික එහා පැත්තේ ඉඳන් හිනාවෙනවා.... මාර වාතයක් තමා මේක නම්..... 

--------------------------------------------------------------------------------

නාවින්නෙදි කෝච්චියක් පීලි පැනලා නිසා කෝච්චි නෑ.... සුදු අයියටත් ක්ලාස්.... අංජු අයියටයි අනික් හැමෝටමයිත් එක එක වැඩ වලට After school ඉන්න වෙලා... මං සුදු අයියගේ ඉස්කෝලෙට කෝල් එකක් දැම්මා... ඒ පාර එයා පන්ති යන්නේ නැතුව එන්න හදනවා... මං කිව්වා මං ඉස්කෝලෙ ඉන්නම්... පන්ති ඉවර වෙලා එන්න කියලා... මට බස් එකේ යන්න දෙනවනං මේ කිසි කරදරයක් නෑ.. කොහෙද... අම්මලගේ වැඩි පරිස්සමනේ... ඒ පාර මට ටිකක් ඉන්න කියලා ආයිත් කෝල් එකක් අරන් කියනවා අංජු අයියට තුනට ක්ලාස් ඉවර වෙන නිසා එයා එක්ක යන්නලු.. 

සුදු අයියට පිස්සුද මන්දා... අපේ සිකුරිටි අන්කල්ට පිස්සු හැදෙයි කොල්ලෙක් ආවොත් ළමයෙක්ව එක්කන් යන්න... සුදු අයිය නං හැමතිස්සෙම එන නිසා සිකුරිටි අන්කල් දන්නවානේ.. ඒත් අංජු අයියව දන්නවයැ... අනිත් එක එයා නෑයෙක් යෑ.... 

පිස්සුද සුදු අයියේ... අපේ සිකුරුටි අන්කල් එහෙම යන්න දෙන්නේ නෑ...

හ්ම්ම්.... මම අම්මට කතා කරලා කියන්නම් ඉස්කෝලෙට කතා කරන්න කියලා....

ඕනේ එකක්.. මගේ කාඩ් කුඩු කරන්නෙ නැතුව...

මට තනියෙන් යන්න පුළුවන් උනත් මෙයාලා යන්න දෙනවයැ... අම්මට ඇවිත් මාව එක්කන් යන්නත් බෑ... ආපෝ.. මෙහෙම වෙලාවට තමයි අයියලා නැති උනානං හොඳයි කියලා හිතෙන්නේ... එහෙනං මං අගේට තනියෙන් යනවානේ.....

මං බැන බැන ඉන්නකොට අම්මා ඉස්කෝලෙට කෝල් කරලා ප්‍රින්සිපල් මැඩම්ට කතා කරලා කියලා විස්තරේ... අදට විතරක් යන්න දෙනවා කියලා, මට කිව්වා ඔෆිස් එකට වෙලා ඉන්න කියලා.... මොන කරුමයක්ද මන්දා.. වෙන කිසි කෙල්ලෙක්ට නෑ මෙහෙම වදයක්.... කෝච්චි නැත්තං බස් එකේ නැග්ගා, ගෙදර ගියා... මට තමයි මේ ඔක්කොම... 

යන්තම් අංජු අයියා 3ට ආවම ප්‍රින්සිපල් මැඩම් මට යන්න දුන්නා.. හපෝ.. මැඩම් අංජු අයියා දිහා බලපු හැටි.... හරියට ඉස්කෝලෙට හොරෙන් පැනලා අහුවෙච්ච කොල්ලෙක් දිහා බලනවා වගේ... මටත් ලැජ්ජයි... 

අපි දෙන්නා බස් හෝල්ට් එකට එනකොට හොඳ වැස්සක් එන්න ලෑස්ති වෙනවා හතරවටෙන්ම කලු කරගෙන... බස් එකක් එන‌කොට නම් හොඳටම වහිනවා.... ඉස්සෙල්ලම ආපු සීටීබී එකට නැග ගත්තාම යන්තම් ඉඳගන්න සීට් නම් තිබුන එක හොඳට ගියා... ඒත් අපි දෙන්නම ටිකක් තෙමුනා... මං කවද්ද කුඩ අරන් ගියේ.... 

තෙමුනේ යන්තම් උනත් ඒ ටික ඇති මට හෙම්බිරිස්සාව හැදෙන්න... බස් එකට නඟිනකොටත් මගේ නහය හිරවෙලා... ඔලුව කැක්කුමයි පුපුරන්න... කොහොමත් ප්‍රින්සිපල් මැඩම්ගේ ඔෆිස් එකේ හිටියොත් ඔලුව කැක්කුම හැදිලා තමයි නවතින්නේ... ඒ තරමට ඒසී එක... 

මං බෑග් එකේ ඔලුව ගහගත්තත් එහෙම ඉන්න බෑ වැඩි වෙලාවක්... නහය හිරවෙනවා.... 

නංගි ... මොකද ඔයාට....”

අංජු අයියට තේරෙන්න ඇති මං මං නහය ඇඳ ඇඳ දඟලනකොට... 

හෙම්බිරිස්සාව අයියේ.... හුස්ම ගන්නත් බෑ.... 

මං ලෙඩා දුකා වගේම කිව්වා.... සුදු අයියාවත් හිටියනං.... හේත්තුවක් දාගෙන යන්න තිබ්බා... මං සීට් එකට ඔලුව තියාගත්තා... 

Monday, April 8, 2013

එයාට හැමදේම විහිළු... පාරමී දම් 10 කොටස






ඉතිං... මට කිරිබත් කෑල්ලක් කවන්නේ නැද්ද.... 

අප්පච්චි එහෙම අහගෙන මං ළඟට ආවා.... අම්මා ලෑස්ති කරපු කිරිබත් පිඟානෙන් කෑල්ල ගානේ අම්මටයි අප්පච්චිටයි කවලා සුදු අයියට කවන්න ගියාම පෙරේතයා වගේ මගේ අතත් එක්කම කෑවා.... 

ඒ අස්සෙම මං දැක්කේ අයියගේ අත බැන්ඩේජ් කරලා තියෙනවා... මෙයා මේ දවස් ටිකට මක් කර ගත්තද....මං අහගන්නම්කෝ.... 

කාලා බීලා ඉවර වෙලා කට්ටියම වෙන වෙන කතාවල එල්ලිලා ඉන්නකොට මං සුදු අයියවම ඇඳගෙන සාලෙට පැන ගත්තා... 

කොහෙද දුවන්නේ මෝඩියේ....

එහෙම අහගෙනම සුදු අයියත් මගේ පස්සෙන් ආවා..

දැං ඉතිං ලොකු ගෑණු ළමයි දඟලන්නේ නෑ... 

අනේ මේ .. ඔයා පණ්ඩිතයා නොවී ඉන්නවා... ඒක නෙවෙයි... අතට මොකද්ද කර ගත්තේ.... 

මොකද්ද... මේකද... මුකුත් නෑ සුද්දියේ.... 

මෙහෙම හරි යන්නේ නෑ මෙයාට....

එදා මට ඇහුනා ඔයා කෑ ගහනවා සුදු අයියේ... කියන්න... මොකද උනේ....

මං සුදු අයියගේ ඇස් දෙක දිහාම බලං ඇහුවා... 

ලොකු දෙයක් උනේ නෑ සුද්දි.... එදා කැවුම් හදද්දි මගේ අතට තෙල් විසි උනා... ටිකක් පිච්චුනා... 

සුදු අයියා මගේ කර වටේට අත දාගන්න ගමන් කිව්වේ... ඒත් මං දන්නවා ටිකක් නෙවෙයි ගොඩක් පිච්චිලා කියලා.. එදා ගේ ඇතුලේ ලොකු කලබලයක් දැනුනා මට....

ගොඩක් පිච්චුනා නේද.... 

මං අයියගේ අතින් අල්ලගෙනම උරහිසට හේත්තු උනා... 

මං හින්දා ඔයා තුවාලත් කර ගත්තා නේද... දැන් අත කැත වෙයි...

නෑ සුද්දි... එහම කියන්නෙපා... ඔයා නිසා නෙවෙයිනේ මේක උනේ... මං එතන දඟලපු නිසා නේ... 

සුදු අයියා මාව තුරුළු කරගෙන කිව්වේ... මට ඒකට ගොඩක් දුක හිතුනා... අයියා කොච්චර දෙයක් උනත් මං වෙනුවෙන් දරාගන්නා කියලා මං දන්නවා.... 

තව එකක් තියෙනවා අහන්න....

ඒ පාර මොකද්ද...

මගේ යාලුවෙක් කිව්වා බිග් ගර්ල් කෙනෙක් උණාම අයියලා ගාව නිදාගන්න දෙන්නේ නෑ කියලා....

මං හිමීට බිම බලං ඇහුවා... මේ බිග් ගර්ල් කතාව ගැන කතා කරන්න මට හරි ලැජ්ජා ඇයිද මන්දා... 

ඉතිං...

සුදු අයියා හිනාවෙනවා මට දැනුනා...

ඉතිං.. මට ඔයා නැතුව නින්ද යන්නේ නෑ නේ...

අනේ.. අනේ... මෙයා හිතලා තියෙන දුර...

සුදු අයියට නම් ඔක්කොම විහිළු... 

මං විතරක් යැ දුර හිතුවේ..

එහෙනං.. කවුද තව...

ඇයි ඔයා.... ඔයානේ මට තැල්ලක් දුන්නේ... මනමාලියෙක් වෙන දවසට දාන්න කියලා.. ඒවට තව කොච්චර කල් තියෙනවද...

මං හිමින් හිනා වෙන ගමන් කිව්වා... 

මේකි පැහිලා වැඩියි... 

සුදු අයියා මගේ කනෙන් අල්ලගෙන නැගිට්ටා...  

සුදු අයියේ ... මේ....

ඒ පාර මොකද... 

ඔයා යාලුවන්ට කිව්වද...

මොකද්ද..

මේකා නම් හරිම හොරෙක්... දන්නෑ වගේ අහන හැටි.... 

මොකද්ද කියලා අහන්නේ..

මං නහයෙන් ඇඬුවා....

ආ.. කිව්වා කිව්වා... අන්න උන් ටික කේක් කන්න බලං ඉන්නවා....

හරි නරකයි සුදු අයියේ ඔයා...

මං එයාගේ අත ගසලා දැම්මේ තරහින්... ඒත් එයා නම් හිනා වෙනවා විතරයි... එයාට හැමදේම විහිළු... 



මතු සම්බන්ධයි.....

Tuesday, March 12, 2013

ඒක අමුතුම හැඟීමක්.... පාරමී දම් 9 කොටස






ෂුහ්.... පාන්දර හතරාමාරට නානවා කියන්නේ ලේසි කෙලියක්ද... 

අම්මා මුලින්ම මාව සීතලම සීතල, වතුසුද්ද මල් පුරෝපු වතුර කලේකින් නාවලා, ඊට පස්සේ උණු වතුරින් නෑව්වා... 

කිරි බලන්න කියලා කොස් ගහට කොටලා ඇහැව්වා දැක්කද කියලා... මේ කලුවරේ මොන කිරිද... සීතලේ වෙවුල වෙවුල මං ඔලුව වැනුවා... පොල් ගෙඩියට නම් පළවෙනි පාරම දෙකට බිඳෙන්න කැත්තෙන් ගැහුවා... 

පහන් දැල්ල අතින් නිවන්න ගිහින් තමයි මරු වැඩේ... අත් දෙක පහන ළගට කිට්ටු කරනකොට මට බයයි අත පිච්චෙයි කියලා.. කොහොමින් කොහොම හරි ඒකත් කරගත්තා.... 

මට අඳින්න කියලා තිබ්බේ සුදු පාට... අම්මා ලස්සන සුදු ළමා සාරියක් මහලා තිබ්බා... ඒකත් ඇඳගෙන ඉස්සරහට එනකොට මාට මාර ලැජ්ජයි.... අපේ ගෙදර කට්ටයයි, ලොකු නැන්දයි මාමයි ඔක්කොම එතන... ඒක අමුතුම හැඟීමක්...

අම්මා මුලින්ම මල් වටිට්යක් දුන්නා බුදු හාමුදුරුවන්ට පූජා කරන්න කියලා... 

ඊට පස්සේ අම්මටයි තාත්තටයි ලොකු අය ඔක්කොටම වැන්දට පස්සේ අම්මා කිව්වා අයියටත් වඳින්න කියලා... 

මෙයාටත් වඳින්න ඕනෙද...මං සුදු අයියගේ මූණ දිහා බැලුවා... චික්.. හිනාව විතරක්... මං හිතිං බැන බැනම සුදු අයියට වැන්ඳා... 

ඒත් මට සුදු අයියගේ කකුල් දෙක අල්ලලා වඳින්න හම්බුනේ නෑ... එයා මගේ උරහිසෙන් අල්ලලා මාව ඇඟට තුරුළු කරගත්තා... මං සුදු අයියගේ මූණ දිහා බැලුවා... ඒ ඇස් දෙකේ කඳුළු... 

මොනාද සුද්දිට මගෙන් ඕනේ...

සුදු අයියා ගේ මූණ එයා දිහාට හරෝගෙන ඇහුවා... 

මුකුත් එපා...

මං බිම බලා ගත්තා... සුදු අයියා අප්පච්චි වගේම මගේ නළල ඉඹින ගමන් මගේ අතේ පුංචි පෙට්ටියක් තිබ්බා... 

ආ...

මොනාද...

ඇරලා බලන්නකෝ...

... තැල්ලක්... තනි ඉර අගට පුංචි මුතු ඇටයක් අල්ලපු හාට් එකක්...මේ වගේ ඒවා ඉස්කෝලේ ඩාන්සින් කරන කෙල්ලෝ නම් දානවා මං දැකලා තියෙනවා.. මේකක් මොකටද මට... 

ලස්සනයි සුදු අයියේ... ඒත් මේකක් මොකටද මට...

ඔයා මනමාලියෙක් වෙන දවසට දාන්න...

මට එකපාරටම සුදු අයියගේ මූණ දිහා බැලුනා.. ඒ මූණේ තිබ්බ හිනාව.... මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.... 

ඒ එක්කම මට හිතුනා මට කවදහරි සුදු අයියවයි, අම්මවයි අප්පච්චිවයි දාලා, ගෙදරින් යන්න වෙනවා නේද කියලා... මට ඇඬෙන්න ආපු නිසා මා අම්මගේ ඇඟට තුරැළු වෙලා මූණ හංඟගත්තා...


මතු සම්බන්ධයි...

ප/ලි - වැඩ ගොඩකට හිර වෙලා ඉන්න නිසා කලින් පෝස්ට් එකේ කමෙන්ට් වලට රිප්ලයි කළේ නෑ.. අද හවස් වෙනකොට රිප්ලයි කරන්න පුළුවන් වෙයි... ඒත් දවස් ගානකින් පෝස්ට් එකක් දාපු නැති නිසා ඩ්‍රාෆ්ට් කරලා තිබ්බ එකක් දානවා අද... බනින්න එපා කට්ටියම සෙට් වෙලා.. හි හි.... 

Saturday, February 2, 2013

ගෙදර ඉන්න එකත් පිස්සු හැදෙන වැඩක්... පාරමී දම් 8 කොටස





සුද්දී.... මං අද හැමෝටම කියනවා.. ඉන්නවකෝ....


සුදු අයියා එහා කාමරේ ඉදන් කෑ ගැහුවා.. 

අනේ එපා සුදු අයියේ...

මං එයාට කෑ ගැහුවා අඬ අඬම..මෙයාගේ කට ගැන මම දන්නැද්ද.... මොනවා කියයිද දන්නේ නෑ.. 

නෑ...මං කියනවාමයි..

අම්මා මාව තනිකරලා දාල යන්න බෑ කියලා විමලක්කව එනකම් මං ගාව හිටියා.. විමලක්කා කාමරේට ආවේ මට නෝණ්ඩියට හිනාවේගෙන... 

 මොකෝ මේ අඬන්නේ...”

විමලක්කා මාව තුරුළු කරගත්තා.. 

අරයට කියන්න යාලුවන්ට කියන්න එපා කියලා...”

හරි හරි... ඔන්න කසුන් බේබි මුකුත් කියන්නෑ හොඳේ.. පවුනේ අපේ චූටි....

විමලක්කා හයියෙන් කිව්වම අයියා ආයිත් කෑ ගැහුවා නෑ මං කියනවාමයි කියලා...ආපු කේන්තියට මං මගේ කොටේටේ අරන් බිත්තියට උඩින් එහා කාමරේට විසි කළේ ඒක අයියට වැදෙයි කියලා හිතලා... කොහෙද.. ඒක රිටන් උනා ආයිත් මගේ කාමරේටම... එයා ඉතිං බාස්කට්බෝල් කාරයානේ... 

මං ඉතිං දැන් ගෙදර ඉන්න එපැයි.. අයියා නං ඉස්කෝලේ ගියා... මාර පාළුයි.. අප්පච්චි හොඳ වෙලාවට අලුත් පොත් වගයක් ගෙනත් තිබ්බ හින්දා, මං ඒවා කියව කියව කාමරේට වෙලා හිටියා.. මට කන්න ජාති නං වැහි වැහැලා... අප්පච්චියි අයියයි පළතුරු බෑග් දෙක්කම ගෙනත් දුන්න නිසා දවල්ට කන්න කියලා හම්බුන තැම්බුම් හොද්ද ජනේලෙන් එළියට විසි කරන්න පුළුවන් උනා... 

සුදු අයියා ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන‌ෙකාටත් මං කාලා නෑ.. ගෙදර ඉන්න දවසට දවස තිස්සෙම කෑවත් බඩ පිරෙන්නේ නෑ.. ඒත් බතුයි පරිප්පුයි කන්න පුළුවන් මොකාටද... මං හිමීට සුදු අයියට කතා කළා... 

සුදු අයියේ.. අනෙ මේවා කන්න බෑ හලෝ...  
මං ඇඳ උඩට වෙලාම හිමීට කිව්වේ අයියා ඒ ළඟපාත ඉන්නවා කියලා දැනුන නිසා..  

ඔහොම තමයි.. හොඳ වැඩේ.. අපි නං මෙහෙ හොඳට වැඩ දෙනවා..

මේකා නං හරිම නරකයි.... මට සුදු අයියත් එක්කත් තරහා ගියා... 

හරි හරි... ඉන්නවා බලන්න මොනා හරි තියෙනවාද කියලා ගෙනත් දෙන්න..

හොඳ සුදු අයියා.. 

ඕයි.. පපඩමක් විතරයි උස්සන්න පුළුවන් උනේ... ආ ගන්නවා..

ටික වෙලාවකින් එහෙම කියාගෙන ඇවිත් පපඩමක් දික් කළා කාමරේට... වෙලාවේ හැටියට ඒකත් දිව්‍ය බෝජනයක්... පපඩමේ පිහිටෙන් මං බත් ටික කෑවා...  

මතු සම්බන්ධයි... 


ප/ලි 

මේ දවස් ටිකේම ඩයලොග් අවුලක් හින්දා බ්ලොග්ස්පොට් වලට යන්න බෑ මට..  ( දහපාරක් විතර කෝල් කළාට පස්සේ පිළිගත්තා එයාලගේ අවුලක් කියලා.. ඒ මදිවට එතන ඉන්න සමහර කට්ටිය බ්ලොග් කියන්නේ මොනාද කියලා දන්නෙත් නෑ කියලා කෝල් කරපු සමහර කිව්වා .. හි හි ) 

අපේ රටේ පාරිභෝගික සේවාවන් ගැන මල් හතේ රිපෝට් එකක් හිතේ තියාගෙන‌ මේ දවස් ටිකේ බැන බැන ඉන්නවා.... ඒක නිසා කමෙන්ට් නොදැම්මට කට්ටිය සමාවෙන්න හොදේ... රීඩරෙන් කියවන්න පුළුවන් නිසා පෝස්ට් නම් හැම එකම කියවනවා... එච්චර තමයි ඉතිං... ඒක නිසා කමෙන්ට් දාන්න නම් බෑ...  අඟහරුවාදා වෙනකම් මේ සන්තෑසිය තියෙයිද දන්නේ නැති නිසා මේක දාන්න හිතුවා.. මේක දාන්න පුළුවන් වෙයි කියලා හිතනවා... 

Friday, January 18, 2013

කවුද දන්නේ මේක මෙහෙම එකක් කියලා.... පාරමී දම් 7 කොටස

අගක් මුලක් හිතාගන්න බැරි නම් ඔන්න පහුගිය ටික... 



වෙනදා වගේම උදේම නැගිටලා, කම්මැලිකමේ වැනි වැනි ගිහින් බාත් රෑම් එකට රිංග ගත්තට අද මගේ ඇඟට හරි නෑ.. මොකද මන්දා... බඩත් අප්සට්... අම්මට කිව්වොත් ඉතිං ඔය අද ටෙස්ට් එකක් තියෙන හින්දා නේද කියලා අහන නිසා ඕවා අම්මට කියලා වැඩක් නෑ... කොහොමත් අඳෙන් නැගිටගන්න බැරි තරම් ලෙඩක් නැත්තම් අපේ අම්මත් එක්ක ඉස්කෝල කට් කිරිල්ල නම් බොරු..

මං එහෙම්ම ෂවර් එක යට හිට ගත්තේ එත‌ෙකාටවත් ඇඟට පණ එයිනේ කියලා.. සී...තලයි අප්පා....... මං ගැහි ගැහීම සබන් ගාගත්තා.. ඇදුම් ටිකත් එකපාරටම හෝදලා දාන එක ලේසියි.... 

මේ මොනාද..... මාව තවත් සීතල වෙලා ගියා....රැක් එකේ මොනා හරි තිබිලා ඇඳුම් වල ගෑවිලද... 

අම්මේ...... එන්න‌කෝ චුට්ටක්....

මං බාත් රෑම් එකේ ඉඳලම කෑ ගැහුවා.... අම්මා ඇවිත් දොරට තට්ටු කරනකම් මං හිටියේ ගල් වෙලා වගේ... 

මොකද මේ...කෑ ගැහුවේ මොකෝ...

අම්මා මාව දැකලා බයවෙන්න ඇති.. 

මේ මොනාද ගෑවිලා තියෙන්නේ...

මං අම්මට ඇඳුම් ටික දික් කළා.. 

ඇඳුම් ටික දැක්කම අම්මට හිනා ගියා... මේකේ මොනාද හිනාවෙන්න තියෙන්නේ.... මට තාමත් බයයි...

හ්ම්... මොකද මේ... ලොකු ගෑණූ ළමයෙක් මෙහෙමද ඉන්නේ..

එතකොටයි මට මතක් උනේ... හදිසියට මං හිටියේ නියම පොඩි එකා විදියට....අම්මා හිනාවෙවී මගේ ලොකු තුවාය ඇන්දුවා... 

මොකද අම්මේ.... ඒ මොනාද...

මං කියන්න හදපු දේ ඉවර කරන්න දුන්නේ නෑ අම්මා.. 

කෑ නොගහා ඇතුලට වෙලා ඉන්නවා.. මං ඉක්මණට එන්නම්...

අම්මා මගේ නළල සිප ගන්න ගමන් කිව්වා... මේ මොන මල කෝළමක්ද..මට තාම මීටර් නෑ මොනවද මේ වෙන්නේ කියලා... 

ටික වෙලාවකින් අම්මා ආපහු ආවේ ලොකු සුදු රෙද්දක් අරං.. ඒක මගේ ඔලුවේ ඉඳන් දානකොට මට කේන්ති ගියා.. මොන කෙහෙල්මලක්ද මේ... 

මොකද අම්මේ...

කෑ ගහන්නේ නැතුව ඉන්න..මං ඔයාට පස්සේ කියන්නම්....

අම්මා ඉන්නේ පුදුම සතුටකින්... ඒත් මට නං තාම තේරුනේ නෑ මොකද මේ වෙන්නේ කියලා... අම්මා මාව කාමරේට එක්කන් යනකොට අයියා එහා පැත්තේ ඉඳන් හිනාවෙනවා මට ඇහුනා.. මං ඒ පැත්ත බලද්දි අම්මා මගේ ඔලුව පහලට හැරෙව්වා... 

කාමරේට ආවට පස්සේ මං රෙද්ද පැත්තකට විසිකරලා දැම්මා... 

මොකද අම්මේ...

දැන් නං මට හොඳටම කේන්තියි... 

කියන්නං කියන්නං...

අම්මා මාව ඇදේ වාඩි කරවලා මගේ පැත්තකින් ඉඳගත්තා...

ඔයා.. දැං ගොඩක් ලොකු ගෑණු ළමයෙක්... බිග් ගර්ල් කෙනෙක්..

මොකක්.... ඒ වචනේ නම් හොඳට අහලා පුරුදුයි... ක්ලාස් එකෙත් එහෙන් මෙහෙන් හැමතිස්සෙම කතාවෙන එකක්.. දැන් නේ මට තේරෙන්නේ.. ඇයි වදේ.. මෙහෙම එකක් ගැන දන්නවයැ... එතකොට ඒක මෙහෙම එකක්ද... මං ඕවා දැනගෙන හිටියයැ... ඉතිං මේකේ පාටි දාන්න දෙයක් තියෙනවයැ.. ගිය අවුරුද්දෙ සිතාරි අක්කගේ බිග් ගර්ල් පාටියට වත් ගිය වෙලාවේ මට මෙහෙම එකක් තේරුණේ නෑ නේ...

මට නම් මොළේ කොලොප්පම්... මං මේවා දැනං හිටියයැ.... මාර පණ්ඩිතයෙක් තමයි මාත්.. මං මටම හිනා උනා..



මතු සම්බන්ධයි

Wednesday, January 16, 2013

අයියලා ජාතියම එකයි... පාරමී දම් 6 කොටස

පහුගිය කොටස් ටික මෙන්න මෙතනින් බලන්න.. 


උදේ ඉඳන් කාපු කට්ට මදිවට හෝමගම හරියෙදි කෝච්චිය හිට්ටා.... දැං ඉතිං කෝච්චියෙන් බඩගාලා බැහැලා, බස් පාර හොයාගෙන ගිහින්, බස් එකේ නැඟලා ඉස්කෝලෙට යන‌ෙකාට පරක්කු වෙලා තමයි ..

“ අපෝ අංජු අයියේ.... ඔයා ආපු නිසාද කොහෙද අද නම් අන්තිම කටු දවසක් වෙලා....”

සුදු අයියගේ අ‌ෙත් එල්ලිලා කෝච්චියෙන් පනින ගමන්ම මං කිව්වා... අංජු අයියා බයවෙලාද කොහෙද.. භූතයෙක් දැකලා වගේ බලාගෙන ඉන්නවා...

පාරට යනකම් නියරවල් දිගේ ඇවිත් යන්තම් හෝමගම බස් ස්ටෑන්ඩ් එක හොයාගත්තා... බස් හෝල්ට් එකේදි සුදු අයියා ඔලුව කස කස කල්පනා කරන්න පටන් ගත්තේ එයාලගේ ස්කූල් බස් එක තියෙනවා දැකලා කියල මට තේරුනා...

“ ඔයාලා යන්න සුදු අයියේ ස්කූල් බස් එකේ.. මං බස් එකට නඟින්නම් මෙතනින්..”

“ ඔයාව තනියෙන් යවලා මට අම්මගෙන් බැනුම් අහන්න බෑ... අංජු‌වෝ... මෙයාව ඉස්කෝලෙට දාගෙන යනවද.... මං හෙන රවුමක් ගහන්න එපැයි...”

“ අපෝ සුදු අයියේ.. මේ බයගුල්ලව මට ඇරලවන්න පුළුවන්.. ”

මං අංජු අයිය‌ට නෝණ්ඩියක් දැම්මම සුදු අයියා මට රැව්වනේ රැවිල්ලක්...

“ හරි හරි.. උඹලා පලයල්ලා.. මං නංගිව ඉස්කෝලෙට දාන්නම්... ”

පුදුමයි හා කියපු එකත්....

“ සුද්දී.. අතේ සල්ලි තියෙනවද....”

“ තියෙනවා ... 20ක් විතර..... ”

“ ආ.. මේකත් තියාගන්න... හවසටත් කෝච්චි නැතිවුනොත් බස් හෝල්ට් එකේ ඉන්න.. මං එතනට එන්නම්...”

“ ඔයාට අද ක්ලාස් නේද...”

“ මලා...ක්ලාස් නේන්නං.. අනේ අංජු කෝච්චි නැති උනොත් මෙයාව ටිකක් බලපං...මට අද කෙමිස්ට්‍රි ක්ලාස් මචං.. අපි තුන් දෙනාම අද නෑ... සුජියටත් බණ්ඩගේ ක්ලාස්...”

“ හරි හරි.. මං නංගිව ගෙදරටම ඇරලවන්නම්.. දැං පලයන්.. අර බස් එක අද්දන්න හදන්නේ...”

“ සුද්දි.. එහෙනං පරිස්සමින් යනවා හරිද...”

සුදු අයියා අතත් වනාගෙන පාර පැන්නෙ දෙපැත්තවත් බලන්නේ නැතුව...

“ මට පරිස්සමින් යන්න කියන්නේ.. ඉස්සර වෙලා පරිස්සං කරන්න වෙන්නේ එයාව... පාර පැන්න හැටි බලන්නෙවත් නැතුව.. කොයිවෙලාවක හරි මොනා හරි කරගන්නවා..”

මං අංජු අයියට කියාගෙන ගියා... අංජු අයියත් හිනාවෙවීම මාවත් ඇදගෙන පාර පැන්නා...


නවත්තලා තිබ්බ බස් එකකට නැගලා අපි දෙන්නම සීට් එකක් අල්ලගෙන ඉඳගත්තා.. මං අයිනට පැන ගත්තා වෙනදා වගේම... ජනේලේ වහලා... මං අරින්න හැදුවා... ඒක හිරවෙලා.. අයියෝ මේ කබල් බස්...

කෝ .. ඉන්න මං ඇරලා දෙන්න... 

අංජු අයියා ජනේලෙට අත තිබ්බා... 

ඒයි.. ‌මේක ඇරියම කොණ්ඩේ අවුල් වෙනවනේ... 

ආයිත් මගේ දිහා බලලා ජනේලේ අතෑරියා... 

අපෝ... අවුල් වෙන්නම කොණ්ඩෙ මේක... ”

මං පුරුද්දටම අංජු අයියගේ කොණ්ඩේ අවුල් කළා... 

‌“ ඒ මොකද්ද කළේ... මං මේ පැය ගානක් දඟලලා පීරලා හොඳට තියං හිටිය කොණ්ඩේ...

ඒ පාර කොණ්ඩේ හදනවා... අපෝ.. මෙයා සුදු අයියට අන්තයි..... මං හිනා වෙවී බලං හිටියා.... 

මොනාද බලන්නෙ...

බකමුණා වගේ මූණ හදාගෙන අහනවා.... මොනා කියන්නද.. අයියලා ඔක්කොටම පිස්සු කියලා ආයිත් කියන්නයැ... මං ජනේලෙන් එළිය බලා ගත්තා...

ඒ.. නිල්මි නංගි.. බඩ්ඩක් පෙන්නන්නද...

මොකද්ද...

අර අතන ඉන්න ගර්ල්...ලස්සනයි නේද...

මූ මාර කුකුලෙක්... 

අර අපේ ඉස්කෝලේ ගර්ල්ද...

හ්ම්ම්..

මං එයාව දැකලා නම් තියෙනවා මීට කලින්... කෝච්චියේ යන එක්කෙනෙක් නෙවෙයි මං හිතන්නේ..

නම දන් නෑ...

මේ යකාට පිස්සුද මන්දා... මම හැම කෙල්ලගෙම විස්තර දන්නවා කියලා හිතාගෙනද කොහෙද...අපේ අයියට අන්තයි... 

කොණ්ඩේ දිග බලනවකෝ... ලස්සනයි නේ...

මේ පිරිමින්ට නම් ගෑණුන්ගේ කොණ්ඩ ගැන පුදුම මේනියාවක් තියෙන්නේ...

මේ ඔයා වෙන ලෝකෙකද ඉන්නේ...

ඒ පාර මොකාටද එන්න යන්නේ....

ඔව් අනේ.. මං මේ මායබන්ධන ලෝකේ හිටියේ..

මං නෝණ්ඩියට කියලා දාලා හිනා උනා... 

මේකි හරි හොර කෙල්ලෙක්....

සුදු අයියත් හැමතිස්සෙම කියනවා...

මං හයියෙන් හිනාවුනා... අප්පා.ඒකට නම් තරහා ගියාද මන්දා.... 

ඔයා එක්ක කතා කරලා බේරෙන්න බෑ නේ...

එයා සීට් එකට හේත්තු වෙලා ඇස් පියාගත්තා... ඒ පාර නම් මාත් එක්ක තරහා උනාද මන්දා... සුදු අයියව නම් ෂේප් කරගන්න පුළුවන්.. ඒත් මෙයාව.... අනේ... මට මොකෝ.. මට පාඩු වෙයි මෙයා මාත් එක්ක තරහා උනාම.... බස් එකෙන් බහිනකම්ම මාත් එක්ක කතා කළේ නෑ... සුදු අයියා හිටියනං වක්කඩ කැඩුවා වගේ කියවයි... 

අපෝ .. මෙයා හරි සීරියස් නේ.. 

මතු සම්බන්ධයි...

Wednesday, January 9, 2013

ඇයි අප්පා අපේ අයියට මොළයක් කියලා එකක් නැත්තේ... පාරමී දම් 5 කොටස


අගක් මුලක් හිතාගන්න බැරි නම් මෙන්න මෙතනට ගිහින් බලන්න..


ගනං හදන්න කියලා වේලාසනින් නැගිට්ට නිසා ඊළග දවසේ නම් අපි දෙන්නා ටිකක් වේලාසනින් ස්ටේෂන් එකට ගියා... නිදිමතේ මං හදන ගනං... අයියා කියලා දුන්න ටික ලියාගත්තා විතරයි... 

අපි යන‌කොට අනිත් කට්ටිය ස්ටේෂන් එකට ඇවිත්... තරිඳු අයියා බංකුවක ඉඳගෙන සපත්තු පොලිෂ් කරනවා.. අපේ අයියත් ටැප් එකක් හොයාගෙන ගියේ කලුවරේ උඩ බලං එනකොට මඩ වලකට පැනලා මඩ නාගෙන ආපු නිසා... 

Good morning කසුන්... උඹ අද වේලාසනින් ආවේ ඇයි බං.. දැං හවසටත් නාන්න වෙයිද දන් නෑ.....

පල ඩෝ යන්න... පාරේ අලි නාවන වලවල්.... කරුවලේ එන්න ගියාම අතපත ගගා.. පුදුම කරුමයක්... ෂික්..  කලිසමත් ඉවරයි....

අත පත ගගා.. ‌ඒ මොනාද බං අතපත ගාන්නේ.. උඹ කාගෙන් හරි සෙරප්පු පාරක් කෑවද... ඔය මූණෙත් මඩ...

කුණුහරුප අහගන්නෙපා මගෙන් උඹ...

අපේ අයියට අම්මබානක තද වෙලා... බැන බැනම මූණ හෝදන්න පටං ගත්තා... 

මොකද බං උදේ පාන්දර පොර කුකල්ලු වගේ කොටා ගන්නේ... අහකට වෙයන් පොඩ්ඩක්.....”

කොහෙන්දෝ පාත් වෙච්ච තරංග අයියත් එතනට ඇවිත් සුදු අයියව පැත්තකට තල්ලු කළා... තරංග අයියත් එක්කම ආපු අංජන අයියා මගේ ගාව නතර උනා... මුන් ඔක්කොම මඩ නාලා ආවත් මෙයා නං කිරි කොකා වගේ... 

Good Morning අංජන අයියේ.. ඔයා මඩ වලවල් ටෙස්ට් කරන්න ගියේ නැද්ද... 

නෑ... මං බස් එකේ ආවේ අද... 

අප්පා හිනාව...... 

මං හිතුවා ඌරු කොටුවට සෙට් වෙච්ච නිසා ඔයත් මෙයාලා වගේමයි කියලා...

අපොයි මගේ කට... 

ඌරු කොටුව...?

ඔය ඉන්නේ ඌරෝ ටික....”

මං ටැප් එකට පොරකන සෙට් එක පෙන්නුවා ඇහෙන්ම...

ඒක නං පේනවා.. ඒක නෙවෙයි...ඔයා කො‌ෙහාමද මගේ නම දන්නේ..

අංජන අයියා ලේන්සුවක් ඇඳලා අරගෙන මූණ පිහදාන ගමන් ඇහුවා...

ඇයි අර ඉන්නේ .. බී.බී.සී. රිපෝටර් කෙනෙක්...

මං ඔලුවෙන් අපේ අයියව පෙන්නුවා... 

රිපෝටර් කෙනෙක්ද....

එයාට හිනාගියා... මං කියපු එකටද අර කට්ටියගේ රණ්ඩුවටද දන් නෑ...

ඔව්.. හොඳම ජාතියේ..

මං කෝච්චියට නැග්ගා.. අයියලා අදත් එල්ලෙයි කෝච්චිය ඇද්දුවාම...

ඔයා..... නිල්මි නේද..

හ්ම්ම්... ඔව්.. 

මගේ යාලුවෝ කියන්නේ අංජු කියලා... ඔයත් ඒකම කියන්න.. මට පුරුදු ඒක....

අංජු...? ඒක ගෑණූ නමක් නේ...ඔයත් ගෑණු ළමයෙක් වගේද...”

මං සීට් එක පිහදාන්න ගත්තා.. කෝච්චියේ ඉඳගන්නවා නම් සීට් එක පිහිදාලා ඉඳගන්න ඕනේ.. නැත්තම් බහිනකොට සායේ පිටිපස්සේ සීට් එකේ ලී වල පාර හිටලා තියෙනවා දූවිලි වලින්.. අනිත් එක ඊයේ වැස්සට තෙමිලත් එක්ක .... 

මං දන් නෑ..ඔයාටම දැනගන්න වෙයි...  

සීට් එක පිහදාපු කොළ කෑල්ල ජනේලෙන් එළියට විසි කරලා අංජු අයියත් මං ගාවින් වාඩි උනා.. 

මොනාද බං කොල විසි කරන්නේ .. බලපං දැං ... 

තරිඳු අයියගේ කටේ සද්දේ......

මොකද තමුසේ මෙතන කරන්නේ ... කො අද අර චණ්ඩි යාලුවෝ ටික....

අපේ අයියා අංජු අයියට එහා පැත්තෙන් වාඩි වෙලා මට කැ ගැහුවා... ඇත්ත තමයි.. මං අද ඉඳගත්තේ සුදු අයියලා ඉන්න පැත්තේ.. මොනා කරන්නද... අපි යන පැත්ත තෙමිලනේ... 

කවුද ඔයා ළඟට ආවේ.. මං ඉන්නේ අංජු අයියා ගාව...

අංජු... අම්මට හුඩු.. ඒ පාර දැම්මම නික් නේම් එකකුත් දාගෙනද... මෙච්චර ඉක්මණට... මේ අංජු.. මට උඹව මට මස්සිනා කරගන්න වෙන එකක් නෑ නේ...

අපේ අයියට පිස්සු... 

ඊයේ ගෙදර ගිහින් මෙයා අහනවා කවුද අර අලුත් සුදු බෝයි කියලා... මං ඇහුවා කවුද කියලා... ඒ පාර කියනවා ඇයි අර ලස්සන කොණ්ඩයක් තිබ්බ සුදු, උස අයියා කියලා... ඊට පස්සේ කියනවා හරි වැදගත් පාටයිලු.. කොහොමද අංජු උඹේ කාඩ් එක.... 

සුදු අයියගේ කටට කෝච්චියත් පරාදයි... අංජු අයියගේ කාඩ් එක කෙසේ වෙතත් මගේ කාඩ් එක නම් කුඩු.. ඇයි අප්පා අපේ අයියට මොළයක් කියලා දෙයක් නැත්තේ...

එහෙම තමා.. අපි වගේ වැදගත් අයව කොහෙ ගියත් පිළිගන්නවා...

අංජු අයියා කොලර් එක හදන ගමන්ම මට ඇහැක් ගැහුවා..මෙයා ගිය උඩ.... 

අපෝ.. හරි වැදගතා...

මං ගස්සලා අහක බලා ගත්තට මට හිනා ගියා... මුන්ට පිස්සු.....

මතු සම්බන්ධයි...

Tuesday, January 8, 2013

මට ගනං උස්සන්න... හිතුවා මදි.... පාරමි දම් 4 කොටස

අගක් මුලක් නැත්තම් මෙන්න මේ පැත්තට ගිහින් බලන්න.... 




ඉස්කෝලේ ගෙදර වැඩ කරන්න ගියාම තමයි මට තරු විසි උනේ.... අයියෝ..... ගනං...... 

මං හිමීට පොතත් උස්සගෙන සුදු අයියා ළඟට කිට්ටු උනා... 

සුදු අයියේ.. මේ ගනං වගයක් තියෙනවා අනේ... මට හදන්න තේරෙන්‌ෙන් නෑ.... ප්‍රතිශත... කියලා දෙන්නකෝ...

කන ඇහුන් නෑ වගේ ඉන්න හැටි විතරක්.... හයියෝ... මං දාගන්න ලෙඩ... 

අනේ අයියේ... කියලා දෙනවකෝ....

මට බෑ... හදාගන්නවා මට පාට් දාගෙන හිටියා වගේ.... දන්න විදියට හදා ගන්නවා... ඕවට විතරයි තමුසෙට මාව ඕනේ වෙන්නේ...

සුදු අයියා මගේ දිහා බලන්නේ වත් නැතුව කියලා දැම්මා... පුහ් මෙයාගේ ගනං... මටත් තරහා ගියා.... ඕන් නෑ .. මං හදාගන්නං.. මං ආපහු මේසේ ළඟට ඇවිත් ඉඳගත්තා.. 

ඒත් පැයක් විතර දැඟළුවත් මට එක ගාණකට වැඩිය හදා ගන්න බෑ.. මොන කරුමෙකට මේ ගනං උගන්නනවද මන්දා.... 

ෂීක්.. දැන්නං දමලා ගහලා ගිහින් නිදා ගන්න හිතෙනවා.... මාර නිදි මතයි.... සුදු අයියා නං තාම පාඩම් කරනවා... එයාට මොකෝ... එයාට ඉතිං සයන්ස් කිව්වොත් එච්චර තමයි... කොයි වෙලාවෙත් බයෝ, ෆිසික්ස්, කෙමිස්ට්‍රි... සියලු සයන්ස්කාරයෝ අනිත්‍යයි කියලා, කියලා දෙන්න හිතෙනවා... මං මේසෙට ඔලුව තියාගත්තා.... 

සුද්දි .. නැගිටින්න.. දහයාමාරයි....

මාරයිනේ.. මට නින්ද ගිහින්ද කොහෙද... බලමු.. මෙයා මොනාද කරන්නේ කියලා.... මං නිදි වගේම හිටියා...

නැගිටිනවකෝ... මට තමුසෙව උස්සන් යන්න බෑ...

සුදු අයියා උරහිසෙන් අල්ලලා මාව හෙල්ලුවත් මං සද්ද නැතුව හිටියා... ටිකක් වෙලා බලං හිටපු සුදු අයියා හිමීට මාව වඩා ගත්තා... මට හිනායන්න ආවත් මං කට තද කරගෙන හිටියේ හොර අහුවෙන නිසා... එහෙම උනොත් ඩොග් ගාලා බිමට අතාරියි මාව.... 

හිමීට මාව ඇඳෙන් තියලා අයියා හිමීට මගේ නළලට සිප ගත්තා... 

මං කොහොමද ඔයා එක්ක තරහා වෙන්නේ සුදු....

අයියා හිමීට එහෙම කියනවා මට ඇහුනා... අනේ පවු... මගේ සුදු අයියා... 

ලයිට් එකත් ඕෆ් කරලා අයියා මටත් රෙද්දක් පොරවලම ඇඳේ පෙරළුනා... 

Good night සුදු අයියේ... 

ඔයා නිදි නැද්ද මැටිටියේ... 

ම්හු.. නෑ...

මං හිනා වෙවී කිව්වේ...

හරි නරකයි සුද්දි ඔයා...

සුදු අයියා මට කොට්ටෙකින් දමලා ගැහුවා... 

ඒ උනාට ඔයා මාත් එක්ක තරහා වෙන්නේ නෑ නේ...

යනවා යන්න... බොරු කරලා මෙතන....  දැං එනවා හුරතල් වෙන්න..

මේ.. හෙට උදේට අර ගනං ටික කියලා දෙනවද....

කෑ නොගහා නිදා ගන්නවා... හරි හරි.. කියලා දෙන්නම්..

මගේ හොඳ සුදු අයියා...

දැං නිදා ගන්නවකෝ. වද නොදී... නැත්තම් මං යනවා එහා කාමරේට... 

මං කට වහගත්තා... ඔය තර්ජනේට මං හරි බයයි... 

සුදු අයියේ....

ම්ම්ම්...

Good night..

Good night සුදු...



මතු සම්බන්ධයි

Thursday, January 3, 2013

පෙරේතයා.... පාරමී දම් 3 කොටස





“ සුදු අයියේ... කවුද අර අද ඇවිත් හිටිය අලුත් අයියා.... 

මං ඇහුවේ කෑම කන ගමන්... කොහොමත් අපි ගෙදර ඇවිත් දවල්ට නෙවෙයිනේ කන්නේ... දවල්ටත් නැති රෑටත් නැති කෑම වේලක්... 

කවුද...

අර සුදු, උස අයියා කෙනෙක් නැග්ගේ මඟදි...

මතක නෑ ඕයි...

ඇයි හලෝ අර ලස්සන කොණ්ඩයක් තිබ්බ කොල්ලෙක් නැග්ගේ.. ඔයා කතා කර කර ගියේ... 

කවුද .. අංජු ද.. 

නම දන්නවනං ඔයාගෙන් අහනවද අනේ... 

ඌ තමයි... මං වැඩිය දන්නේ නෑ... අපේ ඉස්කෝලෙ එකෙක් නෙවෙයි...

ඇත්තද...ඒක තමයි... 

මං කිව්වේ නෝණ්ඩි හිනාවක් දාලා... 

මොකද ඒක තමයි කිව්වේ... 

නෑ ඉතිං.. වැදගත් විදියට හිටියනේ.. මං හිතුවා ඔයාලගේ ඉස්කෝලේ නෙවෙයි වෙන්න ඇති කියලා...

... එතකොට අපේ ඉස්කෝලෙ ඉන්නේ වැදගත් නැති එවුන් ..... ඕවට එන්න එපා හරිද සුද්දි.. අපේ කොල්ලන්ට අනම් මනං කියන්න... ” 

හරි හරි... හොඳ වැදගත් එවුන් ටිකක් නේ ඉන්නේ... කාඩිබෝඩ් වීරයෝ....

මං අන්තිම ටික කිව්වේ ටිකක් ඇදලා.. හිමීට.. 

මං තමුසෙට කියන් නෑ..

ඔයා ඉතිං කවදාවත් කියන් නෑ නේ .... 

මං සුදු අයියව විහිළුවට ගත්තා.. එයාට කේන්ති ගියාම බලන්න ලස්සනයි... කන් දෙකේ ඉඳලා රතු වෙනවා.... 

ඕනෙවට වැඩියි සුද්දි තමුසේ...

සුදු අයියා බත් එකත් පැත්තකට දාලා අත හෝදගෙන කාමරේට ගියේ හොඳටම කේන්ති ගිහින් කියලා මට තේරුනා... බය වෙලාද කොහෙද මං අම්මට කියයි කියලා... කාලා ඉවර වෙලා මං අම්මා හදලා තිබ්බ වටලප්පන් එකක් අරගෙන කාමරේට ගියේ මෙයාව ෂේප් කරගන්න ඕනේ නිසා... 

ආ....

අපෝ.... මෙයාට හොඳටම තද වෙලා... රැව්වා රැවිල්ලක් මට.... 


යනවා යන්න.. මට එපා... 

සුදු අයියා පොතත් මේසේ උඩට දාලා ඇඳේ පෙරලුනා...

මේ.. තරහා පැත්තකින් තියලා මේක ගන්නවද... නැත්තං මං කාලා දානවා හරිද....

මං කප් එක අයියගේ පිට උඩින් තියන ගමන් එයාට හිනා උනා.....  

ඉතිං කනවා... මට ඕන් නෑ...

පෙනේද තියෙන සෝබනේ... වෙනදට වටලප්පන් කිව්වම උඩ පැන ගෙන එන්නේ... ඉන්නවකෝ ඔහොම... 

අම්මේ.. මෙයාට වටලප්පන් එපාලු...  

මං කුස්සියටම ඇහෙන්න කෑ ගැහුවට අම්මා නෙවෙයි පැත්ත පලාතේ එන්නේ.. ඒක මම දන්නවනේ... අපි දෙන්නගේ වලි බේරන්න ගියාම අම්මට ඔලුව කැක්කුම හැදෙනවලු.... 

දෙනවා මෙහෙට.... 

සුදු අයියා නැගිටලා කප් එක මගෙ අතින් අරගෙන, කකුල් දෙකත් ඇඳ උඩින් තියාගෙන කන්න පටං ගත්තේ මට රවන ගමන්මයි... 

බලාගෙන... ඔහොම රවන්න එපා වැඩිය... ලබන ආත්මේ බකමූණෙක් වෙයි...

මං එහෙම කිව්වේ අයියට එහා පැත්තෙන් වාඩි වෙන ගමන්... 

ඉතිං තමුසෙට මොකෝ....

අප්‌ෙප්.. මෙයාට තරහා ගිහින් තියෙන තරම... හැබැයි මූණ නම් රතු වෙලා නෑ....

සුදු අයියා මට රව රවම නැගිටලා කාමරෙන් එළියට ගියා... මං එයාව ගනන් ගන්නේ නැතුව හිටියේ තව ටිකක් අවුස්සන්න... 

අනේ මට මොකෝ ඔයා තරහා උනාට.... 



මතු සම්බන්ධයි

අගක් මුලක් හිතාගන්න බැරි නම් මෙන්න මේ පැත්තට චුට්ටක් ගිහින් බලන්නකෝ.... 

Sunday, December 30, 2012

උගන්නන්නංකෝ හොඳ පාඩමක්.... පාරමී දම් 2 කොටස


මොකද හලෝ.... මූණ ඩබල් කරගෙන... වලියක් වත් දාගත්තද අයියත් එක්ක..

මධු මගේ පිටට පාරක් ගහලම ඇහුවේ ඒකගේ පුරුද්ද නිසා.. ඌ ළඟ ඉන්න එකා ගුටි කන එක සාමාන්‍ය දෙයක්... 

ඩබල් තමයි... අරයට කොච්චර කිව්වත් අහන්නේ නෑ නේ ෆුට්බෝඩ් යන්න එපා කියලා... වවුල් පුරුද්දට එල්ලිලාමයි යන්නේ...

හම්ම්... ඔය කට්ටිය ෆුට්බෝඩ් එක බදු අරන්නේ ඉන්නේ.. හැටි තමයි ඉතිං.. මොකද කරන්නේ....

මේ.. අපිත් යන්ද ෆුට් බෝඩ්..... 

ඒ.. මාත් හෙන ආසයි අක්කේ... යන්කෝ.... 

මධු කොහොමත් ඔය වගේ වැඩ වලට පැනලා තමා.... 

අපි දෙන්නා චණ්ඩි දෙන්නා වගේ ෆුට් බෝඩ් එකට ගිහින් කණුවක් අල්ලගෙන හේත්තුවක් දාගත්තේ බය හින්දම තමයි.. ඒත් ඉතිං ඒක පෙන්නන්න පුළුවන් යැ.... මං ගනන් පාට් එකක් දාන ගමන්, ටයි එක බෙල්ට් එකට යට කරන කොට කොල්ලො ටික හොල්මන් වෙලා බලාගෙන හිටියා... 

ඒ .. කසුන්... උඹේ නංගි නේ අර ෆුට්බෝඩ් එකේ ඉන්නේ...

කට ඇරන් බලං හිටපු සුජීව අයියට තමයි මුලින්ම සිහිය ආවේ... 

ඔව් මං දැක්කා බං... 

සුදු අයියා බොහොම ඉවසිලිවන්තව කිව්වා... 

අඩෝ කසුනයා... අර උඹලෑ නංගි ෆුට්බෝඩ් එකේ....

තරිඳු අයියා කට දැම්මේ සුදු අයියගේ මූණ රතුවෙනවත් එක්කම තමයි.. අපෝ... ඔය නපුරු පාටට මං බයයි..... මං ගනන් ගන්නේ නැතුව එළිය බලා ගත්තා... 

දැක්ක යකෝ... කෑ නොගහ හිටපං...ඔය මාත් එක්ක මළට වෙන්න ඕනේ..

අයියලා සෙට් එකම අපි ළඟට ආවේ පොලිස්කාරයෝ ටිකක් ගේ... මගේ පපුවඩොග්’ ‘ඩොග්ගාලා ගැහෙන්න පටං ගත්තා... 

සුද්දි.. මොකෝ මේ  ෆුට්බෝඩ් එකේ...... ගිහින් ඇතුලෙන් ඉඳගන්නවා....”

ඇයි ඔයාලට විතරද ෆුට්බෝඩ් යන්න පුළුවන්...ලියලා දීලා නෑ නේ....

මං ගනං පාට් එකෙන්ම ඇහුවා... 

ආ.. ඒකද මේ...

ඔව් ... ඒක තමයි.. මට අවවාද දෙන්න කලින් ඔයා හැදිලා ඉන්න...ඔයාටයි ඔයාගේ යාලුවෝ ටිකටයි ෆුට්බෝඩ් එකේම යන්න ඕනෙනේ... හිතාන ඇති මහ ලොකු වීරයෝ කියලා... වීරයෝ වෙන වගක් නම් මං දන්නෙ නෑ... හැබැයි කාඩ් බෝඩ් වීර ගතිය නම් හොඳට පේනවා....හිතාගෙන ඇති ලොක්කෝ කියලා හිතලා කෙල්ලො යාලු වෙයි කියලා... යාලු වෙයි.. මැන්ටලයක්... මොළයක් තියෙන කෙල්ලෙක්නම්  පැත්ත බලන්නේ නෑ...

මං එහෙම කිව්වේ කට්ටියගෙම චින්තනෙයි දර්ශනෙයි මං දන්න නිසා.. කෙල්ලන්ට පේන්න කරන වැඩ..... වෙනදට පැනගෙන තර්ක කරන කට්ටිය කටවල් ඇරගෙන බලං ඉන්නවා... 

හරි හලෝ... අපි සෙල්ලමට නේ යන්නේ.. වද නොදී ගිහින් ඉඳ ගන්නවකෝ ඇතුලෙන්....  

සුදු අයියා එහෙම කිව්වම මට ආව කේන්තිය...... 

සෙල්ලම තමයි කවදහරි ලෙල්ලම වෙන්නේ... ඔහොම එල්ලිලා යද්දි බැරි වෙලා හරි අතක් ලෙස්සලා ගියොත්... ආයි එල්ලිලා තියා කෙලින් හිටගන්නවත් පුළුවන් වෙයිද කියලා ඔයාලා හිතන් නෑ නේ....ඔයාලට මොනා හරි උනොත් අර අහිංසක අම්මලට මොනාද වෙන්නේ... මට මොනාද වෙන්නේ සුදු අයියේ.... ඕගොල්ලෝ ඔය මුකුත් හිතන්නේ නෑ.. සෙල්ලමයි විහිළුවයි විතරයි ඔයාලට ඕනේ..

මගේ ඇස් දෙකට කඳුලු උනාගෙන ආවේ, කියන්න තව ගොඩක් දේවල් තිබ්බත් හිතේ තිබ්බ කේන්තියයි දුකයි හින්දා, කතා කරන්න හයියක් නැති උන නිසා... මං කඳුලු පිහිදගෙන සුදු අයියා දිහා බැලුවා...

සොරි සුද්දියේ...

සොරි කිව්වම ඔක්කොම හරියනවද...

මං සුදු අයියගේ අතින් අල්ලගන්න ගමන් ඇහුවා... 

හරි හරි.. මං ප්‍රොමිස් වෙන්නම්...  

ඔව් හරි... අපි ඔක්කොම පොරොන්දු වෙනවා.. දැංවත් ඇතුලට ගිහින් ඉඳගන්නවද... ඔයා මොනා හරි කරගත්තොත් මූ අපිව මරං කයි...

ඒ පැන්නේ තරංග අයියා... 

සුදු අයියා ‌ගෙ අතින් අල්ලගෙන ආපහු අපි බෑග් තිබ්බ තැනට යන‌ෙකාට මධුත් අඩියට දෙකට එතනට පැනලා ඉදගත්තා... 

හොඳ අයියා...

අපෝ.. වැඩිය බටර් එපා... 

මගේ ළඟින් වාඩි උන අරුණ අයියා මගේ කොණ්ඩෙන් ඇද්දා... 

කසුන්... දැං අපි බහින්නෙ කොහෙන්ද......

තරිඳු අයියා රුක් සටහනක් ගහගත්තා අරුණ අයියගේ කකුල උඩ... 

ඇයි උඹට ඒකත් අමතක උනාද ඒ ටිකට....

සුදු අයියගේ කටහඬ වෙනස් වෙලා කියලා තේරුනේ මට විතරද කොහෙද...

නෑ බං... දැං උඹලා ප්‍රොමිස් උනා නේද ෆුට්බෝඩ් යන්නේ නෑ කියලා... ඉතිං දැං අපි බහින්නේ ජනේලෙන්ද.... 

තරිඳු අයියා ගානක් නැතුව කියලා දැම්මා... 

ඔයා නං අන්තිම නරකයි තරිඳු අයියේ... 

මධු තරිඳු අයියව බිමට වැටෙන්නම තල්ලු කරලා දැම්මා... ඌ ළඟ ඉඳගත්තොත් ඔය වගේ එකක් වෙනවමනේ... 

ඒ අස්සේ මං සුදු අයියගේ අතින් අල්ලගත්තා... 

ආයිත් යන්නේ නෑ හොඳේ ෆුට් බෝඩ්....

නෑ.... නෑ.. නෑමයි... ඇති නේ...

සුදු අයියත් එහෙම කියාගෙනම මගේ ළඟින් ඉඳගත්තා...


මතු සම්බන්ධයි

අග මුල හොයා ගන්න මේ පැත්තට ගියා නම් පුළුවන්...