Wednesday, November 12, 2014

මේ රටේ මිනිස්සු... තනිකර කෙලින්නෙ පිස්සූ.....


ගොඩ දවසකින් ලියන්න බැරි උනා.. හේතුව ඉතිං කොයි වෙලාවෙත් ගෙදර නැති එක තමයි.. අනිත් එක මෙහෙ හැමතිස්සෙම කරන්ට් යනව... UPS එකකුත් නැති හින්ද මල වදේ... 

කොහෙමත් හැමදාම ගෙදර එනකොට රෑ 7 විතර වෙනවා.. ඊට පස්සෙ ඉතිං කන්න දෙයක් හදල කම්පියුටරේ ඉස්සරහා වාඩි උනාම කොට කොට ඉන්න හිතෙන්නෙ නෑ... ඔය ටීවී සීරීස් එකක් දාගෙන පැයක් ව්තර බලල, ගිහින් නිදා ගන්නව මිසක්... 

ඒ කොහොම උනත් ලියන්න දේවල් නං නෑ කියල කියන්න බෑ.. අපේ කඩේ ඉන්නකොට නානාප්‍රකාර චරිත හම්බුවෙනව.. ඒවා ඉතිං ලියන්න ඕනෙ කියල හිතාගත්තට ගෙදර එනකොට අමතක වෙලා... හි හි... 

ඒ උනත් මේ අද උදේ කට්ටියගෙ පුස් කාපු පෝස්ට් බලනකොට සිරා ලියපු පෝස්ට් එකකට කට්ටිය දාලා තියෙන කමෙන්ට් දැකල, කාලයක් තිස්සෙ ලියන්න ඕනෙ කියල හිතපු දෙයක් ලියල දාන්න හිතුන... වෙනදා වගේ ආරලු බුරලු දාන්න වෙලාවකුත් නැ...ඒක නිසා ඔන්නොහෙ කෙලින්ම කතාවට බහිමුකො... 

ඒ තමයි මේ අපේ රටේ වගේ රටවල් වල මිනිස්සු බොහොම කලාතුරකින්වත් කෝටිපතියො බිලියනපතියො වෙන්නෙ නැත්තෙ කකුලෙන් අඳින උන් වැඩි හින්ද කියන එක... 

ගිය ඉරිද ලංකාදීපෙ ඊයෙ උඩින් පල්ලෙන් බලනකොට ඒකෙ තිබ්බ පෝර වලට ගත යුතු මට්ටමේ කසල තේ දැං පිටරටටත් යවනව කියල.. මට ඇත්තටම ‘‘ ඇති යන්තං ‘‘ කියල කියවුනා. ඒ මොකද කිව්වොත් දැංවත් මේ යක්කු මේ වැඩේ නවත්තන්න මොනා හරි කරයි කියල හිතිච්ච නිසා... 

ඇයි ඉතිං කාලයක් තිස්සෙ අපේ රටේ තේ ඉහල ප්‍රමිතියෙන් කියල පිටරටවලට ගියාට අපි බිව්වෙ කසල තේ කුඩුනෙ... මං ඔය වෙනස දන්නෙ අපේ ගෙදරට එහා පැත්තෙ කට්ටිය වත්තෙ තේ දැම්මම, දළු කඩන වෙලාවට අපේ අම්මට දළු මිටක් දීලා තිබ්බ... අම්ම ඕක අවන් එකේ දාලා වේලල අරං, පොඩ්ඩක් කුඩු කරල අරං තේ හැදුව... ඒක පුදුම රසක්... මේ මං කිව්වෙ පාදුක්ක පැත්තෙ තේ ගැන... එතකොට කොහොමත් හොඳයි කියන උඩරට තේ කොච්චර රස ඇතිද... ඒත් අපි කඩෙන් ගේන තේ කොල පැකට් වල ඔය රස නෑ නේ.. ප්ලෙන්ටියක් බොන්න ගියාම සීනි හොන්ඩරයක් විතර දාන්න ඕනෙ... 

මට අර විදියට කියවුන එක ගැන කාටහරි වැරදියට හිතෙන්න පුළුවන්.. රටට නරක නාමයක් එනවට හොඳයි කියන්නෙ ඇයි කියල... ඒත් නිකමට කල්පනා කරලා බලන්න... 

අපි කන පළතුරු ගැන.. 
අපි කන එළවළු ගැන..
අපි කන හාල් ගැන... 
අපි බොන කිරිපිටි ගැන.. 


තව ගොඩක් ජාති තියෙනව... 

අම්ම අසනීප උනාම මේ දේවල් මාර විදියට දැනෙන්න ගත්ත... 

කඩෙන් කෙහෙල් ඇවරියක් ගෙනාවම ඒක නැට්ටෙ ඉඳලම කහ පාටයි... කෙහෙල් නැට්ටට වෙනකම්ම කහ පාට උනාම ගෙඩිය ඉදිල වැඩිවෙලා කඩං වැටෙනව.. ඒ උනාට මේවා හොඳ හයියයි... අනේ.. බලනකොට අපේ මේ කඩවල මිනිස්සු කෙහෙල් කැනට රසායනික බෙහෙත් ( කෑමට සුදුසු නැති) ස්ප්‍රේ කරල දවසක් තියල විකුණනව... 

මඤ්ඤොක්ක අපි ගෙදර වත්තෙ ගහක් උදුරපුවම අල හතරක් පහක්ම කැඩෙනව.. මෙන්න පොලේ තියෙනව සීරුමක් වත් නැති ලස්සන ලොකු මඤ්‌‌ෙඤාක්ක අල... අනේ.. බලනකොට මේ මඤ්‌ඤොක්ක උගුල්ලන්න කලින් පසට බෙහෙතක් ගහනව... පස බුරුල් වෙන්න ... ඒක ගහල සතියක් යනකං මඤ්ඤොක්ක උගුල්ලන්න හොඳ නෑ.. ඒත් මේ මිනිස්සු ඊළඟ දවසෙම උගුල්ලලා පොලට එන වෙළදුන්ට විකුණනවා.. අර බෙහෙතෙ සැර යන්නත් කලින් මඤ්ඤොක්ක ටික අපේ බඩේ... 

මම සාමාන්‍යයෙන් ගෙදරට ගේන්නෙ රෝස කැකුළු කියන හාල් ජාතිය... පොලෙන් දවසක් ගෙනාපු හාල් ටික හෝදන්න හෝදන්න වතුර ටික රෝසම රොස පාටයි.. අනේ.. බැලින්නම් මේවට ඩයි දාලා... 

හැම එකාටම මිරිස් ගෙනල්ල වේලලා කොටාගන්න වෙලාවක් නෑ නේ.. අපි හැමෝම වගේ පාවිච්චි කරන්නෙ පැකට් කරලා සුපර් මාර්කට් වල තියෙන මිරිස් කුඩු... මාත් එහෙම ගෙනාපු මිරිස් වගයක් බොහොම පොඩ්ඩක් දැම්මම ඇති, හොද්ද රතුම රතු පාටයි... ඒත් මෙලෝ සැරක් නෑ... අනේ බැලින්නං මේවට ඩයි දාලා පාට කරල...

මේ ඩයි කියන්නෙ කෑමට සුදුසු කලරින් කියන ජාති එහෙම නෙවෙයි... ගොඩක් වෙලාවට කෑමට නොගත යුතු වර්ණක... 

මේ බොහොම පොඩි කතා ටිකක්... 

මට තියෙන ප්‍රශ්නෙ ඇයි මේ රටේ මිනිස්සු කවුරුහරි කන කෑමකට මේ වගේ දේවල් කරන්නෙ කියන එක... 

මම අපේ අම්මට හැමතිස්සෙම කියන දෙයක් තමයි ‘‘ ගනං වැඩි උනාට කමක් නෑ.. හැබැයි හරියට දෙන දේ දෙන්න “ කියන එක... 

ඒත් අපේ ගොඩක් මිනිස්සු හොයන්නෙ රස ගුණ නෙවෙයි... 

සෝබ‌නේ.... වටේ මිනිස්සුන්ට පෙන්නන්න කරන වැඩ... 

එක උදාහරණයක් මේ... 

ඔය මගුල් ගෙවල් වල දෙන කේක් කෑල්ල තියෙනවනෙ... වෙඩිං කේක් කෑල්ල කියන එක... ඕක ඉස්සර නං ටොපිය වගේ ඔතල දුන්න.. දැං පෙට්ටියක දානව.. 

සාමාන්‍යයෙන් ඔය පෙට්ටි තියෙනව රැ 25.00 විතර ඉඳන් බොහොම ලොකු ගනං වලට වෙනකං.. එක එක අමුදූව්‍ය වලින්, එක එක විදියට හදල...

ඉතිං ගිහින් හොයලා හොයල ගන්නවා රැ 50.00 විතර ලස්සනට හදල, නම ගම ප්‍රින්ට් කරපු පෙට්ටි.. තව රු 50 විතර වියදම් කරනවා වෙඩිං ඉන්විටේෂන් එක.. අනිත් ඒවා පැත්තක තියමුකො ඊට පස්සෙ.. 

අනේ අර පෙට්ටියට දාන්න කේක් කෑල්ල හොයං එනව රු 25- 30 කට විතර... 

ඒ වෙලාවට මම අහනව ඔයාලට කේක් පෙට්ටියට 50ක් වියදම් කරන්න පුළුවන් නං කේක් කෑල්ලට ඒ ගාන වියදම් කරන්න බැරිද කියල... එතකොට දෙන උත්තරේ තමයි “ නෑ ඉතිං .. කේක් පෙට්ටිය හැමෝම තියාගන්නවනෙ“ කියන එක... 

අනේ මං දන්නෙ නෑ... බොහොම වෙලාවට මේ මං වගේ ඔය කේක් පෙට්ටි අරවා මේවා හදන අය මිසක් වෙන‌ කවුරුවත් ඔය කේක් පෙට්ටි දවසකට දෙකකට වගේ පරිස්සම් කරන්නෙ නෑ... 

අනිත් එක වෙඩිං කේක් ස්ට්‍රක්චර් එක.... ඒ ගැන නං වෙනම පෝස්ට් එකක්ම ලියන්න වෙනව...

ඇයි හත්දෙයියනේ මේ රටේ වත් නොවිච්ච සම්ප්‍රදායක් කරන්න මේ තරං නහින්නෙ.... දෙනවලකො තේ එකක් එක්ක හොඳ චොක්ලට් කේක් කෑල්ලක්.. ඔය මල මඟුල් නැතුවට...

( සමහර දුප්පත් මිනිස්සු ණය වෙලා අමාරුවෙන් වෙඩිං කේක් කෑලි ගන්න හොයන් එනකොට මං පැහැදිලි කරල කියල දෙනව ඕක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි.. චොක්ලට් කේක් කිලෝ තුනක් ගෙනිහිල්ල කෑලි කපලා හවස තේ එකත් එක්ක කට්ටියට දෙන්න කියල... ඒ මිනිස්සු තේරුම් ගන්නවා... ) 

කොතනද අවුල තියෙන්නෙ කියන එක මට තාම හිතාගන්න බෑ... 

මේ තියෙන්නෙ බොහොම සිම්පල් වෙඩින් කේක් එකක්... රිජිෆොම් ඩමි නැත... බටර් කේක් කිලෝ 4යි... අඩි එකහමාරක් විතර උසයි... වැඩි විස්තර විකාර නෑ... රැ 8500 යි..  කෑලි 50කට ලේසියෙන්ම කපන්න පුළුවන්... 

Thursday, October 9, 2014

පහුගිය ටිකේ......


පහුගිය ටිකේ මැරිලා වගේ හිටියට මැරෙන්න වත් වෙලාවක් නැති තරං කරදර ගොඩක පැටලිල හිටපු හින්ද බ්ලොග් එකටත් අබ සරණම වෙලා ගියා.. අදත් මේ ටයිප් කරන්න ගත්තට කොහෙන් පටං ගන්නද කියල හිතා ගන්න බැරි කේස් එකක් තියෙන්නෙ.... 

දැනට මාස දෙක තුනකට කලින් අපෙ අම්මගෙ කකුල ඔපරේෂන් කරපු කතාව මං බ්ලොග් එකේ ලිව්වෙ එහෙට මෙහෙට දුවන අතරෙ.. මෙදා පාරත් ඒ වගේම තමයි... 

කකුලෙ ඔපරේෂන් එකෙන් පස්සෙ යන්තං අම්මා කෙලින් හිටගත්තට පස්සෙ තමයි අපි තුන් දෙනාගෙම හුස්ම හරියට වැටෙන්න ගත්තෙ.. ඒත් ඒ ගමන්ම අම්මට තවත් ඔපරේෂන් එකක් කරන්න සිද්ද උනා.. ඒක ඇවිල්ලා ගුද මාර්ගයේ “පොලිප්ස්“ කියන රෝගය... 

ජපුර ඉස්පිරිතාලේ අම්මගෙ කකුල ඔපරේෂන් එක කරපු දොස්තරටම මේ අමාරුව ගැන කිව්වම “ ඕක ඔච්චර ලොකු අවුලක් නෙවෙයි ... හෙටම ඇඩ්මිට් වෙන්න ... පොඩි ඔපරේෂන් එකක් තියෙන්නෙ ...“ කිව්ව හින්ද ඒ ඔපරේෂන් එකත් කරගෙන අම්ම ගෙදර ආවා... 

දොස්තරලා කියන විදියට දවසම ‌ටොයිලට් යන්නෙ නැතුව හිර කරගෙන හිටියම මේ අවදානම එනවලු... ගුද මාර්ගයේ කඩල අටයක් තරමෙ පුංචි ගෙඩියක් හෝ ගෙඩි කීපයක් ඇති වෙලා, ඉඳලා හිටලා ලේ පොඩ්ඩක් යනව මිසක් මේකෙ වෙන අවුලක් නෑ.. ගොඩක් අය වරදවා හිතනවලු අර්ෂස් කියල... 

කල්පනා කරලා බැලුවම මමත් ඉස්කෝලෙ යන කාලෙ නං නොවැලැක්විය හැකි හේතුවක් නිසා මිසක් ලේසියෙන් ඉස්කෝලෙ ටොයිලට් වලට ගියෙ නෑ... මං හිතන්නෙ මුළු ඉස්කෝලෙ ජීවිතේටම දහ පාරක් ගිහින් ඇති... කොහොම හරි ඉවසන් ඉන්නව ගෙදරට එනකං... මං විතරක් නෙවෙයි මං හිතන්නෙ ගොඩක් අපේ එවුන් එහෙමයි.... 

කොහොමින් කොහොම හරි මාසයක් විතර ගියයි කියමුකො... අයින් කරපු පොලිප් එකේ බයොප්සි රිපෝට් ආවම ආයිමත් අපි කට්ටියගෙම ඉහමොල රත් උනා... 

ඒ ඒකෙ පිලිකා සෛල තියෙනවා කියල කියපු හින්ද.... 

එදා ඉඳන් අපි හතර දෙනා ජීවත් උනේ හීනෙන් ඇවිදිනවා වගේ... එක පැත්තකින් කඩේ වැඩ... අනිත් පැත්තෙන් ඔක්කොටම කලින් කඩාගෙන වැටෙන අපෙ තාත්තා... ඒ මදිවට මාත් නුගේගොඩ හිරවෙලා.... 

කොහොමින් කොහොම හරි ඒ රිපෝට් එක ඇවිත් සතියක් යන්න කලින් මහරගම පිලිකා රෝහලේ අම්මගෙ ට්‍රීට්මන්ට් ටික පටන් ගන්න පුළුවන් උනේ ඇත්තටම හොඳ මිනිස්සු කීපදෙනෙක් හින්ද... ඒ එක්කෙනෙක් අපේ කෝකටත් තෛලෙ වගේ ඉන්න ඩොක්ට සිරිල් ... අනිත් කෙනා පිලිකා රෝහලේ වැඩ කරන ගාමිණී අන්කල්... ගාමිණි අන්කල්ගෙ උදව්වෙන් අම්මගෙ ට්‍රීට්මන්ට් ටික ඉක්මණට පටන් ගන්න විතරක් නෙවෙයි ඉස්පිරිතාලෙ නැවතිලා ඉන්නෙ නැතුව ට්‍රීට්මන්ට් කරගෙන ගෙදර එන්න පුළුවන් උනා.. 

අම්ම කියන විදියට නං ඔය ඉස්පිරිතාලෙ ඉන්න ගොඩක් අය හිතිං මැරිලා වගේලු ඉන්නෙ... ඒ තරමට කරදර... වේදනා... අවිනිශ්චිත බවක්... දුප්පත් අය.. පෝසත් අය හැමෝටම එකම විදියෙ වේදනා... 

ඉස්පිරිතාලෙන් එලියෙ වාහනයක් පාක් කරල තියන්න දවසට 500ක් ලු... එතකොට දවස් 30ක් ට්‍රීට්මන්ට් කරල ඉවර වෙන‌ෙකාට....? 

එතකොට වාහනේක එන්න බැරි තරං දුප්පත් අයට... ඒ මදිවට උදේ පාන්දර ඇවිත් හවස් වෙනකං ට්‍රීට්මන්ට් වලට ඉන්න වෙන අයට... ? 

ඒ අස්සෙ කතන්දර ඉතිං ගොඩක් තියෙනව.. ඒවා පස්සට හිමිං ලියමුකො... 

අම්මගෙ ට්‍රීට්මන්ට් පටං අරං සති දෙකකින් විතර .... අපේ කඩේ වැඩ කරපු අපේ පිස්සි ගැන මං කලින් දවසක් ලිව්වනෙ... අන්න ඒ හොල්මනත් වැඩට එන්නෙ නැතුව නැවතුනා... ඒකත් ඉතිං වෙනම පෝස්ට් එකක් ලියන්න වෙන තරං දිග කතාවක්... එක පැත්තකින් කඩේ වහලත් බෑ... බාර ගත්ත ඕඩර්ස්... ඒ මදිවට මේ වෙඩින් මාස... ඒ ඔක්කොමට හපන් කඩේ වැහුවොත් වෙන්නෙ අම්මා මානසිකව වැටෙන එක... එයා මහන්සි වෙලා ගොඩනගපු දේනෙ... මට කරන්න පුළුවන් එකම දේ කඩේ වහන්නෙ නැතුව ඇඳගෙන යන එක... ඉතිං මං දිගටම කඩේට ආවා... අම්මයි තාත්තයි හැමදාම උදේට ඉස්පිරිතාලෙ ගිහින් ට්‍රීට්මන්ට් කරගෙන දවල්ට ගෙදර එනව... 

ට්‍රීට්මන්ට් වලින් අම්මගෙ කොණ්ඩෙ ගියෙ නැති උනත් රේඩියෝ තෙරපි කරන්නෙ ඇඟේ සියුම්ම හම තියෙන තැන් වලට හින්ද ගොඩක්ම අමාරු උනා.. ඒ මාසයක්ම ට්‍රීට්මන්ට් කරල ඉවරත් උනාට පස්සෙ... ඒ සති දෙක තුනක කාලයෙ අම්ම පුදුම දුකක් වින්ද... තාත්තයි මායි කඩේ වැඩ කළේ අම්මවත් ළඟින් තියාගෙන... ඒකට එක හේතුවක් කඩේ ඒසී කරල තියෙන එක... අනිත් එක කඩේ ඉන්නකොට අම්මගෙ අවධානය තියෙන්නෙ අපි කරන දේවලට මිසක් ඔලුව අවුල් කරගෙන ලෙඩේ ගැන හිතන්න වෙලාවක් නැති එක... තව එකක් තමයි ඉතිං තාත්තයි මායි දෙන්නම කඩේ ඉන්නකොට අම්ම ළඟ ඉන්න කෙනෙක් නැති එක.. අනිත් එක ඉතිං අපිට අම්ම පෙරළිල හරි ළඟ පාත ඉන්නව නං වැඩ කරගන්න මාර හයියක්... 

කොහොමත් අම්ම අසනීප උන ගමන්ම අපේ මුළු පවුලම ලෙඩ වෙන එක ඒ කාලෙ ඉඳලම තිබ්බ කේස් එකක්... 

හපෝ ඒ ටිකේ තාත්තයි මායි වින්ද දුකක්... අපේ අම්මට ඉතිං අපි මොන වැඩේ කළත් අඩුපාඩුමනෙ පේන්නෙ... හි හි... දැං තාත්ත තමයි කේක් හදන වැඩේ කරන්නෙ.. මම ඩෙකරේෂන් කරන්නෙ... අම්ම මෙට්‍රස් එකක් දාගෙන පෙරලිලා අපිට උපදෙස් දෙනව... හම්මො.... ඇති වෙලා හිටියෙ.... හි හි... 

කොහොම හරි අම්ම අසනීප වෙච්ච මාස කීපයට කොච්චර හොඳ මිනිස්සු අපි වටේ ඉන්නවද කියල අපි දැනගත්ත... ඒ මාස කීපයම අපිට කන්න දුන්නෙ අහල පහල අය... අම්මට විශේෂයෙන් හදපු කෑම බීම ජාති තුනක් හතරක් විතර එක දවසකට හම්බුවෙනව... රේඩි‌යෝ තෙරපි කළාට පස්සෙ අම්මගෙ ඇඟේ හම යන්න ගත්ත.. හරියට පිච්චිලා වගේ.... ඒකට ගාන බෙහෙත් ටියුබ් එකක් එක පාරයි පාවිච්චි කරන්න පුළුවන් ... ඒ බෙහෙත් පෙට්ටි ගනං ගෙනත් දුන්න අය හිටිය.. අම්මගෙ හාට් රේට් එක අඩු වෙලා කිව්වම පිට රට ඉන්න අම්මගෙන් කේක් අරන් යන අයත් ඒවට බෙහෙත් ජාති එවල තිබ්බ... 

හොඳ මිනිස්සුන්ට ජාති, ආගම් බේද නැති බවත් අපි හරියටම තේරුම් ගත්ත.. ගමේ අයයි, අම්මලගෙ වෙළඳ සංගමේ අයයි මාසයක් එක දිගට බෝධි පූජා තිබ්බ... පන්සලේ ලොකු හාමුදුරුවො ගෙදරට වැඩල අම්මට පිරිත් නූල් බැන්ද... නෑයො බාර හාර වෙලා තිබ්බ... අපෙ තාත්තගෙ වැඩපලේ හොඳම යාලුවො පල්ලියෙ විශේෂ දේව මෙහෙයක් තිබ්බ... අම්ම ඉස්සර ඉඳලම බඩු ගත්ත පිටකොටුවෙ කඩේ අය මේ ගැන දැනගත්තම, එයාලා මක්කම ගිහින් එනකොට ගෙනාපු විශේෂ වතුර බෝතල් අම්මට දීලා තිබුන හැමදාම බොන්න කියල... 

මේවා ඇත්තටම අපේ හිතට ලොකු හයියක් උනා.... අපේ පවුලෙ අපි හතර දෙනාට කරන්න බැරි හැමදෙයක්ම අපි වටේ හිටපු අය කරල දුන්නෙ... දවසට දෙතුන් දෙනෙක් එනවා අම්මව බලන්න කඩේට.. ඒ දේවල් හින්දම අම්මටත් වේදනාව දරාගන්න පුලුවන් වෙන්න ඇති.. කොහොමින් කොහොම හරි අපි ඒ ටික කාලෙත් පහු කර ගත්ත... 

අගෝස්තු 12 අම්මට පළවෙනි ක්ලිනික් එක තිබ්බෙ.. එදා උදේ තාත්තයි මල්ලියි එක්ක ඉස්පිරිතාලෙට ගියාම අම්ම දුර්වල හින්ද ඉස්පිරිතාලෙ නවත්තගෙන.. මගේ ඔලුව කැරකෙන්න ගත්තෙ ඊළඟ දවසේ වෙඩින් කේක් කෑලි 200 ක ඕඩරයක් දෙන්න තිබ්බ හින්ද.. කො‌ෙහාම හරි කරනවා කියල හිතාගෙන පළවෙනි වතාවට තනියෙම්ම කේක් එකක් හදන්න පටං අරං ටික වෙලාවකින් තාත්ත කෝල් කරනව... 

“ කාරෙක ඇක්සිඩන්ට් වෙලා... “ කියල.... 





මට එකපාරටම මතක් උනේ අපේ මල වදකාර මලය කාරෙක එලෝන හැටි...

බලනකොට උගේ අපලෙ වාහනේ පිටින් ගිහින්... කාරෙක ගන්න දෙයක් නෑ... ලයිට් කණුවක වැදිල තව මීටර් සීයක් විතර ඇදිල ගිහින්.. හොද වෙලාවට ලයිට් කණුවටත් මුකුත් නෑ.. පාරෙ වෙන වාහන තිබිලත් නෑ.... මිනිස්සු ඉඳලත් නෑ... 

ඒ පාර වාහනේක පටෝගෙන ගිහින් ගැරේජ් එකේදි බානකොට කේබල් එක ලිස්සලා ඇවිත් ඩිකියත් ගන්න දෙයක් නැති තැනටම වැඩ සිද්ධ වෙලා... 


ඒක ගැරෙජ් දාලා මාසයක් ගියපි... ආ දැං හරි කියනව.. නෑ තව කෑල්ලක් කැඩිලා කියනව....ඉවරයක් නෑ... 

සැප්තැම්බර් 11.... අපේ තාත්තගෙ අම්මට ඉතිං 80ක් විතර වෙනව... සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් විතර දොස්තරලව බලන්න යන්න ඕනෙනේ ඔය වයසෙ කට්ටියට...එහෙම සීන් එකක් කියල සුපුරුදු විදියට පාදුක්කෙ ඉස්පිරිතාලෙට එක්කං ආවම ඔන්න ආමාරුයි කියල ජපුර හොස්පිට්ල් එකට යවන්න කිව්ව... දවස් කීපයක් ඉතිං ආච්චිට අමාරුයි කිය කිය ඉඳලා මැෂීන් වලට දාන්න ඕනෙ කිව්වලු.. එහෙ හිටපු දන්න නර්ස් කෙනෙක් කිව්වලු මෙහෙ මැෂීන් දාන්නෙ ගොඩ ගන්න බෑ කියල තේරුනාම කියල... කළුබෝවිලට එක්කං යන්න කියල... ඔන්න ඉතිං ඒ පාර ආච්චිව කළුබෝවිල ඇඩ්මිට් කළා.. 

අම්ම මේ වෙනකොට පොඩ්ඩක් කෙලින් කටින් හිටිය නිසා තාත්තා හැමදාම ආච්චව බලන්න යනව... දවසක් ඇවිත් කිව්ව.. දැංනං අම්මව ෂුවර් කරන්න බෑ... පිරිත් ටිකක්වත් කියාගන්න විදියක් තිබ්බනං කියල... ඒ පාර අම්ම කිව්ව ලොකු හාමුදුරුවන්ට කියලා බලන්නම් කියල.. සැප්තැම්බර් 17 වෙනිද... ඒ වැඩ ටික ලෑස්ති කරගන්න හවසට පන්සලට යමු කියල කතා වෙලා ඉද්දි ආච්චි බලන්න දවාලෙ ගියපු අපෙ තාත්ත කෝල් කරල කිව්ව... දැං නං අම්මට හොඳටම අමාරුයි කියල.... ඒ වෙලාවෙ අම්මයි මායි දෙන්න වෙඩින් කේක් ඕඩරයක් ලෑස්ති කරනව... ඒ පාර වෙන කරන්න දෙයක් නැති තැන අපි පන්සලේ ප්‍රධාන දායක තැනට කෝල් කරල ඇහුව පිරිත් ටිකක් කියන්න ඉස්පිරිතාලෙට වඩින්න පොඩි හාමුදුරුනමක් හරි ඉන්නවද කියල... 

ටික වෙලාවකින් ලොකු හාමුදුරුවො පිරිවෙන් ගිහින් එනගමන්ම වඩින්නම් කිව්ව කියල පණිවිඩේ හම්බුනා.. අම්මටයි මටයි දෙන්නටම කඩෙන් යන්න බැරි හින්ද ( අම්මට නං කොහොමත් ඉස්පිරිතාල වලට යන්න එපා කියල තිබ්බෙ.. ) නැන්දට කෝල් කරල අටපිරිකරකුත් ඉස්පිරිතාලෙට ඇරිය... 

ලොකු හාමුදුරුවොයි පොඩි නමකුයි හවස හතරට ඉස්පිරිතාලෙට වැඩල, පිරිත් කියල, පිරිත් නූලකුත් ගැටගහල ඉවර වෙලා විනාඩි 10ක් යන්නත් කලින් ආච්චි නැති උනාලු... 

තාත්තා කෝල් කරල කිව්වම අම්මට නං ඇඬුන.. ඒත් මට දුකක් දැනුනෙ නෑ අඬන්න තරං... ඒ මොකද ආච්චි මැරෙන වෙලාවෙ මට හිතෙන විදියට නං ඇහෙන්න ඇත්තෙ වෙන කිසිම දෙයක් නෙවෙයි... අර පිරිත් ටික... ඊට වඩා දෙයක් දරුවො හැටියට අපිට කරන්න තියෙනවද....

කොහොමින් කොහොම හරි ඒ වැඩ ටිකත් ඉවර උනා... ඒ වෙන‌ෙකාටත් අපි දෙන්න කතා වෙලා හිටියෙ නුගේගොඩ ඉඳන් පාදුක්කට එන කරදරේ කරන්න අමාරු නිසා ඒ කිට්ටුවට යමු කියල.. ඉතිං කසාද ජීවිතේ පස්වෙනි පාරටත් ඔන්න බඩු මුට්ටු ටිකත් අකුලං තව ගේකට ආවා... 

පහුගිය ටිකේ කරපු යුද්ධෙ තරමට මේ තරමට ඉතුරු වෙලා ඉන්න එකත් මදෑ නේ.... හි හි.... 

Tuesday, August 5, 2014

වතුර නැතුව ...

මේ කොළඹ 5ට වතුර නැතුව යන හතරවෙනි දවස... 

එහා ගෙදර මළ ගෙයක්... 

මේ පැත්තටම තියෙන්නෙ එකම ලිඳයි... පර්චස් 10ටත් අඩු ඉඩම් වල මොන ලිං ද...? පාරෙ වතුර පුරව ගන්න ටැංකි ගහන එකත් නීතියට විරුද්ධයිලු... ඒක නිසා ගොඩක් ගෙවල් වල ඩිරෙක්ට් ලයින් එකක් තියෙන්නෙ.. නිවුස් වලට කිව්වලු වතුර කපනව කියල... ඒත් මොකාද නිවුස් බලන්නෙ... සෙනසුරාදා හවස මං එනකොට පාරේ තැන් තැන් වල මිනිස්සු කතා කර කර ඉන්නවා ඇහිල තමයි මාත් දැනගත්තෙ වැඩේ... හොද වෙලාවට අපේ නැන්දම්මා නීතිය පැත්තකින් තියල, තියෙන වතුර ටැංකියට වතුර එකක් පුරෝල... අපේ ගෙදර කට්ටියට යාන්තම් ෂේප් වෙන්න පුළුවන්.. ඒත් තව ගෙවල් කීයක්ද... ලිඳ තිබ්බ හින්ද යන්තං මළ ගෙදර වැඩ ටික කරගන්න වතුර ගන්න පුළුවන් උනා.. 

තාප්ප ගහලා වටකරගත්ත ලොකු ලොකු අලුත් ගෙවල්වල ඉන්න සල්ලිකාර මිනිස්සු විතරක් නෙවෙයි.. බොන්න වතුර බෝතලයක්වත් ගන්න සල්ලි නැති මිනිස්සුත් ඉන්නව.. 

දෙවනි දවස වෙනකොට වතුර පුරව ගත්ත අයගෙත් වතුර ඉවරයි... 

මේ පැත්තෙ මිනිස්සු ඡන්දෙ දීපු එවුනුත් ඔය පාර්ලිමේන්තු අස්සෙ ඉන්නව... කෝට්ටෙ නගරසබාවක් කියල එකකුත් තියෙනව...

එක වතුර බවුසරයක් එවන්න බැරි උනා තාම මුන්ට... 

දැං කියයි ඉල්ලුවෙ නෑ නෙ කියල.. 

ඇයි යකෝ.... 
උඹල දන්නවනෙ වතුර කපන බව අපිට කලින්... 
එතකොටවත් උඹලට කල්පනා උනේ නැද්ද, ඒ දවස් ටිකට මේ මිනිස්සුන්ට වතුර දෙන්න ක්‍රමයක් ලෑස්ති කරන්න ඕනෙ කියල.... 
කල්පනා කරන්න මොළයක් කියල එකක් ඇත්තෙම නැති හින්දද මේ... 


Monday, July 28, 2014

ලකී එකා....

මෙයා තමා මිස්ටර් ‘කූල්‘...


රයිගම් ළඟදි ලියල තිබ්බ නයි කතාවක් දැකල තමයි මෙයා ගැනත් පෝස්ට් එකක් දාන්න ඕන කියල හිතුනෙ... අර මාරයියා කියනව වගේ ලියන්න ඕනෙ නං කකුල් දෙක ළඟ තියෙන සෙරෙප්පු කුට්ටමෙන් හරි මාතෘකාවක් හොයා ගන්න පුළුවන් වෙන්න එපැයි... හි හි... 

ඔය අපෙ මාමණ්ඩිගෙ වැඩක් තමයි ගෙයි වැඩක් පටං ගන්න කලින් පොඩි පිංකමක් කරන එක... මෙදා පාර වැඩ ටික පටං ගන්න කලින් පිංකමක් කරන්න බැරි උනාය කියල කිය කිය ඉඳල තමයි මෙයාව ගෙනාවෙ... අපිට කොයින්ද කුකුලෝ.. මෙයාව ගෙනාවෙ මස් කඩෙං... 

මේ ගෙදර ඉන්නව සතෙක් දැක්කොත් පොල්ලක් අරං ගහන්න කියන එක විතරක්ම මතක් වෙන නැකතකින් ඉපදුනු කෙනෙක්... ඉතිං කොහෙද එයා එකක් සත්තු හදන්නෙ... බල්ලන්ට ආස අපි කීපදෙනාගෙම බලාපොරොත්තු, ඉල්ලීම් ඔක්කොම බල්ලට දාලා තියෙන්නෙත් එයා හින්දම තමයි.. අනිත් එක ඉතිං උඩ තට්ටුවල බල්ලො හැදිල්ල ලේසිත් නෑ නේ...

කොහොමහරි ඔය කිව්ව එක්කෙනයි එයාගෙ අම්මයි ගිහින් මිස්ටර් කූල්ව මල්ලක දාගෙන ගේනකොට මෙයා හිටියෙ මැරිල වගේම තමා.. ගෙදර ඇවිත් ලණු කෑල්ලක් කකුලෙ බැඳල, කන්න බොන්න දුන්නට මූ නෙවෙයි ඒ පැත්ත ඇහැක් ඇරල බැලුවෙ... කවුරුහරි ඒ හරියට එන සද්දෙ විතරයි ඇහෙන්න ඕනෙ.. කකුල කඩාගනීද කියල බය හිතෙන ගානට කෑ ගගහා දුවන්න හදනව.. 

දවස් දෙකක් ගියා දුන්න කෑම කන්න පටං ගන්න.. දැං නං සති තුනක් විතර වෙනව... හෙන චණ්ඩියා... දෙන  ඕනෙ ජාතියක් කනව.. කංකුංද, නිවිතිද, පාන්ද පරිප්පුද...  ඕනෙ එකක්.. දෙපාරක් කෙටුව.. ගිලල දැම්ම.... දැං අපි කවුරු ඇල්ලුවත් මෙයාට ගානක් නෑ... 

රෑට අල්ලල දානව බැරල් එකකට.. නැත්තං මේ පැත්තෙ ඉන්න උගුඩුවො එහෙම දෙනව වැඩේ... උදේ 5.30ට විතර අපේ මාමණ්ඩි මුන්දැව බැරල් එකෙන් එළියට ගන්නව.. එතකොට පටන් ගන්න කෑ ගැහල්ල නවතින්නෙ 10 විතර වෙලා තමා.. කොහොමත් මෙහෙදි පහමාර, හය වෙනකොට ඇහැරෙන හින්ද හොඳයි.. හි හි... 

හවස තුන විතර වෙනකොට මෙයා නඟිනව මොකක් හරි එකක් උඩට.. හරිබරි ගැහිලා ඉඳගන්නව... ඊට පස්සෙ නිදි කිරන්න ගන්නව.. ඒ වෙලාවට අපි ඕනෙ කෙනෙක්ට මෙයාව උස්සගෙන ගිහින් බැරල් එකට දාන්න පුළුවන්... මුන්දැ නෙවේ ඇහැරෙන්නෙ.. ගෙදර ඉන්න කට්ටියගෙ හැටියටම වෙන්ටෑ... හි හි.. 

අද උදේ රිංගල නැන්දම්මගෙ නිවිති පාත්තියට... කොල පාට අස්සෙ වැල ගෙඩිය වගේ ඉන්න ලස්සන දැකල මං මේ ෆොටෝ ගන්න ගියෙ.. ඒ වෙනකොටත් නිවිති පාත්තියෙන් බාගෙකට වඩා පාගල පොඩි කරල... මං සද්ද නැතුව ආවෙ.. හෙට විතර අහගන්න පුළුවන් වෙයි ධර්ම දේසනාවක්...හි හි

Monday, July 7, 2014

අන්න පුතේ හඳ....


අඩෝ මේ ....

ඇඟිල්ල දික් කරලා 
හඳ පෙන්නුවාම
හඳ දිහා බලන්න....?

ඒව කොහෙද අපිත් එක්ක... 

මේක අපේ බජාර් එක.... 


හරිද ඩෝ.... 


ඉස්සුවෙමි 

Friday, June 6, 2014

මකුළු දැල් කැඩීම්....


අපේ ඉස්කෝලෙ ඉස්සර ලොකු කොස් ගස් දෙකක් තිබ්බ.... හරියටම තුනේ පන්ති පේලිය ඉස්සරහා.. එතකොට පහේ පන්ති පේලිය පැත්තකින්... අනිත් පැත්තෙන් බුදු මැදුර... කොස් ගස් දෙකට ඉස්සරහින් තිබ්බෙ වතුර මලක් එක්ක පොඩි පොකුණක්...

කොස් ගස් දෙක කොච්චර ලොකුද කියල කියන්න මට මතකයක් නැත්තෙ මං කවදාවත් ඒ ගස් වල මුදුන දැකලා නැති හින්ද... හැබැයි පොළවෙන් උඩට ඇවිල්ල තිබ්බ ඒ කොස් ගස් වල සමහර මුල් මගේ ඉණ ගාවට විතර තිබ්බ... මගේ ඔලුවෙ ගෑවෙන හරියෙ විතර කොස් ගෙඩි තිබ්බ...

පහේ පන්තියෙදි මං හැමදාම පන්ති පෝළිමේ අන්තිමයට කලින් එකා... මට පස්සෙන් පබයිය... එයාට පබයිය කිව්වෙ පබා කියන එයාගේ නම අපේ කටට එච්චර හරිගියෙ නති හින්ද.. අනිත් එක පන්තියෙ උසම එකා හින්ද... රැස්වීමට පිට්ටනියට යන එක මට මහ එපා කරපු වැඩක් වෙල තිබ්බෙ.. හැමදාම අව්වම හරියෙ ඉන්න වෙන්නෙ මට... කලන්තෙ දාන පුරුද්දක් තිබ්බෙ නැති හින්ද හැමදාම අව්ව දරාගෙන පැයක් විතර ඔය පෝළිමේ අන්තිමට හිටගෙන ඉන්න උනා මට...  

පහේ පන්තියෙදිත් අපේ සෙල්ලම් කිරිල්ලෙ මුල් තැන ගත්තෙ ඔය කොස් මුල් අස්සෙ කරන හැංගිමුත්තං සෙල්ලම තමයි... අපි තුන් හතර දෙනෙක්ට ඔය ගහේ එක පැත්තක හැංගිලා ඉන්න පුළුවන්කම තිබ්බ... 

පස්සෙ කාලෙක සුදු වැද්ද පොත කියවන කොට හෑන්ස් ගස් දෙකක අතු අල්ල අල්ල ව්‍යායාම කරනව බලං ඉන්න ගැස්පයි එඩ්මන්ටුයි මං හිතේ මවා ගත්තෙ ඔය ගස් දෙකත් එක්ක... 

ප/ලි : 

දැං මාසෙකට කලින් පහුගිය අවුරුදු තුනට පස්වෙනි පාරටත් ගෙවල් මාරු කරන්න සිද්ධ උන නිසා බ්ලොග් එක පැත්තකින් තියන්න උනා... කියවන්නවත් හම්බුනේ නෑ හරියකට.. ඩයලොග් ලෙඩේ හින්ද එක පැත්තකින් බ්ලොග් බැලිල්ල එපා උනා... අන්තිමට බිල් ගෙවන්නෙ නැතුව ඉඳලා නෙට් කනෙක්ෂන් එකත් කපලා දැම්ම ඩයලොග් ගොයිය... 

ඇත්තටම කිව්වොත් කියවන්න හිතෙන තරං හිතට අල්ලන බ්ලොග් පෝස්ට් දෙක තුනක් විතරයි තිබ්බෙ.. හැමෝටම රයිටර්ස් බ්ලොක් ඇවිල්ලද මන්ද... ආයිත් පටං ගන්නෝනෙ බ්ලොග් හන්ටින් යන්න... හි හි.. 

අලුත් ගෙදර මං වැඩ කරන තැන ඉඳල බැලුවම ජනේලෙන් එළියෙ තියෙන්නෙ පොඩි කොස් ගහක්... අපේ ඉස්කෝලෙ කොස් ගස් මතක් උනේ ඒ හින්ද... මං මේ කල්පනා කරන්නෙ මට කොස් වලින් අඩුපාඩුවක් නැත්තෙ මං මහ කම්මැලියෙක් හින්දමද කියල... හි හි... 

ප/ප/ලි :

කොස් ගස් දෙක ගැන කලින් ලිව්ව වගේ මතකයක් තිබ්බ හින්ද පොඩ්ඩක් බැලුවම අපේ කොස් කෑම පෝස්ට් එකේ ඒ කෑල්ල ලියවිලා නෑ.. ඒත් ඒ පෝස්ට් එකේ කමෙන්ට් ටික දැක්කම දැං ගිහින් කොස් ගෙඩියක් හොයන් ඇවිත් කෑමක් හදන්න හිතෙනව... ( මගෙ කම්මැලිකම තමයි කේස් එක... හි හි) 

Friday, May 16, 2014

කම්මැලි කවි....

සුදෝ සුදු බිත්ති
ටයිල් ඇල්ලූ බිම
ලස්සන ත්‍රී ලේයර් කර්ට්න්ස්....

හැමෝම කියන්නෙ
ගෙවල් විනාස කරන්නෙ නැති ළමයි ඉන්න ගෙයක්....

අනේ පවු අප්පා....








ප/ලි : 

අපේ අම්මයි මායි, ආච්ච් ගෙනත් දුන්න රටහුණු පෙට්ටිය ඉවර වෙනකං ගෙදර සිමෙන්ති බිමේ චිත්‍ර ඇඳපු හැටියට, ඒ නිර්මාණශීලීත්වය A4 කොලේකට, වයිට් බෝර්ඩ් එකකට සීමා වෙලා තියෙන දැං කාලෙ ළමයි ගැන විතරක් නෙවෙයි,  අම්මලා ආච්චිලා පණ වගේ පරිස්සම් කරන ගෙවල් වල බිත්ති, කවදාවත් අත්දකින්නෙ නැති ළමා ලෝකයෙ සුන්දරත්වය.... කාට පවු කියන්නද මන්දා... 

Monday, April 21, 2014

ඔන්න.. මාත් ආවා...... සයිබර් අවුරුදු උත්සවේ 2014



ඔන්න... අවුරුදු ගානක් පෙරුම් පුරලා සයිබර් අවුරදු උත්සවේකට ගියා.... හි හි.... අවුරදු ගානක දොල දුකක් සපුර ගත්තෙ... 

පහුගිය අවුරුදු වල මොනා හරි බාල්දියක් පෙරලිලා යන්න බැරි උනානෙ.. මෙදා පාර හර්තාල් පටන් ගත්තෙ සතියකට විතර කලින් උනත් ෂුවර් එකක් තිබ්බෙ නෑ යන්න පුළුවන් වෙයි කියල... ඔරිජිනල් ප්ලෑන් එක තිබ්බෙ අපේ ගෙදර යන්න... ඒත් උදේම වෙනී අන්කල්ගෙ අලුත් Live blogging වැඩේ හින්ද දාපු ෆොටෝ ටිකත් පෙන්නලා, පොඩ්ඩක් ඇඬුවම “ හා එහෙනං යන්න ලෑස්ති වෙන්න... ” කිව්වම තමයි මතක් උනේ කියෙව්වට ඇඳගෙන යන්න හරි හමන් ඇඳුමක් වත් නෑ නේ කියල... ඔක්කොම ඇඳුම් පාදුක්කෙනෙ... අවුරුද්දට අඳින්න කියල අලුතින් ඇඳුම් ගන්න සිරිතක් මගේ නැති හින්ද දෙසැම්බර් වල ගත්ත ඇඳුමක් තමයි නෑ ගෙවල් වලට ඇන්දෙත්.. කොහොම හරි එළහරකයි මී හරකයි වගේ තැනට නොගැලපෙන ඇඳුමක් ඇඳගෙන තමයි අන්තිමට අවුරුදු උත්සවේට ගියෙ... එහෙම හරි කමක් නෑ ගියානෙ කියල ඔන්න හිත හදා ගත්ත... හි හි


ග්‍රවුන්ඩ් එක හොයා ගන්න නං පොලොසියෙන් උදව් ගන්න උනා... අපේ මහත්තයා හිටි ගමන් යුනිෆොම් එකක් පැත්තට බයික් එක හැරෙව්වම මගේ ඇඟත් සීතල උනා... වෙඩිං කාඩ් එකක් තමයි කියල... නෑ... බලද්දි අපේ උන්දැ මේ ග්‍රවුන්ඩ් එක කොහෙද කියල අහන්නනෙ ඒ පැත්තට හරෝලා තියෙන්නෙ.... 

කොහොම හරි ආවයි කියමුකෝ... මෙන්න රෙජිස්ටර් වෙන තැන හෙන පෝලිමක්... ඔය පොඩි උන් අස්සෙ රිංගන්න පුළුවනෑ... අපි දෙන්න පැත්තකට වෙලා හිටිය මුන් ටික යනකං... මොන... එකෙක්වත් හෙල්ලෙන්නෙ නෑ.. පැය බාගයක් විතර බලං ඉඳලා බැරිම තැන ළඟටම ගියාම දැක්කෙ මුන් එතනට වෙලා පච ඇද බානව කියල... ඒ පාර ඔන්නොහෙ කියපු විදියට ෆොම් එකකුත් පුරෝලා, වටපිට බැලුව... ම්හු... එකෙක් නෑ දන්න කියන.... ටිකක් ඉස්සරහට ගියා... මෙන්න එකෙක් පැන්න ඉස්සරහට... මොනා නැතත් උෟව නං අඳුරතෑකි කිසි කරදරයක් නැතුව... කෝරලයා සහ බනියා... හි හි

ඊට පස්සෙ ඉතිං නලීන් අයියට කෝල් එකක් එහෙම දීලා හොයා ගත්තා... හොයා ගත්ත එවුන් දෙතුන් දෙනාම හොයා ගත්තෙ කෝල් දීලා තමයි... එකෙක්ට දෙන්නෙක්ට මරණ තර්ජන කරන්නත් උනා... හි හි... ඊට පස්සෙ ඉතිං එකා එකා කතා කළානෙ... රනාව නං මට මුලින් අඳුරගන්න බැරි උනා.. කොහෙද.. මූනෙං බාගයක් වැහෙන්න පත සන්ග්ලාස් දාගෙනනෙ... හි හි

අර කැබ් එකකට වෙලා හැංගිලා හිටිය බේබද්දො ටිකගෙ නම් නොලිය ඉන්නං නේ.... හි හි... 

අඟහරුවලින් ආපු කෝච්චි පිස්ස නං මං හිතපු තරමටත් වඩා පොඩි එකෙක්... එත‌ෙකාට අපේ කකා... ෆොටෝ වල තරං නාකි නෑ නේ... හි හි... 

කකාට කියන්නත් අමතක උනා මට කවි ඇලජික් කියල.. ඔන්න අපේ මහත්තයා අවුරුදු ගානකට පස්සෙ පොතක් කියෝනව දැක්ක අද උදේ... හි හි... 

පහුගිය අවුරුදු උත්සව වලදි කට්ටිය කියපු කතාව නං සහතික ඇත්ත ඔන්න.. බ්ලොගේ හෙන චණ්ඩි පාට් දාගෙන ඉන්න වල් රජා නං ගෑණු ළමයෙක් වගේ ඇඹරි ඇඹරි හිටියෙ... හි හි

බෝතලේට වතුර පුරෝන එකයි, කොට්ට පොර ගැහිල්ලයි විතරයි බලන්න හම්බුනෙ... ඊට පස්සෙ ගේම්ස් නැවැත්තුවනෙ මුන්ට සාගතේ හැදිල... කොට්ට පොර ගහන එක පැත්තක තියල කොටේ උඩ සර්කස් පෙන්නුව මාරයයි ඇල්කෙමියයි දෙන්න... තව උන් දෙන්නෙක් ආදරේට කොට්ට පොර ගැහුව... කොට්ටෙන් මූණ අතගාන එක තමයි කළේ...  හි හි

මං ෆොටෝ නං ගත්තෙ නෑ ඉතිං ... කට්ටිය ගත්ත ෆොටෝ ෆේස්බුක් එකේ දාලා තිබ්බනෙ... 

අපි දෙන්න ගියාට පස්සෙ තමයි ‌ගොඩක් අය ඇවිල්ලා තියෙන්නෙ මට පේන විදියට... අපරාදෙ... ඒත් ඉතිං නිවාඩු තියෙන දවස් ටිකේ අනිත් වැඩත් කරගන්න එපැයි...හි හි... 

කොහොමත් ‌මගේ ෆේස්බුක් පාවිච්චිය බොහොම අඩු හින්ද මං දන්න කියන කට්ටිය ගොඩක්ම අඩුයි.... බලමුකෝ ආයිත් පාරක් එන්න පුළුවන් වෙයිද කියල... 

Wednesday, April 2, 2014

ඔන්න එහෙනං වේලාසනම සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වා....


මේ දවස් ටිකේ කඩේ ඉන්න එකේ මට ඉවසගන්න බැරිම දේ තමයි අර අපේ පිස්සි කරකෝගෙන ඉන්න හිරු එෆ් එම් එක අහගෙන ඉන්න එක... 

රිමෝට් කන්ට්‍රොල් නැති හින්ද උඩම රාක්කෙකට වඩම්මලා තියෙන රේඩියෝ රාජයා එහෙට මෙහෙට කරකවන්නෙ ලීයක අධාරයෙන්... ඔය නැටිලි කරන්න බැරි හින්ද සදාකාලික හිරු එකට සෙට් කරල තියෙන්නෙ අපේ පිස්සු කේස් එක හින්ද.. වෙන එකක් නෙවෙයි... අර “ අනුත්තරා“ කියන මල හෝන්තු කතාව අහන්න... 

ඕක ඉවසගෙන ඉන්න බැරිම තැන මට ඒකට ටීවී සීරීස් ලෙඩේ බෝ කළා.. ලැප් එකේ ෆිල්ම් එකක් දාලා දීලා අර මළ ජරාව අමතක කරවන එක මට පාඩු නෑ එහෙම බැලුවාම... හි හි... 

අනුත්තරා විතරක් නං ඉවසන්න බැරියැ.. අර චට පට ගගා කියෝන මොකාද අරා එක්ක, මෙලෝ තේරුමක් නැතුව හිකි හිකි ගගා බෙරිහන් දෙන කෙල්ලෙක් කරන, උදේ පාන්දරම ඇඟේ ලේ ටික රත් කරවන මොකද්ද වැඩසටහන ... හාපෝ...... 

ඕක යන්තමින් හරි ලේ ටික බේරගෙන අහන්න පුලුවන් බදාදට විතරයි.. එදාට පරණ සින්දු යන හින්ද.. ඒත් ඉතිං අර ටකරං හිනාව නං ඉවසගන්න වෙනව... 

-------------------------------------------------------

ඡන්දෙ දවසේ අපේ කඩෙත් ඡන්ද පොළක් වගේ... කඩේ පහුකරගෙන ඉස්කෝලෙට ඡන්දෙ දාන්න යන හැමෝම අපේ තාත්තගෙන් තමයි මනාප අංක අහන්නෙ.. අපේ තාත්ත මං හිතන්නෙ ගම්මංපිලටයි හිරුණිකාටයි ඡන්ද 100ක් විතර අරන් දෙන්න ඇති ඔතන්ට වෙලා කියෝල... හි හි... 

මං නං කිව්ව හිරුණිකාට නං මං ඡන්දෙ දෙන්නෙ නෑ කියල... පහුගිය ටිකේ අපේ තාත්තා මාත් එක්ක හැමදාම පොලිටික් ගෝරි... කොච්චර ගෝරි දැම්මත් ඉතිං මට ඡන්දෙ නැති හින්ද, (පාදුක්කෙ ඉඳං නුගේගොඩට මාරු වෙච්ච වෙලාවෙ අපෙ ගෙදරින් මගේ ඡන්දෙ අපේ මහත්තයා අයින් කරවගත්ත හින්ද ) ඒකටත් බලු බැනුං අහ අහ ඉඳලා මෙන්න එදා උදේ අපේ මහත්තයා කෝල් කරනවා මගේ ඡන්ද කාඩ් එකත් ගෙදට්ට ඇවිල්ල කියල... 

තාම තාත්තගෙයි මගෙයි පොලිටික් වලි ඉවර නෑ... අපේ අම්මා බයිනවා තාත්ත එක්ක පොලිටික් කතා නොකර ඉන්න කියල... එහෙම කොහොමද ... මගේ පොලිටික් වල මුල් අඩිතාලම අපේ තාත්ත තමයි... හි හි... 


-------------------------------------------------------

අපේ කඩේ ගාවම තව පේස්ට්‍රි ෂොප් එකක් දාලා.. එයාලත් දැං කේක් හදනව... අපි හදන කේක් එකට දාන දේවල් එහෙම අහගෙන යන්න අහල පහල අයව එවනව.. අපි මෝඩයොනෙ.. හි හි... අපේ අම්මට පොඩ්ඩක් නෙවෙයි තදට කේන්ති ගිහින්... එයා පේස්ට්‍රි පැත්තට යන්නෙ නැතුව ඉන්නෙ ඔය දෙකම පටලෝගත්තම එයාට මහන්සි වැඩි වෙනවා කියලා අපි තුන් හතර දෙනාම ඒකට කැමති නැති හින්ද... ( ඒකටත් ඉතිං අපි තමයි පලි... ) 

මං නං කිව්ව කමක් නෑ කියලා... එයාලට පුළුවන් නං හදපු දෙං... තරඟයක් තියෙනකොට අපිටත් වාසි නැතුව නෙවෙයිනේ... 

අද ආවේ කඩේ බෝඩ් එක හදන්න දෙන්න.. දැනට තියෙන බෝඩ් එකේ ලොරියක උඩ තට්ටුවක් හැප්පිලා කැඩිල තියෙන්නෙ.. දඩිබිඩියෙ ලයිට් බෝඩ් හදන්න බැරි හින්ද නෝමල් බෝඩ් එකක් හදමු කියලා මාමා කිව්වා... මගේ කම්පියුටරේ තියෙන ඒවා තියෙන තැන් හොයන්න ඉතිං මම එන්න එපැයි.... 

මෙන්න තව ආතල් කේක් ටිකක්... 

මේ දවස් වල හැම පොඩි එකාම ඉල්ලන... Ben 10

මෙයා නං කාර් එක අරගෙනම ආවා....  
මැක්වීන්... 

මෙයත් කාටූන් එකක් ලු... මං පොඩි එකාට තාම මේක අහුවෙලා නෑ ද කොහෙද...  හි හි

අවුරුද්දට මෙහායින් මට අයිත් පෝස්ට් දාන්න චාන්ස් එකක් හම්බුනොවෙන පාටක් තියෙන නිසා ඔන්න දැම්මම කිව්වා... 

කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!

Tuesday, March 25, 2014

මේ දවස්වල කේක් කතා...


බොහොම අමාරුවෙන් අම්මගෙන් නිවාඩුවක් ඉල්ලගෙන ගෙදර ආපු එකේ මේකෙත් මොනවා හරි ලියන්නම එපැයි නේ... ඒක නිසා දාන පෝස්ට් එකක් හින්ද ඔන්න බ්ලොගර් ඩෑෂ් බෝඩ් එකේ මේ ටික දැකලා බීසී පිට මෙහෙ දුවගෙන එන්න ඉන්න අය කරදර වෙන්න එපා ඔන්න... පස්සෙ නිවාඩු පාඩුවෙ බැලුවම ඇති... හි හි... 

අවුරුදු ළඟ ළඟ එනවනෙ අප්ප.. මේ දවස් ටිකේ ඉතිං ඒවට ලෑස්ති වෙනව... දැම්ම තියා කේක් හදන්න නෙවෙයි... සාමාන්‍යයෙන් අපි දිනපතා පාවිච්චි කරන්නෙ අවන් තුනෙං එකක් නැත්තං දෙකක්... ඉතිං අවුරුද්දට ඔය තුනම ඕනෙ වෙන නිසා මේ ටිකේ ඒවා සර්විස් කරනව... එතකොට බීටර්ස් වලටත් සර්විස් එකක් දෙන්න වෙනව මොකද තුන්සිය හැටපස් දවසෙම ඔහේ දුවල අවුරුදු දවසෙම හනේ මට බෑ අප්ප කියල නැවතුනොත් එහෙම අපි අනාථයි නිසා.... ඒසී ලොක්ක නං පෙරේදා දුන්න සම්බුවක් ආයෙ නැති වෙන්නම... දවස් දෙකක් තුනක් ඒසී නැතුව හුලං විතරක් වැදි වැදි ඉඳලා බැරිම තැන කෝල් එකක් දීලා සර්විස් එකට එන්න කිව්ව.. ඇවිත් බලද්දි තව ටිකක් ඔහොම ගියානං කම්ප්‍රෙෂර් එකටත් සොරි තමයි කිව්ව... එහා පැත්තෙ ටේලර් ෂොප් එකේ රෙදි වල දූවිලි ගතිය සහ නූල් කෑලි ටික ඔක්කොම එයා ඇදල අරගෙන... ඔන්න දැං එයාව නං හරි ගස්ස ගත්ත... 

ඒ අස්සෙ වෙඩිං... මං කාලෙකට කලින් හදල කඩේ කියල තිබ්බ වෙඩිං කාඩ් ටික අපේ නැන්ද උස්සං ගිහින්... ඉතිං එහෙට එන අයට පෙන්නන්න මට සාම්පල් කාඩ් නෑ.. අද මේක ලියල ඉවර වෙලා කාඩ් ටිකක් හදන්න වෙනව... ( ඒකට කියල තමයි පැනල ආවෙ.. ඒ උනාට තාම මේ කම්පියුටරේ ගාවින් නැගිට්ටෙ නෑ... හි හි) 

හදල ඉවර කරල තිබ්බ වෝල් හැඟින්ස් ටිකත් ඉවර වෙන්න ළඟයි... මගේ මාසෙකට ඩිසයින් 10ක් හදන ටාගට් එකට යන්න තව මාස තුනක්වත් බලං ඉන්න වෙනව... හි හි

ඒ අස්සෙ අපේ අම්මගෙ මැහුම් දාපු තුවාලෙ යන්තං පැහැවගෙන ඇවිත්... සතියකට වේලෙන්න බේත් දීලා හරි ගියෙ නැත්තං ඇඩ්මිට් වෙන්න කියල තියෙනව... ඔය තුවාලෙ පැහැවනවා කියන්නෙ ටිකක් භයානක දෙයක්.. මොකද විශබීජයක් ගියොත් ඒක ඇතුලටම යන්න තියෙන චාන්ස් එක වැඩි හින්ද... 

ඔය කේස් හින්ද අපේ බලුස්ව දැං ගෙයින් එළියටම තල්ලු කරලා තියෙන්නෙ... ඒ තරහටද මන්ද එයාටත් දැං කේන්ති යනවා වැඩියි... අපේ තාත්තගෙ ලෙඩේ බෝවෙලා... හි හි...

ඡන්දෙ හින්ද වෙන කරදර නං තියෙනව ඉතිං.. දවසට දෙතුන් පාරක් කට කණ ගාවට අලෝ ගත්ත කීප දෙනෙක් ඇවිත් කොල බෙදල යනව.. ගෙදරට එන අයගෙ කරදරෙන් බේරෙන්න මං කිව්ව " අපි ඡන්දෙ දෙන්නෙ නෑ " කියල බෝඩ් එකක් ගහමු කියල... තාත්ත එක්ක දවසකට සැරයක් වත් ඡන්ද කතන්දර කතා කරලා වලි දාගන්නෙ නැතුව කෑවෙ නෑ වගේ.. හි හි... අම්ම බයිනව මට... මල්ලියි මායි සත්තු වත්ත ගෙදට්ට ගෙනාවම තාත්තට කේන්ති ගිහින් කියනව මුන් දෙන්න පරාණ වෛරක්කාරයො දෙන්නෙක් ද කොහෙද, කවදාවත් මරාගන්නෙ නැතුව ඉන්න බෑ නේ කියල... ඒ උනාට අපි දෙන්නා මරාගන්නෙ පුරුද්දට ඉතිං... ඌට මං නැතුව බෑ.. මට ඌ නැතුව බෑ.. තාත්තට ඕක තේරෙන්නෙ නෑ... හි හි... 

පහුගිය ටිකේ කියවපු පෝස්ට් එක්ක ලියන්න දේවල් ගොඩක් හිතේ තියෙනව... ඒත් දැං මේ දඩිබිඩියෙ ඕවා ලියන්න බෑ... ඒවා පස්සෙ බැරියෑ... 

මෙන්න ඊයේ පෙරේදා හදපු කේක් එකක්.... හැමෝම ලේසියට හොයන් එන රිජිෆොම් තට්ටු කේක් නැතුව මෙහෙම එකක් හදද්දි අපිටත් ආසයි අප්පා... 

Cup cake structure

70 Cup cakes made of Orange cake and simple Orange flavored butter icing, decorated with edible items .



Top tier is Orange cake and edible fondant... 



මේකට වැඩියෙන්ම ඉල්ලුම තිබ්බෙ වෙඩින් එකට ආපු පොඩි උන් ටිකෙන්ලු... හි හි