Monday, August 19, 2013

මට හැදිච්ච තවත් නොම්බර එකේ පිස්සුවක්...

සාමාන්‍යයෙන් පිස්සු කියන ඒවා කාලෙන් කාලෙට වෙනස් වෙනවනේ... මටත් ඔය එක එක කාලෙට, එක එක පිස්සු හැදිලා, සල්ලි නැති හින්දා නිකම්ම හොඳවෙනවා.... සමහර ඒවට නං සල්ලි ටිකක් වියදම් වෙලත් දක්ෂතාවයක් නැති හින්දා එපා වෙලා යනවා.... ඒත් ගොඩක් පිස්සු හොඳ වෙන්නෙ කම්මැලිකම ඉහට ගැහුවම තමයි.... ඒ උනත් විනෝදාංශ කියන ඒවා කොච්චර තිබ්බත් නරක නෑ කියන එකයි මගේ පිළිගත්ත අදහස.. ඒක නිසා එක පිස්සුවක්වත් උත්සාහ නොකර අතාරින්නේ නෑ... සමහර වැඩ කරන්න ගිහිල්ලා වටේම ඉන්න අයට අවුරුදු ගනං මාව අල්ලන් නෝණ්ඩි කරන්න මාතෘකා සපයලා දීලා තියනවා... මතකනේ මං අර එක දවසක් කිව්ව සම්බා කිරිබත් සීන් එක.. හි හි... 

මේ පහුගිය දවස්වල ඒ වගෙ පිස්සුවක් ඉහට ගහලා තිබ්බෙ.. කාලයක් තිස්සෙ හැදිලා තිබ්බ පිස්සුවක් උනාට එච්චර තද වෙලා තිබ්බෙ නෑ... අර පුරහඳ කිට්ටුවෙන කොට වැඩි වෙන ජාතියෙ ඒවා වගේම මේකත් වැඩි උනේ අයිලාෂ් අයියගේ පෝස්ට් ටික දැකලා... ඒ මදිවට අර සමනලියටත් මේ පිස්සුව හැදිලා තිබ්බා දැක්කා.. සමනලියගේ ෆොටෝ ටිකත් මාර ගති.. ගිහින් බලන්නකෝ ... 

ඉතිං පහුගිය ටිකේ අපේ මහත්තයා කැඩිච්ච වෑන් එකක් කෑලි කරගෙන ඉන්න අස්සේ මං වත්ත වටේ ඇවිද ඇවිද ෆොටො ටිකක් ගත්ත.. හැබැයි ඒ මගේ ෆොන් කැමරාවෙන්... ටික වෙලාවකින්ම වැඩේ එපා උනා... අතෑරලා දැම්මා.. 


මේක ගත්තෙ ෆොන් කැමරාවෙන් 




අද උදේ එළියට බහිද්දි ඇන්ටිගේ මල් පාත්තියේ මල් ටිකක් දැකලා ආයිත් පිස්සුව උත්සන්න උනා.. හෙට පෝයනේ .. ඒ හින්දා වෙන්නැති.. කොහොම හරි කැමරාවේ බැට්රියත් තිබ්බ එකේ ඔන්න පැයක් විතර දගලලා ෆොටෝ දෙකක් තුනක් ගත්තා.. 

මේ අර මැක්‍රොෆොටෝ පිස්සුව ගැන තමයි මෙච්චර වෙලා කියෙව්වෙ... මොකද කිව්වොත් අයිලාෂ් අයියගෙ පෝස්ට් ටික කියෝනකං මං දැනං හිටියෙ වත් නෑ මැක්‍රො ඔප්ෆන් එකේ තේරුම මොකද්ද කියලවත්.... හි හි..... 



කැන්ඩියන් ඩාන්සර් කියන මලේ නම හරියටම හරි කියලා හිතුනේ 
මේ ෆොටෝ එක අරන් කම්පියුටරේට දාලා බැලුවම තමයි... 



මහ කැත කඩියෙක් අප්පා... හි හි

මේ පිස්සුවෙ ආරම්භය ගැනත් ටිකක් කියන්න එපැයි... කොහොමත් මට ඉස්කෝලෙ යන කාලේ ඉඳලම ‌ෆොටෝ ගැනීමේ ආසාව තිබ්බ.. හැබැයි ඉතිං කැමරාවක් තිබ්බේ නෑ.. ගෙදර තිබ්බ කැමරාවත් අල්ලන්න හම්බුනේ ඒලෙවල් ක්ලාස් එකට ආවට පස්සෙ තමයි... ෆොටොග්‍රැෆි කරන්න ආසාවක් ඒ කාලේ ඉඳලම තිබ්බත් ඉතිං මට තිබ්බ වැඩ කන්දරාවේ හැටියටයි, අතේ මිටේ සල්ලි නැති වීමයි හින්දා ඒක නිකම්ම යට ගිය කතාවක් විතරක් උනා... 

ඒ කාලෙදිම දැනගත්තා අපේ මහත්තයටත් ( ඒ කාලේ නිකම්ම මගේ පස්සෙන් එන එක්කෙනෙක් විතරයි.. හි හි) ෆොටෝග්‍රැෆි වලට උනන්දුවක් තියෙනව කියලා... ඒත් මේ ළඟදි දවසක් මං ඔය ගැන කතා කරද්දි මෙයා කියනවා එයාට ෆොටෝග්‍රැෆි වලට ආසාවක් තිබ්බෙ නෑලු.. දැං බැලුවාම කිසිම විනෝදාංශයක් නැති කෙනෙක් ගැන උදාහරණ ඕනෙ නං අපේ මහත්තයා තමයි හොඳම කෙනා...හි හි... 

ඔන්න එයාට කැඩිච්ච බස් කට්ටක් හරි වෑන් කට්ටක් හරි හම්බුනොත් නං අල්ලගෙන දඟලයි දවසම උනත්... හැබැයි ඒකට විනෝදාංශයක් කියන්න පුළුවන්ද කියල නං මං දන්නේ නෑ... හි හි.... 

කොහොම හරි සල්ලි නැති කමට සහ කරන්න වෙන වැඩ ජාති තිබ්බ නිසා යට ගිහින් තිබ්බ මේ පිස්සුව, ආයිත් හැදෙන්න මුල් උනේ මෙන්න මේ ෆොටෝ බ්ලොග් එක තමයි... පිස්සුව වැඩි කළේ අයිලාෂ් අයියා...  

ඔන්න ඔහොමයි හොඳට හිටපු මටත් කට්ටිය එකතු වෙලා පිස්සු හැදෙව්වෙ....  හැබැයි මට ඒකටත් දක්ෂකමක් නං නෑ වගේ කියලා තමයි දැනට දැනෙන්නෙ...  තව පිස්සු හදාගන්න කැමති අය ඉන්නව නං ගිහින් බලන එකයි ඇත්තෙ... හැබැයි ඊට පස්සේ මට එහෙම බනින්න එපා... ඔන්න කලින්ම වෝනිං දුන්නා.. ගියොත් පිස්සුව හැදෙනවාමයි.... හි හි

Tuesday, August 13, 2013

වෙන දේ, දකින දේ සහ මට හිතෙන දේ...


 

  • පුවත - මයාමි වෙරළ ප්‍රදේශයේ 18 හැව්රිදි තරුණයෙක් නීත්‍යානුකූල පොලිස් ටේසර් ගන් ප්‍රහාරයකින් මියගියේය.
  • පසුබිම - 18 හැවිරිදි ඊස්‍රයල් හර්නැන්ඩිස්-ලාච් නමැති තරුණයා අතහැර දැමූ මැක්ඩොනල්ඩ්ස් ගොඩනැගිල්ලක බිත්තියේ නීතිවිරෝධීව චිත්‍ර අඳිමින් සිට පොලිසියේ අණ නොතකා පලායන විට, මයාමි පොලිසිය විසින් විදුලි කම්පන ආයුධයකින් (ටේසර් ගන්)කම්පනයට පත් කිරීමෙන් අනතුරුව මිය යන ලදී.
  • ජනතා ප්‍රතිචාරය - මියගිය තරුණයා වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ජනතාව වීදි බැසීමත් සමඟම පොලීසිය විසින් මෙම ආයුධය මේ වන විට වැඩි වශයෙන් පාවිච්චි කරන බවටද කතිකාවතක් පැන නැඟී ඇත.එමෙන්ම මෙම ආයුධය පාවිච්චි කිරීමෙන් ඇතිවන අතුරු ප්‍රතිඵල පිළිබඳවද පුළුල් කතිකාවතක් පැන නැඟී ඇත.
  • පොලිසියේ ප්‍රතිචාරය - මේ වන විට අපරාධකරුවනගේ බිහිසුණු බව වැඩි වීම නිසා පොලිස් නිළධාරීන් පවා තුවාල ලබන අවස්ථා ඇති නිසා ටේසර් ගන් ආයුධයේ ඵලදායීත්වය පහත වැටි ඇති බවයි.



  • පුවත - වැලිවේරිය, රතුපස්වල හමුදා වෙඩිතැබීමෙන් 16 හැව්රිදි පාසල් සිසුවෙක් සහ තවත් කිහිප දෙනෙක් මිය ගියහ.
  • පසුබිම - වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ පානීය ජල ප්‍රශ්නයක් හේතුවෙන් දැක්වූ විරෝධතාවයකදී, විරෝධතාකරුවන් පලවා හැරීම සඳහා සිදුකල වෙඩි තැබීමකදී අකිල දිනේෂ් ජයවර්ධන නමැති 16 හැව්රිදි පාසල් සිසුවෙක් හා තවත් කිහිප දෙනෙක් මිය ගියහ. පොලිසිය පවසන්නේ නිසි ක්‍රියාපටිපාටියෙන් බැහැරව හමුදාව විසින් මෙම වෙඩිතැබීම සිදුකරන ලද බවයි. 
  • ජනතා ප්‍රතිචාරය - විවිධ කණ්ඩායම් මඟින් මේ සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වුවද ජනතා සංවිධානාත්මක බවක් දක්නට නොමැත. ෆේස් බුක්, ට්විටර් සහ අනෙකුත් සමාජ ජාල හරහා රජයට චෝදනා කරමින් බැනර්, පෝස්ටර් පළවීමට පටන් ගෙන ඇත. මියගිය තරුණයා වෙනුවෙන් ශෝක ප්‍රකාශ සහ රජයේ හමුදාවල ක්‍රියාකලාපය විවේචනය කරමින් සහ උපහාසයට ලක්කරමින් පළ කරන ප්‍රකාශ මේ අතර වේ.
  • රජයේ ප්‍රතිචාරය - ඊට අමතරව රජය විසින් මියගිය සිසුවාගේ අවමඟුල ඉතා ඉහල අන්දමින් සිදු කිරීමට පියවර ගෙන තිබේ. 


මට හිතෙන දේ.... 

දැන් ඉතිං මට මතක් වෙන්නේ “ Megamind” කියන සුපිරි වීර කතාව .. මෙගාමයින්ඩ් වෙච්ච සුපිරි දුෂ්ටයා, මෙට්‍රො මෑන් කියන සුපිරි වීරයව බොහොම අමාරුවෙන් පරාජය කළාට පස්සේ මෙට්‍රොසිටි කියන නගරය අයිතිකරගන්නවා... ඒත් ටික දවසකින් දුෂ්ටයට තේරෙනවා සුපිරි වීරයෙක් නැතුව සුපිරි දුෂ්ටයෙක්ගෙන් ඇති වැඩක් නෑ කියලා.. ඉතිං එයා නැවත සුපිරි විරයෙක් නිර්මාණය කරනවා... අපේ රටටත් වෙලා තියෙන්නේ ඒ ටිකම තමයි කියලා මට හිතෙන්නේ.... 

අපේ රටේ මිනිස්සුන්ව ටේසර් ගන් වලින් කම්පනය කරන්න දෙයක් නෑ.. අපි ඔක්කොම නිර්වින්දනය වෙලා ඉවරයි දැනටම... පවතින රජයට අභියෝගයක් වෙන්න පුළුවන් විශ්වාසය තැබිය හැකි විපක්ෂයක් නැති කම, දවසින් දවස ඉහල යන ජීවන වියදම, මාධ්‍ය මඟින් ඉදිරිපත් කරන සුරංගනා කතා වලින් හිත සනසගෙන ඉන්න මිනිස්සුන්ට වෙන විකල්පයක් තියෙනවා කියල හිතන්නත් බෑ... ඒ මදිවට සති දෙකෙන් දෙකට එක එක අලුත් නාඩගම් එළිදැක්වෙන මේ රට තනිකරම නාඩගම් මඩුවක් වෙලා ඉවරයි... 

ප/ලි : සිදුවිම් ගැන කතන්දර බොහෝදුරට නිර්මාණාත්මක නිරෑපණයක් පමණයි. වැඩි විස්තර සර්ච් එකක් දාලා හොයාගන්න.. ඒ කියන්නේ තාම දන්නේ නැත්තං විතරක්... 

ප/ප/ලි : ටේසර් ගන් ගැන විස්තරයක් මෙන්න මෙතන තියෙනවා.. 

මයාමි සිද්ධියේ පින්තූරය ගත්තේ මෙතනින්... සිද්ධිය ගැන විස්තරෙත් මෙතන තියෙනවා.. ලංකාවේ සිද්ධියේ පින්තුරයේ නං මුල්ම තැන හොයාගන්න බැරි උනා.. හැබැයි වෝටර්මාක් එකේ හැටියට sinhala.adaderana.lk වෙන්න ඕනේ තැන...  

Tuesday, August 6, 2013

පස්-වල-රතු-ලේ....

විසිකළෙමි
තිස්වසක් පය ගැටුනු,
ඉරීගිය මුවහම

පෙරළමි
කුණු ගඳ ගහන
කුණු කඳු, කුණු බාල්දි

සොයමි
තව කාලයක්,
තඩිබාන්න මුවහමක්


ප/ලි : බ්ලොග් කියෝ කියෝ ඉඳලා හිතිච්ච දෙයක්.... 

Tuesday, July 23, 2013

කෙල්ලොන්ව ඇස් වගේ පරිස්සම් කරන අම්මලට... Drugs and youth




මගේ බ්ලොග් එකටයි, මගේ බ්ලොග් කියවිල්ලටයි පහුගිය ටිකේ පොඩි නිවාඩුවක් දෙන්න උනා... වෙඩිමක් හින්දා... ඒත් වෙලාවක් අහු උන ගමන් කට්ටියගේ පෝස්ට් ටික නම් කියෝගෙන කියෝගෙන ගියා... කමෙන්ට් එකක් දෙකක් නොදා එන්න බැරි තරමට අත කසන ගතියක් දැනුන ඒවට විතරක් අපේ මහත්තයගෙන් බැනුම් අහ අහ කමෙන්ටුත් දැම්මා... කොහොමහරි දැන් නං එහෙ මෙහෙ දිවිල්ල ඉවරයි... දැන් ගෙදර... හි හි... 

ගොඩක් දේවල් ලියන්න කියලා ඒ ඒ වෙලාවට හිතාගත්තට දැන් නම් ඒ මොනාද කියලවත් මතක නැති ගානයි... වෙනදට නං පොඩි නෝට් එකක් ගහගන්නවා ළඟ තියෙන නෝට් බුක් එකේ.. මේ ටිකේ ඒකත් බැරි උනා... 

ඒ අතරෙම පොඩියට පටන් ගත්ත වෙඩින් කාඩ් වැඩෙත් කරගෙන යනව.. මගේ මාකටින් නං අන්තිමයි... මං කාඩ් සාම්පල් ටික දැම්මේ ලොකුම වෙඩින් සීසන් එක පහු උනාට පස්සෙ... ඒක ඉතිං මගේ මෝඩකම.. ඒකට හේතුව උනේ ඉතිං අතේ සල්ලි තිබිච්ච නැති එක... 

ඒ අතරේ ඊයේ ඕපදූප ටයිප් එකේ ආරංචියක් ආවා අපේ ගෙවල් පැත්තේ කොල්ලො කීප දෙනෙක්ම කූඩු ජාවාරමට අහුවෙලා පොලිසියෙන් අරන් ගිහින් කියලා... අපෙ තාත්තා කියන විදියට ඒ පැත්තේ, ඒ කිව්වේ පාදුක්ක, කොස්ගම, අවිස්සාවේල්ල පැත්තේ මීට අවුරුදු 15-20කට කලින් බොහොම ජයට කෙරිච්ච ජාවාරමක් තමයි ඕක.. හැබැයි පහුගිය කාලේ නං ගොඩක්ම අඩු වෙලා තිබ්බේ... මට මතක ඇති කාලෙක කුඩු ගහපු කෙනෙක් හිටියේ නෑ අපේ ගෙවල් පැත්තේ එහෙම... ඒත් මෙදා පාරනං අහුවෙලා තියෙන්නේ අපෙ අම්මලගෙත් හොඳම යාලුවෙක්ගේ පුතෙක්... කුඩු ගහලා නෙවෙයි ළඟතියාගෙන කියලා තමයි අම්මා කිව්වේ.. කොහොම හරි ඔය ජාවාරමේ ලොකු අතු වලට මේ දවස්වල අමතක වීමේ ලෙඩක් තියෙන බවත් ආරංචියි... මේවා ඉතිං ඕප තමයි... හැබැයි ගින්නක් නැතුව දුමක් නඟින්නෙත් නෑ නේ...

මං අද උදේ නිවුස් බලාගෙන හිටියේ මේ ගැන යමක් තියෙයිද කියලා.. කුඩු කතන්දර කීපයක් තිබ්බත් මේ ගැන දෙයක් නම් ඇහුනේ නෑ හැබැයි... ඉතිං මේවා ලියලා මගේ බ්ලොග් එකට දෙයියන්නේ පිහිට වෙයිද දන්නෙත් නෑ.. ඒත් ඉතිං හිතට වැදිච්ච දේ ලියන්නත් එපැයි...

කොහොමහරි මට ඕනේ උනේ මේ කුඩු කතන්දරේ ආයිත් බරපතල විදියට ඔලුව උස්සන බව පේන්න තියන බව කියන්න.. ආශ්චර්ය දීපයේ කුඩුත් නැත්තං මොන මඟුලක්ද කියලා හිතනවද දන්නේ නෑ.. හැබැයි මේවට අහුවෙලා නාස්ති වෙන්නේ ලොකු ලොක්කන්ගේ පුත්තු දුවලා නං නෙවෙයි... අම්මලා තාත්තලා නොකා නොබී ඉස්කෝල වලට යවලා, උගන්නලා තැනකට ගන්න දඟලන දුප්පත් ළමයි... කුඩු ගැහීමට වඩා ලොකු දඬුවම් කුඩු ළඟතබාගැනීමට, විකිණිමට තියෙනවා... ඒක නිසා අපේ ළමයි මල් වගේ, ඕවට යන්නේ නෑ ...  කියලා හිතං ඉන්න අම්මලා තාත්තලා දැනට වඩා ළමයි ගැන හොයලා බැලුවනං හොඳයි කියලා මතක් කරන්නත් ඕනේ... විශේෂයෙන් අවුරුදු 15-22 වගේ වයස්වල ඉන්න ළමයි ගැන... මොකද එයාලා මේවට අහුවෙන්නේ නොදැනුවත්වමයි.... 

මම මේ වෝනිං එක මුලින්ම දුන්නේ අපෙ අම්මට... මොකද අපෙ මල්ලිත් දැන් පුරුදු වෙලා ඉන්නේ මොනා ඇහුවත් ආඳා උත්තරයක් දීලා ලිස්සලා යන්න.. අම්මලත් කොල්ලා කියලා පස්සෙන් පන්නන්‌ෙන් නැති නිසා මෙයාට ලේසියි ... අපේ අම්මලා තාත්තලා කෙල්ලන්ව පරිස්සම් කරනවා වගේ කොල්ලන්ට පරිස්සම් කරන්නේ නැත්තේ මොන කෙහෙල්මලකටද කියලා මට තේරෙන්‌නේ නෑ... කෙල්ලෙක් හවස 6 පහුඋනොත් ගෙදරට එන්න, රට ගිනි තියන්න දඟලනවා... කොල්ලෙක් රෑ 10ට ආවත් ගානක් නෑ... හැබැයි ඌ බීලද, කුඩු ගහලද, රස්තියාදුවෙ ගිහිල්ලද කියලා හොයලා බලන්නෙත් නෑ... පොඩ්ඩක් බැනලා නිකා ඉන්නවා.. අපි කරපුවයෙ හරියට මේවා මොනාද කියලා හිනා වෙනවා... 

මගේ අත්දැකීමට අනුව නම් අවුරුදු 16 විතර ඉඳලා වයස් වල කොල්ලන්ගෙ වැඩ අම්මලට වඩා උන්ගේ යාලුවෝ, ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා දන්නවා... අම්මලා.. අපේ කොල්ලා එහෙම නෑ... කියාගෙන සුද්ධ කරද්දි කෙල්ලන්ට හිනායන එක අහන්න දෙයක් නෙවෙයි... මටත් එහෙම අත්දැකීම් තියෙනවා... ඊයේ දෙවනි පාරටත් මං මේ කියන දේ හරි කියලා මට ඔප්පු උනා... අපේ මල්ලි ආශ්‍රය කරන යාලුවෝ ගැන අපි නොදන්න ගොඩක් දේවල් ඒකගේ ගර්ල් ‌ෆ්‍රෙන්ඩ් දන්නවා.... මට ඒකයි මේ පෝස්ට් එක ලියන්න හිතුනේ... 

අම්මලා තාත්තලා, තමන්ගේ පිරිමි දරුවෝ ආශ්‍රය කරන්නේ මොන වගේ යාලුවොද කියලා හොයලා බලලා විතරක් මදි.. අපේ එකා හොඳයි, ඕවට යන් නෑ ... කියලා හිතං ඉන්න අම්මල තාත්තලට කියන්න තියෙන්නේ දැන් කොල්ලෝ අරක්කු සිගරට් බොන්න පටන් ගන්නේ, කුඩු ගහන්න පටන් ගන්නේ, මසාජ් ක්ලිනික් වලට යන්න පටන් ගන්නේ අවුරුදු 15 ඉඳන්... ඒක නිසා කල්පනාවෙන් ඉන්න.. 

කෙල්ලන්ව ඇස් වගේ පරිස්සම් කරලා වැඩක් නෑ කවදහරි උන්ව බාරගන්න ඉන්නේ නාස්ති වෙච්ච කොල්ලො පරම්පරාවක් නං... 

Thursday, July 11, 2013

ඔන්න බ්ලොග් එකක් ගැන විස්තරේකුත් එක්කම ෂිපිං ගැනත් පොඩි විස්තරයක්...

පහුගිය ටිකේ බ්ලොග් කියෙව්වෙත්, ලිව්වෙත් අඩුවෙන් නිසා අලුත් බ්ලොග් හොය හොයා ගියෙත් නෑ... ඒක හින්දා මට මිස් වෙලා වගේ තිබිච්ච බ්ලොග් එකක් අද උදේ පාන්දර 4 ට විතර නැගිටලා.. ( රෑට පාන් කෑමේ ආනිසංස... )  ... කියෙව්වා... ඒකේ පරණ පෝස්ට් ටික කියවගෙන යනකොට තමයි තේරුනේ මේකේ ගොඩක් වැදගත් මාතෘකා කීපයක් ගැන ලියවිලා තිබ්බත් තාම කියවලා තියෙන්නේ කට්ටිය අඩුවෙන් කියලා.. ඒකත් එක හේතුවක් මේ පෝස්ට් එක දාන්න.. 

ගිහින් නැත්තං ඔන්න ගිහින් බලන්න මේ බ්ලොග් එක.. 

බ්ලොග් එකේ නම - කළු සහ සුදු
ලියන්නේ - එයාමයි... 

මේ තියෙන්නේ පෝස්ට් කීපයක අන්තර්ගතය.... 


දවල්ට කන්න ගියාමයි ඊළඟ දේ වුනේ..බත් ටික සේරම දිග හැර ගන්න කිව්වා අපිට...මස් ද මාළු ද තියෙන්නේ ඇහුවා..මස් ..මාළු...බිත්තර,,,ඔය හැම දේම කාගේ හරි ළඟ තිබුනා නේ..
එක්කෙනෙක් ආව බග් එකක් අරන්
හැම බත් එකක් ලඟින්ම තියා ගෙන තියාගෙන ගියා..අද ඉඳන් කන්න වෙන්නේ මේවා තමයි කියලා...
ඊ.....ඊ.....ඊ....මොනවද මේ..?
මිනිස් ඇට කැබලි....අපේ සමහරු දුවල ගිහින් වමනෙත් දැම්ම...
මම නම් බයටම ගල් ගිල්ල වගේ හිටියේ....
අනේ ඉතින් එහෙම උන්න අපි..පස්සේ කලෙක anatomy වලට ගිහින් gloves වත් නැතුව මිනී අල්ලලා..ඇවිත් සබන් දාල අත හෝදන් බත් කෑවේ...යස අගේට..
එදා අපිට ඒ දුන්නෙත්...එහෙම මුලික පුහුණුවක්..

ඉතුරු ටික ගිහින් කියවන්න...



වෘත්තීය චිකිත්සාවෙන් කෙරෙන්නේ...දීර්ඝ කාලීනව හෝ කෙටි කාලීනව ආබාධ වලට ලක් වන පුද්ගලයන්ට..නැවත ක්‍රියාකාරී දිවියක් ලබා දීමට සහය  වීමයි...මෙහිදී රෝගියා ගේ නොහැකියාව වගේම ඉතුරු වී ඇති හැකියාවන්ද ඉතා අවධානයෙන් සලකනු ලබනවා..මොකද සමහර රෝගීන් ගත්තම...ඒ අය බොහෝ විට සිහි කල්පනාව පමණක් යන්තමට ඉතුරු වුන අය...ඒ ටික පවා මනුස්සයෙකුට කොයි තරම් වටිනවද කියලා දැනෙන්න නම්...එහෙම කෙනෙක් ව දකින්නම ඕන...

ඉතුරු ටික ගිහින් කියවන්න...



දවසක් නන්නානේ එනවා..ගිනි පෙට්ටියක මල් ටිකක් දාගෙන....මම පුටුවක වාඩි වෙලා ඉන්නවා...ආවා ළඟටම...දුන්න මල් ටික..මම දැන් බය බිරාන්ත වෙලා බලන් ඉන්නවා ගන්නේ නැතුව...ඒ ගමන මට සැරයක් දැම්ම.."ගන්නයි කිව්වේ මේක"කියලා..මොනවා කරන්නද ..ගත්තා කියන්නකෝ..මෙන්න ඒ ගමන මට දන ගහල වැඳගෙන...ජීවිතේට අහල නැති ගාතා වගයක් කියනවා..මොනවා කරන්නද අහගෙන හිටිය...
ඊට පස්සේ නැගිටලා කියනවා..මම ඉතින් අදහන්නේ මේ වගේ අය විතරයි කියලා..මල් ටික ආපහු උදුරාගෙන වගේ අරගෙන නන්නානේ කිය කියා යන්න ගියා....

ඉතුරු ටික ගිහින් කියවන්න...



යම් කෙනෙකුට රෝද පුටුවක් තාවකාලික ව හෝ සදාකාලිකව භාවිතා කරන්නට සිදු වෙන්න පුළුවන්.
තාවකාලිකව ඇති වන අස්ථි බිඳීමකදී...එහෙමත් නැත්නම් යම් යම් රෝගාබාධ වලදී...තාවකාලිකව රෝදපුටුවක් භාවිතා කරන්නට කෙනෙකුට සිදු වෙන්න පුළුවනි.
ඒ වගේම තමයි...සුෂුම්නා ආබාධ වගේ දීර්ඝ කාලීන..සදාකාලික ආබාධ වලදී ...අදාළ කෙනාට එතනින් එහා ජීවිතයම රෝදපුටුව සමග ගත කරන්නට සිදු වෙනවා...
මේ කොයි අවධියේදී වුනත්...අපිට නිවැරදි තේරීමක් නැති වුවොත් ...ඉන් ඇති වෙන අනිසි ප්‍රතිඵල එමටයි...

ඉතුරු ටික ගිහින් කියවන්න...

තව ඔය වගේ වැඩිපුර කතාබහ කෙරෙන මාතෘකා ගැන අපි නොහිතන පැත්තක් සහ රැකියාවට අදාලව ලියවුනු, අපි කතා නොකරනම මාතෘකා කීපයක් ගැන ලියවිලා තියෙනවා... 

මට මේකේ ටිකක් හිතට වැදුනම පෝස්ට් එක තමයි ඔය රැකියාව ගැන ලියලා තියෙන පෝස්ට් එකේ මෙන්න මේ කෑල්ල... 

//එතකොට මට ආව වෘත්තීය තමයි..මේ වෘත්තීය චිකිත්සක කියන තනතුර...මේ ගැන මම කිසිම දෙයක් දන්නේ නැහැ..
අපේ අම්මා අඳුනන නර්ස් කෙනෙක් ගෙන් ඇහුවම කිව්වලු...අපෝ..ඒක හරියන එකක් නෙවෙයි...ඔය අංගොඩ වගේ හොස්පිටල් වල ලෙඩ්ඩුන්ට එක එක ඒවා උගන්නන එකයි ඕක කරලා කරන්න වෙන්නේ කියලා...//

මට හිතුන දේ තමයි අපේ සමාජයේ රැකියා සම්බන්ධයෙන් තෝරා ගැනීම් කරද්දි අපි කොච්චර අසරණ වෙනවද කියන එක... 

සම්ප්‍රදායික රැකියා කිහිපය සහ ( දොස්තර, ලෝයර්, ඉංජිනේරු, ටීචිං, නර්සිං, හමුදාව, ආණ්ඩුවේ ක්ලාක් කම, කම්පියුටර් සම්බන්ධ ඒවා, මැදපෙරදිග ගෘහ ‌සේවිකා, ගාමන්ට් ) තමන්ගේ සමීපතමයෙක් කරන රැකියාවක් නිසා වෙනත් රැකියාවක් ගැන දැනගන්න එකත් ඇරුනම අපේ රුකියා අවස්ථා පිළිබඳ දැනුම අන්තිම පහත මට්ටමක තියෙන්නේ...ඒ මදිවට ඔය රැකියා වලට තියෙනවනේ එක එක මට්ටම්... උසස් හරි පහත් හරි කියලා... ඕලෙවල් ෆේල් නං මෙහෙමයි, ඒ ලෙවල් ෆේල් නං මේක තමයි කොරන්න වෙන්නෙ, කම්පියුටර් ඉංග්‍රීසි නැතුව මොකක් වත් කොරන්න බෑ... අරකද මේකද කියලා කී දාහක් දේවල්ද... 

දැන් හරි හරියට වෘත්තීය අධ්‍යාපනය කියන මාතෘකාවත් කතා කෙරෙනවානේ... ඒත් ඇත්තටම මට නම් තේරෙන විදියට ඉස්කෝලෙ විශය මාලා තෝරගන්න කාලේ වෙන කොට අදටත් අපේ ළමයින්ගේ, දෙමව්පියන්ගේ මානසික මට්ටම් තියෙන්නේ යටත් විජිත කාලේ ඉඳලා ආපුවා... ඒ මදිවට මේ ඔක්කොම කැම්පස් යන්න කරන දැගලිල්ල.... ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ.. 

මං මේ කියන්න දැඟළුවේ මේකයි... 

විශය මාලාවක් තෝරගනිද්දි තේරුමක් තියෙනවා නං “ මං දක්ෂ මේ පැත්තට.. මට මේ පැත්තෙන් යන්න පුළුවන් ” කියලා, එතනින්ම දරුවා පරිණත පුද්ගලයෙක් වීම පටන් ගන්නවා.... එයා යන්නේ මොන පැත්තෙන්ද කියලා අවුරුදු 15 වෙද්දි එයාට තේරුම් ගන්න පුලුවන් නම් අනවශ්‍ය කාලය නාස්ති කිරීම් වලින් ගොඩක් වැලකෙන්න පුළුවන්.. 

මට තේරෙන විදියට මේකට තියෙන ලොකුම බාධකේ තමයි රැකියා වෙළඳපොල ගැන නිසි අවබෝධයක් නැති කම... මට හිතුනා මේකට පුංචි උදව්වක් කරන්න... ඒ තමයි මං රැකියා කරපු ක්ෂේත්‍ර කීපයෙම තියෙන වැඩි ප්‍රසිද්ධියක් නැති රැකියා අවස්ථා කීපයක් ගැන කියන්න... මොකද මට හිතෙන විදියට මේ බ්ලොග් කියවලා අදහස් දක්වන බොහෝ දෙනෙක් ඉන්නවා යම් විදියකින් සම්ප්‍රදායික දෙමවුපියන්ට වඩා වෙනස් අය... තමන්ට කර ගන්න බැරි උන දේ දරුවො ලව්වා කරවන්න දඟලන්නේ නැති අය... දරුවන්ගේ නිදහසට ගරු කරන අය... ඒ වගේ අයට පුළුවන් මෙතනම හෝ තමන්ගේ බ්ලොග් එකේ හෝ තමන් රැකියාව කරන ක්ශේත්‍රයට අදාළ විස්තර ටිකක්, සහ අවශ්‍ය සුදුසුකම් ටිකක් ලියලා තියන්න... එතකොට ඒ විශය ගැන නොදන්න කෙනෙක්ට උනත් දැනුවත් වෙන්න පුළුවන්... 

( උදාහරණයක් විදියට දැන් ගාමන්ට් එකක් රැකියාවක් කියන්නේ ජුකී මැෂින් ක්‍රියාකරවීම විතරයි කියලා හිතං ඉන්න අය මහ ගොඩක් මේ ලංකාවේ ඉන්නවනේ... ඒත් ඇත්තටම ගාමන්ට් එකක් ඇතුලේ කොච්චර රැකියාවල් තියෙනවද කියන එක ඒ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්ට කියලා දෙන්න පුලුවන් තව කෙනෙක්ට... ඒ ගැන නොදන්න කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි ... අපෝ.. ඒවා ගෑණු ළමයින්ට හොඳ රස්සා නෙවෙයි.. කියලා...හි හි) 

ඉතිං මං වැඩ කරපු එක ෆීල්ඩ් එකක් තමයි ෂිපිං ( Shipping/Maritime/ Marine)... මං වැඩ කළේ පෞද්ගලික ආයතනයක.. ලංකාවේ රජයේ ආයතනය විදියට වරාය අධිකාරිය යටතේ තියෙන අතරේ පෞද්ගලික ආයතනයක් විදියට SAGT ( South Asia Gateway Terminals) කියන ආයතනය වරායේ කොටසක් බදු අරන් තියෙනවා... මම ඔය ෆීල්ඩ් එකට සම්බන්ධ උනේ මගේ තාත්තා ඔය ආයතනයේ වැඩ කරපු නිසා... 

මේ තියෙන්නේ කොළඹ වරායේ SAGT ආයතනය අරන් තියෙන කොටස... ලේසියෙන් අඳුනගන්න පුළුවන් රතුයි සුදුයි ගාපු ක්‍රේන් වලින්... කහ පාටින් තියෙන්නේ JCT - Jaya Container Terminal එක... 

ෂිපිං වල ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා.. ( මේ මං දළ වශයෙන් මගේ අත්දැකීම් වලින් ලියන්නේ.. වැරදීම් වෙන්න පුලුවන්...) එකක් කෙලින්ම වරායට සම්බන්ධ ආයතන.. තව එකක් තමයි ප්‍රධාන කන්ටේනර් සහ මගී ප්‍රවාහන ( Container lines and Passenger lines)විශාල සමාගම් වල නිල ඒජන්තකරුවෝ... ( Eg : Hapag lloyd, Hyundai- Aitken Spence / CMA CGM - CMA CGM Lanka/ Maersk line - Maersk Lanka) තව කට්ටියක් තමයි Freight Forwarding and cargo services කට්ටිය...  Cargo Clearing කට්ටියත් services වලටම සම්බන්ධ උනාට ක්ලියරින් විතරක්ම කරන ආයතනත් තියෙනවා....  


දැන් මෙතන .... ෂිපිං කියන්නේ නැව් වල වැඩ කරන එකනේ... අපොයි ඔය නැව් වල නම් යන්න බෑ... කියලා හිතං හිටිය කට්ටිය ඉන්නවනං දැනගන්නත් එක්ක මේ කියන්නේ මං මේ කියන ඔක්කොම ගොඩබිම ඉඳලා කරන රැකියා... ඒ වගේම මේ හැම ආයතනයකම ගෑණු ළමයිනුත් වැඩ කරනවා... 

ඒ ගෑණු ළමයි වැඩ කරන අංශ ප්‍රධානවම තියෙන්නේ ලියකියවිලි ( Documentation) අංශ වල... මේවගේ තියෙනවා නීතිමය අංශ, එකවුන්ට් ( ඒක නම් දන්නවනේ) අංශ... ඒ වගේම ඉහල තනතුරුවලත් කාන්තා පර්ශවය ඉන්නවා ඕනේ තරම්... 

ක්ලාක්ස්ලා, එක්සෙකටිවු ලා, මැනේජර්ලා, එකවුන්ටන්ලා ඕනෙ තරම් ඉන්නවා... 

කොල්ලන්ටත් ඕනේ තරම් ජොබ් තියෙනවා... ඒ වගේම කාසා/ CASA - Ceylon Association of Ships' Agents) එකේ සහ CINEC - Colombo International Nautical & Engineering College  / තේරෙන බාසාවෙන් CINEC Maritime campus එකේ තියෙනවා පාඨමාලා, පුංචිම රැකියාවෙ ඉඳන් ඉහලට යනකම්ම... 

මේකට ඉංග්‍රීසි දැනුම, කම්පියුටර් දැනුම යම්තරමකට ඕනේ... හැබැයි ඔය දෙකේම පරතෙරෙට යන්න උවමනාවක් නෑ... ඉස්කෝලේ ඉංග්‍රීසි ඉගෙන ගත්තනං, කම්පියුටරේක වර්ඩ්, එක්සෙල් වගේ සොෆ්ට්වෙයාර්වල වැඩ කරන්න දන්නවානං, තව දුරටත් ඉගෙන ගන්න ආසාවක් තියෙනවා නං, ඉතුරු ටික සිම්පල්... 

මේ ජොබ්ස් වල තියෙන අමාරුම සහ වටිනාම දේ මං දැන් කියන්නම්... ඒ තමයි මේ ජොබ් වල ටයි දාලා, සාරි , ස්කර්ට්ස් ඇන්ඩ් බ්ලවුස් ඇඳලා ගියාට මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා... ඒසී රූම් වල, කැරකෙන පුටුවේ වාඩි වෙලා අලි බඩට උඩින් ටයි එක දාගෙන ඉන්න තැනට එන්න, ඇති වෙන්න මහන්සි වෙන්න වෙනවා... හැබැයි ඕලෙවල් ෆේල් වෙලා ක්ලාක් කෙනෙක් විදියට ආපු කෙනාටත් මේ තැනට එන්න පුළුවන්... එකම දේ ඉගෙන ගන්න ඕනේ.. උත්සාහ කරන්න ඕනේ... මහන්සි වෙන්න ඕනේ... රස්සාව ආදායම් මාර්ගයක් විතරක් කරගන්නේ නැතුව ඒකට ආසාවෙන් කරනවා නම් ගොඩ යන්න පුළුවන්... එහෙම නැත්තං පටං ගත්ත තැනම කාල් ගගා ඉන්නත් පුළුවන්.. තමන්ගේ කැමැත්ත.... 

මේ අනතුරකට ලක් වෙච්ච කන්ටේනර් නැවක්... පේනවනේ ඇලවෙලා, ‌හොම්බෙන් ගිහින් තියෙන හැටි.... 


මේ මම කිව්වේ වරායට කෙලින්ම සම්බන්ධ රැකියා ගැන නෙවෙයි.. වරායෙන් පිට වැඩ කරන Freight forwarding and cargo services, Main line agents ලා වගේ ආයතන ගැන විතරයි... වරායට කෙලින්ම සම්බන්ධ රකියා ගැන වෙනම ලියන්න වෙනවා.. ඒ තරම් ගොඩක් තියෙනවා.. ඒ වගේම ඒවට පාඨමාලා දැන් NAITA - National Apprentice and Industrial Training Authority එකේ තියෙනවා.... හැබැයි NAITA එකේ මේ වගේ පාඨමාලා වලට ඇප්ලයි කරන්න වයස 18ට කලින් වෙන්න ඕනේ... ( ඒ කියන්නේ ඒ ලෙවල් කරලා රිසල්ට්ස් එනකම් බලං හිටියොත් වැඩේ හබක්) .. ඒක නිසා මේ ක්ෂේත්‍රයට යන්න අදහසක් තියෙනවා නං ටිකක් හොයලා බලන්න... මේ තියෙන්නේ ෂිපිං සම්බන්ධව මගේ ආසම වෙඩ් අඩවිය... මං මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා... ඒ වගේම මේක ජ්‍යාත්‍යන්තර ප්‍රමිති වලට අනුව යන විස්තර තියෙන සයිට් එකක්... http://www.hapag-lloyd.com  මගේ අත්දැකීම නං ඕනෙම කෂේත්‍රයක් ගැන ඉගෙන ගන්නකොට ඒ ගැන ආසාව ඇති වෙනවා... ආසාවක් තියෙනවා නම් ඉගෙන ගන්න හිතෙනවා...  ඉගෙන ගන්නකොට ඉහලට යන්න බැරිකමක් නෑ.... හි හි... 


(මේක ඇතුලේ Sea freight and Air freight කියලා කොටස් දෙකක් තියෙනවා... මේ දෙකම මේ සමහර ආයතන වල කෙරෙනවා... මං ලිව්වේ  Sea freight ගැන විතරයි.. ) 

( මේක තමයි ප්‍රධාන දේ... ප්‍රවාහනය... ගොඩබිමින්, අහසින්, මුහුදෙන්.. ඕක ඇතුලේ තමයි මේ ජොබ්ස් ඔක්කොම තියෙන්‌නේ...)  




මෙයා නං ළඟදි දවසක ලංකාවට ආයුබෝවන් කියලා ආපහු ගියා... මට නං මේකේ රවුමක් යන්නත් අවස්ථාව හම්බුනා.. ඒ ඇරෙන්න ෂිපිං ෆීල්ඩ් එකේ ඉන්නවා ජීවිතේට වරායට අඩිය තියලා නැති කට්ටියත්... හි හි

අනිත් ක්ෂේත්‍රය, ඒ කිව්වේ ප්‍රින්ටිං ගැන වෙන දවසක කියන්නම්... දැනට ඇති වගේ.... මේකත් හොඳටම දිග වැඩියි... 

ප/ලි : මේක කියවලා මේ විදියට ලියලා තියන එක හොඳයි කියලා හිතෙන කෙනෙක් ඉන්නවා නං, කැමති නම් කමෙන්ට් එකක් දාලා තමන්ගේ රැකියා ක්ෂේත්‍රය ගැන පොඩි විස්තරයක් දැම්මට කමක් නෑ... එක්කෙනෙක්ට හරි ප්‍රයෝජනයක් උනානං එච්චරයි මට ඕනේ.. හි හි

Tuesday, July 9, 2013

කෝච්චි නෑලු.... No trains today.....




කෝච්චි නෑලු... ස්ට්‍රයික් එකක් ලු... 

ඊයේ ගෙදර යන්න ලෑස්ති උනාම අපේ මහත්තයා කිව්වා ඉක්මණට එන්න කියලා බස් වල එන්න අමාරු වෙයි කියලා... ඒත් පාදුක්කේ ඉදන් එන එක එච්චර අමාරු උනේ නෑ...

මට මතක් උනේ ඉස්සර කෝචිචි නැති උනාම අපි මොන තරම් දුකක් විඳිනවද කියලා... ඉස්කෝලෙට යන්න, වැඩට යන්න.... 

කෝච්චි වල යන අයට සාමාන්‍යයෙන් තියෙන ලෙඩක් තමයි බස් වල යන්න අකමැත්ත.... මට නං ඒක තදට තිබ්බා... කෝච්චි නැති දවසට ගෙදර ඉන්න එක තමයි මං කරන්නෙ.. බස්‌ එ‌කේ යන්‌නේ වැඩට යන්නම ඕ‌ෙන් නම් විතරයි.... 

ඒ ඉතිං අපිනේ.. අපිට මොන බරක්ද ඒ කාලේ...  

ඒත් අද මේ කෝච්චි වල වහලේ ඉඳන් නැඟගෙන වැඩට යන, දරු මල්ලෝ නඩත්තු කරන පවුල් කාරයෝ... ?

අද උදේ පත්තර කතන්දර අහද්දි පම්පෝරි දෙකක් ඇහුනා... 

වර්ජකයෝ කියනවා “ වර්ජනය සාර්ථකයි.. කෝච්චි 4යි ඊයේ දවසටම වැඩ කළේ..” කියලා.. 

ඇමතියාද කොහෙද කියලා තිබ්බා “ කෝච්චි 12ක් වැඩ කළා කියලා..” 

දැන් කවුද මෙතන දිනලා තියෙන්නේ...???? 

මොන මඟුල කරන්නත් ක්‍රමයක් තියෙන්න ඕනේ... මං දන්නෑ මොන මොන ඉල්ලීම් වලට මේ වර්ජනය කරනවද කියලා... හැබැයි මේක දොස්තරලා ලෙඩ්ඩු ඇපේට තියාගෙන කරන වැඩ වර්ජන වලට වඩා ලොකු වෙනසක් නෑ... අපේ රටේ පෞද්ගලික ආයතන වලට වැඩ කරන මිනිස්සුන්ගේ මාසික පඩිය කියන්නේ ආණ්ඩුවේ අයගේ මාසික පඩිය වගේ එකක් නෙවෙයි... ගොඩක් අයට තියෙන්නේ පොඩි ගානක් බේසික් එක විදියට... තව තව හම්බුවෙන ඒවා ටික හම්බුවෙන්නේ එක එක දීමනා විදියට... ඕකෙන් එකක් තමයි ඉන්සෙන්ටිව් එක, පැමිණිමේ දීමනාව වගේ නම් වලින් හැඳින්වෙන දීමනාව.. එක දවසක් නිවාඩු දැම්මොත් රැ 1000ක් විතර කැපෙනවා... 

ඔය ලොකු ලොකු තැන් වල ඉන්න මිනිස්සුන්ට රැ 1000ක් කියන්නේ පොකට් මනී උනාට ඕකෙන් දවස් ගානක් යන්තම් ලෙව කාලා හරි ජීවත් වෙන පවුල් ඉන්නවා මේ රටේ.. ඒ අය තමයි ඔය බස් වල කෝච්චි වල සීසන් අරන් යන්නේ.... ඒ අයට මේ වගේ දීමනාවක් නැති වෙනවා කියන්නේ ‌ලොකු අමාරුවක් මාසේ ජීවත් වෙන්නේ ගියාම.... 

දැන් ඉතිං “ අපි සාර්ථකයි ” කිය කිය උඩ පැනපල්ලා දෙගොල්ලොම.... මොකද දෙපැත්තට බොලේ පාස් කරගන්න එකනේ මේ රටේ ජනප්‍රියම සෙල්ලම.... 

Thursday, June 20, 2013

දැන දැන කරපු පොඩි වැරදි සහ නොදැන කරපු ලොකු වැරදි... ඉස්කෝල මතක...

සාමාන්‍යයෙන් ඉස්කෝලෙ යන කාලේ මං වැරදි කරලා දඬුවම් ලබපු ජාතියේ එකෙක් නෙවෙයි... එක්කෝ වැරදි කරන්නේ නෑ .. නැත්තම් කරන වැරදි අහුවෙන්නේ නෑ.. ඔය එක් එක ජාතියේ වැරදි තියෙනවානේ... ගෙදර වැඩ නොකරන එක.. පරක්කු වෙලා ඉස්කෝලෙ එන එක... ඉස්කෝලෙ කට් කරන එක... ගවුම කොට වෙන එක.. කොණ්ඩේ රිබන් නැතුව එන එක.. බෙල්ට් එකට කටු ගහන එක... හවුස් බැජ් එක නැතුව එන එක... පොත් ගෙදර දාලා එන එක... පීරියඩ් කට් කරන එක... හ්ම්ම්.. ඔච්චරයි වගේ මතක... තව තියෙනව මං හිතන්නේ... හි හි.. 

මං සාමාන්‍යයෙන් නොකරන වැරද්දක් කමයි ඉස්කෝලෙට පරක්කු වෙලා එන එක... කෝච්චිය පරක්කු උනාම ඒක අපේ වැරැද්දක් නෙවෙයි කියලා ටීචර්ලා අපිට කවදාවත් දඩුවම් දුන්නේ නෑ... අනිත් එක ඉතිං පරක්කු වෙනවා නං සෙට් එකක්ම පරක්කුයිනේ.. ගේට්ටුව ගාව ඔය කිව්ව වැරදි  චෙක් කරන්න ඉන්න ශිෂ්‍ය නායිකාවොත් දන්නවා අපි සෙට් එක කෝච්චියේ එන්නේ කියලා.. ඉතිං බුදුන් වැඳලා ඉවරවෙනකම් ගේට්ටුව ගාව තියාගෙන ඉඳලා දඬුවම් නැතුවම අපිව පන්තියට යනවා... 

ගේට්ටුව ගාවදි බලන්නේ ශිෂ්‍ය වාර්තා‌ පොත තියෙනවද කියලා, හවුස් බැජ් එක තියෙනවද කියලා සහ ඔය කටු ගැහිලි අරවා මේවා යන්තම් උඩින් පල්ලෙන්.. අක්කලට ඕවා ඔක්කොම බලන්න බෑනේ.. ඔන්න ශිෂ්‍ය නායක වෙච්ච අලුත නම් පොඩ්ඩක් උවමනාවෙන් බලනවා.. ශිෂ්‍ය වාර්තා පොත බැලුවේ නම් මොන මඟුලකටද කියලා මං දන්නේ නෑ... එක එක කාලෙකට ඔය ගේට්ටුව ගාවදි බලන ඒවා වෙනස් වෙනවා... කාලයක් කෑම පෙට්ටිත් බැලුවා බත් කොලවල ඔතං එනවද කියලා... අපේ බෙල්ට් බකල් එකනේ බැජ් එක... යුනිෆොම් එකේ නීතිය බෙල්ට් එක ඉණට උඩින් තියෙන්න ඕනේ කියන එක.. අපේ උන් කට්ටක් ගහගෙන ඇවිත් ඉස්කෝලෙන් එලියෙදි ඕක පල්ලෙහාට වැටෙන්න හදාගන්නවා.. ඒ කාලේ විලාසිතාව ඉණ පල්ලෙහාට දාලා අඳින එක... ඒක හින්දා නීතියක් දාලා තිබ්බා බෙල්ට් එකට‌ බොත්තමක් අල්ලන්න ඕනේ කියලා.. අපි ඊට වැඩිය කට්ටයි.. අපි කරන්නෙ බෙල්ට් එක බකල් එකේ රඳවනවා... ආයිත් ඕකට බොත්තම් ඕනැයැ.. හි හි... හවුස් බැජ් නීතිය නම් ආවේ මොන මංගල්ලෙටද කියලා මට මතක නෑ... හැබැයි ඒ නීතිය දැම්මට පස්සේ අපේ බැජ් වල ලොකුවට ගහලා තිබ්බ හවුස් වල නම් ටික නං අයින් කළා.. අහල පහල උන් ඕවට එක එක නම් දාගෙන හිටියේ... ඒක හින්දා වෙන්න ඇති... හි හි... 

හැබැයි වැලන්ටයින් කාලෙට හොඳට චෙක් කරනවා.. පන්තිවලටත් පැන පැන... අපේ උන් අක්කලට වඩා කට්ටයි... අපේ අක්කලා කරන්නේ උන්ගේ තෑගියි ලියුමුයි අරවයි මේවයි ඔක්කොම 6 - 7 උන්ගේ බෑග් වලට දානවා... උන්ගේ බෑග් බලන්නේ නෑනේ... අපේ මැඩම් කවදාවත් 12-13 අක්කලගේ බෑග් චෙක් කරවන්නේ නෑ... ලොකු උන්ට කොහොමත් කොල්ලෝ ඉන්නවා කියලා මැඩම් දන්නවා වෙන්න ඇති.. වැඩිපුර බලන්නේ 8-11 තමයි...පොඩි උන් ගැන වැඩි සැලකිල්ලක් තිබ්බා.. උන්ව පරිස්සම් කරන්න එපැයි.... 

කියන්න ගියේ වෙන එකක්... 

9 විතර ඉන්න කාලේ මං ගියේ වෑන් එකක... අපේ ඉස්කෝලෙ ළමයෙක්ගෙම තාත්ත කෙනෙක්ගේ.. ඒ පවුලෙ කට්ටියම අපි එක්ක යනවා.. රස්සාවල් වලට එහෙම.. ඉතිං හැමදාම මේ වෑන් එක පරක්කු වෙනවා... එක දවසක් ඉස්කෝලෙට යනකොට 9.30යි.. හැමදාම පරක්කු වෙලා දඬුවම් විඳලා අපි‌ට ඇති වෙලා තිබ්බේ.. කෝච්චියෙ යනවා වගේ නිදහසට කරුණක් තිබ්බේ නෑ.. ඉතිං හැමදාම රැස්වීම් වලට ඉන්නයි, අතුගාන්නයි, ඊට පස්සේ පන්තියට ගිහින් ටීචර්ලගෙන් බැනුම් අහන්නයි... ඒක නිසා අපි කීප දෙනෙක් කිව්වා අද ඉස්කෝලෙ යන්න බෑ ආපහු ගෙදර යං කියලා... ( එතන ඉස්කෝල දෙක තුනක ළමයි හිටියා..) කතන්දරේ ගොඩක් දිග උනත් කියන්න තියෙන්නේ අපි ගෙදර ගියේ වෙනදා ගෙදර යන වෙලාවටම තමයි, ඉස්කෝලෙ ගියෙත් නෑ.. වෑන් එකේම හිටියා.. ඇත්තටම එදා උනේ බය වෙච්ච එක... 7.30ට පටන් ගන්න ඉස්කෝලෙට 9.30ට යන්න බය නැති ළමයා කවුද... 

මං ඉතිං ගෙදර ගිහින් වෙනදා වගේම අම්මට හැමදේම කිව්වා.. අම්මා මට බැන්නෙ නෑ.. ඒක නිසා මං බය උනෙත් නෑ... 

ඊළඟ දවසේ ඉස්කෝලෙට ගියාම ඉන්ටවල් එකට කලින් පීරියඩ් එකේදි මට ඔෆිස් එකෙන් පණිවිඩයක් ආවා.. ජීවිතේ පළවෙනි වතාවට එහෙම එකක් උනේ.. සාමාන්‍යයෙන් ශිෂ්‍ය නායකයෙක්, පන්ති නායකයෙක් නොවිච්ච එකෙක්ට ඔෆිස් එක කියන්නෙ හෙන භයානක තැනක්... මාත් එහෙම එකෙක්.. එතනට යද්දි අපේ තුන්දෙනාම එතන... ප්‍රින්සිපල් මැඩම් ( අපි කිව්වෙ එළිසබෙත් රැජින කියලා ආදරේට..තල්දෙන මැඩම්ව දැකලා තියෙන කෙනෙක් නම් දන්නවා ඇයි ඒ කියලා... හි හි) මාව අල්ලගෙන කලින් දවසේ විස්තර ඔක්කොම ඇහුවා... මං බය වෙලා හිටියට කරපු වැරැද්දෙ බරපතලකම දැනං හිටියේ නෑ... අඩුම ගානේ කරපු වැරද්ද මොකද්ද කියලාවත් මට හරියට තේරුමක් තිබ්බේ නෑ... මං වගේම තමයි අනිත් එකත්.. ( ඒ දෙන්නගෙන් එක්කෙනෙක් අර අන්කල්ගේ දුව... ) මං ඉතිං විස්තරේ කිව්වා... ඊට පස්සේ මැඩම් අපිට කිව්වේ “ මීට පස්සේ එහෙම බය වෙන්න එපා.. කීයට ඉස්කෝලෙට ආවත් අපි බාරගන්නවා... බය නැතුව මගේ ගාවට ඇවිත් මට ‌හේතුව කියන්න... මීට පස්සේ මෙහෙම වැඩ කරන්නත් එපා... ” කියලා...  අපිත් ඉතිං ඔලුව වනලා ආපහු පන්තියට ගියා...  එතකොට තේරිච්ච හැටියට අපි කරපු වැරද්ද ඉස්කෝලෙට එන්නේ නැතුව හිටපු එක කියලා මං හිතං හිටියේ... 

ගෙදර ගියාම අම්මා තමයි මට විස්තරේ කිව්වේ.. උ‌ෙද්ම මැඩම් අපේ ගෙදරට කතා කරලා... කලින් දවසේ අපි යුනි‌ෆොම් එකෙන් ඉන්නවා දැකපු කෙනෙක් ඉස්කෝලෙට කතා කරලා කියලා... මැඩම් වෑන් එකේ නම්බර් එක අරගෙන, අපේ පන්ති හොයාගෙන, අපේ ගෙවල් වල නොම්බර් අරන් ගෙවල් වලට කතා කරලා,අම්මලට ඉස්කෝලෙට එන්න කියලා, වෑන් එකේ කට්ටියටත් එන්න කියලා ලොකු මෙහෙයුමක් ඒ වෙනකොටත් ඉස්කෝලෙන් කරලා... එදා මගේ බෙල්ල බේරුනේ මං ගෙදර ගිහින් අම්මට විස්තරේ කියලා තිබ්බ නිසා... කොහොමහරි කරපු වැරුද්දට අපිට නම් කිසිම දඬුවමක් දුන්නේ නැති උනාට ජීවිතේට ඇතිවෙන්න බය උනා එදා... 

ටික කාලෙකට පස්සෙ තමයි එදා අපි කරපු වැරැද්දේ තිබ්බ බරපතලකම හොඳටම ‌තේරුම් ගියේ... ඕක උනේ 1997 විතර.. අද මේක ලියනකොටත් මගේ ඇඟ සීතල වෙන තරම් ... 

මම කවදාවත් යුනි‌ෆොම් එකට මෝස්තර කරලා ඇඳලා නෑ...කොල්ලා වගේ දගල දඟල හිටපු එකානේ මං... ඕවයේ ගානක් තිබ්බේ නෑ.. පන්තියේ දෙවනියට විතර උසම එකා උනාට මගේ ගවුම දණිස්සෙන් පහලට අඟල් දෙකක්වත් අඩුම ගානේ තිබ්බා...ඒකට හේතුව ගවුම් මැහුවේ අපේ අම්මා හින්දා... අම්මත් එක්ක ඉඳල හිටලා වලි දාගත්තට ගවුම දිග වැඩියි කියලා මට ඕක එච්චර ගානක් තිබ්බේ නෑ.. මොන දේට හරි නීතියක් තියෙනවානං ඒ නීතිය අනුව වැඩ කරන එක මගේ පුරුද්ද.. වැඩකට නැති නීති, නීති වාත වෙච්ච වෙලාවට නං අල්ලලා දානවා ඉතිං... හි හි.. 

ඒත් එකපාරක් වැස්ස කාලෙක,සිකුරාදා දවසක අනිත් ගවුම් වේලිලා නැතුව පරණ ගවුමක් ඇඳන් යන්න උනා... එදා රැස්වීමෙදි අක්කලට අහු උනා මගේ ගවුම කොටයි කියලා... ඒ කාලේ ගවුම කොටද කියලා බැලුවේ දණ ගස්සලා කෙලින් උනාම, ගවුම බිම ගෑවෙන්න තියෙන්න ඕනේ කියලා... එදා මගේ ගවුම යන්තම් අඟල් කාලක් විතර කොටයි... අක්කලා ඉතිං මාව අල්ලලා වාටියෙන් බාගයක් ලෙහලා යන්න ඇරියා.. මට ඕක එච්චර ගාණක් උනේ නෑ තව ඇතුලටත් වාටියක් නවලා මැදලා තිබ්බ නිසා... නූල් එල්ලෙන්නේ නෑ නේ.. වාටිය ලෙහලා කියලා පේන්නෙත් නෑ... ඒත් හෝම් සයන්ස් වලට ගිය වෙලාවේ අපේ ටීචර් නූල් පාරවල් දෙක තුනකින් වාටිය ෂේප් කරලා දුන්නේ එදා වාටි ගැලෙව්ව අපේ කීප දෙනෙක්ම හිටිය නිසා වෙන්න ඇති.. ඒ ටීචර්ගේ හැටි ඉතිං.. ළමයින්ට හරි ආදරෙයි...  අනිත් එක හැමෝම එදා පරණ ගවුම් ඇඳන් ඇවිත් තිබ්බේ.. අක්කලා නීතියට අනුව වැඩ කළාට ටීචර්ට තේරෙන්නේ ඇති මේ අහුවෙලා ඉන්නේ විච්චූර්ණකාරියෝ නෙවෙයි කියලා... හි හි... 

මායි මගේ යාලු තවත් පිස්සියෝ තුන්දෙනෙකුයි... හි හි.. 
මුන් තුන්දෙනා දැන් කොහෙ කොහෙ ඉන්නවද කියල මං දන් නෑ... 


ප/ ලි : මට මේ කතාව කියන්න හිතුනේ ගවුම් වාටි කතන්දර කියවෙන නිසා... 

අපි ඉස්සර දැන දැන වැරදි කළා.... මං කවදාවත් ගෙදර වැඩ ගෙදරදි කරපු එකෙක් නෙවෙයි... හැබැයි අහුවෙලා දඬුවම් විඳලත් නෑ...ස්පෝර්ට් මීට් කාලේ අව්වේ කරවෙන්න කම්මැලිකමට පන්තියෙන් කට්ටි පැන්නා.. ඒ ජොලියට... සිල් ගන්න අස්සේ නවල් කියෙව්වා... කම්මැලි හින්දා... 

‌ජොලියට කරපු වැරදි සහ නොදැනුවත්කමින් කරපු වැරදි අඳුනගෙන ඒ අනුව වැඩ කරන්න පුළුවන් ගුරුවරු අපිට හිටියා... ඒක නිසා අපි ඉගෙන ගත්තා බරපතල වැරදි කියලා ජාති තියෙනවා කියලා... ඒ වගේම නීතියක් තියෙන්නේ හේතුවක් ඇතුව කියන එකත් අපි ඉගෙන ගත්තා.. අපිත් ටීචර්ලා එක්ක එක එක දේවලට වලි දාගත්තා... කේන්ති ගත්තා.. රණ්ඩු උනා.. නියෝගවලට අකීකරු උනා...ඒවා අස්සෙම විහිළුත් කළා.. හිනා උනා.. පිස්සු නැටුවා... එක එක ප්‍රොජෙක්ට්ස් වලට සම්බන්ධ උනා...  ඒත් ඒ ඔක්කොමත් එක්ක ගෞරව සම්ප්‍රයුක්ත බයක් ගුරුවරු ගැන තිබ්බා... ගුරුවරුයෙක් එක්ක යකා වැහුනත්, ඒ වෙලාවේ කට වහගෙන ඉන්න, ගෙදර ගිහින් අම්මලට කියන්න අපිට සංයමයක් තිබ්බා... 

මටත් වැරදි කරපු ගුරුවරු හිටියා... හැබැයි ඒ අයගෙන් පලිගන්න අදහසක් මට නම් ආවේ නෑ... සමහර විට ඒ අය වැරදියි කියලා ඔප්පු කරපු එක මගේ පලිගැනීම වෙන්න ඇති... ඒකෙන් මට නරකක් උනේ නෑ... ඒ ටීචර්ල‌ට නරකක් උනා කියලා මං හිතන්නෙත් නෑ... මොකද එයාලා හැමෝම මං ඉස්කෝලෙන් අවුට් වෙනකෙට ගිහින් යනවා කියලා වැන්දම, ඔලුව අතගාලා තව හොඳින් ඉගෙන ගන්න කියලා කිව්ව නිසා... 

අද ඇහෙන දේවල් එක්ක මට තේරෙන්නේ එක්කෝ අපිට හිටපු ජාතියේ ටීචර්ලා දැන් නැතුව ඇති.. නැත්තම් අපිට හම්බුවෙලා තියෙන්නේ හිටපු හොදම ගුරුවරු ටික වෙන්නැති කියලා... අපි ඉගෙන ගත්ත කාලේ හිටපු ළමයෙක්ට ගෙදර ගිහින් තාත්තට කියලා ගුරුවරුයගෙන් පළිගන්න අදහසක් එන්නෙත් නෑ... අපි එක්ක ඉගෙන ගත්ත කිසිම කෙනෙක්ට තමන්ගේ ළමයට දඬුවම් කළා කියලා ගුරුවරුයව දණගස්සන්න අදහසක්‌ එන්නෙත් නැ..

ඊයේ ඇහුනා ප්‍රොජෙක්ට් එකක් බාරගත්තේ නෑ කියලා දොස්තර කෙනෙක් වෙලා හිටපු කෙනෙක් තමන්ගේ දැන් ගුරුවරියව මන්නෙන් කපලා කියලා.. තමන්ගේ ව්‍යාපෘති වාර්තාව දෙපාරක්ම අසාධාරණ විදියට පෞද්ගලික ප්‍රශ්නයක් නිසා ප්‍රතික්ෂේප කරපු කෙනෙක්ගෙන් පලිගන්න හිතන්නේ නැතුව තව පාරක් ඒ ව්‍යාපෘතිය හදලා දුන්න වෛද්‍යවරයෙක්ව මට මතක් වෙන්නෙ මේ වෙලාවේ... 

වැරද්ද තියෙන්නේ අධ්‍යාපනයෙද... අධ්‍යාපනයෙන් හදන මිනිස්සු සමාජයට ගියාමද... කියලා මං තාමත් කල්පනා කරනවා... 

Monday, June 17, 2013

මිනිස්සු හරි පුදුමාකාරයි කියලා මට ආයිත් හිතුනා...



කලින් කතාවේ කමෙන්ට් වලට උත්තර නොදීම මේ පොස්ට් එක දාන්න හිතුවේ හේතුවක් ඇතිව... මොකද ඒක ලියපු දවසේ ඉඳලා අද වෙනකොට වෙච්ච දේවල් වල සාරංශයක් විදියට මේ ටික ලියන්න හිතුව නිසා.. 

ඊයේ අපේ මහත්තයයි මායි පුරදු විදියට එළියේ පඩිපෙලේ වාඩි වෙලා කයියක් දාගෙන උදේ තේක බීබී ඉන්නකොට මුණියන්ඩි අපිත් එක්ක කතාවට වැටුනා... සාමාන්‍යයෙන් නම් මේ වෙලාවට මුණියන්ඩිව අල්ලගන්න බෑ... ඒත් දැන් තුවාලේ නිසා ගෙදරට වෙලානේ ඉන්නේ... ඉතිං අපේ මහත්තයත් තුවාලේ කතන්දර එහෙම අහලා කතා කර කර ඉන්නකොට මුණියන්ඩි කියනවා ඇන්ටි බැන්නලු ගෙදරින් කවුරුවත් ආපු නැති එකට... 

මුණීයන්ඩිගේ පවුලේ කතාව සාමාන්‍ය වතු කම්කරුවෙක්ගේ පවුලේ කතාවම තමයි ඉතිං.. පැය 24ක් වැඩ කළාම රැපියල් 640 ගානක් හම්බුවෙනවලු... අම්මයි, දුවයි දලු කඩන්න යන අතරෙ පුතා ෆැක්ටරි ඔෆිස් එකේ කර්යාල කාර්ය සහායක විදියට වැඩ කරන්නේ.. බෑනා පල්ලියේ වැඩ කරන කෙනෙක් කිව්වා.. හැබැයි මුණීයන්ඩිලා හින්දු... මං ඇහුවා ආගම ප්‍රශ්නයක් උනේ නැද්ද කියලා... මොකද දැන් පුතාගේ මඟුල ගැන හොයන විදියට එහෙම දෙයක් ගැන මට හිතන්න බැරි නිසා.. කීප දවසක් ගෙවල් වල අය හම්බුවෙලා කතා කරලා, කේන්දර බලවලා, නැකත් හදවලා ( ඒවා කරන්න පවුල් දෙකේම අය යන්න ඕනෙලු.. එක කටිටියක් විතරක් ගිහින් බැලුවට අනිත් අය පිළිගන්නේ නෑලු.. මේ දවස්වලම ඒ ටික කරන්න හදන්නේ මේ මාස වල විතරලු එයාලට මඟුල් කරන්න හොඳ මාස.. පරක්කු කලොත් මේ අවුරද්දේ කරන්න බෑලු... ) තමයි ඒ වැඩේ කෙරෙන්නේ... ඒත් දුවව එයාට බන්ඳලා දුන්නේ එයා නොබොන කෙනෙක් නිසා කියලා මුණියන්ඩි කියන්නේ... වත්තේ වැඩ කරන හැම කෙනාම පුදුමාකාර විදියට බොනවලු... ඉස්සර නම් මුණියන්ඩිත් බිව්වලු... ඒත් මෙහෙ ආවට පස්සේ බොන එක නවත්තලා.. දැන් කියන්නේ ඒ කාලේ ඉඳලා නොබී හිටියනං අද ටිකක් හරි ගොඩ ගිහිල්ලා කියලා... දැන් මුණීයන්ඩිට ඕනේ පුතාවත් ඉක්මණට බන්දලා දෙන්න විතරලු... ඊට පස්සේ මළත් කමක් නෑලු... 

මේක මහ අමුතු කතාවක් නෙවෙයි කාටවත්.. මං හිතන්නේ මේක ෆිල්ම් වල දැකලා, කතා වල කියවලා ඇති පදම් පට්ට ගහපු කතාවක්.. ඒත් අපි දන්න කෙනෙක් මෙහෙම එයාගේ පවුලේ විස්තර කියද්දි මේක කතාවක්ම විතරක් නෙවෙයි කියලා දැනෙනවා... මම මිනිස්සු ගැන හිතං ඉන්න දේවල් හරි ඉක්මණට වෙනස් වෙන්න මේවගේ එක එක හේතු බලපානවා... සමහර විට ඉදිරියට මගේ අතින් මුණියන්ඩිගේ කතාව ලියවෙන්න ඉඩත් තියෙනවා... 

ඉස්සර උඩහමුල්ල හරියේ කෝච්චිය මුඩුක්කු ගෙවල් මැද්දෙන් යනකොට මං අහන්ත වාරයක් හිතලා තියෙනවා ඇයි මිනිස්සු මෙහෙම ජීවත් වෙන්නේ කියලා.. එහෙම විශේෂයෙන්ම හිතුනේ එක දවසක් එතනදි අනතුරක් වෙච්ච වෙලාවක... එක අම්මා කෙනෙක් ඇගේ හරිහමන් වස්තරයක්වත් නැතුව කෑ ගහගෙන, ඔලුවේ අත් ගහගෙන, අඬාගෙන දුවනකොට අපි හිතුවා ඒ ගෙවල් වල ළමයෙක් හැප්පිලා කියලා කෝච්චියට... බලද්දි හැප්පිලා තිබ්බේ කාරෙකක්.. හොඳ වෙලාවට කාටවත් ලොකු අනතුරක් නෑ එදා... ටික වෙලාවකින් අර අම්මා එනවා අවුරුදු 2කට විතර ගෑණු ළමයෙක් වඩාගෙන... ඔය වෙලාව වෙන‌කොට අපි දැනගෙන හිටියේ ඒ අම්මට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා කියලා... ඒ එකම ගෙදර පවුල් 4ක් ජීවත් වෙනවා කියලා... 

එදා මගේ ඔලුවට ආපු ලොකුම ප්‍රශ්නේ තමයි ඇයි මේ මිනිස්සු මෙච්චර දේවල් වෙද්දිත් මෙතනම ජීවත් වෙන්නේ.. ඇයි මෙයාලා කීයක් හරි ඉතුරු කරගෙන ළමයින්ව පරිස්සම් කරගන්න පුලුවන් තැනකට යන්නේ නැත්තේ කියලා... 

ඉස්සර කෝචිචියේ යද්දි අපි හැමතිස්සෙම දකිනවා පුංචි ළමයි ඔය රේල් පාරවල් වල සෙල්ලම් කරනවා... එයාලා කෝච්චියට පුරුදු නිසා බය නැද්ද, නැත්තම් ඒක අම්මලගේ නොසැලකිල්ලද කියලා කියන්න මම දන්නේ නෑ ... ඇත්තටම එහෙම තැන්වල කෝච්චිය යන්නෙත් හරිම හෙමින්... 

නමුත් මම මේ ළඟදි දැනගත්ත විදියට ( ඒකත් මුණීයන්ඩි එක්ක කතා කරද්දි... මුණීයන්ඩිගේ නංගි කෙනෙක් පදිංචි වෙලා ඉන්නවා කිරුලපනේ ඔය මං කිව්ව හරියේ...) ඒ අයගෙන් ගොඩක් අය රැකියාව විදියට කරන්නේ ගෙවල් වල වැඩ කරන එක, නගර සභාවේ හෝ වෙනත් කුළි වැඩ... හැබැයි ඒ අතර ඉන්නවා මුදලාලිලත්.. කඩ අයිති අය, පොඩි කමියුනිකේෂන් කරන අය එහෙමත්... ඒ අලුත් පරම්පරාවල් ඉගෙන ගන්න නිසා... ඒත් එයාලා අර ගෙවල් වල වැඩ කරන එක, කුණු ටැක්ටරේ යන එක නවත්තන්න කැමතිත් නෑ... තාත්තා බලන්නෙ පුතාවත් කුණු ටැක්ටරේ වැඩට දාන්නමයි... ඉහලට ඉගෙන ගැනීමක් ගැන එයාලා හිතන්නේ නෑ.. එයාලා දන්නේ ඒ රස්සාව නිසා එකම කරන්න උත්සාහ කරනවා... ඒ හේතුව නිසාම අර ඉන්න තැනින් වෙන තැනකට යන්න කැමතිත් නෑ... ඒ ගෙවල් වල ඉන්න ගොඩක් පිරිමි ළමයින්ට මෝටර් බයික් තියෙනවා... ඒ ගෙවල් වල ටීවී , කම්පියුටර්, ෆ්‍රිජ් එහෙමත් තියෙනවා.... ඒත් අර ඉන්න මුඩුක්කුවෙන් එළියට එන්න හිතන්නේ නෑ... 

ඩෙංගු වගේ බෝවෙන ලෙඩක් හැදිලා, වාහන අනතුරක් වෙලා ළමයෙක් මැරෙන එක එයාලට අමුතු දෙයක් නෙවෙයි.. ඒ වෙලාවට අඬලා එක එතනින් ඉවර වෙනවා... එයාලගේ ජීවිත සරලයි කියන්න පුළුවන්ද කියලා මම දන්නේ නෑ... ඒත් එයාලට අනුව ඒක තමයි එයාලාගේ ජීවිතේ... 

අපි කොහොමද නොනා, මහත්තුරු වගේ ජීවත් වෙන්නේ කියලා අහනවා... එයාලට අනුව බයික් එකේ වැඩට යන අපේ මහත්තයා, “මහත්තයෙක්” ... 

අපේ මහත්තයා කිව්වේ එකම දෙයයි... ඔය කිව්ව ගානටත් වඩා අඩු ගානක් අපි දෙන්නටත් මාසෙට හම්බුවෙන්නේ.. ඒක හොයන්නත් මං කොච්චර මහන්සි වෙනවද කියලා මුණීයන්ඩිට පේනවනේ.. මං රෑට ගෙදර එන වෙලාවත් මුණීයන්ඩි දන්නවනේ.. කියලා... 

ඇන්ටි ඊයේ කියනවා මුණීයන්ඩිලෑ ගෙදර කවද්ද කරදර නැති උනේ ... ඇහුවොත් ගෙදර කරදර කියලා තමයි කියන්නේ... තමන්ගේ තාත්තා අසනීප වෙලා ඉන්න වෙලාවේ මොන මඟුල්ද අපිට නං කියලා... මං ඇන්ටිට කිව්වා දැන් තුවාලේ හොඳයිනේ, මුකුත් කියන්න එපා කියලා... නැත්තං මුණියන්ඩි හිත නරක් කරගන්නවා... 

මට ඊයෙ ආයිත් පාරක් හිතුනා මිනිස්සු හරි පුදුමාකාරයි කියලා.. 

ප/ලි : ඊයේ බේත් දාන්න යනකොට නම් මුණියන්ඩිගේ තුවාලේ ගොඩක් දුරට හොඳයි... ටිකක් ඉදිමුන ගතිය තිබුනත් දැන් නම් බයවෙන්න දෙයක් නෑ කියලා ඩොක්ටර්ස්ලා කියනවා... ගෙදරට ත්‍රීවීල් එකෙන් පරිස්සමෙන් එක්කන් ආවත්, ත්‍රීවීල් එක නවත්තන්නත් කලින් ඒකෙන් පැනලා ඇන්ටිගෙනුයි මගෙනුයි හොඳටම බැනුම් ඇහුවා ඊයේ නම්....

Thursday, June 13, 2013

මිනිස්සු හරි පුදුමාකාරයි....




පහුගිය ටිකේ ලිවිල්ල කෙරැණේ ටිකක් අඩුවෙන්... නොලිව්වාමත් නෙවෙයි .. ඒත් බ්ලොග් එක ලියන්න පටන් ගත්ත හේතුවෙන් ටිකෙන් ටික ඈත් වෙලා ගියා කියලා දැනුනා... සාහිත්‍යමය පැත්තට යන්න උවමනාව තිබ්බ නිසා පොඩි පොඩි කතා කීපයක් ලිව්වත් සුපුරුදු ශෛලියෙන් බැහර වීම නිසා ලොකු අඩුවක් හිතට දැනෙන්න පටන් ගත්තා... 

දැන් සති තුනකට විතර කලින් අපි ඉන්න ගෙදර වැඩ කරන්න ඉන්න කෙනාට ( අපි ඉන්නේ කුලියට... ) අනතුරක් උනා... රෑ හතාමාරට විතර ගේ ඉස්සරහම කහ ඉර උඩදි බයික් එකක් හප්පගෙන ගිහින්... ඒ බයික් එක නවත්තලා නැති උනත් ඊට පස්සෙ ආපු බයික් එකක් නවත්තලා ගෙදරට කතා කරලා... මුණියන්ඩිට අවුරුදු 60ක් විතර... මේ ගෙදර ඇන්ටි රෑ වෙලා කවුරුහරි ආවත් එළියට බහින්නේ නෑ.. මුණියන්ඩි තමයි හැමදේම බලන්නේ... ඇත්තටම බස් පාර අයිනේ තියෙන ගෙයක් නිසාත්, තනියම ජීවත් වෙන කෙනෙක් නිසාත් ඇන්ටි එහෙම එළියට බහින්නේ නැති එක සාධාරණයි... ඉතිං ඒ වෙලාවෙත් නෝනට කතා කරන්න කියලා මුණියන්ඩි කියලා, පාරෙ හිටපු අය කතා කරද්දි ඇන්ටි කලබල වෙලා මට කතා කරලා කිව්වම, මම එළියට බැහැලා බලද්දි තමයි සිද්ධිය දැනගත්තේ.. 

කොච්චර කිව්වත් රෑ වෙලා එළියට යන්න එපා කියලා මුණීයන්ඩිට ඉතිං අහල පහල අය එක්ක කියවන්න යන්නම ඕනේ... නාට්ටි ටික ගෙදර ඉඳන් බලන්න කිව්වට අහන්නෙත් නෑ... පහුගිය ටිකේම ඒකට ඇන්ටි බැන බැනත් එක්ක හිටියේ..... 

මුණියන්ඩි වයසක මනුස්සයා නිසා අපි බය උනා ලොකු තුවාලයක් වෙලාද කියලා... ඉක්මණට තීවීල් එකක් කතා කරලා ළඟම තියෙන නර්සිං හෝම් එකට ඇන්ටිත් එක්ක පිටත් කරලා මං නැවතුනේ අපේ මහත්තයට කෝල් කළාට ආන්සර් කළේ නැති නිසා.. බයික් එකේ එනකොට ෆොන් එක ඇහෙන්නෙ නෑ. වයිබ්‍රේෂන් එක උනත් දැනෙන්නේ නෑලු හුළඟ නිසා... 

අපේ මහත්තයා ආවම අපි දෙන්නම ගියා නර්සිං හෝම් එකට.. එතකොට 8ට විතර ඇති... අපි යනකොට එක්ස්රේ එකක් අරන් බලලා... වාසනාවට කැඩීම් බිඳීම් මුකුත් නෑ.. බත් කෙන්ඩ හරියෙක් පදාසයක්ම ගැලවිලා ගිහින්... මුණියන්ඩි නං කියනවා රිදෙන්නේ නෑ කියලා.. ඒත් තුවාලේ දැක්කම අපිට රිදෙනවා... මැහුම් 17ක් දාලා, පිටගැස්මට බේත් විඳලා, තුවාලේ වේලෙන්න බේතුත් අරන් ගෙදර එනකොට 10ට විතර ඇති... 

ඇන්ටි මගෙන් අහනවා දැන් මොකද කරන්නේ කියලා... මේ ගෙදර ලොකු වැඩ ගොඩක් නොතිබුනාට මුණියන්ඩි තමයි උයන්නේ එහෙම.. මං කිව්වා මුණියන්ඩිගේ ගෙදරට කතා කරලා කියන්න කියලා‌ කෝකටත්... මොකද අමාරුවක් උනොත් ඇන්ටිටත් බැනගෙන එන්න පුළුවන් ඒ කට්ටිය කියලා.... තියෙන ප්‍රශ්නේ මුණීයන්ඩිට සිංහල පුළුවන් උනාට ගෙදර අයට සිංහල බෑ... මුණියන්ඩි ගෙදරට කියන්න කැමතිත් නෑ එයාලා කලබල වෙයි කියලා.. ( කියන්න අමතක උනා මුණීයන්ඩිට පුතෙකුයි දුවෙකුයි ඉන්නවා.. දුව බැඳලා... අම්මයි, ඒ කට්ටියයි ඉන්නේ ටිකක් ඈත.. තලවාකැලේ පැත්තේ ) කොහොමහරි ගෙදරට කියන්න කිව්වම මුණියන්ඩි කියලා තියෙන්නේ පොඩි තුවලයක් උනා කියලා විතරයි... 

දැන් සති තුනක් තිස්සේ මායි ඇන්ටියි දවසක් ඇර දවසක් මුණීයන්ඩිට එක්කන් යනවා තුවාලෙට බේත් දාන්න.. දැන් නම් මැහුම් කපලා... ඒත් තාමත් තුවාලේ වේලිලා නෑ.... 

අවුරැදු ගානක් තිස්සේ මේ ගෙදර වැඩකරපු මුණීයන්ඩිට හැමෝම සලකන්නෙ පවුලේ කෙනෙක්ට වගේ... ඇන්ටිගේ නෑයෝ ඇවිත් උදේට දවල්ට රෑට කෑම හදලා දීලා යනවා.. දොස්තර පුතෙක් ඉන්නවා, එයත් දවල්ට ඇවිත් යනවා.... මුණීයන්ඩි‌ෙග් වැඩ කරන්නත් ඇන්ටි වෙන කෙනෙක්ව සල්ලි දීලා ගෙනත් තියලා තියනවා දවල්ට ... ඒත් මුණීයන්ඩිගේ ගෙදරින් නම් තාමත් එක්කෙනෙක්වත් ආවේ නෑ බලන්න... 

දැන් ටිකකට කලින් බ්ලොග් පෝස්ට් වගයක් කියව කියව ඉන්නකොට කල්පනා උනේ ඒ ගැන... මුණියන්ඩි මාසෙකට දෙතුන් සැරයක් පඩිය සැරින් සැරේ ගෙදරට යවනවා... එහෙ මොනවාහරි දෙයක් කිව්වොත් දුවගෙන යන්න දඟලනවා... දැනුත් යන්න දඟලනවා පුතාට මනමාලියෙක් බලන්න යන්න තියෙනවා කියලා.. ඇන්ටියි මායි බැනලා නවත්තගෙන ඉන්නේ තුවාල පිටින් ඔච්චර දුර යන්නත් බෑ. ගිහින් බේත් ටික කෙරෙන්නෙත් නෑ කියලා.. 

මිනිස්සු හරි පුදුමාකාරයි අප්පා... අම්මලා, තාත්තලා, ළමයි කියන්නේ හරිම සංකීර්ණ සම්බන්ධතාවයන් ගොඩක් ... එතන ආදරේද, කැපකිරීමද, යුතුකම්ද හැමදේම තියෙනවා.... ඒත් සමහර වෙලාවට ඒ බැඳීම් පේන්න මේ වගේ සිද්ධි අත්දකින්නම වෙනවා.... 

ප/ලි : මේ දවස් ටිකේ දොස්තරලා ගැන, ඉස්පිරිතාල ගැන ටිකක් දේවල් දැක්කා.. කලින් ලියවෙච්ච මල්ලිගේ ලියුම ඇතුලේ ඒ සිතුවිලි ඇතුලත් උනා... 

Photo from  http://mommymatters.co.za/parenting/will-you-be-around-for-your-kids-40th

Monday, June 10, 2013

වෙස්මූණු...




ආදරණීය අක්කේ...

අක්කගේ සැප සනීප කොහොමද..? අපි නම් හොඳින් ඉන්නවා... තාත්තට දැන් ටිකක් ගුණයි... වෙද මහත්තයා දුන්න බේත් තෙල් අපි දිගටම ගානවා... අර බේත් කොල දාලා තම්බපු වතුරෙන් නාවන්න කියපු එකත් කළා... ඒකෙන් පස්සේ ඇඳ වණ ටික නම් හොඳටම හොඳ උනා වගේ... 

මගේ නිවාඩු කාලේ ඉවර වෙන්න ළඟයි... ලබන සෙමෙස්ටර් එකේ ෆයිනල් එක... ඒ අස්සේ මේ ස්ට්‍රයික් එක නිසා සෙමෙස්ටර් එක තව ටිකක් දික්වෙලා... තාත්තගේ බේත් ටික ඉවර කරගන්න කම් නිවාඩුව තිබ්බනං හොඳයි කියලත් හිතෙනවා මෙච්චර කල් පරක්කු වෙච්ච එකේ... දැන් මං ගියාම අම්ම එපැයි තනියම හැම එකම කරගන්න ඕනේ... 

අම්මා දුක් විඳිනවා බලං ඉන්න අමාරුයි අක්කේ... ගෙදරින් ඉක්මණට යන්න තියෙනවා නම් හොඳයි කියලත් හිතෙනවා... මේ විභාග ඉවර වෙලා ඉක්මණට පත්වීමක් හම්බනොත් හරි... ඒත් දැන් ඒකත් ඒ තරම් ෂුවර් එකක් නෑ... පාස් වෙන හැමඑකාටම දෙන්න තරම් දොස්තර පත්වීම් තියෙනවද මේ ලංකාවේ... වෙලාවකට හිතෙනවා මම මෙඩිකල් කොලේජ් යන්න පාස් උනේ අපි කට්ටියගෙම කරුමට කියලා... නැත්තම් මං මෙලහකට කුලී වැඩක් හරි කරලා කීයක් හරි හම්බුකරනවා... මේ ඉගෙනිල්ලට වඩා මොනවා හරි කරලා කීයක් හරි හොයාගන්න එක වටිනවා අක්කේ... 

මං දන්නවා මං මෙහෙම කියද්දි අක්කගේ හිතත් රිදෙනවා කියලා... ඔයා ඉගෙනගැනිල්ලයි, අම්මලයි ඔක්කොම දාලා ඇවිත් දුක් විඳින්නේ මං ඉගෙන ගන්න නිසා කියලත් මං දන්නවා... ඒත් මොකද්ද අක්කේ අපි මේ පස්සෙන් දුවන මිරිඟුව...? ඔයා‌ෙග් තරණ කාලෙන් බාගෙකට වැඩිය දැන් ඔය ගාමන්ට් එකට දිය කරලා ඉවරයි... ඒත් ඔයාට කියලා දෙයක් කරගත්තේ නෑ නේ තාමත්... 

ගමේ අයට කිව්වේ ඔයා කොළඹ රස්සාවක් කරනවා කියලා විතරයි... ඒත් ගාමන්ට් එකක කියලා කිව්වේ නෑ... මට හිතෙනවා වෙලාවකට ඒකත් කියන්න... ගමේ උන් හිතන් ඉන්නේ ඔයා කොළඹ ලොකු රස්සාවක් කරලා සැපෙන් ඉන්නවා කියලා... අපිට සලකන්නෙ නෑ කියලා... මට එහෙම කියද්දි හොම්බට අනින්න හිතෙනවා අක්කේ... මුන් දන්නේ නෑ අපි විඳින දුක... 

තාත්තා ගුරුවරුයෙක් නිසා අම්මට රස්සාවක් කරන්න දුන්නේ නෑ.. .. අම්මට කඩයප්පන් ඕඩර් එකක් හම්බුඋනත් තාත්තා ඒක කරන්න දෙන්නෙත් නෑ... ඒක නිසා තාත්තගේ පෙන්ෂන් එකෙනුයි, අම්මගේ ඇදුම් මැහිල්ලෙනුයි තමයි ගෙදර වියදම් ටික පියව ගන්නේ... ඒත් දැන් අය ගොඩක් හැට්ට මහන්න යන්නේ ටවුන් එකේ අලුත් මනමාලියන්ට අන්දන තැනට... එතන අම්මා මහනවට වඩා ඉක්මණට මහලා දෙනවලු... අපේ අම්මා රෙදි පරිස්සම් කරගෙන, ගානට මිම්මට හැට්ට මැහැව්වට, ඒකට වඩා අලුත් ක්‍රම තියෙනවා ඉක්මණට වැඩේ කරන්න... ඔයා එවන සල්ලි මම පුළුවන් තරම් පරිස්සමෙන් ඉතුර කරගන්නවා... ගෙදර හිටපු ටිකේම ගමෙන් පිට පොඩි පොඩි වැඩ කරලා මාත් සල්ලි ටිකක් හොයා ගත්තා.. තාත්තා කැමති නෑ මම ගමේ කිසිම වැඩක් කරනවට... එයාගේ නම්බුව කන්න එපාලු මට....

මේ දොස්තරකම හම්බුවෙයිද කියලා ෂුවර් නැති එකේ හම්බුඋනොත් කරන්නේ මොනවද කියලවත් මට හිතාගන්න බෑ අක්කේ... කරන්න කියලා කොච්චර ජාති තියෙනවාද...? තාත්තගේ ඔපරේෂන් එක කරන්න පුළුවන් වෙයිද මට... ? ඔයාව ගමට ගෙන්නගන්න මට පුළුවන් වෙයිද... මං දන්නවා ඔයා කොච්චර දුක් විඳිනවද කියලා... 

අපි මේ දෙවල් කරගන්න කොට අපේ තරුණ කාලේ ගෙවිලා තියෙයි අක්කේ... ඔයාගේ හොඳ වයසත් ගිහිල්ලා තියෙයි.. අපි මොනවට ඉපදුනාද කියලා හිතෙනවා වෙලාවකට අක්කේ... 


මට වෙලාවකට හිතෙනවා අක්කේ අපි මේ දාගෙන ඉන්න වෙස්මූණූ ගලවන්න... ලෝකෙට පේන්න ජීවත් වෙලා වැඩක් තියෙනවද...? අපි ජීවත් වෙන්න ඕනේ අපිට පුළුවන් විදියට... අපේ තාත්තලට මේවා තේරෙන්නේ නැද්ද තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැද්ද කියලා මට තේරෙන්නේ නෑ.. නැත්තම් එයාලා අපි ගැන හිතලද මේ හැමදෙයක්ම කරන්නේ..? මට එහෙම හිතෙන්නේ නෑ.... 

ඇයි අපිට බැරි මේ විදියට ලෝකෙට පේන්න බොරු කර කර ඉන්නේ නැතුව, තිත්ත උනත් හැමතිස්සෙම ඇත්ත කියලා, අපේ මේ ලෝකෙට ඕනෙ විදියට හිනාවෙන, ලෝකෙට පේන්න නම්බුකාරව ඉන්න මේ වෙස්මූණු ගලෝගෙන ඉන්න... එහෙම පුළුවන් උනානම් අපි කොච්චර සන්තෝසෙන් ජීවත් වෙයිද අක්කේ... එහෙම උනානම් අපිට ඇත්තටම මුළු හිතින්ම හිනාවෙලා ඉන්න පුළුවන් නේද අක්කේ... 

ඔයාට කෝල් එකක් අරගෙන ‌මේ දේවල් කියන්න බැරි හින්දයි මේ ලියුමක් ලිව්වේ අක්කේ... මේ හිතෙන දේවල් කියන්න මට වෙන කෙනෙක් නෑ කියලා අක්කා දන්නවානේ.. ඒත් මේවා ඔයාට කියලා ඔයාට බරක් දෙන්නත් මට දුකයි... ඒත් මම නම් කවදාවත් අපේ තාත්තලා අම්මලා වගේ ඇත්ත මූණ හංගගෙන, ඒ වෙනුවට ලස්සනට දිලිසෙන්න පාට කරලා, රැලි අල්ලලා, හැමිතිස්සෙම හිනාවෙන වෙස් මූණක් දාගෙන ජීවත් වෙන්නේ නෑ අක්කේ.... 

මීට 
මල්ලි