අදත් නිවුස් කතාවක් ලියන්න හිතුවා.. ඇත්තටම ලියන්න හිටියේ වෙන දෙයක් ගැන.. ඒත් උදේ මේ නිවුස් එක ඇහුනාම එකපාරටම මතක් වෙච්ච එක ලියන එක හොඳයි කියලා හිතුනා...
ඔන්න හැම පත්තරේකම ඕක කියවෙනවා ඇහුනත් මුල පිටුවටම මේ කතාව ආපු දිනමිණ පත්තරේට ගිහින් බලන්න ඔන්න ලින්ක් එක...
මට ඔය කතාව ඇහෙද්දිම මතක් උනේ මීට අවරුදු කීපයකට කලින් සිද්ධ වෙච්ච තුන් නිවුන් දරු උපතක් වෙලාවේ සිද්ධ වෙච්ච සිද්ධියක්.... ඒක නිසා මම දුවලා ඇවිත් බැලුවා දරුවන්ගේ තාත්තගේ රස්සාව මොකද්ද කියලා.... දෙයියන්ට මේ පාර නම් සිහිකල්පනාව තිබිලා වගේ... තාත්තා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්.. ඊට අමතරව පෞද්ගලික ආයතනයක විධායක නිළධාරියෙක් ලු....
හේතුව මේකයි... මම කලින් කියපු තුන් නිවුන් දරු උපතේදි තාත්තා කුලී වැඩ කරන බව තමා පත්තරවල තිබුනේ... කුලී වැඩ කරලා එදා වේල හම්බුකරගන්න මනුස්සයෙක්ට දරුවෝ තුන් දෙනෙක් කියන්නේ ලොකු බරක්.... කටින් එහෙම නොකිව්වට හිතේ ගින්දරක් ඇවිලෙනවා නොවැ අම්මලා තාත්තලගේ හිත්වල... ඒ පවුලට මුල කාලෙදි ගොඩක් දෙනා උදවු කළා... කිරිපිටි , ආහාර ජාති, දරුවන්ට අවශ්‍ය දේවල් දීලා... ගේකුත් හදා දුන්නද කොහෙද.. ඒක නම් මතක නෑ...
දැං මට ලියන්න හිතුනේ මේකයි....
අද කාලේ දරුවෙක් හදන එක ලේසි පාසු වැඩක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙම.... ඇයි ඉතිං... ළමයා බඩට එන්න කලින්ම කාගේ හරි ගෙයක් තමන්ගෙ නමට හරෝ ගන්න ඕනේ... නැත්තම් අවුරුද 6දි ඉස්කෝලේ දාන්නේ කොහොමද...... එහෙම නැත්තම් ලක්ෂ 10ක් විතර බැංකු පොතක දා ගන්න ඕනේ ඉන්ටනැෂනල් ස්කූල් එකකට දාගන්න.. මොකද ඒවට ඇතුලු වෙන්න ඔයිට අඩු උනත් මාසෙකට ලක්සයක් දෙකක් වියදම් කරන්න වෙනවානේ....ඕවා හිතෙනකෙට මට නම් ළමයි හදන්න භෑ කියලමයි හිතෙන්නේ...
ඔව් ඉතිං... ඕවා හිත හිත ළමයි නොහදා ඉන්නත් බෑ තමා... එන හැටියකට මූණ දෙමු කියලා හිත හදාගන්නත් බෑ... දරුවන්ටවත් අපිටවත් විඳවන්නේ නැති ජීවිතයක් නේ ඕනෑම කෙනෙක්ගේ හිතේ තියෙන්නේ....
ඇත්තටම මාසෙකට 30000 - 40000 අතර වත්කමක් තියෙන පවුලකට දරුවො දෙන්නෙක් හදාගෙන ජීවත් වෙන්න කොයි තරම් සටනක් කරන්න වෙයිද....
ඉඩමක් ගන්න, ගෙයක් හදා ගන්න, දරුවන්ට හොඳට උගන්නන්න ..... හීන ලොට් එකක්.....
මට මතකයි අපේ අම්මයි තාත්තයි වැඩ කරපු විදිය.. අපේ තාත්තට මහා ලොකු පඩියක් ලැබුන්නෑ.... ඒ කාලේ හැටියට යන්තමි ජීවත් වෙන්න පුළුවන් උනා අපි හතර දෙනාට....
මට මතකයි දවස් ගානක් අපි බත් එකට ලූණු ගෙඩියක් සුද්ධ කරගෙන, අමුමිරිස් කරලක් එක්ක ලුණු ටිකක් ඉහගෙන කෑවා.... බත් එක අනලා කවනකොට අම්මගේ කදුළු බිංදුත් බත් එකට වැටුනා... ඒ මල්ලි පොඩි කාලේ... එයාට බේත් කරන්න වියදම් කලාට පස්සේ අපිට කන්න ගන්න සල්ලි තිබිලා නෑ...
අපේ ගේ හදන්න බිලොක් ගල් හැදුවේ අපේ අම්මා.... අදටත් තාත්තා ඒ බිත්තිය කඩන්නේ නැතුව තියාගෙන ඉන්නේ ඒ නිසා... පොඩි පොඩි ලෝන් අරගෙන ගේ හදන්න පටන් ගත්තේ.... මෑතක් වෙනතුරම ගෙට ගත්ත ණය ගෙව්වා.... මට මතක නෑ අම්මයි තාත්තයි කොහෙවත් ගිය දවසක් පහුගිය අවුරුදු 23ක් වගේ කාලයකදි.... මට මතක නෑ අම්මයි තාත්තයි කඩෙන් කෑමක් ගෙනල්ලා කනවා ඒ කාලෙදි... මට මතක නෑ අපේ අම්මා තනියෙන් ආනමාලු ගෙඩියක් කනවා ඒ කාලෙදි.... බැන්ද අවුරුද්දේ තාත්තා අරන් දුන්න සාරියට පස්සේ ආයිත් තාත්තා අම්මට සාරියක් අරන් දුන්‌ෙන් අවුරුදු 23කට පස්සේ....
හැමදාම පැන්සල් නැති කරගන්න මට අපේ අම්මා පැන්සල තුනට කපලා තමා දෙන්නේ... සුදු ගවුම අයන් කරන්න අයන් එකක් නැති නිසා කොට්ටෙ යට තියෙගෙන නිදා ගත්තේ.. තාත්තා නයිට් ඩියුටි දවසට අම්මා මාවත් තුරුළු කරන නිදා ගන්නේ බයෙන්... මොකද අපේ ගේ හදලා තිබුනේ ලෑලි වලින් නිසා... මට තාම මතකයි මම දැක්ක බය හිතෙන හීනයක් ඒකලේ.... අම්මයි මායි තනියෙන් ඉන්න දවසක අපෙ ගෙට හොරු පැනලා...
ඒත් මට කිසිම අඩුපාඩුවක් උනා කියලා මතක නෑ.... මට අඩුපාඩුවක් නොදැනෙන්න ඒ දෙන්නා තමන්ගේ ජීවිතේම කැප කලා කියලා තේරුනේ ඉස්කෝලෙන් අවුට් උනාටත් පස්සේ... කේක් ෂොප් එක හින්දා තමයි අද ඒ දෙන්නා සතුටක් විඳින්නේ... අම්මගේ අයියලා මල්ලිලා ටිකයි එයාලගේ ළමයි ටිකයි ඕනේ වෙලාවක අපේ ගෙදර.... මායි මල්ලියි හැම තිස්සේම ඒ දෙන්නව ට්‍රිප් යන්න උනන්දු කරනවා... ෆිල්ම් බලන්න යවනවා... හොඳ සංගීත ප්‍රසංග වලට ටිකට් අරං දෙනවා...එහෙම කරන්නේ ඒ දෙන්නගේ තරුණ කාලය අපි දෙන්නා වෙනුවෙන්ම කැප කරලා හිටපු එකට වන්දි ගෙවන්න.... අදටත් මට අපේ අම්මයි තාත්තයි තරුණයි....( 55යි කියන්නේ නාකියි යෑ නේද... හි හි)
ඒත් ඒ දෙන්නා අපි දෙන්නා ගැන හිතලා දුක් වෙනවා... මල්ලිට අසනීප උනොත් කියලා ඒකට සල්ලි ඉතුරු කරනවා... මටත් අරවා මේවා අරං එවනවා... හිටපු ගමන් කරෝල බැඳලා මාලු කෑල්ලක් උයලා මැල්ලුමක් එක්ක පරිප්පුවක් හදලා මං ආස විදියට කෙහෙල් කොලේ ඔතලා මල්ලි අතේ එවනවා.... අපේ මහත්තය වැඩ දවසක මට ගමනක් යන්න ඕනේ නම් ඇවිල්ලා එක්කං යනවා..... (ගෙයක් හදලා දෙන්නද, ඉඩමක් අරං දෙන්නද කියලා අහලා අපේ මහත්තයා ඒකට කැමති නැති නිසා දෙන්නම අපේ මහත්තයා එක්ක තරහා වෙලා ඉන්නේ... හි හි.. මගේ නමට තිබ්බ ඉඩමත් ආපහු අම්මගේ නමටම ලියන්න කිව්වා...)
මම පුංචි කාලේ ඉඳලම ඔය දුක දැක්ක නිසා ලොකු තීරණයක් අරං හිටියා මම නම් බඳින්නේ නෑ නෑමයි කියලා... මට ජීවිතේ විඳවන්න බෑ මයි කියලා මම හිතුවා... යාලුවුනත් බඳින්න හිතහදාගන්න ලොකු කාලයක් ගියා.... එහෙම කලෙත් අපේ මහත්තයාගේ මට තිබුණ ආදරේ හොඳටම තේරුම් ගත්ත නිසායි.... ඒත් තාමත් හිතෙනවා විඳවන්න නම් බෑ කියලා...... අපේ අම්මලා වින්දා වගේ මමත් දුක් වින්දොත් ඒ දෙන්නා ඒ දුකටම මැරිලා යයි.... එදා ඉඳලා දුකක් නොදී හදාගත්ත කෙල්ල මං... අදටත් මාමලා කියන්නේ මං ගැන කතා කලොත් දුකෙන් කතා කරන්නේ කියලා.... කොච්චර හොඳින් ඉන්නවා කියලා පෙන්නුවත් එයාලා හිතන්නේ මම දුක් විඳිනවා කියලා.... අනේ මන්දා......
මෙච්චර හෑල්ලක් ලියවුනානේ ඉතිං... හයියෝ..... කපන්න දුකයි.. ඔන්නොහෙ දැම්මා.....
///ඇත්තටම මාසෙකට 30000 - 40000 අතර වත්කමක් තියෙන පවුලකට දරුවො දෙන්නෙක් හදාගෙන ජීවත් වෙනන කොයි තරම් සටනක් කරන්න වෙයිද....///
උත්තරේ..... ලංකාවේ ඉඳලා නම් බෑ......
අපේ මහත්තයට යාලුවෝ කීප දෙනෙක්ම ආයිත් රට යන්න කතා කරනවා මේ ටිකේම.... ඒත් මම ඒකට කැමති නැත්තේ පවුලක් උනාම එකට ඉන්න ඕනේ කියන හැඟීම නිසා.... කොච්චර අමාරුකම් තිබුණත් රට යන අදහස අත්රින්න තියලා මම කිව්වේ ඒක නිසා... ඇත්ත...... අමාරුයි.... දුක් විඳින්න වෙනවා.... ඒත් සල්ලි වලින් මනුස්සයා නැති අඩුව පුරවන්න පුළුවන්ද.... අනිත් එක එයාම කියන විදය එකපාරක් රට ගියොත් ආයිත් යන්නම හිතෙනව... සල්ලි අඩුපාඩු දැනෙන්න පටන් ගන්නකොට.... ඒක නිසා මම කිව්වා රට යනවා නම් බදින්න කලින් ගිහින් කරගන්න පුළුවන් දෙයක් කරගමු කියලා....ගිහින් ආවානේ... ආයිත් නම් යන්න දෙන් නෑ.... දරුවන්ට තාත්තා කෙනෙක් ෆොටෝ එකකින් පෙන්නලා වැඩක් නෑ කියලයි මට හිතෙන්නෙම.... අනේ මන්දා.... මං වැරදිද මන්දා....
හරි ... අඬ අඬ ටයිප් කලේ... ඒක නිසා හිතට හරි නෑ... ඔන්න මේ ළඟදි හදපු කේක් එකක ෆොටෝ එකක් හම්බුනා... ඒකත් එක්කම අපේ අම්මලගේ තනියට මේ දවස්වල ගෙයි රජ කරගෙන ගෙන ඉන්න මගේ වලව්වේ හාමුගේ ෆොටෝ ටිකකුත් මල්ලිගේ ෆේස්බුක් පේජ් එකේ තිබිලා හම්බුනා... ඔන්න යටින් දැම්මා.....
මේ ඉන්නේ වලව්වේ හාමු..... පේනවනේ රජ කරගෙන ඉන්න හැටි....
මේ කේක් එක නම් ගිය මාසේ වගේ හැදුවේ..... ඔය පබළු එහෙම ගන්න මාත් මල්ලිත් එක්ක ෂොපිං ගිය නිසා මමත් පොඩ්ඩක් විතර සම්මාදම් උනා... හි හි