Wednesday, October 31, 2012

අපොයි මේ වැස්ස.....


වහිනවා වහිනවා ඉවරයක් නෑ..... දැං දවස් දෙක තුනකම ඉඳලා වැස්සට බැන බැන හිටිය මට අද උදේ තමා රෙදි ටික වේලගන්න පුළුවන් උනේ... යන්තම් කහ පාටට ඉර පොළවට එළිය වැටිලා තියෙනවා දැක්ක ගමන්, හෝදලා ගේ ඇතුලේ වැල් වල දාලා තිබ්බ රෙදි ටික උසස්ගෙන ගිහින් එළියේ වැලේ වැනුවේ යන්තම් හරි වේලගන්න පුළුවන් වෙයි කියලා... මොන..... පැය බාගෙකින් විතර ආයිත් පටං ගත්තේ නැද්ද වක්කොරන්න.....

වැස්ස කියන්නේ අපි වගේ අසරණ බයික් කාරයන්ට නම් කරුමයක්... මේ දවස් ටිකේම අපේ මහත්තයා ගෙදර එන්නේ තෙමිච්ච කුකුළා වගේ... කොච්චර ජැකට් දැම්මත් මේ වැස්සෙන් නම් තෙමෙන්නේ නැතුව එන්න බෑ...

ඉතිං දැං ඔය තෙතබරි වෙලා තියෙන ඇඳුම් හෝදලා වේලපන්කෝ...... මොකෝ ඉර එළිය වැටෙනවාය කියලා මහා ලොකු වත්තක් ඇතැයි... තියෙන පොඩ්ඩේ ඇදලා තියන වැල් දෙකක දාලා නොවැ මේවා වේලන්නත් ඕනේ....

අම්මපා මම ගෙදර හිටියනං.... එහෙනං මේ කිසි කරදරයක් නෑ නොවැ.... රෙදි ටික හේදුවා... අම්මගේ අර ලොකු අවන් දෙක උඩින් වැනුවා... ක්ෂණික නූඩ්ල්ස් වගේ විනාඩි 5යි රෙදි ටික වේලිලා... පොඩ්ඩක් කේක් සුවඳ නං ඉතිං එනවා.. ඒකට මොකෝ නේ...... හි හි....

ඒක කිව්වම මතක් උනේ පොඩි කාළේ කරපු පොඩි පොඩි අපත වැඩ කීපයක් ගැන... බලමු මගේ ජාතියේ කීයක් ඉන්නවද කියලා...

කෑම පෙට්ටිය හේදීම...... හපෝ.. මට එපාම කරපු වැඩක් තමයි.... ලන්ච් ෂීට් දාන්න දෙන්නේ නැති නිසා හැමදාම ඕක හෝදන්න ඕනේ.. ඒත් හැමදාම ඕක මට මතක් වෙන්නේ උදේට ඉස්කෝලෙ යන්න ගියාම තමයි... ඇයි එතකොට සෙනසුරාදා ඉරිදා ගෙදර ඉඳලා සඳුදා උදේට ඕක හොදනකොට.... මං කොච්චර හොඳද කියනවනං සමහර නිවාඩු මාස වලදිත් කෑම පෙට්ටිය හෝදන්න අමතක වෙන එකනේ.... අප්පා ඒ සුවඳ.. මතක් වෙනකොට දුවන්න හිතෙනවා... හි හි....

එතකොට සුදු ගවුම් හේදීම.... ඕකට මම අහවුනේ අඩුවෙන්.. අම්මා නොවැ හෝදන්නේ.. හි හි.... හැබැයි ඉතිං ෆෑන් දා‌ගෙන, අයන් කර කර වේලන්න නම් අහුඋනා... හි හි..

සපත්තු හෝදන්න... හපෝයි.. මතක් කරන්න එපා... පෙන්නන්නම බැරි වැඩේ ඕක තමා... අවුරුද 13ක්ම දැම්මේ සුදු සපත්තු... පොල් මුඩු දාගෙන අතුල්ලලා, ඊට පස්සේ ඔය සුදු කරන ජාති ගාලා... මං නං සාමාන්‍යයෙන් කැන්වස් සපත්තු හෝදන්නෙම නෑ.... සුදු පාට ටිකක් ගාගෙන යනවා.. හි හි... ටික කාලයක් යනකොට අර අනිත් ස්පෝර්ට්ස් සපත්තු දාන්න පටන් ගත්තා.. හැමදාම ගෙදර එන‌කොට ඒවා දුඹුරු පාටයි... ඒවා නං හේදුවේ නැත්තම් විනාසයි.... හැම වීක් එන්ඩ් එකේම හෝදන්න ඕනේ...

ඔය සපත්තු ගැන හොදම මතකය ඉතිං තියෙන්නේ වැස්ස කාලෙට තමා...... හි හි... ඒ ගැන කතා නොකර ඉමු නේ...

මොකද මට තිබුණ තව ලෙඩක් තමයි කුඩ ඉහලන්න ඇති බලවත් නොකැමැත්ත... ඒක නිසා කොච්චර වැස්සක් උනත් කෝච්චියෙන් බැහැලා ගෙදරටම දුවන එක තමයි කරන්නේ.... එතකොට ඉතිං සපත්තු විතරක් නෙවෙයි, පොත් බෑග් එකේ ඉඳන්ම තෙතබරි වෙලා ගෙදරට එන‌කොට..

හ‌යියෝ... තාමත් මේ වැස්ස ඉවර නෑ...

වැස්ස නැති කොටත් බනිනවා.. වහිනකොටත් බනිනවා.. නේදෑ.......

Monday, October 29, 2012

ඉස්කෝලේ යන කාලේ ලවු... ( 2) පොඩි කතාබහකට ඉඩක්..

සාමාන්‍යයෙන් පුරස්නයක් අහලා දවසකට වඩා සද්ද නැතුව හිටියොත් අපෙ කට්ටිය මාව කන්න හදන නිසා මම හිතුවා පොඩි පෝස්ට් කෑල්ලකින්ම උත්තරේ දෙන්න... පුරස්නේ මිස් වෙච්ච අය ගිහින් බලන්නකෝ.....

එක එක කමෙන්ට් එකටත් මම උත්තර බැන්දා...

හරි.. දැං මං මේ කියන්නේ යන්නේ ඇත්ත කතාව... හි හි..

මේක අවුරුදු ගාණකට කලින් වෙච්ච ඇත්ත කතාවක්... හරියටම කිව්‌වොත් 2001 දි විතර... ඔය කියන ලවු එක ඉවර උනේ කසාදෙකින්... හි හි..
ඔව්.. ඔව්... අපේ මහත්තයගෙයි මගෙයි ලවු එක තමා...

ඔය කතාවෙ මුල මැද අග ගැලපුවා නං හොඳයි කියලාම ඔන්න වැ‌ෙඩ් පටන් ගත්තා....

ඕක උනේ ඒ ලෙවල් කරන කාලේ කියලා කිව්වනේ... ඒ කලේ ඉතිං සිරා ලවු කියන්නේ කළුනික වගේ ජාතියක් මම නං හිතන්නේ.. ඒක නිසා ඔන්න ඔය වගේ නිදහසක් දීලා තමයි අපි දෙන්නම ආශ්‍රය කළේ... ඒක හින්දම වෙන්න ඇති මට ඔය සිද්ධිය එයාට කියන්න පුළුවන් වෙන්න ඇත්තෙත්... බෝයි ෆ්‍රෙන්ඩ් යකා වගේ උනාමත් ඔය වගේ ඒවා කියන්න බෑ නේ... හි හි..

සෙල් ෆොන් කියන ජාතිය ඇවිල්ලා තිබුණට ඉස්කෝලෙ යන ළමයි අතේ ඒවා තිබුණේ නෑ..අර කියපු පයිලට්ට නම් එකක් තිබ්බා....

ගෙදර ෆොන් එකට කෝල් එකක් ආවාම අම්මා එතන ඉන්දැද්දි “ අනේ අයියේ මට බෝයි කෙනෙක් ඉන්නවා” කියන්න පුළුවන් තරම් වාතාවරණයක් මට ඒ කාලේ තිබුණේ නෑ නේ... මේවා ඉතිං එතකොටත් රහසේ තිබුණ දේවල් නේ.. ඒකයි අර අක්කටවත් නොකිය ඉන්න උනේ... හි හි.....

ඉතිං ඕක ඉවර උනේ මම ඒ අයියව හම්බුවෙලා, කතා කරලා,මට බෝයි කෙනෙක් ඉන්නවාය කියන එක පැහැදිලි කරලා දුන්නයින් පස්සේ....

අපෙ ගෙදරටත් අර අක්කා කතා කරලා ඔය ගැන කියලා තිබ්බ නිසා,(ඔය කිව්ව කොල්ලා එයාගේ හබීගේ හොඳම යාලුවෙක්...) වැඩේ පොඩ්ඩක් අමාරු උනත් ( අපේ අම්මලා ඒකට උඩින්ම කැමති වුනා... හි හි) මට පුළුවන් උනා අපේ අම්මලට පැහැදිලි කරලා දෙන්න එයා ඒතරම් මට ගැලපෙන කෙනෙක් කියලා මම හිතන්නේ නෑ කියලා..

හරි... මගේ කොල්ලා සිරාවටම මට ආදරෙයි කියලා මම දැන ගත්තේ කොහොමද දන්නවද...?

මම ඔය පයිලට් අයියව හම්බුවෙන්න ගිය දවසේ, අපේ එක්කෙනා නිවාඩු දාලා, ඒ හැම වෙලාවෙම මාව පේන මානෙන් හිටපු නිසා... හි හි... කලින් කතා වෙලා අපි එහෙම කළේ මගේ ආරක්ෂාවට... එහෙම කෙල්ලෙක්ව රකින්නේ ආදරේ නැති කොල්ලෙක් නෙවෙයිනේ.. නේද...?

------------------------------------------------------------
දැං ඉතිං මේක ලියන්න හේතුවත් කියන්න එපැයි... නැත්තම් කට්ටිය බලයි මේ මොකද මේ හිටි හැටියේ පරණ ලවු ස්ටෝරිස් ලියන්න ගත්තේ කියලා...

මේ ඊයේ පෙරේදා මට ඇහුන කතාවක් තමයි මේ මතකය ඇවිස්සුවේ... මගේ නංගි කෙනෙක් එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් ගැන කියපු දෙයක්...

“ අක්කේ මට නං දැං එයාව එපා වෙලා තියෙන්නේ... හැම තිස්සේම සැක කරනවා.. මොනවා කළත් හැම එකම එයාට කියන්න ඕනේ.. ඒත් එයාගේ මොනා හරි මම ඇහුවොත් කියන්නේ නෑ... හිටපු ගමන් දවස් ගනන් එක එක ගමන් යනවා.. අඩු ගානේ මට කෝල් එකක්වත් දීලා යන්නේ නෑ... ආවහම මං කරපු දේවල් ඔක්කෝම එයාට කියන්න ඕනේ.. ඒත් එයා ගියේ කොහෙද කියලවත් මට කියන්නේ නෑ... මට පේන්නේ එයාට දැං මේක එපා වෙලාද කොහෙද... එයාට ඕනේ මං ලව්වම එයාව අතෑරගන්න...එයා මෙහෙම කරන්නේ ඇයි කියල මට හිතාගන්න බෑ... මට එයාව එහෙම අතාරින්න ඕනේ නෑ.. මං එයාට කොච්චර ආදරේද කියලා අක්කා දන්නවානේ.. එත් එයා මෙහෙම කරන්නේ එතකොට එයාට හොඳ එක්කෙනා වෙන්න පුළුවන් නේ මගේ පිටේ වැරැද්ද දාලා.... මටත් මොකටද එහෙම එකෙක්.. ඒත් මං එයාව අතෑරියොත් එයා මාව වැරදිකාරයා කරයි... මොනවා කරන්නද කියලා මට හිතාගන්න බෑ අක්කේ...”

මේකට මොකද කියන්නේ කියලා මට හිතාගන්න බැරි උනා... මොකද මේක මේ ඉස්කෝලෙ යන කාලේ ඉඳලා කැම්පස් යනකම් තිබ්බ ලවු එකක්... කොල්ලගේ පැත්තෙන් මේකට මොකද හේතුව කියලා අහන්න මම උත්සාහ කළත් බැරි උනා..

ඔන්න... ඔය හින්දා තමයි මම මේ පෝස්ට් දෙකම ලිව්වේ... මේ ගැන සංවාදයක් ඕනේ කියලා මට හිතුනා...මොකද ඉස්කෝලෙ යන කාලේ ලවු කියන්නේ අසාමන්‍ය‌ දේවල් නෙවෙයි.. නමුත් ගොඩක් ජීවිත මේ වගේ සම්බන්ධකම් වලදි වරද්දගන්න හේතුව මේ වගේ දේවල් ගැන විවෘතව කතා කරන්නේ නෑති එක කියලයි මට හිතෙන්නේ.. ඉතිං මේ නිකං දීලා තියෙන කමෙන්ට් තීරුවේ පුංචි කතාබහකට ඉඩ සලස්සන්න මට හිතුනා...

ඕනෙම කෙනෙක්ට අදහස්, මතක,අත්දැකිම්, බෙදා හදාගන්න සහ ඕනෙම වයසක කෙනෙක්ට අදහස් දක්වන්න ඉඩ තියෙනවා...

හැබැයි ඉතිං ඔය “ මිස්ටර් ඇනෝනිමස්” වගේ හරි නමක් හදාගන්න වෙනවා ඕකට... “මේ වෙලාවේ ඇනෝට උත්තරේ” කියලා උත්තර බඳින එක ලස්සන නෑ කියලා හිතෙන නිසා.... හි හි

Sunday, October 28, 2012

ඉස්කෝලෙ කාලේ ලවු.....


හරි.. අද මට පොඩි පුරස්නයක් අහන්න හිතුනා...

නෑ නෑ.. මෙදා පාර බල්ලෝ ගැන නෙවෙයි.... කොල්ලෝ කෙල්ලෝ ගැන.. හි හි...

මේක ඒ ලෙවල් පන්ති යන කෙල්ලෙකුයි, පොඩි ජොබ් එකක් කරන කොල්ලෙකුයි අතර ඇතිවෙච්ච දෙබසක්....

-----------------------------------------------------

“‌ ගොඩක් වෙලාද ඇවිල්ලා....”

“ නෑ.... දැං ආවේ...”

“ අද ගෙදරද හිටියේ.... ”

“ ඔව්... උදේ පොඩි වැඩ වගයක් කරන්න ගියා... ටිකකට කලින් තමයි ආවේ...”

“ ඔයාට හෙට වැඩ නේද....”

“ ඔව්.. උදේට නම් එන්න වෙන එකක් නෑ.... ”

“ මට පොඩි බඩ්ඩක් කියන්න තියෙනවා.... ඔයාට මතකද මම අර වෙඩින් එකේදි හම්බුණ පයිලට් කෙනෙක් ගැන කිව්වා....”

“ ඔව්... ඉතිං.....”

“ එයා ඊයේ මට කෝල් කළා... අක්කගෙන් ගෙදර නම්බර් එක ඉල්ලගෙන... කට්ටිය අපි දෙන්නව දාගෙන විහිළු කරනවලු....”

“ ඉතිං....”

“ මාව හම්බුවෙන්න ඕනේ කිව්වා...”

“ ඉතිං.. ඔයා මොකද කිව්වේ....”

“ මුකුත් නෑ.. අම්මා හිටියා එතන...”

“ ඉතිං.. ඔයාට හම්බුවෙන්න ඕනේ නම් කමක් නෑ.... මගෙන් අවුලක් නෑ... ඔයාට කිව්වනේ... ඔයාට හොඳයි කියලා හිතෙන කෙනෙක් එකක් යාලු වෙන්න ඔයාට නිදහස තියෙනවා කියලා... මට වඩා හොඳ කෙනෙක් හම්බුනොත් ඔයා යාලුවෙන්න.. අවුලක් නෑ....”

-----------------------------------------------------

ඔන්න කතාව.... ( සෙල් ෆොන් නැති කාලේ කියලා හිතන්නකෝ....)

ඔන්න... ඔය වගේ ඩයලොග් එකක් ඇහුනොත් ඔයාලට මොනවා හිතෙයිද.... ?

Saturday, October 27, 2012

සුදු රෝස වැල...


මිදුලේ තියෙන ලොකු සුදු රෝස මල් වැල මට සිහිවටනයක්...

රෝස වැල එතිලා තියෙන පතොක් ගහ අමිහිරිම මතකයක්...

අපි දෙන්නම එකතු වෙලා ඉන්දපු රෝස පැලේ...රෝස වැල වැඩුණේ මගේ ලේ වලින්....

ඒත් ඒ කටු පදුරක්.....

ඇයි... රෝස වැලෙත් කටු පිරිලා.... පතොක් ගහට විතරක් නොක්කාඩු ....

ඔව්... ඒත් රෝස වැල මට රිද්දන්නේ නෑ...

ඒත් අර පතොක් ගහ මට හැමදාම කටු වලින් ඇන්නා... මම හිතුවේ ඒ ආදරේට කියලා....

ඒත් දවසක්...

ඒ ආදරණිය රිදුම මහ වේදනාවක් උනා... අන්න එදා මට පතොක් ගහේ කටු වල සැර දැනුනා... ඒත් ඒ වෙනකොටත් මගේ පුංචි රෝස පැලේට ඒ කටු උරුම වෙලා ඉවරයි...

මම මගේ රෝස පැලේට එදා වගේම ආදරෙයි... මට එයා එදා වගේම ලස්සනයි... සුදු රෝස මල් එයාගේ ලස්සන හැමදාම මං ඉස්සරහා මවනවා...

මට පතොක් ගහ උගුල්ලා දාන්න බෑ... මගේ පුංචි රෝස පැලේට නැගිටින්න වාරු දුන්නේ එයා හින්දා...

අද...

රෝස වැල පතොක් ගහ පුරාම පැතිරිලා... පතොක් ගහක් පෙන්නත් නෑ... ඒත් මම දන්නවා එයා ඉන්නවා කියලා... ඉස්සර වගේ සරුසාරෙට නෙවෙයි... වැඩීම බාල වෙලා.. පුංචි වෙලා.. ගුලි වෙලා... මගේ රෝස වැල අස්සේ හැංගිලා...

ඔයා දන්නවද....?

දැං මට ඒ ගැන හිතෙනකොට හිනා යනවා...
---------------------------------------------

ප.ලි. කමෙන්ට් ටික දැක්කම තේරුනා කාටවත්ම කතාව තේරිලා නෑ කියලා...

තමන්ගේ ජීවිතයම පීඩාකාරී සැමියාගේ අණසකට යටත් වෙලා ජීවත් උනත්, දුවණිය එසේ නොවී, ධෛර්‌යයෙන් යුතුව ජීවිතය ජය ගන්න ඉදිරියට යනවා දකින කොට අම්මා කෙනෙකුට ඇතිවෙන හාස්‍යය මුසු සතුට ගැන හිතලා ලියවුණ ලියවිල්ලක් විතරයි...

මේක පටන්ගත්තේ දයානන්ද අයියගේ අස්වැන්න කියවගෙන යනකොට හිතට ආපු සිතුවිල්ලකින්... ඒත් අන්තිමට ලියවුණේ හාත්පසින් වෙනස් කතාවක්....

Thursday, October 25, 2012

මේ මිනිස්සුන්ට පිස්සුද මන්දා.......

ඔන්න උදේ උය උය ඉන්න අස්‌ෙස් මොකද්දෝ එකක ඇහුනා මරු නිවුස් එකක්..... හැබැයි එක්තරා විදියකින් අහන්න බලාපොරොත්තුව හිටිය එකක් තමා... ඊළඟට ඕක තමා ෂුවර් කියලා මම අපේ මහත්තයට කියලා තිබුණේ....

වෛද්‍යවරු 300% ක වැටුප් වැඩිකිරීමක් ඉල්ලනවාය කියලා....

හරි ඕකත් එක්ක මට එකපාරටම හිතේ මැවුනේ මොකද්ද දන්නවාද.....

ලංකාදීප පත්තරේ මංගල යෝජනා කෑල්ල.... හි හි...

පස්සේ මම කල්පනා කළේ ඇයි එහෙම උනේ කියලා... ඉතිං බත් ඔතන්න තියන් ඉන්න පත්තර කෑල්ලක් අරන් බැලුවා ....

හරි නේන්නං.... මේකේ වැඩිහරියක් මඟුල් වලට හොයන්නේ ටීචර්ලා, දොස්තරලා, කථිකාචාර්‌යලා, ආචාර්‌යලා, නර්ස්ලා.... එහෙම නැත්තම් පිටරට ඉන්න අය...

එතකොට මඟුල් හොයන්නෙත් ඒ වගේ කට්ටිය....

අඩි 5,සුදු, රෑමත්, කථිකාචාර්‌ය නැගෙණියට, විවාහයෙන් පසු පිටරට පදිංචියට යන 50ට අඩු වෛද්‍යවරයෙක් සොහොයුරා සොයයි.අවුරුදු 45යි ( වයස නොපෙනේ).

හි හි...

මං මේ හිනාවෙන්න දාපු එකක්... ඒත් ඉතිං මේවගේ ඒවනේ අප්පා වැඩිපුර තියෙන්නේ... ( මම පත්තරේ ඔය කෑල්ල බලන්නේ හිනාවෙන්න... මාර ආතල් හි හි)

මං ඉතිං කල්පනා කළේ... ඇයි අප්පා මෙච්චර අමාරුවෙන් ජීවත් වෙන මේ දොස්තරලට, ආචාර්‌යවර්න්ට මෙච්චර මේතරම් ඉල්ලුමක් තියෙන්‌ෙන් කියලා...

ඇයි වදේ... දොස්තරලයි ආචාර්‌යවරුනුයි මේ සොච්චම් පඩියකින් ජීවිතේ බොහොම අමාරුවෙන් ගැට ගහගෙන ජීවත් වෙන්නේ... අනේ අප්පා වඩු බාස් කෙනෙක්, මේසන් බාස් කෙනෙක්, ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්, එහෙම හොඳ නැත්ද මං අහන්නේ... මාසෙකට කරදරයක් නැතුව රැ 50000 ක් 65000 ක් විතර හොයනවා එහෙම කෙනෙක්...

දෙයියනේ කියලා උදේට ඩිමෝ බට්ටගේ බඩු ටික පටෝගෙන (සමහරැ ටොයොටා ඩබල් කැබ් එකේ..) ඇවිත් ජම්ප් සූට් එක දාගෙන, සේෆ්ටි කැප් එක, බූට් දෙක දාගෙන වැඩ කරලා, හවස 5 වෙනකොට වැඩ ටික ඉවර කරලා ආයිමත් අර වාහනේ ගෙදර යන එකනේ.. කොච්චර සැප පහසුද... අනිත් එක ගෑණුන්ටත් කරදරයක් නෑ... මිනිහා වෙලාවට ගෙදර එනවා.. කන්න බොන්න, අදින්න පළදින්න, යන වාහන, මොනවයින් අඩුවක්ද...... ළමයි යන්නේ ඉන්ටනැෂනල් ස්කූල්....

දැං බලන්න.. දොස්තරලට 300% වැඩි පඩියක් ඉල්ලන්නේ ඒ මිනිස්සු කොච්චර අමාරුවෙන් ජීවත් වෙනවා ඇද්ද... හපොයි.. හරියට කන්න අඳින්න වත් නැතුව ඇති... බස් එකේම රස්තියාදු වෙලා, මැරිලා මැරිලා ගෙදර එන්නේ.... ළමයින්ට අවුරුද්දට ඇඳුමක් වත් අරන් දෙන්න බැරුව ඇති... ඉස්කෝලෙ පහසුකම් ගාස්තු ටික ගෙවා ගන්න බැරුව කොච්චර දුක් විඳිනවද.... එහෙවු එකේ මේ එයාලම හොයන්නේ මොකෝ මන්දා....

පවු කියලා වෙන්නැති මයේ හිතේ....

Pic from www. clipartguide.com

Tuesday, October 23, 2012

බයිසිමොටේ සහ අපි දෙන්නගේ මොළේ....


අපේ මහත්තයගේ වහනේ ඉතිං බයිසිමොටෝව නොවැ.... මට පේන්න බැරි වාහනයක් තමයි.... ඒත් ඉතිං අතේ ඇති මුදලට අපිට දරන්න පුළුවන් එකම වාහනේ ඕක නිසා මොනවා කොරන්නද... පණ අතේ තියාගෙන ඕකේ පිටිපස්සේ යනවා....

ඕකෙන් අපි දෙන්නා යන වැඩිම දුර තමයි මහරගම ඉඳලා පාදුක්කට.... අපේ අම්මලගේ ගෙදර.. ඒකත් මම යන්නේ නොයා බැරි කමට... මොකද ටික දුරක් යනකොට මගේ කොන්ද මට මතක් කරලා දෙනවා.. යකෝ උඹට දැං වයස 28යි... කියලා... හි හි...

ඉතිං අපේ ගෙදර යනවානං දවල් වරුවේ ගිහින් වැඩක් නෑ...මොකද කට්ටියම කඩේනේ පදිංචිය..... ඒක නිසා අපි දෙන්නා යන්නේ හවස්වෙලා... රෑට කාලා එන්න බලාගෙන... මගේ වලව්වේ හාමු මාව දැක්කම ඔලුවටම පැනලා කෙල නාවනවා මදිවට, එයාගේ සුදු පාට මවිල් ගස් ම‌ෙග් ඇඟ පුරාම.. එහෙට ඇදපු ඇදුමක් ආයිත් පාරක් වෙන කොහෙවත් නං අඳින්න බෑ... හි හි.. ඒක නිසා අපි ගෙදර යන්නේ වෙන කොහෙ හරි යන්න තියෙනවනං ඒ වැඩ ඔක්කොම ඉවර කරගෙන...

ඔන්න ඔහොම අපි දවසක් මඟුල් ගේක ගියා.. බැන්දේ මගේ අයියා කෙනෙක්... ඉතිං ඕකට නොගිහිනුත් බෑ වගේම අනිත් ඒවට වගේ කන වෙලාව අල්ලලා ගිහින්, මූණ පෙන්නලා එන්න පුළුවන් කමක් තිබුණෙත් නෑ.. ඒක නිසා ඔන්න උදේ පාන්දරම ගිහින් අම්මටම කියලා අන්ඳවගෙන, කේක් හදාගෙන, ඔතාගෙන, ඕවත් උස්සන් ගිහින්, කාලා බීලා මහ රෑම ආපහු එන්න තමයි අපි දෙන්නගේ ප්ලෑන් එක උනේ.. මොකෝ අපේ මහත්තයට ඊළඟ දවසේ වැඩ....

කොහොමින් කොහොම හරි ඔක්කොම වැඩ ඉවරවෙලා අම්මලගේ ගෙදරට එනකොට 12ටත් කිට්ටුයි... දැන් ඉතිං ආපහු යන්න එපැයි... ඔන්න සීතලේ ගැහි ගැහී අපි දෙන්නා පිටත් උනා...

අර හයිවේ එක හින්දා මංචි එක හරියේ පාර පුරාම එක එක සයිස් ගල් ගොඩවල්... පාර මල් හතයි... අපි දෙන්නා ඉතිං ෂොක්ස් වලට බැන බැන තමා ඔය හරියෙන් ආවේ...

කොට්ටාව හරියට එනකොට ගියෙ නැද්ද පස්සෙ රෝදේ හුළං....

මොකද කරන්නේ කියලා කල්පනා කර කර බයිසිකලේ තල්ලු කරන් යන ගමන් තමයි අපේ රටේ මිනිස්සුන්ගේ හොඳ පැත්තක් දැක්කේ ඒ මහ රෑ උනත්... ඒකත් කියන්න එපැයි... බයිසිකල් වල ගිය කීප දෙනෙක්ම නවත්තලා ඇහුවේ .... මල්ලි පෙට්‍රල් කේස් එකක්ද... ගෙනල්ලා දෙන්නද...කියලා... ඒත් මහ රෑ කොහෙන්ද පැච් දාන්න ගරාජ් ඇරලා තියෙන්නේ.. අපේ මහත්තයා ඔහොම තල්ලු කරගෙන යනවා... ඔන්න තව බයිසිකල් එකක් අපිව පාස් කරගෙන ගිහින් ආයිත් හරවං ඇවිත් කිව්වා ... මල්ලි මහරගම ඔඩෙල් එක ගාව ගැරාජ් එකේ කට්ටිය ඉන්නවා... ගිහින් කතා කරලා බලන්න කියලා... ඔන්න ඉතිං අපි ඒකත් හිතේ තියාගෙන මහරගමටම ආවා.... අර ගැරාජ් එකත් වසා ඇත... දැං නං හොඳම ගනන්.... උදේ ඉඳන් වෙච්ච මහන්සිය මදිවට.... ඒකත් එක්ක මඟුලට ඇදපු ඇදුම්... අපේ මහත්තයගේ සුට් එක...ඔක්කොම කරගහගෙන.... දැං මං නං එන්නේ බයිසිකලේට හිතෙන් බැන බැන...

ටිකක් ඉස්සරහට එනකොට පොඩි රෑ කෑම කඩයක් ඇරලා තියෙනවා දැක්කා..ඔය වෙනකොට අපි මහරගම ජනාධිපතිය හරියටම ඇවිත්...පාන්දර 2ට විතර ඇති දැං...

ඔන්න එතන කකා හිටපු මනුස්සයෙක් කිව්වා.... මල්ලි ඉස්සරහා ලාෆ් එක ඇරලා ඇති.. හුළං ටිකක් ගහලා බලන්න.. සමහර විට ඔයාලට ටික දුරක් යන්න පුළුවන් වෙයි... කියලා....

... හරි අයියේ... කරලා බලන්නං... කියලා ආපහු ආව අපේ මහත්තයා, සද්ද නැතුව ආයිමත් බයිසිකලේ තල්ලු කරන්න පටං ගත්තා... ඔය වගේ වෙලාවට මම නං සාමාන්‍යයන් කරන්නේ කට පියාගෙනම යන එක තමයි... මොකද ඔය වාහන සබ්ජෙක්ට් එකේ මෙලෝ හසරක් මට තේරෙන්නේ නැති නිසා... ඒක නිසා ඔය කියපු දේ ගැන උනත් මම එච්චර හිතුවේ නෑ...

ටික දුරක් ගිහින් අර කඩේ නොපෙනෙන මානේ බයිසිකලේ නවත්තලා අපෙ මහත්තයා හිනා වෙන්න පටං ගත්තෙ නැද්ද...

... අපි දෙන්නා නං ගොං ගස් දෙකක්... අපි පෙට්‍රල් ෂෙඩ් කීයක් පහුකරන් ආවද.... එක තැනකවත් මතක් උනේ නෑ නේ හුළං ටිකක් ගහලා බලන්න... එක ෂෙඩ් එකකින් හුළං ගහගෙන අනිත් එකට එන්න පුළුවන් උනා නං මෙළහට අපි ගෙදර....

ඔන්න එතකොට තමයි මට තේරැණේ මොකද්ද මේ කියන්නේ කියලා... හි හි..

ඔන්න ඉතිං ලාෆ් එකෙන් හොඳට හුළං ගහගෙන ටෙස්ට් කරලා බැලුවම නං අවුලක් නෑ වගේ... ඒත් ඉතිං පොඩි අලි පැටියෙක් තරං මම බර නිසා ඕක කොච්චර ඔරොත්තු දෙයිද කියලා ෂුවර් නැති එකේ,හිමිං හිමිං ඇවිත් ගෙට දාලා නවත්තනකොටත් හුළං බිංදුවක් වත් බැහැපු නැති ගානට ටයර් එක තිබුණා....

හයියෝ... අපි දෙන්නගේ මොළේ තරම තමයි ඔය ඉතිං.... ගෙට ඇවිත් විනාඩි දෙක තුනක් යනකම් අපි දෙන්නා හිනා උනේ ඔක්කොම අමාරුකම් පැත්තක තියලා....

ඔය උඩිං තියෙන්නේ අපේ මලයා මේ පෙරේදා චන්ඩියා වගේ ගිහින් අරගෙන තියෙන එක තමයි... කට්ටිය ඕකත් එක්ක පෙට්ටියකුත් ඕඩර් කරන්න කිව්වට මට නං ‌තේරැනේ මේක අනිත් බයික් වලට වඩා පරිස්සම් වගේම බොහොම සැප පහසුයි කියලා... ( ස්පිඩ් යන්න පුළුවන් උනාට ඒ වගේ ස්පීඩ් යන්න පුළුවන් පාරවල් ලංකාවේ නෑ නේ.. ඒක නිසා ඒ ගැන බය වෙන්න දෙයක් නෑ...හි හි)

Monday, October 22, 2012

තව 2යි....



Happy birthday to you
Happy birthday to you
Happy birthday to me
Happy birthday to you.......

Friday, October 19, 2012

අපේ ලේසියට මරලම දාමුද....


ලියන්න ජාති කීපයක් හිතේ තිබුනත් නොලියා හිටියා කම්මැලි කම නිසා.... ඒත් මේක හිතුනම ඔන්නොහෙ ලියනවා කියලා හිතාගෙන ඔන්න ලියන්න ගත්තා.....

අපේ සිංහල පංතිය ගැන ඉතිං මං කලින් දවසකත් කියලා තියෙනවානේ.... ඔය දවස් වල මට හැදුන ලෙඩක් තමයි පාරේ යනකොට බෝඩ් කියෝ කියෝ යන එක... හේතුව තමයි ගොඩක් බෝඩ්වල සිංහල අක්ෂර වින්‍යාසය,ව්‍යාකරණ වැරදි විදියට යොදලා තියෙන තැන් මට ටක් ගලා අහුවෙන එක... හි හි...

ඉස්සර ටයිප් සෙටින් කරනකොටත් ලියුම්වල වැරදි අහුවුනාම මම ඔන්නොහෙ හදලා ටයිප් කරනවා.... හැබැයි ඉතිං ගොඩක් අය අහන්නෙවත් නෑ ඇයි ඒක වෙනස් කලේ කියලවත්.. ඒ වෙලාවට මට හිතෙන්නේ එයාලා හරි මොකද්ද, වැරදි මොකද්ද කියලා දන්නේ නැති නිසා වෙන්නැති කියලා...... මට මතකයි එක සැරයක් ටයිප් කරන්න ගෙනාපු පොතක නමක් දාන්න ගිහින් හරියටම දන්නේ නැතුව සර්ට කෝල් කරලා ඇහුවා හරි මොකද්ද කියලා.. හි හි...

දැං ඉතිං මේ කියන්න යන්නේ කම්පියුටරෙන් ටයිප් කරනකොට වෙන වැරදි නෙවෙයි.... අකුරු මාරු වෙන එක වගේ.. ඉස්පිලි පාපිලි හැලෙන එක වගේ.. හි හි.. ඉස්සර ඉස්කොලෙදි නම් ඉස්පිලි පාපිලි හැලුනාම කෙලින්ම අත මැද්දට මීටර් කෝදු පාරක් තමයි අපේ අරුණසිරි සර්ගෙන්... හි හි....

මට මුලින්ම හොඳට මතක තියෙන අක්ෂර වින්‍යාස වැරැද්ද සිද්ධ උනේ මම 5 වසරේ ඉන්න කාලේ... ඒක උනේ අපේ සෙක්ෂන් භාර ප්‍රේමදාස සර්ට..... මට හොඳට මතකයි වචනේ මොකද්ද කියලා....

පරණ ශිෂ්‍යත්ව පේපර් එකකට ඇවිත් තිබුනා....

සුදුසු අක්ෂරය සොයා හිස්තැන පුරවන්න.

මර්‌___නය ( ද, ධ)



ඔන්න ‌ඔහොම......

ඒ දවස්වල මොනාදෝ කැම්පේන් එක්ක හැම තැනම බෝඩ් ගහලා තිබ්බ නිසා ගොඩක් ළමයි ලිව්වා “ධ” යන්න....

පන්තිභාර ට්චර් ඒ දවස්වල නිවාඩු නිසා ප්‍රේමදාස සර් තමා ප්‍රශ්න පත්තර බැලුවේ.... ඉතිං ඔන්න එයා ඒ ළමයින්ට හරි දැම්මා...එහා පන්තියේ ටීචර් ළකුණු දීලා තියෙන්නේ “ද” යන්නට.. ඔන්න ගුරු මණ්ඩලේ කට්ටිය අපේ පන්තියේ සාකච්ඡාවක්.. හි හි.. අපිත් කන් දික් කරන් අහන් හිටියා...
අන්තිමට පහේ පන්තිභාර ටීචර්ලගේ පොතක් අරං ඇවිත් බැලුවාම ඒකේ තියෙන්නේ “ද” යන්න තමයි හරි කියලා...

ඔන්න එදා ඉඳන් මට කවදාවත් වරදින්නේ නැති වචනයක් තමයි මර්දනය....

ඔය වගේම තමයි “ සියලු” කියන වචනේ.... ගොඩක් අය ඕක ලියන්නේ “ සියළු” කියලා... ඒ වෙලාවට මට ඇඟිල්ලෙන් ඇනලා අහන්න හිතෙනවා “ සියල්ල ” ලියද්දි ලියවෙන අකුරට පාපිල්ල එකතු උනාම ඒක නිකම්ම මුර්ධජ වෙනවද කියලා... හි හි...

ඇත්තටම සිංහල වල තියෙන අක්ෂර වින්‍යාස වෙනස්කම් ටිකක් අමාරු බව ඇත්ත... සමහරු අහනවා “ ළමයා” ලියන්න මුර්ධජ ඕනැයෑ...ඕක “ලමයා” කියලා ලිව්වම වැරැද්දක් නෑ ‌නේ කියලා... හි හි...

හැබැයි “ කල ” සහ “ කළ ” කියන්නේ තේරුම් දෙකක්... “ලය” සහ “ළය” කියන්නේ තේරුම් දෙකක්...“ විදිනවා” සහ “විඳිනවා” කියන්නේ තේරුම් දෙකක්...“ කරන” සහ “ කරණ ” කියන්නෙත් තේරුම් දෙකක්..... හි හි... “තන“ සහ “තණ“ කියන්නේ වචන දෙකක්......

( දැං මං මේ ලියන, කියන භාෂාව මීට අවුරුදු 50කට විතර කලින් ලිව්වනං මේ වෙනකොට මාව හිරේ දාලා.. හි හි...)

ඇත්ත කියනවා නම් අපිට මේ වෙනකොට භාෂාවේ පුංචිම ව්‍යාකරණ නීති රීති ටිකත් අමතක වෙලා...

“ මම ” කියලා පටන් ගත්තොත් ඉවර වෙන්නේ “මි” යන්නෙන් කියන එක...
“ අපි ” කියන එක ඉවර කරන්නේ “මු” එකෙන් කියන එක...
“ ඇය ” කිව්වොත් “ කිව්වාය”
“ ඔහු ” කිව්වොත් “ කිව්වේය ”...... ඔය වගේ ඒවා ටිකත්....

ඕනෑම භාෂාවක ඒ භාෂාවට ආවේණික නීති රීති තියෙනවා... ජපන් භාෂාවේ අකුරුම 30000 ගානක් තියෙනවලු.... අනේ අපේ මේ තියෙන ටික අල්ල ගන්න අපිට මෙච්චර අමාරුද.... නෑ... මට නම් හිතෙන්නේ අපේ ලේසියට අපි අමතක කරලාම දාලා.......

සිංහල භාෂාව පරිණමය වෙලා තියෙන්නේ සංස්කෘත භාෂාවේ සහ පාලි භාෂාවේ අභාෂයත් අරගෙන... ඒත් පසුකලීනව ආපු ඉංග්‍රීසි සහ පෘතුගිසි වගේ භාෂාවල කොටසුත් මේකට එකතු උන නිසා තවදුරටත් පරිණාමය වෙවී ඉදිරියට යනවා...මෑතකදි එකතු උන “ෆ” යන්න උදාහරණයක්...
එතකොට හෝඩියෙන් හැලිච්ච අකුරු... “ඞ” යන්න... “අඃ” යන්න.... දැනට යන්තම් එල්ලිලා තියෙන “සෘ” යන්න වගේ අකුරු...සිදත් සඟරා හෝඩියේ ඉඳලා ‌හෝඩිය වෙනස් වෙච්ච හැටි දන්නවා නම් මේක අමුත්තක් නෙවෙයි...

‌මේවා සාමාන්‍ය දේවල්... ඒත් එහෙමයි කියලා අපිට භාෂාවේ ඔක්කොම නීති රීති කඩාගෙන යන්න අයිතියක් නෑ කියලයි මට හිතෙන්නේ...අපි ලේසියට මේ ලියන, කියන භාෂාව වගේම හරි සිංහල භාෂාවත් පැවතිය යුතුයි...එහෙම නැත්තම් තව ටික කාලෙකින් අපි හැමොම සිංග්ලිස් වලට මාරු වෙලා සිංහල භාෂාවත් තවත් මළ භාෂාවක් බවට පත් වේවි...

කී බෝඩ් වල තියෙන ප්‍රශ්න නිසා හරිම සිංහල අකුරු ටයිප් කරන එක හරි අමාරුයි... ඔය “ අඃ ” යන්න හොයන්න මම කී බෝඩ් එකේ අකුරු කීයක් නම් ටෙස්ට් කළාද... හි හි... ඇත්තටම මේක ලියන්න හිතුනේ මෙදා පාර එක්සිබිෂන් එකෙන් ගෙනාපු පොත් කීපයක් කියවද්දි.... ඒක නිසා මේ බ්ලොග් ලියන අය ගැන හිතලා, එයාලගේ වැරදි ගැන කිව්වාම නෙවෙයි.... ඒත් පුළුවන් තරම් අපි හරි සිංහල පාවිච්චි කරන්න උත්සහ කළොත් හොඳයි කියලයි මට හිතෙන්නෙ.... ව්‍යාකරණ බැරි නම් අඩුගානේ අක්ෂර වින්‍යාසය වත්...... හම්ම්.....

Tuesday, October 16, 2012

උදේම ඇහුන නිවුස් එකක් නිසා මට හිතිච්ච හෑල්ලක්...

අදත් නිවුස් කතාවක් ලියන්න හිතුවා.. ඇත්තටම ලියන්න හිටියේ වෙන දෙයක් ගැන.. ඒත් උදේ මේ නිවුස් එක ඇහුනාම එකපාරටම මතක් වෙච්ච එක ලියන එක හොඳයි කියලා හිතුනා...


ඔන්න හැම පත්තරේකම ඕක කියවෙනවා ඇහුනත් මුල පිටුවටම මේ කතාව ආපු දිනමිණ පත්තරේට ගිහින් බලන්න ඔන්න ලින්ක් එක...

මට ඔය කතාව ඇහෙද්දිම මතක් උනේ මීට අවරුදු කීපයකට කලින් සිද්ධ වෙච්ච තුන් නිවුන් දරු උපතක් වෙලාවේ සිද්ධ වෙච්ච සිද්ධියක්.... ඒක නිසා මම දුවලා ඇවිත් බැලුවා දරුවන්ගේ තාත්තගේ රස්සාව මොකද්ද කියලා.... දෙයියන්ට මේ පාර නම් සිහිකල්පනාව තිබිලා වගේ... තාත්තා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්.. ඊට අමතරව පෞද්ගලික ආයතනයක විධායක නිළධාරියෙක් ලු....

හේතුව මේකයි... මම කලින් කියපු තුන් නිවුන් දරු උපතේදි තාත්තා කුලී වැඩ කරන බව තමා පත්තරවල තිබුනේ... කුලී වැඩ කරලා එදා වේල හම්බුකරගන්න මනුස්සයෙක්ට දරුවෝ තුන් දෙනෙක් කියන්නේ ලොකු බරක්.... කටින් එහෙම නොකිව්වට හිතේ ගින්දරක් ඇවිලෙනවා නොවැ අම්මලා තාත්තලගේ හිත්වල... ඒ පවුලට මුල කාලෙදි ගොඩක් දෙනා උදවු කළා... කිරිපිටි , ආහාර ජාති, දරුවන්ට අවශ්‍ය දේවල් දීලා... ගේකුත් හදා දුන්නද කොහෙද.. ඒක නම් මතක නෑ...

දැං මට ලියන්න හිතුනේ මේකයි....

අද කාලේ දරුවෙක් හදන එක ලේසි පාසු වැඩක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙම.... ඇයි ඉතිං... ළමයා බඩට එන්න කලින්ම කාගේ හරි ගෙයක් තමන්ගෙ නමට හරෝ ගන්න ඕනේ... නැත්තම් අවුරුද 6දි ඉස්කෝලේ දාන්නේ කොහොමද...... එහෙම නැත්තම් ලක්ෂ 10ක් විතර බැංකු පොතක දා ගන්න ඕනේ ඉන්ටනැෂනල් ස්කූල් එකකට දාගන්න.. මොකද ඒවට ඇතුලු වෙන්න ඔයිට අඩු උනත් මාසෙකට ලක්සයක් දෙකක් වියදම් කරන්න වෙනවානේ....ඕවා හිතෙනකෙට මට නම් ළමයි හදන්න භෑ කියලමයි හිතෙන්නේ...

ඔව් ඉතිං... ඕවා හිත හිත ළමයි නොහදා ඉන්නත් බෑ තමා... එන හැටියකට මූණ දෙමු කියලා හිත හදාගන්නත් බෑ... දරුවන්ටවත් අපිටවත් විඳවන්නේ නැති ජීවිතයක් නේ ඕනෑම කෙනෙක්ගේ හිතේ තියෙන්නේ....

ඇත්තටම මාසෙකට 30000 - 40000 අතර වත්කමක් තියෙන පවුලකට දරුවො දෙන්නෙක් හදාගෙන ජීවත් වෙන්න කොයි තරම් සටනක් කරන්න වෙයිද....

ඉඩමක් ගන්න, ගෙයක් හදා ගන්න, දරුවන්ට හොඳට උගන්නන්න ..... හීන ලොට් එකක්.....

මට මතකයි අපේ අම්මයි තාත්තයි වැඩ කරපු විදිය.. අපේ තාත්තට මහා ලොකු පඩියක් ලැබුන්නෑ.... ඒ කාලේ හැටියට යන්තමි ජීවත් වෙන්න පුළුවන් උනා අපි හතර දෙනාට....

මට මතකයි දවස් ගානක් අපි බත් එකට ලූණු ගෙඩියක් සුද්ධ කරගෙන, අමුමිරිස් කරලක් එක්ක ලුණු ටිකක් ඉහගෙන කෑවා.... බත් එක අනලා කවනකොට අම්මගේ කදුළු බිංදුත් බත් එකට වැටුනා... ඒ මල්ලි පොඩි කාලේ... එයාට බේත් කරන්න වියදම් කලාට පස්සේ අපිට කන්න ගන්න සල්ලි තිබිලා නෑ...

අපේ ගේ හදන්න බිලොක් ගල් හැදුවේ අපේ අම්මා.... අදටත් තාත්තා ඒ බිත්තිය කඩන්නේ නැතුව තියාගෙන ඉන්නේ ඒ නිසා... පොඩි පොඩි ලෝන් අරගෙන ගේ හදන්න පටන් ගත්තේ.... මෑතක් වෙනතුරම ගෙට ගත්ත ණය ගෙව්වා.... මට මතක නෑ අම්මයි තාත්තයි කොහෙවත් ගිය දවසක් පහුගිය අවුරුදු 23ක් වගේ කාලයකදි.... මට මතක නෑ අම්මයි තාත්තයි කඩෙන් කෑමක් ගෙනල්ලා කනවා ඒ කාලෙදි... මට මතක නෑ අපේ අම්මා තනියෙන් ආනමාලු ගෙඩියක් කනවා ඒ කාලෙදි.... බැන්ද අවුරුද්දේ තාත්තා අරන් දුන්න සාරියට පස්සේ ආයිත් තාත්තා අම්මට සාරියක් අරන් දුන්‌ෙන් අවුරුදු 23කට පස්සේ....

හැමදාම පැන්සල් නැති කරගන්න මට අපේ අම්මා පැන්සල තුනට කපලා තමා දෙන්නේ... සුදු ගවුම අයන් කරන්න අයන් එකක් නැති නිසා කොට්ටෙ යට තියෙගෙන නිදා ගත්තේ.. තාත්තා නයිට් ඩියුටි දවසට අම්මා මාවත් තුරුළු කරන නිදා ගන්නේ බයෙන්... මොකද අපේ ගේ හදලා තිබුනේ ලෑලි වලින් නිසා... මට තාම මතකයි මම දැක්ක බය හිතෙන හීනයක් ඒකලේ.... අම්මයි මායි තනියෙන් ඉන්න දවසක අපෙ ගෙට හොරු පැනලා...

ඒත් මට කිසිම අඩුපාඩුවක් උනා කියලා මතක නෑ.... මට අඩුපාඩුවක් නොදැනෙන්න ඒ දෙන්නා තමන්ගේ ජීවිතේම කැප කලා කියලා තේරුනේ ඉස්කෝලෙන් අවුට් උනාටත් පස්සේ... කේක් ෂොප් එක හින්දා තමයි අද ඒ දෙන්නා සතුටක් විඳින්නේ... අම්මගේ අයියලා මල්ලිලා ටිකයි එයාලගේ ළමයි ටිකයි ඕනේ වෙලාවක අපේ ගෙදර.... මායි මල්ලියි හැම තිස්සේම ඒ දෙන්නව ට්‍රිප් යන්න උනන්දු කරනවා... ෆිල්ම් බලන්න යවනවා... හොඳ සංගීත ප්‍රසංග වලට ටිකට් අරං දෙනවා...එහෙම කරන්නේ ඒ දෙන්නගේ තරුණ කාලය අපි දෙන්නා වෙනුවෙන්ම කැප කරලා හිටපු එකට වන්දි ගෙවන්න.... අදටත් මට අපේ අම්මයි තාත්තයි තරුණයි....( 55යි කියන්නේ නාකියි යෑ නේද... හි හි)

ඒත් ඒ දෙන්නා අපි දෙන්නා ගැන හිතලා දුක් වෙනවා... මල්ලිට අසනීප උනොත් කියලා ඒකට සල්ලි ඉතුරු කරනවා... මටත් අරවා මේවා අරං එවනවා... හිටපු ගමන් කරෝල බැඳලා මාලු කෑල්ලක් උයලා මැල්ලුමක් එක්ක පරිප්පුවක් හදලා මං ආස විදියට කෙහෙල් කොලේ ඔතලා මල්ලි අතේ එවනවා.... අපේ මහත්තය වැඩ දවසක මට ගමනක් යන්න ඕනේ නම් ඇවිල්ලා එක්කං යනවා..... (ගෙයක් හදලා දෙන්නද, ඉඩමක් අරං දෙන්නද කියලා අහලා අපේ මහත්තයා ඒකට කැමති නැති නිසා දෙන්නම අපේ මහත්තයා එක්ක තරහා වෙලා ඉන්නේ... හි හි.. මගේ නමට තිබ්බ ඉඩමත් ආපහු අම්මගේ නමටම ලියන්න කිව්වා...)

මම පුංචි කාලේ ඉඳලම ඔය දුක දැක්ක නිසා ලොකු තීරණයක් අරං හිටියා මම නම් බඳින්නේ නෑ නෑමයි කියලා... මට ජීවිතේ විඳවන්න බෑ මයි කියලා මම හිතුවා... යාලුවුනත් බඳින්න හිතහදාගන්න ලොකු කාලයක් ගියා.... එහෙම කලෙත් අපේ මහත්තයාගේ මට තිබුණ ආදරේ හොඳටම තේරුම් ගත්ත නිසායි.... ඒත් තාමත් හිතෙනවා විඳවන්න නම් බෑ කියලා...... අපේ අම්මලා වින්දා වගේ මමත් දුක් වින්දොත් ඒ දෙන්නා ඒ දුකටම මැරිලා යයි.... එදා ඉඳලා දුකක් නොදී හදාගත්ත කෙල්ල මං... අදටත් මාමලා කියන්නේ මං ගැන කතා කලොත් දුකෙන් කතා කරන්නේ කියලා.... කොච්චර හොඳින් ඉන්නවා කියලා පෙන්නුවත් එයාලා හිතන්නේ මම දුක් විඳිනවා කියලා.... අනේ මන්දා......

මෙච්චර හෑල්ලක් ලියවුනානේ ඉතිං... හයියෝ..... කපන්න දුකයි.. ඔන්නොහෙ දැම්මා.....

///ඇත්තටම මාසෙකට 30000 - 40000 අතර වත්කමක් තියෙන පවුලකට දරුවො දෙන්නෙක් හදාගෙන ජීවත් වෙනන කොයි තරම් සටනක් කරන්න වෙයිද....///

උත්තරේ..... ලංකාවේ ඉඳලා නම් බෑ......

අපේ මහත්තයට යාලුවෝ කීප දෙනෙක්ම ආයිත් රට යන්න කතා කරනවා මේ ටිකේම.... ඒත් මම ඒකට කැමති නැත්තේ පවුලක් උනාම එකට ඉන්න ඕනේ කියන හැඟීම නිසා.... කොච්චර අමාරුකම් තිබුණත් රට යන අදහස අත්රින්න තියලා මම කිව්වේ ඒක නිසා... ඇත්ත...... අමාරුයි.... දුක් විඳින්න වෙනවා.... ඒත් සල්ලි වලින් මනුස්සයා නැති අඩුව පුරවන්න පුළුවන්ද.... අනිත් එක එයාම කියන විදය එකපාරක් රට ගියොත් ආයිත් යන්නම හිතෙනව... සල්ලි අඩුපාඩු දැනෙන්න පටන් ගන්නකොට.... ඒක නිසා මම කිව්වා රට යනවා නම් බදින්න කලින් ගිහින් කරගන්න පුළුවන් දෙයක් කරගමු කියලා....ගිහින් ආවානේ... ආයිත් නම් යන්න දෙන් නෑ.... දරුවන්ට තාත්තා කෙනෙක් ‌ෆොටෝ එකකින් පෙන්නලා වැඩක් නෑ කියලයි මට හිතෙන්නෙම.... අනේ මන්දා.... මං වැරදිද මන්දා....

හරි ... අඬ අඬ ටයිප් කලේ... ඒක නිසා හිතට හරි නෑ... ඔන්න මේ ළඟදි හදපු කේක් එකක ෆොටෝ එකක් හම්බුනා... ඒකත් එක්කම අපේ අම්මලගේ තනියට මේ දවස්වල ගෙයි රජ කරගෙන ගෙන ඉන්න මගේ වලව්වේ හාමුගේ ෆොටෝ ටිකකුත් මල්ලිගේ ෆේස්බුක් පේජ් එකේ තිබිලා හම්බුනා... ඔන්න යටින් දැම්මා.....

මේ ඉන්නේ වලව්වේ හාමු..... පේනවනේ රජ කරගෙන ඉන්න හැටි....




මේ කේක් එක නම් ගිය මාසේ වගේ හැදුවේ..... ඔය පබළු එහෙම ගන්න මාත් මල්ලිත් එක්ක ෂොපිං ගිය නිසා මමත් පොඩ්ඩක් විතර සම්මාදම් උනා... හි හි