Sunday, December 23, 2012

අපේ මහත්තයට කම්මැලි හිතුනම.....

අද මේ ලියන්න ගත්තේ කාලයක් තිස්සේ ලියනවා කියලා හිතාගෙන හිටපු කතාවක්... ඒත් හැමදාම නොදන්න මඟුල් වලට අත ගහන්න බැරියෝ කියලා පස්සට දදා හිටියා... හි හි... 

මේ ලියන්න ගත්තේ අපේ මහත්තයා මට හදලා දීපු පොල්කටු අඟුරු වලින් පත්තුකරන ලිප ගැන ... ඇත්තටම මේක ලියන්න අරං, පැත්තකට දාලා තිබ්බ එකට තව හේතුවක් තියෙනවා..ඒ තමයි මේ ෆොටෝ ප්‍රශ්නේ...හි හි.. 

මේකේ ෆොටෝ එකක් ගන්න තරම් ලස්සනට වැඩ ඉවරකරලා නැති නිසා කො‌ෙහාමද මනුස්සයෙක්ට පෙන්නන්නේ කියලා හිතුනා...  ඒ උනාට මේක එක්ස්පෙරිමන්ට් එකක් නිසාත්, කෙරෙන්න ඕනේ උන වැඩේ සාර්ථක වෙච්ච නිසාත්, ළඟකදි ඉතුරු වැඩ අවසන් වෙන පාටක් නැති නිසාත් ඔන්න තියෙන හැටියට පිරිමහගෙන පෝස්ට් එක දානවා... 


ෆෑන් එක සවිවෙලා තිබෙන පැත්ත.. 

මෙහෙම තමයි පැත්තෙන් බැලුවාම පෙන්නේ..  ඔන්/ඕෆ් කරන්න දාපු ස්විච් එකත් පේන්න තියෙනවා....

මුලින්ම මේ වගේ ලිපක් කඩේ විකුණන්න තියෙනවා දැකලා තමයි මේ අදහස ආවේ... ඇත්තටම අපි දෙන්නා එක්ස්පෙරිමන්ට් එකක් විදියට හදපු දෙයක් මේක.. අපේ මහත්තයා මෙහෙම එකක් හදලා බලමුද කියලා අයිඩියා එක දැම්මම ඉතිං, කොහොමත් ඔය වගේ වැඩ වලට මං එපා කියලා කියන්නෙ නැති නිසා මාත් කිව්වා එහෙනං ට්‍රයි කරලා බලන්න කියලා... 

එහෙම හදපු ලිප තමයි මේ... 

මේකේ ඇති ලොකු දෙයක් නෑ කියලා තමයි අපේ මහත්තයා කියන්නේ.... ඕනේ පොඩි ඉලෙක්ට්‍රිකල් දැනුමක් විතරයි... ඒකත් කරන්ට් එක සම්බන්ධ කරගන්න ටිකට විතරයි.... ආ... තව ඉතිං පොඩ්ඩක් මඩ ටිකක් නාගන්නත් වෙනවා.... හි හි.. ( ඒක නම් කට්ටියට අමුතු දෙයක් නෙවෙයිනේ...) 


මෙන්න මේක තමයි ඔය ලිපේ ඇතුලත සැලැස්ම... 

මෙතන තියෙන්නේ හරිම පොඩි දෙයක්...

ප්‍රධානම දේ තමයි මෙතන පාවිච්චි කරලා තියෙන ෆෑන් එක.. මෙතන තියෙන්නේ කම්පියුටර් වලට පාවිච්චි කරන ‌ෆෑන් එකක්... ඒකෙන් එන සුළං පාරට තමයි අඟුරු ටික ඇවිලෙන්නේ.. ඕකට ඕනේ වෙන්නේ පොඩි කරන්ට් එකක් කියලා දන්නවනේ... ‌ෆෑන් එක පාලනය කරගන්න පුළුවන් ස්විච් එකක් දාගත්තම රස්නේ අඩු වැඩි කරගන්නත් පුළුවන්... 

පතුල පැතලි, රවුම් භාජනය අඟල් 3 - 4ක් උස, කට අඟල් 5 - 6ක් විතර පළල තියෙන එකක් නම් ඇති.. පතුල සිදුරු කීපයක් විදගන්න ඕනේ... අපි නම් දාලා තියෙන්නේ යකඩ එකක්.. හැබැයි මේ වෙනකොට නම් ඒක මලකඩ කාලා, කැඩිලා ගිහින්.. ඒක නිසා භාජනය මැටි වලින් කවර් කරලා ගත්තොත් කල්පවැත්මක් තියෙයි කියලා හිතනවා..  

මහත බටයට නම් අපේ මහත්තයා අරන් තියෙන්නේ වාහනයක ඔයිල් ෆිල්ටර් එකක්... නැත්තම් ෆෑන් එකේ සයිස් එක හරියන තරම් මහත යකඩ බටයක් පාවිච්චි කරන්න පුළුවන්..  කුඩා බටය අඟල් 2ක විතර පළල තිබ්බම ඇති....  නැවුම් දෙක නවද්දි අංශක 90ට එන විදියට නවා ගන්න ඕනේ.. සුළං පහර අවහිරයක් නැතුව, වේගයෙන් යවන්න ඕනේ නිසා තමයි නැවුම් දෙකක් දාන්නේ... මැටි වලින් වට කරන නිසා වෙන්නේ රස්නය උපරිම ලෙස පාවිච්චි කරන්න කරන්න පුළුවන් වෙන එක... තව ලිපේ හැඩේ හදගන්නත්, බට රඳවා ගන්නත් මැටි වලින් හදන කොටස වැදගත්... බට ටිකට තීන්න පාරක් ගාලාම ගත්තම කල් පැවැත්මකුත් තියෙනවා... 

ලිපට අඟුරු ඇතුලු කරගන්න ක්‍රමයක් හදාගන්න එකත් වැදගත්... ඔය අඟුරු දාන භාජනය උඩට අපි නම් පරණ ගෑස් ලිපක ස්ටෑන්ඩ් එක තියලා, භාජනය තියන්න පාවිච්චි කරන නිසා එතනින් සුළං පිට වෙන්න ඉඩක් සහ අඟුරු ඇතුල් කරන්න ඉඩක් ඇවිත් තියෙනවා.. ඒ වෙනුවෙන්ම ස්ටෑන්ඩ් එකක් හදා ගන්නවා නම් අඟුල් 2 ක් උසට හිටින්න හදාගත්තම ඇති...  ඕනේ නම් මැටි වලින්ම පොඩ්ඩක් උසට හදාගන්නත් පුළුවන්.. ( අපේ එකේ නම් ඒක එච්චර සාර්ථක උන් නෑ... මං හිතන්නේ ඉස්සරහින් අරං තියෙන ෆොටෝ එකේ ඒක පේන්න තියෙනවා..) 

මේක පත්තු කරගන්න දාන්නේ පොල්කටු අඟුරු කියලා මං කලින් කිව්වනේ... පොල් කටු කැබලි වලින් උනත් පත්තු කරන්න පුළුවන් උනත් එතකොට දැලි ප්‍රශ්නයක් එන නිසා, පොල්කටු අඟුරු තමයි සුදුසුම ම‌ෙග් අත්දැකීමේ හැටියට... අපි දෙන්නා පොල්කටු අඟුරු හදාගන්න ක්‍රමයත් ලියන්න හිතුවා මෙතනම... 

අඩියක් විතර පොඩි වලක් කපලා, ඕකට පොල්කටු ටික දාන්න ඕනේ.. පොල්කටු ඇතුලට වාතය යන විදියට අහුර ගත්තම වැඩේ ලේසියි... ඕනේ නම් භූමිතෙල් ටිකක් දාලා පත්තු කරගත්තට කමක් නෑ... හැබැයි අඟුරු ටික චූටියට කෑලි කැඩෙන්න කලින් වතුර ටිකක් දාලා නිවා ගන්න ඕනේ..  ගොඩක් පොඩියට කැඩුනම නාස්ති වෙන නිසා... තව එකක්.. නිවෙන්න ඇරලා ටිකක් සැරෙන් සැරේ බලන්න ඕනේ.. මොකද මේක ලේසියෙන් නිවෙන්නේ නෑ.. අපි දෙන්න පොල්කටු ගෝනි දෙකක් විතර ඒ විදියට නාස්ති කරගත්තා.. නිවිලා කියලා හිතලා ෂාපන් එකේ ගේ ඇතුලට වෙලා ඉඳලා, ගිහින් බලනකොට ගන්න දෙයක් නැතිවෙන්න ඇවිලිලා ගිහින් තිබ්බා... හි හි.. 

ඔය වලෙන් අරගත්තට පස්සේ ඔය අඟුරු ටික අව්වේ වේලගන්න ඕනේ දවසක් විතර.. ඒකට හේතුව තමයි තෙත අඟුරැ පිච්චෙනකොට අමුතු සැරක් එන නිසා... උයන්න ගියාම වෑංජන වලටත් ඒ සැර ගතිය එනවා.. වේලලා ගත්තම නම් ඒ කේස් එක ආවේ නෑ... ( මේ ඔක්කොම කරන්න දෙයක් නෑ පොල්කටු අඟුරු කඩෙන් ගන්න තියෙන නිසා... ඒත් ඉතිං ගෙදර තියෙන පොල්කටු ටික එකතු කරලා හදාගන්න පුළුවන්..) 

මේක මට නම් කාර්යක්ෂම බව අතින් ගෑස් ලිපට සමානයි... පත්තු කරගන්න නම් පොඩි වෙලාවක් යනවා මුලදි... පුරුදු උනාම ටක් ගාලා පත්තු කරගන්න පුළුවන්... පොඩි අඟුරු කෑල්ලක් රතු පාට වෙන්න ගිනියම් කරලා ( ගිනිකූරක් පත්තු කරලා අල්ලගත්තම ඇති..) ඒක අර පොල්කටු දාන කොටසට දාලා, තව අඟුරු කෑලි ටිකක් උඩින් තියලා ‌ෆෑන් එක දැම්මම විනාඩි කීපයක් ඇතුලත ලිප ලෑස්ති වෙනවා... දැලි බැදීමක් කොහෙත්ම නෑ... සාමාන්‍යයෙන් වතුර කේතලයක් රත් කරගන්න පුළුවන් පොල් කටු දෙකක විතර අඟුරු වලින්... 

ප්‍රධානම දේ තමයි මේ ෆෑන් එකට යන කරන්ට් එකත් එක්කම, පොල්කටු අඟුරු ගෙදර හදාගත්තොත් මාසෙකට හතර දෙනෙක් ඉන්න ගෙදරකට වැය වෙන්‌ෙන් යුනිට් 10කටත් අඩු ප්‍රමාණයක්... ගෑස් වල ගනං බැලුවාම නම් මේක මාර ලාබයි... ගෑස් ලිපත් එක්කම පාවිච්චි කළත් වාසියි ඇත්තටම මට නම්... 

මං මේ ලිප හොඳටම පාවිච්චි කරන කාලෙදි ගෑස් එකක් මාස 4කට කිට්ටු වෙන්න පාවිච්චි කළා.. විශේෂයෙන් රොටි හදන්න, වතුර උණු කරන්න, කඩල තම්බන්න වගේ වෙලා යන වැඩ වලට මං මේ ලිපමයි පාවිච්චි කරන්නේ... ගෙයින් එළියේ උනත් තියලා තියන්න පුළුවන්... අනිත් එක හදිසියේ ගෑස් ඉවර උනාම අමාරුවේ වැටෙන අපේ ගෘහණියක්ට නම් මේක පුදුම සහනයක් වෙයි.. ( මට නං දැනටත් එහෙමයි.. හි හි..) 

මේ වගේ පොල්කටු අඟුරු වලින් පත්තු කරන ලිපක් වෙළඳපලේ ගන්න තියෙනවා... නමුත් පාවිච්චි කරලා තියෙන තාක්ෂණය මේකමද කියලා නම් දන්නේ නෑ... මම ඒක පාවිච්චි කරලා නැති නිසා... මං හිතනවා මේක බලන කට්ටියට මේක තවදුරටත් දියුණු කරගන්න අදහස් තියෙයි කියලා.. ඔන්න එහෙනං අදහස්, දැනුම බෙදාහදා ගන්න සහ වාද විවාද වලට කමෙන්ට් තීරුව විවෘතයි අදත්..... හි හි

Thursday, December 20, 2012

අගක් මුලක් නැතුව මට හිතෙන දේවල්...



සමහර වෙලාවට මට හිතෙනවා මං ඉපදිලා තියෙන්නේ වැරදි තැනක, වැරදි කාලෙක කියලා... මට හරියි කියලා හිතෙන ගොඩක් දේවල් කරන්න මේ සමාජයේ ඉඩක් නෑ.. විශේෂයෙන්ම සාම්ප්‍රදායික සමාජයේ තියෙන වැරදි මට පේන හින්දා..සමහර සම්ප්‍රදායික අදහස් වෙනස් වෙන්න ඕනේ කියලා බහුතරය හිතුවත් තාමත් ඒ තත්වය ඇති වෙලා නැති නිසා...

තව ටිකක් හිතලා බැලුවාම බෝධිසත්වයෝ පස් මහ බැලුම් බලපු එකේ කිසි අවුලක් නෑ කියලත් හිතෙනවා.... 

කතාව තියෙන්නේ කාලය, දීපය, දේශය , කුලය සහ මව කියන ජාති පහ ගැන සලකලා බලලා මේ ලොවට ආවා කියලනේ... 

ඕකේ කුලය කිව්වේ රජ කුලයක ඉපදෙන්න තීරණය වෙන්නේ ඒ කුලය ජනතාව පාලනය කරන්න දක්ෂ සහ ජනතාව ගරු කරන, වටේට රැස් වෙලා ඉන්න කුලයක් වීම නිසා නායකත්වයට වැදගත් වීම නිසානේ... නැත්තම් අඩු කුලේක ඉපදුනු සෝපක දරුවාත් රහත් වෙන්න පින් තිබුණු කෙනෙක්... ඒත් බෝධිසත්වයෝ පෙරුම් පිරුවේ බුදු වෙන්න.. බුදු වෙනවා කියන්නේ නායකත්වයක්... ඒකයි නායකත්වයට එන්න ලේසි, අනිත් අය ඒ නායකත්වය පිළිගන්න කුලයක ඉපදුනේ.. දීපය, දේශය කියන්නේ බුදු වෙන්න සුදුසු පරිසරයක් තිබීම සහ බුදු කෙනෙක් දේශනා කරන ධර්මය ‌තේරුම් ගන්න පුළුවන් තරමේ බුද්ධිමතුන් ඉන්න සාමාජයක් වීම වෙන්න ඕනේ කියලයි මට හිතෙන්නේ... 

කාට හරි මොනම දෙයක් හරි කරන්න යනකොට හෝ අලුත් දෙයක් හිතන්න හරි උත්සාහ කරන කොට ඒකට හරියන මානසික හා සාමාජීය පරිසරයක් නැත්තම් ඒ වැඩේ සාර්ථක වෙන්නේ නෑ...  

දැං අපේ රටේ උනත් එක එක විදියේ දක්ෂතාවයන් තියෙන අය ඉන්නවා.. හැබැයි සමහර විට ඒ දේවල් වලට සමාජයේ වැදගත්කමක්, පිළිගැනීමක් ලැබෙන්නේ නෑ... 

උදාහරණයක් විදියට කවුරුහරි කෙනෙක් උපතින්ම ඉතාමත්ම දක්ෂයි පාරම්පරික වෛද්‍ය ක්‍රමයකට.. හිතමුකෝ කැඩුම් බිඳුම් වලට කියලා... ඕවා පාරම්පරිකව ආවත් දැං ඒ වගේ වෙද පරම්පරා අඩු නිසා ඔය වෘත්තියේ නියැලෙන අය අඩුයි.. දැං මේ කෙනා ඉන්නේ ඈත දුෂ්කර පලාතක නම් ඒ දක්ෂතාවය කොච්චර තිබුණත් සමාජයට වැඩි දෙයක් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ... මොකද වැඩි දෙනෙක් ඒ ගැන දන්නේ නෑ.. ඒ කෙනා තමන් ළඟට එන අයට බේත් කරලා තමන්ගේ බඩ වියත රැක ගෙන ජීවත් වෙලා මැරිලා යාවි... හැබැයි ඒ කෙනා රජ කාලේ ඉපදුනා නම් සමහර විටක අද අපි පාවිච්චි කරන වෙද පොත් වගේ සමාජයට ඉතාමත් වැදගත් යමක් ඉතුරු කරලා යන්න අවස්ථාවක් උදා වෙන්න තිබුනා වෙන්න පුළුවන්... ඒ වගේම මේ කෙනා මේ කාලේ ඉපදෙනකොට නගරබද ප්‍රදේශයක් කිට්ටුවක යම්කිසි ආකාරයක් තාක්ෂණික දියුණුවක් තියෙන තැනක ඉපදුනා නම් අද කාලේ උනත් මේ සමාජයට වැදගත් දෙයක් දෙන්න පුළුවන් වේවි... 

දැං එතකොට ඕකට බලපාන්නේ මොකද්ද... වාසනාව, පින, කර්ම ශක්තිය... මොකක්හරි වෙන්න පුළුවන්... 

මං හිතනවා අපි ගොඩක් දෙනෙක්ට ජීවිතේ යම්කිසි වෙලාවක මේ විදියට හිතෙන්න ඇති කියලා... ඇයි මං මේ රටේ ඉපදුනේ...? ඇයි මං මේ පවුලේ ඉපදුනේ.... ? ඔහොම හිතෙනවා මට නම් සමහර වෙලාවට... විශේෂයෙන් මට හරි කියලා හිතෙන දෙයක් කරන්න අවස්ථාවක් නැති උනාම සහ මට වැරදියි කියලා හිතෙන දෙයක් මං අවට සිද්ධ වෙනවා දැක්කම... 

දැං ඔය වාහන එළවිල්ල, පාරේ කුණු දැමිල්ල උනත් මං අකමැති දෙයක් වෙන්නේ ඒක මට වැරදි දෙයක් වෙන නිසානේ.. එහෙම වෙලාවට හිතෙන්නේ අනේ ඇයි අප්පා මං මේ රටේ ඉපදුනේ කියලා... හි හි... 

කලින් කිව්වා වගේ මේක පින හෝ වාසනාව නිසාමද...? නැත්තම් අපි මේ කාලයේ ඉපදිලා ඉන්නේ යම්කිසි දෙයක් අවබෝධ කරගන්නද කියලා මට හිතෙනවා... ඔය මට හරි මට වැරදි කෑල්ල එන්නේ අපේ බුද්ධි මට්ටම එක්කනේ.. ඔය බුද්ධි මට්ටම එන්නෙත් මේ සමාජය ඇතුලේ අපි ජීවත් වෙන ගමන්මනේ...  එත‌ෙකාට අපේ බුද්ධි මට්ටමට තේරෙන,‌ මේ සමාජයේ තියෙන වැරදි හරි ගස්සගන්නද අපි මේ කාලේ ඉපදුනේ කියලා මං කල්පනා කරනවා.. 

දැං මීට අවුරුදු ගානකට කලින්, අවුරදු 50කට විතර කලින් තිබුණේ නැති ආගමික ප්‍රබෝධයක් අද තියෙනවා මං දකිනවා... එක එක විදියේ ලොකු ප්‍රශ්න තිබුනත්, ඉස්සර මිනිස්සු පන්සල් ගිය විදියට සහ ආගම අදහපු විදියට වඩා වෙනස් විදියකට අද අය පන්සල් යනවා, ධර්මය ගැන කතා කරනවා සහ ඉස්සර මිනිස්සු ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කළාට වඩා වැඩි ශක්තියක් වැය කරලා අද මිනිස්සු ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරනවා කියලා මට පේනවා... 

එහෙම වෙන එකයි හරි කියලත් මට හිතෙනවා... 

එත‌ෙකාට ‌මේ ඇති වෙලා තියෙන්නේ මේ රටේ, මේ සමාජයේ මොන විදියකින් හරි ලොකු පෙරළියක් ඇති වෙන කාලයක්ද කියලා මට හිතෙනවා.. 

එත‌ෙකාට ආයිමත් කල්පනා වෙනවා එහෙනං ඉතිං මං ඉපදිලා තියෙන්නේ වැරදි තැනක, වැරදි වෙලාවක වෙන්න බෑ නේ කියලා... හි හි.... 

---------------------------------------------------------------------------------
ප/ලි. මේ ඔක්‌ෙකාම මට හිතෙන දේවල් තමා... ආගමික, සාමාජීය, පුද්ගලික අවශ්‍යතා වලදි මට යම් යම් අවස්ථාවල හිතෙන දේවල් නිසයි මේ ටික ලියවුනේ... මේ පටන් ගත්තේ සම්ප්‍රදායික සමාජය නිසා මට අහිමි වෙච්ච දෙයක් ගැන හිතලා උනත්, අවසන් උනේ ආගමික පැත්තකට ගිහින් නිසා, මං හිතන්‌ෙන් පොඩි පැටලවිලි ගතියක් තියෙනවා... ඒත් ඒක හදන්න මට තේරෙන්නේ නෑ... 

ප/ප/ලි . මේකට ෆොටෝ එකක් හොයන්න කියලා ගියාම අදත් ගූගල් එකේ ලස්සන ඇනිමේෂන් එකක් තියෙනවා ඔන්න.. ඒකත් කාටූන් එකක්.. හි හි.... 

Tuesday, December 18, 2012

ඉස්කෝලේ යන කාලේ දෙසැම්බර් කියන්නේ......

අදත් ලියන්නේ මොනාද කියලා කල්පනා කර කර ඉන්න ලෙඩක් හැදුනා මට උදේ පාන්දරම.... මොකද තරමට කම්මැලි තත්වයක් තියෙන්නේ... එහෙන් වහිනවා ඉවරයක් නෑ... මකුළු දැල් වල සහ වැස්සේ ආනිසංස හම්බුවෙන්නද කොහෙද හච්චිං යනවා ඉවරෙකුත් නෑ... මාස දෙකක් විතර පරණ පත්පාඩගම් පැකට් එකක් තිබ්බ නිසා ඔන්න ඕක තම්බගත්තා.. නැත්තම් අ‌ෙප් මහත්තයා පටං ගන්නෙම... කොහෙද .. ගෙදර ගෙනල්ල තියෙන එක වත් තම්බගන්න බෑ නේ.. උදේ ඉඳලා ඕකේ එල්ලිච්ච ගමන්.. වෙන සිහියක් නෑ නේ...”.... අනේ මේ අහක ඉන්න මගේ කොම්පියුටර් රාජයාට බැනුම් අස්සන්න ඕනෙයැ...     

ඉතිං ඕක බොන ගමන් කල්පනා කළේ අනේ ගෙදර හිටියනං ඉතිං මේ ඔක්කොම අම්මා නේ කරලා දෙන්නේ... මොන පිස්සුද.. අම්මට වෙලාවක් තියෙනවයැ ඕවා කරන්න.. ඉස්කෝලේ යන කාලේ කළාට... කියලා..... එතකොට තමයි හිත ආපහු ඇදිලා ඇදිලා ඇදිලා ගියේ ඉස්කෝලෙ යන කාලේ දෙසැම්බර් නිවාඩුවට..... හි හි... ඉතිං කෝල් එකක් දුන්නා අපේ අම්මට.. ඔන්න ඒ පාර ඇදිලා ආපු කතාවකින් තමයි මේ කතන්දරේ ලියන්න ඕනේ කියලා හිතුනේ...

දෙසැම්බර් නිවාඩුව තමයි මගේ ආසම නිවාඩුව... ඒකේ ලොකුම දේ තමයි නිවාඩු කාලෙට ගෙදර වැඩ දෙන්නේ නැති එක... ඔය දුන්නත් මම ඒවා කරන ජාතියේ එකෙක් නෙවෙයි.. ගොඩක් වෙලාවට වෙන කාට හරි කියලා තමයි ඕවා කර ගන්නේ.. මට මතක ඇති කාලෙක ඉඳලා ඕවා කරළා දුන්නේ අපේ එහා ගෙදර අක්කා... අක්කා කිව්වට ඉතිං මගේ වයසෙම තමා.... හැබැයි එයා මං වගේ කම්මැලි කේස් එකක් නෙවෙයි... අකුරුත් ලස්සනයි... මං ඉතිං බටර් ටිකක් ගාලා එයාට කියලා ගෙදර වැඩ ටික කරගන්නවා.... හි හි.... කොහොමත් ඔය දෙන ගෙදර වැඩ වලින් මේලෝකේ දෙයක් වැඩකට ගන්න නෑ... අර ටීචර්ලා බොරුවට ගෙදර වැඩ දුන්නා කියලා පෙන්නන්න වැදගැම්මකට නැති මොනා හරි පටෝනවා.. ගොඩක් වෙලාවට ඕවා බලන්නෙත් නෑ ඊළඟ වාරෙදි..... 

නිවාඩු කාලෙදි විතරක් නෙවෙයි.. අනිත් දවස් වලටත් ගෙදර වැඩ නම් මම කරන්නේ ඉස්කෝලෙදිම තමයි.. එක්කෝ ඉස්කෝලේ ඇරෙන්න කලින්ම කරලා දානවා.. නැත්තම් ඊළඟ දවසේ උදේම ගිය ගමන් කරලා දානවා... ගණන් නං ජීවිතේට හදන්නේ නෑ.. ඔක්කොම ළඟ එකාගේ පිහිට තමයි.... මේවා මේ උජාරැවට කියෙව්වට ගණන් වලට හොර කළාට නම් සම්බුව වැදුනා විභාගෙට කලින්ම....

අපේ මහත්තයා ( ඒ කාලේ මගේ පස්සෙන් එන එක්කෙනෙක් විතරයි... හැබැයි ලිස්ට් එකේ උඩින්ම හිටියේ මෙයා තමයි.. මොකද කෙලින්ම ඇහුවනේ මගෙන් ඇඹරි ඇඹරි ඉන්නේ නැතුව... හැබැයි ඉතිං මාත් ඇඹරි ඇඹරි ඉන්නේ නැතුව බෑ කිව්වා .. හි හි ...) 10 වසරෙදි විතර තමයි මාත් එක්ක කතාබහ කරන්න පටන් ගත්තේ.. ඔය කාලේ ඉතිං ඉස්කෝලේ වැඩ වලට මූලිකත්වය දෙන්න ඕනේ කියලනේ උදේ හවස මන්තරේ වගේ ඇහෙන්නේ... ඔය උණ අපේ මහත්තයටත් තදට තිබ්බා.. එකක් එයත් ඊළඟ විභාගෙට ලෑස්ති වෙන කාලේ.. අනිත් එක එයා ෆේල් උනත් මං පාස් වෙන්න ඕනේ කියලා තමයි එයා හිතුවේ... ඉතිං මෙයා මාව අල්ලගෙන අහන්නේ ගණන් කොහොමද කියලා තමයි.. හපොයි... ටීචර්ලා හොඳයි.. මෙයා මට ගෙදර වැඩත් දෙනවා ඉස්සර... ( අද නම් මේ පෝස්ට් එක පෙන්නන්නේ නැ.. හි හි) කළේ නැත්තම් බැනුම් කෝටියයි... දැං නං කියනකොටත් ලැජ්ජයි ලැජ්ජයි වගේ.. ඒ ඉතිං අතින් අල්ලන්නවත් බය කාලේ නේ.. මං ඉතිං බැනුම් අහන්න ආසාවටත් නොකර ඉන්න වෙලාවල් තියෙනවා... හි හි.. ඕවා තමයි ඉතිං මතකයේ රැඳිලා තියෙන හිනා වෙන්න පුළුවන් දේවල්... 

හැමදාම වැගේ ඔන්න පැන්නා... හි හි... 
කොහොම හරි... ලියන්න ගියේ දෙසැම්බර් නිවාඩුව ගැනනේ... ඔය නිවාඩුවේ මං ආසම ඊළඟ වැඩේ තමයි අලුත් පොත් හම්බුවෙන එක... සාමාන්‍යයෙන් ඉස්කෝලෙන් දෙන පොත් වලින් ඇත්තටම පරණ පොත් හම්බුවෙන්නේ අඩුවෙන්... මං හිතන්‌ෙන් ඒක කොළඹ ඉස්කෝලවල විතරක් තියෙන දෙයක් වෙන්න ඕනේ.. කවර ගැලවිච්ච පොත් එහෙම නම් කවදාවත් හම්බුවෙලා නෑ මට... එහෙම පොතක් හම්බුවුනා නම් මං හිතන්නේ 11 වසරේ ගණන් පොත වෙන්න ඕනේ.. ඕක කිසි කෙනෙක් ගෙදර ගෙනියන්නේ නෑ... පන්තියේ දාලා යනවා.. ඉතිං පොතට හරි අයිතිකාරයෙක් නැති නිසා ඒ පොත අතින් අතට ගිහින් ජරා වෙනවා... ඒ අස්සේ තව කට්ටියක් ඉන්නවා තමන්ට හම්බුවෙච්ච අලුත් පොත ගෙදර තියලා පරණ, කැඩ්ච්ච පොතක් තමයි ඉස්කෝලෙදි පාවිච්චි කරන්නේ... මන්දා ඕවා කෙල්ලන්ගේ විතරක් තියෙන ලෙඩද කියලනම්.... හි හි... 

ඔන්න ඉතිං ඔය පොත් ටිකෙන් ගත්ත ගමන්ම කියවලා ඉවරකරනවා සිංහල පොත... බුද්ධාගම පොත....? අපෝ නෑ... ඒක නම් දිගෑරලා බලන්නෙ වත් නෑ.... විද්‍යාව පොත.... සමාජ අධ්‍යයනය පොත... ඉතිහාසය පොතත් ටිකක් පෙරළලා බලනවා... අනිත් ඒවා නං දැන් මට මතකත් නෑ... ඔය පොත් ටිකයි, හැමපාරම අපේ තාත්තලගේ කම්පැණීයෙන් හම්බුවෙන පොත් ටිකයි තමයි මගේ නිධානේ... හි හි.. මට මතක විදියට 5 වසරේ ඉඳලා විතර හැමපාරම පොත් ටික හම්බුඋනා එහෙම... වැඩකරන හැම සේවකයටම, ඉන්න ළමයි ගාන බලලා, එයාලගේ වයස බලලා ඒ වයසට අදාළ පොත් සෙට් එක දීපු එක ඒ කම්පැණී එකෙන් කරපු ලොකුම දෙයක්.. මැනේජර්ලගේ ඉඳලා සුළු සේවකයන්ට වෙනකම්ම මේක ලැබුනා වෙනසක් නැතුව...

ඔය පොත් ටික බදාගෙන මම බලං ඉන්නේ කවර දාන්න පටං ගන්නකම්... ඔය කවර දැමිල්ල කොල්ලෝ කෙසේ වෙතත් කෙල්ලෝ නම් ආසාවෙන් කරනවනේ... සාමාන්‍යයෙන් අපේ ගෙදර පොත් වලට කවර දැමීමේ මහා ව්‍යාපාරයක් තියනවා.. මොකද කිව්වොත් මගේයි, මල්ලිගෙයි, නංගිගෙයි තුන් දෙනාගෙම පොත් සෙට් තියෙනවනේ... ඉතිං ඕවට දාන්නේ බ්‍රවුන් පේපර් කවරද....??? පිස්සු තමයි.... එක එක අවුරුද්දට එක එක සිස්ටම්.. ඔන්න එක පාරක් සුදු පාට කැලැන්ඩර් වල කණපිට පැත්ත.. තව පාරක් සුදු පාට චිත්‍ර අඳින කොල... ඊළඟ පාරට කළු කොල... වෙලාව මදි උන පාරට විතරක් බ්‍රවුන් පේපර්... ඕකට අපේ අම්මගෙත් ෆුල් සපෝට් එක තියෙනවා.... එකපාරක් අම්මා අපි දෙන්නව අල්ලගෙන මරු වැඩක් කළා... 

සිමෙන්ති කවර තියෙනවා නේද... ඔව් අර සිමෙන්ති කොට්ටෙ කවර තුනෙන් මැද තියෙන එක... අන්න ඕවා ටිකක් තිබ්බා එකතු වෙලා... අපේ අම්මා කරපු වැඩේ ගල් වෙලා, පාවිච්චි කරන්න බැරි දියසායම් ටියුබ් ටිකක් එකතු කරලා, හොඳ පාප්ප හැලියක් හදලා ඕකට අර දියසායම් ටික දාපු එකයි... ආයිත් ඉතිං එක පාටක් කියලා නෑ..ඔක්කොම දැම්මා.. රතු පාටට හුරු පාට ඔක්කොම එකකටයි, කොළ පාටට හුරු පාට ඔක්කොම එකකටයි දාපු නිසා අන්තිමට අමුතුම විදියේ මෙරුන් ( තද රතු පාටක්)  පාටකුයි, ගොම කොළ පාටකුයි හැදිලා තිබ්බා... 

ඊට පස්සේ අම්මා කළේ අර සිමෙන්ති කවර ගානට කපලා, ඒවයේ අර පාප්ප තවරපු එක... ඊට පස්සේ අපි දෙන්නට කිව්වා ඇඟිලි වලින්, කෝටු කෑලි වලින්, ගෙදර තිබ්බ පොඩි බ්‍රෂ් එකකින් එහෙම ඒවයේ රටා අඳින්න කියලා.... ආයිත් ඉතිං අපි දෙන්නට රටක් රාජ්ජයක් හම්බුනා වගේ තමා...ඊට පස්සේ ඔය ටික ඔක්කොම වේලලා උඩින් ගෑවා වාර්නිෂ් පාරක්.. අප්පා.. හරිම ලස්සනයි... ‌පොත් වලට කවර දැම්මේ එ පාර ඔන්න ඔය විදියට හදපු සිමෙන්ති උර වලින්.. මට මතක විදියට ඔය මට 7 හරි 8 හරි ඉන්න කාලේ තමා.... 

ඔය ඔහොම කරපු එක වැඩක් විතරයි.. 

ඊට පස්සේ ඉතිං ඔය කොයි තාලෙන් හරි කවරත් දාලා, නම් ලියලා, ස්ටිකර් අලෝලා ඔය වැඩ ඔක්කොම ඉවර කරලා ඉටි කොලත් දානවා... ඔය ස්ටිකර් ඇලවිල්ලට මං ඉස්සර ඉඳලම ආස නෑ.. මං අලවන්නේම මැගසින් වලින්, කාඩ්ස් වලින්, කැලැන්ඩර් වලින් කපපු ස්වාභාවික සෞන්දර්‌ය තියෙන රෑප තමයි.. (නළු නිළියෝ නම් අලවලම නෑ.... හි හි)


ඔය කොන්ද කඩාගෙන කල්පනා කරන්නේ 9 වසරේ බුද්ධාගම අච්චු පොතට අලවන්න වෙසක් කාඩ් එකක් නැතුවනේ... ක්‍රිස්මස් කාඩ් විතරයි හොයාගන්න පුළුවන් ඕනේ ඒ පාර.. 
ඔන්නඔහේ ඕනේ එකක් කියලා ඇලෙව්වා ඔය අත තියාගෙන ඉන්න ක්‍රිස්මස් කාඩ් එකේ හිටපු සාමයේ පරවියව... ආගමික සහජීවනේ ‌නේ... හි හි

ආ.. ඒක කියද්දි මතක් උනේ.. එක පාරක් මං අපේ මල්ලිගේ දෙමළ පොතේ ලොකු කොටියෙක්ගේ රෑපයක් අලවලා, ඌ පළවෙනි දවසෙම අඬාගෙන ගෙදර ආවා ටීචර් බැන්නා කියලා... අනේ ඉතිං මං ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි... මල්ලි ගාව ලස්සන කොටි ගොඩක් ඉන්න අර දිලිසෙන ස්ටිකර් වගයක් තිබ්බා.. මට ඒකේ හිටපු ලොකුම කොටියා දෙමල පොතේ ඇලෙව්වා.. ඌ හරිම ලස්සන නිසා... ඉතිං ඒක වැරැද්දක්ද මං අහන්නේ... හි හි...ඊළඟ දවසේ අරකේ කවරේ මාරු කරලා දුන්නා මල්ලිට... හි හි.. 

ඔන්න ඔහොමයි පොත් වලට කවර දැමීමේ සංග්‍රාමය ඉවර වෙන්නේ... පස්සේ කාලෙක මං ඉස්කෝලෙන් අවුට් වෙනකම්ම ඔය පොත් හම්බුඋනත්, එච්චර පොත් ඕනේ වෙන්නේ නැති නිසා මං ඔය ඔක්කොම පොත් ‌අපේ ගෙවල් ළඟ ඉන්න දුප්පත් ළමයි කට්ටියකට දුන්නා...ඔය පොත් සෙට් එකත් එක්ක ස්ටෙප්ලර්, පංක්චර්ස්, කවකටු පෙට්ටි, අඩිරෑල්, ෆයිල්ස්, පාට පැන්සල්, ප්ලැටිග්නම්, පාට පෙට්ටි, පැන්සල් පෙට්ටි, පෑන්, පැන්සල්, මකන කෑලි, පොත් බෑග් වගේ දේවලුත් වයසේ හැටියට හම්බුවෙනවා.. ඒ ලෙවල් කරන ළමයින්ට පිටු 400 CR පොත් එක්කම ෂෝට් නෝට්ස් ලියන්න පොඩි නෝට් බුක් සහ A4 කොළ පවා තියෙනවා ඒ පාර්සල් එකේ.. හි හි ( ඒක නම් ඇත්තටම හරිම වටින වැඩක්... ඒක ඔස්ට්‍රේලියන් කම්පැණි එකක්.. ඒත් ඔය වැඩේ සංවිධානය කරන්නේ ලංකාවේ අය..) ඉතිං ස්ටෙප්ලර් එකක් එහෙම අවුරුද්දකින් අයින් කරන්නේ නෑ නේ.. කවර දාන්න දේවලුත් එක්කම මදි පාඩුවලට මගේ අතින් පොත් අරං දාලා ඔය තියෙන ජාති ඔක්කොමත් එක්කම මං එයාලට ගිහින් දුන්නා ඒ අවුරුදු කීපයම.. ඒ පොත් ටිකත් අරං ඒ ගෙදරට ගියාම ඒ ළමයින්ගේ හිනාව මට තාම මතකයි...වැඩිපුරම සතුටු වෙනවා දකින්නේ ඒ ඇන්ටිගේ ඉන්න ආබාධිත දරුවා... ‌පොත් ටික අතපත ගාලා හරි ලස්සනට හිනාවෙනවා...  පස්සේ රස්සාව කරන කාලෙදිත් ඔය වැඩේ මං කළා.. දැං ඒ වගේ පවුල් කීපයකටම අම්මා ඔය පොත් දෙන වැඩේ කරනවා... 

මට අද ඕක මතක් උනේ අපේ අම්මා අද ඒ ගෙදරට ගියාම අර ආබාධිත දරුවා ඇහුවලු අක්කා කෝ කියලා... ඔන්න එයාගේ මතකේ තරම... එයාට මතක නෑ මං කසාද බැඳලා ගියා කියලා.. මොකද මගේ ඇඳුම් මැහුවෙ ඒ ඇන්ටි.. ඉතිං ඒ දවස් වල මං නිතරම ඒ ගෙදරට ගියා.. කොලු පැටියට ඒ ටික මතක නැති උනත් පොත් ගෙනාපු එක මතක තිබිලා... 

Sunday, December 16, 2012

2012ත් ඉවර වෙන්න කිට්ටුයි.......


අප්පා.. කැලැන්ඩර් කොන්ත්‍රාත් එක ඉවරයි... ඔන්න අන්තිම ටික අරං ගියා... දැන් තමයි හුස්ම ටිකක් ගත්තේ...  හි හි... 

දැං ඉතිං පරණ පෝස්ට් ඔක්කොම කියව කියව ඉන්න ගමන් කල්පනා කළේ ලියන්න දෙයක් නැති වෙන්න තරම් මම හිදුනේ කොහොමද කියලා... හැබෑට... කියන්න තියෙන ඒවා ඒ ඒ ‌පෝස්ට් වල කමෙන්ට් තීරුවේ මාගල් වගේ දාන නිසා මගේ එකේ ලියන්න දෙයක් ඉතුරු වෙයි යෑ.. හි හි... 

කල්පනා කර කර ඉන්නකොට හිතුනේ මේ විකර කර කර ඉන්නේ නැතුව මේ ගේ පොඩ්ඩක් අස් කරලා දාන්න ඕනේ කියලා.. ඇයි දෙයිය‌ෙන් ජනවාරි පළවෙනිදාවක් එනවා නේද.... ගෑණියෙක් උනාම ගෙවල් දොරවල් අස් පස් කරලා තියාගන්න එපැයි... ගිය ටිකේම ගේ පුරාම කැලැන්ඩර් වපුරලා තිබ්බේ... අපේ මහත්තයත් දන්නවා මට ඔය වගේ වැඩක් කරද්දි ගේ වනසන්නේ නැතුව කරන්න බෑ කියලා... ඒක නිසා පහුගිය ටිකේම කොළ ගොඩවල් උඩින් පැන පැන ගියා මිසක් වචනෙකින්වත් මේ ගෙයි හැටි බලපං ගෑණීයේ.. කිව්වේ නෑ... ඉතිං මං පටං ගත්තා වැඩේ... අප්පා.. ඒක අස් කිරිල්ලක්ම තමයි.... ... 

බිම පුරාම ඉටි කොල..කොළ කෑලි..  ඒ මදිවට ගම් ගෑවිලා ඇලවිලා.... රබර් පටි... ස්ටෙප්ලර් පින්ස්.. ඒ අස්සට අපේ මහත්තයා එයාගේ වැඩ වලට අරන්, කපලා දාපු වයර් කෑලිත් තියෙනවා... යකඩෝ.. අපි දෙන්න ඉඳලා මෙහෙම නම්... පොඩි එකෙක් දෙන්නෙක් හිටියා නම් මට දෙයියන්ගේ පිහිටයි.... 

ලොකුම කරදරේ මකුළු දැල්.. සතියයි අත තියන්න බැරි උනේ... ගේ පුරාම මකුළු දැල්.. මකුළු දැල් කැඩිල්ල කියන්නෙ මට බොහොම ලොකුවට අසනීප වෙන වැඩක් තමයි.. ඒත් ඉතිං අපේ මහත්තයව අල්ලගන්නත් බැරි එකේ මමම සුද්ධ කළා... 

ගෙදර ඉන්න කාලේ මොනවට හරි ගේ අස් කරනකොට හැමදාම අම්මටයි මටයි හැදෙනවා බරපතල හෙම්බිරිස්සවක්.. කොච්චර නහය බැඳගෙන කළත් වැඩක් නෑ.. මම හොයාගත්ත විදියට ඕකට තියෙන එකම බේත මකුළු දැල් කඩලා අතුගාලා දැම්ම ගමන් දුවලා ගිහින් හොඳට නා ගන්න එක... මට බේත් බොන එක තරම් එපා කරපු වැඩක් තව නැති එකත් එක හේතුවක්..

ඉතිං ඕන්න නාලා කරලා ඇවිත් ඉඳගත්තා මේක ලියන්න... 

මේ දවස්වල හැම එකේම සේල්... අපේ මහත්තයා මාසෙකට විතර කලින් කොහෙන්දෝ මන්දා ලීෆ්ලට් එක්ක උස්සන් ඇවිත් බලලා මාව ඇඳගෙන ගියා ලී බඩු බලන්න.. මේසෙකුයි පුටු ටිකකුයි ගන්න ලොකු උවමනාවක් තිබ්බට ඕක කරගන්න එකපාරටම යට කරන්න තරම් සල්ලියක් නෑ නේ... ඒත් ගිහින් බැලුවාම හිතෙන්නේම මේ රබර් ලී වලට මෙච්චර සල්ලි දෙන්නෙ නැතුව මොරටුවෙන් හදා ගන්න එක හොඳයි කියලා.. ( මට ඔය කැටයම්, බෝල බෝල එහෙම තියෙන ලී බඩු පේන්න බෑ... ඒක නිසා ඉතිං මොරටුවෙන් ගන්නවා නම් හදවලම ගන්න වෙනවා..) අනිත් එක ක්‍රෙඩිට් කාඩ් වලට අරගන්නත් අපිට ක්‍රෙඩිට් කාඩ් තියෙනවයැ... ඒක නිසා ඒ වැඩේ අතෑරලා දැම්මා... 

අර ඊයේ පෙරෙදා හැම තැනම ප්‍රචාරය වෙච්ච අකිල විරාජ් කාරියවසම් ගේ කතාව මතක් වෙනවා... 

පෝසත් අයට ප්‍රශ්නයක් නෑ... දුප්පත් මිනිස්සුන්ට කාගෙන් හරි ඉල්ලගන්න පුළුවන්... මැද ඉන්න අය තමයි වැඩිපුර දුක් විඳින්නේ...

ඇත්තනේ කතාව..  අපි අම්මලා තාත්තලගේ පවුල් වල තත්වය රැකගන්නත් ඕනේ... නම්බුකාරව ජීවත් වෙන්නත් ඕනේ.. කන්න බොන්නත් ඕනේ.. අනාගතේ ගැන හිතන්නත් ඕනේ... 

මේ තියෙන හැටියට රස්සාවල් කරලා නම් අනාගතයක් ගැන හිතන්න අමාරුයි කියලා තේරෙනවා.. පොඩියට හරි කෙරෙන මගේ වැඩෙන් හම්බුවෙන කීය හරි ඉතුර කරන්න දඟලනවා... හිතලා බලනකොට අපි ජීවත් වෙනවට වඩා ජීවිතේ විඳවනවා... 

මේ ඔක්කොම ප්‍රශ්න එක්ක කාලයත් හරි ඉක්මණට ගෙවිලා යනවා... ලෝක විනාසේ උනේ නැත්තම් තවත් අලුත් අවුරුද්දක් එනවා.. අපි  එදාට කිරිබත් කාලා ආයිත් පරණ පුරුදු ජීවිතේටම වැටෙනවා.. 

Thursday, December 13, 2012

තව ටික කාලෙකින් මෙහෙම වෙයිද...?



මේක මේ සැමාගේ අද පෝස්ට් එක කියවද්දි මගේ හිතේ ඇඳුන ජවනිකාවක් ගැන... 

ඉස්සර අපේ ගෙවල් පැති වල කට්ටිය පාරේ යන එන ‌කොට, අයියේ, නැන්දේ, මාමේ, කියලා නෑකම් කියලා කතා කරන තත්වයක් තිබ්බා... ගමේ අය හැමෝම අඳුරනවා... ගමේ අය එකිනෙකාගේ ගෙවල් වලට යනවා පොඩි අවශ්‍යතාවයක් උනත්... දෙහි ගෙඩියක්, අමු මිරිස් කරලක්, ලූණු ගෙඩියක් ඉල්ල ගන්නත් යනවානේ අම්මලා... හි හි... 

ටික කාලයක් ගිහින් තාප්ප වැටවල් බැදෙන්න ගත්තම අපේ අම්මලා එහා ගෙදර කට්ටියත් එකක් කතා කළාලු වැටට උඩින්... තාප්පෙට උඩින්... අවශ්‍යතාවයකදිත් එහෙමයි.... වැට ළඟට ගිහින් කතා කරනවා.... 

අපි ඉතිං උදේ පාන්දර කරුවලේම ඉස්කෝලෙ ගිහින් කරුවල වැටුනම ගෙදර එන නිසා කිසි කෙනෙක්ව දන්නේ නෑ නේ.. අම්මගෙන් තමයි අහන්නෙ අර හිනා වෙච්ච අන්කල් කවුද... අර කතා කරපු ඇන්ටි කවුද කියලා..... 

දැං දැං බැදෙන තාප්ප වහලේ ගානටම තියෙන නිසා තාප්පෙට උඩින් කතා කරන්න නම් බෑ.... ඒක නිසා හදිසියකට කරන්නේ එහා ගෙදර ඉඳලා මෙහා ගෙදරට කෝල් කරන එක.... 

තව ටික කාලයක් යනකොට මෙහෙම උනොත් කොහොම හිටියිද...... 

තව ටික කාලයක් යනකොට අපේ අම්මා එහා ගෙදර ඇන්ටිත් එක්ක කතා කරන්නේ ෆේස් බුක් එකෙන්... අපේ ගෙදර කොල්ලා එහා ගෙදර කෙල්ලව සෙට් කරගත්තේ බ්ලොග් එකෙන්... උන් දෙන්නා ලවු කරන්නෙ ෆේස් බුක් එකෙන්... 

එහා ගෙදර ඇන්ටි අපේ අම්මත් එක්ක කුස්සියෙ උයන ගමන් චැටක් දාගෙන ඉන්න අතරේ එක පාරටම කියනවා....

ආනේ..... ඒයි මේ.... මැසේජ් එකක් ආවා පලා කම්පැණියෙන්....  මං මුකුණුවැන්න මිටියක් ඕඩර් කළා බුකියෙන්.. ගෙනල්ලා වෙන්නැති... ඔයත් එකක් ඕඩර් කළා නේද...?

එතකොට අපේ අම්මා.... 

ආනේ.. ඔව්මයි...තැන්කියු අනේ... මං පුතාව යවන්නංකෝ අරන් එන්න...

එතකොට එහා ගෙදර ඇන්ටි... 

මාත් දුවව යවනවා.... ඔහොම ඉන්නකො මම එයාට මැසේජ් එකක් දාන්නම්.. එයා උදේ ඉඳන්ම රෑම් එකේ.. 

ඉතිං ඔන්න අපේ අම්මත් දානවා මැසේජ් එකක්... 

පුතා.... ඔයා ගිහින් අර පලා මිටිය අරන් එනවද... මං පේ කරලා තියෙන්නේ...

ඔන්න ඉතිං කොල්ලා කෙල්ලට මැසේජ් එකක් දානවා... 

සුදු... අම්මා පලා මිටියක් ගන්නලු ‌ගේට්ටුව ගාවට ගිහින්..

එතකොට කෙල්ල...

අපේ අම්මත් මට යන්නලු...

කොල්ලගේ මූණේ තරු පායනවා... 

ෂෝක්... එහෙනං ඔයත් එන්න ගේට්ටුව ගාවට.. මට ඔයාගේ මූණ බලාගන්නකම් ඉවසිල්ලක් නෑ.... 

ඔන්න ඕක තමයි මගේ හිතේ ඇඳිච්ච ජවනිකාව..... ( කොල්ලගෙයි කෙල්ලගෙයි චරිත දෙකට අපේ මල්ලිවයි එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්වයි ආදේශ කළාම වැඩේ ගොඩ.. හි හි)

හැබෑට මෙහෙම කාලයක් එයිද කියලයි මං මේ කල්පනා කරන්නේ..... 


මේ දවස් ටිකේ කැලැන්ඩර් ලොට් එකකට යට වෙලා ඉන්න නිසා කියවනවා විතරයි.. ලියන්න බෑ.. හි හි... ඒකට සමාව භාජනේකට දාලා තියන්න හොඳේ.... 

Monday, December 10, 2012

මේ ඔක්කොම පිස්සු අමාරුවෙ වැටෙන්න ආස අය හින්දා...

ගොඩ දවසකට පස්සේ පොඩි විකාර කතාවක් ලියන්න හිතුනා... ගිය ටිකේ කට්ටියම පරණ පෙම් කතාවලට පැටලිලා, කවි, කතා, පරණ ස්ටෝරි ලිය ලිය, කවි තෙල් බි බී හිටියනේ... ( අම්මපා මාරයියව දැක්කෙත් නෑ ඊට පස්සේ.. හි හි) 

මේකත් ඉතිං මඟුල් කතාවක් තමයි..... 

අපේ අම්මගේ කේක් කතන්දරේ කට්ටිය දන්නවනේ... කොහොම හරි ඕක ඇවිල්ලා ලොකුවම ඇඩ් දාගෙන කරන එකක් නෙවෙයි... බො‌ෙහාම පොඩියට, ලස්සනට, හිමීට කරගෙන යන වැඩක්.. ගොඩක් වෙලාවට හැම කෙනාම අම්මව හොයා ගෙන තමයි එන්නේ.. කඩේ වැඩ කරන ගර්ල්ස්ලා හිටියත් හැමෝටම අම්මා එක්ක කතා කරන්න ඕනේ ඕඩර්ස් දෙන්න... විශේෂයෙන් උපන් දින, මඟුල් වලට හදන කේක් වලට... ඩිසයින් තෝරන්න අම්මම ඕනේ.. මං හිටපු කාලේ නං මට ඒ තැන තිබ්බා.. ඒත් දැං නං අම්මම කරන්න ඕනේ ඔක්කොම.. 

ඔය එන කට්ටිය වෙලාවකට හෙන වාතත් වෙනවා..ඒත් ඉතිං එහෙමයි කියලා කස්ටමර්ලව අයින් කරන්න බෑනේ.. ඒක නිසා හරිම පරිස්සමෙන් ගනුදෙනු කරන්න ඕනේ.. 

ඔය ඕඩර්ස් බාර දෙන්න ආවාම අපිට මරු මරු වැඩ වෙනවා... 

ඔන්න දවසක් කොල්ලෙක් ඇවිත් බර්ත්ඩේ කේක් එකක් හදවගන්න... 

අපි ඉතිං විස්තර අහනවා... 

ගෑණු ළමයෙක්ටද ...  ඔව්

වයස කීයක එක්කෙනෙක්ද.... 15යි... 

ඉතිං සාමාන්‍යයෙන් ඒ වයසේ අයට හදන්නේ ‌ඩිසයින් වලට වඩා කන්න පුළුවන් කේක් නේ... හැබැයි මෙයාට ඕනේ කියන්නේ හාවෙක්.. අපිට සාමාන්‍යයෙන් ඉවර වගේ තේරෙනවා මෙතන මොකද වෙන්නේ කියලා... 

නිදිමතේ වැනි වැනි ඉන්න අපිට වෙන ජොලියක් කොහෙද.. ඉතිං අපිත් අර කොල්ලව හොඳට අසරණ කරනවා... හි හි

ඉතිං දැං අපි හාර හාර විස්තර අහනවා.... 

නෑයෙක්ද...     නෑ

යාලුවෙක් ද..... ( ඇඹරිලා.... ) ඔව්... 

හරි අපේ සැකේ කන්ෆ්ර්ම්.... හි හි

දැං මෙයාට ඕනේ මේ හාවව හදලා බොක්ස් එකක දාලා ගිහින් දෙන්න.. ඒ අලි තඩියව බොක්ස් වල දාන්න බෑ... ඒකා වීදුරුවක හදන්න ඕනේ... 

ඉතිං දැං මේකා ඇඹරි ඇඹරි විස්තරේ කියනවා... කේක් එක එයාගේ කෙල්ලටලු... ආදරේට කියන්නේ බනී කියලලු.. ඒක නිසාලු හාවෙක් ඕනේ.. ගෙදරට හොරෙන් ගෙනියන්න ඕනේලු... ඒක නිසාලු බොක්ස් එකක දාලා ඕනේ... 

අපිට හිනා මැරෙන්න.. කොහොම හරි ඉතිං අපි අවශ්‍යතාවය අනුව පොඩි පොඩි වෙනස් කම් කරලා කේක් එක හදලා දුන්නා.. ඒ වගේ ඒවට සපොට් කරන්න එපැයි.. නැද්ද මං අහන්නේ.... හි හි

ඔය වගේ හිනා යන තව කේක් ඕඩර් ජාතියක් තියෙනවා... 

ඒ තමයි මනමාලියෝ බලන්න යනකොට අරන් යන කේක්... 

ඔව් ඔව්.. ඒ වගේ කේක් ටිකක් විශේෂ විදියට තමයි හදන්නේ... හැබැයි ඒවා ඩිස්ප්ලේ එකේ නෑ... ඕඩර්ස් වලට විතරයි හදන්නේ.. ඉතිං ඕවට එන අය පටන් ගන්‌ෙන් මෙන්න මෙහෙම... 

චොක්ලට් කේක් කිලෝ එකක් කීයද...

රු.. මෙච්චරයි.. ( මට ඇත්තටම ගාන මතක නෑ දැං) 

බොක්ස් එකක දාලාද දෙන්නේ... 

ඔව්... 

වටේට අයිසින් කරලා එහෙම නේද... 

එහෙම නම් හදන්නේ ඕඩර්ස් වලට විතරයි.. ටික වෙලාවක් ඉන්න පුළුවන් නම් හදලා දෙන්න පුළුවන්.. හැබැයි ගාන ටිකක් වැඩියි.... 

අපිට මේ ගෙදරකට අරන් යන්න... ටිකක් හොඳට අරන් යන්න ඕනේ.... 

අපේ කට්ටියට මේ වෙනකොට සීන් එක තේරිලා ඉවරයි... ඉතිං අපි කෙලින්ම මාතෘකාවට බහිනවා... 

මනමාලියක් බලන්න යන්නද....? 

(අම්මා නම් හිනා වෙලා, කොල්ලා නම් ඇඹරිලා ) ඔව්....

ආ ඒකට අපේ ස්පෙෂල් කේක් එකක් තියෙනවා.. චොක්ලට්, කජු එහෙම දාලා... 

ඉතිං අපි ගේමට එන්ටර් වෙනවා... හි හි

ඉතිං ඔය අස්සේ අපි කට්ටිය කොල්ල තනියෙන් නම් ආවේ කතාවට අල්ලගන්නවා.. ගොඩක් වෙලාවට කොල්ලා එන්නේ යාලු වෙච්ච කෙල්ලගේ ගෙදර යනවනම්.. අම්මලා එන්නේ කතා කරපු මඟුලකට යනවනම්... ඕක කිව්වේ එක්ස්පීරීයන්ස් එකෙන්... 

ඉතිං දැං ඔය කතා කරන මඟුල් එකෙන් දෙකෙන් හරි යන්නේ නෑ නේ.. කීපෙකටම යන්න වෙනවනේ... අන්න එත‌ෙකාට තමයි වැඩේ.... හි හි

අපිට ටක් ගාලා නෝට් වෙනවා ඒ වගේ අයව.. ගොඩක් අය අපි කොහෙන් හරි ඇඳුනුම් කමක් තියෙන අය.. අනිත් එක එන පළවෙනි වතාවෙම අපි කතාවටත් අල්ලගෙන ෆිට් කර ගන්නවානේ... 

ඉතිං එයාලම අපිට විස්තරත් කියනවා.. එතකොට තමයි ඉතිං යාලු වෙලා හිටපු ඒවයේ ඉඳලම විස්තර එළියට එන්නේ... ඉතිං අපි ඒ වගේ ඒවත් අහගෙන තව කේක් එකක් හදනවා... කොල්ලව අල්ලගෙන නෝන්ඩිත් දානවා....අන්තිමට කොල්ලට විෂ් කරලා එහෙම තමයි අපි කේක් එක දෙන්නේ... ( ඇයි දෙයියනේ තව වෙඩින් එකකුත් එනවනේ ඉතිං.. හි හි) 

යාලු වෙච්ච එවුන්ට නම් අපි අනන්ත හොරෙන් කේක් අරං යන්න උදවු කරලා තියෙනවා.. මොනවා උනත් ලවු එකකට උදවු කරන එක පිනක් නොවැ.. හි හි... 

ඔන්න ඔහොමයි කතා කරන විදියෙන් අපි කට්ටියව අඳුර ගන්නේ.. ඒ වගේ ඉවක් නැතුව බිස්නස් එකක් කරගෙන යන්න අමාරුයි.... 

අද මේ ලිව්වේ පිස්සු කතාවක්.. මේක වෙනදා ලියවෙන ඒවා වගේ රසවත් නැති වෙයිද මන්දා.. මොක උනත් කමක් නෑ.. ඔන්න මං දානවා.. නැත්තම් කට්ටිය කයි තෙල් බී බී, අතීත ප්‍රේම පුරණ මතක් කර කර ඉඳලම ලොකු අමාරුවක වැටෙනවා.... හි හි

අද දාන්න කේක් එකක් ඇත්තෙම නෑ වගේ.. ඒක නිසා ඔන්න පළවෙනි පාරට ම‌ෙග් වෙඩින් කේක් එක බ්ලොග් එකේ දානවා... 

Saturday, December 8, 2012

ලස්සන අනාගතයක් ම‌ෙග් මැණිකට....




ඔයා දන්නවද මගේ මැණික... 

මං එදා කොච්චර දුකෙන්ද හිටියේ කියලා.... 

ඔයාගේ සුදු මූණ ලස්සනට බැබලි බැබලි තියෙනවා මතක් වෙනකොට මගේ පපුව පැලෙන්න වගේ දැනුනේ එදා... මගේ ඇස් වල මොකද්දෝ මහා ගංවතුරක් හිරවෙලා තිබ්බා.. කොයි වෙලේ හරි කැඩිලා ‌දොරේ ගලං යන්න ලෑස්ති වෙච්ච මහා වතුරක් හිරකරගත්ත වේල්ලක් වගේ.... 

ඔයාගේ ලස්සන අත් දෙකේ පුංචි මල් පොකුරක් රැඳිලා තියෙනවා මට මැවිලා පෙනුනා මැණික... ඒ අත් දෙක වෙනදටත් වැඩිය ලස්සනයි මගේ කෙල්ලෙ... අනේ මට ඒ අත් දෙක අල්ලගෙන ඉන්න තිබුනා නම් එදා... 

ඔය මූණ වේල්පටින් වැහිලා තියෙනවා මතක් වෙනකොට මගේ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා... හරියට අපි දෙන්නගේ අත් මුලින්ම අහම්බෙන් වගේ එකට ගැටුන දවසේ වගේ... අපි දෙන්නගේ ඇස් මුණ ගැහුණ දවසෙ වගේ... 

මං දන්නවා මගේ මැණික ලස්සන ගමනක් යන්න හදන්නේ කියලා.. පපුව පැලෙන්න එද්දි මං ප්‍රාර්ථනා කළා මගේ මැණිකට ඔය ගමන ලස්සනට යන්න ලැබේවා කියලා.... 

ඒත් මගේ මැණික දන්නවද මං එදා මුළු දවසම ම‌ෙග් රත්තරං කෙල්ල කොයි වෙලාවේ හරි ම‌ෙග් ළඟට දුවගෙන එයි කියලා ඇස් පියන්නේ නැතුව පාර බලං හිටියා... මං හිතුවා මගේ කෙල්ල අන්තිම මොහොතේ හරි මං ගාවට එයි කියලත්... 

මං දන්නවා මං වැරදියි කියලා... මං දන්නවා මගේ කෙල්ල ම‌ෙග් නෙවෙයි කියලා... ඒත් මේ පපුව පිළිගන්න කැමති නෑ මැණික අදටත්... ඔයා මගේ නෙවෙයි කියලා... 

මං දන්නවා මගේ මැණිකට ලස්සන ජීවිතයක් තියෙනවා කියලා.... මං දන්නවා ඒ ජීවිතේ මට ඉඩ නෑ කියලා.. ඒත් මේ පපුවේ ඔයා සදහටම ඉන්නවා මැණික... 

මගේ රත්තරං කෙල්ලට ලස්සන අනාගතයක්... 


----------------------------------------------------------------------------------
ප/ලි - 
කැලැන්ඩර් ගොඩක් බදාගෙන, කොන්ද රිදි රිදී , මිල්ටන් මල්ලවාරච්චිගේ සින්දු ටිකක් දාගෙන ඉන්නකොට හිතට ආපු සිතුවිල්ලක් ලියවුනේ මෙහෙම... 

මේක තමන්ගේ පණ වගේ ආදරේ කරපු කෙල්ලට, ආදරේ හිතේ පුරෝගෙන ලස්සන අනාගතයක් පතන, එදත් හිටපු, අදත් ඉන්න අපේ රත්තරං කොල්ලන්ට මගෙන් ලැබෙන පුංචි තෑග්ගක්.... 

Wednesday, December 5, 2012

මගේ පුංචි මුද්ද....


ඔයාට මතකද මේ කතාව... 

මට මතක ඇති කාලේ ඉඳලම රත්තරං බඩු වලට ආසාවක් තිබ්බේ නෑ කවදාවත්.. ඒ කිව්වේ මාල, වළලු වගේ දේවල් ගැන... සාර ඇඳිලි, බෝනික්කෝ සෙල්ලම් කිරිල්ලට අකමැති වෙච්ච මං, ඒවට ආසා නැති උන එක අරුමයක් නෙවෙයි කියලා තමා අම්මා නම් කිව්වේ... ඒත් ඉතිං අම්මට අහුවෙච්ච වෙලාවට මට ඕවා අරං දුන්නා... මං මාල, වළලු වලට ආස නැති උනාට ආස එක ජාතියක් තියෙනවා... ඒ පුංචි මුදු... 

ඔව්.. අර චූටි ගල් අල්ලලා තියෙන, ඇඟිල්ලේ තියෙනවද කියලා පේන්නේ නැති තරම් හීනි මුදු තමා... 

ඉස්කෝලෙ යන කාලේ බැඩ්මින්ට්න් ටූනමන්ට් එකකට කුරුණෑගල ගිහින්, එහෙදි ගත්ත චූට් ඉමිටේෂන් මුද්ද, ගෙදර ආපු ගමන් ගලවන්න උනා... මගේ ඇඟිලි වල හීනී වැඩි කම නිසා ටිකක් තද කරලා දගත්ත මුද්ද, ඒ වෙනකොටත් ඇඟිල්ලෙ හිරවෙලා තිබ්බේ.. ගෙදර ආපු ගමන් අම්මා කළේ කතුරක් අරන් මුද්ද දෙකට කපලා මගේ ඇඟිල්ල බේරගත්ත එක... 

මතකද මම ඔය කතාව ඔයාට කිව්වේ කොහෙදිද කියලා.... මට නම් මතකයි.... 

ඔයාට මතකද ඔයා ඊට පස්සේ මට කියපු දේ... 

මම පුළුවන් උනොත් ඔයාට මුද්දක් අරං දෙන්නම් කියලා ඔයා කිව්වා.. මං ඒකට හිනා උනා විතරයි... 

මුදු තෑගි දෙන්න තරම් දෙයක් අපි අතරේ ඒ වෙද්දි තිබ්බේ නෑ කියලා මට හොදටම මතකයි... 

අවුරුදු ගානකට පස්සෙ ඇත්තටම ඔයා මුද්දක් මගේ අතට දැම්මා.... ඒත් ඒ මගේ දකුණු අතේ මැද ඇඟිල්ලට... කවදාවත් මගේ වම් අතේ මුදු දාන ඇඟිල්ලට අයිතියක් ඔයාට තිබ්බේ නෑ කියලා ඔයා හොඳටම දැනගෙන හිටියා... 

ඒත් ඒ මුද්ද අද මට ගලවන්න උනා.... 

ඔව්.. අර පුංචි ඉමිටේෂන් මුද්ද වගේම... දෙකට කපලා ඇඟිල්ල බේර ගත්තා... දැං අවුරුදු කොච්චරක්ද මේ මුද්ද මගේ අතේ කොටසක් වෙලා..... මට හිතාගන්නවත් බැරි තරම් කල් වෙන්නැති... සමහර විට අද ඊයේ වෙන්නත් ඇති... මට හරියටම මතක නෑ... 

මුද්ද ඇඹරිලා ගිහින්... ඒත් අදටත් දිලිසෙනවා.... ඒකේ පුංචි නිල් පාට ගල තාම එදා තිබ්බා වගේමයි... 

ඒත් අර ඔයා ආස කරපු ලස්සන හීනි දිග ඇඟිලි... අද නම් ඒතරම් හීනි නෑ... ඔයා ආස කරපු සිනිදු බවත් අද මේ අතේ නෑ... මුද්ද හිර උනෙත් ඒක හින්දම වෙන්න ඇති... 

අද ඉඳලා මුද්ද මගේ අල්මාරි ලාච්චුවට වෙලා ඉඳියි... ඒත් ඔයාගේ මතකය එහෙම ලාච්චුවට දාලා වහන්න මට බෑ... තව කොච්චර කල් මම ජීවත් වෙයිද... ඔයාගේ මතකය මාත් එක්ක එදා වගේම ඉඳියි.... 

අර නිල් පාට මැණික් ගල වගේ ලස්සනට දිලිසි දිලිසි... 

----------------------------------------------------------------------------------

ප/ලි .අද උදේ ලාච්චුවක් අඳිද්දි හම්බුවුන මගේ පුංචි මුද්දට තෑග්ගක් විදියට මේ නිර්මාණය මගේ අතින් ලියවුණා..... 

ෆොටෝ එක හොයාගත්තේ මෙතනින්.... 

මේක පෝස්ට් කළාට පස්සේ ඉෂාන් මලයා දාපු පෝස්ට් එකකට ලින්ක් එකක් දාලා තිබ්බා.. උගෙන් අවසර ගන්නේ නැතුව මම මේ ලින්ක් එක පෝස්ට් එකට එකතු කරනවා... මං හිතන්‌නේ මේක කියවලා කවි තෙල් බොන්න හිතෙන කට්ටියට අඬන්න පුළුවන් පෝස්ට් එකක් ඒක... 

ඉෂාන්ගේ සටහන් 

ඔබත් මේ දේ කරලා/කරන්න ඇති.. (ආදරණීය සිහිවටන)

Monday, December 3, 2012

බ්‌ෙලාග් කෙරුවාව ගැන මට ආපු පුරස්නයක්.....

ඊයේ පෙරේදා මාරයා ලිව්ව බිලොග් වල කමෙන්ට් කරන කොට පෝස්ට් එකට කට්ටියක් මහ රෑ ඇහරගෙන කමෙන්ට් 200ටත් එහා ගානක් දාලා තිබ්බා... කරුමෙට 200න් එහා පෙන්නන්නේ නැති අවුලක් තියෙනවා මාරයගේ අඩවියේ... මාරයා ලිව්වේ කමෙන්ට් වලට තමන්ගේ බ්ලොග් එකේ ලින්ක් එක අමුණන එක ගැනනේ.. අද බලනකොට කට්ටිය විහිළුවට වගේ හැමතැනම නැටි එල්ලගෙන.. හි හි... එක විකාරයයි... හැබැයි ජොලි විකාරයක් ඒක... හි හි... 

මට මේ ඒක කියවනකොට ආපු එක ලොකු පුරස්නයක් තමයි ඇත්තටම තමන්ගේ නම සඳහන් වෙලා ලියවිලා තියෙන පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාන්නේ කො‌ෙහාමද කියන එක... 

ළඟදි බ්ලොග් කෙරුවාව හරියට කොරන්න පටන් ගත්ත මං ඉස්සර මේ වගේ තැන් ගොඩක් දැකලා තියෙන දේ තමයි තමන් ගැන හොඳක් කියලා තියෙනවා නම්, ස්තූතියක් පළ කරලා තියෙනවා නම්, නැවත ස්තුතියක් දාලා නිහතමානීව මොකක් හරි විහිළුවකුත් කරලා ලස්සන කමෙන්ට් එකක් දාලා යන එක... 

නමුත් කොහෙන් හරි තොප්පියක් තමන්ගේ ඔලුවට කඩං පාත් වෙන විදියට ලියපු පෝස්ට් එකක් නම් ප්‍රතිචාර දක්වන්නේ සහ එයින් මතුවට ක්‍රියාකරන්නේ කො‌ෙහාමද කියන එකයි මට ආපු ලොකුම පුරස්නේ... 

ඒක තේරුනේ නැතිනම් මෙහෙම කියන්නම්කෝ... 

පෝස්ට් එකේ ලියවිලා තියෙන්නේ කට්ටියක් කරන, කාට හරි වැරැද්දක්, නොහොබිනා කමක් හෝ වාතයක් වගේ වැඩක් කියලා ලියන කෙනා හිතන දෙයක් ගැන නම්, ඒකට ප්‍රතිචාර දක්වන්නේ කො‌ෙහාමද.... ?

අපි හැමෝම කරන, පිළිගන්නේ නැති ලැජ්ජා නැති කතාවක් ගැන ලිව්වොත් නම් ඒක පිළිගන්න ගොඩක් අය ඉන්නවනේ.. හි හි... මොකද වැඩි දෙනෙක් ඒක පිළිගන්නකොට හිතට පොඩි සුරක්ෂිත හැඟිමක් සහ අඩේ අපි ඔක්කොම එකම බෝට්ටුවේ කියලත් හිතෙනවනේ... හි හි... 

ඒත් කට්ටියක් විතරක් කරන, ඒක කරන අය කවුද කියලා අපි හැමෝම දන්න කෙනෙක්ට හෝ කීප දෙනෙක්ට ටොක්කක් ඇන්නා වගේ පෝස්ට් එකක් නම් මොකද කරන්නේ.... ?

එදා වලියෙදි මං රෑ ඇහැරගෙන හිටියේ නැති නිසා උදේ කමෙන්ට් බලද්දි හිතුන දෙයක් තමයි හැමෝම නොවුනත් කීප දෙනෙක්වත් ඒ පෝස්ට් එක තමන්ට ඇනපු පෞද්ගලික ටොක්කක් කියලා හිතාගෙන ඉඳලා තියෙනවා කියන එක....  ( ඒක ඉතිං මට හිතිච්ච දෙයක් විතරද දන්නෙත් නෑ... හි හි) 

අපිට දුක හිතෙන, හිත රිදෙන යම්කිසි දෙයක් අපි දන්න කියන කෙනෙක් කළොත් අපිට මොනවා හිතෙයිද ඒ කෙනා ගැන..? දුකක්, තරහක්.. එකට එක කරන්න, දෙන්නං මාත් බැටේ කියලා හිතෙන එක, ආයිත් ඒ කෙනා එක්ක කතාවත් කරන්නේ නෑ කියලා අතෑරලා දාන්න... ඔය වගේ හෑඟීම් එනවා නේ.. මන්දා.. මට නම් එහෙමයි.... 

මේ බ්ලොග් ලෝකේ මං දන්න හැම කෙනාම වගේ දැනගෙන ඉන්‌ෙන් එයාලගේ බ්ලොග් පෝස්ට් වලින් සහ කමෙන්ට් වලින්.. ඒක නිසා මම කරන ලොකුම දේ තමයි එයාලා ලියන දේවල් වලින් එයාල ගැන නිගමන වලට එන්නේ නැති එක.. එක එක්කෙනාගේ චරිත විවිධයි... බ්ලොග් පෝස්ට් කියවද්දි ඒ අය ගැන හිතාගන්න පුළුවන්... සමහර අය ඉන්නවා පෝස්ට් එකේ කියන්න තියෙන දේ කනට ගැහුවා වගේ එකපාරටම කියලා දාන.. සමහර අය ඉන්නවා කියන දේ හැඩ වැඩ දාලා උපමා එහෙම දාලා අමුතු බාසාවකින් ලියන... සමහරු ඉන්නවා කොච්චර කේන්තියක් එන දෙයක් උනත් විහිළුවක් බවට හරවලා ලියන්න දක්ෂ අය... මේ මං වගේ කට්ටියක් ඉන්නවා ලියන්න යන දේ පැත්තක තියලා, වෙන වෙන වල් පල් වලින් පෝස්ට් එක පුරෝන අය... හි හි... 

කොහොම උනත් ගොඩක් අපේ අය බ්ලොග් ලිවීම කරන්නේ තමන්‌ෙග් හිතේ තියෙන ආසාවට... ඒ වගේම සමහර හිතේ හිරවෙලා තියෙන දේවල් ලියලා, හිත සැහැල්ලු කරගන්න... තව සමහරු ලියනවා තමන්ගේ හිත තේරුම් ගන්න කෙනෙක් ළඟපාත නැති කමට... කතා කරන්න කෙනෙක් නැති කමට.... හැමෝටම වගේ මිනිස් සම්බන්ධතා අවශ්‍යයි... නෑ කියලා කියන අයත් ඉන්නවා.. 

නමුත් සාමාන්‍යයෙන් අනිත් භාෂා වල බ්ලොග්ස් වලට වඩා සිංහලෙන් ලියවුන බ්ලොග්ස් වල විශේෂත්වයක් තියෙනවා.... මේ හැමෝම ශ්‍රී ලාංකිකයෝ.. මේ රටේ හිටියත්, පිට රටක හිටියත් මේ ලියන උන් ඔක්කොම මේ පොළවේ පය ගහපු උන්.... 

මේ පොළවේ පය ගහපු උන්ගේ විශේෂත්වයක් තියෙනවා... උන් ඔක්කොම මේ පොළවට හරි ආදරෙයි... ලෝකේ කොයි අහුමුල්ලේ හිටියත් මේ බ්ලොග් පෝස්ට් වල ලංකාව ගැන තියෙන කැක්කුම කොහෙ හරි අස්සක ගැබ් වෙලා තියෙනවා...

බ්ලොග් වල තියෙන සින්ඩියි, අර සංගමේ මේ සංගමේයි, අර කල්ලියයි මේ කල්ලියයි, ප්‍රවීනයොයි නවකයොයි.... ඔය ඔක්කොම බහුබූතකාරයෝ මං දාන්නේ එකම කැටගරියකට.... ඒ තමයි සිංහලෙන් බ්ලොග් ලියන, ලංකාව ගැන, ලංකාවේ ඉන්න උන් ගැන කැක්කුමක් තියෙන උන්ගේ කැටගරියට.... 

මේක ඇතුලේ ඉස්සරත් මරා ගත්තා... අරකට මේකට සංගම් පිහිටුවගෙන එක එක සමාජ සේවා වැඩ කරන, එකමුතුකමින්, ධෛර්‌යයෙන් ගිය උත්සාහවන්ත කතා වලින් බ්ලොග් ලෝකේ ලස්සන කරපු දේවල් වගේම ෂික්.. මෙහෙම උනුත් මේක අස්සේ ඉන්නව නේද... කියලා හිතෙන තරමට දේවල් සිද්ධ උනා....  

මේක තමයි ලංකාව... ආයිත් ඉතිං මේවා අමුතු දේවල් නෙවෙයි... නමුත් අපි හිතනවා මේකේ ඉන්‌ෙන් වෙනසකට කැමති උන් කියලා.. එතකොට මොකද වෙන්න ඕ‌ෙන්... ??

වෙනසකට කැමති නම් කරන්න තියෙන එකම දේ සාකච්ඡා කරන එක.... වලි දාගන්න ඕනේ.. මරා ගන්න ඕනේ... සාම සාකච්ඡා යන්න ඕනේ.. නැත්තම් මේකේ ජොලියක් කොහෙන්ද... සාකච්ඡාවක්, අදහස් ඉදිරිපත් කිරීමක් කොහෙන්ද.... 

හැබයි ඒ වලිය, ඒ මරා ගැනිල්ල ඒ පෝස්ට් එකෙන් එහාට ඇදගෙන යන්න හොඳ නෑ... කවුරුහරි කෙනෙක් තමන්ගේ මතය ඉදිරිපත් කළා නම් එදාට ඒකට එකඟව හරි, විරුද්ධව හරි තමන්‌ෙග් අදහස ඉදිරිපත් කරලා, ඒ කතාව ඉවර කරන්න ඕනේ.. ආයිත් තවත් තැනක ඒ කතාව ඇදගන්න ඕ‌ෙන් පෝස්ට් එකේ ඉදිරිපත් කරන කාරණය ඊට අදාළ නම් විතරයි... 

ඔය එක එකා ලියන තමන් කරපු ගොන්කම් ගැන පස්සෙත් අල්ලගෙන කරන විහිළු ගැන නෙවෙයි මං මේ කියන්නේ.. කෙනෙක් එක් වරක් ඉදිරිපත් කරපු කරුණක් ( පෞද්ගලික හෝ වෙනත්) දිගින් දිගටම අල්ලගෙන ඒ අදාළ පුද්ගලයා අනවශ්‍ය විදියට විවේචනය කරන එක ගැන.... 

එහෙමත් නැත්තම් කාගේ හරි පෝස්ට් එකකට හිත රිදෝගෙන එක්කෝ ඒ පුද්ගලයා වර්ජනය කිරීම හෝ වෙනත් ක්‍රම මඟින් මඩ ගැහීම වගේ දේවල්.... 

ඇත්තටම මේ වගේ දේවල් සීරියස් ගන්න ඕනේද කියන එකයි මට ආපු ලොකුම පුරස්නේ... 

අපි බ්ලොග් ලියන්නේ හිතට සැහැල්ලුවක් දැනෙන නිසා කියලා ගොඩක් දෙනෙක් කියයි.. මට නම් බිලොග් ලිවිල්ලෙ තියෙන ලොකුම හොඳේ තමයි කාලයක් කට රිදෙන කම් මං ආස, ආස නැති, දන්න, නොදන්න හැම දේ ගැනම කියෝපු, ඒවා ගැන කතා කරන්න පුළුවන්, අහගෙන ඉන්න පුළුවන් අය වටේ හිටපු එකෙකුට, අවුරුදු දෙකක් තිස්සේ ඒ වගේ කතා කරන්න නොලැබෙන එකෙන් ඇති වෙලා තිබ්බ මානසික පීඩනය සහ හිතෙන් මැරිච්ච ගතිය නැති වෙලා මං ආයිත් ජීවත් වෙනවා කියලා දැනෙන්න පටං ගත්ත එක.... 

ඉතිං මම මේකේ ලියන දේවල් හරියට මං කතා කරන දේවල් වගේම තමයි.. එකම දේ මම කටින් නොකියා මේ කී බෝඩ් එකේ ටයිප් කරන එක විතරයි... මේක මට ලොකු සහනයක්.. මං හරි ආසාවෙන් මේ බ්ලොග්ස් වල කමෙන්ට් එකක් පවා දාන්නේ... 

ඇත්තටම මේ වගේ මඩ ගැහිලි සහ පෞද්ගලික ‌දෝෂාරෝපණ, තරහාවල් ඇතිවෙන්නේ අපි මේ බ්ලොග්ස් වල ලියන දේවලින් පුද්ගලයා මනින්න යන එකෙන් සහ ඒ පුද්ගලයා ගැන විවිධ ආකාරයේ නිගමන වලට එන එකෙන් කියලා මට හිතෙනවා...පැහැදිලිව පෙනෙන්න තියෙන දෙයකින් යම්කිසි තරමකින් පුද්ගලයා පිළිබඳව යම් නිගමනයකට එන්න පුළුවන් බව ඇත්ත.. ඒත් ඒ නිගමනය 100% හරි කියලා නම් කිසිදා හිතන්න බෑ... 

හොදම දේ තමයි මම හිතන විදියට ඒ වගේ ටොක්කක් ඇන්නොත් ඔලුව අතගාගන්න එක... ඇනපු අතට රිද්දන්න යන්නේ නැතුව... ඊට පස්සේ ඒ සිද්ධිය අමතක කරලා දාන එක... 

පළිගන්න, එකට එක කරන්න යන එකෙන් කැත වෙන්නේ අපේ හිතමයි... අපිට ආදරේ කරන අයත් එක්කම කොච්චර වලි, හිත් රීදීම් අපිට තියෙනවද....අයින් කරගන්න අමාරු, ජීවිතේම විඳවන ජාතියේ හිත් රීදීම් නේ ඒවා.. ඒවයින් අපි කොච්චර විඳවනවද...  එහෙවු එකේ මේ අපිට ළඟ නැති, අපිට සම්බන්ධ නැති මේ වයර් එකක් දිගේ, සිග්නල් එකක් දිගේ, ගොඩක් වෙලාවට අකුරු දෙකකින් තුනකින් අපි අඳුරගන්න, කම්පියුටරේ මොනිටරේ තියෙන යාලුකම් වල වටිනාකම් තියෙන්නේ එතනයි..... හොඳ දේවල් එකතු කරගන්න පුළුවන්...නරක දේවල් අයින් කරන්න පුළුවන්.. හිත් රිදීම්, පළි ගැනීම් මොකටද.... 

ඉන්න ටිකේ හිතේ සන්තෝසෙන් අපි බ්ලොග් ලියාගෙන ඉමු... අතෑරලා දානකොට දුකක් ඇති වෙන්න ඕනේ අනේ මේක නැතුව මට පාළු හිතෙයි කියලා විතරයි.... මම ඕවා ගැන හිතන්නේ එහෙම... 

( මම ඇනෝ ගැන සඳහන් කළේ නැත්තේ ඇයි කියලා කාටහරි පුරස්නයක් තියෙනවනම්, අනේ මම එයාලා ගැන දන්නේ නෑ නේ... ඉතිං මේ තියරිය ක්‍රියාත්මක කරන්න එයාලා සම්බන්ධයෙන් මට හරි ලේසියි... මේ බ්ලොග් එකේ නම් ඇනෝ නෑ.. කියන දෙයක් ප්‍රොෆයිල් එකෙන් ඇවිත් කියන්න පුළුවන්..එච්චරයි.. ) 

Saturday, December 1, 2012

පිටරටවල ගිහින් ඉඳලා ආපු අයටත් ලංකාවේදි නීතියට වාහන එළවන්න බැරි ඇයි.....?

මතකනේ මං කලින් දාපු අපේ මහත්තයගේ ඩ්‍රයිවින් පෝස්ට් එක...  ඔන්න අපි දෙන්නා ඔය ගැන කතාවක් පටන් ගත්තොත් ඒක යන්‌ෙන් මෙන්න මෙහෙම...

මම    “ ඔයා පිට රටවලත් ඩ්‍රයිව් කළා නේද.. එහෙදිත් මේ වගේද ඩ්‍රයිව් කළේ... 
අපේ මහත්තයා “ මෙහෙ වාහන එළවන්නේ මිනිස්සු යෑ... හරක්නේ.. මුන් එක්ක පාරේ වාහන එළවන්න බෑ මෙහෙම නැතුව....
මම     ඔයා ඔහොම කිය කිය යන්නෙත් වැරදි විදියටමනේ....බැන බැන, ඇඟේ ලේ ටිකත්  රත් කරගෙන...පොඩ්ඩක් පිළිවෙලට ගියා නං නරකද...
අපේ මහත්තයා ඉතිං මෙහෙම යන්නේ නැතුව පැය ගාණක් රස්තියාදු වෙන්නද කියන්නේ...මුන්ට බනින්නේ හිතෙන්නේ නැද්ද මෙහෙම හරක් වගේ යන‌ෙකාට...
මම    ඉතිං ඔයා බනිනවා වගේ ඒ මිනිස්සුත් ඔයාට බනිනවා ඇති...
අපේ මහත්තයා  “ඒක නම් ඇත්ත තමයි ඉතිං .. ඒත් වෙන මොන‌වා කරන්නද... මෙහෙම පාරවල් වල රස්තියාදු වෙන්න පුළුවන් යැ...

ඉතිං ඔන්න පෝය නිවාඩු දාවසේ අපේ මහත්තයා මොකද්දෝ වාසනාවකට ගෙදර හිටපු නිසා මං එයාව අල්ලගෙන මෙන්න මේ ලිස්ට් එක හැදුවා... 

  • ට්‍රැක් එකක යන්න දන්නෙ නැතිකම -  ට්‍රැක් දෙකක් තියෙන පාරේ ට්‍රැක් දෙකම අල්ලගෙන එක වාහනයක් යන එක..


පේනවනේ.. අලුත් පන්නයේ වාහනේ උනාට මෝඩයා වගේ ට්‍රැක් දෙකක් අල්ලන් යන ලස්සන...


ඉතිං පස්සෙන් එන එකා ඉස්සර කරන්න ඕනේ ඩබල් ලයින් කපා ගෙන... මෙයා පස්සෙන් කොට කොට යන්න පුළුවනෑ..... ඔය වාහනේ ඉස්සරහින් පේන හරියක 
තව වාහනයක් තිබ්බෙත් නෑ ලු...

  • කොට කොට යන එක.. - බයිසිකල් එහෙම පාරේ මැද්දේ දාගෙන කොට කො‌ට යන එක... 

පේනවනේ.. කොට කොට යන හැටි පාර මැද්දෙම...

  • හෝන් කරාට, ලයිට් ගැහුවට ඕවර්ටේක් කරන්න පාරෙ ඉඩ දෙන්නෙ නැති එක... (සාමාන්‍යයෙන් ලයිට් ගැහුවම පිටරටවල නම් ඉඩ දෙනවලු... )
  • හරවන තැනට එනකම් සිග්නල් දාන්න මතක නැති එක... 
  • මැද ට්‍රැක් එකේ ඇවිත් එකපාරටම වමට හරි දකුණට හරි හරවන එක.
  • පාරවල්වල අයිනේ ට්‍රැක් එක වළවල් සහ රැල්ල වගේ තියෙන නිසා, ඒ ට්‍රැක් එකේ යන්න බැරි කමට පාරේ මැද්දෙන්ම යන එක... 
  • පාකින් නැති කඩවල් වල ඉස්සරහා නවත්තන වාහන වල බාගයක් පාරේ හිටින එක..

පේනවද... කාර් එක ගානට පාරෙන් එළියට වෙන්න තිබ්බට ලොරියේ බාගයක් තියෙන්නේ පාරේ...
  • අරහෙන් මෙහෙන් හැමපැත්තෙන්ම දාන ත්‍රීවීල් සහ බයිසිකල්... ප්‍රයිවට් බසුත් ඒ ජාතියේ...
  • පාරේ අයිනේ නවත්තපු වාහනේ, පාර බලන්නේ නැතුව එකපාරටම පාරට දාන එක...
  • ෆොන් එක කනේ ගහගෙන ඩ්‍රයිව් කරන එක වගේම, කෝල් එකක් ආපු ගමන් වගේ වගක් නැතුව එකපාරටම පාර අයිනට කපන එක... 
  • පාරෙ හැමතැනින්ම මාරු වෙන මිනිස්සු...

මේ මනුස්සයා හින්දා තමයි එදා අපේ මහත්තයගේ වාහනේ හැප්පුනේ.... 

  • ලොකු ලොකු ෂොප්ස් වල පාකින් හම්බුවෙනකම් පාර දිගේ වාහන නවත්තගෙන ඉන්න ලොකු ලොකු වාහන....
  • නුසුදුසු තැන් වලින් යූ ටර්න් ගහන එක...  වාහන හරවන එක... 

මෙයා මේ මෙතන වාහනේ හරවන්නේ එහා පැත්තෙන් ලොකු round about එකක් තියෙනවා 
පෙනි පෙනි ලු...  ( වචනේ නම් ෂුවර් නෑ.. වැරදි නම් හදන්න කවුරුහරි...) 


මෙයත් එහෙම එක්කෙනෙක්... 

  • ඇන්ටිලා එළවන පොඩි කාර් සහ ලොකු වාහන... ( ඒවා නං පුදුම කරදරයක් ලු..) 
  • එන වේගයෙන්ම අතුරු පාරවල් වල ඉඳලා මහ පාරට දාන එක.. විශේෂයෙන් ත්‍රීවීල්... 
  • අතුරු පාරකින් මහ පාරකට දාන්න හෝ එක ට්‍රැක් එකක ඉඳලා අනිත් එකට මාරු වෙන්න ඉඩ දෙන්නේ නැති එක...
  • ප්‍රයිවට් බස් පාර මැද්දේ නවත්තගෙන සෙනඟ නග්ගන, බස්සන එක... ස්ටාෆ් වෑනුත් ඔය වැඩේ කරනවලු... 
  • පස්සෙන් එන බස් එකට ඉස්සර කරන්න බැරි වෙන්න පාර බ්ලොක් කරගෙන, ට්‍රැෆික් එකක් හදාගෙන යන එක...
  • වාහනයට අදාළ මං තීරුව පාවිච්චි නොකිරිම.. මීගමු පාරේ විතරක් ටිකක් මේ නීතිය ක්‍රියාත්මක වෙනවා වගේ පේනවාලු ..අනිත් ඒවා නං තාම එහෙම දෙයක් පේන්න නෑ ලු... 
  • අතුරු පාරවල් වල ඉදං මහ පාරට දානකොට, පාර හරහට ගිහින් තමන්ට ඕනේ ට්‍රැක් එකට දා ගන්න එක... 
වැඩිපුරම ප්‍රශ්න ඇතිවෙන්නේ ත්‍රීවිල් සහ මිල අධික නවීන වාහන වලින්ලු .. ත්‍රීවීල් නම් විනයක් නැති කමින්... ලොකු වාහන වලින් තියෙන කරදරේ සේසතම වියදම් කරලා නවින පන්නයේ අලුත් වාහනයක් අරගෙන, වාහනේ පරිස්සම් කර ගන්න ට්‍රැක් දෙකක් අල්ලගෙන, කොට කොට යන එක.. වාහනේට තියෙන මොලේ එළවන එකාට නැති නිසා ( වාහන ඔක්කොම කම්පියුටරයිස් නේ... හි හි)

හරි දැං.. මේ අපේ මහත්තයට කියන ප්‍රශ්න නේ.. මං නම් ඩ්‍රයිවින් ගැන මෙලෝ හසරක් දන්නේ නැති නිසා මේ ගැන මොනාවත් කියන්නේ නෑ... එකම දේ මට ඔය අස්සෙන් මුල්ලෙන් දාලා, සැරින් සැරේ බ්‍රේක් කර කර, නීති කඩ කඩ යනකොට කේන්ති යන එක තමයි.... හි හි.. 

ඔන්න වෙනදා වගේම මෙදා පාරත් පෝස්ට් එකට සියලුම අනුග්‍රහය අපේ මහත්තයගෙන්.. ෆොටෝ ටිකත් එයාගේ තමා... හි හි... මම කළේ සැර වැඩි තැන් පොඩ්ඩක් හදන එක විතරයි... 

වාහන එළවන මහත්තුරු මේ පෝස්ට් එකට තව තව දේවල් එකතු කරයිනේ.. ඔන්න කමෙන්ට් වලට ඇති වෙන්න ඉඩ තියෙනවා වෙනදා වගේම.....