Saturday, January 10, 2015

2015... ඡන්ද නෝක්කඩු එක්ක සුබ නව වසරක් වේවා කට්ටියටම....


පහුගිය මාසෙ අන්තිම හරිය ලියන්න දේවල් මහගොඩක් තිබ්බ උනත්, ලියන්න පුදුමාකාර කම්මැලිකමක් ඉහට ගහල තිබ්බ හින්ද ඔන්නොහෙ බ්ලොගේ පැත්තකට දාලා නිකා හිටියෙ... අඩුමගානේ කට්ටියට සුබ නව වසරක් වේවා කියන්නවත් පෝස්ට් එකක් දැම්මෙ නෑනේ.... හි හි

2015ත් ලැබුවා... මං හිතන්නෙ නව අවුරුදු අසිරිය ඡන්ද උණුසුමින් ටිකක් වැහිලා ගියා කියල.... 

අපෙ තාත්ත නං කඩේට එන හැමෝටම සුබ අනාගතයක් කිව්වා... යහපත් පාලනයක් පතන අය එක්ක වාදත් ඇතිකරගත්ත... හි හි... 

අන්තිම සතියෙ කඩේ පැත්තෙ ගියෙ නැත්තෙ එක අතකට කන් දෙක බේරගන්න ඕනෙ කමකුත් තියෙන අතරෙ ඩිසයින් කීපයක් කරන්නත් ඕනෙකම තිබ්බ නිසා.... 

ඡන්දෙ ගැන නං මට මුල ඉඳලම තිබ්බෙ උනන්දුවක් නෙවෙයි... හරි කාළකණ්ණි හැඟීමක්.... ඒකට හේතුව දේශපාලුවො නෙවෙයි... ‌‌මේ රටේ දේශපාලකයො පත් කරගන්න ඡන්දෙ දෙන ඡන්දදායකයො, ඡන්දෙ පාවිච්චි කරන විදිය ගැන ඇතිවෙච්ච කාලකණ්ණි හැඟීමක්... 

කැපුවත් කොල, කැපුවත් නිල් දේශපාලනය එක්ක, පාලකයෙක් සතු ගුණාංග තියෙන කෙනෙක් පත් කරගන්න උවමනාවක් තියෙන කෙනෙක් ඇත්තෙම නැති තරං... ඊටත් අමතරව කළගුණ සැලකීම, දිය කොරහෙ කිඹුල්ලු දැකීම වගේ හරි සිල්ලර කාරණා එක්කම, කාලයක් පැවතිච්ච හොරා කෑමේ දේශපාලනයක් මත පදනම් වෙච්ච ඡන්ද රටාවකදි, අද වෙනකොට අපිට සිද්ධවෙලා තියෙන්නෙ දන්න මහසෝනා නොදන්න කලුකුමාරයට වඩා හොඳයි කියල හිතල ඡන්දෙ පාවිච්චි කරන්න... අපි හැමෝම දන්නව දෙන්නම යක්කු කියල.... වඩා‌ හොඳයි කියන යකාව තෝරගන්න වෙලා... 

ඇයි යකෙක් නෙවෙන කෙනෙක්ට දේශපාලනය කරන්න බැරි තැනට මේ රට පත් උනේ කියන එක ගැන කවුරුවත් හිතන්නෙ නැද්ද කියන කණගාටුව තමයි මට ගොඩක් දුරට තිබ්බෙ.. 

පහුගිය කාලේ දේශපාලනය මට දිගින් දිගටම මතක් කරල දුන්නෙ කොලිවුඩ් වාණිජ සිනමාපටයක්.... 

චණ්ඩියෙක් තමන්ගෙ මැර බලය යොදවල රටක්, නගරයක්, පලාතක්, ගමක් පාලනය කරගෙන ඉන්නව.... ගෑණු උස්සන් යනව.. කුඩු ජාවාරම් කරනව.. මිනීමරනව... ඔන්න මිනිස්සුන්ට ජීවිතේ එපා වෙලා ඉන්නකොට කොහෙන් හරි හිත හොඳ චණ්ඩියෙක් මතු වෙනව... මිනිස්සු ගෙවල් වල හංගගෙන, හොරෙන් ඔත්තු දීලා, ගෙදර තියෙන මන්න පිහියත් දීලා, හිත හොඳ චණ්ඩියට සපෝට් එක දෙනව... චණ්ඩිය මැරයගෙ සිය දෙනෙකුට විතර තනියෙන් ගහල මැරයවත් මරල දානව... මිනිස්සු චණ්ඩියව උස්සගෙන කරවල් උඩ තියාගෙන ගිහින් මැරයගෙ පුටුවෙන් ඉන්දවනව... 

ප්‍රශ්නෙ තියෙන්නෙ අන්න එතන... ෆිල්ම් එක එතනින් ඉවර වෙන හින්ද අපිට හිතන්න දෙයක් නෑ මේ චණ්ඩියෙක් කොහොමද රටක්, නගරයක්, පලාතක්, ගමක් පාලනය කරන්නෙ කියන එක... 

යුද්ධෙදි අපිට චණ්ඩියෙක් ඕනෙ උනා....කඩුවට කොස්සක් ගන්නෙ නැතුව, කඩුවක් ගන්න මිනිහෙක් ඕනෙ උනා... කිසි කෙනෙක්ට නැවෙන්නෙ නැති, නීතිය තමන් අතට ගන්න සූදානම් මිනිහෙක් ඕන උනා.... 

මහින්ද රාජපක්ෂ ජනාධිපති උනේ අන්න ඒ කාරණාව උඩ... 

යුද්‌ෙධ ඉවර උනා... අපිට එක දෙයක් අමතක උනා... 

අපි මේ ගෙනාවෙ චණ්ඩියෙක් මිස පාලකයෙක් නොවෙන බව... 

චණ්ඩින්ට රටක පාලනයෙ තියෙන සියුම් තැන් තෝරගන්න බැරි බව... 

ලොකුම දේ තමයි පලවෙනි මැරය ඒ තත්වෙට ආවෙත් මිනිස්සුන්ගෙ කරපිටින්ම තමයි කියන එක.... 

දැං ඊයේ තත්වෙ... 

මහින්ද රාජපක්ෂ කියන, තුන්වෙනිවරට ජනාධිපති අපේක්ෂක උන පුද්ගලයව පරාජයට පත්කරන්න මූලික හේතුව උනේ, මේ අපේ රජතුමා කිය කිය කර උඩ තියාගෙන ගිය මිනිස්සුමයි කියල මට හිතෙන්නෙ....

ප්‍රජාතන්ත්‍රවාදී රටකට මොකටද ඒකාධිපතියො....?

අන්න ඒකයි පළවෙනියෙන්ම මට මහින්දව එපා වෙන්න හේතුව උනේ.... 

දෙවනි එක තමයි තුන්වෙනිපාරට ඡන්දෙට ඉදිරිපත් වීම.... 

කිසිම පුද්ගලයෙක්ට එක දිගට අවුරදු 10 හෝ 12 කට වඩා විධායක ජනාධිපති වගේ අධික බලතල ඇති ධූරයක් දරන්න ඉඩ දෙන්න හොඳ නෑ කියන එක මගේ පෞද්ගලික අදහස... මහින්ද හොඳ පාලකයෙක් උනා නං තමන්ගෙ දෙවනි ධුර කාලය ඉවර වෙනකොට තමන්ගෙ පක්ෂයෙන් හොඳ අපේක්ෂකයෙන් හදල ඉදිරිපත් කරන්න පුළුවන් කමක් තිබ්බා .. එහෙම උනානං මේ කරගෙන ආපු සංවර්ධන වැඩ වලින් මොකක් හරි හොඳ ප්‍රතිඵලයක් රටට ලැබෙන්න තිබ්බ... ඒත් බලයට ඇති කෑදරකම හින්ද පක්ෂයෙනුත් කොටසක් කඩල බිඳිලයි ගෙදර යන්න සිද්ධ උනේ.... 

තුන්වෙනි එක මේ රටේ හරිහමන් විපක්ෂයක් නැත්තටම නැති කිරීම... 

ඒකට නං ඉතිං මහින්දම නෙවෙයි වගකියන්න ඕනෙ.. අර පැත්තෙන් මේ පැත්තටයි, මේ පැත්තෙන් අර පැත්තටයි ගෙම්බො වගේ පයින උන්ට තවත් ඡන්දෙ දෙන අපේ මිනිස්සුමයි....

මහින්ද අනා ගත්ත තව තැනක්... යුද්ධෙ වැලිඩිටි එක සිග්‍රයෙන් ඉවර වෙන බව තේරුම් නොගත්ත එක.... 

කොහොම හරි මහින්ද ගෙදර ගියානේ... මෛත්‍රි ගැන හිතුවොත්... 

මට නං ඔය මනුස්සයා ගැන සත පහක දැනීමක් නැති හින්ද කතා කරන්න වෙන්නෙ වටේට වෙලා එල්ලිලා ඉන්න කූඩැල්ලො ටික ගැන තමයි... 

ඒ එල්ලිලා ඉන්න කට්ටිය ගැන නං මට මෙලෝ විදිහකින් විශ්වාසයක් තියන්න බැරි බව තමයි කියන්න තියෙන්නෙ... විශේෂයෙන් චන්ද්‍රිකා සහ මුස්ලිම් සෙට් එක.... එක පාරක්ද කොහෙද ඡන්දෙත් දුන්න චන්ද්‍රිකාට, මට මතක විදියට... ඒ නං දේශපාලනයක් දැනගෙන නෙවෙයි... ඒ කාලේ පිටසක්වලකින් ඇවිල්ල හරි යුද්ධෙ ඉවර කරනව කියන එකාට ඡන්ද වැටෙන තත්වයක්නෙ තිබ්බෙ... ඒ කාලෙ ඔය හාල් මිල පොල් මිල ගැන මිනිස්සුන්ට ගානක් තිබ්බෙ නෑ... 

කොහොම උනත් මහින්ද ගිහින් මෛත්‍රි ආවට වටේට ඉන්නෙ අර හිටපු හොරු රැලම නිසා වෙනසක් ඇති වෙයි කියල මට නං එච්චර විශ්වාසයක් නෑ... හැබැයි මේ දවස් දෙකට ඇස් පනාපිටම පෙනෙන විදියට ‌සිංහල මිනිස්සු මහින්ද එපා වෙලා මෛත්‍රිට ඡන්දෙ දුන්න සහ මුස්ලිම් සහ දෙමල මිනිස්සු තම තමන්ට ලබාගන්න බැරුව හිටපු යම් යම් දේවල් ටිකක් ලබාගන්න මෛත්‍රිට ඡන්දෙ දුන්න බවක් මට පේනව...

අනේ ඉතිං දැං කියන්න එපා ජාතිවාදය, ආගම්වාදය වපුරනව කියල.... මේවා ඉතිං මට පේන දේවල්.... මාත් හරි ආසයි මේ රටේ සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු ඔක්කොම ශ්‍රී ලාංකිකයො කියල හිතන්න.... ඒත් ඉතිං කෑල්ල කෑල්ල, ‘‘ මේක අපිට...  මේක අපිට’’ කියල ඉල්ලනව නං එතන කොයිද ශ්‍රී ලංකාවක්..... ? ( ඔව් ඔව්... කඩේට එන මුස්ලිම් කීපදෙනෙක් තමයි කිව්වෙ නැගෙනහිර මුස්ලිම් අයට දෙනව කියල ගිවිසුම් ගහල නිසා මෛත්‍රීට ඡන්දෙ දෙන්න කියල පල්ලියෙන් කිව්ව කියල... දෙමල වගේ නෙවෙයි අපි... අපි කිව්වොත් කිව්වා.. කළේ නැත්තං ජ්‍යාත්‍යන්තරයෙන් ගෙන්නනවා කියලත් වැඩිදුරට කිව්වෙ..... සිංහල අය ගොඩක් කිව්වෙ අපිත් දෙපාරක්ම දුන්නෙ මහින්දට තමයි.. ඒත් මේ දැං කරන දේවල් වල හැටියට මේ යකා තවත් තියාගෙන ඉන්නෙ කොහොමද කියල....  මේවා ඉතිං එක එක පුද්ගලයො කියන දේවල්... ගිවිසුම් කතන්දර වල ඇත්ත නැත්ත කොහොම උණත් මේ අයගෙ හිත් වල තියෙන දේවල් තමයි මේ එළියට එන්නෙ....)  

ප/ලි... හැමෝම ඡන්දෙ දෙන්නෙ තම තමන්ට තේරෙන දේශපාලනය එක්ක... කඩේට ගිහින් කුස්සියට බඩු ටික ගන්න කුස්සි අම්මටත් දේශපාලනයක් තියෙනව.... ඒ දේශපාලනයයි, දේශපාලනය ඉගෙන ගෙන උපාධි ගත්ත මනුස්සයගෙ දේශපාලනයයි දෙකක් උනත්, ඒ ඡන්ද දෙකට තියෙන්නෙ එකම වටිනාකම.... 

දේශපාලනය ගැන මහා දැනීමක් මට නැති හින්ද මේ හිතෙන දේවල් වලට සිංහලෙන්ම කිව්වොත් පැහැදිලිවම මේවා "gut feelings" ... මට පේන, තේරෙන දේ එක්ක , මට හිතෙන දේ... දැං ඉතිං අරෑ ඇවිල්ල මෙහෙම කළා, මූ ඇවිල්ල මෙහෙම කළා, අර අවුරුද්දෙ මෙහෙමයි, මේ මාසෙ මෙහෙමයි කියල තර්ක කරන්න එපා කියල කාරුණිකව ඉල්ලනව... මට කවදාවත් ඉතිහාසය විභාගෙට අර රජා රජ උනේ මොන අවුරුද්දෙද, මොන අවුරද්දෙ මළාද වගේ ආපු ප්‍රශ්න වලට උත්තර දෙන්න මතක තිබ්බෙ නෑ... ඒ නිසා මට සමාජ අධ්‍යනය ඉතිහාසය සබ්ජෙක්ට් එකට තියෙන්නෙ සී පාස් එකක්.... 

25 comments:

  1. //හැබැයි මේ දවස් දෙකට ඇස් පනාපිටම පෙනෙන විදියට ‌සිංහල මිනිස්සු මහින්ද එපා වෙලා මෛත්‍රිට ඡන්දෙ දුන්න සහ මුස්ලිම් සහ දෙමල මිනිස්සු තම තමන්ට ලබාගන්න බැරුව හිටපු යම් යම් දේවල් ටිකක් ලබාගන්න මෛත්‍රිට ඡන්දෙ දුන්න බවක් මට පේනව.//
    ඕවා කියන්න ගිහින් මටත් ජාතිවාදී ලේබල් වැදිලා තියෙන්නේ. උන්ට ජාතිවාදී වෙන්න හොඳයි. අපි ජාති වාදී නොවුනත් ඔවුන්ගේ ජාතිවාදය අපි දැකලා ඒවා කොහේ හරි ලියුවොත් කෙලින්ම අපි තමයි ජාතිවාදියා කියලා සමහරක් කියන්නේ.

    ඇත්තටම යහ පාලනයක් නම් රටට සුභ අනාගතයක්.

    මෙන්න මගේ කාලීන දේශපාලන විග්‍රහය පැමිණ කියවා අදහස් දක්වන්න

    ReplyDelete
  2. මමත් හිතන්නේ සේරම එකයි කියලා තමයි. හිරූ කියනවා වගේ මට ඔය අළුත් ජනාධිපතිතුමා එක්ක වටේ ඉන්න අය නම් පොඩ්ඩක්වත් විශ්වාස නෑ. හැබැයි ඔය අළුත් කැබිනට් එකට හොදට හිතල බලල සුදුස්සන් පත් කරොත් හොදයි. නැත්නම් 8 පාස් උන්, චණ්ඩි, පගාකාරයෝ දාගත්තොත් ඉස්සර වගේම තමයි නම විතරයි වෙනස් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. 8 පාස් උන් හිටියෙ මරා ලග...අලුත් ඇමති මණ්ඩලයෙ ඉන්නෙ වැඩක් කරගන්න පුලුවන් අය. වඩාත්ම වැදගත් දේ රටේ මහ තැන කෙලින් ඉදගෙන හොරා කරනවා නම් පළමු උත්සාහයේදීම ඒ ගැන කටයුතු කරන එක..තනතුරු තරා තිරම නොබලා දඩුවම් කරන එක...මරාගෙන් ඉටු නොවුන දෙයක් ඒක...

      Delete
    2. අලුත් ඇමති මණ්ඩලය....? පිටසක්වලින් ආපු එවුන්ද.. අපිට නං පේන්නෙ පරණ හිටපු මූණු ටිකම තමයි...

      Delete
  3. මොනවා වුණත් අපේ රටේ දේශපාලනය වටේ ඉන්න මිනිස්සු ටික වෙනස් වෙයි කියලා හිතන්න අමාරුයි. නමුත් අර කියලා තියන විදිහට ස්වාධීන කොමිෂන් සභා ටික, විධායකයේ බලතල අඩුකිරීම වගේ දේවල් ටික වත් කලොත් අනිවාර්යයෙන් රටට යහපතක් වෙනවා. හැම තැනම ඔළුගෙඩි මාරු කරන එක ප්‍රැක්ටිකල් නෑ... හැබැයි වරදට දඬුවම් ලැබෙන, නීතියට ගරු කරන තත්වයක් ඇති වුණොත් ඔය පරන ඔළු පවා හැදෙන්න ඉඩ තියනවා.

    සුළු ජාතික ඡන්ද ගැන මගේ අදහස මේකයි. ඔවුන් මේ රටේ ඡන්දය අයිතිය හිමි පුරවැසියන්. රටේ පුරවැසියෙකුට දේශපාලනයට සම්බන්ධ විය හැකි ඉතාමත්ම සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී විදිහ තමයි ඡන්දය පාවිච්චි කිරීම. අපි නිකමට හිතමුකෝ දෙමළ මිනිස්සු ඡන්දය පාවිච්චි කලේ ඊළමක් වෙන් කරගන්න සහ මුස්ලිම් මිනිස්සු ඡන්දය පාවිච්චි කලේ තමන්ටත් වෙනම රටක් වෙන් කරගන්න කියලා. (මෙහෙම ලියන්නේ, එහෙම වෙන් කරන බවක් පොදු අපේක්ෂකයා හෝ ඔවුන්ගේ කඳවුරේ අය කොතනදීවත් කියා නැති බව පොඩ්ඩකට අමතක කරලා, මෛත්‍රීපාල කියන්නේ මහින්ද වගේම පිරිත් නූල් බැඳලා, ජාතික ඇඳුම ඇඳලා ඉන්න තවත් හොඳ සිංහල බෞද්ධයෙක් බව අමතක කරලා, for the sake of the arguement හොඳේ). සුළු ජාතික මිනිස්සු එහෙම බලාපොරොත්තුවකින් ඡන්දය පාවිච්චි කලානම් ඒක වැරදියි කියලා කියන්නේ කොහොමද? තමන්ට රටක් බෙදලා වෙන් කරගන්න ඕනේ නම්, රටේ පවතින නීතිය අනුව පවත්වන ඡන්දයකදී ඒ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීම නෙමෙයිද මිනිහෙකුට කරන්න පුළුවන් සාමකාමීම වැඩේ? ආයුධ අතට අරගෙන ත්‍රස්තවාදීන් වෙලා මහා යුද්ධයකින් රටක් වෙන් කරන ගන්න හදන එකට වඩා තමන්ගේ ඡන්දය පාවිච්චි කරලා රටක් වෙන්කර ගන්න හදන එක කොච්චර සාමකාමීද, ප්‍රජාතන්ත්‍රවාදීද?

    //කිසිම පුද්ගලයෙක්ට එක දිගට අවුරදු 10 හෝ 12 කට වඩා විධායක ජනාධිපති වගේ අධික බලතල ඇති ධූරයක් දරන්න ඉඩ දෙන්න හොඳ නෑ කියන එක මගේ පෞද්ගලික අදහස//
    මෙන්න මේකට මම උඩින්ම එකඟයි... මම කලිනුත් කිව්වා, මහින්ද රටේ නීතිගරුක පාලනයක් ඇති කරලා, ආර්ථිකය දියුණු කරලා රට සුඛිත මුදිත කරලා තිබ්බත්, මහින්ද නැවත පත්විය යුතු නැහැ.

    ReplyDelete
    Replies
    1. මේකයි තිසර... ඔතන කීපදෙනෙක් ඒක ඒ මිනිස්සුන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කියල කිව්වම ඒකත් හරි තමා කියල ඔලුව වනන කට්ටිය වැඩි උනාට, අපි කවුරුවත් කවදාවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ නේ මේ රටේ කොටසක් බෙදෙයි කියල...

      ඇත්ත... දැනට ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් ටිකක් ඉල්ලන බව ඇත්ත... නමුත් ඉදිරියට ඒ ඉල්ලීම් වලින් ලැබෙන බලතල එක්ක ඇති වෙන තත්ව මත රට බෙදෙන තත්වෙකට “ආවොත්‘‘ .... මොකද එක පැත්තකින් ඊලාම් වාදය තාම ඉවර නෑ.. මුස්ලිම් ප්‍රශ්නය බොරුවක් නෙවෙයි.... ( මේක දිය කොරහෙ කිඹුලො දෑකීමක් බව මාත් දන්නව.. ප්‍රශ්නෙ තියෙන්නෙ අපි මේ ගනුදෙනු කරන්නෙ දිය කොරහටත් කිඹුල්ලු දාන්න පුළුවන් කට්ටියක් එක්ක වීම...) එදාට ශ්‍රී ලංකිකයෙක් හැටියට මම කැමති නෑ හරි අනේ ඒ ගොල්ලන්ට ඒ පැත්ත දීලා දාන්න.. අපිට මේ තියෙන හරිය මදෑ කියල ඇත් දෙක බැඳගෙන ඉන්න.... මම හිතන්නෙ නෑ මේ රටේ ගොඩක් මිනිස්සු ඒකට කැමති වෙයි කියල.... එහෙම වෙන තත්වෙකට ආවොත්... අන්න එදාට මොකද වෙන්නෙ....? ඔය එපා කියන ත්‍රස්තවාදය ඇති වෙන එකක් නැද්ද...?

      මම කියන්නෙ එහෙම ජාති ආගම් විදියට මොනම දේකට වත් කෙනෙකුට බලතල දෙන්න ඕනෙ නැති බව.. ඒ වෙනුවට, උගත්කම, පලපුරුද්ද වගේ සුදුසුකම් මතම විතරක් බලය ලබාදීමක් වෙන්න ඕනෙ... එහෙම උනොත් මේ වගේ ප්‍රශ්න ආයිත් අහන්න වෙන එකක් නෑ මං හිතන්නෙ....

      Delete
  4. චන්ටෙද යකාට ගියාවෙ
    බොලාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
    හිතන හිතපු දේ සාර්තක වේවා
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  5. සුබ අළුත් අවුරුද්දක් වේවා !
    කොහොමහරි කමන් නෑ කටිය එකතු වෙලා යහ පාලනයක් තෝරගෙන තියෙනවා නෙව.... බලමුකෝ එයාගෙත් වැඩ !

    ReplyDelete
    Replies
    1. අපිට ඉතිං කොහොමත් තියෙන්නෙ දෙන දේ කාලා වෙන දේ බලං ඉන්නනේ මධු...

      Delete
  6. චන්දෙට මොකක් උනාම මොකෝ මෙයා .
    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ !!!

    ReplyDelete
    Replies
    1. ආතල් එකක් ගන්න දේකුත් තියෙන්න එපෑ ....

      එසේම වේවා..!

      Delete

  7. අපේ මිනිස්සු කරන්නෙ හයියෙන් කියවන එකාට චන්දෙ දෙනවා මිසක් වැදගත් ඉගෙන ගත්ත අය පර්ලිමෙන්ට් යවන්නේ නෑ.. ඊටත් වැඩියෙන් හොරු , කුඩු කාරයෝ ටික ලිස්ට් එකෙන් ගත්තහම දෙන චන්දෙනුත් වැඩක් නෑ. . . අන්තිමට පොලිටික්කෝ ගොඩ ගිහින් අපි ටික්කො හිටපු තැනමයි..

    ReplyDelete
    Replies
    1. ඔය කියල තියෙන්නෙ සහසුද්දෙන්ම වෙන වැඩේ....

      Delete
  8. හිරු, කාලෙකින් පස්සෙ කූල් ඒ කිව්වෙ හිත කූල් කරන පෝස්ට් එකක් කියෙව්වා.
    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  9. හිරු.................

    මහින්ද ගැන කියපු බොහොමයක් දේවල් වලට ඒකගයි.. ඔබ ඒ්වා මනාව පෙළගස්සලා............ අගෙයි........... ඒත් විපක්ෂයක් ගැන කියපු කතාව දැනුත් ඒහෙමමයි නේද?? මට නම් පේන විදිහට ඉස්සර වගේ විපක්ෂයක්වත් දැන් නැහැ නේද????

    ReplyDelete
    Replies
    1. දැං විපක්ෂයක් කොහෙද.. අච්චාරුවක් මිසක්....

      Delete
  10. මොකා ආවත් අපේ මතය නම් එකයි!

    ReplyDelete
  11. විශාල පරිවර්තනයක් කෙටි කාලීන ආණ්ඩුවකින් ගන්න බැරි උනත් මිනිස්සුන්ට නිදහස කියන්නෙ මොකක්ද කියල තේරෙන්න ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වාදීම විතරක් කලොත් මම සතු‍ටුයි. ඔය කියන භේදත් කාලයක් තිස්සෙ වපුරපු බීජවල ප්‍රතිඵල තමයි ..

    ReplyDelete