Thursday, May 30, 2013

පරක්කු වෙච්ච වෙසක් පණිවුඩයක් නොවේ.... ඉල්ලීමක් පමණයි....




පහුගිය දවස් ටිකේ වෙච්ච දේවල් ඔක්කෝම පැත්තකට වෙලා බලං ඉඳලා ඉඳල, අද උදේ තමයි යන්තම් මට පේන විදියට කතාවේ හරි කොණින් අල්ල ගත්ත එකෙක්ව හම්බ උනේ... ... ඒක නිසයිෙම් ලියන්න ගත්තේ... තව උන් ලියන්න ඇති... මට අහුවෙන්න නැතුව ඇති... 


කො‌ෙහාම හරි... මම මේ සිද්ධියෙදි හිටියේ බාලචන්ද්‍රන් ගැන කතා වෙද්දි හිටිය ස්ථාවරය හා සමාන ස්ථාවරයක.... ඒ කිව්වේ මේක කතා කළ යුතු නෑ කියන තැන... සමහර විට කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙම වෙන්නේ කොහොමද... ඒක මීනිමැරුමක් ගැන වෙච්ච කතාවක්.. ත්‍රස්තවාදය ගැන වෙච්ච කතාවක්.. මේක එහෙම එකක් නෙවෙයිනේ ..කියලා...

නමුත් මට මේ දෙකේම පුදුමාකාර සමානකමක් පෙනුනා පසු සටහන් වලදි..  බලචන්ද්‍රන්‌ෙග් කේස් එකේදි වගේම මෙතෙන්දිත් බරපතල විදියට ප්‍රශ්න කිරීම් වලට ලක් උනේ එකිනෙකාගේ පෞද්ගලිකත්වයන්.... පහුගිය කාලේ බ්ලොග් පෝස්ට් සහ කමෙන්ට් බැලුවාම කෙනෙකුට මේ බව පැහැදිලිව පේන්න තියෙනවා.... 

කොහොම උනත් පහුගිය අවුරුද්දක කාලය අතුලත වෙච්ච සමාන සිද්දී කීපයක් මට පේනවා.. 

බාලචන්ද්‍රන්ගේ කේස් එක
හලාල් කේස් එක
බොදු බල සේනා කේස් එක
ඉන්දරතන හිමියන්ගේ කේස් එක

මේ කේස් වලදි බරපතල ප්‍රශ්න කීපයක් මම දැක්කා...  

අපේ රටේ මාධ්‍ය වල හැසිරීම
ආණ්ඩුවේ හැසිරීම
සංඝ්‍යා වහන්සේලාගේ හැසිරීම
ප්‍රසිද්ධ ජනමතය ( ස්ටීරියෝටයිප් එක

මාධ්‍ය වල හැසිරීම ගැන කීප දෙනෙක් ලියලා තිබ්බා... විශේෂයෙන් රෑපවාහිනී මාධ්‍ය වල හැසිරීම නම් කණගාටුදායකයි... හැබැයි ඒක ළඟදි ඇති වෙච්ච දෙයක් කියලා වැරදි වැටහීමක් ඇති කර ගත යුතු නෑ...කොහොම උනත් ඒ ගැන මම ආයිත් ලියන්න යන්නේ නෑ... මේ ගැන මාතලන් ලියපු පෝස්ට් එකේ සහ ලැබුන කමෙන්ට් වල හිතන්න දේවල් කීපයක් තිබ්බා.. ස්වර්ණවාහීනී ප්‍රාදේශීය වාර්තාකරු අත්අඩංගුවට ගත්ත කියලා නම් වැඩක් වෙන්නේ නෑ.. වාර්තාකාරයෝ එවන දේවල් සංස්කරණය කරලා, විකාශය කරන්න ඔය චැනල් වල ඉන්න ලොකු පුටු වල ඉන්න අයට සදාචාරයක් තිබිය යුතුයි. ඒත් ඒ අය නීතිය ඉදිරියට ගේන එක නම් මේ කපේට වෙන්නේ නෑ... මං මේ කියන්නේ නිවේදිකාවන්ට සාරි ඇන්දවීමේ සදාචාරය ගැන නෙවෙයි... ලෝකෙම පිළිගත්ත මාධ්‍ය සදාචාර නීති රීති ගැන... ( දැන් අපේ උන්ව කොපි කරලද කොහෙද ඔය නීති රීති දාන්න මුල් උන චැනලුත් අපේ අය කරන විදියටම කරනවා... මල් හතයි... ඒ ගැන ලියන්න වෙනම පෝස්‌ට් එකක් ලියන්න වෙනවා..හි හි) 

ඊළඟ තුනම එකට කතා කරන්න පුළුවන් දේවල්... ඒ කිව්‌ෙව් ඒ ටික ඔක්කොම එකට බැඳලා තියෙන දේවල් ටික හින්දනේ මෙච්චර කතාබහක් ඇති උනේ... සත්ව කරුණාව, හරක් මැරීම, හරක් මස් කෑම, ආණ්ඩුව එළිපිට කරන හොර වැඩ.... කොටින්ම කිව්වොත් ආගම, සංස්කෘතිය සහ ආණ්ඩුවනේ ඔය ඔක්කොටම මුල් උනේ... මට ලියන්න හිතුනේ ඔන්න ඔය ටික ගැන... 


ඔන්න එකෝමත් එක කාලෙක ඉඳලා තියෙන රටක් තියෙනවා... මේ රටේ මිනිස්සු ඉස්සර ඉඳලා බඩගින්නට මීනි මස් කෑවලු... දැන් කන්න වෙන වෙන ජාති තිබ්බත් මේ රටේ ප්‍රධාන සංස්කෘතික අංගයක් තමයි වාර්ෂික මිනී මස් කෑමේ උත්සවය... මේක මේ රටේ වැසියෝ සියලු දෙනාම බො‌ෙහාම සෞභාග්‍යවත් අනාගතයක් වෙනුවෙන් බැතිබරව සමරන උත්සවයක්... ඒ ගොල්ලෝ අදහන ආගමෙත් මේක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.. 

ඉතිං කාලයත් එක්ක ලෝකෙ දියුණු වෙලා, මිනිහගේ මොලේ දියුණු වෙලා, බඩගින්නට මිනී මස් කන්න ඕනේ නෑ කියලා තේරුම් ගත්තට පස්සේ, මිනී මස් කෑම ලෝක සම්මතයක් විදියට තහනම් කළා.. ( මේක සම්පූර්ණ හිතලු කතාවක්මත් නෙවෙයි කියලා කැනිබලිසම් ( Cannibalism/ anthropophagy ) ගැන දන්න අයට තේරෙනවා ඇති) කාලයක් යනකොට මේ තහනම මිනිස්සුන්ට ජීර්ණය වෙලා දැන් මේක තහනමක් විතරක් නෙවෙයි,  බොහොම පිලිකුල් සහගත වැඩකුත් වෙලා තියෙන්නේ... 

ඉතිං ලෝකෙ නීති ටික ටික අර රට ඇතුලට එනකොට මේ රට ඇතුලේම පිරිසක් කල්පනා කරන්න ගත්තා ඇත්තටම අපි මේ කරන්නේ පිළිකුල් සහගත ක්‍රියාවක්නේ කියලා.. ඒ අය මේකෙන් වැළකෙන්න උත්සාහ කරන්න ගත්තා.. ඉතිං ඔන්න රට ඇතුලේ කොටස් දෙකක් බිහි උනා... අර උත්සවයට සංස්කෘතිකමය සහ ආගමික පිළිවෙතක් වශයෙන් හිතලා සහභාගී වෙච්ච අය සහ දියුණු මොලෙන් කල්පනා කරලා මේකට සහභාගී නොවී ඉන්න අය කියලා... ඔය අතරෙ ඒ රට ඇතුලෙම තව කට්ටියක් හිටියා කන්න කොච්චර ජාති තිබ්බත් එයාලා අර පරණ විදියටම මිනී මස්ම විතරක් කන අයත්... ඒ අය අර ප්‍රධාන සමාජෙන් වෙන්වෙලා ජීවත් වෙන්න පටන් ගත්තා.. රටක් හැටියට වෙන කරන්න දේකුත් නැති නිසා ඒ අයට ඒ විදියට කරගෙන යන්න ඉඩත් දුන්නා... 

දැන් ඔන්න ලෝකෙන් ලොකු විරෝධයක් එනවා මේ රටේ අයගේ මිනීමස් කෑමට... දැන් තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ.. රටෙන් එක ප්‍රතිශතයක් තර්ක කරනවා අපි දැන් දියුණු සමාජයක්,ගෝත්‍රික විය යුතු නෑ තව දුරටත්, මේක පිලිකුල් සහගත සිරිතක් නිසා නැවැත්විය යුතුයි කියලා... තව කට්ටියක් තර්ක කරනවා සදාචාරාත්මක නීති රීති අනුව ඕනේ දෙයක් කන්න, ඕනේ ආගමක් අදහන්න නීති දාන්න බැරි නිසා මේක තහනම් කරන්න බෑ කියලා.... තව කට්ටියක් උද්ඝෝෂන කරනවා එයාලගේ ජීවන රටාවන් වෙනස් වෙනවයි, මානව අයිතිවාසිකම් කඩ වෙනවයි කියලා... ඔය අතරේ දියුණු මනසක් නැති අය වැඩි නිසා අර ගෝත්‍රික සිරිතට ආයිත් යන්න පටන් ගන්න පිරිස වැඩි වෙනවා... මොකද විචාර බුද්ධියක් නැති නිසා එයාලට තියෙන්නේ කෙනෙක් කරන දේ බලාගෙන ඒකම කරන්න විතරයි.... 

හරි.. කතාව ඉවරයි..ඔතන මිනී මස වෙනුවට කැමති මසක්, කැමති චාරිත්‍රයක්, කැමති පිළිවෙතක් ආදේශ කරගත්තට මට කමක් නෑ... 

දැන් මේ මම කියන්න ගියේ මෙන්න මේකයි... මේ වගේ දේවල් හිතෙන හිතෙන විදියට නීති දාලා, තහනම් කරලා හරි ගස්සන්න පුළුවන් දේවල් වත්, ත්‍රිපිටකෙන්, කුරාණෙන්, බයිබලෙන් ඡේද ගනන් උපුට උපුට, ආගමික ශාස්තෘවරුන්ව කුණුහරුපෙන් පට්ට ගහන්න පටන් අරන් හරිගස්සන්න හරි නවත්තන්න හරි පුළුවන් දේවල් කියලා මම හිතන්නේ නෑ.... මේ වගේ දෙයක් නවත්තන්න ඕනේ නම්, නවත්තන්න පුළුවන් මානසිකව දියුණු වෙච්ච සමාජයක විතරයි කියන එක... එහෙම හිතුවාම මට හිතෙන තව දෙයක් තමයි මානසිකව දියුණු වෙච්ච සමාජයකදි ආගම්, සංස්කෘතීන් වගේ දේවල් වලට ලැබෙන්නෙ අඩු වටිනාකමක් කියන එක.... එහෙම නැතුව තාමත් දියුණු මනසක් නැති සමාජයක්, මේ වගේ ආගමික, සංස්කාතික පැති වලින් නීති දාලා හදන්න ගියොත් අර සමාජය ආයිත් පරණ ගෝත්‍රික මට්ටමටම වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි කියන එක... පහුගිය කාලේ ලෝකේ සිද්ධ වෙච්ච ඉස්ලාම් ආගමිකයන්ගේ සිද්ධිත්, ලංකාවේ අද වෙනකොට ජනප්‍රිය මතය වෙලා තියෙන බෞද්ධාගමිකයන්ගේ සිද්ධිත් අරන් බැලුවාම මේක පැහැදිලියි කියලා මට හිතෙනවා....  

ආගමික, සංස්කෘතික බැඳීම් වලින් ඇතිවෙන නීති රීති වැඩිපුරම ඕනෙ වෙන්නේ තමන් තුළ ස්වයං විනයක්, ස්වයං පාලනයක් ඇති කරගන්න තරම් දියුණු මනසක් නැති මිනිස්සුන්ට... එහෙම ආගම් ඇති වෙන්නේ ඉඳලා හිටලා බිහිවෙන දියුණු මනසක් තියෙන පුද්ගලයෙක්ගේ පස්සෙන් යන්න තරම් දියුණු මනසක් තියෙන පුද්ගලයෝ නිසා.... එහෙම පස්සෙන් ගිහින් හරියට තේරුම් ගන්න අයගෙත් පස්සෙන් යන අය, ඒ අයගෙ පස්සෙන් යන අය, ඒ අයගේ පස්සෙන් යන අය... කිය කිය ඕක කාලාන්තරයක් යද්දි ආයිත් ඒ දියුණු මනසක් තිබ්බ පුද්ගලයන්ගේ පස්සෙන් යන්නේ දියුණු මනසක් නැති අය.... අන්න එතකොට දර්ශනය ආගමක් වෙනවා.... කොටින්ම කිව්වොත් අන්න එතකොට කෙළ වෙනවා..... ඔන්න ඔහොමයි මට හිතෙන්නේ... 

මේ ගැන තව ලියන්න පැත්තක් තියෙනවා.... 

ඒ තමයි මේ දැන් ඇති වෙලා තියෙන බෞද්ධ, ඉස්ලාම් අන්තගාමීත්වය, විශේෂයෙන් ෆේස්බුක් එකේ වැඩිපුර පිස්සු කෙලින අපේ අවුරුදු 13-20 කට්ටිය හින්දා අපිට ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා කියන එක... හැම දෙමලම කොටියෙක් නෙවෙයි කියලා අපේ ඔලුවලට දාන්න අපේ අධ්‍යාපනයට අවුරදු 30ක් ගියා... යන්තම් අපේ පරම්පරාව ඒක තේරුම් අරන් දෙමල, මුස්ලිම්, බෞද්ධ ඔක්කොම සහයෝගෙන් හිටියා.... 

ඔන්න දැන් ඉන්න පරම්පරාව ඉන්නේ ජාතිවාදයෙන් මත් වෙලා නෙවෙයි... ආගම්වාදයෙන් මත් වෙලා... ඒක නිසා මට උපදෙසක් විදියට කියන්න තියෙන්නේ ඔය කිව්ව වයස් කාණ්ඩයේ දරුවො එහෙම ඉන්නවනං පොඩ්ඩක් හොයලා බලන්න එයාලා මේ ගැන මොන වගේ මතයකද ඉන්නේ කියලා.. ඉල්ලීමක් විදියට කියන්න තියෙන්නේ තමන් දරන මතය වෙනුවෙන් විවෘත මනසකින් පෙනී ඉන්න.. ඒ ගැන විවෘත මනසකින් කතා කරන්න... සංවාද වලට එද්දි විවෘත මනසකින් එන්න... සංයමයෙන් තමන්ගෙ මතය පැහැදිලි කරන්න.... අනිවාර්යයෙන්ම දරුවන්ටත් ඒ විදියට කතා කරන්න.... අපි කවුරවත් නොදියුණු මනසක් තියෙන අය කියලා පිළිගන්න කැමති නෑ තමයි... ඒත් අපි ඇත්තටම නොදියුණු සමාජයක් තාමත්... අඩුම ගානේ අපි දියුණු මනසක් සහිත මිනිස්සු වෙන්න උත්සාහ කරමු...


ප/ලි : තව ලියන්න දේවල් තියෙනවා... ඒත් පෝස්ට් එක දැනටත් දිග වැඩියි.. ඒක නිසා නවත්තනවා.. කොහොමත් මට මේ වගේ ඒවා කෙටියෙන්
ලියන්න තේරෙන්නේ නෑ.... මේක කිසිසේත් ලියන්න හිටිය මාතෘකාවක් නෙවෙයි... ඒත් අත කසනවා වගේ නිසා ලිව්වා... දවස් ගානක් හිතලා, කපලා කොටලා ලියලා නෑ... ඒක නිසා සමහර දේවල් ලියවිලා නෑ අන්තිමට...

Tuesday, May 21, 2013

පන්දාහ




අලුත්ම රුපියල් පන්දාහේ නෝට්ටුව හැට්ටය තුළ රුවා ගත්තේ වැඩි පරිස්සමටය.

මතක හැටියට මේ මෙතෙක් කාලයකට ඇයට පඩි සල්ලි සඳහා ලැබුණ එකම පන්දාහේ නෝට්ටුව වේ. ඒ නිසා ඈ එය එසේ ප්‍රවේසම් කළේ තරමක ආඩම්බරයකිනුත් යුතුවය. 

විස්සේ කොලෙත් එකයි, පන්සියේ කොලෙත් එකයි, පන්දාහෙ කොලෙත් එකයි... යන්තම් එහෙට මෙහෙට උනොත් අලි පාඩුවක්... අනේ මන්දා .. මේවා එකම විදියට ගැහුවාම මාරු වෙනවා කියලා මේ ලොකු මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද මන්දා... 

මේ සල්ලි කොලේ ගෙදර ගිහින් වෙනදා තියන තැන් වල තියන්න නරකයි... හදිසියේ එතනින් ගන්න වෙලාවක හරි මාරුවෙලා ගියොත්... මේක හංගලාවත් තිබ්බොත් ඉතුරු කරගන්න පුළුවන් වෙයි... 

හැම මාසයකම පඩියෙන් කීයක් හරි ඉතුරු කරගැනීමට දත කෑම ඇයට අලුත් දෙයක් නොවේ. ඒ සඳහා තමාවම රවටා ගන්නා ක්‍රමද ඇයට ඕනෑ තරම් තිබේ. කිසිවෙකුත් නොදන්‌නා, අත නොගසන තැන්වල, එනම් තුනපහ බෝතල් අතර, අල්මාරියේ යට ඇඳුම් අතර, අත දිග හරියේ බිත්ති මුල්ලක රිංගවා තැබිය හැකි කුඩා ප්ලාස්ටික් ඩප්පිය ඈ යොදා ගන්නේ මේ කාර්යය සඳහාය. එසේ සැඟවූ නෝට්ටුව අමතක වූ බවක් හඟවමින් වැඩ කිරීම ඇයගේ ප්‍රියතම හිත රවටා ගැනීමේක්‍රමවේදයයි.

මෙතෙක් කාලයකට එම ක්‍රමවේදයෙන් පලක් නොවුනේ මාසය අඟ වන විට දැනෙන්නට පටන් ගන්නා අඟහිඟකම් නිසා නොකැමැත්තෙන් හෝ සැඟ වූ සල්ලි ටික වියදම් කිරීමට සිදුවන නිසාවෙනි. 

එහෙත් මෙවර නම් මේ නෝට්ටුව ඉතිරි කරගැනීමේ ඇගේ අධිෂ්ඨානය දැඩිය.

කොහොම හරි ‌මේක ඉතුරු කරගත්තොත් ලබන මාසේ තව කීයක් හරි දාලා ඇදුම් ටිකක් ගන්නෝනේ... කොල්ලට පන්ති යන්න තියෙන්නෙ එක ඇදුමයි.. ඌ හිඟන්නා වගේ ඒක ඇන්දම... හෝදලා හෝදලා වැරහැලි වෙලා... ඌට ඩෙනිම් කලිසමකුයි ටී ෂර්ට් දෙකකුයි අරන් දුන්නොත් අවුරුද්දටම ඇති.. තාත්තණ්ඩිටත් සේල් දාපු තැනකින් අඩුවට වත් සපත්තු දෙකක් අරන් දෙන්න ඕනේ... මේ පාර අඩිය ගහන්න අරන් ගියාම මටම ලැජ්ජයි.... එයාගේ බැනියම් ටිකත් හොඳටම ඉරිලා... පවු අහිංසකයා... කොච්චර අඩුපාඩු තිබ්බත් චවනයක්වත් කියන්නේ නෑ... 

ගේ කෑල්ල හදාගන්න ගත්තු ණය ටික ගෙවලා ඉවර වෙලා බිල් ටික ගෙව්වම එයාගේ පඩියෙ ඉතුරුවක් නෑ... මාසෙට ඕනේ හාල්, සීනි,පිටි ටික ගෙනල්ලා, මාසේ ගමන් වියදම් ටික වෙන් කළාම අතේ ඉතුරු වෙන්නේ සොච්චමයි... අද පඩිය ගෙදර ගෙනිහින් හෙට ඉඳලා බඩේ ගින්දරින් ඉන්න එපැයි.... අසනීපයක්වත් හදිස්සියේ හැදුනොත් කාට හරි ණය වෙන්න වෙනවා... මේ පන්දාහ හරි බැංකුවේ දාගත්තොත්.... එහෙනං ටික කාලෙකට හරි හිත නිදහස්... 

බසයේ අසුන්ගත් වෙලේ සිටම ඈගේ හිතේ පන්දාහ වියදම් කිරීමට ක්‍රම සීයක් පමණද, ඉතුරු කිරීමට ක්‍රම දහයක් පමණ සඳහාද සැලසුම් සකස් විය. 

ගෙට ගොඩවන විට දරුවා සිටියේ පාඩම් කරමිනි. ඒ දැක අගේ දෙනෙතට කඳුළු බිඳක්ද, දෙතොලතරට සිනා පොදක්ද නැඟුනි. 

තේ එකක්වත් හදා ගත්තේ නැද්ද පුතේ... 

මං හදාගත්ත අම්මේ... තාත්තා කිව්වා රෑ වෙනවා කියලා එන්න.. ඒක නිසා මං කඩෙන් පාන් ගෙඩියක් ගෙනාවා...

ඇයි ළමයෝ... බත් කටක් කෑවනං මොකද වෙන්නෙ... පාන් ගිලල වැඩක් තියෙනවද...

ඈ එසේ කීවද පාන් ගෙඩියක් තිබීම ඇයට සහනයකි. මහන්සිය වැඩිකමට උයන දෙයක් කෑමට වත් පිරියක් නොමැති නිසා බොහෝ විට ඈ නිදාගත්තේ නිරාහාරවය. අද එයටත් වඩා සහනය සැමියාට අතිකාල සේවය සඳහා මේ මස යම් මුදලක් අමතරව ලැබිය හැකි බැවිනි. 

අම්මෙ... ආච්චම්මා කතා කළා හවස...

ඉතිං... මොකෝ කිව්වේ.... 

නිසංසලා අක්කගේ වෙඩින් එක තියෙනවලු මේ මාසේ... 25 වෙනිදා... 30 වෙනිදා අනිත් එක... මේ ඉරිදා මඟුල් කියන්න එනවලු... එතකොට පරක්කු නිසා ආච්චම්මා කෝල් කරල කිව්ව...

හ්ම්ම්.. එහෙමද... ඒකත් හොඳයි...

එසේ කියමින්ම කාමරයට ගිය ඈ හැට්ටය අස්සෙන් පන්දාහ අතට ගත්තාය. 

එහෙනං තාත්තට සපත්තු දෙක මේ මාසෙම ගන්න වෙනවා... මට නම් සාරියක් හොයාගන්න බැරියැ... යන්න එන්න ගමන් වියදම් වලටත් හොඳ ගානක් යනවා... පන්දාහ මදිවෙයිද මන්දා... කමක් නෑ.. එහෙම උනොත් කාගෙන් හරි ණයක් ගන්නවා... මට ලොකු දෙයක් කරන්න බැරි බව අයියලා දන්නවනේ... 

ඈ යලිත් රුපියල් පන්දාහේ නෝට්ටුව නමා රෙදි තට්ටුව අතරේ ගැසුවේ ප්‍රවේසමටය. 

Saturday, May 18, 2013

හිනායන “ බයවල්” .....


හාඩ් එක ෆුල් වෙලා... ෆිල්ම්ස් වලින්ම...  Empty DVd 25ක් විතර ටිකක් අඩු ගානට ගන්න තැනක් කල්පනා කරද්දි මතක් උනේ Mc එක... Mc කිව්වම මතක් උනේ මේ කේස් එක.... 

අද ලියන්න ගත්තේ බය ජාති ගැන... ඒවයිනුත් හරි ස්පෙෂල් ඒවා ගැන... හි හි.. 

දැන් බලයි කට්ටිය බය වල ජාති මොනාද කියලා.... ඇයි අප්පා කොච්චර තියෙනවාද... අම්මගෙන් තාත්තගෙන් ගුටි කන්න තියෙන බය... කෙල්ල/ කොල්ලා දාලා යයි කියන බය... සර්පයන්ට තියෙන බය... හොල්මන් වලට තියෙන බය... පවු කරන්න තියෙන බය... ඔය තියෙන්නේ එකී මෙකී නොකී මහ ගොඩක් බයවල්... 

ඔන්න මේ ලියන්න ගත්තේ කෙනෙක්ට තියෙන බයක්, අනිත් අයට මහා හිනායන විහිළුවක් වගේ පේන බයවල් ගැන.... නැත්තම් එදිනෙදා ජීවිතයේ බොහෝ දෙනා සාමාන්‍ය ‌විදියට යෙදෙන වැඩකට, කෙනෙක්ගේ තියෙන බයක් ගැන...  හිනා යන බයවල් ඒ කියන්නේ... සමහර විට ඒ බය වෙන කෙනත් ඒ ගැන හිනාවෙනවා ඇති... කැරපොත්තන්ට හූනන්ට තියන බය වගේ...හැබැයි ගොඩක් අයට එතනදි තියෙන්නේ බයකට වඩා අප්පිරියාවක් තියලා ඇත්තටම කල්පනා කරලා බැලුවොත් තේරෙනවා... ඇත්තටම කැරපොත්තෙක් දැක්කම හූ තියාගෙන දුවන කෙනෙක්ව දැක්කොත් හිනා යන අයගෙන් එක්කෙනෙක් මමත්... 

ඒ උනාට මගෙත් තියෙනවා ඔය වගේ හිනා යන පරාණ බයක්... 

ඒ තමයි විදුලි සෝපාන, ඒ කිව්වේ ලිෆ්ට් නෙවෙයි... Escalators කියන්නේ... ඔව් ඔව්.. අර දුවන පඩිපෙලවල්.. අන්න ඒවයේ යන්න....


දැන් ඉතිං හිනාවෙයල්ලා.. ඔව් ඔව්..ඔයාලා නම් දිනපතා ඕවයෙ යනවා ඇති.... අයියෝ..ඕකත් මහ කජ්ජක්ද කියලා හිතෙනවා ඇති... ඒ උනාට මම නම් පරාණ බයයි ඕවයේ යන්න... ඒක පේනකොටත් මගේ කකුල් දෙක වෙවුලන්න ගන්නවා... පේන්න ඕනේ ඇත්තටමද, හීනෙන්ද කියන එක අදාළ නෑ... හීනෙන් දැක්කත් දාඩිය දාගෙන ඇහැරෙනවා..... හි හි... 

ඉස්සර ඉතිං ක්ලාස් යන කාලේ අපිට රස්තියාදුවේ යන්න කියලා තිබ්බ එකම තැන Mc එකයි Unity එකයි තමයි... මම නම් ගියේ ෆිල්ම්ස් හොයන්න තමයි... කොච්චර Mc ගියත් අද වෙනතුරැ මම ඒකේ Escalator එකේ ගිහින් තියෙන්නේ එකම එක පාරයි... ඒ යාලුවෝ කට්ටිය මාව නැතිවෙන්න නෝණ්ඩි කරපු හින්දා, හාට් එක අතේ අරන් ගිය එකම එක සැරේ විතරයි... අනිත් හැම වෙලාවෙම මම යන්නේ පඩිපෙලෙන්... කොච්චර මාව එක්කන් යන්න හැදුවත් මම ඕකේ යන්නේ නෑ... කවුරු එක්ක ගියත් මම යන්නේ නෑ... කොච්චර නෝණ්ඩි කළත් මම යන්නේ නෑ නෑ නෑ මයි.... මට තියෙන්නේ Escalator phobia එකක්ද දන්නෙත් නෑ... හි හි

හැබැයි මට Unity එකේ ඕක එච්චර අවුලක් නෑ කියලා හිතෙන්නේ ඇයිද කියන එක මම දන්නේ නෑ... සමහර විට ඒක Mc එකේ තියෙන එකට වඩා ස්පීඩ් එක අඩු හින්දද දන් නෑ.... Liberty එකෙත් අවුලක් නෑ... ඒත් මං ඒකට වැඩිය ගිහින් නෑ.... 

කොහොම උනත් ඔය වගේ තැන් වලදි පුළුවන් හැම වෙලාවෙම පඩිපෙලෙන් යන්න තමයි මම කැමති.... කො‌ෙහාම හරි වෙන තැනක තියෙන Escalator එකකට වඩා මම Mc එකේ තියන එකට බයයි... 

ඕකට හේතුව මොකද්ද කියලා මම දන්නේ නෑ... නඟින්න ගිහින් බිම දිහා බැලුනොත් ඔලුව කැරකෙන්න ගන්න හින්දා ඇස් දෙක පියාගෙන අඩිය තියන්න කියලා උපදෙස් ලැබුන නිසා එහෙම කරන්න හැදුවා... ම්හු.. මොන.... ඒකත් බෑ.... ( ඒකට උදවු කළේ අපේ මහත්තයා.. කොච්චර ට්‍රයි කළත් එයාටත් ඒක බැරි උනා...) 

ඔතන තියෙන්නේ වැටෙයි, ලෙස්සයි, කකුල යයි, අමුතු විදියට ඕකේ නඟින්න යනවා කියලා අහල පහල ඉන්න උන් හිනා වෙයි වගේ පුංචි පුංචි හේතු නෙවෙයි මට....  ඒක පරාණ බයක් කිව්‌ෙවාත් තමයි හරි.... 



( අඩේ මං දැන් මේකේ ‌ෆොටෝ එකක් හොයන්න ගූගල් කරලා බැලුවා.... බලනකොට මේ Escalator phobia කියන එක මට විතරක් තියෙන එකක් නෙවෙයි බොලේ... මේක ගොඩක් අයට තියෙන කේස් එකක්.... ඒකට කියන්නේ Escalaphobia කියලලු... මං වගේම කස්ටිය තව ඉන්නවා කියලා දැනගත්ත එකත් හිතට හරි ලොකු සහනයක් අප්පා..... හි හි) 

දැන් කල්පනා කරද්දි කට්ටියට මතක් වෙයිද දන් නෑ නේ මේ වගේ කාටවත් නොකියා ඉන්න එක එක හිනායන ජාතියේ “ බයවල් ” ගැන... ඔන්න එහෙම ඒවා තියෙනව නං කියන්න ඕනේ තරම් ඉඩ තියෙනවා.... හි හි.... 

Thursday, May 16, 2013

තනිකම....



අම්මේ.... මම තනියම..... 







ප/ලි : වේදනාව අකුරු කළ නොහැකි වූ කල..... 

ඡායාරෑපය උපුටා ගැනීම : මූණු පොතෙන්..

Monday, May 13, 2013

බුද්ධාගම සහ බුද්ධ දර්ශනය ගැන මට හිතෙන හැටි....




මේ දවස්වල හොදටම විකුණන්න පුළුවන් දේ තමයි මට පේන විදියට බුද්ධාගම... ඒක නිසා මාත් මේ ලෑස්ති වෙන්නෙ රොටියක් පුච්චගන්න...

මේක ලියන්න හිතුනේ පහුගිය ටිකේ දානමානාදිය මහ ගොඩකට යන්න වෙච්ච නිසා... සමහර ඒවා මළගිය ඥාතීන් සිහිපත් කරලා දීපු දාන... තව ඒවා අවුරුද්දකට සැරයක් අනිවාර්යයෙන්ම දෙන දාන... තව සමහර ඒවා පන්සල්වලට දෙන දාන... කොහොම හරි ඔක්කොම දාන පින් සලකා කරපුවා නේ... ඒක නිසා ඒවට මං මුකුත් කියන්නේ නෑ.. හැබැයි මං මේ ලියන්න කියලා හිතුවේ ඕවා ගැන නෙවෙයි... 



පටන් ගන්න කලින් මට අහන්න ප්‍රශ්නයක් තියෙනවා... මේකට තමන්ට හිතෙන හැටි කිව්වට කමක් නෑ... 

බුද්ධාගම සහ බුද්ධ දර්ශනය කියන්නේ දෙකක්ද? එකක්ද? 

දැන් එකපාරටම මම ඔහොම ඇහුවේ පහුගිය සෙනෙසුරාදා සහභාගී වෙච්ච දානයක් අතරතුරේදි මං දැක්ක දේවල් නිසා... 

ඔය ගැන මම හිතන්නේ මෙහෙමයි... මගේ අදහස නම් අද පවතින බුද්ධාගම කියන්නේ බුද්ධ දර්ශනය විකෘති වෙලා හැදුන දෙයක් කියන එක... ඒකට බුද්ධාගම විතරක් නෙවෙයි බෞද්ධ සංස්කෘතිය පවා අයිතියි කියන එක... 

මං බුද්ධාගමේ උනේ අම්මයි තාත්තයි උප්පැන්න සහතිකේ ආගම බුද්ධාගම කියලා දාපු හින්දා මුලින්ම.... ඒ කියන්නේ ඒක මවුපිය උරැමයක් කිව්වට වැරැද්දක් නෑ... 

හැබැයි බුද්ධ දර්ශනයේ තියෙන්නේ කෙනෙක් කිව්වටම යමක් පිලිගන්න කලින් නුවණින් විමසා, තේරුම් අරන් පිලිගන්න කියලා... 

එහෙම බැලුවාම මගේ උප්පැන්නේ තියෙන බුද්ධාගම කියන එක බලෙන් මගේ ඇඟේ ගැහුව දෙයක් මිසක් මං තේරුම් අරන් කරේ තියාගත්ත දෙයක් නම් නෙවෙයි.... 

අද වෙනකොට බුද්ධාගම කියන්නේ එක්තරා විදියට සෝබන සංස්කෘතියක් කියලා මට හිතෙන්නේ මේ ගොඩක් දැන්වල කෙරෙන දේවල් දැක්කම... විශේෂයෙන් ගොඩක් මිනිස්සු කරන දානමානාදිය සම්බන්ධයෙන්... සෝබනයට, රැල්ලට බෞද්ධ වීම්, පන්සල් බදාගෙන සිටීම් සම්බන්ධයෙන්.... 

බොහෝ දුරට මම තේරුම් අරන් තියෙන දෙයක් තමයි අද පවතින ජනප්‍රිය බුද්ධාගමේ, බුදු රජාණන් වහන්සේ නමැති මහා දාර්ශනිකයා විසින් ඉදිරිපත් කරන ලද දර්ශනය, යම් තරමකින්වත් ඉතුරු වෙලා නෑ කියන එක... 

අද බොහෝ දෙනෙක් පන්සලට යන්නේ තමන්ගේ හිතට සතුටක් සැනසීමක් ලබාගැනීම සඳහාමද...? ඒ බුද්ධ දර්ශනය පිළිබඳ අවබෝධයකින්ද...?

කරදරයක් ආපු වෙලාවට අන්ධානුභක්තියෙන් පන්සලට දේවාලෙට ගිහින් කරදර දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නද....? 

නැත්තම් අපිත් පන්සල් යනවා හරිද.. කියලා කාට හරි පෙන්නන්න උවමනාවටද...? 

හෙමත් නැත්තම් අපි තමයි හරිම බුද්ධාගම පිළිපදින්නේ, අපේ පන්සලේ තමයි හැම දේම හරියටම කරන්නේ කියන මාන්නයෙන් ඔලුව උදුම්මවා ගැනීමටද...? 

අද තියෙන අසපු, සෙනසුන්, එක එක වෙහෙරවල් එකකවත් ඇත්තටම බුද්ධ දර්ශනය කියන දේ නෑ කියලා මට හිතෙන්නෙ මං ඔය හැම එකකටම වගේ යන නිසා වෙන්න ඇති... ඒ වගේම ගමේ පන්සලටත් ගිහින් තියෙනවානේ... ඇයි මට මේ සංසන්දනය කෙරෙන්නේ මේ තරම්...? මේවයේ වැඩිපුරම තියෙන්නේ බෞද්ධ සංස්කෘතිය විතරයි කියලා මට හිතෙන්නේ...? 

බුද්ධ දර්ශනය කියන්නේ නුවණින් විමසා බලා, අවබෝධ කොට ගෙන තමන්ගේ ජීවිතය ඒ අනුව හැඩගස්වා ගැනීම කියලා මං තේරුම් අරන් තියෙන්නේ... 

නමුත් අද පවතින සමහර ජනප්‍රිය පන්සල් වල තියෙන නීතී රීති සහ යම් යම් ක්‍රියා පිළිවෙත් දැක්කම මේක බුද්ධාගමද, නැත්තම් මොකක් හරි ගෝත්‍රිකව පැවතගෙන එන ආගමක්ද කියලා මට හිතෙන්නේ ඒ තරම් තේරුමක් නැති වැඩ ගොඩක් මං ඒවයේ දකින නිසා... 


පන්සලට සුදු ඇඳිම නීතියක්ද රීතියක්ද එහෙමත් නැත්තම් අවබෝධයෙන් යුතුව කළ යුතු දෙයක්ද....? පන්සලට කොට කලසම් ඇඳගෙන යාම මෝඩකමට, ලොකුකම පෙන්නන්න කරන දෙයක් මිස අවබෝධයෙන් කරන දෙයක් නොවේය කියන එක තේරුම් කරලා දෙන්නේ නැතුව මෙසේ කළ යුතුමයි, නැත්තම් මේ දේ කරන්න, එහෙම නැතුව මේ තැනට එන්න බෑ කියලා නීතියක් පැනවීමෙන් එතන බුද්ධ දර්ශනය කෙලෙසීමක් සිද්ධ වෙන්නේ නැද්ද...? 

බුදු හාමුදුරුවෝ සොහොනක මළ මිනියක් ඔතලා තිබ්බ රෙද්දක් අරගෙන සිවුර පොරව ගත්තා කියන කතාව මං අහලා තියෙනවා.. ඇත්ත උනත් බොරු උනත් ඒකෙන් පෙන්නුවේ අල්පේජ්‍යතාවය මිසක් ලෝබකම වත්, ලොකු කමක් වත් නෙවෙයි... අද අපේ කට්ටිය පන්සලට ඇඳන් යන වස්තරේට ඉඳන් නීති දාගෙන නටනවා.. ඉස්සර මිනිස්සුන්ට නෝ ලිමිට්, ෆැෂන් බග් තිබ්බේ නෑනේ... හැබැයි ගෙදරක ඉන්න හැමෝටම සුදු රෙද්දක්, සුදු සරමක් තිබ්බා... අද කවුරැවත් රෙදි අඳින්නේ නෑ නේ.. සායවල් තමයි අඳින්නේ.. පිරිමි කලසම් අඳින්නේ... ඉතිං සුදු නැත්තම් ලා පාට දිග සායක්, කලසමක් ඇඳගෙන පන්සල් යන එකේ තියෙන වැරැද්ද මොකද්ද කියලා මට තේරෙන්නේ නෑ.... 

මම අවුරදු කීපයක් දහම් පාසල් ගිය කෙනෙක්.. එක එක කාලවලට එක හේතු මත මම දහම් පාසල් ගියා.. ඇත්තටම ඒ කාලේ අන්ධානුකරණයක් මිසක් අවබෝධයක් තිබ්බේ නෑ කියලා පැහැදිලිව කියන්න පුලුවන්... නමුත් අද වෙනකොට මම ඊට වඩා යමක් අවබෝධ කරගෙන තියෙනවා කියලා මම හිතනවා... හැබැයි ගොඩක් නෙවෙයි... 

මම ගිය එක්තරා පිරිත් ගෙයක, සාමාන්‍යයෙන් මළගිය ඇත්තන්ට පින් පිණිස පිරිතක් කියවද්දි ඒක කරන්නේ ගෙදරම නේ... ඒක තමයි සිරිත.... සංස්කෘතිය...  ඒත් මේ ගෙදර අය ඒ පිරිත කියෙව්වේ ළඟ තියෙන පන්සලේ ස්වාමීන් වහන්සේ නමක් ලව්වා... වෙනදට 6.30 - 7.30 වගේ වෙලාවට පිරිතකට ගමටම ආරාධනා කළත් ගොඩක් අය එළියට වෙලා, නැත්තම් කුස්සියට වෙලා තමන්ගේ වැඩ කටයුතු වලට නියැලුනත් මෙතනදි ඒ වගේ දෙයක් සිද්ධ උනේ නෑ.. ආරාධනා ලැබූ පවුලේ සියලු දෙනාම පන්සලේ බණ මඩුවේ බණ අහලා, පිරිකර පූජා කරලා ආපහු ගෙදර ගියා... 

මෙතනදි පිරිකර ගැනත් යමක් කියන්න ඕනේ කියලා හිතෙනවා.... මම දැකලා තියෙනව සමහර පන්සල් වල අ‌ටපිරිකරට ලැබෙන පාත්තර මැසි උඩ, අටු උඩ මලකඩ කාලා, දිරලා යනවා ගොඩ ගොඩවල් පිටින්... එකත් එක්ක ලැබෙන තුන් සිවුරු වලට මොනවා වෙනවද කියලනම් මට අදහසක් නෑ....  මට ඇත්තටම තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි හාමුදුරුවරු මේවා නාස්ති කරන්න පිළිගන්නේ කියලා... ඇයි මිනිස්සු මේවා පුජා කරන්නේ කියලා මේවට වෙන දේ දැන දැනත්... අට පිරිකරක් කියන්නේ ලොකු පූජාවක් කියලා සමාජයේ තියෙන මතය මේකට හේතුව කියලා මට හිතෙනවා.. ඒත් මෙහෙම නාස්ති වෙනවා නම් ඒ අටපිරිකර ලොකු පින් සහිත පූජාවක් වෙන්නේ කො‌ෙහාමද කියලා මට තේරුම් ගන්න බෑ.... 

ඊට වැඩිය ගොඩක් හොඳයි පන්සලේ යම් කිසි දේකට අවශ්‍ය කරන දෙයක් තියෙනවා නම් ඒ සඳහා යමක් කරන එක හරි, ඒ සඳහා මුදල් ආධාරයක් කරන එක හරි.... මගේ අදහසේ හැටියට.... ඉගෙන ගන්න හාමුදුරවරු ඉන්නවා නම් ඒ අයට අවශ්‍ය කරන දෙයක් පූජා කළාට පිනේ අඩුවක් වෙන්නෙ නෑ කියලා මම හිතනවා....  අනවශ්‍ය විදියට නාස්ති වෙලා යන්න, අටපිරිකරක් පූජ කරන්නෙ නැතුව.... 

මම පන්සල් යන්නේ මගේ හිතේ සැනසීමට... ඉස්සරත් එහෙමයි... පුරුද්දට වෙසක් පොසොන් වලට ගියාට, මම සාමාන්‍යයෙන් පන්සලට යන්නේ ගොඩක් සෙනඟ නැති දවස්වලට.. එහෙම ගිහින් ගොඩක් වෙලාවට කරන්නේ පැත්තකින් වාඩි වෙලා හිත නිදහස් කරගන්න බලන එක... ඔය ගොඩක් භාවනා ක්‍රම මම දන්නේ නැති නිසා ඒක මම කරන්නේ සාමාන්‍ය මෛත්‍රී භාවනාවෙන්... එහෙම නැත්තම් ඉතිපිසෝ ගාථාව දිගින් දිගටම මෙනෙහි කිරීමෙන්... ඒක මම කළේ විවේකයක් ලැබුණ වෙලාවට විතරයි... 

මම අදටත් වෙසක් දවසට සිල් ගන්නවා.. හැබැයි ඒ සීලය ගැන මට එච්චර සතුටක් නෑ.. හේතුව මට ඒ මම සිල් ගන්න පන්සල ගැන හෝ ඒ පන්සලේ නීති රීති, ක්‍රියා පටිපාටිය ගැන කිසිම විදියකින් පැහැදීමක් නැති නිසා....  අවුරද්දකට එක සැරයක් මම ඒ කරන දෙයින් සතුටට පත් වෙන කීපදෙනෙක් මම වටා ඉන්න නිසා, මම ඒකෙන් සතුටක්, සැනසීමක් ලබනවා...... ඒ අයව සතුටට පත් කරලා මම ලබන සතුට සැනසීම, අර සීලයෙන් මම ලබන සැනසිල්ලට වඩා ගොඩක් වැඩියි...

සිල් පවාරණය කරලා ගෙදර ආවම මට දැනෙන්නේ මගේ අතින් කෙරෙන්න ඕනේ ලොකු යුතුකමක්, වගකීමක් ඉටු කළා කියන සතුට... ඊට‌ පස්සේ මම වෙසක් කූඩුවක් එල්ලලා, සෙලෝ‌ෆේන් බකට් ටිකක් පත්තු කරලා, අපේ මහත්තයා එක්ක බයික් එකේ වෙසක් බලන්න යන්නේ හරිම සතුටින්... 


මම හිතනවා මේකයි ඇත්තටම අද මට කරන්න කියලා ඉතුරු වෙලා තියෙන එකම දේ කියලා පිරිසිදු බුද්ධ දර්ශනයෙන්.... සෝබන නැති, ලොකු කම් නැති, අනවශ්‍ය ආකාරයේ නීති රීති නැති, හුදෙක්ම තමන්ගේ හිත පිරිසිදුව තබා ගැනීම පවා හරිම අසීරු දෙයක් නිසා, අඩුම ගානේ ඒ ටික වත් කරන්න පුළුවන්නම් ඒකත් ලොකුම දෙයක් කියලා මම හිතනවා... 

මේක එක්තරා විදියකට ගුටි කන කතාවක් නිසා ගොඩක් කල්පනා කරලා තමයි දාන්න හිතුවේ.. ඇත්තටම විවේචනයක් තිබ්බත් නොකිය, නොලිය ඉන්න මතෘකාවක් තමයි ආගම කියන්නේ මේ වෙන‌ෙකාට.... නමුත් අපි ඇත්තටම හිතන දේ හරි හෝ වැරදි උනත් ඒක කීමෙන්, එක්කො වැරදි නම් හරි ගස්සගන්න හරි, මම හරි කියලා තේරුම් ගන්න හරි අවස්ථාවක් ලැබෙනවා... නැත්තම් වෙන්නේ හිතේ නොසතුටින් අනුන් කියන්නං වාලේ, කරන්නං වාලේ යම්යම් දේවල් වලට සහභාගී වෙන්න... ඒකෙන් හිතට සතුටකට වඩා කළකිරීමක් ඇතිවෙන එක වලක්වන්න බෑ මම හිතන්නේ...