Friday, April 26, 2013

මගේ යාලුවෝ දෙන්නා....


Dear Diary.....

අද මට හරි දුක හිතෙන වැඩක් උනා....

අද උදේ එහා ගෙදර බ්ලැකී, ඔයාට මතකනේ මං කිව්වා හැමදාම රෑ එළිවෙනකම් කූඩුවට වෙලා කෑ ගහන එහා ගෙදර පොඩි බලු පැටියා, අන්න එයා , කීටීයා එක්ක පොරකනවා දැකලා මං ගියා රණ්ඩුව බේරන්න..... වත්ත බෙදලා නැති නිසා මුන් දෙන්නා පොරකෑවේ අපේ ලිඳ උඩ.. මං බය උනා එකෙක් හරි ලිඳට වැටෙයි කියලා... 

උන් දෙන්නම අනුන්ගේ තමයි .... ඒත් උන් දෙන්නටම මං හරි ආදරෙයි නේ.... උන් දෙන්නා තමයි දවල් දවසේ මාත් එක්ක මගේ පාලුව මකන්න ඉන්නේ... ඒකයි මං ගියේ රණ්ඩු බේරන්න.... 

ඒත් බලන්නකෝ මට වෙච්ච වැඩේ...  බ්ලැකී මාව කන්න පැන්නනේ... කිටීගේ නියපොතු පාරකුත් වැදුනා.... ඒක නිසා මං ආපහු ආවා... නැත්තම් මටයි බැනුම් අහන්න වෙන්නේ අහක යන බලු ‌පොර වලට මැදි වෙන්න යනවා කියලා වැඩක් බලාගෙන ඉන්‌ෙන් නැතුව... 

මට උනුත් එක්ක නම් පොඩ්ඩක් වත් තරහා නෑ..  ඒත් මං බයේ ඉන්නේ උන් දෙන්නගෙන් එකෙක් හරි කොයි වෙලාවේ හරි තුවාල කරගනියි, ලිඳට වැටෙයි කියලා.... උන් දෙන්නම මගේ හොඳ යාලුවෝනේ දැන්.... මාත් එක්ක සෙල්ලම් කරන උන් දෙන්නටම මොනවා හරි වෙනවට මං කැමති නෑ.. බ්ලැකී රෑ තිස්සේ කොච්චර කෑ ගැහුවත්, කිටී අපේ වත්තේ ජරා කරත් මං උන් දෙන්නට ආදරෙයි....

ඒත් මං දුකෙන් ඉන්නේ මට පොඩ්ඩක් තුවාල උන නිසා නෙවෙයි....

මං ආසයි උන් දෙන්නම මරාගන්‌ෙන් නැතුව ඉන්නවා නං.... උන් දෙන්නා එක්ක එකතු වෙලා සෙල්ලම් කරද්දි, මං හරි සතුටින් ඉන්නේ.... එකෙක් හරි තුවාල උනොත් මට දුක හිතෙනවා.... මට බේත් කරන්නත් බෑනේ.. උන් දෙන්නම අනුන්ගෙනේ.... 

එයාලා බ්ලැකීට නම් ආදරෙයි... බ්ලැකී ජර්මන් ෂෙපර්ඩ් එකෙක් නේ.... ඒක නිසා එයා වටිනවා ඇති... ඒත් එයාලා කිටීට ඒ තරම් ආදරේ නෑ.... ඌ නිකම් පූසෙක් නිසා එච්චර වටින්නේ නැතුව ඇති...  මට නම් උන් දෙන්නම එක වගේ වටිනවා.... උන් දෙන්නම මාත් එක්ක යාලුයි.... 

ඒ දෙන්නම මගේ නෙවෙයි උනත් මං නං ඒ දෙන්නටම ආදරෙයි.... උන්ගෙන් එකෙක් හරි, දෙන්නම හරි තුවාලයක් කරගනීයි, ලිඳට වැටෙයි කියලා මට බයයි...  මට ආයිත් එයාලා එක්ක හිනා වේවී, පිස්සු නටන්න, සෙල්ලම් කරන්න බැරි වෙයි කියලා බයයි.... 

ඒක නිසයි මට අද මෙච්චර දුක... මෙයාලා ඉක්මණට මේ රණ්ඩුව නවත්තලා යාලු වෙයි කියලා මං බලං ඉන්නවා..... එහෙම බැරි නම් අඩු ගානේ ලිඳේ වැටෙන්නෙවත් නැතුව හිටියොත් ඇති..... නැත්තම් ඉතිං ඇපේ ඇන්ටි තාප්පේ බැඳලා දායි බල්ලෝ පූසෝ එනවා කියලා.... 


Good night dear diary.......

Friday, April 19, 2013

පිස්සුද... තාම කොහෙද අවුරදු....

හෑ... මොකක් කිව්වා... ?

සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වා... මොලේ කොලොප්පන්ද.... තාම කොහෙද අවුරුදු... 

කිරියෙන් පැණීයෙන් ඉතිරෙන අලුත් අවුරුද්ද ලබන්නේ මේ මාසේ ලයිට් බිල ආවම.... 

මේ මිනිස්සුන්ට පිස්සුද මන්දා.. දැන්මම අවුරුද්දට සුබ පතන්නේ.... 

මට නම් හරිම සුබයි මේ අවුරුද්ද... මේ පේනවනේ උදේ පාන්දර මට වෙච්ච වැඩේ.... 



දැන් ඉතිං අයින් කරපල්ලකෝ අවුරුදු ගනං අප්ඩේට් නොවිච්ච බ්ලොග් හොයලා.... ඇත්තටම මේක 300කට සීමා කළේ බ්ලොගර් බාප්පා කාගෙන් අහලද මන්දන්නේ නෑ.. ඇයි වදේ... මෙච්චර බ්ලොග් තියෙන ලෝකේ 300 ක් විතරක් කියෝලා ඇති වැඩක් තියෙනවද මං අහන්නේ... 

හරි... ඒ කතා වැඩක් නෑ... 

මේ ටිකේ ගෙදරට බ්ලොග් පැත්තේ එන්න වෙලාවක් හම්බුනේ නැති නිසා කමෙන්ට් දැම්මේ නැති උනාට ඔක්කොම ටික කියෝගෙන ආවා... දැන් කල්පනා කරන්නේ මොනාද ලියන්නේ කියලා... 

1. ලයිට් බිල් වැඩි වෙච්ච කරුමේ ගැන.... ( අම්මපා මතක් වෙනකොටත් යකා වැහෙනවා... මේක නම් ‌ජනගහණය වැඩි කරන්න කරපු කුමන්ත්‍රණයක් මං කියන්නේ... ) 

2. උතුරු කොරියාව ලොකු සීන් දැම්මේ, දාලා තියෙන සම්බාධක ටික අයින් කරගන්න පොඩි තගක් විදියට කියලා පේන එක ගැන... ( මගේ භාෂාව වෙනස් වෙලාද..? ) 

3. බොස්ටන් ප්‍රෙශර් කුකර් බෝම්බ ගැන...( මුන්ට ප්‍රෙශර් කුකර් එකෙන් බෝම්බ හදන්න බැරි මොකෝ අපි මාමයිට් ඩප්පියෙන් අත් බෝම්බත් හදපු එකේ.. නැද්ද මං අහන්නේ...) 

4. ටෙක්සාස් වල වෙලා තියෙනවයි කියන එක... (නෝ කමෙන්ට්ස්) 

5. දකුණු ඉන්දියාවේ වුනාය කියන බෝම්බ පිපිරීම ගැන...  ( හනේ මන්දා...) 

6. කෙප්ලර් ටෙලස්කෝප් එක ජීවය පවතිනවා කියලා හිතන්න පුළුවන් තවත් ග්‍රහලෝක දෙකක් හොයලා දුන්න කතාව... ( අන්න මරු කතාව... ඇත්තටම වෙන ග්‍රහලෝකෙකින් ආපු මිනිස්සු කොට්ඨාසයක් ලංකාවෙත් ජීවත් වෙනවා කියලා මට පහුගිය ටිකේ බරපතල විදියට හිතුනා... එහෙම නැත්තම් ඉතිං මං වෙන ග්‍රහලෝකෙකින් ආපු කෙනෙක් වෙන්න ඕනේ.. හි හි) 

තාමත් කල්පනා කරනවා මොනවා ලියන්නද කියලා..... 

තාම කට්ටිය අවුරදු සමරන නිසා මොනවා ලිව්වත් පත්තියන් වෙන්නේ නෑ කියලා දන්නවා... හොඳට තෙල් කෑම, පැණි රස කෑම එහෙම කාලා මහත් වෙලා එන්නලකෝ.... හි හි.... 

Thursday, April 11, 2013

අවන් එකක් නැති උනත් පීසා හදන්න පුළුවන්...


අද ලියන්න ගත්තේ ජීවිතේට මේ බ්ලොග් එකේ ලියන්නේ නෑ කියලා හිතං හිටපු ජාතියේ පෝස්ට් එකක්... එහෙම හිතාගත්තේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි... මට කෑම හැදිල්ල ගැන ඒ තරම් තේරුමක් නැති නිසා... මං දන්න ජාති වල කෑම හදන්න මට තාම පහසුකමුත් නෑ... ඒක නිසයි... 

ඒත් මේ ඊයේ පෙරේදා මාරයියා දාපු පීසා හදන හැටි පෝස්ට් එකට වැටුන කමෙන්ට් වල අවන් එකක් නැති නිසා මේක හදන්න බෑ කියලා කීප දෙනෙක් කියලා තිබ්බ නිසා මේක හදලා දාන්න කියලා හිතුවේ... මටත් අවන් එකක් නෑ... ඒක නිසා තමයි මම කිව්වේ හදන්න දන්න ජාති හදන්න පහසුකම් නෑ කියලා... 

ඒත් පීසා, මම මේ කිව්වේ කඩේන් ගන්න තරම් කොලිටියට නෙවෙයි, ඒත් අපිට කන්න පුළුවන් වෙන තරමට, කටට රසට, අවන් එකක් නැතුව හදාගන්න හැටි පොඩියට පෝස්ට් එකක් දාන්න හිතුවා ඒ අයට අත්හදා බලන්න පුළුවන් වෙන්නත් එක්ක... 

මෙන්න මෙතනින් ගිහින් මාරයියගේ පෝස්ට් එක බලලා ආවා නං හොඳයි ඒක බැලුවේ නැත්තම්... මොකද මේ පෝස්ට් එකේ මම ඒකේ මාරයියා කියලා තිබ්බ දේවල් ටිකක් වෙනස් විදියට කරපු එක විතරයි වෙනසකට තියෙන්නේ... 

හරි... මාරයියා කියපු දේවල් වලට අමතරව මේකට ඕනේ වෙන්නේ නොන්ස්ටික් පෑන් එකක් විතරයි.... ඔය අපි බිත්තර බඳින්න එහෙම ගන්නේ.. අන්න ඒ ජාතියේ එකක්... 

හරි.. එහෙනං.. ගිහින් බලලා ආවා නං දැන් තියෙන්නේ මෙච්චරයි... මාරයියා කියලා තිබ්බ විදියට ‌මෝලිය ( Pizza dough එක ) හදාගෙන පිපෙන්න තියන කොටසට වෙනකම් ඒ විදියටම කරන්න... පිපෙන්න තියන කොට කරන්න තියෙන්නේ මෝලිය තූනී කරන එකයි මෙන්න මේ ෆොටෝ එකේ තියෙනවා වගේ පෑන් එකටම... 


මගේ පෑන් එක ටිකක් ලොකු නිසා ( මීඩියම් සයිස් පීසා එකක් විතර...) මට අර මාරයියා කළා වගේ වීදුරුවකිනුත් තුනී කරගන්න පුලුවන් උනා.. බැරි නම් අවුලක් නෑ... ඇඟිලි වලින් තුනී කරගන්න... ඊට පස්සේ ඕක පියනක් තියෙනවා නං ඒකෙන් හරි නැත්තම් පිරිසිදු රෙදි කෑල්ලකින් හරි වහලා පැයක් විතර පිපෙන්න තියන්න... 

ඊට පස්සේ කරන්න තියෙන්නේ එළවලු මිශ්‍රණය හදා ගන්න එක... අවන් එකක් නැති නිසා මේකදි මිශ්‍රණයට දාන ජාති ඔක්කොම දාලා හොඳට හදා ගන්න... තම්බන ඒවා තම්බලා, තෙල් දාන ඒවා තෙල් දාගෙන, ඕනේ කරන ලුණු, ගම්මිරිස්, මිරිස්, ළුණු ඔක්කොම දාගෙන එහෙම හදා ගන්න...  මම නම් ගෙදර තිබ්බ කැරට්, බෝංචි, මල් ගෝවා ඔක්කොම ජාති ටිකත් එක්ක සෝසේජස් ටිකකුත් පොඩියට කපලා දැම්මා... සෝස් ටිකකුත් ඉතිං ජොලියට වගේ දැම්මා... මේකේදි හොඳම වැඩේ තියෙන්නේ ගෙදර එළවලු එහෙම ඉවර වෙච්ච දවසට ඔය ඉතුරු සුන්බුන් ටික ඔක්කොම දාලා මේක හදාන්න පුළුවන්.. නම පීසා නේ... ඔහේ ඕනේ කෙනෙක් රසකර කර කනවා... හි හි.. 

හරි.. මිශ්‍රණයත් හරි ගස්ස ගත්තට පස්සේ පෑන් එකේ රොටිය පිපිලා හරි ගිහින් නම් ගෑරොප්පුවකින් පොඩ්ඩක් ඇන ගන්න.. ඊට පස්සේ ලිපේ තියන්න... ඔන්න දැන් තමයි මං අමාරුවේ වැටිච්ච තැන... මට තියෙන්නේ ළුණු සිවිය වගේ වැඩකට නැති පෑන් එකක්... නමට විතරක් නොන්ස්ටික්... ඝණකම නැති නිසා හරි ඉක්මණට කරවෙනවා... ඒත් එච්චරනේ තියෙන්නේ.. වැඩේ කරගන්නත් එපැයි.... එකපාරටම රොටිය තද ගින්දරේ තිබ්බොත් බිස්කට් වෙලා තමයි නවතින්නේ... ඒක නිසා මං කරපු වැඩේ රොටි, තෝසේ හදන තැටිය ලිපේ තියලා, ඒක උඩින් මේ පෑන් එක තිබ්බ එක... ගෑස් ලිප් වල හැම තිස්සෙම වගේ ගින්දර සෙට් වෙන්නේ එකම තැනට නිසා හරි ඉක්මණට එකම තැන කරවෙනවා.. ඒ අවුලත් අඩු වෙනවා මෙහෙම කළාම.... 

හරි විනාඩි 5ක් විතර යන‌ෙකාට එක පැත්තක් හරි යනවා... ඊට පස්‌සේ රොටිය අනිත් පැත්ත හරවන්න...  ඊට පස්සේ ඉක්මණට එළවලු මිශ්‍රණය සහ චීස් මේකට දාගන්න... ඒ ටික කරගන්න වෙලාව යනවා නම් ලිප ඕෆ් කරලා කරගන්න.. අවුලක් නෑ.. මෙහෙම කරන්නේ රොටිය දෙපැත්තම කරවෙන්නේ නැතුව ගානට හදා ගන්නයි, චීස් ටික දියවෙන්නයි ඕනෙ නිසා... රොටිය බිස්කට් වෙන්න ( කර වෙන්න)  කලින් බාගන්න.. ඔච්චරයි වැඩේ.... 

දැන් තියෙන්නේ උපදෙස් ටිකක් දෙන්න.. මේ ටික ඔක්කොම ඕනේ මයික්‍රොවේවි හරි මොකක් හරි අවන් එකක් නැති අයට තමයි හරි... රොටිය ලිපේ තියන්න ඕනේ කන්න ගන්න ලෑස්ති වෙලා.. ඒ කියන්නේ 8.30ට කනවා නම් 8.15ට විතර මේක ලිපේ තිබ්බම හරි... ඒ ව‌ගේම එළවලු මිශ්‍රණය රොටියට දානකොට රස්නෙන් තියාගන්න... ඇයි එහෙම කිව්වේ දන්නවද...? අපේ පෑන් එකේදි රත්වෙන්නේ යට පැත්තෙන් විතරක් නිසා එළවලු මිශ්‍රණය නිවිලා තිබ්බොත් උඩින් දාන චීස් ටික දියවෙන්නේ නෑ... චීස් දියවෙනකම් හිටියොත් රොටිය බිස්කට් වෙනවා... 

මට ඒ සන්තෑසිය උනා... හි හි.... මම උනන්දුව වැඩි හින්දා වෙලාසනින් මේ ටික හැදුව නිසා කන්න ගන්න වෙලාව වෙනකොට එළවලු මිශ්‍රණය නිවිලා.. ඒක නිසා චීස් හොඳට දියවූනේ නෑ... මාත් මේක හදපු පළවෙනි වතාවනේ.. ඒක නිසා මං ඉගෙන ගත්තා වැඩේ වැරදුන තැන් ටික.... 

හැබැයි මේ මට වෙච්ච අවුල් වලින් මේක කන්න බැරි තරම් අවුලක් නම් උනේ නෑ... ඒක නිසා පාවිච්චි කරපු දේවල් අපතේ ගියෙත් නෑ... ‌පේනවනේ... පිරිමින්ට වගේ ගෑණුන්ට චෙෆ්ලා වෙන්න අමාරු ඇයි කියන එකට උදාහරණයක් මෙතෙනම තියෙනවා.... විසිකරන්න ලෝබයි... මම හදපු එළවලු මිශ්‍රණය ඔක්කොම මේකට දාපු නිසා පීසා එක ලස්සනට ආවේ නෑ... ඒත් ඉතිං අපි දෙන්නා විතරක් නිසා අවුලක් නෑ... ඊළඟ පාර හදද්දි ගානට මිශ්‍රණය හදාගන්න මට දැන් පුළුවන්... 


ෆොටෝ ටික නම් මාරයියා තරමට ලස්සනට, හැඩ කරලා ගන්න මට බැරි උනා... ෆොටෝග්‍රැෆර් ආවේ පරක්කු වෙලානේ..  ඔන්න තිබ්බ හැටියට ගත්තා මං... හි හි

ප/ලි :

විශේෂ ස්තූතිය... අපේ මහත්තයට... 

ඔයා මොනවා හරි හදනවා නං මං ආසයි.... කන්න බැරි වෙලා විසිකරත් මට කමක් නෑ... ඔයා කිසි දෙයක් හදන්නේ නැතුව ඉන්නකොටයි මට දුක හිතෙන්නේ .. කියලා බොහොම ආසාවෙන් හදපු එක කාලා, ඇඟිලිත් ලෙව කාලා, ඊට පස්සේ “ බඩ උස්සගන්න බෑ, කෑවා වැඩියි... ” කිය කිය හිටපු නිසා.... හි හි.... ඇත්තටම මීට කලින් මේක හදන්න හිතං හිටියත් හැමදාම බඩු ගන්න ගියාම චීස් වලට රු 400.00 ක් විතර වියදම් කරන්න ලෝබ හිතෙන නිසා මම මේක මෙච්චර දවස් හැදුවේ නැත්තේ... ඒත් මෙහෙම හරි හැදුවම නම් මාර සන්තෝසයි.... හි හි... 

Wednesday, April 10, 2013

අයියලා ඉන්න එකත් මහ වදයක්..... පාරමී දම් 11 කොටස


කතන්දරේ මතක නැති අය මෙන්න මේ පැත්තට ටිකක් ඔලුව දාලා ආවා නං හරි.... 





මං සඳුදා උදේ ඉස්කෝලේ ගියේ බොහොම ලැජ්ජාවෙන්... ඇයි ඉතිං... අයියගේ යාලුවන්ගේ කටවල් වල හැටි මම දන්නවනේ... එදත් අපි යනකොට ඇවිත් හිටියේ තරිදු අයියයි, අංජු අයියයි විතරයි... 

ආ... කෙල්ල බරටම උස්සගෙන එන්නේ... මොනාද ආ.. කැවුම් ද....

... මට ගහන්න හිතුනා තරිඳු අයියට... 

මොකද නංගි.... අද බර්ත්ඩේ එකද....”

මුකුත් නොදන්නවා වගේ අහන හැටි... මං අංජු අයියට රැව්වා.... 

.... කසුන්... උඹ නංගිට දැම්ම කිව්වද කොල්ලන්ට රවන්න කියලා... මෙයා මෙන්න මට රවනවා...”

අංජු අයියා, සුදු අයියට කෑ ගැහුවා.... 

ටික වෙලාවකින් මගේ යාලුවෝ ටික ආවාම මං උන් ළඟට ගියා... උන්ගෙන් වැඩි දෙනෙක් ඇත්ත සිද්ධිය දන්නේ නෑ... ම‌ෙගන් අහනවා ඇයි ආවේ නැත්තේ කියලා... මං ඉතිං සනීප නැති උනා කියනකොට අයියලා ටික එහා පැත්තේ ඉඳන් හිනාවෙනවා.... මාර වාතයක් තමා මේක නම්..... 

--------------------------------------------------------------------------------

නාවින්නෙදි කෝච්චියක් පීලි පැනලා නිසා කෝච්චි නෑ.... සුදු අයියටත් ක්ලාස්.... අංජු අයියටයි අනික් හැමෝටමයිත් එක එක වැඩ වලට After school ඉන්න වෙලා... මං සුදු අයියගේ ඉස්කෝලෙට කෝල් එකක් දැම්මා... ඒ පාර එයා පන්ති යන්නේ නැතුව එන්න හදනවා... මං කිව්වා මං ඉස්කෝලෙ ඉන්නම්... පන්ති ඉවර වෙලා එන්න කියලා... මට බස් එකේ යන්න දෙනවනං මේ කිසි කරදරයක් නෑ.. කොහෙද... අම්මලගේ වැඩි පරිස්සමනේ... ඒ පාර මට ටිකක් ඉන්න කියලා ආයිත් කෝල් එකක් අරන් කියනවා අංජු අයියට තුනට ක්ලාස් ඉවර වෙන නිසා එයා එක්ක යන්නලු.. 

සුදු අයියට පිස්සුද මන්දා... අපේ සිකුරිටි අන්කල්ට පිස්සු හැදෙයි කොල්ලෙක් ආවොත් ළමයෙක්ව එක්කන් යන්න... සුදු අයිය නං හැමතිස්සෙම එන නිසා සිකුරිටි අන්කල් දන්නවානේ.. ඒත් අංජු අයියව දන්නවයැ... අනිත් එක එයා නෑයෙක් යෑ.... 

පිස්සුද සුදු අයියේ... අපේ සිකුරුටි අන්කල් එහෙම යන්න දෙන්නේ නෑ...

හ්ම්ම්.... මම අම්මට කතා කරලා කියන්නම් ඉස්කෝලෙට කතා කරන්න කියලා....

ඕනේ එකක්.. මගේ කාඩ් කුඩු කරන්නෙ නැතුව...

මට තනියෙන් යන්න පුළුවන් උනත් මෙයාලා යන්න දෙනවයැ... අම්මට ඇවිත් මාව එක්කන් යන්නත් බෑ... ආපෝ.. මෙහෙම වෙලාවට තමයි අයියලා නැති උනානං හොඳයි කියලා හිතෙන්නේ... එහෙනං මං අගේට තනියෙන් යනවානේ.....

මං බැන බැන ඉන්නකොට අම්මා ඉස්කෝලෙට කෝල් කරලා ප්‍රින්සිපල් මැඩම්ට කතා කරලා කියලා විස්තරේ... අදට විතරක් යන්න දෙනවා කියලා, මට කිව්වා ඔෆිස් එකට වෙලා ඉන්න කියලා.... මොන කරුමයක්ද මන්දා.. වෙන කිසි කෙල්ලෙක්ට නෑ මෙහෙම වදයක්.... කෝච්චි නැත්තං බස් එකේ නැග්ගා, ගෙදර ගියා... මට තමයි මේ ඔක්කොම... 

යන්තම් අංජු අයියා 3ට ආවම ප්‍රින්සිපල් මැඩම් මට යන්න දුන්නා.. හපෝ.. මැඩම් අංජු අයියා දිහා බලපු හැටි.... හරියට ඉස්කෝලෙට හොරෙන් පැනලා අහුවෙච්ච කොල්ලෙක් දිහා බලනවා වගේ... මටත් ලැජ්ජයි... 

අපි දෙන්නා බස් හෝල්ට් එකට එනකොට හොඳ වැස්සක් එන්න ලෑස්ති වෙනවා හතරවටෙන්ම කලු කරගෙන... බස් එකක් එන‌කොට නම් හොඳටම වහිනවා.... ඉස්සෙල්ලම ආපු සීටීබී එකට නැග ගත්තාම යන්තම් ඉඳගන්න සීට් නම් තිබුන එක හොඳට ගියා... ඒත් අපි දෙන්නම ටිකක් තෙමුනා... මං කවද්ද කුඩ අරන් ගියේ.... 

තෙමුනේ යන්තම් උනත් ඒ ටික ඇති මට හෙම්බිරිස්සාව හැදෙන්න... බස් එකට නඟිනකොටත් මගේ නහය හිරවෙලා... ඔලුව කැක්කුමයි පුපුරන්න... කොහොමත් ප්‍රින්සිපල් මැඩම්ගේ ඔෆිස් එකේ හිටියොත් ඔලුව කැක්කුම හැදිලා තමයි නවතින්නේ... ඒ තරමට ඒසී එක... 

මං බෑග් එකේ ඔලුව ගහගත්තත් එහෙම ඉන්න බෑ වැඩි වෙලාවක්... නහය හිරවෙනවා.... 

නංගි ... මොකද ඔයාට....”

අංජු අයියට තේරෙන්න ඇති මං මං නහය ඇඳ ඇඳ දඟලනකොට... 

හෙම්බිරිස්සාව අයියේ.... හුස්ම ගන්නත් බෑ.... 

මං ලෙඩා දුකා වගේම කිව්වා.... සුදු අයියාවත් හිටියනං.... හේත්තුවක් දාගෙන යන්න තිබ්බා... මං සීට් එකට ඔලුව තියාගත්තා... 

Monday, April 8, 2013

එයාට හැමදේම විහිළු... පාරමී දම් 10 කොටස






ඉතිං... මට කිරිබත් කෑල්ලක් කවන්නේ නැද්ද.... 

අප්පච්චි එහෙම අහගෙන මං ළඟට ආවා.... අම්මා ලෑස්ති කරපු කිරිබත් පිඟානෙන් කෑල්ල ගානේ අම්මටයි අප්පච්චිටයි කවලා සුදු අයියට කවන්න ගියාම පෙරේතයා වගේ මගේ අතත් එක්කම කෑවා.... 

ඒ අස්සෙම මං දැක්කේ අයියගේ අත බැන්ඩේජ් කරලා තියෙනවා... මෙයා මේ දවස් ටිකට මක් කර ගත්තද....මං අහගන්නම්කෝ.... 

කාලා බීලා ඉවර වෙලා කට්ටියම වෙන වෙන කතාවල එල්ලිලා ඉන්නකොට මං සුදු අයියවම ඇඳගෙන සාලෙට පැන ගත්තා... 

කොහෙද දුවන්නේ මෝඩියේ....

එහෙම අහගෙනම සුදු අයියත් මගේ පස්සෙන් ආවා..

දැං ඉතිං ලොකු ගෑණු ළමයි දඟලන්නේ නෑ... 

අනේ මේ .. ඔයා පණ්ඩිතයා නොවී ඉන්නවා... ඒක නෙවෙයි... අතට මොකද්ද කර ගත්තේ.... 

මොකද්ද... මේකද... මුකුත් නෑ සුද්දියේ.... 

මෙහෙම හරි යන්නේ නෑ මෙයාට....

එදා මට ඇහුනා ඔයා කෑ ගහනවා සුදු අයියේ... කියන්න... මොකද උනේ....

මං සුදු අයියගේ ඇස් දෙක දිහාම බලං ඇහුවා... 

ලොකු දෙයක් උනේ නෑ සුද්දි.... එදා කැවුම් හදද්දි මගේ අතට තෙල් විසි උනා... ටිකක් පිච්චුනා... 

සුදු අයියා මගේ කර වටේට අත දාගන්න ගමන් කිව්වේ... ඒත් මං දන්නවා ටිකක් නෙවෙයි ගොඩක් පිච්චිලා කියලා.. එදා ගේ ඇතුලේ ලොකු කලබලයක් දැනුනා මට....

ගොඩක් පිච්චුනා නේද.... 

මං අයියගේ අතින් අල්ලගෙනම උරහිසට හේත්තු උනා... 

මං හින්දා ඔයා තුවාලත් කර ගත්තා නේද... දැන් අත කැත වෙයි...

නෑ සුද්දි... එහම කියන්නෙපා... ඔයා නිසා නෙවෙයිනේ මේක උනේ... මං එතන දඟලපු නිසා නේ... 

සුදු අයියා මාව තුරුළු කරගෙන කිව්වේ... මට ඒකට ගොඩක් දුක හිතුනා... අයියා කොච්චර දෙයක් උනත් මං වෙනුවෙන් දරාගන්නා කියලා මං දන්නවා.... 

තව එකක් තියෙනවා අහන්න....

ඒ පාර මොකද්ද...

මගේ යාලුවෙක් කිව්වා බිග් ගර්ල් කෙනෙක් උණාම අයියලා ගාව නිදාගන්න දෙන්නේ නෑ කියලා....

මං හිමීට බිම බලං ඇහුවා... මේ බිග් ගර්ල් කතාව ගැන කතා කරන්න මට හරි ලැජ්ජා ඇයිද මන්දා... 

ඉතිං...

සුදු අයියා හිනාවෙනවා මට දැනුනා...

ඉතිං.. මට ඔයා නැතුව නින්ද යන්නේ නෑ නේ...

අනේ.. අනේ... මෙයා හිතලා තියෙන දුර...

සුදු අයියට නම් ඔක්කොම විහිළු... 

මං විතරක් යැ දුර හිතුවේ..

එහෙනං.. කවුද තව...

ඇයි ඔයා.... ඔයානේ මට තැල්ලක් දුන්නේ... මනමාලියෙක් වෙන දවසට දාන්න කියලා.. ඒවට තව කොච්චර කල් තියෙනවද...

මං හිමින් හිනා වෙන ගමන් කිව්වා... 

මේකි පැහිලා වැඩියි... 

සුදු අයියා මගේ කනෙන් අල්ලගෙන නැගිට්ටා...  

සුදු අයියේ ... මේ....

ඒ පාර මොකද... 

ඔයා යාලුවන්ට කිව්වද...

මොකද්ද..

මේකා නම් හරිම හොරෙක්... දන්නෑ වගේ අහන හැටි.... 

මොකද්ද කියලා අහන්නේ..

මං නහයෙන් ඇඬුවා....

ආ.. කිව්වා කිව්වා... අන්න උන් ටික කේක් කන්න බලං ඉන්නවා....

හරි නරකයි සුදු අයියේ ඔයා...

මං එයාගේ අත ගසලා දැම්මේ තරහින්... ඒත් එයා නම් හිනා වෙනවා විතරයි... එයාට හැමදේම විහිළු... 



මතු සම්බන්ධයි.....