Monday, May 13, 2013

බුද්ධාගම සහ බුද්ධ දර්ශනය ගැන මට හිතෙන හැටි....




මේ දවස්වල හොදටම විකුණන්න පුළුවන් දේ තමයි මට පේන විදියට බුද්ධාගම... ඒක නිසා මාත් මේ ලෑස්ති වෙන්නෙ රොටියක් පුච්චගන්න...

මේක ලියන්න හිතුනේ පහුගිය ටිකේ දානමානාදිය මහ ගොඩකට යන්න වෙච්ච නිසා... සමහර ඒවා මළගිය ඥාතීන් සිහිපත් කරලා දීපු දාන... තව ඒවා අවුරුද්දකට සැරයක් අනිවාර්යයෙන්ම දෙන දාන... තව සමහර ඒවා පන්සල්වලට දෙන දාන... කොහොම හරි ඔක්කොම දාන පින් සලකා කරපුවා නේ... ඒක නිසා ඒවට මං මුකුත් කියන්නේ නෑ.. හැබැයි මං මේ ලියන්න කියලා හිතුවේ ඕවා ගැන නෙවෙයි... 



පටන් ගන්න කලින් මට අහන්න ප්‍රශ්නයක් තියෙනවා... මේකට තමන්ට හිතෙන හැටි කිව්වට කමක් නෑ... 

බුද්ධාගම සහ බුද්ධ දර්ශනය කියන්නේ දෙකක්ද? එකක්ද? 

දැන් එකපාරටම මම ඔහොම ඇහුවේ පහුගිය සෙනෙසුරාදා සහභාගී වෙච්ච දානයක් අතරතුරේදි මං දැක්ක දේවල් නිසා... 

ඔය ගැන මම හිතන්නේ මෙහෙමයි... මගේ අදහස නම් අද පවතින බුද්ධාගම කියන්නේ බුද්ධ දර්ශනය විකෘති වෙලා හැදුන දෙයක් කියන එක... ඒකට බුද්ධාගම විතරක් නෙවෙයි බෞද්ධ සංස්කෘතිය පවා අයිතියි කියන එක... 

මං බුද්ධාගමේ උනේ අම්මයි තාත්තයි උප්පැන්න සහතිකේ ආගම බුද්ධාගම කියලා දාපු හින්දා මුලින්ම.... ඒ කියන්නේ ඒක මවුපිය උරැමයක් කිව්වට වැරැද්දක් නෑ... 

හැබැයි බුද්ධ දර්ශනයේ තියෙන්නේ කෙනෙක් කිව්වටම යමක් පිලිගන්න කලින් නුවණින් විමසා, තේරුම් අරන් පිලිගන්න කියලා... 

එහෙම බැලුවාම මගේ උප්පැන්නේ තියෙන බුද්ධාගම කියන එක බලෙන් මගේ ඇඟේ ගැහුව දෙයක් මිසක් මං තේරුම් අරන් කරේ තියාගත්ත දෙයක් නම් නෙවෙයි.... 

අද වෙනකොට බුද්ධාගම කියන්නේ එක්තරා විදියට සෝබන සංස්කෘතියක් කියලා මට හිතෙන්නේ මේ ගොඩක් දැන්වල කෙරෙන දේවල් දැක්කම... විශේෂයෙන් ගොඩක් මිනිස්සු කරන දානමානාදිය සම්බන්ධයෙන්... සෝබනයට, රැල්ලට බෞද්ධ වීම්, පන්සල් බදාගෙන සිටීම් සම්බන්ධයෙන්.... 

බොහෝ දුරට මම තේරුම් අරන් තියෙන දෙයක් තමයි අද පවතින ජනප්‍රිය බුද්ධාගමේ, බුදු රජාණන් වහන්සේ නමැති මහා දාර්ශනිකයා විසින් ඉදිරිපත් කරන ලද දර්ශනය, යම් තරමකින්වත් ඉතුරු වෙලා නෑ කියන එක... 

අද බොහෝ දෙනෙක් පන්සලට යන්නේ තමන්ගේ හිතට සතුටක් සැනසීමක් ලබාගැනීම සඳහාමද...? ඒ බුද්ධ දර්ශනය පිළිබඳ අවබෝධයකින්ද...?

කරදරයක් ආපු වෙලාවට අන්ධානුභක්තියෙන් පන්සලට දේවාලෙට ගිහින් කරදර දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නද....? 

නැත්තම් අපිත් පන්සල් යනවා හරිද.. කියලා කාට හරි පෙන්නන්න උවමනාවටද...? 

හෙමත් නැත්තම් අපි තමයි හරිම බුද්ධාගම පිළිපදින්නේ, අපේ පන්සලේ තමයි හැම දේම හරියටම කරන්නේ කියන මාන්නයෙන් ඔලුව උදුම්මවා ගැනීමටද...? 

අද තියෙන අසපු, සෙනසුන්, එක එක වෙහෙරවල් එකකවත් ඇත්තටම බුද්ධ දර්ශනය කියන දේ නෑ කියලා මට හිතෙන්නෙ මං ඔය හැම එකකටම වගේ යන නිසා වෙන්න ඇති... ඒ වගේම ගමේ පන්සලටත් ගිහින් තියෙනවානේ... ඇයි මට මේ සංසන්දනය කෙරෙන්නේ මේ තරම්...? මේවයේ වැඩිපුරම තියෙන්නේ බෞද්ධ සංස්කෘතිය විතරයි කියලා මට හිතෙන්නේ...? 

බුද්ධ දර්ශනය කියන්නේ නුවණින් විමසා බලා, අවබෝධ කොට ගෙන තමන්ගේ ජීවිතය ඒ අනුව හැඩගස්වා ගැනීම කියලා මං තේරුම් අරන් තියෙන්නේ... 

නමුත් අද පවතින සමහර ජනප්‍රිය පන්සල් වල තියෙන නීතී රීති සහ යම් යම් ක්‍රියා පිළිවෙත් දැක්කම මේක බුද්ධාගමද, නැත්තම් මොකක් හරි ගෝත්‍රිකව පැවතගෙන එන ආගමක්ද කියලා මට හිතෙන්නේ ඒ තරම් තේරුමක් නැති වැඩ ගොඩක් මං ඒවයේ දකින නිසා... 


පන්සලට සුදු ඇඳිම නීතියක්ද රීතියක්ද එහෙමත් නැත්තම් අවබෝධයෙන් යුතුව කළ යුතු දෙයක්ද....? පන්සලට කොට කලසම් ඇඳගෙන යාම මෝඩකමට, ලොකුකම පෙන්නන්න කරන දෙයක් මිස අවබෝධයෙන් කරන දෙයක් නොවේය කියන එක තේරුම් කරලා දෙන්නේ නැතුව මෙසේ කළ යුතුමයි, නැත්තම් මේ දේ කරන්න, එහෙම නැතුව මේ තැනට එන්න බෑ කියලා නීතියක් පැනවීමෙන් එතන බුද්ධ දර්ශනය කෙලෙසීමක් සිද්ධ වෙන්නේ නැද්ද...? 

බුදු හාමුදුරුවෝ සොහොනක මළ මිනියක් ඔතලා තිබ්බ රෙද්දක් අරගෙන සිවුර පොරව ගත්තා කියන කතාව මං අහලා තියෙනවා.. ඇත්ත උනත් බොරු උනත් ඒකෙන් පෙන්නුවේ අල්පේජ්‍යතාවය මිසක් ලෝබකම වත්, ලොකු කමක් වත් නෙවෙයි... අද අපේ කට්ටිය පන්සලට ඇඳන් යන වස්තරේට ඉඳන් නීති දාගෙන නටනවා.. ඉස්සර මිනිස්සුන්ට නෝ ලිමිට්, ෆැෂන් බග් තිබ්බේ නෑනේ... හැබැයි ගෙදරක ඉන්න හැමෝටම සුදු රෙද්දක්, සුදු සරමක් තිබ්බා... අද කවුරැවත් රෙදි අඳින්නේ නෑ නේ.. සායවල් තමයි අඳින්නේ.. පිරිමි කලසම් අඳින්නේ... ඉතිං සුදු නැත්තම් ලා පාට දිග සායක්, කලසමක් ඇඳගෙන පන්සල් යන එකේ තියෙන වැරැද්ද මොකද්ද කියලා මට තේරෙන්නේ නෑ.... 

මම අවුරදු කීපයක් දහම් පාසල් ගිය කෙනෙක්.. එක එක කාලවලට එක හේතු මත මම දහම් පාසල් ගියා.. ඇත්තටම ඒ කාලේ අන්ධානුකරණයක් මිසක් අවබෝධයක් තිබ්බේ නෑ කියලා පැහැදිලිව කියන්න පුලුවන්... නමුත් අද වෙනකොට මම ඊට වඩා යමක් අවබෝධ කරගෙන තියෙනවා කියලා මම හිතනවා... හැබැයි ගොඩක් නෙවෙයි... 

මම ගිය එක්තරා පිරිත් ගෙයක, සාමාන්‍යයෙන් මළගිය ඇත්තන්ට පින් පිණිස පිරිතක් කියවද්දි ඒක කරන්නේ ගෙදරම නේ... ඒක තමයි සිරිත.... සංස්කෘතිය...  ඒත් මේ ගෙදර අය ඒ පිරිත කියෙව්වේ ළඟ තියෙන පන්සලේ ස්වාමීන් වහන්සේ නමක් ලව්වා... වෙනදට 6.30 - 7.30 වගේ වෙලාවට පිරිතකට ගමටම ආරාධනා කළත් ගොඩක් අය එළියට වෙලා, නැත්තම් කුස්සියට වෙලා තමන්ගේ වැඩ කටයුතු වලට නියැලුනත් මෙතනදි ඒ වගේ දෙයක් සිද්ධ උනේ නෑ.. ආරාධනා ලැබූ පවුලේ සියලු දෙනාම පන්සලේ බණ මඩුවේ බණ අහලා, පිරිකර පූජා කරලා ආපහු ගෙදර ගියා... 

මෙතනදි පිරිකර ගැනත් යමක් කියන්න ඕනේ කියලා හිතෙනවා.... මම දැකලා තියෙනව සමහර පන්සල් වල අ‌ටපිරිකරට ලැබෙන පාත්තර මැසි උඩ, අටු උඩ මලකඩ කාලා, දිරලා යනවා ගොඩ ගොඩවල් පිටින්... එකත් එක්ක ලැබෙන තුන් සිවුරු වලට මොනවා වෙනවද කියලනම් මට අදහසක් නෑ....  මට ඇත්තටම තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි හාමුදුරුවරු මේවා නාස්ති කරන්න පිළිගන්නේ කියලා... ඇයි මිනිස්සු මේවා පුජා කරන්නේ කියලා මේවට වෙන දේ දැන දැනත්... අට පිරිකරක් කියන්නේ ලොකු පූජාවක් කියලා සමාජයේ තියෙන මතය මේකට හේතුව කියලා මට හිතෙනවා.. ඒත් මෙහෙම නාස්ති වෙනවා නම් ඒ අටපිරිකර ලොකු පින් සහිත පූජාවක් වෙන්නේ කො‌ෙහාමද කියලා මට තේරුම් ගන්න බෑ.... 

ඊට වැඩිය ගොඩක් හොඳයි පන්සලේ යම් කිසි දේකට අවශ්‍ය කරන දෙයක් තියෙනවා නම් ඒ සඳහා යමක් කරන එක හරි, ඒ සඳහා මුදල් ආධාරයක් කරන එක හරි.... මගේ අදහසේ හැටියට.... ඉගෙන ගන්න හාමුදුරවරු ඉන්නවා නම් ඒ අයට අවශ්‍ය කරන දෙයක් පූජා කළාට පිනේ අඩුවක් වෙන්නෙ නෑ කියලා මම හිතනවා....  අනවශ්‍ය විදියට නාස්ති වෙලා යන්න, අටපිරිකරක් පූජ කරන්නෙ නැතුව.... 

මම පන්සල් යන්නේ මගේ හිතේ සැනසීමට... ඉස්සරත් එහෙමයි... පුරුද්දට වෙසක් පොසොන් වලට ගියාට, මම සාමාන්‍යයෙන් පන්සලට යන්නේ ගොඩක් සෙනඟ නැති දවස්වලට.. එහෙම ගිහින් ගොඩක් වෙලාවට කරන්නේ පැත්තකින් වාඩි වෙලා හිත නිදහස් කරගන්න බලන එක... ඔය ගොඩක් භාවනා ක්‍රම මම දන්නේ නැති නිසා ඒක මම කරන්නේ සාමාන්‍ය මෛත්‍රී භාවනාවෙන්... එහෙම නැත්තම් ඉතිපිසෝ ගාථාව දිගින් දිගටම මෙනෙහි කිරීමෙන්... ඒක මම කළේ විවේකයක් ලැබුණ වෙලාවට විතරයි... 

මම අදටත් වෙසක් දවසට සිල් ගන්නවා.. හැබැයි ඒ සීලය ගැන මට එච්චර සතුටක් නෑ.. හේතුව මට ඒ මම සිල් ගන්න පන්සල ගැන හෝ ඒ පන්සලේ නීති රීති, ක්‍රියා පටිපාටිය ගැන කිසිම විදියකින් පැහැදීමක් නැති නිසා....  අවුරද්දකට එක සැරයක් මම ඒ කරන දෙයින් සතුටට පත් වෙන කීපදෙනෙක් මම වටා ඉන්න නිසා, මම ඒකෙන් සතුටක්, සැනසීමක් ලබනවා...... ඒ අයව සතුටට පත් කරලා මම ලබන සතුට සැනසීම, අර සීලයෙන් මම ලබන සැනසිල්ලට වඩා ගොඩක් වැඩියි...

සිල් පවාරණය කරලා ගෙදර ආවම මට දැනෙන්නේ මගේ අතින් කෙරෙන්න ඕනේ ලොකු යුතුකමක්, වගකීමක් ඉටු කළා කියන සතුට... ඊට‌ පස්සේ මම වෙසක් කූඩුවක් එල්ලලා, සෙලෝ‌ෆේන් බකට් ටිකක් පත්තු කරලා, අපේ මහත්තයා එක්ක බයික් එකේ වෙසක් බලන්න යන්නේ හරිම සතුටින්... 


මම හිතනවා මේකයි ඇත්තටම අද මට කරන්න කියලා ඉතුරු වෙලා තියෙන එකම දේ කියලා පිරිසිදු බුද්ධ දර්ශනයෙන්.... සෝබන නැති, ලොකු කම් නැති, අනවශ්‍ය ආකාරයේ නීති රීති නැති, හුදෙක්ම තමන්ගේ හිත පිරිසිදුව තබා ගැනීම පවා හරිම අසීරු දෙයක් නිසා, අඩුම ගානේ ඒ ටික වත් කරන්න පුළුවන්නම් ඒකත් ලොකුම දෙයක් කියලා මම හිතනවා... 

මේක එක්තරා විදියකට ගුටි කන කතාවක් නිසා ගොඩක් කල්පනා කරලා තමයි දාන්න හිතුවේ.. ඇත්තටම විවේචනයක් තිබ්බත් නොකිය, නොලිය ඉන්න මතෘකාවක් තමයි ආගම කියන්නේ මේ වෙන‌ෙකාට.... නමුත් අපි ඇත්තටම හිතන දේ හරි හෝ වැරදි උනත් ඒක කීමෙන්, එක්කො වැරදි නම් හරි ගස්සගන්න හරි, මම හරි කියලා තේරුම් ගන්න හරි අවස්ථාවක් ලැබෙනවා... නැත්තම් වෙන්නේ හිතේ නොසතුටින් අනුන් කියන්නං වාලේ, කරන්නං වාලේ යම්යම් දේවල් වලට සහභාගී වෙන්න... ඒකෙන් හිතට සතුටකට වඩා කළකිරීමක් ඇතිවෙන එක වලක්වන්න බෑ මම හිතන්නේ... 

55 comments:

  1. ලංකාවේ ගොඩක් අය කරගත්ත ලොකු වරදක් තමයි බුද්ධාගමයි බුද්ධ දර්ශනයයි පටලවා ගත්ත එක. හැමෝම නිවන් දක්කන්න බුදුහාමුදුරුවන්ටත් ඕන උනේ නැහැ. එත් සමාජයට ඕන උනා යම් ආචාර ධර්ම පධ්ධතියක් හදාගෙන එක අනුගමනය කරන්න.ගොඩක් මිනිස්සුන්ට ඕන තමන් කරන දේම අනික් අය ලවාත් බලෙන්ම හරි කරවගන්න නේ. ලංකාවේ දැන් වෙලා තියෙන්නේ ඕක තමයි.
    කව්ද හරි කියල නෙමෙයි කුමක්ද හරි කියලයි හොයන්න ඕන....

    ReplyDelete
  2. බුද්ධාගම වගේම දර්ශණය ගැනත් මට පොඩි කාළේ ඉඳලා ප්‍රශ්ණ බොහෝමයක් තියෙනවා. කෙසේ නමුත් ආගම් ගැන මම දරන්නේ මාක්ස්ගේ මතය. ඒ මම මාක්ස් කියන්නෙ කව්ද කියලවත් දන්නෙ නැති කාළේ ඉඳලා. දහම් පාසලේදි හාමුදුරු කෙනෙක්ගෙන් මම ඇහුවා. බුදු හාමුදුරුවෝ සියල්ල අවබෝධ කරගත්ත කෙනෙක් නම්. සුද්දෝධන රජ්ජුරුවෝ කියනකම් දෙමව්පියන්ගෙන් අවසර නොගෙන පොඩි දරුවෝ මහණ කරන එක වැරදියි කියලා අවබෝධ නොවුනේ මන්ද කියලා. උත්තරේ දවසෙම දණ ගහගෙන ඉන්න එක. නොදන්න දේ විමසා දැනගන්න නේද හාමුදුරුවරු ඉන්නේ කිව්වම. නායක හාමුදුරුවෝ එයාගෙ අත වේගයෙන් මගේ කනට වැඩැම්මුවා.

    ඇත්ත බෞද්ධ දර්ශණය තුල ඔය සුරංගනා කතා නෑ.. ඒත් අවුරුදු 2500 කට පෙර දෙයක් ගැන උනන්දු වෙන්වට වඩා වත්මන් දාර්ශනිකයන්ගේ අදහස් තොරතු ඉගෙන ගන්න එක ඊට වටිනවා.

    ඇඳුම ගැන නම් මට අහන්න තියෙන්නෙ මෙච්චරයි. කොල්ලන්ට සරම් කෑලියි, කෙල්ලන්ට චීත්ත ගවුමුයි අන්දලා ඉස්කෝලේ යවන්න පුළුවන්ද. කොට කලිසම් ඇඳලා යන්න්න පුළුවන් අන්‍ය ආගමික ස්ථාන මොනවද...?

    ReplyDelete
    Replies
    1. මාතලන් .. වත්මන් දාර්ශනිකයින් තාමත් නොදු‍ටු දේ බුදුන් වහන්සේ වසර දෙදහස් පන්සීයකට පෙර දු‍ටුවා. අර කතන්දර වලින් බුදු දහම මනින්න බෑ,. ඒවා බෞද්ධ සාහිත්‍යය මිස බුදු දහම නෙවෙයිනෙ..

      Delete
    2. මට එක දෙයක් කියනවද සාක්කිත් එක්ක...

      Delete
    3. වත්මන් දාර්ශනිකයෝ තාමත් හොයාගෙන නැහැනෙ නිර්වාණය ....කොහෙන්ද ඒකට සාක්කි ගෙනෙන්නෙ ?

      Delete
    4. බුදු හාමුදුරුවොත් දැක්කද කියන්න කව්ද දන්නේ. එහෙනම් සර්ව බලධාරි දෙවියොත් ඇත්ත.. දැකලා නෑනේ.. කියනවා විතරයි..

      Delete
    5. මුල් කාලෙ තමංගෙ බ්ලොග් එකට ආපු කමෙන්ට් කරුවන්ට තෙරුවන් සරණයි බුදු සරනයි කියල කමෙන්ට් කරපු එක මනුස්සයෙක් අද බුද්ධාගම ගැන මේ විදියට කියනවලු. ඒ කාලෙ එහෙම කිව්වත් වර්තමානයේ ඔහුම පවසන්නෙ ඔහුට ආගමක් නැතිය කියලනෙ. එහෙව් භෞතිකවාදියෙක්ගෙන් මෙවැනි ප්‍රකාශ සිදු කෙරෙන එකත් එක අතකට පුදුමයකුත් නෙමෙයි.

      ඒත් දැනගත් යුතු දෙයක් තිබෙනවා.බුදුදමට සාහිත්‍ය අංගයන්ගෙන් එකතු උනු දේ බොහොමයක් තියනවා. උදාහරණයක් විදියට සිදුහත් කුමාරය ඉපදුනු වහාම සත්පියුම් මත ඇවිද්දාය කියන කරුන ගනිමු. ඒ දේ බුද්ද දර්ශනය තුල පවතින්නා වූ දෙයක් නෙමෙයි. සාහිත්‍ය කරනයේදී බුදුන් වහන්සෙ පිලිබඳ රචකයා තුල ඇතිවෙන ඈසීමිත ගෞරවය කරනකොටගෙන පසුකාලීනව සාහිත්‍යමය වශයෙන් එක්කරන ලද්දක්. බුදුදහම පිලිබද අනිකුත් බෞද්ද ජනයා තුල ගෞරවයක්, ඇල්මක් ඇතිකරවීමත් පසු කාලිනව සිදු උනා. මා දකින විදියට නම් එවැනි දෑ උව බුද්දහම තුල තිබිය යුතුයි. මක් නිසාද බුදුදහම පිලිබඳ ඇල්මක් ඇති නොවී දර්මය කෙරෙහි නැඹුරු වීම අපහසුයි. එක්තරා විඩියකට දර්මය දැකීමට මාවතක් සකසා දීමක්. ඒ නිසා එවැනි සාහිත්‍යමය අංග එක්කල අයට 'බුදුදහම විකුර්ති කරපු කාලකන්නින්' යැයි පවාසා ඔවුන්ගේ මාපියන් සිහිකරණවාට වඩා වැදගට්වන්නේවැනි කරුනු පසෙකලා දර්ම කරුනු අවබෝද කර ගැනීමට උත්ශයක හෝ යෙදීමයි. නමුත් මතුපිටින් එවැනි දේ දැක ඈඳුරේ අතපතගාන මාතලන් වැන්නවුන් එවැනි කරුනු පමනක් අල්ලාගැන ලොව්තුරු බුදුදහම ප්‍රතික්ශේප කරන එකයි ඇති කණගාටුව.

      මෙතන හිරූ පවසා ඇති දේයි මාතලන්ගේ කමෙන්ටුවයි අතරේ කිසිම සම්බන්දයක් මන් නම් දකින්නෙ නෑ. හිරූ කියල තියෙන්නෙ වර්තමානයේ මිනිස්සු බුද්ද දර්ශනය කියන දේ විකුර්ති කර ඇති අන්දම හා පිලිවෙත් වල වැරැද්ද මිසක් බුදු දහමෙ නිවන වැනි දේ 'කව්ද දැක්කෙ ආ කවුද කියන්නෙ නිවනක් වැනි දේයක් තියනවය කියල. ඕක දැකපු කෙනෙක් ඉන්නවද? අපි නං පිලිගන්නෙ අපිට පෙනෙන දැනෙන දේ විතරයි වගෙ පුහු තර්ක නෙමේ.

      පණ්ඩිතයට ඒ දන්ඩෙ යන්න බෑ කියල කතාවකුත් තියෙනවනේ. ඒවගේ තමං දන්න දේ තමයි හරියටම හරි තමන් දෙයක් තේරුම්ගත්ත නම් බුදු හාමුදුරුවො නෙමෙයි කවෘ කිව්වත් ඒක තමයි හරි කියන අධිමානසිකත්ව වල ජීවත්වන්නවුනොවැනිදේ ප්‍රකාශ කරනවා.

      බුදුන් වහන්සේ විසින් දේශනා කරපු දර්මය තුල ඔබටත් මටත් ගත යුතු බොහෝ දේ තිබෙනවා මාතලන්. මේ කියන මට උනත් තියෙන්නෙ බුදුදහම නැමති සාගරයෙ දිය බිදිත්තක් තරමෙ වූ අවබෝදයක්. ලොව් තුරු බුදුදම ඒ තරම් ගැඹුරුයි. ඒ දියබිදිත්තේ උව සාරය වටහා ගැනීමට මගෙ දැනුම මට්ටමින් උස්සහයක යෙදෙනවා විනා බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය තුල ඇති ගැඹුර හරි හැටි නොදැන නිකන් කටමැත දොඩවන්න එක හරිම මෝඩකමක්.

      ඔබ ගැන පෞද්ගලික තරහවක් නෑ මාතලන්. නමුත් කනගාටුයි.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. මමද මෝඩයා ඔබද මෝඩයා..

      හෑල්ල ලියන්න ඉස්සෙල්ලා.. පෝස්ට් එකේ හෙඩින් එකයි කොමෙන්ට් එකයි සිහි බුද්ධියෙන් කියවලා එන්න අවසර. අබිං ගහපු අය ඔහොම තමයි. ඇහේ සුද ඇවිල්ලා තියෙන්නේ.. දෙයක් දකින්න ඉස්සෙල්ලා තිරනයකට ඇවිත් ඉවරයි... මොකෝ පේන්නේ නෑනේ...

      පෞද්ගලික තරහ වෙන්නෙ මොකටද නියම බුද්ධාගම් කාරයෝ. මෝඩයන්ට අනුකම්පා කරනවා හා මෛත්‍රී කරනව ඇර...

      Delete
    8. බුදුන් වහන්සේ නිර්වාණය අවබෝද කරගත්තාය කියන කරුනම සාක්ශි සහිතව ගෙනහැර දක්වන්න යැයි විමසීමම ඔබ සතු පාණ්ඩිත්යත් දැනුවත් භාවයත් මොනවට පැහැදිලි කරනවා. බුදුදහමෙ හරයත් නිර්වාණය. ඒ ගැනයි මම ඔබට පිලිතුරු දුන්නෙ. ඔබ මෝඩයෙක් නෙමෙයි. දැනුම ඇත්තෙක්. නමුත් ස්වකීය දැනුම පිලිබඳ අදිමානයකින් පෙලෙන්නෙක්. ඉදින් ඔබට මෛත්‍රී කරමි. මාතලන් , ඔබ සුවපත් වේවා!

      මගෙ බ්ලොග් එකට ඇවිත් හොද ලිපියක් කොලුවො, අනික් ලිපිත් බොහෝම රසවත් කියල කියලා මට තල්ලුවක් දුන්නෙත් ඔබ. ඒ වගේම ඔබේ බ්ලොගේ පලවෙන ලිපිත් බොහොම ආසවෙන් කියවන්නෙක් මම. ඇතැම් කරුනු පිලිබඳව මට ඔබ සමග එකඟ වෙන්න බැරි උනාට ඔබ එදා මෙදා තුර ලිපි කියවූවෙක් මම. ඔබ සමග තරහක් නෑ කියල කියන්න මට මීට වඩා විදියක් නෑ. ඔබ බ්ලොග් ලෝකේ දැවැන්ත චරිතයක්. ඒහෙව් වූ පලියට ඔබ කියන්නා වූ හැම කරුනම පිලිගන්න අවශ්ය නෑනෙ මාතලන්. මගෙ සිතිවිලි වලට පටහැනි නම් කෙලින්ම මම ඒ දේ කියනව. එපමනයි.
      (පෞදලික තරහවක් නෑ කිව් දේ අවඤ්ඤාවට ලක් කිරීම නිසයි මේ දේ කියන්න උනේ.)

      Delete
    9. මමත් කරන්නෙ ඒකම තමයි. නිර්වාණය කියන දේ වගේම දෙයක් තමයි දැවන්ත චරිත කියන එකත්. ඒවා මිනිස්සුන්ගේ හිතේ මවාගත්ත බොරු. විෂ්වයත් එක්ක ගත්තම. අපි ඔක්කෝම දූවිල්ලක් තරම් වත් වටින අය නෙමෙයි. ළෝකය ගැන තව ඉගෙන ගන්න කොට ඒ දේවල් ඔබට තේරේවී. කිසියම් දෙයකට වහල් උනොත්. එතනින් එහාට ගමන් කරන්න අමාරුයි. රටේ ප්‍රජාතන්ත්‍රය ඉල්ලනවා වගේම, සිතටත් ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න ඕනා. මම ඇසුරු කරන අය දන්නවා මම අදිමානයකින් පෙලෙන්නෙක්ද එහෙම නොවෙන්නෙක්ද කියන එක. ඒ ඔබ මා දකින් විදිය. මට ඒකට කරන්න දෙයක් නෑ. මම කරේ හිරු අහපු ප්‍රශ්ණයට මගේ අදහස ප්‍රකාෂ කිරීම පමණයි. ඒකේ එල්ලිලා පෞදගලිකත්වයහ් මඩ ගහලා කුඩුකරලා දාන්න කියලා කියලා දේශනා කරලා තියෙන්නේ, බුදුන් දෙසූ සූත්‍රයකද, එහෙම නැත්නම් නානසාර දෙශණා කල සූත්‍රයකද...?

      Delete
    10. /// ගෞතම බුද්ධ දර්ශනයේ න්‍යෂ්ටියට අත නොතබා, පරිධියේ පවතින, ඒ ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටම් හා බැදුනු විවිද වත් පිලිවෙත් හා ඇදහීම ක්‍රම, පුහු පණ්ඩිතමානයෙන් විවේචනය කරන්නවුන් බ්ලොග් අවකාශයේ අඩුවක් නෑ.///

      මහායානයද? ථේරවාදයද?

      Delete
    11. කොහොමත් ආගම කියන්නේ යම් කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට අදාල දෙයක් විදියට මම දකින්නේ... ඒක නිසා මේ වගේ මාතෘකාවක් කතා කරද්දී යම් තරමකින් පෞද්ගලිකත්වය ප්‍රශ්න කිරීමට ලක් වෙනවා.... නමුත් ඒක මඩ ගැහීමක් තරම් දුරට අරන් යන්න තරම් අපි ගෝත්‍රික විය යුතු නෑ කියලා මම හිතනවා....

      Delete
  3. අපි කිරිස්තියානි...

    ReplyDelete
    Replies
    1. at සහන්
      දේශකයා ඇත්තට කිව්වද බොරුවට කිව්වද මම දන්නේ නැහැ හැබැයි බන් මොකක්ද ඕකේ ලොලේ? ක්‍රිස්තියානි කිව්වම එච්චරට ලොල්ද බන්? අනේ මන්දා!!!

      Delete
    2. නිසාන් මම ක්‍රිස්තියානි ආගමට නිග්‍රහ කරන පරමාර්ථයෙන් ලොල් යන යෙදුම භාවිතා කරේ නැහැ.මට මේ දැනුත් හිනා යනවා දේශා " අපි කිරිස්තියානි..." කියලා කියපු විදිහට. මේකට මචන් මන් වැරදි කාරයෙක් නෙවේ .මාව වරදට පොළඹවා ගත්ත දේශාගේ තමයි වරද ...

      අනිත් දේ තමයි නිශාන් 1800 ගණන් වල ලංකාවේ බාගෙට බාගයක් අය ක්‍රිස්තියානි . පස්සේ නැවත බෞද්ධ උනා සමහරු. උබලා උනේ නැහැ .අපි උනා ... ( දැන් කියන්න එපා වෙන අමතර කතා .ඔතොකොට අපිට 1800 කළින් වෙච්ච දේවල් ගැන කතා කරන්න වෙනවා )

      උබ මේ සිද්දිය ආගමික කෝණයෙන් බලපු එක වැරදි.( මන් කිව්වේ දේශගේ කමෙන්ට් එක ගැන ) මීට වඩා පුළුල්ව හිතන්න මල්ලි.ආගම කියන්නේ අමුතු භාණ්ඩයක් . ඒ භාණ්ඩේ වැරදි කොන් වලින් අල්ලන් නටන්න ගියොත් නම් ගමන කෙටියි...!

      Delete
    3. උඹේ ලොල් එක ගැන මීට වඩා පුළුල්ව හිතන්නේ කොහොමද බන් සහන් අයියේ නිකන් විහිලු කතා නොකියව හිටු,

      \\ඒ භාණ්ඩේ වැරදි කොන් වලින් අල්ලන් නටන්න ගියොත් නම් ගමන කෙටියි...!//
      උඹලා දැන් හෙන චන්ඩි වෙලානේ ඈ කතා කරන්නත් බයයි

      Delete
    4. \\\නටන්න ගියොත් නම් ගමන කෙටියි...!///
      ගොඩක් බය හිතෙනවා නේද ? :D


      \\\ආගම කියන්නේ අමුතු භාණ්ඩයක් . ඒ භාණ්ඩේ වැරදි කොන් වලින් අල්ලන් නටන්න ගියොත් නම් ගමන කෙටියි...! ///

      සේරම ටික එක්ක quote කරන්න .ඔතොකොට බය හිතෙන්නේ නැහැ නෙව. :P

      ආගම තමයි මේ හැම දේටම මුල නිශාන්. මන් හිතන්නේ අපි දෙන්නා මේක මීට වඩා කතා කරන එකත් හරි නැහැ.අවසාන වශයෙන් කියන්න ඕනේ ක්‍රිස්තියානි භක්තිකයන්ට සිත් රිදවීමක් වී ඇත්නම් සමාව අයදිමි...! ( හැබැයි මම ආගමකට අපහාස කරන අරමුණින් කිව්වත් නම් නෙවේ .ඒකත් කියන්න එපැයි. )



      Delete
  4. "මිනිසා ආගමේ වහලෙක් නොවිය යුතුය"..එහෙම කතාවක් තියනවනේ.. අද කාලේ මිනිස්සු ආගම අදහන්නේ සෝබනේට.. ෆේස්බුක් එකේත් ඔය සම්බන්ධව හෙන භක්තියෙන් කතා කරන්නේ රහත් වෙන්න ඔන්න මෙන්න ඉන්නවා වගේ. ඒත් පන්සිල් පද පහ හරියට දන්නේ නෑ. එතනත් වෙන්නේ සොබනේ පතුරවන එක.

    සිල් ගන්නේ රටට පේන්න, දාන මාන දෙන්නේ රටට පෙන්න. ගොඩක් වෙලාවට අටපිරිකර අරන් එන්නේ පන්සලේන්මයි. සල්ලි පන්සලට දෙනවා. හාමුදුරුවෝ තියන අටපිරිකරක් දෙනවා. මට හිතෙන්නේ එතන සංකේතාත්මක පුජා කිරීමක් වෙනවා කියලා.

    එත් අක්ක කියනවා වගේ පන්සල් වල දිරල යන්න අරිනවට වඩා ඒ සල්ලි ඉගෙන ගන්න හාමුදුරු කෙනෙකුට දෙන එක ඊට වඩා වටිනවා. කාලයක් එක්ක බුදු දහමට එකතු වුන දේවල් තියනවනේ. පන්සීය පනස් ජාතක කතා පොත එහෙම නිර්මානයක්නේ නේද ?

    ReplyDelete
  5. බුද්ධාගම කියන එක තේරුම් ගන්ට ඕනි දර්ශනයක්. ඒත් සාමාන්‍ය මිනිස්සුන්ට ඒක නොතේරෙනකමට එක එක දේවල් එකතු කරගන්න අවස්ථා තියෙනවා. ඔය මොනා උනත් අපිට දුකක්, කරදරයක්, ලෙඩක් උනාම තමා අපිට පන්සල හරි පල්ලිය හරි කෝවිල හරි මතක් වෙන්නේ. ඒ ගැන උපහාසෙන් කතා කරන අය පවා බෝධි පූජා පවත්වනවා, කෝවිල්වලට දුවනවා මම දැකලා තියෙනවා.

    ආගමක් අදහන්ට ඕනි හිතේ සැනසිල්ලට. ඒ ගැන අදහස් දක්වන එකත්, තර්ක විතර්ක කරන්න යෑමත්, ඒ සැනසිල්ල නැති කරගන්න දෙයක් හැටියට තමා මට නම් පේන්නේ.

    ReplyDelete
  6. හිරු කියන අදහස් බහුතරයක් එක්ක මමත් එකඟයි.. බොහොම ඉස්සර බුද්ධාගම කියල දෙයක් තිබ්බෙ නෑ. ඔය නම ආවෙ බටහිරෙන්.. මුලින්ම බුදු දහම වැලඳගත් අය හැඳින්වුයේ සම්මා දිට්ටි සාමාජිකයින් හැටියටයි.. අද අපේ රටෙ අදහන ආගම බුදු දහමේ පිට ඔපයෙන් පාට වෙච්ච පූජාවිදිවලින් සමන්විත සංස්කෘතියක්.. තායිලන්තය බුරුමය වගේ රටවල දුර බැහැර පලාත්වල බුදුන් අනුව යමින් නියම හරය වැලඳගත් මාර්ග පල ලාභීන් ඉන්නවා. නියම ධර්මය පිලිපැදීම කියන්නෙ ජීවිතයේ ස්වභාවය වටහාගෙන නිවනට පිවිසෙන මගට අවතීර්ණ වීමයි.. අද ලංකාව පූජා විදි පස්සෙ ඇවිදිනකොට බටහිර ලෝකයේ සැබෑ බුදු දහම පැතිරෙනවා. ඒක තේරෙන්නෙ මේ රටවල සංචාරය කරනකොටයි..

    ReplyDelete
  7. ඔය දේවල් ගැන මතකද මාත් ආව මුල් කාලේ පෝස්ට් එකක් දැම්මා හිරු.ඒකෙත් මම කතා කරේ මේ සම්බන්ධ දේවල් තමයි. මෙතන වැඩේ හිරු අදට උනත් ඉන්නවා 100% බෞද්ධ ක්‍රමය අනුවම ඉන්න 100% විනය ධාරී භික්ෂූන් . ඒ අතරම විනය කර්ම කරන තැනම *******************************************************************************************************************************************************************************************************************************************
    .

    ඉතින් අපි කාටද කියන්නේ .මගේ මේ කණට ඇහුණා එක හාමුදුරු කෙනෙක් කියනවා විනය පිටකය තියෙන්නේ රහතන් වහන්සේට මිස පෘතක්ජන භික්ෂුවට නෙවේලු. කාටද අනේ ඒවා කියන්නේ ඔතොකොට ? රහතන් වහන්සේ කෙනෙකුට ආයේ විනය පොත් පෙරල පෙරලා විනය රකින්න දෙයක් තියේද ? එහෙම දේකවත් අවබෝදයක් නැති හෝ / සිතා මතා නොමග යවන භික්ෂූන් ඉන්නේ. ( ඕනේ නම් පන්සල , භික්ෂුවගේ නම උනත් එළි කරන්න පුළුවන් පුද්ගලිකව විමසන කෙනෙක්ට ) ඉතින් හිතන්න ඔය හාමුදුරුවන්ගේ ගෝල හාමුදුරු වරුන්ට වෙන දේ ගැන. උන්වහන්සේලා පටන් ගන්නෙම වැරදි තැනකින් ..අවසානය කොහොම වේවිද ඉතින් ...........?


    එහෙම පිරිසකගේ කියුම් කෙරුම් තමයි අපි මේ දකින්නේ. සමස්ථ ජනතාවම සිතා මතා නොමග යවන පිරිසක් ඉද්දි සාමාන්‍ය ජනතාවටත් 100% දොස් කියන්න බැහැ .

    ඒ වගේම සාමාන්‍ය ජනතාව අතරට 100% නිවැරදි ධර්මය නොයන එකත් මේ පිරිහීමට හේතුවක්. මොකද අරණ්‍ය ගතව ඉන්න භික්ෂූන් එන්නේ නැහැ / අඩුයි සාමාන්‍ය පරිසරයට. ඉතින් නාගරිකව පැතිරෙන්නේ සම්පූර්ණ විකෘති දහමක්. කාටද අපි මේකට එක හෙලා දොස් කියන්නේ වැටත් නියරත් ගොයම් කද්දී හිරු .......?

    දැන් ඉන්න භික්ෂූන් දේවාල වල කපුවෝ වගේ. සම්පූර්ණ සේත් ශාන්ති , දිව්‍ය ලෝක ලොතරැයි නියෝජිතයෝ වගේ.( මට නම් ගම් එක්ක කියන්න පුළුවන් අහන කෙනෙක්ට ) අන්තිමට බෞද්ධාගම කියන්නේ අර අමිල කියනවා වගේ දිව්‍ය ලෝක එන්ට්‍රන්ස් එකට පොර්ට් එකක් වෙලා ඉවරයි දැන්.

    දින 7 ක බෝධි පූජාවකින් තව්තිසා උප්පත්තියකට / සැපයට උබටත් වරම් ..
    අමතන්න silentsahan .ස්කයිප් මගින් සේවය නොමිලේ පැය 24 පුරා ...



    කමක් නැහැනේ අනේ මේ අස්සේ මගේ add එක ගැහුවට හිරු...?

    ReplyDelete
    Replies
    1. **** ඔබටත් වරම්
      සැහ් කටවුට් එකේ අකුරු එහෙ මෙහෙ වෙලානේ.

      Delete
    2. නියම කතාව ඇත්තටම ඕනෑම දෙයක් කරලියට අවම එක විකුනන්නේ කොහොමද කියල කට්ටියක් බලන් ඉන්නවා.සමහර වෙලාවට හිතෙනවා තමයි බුදුහාමුදුරුවෝ බුදු උන එකෙන් ගොඩක් උන් ලබාගත්ත ප්‍රයෝජනේ තමයි business ගොඩදාගත්ත එක election දිනපු එක කියල.

      Delete
  8. එකෙන්ම බුද්ධ දර්ශනය එයයි වැදගත් බුද්දාගම අපි ඉස්කොලේ ඉගෙන ගත්ත සබ්ජෙට් එකට කිව්ව නම නේව හික්ස් අනික මාකටින් කාරයෝ සහ මුදලාලිලා මාකටින් වැඩවලට දාගත්ත නමත් බුද්දාගම තමයි

    ReplyDelete
  9. හ්ම්ම්, දැන් නං මේ ලෝකේ පිරිසිදු බුද්ධ දර්ශනය ගැන අවබෝධයකින් කටයුතු කරන අය නැත්තට ම නැති තරම්. අපි වුණත් සමහර වෙලාවට මොන තරම් වැරදි දේවල් කරනව ද ඒ නිර්මල දර්ශනයට අනුකූල නොවන! හිරු අක්කා මේ කතාව කිව්ව ම මතක් වුණේ. මේ ළඟ දී මම ගියා කොළඹ පැත්තේ තියෙන්නේ පන්සලක බණක් අහන්න. ඒක කෝටිපතියන්ගේ පන්සලක් කියන්න පුළුවන්. මොකද සියලු ම දායකයෝ රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ, ලොකු ලොකු තනතුරු තියෙන උදවිය. ඒ සියලු දෙනාට පන්සල කියන්නේ තමන්ගේ ලොකුකම පෙන්නන තවත් එක තැනක් විතර යි. ඇත්තට ම ඒ දර්ශනය නං හරි ම පිළිකුල් සහගත යි. ඇවිත් හිටිය හැම දෙනා ම සිංහල කතා කරන්න බැරි, රත්තරං පොරව ගත්ත, රෙදි එහෙම බොහොම අරපිරිමැස්මෙන් පාවිච්චි කරන අය! ‍අනේ ඉතින් මේවා අපිට නතර කරන්න පුළුවන් දේවල් නොවුණත් තම තමන් තැනකට යන්න කලින් හිතනවා නං ඒ යන තැන මොන වගේ ද කියලා ඒක කොච්චර දෙයක් ද?

    ReplyDelete
  10. දේශපාලනය, ආගම වගේ මාතෘකාවල ගැන කොච්චර කතා කලත්, වාද කලත් අන්තිමේදි හැමෝම තමන් හිටපු තැන්වලමයි. කතා කරලා දිනන්නත් බෑ. ඒ නිසාමද මම දන්නේ නෑ මම කතා කරන තැනක වත් ඉන්නේ නෑ. තව මාතෘකා කීපයක තියෙනවා ඔය වගේ.

    ReplyDelete
    Replies
    1. අපි යං අනේ යන්ඩ

      Delete
    2. මාත් එනවා බොලා දෙන්නත් එක්ක. ඔහොම හිටහල්ලා.. කමෙන්ට් ටික කියවලම මගෙ ඇඟත් රිදෙනවා... :D

      Delete
    3. අනේ මාවත් අරන් පලෝ, උදේම කමෙන්ට් කියවල මගේ ඔලුවත් අප්සෙට් උනා.. මටත් හිතෙන්නෙ ඩූඩ් අයියා කියපු දේමයි අනික මේ තරම් දේවල් කතා කරන්න මගේ දැනුම හොදයි කියලා මම හිතන්නෙ නෑ..

      Delete
    4. මාත් එනව හෙන්රියො. මේව ගැන කතාකරන්න අපි මහමෙවුනා (pvt) එකෙන්වත් බණ අහල එන්න ඕනනෙ.

      Delete
  11. අද තියෙන්නෙ හිරූ සෝබන බුද්ධාගම හුඟක් තැන්වල,පොඩි මූලධර්මවාදයකුත් බැලුවම පෙනෙනවා

    ReplyDelete
  12. මිනිසා ඇතුළු සත්වයාට මූණ පාන්ඩ වෙලා තියෙන ස්වාභාවික තත්වය තමයි බුදුන් අවබෝධ කර ගත්තෙ...ඒ නිසාම ඒ අවබෝධ කර ගත් දැනුම සර්වකාලීනයි...අභිධර්ම කොටස් වල තියෙන හරය ලෝකය තාක්ෂණික අතින් පරතෙරට ගියත් වෙනස් වෙන්නෙ නෑ.ඒක පරම සත්‍යයක්. විද්‍යාව හමුවේ අනිත් ආගම් වල ප්‍රධාන හරයන් ප්‍රශ්ණ කිරීම් වලට භාජනය වුනත් බෞද්ධ දර්ශණය තව තවත් දීප්තිමත් උනා. බෞද්ධ සාහිත්‍යයේ තියෙන කොටස් ප්‍රශ්ණ කිරීම්වලට භාජනය වෙන්න පුළුවන්. නමුත් බෞද්ධ දර්ශනය..ලෝකයේ අවසානයටම ඉතුරු වෙන දේ බෞද්ධ දර්ශනය කියලා කියවෙන්නේ ඒ නිසයි..

    ReplyDelete
    Replies
    1. කවිද වෙනී එහෙම කියලා තියෙන්නේ. අර ඇපල් විකුනපු මහත්තය කියපු කතාවද..? අනෙක් ආගම් වලත් කියන්නේ ඔය දේමයි...

      Delete
    2. ඒ කතාව කිව්වෙ ආචාර්ය සිරිල් පොන්නම්පෙරුම තමයි තමන්ගෙ දේශනයකදි. මාතලන්ගෙ ආගම මොකද්ද කියලා මම දන්නෙත් නෑ..දැන ගන්න ඕනෙත් නෑ. ඒත් මම ඉගෙන ගෙන තියෙන සමාන්තර ආගම් ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම විද්‍යාත්මක සොයාගැනීම් හමුවේ බොහොම අභියෝග වලට මූන පෑව බව හැමෝම දන්නවනෙ. නමුත් ක්වොන්ටම්වාදය හමුවේ පවා නොසැලී සිටින්නේ බෞද්ධ දර්ශනය විතරයි. හිත රිදෙනවා නම් ඔතන බෞද්ධ දර්ශනය කියන වචනය වෙනුවට ස්වාභාවික නියමයන් වගේ වචනයක් යොදා ගන්න. මොකද ඔය වචන එක්ක අපේ හිත ඇතුලේ සංජානනය වෙලා තියෙන අදහස් අරටු වලින්ම තමයි බහුතරයකගේ විවෘත නොදහස් චින්තනය වැහිලා තියෙන්නෙ...

      Delete
    3. වචන නිවැරදි කිරීම - නිදහස් චින්තනය විය යුතුයු. අචාර්ය සිරිල් පොන්නම්පෙරුම ඇපල් විකුණුවාද කියලා නම් මම දන්නෙ නෑ..

      Delete
    4. කේන්ති ගන්න කාරි නෑ. මොකක් හරි දෙයක් අළුතෙන් සොයාගත්තාම ඕක බුදු බනේ තියෙනවා කියන්නේ අපේ මිනිස්සුනේ. (මමත් උපතින් බෞද්ධ. ඒ වගේම බුදුන්ට විතරක් නෙමෙයි තවත් බොහෝ දෙනෙකුට ගරු කරනවා. නමුත් ඔවුන්ගේ දේවල් ගැන මට ප්‍රශ්ණ තියෙනවා. ඒවට උත්තර කා ළඟවත් නෑ.) එතකොට ඔබ මට කියනවද පරමාණුකවාදය, කොන්ටම්වාදය, ගැන බෞද්ධ දර්ශණයේ සඳහන් වන තැන්.

      මේ මගේ මතය වෙනි. සිද්ධාර්ත කුමාරයා වගේ අය අදත් සිටිනවා. ඒ තමයි අධික සැප සම්පත් හමුවේ ජීවිතය කළකිරෙන මිනිස්සු. සමහර අය, ශාන්ත වූ ආගම් කෙරේ යොමු වෙනවා. සමහර අය මත්ද්‍රව‍ය කෙරේ යොමු වෙනවා. මේ ගැන වෙනී දන්නවනේ මට වඩා. එහෙම බන භාවනා කෙරේ යොමුවන කෙනා, රූපයෙන් හෝ කිසියම් දෙයකින් විශේෂිත වූ පුද්ගලයකු නම් ඔහු වටා අනුගාමිකයින් බිහිවනවා. බුදුන්, යෙසුස්, පමනක් නෙමෙයි අදටත් ඕෂෝලා, සායිබබාලා, ගාන්ධිලා, නෙල්සන් මැන්ඩේලලා විතරක් නෙමෙයි, මයිකල් ජැක්සන්, එල්විස් ප්‍රෙස්ලිලා බිහිවෙන්නේ ඒකයි.

      ආගම් කියන්නේ තවත් ජීවන මාර්ගයක් පමණයි... සල්ලි නැත්නම් පාෂුකූලෙටත් හාමුදුරු කෙනෙක් හොයා ගන්න බෑ... ඇත්ත කතාව ඒකයි...

      Delete
    5. තරහ ගනී කියලා තියෙන පූර්ව නිගමනය අයින් කරමුකො..

      මාතලන් ඔබට ඔය තියනවයි කියන ප්‍රශ්න වලට ඔබට සැබෑවටම උත්තර හොයන්න අවශ්‍යතාවයක් තියෙනවද කියන සැකයක් මට තියෙනවා.

      මටත් ඔය ප්‍රශ්නය තිබුනා අවුරුදු 20කට කලින්. මම සෙව්වා. මා තුලින්ම සහ අන් අයගේ ලියවීම් තුලින්..එතකොට මට කියවන්න සිද්ධ උනේ රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් වල ඉඳලා ආචාර්ය ග්‍රැන්විල් ධර්මරත්න වගේ අයගේ ලියවිලි. තව ගොඩක් තියෙනවා ඔය වගේ බෞද්ධ දර්ශනයේ විද්‍යාත්මක පැත්ත ගැන ලියවිච්ච දේවල්..පොත් පත්, සඟරා ඕනි තරම්. ඔබට මේවා ගැන දැන ගන්න සැබෑ උවමනාවක් තියෙනව නම් හොයා ගෙන කියවන්න. බොරුවට නිදා ගෙන ඉන්න කෙනෙක් ඇහැරවන්න පුළුවන් ජගතෙක් ලෝකෙම නෑ කියනවනෙ..
      ඔබේ පහුගිය පරිචය මම දැකපු සහ අධ්‍යයනය කරමින් සිටින විදියට නම්...ඔබට අන් අයගේ මතයන් ගැන විරෝධාකල්ප තියෙනවා. ඒවා ප්‍රකාශ කරනවා. තර්ක විතර්ක ගොඩ නගමින් ගැටෙනවා. ඒත් ඔබට සැබෑ උවමනාවක් නෑ ඔබම නොදන්නවා යැයි සහ ඔබට ප්‍රශ්න තියෙනවා යැයි කියවන ක්ශේත්‍ර වලට උත්තර හොයා ගන්න. ඔබ ඔබම මේවාට උත්තර හොයා ගන්නා තාක් කල් ඔබගේ මේ ක්‍රියාව දිගටම යයි. ඔබ ඔබගේ ප්‍රශ්න වලට උත්තර හොයන්නේ වෙන අයගෙන්. ඒ වෙනුවට ඔය බඹයක් විතර තියෙන ශරීර කූඩුවෙ සිද්ධ වෙන දේ එළඹ සිටි සිහියෙන් තෑරුම් ගන්න බලන්නකො. ඒකත් මම කියන නිසා නෙවෙයි ඔබට අවශ්‍ය නම් විතරක්..

      Delete
    6. ඔය කියන ඒවා මම කියවලා නෑ කියලා ඔබ නිගමනයකට එන්නේ කොහොමද? ඕවා කියවන්නෙ නැත්නම් ඒ දේවල් බොරු බව මට දැන ගන්න විදියක් නෑ. මම සුරංගනා කතාවලටත් ආසයි. ඒත් ඒවා පිලිගන්නේ නෑ. ගැටළු තියෙනවා. ගැටළුවලට උත්තර වෙනුවට කවදත් ලැබෙන්නේ ගැරහුම් පමණයි. ඒ කියන්නේ උත්තර නෑ කියන එක.

      Delete
    7. බෞද්ධ දර්ෂනය කියන්නේ සර්වකාළින දෙයක්වත්, පරම සත්‍යය වත් නොවෙයි. කෙනෙක් ජීවීතය දුටු ආකාරය. යේසුස් දැක්කේ වෙන විදියකට, මාක්ස් දැක්කේ වෙන විදියකට. ඊට පස්සේ ඉන්නේ ඒ දර්ශනය තුලින් තම ජීවීකාව ගෙනියන පිරිසක්. මගේ ජීවීතය හැඩ ගසා ගැනීමට, බුදුන්ගේ දර්ශණය පමණක් නොවෙයි, යේසුස්, ඕමාර් කයියාම්, මෝසස්, ඕෂිසම් පමණක් නොවෙයි ඉස්ලාම් දහම පවා උපකාරි වී තියෙනවා. ඔබලාට වෙලා තියෙන්නේ බුද්ධාගම පමණයි කියවීමේ කරුමයයි..

      දැන් ඇති මචං. මේ ගැන වාද කරන්න මම කැමතියි. ඒත් පෞද්ගලිකත්වයට ගහන මිනිස්සු එක්ක නෙමෙයි.

      විවාදයක් සංවාදයක් නැතිනම්. බ්ලොග් වලින් ඇති වැඩකුත් නෑ...

      Delete
    8. ඔව් මචං ඔය මදැයි..
      \\පෞද්ගලිකත්වයට ගහන මිනිස්සු එක්ක නෙමෙයි.\\
      මේ කවුද බන් ? මම නම් උඹෙ පෞද්ගලික මුකුත් නොදන්න නිසා හොඳට ගියා..
      දවසක සෙට් වෙමු රෙඩ් ලේබල් එකක් වත් අරන්..එතකොට අර මාරයාට හෙන්‍රිට වගේ මඩ පෝස්ට් එකක් හරි ලියන්න පුළුවන්නෙ..

      Delete
  13. මේ කියල තියන බොහොමයක් දේවල් එක්ක එකඟ වෙනවා. දහම්පාසල් ගුරුවරයෙක් හැටියටත්, අවරුදු 14ක ශිෂ්‍ය ජීවිතෙනුත්, මම බෞද්ධ ආගමේ සහ බෞද්ධ දර්ශනයේ වෙනසක් තේරුම් ගත්ත. ඇත්තෙන්ම අද බුද්ධාගම කියන්න ආගමක් ඉතිරි වෙලා නෑ. අද තියන්නේ අච්චාරුවක්. ඇත්තම බුද්ධාගමේ තියන්නේ සම්මා දිට්ඨියෙන්, සම්මා ආජීවයෙන් මේ සංසාරයෙන් එතෙරට යන්න කියල දීල. ඒ ගමන යා යුත්තේ සරල බව හරහා. ඒ තුල ආශීර්වාද පූජා, දේව ඇදහිලි, කන්නලව්, අර පූජා මේ පූජා තිබ්බේ නෑ. තියෙන්න විදියකුත් නෑ. අද කාලේ ඉන්න අයගේ අදහස් වලටත් මම විරුද්ධ වෙන්නේ මොකද කිව්වොත්, එයාලට බැරි උනා මොන බයිලේ ගැහුවත් මේ ලෝකේ තියන සරලම දෙයක් උනත් වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්න. මම කිව්වේ හරියට පැහැදිලි කරන්න. එහෙම නොකර, අර එකතු කිරීම ඉගෙන නොගෙන කලනය කරන්න යනවා වගේ පණ්ඩිත වැඩ හින්ද මට දැන් ඔය ඉන්න දාර්ශනිකයෝ කියාගත්ත ගොඩක් උන් පෙන්නන්න බෑ. උඩ කමෙන්ට් කියවද්දී මම දැක්ක බටහිර රටවල අද ඇත්තම බෞද්ධ දර්ශනය ඇති වෙමින් තියනවා කියල. ඔව් එක ඇත්ත. ඒ වගේම මම තව තැනක දැක්ක කව්ද හාමුදුරු නමක් කියල තියනවා විනය පිටකය තියන්නේ රහතන් වහන්සේලාට විතරයි කියල. මෙහෙම බැලුවම, අද ඉන්න හාමුදුරුවොත් (ඔක්කොම නෙවේ) කරන්නෙත් අර දෙවෙනි ධර්ම සංගායනාව පවත්වන කාලේදී හිටිය වජ්ජිපුත්තක භික්ෂූන් කරපු දේම නේද? මුට්ටි තියාන වතුරට සල්ලි එකතු නොකලට වෙනත් විදියකින් ඒ දේම නේද කරන්නේ??
    අද තියන තවත් මතයක් තමයි, පන්සල හොඳ ලස්සනට හදනවා නම් එක තමයි ලොකුම දේ කියල. ඒ කියන්නේ අද බුදුදහමේ අක්මුල් ඔක්කොම හිඳිලා කියල එකෙන්ම ඔප්පු වෙනවා. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියනවා පරණ සිවුරු කෑලිත් බිත්ති වලට තියන්න කියල. ඒ ලෝබ කමට නෙවේ. අල්පෙච්ජතාව කියන්නේ එකට. අනික, සිව් පසය පිළිගත යුත්තේත් කම් සැප විඳින්න නෙවේ, රෝග පීඩාදියෙන්, කෘමීන්ගෙන්, වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වෙලා සීලය පුරාගන්න කියලයි කියල තියන්නේ.. එහෙම නේද??

    ReplyDelete
  14. මමත් ක්‍රිස්තියානි ඒක නිසා ඕවා ගැන මම දන්නේ නැහැ හැබැයි අක්කගේ කතාව ඇත්ත කියලා හිතෙනවා.අපේ ගෙවල් පැත්තෙත් ගොඩක් බෞද්ධයන් ඉන්නවා ඒ අතර මගේ යාලුවොත් ඉන්නවා ඉතින් බණක්,පිරිතක් තිබ්බොත් නයිට ගහන්න මම යනවමයි ඔය වෙලාවට ඇහෙන දකින දේවල් වලින් මේවායින් ඇත්තටම පින් ලැබෙනවද කියල හිතෙනවා,

    මෙහේ පන්සලේ ලොකු හාමදුරුවෝ නම් හරි හොඳයි,මම ක්‍රිස්තියානි කියලා නැහැ පන්සලේ හුණු ගාන්න වත්ත සුද්ද කරන්න වගේ දේවල් වලට ගෙදට්ටම කාගේ හරි අතේ පයින්ඩ එවනවා කට්ටිය එකතු කරන් එන්න කියලා :)

    ReplyDelete
  15. මෙහෙමයි හිරු....ආගම සම්බන්ධ දේ මම නම් ලියන්නෙ හරිම පරිස්සමෙන්...මෙවැනි මාතෘකාවක් ගැන ලියනවා කියන්නෙ හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. අද ඉන්න ගණින්නාන්සේලාගෙන් නම් ඔබ බුද්ධාගම ගැන විමසන්න යන්නෙ ඔබට ලැබෙන්නෙ වැරදි උපදෙස්, මැවෙන්නෙ වැරදි චිත්‍රයක් ..

    බුදුන් වහන්සේගේ ධර්මය අදහන කෙනෙක් විදියට මම ඒ ඉගැන්වීම් ගැන හරිම තෘප්තිමත්..පෝයකටවත් පන්සලකට නොගියාට ධර්මයේ කියැවෙන ප්‍රතිපත්ති අනුව ජීවත් වෙනවා. පින් මිසක් පවු කරන්නෙ නෑ..බුද්ධාගම හා බෞද්ධ දර්ශනය කියන්නෙ වෙන්කරන්න බැරි තරමට එකට යා වූ විෂයක්. කෙනෙක්ට තමන්ගෙ ජීවිතය සකසා ගන්න හොද අත්වැලක්...ලෝකය දකින්න අලුත් ඇසක්.

    ReplyDelete
    Replies
    1. කියන්න බැරි උනා. බොලාගෙ බොග දැන් අලුත් වෙලා...ලස්සන වෙලා...අලුත් වෙනසට මම නම් මනාපයි. දැන් ලස්සනයි.

      Delete
  16. බුදුරජානන් වහන්සේ දේශනා කර තිබෙන්නේ තමන් තුලින් ජීවිතේ අනිත්‍ය දකින්න කියලා. මෙන්න මෙතන ඔය තර්ක කර කර දඟලන ගොඩාක් ප්‍රශ්න වලට උත්තර තියෙනවා. ඒ කියන්නේ බුද්ධ දර්ශනය ප්‍රායෝගිකවම යන දෙයක්, පන්සල් සහ ඒ අවට පරිසරයේ කුමක් සිද්ද වුණත් අපි තමන් තුලින් ජීවිතේ අනිත්‍ය දකිනවා නම් මේ කිසිවක් වටින්නේ නෑ. මේ වගේ ලිපියක් ලිව්වම තව තවත් විවේචන එක් කරන්න අය එකතු වෙනවා. ඉස්සර බොහෝ බෞද්ධයින් නුගත් පිරිසක් නිසා පන්සල් ඇසුරේ, ස්වාමීන් වහන්සේ ඇසුරෙන් ධර්ම කරනු ඉගෙන ගත්තත්, දැන් අපට මේ කාරණා ගෙදර සිට ඉගෙන ගන්න පසුබිමක් තියෙනවා. නමුත් භක්තිය නැතිව බුදු දහම දකින්න බෑ. අපි උන් වහන්සේ (දේශනා කල ධර්මය) කෙරේ භක්තිමත් වී ඒ දේ අවුබෝධ කිරීමට උත්සාහ කල යුතුයි. අද අප ජීවත් වන සමාජයේ මේවාට බාධා ඇති වන බොහොමයක් දේවල් තියෙනවා.

    ReplyDelete
  17. දර්ශනය සහ ආගම දෙකක් කියලා මම හිතන්නේ. ආගම් පදනම් වෙන්නේ ඇදහීම උඩ, එතන ප්‍රශ්නකිරීම් බැහැ. තමන් ප්‍රශ්න කරන දෙයක් සම්බන්ධයෙන් ඇදහීමේ සිතුවිල්ලක් පහලවෙන්න තියන ඉඩ අඩුයිනේ.

    සමහර මිනිස්සු ඇදහීමෙන් තමන් හොයන විමුක්තිය හොයා යනවා. ඔවුන් ආගම ප්‍රශ්න කරන්නේ නැහැ. එය ලෝකේ තියන උතුම්ම සත්‍යය කියලා පිළි අරගෙන ඉන්නේ. එහි වතාවත් පිළිපැදීමෙන් විමුක්තිය ලැබෙයි කියලා ඔවුන් හිතනවා. යමක් ආගමක් උනහම, එතැනදි ප්‍රශ්න කිරීම් අදාල නැහැ. එහෙම කරන්න අවශ්‍යත් නැහැ. හැමෝටම පෞද්ගලිකව තමන් කැමති ආගමක් අදහගන්න පුළුවන් නිසා ප්‍රශ්න කරන්න අවශ්‍ය නැහැ. සමාජය කියන්නේ බහු ආගමික පසුබිමක් මත ගොඩ නැගුන දෙයක් නම්, එක ආගමක චාරිත්‍රවාරිත්‍ර සමාජයට ප්‍රශ්නයක් වෙන වෙලාවල් එනවා... ඒවා බොහොම පරිස්සමෙන් විසඳගන්න ඕනේ. ඕකත් මව් සෙනෙහස වගේ දෙයක්.. අති බහුතරයකට ලෝකෙ ඉන්න හොඳම අම්මා තමන්ගේ අම්මනේ.

    දර්ශනය කීයන එක ඇදහීම මත පදනම් වෙච්ච දෙයක් නෙමෙයි. ඒ ගැන තර්ක විතර්ක කරන්න පුළුවන්, පිළිගන්න නොපිලිගන්න පුළුවන්, තමන් හරියි කියලා හිතෙන දේවල් විතරක් පිළිගන්න පුළුවන්. බුද්ධ දර්ශනය ගැන කතාකරනකොට, ඒක කල යුත්තේ දර්ශනයක් විදිහට එය පිළිගන්න පිරිසක් අතරයි. එය අදහන අයෙක්ට, තව කෙනෙක් දර්ශනවාදී කෝණයකින් මේ දෙස බලලා කියන දෙයක් සම්බන්ධයෙන් තරහක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම දර්ශනවාදීව මේ දිහා බලන කෙනෙකුට, අදහන කෙනෙක් කියන දේවල් විහිලුවක් වගේ පේන්න පුළුවන්. ඇදහීමයි, තර්ක බුද්ධියක් පැටලුනාම විසඳුමක් නැහැ. මම හිතන්නේ මේක දර්ශනයක් විදිහට හිතන අයගෙන්, සමාජයට එල්ල වෙන්න පුළුවන් බලපෑම අඩුයි. බොහෝ විට ප්‍රශ්න ඇතිවෙන්නේ ඇදහීම නිසා.

    මම බුද්ධාගම ඇසුරේ හැදීවැඩුනු කෙනෙක්, ඒ නිසා මම හිතන පතන විදිහට බුද්ධාගමෙන් ලොකු බලපෑමක් තියනවා. මම සාමාන්‍යයෙන් ආගම් අදහන්නේ නෑ. නමුත් පන්සලකට ගියහම මලක් පූජා කරන එක, පිරිතකට ගියහම නූලක් බඳින එක වගේ දේවල් කරනවා. සමහර විට කෝවිලකට ගියොත් නළලෙ අලු ටිකකුත් ගාගනී. බුද්ධ දර්ශනයේ, මම දන්න ටිකේ උනත් මම නොපිලිගන්න බොහෝ දේ තියනවා. නමුත් මම බොහොම උනන්දුවෙන් ඒ ගැන කියවනවා. මේ නොපිලිගැනීම පවා සිද්ධවෙන්නේ බුද්ධ දර්ශනයේ දෙන ප්‍රශ්න කරන්න ඇති නිදහස ආශ්‍රයෙන්. මගේ දර්ශනය තමයි, හැකිතාක් තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව ජීවත්වීම. නමුත් හෘදය සාක්ෂිය කියන එකත් පෞද්ගලික දෙයක් නිසා, අපිට සමාජයක සියයට සීයක්ම ඒ මතම ජීවත්වෙන්න බැහැ. අකමැති දේවලුත් කරන්න වෙනවා. අනික, හෘදය සාක්ෂිය කියන එක පුළුල් දැක්මක් නැති තැනක වැඩක් නැති දෙයක් වෙනවා. කොහොමත් මේ සිතේ නිදහස කියලා කියන්නේ, කාටවත් තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. තමන්ගේ ජීවිත අත්දැකීම් සිතුම් පැතුම් උඩ තමන්ම ගොඩ නගාගත යුතු දෙයක්.

    ReplyDelete
    Replies
    1. බෞද්ධ දර්ශනය හා සිංහල බෞද්ධ යනු දෙකකි.

      සිංහල බෞද්ධ යනු ද අනිත් ආගම් වන හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් වැනි ආගම් බැදුනු වෙනත් ජන වර්ගයන් මෙන් ම තවත් උප සංස්කෘතියක්ය.නැතහොත් ගෝත්‍රයක්ය. එය අනිත් ගෝත්‍ර හා මදක් හෝ වෙනස් වන්නේ යුදෙව්වන් තමන් දෙවියන් වහසේගේ ‍තෝරා ගත් ජන කොටස ලෙස විශ්වාස කරනවා මෙන්ම , සිංහල බෞද්ධයන් තම ජාතිය ථේරවාදයේ ආරක්ශාකරුවා ලෙස සිතීමය.

      ඇතැම්හු බෞද්ධ දර්ශනය යොදා සිංහල බෞද්ධ ගෝත්‍රවාදය දිය කර හෑරීමට උත්සහ කරයි. එහි වරදක් නැත. ගෝත්‍රවාදය අත හැරීම සිංහල බෞද්ධ සංස්ක්ර්තිය වඩ වඩා බෞද්ධ දර්ශන ය වෙත ලං කරන්නේය. කෙසේ නමුත් සිංහල බෞද්ධ ගෝත්‍රවාදය දිය කිරීමට උත්සහ කරන්න්නෝදද තවත් කිසියම් ගෝත්‍රවාදීයක සාමාජිකයෝ වන්නේය. ඇතැම්හු දෙමල, ක්‍රිස්තියානි ආදී ගොත්‍රවාදයේ සිට සමාජවාදී, පශ්චාත් නූතනවාදී ආදී පරාසයක ගොත්‍රවාදීයෙක්ය. සෑම ගෝත්‍රයකටම පොදු වූ අඩු ලුඩුකම් මේවායේද පවතින්නේය. මේ ගෝත්‍රවාදී බල අරගලයේ දී මතවාදී අරගල මෙන්ම, කඩුවෙන් ලෙයින් විසදෙන අරගල ද ඇත්තේය. ඈතැම් ඒවා නීතීයානුකූලය. තවත් ඒවා නීතී විරොධීය.

      Delete
    2. තිසරගේ කමෙන්ට් එක තුළ මට අවශ්‍ය කරන උත්තරේ තිබුනා...

      ///තමුත් හෘදය සාක්ෂිය කියන එකත් පෞද්ගලික දෙයක් නිසා, අපිට සමාජයක සියයට සීයක්ම ඒ මතම ජීවත්වෙන්න බැහැ. අකමැති දේවලුත් කරන්න වෙනවා.///

      ඇත්තටම මටත් මෙතනදි උනේ බුද්ධාගම අදහන අය ගොඩක් මැද මම දර්ශනයක් විදියට තෙරුම් ගත්ත දේවල් නිසා බෞද්ධ සංස්කෘතිය සහ සම්ප්‍රදායික බෞද්ධයන්ගේ යම්යම් වැඩකටයුතු ගැන කළකිරීමක් ඇති උන එක.... පුලුවන් කමක් තියෙනවා නම් ඒවයින් ඈත්වෙලා ඉන්න, මේ වගේ විවේචන හිතට එන්නේ නැති වෙයි.... ඒත් එහෙම කරන්න බෑ.... අපි වටේ කියන සමහර දේවල් වලින් සමහර පුද්ගලයන්ගේ වැඩ වලට අපිට අකමැත්තෙන් හරි එකතු වෙන්න සිද්ධ වෙනවා... ඒත් මේකයි බුද්ධාගම, මේකයි කළ යුතු දේ කියලා එක එක දේවල් බලෙන් කරවන්න හදනකොට හිතට කළකිරීමක් විතරක් නෙවෙයි කෝපයකුත් එනවා.... ඒ වෙලාවට ඉතිං තමන්ගේ හිත පාලනය කරගත්තේ නැත්තම් විනාසයක් වෙලා තමයි නවතින්නේ.. ගොඩක් වෙලාවට හිත පාලනය කරගන්නේ මේක දර්ශනයක් විදියට දකින කෙනා බව තමයි මගේ අත්දැකීම....

      මයියගේ පෝස්ට් දෙකම මං කියෙව්වා...

      Delete
  18. අනේ මන්ද හිරු අක්ක. . . .
    මුකුත් නොකිය ඉන්නත් හිතෙනව.
    ඒත් මේක කියන්න ඕනේ

    කොච්චර නිදන් හිටියත් කලුතර බෝධිය ගාවදි ඇස් ඇරල, පිටිපස්ස අමාරුවෙන් උස්සල සාධුකාර දෙන මිනිස්සු හොඳට ඇස් ඇරන් ඉන්න වෙලාවට තමන් ඉන්න තැන හිටගෙන ඉන්න වයසක මනුස්සයෙකුට, ගැබිණි අම්මෙක්ට සීට් එකක් දෙන්න වෙනවට බයේ බලෙන් ඇස් පියා ගන්නව දැකල තියෙනව මම.

    ඒ වගේම පන්සල් ගැන මම කතා කරන්න කැමති නෑ.
    මම දහම් පාසල් ගියා දෙපාරක්. සති දෙකක් විතර ගිහින් ඒ දෙපාරම නතර උන. වැඩක් නෑ කියල මටම හිතුණ

    ReplyDelete
  19. මේ පෝස්ට් එකට එකින් එකට කමෙන්ට් වලට රිප්ලයි කරන්න අවශ්‍ය නෑ කියලා මම හිතනවා.... බොහෝ දෙනා මං දකින විදියටම මේ ගැන දකින බව මට තේරෙන නිසා...

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete