Tuesday, February 5, 2013

කතන්දර අච්චාරුවක්...


පහුගිය ටිකේ බ්ලොග් එක ලිවීම හිතාමතාම අතෑරලා හිටියා වගේ කියලා හැඟීමක් හිතේ තියෙනවා... බ්ලොග්ස්පොට් අවුල නිසා දවස් තුනක් විතර අතෑරියත් කතාවේ කෑලි දදා බොරු කර කර හිටියා කියලා පිළිගන්නම වෙනවා... 

ගිය ටිකේ දැකපු, අහපු, කියවපු, කතා කරපු වැදගත් දේවල් කීපයක් තිබුනත්, ඇත්තටම බ්ලොග් එකේ ලියන්න තරම් වැදගත් දෙයක් හරි, මට කතා කරන්න තේරුමක් තියෙන දෙයක් හරි නැති උනා කියලා කියන එක නිදහසට කාරණයක් වෙයි කියලා හිතනවා... 

ඒ මදිවට බරපතල විදියේ හින්දි ෆිල්ම් පිස්සුවක් හැදිලා තිබ්බ එකත් එක හේතුවක් උනා... ගිය මාසේ බයිට් ටික ඉක්මණටම ඉවර උනා... ඒක නිසා ‌ෆිල්ම් ඩවුන්ලෝඩ් කරපු එකම තමයි කළේ... හි හි... 


හි හි.. පේනවනේ පිස්සුවේ තරම... ( දැන් බැනපල්ලා මට...) 

කොහොමහරි එක එක දේවල් නිසා බ්ලොග් එකේ වැදගත් දෙයක් නම් ලියවුනේ නෑ... 

අද උනත් ඒ තරම් ලොකු දෙයක් ලියන්න නෑ වගේ.. හි හි... 

ඒත් පොඩි දෙයක් තියෙනවා.... අද අපේ මලයගේ උපන් දිනේ.. කලින් උන්දෑ ගැන මම පෝස්ට් එකක්ම ලිව්ව නිසා ආයිත් එයා ගැන ලියන්න දෙයක් නැ.. ඒක නිසා ඒ පෝස්ට් එකට ලින්ක් එකක් දාලා ෂේප් වෙනවා... හි හි.. 

උදේම ඒකට කතා කරලා බැලුවම නෝ ආන්සර්.. දැන් මට කෝල් කරලා අහනවා කෝ ඕයි මට විෂ් කරන්නේ නැද්ද කියලා... හි හි

හරි.. පල් හෑලි ඇති... 

ගිය ටිකේ එක එක වැඩ අස්සේ කරන්න ආසම නැති වැඩක් කරන්න සෙට් උනා.. ඒ තමයි කුලියට ඉඳලා ගෙවල් අස්කරගෙන තව තැනකට යාමේ මහා මෙහෙයුමක්.. හි හි

මේක ඇත්තටම මට අලුත් අද්දැකීමක්.. මට යමක් කමක් තේරෙන කාලේ ඉඳලම අපි හිටියේ ලෑලි ගහලා, පොල් අතු හෙවිල්ලපු උනත් අපේම කියලා ගේක... කවදාවත් බඩු පැක් කරගෙන වෙන ගේකට යෑමේ අත්දෑකීමක් මට තිබුනෙ නෑ කසාද බැඳලා එනකම්... ඔන්න ඊට පස්සේ තමයි මේ අත්දෑකීම ලැබුවේ..

අපේ ගෙදර නම් ඇත්තටම පරම්පරා ගනන් පරණ බඩු තිබුනේ නෑ.. ඒ ඉතිං එකක් අපේ අම්මලා තාත්තලා පරම්පරාවෙන්ම දුප්පත් මිනිස්සු නිසා... අනිත් එක ඒ වගේ බඩු ගොඩ ගැහීමේ පුරුද්දක් අම්මටයි තාත්තටයි දෙන්නටම තිබුනේ නැති නිසා... අම්මා පාවිච්චි නොකරන බඩුවක්, වැඩක් ගන්න පුලුවන් කෙනෙක්ට, පාවිච්චි කරන්න පුළුවන් තත්වෙන් දීලා දාන එක අපේ අම්මගේ පුරුද්ද නිසා... අම්මලාගේ වෙඩින් එකට හම්බුන වීදුරු සෙට් පුරෝලා තිබ්බ කැබිනට් එකක්ම අම්මා ගෙවල් ළඟ කේටරින් සර්විස් එකක් පටන් ගත්ත කෙනෙක්ට දීලා දැම්මේ, ඒවයින් අපිට වැඩක් නැති එ‌ෙක් කවුරු හරි වැඩක් ගනියි නේ කියලා...

දැන් උනත් අම්මා නම් තමන්ට වැඩක් නැති බඩුවක්, අවශ්‍ය කරන කෙනෙක්ට දෙන්න දෙපාරක් හිතන්‌ෙන් නෑ.. ඒ වගේම අනේ කවදහරි ඕනේ වෙයි කියලා අවුරුදු 20 -30 ගනන් පරණ කැඩිච්ච බඩු පරිස්සම් කරන්නෙත් නෑ... සිහිවටන විදියට තියෙන පුංචි දේවල් කීයක් ඇරෙන්න ( ඒවත් පොඩි බිස්කට් පෙට්ටියකට අහුරන්න පුලුවන් තරමේ ඒවා..) මහා ලොකු දේවල් නම් ආච්චිලා සීයලා මතක් වෙන්න කියලාවත් තියාගෙන නෑ....

ඇත්තටම මේ වගේ ගෙයක් මුල ඉඳලා අගටම අස් කරන වෙලාවට තමයි හිතෙන්නේ අපි කොච්චරනම් වැඩකට නැති දේවල් ගොඩගහගෙන ඉන්නවද කියලා ගෙවල් අස්සේ...

අපේ මිනිස්සුන්ගේ වැඩ මහ විකාරයි කියලා මට හිතුනා... 

පුදුමාකාර කුණු ගොඩක් තිබ්බා ඒ ගේ ඇතුලේ.. කැඩුන බඩු හදන්න පුලුවන් කියලා තියාගෙන ඉන්නවා අවුරදු ගනන්.. නිකම් දිරලා ගියත් හදන්න පුලුවන් කියලා ගොඩ ගහගෙන ඉන්නවා... පරම්පරා ගනන් පරණ ලී බඩු... කකුල් කැඩිච්ච පුටු කෑලි.. දිරච්ච යකඩ කෑලි... හයියෝ.. 

ඇත්තටම ඇයි අපේ මිනිස්සු මෙච්චර කුණු ගොඩගහගෙන ඉන්නේ ගෙවල් වල.... 

මේ ගැන වැඩි විස්තරයක් මම ලියන්නේ නෑ අද.. වෙන එකක් නෙවෙයි මතක් වෙනකොටත් මට පිස්සු වගේ නිසා.... හි හි...  කාට හරි අදහසක් තියෙනවා නම් මේ ගැන ඔන්න ඒ ගැන කතා කරන්න කමෙන්ට් තීරුවේ ඉඩ තියෙනවා වෙනදා වගේම... 

හා තව එකක්... මම කමෙන්ට් බොක්ස් එක ඔන්න උඩින්ම දැම්මා..තරියා නහයෙන් අඬලා තිබ්බනේ කමෙන්ට් බොක්ස් එක හොයන්න යන්න කම්මැලියි කියලා... හි හි.. 

මං දන්න html එකක් නෑ.. සංජය සිතුවිලි එකේ තිබ්බ පෝස්ට් එකක් බලාගෙන හදාගත්තේ.. සංජයට බොහොම ස්තූතියි.. මගේ වගේ මෙලෝ දානයක් දන්නේ නැති එකෙක්ටත් තේරෙන විදියට කියලා දුන්නට... මේක හරි නෑ කියලා හිතෙනවා නම් කියන්න හොඳේ.. මං ආයිත් වෙනස් කරන්නම්.... 

( මීට පස්සේ, වෙනදට කට්ටියගේ කමෙන්ට් හරහා ඇතිවෙන රසවත් සංවාද වලට නැවතීමේ තිත තියවෙයිද කියලා මට බයකුත් තියෙනවා.. හි හි.. ) 

මේ ඉන්නේ බර්ත් ඩේ බෝයි... 



HAPPY BIRTHDAY ම‌ෙග් වදකාර මලයෝ..... 

103 comments:

  1. ඔය ගෙවල් මාරු කරන එක ෂාටර්ම වැඩක් කියල මටත් තේරුනේ මෙහෙට ආවට පස්සේ තමා ,
    හිරුගේ මලයාට හැපීම හැපී බර්ත්ඩේ එකක් වේවා ...!!

    ReplyDelete
    Replies
    1. හි හි.. කට්ට කන්නම එපැයි තේරෙන්න... නේද...

      Delete
  2. අෆොයි ඔචිචර කමිමැලි වෙන්නැතිව පෝස්ටි දාන්න නේ...
    හි හි ...
    අපිත් සුභ පැතුවා ඹන්.......

    ReplyDelete
    Replies
    1. කම්මැලි නෑ අනේ... හි හි

      Delete
  3. අම්මෝ ගෙවල් මාරු කරන එක තරම් එපා වෙන දෙයක් නෑ මේ මුලු ලෝකෙම... අපිත් අවුරුදු 5 ක් විතර ඔහොම ගෙවල් මාරු කරා... හැබැයි දැන් නම් නෑ.. අපෙ අය්යට පිංසිද්ද වෙන්න... ඔන්න එහෙනම් මලයෝ Wish Your Happy Birth day....

    ReplyDelete
    Replies
    1. තමන්ගෙම ගෙයක් කියන්නේ පුදුම සැනසීමක් අප්පා...

      Delete
  4. අන්න එහෙම ඇත්ත කියලම පටන් ගත්ත එක හොඳයි..

    අපෙ ගෙවල් වගේම මනසත් අනවශ්‍ය දේ වලින් ගහණයි.. ගේ අවශ්‍ය දේට සීමා කරනවා වගේම මනසත් භාවනාව මගින් අනවශ්‍ය දේ අයින් කරලා සැහැල්ලු කරන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. ඒත් ගේ අස් කරනවට වඩා අමාරුයි මනස අස්පස් කරන එක...

      Delete
  5. old is gold කියන හින්දද දන්නෙ නෑ අපේ අය පරණ බඩු ගොඩ ගහගෙන ඉන්නේ. අපේ නෝනා මෙන්ම නැන්දම්මාත් එසේමය. ඒ නිසා මා කිසිම හිතවතෙක් ගෙදරට කැන්දාගෙන එන්නේ නැත. මොකෝ උන්ට මියුසියම් එකකට පැමිනුනා වගේ හැඟීමක් ඇතිවෙන නිසාය.

    ReplyDelete
    Replies
    1. අපේ මහත්තයයි එයාගේ අම්මයි තමයි ඉතිං මෙහෙ ඔය වැඩේ කරන්නේ.. හි හි.. මියුසියම් එකකට වඩා බෝතල් පත්තර කඩයක් වගේ... හි හි...

      Delete
  6. කොමෙන්ට් පෙට්ටිය උඩින් තියෙන එක කොමෙන්ට් එක දාන්න නම් පහසුයි. ඒත් ඉතිං එතකොට අනිත් උන් දාපු කොමෙන්ට් කියවන්න කම්මැලි වෙනවා :D
    මලයාටත් සුභ උපන්දිනයක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් පෙට්ටිය තිබ්බ විදියට තියන එක ‌හොඳයි ව‌ෙග් නේද..

      Delete
  7. ගෙවල් මාරු කරන වැඩේ නම් අපිත් අවුරුදු ගානක් කරා.. එක තැනකට සෙට්ල් වෙලා තාම අවුරුදු 5ක් විඅතර ඇති.. උපන්දා සිට ඒ වෙනකම් ගෙවල් 15කට විතර මාරු උනා. සේරටම වඩා අමාරු ගෙවල් පැත්තේ යාලුවෝ දාලා එන්න උනාම.. අනිවා බලන්න එන්නම් මචන් කිව්වට උන් එන්නෙත් නෑ.. මම යන්නෙත් නෑ.

    අපේ ගෙදරත් පරණ බඩු සෑහෙන්න තියෙනවා. මම විසි කරන්න හැදුවම තාත්ත කියන්නේ කවද හරි ඕවා ඔයාටම තමයි ඕනෙ වෙන්නේ කියලා.. ඒ වගේ ඕන වෙන බඩු පෙට්ටි ගනන් ඇදන් යට තියෙනවා. මට තාම බලතල නෑනෙ ඒවා අයින් කරන්න.. :D

    මලයට හැපි බර්ත්ඩේ වේවා!!!!

    කොමෙන්ට් බොක්ස් එක උඩින්ම තියෙන එක මට නං ටිකක් අවුල් වගේ.

    ReplyDelete
    Replies
    1. ඇදන් යට බඩු පුරෝන එක නම් මට එදා ඉඳන්ම පෙන්නන්න බැරි වැඩක් අප්පා... මටත් ඉතිං බලතල නැතිකම තමයි තියෙන්නේ.. නැත්තම් සියල්ල කුණු ටැක්ටරේට තමයි.. හි හි

      Delete
  8. මුලින්ම මලයාට හැපීම හැපී බර්ත්ඩේ එකක් වේවා ...!!

    බ්ලොග් ලියන එකක් ටිකක් කම්මැලි වැඩක් කියලා මටත් තේරිලා තියෙන්නේ,,,,

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලිව්ල්ලට නම් කම්මැලි නෑ.. ඒත් ලියන්න දෙයක් නැති උනාම විකාර කර කර ඉන්නවා මම.. හි හි

      Delete
  9. අනේ ගෙවල් මාරු කරන එකනම් එපා වෙනවා තමයි,දැන් ආයේ නම් අපේම එහෙකට යනකම් මාරු කරන්නෙ නෑ(අපේ තියන එකට යන්න මම කැමති නෑනේ)

    හිරු අක්කියාගේ මල්ලි අය්යට හැපි බර්ත් ඩේ එකක් වේවා...!!

    ReplyDelete
    Replies
    1. තමන්ගේ කියලා පැලක් උනත් පුදුම සැනසීමක් ශම්මි... ඒක තේරෙන්නෙ කුලියට ඉන්න‌ෙකාට තමයි...

      Delete
  10. ඉඩ කඩ තියනව නම් පරණ බඩුත් කාමරේකට දාල සත්තු සර්පයින්ටත් නවාතැන් දීල තියාගත්තට කමක් නෑ. ඒ දේවල් වලිනුත් මොනවා හරි කරන්න පුලුවන්.ඒත් ඉතින් ගෙයක් වත් නැති අපිට කොහෙද තවත් ඉඩ කඩ.

    අර බලපු ෆිලුම් ටිකට විචාරයක් ලියන්ට එහෙම හිතෙන්නෙ නෑද?

    ReplyDelete
    Replies
    1. සත්තු සර්පයි ඇති කරන්න හරි බැරියැ ඉඩ තියෙනවා නං.. හි හි...

      ෆිල්ම් වලට විවාර ලියන්න නම් බ්ලොග් එක ඉඩ මදි වෙයි.. හි හි

      Delete
  11. හැබැයි හිරුවො, කමෙන්ට් කියවන්න කම්මැලි වෙනව මේ වැඩෙන්,.

    මගේ නම් අස් කරද්දි ගොඩක් තියෙන්නෙ කොල කෑලි තමයි සමහර වෙලාවට මතක් උන දේවල් ලියපු කොල කෑලි අනන්තවත් අස් කරද්දි හම්බවෙනව..අපේ අම්මි ලග තියනවා අපි දෙන්න ගැන හදපු පොත 2ක්... ඒකෙ තියන ඒව විසිකරන්නෙත් නෑ,,, අපි දෙන්න හම්බවෙන්න ඉන්නව කියල දැනාගත්ත දවසෙ ඉදන් අපි ගැන හැම විස්තරයක්ම ඒකෙ තියනවා.. අපි ඇදපුව, අපිට තෑගි හම්බවුන ඒවගේ ටැග්ස් එහෙම තාමත් තියාගෙන ඉන්නවා.... අපි කියපු වචන, එක එක කෙනාට කථා කරපු නම් එහෙම තියනවා එකේ, අම්මිට පරණ දේවල් විසිකරන්න කිව්වට මේක ගැන නම් අපි දෙන්නටම හරි ලෝබයි...

    මලයට සුභ උපන් දිනයක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නදිනි මටත් තිබ්බ අප්සට් එක.. තරිය කම්මැලිකමේම හිටපු දෙන්.. මං ආයිත් මාරු කරනවා තිබ්බ විදියටම...

      ඒ ව‌ෙග් දේවල් ලොකු දේවල් නෙවෙයිනේ... අනිත් එක ඒවා සිහිවටන.. මේවා කැඩිච්ච මේස කෑලියි, ඉලෙක්ට්‍රිකල් බඩුයි තියාගෙන මොනාව කරන්නද අප්පා...

      Delete
  12. අපේ ගෙදරත් ඉස්සෙල්ල ඔය වගේ පරණ බඩු ගොඩ ගහගෙන හිටිය. මංනං කළේ ඔක්කොම ගිනි තියපු එකයි.

    මළයට සුබ උපන්දිනයක් පැතුව මාත් !

    ReplyDelete
    Replies
    1. මට බලතල නෑ නේ ප්‍රසා අයියේ.. හි හි

      Delete
  13. පළමුව මලයට සුබ උපන්දිනක් කියා පතනවා.

    දෙවනුව ජපානයේ එස් -5 ක්‍රමය අනුගමනය කරනවා නම් ඔය කුණු ගොඩවල් ගෙවල් ඇතුළේ ඉතිරිවෙන්නේ නැ...
    හැබැයි මෙහෙම කිව්වට අපේ ගෙදරත් පරණ පත්තරයි සුන්බුන් වලිනුයි පිරිලා.
    ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියනවානේ.....

    ReplyDelete
    Replies
    1. හි හි.... එස් 5 කරන්න නම් අපේ මිනිස්සු මැරිලා ඉපදෙන්න ඕනේ... මොකද එස් 5 කියලා, වැඩක් තියෙන බඩුත් අයින් කරලා, ගෙදර උස්සන් යන ජාතියක්නේ අපි.. හි හි

      Delete
  14. හිරුවෝ . . මලයට සුභ උපන් දිනයක් පැතුවා කියහන් . .

    අපේත් අම්මා පරන හට්ටි මුට්ටි එකතු කරන ජාතියේ. .
    තාත්තා බෝතල් පත්තර යකඩ එකතු කරන ජාතියේ කෙනෙක්

    අපිත් පරන ගෙදර ඉඳන් අලුත් ගෙදරට එද්දී දෙන්නගේ කලෙක්ෂන් එක විසි කරලා අලුතෙන්ම ඔක්කෝම බඩු මුට්ටු අරන් දීලා තමා ආවේ.

    ඒත් දැන් ආයේ දෙන්න එක්ක ලොකු කුනු ගොඩක් එකතු කරලා තියෙනවා බන් . . එප්පා වෙනවා

    ReplyDelete
    Replies
    1. අපේ බෝතල් පත්තර, පරණ යකඩ, කැඩිච්ච ඉලෙක්ට්‍රික් බඩු එකතු කරන්නේ අපේ මහත්තයා... එප්පා වෙනවා තමයි දුකා අයියේ..... හි හි

      Delete
  15. අප්පේ..ගෙවල් වල වැඩියෙන්ම ඉඩ යන්නේ ඔය වගේ ඕනේ නැති දේවල් වලට තමා!
    මලයා අයියාට හැෆි බර්ත්ඩේ එකක්ම වේවා ඔන්න!

    ReplyDelete
  16. Hiru akkage wadakara malayata Happy B'day 1k wewa....!

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ මලයෝ... මං එයාට පෙන්නන්නම් මේක...

      Delete
  17. මමත් ඉස්සර පරණ එව්වා හදන්ඩ කියලා එකතු කරගත්තා, පාරේ තිබ්බත් ගෙනාවා, දැන් නං නට් එකක්වත් තියාගන්නේ නැ. මගේ රස්සාවේ හැටියට මහ පාඩුවක් උනත් හරියට ගෙදර පිලිවලක් කරගන්න කං මොනවා කරන්නද

    ReplyDelete
    Replies
    1. ඒ ඉතිං ඕ‌ෙන් වෙන බඩුනේ අටම්.. මේවා මේ ඕනෙ වෙයි කියලා අවුරුදු ගනං තියාගෙන දිරලා, සත්තු බෝවෙලාවත් විසි කරන්නේ නැති ඒවානේ මෙහෙ තිබ්බේ.. හි හි

      Delete
  18. Replies
    1. තෑන්ක්ස් රෙහානි... මං කියන්නම් එයාට...

      Delete
  19. සුභම සුභ උපන් දිනයක් මල්ලීට.අක්කට නම් දෙකක් දෙන්න වෙනවා.ඕනවට එපාවට ලියනවට.
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  20. හිරුගේ මල්ලිට සුභ උපන්දිනයක් කිව්වා.....

    අපේ ගෙදරත් ඔය අනවශ්‍ය දේවල් නම් තියෙනවා. අස් කරනකොට ඔක්කොම විසික් කරනවා.ආයෙත් ටික දවසකින් අනවශ්‍ය දේවල් ගොඩ ගැහිලා. මාත් ආසම නැති දෙයක් තමයි....

    ReplyDelete
    Replies
    1. ඒකනේ සුදා.. අපි මොනා කිව්වත් බලතල තියෙන්නේ අනිත් අයටනේ.. හි හි

      Delete
  21. ඔය කට්ට මාත් කන නිසා ඒකෙ රහ හොඳට දන්නවා. ඒක නිසා තමා අවුරුද්දෙන් අවුරුද්දට රුපියල් දාහ දාහ වැඩි කරද්දිත් එකම තැනට වෙලා ඉන්නේ.

    එහෙනම් ඉතින් මමත් හිරුගේ මල්ලිට සුබ උපන් දිනයකට සුබ පතනවා..

    ReplyDelete
    Replies
    1. අප්පා.. බෝඩිම් අස් කරනවා වගේ නෙවෙයි ළිහිණි ගෙවල් අස් කිරිල්ල...

      Delete
  22. මලයට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හා හා... මං කියන්නම්කෝ.... හි හි

      Delete
  23. (කමෙන්ට් දාන්න ගිහිල්ල මොකක්ද මෙව්ව එකක් උනා..)
    හැබෑටම ඒ මලයද ..?
    7යි6යේ පොරක්නෙ..අයිය වගේ පේන්නෙ.

    සුභ උපන් දිනක් මලේ...!

    අක්කාට තව වද දීපං..!

    ReplyDelete
    Replies
    1. එයා මගේ අයියා වගේ පේන්න ගත්තේ ඕලෙවල් කරන කාලේ ඉඳලා වී....හි හි...

      Delete
  24. ලගදි මටත් ඉල්ලලා තියෙන ස්තානමාරුව ලැබිලා ගමට යන්න ලැබුනොත් ඔය අත්දැකීම විදගන්න ලැබෙයිනෙ,මලයට හැපී බී ඩේ කිව්වා ඔන්න

    ReplyDelete
    Replies
    1. එහෙනං ලෑස්ති වෙලා ඉන්න.. හි හි

      Delete
  25. අපේ ගෙදරත් කැඩිච්ච බිඳිච්චා විසිකරන්නේ නෑනෙ..

    මම කොච්චරවත් කියෝනවා.. ඒත් කවදාහරි ඕනා වෙයිලු..

    ReplyDelete
    Replies
    1. ඔය “ කවදා” කවදා විතර එන කවදාවක්ද කියලා අහලා මං හැමදාම බැනුම් අහනවා.. හි හි...

      Delete
  26. අර වීදුරු සෙට්ටෙක කේටරිං සැර්විස්සෙකකට දීලා, "දැම්මේ" කොහේට ද... ?

    ReplyDelete
    Replies
    1. දැම්මේ නෑ බං... දුන්නා දුන්න.. අනේ මන්දා උඹ නං... හි හි

      Delete
  27. අඩේ කමෙන්ට් බොක්ස් එක යටින් තියෙන එක හොඩයි වගෙ....

    මං නම් බනින්නෙ නෑ ඕන්... උඩම පින්තූරෙ දැක්කාම හිතම නිවිලා ගියා... :D

    ගෙවල් මාරු කරන එක සීන් එක ඉවර වුනා දැන් ඉන්න අපේම ගෙදරට ආවාම.ඒත් බෝඩින් වලින් බඩු ඇදලා හොද කට්ටවල් කාලා තියෙනවා.මාත් කවදා හරි ඕනෙ වෙයි කියලා දේවල් තියන් ඉන්නවා.ගල් එකක් දෙකක් හැලුන කරාබු,කැඩුන මාල වගේ ඒවා,මටනම් ඒවා ඕනෙ වෙනවා.

    ෴ මලයාට සුභම සුභ උපන්දිනයක් වේවා ෴

    ReplyDelete
    Replies
    1. ආව්.. මගේ ජාතියෙම එක්කෙනෙක් නේ... හි හි...

      ඒ වගේ පොඩි කෑලි නම් ඉතිං එච්චර අවුලක් නෑ නේද...

      Delete
  28. අක්කගේ මල්ලියට මගෙනුත් සුභ පැතුම්.
    අපේ අම්මගෙත් පුරුද්දක් තමා බඩු ගොඩගහ ගන්න එක.අස්කරන්න ගියාම තමා එපාවෙන්නේ.මට නම් එකේ අනිත් පැත්ත.මට ඕන බඩු අඩුකරගෙන සැහැල්ලු විදිහට ගේ තියාගන්න

    ReplyDelete
    Replies
    1. මාත් ඕනේ නැති බඩු ගොඩ ගැහිල්ලට නම් පුදුම අකමැතියි...

      Delete
  29. ගෙවල් අස්කරනකොට තමයි දැනෙන්නේ පරිස්සමට තියාගත්තත් පාවිච්චිකරලා නැහැ දැන් වැඩක් ගන්නත් බෑ කියලා ඇතිවැඩකුත් නෑ ගන්න ප්‍රයෝජනයකුත් නෑ..අයියෝ සල්ලි..

    ReplyDelete
    Replies
    1. අන්න ඇත්තම කතාව... හි හි

      Delete
  30. හා...........පෝ................. දෙපාරක්ම ගෙවල් මාරුකරන්න වුනා අපෙ අප්පොච්චගෙ පත්වීම් නිසා......ආයෙනම් මලාට මේ ගෙදරින් අඩියක් තියන්නෑ එළියට..:/

    අයියණ්ඩිට සුභම සුභ උපන්දිනයක්වේවා කියල ප්‍රාර්ථනා කරනවා.....!!! ^_^

    ReplyDelete
    Replies
    1. හි හි.. රජ කට්ටක් කාලා වගේ...

      Delete
  31. ගෙවල් මාරු කිරිල්ල කවදත් කාටත් ඔහොමය. සේරම අකුලලා මදිවට ආයේ තැනක දිගාරින්නත් එපැයි. අම්මෝ ගෙවල් වල තියෙන කුණු නේද? අපේ ගෙදර බහුතර බලය බවලත් අයට නිසා කුණු කන්දල් වැඩියි... තාත්තා කෑ ගහලා ඉවරයක් නෑ කුණු ගොඩවල් එකතු කරලා කියලා..

    මේ විදිහට ක්මෙන්ට් කලින් බොක්ස් එක උඩින් තියෙනවා බ්ලොග් එකක දැක්ක බව මතක තියෙන්නේ බො‍හොම අඩුවෙන්. එත් පළවෙනි ක්මෙන්ටුව ලියනවා වගේ සිතිවිල්ලක් එක්වර ඇවිත් ගියා

    ෂාරුක් ඛාන් රඟපාපු ෆිල්ම් තුන හතරක්(අළුත් ඒවා) ඇරුනම සේරම මමත් බලලා තියෙනවා. වඩාත් හොද හා සාර්ථක දුෂ්ඨයාට රඟපැ චරිත බවයි මගේ අදහස.

    හිරුගේ මල්ලිට ලස්සන ජිවිතයකට සුබ පතනවා!

    ReplyDelete
    Replies
    1. අපේ නම් කුණු එකතු කරන දෙන්නා අපේ මහත්තයයි එයාගේ අම්මයි තමයි.. හි හි...

      කමේන්ට් බොක්ස් එක මං මේ එක්ස්පෙරිමන්ට් එකක් විදියට දැම්මේ.. හරි යන්‌ෙන් නෑ වගේ...

      ශාරුක්ගේ ෆිල්ම්ස් ඔක්කොම වගේ මාත් බලලා තියෙනවා පියුමි... ඇත්ත.. දුෂ්ටයට රඟපාපු චරිත හරිම සාර්ථකයි තමයි.. මට මතකයි Darr එකේ දුෂ්ටයා වීරයට වඩා ජනප්‍රිය උනා... දුෂ්ටයා මැරෙනකොට බලන අය අඬපු එකම ෆිල්ම් එක ඒක වෙන්න ඇති... ඒත් මගේ ආසම ෆිල්ම් එක DDLJ තමයි... හි හි.. අලුත් ඒවා කම්පියුටර් ජිල්මාට් විතරයි.. ඒවයේ සාර්ථක රඟපෑම් අඩුයි...

      ( හැබැයි මට එහෙම ෆිල්ම් එකක උනත් ශාරුක් මැරෙනවා නම් බලන්න බෑ... ඒක නිසා මං ඒවා ස්කිප් කරනවා... OM Shanti Om එකෙත් එහෙමයි.. හි හි)

      Delete
  32. මමත් සුබ පැතුවා කියලා කිවුවට කමක් නෑ හිරුවෝ.

    ReplyDelete
  33. ගෙවල් මාරු කිරිල්ල හරි සනීප වැඩක්.....

    වයිපරේට ජොබ් එක හම්බවුන දවසේ ඉදල මේ වෙනකොට 4 ගමනක් ගෙවල් මාරු කළා. දැන් අපි ළග තියෙන්නෙ අත්‍යාවශ්‍යම බඩු ටිකක් විතරයි, නිතර අකුළගෙන යන්න වෙන හින්දා.

    ReplyDelete
    Replies
    1. හරිම සැප වැඩක් තමයි ඒක නම්... කියලා වැඩක් නෑ.. හි හි

      Delete
  34. හිරු අක්කගේ මල්ලිට හැපි බර්ත් ඩේ වේවා....
    කමෙන්ට් බොක්ස් එක උඩට ගෙනාපු එක හොදා..
    පල්ලෙහාට ගිහිං කොටන්න ඕන්නෑ ඉතිං...

    ReplyDelete
  35. අඩේ මං හින්දද මාරු කලේ...
    හි හි..
    මරු ඈ...

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් නෑ.. බහුතර කැමැත්ත මත ආයිත් වෙනස් කරන්න වෙනවා... හි හි

      Delete
  36. පල් හෑල්ලක් නොවේ.

    ම'හිතනවා හිරු නැති හෝරාව ලියා තිබෙන්නේ මා ඉතා ආසා කරන දෙයක්.
    ඔබගේ මෑණියන්ගේ ඔබ කියන ගතිගුණය දුර්ලභ වටිනා ගති ගුණයක්. අවශ්ය නැති දේ ප්‍රයෝජනයක් ගන්න පුලුවන් කෙනෙකුට ප්‍රදානය කිරීම. අනවශ්‍ය දේ ගොඩ ගසා දූවිලි එකතු කිරීම. අපගේ දරුවන්ට අපට ස්වසන ලෙඩ හැදීමට ප්‍රධාන හේතුවක්. ඇඳ යටත් බඩු, ඇඳ කෙලවරකත් බඩු, අතුගාන්න හැටියක් නෑ.

    ඔබ දක්වා තිබෙන්නේ රටක් වටින, සරල දිවි පෙතකට උවමනා, මානසිකත්වය හදන අදහසක්.

    මලයාට උපන් දින ශුභ පැතුම් මගෙන්!

    අලුත් ගෙයක්
    නැවුම් හැඟුම්
    චූටි පැටියෙක් ලඟ ලඟම
    ශුභම ශුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. අඩේ කවියා හෙන හොරයි නෙව දැං බ්ලොක් කොරන්න...

      Delete
    2. පොඩියක් ඉවසනු මැන!

      Delete
    3. කවිය නම් තාම අදාල නෑ ඉතිං .. ඒත් ‌බො‌ෙහාම ස්තූතියි සුබ පැතුමට.... හි හි

      Delete
    4. ඇහෙන්නේ නෑ වගේ නේද අන්තිම පේලි දෙක.. අප්පට සිරි මේකිට පේන්නෙත් නෑ ඒක

      Delete
  37. අක්කගේ මලයට සුභ උපන්දිනයක් වේවා!

    බ්ලොග් අවුල ගැන නොකියමි..

    ගෙවල් ලගදිම මටත් මාරු කරන්න වෙන හන්දා ඒ කට්ට කන්න සූදානම් වෙමි.. :)

    ReplyDelete
    Replies
    1. එළ කිරි.. රස කට්ටක් කන්න ලැබේවා... හි හි

      Delete
  38. මගෙත් තියනවා ඔය පුරුද්ද... කවදා හරි මොනවට හරි ඕනවෙයි කියලා බඩු තියා ගන්නවා.. හැබැ‍යි එපා වෙච්ච දවසටත් එහෙමම තමයි... කොණක ඉඳන් වීසිකරනවා. පොඩි පොඩි සිහිවටන තියාගන්න නම් මාත් ආසයි... ඒවා නම් ලොකු දේවල් නෙමෙයි..

    දන්නෙ නැති උනත් ඉතින් මලයට සුභ පැතුවා කියන්නකෝ...

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් මේකා දැනටමත් ඒ ජරාව ජාති තුනක් ගැන විතර විස්තර දාල තියෙනවානේ...

      Delete
    2. මම නම් සිහිවටන තියාගන් නෑ.. හැබැයි බඳින දවස්වල අපේ තාත්තා කාමරේ අස් කරන්න ගිහින් මෙට්ටේ යට තිබිලා චොක්ලට් බෝල හිස් පැකට් බර ගානකුයි, ජම්බෝ පීනට් හිස් පැකට් තොගේකුයි නම් හොයා ගත්තා... හි හි

      Delete
  39. ඔය මගුල හරි යන්නෑ බං. තියෙන විදියට තියපං.. ඔන්න බලාපං සංජයා බ්ලොග් පිටුව නියම පිස්සං කොටුවක් කොරගන්නවා එක එක ජාති දාලා... ආ... මලයාට සුභ උපන් දිනයක් වේවා.. කොල්ලා හැන්ඩියා..

    අක්කට නං ඉතිං කියල වැඩක් නෑ කුණු ගොඩක්..

    ReplyDelete
    Replies
    1. වෙනස් කළා ඔන්න..ඌ හැන්ඩියා කියලා පොඩ්ඩක් හිතට අරන් වැඩියි වගේ... හි හි

      Delete
  40. මටත් මේ ගැන කියන්න දේවල් ගොඩයි...ඒ වුනාට ඕන නැහැ අප්පා .මලයට සුබ උපන් දිනයක් වේවා

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා ඕනේ නැත්තේ.. හි හි...

      Delete
  41. මල්ලිට සුබ උපන් දිනයක්!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පොඩ්ඩි.. මං මේක පෙන්නන්නම් එයාට..

      Delete
  42. ඈ....ගෙවල් මාරු කරනවා කිව්වාම මතක් උනේ මාත් පොඩි කාලේ ඔහොම ගෙවල් දෙක තුනකම හිටියා. ආපෝ ඒක මහ පන යන එපා තිත්ත වෙන වඩක්.
    මලයට හැපි වෙඩි..නැහ් මොකද්ද එකක් වේවා ඈ....

    ReplyDelete
    Replies
    1. පන යන වැඩක් තමයි අප්පා. .හි හි

      Delete
  43. අපෝ මේ පරණ බඩු ගොඩ ගහ ගැනීම නම් මටත් හරි අපුල දෙයක්. අපේ ගෙදරත් කිසිම විටක පාවිච්චි නොකරන දෙයක් තියාගත්තේ නෑ. කාට හරි ඕනෙ කෙනෙක්ට දුන්නා. ඒත් සමහර අය ඉන්නවා තවමත් පාවිච්චි කරන්න බැරි උනත් ගොඩ ගහගෙන ඉන්නවා.... දන්නවද ඒක මානසික රෝගයක්. මානසික ඒකකයේ කණ්ඩායමක් home visit ගිය වෙලාවේ එක රෝගියෙක් හොයාගෙන තියෙන්නේ කාමරේ කුණු කන්දක් පෙරලලා.. :D

    ඔබේ මල්ලීට සුභ උපන්දිනයක් !

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අපේ මිනිස්සු බෝතල් පත්තර එකතු කරන එක කවදා නවත්තයිද කියලා.. මං මේ ළඟදි දැන ගත්ත විදියට මේ රටේ බෝතල් පත්තර, පරණ යකඩ එහෙම එකතු කරලා විකුණන අය හොඳ ගානක් හොයනවා.. හි හි... ඒ වගේ එක්කෙනෙක් මේ ගෙදරට ආවා නං එහෙම නිධානයක් පහල උනා වගේ තියෙයි...

      Delete
  44. This comment has been removed by the author.

    ReplyDelete
  45. මලයට සුබ උපන් දිනයක් වේවා..!
    මාත් ටිකක් කල් ගිහින් ඔය පරණ ලට්ට ලොට්ට වලට නම් සුද්දයක් දෙනවා...

    ReplyDelete
    Replies
    1. එහෙම කරන එක නම් හොඳයි තමයි චන්දන.. වැඩේ කියන්නේ එහෙම අස් කරන්න ගියාමත් ඒවා ආයිත් එකතු කරගන්න එකනේ.. හි හි

      Delete
  46. හිරූගේ මලයට සුභ උපන් දිනයක්.

    ඔය ගෙයි අවුරුදු ගානක් ගොඩ ගහගෙන ඉඳලා විසි කරන බඩු තියෙනවා නේද? ඒවා විසි කරලා සතියක්ම ඇතුලත ආයෙ ඕනෙ වෙනවා. :)
    අකුරු වැරදිලා ආයෙ ගැහුවා උඹට බයේ :O

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන වෙලාවලුත් තියෙනවා තමයි ඩූඩ් අයියේ.. ඒත් ඕවයින් නිදහස් වෙන එක ඊට වඩා සැනසීමක්... හි හි

      මං ඒත් බැලුවා ඩූඩ් අයියා කමෙන්ට් එක මැකුවේ මොකෝ කියලා..

      Delete
  47. සුබම සුබ උපන් දිනයක් වේවා මල්ලිට...
    නුවර මගුලෙන් පස්සේ වැඩිය එලි බැහැල
    ඉන්නවා දැක්කේ නැහැ ...

    පරණ දේවල් මාත් ටිකක් තියාගන්නවා ,
    හැබැයි තද උනාම එක පෙලට තියල තලලා
    තලලා දානවා මොකාගෙ උනත්.මට මගේ බ්ලොග් එක
    ගැන උනත් ඔය දේම කරන්න හිතිලා ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. හා හා.. මොකට මොනා කළත් කමක් නෑ.. බ්ලොග් එක තනිකර ඔයාගේ නෙවෙයි.. හරිද.. හි හි

      Delete
  48. Onna adath mama anthima. Mamath masa 6k idala thiyenawa e widiyata. Habai ekama thanaka. E nisa awulak une na. Dan nam apema gedarakane inne. Ape gedara nam thiyenne tv kali godawal. Hadanna genawama geniyanna enne nahane. Thama purawala thiyenawa. Wisikarannath ba wage ewa.

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරත් ඉතිං ඉලෙක්ට්‍රික් බඩු කෑලි වලින් නම් කිසිම අඩුවක් නෑ... හදන්න දෙන බඩු අරන් යන්නේ නැති එක ඉස්සර අපේ මාමටත් තිබ්බ කරදරයක්.. දැන් නම් ඒ කරදරේ ඉවරයි එයා ඕවා හදන එක නවත්තපු නිසා.. හි හි

      Delete
  49. සුභ උපන්දිනයක් කිවුවා කියන්න.

    මමනම් හිතන්නේ කොමෙන්ට් බොක්ස් එක යටට වෙන්න තිබුනනම් හොඳයි කියල.අපි කමෙන්ට් කරන්න පහලට යද්දී ඒවත් නිකමට හරි ඇස ගැටෙනවා නේ.

    මේ ඔයා සැහෙන්න පරණ බ්ලොග් කාරිනියක් නේද?මම අයි දැක්කේ 2010 ඉඳලා බ්ලොග් ලියනවා කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි.. මාත් එහමෙ හිතුවා.. ඔන්න ආයිත් වෙනස් කළා තිබ්බ විදියටම...

      පරණයි නම් තමයි.. ඒත් කාලයක් ලියන්න හම්බුනේ නෑ... ඔන්න මේ අවුරුද්දේ තමයි එක දිගට ලියන්න හම්බුනේ... හි හි

      Delete
  50. //අම්මා පාවිච්චි නොකරන බඩුවක්, වැඩක් ගන්න පුලුවන් කෙනෙක්ට, පාවිච්චි කරන්න පුළුවන් තත්වෙන් දීලා දාන එක අපේ අම්මගේ පුරුද්ද නිසා... //

    මේක බොහෝ දෙනෙක්ට නැති වටිනා පුරුද්දක් හිරු. අපේ ගෙදරත් ඔහොම තමයි. දීලා අත හරැල්ල දාපුවහම හිතට පුදුම නිදසසක් තියෙන්නේ. අලුත් එකක් ගන්නේ පරණ එක එපා නිසානේ?
    ඉතින් මටනම් හිතාගන්න බැහැ අයි මේ මිනිස්සු පරණ දේවල් තියාගෙන ඉන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා.. අලුතෙන් එක්ක ගෙනාවට පස්සෙත් අර පරණ එක කුස්සියේ තියාගෙන ඉන්න එක නම් මටත් මහ විකාරයක්.. අනිත් එක කැඩුනට පස්සෙ අලුත් එක්ක ගෙනාවම අර පරණ එක හදන චාන්ස් එක ගොඩක් අඩුයි.. ඕක ලෝබකමත් නෙවෙයි.. ඕනෙවට වඩා අරපරිස්සම මම හිතන්නේ.. අපි ඉස්සර නම් මේ වගේ ඒවා කවදාවත් කැඩුනට අයින් කළෞ නෑ. හදලා පාවිච්චි කළා කියලා තියාගෙන ඉන්නවා.... ඒත් ඇත්තටම ඒක හදනවට වඩා අඩු ගානකට අලුත් එකක් ගන්න පුලුවන්...

      තව කට්ටියගේ අදහසක් තියෙනවා නේ ඉස්සර තිබ්බ බඩු දැන් තියෙන ඒවට වඩා හොඳයි කියලා... ඉස්සර පරම්පරා ගනං පවතින්න හැදුවට දැන් එහෙම නෑ කියලා තේරුම් ගන්න බැරි එකත් එක අවුලක් තමයි...

      Delete