Thursday, November 8, 2012

පොඩි කාලෙන් මතක ටිකක්....

ජොනතන් හාකර් ( Jonathan Haker)
මීනා මරේ - හාකර් (Mina Murray - Haker)
ලුසී වෙස්ටෙන්රා ( Lucy Westenra)
ප්‍රොෆෙසර් වෑන් හෙල්සිං ( Professor Van Helsing)

හරි....

කවුරුහරි කියමු බලන්න ඇයි අපිට මේ නම් ටික කටපාඩම් කියලා....

මේ නම් ටික කටපාඩම් නැති එකෙක් ඉන්නවා නම් දණගස්සලා තියනවා පන්තියෙන් එළියේ...

( අද ඉතිහාසය පාඩම... හි හි)

අද ගූගල් ලෝගෝ එක දැකලා තවත් පරණ මතකයක් ඇවිස්සුනා....

ඒ තමයි ඩ්‍රැකියුලා......( Count Dracula)
මේ ගැන චූටි හරි පෝස්ට් එකක් දාන්නම හිතුනේ ගිය ටිකේම පරණ මතක ඇවිස්සුව එකේ මේක අතෑරුනොත් ලොකුම අඩුවක් වගේ කියලා දැනුන නිසා...

ඉතිං අද ඒ වැඩේට හොඳම දවසක්.. අද තමයි බ්‍රෑම් ස්ටොකර් ( Bram Stoker) ... ඒ කියන්නේ කවුන්ට් ඩ්‍රැකියුලා ලියපු ප්‍රසිද්ධ නවකතාකරුගේ 165 වෙන උපන් දිනය යෙදිලා තියෙන්නේ.. ( මට ඒක මතක් කළේ ගූගල් එක... හි හි)
ඩ්‍රැකියුලා කියන්නේ අපි ඒ කාලේ පිස්සුවෙන් වගේ කියෝපු පොතක්.. ඕකේ පොත් ගොඩක් තිබ්බා... ඔක්කොම ඉතිං ඩ්‍රැකියුලා තමයි... මට මතක විදියට ගොඩක් පොත් පරිවර්තනය කළේ ඩීමන් ආනන්ද කියන නවකතාකරුවා... හැබැයි ඒවා ඒ තරම් පරිවර්තන විදියට නම් තිබුනේ නෑ.. මට මතක විදියට මම වැඩිපුර ඩීමන් ආනන්ද ගේ පොත් කියවන්න ආස උනේ නෑ... හේතුව හුඟක් ඒවා පොඩි පොත් වීම... හි හි....

ම‌ට මතකයි එක පාරක් මට අහුඋනා “ ඩ්‍රැකියුලාගේ මනාලියෝ” කියලා පොතක්.... අප්පා.. ඒක නිකම් 18+ වගේ.... රස කර කර කියෙව්වා.. හි හි..

ඩීමන් ආනන්ද , “ මාරක කතා චක්‍රවර්ති ” කියලා හැඳින්වුවත් ඔහු ඒකට ඒ තරම් ප්‍රිය උනේ නෑලු... ඒත් ඉතිං ඒ කාලේ විචාරකයන්ට ඒ තරම් හොඳ වෙන නමක් හිතා ගන්න බැරි වෙන්න ඇති... හි හි... ඉතිං මාරක කතා කිව්වොත්, ඩීමන් ආනන්ද මතක් වෙන එක වලක්වන්නත් බෑ... හි හි...

මීට අමතරව චන්ද්‍ර අනගිරත්න මහත්තයත් ඩ්‍රැකියුලා පොත් පරිවර්තනය කරලා තියෙනවා...

ඒ වගේම මට මතකයි ඩ්‍රැකියුලා චිත්‍ර කතාවක් විදියටත් පරිවර්තනය උනා...

( ඩ්‍රැකියුලා පරිවර්තන ගැන පොඩි සර්ච් එකක් දාන්න ගියාම කතන්දර ගොඩාක් හම්බුන නිසා ඒ ඔක්කොම පැත්තකින් තියලා මගේ මතකයෙන්ම මේ ටික ලියනවා කියලා හිතා ගත්තා...)

ඩ්‍රැකියුලා ෆිල්ම්ස් නොබලපු අය නැතුව ඇතිනේ... හි හි.. ( මං කිව්වේ මේ ඇස් දෙක අත් දෙකින් වහගෙන, ඇඟිලි ටික ඈත් කරලා හොරෙන් බලපු අය එහෙම.... හි හි)

මීට අවුරැදු 6-7කට කලින් ආපු LXG - League of Extraordinary Gentlemen කියන ෆිල්ම් එකේ අපි ආස කරපු ඇලන් ක්වාටර්මේන්, ටොම් සොයර්, මීනා හාකර්, ඩොක්ටර් ජැකිල්, කැප්ටන් නිමෝ වගේ චරිත ගොඩක් එකතු කරලා අලුත් කතාවක් හදලා තිබ්බා.....හි හි... මට නම් ඒක මරු.. ඇයි ඉතිං.. පරණ කතාව මතක් කර කර බලන්න පුළුවන් නේ...

දැං ඉතිං ඒ ගැන කිව්ව නිසා අපි අපේ තවත් පිස්සුවක් මතක් කර ගමු... හි හි

ෂර්ලොක් හෝම්ස්.....

අමතක කරන්න පුළුවන්ද.....නේද....????

මට මතකයි මුලින්ම මම කියෝපු ෂර්ලොක් හෝම්ස් පොත “ බැස්කර්විල්හි රැදුරු බලුව” කියලා එකක්.. ඒක පරිවර්තනය කරලා තිබ්බේ මට මතක විදියට දැදිගම වී. රොද්‍රිගූ කියලා කෙනෙක්... රැසියානු සාහිත්‍ය පරිවර්තනයේ ඉහලම හිටිය කෙනෙක් උනත් මේ ෂර්ලොක් හෝම්ස් පොත ගැන නම් ඒ තරම් සාර්ථක උනේ නෑ... මට තේරුන හේතුව නම් අමාරු රැසියන් නම් ගම් සිංහලට පරිවර්තනය කරන්න රොද්‍රිගු මහත්තයට තිබ්බ කුසලතාව ( ඒවා මට කොහොමවත් මතක හිටින්නේ නෑ...) මේ ඉංග්‍රීසි පරිවර්තනයෙදි අවුල් වෙලා තිබ්බ නිසාය කියන එක.... නිකමට ඒ පොතේ නමේ පරිවර්තනය ගැන හිතුවොත් හිනා යනවා... හි හි...

හැබයි ඉතිං ඒ කාලේ පොත් වල තිබ්බ භාෂාව ගැන සලකලා බැලුවොත් රොද්‍රිගූ මහත්තයට වැරැද්දක් කියන්න බෑ... මොකද මේ ෂර්ලොක් හෝම්ස් කියන පොත ලෝකේ වැඩිම අලෙවියක් තිබ්බ පොතක්... එහෙම එකක් පරිවර්තනය කරද්දි මේ නිකම් රස්තියාදු භාෂාවක් පාවිච්චි කරන්න බෑ කියලා හිතෙන්න ඇති... ඒත් ඇත්තටම ෂර්ලොක් හෝම්ස් පොතට හරියන්නේ ඒ රස්තියාදු භාෂාව තමයි... ඒක හරියට අල්ලගත්තේ චන්දන මෙන්ඩිස් මහත්තයා උනාට, ඊට කලින් චන්ද්‍ර අනගිරත්න, කේ. ජී. කරැණාතිලක වගේ පරිවර්තකයනුත් මේ පොත් පරිවර්තනය කළා....

“ බැස්කර්විල්හි රැදුරැ බලුව” “ බැස්කවිල් දඩ බල්ලා” උන ගමන් කියවන්න පුදුම ආසාවක් එනවා.. හි හි....

චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරපු මුල් කතා ටික මල් හතයි උනාට , පස්සේ පස්සේ ආපු කතා නම් වැඩකට නෑ කියලා පොඩි උන්ටත් ‌තේරෙනවා... ඒවා ඩොයිල්ට පස්සේ අනිත් ලේඛකයෝ ලියපු කතා නිසා එහෙම වෙන්න ඇති කියලා මට හිතෙන්නේ නම්... මෙන්ඩිස් මහත්තයත් ඉතිං වොට්සන් වෙන්න ගියා නොවැ... ඒකත් හේතු වෙන්න ඇති... හැබැයි ඉතිං මෙන්ඩිස් මහත්තයා බොහොම ප්‍රියමනාප මනුස්සයෙක්... මං ඉතිං පාඨක ජාලෙත් හිටියා නොවැ... හි හි...

ෂර්ලොක් හෝම්ස් ගැන මට තියෙන පිස්සුව නිසා මේ පොස්ට් එක මොන වගේ අතකට හැරෙයිද කියලා මටම ෂුවර් නෑ.. ඒක නිසා මං මෙතනින් ෂර්ලොක් ‌හෝම්ස් ගැන නවත්තනවා... මොකද ඒ පිස්සුව තාම තියෙන නිසා.... හි හි

කො‌ෙහාමත් මට පොත් කියවීමේ පිස්සුව තාමත් තියෙනවා කියලා හිතෙන්නේ මේ වගේ දෙයක් ලියන්න ගියාම.... අදටත් ඒ පොත් අකුරක් නෑර මතකයි... ඒ වගේම කම්මැලි හිතුනම නිකම්ම හිත යන්නේ පොත් ගොඩට...

එහෙම පොත් කියෝපු අපියි, අද ඉන්න ළමයිනුයි අතර වෙනසක් පේනවද.... ?
පොඩි වෙනසක් තියෙනවා නේ.... දැං කට්ටියට බලන්න ෆිල්ම්ස් තියෙනවා... ගේම්ස් තියෙනවා....

ඒත් ඒ කාලේ අපි පොතක් කියෝලා ඒ පොත හිතේ මවා ගත්තා... තනිකරම අපේ නිර්මාණාත්මක හැකියාවන් (Imagination) හැදුනේ මේ පොත් වලින්...

අපි පොත කියෝලා මවා ගන්නවා ෂර්‌ෙලාක් හෝම්ස් මේ වගේ... වොටිසන් මේ වගේ...කියලා...

හෝම්ස්ට හෝඩුවාවක් හම්බුනාම බිම දිගේ බඩගගා කාමරේ පුරාම යන හැටි මගේ හිතේ මැවිලා තියෙන්නේ මේ විදියට...හි හි.. ( චික්... කොම්පියුටරේට අරං බැලුවම ඒක හෙන චාටර්... කට්ටියට හිනා වෙන්නත් එක්කම දැම්මා ඔන්න...)

තව ආසා කරපු පොතක්.. ගොඩක් අය නම් මේකේ කාටූන් එක තමයි බලලා තියෙන්නේ... දොස්තර හොඳ හිත... හි හි..

අපි දැකලා තියෙන දොස්තර හොඳ හිත, උස, කෙට්ටු, උස තොප්පියෙන් තවත් උසට පේන මනුස්සයෙක්නේ... ඒත් හියු ලොෆිට්ං ගේ හිත හොඳ දොස්තර පොතේ හැටියට හිත හොඳ දොස්තර කොට, මහත, බොලයක් වගේ මෑන් කෙනෙක්.. හි හි... උස තොප්පියෙන් තමයි ටිකක් උසට පෙන්නේ.. හි හි... පරිවර්තය නම් සමරසිංහ ගුණසේකර මහත්තයගේ... ( ඊයේ පෙරේදා මාරයියා ලිව්ව අපේ ගම මාතර කියන පොත ලිව්වෙත් මෙතුමා තමයි...)

තව ගොඩක් තිබ්බා... ඔක්කොම මතක නෑ... මතක ටික දාන්නම්.. ඉතුරු ටික ඔයාලා මතක් කරන්න... හි හි


ටොම් සොයර්

ළමා සොල්දාදුවෝ
සොලමන් රජුගේ දියමන්ති කතාව (ගොඩක් පරිවර්තන තියෙන නිසා එක නමක් කියලා මතක නෑ... )

ජැකිල් අන්ඩ් හයිඩ් ( එකත් එහෙමයි)
පරිවර්තන පැත්තට දාන්න බැරි උනත් ඇමතක කරන්න බෑ මඩොල් දූව.. උලමගේ රාත්‍රිය... කඩවර අඩවිය...

හරි ඉතිං.. මේකත් ඊයේ පෝස්ට් එක වගේම තමයි.... මේ මගේ මතකයේ තියෙන අපේ ළමා කාලය.... මම හරි ආසයි මේ වගේ දේවල් ගැන මතක් කරන්න.. සමහර විට දැන් අම්මලා තාත්තලා වෙලා ඉන්න අපේ කාලේ අයට මේවා අමතක වෙලා ඇති... ඒ අයටත් අපේ සුන්දර පුංචි කලේ, අපේ දරුවන්ටත් ලබා දෙන්න උදව්වක් විදියට මේ පොස්ට් එක ලියවුනේ... හි හි.. පොතක් අරං දෙන‌කොට අපි ආස කරපු පොත් අපේ දරුවන්ටත් දෙන්න අම්මලා තාත්තලා ආසයි නේ....

ඊයෙත් ගොඩක් කට්ටියට ළමා කාලය මතක් වෙලා තිබ්බනේ.... හි හි... ඉතිං මේ ගැනත් මතක, ආයිමත් කතා බහ කරන්න ඔන්න ඕන තරම් ඉඩ තියෙනවා මේකේ කමෙන්ට් තීරුවේ....

පින්තූර ටික නම් ගත්තේ විකිපීඩියාවෙන් තමා... හි හි
ඩීමන් ආනන්ද මහත්තයා ගැන හොඳ විස්තරයක් අහුවුනා... ආස නම් කියවලා බලන්නකො...

120 comments:

  1. මම ද්‍රකියුලා නම් කියවලා නැ.එත් චන්දන මෙන්ඩිස් ගේ ෂර්ලොක් හෝම්ස් නං කියව්වා..අපි තාමත් ළමයි තමයි හරිද??? ඉකන් කෝචෝක් දාන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඔයා කියෙව්වේ චන්දන මෙන්ඩිස්ගෙ ෂර්ලොක් හෝම්ස් ද ,,එයා ලියපු ෂර්ලොක් හෝම්ස් කතා තමයි අන්තිමට පිටවුනේ ..ඒ තරම් රහක් නම් නෑ.

      Delete
    2. අපෝ.. ඔයාලා පොඩි ළමයි තමයි නඟා.. කවුද නෑ කිව්වේ.. හි හි...

      ඇත්ත රතූ... අන්තිම ටික නම් චා..... මම ගන්න එකත් නැවැත්තුවා.... වැඩක් නෑ නේ..

      Delete
    3. ඔව් මම කියව්වේ චන්දන මෙන්ඩිස් ගේ ඒවා...අන්තිම ටික රහ නැති වගත් අද්දැකීමෙන් දන්නවා... :)

      Delete
  2. මෙයා පොඩි කාලේ වෙන වැඩක් කරල නෑ.. ට්වී බැලිල්ලයි පොත් කියවිල්ලයි බයිසිකල් පැදිල්ලයි ඇරෙන්න.....

    ReplyDelete
    Replies
    1. වෙන මොනාද මීයෝ කරන්න කියලා තිබ්බේ... මොකෝ ගේම් ගහන්න කම්පියුටර් තිබ්බද... කරකෝ කරකෝ ඉන්න ෆොන් තිබ්බද.. ගෙවල් ගානේ යන්න කියලා යාලුවො හිටියද.. ෂොපිං යන්න කියලා සල්ලි තිබ්බද... නැ නේ.. හි හි... පොත් කියවිල්ල තමයි ඉතිං දවසම කාමරේ අස්සට වෙලා....

      Delete
  3. මේ කියල තියන පොත් බොහොමයක් මාත් කියවල තියනවා . බයේ ගැහි ගැහි තමා කියවන්නෙ . ඊට පස්සෙ ඉතින් තනියම කාමරේටවත් යන්න බයේ ඉන්නවා . රෑට ජනේල තියන පැත්තවත් බලන්නේ නෑ බයට .

    ReplyDelete
    Replies
    1. හි හි.... ඔහොම වැඩ මට වෙන්නේ එක්ස් ෆයිල්ස් බැලුවම...

      Delete
  4. දැන් මම දණ ගහන්ඩ ඕනද ? ඔය උඩින්ම දාලා තියන නම් එකක්වත් මම දන්නෙ නෑ නැත්නම් මතක නෑ.

    ටොම් සෝයර් කියන්නෙ මම අන්තිම පිටුව වෙනකම් එක හුස්මට කියවලා ඒ එක්කම ආයෙ මුල ඉඳන් කියවන්ඩ ගත්තු පොතක්. මුලින්ම කියෙව්වෙ කවුද පරිවර්තනය කරලා තිබුන පොතක්. ඒකත් නියමෙට තිබුන.. පස්සෙ චන්ද්‍රා අනගිරත්න මහත්මයා ලෙසටම දීලා තිබුනා. චන්ද්‍රා අනගිරත්න කියන්නෙ අපිට හම්බවෙච්ච හොඳම පරිවර්තකයන්ගෙන් කෙනෙක් කිව්වොත් නිවැරදියි. අපේ අවාසනාවට එතුමා අකාලේ අපිට නැති වුනා.

    චන්දන මෙන්ඩිස් අපිට ශර්ලොක් හෝම්ස් කතා එපා කෙරෙව්වා කිව්වොත් වඩා නිවැරදියි කියලයි මට හිතෙන්නෙ.

    උලමගෙ රාත්‍රිය කියවලා තියනවා ඒත් දැන් මට කතාව මතක නෑ. ආයෙ හොයාගන කියවන්න ඕනා.

    මමත් හරිම ආස දෙයක් තමයි මේ පොත් ගැන කතා කරන එක. ඒවා එච්චරට රසවත්. ඇත්තෙන්ම පොතක් කියවන එකෙයි ෆිල්ම් බලන එකෙයි ලොකු වෙනසක් තියනවා. පොතක් කියවපුවම අපේ හිතේ ඇඳෙන චිත රූප අපිටම ආවේනික අපේම නිර්මාණ. ෆිල්ම් එහෙම නෑනෙ.. දෙන දේ බලන්න ඕනා. ඔය දෙකේ වෙනස මම හොඳින්ම දැක්කෙ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතාවෙන්.

    බ්ලොග් ලෝකෙ තවත් චිත්‍ර අනින්න පුළුවන් කෙනෙක් දකින්න ලැබීම සතුටක්..

    ReplyDelete
    Replies
    1. පුදුමයි වෑන් හෙල්සිං කියන නම වත් දන්නේ නෑ කිව්වම....

      මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා පොත් ටික මම පරිස්සම් කරන්නේ පුදුම විදියට.. තාත්තා පොත් ටික ගත්ත ගමන් උස්සගෙන ගිහින් පොත් බඳින තැනකට දීලා අර පුස්තකාලවල වගේ හාඩ් කවරේ දාලා බන්දව ගත්තා...
      උලමගේ රාත්‍රිය මටත් දැං අමතකයි වගේ...

      මම නම් චන්දන මෙන්ඩිස්ගේ ෂර්ලොක් හෝම්ස් පරිවර්තන ටිකට ආසයි....

      චිත්‍රෙ දැම්මේ හිනා වෙන්න... හෝම්ස් පස්ස උඩ තියන් කාමරේ පුරා බඩ ගාන විදිය මගේ හිතේ ඇඳිලා තියෙන්නේ ඔහොම.. හි හි

      Delete
    2. අඩේ මේ සර්ලෝක් හෝම්ස් එක්ක වැඩ කරපු අපිට බොරු දාන්ට එපා හරිය... සර්ලොක් හෝම්ස් කවදාවත් ඔහොම කරේ නෑ. එයා දුර ඉදන් හැමදේම නිරික්ෂන ඇහැකින් බැලුවේ

      Delete
  5. appe matath be dana gahanna... math oya nam tika dhanne ne ne... :(((((

    Sherlock Holmes nam harima asawen kiyewwa.eth ekakwath laga ne. ah ekak thiyenawa.hebei ekath Chandana Mendisma pasukaleenawa liyapu pothak.

    ReplyDelete
    Replies
    1. පස්සේ ඒවා නං වැඩක් නෑ නිසූ.... පරණ ඒව ටික නම් මරු.... දණ ගහන්න ඕනේ නෑ... හි හි..

      Delete
  6. හිරුගෙ පොත් සැට්එකම මම කියවල තියනව. ඩ්‍රැකියුලා කියවන්න කලින් මම කියෙව්ව ඩීමන්ගෙ "උතුවන්කන්දේ මරු රීරා" කියල පොතක්.(ඩීමන් ආනන්දගෙ මම කියවපු එකම පොත). ඊට පස්සෙ ඩ්‍රැකි්‍යුලා කියෙව්වම හිතුනෙ ඩීමන් එකෙන් කොපි කලාවත්ද කියල. මේ ගැන දවසක් යාළුවොත් එක්ක කතාවෙද්දි මම කිව්වෙ ඩ්‍රැකියුලාට විධායක බලතල දුන්නම එන්නෙ ඩීමන්ගෙ ඩ්‍රැකියුලා කියලයි.

    ReplyDelete
    Replies
    1. හික්ස් :) ඒ කියන්නේ ඩීමන් ටූල්ස් වගේ ඩීමන් ඩ්‍රැකියුලා ද.

      Delete
    2. ///ඩ්‍රැකියුලාට විධායක බලතල දුන්නම එන්නෙ ඩීමන්ගෙ ඩ්‍රැකියුලා///

      හි හි.. හරි ඇත්ත... ඩීමන්ගේ පොත් ඔක්කොම එක වගේ මට ඉස්සර... හි හි...

      Delete
  7. අනේ මම නම් ඔය නම් එකක්වත් දන්නේ නැහැ බන්..

    ReplyDelete
    Replies
    1. දන් නෑ දන් නෑ ගගා ඉන්නේ නැතුව පොතක් පතක් හොයා ගෙන කියෙව්වොත් නරකද... හි හි

      Delete
  8. රුසියන් ළමා කතා,නවකතා, කෙටි කතා සිංහලට පරිවර්තනය කරපු පොත් ( රුසියාවේ PRINT කරපු ) මම දැනුත් පරිස්සම් කරන්නෙ මගෙ දරුවො වගේ, දැදිගම වී රොද්‍රිගු කියන්නෙ දක්ෂම රුසියන් පොත් පරිවර්තකයෙක්.

    ReplyDelete
    Replies
    1. අපි පුංචි කාලෙ අපේ ගෙදරත් තිබුණ ඔය පොත් සෙට් එකක්ම. මතක හැටියට රාදුගා ප්‍රකාශකයොන්ගෙ පොත්. ලස්සන රූප එහෙම එක්ක. ඒත් අපි හතර දෙනෙක්ම හිටපු නිසා පොත්වල රූප කපල, චිත්‍ර උඩින් පැස්ටල් අතුල්ලල ඒ පොත් විනාශකරල. දැන් මතක් වෙනකොටත් දුකයි.

      Delete
    2. මං ගාවත් තියෙනවා... තාත්තා කලබල කාලේ වළදාලා තිබ්බ පොත් ගෝනියක්ම උස්සන් ඇවිත් ම ආයිත් බන්දලා ගත්තා.. අම්මා, පෙරළු නැවුම් පස, සැබෑ මිනිසෙකුගේ කතාවක්, වනේ පන්නරය ලැබු හැටි, 19 වෙනි ශතවර්ෂයේ රුසියන් කෙටි කතා එහෙම...

      Delete
    3. @ DDT හැම එකක්ම වගේ රාදුගා ප්‍රකාශකයන්ගේ තමයි. සමහර පොත් ආවේ දේදුන්න ප්‍රකාශකයෝකියල මම ඒ කාලෙ රාදුගා එකට ලියුම් දානව උන් සිංහලෙන්ම උත්තරත් එවනවා . උඹල වගේ පොත් කපන නරක ළමයි දෙන්නෙක් මටත් ඉන්න හින්ද. ඔර්ජිනල් ටික තියල ලංකාවෙ ප්‍රින්ට් කරපුව අරන් දීල තියෙන්නෙ.

      Delete
  9. ඩ්‍රැකියුලා කිව්වම මට පොතට වඩා මුලින්ම මතක් වෙන්නේ ටීවි එකේ ගිය හින්දි ෆිල්ම් එක. ඒකේ නම තිබ්බේ "666 වලව්ව" කියලා. තනිකරම ඩ්‍රැකියුලා ෆිල්ම් එකක් !

    බ්‍රෑම් ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා පොතේ පරිවර්තනය කියෙව්වා. ඊට පස්සේ ඉස්කෝලේ පුස්තකාලෙම තිබිලා ඩික්සනේරියකුත් අරගෙන ඒකේ මුල් පිටපතත් කියෝ ගත්තා.

    තාමත් ඒ වගේ කතා බලන්ඩ ආසයි.

    ඉස්සර නම් හොල්මන් ශෝ එකක් කිව්වම ගෙදර අයත් රෑ නිදිමරාගෙන බලන්නේ. හැබැයි ගෙදර කට්ටියත් එක්ක එකට ඉදන් බලන්ඩ බැරි කෑලිත් ඒ ෆිල්ම් වල නැතුවම නෙමෙයි. :)

    දැන් නම් එහෙම අවුලක් නෑ. :)

    ෂර්ලොක් හෝම්ස් සීරීස් එකම මා ගාව තියෙනවා.
    ඒක නෙමේ අර සිත්තරේ දැක්කම හිතෙන්නෙම වෙන මොකක් ද සීන් එකක්....

    ReplyDelete
    Replies
    1. මමත් මේ දවස්වල කරන්නෙ ඕවයේ ඉංග්‍රීසි මුල් පොත් කියවන එක තමා.. ඒ කාලේ නං ලොකු ඉංග්‍රීසි පොත් දැක්කම ටොයිලට් යන්න වෙනවා.. දැං නං එහෙම නෑ .. හි හි..

      වෙන වෙන ඒවා හිත්නන එපා... හෝම්ස් පස්ස උඩ තියන් බිම දිගේ බඩ ගගා හෝඩුවාවල් හොයද්දි වොට්සන්ට නරක සිතුවිලි පහල උනා කියලා පොතේ කොතැනකවත් නෑ... හි හි

      Delete
    2. මට වැඩිය උබ ඉස්සරහට ගිහින් නේ හිරු... හික්ස් :)

      Delete
    3. මටත් ඕක හිතීගෙන ආවා. ඒත් කියන එක හරි නැති නිසා ඔහේ කට පියන් හිටියා...

      ප.ලි. - කමෙන්ට් එක ලියලා ඉවර කරන්න කලින් පබ්ලිශ් උනා.

      Delete
  10. මේ නම් ටික කියෙව්වෙත් අද මම නම් දන්නෙ නෑ... මේ දණගහගෙන කොමෙන්ටුව කොටන්නෙ... ඩීමන් ආනන්ද මහත්තයගෙ පොත් ටික උණු කැවුම් වගේ යන කාලෙ මුද්‍ර‍ණ ආයතන වලටම ගිහිල්ලා ඉතිරිකොටස් ලියපු බවක් මම අහලා තියෙනවා...

    සර් ආතර් කොනන් ඩොයිල් විතරයි මම දැනගෙන හිටි එකම කෙනා...

    ReplyDelete
    Replies
    1. නැගිටින්න නැගිටින්න.. ඔය දණ ගහන් හිටියා ඇති.... හි හි

      ඩීමන් ආනන්ද ගැන හොද කතා ඉස්සර අපේ තාත්තා කියනවා.. දැං නං මට මතක නෑ... මට මතකයි මං ගාව තිබ්බා අනූනවය කියලා පොතක්.. ඒකත් එයාගෙද කොහෙද... හිනා වෙලා මැරෙනවා ඒක කියෝන කොට... (භාෂාව අමුඅතුයි නේ.. ඒත් හරි රසවත්...)

      Delete
  11. කේ. ජී. කරැණාතිලක කියන්නේ මම ගොඩක් ආසකරන ලේඛකයෙක්. මම බස්කවිල් දඩ බලල කියවන කොට වයස 10යි. ටාසන්, මොන්ත ක්රිස්තෝ සිටුවරයා. සුදු හැඳගත් කාන්තාව. ආදී එකී මෙකි නොකී. දීමන ආනන්ද මහත්තයාගේ තියෙන්නේ එයාටම ආවේනික ශයිලයක් ලියන ක්‍රමේ. ෂර්ලොක් හොල්ම්ස් හරියටම ලිව්වේ චන්දන මෙන්ඩිස්, ටාසන් ලිව්වේ කේ. ජී. කරැණාතිලක මහත්තයා. අපේ අම්මගේ පොත් කබඩ් එකම මම කියවල තියෙන්නේ මම හිතන්නේ මම දැනට කතා පොත් නවකතා කෙටි කතා 8000 10000 ත් අතර කියවල තියෙන්නේ. අම්බලන්ගොඩ මහජන පුස්තකාලේ බලපිටිය පුස්තකාලේ ඔක්කොම ඉවර කොලා ලංකාවේ ඉන්න දවස් වල. දාවසට පොත් දෙක කියවල තියෙන දවසුත් තියෙනවා කනවයි කියවනවයි වෙන වැඩක් නැති නිසා. මටත් අද උදේම මතක් උනේ “ ඩ්‍රැකියුලාගේ මනාලියෝ” අනේ මන්දා ඇයි කියල වයසේ වැරැද්ද වෙන්න ඕනේ. by the way අපේ සම හරක් මටත් කියනවා ඩ්‍රැකියුලා කියල ඒ අර දෙපැත්තේ තියෙන නල දත් දෙක නිසා. නිකන් නල පාන වගේ හිකිස්ස්ස්ස්

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ මගේ ජාතියේ එක්කෙනෙක්.. ඔය විදියටම පුස්තකාල තුනක් ඉවර කලා මම... කනවයි කියවනවයි තමා.. වෙන වැඩක් තිබුනෙ නෑ... හි හි

      මගෙත් ඔය නළ දත් දෙක තියෙනවා.. හි හි...

      Delete
    2. එකනේ අනේ ඔයා මගේ අක්ක කියන්නේ. සහෝදරියෝ නැති මට බ්ලොග් ලෝකෙන් හම්බ උන අක්කල දෙන්න ඔයයි ලිහිණි අක්කයි, නංගිලා හිරුහිමා,වකා සහ තව ඉන්නවා අක්කල කියන්න ඉන්නේ ඔයාල දෙන්න විතරයි. හිකිස්....... හම්මපා ඔය දත්දෙකත් එක්ක ඔක්කොම දත් 34ක් තියෙනවනේ මට. යට ඇන්දෙත් නල දත් තියෙන්නේ මට විතරයි ඔක්කොම නල දත් 4යි. ඔයාට 2යි නේ හු හු හු.... :P

      Delete
    3. නල දත් 4ක් තියෙනවා ම‌ෙගත්... ඒකක් හින්දා තමයි මගේ මේ දතක් අඩු වෙලා තියෙන්නේ දැං.... හි හි

      Delete
  12. අපිනම් ඉතින් ඒ කාලේ මහාවන්සය, අමාවතුර, බුත්සරන,කව්සිලුමිණ, සකස්කඩේ. වගේ දෙවල් තමයි කියැව්වේ

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද... අපි එච්චර වයස නෑ නේ... හි හි

      Delete
  13. මමත් පොත් ගුල්ලියක්.

    The Adventures of Tom Sawyer (Mark Twain)
    Count Dracula (Bram Stoker)
    Allan quatermain (H. Rider Haggard)
    Sherlock Holmes (Sir Arthur Conan Doyle)
    මේ පොත් හතරම ඉතා ආසාවෙන් කියවපු පොත්. රෑ මැද්දේ ඇහැරගෙන හොරෙන් පොත් කියවපු කාලේ තාම මතකයි.

    ඩ්‍රැකියුලා පොත කියවලා පොඩ්ඩි අම්මට කීවලු ඉස්සරහ දොරේ යතුර හංගන්ට කියලා.

    ටොම් සෝයර් කියවලා තාපේ පාට කරමු කියලා හිතුවලු ගමේ ලමයි ගෙනෙල්ලා. එයා පැත්තක ඉඳන් පේර ගෙඩියක් කනකල්.

    ෂර්ලොක් ගැන කියනවා නම් දැන් හිතෙන්නේ 'වැස්ස දවසක ගෙදරට එන කෙනෙක් ප්‍රීතියෙන් හිටියොත් එයා කොහේ ගිහින් ඇවිත්ද කියලයි.' බැලුවේ නැති කට්ටිය පොත් කියවලාම බලන්ට.

    පොඩ්ඩිගේ එක හීනයක් තමයි ට්‍රන්සිල්වේනියා ගිහින් ඩ්‍රැකියුලා හිටිය කියන මාලිගාව බලන එක. :D

    ReplyDelete
    Replies
    1. //රෑ මැද්දේ ඇහැරගෙන හොරෙන් පොත් කියවපු කාලේ තාම මතකයි.//

      අප්පොච්චියේ කවුන්ට් ඩ්‍රැකියුලා ගැන එහෙම.........? හොල්මන්ද පොල්කොල කිව්වළු........!!

      Delete
    2. හි හි... මාත් ඔය වෙගේ.. හීනෙනුත් අබිරහස් විසඳනවා ඉස්සර... හි හි

      ඔව් ඔව්... රෑ තිස්සේ කියෙව්වා... හැබැයි හොරෙන් නම් කියවන්න උනෙ නෑ... අපෙ ගෙදරින් කිසි කචල් එකක් නෑ මම මොනවා කියෙව්වත්... හි හි

      Delete
    3. මමත් පොතක් කියවන්න ගත්තම රෑ දවල් කියල වෙනසක් නැහැ. හපන්න යමක් තියෙන විතරයි ඕනේ පොතම ඉවරවෙනකන් ඇඳෙන් නැගිටින්නේ නැහැ.

      Delete
  14. ඔය ඔක්කෝම් මම කියවලා තියෙනවා. ඩීමන් ආනනදගෙ ඔක්කොම පොත්. අපේ අයියා කාරයා ඕවා හොරෙන් ගෙනත් බලලා හංගන තැනක් තිබ්බ මිනිහගෙ හිතේ මම ඕක දන්නේ නෑ කියලා. ඒ ලාච්චුවට එක එක ගැජට් හයි කරලා තිබ්බා කවුරුත් අරිනවාද කියලා දැනගන්න .. එක්කෝ නූලක් තියලා .. එක්කෝ කොල කෑල්ලක් අලවලා. ඕක දැක්කාම මම දැන ගන්නවා අද නම් රස සාගරයක් හංගලා තමයි කියලා. එදාට හොර ලෙඩක් අරන් අම්මත් එක්ක ගෙදර ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. හි හි.. ඔය එළිවෙන්නේ හොද හොඳ වැඩ... අපේ තාත්තා අම්මට ගෙනත් දීපු පොතක් තිබ්බා හෙළු කදුළු මුහුදට එක උනාදෝ කියලා... ඕක හංගලා තිබ්බේ.. මට ඉවසිල්ලක් නෑ ඕක කියෝනකම්.. අම්මලා ගෙදර නැති වෙලාවට හොරෙන් හොරෙන් ඕක කියවන්නේ දැං එයි දැං එයි කියලා බයේ වෙවුල වෙවුල.. හි හි...

      ඊට පස්සේ කාලෙක මම අර ටයිප් සෙටින් කරන තැන වැඩ කරද්දි ගෑණූ කෙනෙක් ආවා ෆිල්ම් ස්ක්‍රිප්ට් එකක් ටයිප් කරගන්න.. පළවෙනි පේලි දෙක තුන ටයිප් කරලා මං ඇහුවා ඔයාද මේක ලිව්වේ කියලා... ඔව් කිව්වා.. මං ඒ පාර කිව්වා මේක මේ පොතේ තියෙන කතාවමයි .. ඒ නම් ගම් මයි කියලා... ඒ පාර එයා හිනා වෙලා අන්තිම පිටුව පෙන්නුවා... බලන කොට ඒ පොත තමයි ස්ක්‍රිප්ට් එකට අරන් තියෙන්නේ.. හි හි.. ඒ මනුස්සයා මට පස්සේ ෆිල්ම් එක බලන්න එන්න කියලත් එවලා තිබබා... ඒ දවස්වල ෆිල්ම් එකට නම තියලා තිබ්බෙ නැති නිසා මට දැං ෆිල්ම් එකේ නම මතක නෑ.... ගෙදර වැඩ කරන උපුල් කියන ඩ්‍රයිවර් එක්ක අම්මයි දුවයි දෙන්නම යාලු වෙන සීන් එකක් තිබ්බේ...

      කොහොමද මගේ මතකේ.. හි හි

      Delete
    2. එයා ඩ්‍රයිවර් කෙනෙක් විදියට ඉන්නෙ කරපු ජොබ්එක නැති වෙල හිටපු දවස්වල නේද? මතක හැටියට පොර ඉගෙන ගෙන හොඳ ජොබ් එකක් එහෙම කරපු හාදයෙක්. අම්මත් එක්ක යාළුකම කිව්වට ඊට එහා යන සීන් තියෙනව ඒකෙ, පස්සෙ දුවත් කාමරේට රිංගන්නෙ. පස්සෙ ඌ කෙල්ල අරන් පනිනවා, ඔය වගේ ෂීන්කෝන් තිබුණු නිසා වෙන්න ඇති ඒ පොත හංගන්න ඇත්තෙ, ඒක හැදෙන වයසෙ ගෑණු ළමයෙක් කියවන්න හොඳ පොතක් නෙවිනේ. :)

      Delete
    3. හි හි.. හරි හරි .. ඔය කියන පොත තමා... ඒකනේ බං හොරෙන් කියෙව්වේ... හැදෙන වයසේ උන්ට කියවන්න හොඳ නැ කියලා කියන ඒවා කොහොම හරි හොයා ගෙන කියවන එකෙක් මං...

      Delete
  15. අනේ හිරු අක්කේ..... ඔයා මේ දවස් වල අපේ මතකය අයෙත් ළමා කලෙට ගෙනියනවා අනේ....... :)

    මාත් ඔය පොත් වලින් ගොඩක් ඒවා කියෝලා තියනවා.... ඔය ශර්ලොක් හොම්ස්ව එහෙම කතා පොතෙන් කියවල හිතේ ඇද ගත්ත මනුස්සය නෙමෙයි අප්පා ෆිල්ම් එකේ එහෙම ඉන්නේ... එතකොට නම් ටිකක් අවුල් වගේ.......

    ReplyDelete
    Replies
    1. හි හි.. ෆිල්ම් බලද්දි එන අවුල් වලින් එකක් තමයි ඔය.. ඇයි පොතේ නැති කෑලිත් ඒවයේ තියෙනවනේ...

      Delete
    2. හැබැයි මමනම් විරුද්දයි ෆිල්ම් වලට ෂර්ලොක්ගේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම විනාස කරලා මයික්රෝෆ්ට් හොල්ම්ස් කියන්නේ බොහොම නිහඬ තමන්ගේ සහෝදරයා එක්ක උනත් වැඩකට ඇර කතා නොකරන කෙනෙක් ෆිල්ම් එකේදී ඒ මනුස්සයව නිරුවතින් ගෙයි ඇවිදින ජෝකර් කෙනෙක් කරලා

      Delete
  16. ඩ් ඩ් ඩ්‍රැකියුලා. බයටම තියවන්නේ නෑ බං. සර්ලොක් හෝම්ස් පරික්ෂකයගේ වැඩ කිඩ නං මම මොන ක්‍රෙමෙට හරි විදිනවා. මෙන්ඩිස් ගොයියා තමා හොදටම ඒක ලිව්වේ කියන එක් ඇත්ත. ඇයි හොලිවුඩ් චිත්තරපටි. එකක් නෑර හොය හොය බැලුවේ. ටික කාලෙකට කලින් රෑට සිරසේ ඔය කතා සෙට් එක ගියා. සර්ලොක් හෝම්ස් ගැන මටත් පුළුවනි අප්පා පෝස්ට්කටුවක්ම දාන්න. හිරුවා ලියපු නිසා ගොඩක් දේවල් මතක් උනා

    ReplyDelete
    Replies
    1. මට මතකයි ගුවන් විදුලි සංස්ථාවෙන් කරපු වැඩසටහනකුත් ගියා ෂර්ලොක් හොම්ස් කියලා.. රෑට ගියේ.. මම පණ දාගෙන අහනවා ඒක ඉස්සර.. පුදුම ආසයි ඒ කටහඩට.. ගැමුණු විජේසූරිය මහත්තයා වෙන්න ඕනේ හෝම්ස්ට හිටියේ.... කවුරු හරි මතක කෙනෙක් ඉන්නවනං වැරදි හදමුකෝ.... (මුවන්පැලැස්සේ පිනාගේ වොයිස් කලෙත් එතුමා තමයි)

      Delete
  17. මම ඩ්‍රැකියුලා ගැන පොත් වගේම චිත්‍රපටිත් කිහිපයක් බලලා තියෙනවා. ඒවගේම රුදුරු බළුව කියන පොත ඒ විදියටම හදපු චිත්‍රපටියක් තියෙනවා Hound of Bascurvil කියලා. වෙනත් පොතක කතාවක් චිත්‍රපටියට නගද්දී තිරරචනයේදී යම් යම් අඩුකිරීම් කළත් මෙහිදී නම් පොතේ තියෙන දේවල් ඒ විදියටම තියෙනවා. ඒ එක්කම ඩ්‍රැකියුලා ගැන වාර්තාමය චිත්‍රපටි එක්ද කීපයක්ද බැළුවා. ඒගැන පසුව ලිපියකින්ම කියන්නම්...

    ReplyDelete
    Replies
    1. අන්න මම හොඳ වැඩක් කරලා.... හි හි

      Delete
    2. මාත් කැමති ''රුදුරු බලුව'' කියන එකට. පරණ පොත ඒ විදිහමයි.
      ''දඩ බල්ලා'' කිව්වම කිසි ගතියක් දැනෙන්නෙ නැති නමක් ..

      Delete
  18. හිරු මේ සුන්දර මතකයක් විතරක් නෙමෙයි අතීතයක්ම යළි කැන්දන පෝස්ටුවක්නේ. අර චිත්‍රයේ නම් ඉන්නේ ඔයාම තමා.ආයේ කතා දෙකක් නැ.

    යකෝ හිරුවො දැදිගම වී. රොද්‍රිගූ කියන්නේ ලංකාවට රුසියන් සාහිත්‍යය කියල දුන්න මනුස්සයා.එතරම් හොඳ පරිවර්ථකයෙක් තාම බිහිවෙලාවත් නැ.

    ReplyDelete
    Replies
    1. සීයට සියයක් එකඟයි නලියා ..දැදිගම රුද්‍රිගු රුසිය සාහිත්‍ය අපට හරියන රිද්මයකට ලිව්වා.

      Delete
    2. මම නෙවෙයි නලීන් අයියේ.. ( මෙයාට කණ්ණාඩි දාලත් මදිද කොහෙද ඇස් පෙනීම.. හි හි) ඒ හෝම්සුයි වොට්සනුයි... හි හි
      ඉතිං ඕකට කෑ ගහන්න ඒනැයැ.. මම ඒක තමා කිව්වේ... හි හි

      Delete
  19. කම්පිටරෙත් එක්ක හැප්පෙන්න ගත්තට පස්සේ ඇත්තටම පොතක් කියවන්න වෙලාවක් හොයා ගන්නත් බැරි උනා! හැබැයි තාමත් මම පොත් ගුල්ලෙක්! අතට අහු වෙන ඕනෙම පොතක් කියෝනවා! ෂර්ලොක් හෝම්ස් කියන්නේ ඉතිං මගේ ජිවිතේ සුපිරිම චරිතයක් තමයි! ඒ කැලේ මමත් බෑග් එකේ අත් කාචයක් එහෙම දෑ ගෙන හිටියා! මොරියාට් කාරයා කරන හොර වැඩ අල්ල ගන්න! D
    ටොම් සෝයර්!! අෆ්ෆේ! ආසම කතාවක්! ඒකෙ අර ගෑනු ළමයා..අර ගුහාවේ ටොම් එක්ක තනි වෙන්නේ....හෙන කාලයක් යනකම් මගේ සිහින කුමාරි!! :D

    ReplyDelete
    Replies
    1. හි හී... හීන කුමාරයෝ කුමාරියෝ කොච්චර ඉන්න ඇතිද.. නේද... හි හි...

      Delete
    2. ටොම් සෝයර් බැලුවේ වයස 9දි විතර. 15ද ඉවිතර ආයෙම බලද්දී නාදියෝ මටත් ඔහොම හිතුන. හැබැයි කාටවත් කියන්න බැහැනේ ලැජ්ජයි. හිකිස්.......

      Delete
  20. ඩ්‍රැකියුලගේ මනාලියෝ..
    ඇඩෙනවා..
    බලං යනකොට කෙල්ලොත් 18+ එවුවා රස කර කර කියවනවා නේ...
    ඉක්කෝලෙ යන කාලේ දැනං හිටියේ නෑනේ ඔය ගැන..

    ReplyDelete
    Replies
    1. දැං නං ඉතිං ඒවා ඔයාලට වැඩක් වෙන එකක් නෑ.. දැං ඉන්න එවුන් අපි ඒ කලේ හිටියට වඩා හෙන ඇඩ්වාන්ස්.. හි හි

      Delete
  21. ඩ්‍රැකියුලා ගැන නම් අහලා තියෙනවා. චිත්තර පටිත් බලලා තියෙනවා. ෂර්ලොක් හෝම්ස් ගැනත් දන්නවා. ඒත් අර උඩ තියෙන නම් ටික නම් දන්නේ නැතෝ. දන ගහන්න නම් බැරියෝ. ශික් ඩ්‍රැකියුලගේ මනාලියෝ කියවන්න බැරි උනානේ තාම.:/

    ReplyDelete
    Replies
    1. අපොය්.. අපරාදයක්නේ ඒක කියවන්න බැරි උනා නම්.. හි හි.. දැං නං වැඩක් නෑ ඉතිං ඒක....

      Delete
  22. පෝස්ට් එක දිගායි වගේම දණගහගෙන කියවන්නත් උන හින්දා හරිම අමාරුයි..

    මම ඩ්‍රැකියුලා පොත්වත් චිත්‍රපටිවත් බලා නැත.. සරලොක් බලා ඇත.. දැන්නම් බ්ලොග් කියෝන නිසා පොත් කියවන්ඩ කම්මැලී.. අනික මම නිර්මාණ වලට වඩා ච්‍රිතාපදාන කියවන්ඩයි ආසා..

    ReplyDelete
    Replies
    1. හම්ම්.. මට නං පොත වලට ආදේශකයක් නෙවෙයි බ්ලොග්.. හි හි... පොත් කියවන්නේ ඇදේ පෙරළිලා, කන්න දේකුත් හංගගෙන.. හි හි...

      Delete
  23. මෙයාට මොකද මේ දවස්වල එකදිගට පොඩි කාලෙ මතක් වෙන්නෙ. මට නම් සැකයි ....

    පොත් කිව්වොත් ඉතිං මට වෙන මොකුත් ඕන නෑ. වැඩිපුරම මා ගාව තියෙන්නෙත් පරිවර්තන පොත්. මමත් ඉස්සෙල්ලම ඩ්‍රැකියුලා කියෙව්වෙ චන්ද්‍ර අනගිරත්න මහත්මයගෙ පරිවර්තන පොත. ඩ්‍රැකියුලා චරිතය සැබෑවටම ජීවත් වූ වංශවතෙක්ගෙ චරිතය ඇසුරු කරගෙන බ්‍රෑම් ස්ටොකර් විසින් ප්‍රතිනිර්මාණය කළාට අර එඩ්ගර් රයිස් බරෝස්ගෙ ටාර්සන් චරිතය වගේ පසු කාලෙ සිනමා - ටෙලිනාට්‍ය පිටපත්, නවනකතා වගේ වෙනත් අයගෙ නිර්මාණවල බහුලවම භාවිතාකරපු චරිතයක්.
    ෂර්ලොක් හෝම්ස්ට නම් මම පන ඇරල. චන්දන මෙන්ඩිස් මහත්මයගෙ ඔක්කොම පරිවර්තන පොත් මා ගාව තියෙනව. සමහර කතා මම දැන් පනස් පාරකට වඩා කියවල තියෙනව, කොච්චර කියෙව්වත් ආයෙ ආයෙ කියවන්න පුළුවන්. ෂර්ලොක් හෝම්ස් උණ ටිකක් සැරටම තිබුණු නිසා අමාරුවෙන් පරණ ටීවී සීරීස් එකකුත් බාගෙන බැළුවා. ඔය බ්‍රෑම් ස්ටෝකර්ගෙ ඩ්‍රැකියුලා කතාවම ටිකක් වැඩ දාල ෂර්ලොක් හෝම්ස් චරිතය ආදේශකරල ලියපු කතාවක පරිවර්තනයකුත් තියෙනව, හිරු කියවන්න ඇති. මම ඒ ගැන චන්දන මෙන්ඩිස් මහත්මයගෙන් ඇහුවම ඔහු මුල් ඉංග්‍රීසි පොතේ පිටු කීපයක් ෆොටෝ කොපිකරලත් එවල තිබුණ. ඉස්සර මාත් ඒ පාඨක සමාජයෙ හිටියා, පොත්වල එහෙම තිබුණු සමහර වැරදිත් මම ලියල යැව්ව, චන්දන මෙන්ඩිස් මහත්මය එවපු ලිපිත් විස්සක් තිහක් විතර ඇති මා ගාව තාම. ඒ දවස්වල ඔහු පොතක් නිකුත් කරන කොට ඒකෙ විස්තර තියෙන පත්‍රිකාවකුත් ගෙදරට එව්වා.
    කේ. ජී. කරුණාතිලක මහත්මයගෙ භාෂා ශෛලිය එච්චරම සරල නෑ, ඒ වුනාට නිවැරදිව භාෂාව භාවිතා කරන නිසා කම්මැලි නැතුව කියවන්න පුළුවන්. මම නම් කැමතියි. ඔහුගෙ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා පොත් හයත්, ටාර්සන් කතා පරිවර්තනත් මම ආසම පොත් ටිකක්.
    මම ඒ දවස්වල මහජන පුස්තකාල දෙකක සාමාජිකත්වය අරගෙන තිබුණ, ඒකෙන් සතියකට පොත් 4ක් අනිවාර්යෙන්ම කියවන්න ලැබෙනව, අනෙක තාත්තලගෙ ඔපීස් එකේ අන්කල් කෙනෙක් එහේ පුස්තකාලෙකින් ගේන පොත් තාත්තත් කියවන්න අරගෙන ආවා. මමත් කොහොම හරි ඒ පොතුත් කියෙව්ව. සමහරදාට තාත්ත ඔය ගේන පොතක් උදේ ගෙනියනව කිව්වම මම රෑ නිදිවරාගෙන එකදිගට කියවනව, පොත කියවල ඉවරවෙල පාන්දර 5 ට 6 ට නිදාගත්තු දවසුත් තිබුණ. අම්මෝ ... එහෙමත් කාලයක්. පස්සෙ පස්සෙ ඒ ලෙවල් කරන දවස්වල ගෙදරට හොරා ක්ලාස් කට් කරල ගෙදරින් පන්තිවලට දීපු සල්ලිවලිනුත් පොත් ගන්න පුරුද්දක් තිබුණ, යාළුවො නම් හිනා වෙනව, සල්ලිවලට උන් ඒ දවස්වල කරපුව හැටියට මම කතා පොත් ගන්න එක මෝඩකමක් වගේ උන් හිතුවෙ.
    ඩීමන් ආනන්ද මහත්මයගෙ පොත් නම් මට කියවන්න හම්බවෙල තියෙන්නෙ දෙකයිද කොහෙද, එයාගෙ පොත්වල අළුත් මුද්‍රණ දැන් නැත්ද මන්දා.

    පොත් අතරෙ ගෙවුනු මම ආසම කරන මතකයන්. ස්තූතියි හිරූ.

    ReplyDelete
    Replies
    1. මට තිබ්බ ලෙඩ සියල්ලම අඩුවක් නැතුව තිබිච්ච එක්කෙනෙක්... හරි සතුටුයි... හි හි...

      ඔය ඔක්කොම පොත් මමත් කියවලා තියෙනවා.. වැඩ හරියක් ගෙදරත් තියෙනවා... ඒ වගේම ඉස්සර තාත්තලගේ ඔෆිස් එකේ පුස්කතාලෙන් පොත් 4ක් ගේනවා තාත්තා.. එයාගේ යාලුවෙක්ගේ කාඩ් දෙකත් තාත්තා ඉල්ලගෙන තිබ්බා.. මාත් උදේට ගෙනියන පොත රෑ එළි වෙනකම් හරි නිදිමරාගෙන කියවනවා... පොතක් කියවන්න ගත්තොත් ඉවර කරලා මිසක් නැගිටින්නේ නෑ.... හි හි

      Delete
    2. අනිවා. පටන්ගත්ත දෙයක් ඉවරවෙනකල් අත අරින්න එපා කියලනේ පොඩිම කාලේ ඉගැන්නුවේ.

      Delete
  24. බැස්කර්විල්හි රැදුරු බලුව නම් මම බලලා නැහැ. අපේ අම්මල නම් ඉස්සරම බලල තියෙනවලු. සුනක ශාපය කියල තමයි අපි බලපු එකේ තිබ්බේ. ඇත්ත කතාව අන්තිමට අන්තිමට නම් හෝම්ස්වත් එපා උනා කතා වල හැටියට. මේවට අමතරව මගේ ෆේවරිට් එකක් තමයි ටාසන්! කේ.ජී. කරුණාතිලක ද කොහෙද පරිවර්තනය.

    ReplyDelete
    Replies
    1. යෑස්.. ටාසන් පරිවර්තනය හොඳම එක කේ.ජී. කරුණාතිලක... හි හි

      Delete
  25. මාත් කියවලා තියෙනවා ඩ්රැකියුලා පොත්.අප්පා ෆිල්ම්ස් පරාදයි ඇස් වහගෙන පොත කියවන්නේ

    ReplyDelete
  26. ඩ්‍රැකියුලා ගැන කියනවානම් මට ඒක ඒ තරම් වැදූනු පොතක් නෙමෙයි හිරු. හැබැයි හෝම්ස්ගෙ දඩයම් බල්ලා නම් හය හත් වතාවක් කියවපු පොතක් .ඒ කාලේ මම ආශාවෙන්ම කියවපු පොත් කිහිපයක් තමයි තුන් යහළුවන්ගෙන් පටන්ගත්තු කුලසේන ෆොන්සේකා මහත්තයාගෙ තුන් ඈදුතු කතා පෙළ ..මතක ඇතිනෙ කල්ලන් දූවෙ මුතු කොල්ලය, සෝමපුර වීරයෝ... ?

    ReplyDelete
    Replies
    1. කල්ලන් දූවෙ මුතු කොල්ලය, සෝමපුර වීරයෝ, තුන් යහළු වික්‍රමය ට අමතරව තවත් පොත් තිබුණද බං ඒ සීරීස් එකේ.

      Delete
    2. මම දන්න තරමින් නම් නැහැ.කොහොමත ඒ කාලේ ඔය වගේ පොත් හොය හොය ගියේ .උඹ කියවලත් ඇති සමහරවිට පැපොල් ගහ කන්ද කියලා පොතක් ..රචකයා නම් අමතකයි. එතකොට වයිටා, හපනා වගේ පොතුත් අමතක කරන්නම බෑ නොවැ.

      Delete
    3. ඕවා ලංකාවේ අය ලියපුවා නේ.. ඒවා නං මහ ‌ගොඩක් තිබ්බා.. මට මතකයි එක පොත් හොදම විද්‍යා ප්‍රබන්ධ නවකතාව කියලා තේරිච්ච, ඉස්කෝලෙ යන ළමයෙක් ලිව්ව පොතක්.. පාළු දූපත කියලා.... කොල්ලො දෙන්නෙක් කරවල වාඩියක තනිවෙලා ඉන්නකොට කරන එක එක විද්‍යාත්මක වැඩ ගැන තමා ඒකේ තිබ්බේ.. ඒකත් මරු .. හි හි..

      වයිටා එකත් මට හරි ආස පොතක්... තව පොතක් තිබ්බා ඉස්කෝලක හිටිය බූරැවෙක් ගැන... ඒක ලිව්වේ සෙන් තෝමස් එකේ ප්‍රින්සිපල් වෙලා හිටපු ෆාදර් කෙනෙක්... ඒකත් මරු.... ( මගේ මතකය ගැන ඒ තරම් ෂුවර් නෑ මේවා සම්බන්ධයෙන්.. මොකද මේවා කියෙව්වේ 5 වසරෙදි විතර...)

      හපනා නම් මම ළඟදි ආයිමත් කියෙව්වා...

      තව මට හොඳට හිනා යන පොතක් තමයි අර රදළ පිළිරුව කියන පොත.... ඩබ්ලිව්. ඒ. සිල්වා ගේ.. හිනා වෙලා මැරෙනවා ඒකට නම්....

      Delete
    4. ඔය විදියෙ යොවුන් කතා සෙට් එකක්ම 7 - 8 පන්තිවල ඉද්දි කියෙව්ව මතකයි. කුලසේන ෆොන්සේකා, ආචාර්ය දොන් පීටර් පියතුමා, ගුණසේන විතාන, දෙනගම සිරිවර්ධන, ටී. බී. ඉලංගරත්න, හියුබත් දිසානායක වගේ ලේඛකයො හුඟක් හිටියා.

      වයිටා, නමින් මතකයි කියෙව්ව කියල, ඒත් දැන් කතාව නම් වැඩි මතකයක් නෑ. අර ෆාදර් මම හිතන්නෙ ආචාර්ය දොන් පීටර් පියතුමා, එතුමගෙ පොත් හත අටක්ම මමත් ඒ දවස්වල කියවල තියෙනව.

      හිරු කියන පාළු දූපතක කරවල වාඩියක තනිවෙන කොල්ලො දෙන්නෙක්ගෙ කතාවක් මමත් හුඟ කාලෙකට කලින් කියෙව්ව, ඒත් හරියටම මතක නෑ, සමහර විට ඒක හෙ. වි. කුලසේකරගෙ ‘කඳුළු වැල්ලේ කතාව‘ වෙන්න ඇති.

      ඩබ්ලිව්. ඒ. සිල්වාගෙ ඔක්කොම පොත් හොඳයි, රසවත්. රදළ පිළිරුව නම් මා ගාවත් තිබුණා, අනික්වත් කියවල නැත්නම් හොයාගෙන කියවන්න හිරූ, භාෂා විලාසය ටිකක් අමුතු වගේ උනාට කතානම් නියමයි. එයාගෙ කතා හුඟක් දුරට ඉංග්‍රීසි කතාවල ආභාෂය අරගෙන ලිව්වය කියල නම් කියනව, ඔය පල්ලෙහා බණ්ඩා කියල තියෙන රයිඩර් හැගාඩ්ගෙ ඈ (she) පොතේ ආභාෂය අරගෙනළු ඩබ්ලිව්. ඒ. සිල්වගෙ ලක්‍ෂමී හෙවත් නොනැසෙන රැජිනි ලිව්වෙ. මම අහල තියෙන හැටියට නම් ඩබ්ලිව්. ඒ. සිල්වා උන්නැහෙ ඒ මත තදින්ම ප්‍රතික්‍ෂේප කළාලු.

      Delete
    5. මටත් ලක්‍ෂමී හෙවත් නොනැසෙන රැජිනි පොත කියවද්දි එහෙම හිතුනා..

      කඳුලු වැල්ලේ කතාවේ කට්ටියගෙන් බේරිලා වෙන දුපතකට යන එකක්නේ තියෙන්නේ... පාළු දුපත කතාවේ උන් දෙන්නව දාලා අනිත් උන් ටිකව බේරගෙන යනවා .. ඉතිං උන් දෙන්නා පිස්සු නට නට ඉන්න කතාවක් තමයි.. ඔය පොඩි පොඩි විද්‍යත්මක කෑලි එහෙමත් තිබුනා... අර ඉටි පන්දමක් පත්තු කරලා යවන බෝට්ටු එහෙම ගැන.. හි හි...

      ඒ කාලේ කියෝපු නවකතා වල නම් වත් දැන් මතක නෑ.. ඒ තරම් ගොඩක් කියෙව්වා... හි හි

      Delete
  27. අයියෝ දැන් ඉතින් දණගහන් ඉන්න තමා වෙන්නෙ!..............

    ReplyDelete
    Replies
    1. දන්නවද... ඔය ඩ්‍රැකියුලා පොත ලියලා තියෙන්නේ ඩයරියක ලියලා තියෙන අකෘතියට... සිද්ධි පෙළ ගස්සන්නේ දින පිළිවෙලට.. ජොනතන් හාකර්ගේ දින පොත මූලාශ්‍රයක් කරගෙන ලිව්වා කියලා තමයි කතාව පටන් ගන්නේ...

      Delete
  28. ලංකාවෙ සාමාන්‍ය රසිකයන්ට පවා පොත් කියවන්න පුරුදු කලේ ඩීමන් ආනන්ද වගේ සරලව ගැමුරු අදහස් ලියපු අය. ඒ ලේඛඛයක්ගේ පොත් අදටක් කියවන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඇතුතටම ඔව්.. විචාරකයෝ කොච්චර ගැරහුවත් ඒ මනුස්සයා කරපු දේ දෙකේ කොලේට දාන්න බෑ...

      Delete
  29. ගුගල් වල මොකක්ද මංගල්ලයක් තිබුන නම් තමයි බං. මං ඉතින් කවුරු හරි කිව්වොත් මිසක ඕව බලන එකෙක් යැ.:)ඔය පොත් නම් මං බලලා නෑ. ඒක නිසා මං දඬුවම් වලින් නිදහස්. එකෙක්ගේ වදේට "බැස්කර්විල්හි රුදුරු බලුව” නම් කියෙව්වා. ඒක නම් හොඳයි. අන්තිම ටික එහෙම මරු.

    ReplyDelete
    Replies
    1. චිත්තරේ නියමයි. තද පාටකින් ඇන්දොත් මොකද..

      Delete
    2. චිත්තරේ හිනා වෙන්න විතරයි දැම්මේ.. හි හි...

      Delete
  30. ඔන්න මමත් ඇවිත් පන්තියේ දණ ගැහුවා.. ඔය එකෙක්වවත් මම නම් දන්නේ නැතෝ.. මේ ඒක නෙමේ හිරු අක්කේ ඔයා අර 18+ වගේ කතාව රස කර කර කියවද්දි වයස කීයක් විතර ඇතිද..? (14ක් 15ක් විතර )

    අෆ්ෆෝ.. ඩ්‍රැකියුලා ෆිල්ම් නම් බලලා තියෙනවා හැබැයි කවුරු හරි ඇහුවොත් මුළු ස්ටෝරියම කියන්න දන්නේ නෑ.. මොකද මම නම් අර කිව්වා කිව්වා වගේ චුට්ටක් බලනවා ආයේ ඇස් කන් ඔක්කෝම වහ ගන්නවා. ආයේ ඔය කතා මතක තියෙනකම් එලියටවත් බහින්නෙ නෑ මම නම් ... :D

    ReplyDelete
    Replies
    1. ඊට වැඩිය ලොකුයි මං හිතන්නේ 16ක් විතර ඇති... හි හි

      Delete
  31. මම ඩ්‍රැකියුලා පොත් කියවලා නෑ. හැබැයි චිත්‍රපටිනම් සෑහෙන්න බලලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය ෆිල්ම්ස් තමයි බලලා තියෙන්නේ... හි හි.. මාත් බලලා තියෙනවා.. ඒවත් ඉතිං මරු...

      Delete
  32. ඩ්‍රැකියුලා ගැන නම් එච්චර ආසාවක් තිබුනේ නෑ.. ඒ උනාට අනිත් පොත් නම් ගොඩක් කියවල තියෙනවා.. සමහර ඒව මගේ ගාව තියෙනවා.. ෂර්ලොක් හොම්ස් සරල විදිහකට පරිවර්තනය කලේ චන්දන මෙන්ඩිස් තමයි. ඒත් එයාම ෂර්ලොක් හොම්ස් පොත් ලියන්න ගත්තම ඒක මෙලෝ රහක් නැති වැඩක් උනා. රයිඩර් හැගාඩ් ලියපු ඇලන් ක්වාටර්මෙන් චරිතයට සම්බන්ධ පොත් ගොඩක් තියෙනවා.. ඈ (she)කියවල තියෙනවද?? රයිඩර් හැගාඩ් එයා ලියපු ප්‍රසිද්ධ උන චරිත කලවම් කරලත් පොත් ලිව්වා.. ඈ සහ ඇලන්(she and allan) ඒ වගේ එකක්.. මම තාමත් ආසයි රයිඩර් හැගාඩ්ගේ පරිවර්තන කියවන්න. චන්දන මෙන්ඩිස්, චන්ද්‍ර අනගිරත්න, එස් චන්ද්‍රසිරි දසනායක වගේ අය තමයි රයිඩර් හැගාඩ්ගේ පොත් පරිවර්තනයට කරන්නේ. අපේ අවාසනාවට කේ.ජී කරුණාතිලක මහත්මයා නැතිවුනා.එතුමා කොච්චර නම් රුසියන්,ප්‍රංශ කෙටිකතා පරිවර්තනය කරාද. එඩ්ගා රයිස් බරෝස් ලියපු කේ.ජී කරුණාතිලක මහත්මයා පරිවර්තනය කරපු ටාර්සන්ගේ පොත් සේරම මගේ ලග තියෙනවා. ඒ පරිවර්තන කියවලා වෙන කෙනෙක්ගේ පරිවර්තනයක් කියෙව්වම වෙනස හොදට තේරෙනවා. ඇයි ලෝරාගේ කතා සෙට් එක. ඒක ගංගා නිරෝශනී සුදුවැලිකන්ද පරිවර්තනය කරේ. තව ඈන්ගේ කතා සෙට් එක. මතක් වෙන මතක් වෙන එක ලියන්න ගියොත් පෝසට් එකක් ලියන්න පුලුවන්. ටොම් සෝයරුයි හකල්බරි ෆින්වයි මතක් කරලම නවතින්නම්.. ඇයි මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා.. ඒ පරිවර්තනය පොත් හයක්..

    ජය...

    ReplyDelete
    Replies
    1. ඈ (she) එකේ දෙකම කියෙව්වා.... ගන්න ගියාම අපේ බාප්පා පැන්නනේ මැද්දට, එයා ගාව තියෙනවා ඒක නිසා ගන්න එපා කියලා... මං ගාව තමා ඉතිං බඳින කම්ම තිබ්‌ෙබ්... එන‌කොට ණය බේරලා ආවා.. ලොරා‌ෙග් පොත් සෙට් එකයි ඈන් ගේ පොත් සෙට් එකයිත් ඒ වගේම තමා.... හි හි.. අනිත් ටික නම් ඔක්කොම මං ගාව තියෙනවා...

      Delete
  33. මට වෙන වැඩ නම් කියලා වැඩක් නෑ. පෝස්‍ටු දෙකම කියෙව්වේ අදනේ දෙකේම තියෙන ඒවා කලවන් වෙලා, මගේ ධමනි ශිරා මාරුවෙලා අක්මාවත් ආමාශ ගත වෙලාද මංදා බං. මේකට දාන්න හදපු කොමෙන්‍ටුව ඇදලා ඇරියා ඊයේ පෝස්‍ටුවට. කල්පනා කොලේ ඊ.ආර් වත් යන්න වෙයිද කියලා.

    ReplyDelete
    Replies
    1. පාර මාරු වෙලා.. ගනන් ගන්න එපා.. ඒ තරම් බරපතල ලෙඩක් නෙවෙයි.. විටමින් ටිකක් ගත්තම හරි යයි.. හි හි.. නංගි බබාව දැක්කේ නෑ....

      Delete
  34. මේ කිවුව පොත් වලින් සමර ඒවා බලලා තියෙනවා සමහර ඒවා නෑ.. ශර්ලොක් හෝම්ස් නම් ඉතින් අනිවා කියවලා තියෙනවා.. ඩ්‍රැකියුලානම් කියවලා නෑ..

    ReplyDelete
    Replies
    1. හම්ම්..... කමක් නෑ .. හි හි

      Delete
  35. තමන් කියවපු පොතක් ගැන ඒ පොතම කියවපු තවත් කෙනෙක් එක්ක කතාකරන එක මටත් උපරිම ආශ්වාදයක් ගෙන දෙන වැඩක්.
    පොඩි පරහකට තියෙන්නෙ හිරූ, මම ඔය පරිවර්තන හෙම කරන්න ට්‍රයි කලාට මම කියවන්නෙම නැති ජාතියක් තමයි පරිවර්තන, ඉඳලා හිටලා එකක් දෙකක් ඇරුනාම.
    හැබැයි ඔය කියලා තියෙන පොත් ඉංග්‍රීසියෙන් කියවලා තියෙන නිසා වැඩේ ගොඩ දාගන්න පුලුවන්.
    ඩ්‍රැක්‍යුලා ගැන මගෙ හිතේ ඇඳිලා තියෙන්නෙ, අර කන්නාඩියෙන් බැලුවාම නොපෙනුන නමුත් පිටිපස්ස හැරිලා බැලුවාම පේන චරිතෙ හැටියට. අනිල බිත්තිය දිගේවවුලෙක් වගේ ඇවිදගෙන යන්න පුලුවන් බුවා. මතකද?

    ඩීමන් ආනන්ද ඇත්තටම මගෙ තාත්තගෙ සමකාලීනයෙක්. ඩීමන් ආනන්ද ජනප්‍රෛය වෙලා හිටියෙ අපේ කාලෙටත් ඉස්සෙල්ලා. අර ආටිකල් එකේ සත හැට කියලා තිබ්බට, මම දන්න විදියට ඒවා සත හැත්තෑපහේ මාරක කතා කියලා තමයි හැඳින්වුවේ. ඒවගේම තුට්‍ටු දෙකේ මාරක කතා කියලා විචාරකයො හරියට ගැරහුවා. නමුත් එක දෙයක් තියෙනවා. ඩීමන් ආනන්ද නිසා අර චිත්‍රකතාවලින් වුනාවගෙ කියවන්නෙ නැති මිනිස්සු පවා පොත් කියවන්න පුරුදු වුනා.

    ඔය ගංතෙර හොල්මන අපේ අම්මත් හරි ආසා පොතක්.

    එතකොට අර League of Extraordinary Gentlemen කතාව අපිත් බැලුවා කේබල් එකෙන්. ෂෝන් කොනරිත් කවදාවත් නාකි නොවෙන නලුවෙක් නේ?

    පරිවර්තන නිකියෙව්වත් කොහොමද මම වැඩේ ගොඩ දාගත්ත ලස්සන!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඇත්තටම Dude මහත්තයා ඔය කතාව අපේ තාත්තත් කියලා තියෙනවා. මට මතකයි අපේ ගෙදර ඩීමන් ආනන්ද මහත්තයාගේ පොත් මහගොඩාක් තිබුනා. ඒඔක්කොම "මල්පියලි ප්‍රකාශන" එකෙන් තමයි මුද්‍රණය කරලා තිබුනේ. සිත්තර පත්තරේකයි ඩීමන් මහත්තයගේ පොතකයි මිල සමානයි ඒ කාලේ. මම ඔය හැම එකම කියවලා තියෙනවා. තාත්තා නම් වැඩි මනාපයක් තිබුනේ නෑ මම කුඩා දවස්වල ඕවා කියවනවට විජය මිහිර රංකැටි ඔයවගේ පත්තරලුනේ පොඩි ඈයෝ කියවන්න ඕන. ඒවයේ තිබුනු සිංහ ලියපු ටෝගා, හිඟුල්වල දිසානායකයන්ගේ එකෝමත් එක රටක වගේ කතා නිසා තමයි මම චිත්‍ර කතා වලටත් ඩීමන් මහත්තයාගේ කතාවලටත් පුරුදු උනේ.

      ආරංචිවල හැටියට මගේ කාමරේ පිරිලා තියෙන්නේ දැන් ඔය පොත් පත්වලින්ලු. දන්නවද එතන සත 60-75 පත්තරත් තියෙනවා. අපි ගෙවල් මාරු කරද්දිත් අපේ උන්දෑ ඔය පොත් පත්තර ගොන්න ඇන්න ඇවිත්. කොහෙන් හොයා ගත්ත ඒවද කියලා මම නම් දන්නේ නෑ. මොකෑ ඉතින් අපි ඉපදිලා නෑ නේ ඒ කාලේ.

      Delete
    2. අපිට ඉස්සර ඉංග්‍රිසි පොත් හම්බුවෙනවා අඩුයිනෙ ඩූඩ් අයියෙ.. ඒකයි මම පරිවර්තන වලට ආස.. ඒත් දැං නං කියවනවා ඉතිං... අනිත් එක මම සිංහල සම්බාව්‍ය ජාතියේ පොත් වලටත් ආස නෑ..

      පොත් වලට ආස අය යන යන තැන ඒවා උස්සන් යනවා තමා සරා අයියේ.. ඒකට මම... තැන් තැන් වලට අරං යනකොට පොත් ටික විනාස වෙන නිසා ගෙදර තියලා ආවා. හි හි...

      Delete
  36. උඩම තියන නම් සැට් එක නම් අහල පුරුදු නැහැ. අපේ ගෙදර වැඩියෙන් තිබ්බේ රුසියන් පරිවර්තන. සෝවියට් රුසියන් කෙටිකතා, වසීලිස්සා, වගේ එවා. ඒ අරුණාම මට අමතක නොවෙන පොත් දෙකක් තමයි. 'උභයජීව' සහ 'කුංචනාද'. උභයජීව එකේ තිබ්බේ, වතුරෙත් ගොඩත් දෙකේම ඉන්න පුලුවන් විදිහට අවයව බද්ධ කරපු තරුණයෙක් ගැන. කුංචනාද වල තිබ්බේ මිනිස් මොලයක් බද්ධකරපු අලියෙක් ගැන. දෙකම ලියලා තිබ්බේ එක්කෙනෙක්, පරිවර්තනය කරලා තිබ්බෙත් එක්කෙනෙක් කියලා මතක. ෂර්ලොක් හෝම්ස්, ඇලන් ක්වාටර්මේන් ගෙ කතා නම් සෑහෙන කියවලා තියනවා. මට නම් ගොඩාක් අල්ලලා ගිය එවා නෙමෙයි. චින්ගීස් අයිත්මාතෙව්ගෙ 'වේලාසන කොක්කු ඇවිත්' පොතක් කියෙව්වා, ගුරු ගීතෙට වඩා ඒක මට අලල්ලා ගියා. ඇපලෝ ව්‍යාපෘතිය ගැනත්, සඳ ගමන ගැනත් (සිරිල් සී පෙරේරා?) ලියපු පොත් ආසාවෙන් කියෙව්වා.. හිතන් හිටියේ හඳට යන්න කවදහරි....

    ReplyDelete
    Replies
    1. රැසියන් පරණ පොත් සෙට් කටම මම ආසයි.. හැබැයි චින්ගීස් අයිත්මාතෙව්ගෙ පොත් නම් මට එච්චර හිතට අල්ලන්‌ෙන් නෑ නෑ වගේ.. අනෙ මන්දා.. මේ ළඟදි විදර්ශන එකෙන් ගෙනාපු එකක් තියෙනවා.. ම්හු.... ගුරු ගීතෙත් එච්චරම මම ආස පොතක් නෙවෙයි...

      ///ඇපලෝ ව්‍යාපෘතිය ගැනත්, සඳ ගමන ගැනත් (සිරිල් සී පෙරේරා?) ලියපු පොත් ආසාවෙන් කියෙව්වා.. හිතන් හිටියේ හඳට යන්න කවදහරි..../// ඇයි ආතර් සී ක්ලාක්ගේ පොත් ටික...

      මේවා ඉතිං ඒ කලේ තිබ්බ උණ නේ... හි හි....

      Delete
  37. දන්නවද හිරුවෝ. දයා රෝහණ මහත්මයාගේ වැඩසටහන් වලට සම්බන්ධ උනාට පස්සේ මම වැඩියෙන්ම කියවන්නේ "සයිකොලොජි" ගැන ලියවුනු පත පොත තමයි. මොකද්දෝ හේතුවක් නිසා පුදුම උනන්දුවක් තියෙනවා ඒ විෂය ගැන මට. ඕක පස්සේ ගෙහුන් බයිබලය, අල් කුරාණය එහෙමත් කියෙවුවනේ මම. දැනටත් මා ලඟ ඒ ධර්ම ග්‍රන්ථ දෙකත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. /// බයිබලය, අල් කුරාණය// නම් නැ... ළමා බයිබලයක් නම් කියවලා තියෙනවා...

      "සයිකොලොජි" ගැන ලියවුනු පත පොත වලට ආසයි.. ඒත් ඒ තරම් නෙවෙයි... මට මේ ළඟදි අහුවෙච්ච පොතක් තමයි Idea කියන එක.. ඒක ටිකක් වෙනස්... පොත මං ගාව නැති නිසා දැං මතක නෑ...

      Delete
  38. Danui onna hiruwo mama me paththata awe. Ape mahaththayata niwadu dawas walata wadiya enna wenne na. Eya lagata wela inna epaya. Dan onna eya kamata giya ekai awe.
    Mama sherlock holmes nam kiyawala thiyenawa. Eka nam asawen kiyewwa. Anek ewa balala na ane.

    ReplyDelete
    Replies
    1. ආ... අල්ලගත්තා.. මෙයා පොත් කියවන්න කම්මැලියෙක්... හි හි...

      Delete
  39. Onna "bambi" hamu una. Mama dala dennam patikkita. Godak sthuthi eka kiwata hode.

    ReplyDelete
    Replies
    1. මම අත්හදා බලපු වැඩක්... හි හි.. කරලා බලලා කියන්නකො ප්‍රතිඵල...

      Delete
  40. ඒ මගේ ආසම පොත් ටිකක්....ඔක්කොම තියනවා...

    ReplyDelete
  41. ඉස්සර අපි පට්ට ගැහුවා.. ෂර්ලක් හෝම්ස් ව :)

    ReplyDelete
    Replies
    1. ඉස්සර කියලා නෑ.. මම නම් තාම එහෙමයි සෑම්.. හි හි..

      Delete
  42. මමත් ගොඩක් ආසා කරන්නේ ශර්ලොක් හෝම්ස් පොත් වලට තමා :) මේ කොම්පිතරේ හින්දා මගේ නම් කියවීමේ ආශාව 0ටම බැහැලා

    ReplyDelete
    Replies
    1. ඔය ලෙඩේ මටත් අවුරුද 5කට කලින් විතර හැදුනා බොරලු.. හි හි.... ඒත් ඇදේ පෙරලිලා, හප හප ඉන්න දේකුත් ළඟින් තියාගෙන පොතක් ඉවර වෙනකම් කියවනවා කියන්නේ කම්පියුටරේ අහලකින්වත් තියන්න බැරි තරම් සැපක්...

      Delete
  43. මටත් පුදුම ෂර්ලොක් හෝම්ස් පිස්සුවක් තියෙන්නෙ. මේ දවස් වල ටිවී සිරිස් එකක් යනව ' Elementary ' කියල. තියෙන්නෙ අලුත් තාලෙ ෂර්ලොක් කෙනෙක් ගැන. වොට්සන්ට ඉන්නේ Lucy Liu. හෝම්ස් ව කොනන් ඩොයිල්ට තරං හොඳට වෙන කිසිම කෙනෙකුට ලියන්න බෑ. මම කාලෙකට කලින් හෝම්ස් ගෙ ගෙදර බලන්න ගිහින් පෝස්ට් එකක් දැම්ම.

    ඒ දවස් වල තව ආසාවෙන් කියවපු පොත් තමා තුන් යහළු වික්‍රමය, සෝමපුර වීරයෝ, බස්තියන් ගෙ සොහොන වගේ වීර කතා.

    ReplyDelete
    Replies
    1. යෑස්.. වීර කතා.. කොච්චරැ පිස්සුවක්ද කිව්වොත් ඒ කාලේ පොතකුත් ලිව්වා.. කොහොඹ කැලේ වීරයෝ කියලා.. හි හි... මං මේ කල්පනා කර කර ඉන්නේ ඒක බ්ලොග් එකේවත් පබ්ලිෂ් කරනවද කියල... අපරාදේනේ.. හි හි

      Delete
  44. ෂර්ලොක් හෝම්ස් පොත් කියවන්න මං තාමත් ආසයි. මේ දවස්වලත් ෂර්ලොක් හෝම්ස් පොතක්ම තමයි කියවන්නෙ.මට දැන් ඒ කතා කටපාඩම් ඒ තරමට ඒ පොත් කියවල තියෙනවා. ෆිල්ම් එකේ වගේම ටීවී සීරිස් එකේ ඉන්නෙත් අපි හිතෙන් මවාගත්ත ෂර්ලොක් හෝම්ස්ට වඩා වෙනස්ම කෙනෙක්. ඒ නිසා ඒවා බලන්න හිතෙන්නෙත් නෑ මට නම්. චන්දන මෙන්ඩිස්ගෙ අනිත් පරිවර්තනවලටත් මං කැමතියි. සැඟවුණු ලොවේ සවාරියක්, වියරු විද්‍යාඥයා වගෙ පොත් කොයි තරම් කියෙවුවත් එපා වෙන්නෙ නෑ. ඒත් අලුත් ෂර්ලොක් හෝම්ස් පරිවර්ථන නම් ඉතින් කලින් පොත් වලට ළං කරන්නවත් බෑ. කොහොම උනත් අක්කගෙ බ්ලොග් එකට ආපු පලවෙනි දවසෙම මගෙ ආසම පොත් ගැන අපූරු ලිපියක් කියවන්න ලැබුනා :) දිගටම ලියන්න මගෙන් සුභ පැතුම් අක්කේ

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ මගේ ජාතියෙ තව එක්කෙනෙක්.. හරි සන්තොසයි... හි හි..... සාදරයෙන් පිළිගන්නවා...

      මාත් ඔය පස්සේ වියරු විද්‍යඥයා එහෙම කියෙව්වා... ඒවත් හොඳයි.. මෙයා අපේ නඟා ගේ වයසේ වෙන්න ඕනේ... ඒකත් ඔය ජාතියේ තමා.. හි හි....

      Delete
  45. මගේ හිතවත් මිත්‍රයා වොට්සන්...!
    අතීතය මතක් කළාට තුති..!

    ReplyDelete
    Replies
    1. හි හි.. මේ ෂර්ලොක් හෝම්ස් වෙන්න ඇති... සාදරයෙන් පිළිගන්නවා...

      Delete
  46. උලමාගෙ රාත්‍රිය, බෝදිලිමාගේ සාපය, දුරකදු මත අකුණු, සද වියරැව

    ReplyDelete
  47. පාළු දූපත පොතේ කතෘ කාටද මතක?

    ReplyDelete