Friday, August 10, 2012

උසස්පෙළ, බාල තෙල් සහ බඩු මිල ගැන මට හිතෙන ‌දේ....

උදේට උයන ගමන් පත්තර විස්තරත් අහන එක මගෙ පුරුද්දක්.. ඒත් පහුගිය ට්කේම ඕක බැරි උනා අපේ මහත්තයගේ වැඩට යන වෙලාව ටිකක් වෙනස් උන හින්දා... අද උදේ අහගෙන ඉන්නකොට ඇහුන දේවල් වල දි මගේ හිතට ආපු දේවල් ටික ලියන්න ඕනෙ කියලා හිතුනා...

මෙන්න ඇහුන දේවල්...

Z ස්කෝර් ප්‍රශ්නය නිසා උසස්පෙල ප්‍රතිඵල අහෝසි කරන්න කියලා දෙවනි සහ තුන්වෙනි වරට විභාගයට පෙනී හිටපු ළමයි 195 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය නිසා මේ ප්‍රශ්නය උසාවියෙදිම විසද ගන්න ඕනෙ කියලා ඇමති කෙනෙක් කිව්වලු.... ( කෙහෙලිය රඹුක්වැල්ල වගේ ඇහුනේ...)

මේ පාර උසස්පෙළ සංයුක්ත ගණිතය පළමු ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයක වැරැද්දක් නිසා ළමයි අපහසුතාවයට පත් වීම හින්දා මේ ප්‍රශ්නයට හැමෝටම සම්පූර්ණ ළකුණු දෙන්න තීරණය කළා ලූ... ප්‍රශ්නයේ වැරැද්ද සිද්ධ වෙලා තියෙන්නේ අත්පිටපතේ දි ලූ.... අනිත් ප්‍රශ්න පත්‍රත් අධීක්ෂණයකට ලක් කරන්න තීරණය කළා ලු.... ඒ අතරෙ කොහෙද ඉස්කෝලෙක විභාගෙට ලියන ළමයි ශාලා පරීක්ෂකවරයාගේ උහුලගන්න බැරි සෙන්ට් ගද ගැන පැමිණිලි කරල ලු...

දොලහේ ඉදලා පැය දෙකක් ද දෙකාහමාරක්ද කරන්ට් කපනවලු ලංකාවටම අද ඉදලා...

විදුලි බල මණ්ඩලයේ සේවකයන් අද ඉදලා වර්ජනයක් ලු.. නොවැම්බර්වල වැටුප් වැඩි වීමක් දෙන්න තියෙන අතරේ මේ වගේ වර්ජනයකට ගිය එක අසාධරණ නිසා ඊයේ ඉදලා සියලුම සේවකයන්ගේ නිවාඩු අහෝසි කරලලු... ( ඒක ඇමති කෙනෙක් තමයි කියලා තියෙන්නේ..)

ලක්විජය බලාගාරයේ දෝෂ ඇති වෙලා තියෙන්නේ බාල බඩු භාවිතය හින්දා ලුණු බැදීම නිසා මලකඩ කෑමෙන් ලු... ඉදිකිරීම් කළ චීන සමාගම සියලුම කොටස් නැවත නොමිලේ හදලා දෙන්න පොරෙන්දු උනා ලු....

බාල තෙල් නිසා කෑගල්ල රෝහලේ ගිලන් රථ 2කුත් හිරවෙලා ලු... ( පහුගිය ටිකේ ඇහුනා බස් 1000 කුයි කෝච්චි එන්ජින් 15 කුයිත් නැවතිලා කියලා... )සුපර් ඩීසල් ගණන් අඩුවට වරායටත් තවත් ආයතනවලටත් දෙන්න පියවර අරන් ලු.... බාල තෙල් ගෙනා තවත් නැවක් කොළඹ වරායට ඇවිල්ල ලු... ඒ අතරේ ඛනිජතෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය මාරු කරලා වෙනත් සභාපති කෙනෙක් පත් කරලලු... ( මට නම මතක නෑ... )

අත්‍යවශ්‍ය ආහාර වර්ග කීපයක මිල අද ඉදලා අඩු කරල ලු... ( නාඩු හාල් සහ පරිප්පු විතරයි මට මතක... තව තිබ්බා.. )



මට මුලින්ම හිතුනේ දැං මෙතන මෝඩයා කවුද කියලා..... ඇයි එහෙම හිතුනේ කියලා කියන්නම්...

2003 උසස්පෙල කරන කොට Econ පළවෙනි පේපර් එකේදි ඇවිල්ලා තිබුනා ( අර කණා ගහන පේපර් එක තමා...)“නිවැරදි පිළිතුරු සියල්ලම ලකුණු කළ යුතුයි” කියලා.... එතකොට කණා ගහන්නේ කොහොමද... කලින් ආපු පේපර් වල එක උත්තරයයි තිබුනේ... ඒකට කණා හරි ගහලා හරි යන්න තිබුණ චාන්ස් එක වැඩියි... ඒත් මේක... එකක් අඩු උනොත් ලකුණු නෑ... මම විභාග ශාලාවෙන් එළියට ආවේ පේපර් එක ගුලි කරලා කුණු එකට දාලා..... මට මතක විදියට ඒක තමයි මුලින්ම තිබුණ පේපර් එක.... ඊළඟ පේපර් එකට තව එක දවසක් තිබුණ නිසා හිත හදාගෙන විභාගෙට ගියා...ඊළඟ පාර ඒ ක්‍රමේ අයින් කරලා පරණ ක්‍රමේම දාලා තිබුන ලු...

සදුදා අපේ වෙඩින් එකක් තිබුනා නුවර... අපි පාන්දර 4ට විතර ලෑස්ති වෙලා 9ට ද කොහෙද හෝල් එකට ගියත් කපල් එක 11.00 වෙනකම් ආවේ නෑ.. බීම එකක් වත් නැතුව ඉදලා එපා වෙලා ඉන්නකොට මෙන්න මුන් දෙන්නා එනවා.... අහලා බලනකොට වෙඩින් කාර් එක මග හිටලා... ඩීසල් අවුල හින්දා... නුවරම සුපර් ඩීසල් තියෙන ෂෙඩ් දෙකලු තියෙන්නේ... වෙන කාර් එකක් ගෙන්නගෙන ඇවිල්ලා....

මේ මිනිස්සු අපි මොක්කු කියලද හිතාගෙන ඉන්‌නේ..... මුං මිනිස්සු ද හරක් ද......?

ඔය ලොකු පුටුවල ඉන්න බඩ මහත විතරක් තියෙන මොලේ කලදක්වත් නැති හරක් ටික මේ අහිංසක ළමයින්ගේ, අම්මලා තාත්තලාගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ මොනවා හිතාගෙනද....?

ඇයි දෙයියනේ මේ ළමයින්ගේ ඉදිරි ජීවිත ගැන, මේ අම්මලා තාත්තලගේ ජීවිත කාලයක බලාපොරොත්තු ගැන මුන්ට මීට වඩා වගකීමක් ඇතුව වැඩ කරන්න බැරිද.....?

විභාගේ පටන් ගත්ත ගමන් මේ වගේ ගොන් වැරදි කළාම මේ ළමයි මානසිකව වැටෙනවා කියලා මුන්ට තේරෙන්නේ නැද්ද...? ඔය පේපර් එක හදපු මනුස්සයා ඕක හැදුවට පස්සේ වෙන කිසි කෙනෙක් ඕක කියවලා වත් බලන්නේ නැද්ද...? බූරුවො ටික වගේ ඕක ටයිප් කරලා ප්‍රින්ට් කරන එක විතරද කරන්නේ.... ? ඕවයේ ටයිපින් මිස්ටේක් වත් හදන්නේ නැද්ද....? ඔය එක මොළකාරයෙක්ට වත් ඔය වැරැද්ද අහු නොවුනේ මුන්ගේ ඔලුවල තියෙන්නේ මැටි ද....?

ළමයෙක් ජීවිතේ අවුරුදු 13ක් ( මොන්ටිසෝරි අතෑරියාම... ඒකත් එකතු කලොත් 15ක් විතර වෙනවා.7) උදේ පාන්දර 4.30 විතර ඉදන් ඇහැරගෙන බස් වල වෑන් වල දුක් විදලා රෑ 7.00 8.00 වෙනකම් ඉගෙන ගෙන, ජීවිතේ විදින්න පුළුවන් වද වේදනා ඔක්කොම විදගෙන නේද මේ විභාගේ ලියන්නේ... මුන්ට යන්තම් හරි කැක්කුමක් නැද්ද....? තමන්ගේ ළමයි පිට රටවල්වල ඉන්න හින්දා උන්ට මේවා නොදැනුනාට මේකේ ඉන්න එවුන්ට තියෙන්නේ මෙච්චරයි නේ..... මේ මාසෙක දෙකක වැඩේ මුන්ට හරියට කරන්න තරම් වත් ඕනේ කමක් නැද්ද... ?

මුන් මොනවද අපි ගැන හිතන් ඉන්‌නේ.....?

මේ කරන්ට් කැපිල්ල අඩු ගානේ විබාගේ ඉවර වෙනකම් වත් නවත්තන්න මුන්ට මොළයක් නැද්ද...? මේ ළමයින්ට තියෙන අඩුම පහසුකම ෆෑන් එකක් වත් දාගෙන හිතේ නිස්කාන්සුවේ විභාගේ ලියන්න.. මේ හිටපු ගමන් කඩන් වැටෙන වැස්සක් අස්‌ෙස් හදිස්සියට ඇදුමක් අයන් කර ගන්න ...( හැමෝටම ෆෑන් නෑ.. ඒක මන් දන්නවා... තියෙන එවුන්ට වත්..)

දැන් තෙල් සංස්ථාවේ හිටපු එවුන් අයින් කලාට උන් ගැන මොනාද කරන්න යන්නේ... නැවතිච්ච කෝච්චි එංජින් හදන්නේ උන්ගේ දේපල විකුණලද....? ( එක කෝච්චියක් උදේටයි හවසටයි නැති උනාම වැඩට යන මිනිස්සු විදින කරදර දන්නේ මාත් ජීවිතේ වැඩි හරියක් කෝච්චියෙම ගිය හින්ද....) නැවතිච්ච බස් වලට අඩුවට දෙන සුපර් ඩීසල් වල පාඩුව ගෙවන්නේ ඇමතිගෙයි වටේ ඉන්න එවුන් ටිකගෙයි පඩියෙන් ද....? ඔය බ්ලැක්ලිස්ට් කරපු කොම්පැනියෙන් බඩු ගෙන්නපු සභාපති ඔය කොම්පැනියේ අයිතිකාරයගෙන් හොද ගානක් මඩි ගහගෙන ඇති කියලා ඕන බූරුවෙකුට තේරුනවා.... ඒ යකාව සභාපති කමෙන් අයින් කළා කියලා ඌට පාඩුවක් වෙන්නේ නෑ.... දැං ගෙනාපු නැව ආයිත් හරවලා යවනවද....? එතකොට ඒ ෂිප්මන්ට් එකට ගෙවන්‌නේ සිංගප්පූරු අණ්ඩුවෙන්ද....? නැත්තම් අර ජෙට් එංජින් ඔයිල් වල කේස් එකේදී වගේ අඩු ගානට බූමිතෙල් වෙනුවට විකුණනවද.....?

මේ රටේ වැඩිපුර ඉන්නේ කකුල් දෙකේ හරක් කියලද හිතාගෙන ඉන්‌නේ... මේ වගේ හරක් වැඩම කරන්න.....?

ඒ අස්සේ හාලුයි,පරිප්පුයි ගණන් අඩු කළේ තණකොළ කවන්න බැරි හින්දා වෙන්නැති... නාඩු හාල් කන එක තණකොළ කනවට වඩා ටිකනේ හොද.....

අනේ මගේ කට මොකටද..... තව ලැජ්ජ නැතුව නිදහසට කරණු කියන්නත් එනවා.....

තව ඡන්දෙකුත් එනවලු..... මේ ඉන්න හරක් ටිකෙනුයි, එන්න ඉන්න බූරුවො ටිකෙනුයි කව්ද වැඩියෙන් හොද කියලා හිතන්න වෙනවා.... දැං මට හිතෙන විදියට කවුද හොද කියලා හිතනවට වඩා කවුද වැඩිපුර නරක, මූ කෑවට වඩා අඩුවෙන් මූ රට කයි කියලා බලාපොරොත්තුවෙන් ඡන්දෙ දෙන්න තමයි වෙන්නේ... මුං එකෙක් වත් රටට හොද කරන එවුන් නෙමෙයි....

ඔන්න මට අද උදේ හිතුන දේවල්...

මං දන්න දේශපාලනයක් නෑ.. ඒක නිසා මේක දේශපාලන ලිපියක් නෙවෙයි... මේක මේ රස්සාවක් කරන්නේ නැති ගෙදරට වෙලා ඉන්න ගෘහණියකගේ මොලෙන් විතරක් හිතන දෙයක්... මම කැම්පස් ගිය කෙනෙකුත් නෙවෙයි.....

( මං දන්න එකම දේශපාලනේ තාත්තා කියපු නොම්මර ටිකට මතක තිබුණ විදියට කතිරෙ ගහලා ඇවිල්ලා මේකට ගැහුවද කියලා ඇහුවම හැම එකටම ඔව් කියලා කියපු එකයි, මරදානේ ස්ටේෂන් එකේ බෝම්බෙන් අම්මයි මායි යන්තම් බේරිලා, අපේ ඉස්කෝලෙ අක්කලා දෙන්නෙක් මැරිලා තව දෙන්නක්ගේ ඇස් පෙනීමත් කන් ඇසීමත් නැති වෙච්ච අත්දෑකීම සහ වරායේ වැඩ කරපු තාත්තා ගැන බෝම්බයක් පුපුරන පුපුරන ගානේ හිතේ ඇති වෙච්ච බය ගැන හිතේ තිබුන නිසා යුද්ධෙ ඉවර කරයි කියලා තාත්තා උඩින්ම බලාපොරොත්තු තියාගෙන හිටිය මහින්ද රාජපක්ෂට ඡන්දයක් දුන්න එකයි විතරයි.. ඒකත් කළේ ඡන්දේ නොදී ඉන්න එක ලොකු මෝඩකමක් කියලා තාත්තා තේරුම් කරලා දුන්න නිසා විතරයි. මේක කිව්වේ දේශපාලනේ නොදන්න අය මොනවද මේවා ගැන කියන්නේ, කට පියාගෙන ඉන්නේ නැතුව කියලා කවුරුහරි ඇහුවොත් ඒකට උත්තරයක් විදියට විතරයි. )

13 comments:

  1. අම්මෝ... හොදටම කේන්ති ගිහින් වගේ.තව ටික කාලෙකින් ලංකාව මොන වගේ වෙයිද කියලා හිතන්නත් අමාරුයි.

    ReplyDelete
  2. කියලා තියෙන කරුණු වලට එකඟයි...

    ReplyDelete
    Replies
    1. හෑ! ඇත්තටමද උඹ කියන්නෙ මාරයියේ.

      Delete
    2. ඔව් ඔව්... හැබැයි උත්තරේ රනිල් නෙවෙයි..:D

      Delete
  3. සම්පූර්ණ ඇත්ත...

    ReplyDelete
  4. මේවා නම් එර්ර්........................... අප්පා....

    ReplyDelete
  5. අවුල් නං ඉවරයක් නෑ. ඒත් අවුල් ලිහන්න වගකිවයුත්තන් උනන්දුවක් දක්වන බව පේන්නත් නෑ. අපේ රටට ලොකු ලොකු විජ්ජාවල් නොපෙන්නුවත් හොරකම් ටික නවතිනව නම් යම් දියුණුවක් ලබන්න පුළුවන්. ඒත් කවුද කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඇත්ත.අද හොරකම් වැඩියි.ඒවා නවත්වන්න අවශ්‍ය බලධාරින් කටයුතු කරන්නේ නෑ.එහෙම ලේසියෙන් හොරකම් නතර කරන්නත් අමාරුයි.මොකද මිනිස්සු පුරුදු වෙලා ඉන්න හැටිනේ.මිනිස්සුන්ට රට ගැන කැක්කුමක් නෑ.ඒකයි මේ හැම දෙයක්ම.

      Delete
  6. ඔය තියෙන්නේ මල උපරිමෙන්ම පැනලා. ඔය මොන ප්‍රශ්න තිබුනත් ජනතාව නිර්වින්දනය වෙලා ඉන්නේ. උන් ඒ තත්වෙන් මුදවන්න මේ වගේ ලිපි තව ලියවෙන්න ඕන.

    ReplyDelete
  7. ලිපි ලිය ලිය ඉදලා වැඩක් නෑ යාළුවා.කොයි දේශපාලඥයාත් එකයි.කොයි දේශපාලන පක්ෂයත් එකයි.හැබැයි තිබ්බ ආණ්ඩු වලට වඩා මේ ආණ්ඩුවේ යම් යම් හොද සුවිශේෂිතාවන් මං දකිනවා.
    ඒත් රට තිබ්බ තැනමයි.

    ReplyDelete
  8. ඇත්තට මේ ප්‍රවෘර්ති නම් අධි රුධිර පීඩනයට අන්තිමයි! හිරුට කේන්ති ගිහින් ලිව්වට කතාව ඇත්තනෙ!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  9. ඇත්තම ඇත්ත තමා. හැමදේම බාල වෙලා..

    ReplyDelete