Wednesday, July 7, 2010

හිරු ගැන ටිකක්...

හිටපු ගමන් බ්ලොග් එකක් පටන් අරගෙන, එක එක කතා කියන්න පටන් ගත්ත, මේ ‍හොල්මන කොහෙන් පාත් උනාද කියලා කට්ටියට හිතෙනවා ඇති කියලා හිතුන නිසා හිරු ට හිතුනා හිරු ගැන ටිකක් කියන්න..

හිරු ගැන නම් එච්චර කියන්න දෙයක් නෑ කියලාත් හිතෙනවා.. හි හි.. කොහොම උනත් ඔන්න පටන් ගත්තා..

බොහොම ආසාවෙන් computer ගැන ඉගෙන ගන්න පටන් ගන්නකොට හිරුට වයස අවුරුදු 15 - 16 ක් විතර ඇති... ඒකත් ඉතිං අපේ මාමා computer එක on කරලා, CoralDraw ඒතකොට තිබුන 10 version එක දාලා, 7 version එකේ guide book එකත් දීලා යන්න ගිය එක තමා... හිරු ඉතිං තනියම වැඩ දාලා කිඩ දාලා සිංහල ඉංග්‍රීසි ටයිප් කරන්න ඉදලම coralDraw එකේ පොඩි පොඩි වැඩ කරන්න පුරුදු උනා... ඊට පස්සේ ඉතිං A/L කරන කාලේ ඉදලම මාමගේ පොඩි printing shop එකේ වැඩ කරන්න පටන් ගත්තා.. ( ස්වේච්ඡා සේවය..)

‍කොහොමත් හිරු පොඩි කාලේ ඉදලම වැඩිය අනිත් අය නොකරන දේවල් කරන්න උනන්දු උන කෙනෙක්... ඉතිං හිරුට ඕනෙ උනේ Graphic Designer කෙනෙක් වෙන්න... ඒ උනාට කරුමෙට වගේ හිරු ට හමබුනේ කවදාවත් නොහිතපු විදියේ රස්සාවක්... Shipping Company එකක... කොහොමත් හිරු ඒ රස්සාවත් කලා අවුරුදු 2 ක් විතර... හැබැයි ඊට පස්සේ ඒ කොම්පැණිය බංකොලොත් උනා... ( ඒක හිරුගේ වැරැද්දෙන් නොවෙයි හොදද... ) හදිස්සියෙ සිද්ධ උන ඒ සිද්ධිය නිසා හිරු ට නියමිත වැඩක් නැතුව මාස 6 ක් විතර ඒ ‍කොම්පැණියේ Accounts close කරන්න උදවු කරන්න උනා... ඒ කාලේ හිරු වැඩිපුරම කාලේ ගත කළේ අලුතින්ම හොයා ගත්ත යාලුවෙක් එක්ක... ඒ තමයි Internet එක... තනියම ම IP address එකක් දාගෙන දවසම අන්තර්ජාලයේ සැරි සරන අතරේ හිරුට ගොඩක් යාලුවොත් හම්බුනා... ගොඩක් හොද යාලුවෝ... හැබැයි ඉතිං ඒ සෙල්ලම් ඔක්කොම ඉවර උනා හිරු රස්සාවෙන් අස්වෙලා ගෙදර අවට පස්සේ.. ආයිත් හිරුට අන්තර්ජාලය ඇසුරු කරන්න ලැබුනේ අවුරුද්දකට විතර පස්සේ.. ඒ රස්සාවත් shipping ම තමා.. මෙදා පාර නම් හිරුට එච්චර අන්තර්ජාලේ අස්සේ දගලන්න හම්බුනේ නෑ.. අලුත් රස්සාවෙ වැඩ වැඩියි..

කොහොමින් කොහොම හරි හිරු දැන් ආයිත් ගෙදර.. තාත්තට බොරු ගොඩක් කියලා.. ( ADSL connection එකේ ගාන නියම ගානෙන් බාගෙකට අඩු කරලා කියලා....) හිරු ගෙදරට අන්තර්ජාල පහසුකම් හදා ගත්තා... දැං ඉතිං ගත්ත එකෙන් වැඩක් ගන්නත් එපැයි... හැබයි හිරුට දැං තියෙන ලොකුම ප්‍රශ‍්නේ වෙලාව තමා... මොකද හිරු දවල්ට ගෙදර නෑ.. රස්සාවක් නොකලත් අම්මගේ ව්‍යාපාරයට උදවු කරන්න අකමැත්තෙන් හරි සිද්ධ වෙලා තියෙන නිසා හිරු දවල්ට ඉන්නේ අම්මගේ Shop එකේ... ඉතිං හිරුට computer ගාව ඉන්න තියෙන්නේ හරිම ටික වෙලාවක්... මොකද කලිනුත් කියලා තියෙන විදියට හිරු කියන්නේ කම්මැලිම කම්මැලි, නිදිකුම්බර චරිතයක්.... හි හි...

ඉතිං ඔන්න හිරු ගැන ගොඩක් දේවල් කිව්වා... හිරු ගැන තවත් දේවල් මේ බ්‍‍ලොග් එකේ ඉස්සරහට ලියවේවි... ඒත් හිරුට බ්ලොග් ලියන්න විතරක් නෙවෙයි අනිත් හැමදේටම දිරිමත් කරපු හිරුගේ හොදම මිතුරා අද හිරු ළග නෑ... ඒත් ඒ මතකයෙන් බිංදුවක් වත් හිරුට අමතක නෑ... මේ බ්ලොග් එකේ හැම පියවරක්ම ඒ පිවිතුරු මතකයට සහ ඒ ආදරණීය ලෙංගතුකමට ගරු කිරීමක් ලෙස ලියවෙන බව හිරු ආදරයෙන් මතක් කරනවා...

හැමෝටම සුබ රාත්‍රියක්......

Monday, July 5, 2010

මේ ඉන්නේ අපේ බුලට්............



අපේ ගෙදර අලුත්ම සාමාජිකයා තමා මේ ඉන්නේ.... අපේ අම්මගේ පොඩි පුතා.. මොකද කිව්වොත් මෙයාගේ ඔක්කොම වැඩ කෙරෙන්නේ අපේ අම්මගේ අතින් තමයි...

මෙයාව ගෙදරට ගේන්න ප්‍රධාන හේතුව උනේ අපේ ගෙදරට කේක් කුඩු කන්න එන්න පුරුදු වෙච්ච කැලෑ පූසියෙක් තමයි... ඒත් ඒ කතාව මම පස්සේ කියන්නම්කෝ....

බුලට්... එහෙම නැත්තම් මම කියන විදියට බංකු බංකු... තාම අවුරුද්දක් වත් නැති බලු පැටියෙක් උනාට මෙයා කන්න නම් පොඩ්ඩක්වත් පුංචි නෑ... පොඩි කාලේ කනකොට ගත්ත පින්තූරයක් තමා ඔය තියෙන්නේ... කන කොට කකුල් දෙකටත් යනකං කන එක තමා මෙයාගේ පුරුද්ද..




අපේ ගෙදර කට්ටිය ඔ‍ක්කොම ගෙදර එනකොට පිලිගන්න මෙයාට ක්‍රම සහ විදි තියෙනවා.. අපේ තාත්තා ගෙදර එනකොට හැමදා ම එන්නේ කුස්සියෙ ‍දොරෙන්.. මොකද මෙයා තාත්තා එන වෙලාවට දොර ළග රැකගෙන ඉන්නේ තාත්තගේ කරට පනින්න.. (අපේ තාත්තා අඩි 5 යි අගල් 4 යි උස... බුලට් නවතින්නේ තාත්තගේ ඔලුවට අත තියලා... ) අම්මා ගෙදර එනකොට මෙයා ඉන්නේ පුටුවක් යට ඔලුව හංගගෙන.. මොකද අම්මට තමයි මෙයා දවස තිස්සෙම කරලා තියෙන වැරදි වැඩ අහුවෙන්නේ.. එතකොට ගුටි පූජාව ෂුවර් නිසා මෙයා කොහොම හරි හැංගිලා ඉන්නවා මං එනකම්.. අපේ මල්ලි එනකොට මෙයා පැත්ත පලාතේ යන්නේ නැ... මොකද එයා හරකා වගේ ගහගෙන ගහගෙන යන නිසා... අනේ ඉතිං මෙයාගේ අතේ පයේ හිරි ඇර ගන්න බලං ඉන්නේ මං එනකං තමයි... මං ආවම මෙයාගේ වැඩේ මගෙ පස්සෙන් ඇවිදින එක තමයි...




අපේ ගෙදර TV, TELEPHONE, COMPUTER තියෙන්නේ කෑම කාමරේ... හරියටම කිව්වොත් කුස්සියේ තමා.. අපි වැඩිපුර ඉන්නේ එතන... ඉතින් අපි ඇවිත් පුටු වල ඉදගෙන අපේ වැඩ වලට බැස්සම ( තාත්තා ඉන්න දවසට TV එකේ. අම්මා හාන්සි පුටුවේ.. මම නැත්තම් මල්ලි COM එකේ... ) මෙයාගේ වැඩේ අපි කට්ටිය මැද්දෙන් ඉදගෙන එයාගේ කතන්දර කියන එක තමා.. ඇත්තමට මෙයා අපේ පවුලට එකතු උනායින් පස්සේ අපි කට්ටිය එකට ඉන්න එක වැඩි උනා කියලයි මට දැනෙන්නේ... එයාගේ වැඩ බල බල තමා අපි වැඩ කරන්නේ....

මෙයාට ලොකුම ලොකු ප්‍රශ්නෙ තියෙන්නේ පොල් සම්බන්ධව තමයි... පොල් ගෙඩියක්, පොල් ලෙල්‍ලක් විතරක් නෙවෙයි කොස්සක් උනත් මෙයාට පේන්න බෑ... අපේ ගෙදර අතුගාන්න ගියාම තමයි මෙයා වැඩිපුරම ගුටි කන්නේ... මොකද කොස්ස තියන තියන තැනට පැනලා ඒකෙ එල්ලෙන එක නවත්තන්න කොසු මිටෙන්ම දෙක තුනක් පත බාන්න ඕනේ... ඒක් ඉතිං සත්ත කරුණාව තියෙන මං වගේ අයට ඒ වැඩේ කරන්න හිත දෙන්නෙ නැති නිසා මට අපේ ගේ අතුගාන්න බෑ.. (ඒකට බැනුම් අහන්නේ බුලට් නෙවෙයි.. මම...) 

අහල පහල ඇන්ටි කෙනෙක් බොහොම ආදරෙන් ඇන්තූරියම් වලට ආපු පොල් ලෙලි, ඇන්තූරියම් ගස් පිටින්ම උස්සගෙන එන එක තමයි මෙයාගෙ තියෙන් අනිත් නරක පුරුද්ද... ඒවා ගෙනල්ලා ගේ පුරාම විසි කරනවා විතරක් නෙවෙයි... මෙයා ගිය ටිකේම ඇන්තූරියම් හෙරෙක් ගැන බොරු බයකුත් ඇති කලා අපේ ඇන්තූරියම් Lovers ලා අතර... පස්සේ හොරා කව්ද කියලා හොයා ගත්තම මෙයා බේරුනේ ඇන්ටිලා හැමෝම මෙයාට ගොඩක් ආදරේ හින්දම තමයි...

මේ දැනුත් රෙදි පටියක් උඩ දදා ගේ වටේම යනවා... හි හි... ( ආ.. දැං අපේ ගෙදර ඔක්කොම නිදි... )

මෙයාව නිදා ගන්න දාලා මාත් නිදා ගන්න ඕනේ... මෙයාට රෑට හරිම සීතලයි..මදුරුවො කනවා... ඒක නිසා රෙද්දෙන් පොරවන්න ඕනේ... නැත්තම් මට නිදා ගන්න වෙන් නැ...

GOOD NIGHT ළමයි... ඕගොල්ලොත් නිදා ගන්න... නිදා ගන්නකොට නෙට් එකක් දා ගන්න.. මේ දවස්වල හරියට මදුරුවෝ...